Skip to content

පටුනට යන්න

යෙහෝවා උද්ධච්ච නුවරක ඔද බිඳියි

යෙහෝවා උද්ධච්ච නුවරක ඔද බිඳියි

දහහතරවන පරිච්ඡේදය

යෙහෝවා උද්ධච්ච නුවරක ඔද බිඳියි

යෙසායා 13:1–14:23

1. යෙසායාගේ පොත අවධානය යොමු කරන්නේ කොතරම් දුර අනාගතයකටද?

 යෙසායාගේ අනාවැකි පොත ලියනු ලැබුවේ පො.යු.පෙ. අටවන සියවසේදීයි. ඒ අෂූරිය පොරොන්දු දේශය ආක්‍රමණය කළ කාලයේයි. කලින් පරිච්ඡේදවල දුටු ලෙස සිද්ධීන් සිදු වන ආකාරය පිළිබඳ අසාමාන්‍ය නිරවද්‍යතාවක් ඔහුගේ අනාවැකිවල ගැබ් වී තිබෙනවා. කෙසේවෙතත්, මේ පොත අෂූරියේ නැඟීමෙන් ඔබ්බට ඇති දේ දෙස බලනවා. යෙහෝවා සමඟ ගිවිසුමෙන් බැඳී සිටින, එහෙත් ඒ වන විට විවිධ දේශවල වහලුන් ලෙස විසිර සිටින අයගේ නැවත පැමිණීමත් එය පුරෝකථනය කරනවා. පසු කාලයේදී බබිලෝනිය කියා හැඳින්වූ ෂිනාර්හි සිටින අයද ඊට ඇතුළත්. (යෙසායා 11:11) යෙසායා 13වන පරිච්ඡේදයේ විශිෂ්ට අනාවැකියක් දකින්ට තිබෙනවා. එම අනාවැකිය ඉටුවීමත් සමඟම ඉහත කී නැවත පැමිණීමට මාවත එළි පෙහෙළි වෙනවා. ඒ අනාවැකිය ඇරඹෙන්නේ මෙසේයි. ‘ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා බබිලෝනියට විරුද්ධව කළ දිව්‍ය ප්‍රකාශය.’—යෙසායා 13:1, NW. 

‘මම උඩඟුකම පහත් කරන්නෙමි’

2. (අ) හෙසකියා බබිලෝනිය හා සම්බන්ධ වුණේ කොහොමද? (ආ) ඔසවනු ලබන “කොඩිය” කුමක්ද?

2 යෙසායාගේ දවසේදී යූදා දේශය බබිලෝනිය සමඟ සම්බන්ධකම් පවත්වන්ට පටන්ගත්තා. හෙසකියා රජ බරපතළ ලෙස ලෙඩ වී නැවත සුවය ලබනවා. ඔහු සුව වූ බව අසා බබිලෝනියෙන් තානාපතීන් පැමිණෙනවා. සමහරවිට ඔවුන් පැමිණෙන්නේ අෂූරිය සමඟ යෙදී සිටින ඔවුන්ගේ සටනට හෙසකියාව බන්දාගැනීමේ යටි කූට්ටු අදහසින් විය හැකියි. හෙසකියා රජ අනුවණ ලෙස ඔහුගේ මුළු ධනස්කන්ධයම ඔවුන්ට පෙන්වනවා. එහි ප්‍රතිඵලයක් හැටියට, රජුගේ මරණින් පසුව ඒ සියලුම ධන සම්පත් බබිලෝනියට ගෙනයන බව යෙසායා පවසනවා. (යෙසායා 39:1-7) පොදු යුගයට පෙර 607දී යෙරුසලම විනාශ වන විට සහ ජාතිය වහල්භාවයට ගෙනයන විට මෙය ඉටු වෙනවා. කෙසේවෙතත්, දෙවිගේ තෝරාගත් සෙනඟ හැමදාටම බබිලෝනියේ සිටින්ට යන්නේ නැහැ. ඔවුන්ගේ නැවත පැමිණීමට පාර කැපෙන හැටි යෙහෝවා පුරෝකථනය කරනවා. ඔහු මෙසේ කියනවා. “උත්තමයන්ගේ දොරටුවලට ඇතුල් වන පිණිස ගස් නැති කන්දක් උඩ කොඩියක් ඔසවන්න, ශබ්දනගා ඔවුන්ට හඬගසන්න, අත වනන්න.” (යෙසායා 13:2) එම “කොඩිය” නම්, බබිලෝනියේ උසස් තත්වයෙන් එය පන්නා දැමීමට නැඟී එන ලෝක බලයයි. එය ඉතා දුර සිට දැකිය හැකි වන ලෙස “ගස් නැති කන්දක් උඩ” පිහිටුවන්ට යනවා. “උත්තමයන්ගේ දොරටු” වන බබිලෝනි නුවරේ දැවැන්ත ගේට්ටු හරහා බලහත්කාරයෙන් ගමන් කර නුවරට පහර දී එය අල්ලාගැනීමට මේ අලුත් ලෝක බලයට හඬගසනවා.

3. (අ) යෙහෝවා විසින් නැඟිටවනු ලබන “කැපවූවන්” කවුරුන්ද? (ආ) මිථ්‍යාදෘෂ්ටික හමුදා “කැපවූවන්” වන්නේ කිනම් අර්ථයෙන්ද?

3 යෙහෝවා දැන් මෙසේ කියනවා. “මාගේ කැපවූවන්ට මම අණ කෙළෙමි, එසේය, උඩඟුව ප්‍රීතිමත්වන්නාවූ මාගේ බලවන්තයන්ට මාගේ උදහස සඳහා අඬගැසීමි. මහත් සෙනගක ඝෝෂාව මෙන් සමූහයක ඝෝෂාවක් කඳුවල ඇත්තේය. ඒ රැස්වූ ජාතීන්ගේ රාජ්‍යවල කෝලාහල ඝෝෂාවය! සේනාවල [යෙහෝවා] සටනට සේනාව [එක් කරන්නේය].” (යෙසායා 13:3, 4) උඩඟු බබිලෝනියේ ඔද බිඳින්ට පත් කළ මේ “කැපවූවන්” කවුරුන්ද? “රැස්වූ ජාතීන්” නැතහොත් ජාතීන්ගේ සාමූහික හමුදාවක්. ඔවුන් බබිලෝනියට විරුද්ධව ඈත කඳුකරයෙන් බැස එනවා. “ඔව්හු මුළු දේශය වනසන්ට දුර දේශයකින් අහසේ කෙළවර සිට එති.” (යෙසායා 13:5) ඔවුන් කැපවූවන් වන්නේ කුමන අර්ථයෙන්ද? නිසැකවම මෙහිදී ඔවුන් ශුද්ධය යන අර්ථය දෙන්නේ නැහැ. ඔවුන් යෙහෝවාට සේවය කිරීමට කිසිම උවමනාවක් නැති මිථ්‍යාදෘෂ්ටික හමුදාවන්. කෙසේවෙතත්, හෙබ්‍රෙව් ලියවිල්ලේ “කැපවූ” යන්නෙන් අදහස් කරන්නේ “දෙවි විසින් පාවිච්චි කිරීමට වෙන් කළ” යන්නයි. මෙසේ ජාතීන්ගේ හමුදාවන් කැප කරන්ටත්, ඔවුන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් තමන්ගේ උදහස ප්‍රකාශ කිරීමට පාවිච්චි කරන්ටත් යෙහෝවාට හැකියි. ඔහු අෂූරිය ඒ ආකාරයට පාවිච්චි කළා. ඔහු බබිලෝනියත් ඒ ආකාරයටම පාවිච්චි කරාවි. (යෙසායා 10:5; යෙරෙමියා 25:9) ඒ වගේම, බබිලෝනියට දඬුවම් කිරීමට යෙහෝවා අනිකුත් ජාතීන්වද පාවිච්චි කරාවි.

4, 5. (අ) යෙහෝවා බබිලෝනිය ගැන පුරෝකථනය කරන්නේ කුමක්ද? (ආ) බබිලෝනිය ආක්‍රමණය කරන අයට කටයුතු කරන්න සිදු වන්නේ කුමක් සමඟද?

4 බබිලෝනිය තවමත් ප්‍රධාන ලෝක බලය නෙවෙයි. ඒ වුණත්, යෙසායා තුළින් ප්‍රකාශයක් කරමින් ඇය ලබන්ට යන තත්වයත් ඇගේ වැටීමත් පුරෝකථනය කරනවා. ඔහු මෙසේ කියනවා. “මොරගසා වැලපෙන්න; මක්නිසාද [යෙහෝවාගේ] දවස ළංව තිබේ; එය [සර්වපරාක්‍රමයා] විසින් එවන විනාශයක් [පැහැරගැනීමක්, NW] මෙන් පැමිණෙයි.” (යෙසායා 13:6) ඇත්තෙන්ම බබිලෝනියේ පාරට්ටුව ඛේදයෙන් පිරි මොරගැසීමකට හැරෙන්ට යනවා. ඒ ඇයි? ‘යෙහෝවාගේ දවස’ එනම් ඇයට විරුද්ධව යෙහෝවා විනිශ්චය ඉටු කරන දවස පැමිණෙන නිසයි.

5 කෙසේවෙතත්, බබිලෝනිය කොල්ලකෑමකට ලක් වෙන්නේ කෙසේද? මේ සඳහා යෙහෝවාගේ කාලය පැමිණෙන විටදී පවා එම නුවර සුරක්ෂිත බව පෙනෙන්ට තිබෙනවා. නුවර වැසියන් බීමට ජලය ලබාගන්නේ යුප්‍රටීස් ගඟෙන්. නුවර හරහා වැටී තිබෙන මේ ගඟෙන් නුවරේ ආරක්ෂාව සඳහා විශාල ගැඹුරු ඇළ මාර්ගයකට වතුර හරවා තිබෙනවා. ආක්‍රමණික හමුදාවන්ට මුලින්ම යුප්‍රටීස් ගඟෙන් සැපයුණු මේ ස්වාභාවික ආරක්ෂාව සමඟ පොරබදන්ට සිදු වෙනවා. තවදුරටත්, බැලූ බැල්මට අපරාජිතයයි පෙනෙන බබිලෝනියේ දැවැන්ත ද්විපවුරුද තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, නුවරෙහි ඇති තරම් ආහාරත් ගබඩා කර තිබෙනවා. දෛනික බයිබල් නිදර්ශන (ඉංග්‍රීසියෙන්) නම් පොත කියන්නේ, බබිලෝනියේ අවසාන රජු වූ නැබොනිඩස් “අවශ්‍ය දේවලින් නුවර පුරවන්ට නොගත් වෑයමක් නැහැ. නුවර වැසියන්ව අවුරුදු 20කට පෝෂණය කරන්ට ඇති තරම් [ආහාර] ද්‍රව්‍ය එහි තිබූ බව සැලකෙනවා” කියායි.

6. බබිලෝනිය සම්බන්ධයෙන් පුරෝකථනය කළ විනාශය සිදු වන විට අනපේක්ෂිත ලෙස කුමක් සිදු වේවිද?

6 කෙසේවෙතත්, පිටාතර පෙනුම රැවටිලිකාරයි. යෙසායා මෙසේ කියනවා. “එබැවින් සෑම අත් බෙලහීන වන්නේය, සියලු මනුෂ්‍යයන්ගේ සිත්ද දියවන්නේය. ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.” (යෙසායා 13:7, 8) ආක්‍රමණික හමුදා නුවර පරාජය කරද්දී, එම නුවර වැසියන්ගේ සැපපහසු ජීවිතය, විලිරුජාවෙන් පෙළෙන ස්ත්‍රියකගේ වේදනාව මෙන් තදබල අනපේක්ෂිත වේදනාවක් බවට හැරෙන්ට යනවා. ඔවුන්ගේ හෘද භයෙන් දිය වෙන්ට යනවා. අධික කැලඹීම හේතුවෙන් ආරක්ෂාව සඳහා ආයුධ ගැනීමට නොහැකි වූ අත් කඩා වැටෙන්ට යනවා. ඔවුන්ගේ මුහුණු අධික ත්‍රාසයෙන් සහ සන්තාපයෙන් රතු වී “ගිනිදළු” මෙන් වෙන්ට යනවා. පුදුමයෙන් පුදුමයට පත් වන ඔවුන්, ඔවුන්ගේ මහත් නුවර වැටුණේ කොහොමද කියා සිතමින් එකිනෙකාගේ මුහුණු දෙස බලන්ට යනවා.

7. පැමිණෙන ‘යෙහෝවාගේ දවස’ කුමක්ද? එමෙන්ම බබිලෝනියට සිදු වන්නේ කුමක්ද?

7 ඒ කෙසේවෙතත්, බබිලෝනිය වැටෙනවාමයි. එය ‘යෙහෝවාගේ දවසකට’ එනම් ගණන් දීමේ දවසකට මුහුණ දීමට නියමිතයි. එය ඇත්තෙන්ම වේදනාසහගතයි. ශ්‍රේෂ්ඨ විනිශ්චයකරුවා බබිලෝනියේ සිටින පව්කාර වැසියන්ට විරුද්ධව ඔහුගේ උදහස ප්‍රකාශ කර වරදට සුදුසු විනිශ්චයක් ලබා දේවි. අනාවැකිය මෙසේ කියනවා. “බලව, දේශය පාළුකර එහි සිටින පව්කාරයන් එයින් නැතිකර දමන පිණිස [යෙහෝවාගේ] දවස රෞද්‍රව, කෝපය හා බලවත් උදහස ඇතුව එන්නේය.” (යෙසායා 13:9) බබිලෝනියේ අනාගතය අඳුරුයි. එය හරියට ඉර, හඳ සහ තාරකා එළිය දීම නවත්වනවා හා සමානයි. “මක්නිසාද අහසේ තාරකාද ග්‍රහ පංක්තිද ඒවායේ එළිය නොදෙන්නෝය. ඉර ස්වකීය ගමනේදී අඳුරුවන්නේය, සඳද තමාගේ එළිය බැබළෙන්ට නොදෙන්නේය.”—යෙසායා 13:10.

8. යෙහෝවා බබිලෝනිය විනාශ කරන්ට අණ කරන්නේ මන්ද?

8 මේ උඩඟු නුවරට මෙතරම් දරුණු ඉරණමක් අත් වන්නේ මන්ද? යෙහෝවා මේ ගැන කියන දේ බලන්න. “මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම නිසාත් දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම නිසාත් දඬුවම්කරන්නෙමි; උඩඟු අයගේ [ගාම්භීර අයගේ, NW] අහංකාරය නවත්වා, බලාත්කාරකරන්නන්ගේ ආඩම්බරය [ඒකාධිපතීන්ගේ උඩඟුකම, NW] පහත්කරන්නෙමි.” (යෙසායා 13:11) යෙහෝවාගේ උදහසේ අරමුණ නම් බබිලෝනියෙන් දෙවිගේ සෙනඟ ලද කෲර වද හිංසාවලට දඬුවම් දීමයි. බබිලෝනියේ වැසියන්ගේ දුෂ්ටකම හේතුවෙන් මුළු දේශයම දුක් විඳින්ට යනවා. බබිලෝනියේ අහංකාර ඒකාධිපතීන් තවදුරටත් යෙහෝවාව ප්‍රසිද්ධියේ අගෞරවයට පත් කරන්ට යන්නේ නැහැ!

9. යෙහෝවාගේ විනිශ්චය දවසේදී බබිලෝනියට සිදු වන්නේ කුමක්ද?

9 යෙහෝවා මෙසේ කියනවා. “මම මනුෂ්‍යයෙකු අමිශ්‍ර රනට වඩා එනම් ඕපීර්හි පවිත්‍ර රත්රන්වලට වඩා දුර්ලභවන්ට සලස්වන්නෙමි.” (යෙසායා 13:12) ඔව්, නුවර ජනශුන්‍ය පාළු ඉඩමක් වෙන්ට නියමිතයි. යෙහෝවා තවදුරටත් මෙසේ කියනවා. “එබැවින් සේනාවල [යෙහෝවාගේ] කෝපයේදීද [ඔහුගේ] තද උදහස් දවසේදීද මම අහස චංචලකරන්නෙමි, පොළොවද එහි ස්ථානයෙන් සෙලවී පහවයන්නේය.” (යෙසායා 13:13) බබිලෝනියේ “අහස” එනම් ඇගේ බොහෝ දෙවි දේවතාවුන්, අවශ්‍යතාවේදී නුවරේ පිහිටට සිටින්ට බැරිවීම නිසා අසීරුතාවට පත් වෙන්ට යනවා. එහි “පොළොව” එනම් බබිලෝනීය අධිරාජ්‍යය තිබූ තැනින් ඉදිරී ගොස් මතකෙන් ගිලිහුණු තවත් මළ අධිරාජ්‍යයක් සේ ඉතිහාසයට එක් වෙන්ට යනවා. “එවිට එළවනලද තිත් මුවෙකු මෙන්ද කවුරුවත් එක්කර නොගන්නාවූ බැටළුවන් මෙන්ද ඔවුන් එකිනෙකා තම තමාගේ සෙනග වෙතට හැරී, තම තමාගේ දේශයට පලායනවා ඇත.” (යෙසායා 13:14) බබිලෝනියට මෙතෙක් සහයෝගය දුන් සියලුම විදේශීන් ඇයව අත්හැර පලා ගොස්, විජයග්‍රාහී ලෝක බලවතා සමඟ නව සබඳතා ඇති කරගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා. බබිලෝනියේ තේජස පැතිර තිබූ සමයේදී එය අන් බොහෝදෙනෙකුට දුන් දරුණු වද හිංසා, එනම් පරාජිත නුවරක් අද්දකින දැඩි වේදනාව එයටත් අවසානයේදී විඳින්ට සිදු වෙනවා. “සම්බවෙන එකිනෙකා ඇනුම් කනවා ඇත; අසුවෙන එකිනෙකා කඩුවෙන් වැටෙනවා ඇත. ඔවුන්ගේ ළදරුවෝද ඔවුන්ගේ ඇස් ඉදිරියේදී බිම ගසා මරනු ලබන්නෝය; ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේය, ඔවුන්ගේ භාර්යාවෝ අවමන්කරනු ලබන්නෝය.”—යෙසායා 13:15, 16.

විනාශය සඳහා දෙවිගේ අතකොළුව

10. බබිලෝනිය පරාජය කිරීමට යෙහෝවා පාවිච්චි කරන්ට යන්නේ කාවද?

10 බබිලෝනිය පරාජය කිරීමට යෙහෝවා පාවිච්චි කරන්ට යන බලවේගය කුමක්ද? එසේ වීමට අවුරුදු 200කට පමණ කලින් යෙහෝවා ඊට උත්තරය දෙනවා. “බලව, මම මේදවරුන් ඔවුන්ට විරුද්ධව පොළඹවන්නෙමි. ඔවුන් රිදී සලකන්නේවත් රනට ප්‍රියවෙන්නේවත් නැත. ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලිකරන්නෝය; ඔව්හු ගර්භයේ ඵලයට අනුකම්පා නොකරන්නෝය; ඔවුන්ගේ ඇස දරුවන්ට කරුණා නොකරන්නේය. මෙසේ රාජ්‍යවල අලංකාරයද කල්දිවරුන්ගේ උඩඟුකමේ තේජසද වූ බබිලෝනිය [දෙවි] විසින් නාස්තිකළ සොදොමටද ගොමොරාවටද සමානවන්නේය.” (යෙසායා 13:17-19) තේජවත් බබිලෝනිය වැටෙන්ට නියමිතයි. මේ සඳහා යෙහෝවාගේ අතකොළුව වන්නේ දුරස්තරයේ සිට පැමිණෙන කඳුකර රටක් වූ මේදියාවයි. * අවසානයේදී, බබිලෝනිය දුරාචාරයේ දැඩිව නියැලුණු නගර වූ සොදොම් සහ ගොමොරාව මෙන් පාළුවීමට නියමිතයි.—උත්පත්ති 13:13; 19:13, 24.

11, 12. (අ) මේදියාව ලෝක බලයක් බවට පත් වූයේ කෙසේද? (ආ) අනාවැකිය තුළ සඳහන් ආකාරයට මේදියාවේ හමුදාව සතු අසාමාන්‍ය ගති ලක්ෂණය කුමක්ද?

11 යෙසායාගේ දවසේදී, මේදියාව සහ බබිලෝනිය සිටියේ අෂූරියේ වහල්භාවයේයි. සියවසකට පමණ පසුව, පො.යු.පෙ. 632දී මේදියාව සහ බබිලෝනිය මිත්‍ර සන්ධානයකට එළඹී අෂූරියේ අගනුවර වන නිනිවය පරාජය කළා. ප්‍රධානතම ලෝක බලය බවට පත්වීම සඳහා බබිලෝනියට මෙමගින් මඟ විවර වුණා. එතැන් සිට අවුරුදු 100ක් පමණ ගිය තැන මේදියාව විසින් ඇයව විනාශ කරන බව ඇය දැන සිටියේ නැහැ! එවැනි අනාවැකියක් අභීතව ප්‍රකාශ කළ හැක්කේ යෙහෝවා දෙවිට හැර වෙන කාටද?

12 විනාශ කිරීම සඳහා පාවිච්චි කරන්ට තෝරාගත් අතකොළුව වන මේදියාවේ හමුදාව හඳුන්වා දෙමින් ඔවුන් “රිදී සලකන්නේවත් රනට ප්‍රියවෙන්නේවත් නැත” කියා යෙහෝවා පවසනවා. එය යුද්ධයට කැප වුණු හේවායන් අතර පවතින පුරුද්දක් නෙවෙයි! බයිබල් විශාරද ඇල්බට් බාන්ස් මෙසේ කියනවා. “ඇත්තෙන්ම, කොල්ලයක් බලාපොරොත්තුවෙන් යුද්ධ නොකළාවූ ආක්‍රමණික හමුදා සිටියේ නැති තරම්.” මේ සම්බන්ධයෙන් යෙහෝවා සැබෑ බව මේදීය හමුදා ඔප්පු කළාද? ඔව්. ද බයිබල්-වර්ක් නමැති පොත සකස් කළ ජේ. ග්ලෙන්ට්වර්ත් බට්ලර්ගේ අදහස සලකා බලන්න. “යුද්ධ කළ වෙනත් බොහෝ ජාතීන් මෙන් නොව මේදීයයන් සහ විශේෂයෙන්ම පර්සියානුවන් රත්තරන් ඒ තරම් වටිනා දෙයක් ලෙස සැලකුවේ නැහැ. ඔවුන්ට වඩා වැඩියෙන් වැදගත් වුණේ ජයග්‍රහණයයි, රාජකීය තේජශ්‍රීයයි.” * එසේ කල්පනා කර බලද්දී, ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වී යන විට නෙබුකද්නෙශර් යෙරුසලමේ දේවමාළිගාවෙන් කොල්ල කාගෙන තිබූ රන්, රිදී භාජන දහස් ගණනක් නැවත ගෙනයෑමට පර්සියානු පාලකයා වූ කෝරෙෂ් විසින් ඉඩ දීම පුදුමයක් නෙවෙයි.—එස්රා 1:7-11.

13, 14. (අ) කොල්ලය ගැන එතරම් තැකීමක් නැති වුණත්, මේදීය සහ පර්සියානු හේවායන් අභිලාෂකාමී වන්නේ කුමකටද? (ආ) බබිලෝනිය උදම් ඇණූ ආරක්ෂක වළලු කෝරෙෂ් විසින් පරාජය කරන්නේ කෙසේද?

13 මේදීය සහ පර්සියානු හේවායන් යුධ කොල්ලයන් සඳහා එතරම් ප්‍රිය නොකළත් ඔවුන් අභිලාෂකාමීන්. තවත් ජාතියකට දෙවෙනි වීමට ඔවුන් කොහෙත්ම කැමති නැහැ. ඊට අමතරව, යෙහෝවා ඔවුන්ගේ සිත් තුළට “පැහැරගැනීම් කිරීමට” අදහසක් ඇතුල් කරන්ට යනවා. (යෙසායා 13:6, NW) එමනිසා, ඊතල විදීමට පමණක් නොව සතුරු හේවායන්ව සුනු විසුනු කිරීමට හැකි ඔවුන්ගේ ශක්තිමත් දුනුවලින් මුළු බබිලෝනියම පරාජය කිරීමට ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටිනවා.

14 බබිලෝනියේ බලකොටු ඉදිරියේ මේද-පර්සියානු හමුදා නායක කෝරෙෂ් නොසැලී සිටිනවා. පොදු යුගයට පෙර 539 ඔක්තෝබර් 5/6 දින රාත්‍රියේදී යුප්‍රටීස් ගඟේ ජලකඳ වෙනත් තැනකට හරවන්ට ඔහු අණ කරනවා. ජල මට්ටම පහළ බසිනවාත් සමඟම කළවා මට්ටමට වතුර ඇති ගං පතුළ හරහා ආක්‍රමණිකයන් හොර රහසේම නුවරට ඇතුල් වෙනවා. බබිලෝනියේ වැසියන් දන්නේම නැතුව බබිලෝනිය ආක්‍රමණය කර තිබෙනවා. (දානියෙල් 5:30) මේ අනාගත සිද්ධීන් ප්‍රකාශ කිරීමට යෙහෝවා දෙවි යෙසායාට ආනුභාවය දෙනවා. එසේ සිදුවීමට යෙහෝවාම මඟ පෙන්වන බවට කිසිම සැකයක් නැහැ.

15. බබිලෝනියේ අනාගතය කුමනාකාරද?

15 බබිලෝනියේ විනාශය කොතරම් දුරට සාර්ථක වෙයිද? යෙහෝවා කියන දේ හොඳින් අහගන්න. “එහි කවදාවත් වැසියෙක් නොවන්නේය, පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය. අරාබියයා එහි තමාගේ කූඩාරම තබාගන්නේවත් එඬේරු තමුන්ගේ බැටළුවන් එහි ලග්ගවන්නේවත් නැත. වන මෘගයන් එහි ලගිනවා ඇත; ඔවුන්ගේ ගෙවල් විලාප හඬදෙන සතුන්ගෙන් පිරෙනවා ඇත; පැස්බරුන් එහි වසනවා ඇත. වල් එළුවන්ද එහි නටනවා ඇත. වෘකයන් ඔවුන්ගේ මාළිගාවලත් සිවලුන් ඔවුන්ගේ සැප මාළිගාවලත් කෑගසනවා ඇත. ඇගේ කාලය පැමිණෙන්ට ළඟය, ඇගේ දවස් ප්‍රමාද නොවන්නේය.” (යෙසායා 13:20-22) සම්පූර්ණයෙන්ම පාළුවට යෑම නුවරේ ඉරණමයි.

16. ඉපැරණි බබිලෝනියේ වර්තමාන තත්වය අපට ගෙන දෙන නිසැකභාවය කුමක්ද?

16 මෙය පො.යු.පෙ. 539 උදාවීමත් සමඟම සිදු වූයේ නැහැ. එහෙත් බබිලෝනිය ගැන යෙසායා කී සෑම දෙයක්ම ඉටු වී ඇති බව අද අපිට දකින්ට තිබෙනවා. එක් බයිබල් විචාරකයෙකුට අනුව දැන් බබිලෝනියේ දකින්ට තිබෙන්නේ “සියවස් ගණනාවක් පුරා පාළුවට ගිය නටබුන් ගොඩක්.” ඔහු ඉන්පසුව කියන්නේ, “මේ නටබුන් දෙස බලනකොට යෙසායා සහ යෙරෙමියා පුරෝකථනය කර තිබූ අනාවැකි තිතටම ඉටු වී තිබෙන බව අමතක කර දමන්ට අපිට බැහැ” කියායි. බබිලෝනියේ වැටීම හෝ ඒ සමඟම එය පාළුවට යෑම පුරෝකථනය කරන්ට යෙසායාගේ දවසේ සිටි කිසිම මිනිසෙකුට හැකි වූයේ නැහැ. එපමණක් නොව මේද පර්සියාව මගින් බබිලෝනිය පරාජය කළේ යෙසායා එම පොත ලියා අවුරුදු 200කට පමණ පසුවයි! එමෙන්ම බබිලෝනියේ අවසාන පාළු කිරීම සිදු වූයේ ඊට සියවස් ගණනාවකට පසුවයි. බයිබලය දෙවිගේ ආනුභාවය ලද වචනය බවට ඇති අපගේ විශ්වාසය මෙමගින් වැඩි වන්නේ නැද්ද? (2 තිමෝති 3:16) තවදුරටත්, යෙහෝවා අතීතයේදී අනාවැකි ඉටු කර ඇති නිසා තවමත් ඉටු වී නැති අනාවැකි දෙවි නියම කර ඇති කාලයේදී ඉටු වන බවට නොසැලෙන විශ්වාසයක් තබාගන්ටත් එය අපිට උපකාර කරනවා.

‘ඔබේ දුකෙන් නිදහස’

17, 18. බබිලෝනියේ වැටීම මඟ පාදන්නේ ඉශ්‍රායෙල්හි කුමන ආශීර්වාදවලටද?

17 බබිලෝනියේ වැටීම ඉශ්‍රායෙල් ජාතියට සහනයක්. එය ඔවුන්ට වහල්භාවයෙන් නිදහසත්, පොරොන්දු දේශයට නැවත යෑමට ප්‍රස්තාවත් ලබා දෙනවා. ඒ නිසා යෙසායා දැන් මෙසේ කියනවා. “[යෙහෝවා] යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් [පිහිටුවන්නේය]. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය. ජාතීහු ඔවුන් කැඳවාගන ඔවුන්ගේ ස්ථානයට ඔවුන් ගෙනෙන්නෝය. ඉශ්‍රායෙල් වංශයද [යෙහෝවාගේ] දේශයේදී ඔවුන් දාසයන්ද දාසීන්ද කොට උරුමකරගන්නෝය. ඔව්හු තමුන්ව වාලට ගත් අය වාලට ගෙන, තමුන්ගේ පීඩාකාරයන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.” (යෙසායා 14:1, 2) මෙහි “යාකොබ්” කියා යොමු දක්වන්නේ සමස්තයක් හැටියට ඉශ්‍රායෙල්හි ගෝත්‍ර 12ටමයි. ජාතියට නැවත මව්බිම කරා පැමිණීමට සැලැස්වීමෙන් යෙහෝවා දයාව පෙන්වන්ට යනවා. දහස් ගණන් විදේශීන් ඔවුන් සමඟ පැමිණෙන්ට යන අතර ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දේවමාළිගාවේ සේවකයන් ලෙස ඉශ්‍රායෙල්වරුන්ට සේවය කරන්ට යනවා. සමහර ඉශ්‍රායෙල්වරුන් තමන්ව යටත් කරගෙන සිටි අයව, තමන් යටතට ගන්නවා. *

18 වහල් ජීවිතයේ සන්තාපයන් තවත් නැහැ. ඒ වෙනුවට ‘ඔවුන්ගේ දුකෙනුත් ඔවුන්ගේ කැලඹීමෙනුත් ඔවුන් ලවා කෙරෙවු බර වැඩෙනුත් යෙහෝවා ඔවුන්ට නිදහස’ දෙන්ට යනවා. (යෙසායා 14:3) ඉශ්‍රායෙල්වරුන් වහල්භාවයෙන් මිදී සිටින නිසා බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නන් අතරේ ජීවත් වෙද්දී විඳි වේදනාව හෝ කැලඹීම ඔවුන් තවදුරටත් අද්දකින්ට යන්නේ නැහැ. (එස්රා 3:1; යෙසායා 32:18) මේ ගැන අදහස් දක්වමින් බයිබලයේ සඳහන් දේශ සහ ජනයා (ඉංග්‍රීසියෙන්) නමැති පොත මෙසේ කියනවා. “බබිලෝනියේ වැසියන්ට පෞද්ගලිකව තිබුණ අඩුපාඩුකම් ඔවුන්ගේ දෙවිවරුන්ටත් තිබුණා. ඒ මිනිසුන් තුළ තිබූ බියගුලුකම, බේබදුකම සහ මන්දබුද්ධිකත්වය වැනි නරකම තත්වයනුත් දෙවිවරුන් සතු වුණා.” එවැනි පහත් ආගමික වාතාවරණයකින් බේරීමට ලැබීම මොනතරම් සහනයක්ද!

19. යෙහෝවාගේ සමාව ලබන්ට ඉශ්‍රායෙල්වරුන් කුමක් කළ යුතුද? එමෙන්ම, මෙයින් අපි ඉගෙනගන්නේ කුමක්ද?

19 ඒ කෙසේවෙතත්, යෙහෝවාගේ දයාව කොන්දේසි නැති එකක් නෙවෙයි. ඔහුගේ සෙනඟට දැඩි ලෙස දඬුවම් පමුණුවන්ට පෙලඹවූ ඔවුන්ගේ දුෂ්ටකම සම්බන්ධයෙන් ඔවුන් දුක ප්‍රකාශ කළ යුතුයි. (යෙරෙමියා 3:25) යෙහෝවාගේ සමාව ලබාගත හැක්කේ හෘදයාංගම පාපෝච්චාරණයෙන් පමණයි. (නෙහෙමියා 9:6-37; දානියෙල් 9:5 බලන්න.) එම ප්‍රතිපත්තිය අදටත් අදාළයි. ‘පව් නොකරන කෙනෙක් නැති’ නිසා අපි සියලුදෙනාටම යෙහෝවාගේ දයාව අවශ්‍යයි. (2 ලේකම් 6:36) තමන් ඉදිරියේ පාපෝච්චාරණය කරන්ට කියාත්, පසුතැවිලි වෙන්ට කියාත්, අපේම ආත්මික සුවය සඳහා වැරදි ක්‍රියා පිළිවෙත නවතන්ට කියාත් දයාන්විත දෙවි වන යෙහෝවා අපෙන් ප්‍රේමනීය ලෙස ඉල්ලා සිටිනවා. (ද්විතීය කථාව 4:31; යෙසායා 1:18; යාකොබ් 5:16) එය අපට දෙවිගේ අනුමැතිය ලබා දෙනවා පමණක් නොව සහනයද ගෙනෙනවා.—ගීතාවලිය 51:1; හිතෝපදේශ 28:13; 2 කොරින්ති 2:7.

බබිලෝනියට විරුද්ධව ‘උපමාවක්’

20, 21. බබිලෝනියේ වැටීම ගැන අවට සිටි ජාතීන් ප්‍රීති වන්නේ කෙසේද?

20 ප්‍රධාන ලෝක බලයක් ලෙස බබිලෝනියේ නැඟීමට අවුරුදු 100කට පමණ පෙර ඇගේ වැටීම ගැන ලෝකය දක්වන්ට යන ආකල්පය සම්බන්ධයෙන් යෙසායා පුරෝකථනය කරනවා. එවිට බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස ලද ඉශ්‍රායෙල්වරුන්ට ඔහු අනාවැකිමය ආකාරයකින් මෙසේ ආඥා කරනවා. “නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි! ජනයන්ට නිරන්තර පහරකින් කෝපයෙන් ගැසුවාවූද, කිසිවෙකු විසින් නොවැලැක්වූ පීඩාවකින් උදහසින් ජාතීන් ආණ්ඩුකළාවූද දුෂ්ටයන්ගේ මුගුරත් ආණ්ඩුකාරයන්ගේ යෂ්ටියත් [යෙහෝවා] බිඳ [දැමුවේය].” (යෙසායා 14:4-6) බබිලෝනිය ජයග්‍රාහකයෙකු ලෙසත්, නිදහස් නිවහල් ජනයාව වහල්භාවය කරා ගෙන යන්නෙකු ලෙසත් නමක් ඇති කරගෙන සිටියා. බබිලෝනියේ රාජ වංශය මහත් ලෝක බලයක් බවට පත් කළේ නෙබුකද්නෙශර් විසින්. එම තේජස නැබොනිඩස් හා බේල්ෂශර්ගේ පාලනය දක්වා පැවතුණා. ඒ සියල්ල සුන් වන මොහොතේදී කලින් තිබූ මහිමාන්විත තත්වය තුළ රජකම් කළ අයව මතක් කරමින් ‘උපමාවක්’ පිළියෙළ කිරීම ඉතාම යෝග්‍යයි!

21 ඇගේ වැටීම මොනතරම් වෙනසක් ඇති කරාවිද! “මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොරගසති. එසේය, දේවදාර ගස්ද ලෙබනොන්හි කිහිරි ගස්ද කථාකොට: නුඹ හෙළනු ලැබූ තැන් පටන් අප කපාදමන්ට කිසිවෙක් නැගී නායේයයි කියමින් නුඹ ගැන ප්‍රීතිවන්නෝය.” (යෙසායා 14:7-8) බබිලෝනිය අවට සිටි ජාතීන්ගේ රජවරුන් හරියට බබිලෝනියේ පාලකයන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා කපා දමන ගස් මෙන් වුණා. දැන් ඉතින් ඒ ඔක්කොම ඉවරයි. බබිලෝනියේ දර කපන්නාට තවත් ගස් කපා හෙළන්ට පුළුවන්කමක් නැහැ!

22. කාව්‍යමය ආකාරයකින්, බබිලෝනියේ රාජ වංශයේ වැටීම ෂෙයෝලයට බලපාන්නේ කෙසේද?

22 බබිලෝනියේ වැටීම ඒ තරම්ම මවිතාකාර නිසා මිනී වළවල් පවා මෙසේ කෑ ගසනවා. “යට තිබෙන පාතාලය [ෂෙයෝලය, NW] නුඹේ ඊමේදී පෙරමගට එන්ට නුඹ නිසා චංචලවේ; එම මළවුන්, එනම් පොළොවේ සියලු ප්‍රධානීන්, නුඹ නිසා පුබුදුවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටෙවුවේය. ඔවුන් සියල්ලෝ නුඹට කථාකොට: නුඹත් අප මෙන් බෙලහීනවූයෙහිද? නුඹ අප හා සමානවූයෙහිදැයි කියන්නෝය. නුඹේ ඓශ්වර්යයද නුඹේ වීණාවල ශබ්දයද පාතාලයට [ෂෙයෝලය, NW] බැසආවේය, නුඹ යට ඇතිරී ඇත්තේ පණුවාය, නුඹ වසාගන්නෙත් පණුවෝය.” (යෙසායා 14:9-11) මොනතරම් ප්‍රබල කාව්‍යමය පින්තූරයක්ද! එය හරියට අලුත පැමිණෙන රජට ශුභ පැතීමට මිනිසාගේ පොදු මිනීවළ විසින් බබිලෝනියේ රාජ වංශයේ කලින් සිටි රජවරුන්ව පුබුදුවනවා හා සමානයි. ඔවුන් බබිලෝනියේ පාලකයන්ට සමච්චල් කරනවා. එම පාලකයන් කිසිවක් කර කියාගත නොහැකිව අන්ත අසරණ වෙලා. ඔවුන් වටිනා ඇඳවල් උඩ නිදාගන්නවා වෙනුවට ඉහඳ පණුවන් සමඟ නිදාගෙන. අනර්ඝ සළුවලින් පොරවාගෙන සිටිනවා වෙනුවට ඔවුන්ව පණුවන් වෙළාගෙන.

“පයින් පාගාදැමූ මළකඳක් මෙන්”

23, 24. බබිලෝනියේ රජවරුන් විසින් පෙන්වූ සීමාව ඉක්මවා ගිය උඩඟුකම කොයි ආකාරද?

23 යෙසායා උපමාව දිගටම කියාගෙන යනවා. “දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!” (යෙසායා 14:12) අවට සිටින්නන්ට ඉහළින් වැජඹෙන්ට බබිලෝනියේ රජවරුන්ව පෙලඹුවේ ඔවුන්ගේ ආත්මාර්ථකාමී අහංකාරයයි. අලුයම් අහසේ දිදුලන තරු මෙන් බලයෙන් සහ අධිකාරයෙන් ඔවුන්ගේ ඔළුව ඉදිමී තිබුණා. අෂූරියට කරන්ට බැරි වූ දෙයක් වන යෙරුසලම අල්ලාගැනීම ගැන නෙබුකද්නෙශර් අමුතු උද්දාමයකට පත්ව සිටියා. උපමාව උඩඟු බබිලෝනියේ රාජ වංශය මෙසේ සංකේතවත් කරනවා. “නුඹ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය [දෙවිගේ] තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි. මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; [මහෝත්තමයාට] සමානවන්නෙමියි කීයෙහිය.” (යෙසායා 14:13, 14) සීමාව ඉක්මවා ගියා හොඳටම ඇති!

24 දාවිත්ගේ රාජකීය පෙළපතේ රජවරුන්ව බයිබලය සමාන කරන්නේ තාරකාවලටයි. (ගණන් කථාව 24:17) දාවිත්ගේ කාලයේ පටන් එම “තාරකා” සියොන් කන්දේ සිට පාලනය කළා. සාලමොන් යෙරුසලමේ දේවමාළිගාව සෑදුවායින් පසුව මුළු නගරයම සියොන් යන නමෙන් හැඳින්වුවා. ව්‍යවස්ථා ගිවිසුම යටතේ ඉශ්‍රායෙල් ජාතියට අයත් සියලුම පිරිමින්ට අවුරුද්දට තුන් වතාවක් සියොන් වෙත ගමන් කරන්ට අණ කර තිබුණා. මෙසේ එය “රැස්වීමේ කන්ද” බවට පත් වී තිබුණා. යුදයේ රජවරුන්ව පරාජය කර, ඔවුන්ව කන්දෙන් පන්නා දැමීමට අධිෂ්ඨාන කරගෙන සිටින නෙබුකද්නෙශර් එම “තාරකාවලට” ඉහළින් යන්ට අභිප්‍රාය කරගෙන සිටිනවා. ඔහුගේ ජයග්‍රහණය සඳහා ඔහු යෙහෝවාට ප්‍රශංසාව දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු උඩඟු ලෙස යෙහෝවාගේ තැන ගැනීමට උත්සාහ කරනවා.

25, 26. බබිලෝනියේ රාජ වංශය නින්දාසහගත අවසානයකට පැමිණියේ කෙසේද?

25 බබිලෝනියේ උඩඟු රාජ වංශයට උරුම වෙන්ට යන්නේ මොනතරම් අවාසනාවන්ත ඉරණමක්ද! බබිලෝනියට දෙවිගේ තාරකාවන්ට ඉහළින් යන්ට කොහෙත්ම බැහැ. ඒ වෙනුවට යෙහෝවා මෙසේ කියනවා. “නුඹ පාතාලය [ෂෙයෝලය, NW] නම් වළේ ගැඹුරටම බසිනවා ඇත. නුඹ දකින්නෝ නුඹ දෙස ඕනෑකමින් බලමින් කල්පනාකොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ, ලෝකය කාන්තාරයක් මෙන් කළාවූ, එහි නුවරවල් නාස්තිකළාවූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරියාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය.” (යෙසායා 14:15-17) හැම මිනිසෙකුටම සිදු වෙනවා වගේ අභිලාෂකාමී රාජ වංශයත් හේදීසයට (ෂෙයෝලයට) යනවා.

26 එසේනම්, රාජ්‍යයන් යටත් කළාවූ, සාරවත් දේශ විනාශ කළාවූ නගර රාශියක් බිඳ දැමුවාවූ ඒ බලයට මොකද වුණේ? මිනිසුන් වහලුන් කර ඔවුන්ට යළි තම මව්බිම කරා යන්ට නොදී තබාගත් ලෝක බලය දැන් කොහේද? ඇත්තවශයෙන්ම, බබිලෝනියේ රාජ වංශයට ගෞරවාන්විත භූමදානයක්වත් ලැබුණේ නැහැ! යෙහෝවා මෙසේ කියනවා. “ජාතීන්ගේ රජවරු සියල්ලෝම ගෞරවය ඇතුව එකිනෙකා තම තමාගේ ගෘහයෙහි සැතපී හිඳිති. නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන්ද, කඩුවෙන් ඇන මැරුම්කා වළේ ගල්වලට බසින්නන්ගේ වස්ත්‍ර මෙන්ද, පයින් පාගාදැමූ මළකඳක් මෙන්ද නුඹේ සොහොන්ගෙයින් පිටත වීසිකරනු ලබන්නෙහිය. නුඹ නුඹේ දේශය නාස්තිකොට, නුඹේ සෙනග මරාදැමූ බැවින්, ඔවුන් සමග වළලනු නොලබන්නෙහිය; නපුර කරන්නන්ගේ වංශය කවදාවත් සඳහන්කරනු නොලබන්නේය. (යෙසායා 14:18-20) පුරාණ ලෝකයේ රජෙකුට ගෞරවාන්විත භූමදානයක් නොලැබුණොත් එය නින්දාවක් ලෙස සැලකුවා. එසේනම්, බබිලෝනියේ රාජකීය වංශයට සිදු වුණේ කුමක්ද? තනි තනිවම ගනිද්දී එම රජවරුන්ව ගෞරවාන්විත ආකාරයට භූමදාන කළ බව ඇත්තක් වුණත්, අවසානයේදී නෙබුකද්නෙශර් රජුගෙන් පැවත එන රාජකීය වංශය “පිළිකුල් අත්තක්” මෙන් ඉවතලනු ලැබුවා. රාජ වංශය හරියට යුද්ධයෙන් මැරී වැටුණු පාබල සෙබළෙකුව වළ දමනවා හා සමාන තත්වයකට පත් වෙලා. මොනතරම් නින්දාවක්ද!

27. තම ආදි පියවරුන්ගේ අපරාධ නිසා බබිලෝනියේ සිටින්ට යන අනාගත පරම්පරාවට සිදු වන්නේ කුමක්ද?

27 උපමාව නිම වෙන්නේ ඉදිරියේදී ජයගැනීමට යන මේද පර්සියානුවන්ට අවසාන උපදෙස් කිහිපයක් දෙමිනුයි. “ඔහුගේ පුත්‍රයන් නැගිට, දේශය හිමිකරගෙන, පොළෝතලය නුවරවලින් නොපුරවන පිණිස, ඔවුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසා ඔවුන් මරන්ට සෑදී සිටින්න.” (යෙසායා 14:21) බබිලෝනිය නැවත කිසිදා නොනැඟිටියි. බබිලෝනියේ රාජ වංශය මුලිනුපුටා දමනවා. ඊට නවෝදයක් ඇති වන්ට යන්නේ නැහැ. බබිලෝනියේ වසන්ට යන අනාගත පරම්පරාව “ඔවුන්ගේ පියවරුන්ගේ අපරාධ” නිසා දුක් විඳින්ට යනවා.

28. බබිලෝනියේ රජවරුන්ගේ පාපයට මුල් වූයේ කුමක්ද? එමෙන්ම අපි එයින් ඉගෙනගන්නේ කුමක්ද?

28 බබිලෝනියේ රාජ වංශය වෙත ගෙනා විනිශ්චය අපිට වටිනා පාඩමක් උගන්වනවා. බබිලෝනියේ රජවරුන්ගේ පාපයට මුල් වූයේ ඔවුන්ගේ නිමක් නැති අභිලාෂකාමිත්වයයි. (දානියෙල් 5:23) ඔවුන්ගේ හදවත් බල තණ්හාවෙන් පිරී තිබුණා. ඔවුන්ට උවමනා කළේ අනිත් අයව පාලනය කිරීමටයි. (යෙසායා 47:5, 6) දෙවිට අයිති විය යුතු නමුත් මිනිසුන්ගෙන් ලැබෙන ප්‍රශංසාවට ඔවුන් මහත් සේ ආශා කළා. (එළිදරව් 4:11) අධිකාරය දරන ඕනෑම කෙනෙකුට, එනම් ක්‍රිස්තියානි සභාව තුළ වගකීම් දරන කෙනෙකුට වුණත් මෙය හොඳ අනතුරු ඇඟවීමක්. පුද්ගලයෙකු තුළ හෝ ජාතියක් තුළ හෝ වේවා, අභිලාෂකාමිත්වය සහ ආත්මාර්ථකාමී අහංකාරය යෙහෝවා නොඉවසන ගුණාංග දෙකක්.

29. බබිලෝනියේ පාලකයන්ගේ උඩඟුකමෙන් සහ අභිලාෂකාමිත්වයෙන් පිළිබිඹු කරන්නේ කාවද?

29 බබිලෝනියේ පාලකයන්ගේ උඩඟුකම “මේ ලෝකයේ දෙවියා” වන සාතන් නමැති යක්ෂයාගේ ආත්මය පිළිබිඹු කිරීමක් වුණා. (2 කොරින්ති 4:4) ඔහුත් බලයට කෑදරයි. යෙහෝවා දෙවිට ඉහළින් වැජඹෙන්ට ඔහු තුළ මහත් ආශාවක් තිබෙනවා. බබිලෝනියේ රජු ඔහු යටත් කරගත් අයට කනස්සල්ලත් දුක් වේදනාත් ගෙනාවා හා සමානව, සාතන්ගේ දුෂ්ට අභිලාෂකාමිත්වය සියලු මනුෂ්‍යවර්ගයා මත ඒ තත්වයම ගෙනැවිත් තිබෙනවා.

30. බයිබලයේ සඳහන් අනිත් බබිලෝනිය කුමක්ද? එමෙන්ම ඇය පෙන්වා තිබෙන ස්වභාවය කුමක්ද?

30 තවදුරටත්, එළිදරව් පොතේ වෙනත් බබිලෝනියක් එනම් “මහා බබිලෝනිය” ගැන කියවන්ට තිබෙනවා. (එළිදරව් 18:2) මේ සංවිධානය එනම් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය උඩඟු, පීඩාකාරි සහ කෲර ස්වභාවයක් පෙන්වා තිබෙනවා. ප්‍රතිඵලයක් හැටියට, ඇයටද ‘යෙහෝවාගේ දවසකට’ මුහුණ දීමට සිදු වන අතර, දෙවිගේ නියමිත දවසේදී ඇයව විනාශ කරන්ට යනවා. (යෙසායා 13:6) වර්ෂ 1919 සිට ලොව පුරාම මේ පණිවිඩය ප්‍රසිද්ධ කෙරෙමින් තිබෙනවා. “මහත් බබිලෝනිය වැටුණේය.” (එළිදරව් 14:8) දෙවිගේ සෙනඟව වහල්භාවය තුළ තබාගැනීමට නොහැකි වූ විට ඇගේ වැටීම ආරම්භ වුණා. ඉතා ඉක්මනින්ම ඇගේ සම්පූර්ණ විනාශය සිදු වෙන්ට නියමිතයි. පුරාණ බබිලෝනිය ගැන යෙහෝවා මෙසේ ආඥා කළා. “ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න. මක්නිසාද ඈ [යෙහෝවා] වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාට] විරුද්ධව එඩිතරවූවාය.” (යෙරෙමියා 50:29; යාකොබ් 2:13) මහා බබිලෝනියටත් උරුම වෙන්ට යන්නේ ඒ හා සමානම ආකාරයේ විනිශ්චයක්.

31. ඉතා ඉක්මනින්ම මහා බබිලෝනියට සිදු වන්ට යන්නේ කුමක්ද?

31 මේ නිසා, යෙසායාගේ පොතේ සඳහන් යෙහෝවාගේ මේ අනාවැකියේ අවසාන කොටස පුරාණ බබිලෝනියට පමණක් නොව මහා බබිලෝනියටද අදාළ වෙන්ට යනවා. “මම ඔවුන්ට විරුද්ධව නැගිටින්නෙමි. . . . බබිලෝනියෙන් නාම මාත්‍රයද ඉතිරි අයද දරුමුනුබුරන්ද සිඳදමන්නෙමි. . . . මම ඒක ඉත්තෑවුන්ට උරුමයක්ද දිය පොකුණුද කරන්නෙමි. ඒක විනාශය නමැති මුස්නෙන් අතුගාදමන්නෙමි.” (යෙසායා 14:22, 23) ඉතා ඉක්මනින් යෙහෝවා මහා බබිලෝනියට කරන්ට යන දේ පුරාණ බබිලෝනියේ පාළු නටබුන්වලින් පේනවා. සැබෑ නමස්කාරයට ප්‍රේම කරන්නන්ට මොනතරම් සහනයක්ද! සාතන්ගේ ගුණාංග වන අහංකාරකම, උඩඟුකම හෝ කෲරකම අපි තුළ වර්ධනය වීමට ඉඩහැරීමෙන් වැළකීමට එය මොනතරම් වටිනා දිරිගැන්වීමක්ද!

[පාදසටහන්වල]

^ යෙසායා නමින් සඳහන් කරන්නේ මේදීයයන්ව පමණයි. එහෙත් බබිලෝනියට විරුද්ධව ජාතීන් ගණනාවක් එකතු වෙනවා. ඔවුන් නම් මේදිය, පර්සියාව, ඒලාම් සහ වෙනත් කුඩා ජාතීන්ය. (යෙරෙමියා 50:9; 51:24, 27, 28) අසල්වැසි ජාතීන් මේදිය සහ පර්සියාවට යොමු දක්වන්නේ “මේදවරුන්” ලෙසයි. තවදුරටත්, යෙසායාගේ දවසේදී මේදියාව ප්‍රධාන ලෝක බලයව පැවතුණත්, පසු කාලයේදී කෝරෙෂ් යටතේ පර්සියාව ප්‍රධාන ලෝක බලයේ තැන ගත්තා.

^ කෙසේවෙතත්, පසු කාලයේදී මේදීයයන් සහ පර්සියානුවන් සුඛවිහරණයට මහත් සේ ඇලුම් කිරීමට පටන්ගත් බව දකින්ට තිබෙනවා.—එස්රා 1:1-7.

^ උදාහරණයක් හැටියට, මේද-පර්සියානුවන් යටතේ බබිලෝනියේ උසස් නිලධාරියෙක් හැටියට දානියෙල්ව පත් කරනු ලැබුවා. එමෙන්ම ඉන් අවුරුදු 60කට පමණ පසු එස්තර් පර්සියානු රජෙක් වූ අහෂ්වේරොෂ්ගේ බිසව වුණා. මොර්දෙකයි මුළු පර්සියානු අධිරාජ්‍යයේම මහ ඇමති බවට පත් වුණා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[178වන පිටුවේ පින්තූරය]

වැටුණාවූ බබිලෝනිය කාන්තාරයේ වෙසෙන සතුන්ගේ නිජබිම බවට පත් වෙයි

[186වන පිටුවේ පින්තූර]

පුරාණ බබිලෝනිය වගේ මහා බබිලෝනියත් නටබුන් ගොඩක් බවට පත් වෙයි