Skip to content

පටුනට යන්න

යෙහෝවා ජාතීන් කෙරෙහි උදහස වගුරුවයි

යෙහෝවා ජාතීන් කෙරෙහි උදහස වගුරුවයි

විසිහත්වන පරිච්ඡේදය

යෙහෝවා ජාතීන් කෙරෙහි උදහස වගුරුවයි

යෙසායා 34:1-17

1, 2. (අ) යෙහෝවාගේ උදහස ගැන සලකා බලන විට අපිට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද? (ආ) උදහස ක්‍රියාත්මක කිරීමෙන් දෙවි ඉටු කරන්නේ කුමක්ද?

 යෙහෝවා ඉවසිලිවන්ත දෙවිකෙනෙක්. ඒ තමන්ගේ ඇදහිලිවන්ත සේවකයන් සමඟ පමණක් නෙවෙයි නමුත් තම අරමුණ ක්‍රියාත්මක කරන තුරු තම සතුරන් සමඟද ඉවසිල්ලෙන් කටයුතු කරන නිසයි. (1 පේතෘස් 3:19, 20; 2 පේතෘස් 3:15) එහෙත්, යෙහෝවාට විරුද්ධවාදිකම් පාන්නන් මේ ඉවසිලිවන්තකම අගය කරන්නේ නැහැ. ඔවුන් එය දකින්නේ ක්‍රියා කිරීමට තරම් හැකියාවක් නැති හෝ කැමැත්තක් නැති ගුණාංගයක් හැටියට විය හැකියි. ඒ වුණත්, යෙසායා 34වන පරිච්ඡේදයේ පෙන්නුම් කරන්නේ යෙහෝවාගේ සතුරන්ට අවසානයේදී සෑමවිටම, ඔහුට ගණන් දීමක් කරන්ට සිදු වන බවයි. (ශෙපනියා 3:8) දෙවි කිසි බාධාවකින් තොරව තම සෙනඟට විරුද්ධව නැඟී සිටීමට ඒදොම් සහ අනෙකුත් ජාතීන්ට යම් කලකට ඉඩහැරියා. එහෙත් විපාක දීමට තමා නියම කර තිබූ කාලයේදී යෙහෝවා ක්‍රියාත්මක වුණා. (ද්විතීය කථාව 32:35) ඒ හා සමානව යෙහෝවා තම නියම කරන ලද කාලය පැමිණි විට, තම පරමාධිපත්‍යය තුච්ඡ කොට සලකන දැන් පවතින දුෂ්ට ලෝක ක්‍රමයේ සියලුම අංගවලට විරුද්ධව උදහස වගුරුවන්ට යනවා.

2 දෙවි උදහස වැගිරවීමට ප්‍රධාන හේතුව වන්නේ තම පරමාධිපත්‍යය විදහාපෙන්වීමටත් ඔහුගේ නාමය ගෞරවයට පත් කිරීමටත්ය. (ගීතාවලිය 83:13-18) දෙවිගේ විපාක දීම ඔහුගේ සේවකයන්ව නිදොස් කරමින් ඔවුන් ඔහුගේ සැබෑ නියෝජිතයන් බවද හෙළි කරනවා. එපමණක්ද නොව එමගින් දෙවි ඔවුන්ව අප්‍රසාදී තත්වයන්ගෙන්ද ආරක්ෂා කරගන්නවා. ඊට අමතරව යෙහෝවාගේ උදහස සෑමවිටම ඔහුගේ යුක්තිය හා බැඳී පවතිනවා.—ගීතාවලිය 58:10, 11.

ජාතීනි, කන් යොමන්න!

3. යෙහෝවා යෙසායා තුළින් ජාතීන්ට ඉදිරිපත් කරන ආරාධනය කුමක්ද?

3 ඒදොමට විරුද්ධව විපාක දීම කෙරෙහි යෙහෝවා තම අවධානය යොමු කිරීමට කලින් ඔහු යෙසායා මාර්ගයෙන් සියලුම ජාතීන්ට බැරෑරුම් ආරාධනාවක් දෙනවා. “ජාතීනි, අසන්ට ළංවෙන්න; ජනයෙනි, ඇහුම්කන්දෙන්න. පොළොව සහ ඒකේ පූර්ණකමත් ලෝකය සහ එහි හටගන්න සියල්ලත් අසත්වා.” (යෙසායා 34:1) අභක්තික ජාතීන්ට විරුද්ධව අනාගතවක්තෘවරයා කිහිප වතාවක්ම අනතුරු අඟවා තිබෙනවා. ඔවුන්ට විරුද්ධව කළ ඒ දිව්‍ය ප්‍රකාශයන් සාරාංශ කොට දක්වන්ට දැන් ඔහු සූදානම්. මේ අනතුරු ඇඟවීම්වල අද දවසට විශේෂ අදාළත්වයක් තිබෙනවාද?

4. (අ) යෙසායා 34:1හි වාර්තා කර තිබෙන විදිහට ජාතීන්ට ආරාධනා කරන්නේ කුමක් කිරීමටද? (ආ) ජාතීන්ට විරුද්ධව කරන යෙහෝවාගේ විනිශ්චමය ප්‍රකාශයන් ඔහු කෲර දෙවිකෙනෙකු බව ඔප්පු කරනවාද? (363වන පිටුවේ කොටුව බලන්න.)

4 ඔව්, ඒ අනතුරු ඇඟවීම්වල අද දවසට අදාළත්වයක් තිබෙනවා. මුළු විශ්වයේ පරමාධිපති දෙවිට මේ වර්තමාන අභක්තික ලෝක ක්‍රමයේ සෑම අංගයක් සමඟම ගැටලුවක් තිබෙනවා. ඒ නිසයි යෙහෝවා ලොව වටා ප්‍රකාශ කිරීමට සලස්වා ඇති බයිබලය මත පදනම් පණිවිඩය ඇසීමට ‘ජනයන්ට’ සහ ‘පොළොවට’ හඬගසන්නේ. ගීතාවලිය 24:1හි සඳහන් භාෂා විලාසය පාවිච්චි කරමින් යෙසායා පවසන්නේ, එම පණිවිඩය ලොව දස දෙස පැතිරී යන බවයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් “පොළොවේ සීමාව දක්වා” දේශනා කරන නිසා එම අනාවැකිය අපේ කාලයේදී ඉටු වී තිබෙනවා. (ක්‍රියා 1:8) කෙසේවෙතත්, ජාතීන් මීට ඇහුම්කන් දී නැහැ. ඔවුන් මත පැමිණෙන්ට යන විනාශය පිළිබඳ අනතුරු ඇඟවීම බැරෑරුම් ලෙස තමන්ට අදාළ කරගෙන නැහැ. එසේ වූ පළියට, තම වචනය ඉටු කිරීම සඳහා යෙහෝවාට එය බාධාවක් වන්නෙත් නැහැ.

5, 6. (අ) දෙවි ගණන් දෙන්ට කියා ජාතීන්ට කියන්නේ කුමක් සම්බන්ධයෙන්ද? (ආ) “කඳු ඔවුන්ගේ ලෙයින් [දියවීම]” සැබෑවක් වන්නේ කිනම් අර්ථයෙන්ද?

5 අනාවැකිය දැන් අභක්තික ජාතීන්ට ඇති අඳුරු අනාගතය ගැන විස්තර කරනවා. එය පසුව විස්තර කරන්ට යන දෙවිගේ සෙනඟ සඳහා තිබෙන දීප්තිමත් අනාගතයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක්. (යෙසායා 35:1-10) අනාගතවක්තෘවරයා මෙසේ විස්තර කරනවා. “[යෙහෝවා] සෑම ජාතීන් කෙරෙහි උදහසද ඔවුන්ගේ සියලු සේනාවල් කෙරෙහි කෝපයද ඇතුව [සිටින්නේය. ඔහු] ඔවුන් විනාශයට කැපකොට මැරුම්කෑමට භාරදී තිබේ. ඔවුන් අතරෙන් මැරුම්කෑ අය අහක දමනු ලබන්නෝය, ඔවුන්ගේ මළකඳන් ගඳගසන්නේය, කඳු ඔවුන්ගේ ලෙයින් දියවන්නේය.”—යෙසායා 34:2, 3.

6 වැඩි අවධානය යොමු කර තිබෙන්නේ ජාතීන්ගේ ලේ වරද වෙතටයි. අදදින ලේ වරද සම්බන්ධයෙන් වැඩියෙන්ම වගකිව යුත්තේ ක්‍රිස්තියානි ලෝකයේ ජාතීනුයි. ලෝක මහා යුද්ධ දෙකේදී සහ තව බොහෝ සුළු සුළු ගැටුම්වලදී ඔවුන් මිහිකත මිනිස් ලෙයින් නහවා තිබෙනවා. මේ මුළු මහත් ලේ වරද සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටීමට පූර්ණ අයිතිය ඇත්තේ කාටද? ජීවනයේ උල්පත වන ශ්‍රේෂ්ඨ මැවුම්කරුවාට මිස වෙන කාටවත් නෙවෙයි. (ගීතාවලිය 36:9) යෙහෝවාගේ ව්‍යවස්ථාවේ යුක්තියේ ප්‍රමිතිය දැනටමත් පිහිටුවා තිබෙනවා. එනම් ‘ප්‍රාණයට ප්‍රාණයක් දිය යුතුය’ යන්නයි. (නික්මයාම 21:23-25; උත්පත්ති 9:4-6) මෙම ප්‍රමිතිය ක්‍රියාත්මක කරමින් ඔහු එම ජාතීන්වද විනාශ කර දමනවා. ඔවුන්ගේ නොවැළලූ මළකුණුවල ගඳෙන් වායුගෝලය පිරෙන්ට යනවා. මොනතරම් නින්දාසහගත මරණයක්ද! (යෙරෙමියා 25:33) ගනු ලබන ලේවල පළිය කඳු දිය කර හැරීමට වුණත් සමත් වන තරම්. (ශෙපනියා 1:17) ලෝකයේ ජාතීන්ගේ යුධ බලය මුළුමනින්ම විනාශ වීමත් සමඟම තම තමන්ගේ ආණ්ඩුවල බිඳවැටීමත් ඔවුන් දකින්ට යනවා. බයිබලයේ මේ ආණ්ඩු සමහර අවස්ථාවන්හිදී කඳු ලෙසද දක්වා තිබෙනවා.—දානියෙල් 2:35, 44, 45; එළිදරව් 17:9.

7. ‘ස්වර්ගයෙන්’ අදහස් කරන්නේ කුමක්ද? එමෙන්ම “අහස් සේනාව” කුමක්ද?

7 නැවතත් පැහැදිලි චිත්ත රූපයක් මවමින් යෙසායා මෙසේ කියනවා. “මුළු අහස් සේනාව ක්ෂයවී, අහස අකුළන පොතක් මෙන් ඇකිළී, එහි මුළු සේනාව මිදි වැලෙන් වැටෙන කොළ මෙන්ද අත්තික්කා ගහෙන් වියළී වැටෙන කොළයක් [අත්තික්කා, NW] මෙන්ද වැටෙන්නේය.” (යෙසායා 34:4) “මුළු අහස් සේනාව” කීමෙන් අදහස් කරන්නේ සැබෑ තරු සහ ග්‍රහලෝක නෙවෙයි. යෙසා 34 පස්වන සහ හයවන පදවල විනාශයේ කඩුවක් ගැන සඳහන් කරනවා. එම කඩුව ඉහත සඳහන් කළ ‘අහසේ’ නැතහොත් “ස්වර්ගයෙහි [NW]” ලෙයින් නැහැවී තිබෙනවා. එමනිසා, මෙය මිනිස් ලෝකයේ යමක් සංකේතවත් කරනවා විය යුතුයි. (1 කොරින්ති 15:50) උසස් බලධාරීන් හැටියට තම උත්තම තත්වය හේතුවෙන් මිනිස් සමාජය පාලනය කරන මනුෂ්‍ය ආණ්ඩු ක්‍රම, අහසට සමාන කර තිබෙනවා. (රෝම 13:1-4) එමනිසා, ‘අහස් සේනාවෙන්’ නියෝජනය වන්නේ මේ සියලුම මනුෂ්‍ය ආණ්ඩු ක්‍රමවල සේනාවන්ගේ එකතුවයි.

8. සංකේතාත්මක අහස “අකුළන පොතක් මෙන්” වන්නේ කෙසේද? තවද ඔවුන්ගේ ‘සේනාවලට’ සිදු වන්නේ කුමක්ද?

8 මේ “සේනාව” විනාශ වී, එනම් “ක්ෂයවී” යනවා. (ගීතාවලිය 102:26; යෙසායා 51:6) පියවි ඇසට, අප ඉහළින් තිබෙන අහස කවාකාරව පෙනෙන්ට තිබෙනවා. එය හරියට ලියා ඇති පුරාණ අකුළන පොතක් වගෙයි. එම පොත්වල ඇතුල් පැත්තේ පමණක් අකුරු ලියා තිබෙනවා. ලියා ඇති දේ කියෙව්වාට පසු පොත අකුළා පැත්තකට දමනවා. “අහස අකුළන පොතක් මෙන් ඇකිළී” යන්නා සේ මනුෂ්‍ය ආණ්ඩු ක්‍රමද ඔවුන්ගේ අවසානය දකීවා! ඔවුන් තම පාලන ක්‍රමවල අවසාන පිටුවට ළඟා වී ඇති අතර අර්මගෙදොන්හිදී අවසානය අද්දකිනවා. ඔවුන්ගේ තේජාන්විත “සේනා” මිදි වැලේ වේළුණු කොළ මෙන්ද, අත්තික්කා ගහෙන් වැටෙන ‘වියළි අත්තික්කා’ මෙන්ද වෙන්ට යනවා. එවිට ඔවුන්ගේ කාලය ඉකුත් වී තිබේවි!—එළිදරව් 6:12-14 සසඳන්න.

විපාක දීමේ දවස

9. (අ) ඒදොම් ජාතියේ මූලාරම්භය කුමක්ද? ඉශ්‍රායෙල් සහ ඒදොම් අතර ගොඩනැඟුණු සම්බන්ධය කෙබඳු ආකාරයේ එකක්ද? (ආ) ඒදොම ගැන යෙහෝවා තීරණය කළේ කුමක්ද?

9 අනාවැකිය දැන් යෙසායාගේ දවසේ සිටින එක්තරා ජාතියක් වෙන් කර දක්වනවා. ඒ ඒදොම් ජාතියයි. ඒදොම්වරුන් ඒසව්ගෙන් (ඒදොම්ගෙන්) පැවතෙන්නන්. ඒසව් කියන්නේ රොටි සහ කොල්ලු ව්‍යංජනයකට තම නිඹුල් සහෝදර යාකොබ්ට තමාගේ කුලුඳුල්කම විකිණූ තැනැත්තායි. (උත්පත්ති 25:24-34) යාකොබ් තමා වෙනුවට කුලුඳුල්කමට පත් වූ නිසා ඒසව් තම සහෝදරයා කෙරෙහි පසු කාලයකදී මහත් වෛරයකින් බැඳුණා. නිඹුල් සහෝදරයන් දෙදෙනෙකුගෙන් පැවත ආවත්, පසු කාලයේදී ඒදොම් ජාතියත් ඉශ්‍රායෙල් ජාතියත් සතුරන් බවට පත් වුණා. දෙවිගේ සෙනඟට විරුද්ධව ඒදොම් තුළ වූ සතුරුකම, ඒදොමට විරුද්ධව යෙහෝවාව උදහස් කළා. යෙහෝවා මෙසේ කියනවා. “මාගේ කඩුව උදහසින් ස්වර්ගයෙහි නෑවී තිබේ. බලව, ඒක විනිශ්චය පිණිස ඒදොම පිටටත් මා විසින් ශාපයට කැපකළාවූ සෙනග පිටටත් බසින්නේය. [යෙහෝවාගේ] කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද [යෙහෝවාට] බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.”—යෙසායා 34:5, 6.

10. (අ) යෙහෝවා ‘ස්වර්ගයේ’ සිට කඩුව හසුරුවද්දී පහත හෙළන්නේ කාවද? (ආ) බබිලෝනිය විසින් යූදා දේශය ආක්‍රමණය කරද්දී ඒදොම පෙන්වන ආකල්පය කුමක්ද?

10 ඒදොම පිහිටා තිබෙන්නේ උස් කඳුකර ප්‍රදේශයකයි. (යෙරෙමියා 49:16; ඔබදියා 8, 9, 19, 21) කෙසේවෙතත්, යෙහෝවා ‘ස්වර්ගයේ’ සිට ඒදොම්හි පාලකයන්ව ඔවුන්ගේ තත්වයෙන් පහත දැමීම සඳහා තම විනිශ්චයේ කඩුව හසුරුවද්දී, මේ ස්වාභාවික ආරක්ෂක කඩොලුවලින් කිසිම ඵලක් වෙන්නේ නැහැ. ඒදොමේ යුධ ශක්තිය ප්‍රබලයි. එහි හමුදා රට රැකගන්ට උස් කඳුවැටිවල පවා ගැවසෙනවා. එහෙත් බබිලෝනියේ හමුදා යූදා ආක්‍රමණය කරන විට ප්‍රබල ඒදොම කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. එසේ කරනවා වෙනුවට, යූදා රාජ්‍යයේ හදිසි වැටීම ගැන ඒදොම ප්‍රීතියෙන් පිනායනවා පමණක් නොව ඔවුන් බබිලෝනිය උසිගන්වමින්ද සිටිනවා. (ගීතාවලිය 137:7) පණ බේරාගැනීමට දුවන යුදෙව්වන්ව අල්ලා බබිලෝනිවරුන් අතට පාවා දෙන්නෙත් ඒදොම්වරුන්මයි. (ඔබදියා 11-14) පාළුවට ගිය ඉශ්‍රායෙල් දේශය අත් පත් කරගන්ට සැලසුම් යොදන මේ ඒදොම්වරුන් යෙහෝවාට විරුද්ධව පුරසාරම් දොඩනවා.—එසකියෙල් 35:10-15.

11. ඒදොම්වරුන්ගේ වංචාකාර ක්‍රියාකලාපයට යෙහෝවා දඬුවම් කරන්නේ කෙසේද?

11 ඒදොම්වරුන්ගේ මේ ජන්ම ස්නේහයෙන් තොර ක්‍රියාකලාපය යෙහෝවා නොසලකා හරියිද? කොහෙත්ම නැහැ. ඒදොමට සිදු වෙන්ට යන දේ ගැන ඔහු පුරෝකථනය කරන්නේ මෙසේයි. “වල් මීවෝ [මී හරක්, NW] උන් [ඔවුන්, NW] සමගද ගොන්නාම්බෝ ගොන් [බලවතුන්, NW] සමගද බැසඑන්නෝය; ඔවුන්ගේ දේශයද ලෙයින් පෙඟීයන්නේය, ඔවුන්ගේ ධූලි තෙලෙන් තරවන්නේය.” (යෙසායා 34:7) යෙහෝවා එම ජාතියේ සිටින උසස් අයවත් පහත් අයවත් සංකේතාත්මක මී හරක් සහ ගොන්නාම්බන් ලෙසත්, එළු බැටළුවන් ලෙසත් හඳුන්වනවා. මේ ලේ වරදසහගත දේශය යෙහෝවාගේ විනාශකාරි ‘කඩුවෙන්’ පහර කා ලෙයින් නැහැවී යා යුතුයි.

12. (අ) ඒදොමට දඬුවම් කිරීමට යෙහෝවා පාවිච්චි කරන්නේ කාවද? (ආ) අනාගතවක්තෘ ඔබදියා ඒදොම ගැන පුරෝකථනය කරන්නේ කුමක්ද?

12 යෙහෝවාගේ භූමික සංවිධානය වූ සියොන් කෙරෙහි දැක්වූ ද්වේෂය සම්බන්ධයෙන් දෙවි ඒදොමට දඬුවම් කරන්ට අරමුණු කරනවා. අනාවැකිය මෙසේ කියනවා. “මක්නිසාද මේක [යෙහෝවාගේ] පළිගන්න දවසය, සියොන්හි පැමිණිල්ල ගැන විපාකදෙන අවුරුද්දය.” (යෙසායා 34:8) පොදු යුගයට පෙර 607 යෙරුසලමේ විනාශය සිදු වී වැඩි කල් යන්ට මත්තෙන් යෙහෝවා තම ධර්මිෂ්ඨ කෝපය ඒදොම කෙරෙහි වගුරුවන්ට පටන්ගන්නේ බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් මාර්ගයෙනුයි. (යෙරෙමියා 25:15-17, 21) බබිලෝනියේ හමුදා ඒදොමට විරුද්ධව පැමිණෙන විට කිසිවෙකුට ඔවුන්ව බේරාගැනීමට හැකි වෙන්නේ නැහැ! එය කඳුකර දේශයට “විපාකදෙන අවුරුද්ද” බව යෙහෝවා අනාගතවක්තෘ ඔබදියා මාර්ගයෙන් මෙසේ පුරෝකථනය කරනවා. “නුඹේ සහෝදරවූ යාකොබ්ට කළ බලාත්කාරය නිසා නුඹ ලජ්ජාවෙන් වැසෙනවා ඇත, සදාකාලේටම සිඳදමනු ලබනවා ඇත. . . . නුඹ කළ හැටියටම නුඹට කරනවා ඇත; නුඹේ ක්‍රියාව නුඹේම හිස පිටට හැරී එනවා ඇත.”—ඔබදියා 10, 15; එසකියෙල් 25:12-14.

ක්‍රිස්තියානි ලෝකයේ අඳුරු අනාගතය

13. වර්තමානයේදී ඒදොම හා සමාන වන්නේ කවුද? ඒ මන්ද?

13 වර්තමානයේදීද ඒදොම හා සමාන සංවිධානයක් පවතිනවා. ඒ කුමන සංවිධානයද? මේ කාලයේදී යෙහෝවාගේ සෙනඟට නිග්‍රහ කිරීමේ සහ පීඩා කිරීමේ මූලිකත්වය ගෙන තිබෙන්නේ කවුද? ඒ ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතිය නොවේද? ක්‍රිස්තියානි ලෝකය මේ ලෝකයේ කාරණාවලට මැදිහත් වී තම තත්වය ඉතා උසස් තැනකට ගෙන ගොස් තිබෙනවා. මේ ලෝකයේ තමාට ඉහළ තත්වයක් තිබෙන බව ඇය කියා සිටිනවා. එමෙන්ම ඇගේ ආගම් මහා බබිලෝනියේ ප්‍රධාන කොටසක්. එහෙත් යෙහෝවා නවීන දින ඒදොමට විරුද්ධව ‘විපාක දීමේ අවුරුද්දක්’ ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ තම සෙනඟ වන ඔහුගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් සැහැසික අන්දමින් ක්‍රියා කර තිබෙන නිසයි.

14, 15. (අ) ඒදොමටත් ක්‍රිස්තියානි ලෝකයටත් සිදු වන්නේ කුමක්ද? (ආ) ඇවිළෙන කීල් සහ සෑම කල්ම පවතින දුම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් නොකරන්නේ කුමක්ද?

14 එමනිසා, යෙසායාගේ අනාවැකියේ මීළඟ කොටස සලකා බලද්දී අපි ඉපැරණි ඒදොම ගැනම පමණක් නොව ක්‍රිස්තියානි ලෝකය ගැනත් කල්පනා කරන්ට යනවා. “එහි ඔයවල් කීල්ද එහි ධූලි ගෙන්දගම්ද වන්නේය, ඒ දේශයද ඇවිළෙන කීල් වන්නේය. ඒක රෑ දාවල් නොනිවී තිබෙයි; ඒකේ දුම සෑමකල්ම නගින්නේය.” (යෙසායා 34:9, 10අ) ඒදොමෙහි ඔයවල් වියළී ගොස් වතුරෙන් නොව කීල් හෙවත් තාරවලින් පිරී යනවා. එහි දූවිලි ගෙන්දගම් බවට හැරී තිබෙනවා. ඉන්පසුව ඉක්මනින් ගිනි ඇවිළෙනසුලු මේ ද්‍රව්‍යවලට ගිනි තබන්ට යනවා.—එළිදරව් 17:16 සසඳන්න.

15 ගින්න, තාර සහ ගෙන්දගම් ගැන සඳහන් කිරීම ගිනි ඇවිළෙන නිරයක් තිබෙන බවට සාක්ෂියක් බව සමහරුන් කියා සිටිනවා. එහෙත් ඒදොම සදාකල්ම පිලිස්සෙමින් තිබීම සඳහා මිථ්‍යා නිරාගින්නකට හෙළන්නේ නැහැ. ඒ වෙනුවට ගිනි ගෙන්දගම්වලට හසු වූ විට යමක් මුළුමනින්ම දැවී අළු වී යන්නා සේ එය ලෝක දසුනෙන් නොපෙනී යනවා. අනාවැකිය දිගටම පසුව පෙන්වා දෙනවා වගේ අවසාන ප්‍රතිඵලය වන්ට යන්නේ සදාකාලික වද විඳීම නොව, ‘පාළුකම, හිස්කම සහ කිසිත් නැතිකම, [NW]’ පමණයි. (යෙසායා 34:11, 12) මේ බව, එහි දුම “සෑමකල්ම නගින්නේය” කීමෙන් පැහැදිලිව නිදර්ශනය වෙනවා. ගෙයක් ගිනිගෙන දැවී ගිනි දැල් නිවී ගිය පසු අළු අතරින් දුම් ඉහළට නඟිනවා. එය බලා සිටින්නෙකුට එහි ගින්නක් තිබූ බවට සාක්ෂි දෙනවා. අද සිටින ක්‍රිස්තියානීන් ඒදොම්හි විනාශයෙන් පාඩම් ඉගෙනගන්නා නිසා ඒදොම් දැවී යෑමේ දුම් යම් අර්ථයකින් තවමත් ඉහළට නඟිනවා කියා කිව හැකියි.

16, 17. ඒදොම්ට සිදු වන්නේ කුමක්ද? එය එම තත්වයේ කොපමණ කාලයක් තිබෙන්ට යනවාද?

16 යෙසායාගේ අනාවැකිය තවදුරටත් පුරෝකථනය කරන්නේ ඒදොම්හි මිනිස් ජනගහනය වෙනුවට වන සතුන්ගෙන් එය පිරෙන්ට යන බවයි. එයින් අඟවන්නේ සිදුවීමට යන පාළුවීමයි. “පරම්පරාවෙන් පරම්පරාවට එය පාළුව තිබෙයි; සදාකාලයටම කිසිවෙක් ඒ මැදින් නොයන්නේය. ඔටුමානාටත් ඉත්තෑවාටත් එය උරුමවන්නේය; බකමූණාද කපුටාද එහි වාසය කරති; ඒක පිට පාළුකම නමැති ලනුවද හිස්කම නමැති ලඹකැටයද අල්ලනු ලැබේ. ඔව්හු ඒකේ උත්තමයන් රාජ්‍යයට කැඳවන්නෝය, නුමුත් එහි කිසිවෙක් නොවන්නේය, ඒකේ සියලුම අධිපතියෝද නැතිවන්නෝය. ඒකේ මාළිගාවල කටුද ඒකේ බලකොටුවල කසඹිලියා සහ ගොකටුද හැදෙන්නේය. ඒක සිවලුන්ට වාසයක්ද පැස්බරුන්ට මළුවක්ද වන්නේය. වනයේ වල් මෘගයෝද වෘකයෝද සම්මුඛවන්නෝය, වල් එළුවා උගේ සමාගම්කාරයාට කෑගසන්නේය; එසේය, උලමාත් එහි ලැග නිශ්චල ඉඩමක් ලබාගන්නේය. එහි පනින සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුල්කරගන්නීය. එසේය, කුරුළුගොයිද එකිනෙකා සමග එහි එකතුවන්නෝය.”—යෙසායා 34:10ආ-15. *

17 ඇත්තෙන්ම ඒදොම පාළු දේශයක් බවට පත් වෙනවා. එය වල් සතුන්, කුරුල්ලන් සහ සර්පයන් පමණක් ගැවසෙන මුඩු බිමක් බවට පත් වෙන්ට නියමිතයි. යෙසා 34 දහවන පදයේ කියන විදිහට දේශයේ මේ වියළිභාවය “සදාකාලයටම” තිබෙන්ට යනවා. යළි පිහිටුවීමක් තිබෙන්ට යන්නේ නැහැ.—ඔබදියා 18.

යෙහෝවාගේ වචනයේ ස්ථිර ඉටුවීම

18, 19. ‘යෙහෝවාගේ පොත’ කුමක්ද? ඒ ‘පොතෙහි’ ක්‍රිස්තියානි ලෝකය සඳහා නියම කර ඇත්තේ කුමක්ද?

18 නවීන දින ඒදොම වන ක්‍රිස්තියානි ලෝකයට ඇති අඳුරු අනාගතය ගැන මොනතරම් දුක්ඛිත පුරෝකථනයක්ද! ඇය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට දරුණු පීඩා එල්ල කිරීමෙන් දෙවිගේ ප්‍රධාන සතුරෙක් බව පෙන්වා තිබෙනවා. යෙහෝවා තම වචනය ඉටු කරන බවට කිසිම සැකයක් නැහැ. යෙහෝවාගේ අනාවැකි ගත් කල ඒවාට නිසැක ඉටුවීමක් තිබෙනවාමයි. එය හරියට පාළු වූ ඒදොමේ සැරිසරන එක් එක් සතා අනිවාර්යයෙන්ම ‘උගේ සහකරුවාව සොයාගන්නවා’ වගෙයි. යෙසායා මේ බයිබල් අනාවැකියේ අනාගත සිසුන්ව අමතන්නේ මේ ආකාරයටයි. “[යෙහෝවාගේ] පොතෙන් සොයා කියවන්න. මුන්ගෙන් එකෙක්වත් අඩු නොවන්නේය, එකෙකුට එකෙක් [ඌට සහකරුවෙකුව, NW] සම්බ නොවී නොයන්නේය. මක්නිසාද එය අණකෙළේ [ඔහුගේ] මුඛයය, උන් රැස්කළෙත් [ඔහුගේ] ආත්මයය. [ඔහුම] උන් උදෙසා පසඇට දමා, තමන් අතින් එය ලනුවෙන් උන්ට [බෙදා දුන්නේය]. උන් එය සදාකාලයට හිමිකරගන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසයකරනවා ඇත.”—යෙසායා 34:16, 17.

19 ක්‍රිස්තියානි ලෝකය මත පැමිණෙන්ට යන විනාශය ගැන ‘යෙහෝවාගේ පොතෙහි’ පුරෝකථනය කරනවා. තෘප්තිමත් නොවන, තම සෙනඟට පසුතැවිල්ලකින් තොරව විරුද්ධවාදිකම් පාන සතුරන්ට යෙහෝවාගේ තීන්දුව නියම කරන බව ‘ඔහුගේ පොතෙහි’ වාර්තා කරනවා. පුරාණ ඒදොම ගැන ලියා තිබුණු දේ සැබෑ වුණා. ඒදොමට සමාන නවීන දින ක්‍රිස්තියානි ලෝකයටත් එයම අදාළ වන නිසා, මෙය අපේ විශ්වාසය ශක්තිමත් කරනවා. ආත්මිකව පණ අදිමින් සිටින මේ සංවිධානය පාළු කාන්තාරයක් බවට පත් වෙනවා. ‘ලණුව’ හෙවත් යෙහෝවාගේ ක්‍රියාකලාපය ඒ බව සනාථ කරනවා.

20. පුරාණ ඒදොම මෙන් ක්‍රිස්තියානි ලෝකය අද්දකින්ට යන්නේ කුමක්ද?

20 ක්‍රිස්තියානි ලෝකය ඇගේ දේශපාලනික මිතුරන්ව සැනසීමට තමන්ට හැකි සෑම දෙයක්ම කළත් කිසිම ඵලක් වන්ට යන්නේ නැහැ! එළිදරව් 17වන සහ 18වන පරිච්ඡේදවලට අනුව, සර්ව පරාක්‍රම දෙවි වූ යෙහෝවා ක්‍රිස්තියානි ලෝකය ඇතුළු මුළු මහා බබිලෝනියටම විරුද්ධව ක්‍රියා කිරීමට ඇගේ මිතුරන්ගේ හෘද පොලඹවන්ට යනවා. එසේ වීම බොරු ක්‍රිස්තියානීන්ගෙන් මුළු පොළොවම බේරාගැනීමට හේතු වෙනවා. ක්‍රිස්තියානි ලෝකයේ තත්වය යෙසායා 34වන පරිච්ඡේදයේ පැහැදිලි කර තිබෙන අඳුරු තත්වයට සමාන වෙන්ට යනවා. ‘සර්වපරාක්‍රම වූ දෙවිගේ මහත් දවසේ යුද්ධය’ සිදු වන ඒ තීරණාත්මක කාලය දක්වාවත් ඇය සිටින්ට යන්නේ නැහැ! (එළිදරව් 16:14) පුරාණ ඒදොම මෙන් ක්‍රිස්තියානි ලෝකයද පොළෝ මතුපිටින් “සදාකාලයටම” අතුගා දමන්ට යනවා.

[පාදසටහන]

^ මලාකීගේ කාලයේදී මේ අනාවැකිය ඉටු වුණා. (මලාකී 1:3) ඒදොම්වරුන් තමන්ගේ දේශය නැවත අත් පත් කරගැනීමට අපේක්ෂාවෙන් සිටින බව මලාකී වාර්තා කරනවා. (මලාකී 1:4) කෙසේවෙතත්, එය යෙහෝවාගේ කැමැත්ත නොවූ අතර, නැබටීයන් නමැති වෙනත් අරාබි ජාතියක් විසින් කලින් ඒදොම් දේශයව තිබූ ප්‍රදේශය උරුම කරගත්තා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[363වන පිටුවේ කොටුව]

කෝපාවිෂ්ට වන දෙවිකෙනෙක්ද?

යෙසායා 34:2-7 කියා ඇති කරුණු දෙස බලන බොහෝදෙනෙකුට හෙබ්‍රෙව් ලියවිල්ලේ විස්තර කර තිබෙන යෙහෝවා කෲර, උදහසෙන් පිරුණු දෙවිකෙනෙක් කියා හැඟී ගොස් තිබෙනවා. එහෙත් එය සැබෑවක්ද?

නැහැ. දෙවි සමහර අවස්ථාවලදී තමන්ගේ කෝපය පිට කරන බව ඇත්තයි. එහෙත් එය සැමවිටම සාධාරණයි. එය සැමවිටම පදනම් වී තිබෙන්නේ ප්‍රතිපත්ති මත මිස පාලනය කරගත නොහැකි චිත්තවේගයන් මත නෙවෙයි. තවදුරටත් එය සැමවිටම පාලනය වන්නේ තනි භක්තිය ලැබීමට සහ සත්‍යතාව රැකගැනීමට මැවුම්කරුවාට ඇති අයිතිය පදනම් කරගෙනයි. ධර්මිෂ්ඨකම සඳහා දෙවිගේ ලැදියාව සහ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන්නන් කෙරෙහි ඔහු තුළ ඇති ආදරය පදනම් කරගෙනයි දිව්‍ය උදහස පාලනය වන්නේ. යෙහෝවා යම් කාරණයකදී ඊට අදාළ සියලුම දේවල් දකිනවා. එමෙන්ම එම තත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ සහ අපරිමිත දැනුමක් ඔහුට තිබෙනවා. (හෙබ්‍රෙව් 4:13) හදවත්වල ඇති දේ දැනගන්ට ඔහුට හැකියි. නොසැලකිලිමත්කම, වගකීමෙන් තොරව කටයුතු කිරීම සහ දැන දැන වැරදි කිරීම යන කාරණා ගැන ඔහු සැලකිලිමත් වන අතර, ඒ අනුව තරාතිරම් නොබලා පියවර ගන්නවා.—ද්විතීය කථාව 10:17, 18; 1 සාමුවෙල් 16:7; ක්‍රියා 10:34, 35.

කෙසේවෙතත්, යෙහෝවා “දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ” දෙවිකෙනෙක්. (නික්මයාම 34:6) ඔහුට භයැති, ධර්මිෂ්ඨකම් කිරීමට වෑයම් කරන අයට ඔහුගෙන් දයාව ලැබෙනවා. ඊට හේතුව වන්නේ මනුෂ්‍යයා උරුම කරගත් අසම්පූර්ණකම් සර්වපරාක්‍රමයාට තේරෙන නිසයි. මේ හේතුවෙන් ඔහු ඔවුන්ට දයාව දක්වනවා. අදදින දෙවි මෙසේ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව පදනම් කරගෙනයි. (ගීතාවලිය 103:13, 14) නියමිත කාලය පැමිණුණු විට තමන්ගේ පාප තේරුම්ගෙන පසුතැවිලි වී සැබෑ ලෙසම සේවය කරන අයගෙන් යෙහෝවා තම කෝපය ඉවත් කරගන්නවා. (යෙසායා 12:1) මෙසේ බලන කල, යෙහෝවා කෝපාවිෂ්ට දෙවිකෙනෙක් නොව ප්‍රීතියේ දෙවිකෙනෙක්. අපිට දුරින් සිටින කෙනෙක් නොව ළඟා විය හැකි දෙවිකෙනෙක්. නිවැරදි ලෙස ළඟාවන්නන්ට ඔහු සාමකාමී සන්සුන් කෙනෙක්. (1 තිමෝති 1:11, NW) මෙය මිථ්‍යා දෘෂ්ටික බොරු දෙවිවරුන් පිළිබඳව දී තිබෙන දයා විරහිත, කෲර පින්තූරයටත් එම දෙවිවරුන්ගේ පිළිම අඹා තිබෙන ආකාරයටත් වඩා හාත්පසින්ම වෙනස්.

[362වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මහා මුහුද

දමස්කය

ශීදොන්

තීර්

ඉශ්‍රායෙලය

දාන්

ගලීල මුහුද

යොර්දාන් ගඟ

මෙගිද්දෝ

රාමොත්-ගිලියද්

සමාරිය

පිලිස්තිය

යූදා

යෙරුසලම

ලිබ්නා

ලාකීෂ්

බෙයෙර්-ෂෙබා

කාදෙෂ්-බර්නේය

ලුණු මුහුද

අම්මොන්

රබ්බා

මෝවබ්

කීර්-හරෙසෙත්

ඒදොම්

බොශ්රා

තේමාන්

[359වන පිටුවේ පින්තූර]

ක්‍රිස්තියානි ලෝකය මිහිකත ලෙයින් නහවා තිබේ

[360වන පිටුවේ පින්තූරය]

“අහස අකුළන පොතක් මෙන් ඇකිළී” යන්නේය