Skip to content

පටුනට යන්න

යෙහෝවා උඩඟුවූවන් පහත් කරයි

යෙහෝවා උඩඟුවූවන් පහත් කරයි

පස්වන පරිච්ඡේදය

යෙහෝවා උඩඟුවූවන් පහත් කරයි

යෙසායා 2:6–4:1

1, 2. යෙසායාගේ කාලයේ සිටි යුදෙව්වන්ට දුන් එම අනාවැකිමය පණිවිඩයේ අපිට ඇති වැදගත්කම කුමක්ද?

 යෙරුසලමෙහි සහ යූදාහි තත්වය ගැන පිළිකුලෙන් සිටි අනාගතවක්තෘ යෙසායා යෙහෝවා දෙවි වෙත හැරී මෙසේ කියනවා. “ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනග [අත්හැරියේය].” (යෙසායා 2:6අ) දෙවි විසින්ම තම “විශේෂ වස්තුව” ලෙස තෝරාගත් සෙනඟව ප්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්ද?—ද්විතීය කථාව 14:2, NW.

2 යෙසායා තමාගේ දවසේ සිටි යුදෙව්වන්ව ප්‍රසිද්ධියේ හෙළා දැකීම අපිට විශේෂ වැදගත්කමකින් යුක්තයි. ඒ මන්ද? ඒ අදදින ක්‍රිස්තියානි ලෝකයේ තත්වය යෙසායාගේ සෙනඟට බොහෝදුරට සමාන නිසාත්, යෙහෝවාගේ විනිශ්චයද එදා හා සමාන වන නිසාත්ය. යෙසායාගේ ප්‍රකාශයට අවධානය දීමෙන් දෙවි හෙළා දකින්නේ කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි අතර, ඔහු අනුමත නොකරන ක්‍රියා ද්වේෂ කිරීමටද එය අපට උපකාර වෙනවා. එසේනම් අපි, යෙසායා 2:6–4:1 දක්වා ඇති යෙහෝවාගේ අනාවැකිමය වදන් උනන්දුමත් අපේක්ෂාවෙන් සලකා බලමු.

උඩඟු ලෙස වැඳ පුදයි

3. යෙසායා පෙන්වා දෙන්නේ සෙනඟගේ කිනම් වරදද?

3 තම සෙනඟගේ වරද කියා දෙමින් යෙසායා මෙසේ කියනවා. “ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමග අතට අත ගසති.” (යෙසායා 2:6ආ) අවුරුදු 800කට පමණ පෙරාතුව යෙහෝවා තම තෝරාගත් සෙනඟට මෙසේ අණ කර තිබුණා. “මේ කිසිවකින් තමුන්ම කිලුටුකර නොගන්න. මක්නිසාද මා විසින් නුඹලා ඉදිරියෙන් පහකරන ජාතීහු මේ සියලු දේවලින් අපවිත්‍රව සිටිති.” (ලෙවී කථාව 18:24) තමා තෝරාගත් විශේෂ වස්තුව ගැන මෙසේ කියන්ට යෙහෝවා බාලාම්ට බල කෙරුවා. “පර්වත මුදුනේ සිට ඔහු දකිමි, හෙල්වල සිට ඔහු බලමි. බලව, ඔව්හු හුදකලාව වසන සෙනඟකි, ඔව්හු ජාතීන් අතරේ තමුන්ම ගණන්කර නොගන්නෝය.” (ගණන් කථාව 23:9, 12) එහෙත්, යෙසායාගේ දවසේදී යෙහෝවාගේ තෝරාගත් සෙනඟ අවට ජාතීන්ගේ පිළිකුල්සහගත ක්‍රියාවන් ඈඳාගත් අතර, “පෙරදිග සිරිත්වලින් පිරී” සිටියා. යෙහෝවා සහ ඔහුගේ වදන් කෙරෙහි ඇදහිල්ල තබනවා වෙනුවට ඔවුන් ‘පිලිස්තිවරුන් මෙන් පේන කීමෙහි’ යෙදී සිටියා. ජාතීන්ගෙන් වෙන්ව සිටිනවා වෙනුවට ‘විදේශීය පුත්‍රයන්ගෙන්’ දේශය ‘උතුරා’ ගොස් තිබුණා. මොවුන් දෙවිගේ සෙනඟට අභක්තික සිරිත් විරිත් ඉගැන්වූ විදේශීන් බවට කිසිම සැකයක් නැහැ.

4. වස්තුව සහ යුධ ශක්තිය යෙහෝවාට ස්තුති කිරීමට හේතුවක් කරගන්නවා වෙනුවට යුදෙව්වන් එය සැලකුවේ කෙසේද?

4 උස්සියා රජ යටතේ යූදාහි එවකට පැවති ආර්ථික සමෘද්ධිය සහ යුධ ශක්තිය ගැන යෙසායා මෙසේ සඳහන් කරනවා. “ඔවුන්ගේ දේශය රන් රිදීවලින් පිරී තිබේ, ඔවුන්ගේ වස්තුවලට කෙළවරක්ද නැත; ඔවුන්ගේ දේශය අශ්වයන්ගෙන් පිරී තිබේ, ඔවුන්ගේ රථද කෙළවරක් නැතුව තිබේ.” (යෙසායා 2:7) එවන් වස්තුවක් සහ යුධ ශක්තියක් වෙනුවෙන් සෙනඟ යෙහෝවාට ස්තුති කරනවාද? (2 ලේකම් 26:1, 6-15) කොහෙත්ම නැහැ! ඒ වෙනුවට, ඔවුන් වස්තුව කෙරෙහි විශ්වාසය තබා, එහි උල්පත වන යෙහෝවා දෙවිගෙන් ඈත් වී කටයුතු කරනවා. ප්‍රතිඵලය? “ඔවුන්ගේ දේශය [නොවටිනා, NW] පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔව්හු වඳිති. මෙසේ පහත් මිනිහා යටත් කරනු ලැබේ, උසස් මනුෂ්‍යයාද පහත් කරනු ලැබේ. ඒ නිසා ඔවුන්ට කමානූව මැනව.” (යෙසායා 2:8, 9) ඔවුන් ඔවුන්ගේ මුහුණු ජීවමාන දෙවි කෙරෙන් ඉවත් කර, පණ නැති රූපවලට වඳිනවා.

5. පිළිමවලට වැඳ නමස්කාර කිරීම නිහතමානිකමේ ක්‍රියාවක් නොවන්නේ මන්ද?

5 වැඳීම නිහතමානීකමේ සංකේතයක් විය හැකියි. එහෙත්, පණ නැති දේවලට වැඳීම නිෂ්ඵලකමක්. එය රූප වඳින්නාව “පහත්” තත්වයට නැතහොත් අවමානයට ලක් කරනවා. එවැනි පාපයකට යෙහෝවා සමාව දෙන්නේ කොහොමද? ගණන් දෙන්නැයි යෙහෝවා ඔවුන්ට කියද්දී, මේ රූප නමස්කාරකයන් කරන්ට යන්නේ කුමක්ද?

‘උඩඟු ඇස් පහත් විය යුතුයි’

6, 7. (අ) යෙහෝවාගේ විනිශ්චය දවසේදී උඩඟුවූවන්ට සිදු වන්නේ කුමක්ද? (ආ) යෙහෝවා තම උදහස ප්‍රකාශ කරන්නේ කුමක් හා කවුරුන් මතද? ඒ මන්ද?

6 යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “නුඹ පර්වතයට ඇතුල්වී [යෙහෝවාගේ] භයානකකමද [ඔහුගේ] මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් ධූලියෙහි සැඟවෙන්න.” (යෙසායා 2:10) එහෙත් සර්වබලධාරි යෙහෝවාගේ අතින් ඔවුන්ව රැකගන්ට තරම් කිසිම පර්වතයක් විශාල නැහැ. කිසිම ආවරණයක් ඝනකමුත් නැහැ. තම විනිශ්චය ඉටු කිරීමට ඔහු පැමිණෙන විට, “මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ [යෙහෝවා] පමණක් උසස්කරනු ලබන්නේය.”—යෙසායා 2:11.

7 “උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද උස්වූ උසස්ව තිබෙන ලෙබනොන්හි සියලු කිහිරි ගස්වලට විරුද්ධවද බාෂාන්හි සියලු අලෝන ගස්වලට විරුද්ධවද; උස්වූ කඳුවලට විරුද්ධවද උසස්ව තිබෙන සියලු හෙල්වලට විරුද්ධවද; උස්වූ සියලු කොත්වලට විරුද්ධවද සුරක්ෂිත සියලු පවුරුවලට විරුද්ධවද; තර්ෂිෂ්හි සියලු නැව්වලට විරුද්ධවද අලංකාර පෙනීමක් ඇති සියල්ලට විරුද්ධවද, ඒවා පහත්කරන පිණිස,” දෙවිගේ උදහස ප්‍රකාශ කිරීමට කාලය එයයි. නිසැකවම, “සේනාවල [යෙහෝවාගේ] දවස” පැමිණෙන්ට යනවා. (යෙසායා 2:12-16) ඔව්, යෙහෝවාගේ උදහස් දවසේදී මිනිසා තම උඩඟුකමේ සංකේතයක් හැටියට පිහිටුවාගෙන ඇති සෑම සංවිධානයක් වෙතද සෑම අභක්තික පුද්ගලයෙකු වෙතද අවධානය යොමු වෙන්ට යනවා. මෙසේ, “මනුෂ්‍යයන්ගේ උඩඟුකම යටත්කරනු ලබන්නේය, මිනිසුන්ගේ ආඩම්බරයද පහත්කරනු ලබන්නේය. [යෙහෝවා] පමණක් උසස්කරනු ලබන්නේය.”—යෙසායා 2:17.

8. යෙරුසලම මත පුරෝකථනය කළ විනිශ්චය දවස පො.යු.පෙ. 607දී පැමිණුණේ කෙසේද?

8 බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් පො.යු.පෙ. 607දී, යෙරුසලම විනාශ කරන විට යුදෙව්වන් මත පුරෝකථනය කළ විනිශ්චයේ දවස පැමිණියා. තම දයාබර නුවර බුර බුරා නඟින ගිනි දැල්වලින් දැවෙන ආකාරයද අභිමානවත් ගොඩනැඟිලි පොළොවට සමතලා කර ඇති ආකාරයද එහි ප්‍රාකාර කුඩුපට්ටම් වී ඇති ආකාරයද එහි වැසියන් දුටුවා. යෙහෝවාගේ දේවමාළිගාව ගල් ගොඩක් බවට පත් වෙලා. ‘සේනාවල යෙහෝවාගේ දවසේදී’ ඔවුන්ගේ වස්තුවෙන් තියා අශ්ව රථවලින්වත් කිසිම ඵලක් නැහැ. ඔවුන්ගේ රූප? යෙසායා පුරෝකථනය කළ ආකාරයට එය සිදු වුණා. “පිළිම සහමුලින්ම පහවන්නේය.” (යෙසායා 2:18) අධිපතීන් සහ බලවතුන් ඇතුළු යුදෙව්වන්ව බබිලෝනියේ වහල්කමට ගෙනගියා. යෙරුසලම අවුරුදු 70ක් පාළුව පැවතීමට නියමිතයි.

9. ක්‍රිස්තියානි ලෝකයේ තත්වය යෙසායාගේ දවසේ යෙරුසලමට සහ යූදාට සමාන වන්නේ කිනම් ආකාරයෙන්ද?

9 ක්‍රිස්තියානි ලෝකයේ තත්වය යෙසායාගේ දවසේ යෙරුසලමට සහ යූදාට කොතරම් සමානද! ක්‍රිස්තියානි ලෝකය මේ ලෝකයේ ජාතීන් සමඟ නිසැකවම කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගෙන තිබෙනවා. ඇය එක්සත් ජාතීන්ට උද්‍යෝගයෙන් අත හිත දෙන අතර, ඇගේ ගෘහය පිළිම සහ බයිබලයට පටහැනි සිරිත් විරිත්වලින් පුරවාගෙන තිබෙනවා. ඇගේ බැතිමතුන් ද්‍රව්‍යවාදී වන අතර, ඔවුන්ගේ විශ්වාසය යුධ බලය මත තබා තිබෙනවා. තම පූජක පක්ෂයට නම්බු නාම දෙමින් ඔවුන්ව මහත් ගෞරවයෙන් සැලකීම අවශ්‍යයි කියා ඔවුන් සිතන්නේ නැද්ද? ක්‍රිස්තියානි ලෝකයේ ආත්ම වර්ණනාව නොවරදවාම නැති වී යනවා. ඒත් ඒ කවදාටද?

අත ළඟ එන ‘යෙහෝවාගේ දවස’

10. පාවුල් සහ පේතෘස් යන ප්‍රේරිතයන් යොමු දක්වන්නේ, ‘යෙහෝවාගේ කිනම් දවසටද?’

10 ශුද්ධ ලියවිලි යොමු දක්වන්නේ, පුරාණ යෙරුසලමේ සහ යූදාහි සිදු වූ විනිශ්චය දවසට වඩා අතිශයින් මහත් වැදගත්කමක් ඇති ‘යෙහෝවාගේ දවසකටයි.’ දේවානුභාවයෙන් ප්‍රේරිත පාවුල්, පැමිණීමට යන ‘යෙහෝවාගේ දවස’ සිංහාසනාරූඪ රජ වන යේසුස් ක්‍රිස්තුස්ගේ පැමිණ සිටීම සමඟ සම්බන්ධ කළා. (2 තෙසලෝනික 2:1, 2) පේතෘස් එම දවස ගැන කතා කළේ “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද” පිහිටුවීම සම්බන්ධ කරගෙනයි. (2 පේතෘස් 3:10-13) ක්‍රිස්තියානි ලෝකය ඇතුළු මුළු මහත් දුෂ්ට ක්‍රමය මතම යෙහෝවා තම විනිශ්චය ක්‍රියාත්මක කරන්ට යන දවස එයයි.

11. (අ) පැමිණෙන්නාවූ ‘යෙහෝවාගේ දවස දරන්ට පුළුවන් කාටද?’ (ආ) යෙහෝවාව අපේ රක්ෂස්ථානය කරගන්නේ කෙසේද?

11 “අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද [යෙහෝවාගේ] දවස ළංව තිබේ, ඒක [සර්වපරාක්‍රමයා] එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය” කියා අනාගතවක්තෘ යෝවෙල් පවසනවා. එම ‘දවසේ’ ආසන්නභාවය නිසා එම භය උපදවන කාලපරිච්ඡේදය තුළදී ආරක්ෂාව ලැබීම සැමගේ සැලකිල්ලට භාජන විය යුතු නැද්ද? “එය දරන්ට කාට පුළුවන්ද?” කියා යෝවෙල් අසනවා. ඊට ඔහු මෙසේ පිළිතුරු දෙනවා. ‘යෙහෝවා තමන්ගේ සෙනඟට රක්ෂාස්ථානයක්ව සිටින්නේය.’ (යෝවෙල් 1:15; 2:11; 3:16) උඩඟු ස්වභාවයක් සහ තමන්ගේ විශ්වාසය ධනය, යුධ බලය සහ මිනිසුන් සෑදූ දෙවිවරුන් මත තබන අයට යෙහෝවා දෙවි රක්ෂස්ථානයක් බවට පත් වෙයිද? ඒක කොහෙත්ම වෙන්ට බැහැ! තම තෝරාගත් ජාතිය පවා එසේ කරද්දී දෙවි ඔවුන්ව අත්හැරියා. දෙවිගේ සේවකයන් සියලුදෙනාම ‘ධර්මිෂ්ඨකම සෙවීම මෙන්ම මොළොක් ගුණය සෙවීමත්’ තම ජීවිතවල යෙහෝවාගේ නමස්කාරයට දී ඇති ස්ථානය බැරෑරුම් ලෙස පරීක්ෂා කර බැලීමත් කොතරම් වැදගත්ද!—ශෙපනියා 2:2, 3.

‘ඌරු මීයන්ටත් වවුලන්ටත්’

12, 13. යෙහෝවාගේ දවසේදී පිළිම නමස්කාරකයන් විසින් තම දෙවිවරුන්ව ඌරු “මීයන්ටත් වවුලන්ටත්” දැමීම සුදුසු වන්නේ මන්ද?

12 යෙහෝවාගේ මහත් දවසේදී රූප වන්දනා කරන්නන් තම පිළිම සලකන්ට යන්නේ කෙසේද? යෙසායා මෙසේ පිළිතුරු දෙනවා. “පොළොව ත්‍රස්තකරවන්ට [යෙහෝවා] නැගිටින කල, [ඔහුගේ] භයානකකමද [ඔහුගේ] මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් පර්වතවල ගුහාවලටත් පොළොවේ කූපවලටත් ඔව්හු ඇතුල්වන්නෝය. පොළොව ත්‍රස්තකරවන්ට [යෙහෝවා] නැගිටින කල, [ඔහුගේ] භයානකකමද [ඔහුගේ] මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස, මනුෂ්‍යයෝ . . . තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද [ඌරු, NW] මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය. තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?”—යෙසායා 2:19-22.

13 ඌරු මීයන් ජීවත් වන්නේ පොළොවේ ගුල්වලයි. වවුලන් ජීවත් වන්නේ අඳුරු පාළු ගුහාවලයි. තවදුරටත්, එක තැනක ලැග සිටින වවුල් රංචුවක් සිටින තැනක මහ දුගඳක් හමනවා පමණක් නොව ඝන අසූචි තට්ටු ගොඩ ගැසී තිබෙනවා. පිළිම එවැනි තැනකට විසි කර දැමීම උචිතයි. ඒවා දැමීමට සුදුසු වන්නේ එවැනි අඳුරු අපවිත්‍ර තැනකට හැර වෙන කොහේටද? මිනිසුන් ගැන කියනවා නම්, ඔවුන් යෙහෝවාගේ විනිශ්චය දවසේදී ගුහාවල සහ කඳු කුහරවල සරණ පතන්ට යනවා. මෙසේ, පිළිමවලටත් ඒවාට නමස්කාර කරන්නන්ටත් අත් වෙන්ට යන්නේ එක සමාන ඉරණමක්. යෙසායාගේ අනාවැකිය සැබෑ කරමින්, පො.යු.පෙ. 607දී නෙබුකද්නෙශර්ගේ අතින් රූප නමස්කාරකයන්ව හෝ යෙරුසලම ගළවාගන්ට පණ නැති පිළිමවලට හැකි වුණේ නැහැ.

14. ඉදිරියේදී බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය පිට පැමිණෙන යෙහෝවාගේ දවසේදී, ලෞකික මනස් ඇති අය කුමක් කරනු ඇද්ද?

14 ක්‍රිස්තියානි ලෝකය සහ බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ අනිකුත් අංග පිට යෙහෝවාගේ විනිශ්චයමය දවස පැමිණෙද්දී, මිනිසුන් කුමක් කරාවිද? පිරිහෙමින් පවතින ලෝක තත්වය නිසා බොහෝදෙනෙක් තම රූප වටිනාකමක් නැති දේවල් බව තේරුම්ගනීවි. ඒ වෙනුවට ඔවුන් සමහරවිට, එළිදරව් 17වන පරිච්ඡේදයේ සඳහන් ‘රතු පාට වනමෘගයා’ වන එක්සත් ජාතීන් ඇතුළු ආත්මික නොවන භූමික සංවිධානවල රැකවරණය සහ ආරක්ෂාව සොයාවි. ක්‍රිස්තියානි ලෝකය ප්‍රමුඛව සිටින බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන මහා බබිලෝනිය විනාශ කරන්ට යන්නේ එම සංකේතාත්මක වන මෘගයාගේ ‘අං දසයයි.’—එළිදරව් 17:3, 8-12, 16, 17.

15. යෙහෝවා තම විනිශ්චය දවසේදී තමාව පමණක් ‘උසස් කරන්නේ’ කෙසේද?

15 මහා බබිලෝනියේ පාළු කිරීම සහ ගින්නෙන් දැවීම කෙළින්ම සංකේතාත්මක අං දසය මගින් සිදු කළත්, ඇත්තෙන්ම එය යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීමක්. මහා බබිලෝනිය ගැන එළිදරව් 18:8 මෙසේ සඳහන් කරනවා. “එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ [යෙහෝවා දෙවි] බලවත්ව [සිටින්නේය.]” මෙසේ, මනුෂ්‍යවර්ගයාව බොරු ආගමේ ආධිපත්‍යයෙන් නිදහස් කිරීමෙහි ගෞරවය හිමි වන්නේ සර්වබලධාරි දෙවි වන යෙහෝවාටයි. යෙසායා සඳහන් කරන විදිහට, ‘ඒ දවසේදී යෙහෝවාව පමණක් උසස් කරනු ලබන්නේය. මක්නිසාද . . . එය සේනාවල යෙහෝවාගේ දවසයි.’—යෙසායා 2:11ආ, 16ආ.

‘මඟ පෙන්වන්නන් ඔබව මුළා කරවයි’

16. (අ) මිනිස් සමාජයක “රුකුලත් යෂ්ටියත්” කියා හඳුන්වන්නේ කුමක්ද? (ආ) තම සමාජයේ “රුකුලත් යෂ්ටියත්” වීමට තිබූ මං ඇහිරුණු විට යෙසායාගේ දවසේ සිටි සෙනඟ දුක් විඳින්ට යන්නේ කෙසේද?

16 මිනිස් සමාජයක් නොසැලී ස්ථිරව තබාගැනීමට නම්, “රුකුලත් යෂ්ටියත්” තිබිය යුතුයි. ආහාරපාන වැනි අවශ්‍යතාවන් මෙන්ම මහජනයාට මඟ පෙන්වීම සැපයීමට සහ සමාජයේ විනය පවත්වාගැනීමට ඉවහල් වන විශ්වාසවන්ත නායකයන්ද මීට ඇතුළත්. කෙසේවෙතත්, පුරාණ ඉශ්‍රායෙල් ගැන යෙසායා මෙසේ පුරෝකථනය කළා. “බලව, සේනාවල [යෙහෝවා වන සැබෑ ස්වාමීන්] යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් [පහ කරන්නේය.] එනම් මුළු ආහාරපාන වෘත්තියද; බලවන්තයා සහ යුද්ධකාරයාද; විනිශ්චයකාරයා සහ ප්‍රොපේතයාද පේනකියන්නා සහ වැඩිමහල්ලාද; පනසාධිපතියා සහ ගරුතර තැනැත්තාද මන්ත්‍රියාද දක්ෂ ශිල්පියාද මායම් දන්න තැනැත්තාද [පහ කරන්නේය.] (යෙසායා 3:1-3) බාලයන් අධිපතීන් වී හිතුමතේ පාලනය කරන්ට යනවා. සෙනඟව පෙළන්ට යන්නේ අධිපතීන් විතරක් නොවෙයි. “සෙනග එකිනෙකාගෙන්ද තම තමාගේ අසල්වාසියාගෙන්ද පීඩා විඳින්නෝය. බාලයා මහල්ලාටත් නීචයා උත්තමයාටත් උඩඟුකම් පාන්නෝය.” (යෙසායා 3:4, 5) දරුවන් වැඩිහිටියන්ට ගෞරවය දක්වන්ට යන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට විරුද්ධව ‘උඩඟුකම්පාන්ට’ යනවා. ජීවන තත්වය හොඳටම පහත වැටීම නිසා පාලනය කිරීමට සුදුසුකම් නැති කෙනෙකුට තවත් කෙනෙක් කතා කර, “නුඹට සළුවක් ඇත්තේය, නුඹ අපේ ආණ්ඩුකාරයා [ඒකාධිපතියා, NW] වී, මේ නාස්තිය [පීඩිත සමූහය, NW] නුඹේ අත යටතේ [වේවා] යයි කියන්න යනවා. (යෙසායා 3:6) මේ ආකාරයට ආරාධනා ලැබූ අය, අහේනියට පත් වූ දේශය සුව කරන්ට තමන්ට හැකියාවක්වත් එම වගකීම හසුරුවන්ට වස්තු සම්පත්වත් නැති බව තරයේ කියමින් එම ආරාධනය ප්‍රතික්ෂේප කරන්ට යනවා. ඔවුන් මෙසේ කියන්ට යනවා. “මම සුවකරන්නෙක් නොවන්නෙමි; මක්නිසාද මාගේ ගෙයි කෑමවත් සළුවක්වත් නැත. මා සෙනගගේ ආණ්ඩුකාරයා නොකරන්න.”—යෙසායා 3:7.

17. (අ) යෙරුසලමේ සහ යූදාහි පාප “සොදොම මෙන්” වූයේ කිනම් අර්ථයෙන්ද? (ආ) තම සෙනඟ සිටින තත්වය ගැන යෙසායා දෝෂාරෝපණය කරන්නේ කාටද?

17 යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “[යෙහෝවාගේ] තේජාන්විත ඇස් උදහස්කරවන පිණිස ඔවුන්ගේ දිවත් ක්‍රියාත් [ඔහුට] විරුද්ධව තිබෙන බැවින්, යෙරුසලම නාස්තිවී යූදා වැටී තිබේ. ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂිදෙයි; සොදොම මෙන් ඔව්හු තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශකෙරෙති. ඔවුන්ගේ ආත්මයට [ප්‍රාණයට, NW] දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරුකරගත්තෝය.” (යෙසායා 3:8, 9) දෙවිගේ සෙනඟ වචනයෙන්ද ක්‍රියාවෙන්ද සැබෑ දෙවිට විරුද්ධව කැරලිගසා තිබෙනවා. ලජ්ජාවක්වත් පසුතැවිලි පෙනුමක්වත් නැති ඔවුන්ගේ මුහුණුවලින් හෙළි කරන්නේ, සොදොම හා සමාන ඔවුන්ගේ පිළිකුල්සහගත පාපයයි. ඔවුන් යෙහෝවා දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටියත්, දෙවි ඔහුගේ ප්‍රමිති නමන්ට යන්නේ නැහැ. “ධර්මිෂ්ඨයන්ට යහපත වන්නේයයි කියන්න. මක්නිසාද ඔව්හු තමුන්ගේ ක්‍රියාවල ඵල භුක්තිවිඳින්නෝය. අහෝ දුෂ්ටයාට දුක් වේ! ඔහුට විපත පැමිණේ. මක්නිසාද ඔහුගේ අත්වල විපාකය ඔහුට ලැබෙන්නේය. මාගේ සෙනගගේ පීඩාකාරයෝ නම් දරුවෝය, ස්ත්‍රියෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරති. මාගේ සෙනගෙනි, නුඹට මගපෙන්වන්නෝ නුඹ මුළාකර නුඹ යායුතු මාර්ගය නැතිකරදමති.”—යෙසායා 3:10-12.

18. (අ) යෙසායාගේ දවසේ සිටි වැඩිමහල්ලන් සහ අධිපතීන් මත යෙහෝවා එල්ල කරන්නේ කුමන විනිශ්චයද? (ආ) වැඩිමහල්ලන් සහ අධිපතීන් පිළිබඳ යෙහෝවාගේ විනිශ්චයෙන් අපි ඉගෙනගන්නා පාඩම් මොනවාද?

18 යූදාහි සිටින වැඩිමහල්ලන්ටත් අධිපතීන්ටත් යෙහෝවා ‘දඬුවම’ සහ ‘විනිශ්චය’ ප්‍රකාශ කරනවා. “මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ. නුඹලා මාගේ සෙනග පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩිකරන්නෙත් මක්නිසාද”? (යෙසායා 3:13-15) සෙනඟගේ සුභසිද්ධිය සඳහා වැඩ කරනවා වෙනුවට පාලකයන් වංචාකාරි ලෙස ක්‍රියා කරමින් සිටිනවා. දිළිඳු අගහිඟකම්වලින් පිරි අයගෙන් සූරාකෑමෙන් සහ තමන්ටම වස්තුව පොදි ගසාගැනීමෙන් ඔවුන් ඔවුන්ගේ ආධිපත්‍යය වැරදි විදිහට පාවිච්චි කරනවා. එනමුත් පීඩිත වූවන්ව පෙළීම සම්බන්ධයෙන් මේ පාලකයන් සේනාවල යෙහෝවාට පිළිතුරු දිය යුතුමයි. අදදින වගකිව යුතු තනතුරුවල සිටින අයට මෙය මොනතරම් ප්‍රබල අනතුරු ඇඟවීමක්ද! තම අධිකාරය වැරදි ලෙස පාවිච්චි නොකිරීමට ඔවුන් සැමවිටම ප්‍රවේසම් විය යුතුයි.

19. පොදු ජනයාව පෙළීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකය වරදකරුවන් වී ඇත්තේ කෙසේද?

19 ක්‍රිස්තියානි ලෝකය, විශේෂයෙන්ම ඇගේ පූජකයන් සහ එහි ප්‍රමුඛයන් සාමාන්‍ය ජනයාව පීඩාවට ලක් කර තිබෙන අතර, දිගටම එසේ කරමින් ඔවුන් සතු බොහෝ දේ වංචාවෙන් අත් කරගෙන තිබෙනවා. ඇය දෙවිගේ සෙනඟට පහර දී, හිංසා පීඩා පමුණුවා ඇති අතර, යෙහෝවාගේ නාමයට මහත් නින්දාවක් ගෙනැවිත් තිබෙනවා. යෙහෝවා තම නියමිත කාලයේදී, ඇයට විරුද්ධව නිසැකවම විනිශ්චය ගෙනේවි.

“හොබනාකම වෙනුවට හන්වඩු”

20. යෙහෝවා ‘සියොන් දූවරුන්ව’ ප්‍රසිද්ධියේ හෙළා දකින්නේ මන්ද?

20 පාලකයන්ගේ වැරදි ප්‍රසිද්ධියේ හෙළා දැකීමෙන් පසු, යෙහෝවා සියොනෙහි නැතහොත් යෙරුසලමෙහි සිටින ස්ත්‍රීන් වෙත අවධානය යොමු කරනවා. පෙනෙන විදිහට විලාසිතාවක් හැටියට, “සියොන් දූවරුන්” “පාද දාම” එනම්, විලුඹට පාද සලං දමාගෙන සිටි අතර, එයින් තාලයට හඬක් නික්මුණා. ස්ත්‍රීන් තම ගමන ‘කෙටි පියවරවලට’ සීමා කළ අතර, ශෝභන ලැසි ගමනක නිරත වන්ට පුරුදු වුණා. ඉතින් එහි ඇති වරද කුමක්ද? වරද තිබුණේ ඔවුන් තුළ තිබූ ආකල්පයෙයි. යෙහෝවා මෙසේ කියනවා. “සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා [යයි].” (යෙසායා 3:16) එවන් උඩඟුකමකට දඬුවමෙන් බේරෙන්ට බැහැ.

21. යෙරුසලමට එරෙහිව ගෙනෙන යෙහෝවාගේ විනිශ්චය යුදෙව් ස්ත්‍රීන්ට බලපාන්නේ කෙසේද?

21 මේ අනුව, දේශය පිටට යෙහෝවාගේ විනිශ්චය පැමිණෙන විට, මේ උඩඟු ‘සියොන් දූවරුන්ට’ සියල්ල නැති වෙන්ට යනවා. ඔවුන් ඒ තරම්ම ආඩම්බරයෙන් සිටින තම රූපශ්‍රීය පවා නැති වෙන්ට යනවා. යෙහෝවා මෙසේ අනාවැකි පළ කරනවා. ‘යෙහෝවා සියොන් දූවරුන්ගේ ඉස්මුදුනේ කබලු අටගන්වන්නේය, යෙහෝවා ඔවුන්ගේ රහසඟ නග්න කරන්නේය. [ඔවුන්ගේ හිසකෙස් බූගා දමන්නේය, NW] ඒ දවසේ යෙහෝවා ඔවුන්ගේ පාවළලුවල අලංකාරයද ඉස් දැල්ල චන්ද්‍රලේකාභරණද; කුණ්ඩලාභරණද අත්වළලුද මුවවස්නාද; මකුටද පාද දාමද ඉඟපටිද සුවඳ හෙප්පුද යන්ත්‍රද; මුදුද නාසාභරණද; මංගල්‍ය වස්ත්‍රද සළුද උතුරු සළුද පසුම්බිද පහ කර දමන්නේය.’ (යෙසායා 3:17-22; NW පාද සටහන් බලන්න.) කණපිට පෙරළීමක මහත!

22. තම ආභරණවලට අමතරව, යෙරුසලමේ ස්ත්‍රීන්ට අහිමි වන්නේ වෙන මොනවාද?

22 අනාවැකිමය පණිවිඩය තවදුරටත් මෙසේ කියනවා. “සුගන්ධ ද්‍රව්‍ය වෙනුවට කුණුද බඳපටිය වෙනුවට ලනුවක්ද හොඳට ගෙතූ වරලස වෙනුවට මුඩුකමද චෝලිය වෙනුවට ගෝණි බැඳගැනීමද හොබනාකම වෙනුවට හන්වඩුද ඇතිවන්නේය.” (යෙසායා 3:24) පොදු යුගයට පෙර 607දී, යෙරුසලමේ සිටින උඩඟු ස්ත්‍රීන් ධනවත්කමේ සිට දිළිඳුකම දක්වා වැටෙනවා. ඔවුන්ට තම නිදහස අහිමි වී වහල්කමේ ‘හංවඩුව’ වැදෙනවා.

‘ඇය අසරණ වී’

23. යෙරුසලම සම්බන්ධයෙන් යෙහෝවා ප්‍රකාශ කරන්නේ කුමක්ද?

23 යෙරුසලම් නුවරට කතා කරමින් යෙහෝවා මෙසේ ප්‍රකාශ කරනවා. “නුඹේ පුරුෂයෝ කඩුවෙන්ද නුඹේ බලවන්තයෝ යුද්ධයෙන්ද වැටෙන්නෝය. ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.” (යෙසායා 3:25, 26) යෙරුසලමේ සිටින මිනිසුන්, විශේෂයෙන්ම ඇගේ බලවන්තයන් පවා යුද්ධයේදී වැටෙන්ට යනවා. නුවර පොළොවට සමතලා වෙන්ට යනවා. එය ‘ඇගේ දොරටුවලට වැලපෙන්ටත් හඬන්ටත්’ කාලයක් වෙන්ට යනවා. යෙරුසලම ‘අසරණ වීමට’ එනම් පාළුවීමට හරිනවා.

24. පුරුෂයන්ව කඩු පහරින් වැටීම යෙරුසලමේ ස්ත්‍රීන්ට කොපමණ දරුණු විදිහට බලපායිද?

24 පුරුෂයන් කඩු මුවහතින් වැටීම යෙරුසලමේ සිටි ස්ත්‍රීන්ට දරුණු පහරක් වෙන්ටයි යන්නේ. තම අනාවැකිමය පොතේ මෙම කොටස අවසන් කරමින් යෙසායා මෙසේ අනාවැකි පළ කරනවා. “ඒ කාලයේදී ස්ත්‍රීන් සත්දෙනෙක් එක පුරුෂයෙකු අල්ලාගෙන: අපි අපේම කෑම කන්නෙමුව, අපේම වස්ත්‍ර අඳින්නෙමුව. නුඹේ නම පමණක් අපට ලැබේවා; අපේ නින්දාව පහකරන්නැයි කියන්නෝය.” (යෙසායා 4:1) විවාහ විය හැකි පුරුෂයන්ගේ හිඟය හොඳටම වැඩි වෙනවා. මෙසේ, පුරුෂයෙක් නැතිවීම හේතුවෙන් ඇති වන නින්දාවෙන් මිදෙන්ට, තම ස්වාමිපුරුෂයා බව ප්‍රසිද්ධියේ හඳුන්වා දීමට ස්ත්‍රීන් කිහිපදෙනෙක් එක පුරුෂයෙකු විවාහ කරගන්නවා. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, පුරුෂයෙක් තම බිරිඳට ඇඳුම් සහ වෙනත් දේ සැපයිය යුතුයි. (නික්මයාම 21:10) කෙසේවෙතත්, ‘තමන්ගේම කෑම අනුභව කිරීමට සහ තමන්ගේම ඇඳුම් ඇඳීමට’ එකඟ වීමෙන්, එම පුරුෂයාව තමාගේ නීතික වගකීමෙන් නිදහස් කිරීමට පවා මේ ස්ත්‍රීන් කැමැත්තෙන් සිටිනවා. වරක් උඩඟුව සිටි “සියොන් දූවරුන්” දැන් සිටින, කර කියාගත නොහැකි තත්වයක හැටි!

25. උඩඟුවූවන්ට නුදුරු අනාගතයේදී කුමක් සිදු වේද?

25 යෙහෝවා උඩඟුවූවන් පහත් කරනවා. පොදු යුගයට පෙර 607දී, යෙහෝවා තම තෝරාගත් සෙනඟගේ උඩඟුකම “යටත්” කර “පහත්” කරනු ලැබුවා. “[දෙවි] උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙන” බව සැබෑ ක්‍රිස්තියානීන් කිසිදා අමතක නොකරත්වා!—යාකොබ් 4:6.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[50වන පිටුවේ පින්තූරය]

පිළිම, වස්තුව සහ රණශූරත්වය යෙහෝවාගේ විනිශ්චය දවසේදී යෙරුසලම බේරාගන්නේ නැහැ

[55වන පිටුවේ පින්තූරය]

‘යෙහෝවාගේ දවසේදී’ බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය විනාශ වීමට නියමිතයි