Skip to content

පටුනට යන්න

යෙහෝවා කෙරෙහි බලා සිටින්න

යෙහෝවා කෙරෙහි බලා සිටින්න

විසිතුන්වන පරිච්ඡේදය

යෙහෝවා කෙරෙහි බලා සිටින්න

යෙසායා 30:1-33

1, 2. (අ) යෙසායා 30වන පරිච්ඡේදයේ අඩංගු වන්නේ කුමක්ද? (ආ) අපි දැන් සලකා බලන්ට යන ප්‍රශ්න මොනවාද?

 යෙසායා 30වන පරිච්ඡේදයෙහි දුෂ්ටයන්ට විරුද්ධව ගෙනෙන තවත් දිව්‍ය ප්‍රකාශයන් ගැන සඳහන් වෙනවා. කෙසේවෙතත්, යෙසායාගේ අනාවැකියේ මේ කොටස යෙහෝවා සතු හද උණුසුම් කරන ගුණාංග සමහරක්ද උලුප්පා දක්වනවා. ඇත්තෙන්ම, යෙහෝවාගේ මෙම ගුණාංග කොතරම් පැහැදිලිව මෙහි විස්තර කර තිබෙනවාද කිව්වොත්, ඒක හරියට යෙහෝවා අපි ළඟ සිටිනවා, ඔහුගේ මඟ පෙන්වීමේ හඬ ඇසෙනවා, ඔහුගේ සුවදායි ස්පර්ශය දැනෙනවා වගේ හැඟීමක් අපිට ඇති වෙනවා.—යෙසායා 30:20, 21, 26.

2 එසේ වුණත්, යෙසායාගේ රටවැසියන් වන ඇදහිල්ල අත්හළ යූදාහි වැසියන් නම් යෙහෝවා වෙත නැවත හැරීම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් ඒ වෙනුවට මිනිසුන් කෙරෙහි විශ්වාසය තබනවා. මේ ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද? එමෙන්ම, යෙසායාගේ අනාවැකියේ තිබෙන මෙම විස්තරය යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට මේ කාලයේ සිටින ක්‍රිස්තියානීන්ට උපකාර කරන්නේ කොහොමද? (යෙසායා 30:18) අපි මේ ගැන සොයා බලමු.

මෝඩකම සහ ඉරණම

3. යෙහෝවා හෙළි කරන කුමන්ත්‍රණය කුමක්ද?

3 යූදාහි නායකයන් කාලයක සිට අෂූරියේ වියගසට හසුවීමෙන් බේරීමට හොර රහසේ කුමන්ත්‍රණය කරමින් සිටියා. කෙසේවෙතත්, හැම දෙයක්ම යෙහෝවා බලාගෙනයි සිටියේ. ඔහු දැන් ඔවුන්ගේ කුමන්ත්‍රණය හෙළි කරන්නේ මෙසේයි. “පාපයට පාපය එකතුකරන ලෙස මාගෙන් නොව අන්‍යයන්ගෙන් මන්ත්‍රණය සොයන්නාවූද, මාගේ ආත්මය නැතුව ගිවිසුමක් කරගන්නාවූද, . . . මිසරයට යාමට පිටත්වෙන්නාවූද, කැරළිකාර දරුවන්ට දුක් වේයයි [යෙහෝවා කියන්නේය].”යෙසායා 30:1, 2ආ.

4. දෙවිගේ කැරලිකාර සෙනඟ දෙවිට අයිති තැන මිසරයට දී තිබෙන්නේ කෙසේද?

4 තම සැලසුම් හෙළි වූ බව ආරංචි වන කුමන්ත්‍රණකාරි නායකයන් තුළ ඇති වූ කම්පනය ගැන සිතා බලන්න! මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා මිසරයට පිටත්ව යෑම, අෂූරියට විරුද්ධව සිටීමට උත්සාහ කිරීමට වඩා දරුණු දෙයක් වුණා. ඊට හේතුව? එය යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසීමක් නිසයි. දාවිත් රජුගේ කාලයේදී ජාතිය තම ශක්තිය හැටියට යෙහෝවා වෙතට යොමුව සිටියා. ‘ඔහුගේ පියාපත් සෙවණෙහි’ සරණ පැතුවා. (ගීතාවලිය 27:1; 36:7) එහෙත්, මොවුන් “ඵාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකරන්ටත්” පටන්ගත්තා. (යෙසායා 30:2අ) මොවුන් යෙහෝවාට දිය යුතු තැන මිසරයට දුන්නා! එය මොනතරම් ද්‍රෝහිකමක්ද!—යෙසායා 30:3-5 කියවන්න.

5, 6. (අ) මිසරය සමඟ ඇති කරගත් මිත්‍රත්වය මරණයට මඟ පාදන වරදක් වන්නේ මන්ද? (ආ) මෙවර කළ ගමනේ අඥානකම කැපීපෙනෙන්ට සැලැස්වූයේ දෙවිගේ සෙනඟ කලින් යෙදී තිබුණාවූ කුමන ගමන නිසාද?

5 මිසරයට ආ ගමන නිකමට කළ බැහැදැකීමක් කියා කීම වැළැක්වීම සඳහා යෙසායා ඒ පිළිබඳ වැඩිමනත් විස්තර සපයනවා. “[දකුණු දිසාවේ මෘගයන්ට විරුද්ධව දිව්‍ය ප්‍රකාශය, NW].” “සිංහධේනුවද සිංහයාද පොළඟාද ඉගිලෙන ගිනි සර්පයාද සිටින්නාවූ, විපතද තද දුෂ්කරයද ඇත්තාවූ දේශය මැදින් ඔව්හු තමුන්ගේ සම්පත් තරුණ කොටළුවන්ගේ කර පිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලී පිටද තබා . . . ගෙනයති.” (යෙසායා 30:6අ) මෙය පැහැදිලිවම සැලසුම් කළ ගමනක්. ඔටුවන් සහ කොටළුවන් පිට වටිනා ද්‍රව්‍ය බැඳගෙන රෞද්‍ර සිංහයන් සහ විෂකුරු සර්පයන් සිටින පාළු කාන්තාරය හරහා රාජදූත පිරිවර ගමන් කරනවා. අවසානයේදී රාජදූතයන් ගමනාන්තයට පැමිණ තමන් ගෙනා බඩුබාහිරාදිය මිසර වැසියන් අත තබනවා. ඔවුන් ආරක්ෂාව මිල දී ගත්තා කියායි ඔවුන් සිතුවේ. කෙසේවෙතත්, යෙහෝවා මෙසේ කියනවා. “තමුන්ට ප්‍රයෝජන නොවන සෙනඟක් ළඟට [යති]. මිසරයේ උදව්ව නිෂ්ඵලය, නිරර්ථකය. එබැවින් නිකම් ඉන්න රාහබ්යයි ඈට නම් තැබුවෙමි.” (යෙසායා 30:6ආ, 7) “රාහබ්” නම් වූ ‘මුහුදේ දීර්ඝයාගෙන්’ සංකේතවත් කළේ මිසරයයි. (යෙසායා 51:9, 10) ඇය හැම දෙයක්ම පොරොන්දු වුණත් කිසිවක් කරන්නේ නැහැ. ඇය සමඟ යූදා ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය මරණයට මඟ පාදන වරදක්.

6 යෙසායා රාජදූතයන්ගේ ගමන පැහැදිලි කරද්දී, ඔහුට සවන්දෙන්නන්ට මෝසෙස්ගේ කාලයේදී කළා හා සමාන ගමනක් ගැන මතක් වෙන්ට ඇති. ඔවුන්ගේ මුතුන්මිත්තන්ද එම “භයංකර කාන්තාරය” මැදින් ගමන් කළා. (ද්විතීය කථාව 8:14-16) කෙසේවෙතත්, මෝසෙස්ගේ දවසේදී ඉශ්‍රායෙල් වැසියන් වහල්භාවයෙන් මිදී මිසරයෙන් පිටතටයි ගමන් කළේ. නමුත්, මේ වතාවේදී රාජදූතයන් ගමන් කරන්නේ කෙළින්ම මිසරය තුළටයි. එහි ප්‍රතිඵලය, වහල්භාවයයි. මොනතරම් මෝඩකමක්ද! අපි නම් එවැනි අඥාන තීරණයක් කිසිදාක නොගනිමු! අපේ අනර්ඝ ආත්මික නිදහස පාවා නොදෙමු!—ගලාති 5:1 සසඳන්න.

අනාගතවක්තෘගේ පණිවිඩයට දැඩි විරෝධතා

7. යෙහෝවා යූදාට විරුද්ධව දුන් මේ අනතුරු ඇඟවීම යෙසායා ලවා ලියෙව්වේ මන්ද?

7 යෙහෝවා මොහොතකට පෙර දුන් එම පණිවිඩය “මතු සදාකාලේටම තිබෙන පිණිස” ලියා තබන්නැයි යෙසායාට පවසනවා. (යෙසායා 30:8) යෙහෝවා මත විශ්වාසය තැබිය යුතුව තිබියදී මිනිසුන් සමඟ මිත්‍ර සන්ධාන ගොඩනැඟීම ඔහු අනුමත නොකරන බව, එදා සිට අපේ කාලයද ඇතුළුව සෑම පරම්පරාවකම ප්‍රයෝජනය සඳහා වාර්තා කර තැබිය යුතුයි. (2 පේතෘස් 3:1-4) එහෙත් දැන් ලිඛිත වාර්තාවක් සඳහා වඩාත් හදිසි අවශ්‍යතාවක් තිබෙනවා. “මක්නිසාද ඔව්හු කැරළිකාර සෙනඟක්ය, බොරුකාර දරුවෝය, [යෙහෝවාගේ] ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝය.” (යෙසායා 30:9) සෙනඟ දෙවිගේ උපදෙස් එපා කළා. නිසි අනතුරු ඇඟවීමක් ලැබුණේ නැහැයි කියා පසු කාලයකදී ඔවුන්ට කියන්ට බැරි වන ලෙස එය ලියා තැබිය යුතු වුණා.—හිතෝපදේශ 28:9; යෙසායා 8:1, 2.

8, 9. (අ) යූදාහි නායකයන් යෙහෝවාගේ අනාගතවක්තෲන්ව දූෂ්‍ය කරන්ට උත්සාහ කළේ කොයි ආකාරයටද? (ආ) තමන් භයට පත් වන්නේ නැති බව යෙසායා පෙන්වන්නේ කෙසේද?

8 යෙසායා දැන් සෙනඟගේ කැරලිකාර ආකල්පය සම්බන්ධයෙන් උදාහරණයක් සපයනවා. ඔවුන් “දිවස් ඇත්තන්ට: නුඹලා දර්ශන නොදකින්නය කියාද, ප්‍රොපේතවරුන්ට: නුඹලා හරිවූ දිවස්වාක්‍ය අපට නොපවසා, මෘදු වචන කථාකොට, රැවටිලි වාක්‍ය අපට පවසන්නය කියාද [කියති].” (යෙසායා 30:10) ඇදහිලිවන්ත අනාගතවක්තෘ විසින් “හරිවූ” නැතහොත් සැබෑ දේ කතා කිරීම වළක්වාලීමට යූදාහි නායකයන් කටයුතු කෙරුවා. ඒ වෙනුවට “මෘදු” සහ ‘රැවටිලිකාර’ හෝ බොරු කතා අසන්ට යූදාහි නායකයන් ආශාවීමෙන් පෙන්වන්නේ ඔවුන් කැමති දේවල් පමණක්ම ඔහු විසින් කිව යුතු බවයි. ඔවුන් කැමති ඔවුන්ව ප්‍රශංසාවට ලක් කරනවාට මිසක ඔවුන්ව හෙළා දකිනවාට නෙවෙයි. ඔවුන්ගේ ආකල්පය වන්නේ ඔවුන්ගේ කැමැත්තට අනුව අනාවැකි කියන්ට බැරි අනාගතවක්තෘවරුන්, “මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව [යා]” යුතුයි කියායි. (යෙසායා 30:11අ) ඔහු එක්කො කනට සුමිහිරි දේ කතා කළ යුතුයි නැත්නම් සම්පූර්ණයෙන්ම දේශනා කරන එක නතර කළ යුතුයි!

9 යෙසායාගේ විරුද්ධවාදීන් මෙසේ තරයේ කියා සිටිනවා. “ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] අප ඉදිරියෙන් පහකරන්න.” (යෙසායා 30:11ආ) යෙසායා ‘ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා’ වන යෙහෝවාගේ නාමයෙන් කතා කිරීම නැවැත්තුවදෙන්! යෙහෝවාව හඳුන්වා දෙන එම පදවි නාමයම ඔවුන්ට රිදවීමක් වන්නේ, යෙහෝවාගේ උත්කෘෂ්ට තත්වය ඔවුන්ගේ පිළිකුල්සහගත තත්වය තුළින් මනාව හෙළි කරන නිසයි. යෙසායා ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? ඔහු මෙසේ ප්‍රකාශ කරනවා. ‘ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා මෙසේ කියන්නේය.’ (යෙසායා 30:12අ) කිසිම පැකිලීමක් නැතුව තම විරුද්ධවාදීන් අසන්ට පිළිකුල් කරන වචනම යෙසායා ප්‍රකාශ කරනවා. ඔහු ගෙරවිලිවලට භය වෙන්නේ නැහැ. ඔහු අපිට සපයන්නේ මොනතරම් හොඳ ආදර්ශයක්ද! දෙවිගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ගනිද්දී ක්‍රිස්තියානීන් කිසිදාක මැද පිළිවෙතක් අනුගමනය නොකළ යුතුයි. (ක්‍රියා 5:27-29) යෙසායා මෙන්, ඔවුන් දිගටම මෙසේ ප්‍රකාශ කරමින් සිටිනවා. එනම් ‘යෙහෝවා කියා ඇත්තේ මෙයයි!’

කැරලිකාරකමේ ප්‍රතිවිපාක

10, 11. යූදා කැරලිගැසීමෙන් අත් කරගන්නාවූ ප්‍රතිවිපාක කවරේද?

10 යූදා දෙවිගේ වචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. බොරුව විශ්වාස කර “වංකකම” මත යැපෙනවා. (යෙසායා 30:12ආ) එහි ප්‍රතිවිපාක? යෙහෝවා ජාතියට ඕනෑ ආකාරයට ජීවත් වන්ට ඉඩ දෙනවා වෙනුවට, එය පැවැත්මෙන් නැති කර දැමීමට කටයුතු සලස්වනවා! යෙසායා නිදර්ශනයකින් කාවද්දන්නාක් මෙන් සිදු වන්ට යන්නේ හදිසි මෙන්ම සම්පූර්ණ විනාශයක්. ජාතියේ කැරලිකාරකම “උස්වූ භිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.” (යෙසායා 30:13) උස බිත්තියක ක්‍රමානුකූලව විශාල වන්නාවූ පිපිරීමක් නිසා එය අන්තිමේදී කඩා වැටෙන්නාක් මෙන්, යෙසායාගේ කාලයේ සිටි අයගේ එන්ට එන්ටම වැඩි වන්නාවූ කැරලිකාරකම අවසානයේදී ජාතියේ වැටීමට හේතුවක් වෙනවා.

11 පැමිණෙන්නාවූ සම්පූර්ණ විනාශය යෙසායා තවත් නිදර්ශනයකින් ගෙනහැර දක්වනවා. “ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස, ඉතුරු නොකර පොඩිකරන කුම්භකාරයෙකුගේ භාජනයක් බිඳින්නාක්මෙන් [ඔහු] ඒක [බිඳින්නේය].” (යෙසායා 30:14) යූදාහි විනාශය එතරම්ම දරුණු වන අතර, වටිනායයි කියන කිසිම දෙයක් ඉතුරු වන්නේ නැහැ. ලිපෙන් අළු අරන් දමන්ට තරම් විශාල කබලක්වත් වතුර ගන්ට භාජනයක්වත් සොයාගන්ට ලැබෙන්නේ නැහැ. මොනතරම් තුච්ඡ අවසානයක්ද! සැබෑ නමස්කාරයට විරුද්ධව කැරලිගසන අය වෙත පැමිණෙන්නාවූ විනාශයත් ඒ හා සමානව ක්ෂණික සහ සම්පූර්ණ එකක් වන්ට යනවා.—හෙබ්‍රෙව් 6:4-8; 2 පේතෘස් 2:1.

යෙහෝවාගේ ආරාධනය ප්‍රතික්ෂේප කරයි

12. යුදෙව් සෙනඟට ඔවුන් පිට පැමිණෙන විනාශය වළක්වාගත හැක්කේ කෙසේද?

12 කෙසේවෙතත්, යෙසායාට සවන්දෙන්නන් මත පැමිණෙන විනාශය අනිවාර්යය නැහැ. අවශ්‍ය නම් ගැළවෙන්ටත් පුළුවන්. අනාගතවක්තෘවරයා මෙසේ පැහැදිලි කරනවා. “ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] වන ස්වාමිවූ [යෙහෝවා කියන්නේ]: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන නුඹලා ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේය” කියායි. (යෙසායා 30:15අ) යෙහෝවා කැමතියි තම සෙනඟව ආරක්ෂා කරගන්ට. නමුත් ආරක්ෂාව ලැබෙන්නේ, ඔවුන් “නිශ්චලව” සිට ඇදහිල්ල පෙන්වනවා නම් පමණයි. එහෙම නැත්නම් තමන්ගේ ගැළවීම සඳහා මිනිසුන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටිනවා නම් පමණයි. එමෙන්ම “නොකැලඹී” භය නොවී, දෙවිගේ ආරක්ෂිත බලය කෙරෙහි විශ්වාසයත් විදහා පෑ යුතුයි. “නුමුත් නුඹලා [කැමති වුණේ නැහැ]” කියා යෙසායා සෙනඟට කියනවා.යෙසායා 30:15ආ.

13. යූදාහි නායකයන් විශ්වාසය තබන්නේ මතද? එවන් විශ්වාසයක් සාධාරණද?

13 ඉන්පසුව යෙසායා මෙම විස්තරය සපයනවා. “එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.” (යෙසායා 30:16) යෙහෝවා මත රැඳෙනවා වෙනුවට වේගවත් අශ්වයන් ඔවුන්ට ගැළවීම ළඟා කර දෙයි කියා යුදෙව්වන් සිතනවා. (ද්විතීය කථාව 17:16; හිතෝපදේශ 21:31) ඔවුන්ගේ සතුරන් ඔවුන්ව යටත් කරගනු ඇති නිසා ඔවුන් යන්නේ මිරිඟුවක් පස්සේ බව යෙසායා අඟවන්නේ ඔවුන් කියන කියන දේට විරුද්ධ ප්‍රතිචාරයක් දක්වමිනුයි. ඔවුන් සමඟ විශාල සංඛ්‍යාවක් සිටියත් වැඩක් වෙන්නේ නැහැ. මන්ද “එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.” (යෙසායා 30:17ආ) සතුරන් කිහිපදෙනෙකුගේ තර්ජනයට භයේ ත්‍රාසයට පත් යුදෙව්වන් පලා යන්ට යනවා. * අන්තිමේදී යුදෙව්වන් කිහිපදෙනෙක් පමණක් ඉතිරි වෙන්ට යනවා. ඔවුන් හරියට, “කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරි” වෙන්ට යනවා. (යෙසායා 30:17ආ) අනාවැකිය සැබෑ කරමින් පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ වන අතර, කිහිපදෙනෙක් පමණයි බේරෙන්නේ.—යෙරෙමියා 25:8-11.

හෙළාදැකීම මැද සහනය

14, 15. යූදාහි වැසියන්ට යෙසායා 30:18හි ඇති වදන් සැනසිල්ලක් වන්නේ කෙසේද? එමෙන්ම එය අද සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට අස්වැසිල්ලක් වන්නේ කෙසේද?

14 එම වචන යෙසායාට සවන්දෙන්නන්ගේ කන්වල රැව් පිළිරැව් දෙමින් තිබියදීම ඔහුගේ හඬ මාරු වෙනවා. විපත්තිදායක තර්ජනයක් ආශීර්වාදාත්මක පොරොන්දුවකට මඟ පාදනවා. ‘එබැවින් යෙහෝවා නුඹලාට කරුණා කරන්ට බලා සිටින්නේය, නුඹලාට අනුකම්පා කරන්ට නැඟිටින්නේය. මක්නිසාද යෙහෝවා විනිශ්චයේ දෙවිකෙනෙක්ය; ඔහු ගැන බලා සිටින සියල්ලෝම වාසනාවන්තයෝය.’ (යෙසායා 30:18) මොනතරම් හද උණුසුම් කරවන වචනද! යෙහෝවා කියන්නේ තම දරුවන්ට උදව් කිරීමට කැමති අනුකම්පාවෙන් පූර්ණ පියෙක්. දයාව පෙන්වීමට ඔහු මහත් සේ ආශා කරනවා.—ගීතාවලිය 103:13; යෙසායා 55:7.

15 මේ සැනසිලිදායක වචන පො.යු.පෙ. 607දී යෙරුසලමේ සිදු වූ විනාශයේදී දයාන්විත ලෙස ගැළවෙන්ට ඉඩහළ යුදෙව් ඉතිරි කොටසටත්, පො.යු.පෙ. 537දී පොරොන්දු දේශයට නැවත ගිය සුළු පිරිසටත් අදාළ වෙනවා. කෙසේවෙතත්, අදදින සිටින ක්‍රිස්තියානීන්ටත් අනාගතවක්තෘවරයාගේ වචන සැනසිල්ලක් ලබා දෙනවා. මේ දුෂ්ට ලෝකයට අවසානයක් ගෙනෙමින් යෙහෝවා අප වෙනුවෙන් ‘නැඟිටින’ බව එය අපිට මතක් කර දෙනවා. “විනිශ්චයේ දෙවිකෙනෙක්” වන යෙහෝවා යුක්තිය ඉෂ්ට වෙන්ට අවශ්‍ය කරන කාලයට වඩා එක දවසක්වත් සාතන්ගේ ලෝකයට පවතින්ට ඉඩ දෙන්නේ නැති බව ඇදහිලිවන්ත නමස්කාරයන්ට නිසැක විය හැකියි. එමනිසා, ‘ඔහු ගැන බලා සිටින සියල්ලන්ටම’ සතුටු වීමට ඕනෑතරම් හේතු තිබෙනවා.

යෙහෝවා තම සෙනඟගේ යාච්ඤාවලට උත්තර දී සනසයි

16. යෙහෝවා අධෛර්යයට පත්වූවන්ව අස්වසන්නේ කෙසේද?

16 කෙසේවෙතත්, තමන් බලාපොරොත්තු වුණු වේගයටම ගැළවීම ඉෂ්ට නොවන නිසා සමහරුන් අධෛර්යයට පත් විය හැකියි. (හිතෝපදේශ 13:12; 2 පේතෘස් 3:9) යෙසායාගේ මීළඟ වදන්වලින් ඔවුන්ට සහනයක් ලැබේවා! එය යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ විශේෂ පැත්තක් කාවද්දනවා. “මක්නිසාද සෙනඟ සියොන්හි යෙරුසලමේ වාසයකරන්නෝය. නුඹ තවත් අඬන්නේ නැත; [ඔහු] නුඹ මොරගැසීමේ හඬට නුඹට දයාවෙනවාම ඇත; ඇසුණු කෙණෙහිම [ඔහු] නුඹට උත්තරදෙනවා ඇත.” (යෙසායා 30:19) යෙසායා, යෙසා 30 18වන ඡේදයේදී “නුඹලා” ලෙස හඳුන්වා යෙසා 30 19වන ඡේදයේදී “නුඹ” යන්නට මාරු කිරීමේදී මෘදු හැඟීමක් විදහාපානවා. යෙහෝවා කාන්සාවෙන් සිටින්නන්ව සනසද්දී ඔහු ඒ එක් එක් පුද්ගලයාට පෞද්ගලිකව අවධානය දෙනවා. ඔහු පියෙක් වගෙයි. අධෛර්යයට පත් වූ පුතෙකුගෙන් ‘ඇයි ඔයාට අයියා වගේ දේවල් කරන්න බැරි?’ කියා අසන්නේ නැහැ. (ගලාති 6:4) ඒ වෙනුවට, එක් එක්කෙනාට ඔහු සාවධානව ඇහුම්කන් දෙනවා. ඇත්තෙන්ම ‘ඇසුණු කෙණෙහිම ඔහු උත්තර දෙනවා.’ මොනතරම් සැනසිලිදායකද! අධෛර්යයට පත් වූ අය යෙහෝවාට යාච්ඤා කරනවා නම් ඔහුගෙන් මහත් ශක්තියක් ලබාගත හැකියි.—ගීතාවලිය 65:2.

දෙවිගේ වචනය කියවීමෙන් පාර දැනගන්න

17, 18. දුෂ්කර කාලවලදී පවා, යෙහෝවා මඟ පෙන්වීම ලබා දෙන්නේ කෙසේද?

17 විපත්ති පැමිණෙන බව යෙසායා තමාට සවන්දෙන්නන්ට දැනුම් දෙනවා. සෙනඟ “විපත නමැති කෑමද පීඩාව නමැති වතුරද” ලබන්ට යනවා. (යෙසායා 30:20අ) වැටලීම සිදු වන සමයේදී ඔවුන් අද්දකින්ට යන විපත්තිය සහ පීඩාව හරියට සෑමදාම කන බොන දේවල් තරම් සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්ට යනවා. ඒ වුණත්, අවංක හෘද ඇත්තන්ගේ සරණට පැමිණෙන්ට යෙහෝවා සූදානම්. “නුඹේ ගුරුවරයා [ශ්‍රේෂ්ඨ උපදේශකයා, NW] තවත් සැඟවී නොසිටින්නේය, නුඹේ ඇස්වලින් නුඹේ ගුරුවරයා [ශ්‍රේෂ්ඨ උපදේශකයා, NW] දකින්ටත්, නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.”—යෙසායා 30:20ආ, 21. *

18 “ශ්‍රේෂ්ඨ උපදේශකයා” යෙහෝවායි. වෙනත් ගුරුවරයෙකුව ඔහු හා කිසිසේත් සන්සන්දනය කරන්ට බැහැ. කෙසේවෙතත්, මිනිසුන්ට ඔහුව “දකින්ට” සහ ඔහුගෙන් ‘අසන්ට’ හැක්කේ කෙසේද? යෙහෝවා ඔහුව හෙළි කරන්නේ ඔහුගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්. ඔවුන් කිවූ දෙය බයිබලයෙහි වාර්තා කර තිබෙනවා. (ආමොස් 3:6, 7) අදදින, ඇදහිලිවන්ත නමස්කාරකයන් බයිබලය කියවද්දී ඒක හරියට දෙවිගේ පියෙකු බඳු හඬ, ඔවුන් යා යුතු මාර්ගය සහ ඔවුන්ගේ ජීවිත ගමන යළි සකස් කරගන්ට කියනවා හා සමානයි. බයිබලයෙන් සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සපයන බයිබලය මත පදනම් ප්‍රකාශන මගින් යෙහෝවා කතා කරද්දී, සෑම ක්‍රිස්තියානියෙක්ම ඉතා හොඳින් ඇහුම්කන් දිය යුතුයි. (මතෙව් 24:45-47) සෑම කෙනෙක්ම බයිබලය නොකඩවාම කියවීම පුරුද්දක් කරගත යුතුයි. මන්ද ඉන් ‘අපගේ ජීවිතය’ රැක දෙයි.—ද්විතීය කථාව 32:46, 47; යෙසායා 48:17.

අනාගත ආශීර්වාද ගැන මෙනෙහි කිරීම

19, 20. ශ්‍රේෂ්ඨ උපදේශකයාගේ හඬට ප්‍රතිචාරය දක්වන්නන්ට ඉදිරියේදී තබා තිබෙන ආශීර්වාද මොනවාද?

19 ශ්‍රේෂ්ඨ උපදේශකයාගේ හඬට ප්‍රතිචාරය දක්වන අය පිළිම විසි කර දමන්නේ පිළිකුල්සහගත දේවල් හැටියට සලකායි. (යෙසායා 30:22 කියවන්න.) ප්‍රතිචාරය දක්වන අය ඉන්පසු පුදුමාකාර ආශීර්වාද භුක්ති විඳින්ට යනවා. යෙසායා 30:23-26හි වාර්තා කර ඇති ආකාරයට පො.යු.පෙ. 537දී යුදෙව්වන්ගේ ඉතිරි කොටස නැවත පැමිණෙද්දී යළි පිහිටුවීමේ ප්‍රීතිජනක අනාවැකියේ මුල් ඉටුවීමක් ගැන යෙසායා විස්තර කළා. එපමණක් නොව මේ අනාවැකිය දැනුත් මගින් එනම් ආත්මික පාරාදීසයේත්, මතුවට පැමිණෙන සැබෑ පාරාදීසයේදීත් මෙසියස් ගෙනෙන්ට යන මවිතාකාර ආශීර්වාද දකින්ට යෙසායා අපිට උපකාර කරනවා.

20 “[ඔහුද] නුඹ පොළොවෙහි වපුරන නුඹේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද [දෙන්නේය], එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි නුඹේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය. එසේම බිම හාන ගවයෝද තරුණ කොටළුවෝද ස්කෝප්පයෙන් හා කුල්ලෙන් පෙළූ ලුණු මිශ්‍රවූ ගොදුරු [ඇඹුල් මිශ්‍රිත මෘගාහාර, NW] කන්නෝය.” (යෙසායා 30:23, 24) “කෑම” එනම් ගුණයෙන් පිරි ආහාර මිනිසාගේ මූලික අවශ්‍යතාවක්. භූමිය ඒ තරම් මහත් ඵලදාවක් ලබා දෙමින් සතුන්ට පවා ආහාර සපයනවා. කලාතුරකින් සතුන්ට ආහාරයට දෙන රසවත් මෘගාහාරයක් වන “ඇඹුල් මිශ්‍රිත මෘගාහාර” ඊට ඇතුළත් වෙනවා. මේ කෑම ‘කුල්ලෙන් පවා පොළා’ තිබෙනවා. සාමාන්‍යයෙන් එසේ කරන්නේ මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගන්නාවූ ධාන්‍ය වර්ගවලටයි. ඇදහිලිවන්ත මනුෂ්‍යවර්ගයා සඳහා යෙහෝවාගේ බහුල ආශීර්වාද නිරූපණය කිරීමට යෙසායා මොනතරම් ප්‍රීතිමත් විස්තරයක් ඉදිරිපත් කරනවාද!

21. පැමිණෙන්ට තිබෙන පරිපූර්ණ ආශීර්වාද විස්තර කරන්න.

21 “සියලු උස්කඳු පිටත් සියලු උස් හෙල් පිටත් ඔයවල් . . . වන්නේය.” (යෙසායා 30:25ආ) * යෙහෝවාගේ ආශීර්වාදවල පූර්ණත්වය කාවද්දන පැහැදිලි පින්තූරයක් යෙසායා පෙන්වනවා. ඉතා වටිනා අවශ්‍යතාවක් වන ජල සැපයුමේද අඩුවක් නැහැ. පහත් බිම්වල පමණක් නෙවෙයි, සෑම කන්දකින්ම එනම් ‘සියලු උස් කඳුවලින්ද සියලු උස් හෙල්වලින්ද’ ජලය ගලා බසින්ට යනවා. ඔව්, සාගින්න තවත් තිබෙන්ට යන්නේ නැහැ. (ගීතාවලිය 72:16) අනාගතවක්තෘගේ අවධානය කඳුවලටත් වඩා උස් දේවල් කෙරෙහි දැන් යොමු වෙනවා. “[යෙහෝවා] තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය.” (යෙසායා 30:26) තේජවත් අනාවැකියට තිබෙන්නේ මොනතරම් උච්ච අවසානයක්ද! දෙවිගේ තේජස දසත පැතිරෙනවා. දෙවිගේ ඇදහිලිවන්ත නමස්කාරකයන් වෙනුවෙන් තබා ඇති ආශීර්වාද මොනතරම්ද! වෙන කිසිමදාක අද්දැක නැති ලෙසින් ඔවුන් හත් ගුණයක් ආශීර්වාද ලබන්ට යනවා.

විනිශ්චය සහ ප්‍රීතිය

22. ඇදහිලිවන්තයන්ට ආශීර්වාද පැමිණෙද්දී, යෙහෝවා දුෂ්ටයන්ට කරන්ට යන්නේ කුමක්ද?

22 යෙසායාගේ පණිවිඩයේ ස්වරය නැවතත් වෙනස් වෙනවා. තම සවන්දෙන්නන්ගේ අවධානය ඇදගැනීමට මෙන් ඔහු මෙසේ කියනවා. ‘[බලව! NW] යෙහෝවාගේ නාමය ඔහුගේ ඇවිළෙන කෝපයද නඟින්නාවූ ඝන දුම් කඳක්ද ඇතුව දුර සිට එන්නේය. ඔහුගේ තොල් උදහසින් පිරී තිබේ, ඔහුගේ දිවද දවා දමන ගින්නක් මෙන්ය.’ (යෙසායා 30:27) මෙතෙක් කල් යෙහෝවා තම සෙනඟව සතුරන් විසින් ආක්‍රමණය කරද්දී ඔවුන්ට ඕනෑම දෙයක් කරන්ට ඉඩ දී බලා සිටියා. නමුත් දැන් ළඟ ළඟම එන චණ්ඩ මාරුතයක් මෙන් ඔවුන් මත ගෙනෙන ඔහුගේ විනිශ්චයද ළඟා වෙනවා. “[ඔහුගේ] හුස්මද උතුරා කුළල දක්වා ගලන ඔයක් [වේගවත් ජල පාරක්, NW] මෙන් විනාශය නමැති කුල්ලෙන් ජාතීන් පොළන පිණිසත්, මුළාකරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය.” (යෙසායා 30:28) දෙවිගේ සෙනඟගේ සතුරන්ව ‘වේගවත් ජල පාරකින්’ වට කර, දරුණු ලෙස ‘කුල්ලකින් පොළා’ ‘කටකලියාවකින්’ මෙල්ල කරන්ට යනවා. ඔවුන් විනාශ වෙන්ට යනවා.

23. අදදින ක්‍රිස්තියානීන්ගේ “සිතේ ප්‍රීතිය” ඇති කරන්නේ කුමක්ද?

23 මතු දවසක තම දේශයට නැවත යන ඇදහිලිවන්ත නමස්කාරකයන් අද්දකින්ට යන ප්‍රීතිමත් තත්වය විස්තර කරද්දී යෙසායාගේ කටහඬේ ස්වරය යළි වෙනස් වෙනවා. ‘ශුද්ධ මංගල්‍යයක් පවත්වන රාත්‍රියේදී මෙන් ගීතිකාවක්ද යෙහෝවාගේ කන්දටත් ඉශ්‍රායෙල්ගේ [ගැළවීමේ, NW] පර්වතය වෙතටත් පැමිණෙන්ට නළාවක් පිඹිමින් යන අයගේ ප්‍රීතිය මෙන් සිතේ ප්‍රීතියද නුඹලාට වන්නේය.’ (යෙසායා 30:29) සාතන්ගේ ලෝකය සඳහා ගෙනෙන විනිශ්චය, ‘ගැළවීමේ පර්වතය’ වන යෙහෝවා සපයන ආරක්ෂාව සහ ලැබෙන්ට තිබෙන රාජ්‍ය ආශීර්වාද ගැන අදදින සැබෑ ක්‍රිස්තියානීන් මෙනෙහි කරත්ම ඒ හා සමානම ‘සිතේ ප්‍රීතියක්’ ඔවුන් අද්දකිනවා.—ගීතාවලිය 95:1.

24, 25. අෂූරිය මත පැමිණෙන්ට යන විනිශ්චය සැබෑවක් බව යෙසායාගේ අනාවැකිය කාවද්දන්නේ කෙසේද?

24 මේ ප්‍රීතිමත් සිතුවිලිවලින් පසුව යෙසායා විනිශ්චයේ තේමාව සහ දෙවිගේ උදහස හඳුනාගන්නවා. ‘යෙහෝවාද තමන්ගේ මහිමාන්විත හඬ අස්වන්නේය, ඔහු තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනි දළුවත් වාත වේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළ වීම පෙන්වන්නේය. මක්නිසාද යෙහෝවාගේ හඬින් අෂූරියයා පොඩි කරනු ලබන්නේය, ඔහු තමන් යෂ්ටියෙන් ඔහුට පහර දෙන්නේය.’ (යෙසායා 30:30, 31) අෂූරියට එරෙහිව ගෙනෙන දෙවිගේ විනිශ්චයේ ඉටුවීම පිළිබඳව මෙවන් තොරතුරුබරිත විස්තරයක් යෙසායා සපයනවා. එහි ප්‍රතිඵලයක් හැටියට අෂූරිය දෙවිගේ විනිශ්ච ‘හස්තයේ පහළ වීම’ ගැන භයෙන් වෙව්ලමින් සිටිනවා.

25 අනාගතවක්තෘවරයා තවදුරටත් මෙසේ කියනවා. “[යෙහෝවා] විසින් ඔහු පිටට පමුණුවන්නාවූ නියමකළ සැරයටියේ සියලු පහරවල් සමඟ රබන් ගැසීමත් වීණා ගෑමත් වන්නේය. කලඹන සුලු යුද්ධවලින්ද [දෙවි] ඔහු සමඟ යුද්ධ කරනවා ඇත. මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි [යෙහෝවාගේ] හුස්මට එය ඇවිළීයයි.” (යෙසායා 30:32, 33) හින්නොම් මිටියාවතේ පිහිටි තෝපෙත්, ගින්නෙන් දැවෙන සංකේතවත් ස්ථානයක් ලෙස මෙහි දක්වා තිබෙනවා. අෂූරිය එයට දමන බව කීමෙන්, ඒ ජාතිය මත පැමිණෙන්ට යන හදිසි සහ සම්පූර්ණ විනාශය යෙසායා කාවද්දනවා.—2 රාජාවලිය 23:10 සසඳන්න.

26. (අ) අෂූරියට විරුද්ධව යෙහෝවාගේ ප්‍රකාශයේ ඇත්තේ කිනම් වර්තමාන ඉටුවීමක්ද? (ආ) යෙහෝවාගේ වර්තමාන ක්‍රිස්තියානීන් ඔහු කෙරෙහි බලා සිටින්නේ කෙසේද?

26 මේ විනිශ්චමය පණිවිඩය කෙළින්ම යොමු වන්නේ අෂූරියට විරුද්ධව වුණත්, යෙසායාගේ අනාවැකියේ වැදගත්කම ඉන් ඔබ්බටත් දිවෙනවා. (රෝම 15:4) යෙහෝවා තමන්ගේ සෙනඟට පීඩා කරන අයට විරුද්ධව නැවත වරක් ජලගැල්මක් ගෙනැවිත්, කටකලියාවකින් මෙල්ල කර ඔවුන්ව සොලවන්ට යනවා. (එසකියෙල් 38:18-23; 2 පේතෘස් 3:7; එළිදරව් 19:11-21) ඒ දිනය ඉක්මනින්ම පැමිණේවා! මේ අතරතුර ක්‍රිස්තියානීන් ගැළවීමේ දවස ඕනෑකමින් බලා සිටීවා! යෙසායා 30වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති පැහැදිලි විස්තරයෙන් ඔවුන් ශක්තියක් අත් කරගන්නවා. එහි වචන, යාච්ඤාවේ වරප්‍රසාදය අගය කරන්ට, බයිබල් පාඩමේ යෙදී සිටින්ට සහ පැමිණීමට තිබෙන රාජ්‍ය ආශීර්වාද ගැන මෙනෙහි කරන්ට දෙවිගේ සේවකයන්ව දිරිගන්වනවා. (ගීතාවලිය 42:1, 2; හිතෝපදේශ 2:1-6; රෝම 12:12) මෙසේ යෙහෝවා කෙරෙහි බලා සිටින්ට යෙසායාගේ වදන් අප සැමටම උදව් වෙනවා.

[පාදසටහන්වල]

^ යුදෙව්වන් ඇදහිලිවන්තව සිටියා නම්, හාත්පසින්ම වෙනස් දෙයක් සිදු වෙන්ට තිබුණා.—ලෙවී කථාව 26:7, 8.

^ යෙහෝවාව “ශ්‍රේෂ්ඨ උපදේශකයා” කියා බයිබලයේ හඳුන්වන එකම අවස්ථාව මෙයයි.

^ “බලකොටු වැටෙන මහත් මරාදැමීමේ දවසේ” කියා යෙසායා 30:25අ කොටස කියනවා. එහි මුල් ඉටුවීමේදී බබිලෝනියේ වැටීම අදහස් කළා විය හැකියි. එය යෙසායා 30:18-26 පුරෝකථනය කර ඇති ආශීර්වාද භුක්ති විඳීමට ඉශ්‍රායෙල්වරුන්ට මඟ පාදන්ට ඇති. (19වන ඡේදය බලන්න.) එය අලුත් ලෝකයේදී සිදුවීමට යන අතිමහත් ආශීර්වාද ඉටුවීමට පෙර සිදු වන අර්මගෙදොන්හි විනාශයටද යොමු දක්වනවා විය හැකියි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[305වන පිටුවේ පින්තූර]

මෝසෙස්ගේ කාලයේදී ඉශ්‍රායෙල්වරුන් මිසරයෙන් ගැළවී එයි. එහෙත් යෙසායාගේ කාලයේදී උපකාරය ඉල්ලමින් යූදා මිසරයට යයි

[311වන පිටුවේ පින්තූරය]

‘සියලු උස් හෙල් පිට ඔයවල් වන්නේය’

[312වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ‘කෝපයෙන්ද ඝන දුම් කඳක්ද ඇතුව’ එයි