Skip to content

පටුනට යන්න

යෙහෝවා තීර්හි උඩඟුකම කෙලසයි

යෙහෝවා තීර්හි උඩඟුකම කෙලසයි

දහනවවන පරිච්ඡේදය

යෙහෝවා තීර්හි උඩඟුකම කෙලසයි

යෙසායා 23:1-18

1, 2. (අ) පුරාණ තීර් කුමනාකාර නුවරක් වුණාද? (ආ) යෙසායා තීර් ගැන පුරෝකථනය කළේ කුමක්ද?

 ඇය “රුවෙන් අගතැන්පත්ව, සියලු ආකාර සම්පතින්” පිරී සිටියා. (එසකියෙල් 27:3, 12, NW) ඇගේ නැව් සමූහයෝ මුහුදේ දුර ඈත රටවලට හබල් ගැසුවා. ඇය “මුහුද මැද ඉතා කීර්තිමත්ව” සිටි අතර, ‘සම්පත්වලින් පොළොවේ රජුන් පොහොසත්’ කළා. (එසකියෙල් 27:25, 33) පොදු යුගයට පෙර හත්වන සියවසේදී මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිර කොනේ පිහිටි ෆිනීෂියානු නුවරක් වූ තීර්හි දියුණුව එයාකාරව පැවතුණා.

2 එහෙත් තීර්හි විනාශය ළඟ ළඟම එමින් තිබුණා. එසකියෙල් ඇය ගැන විස්තර කරන්ට අවුරුදු සියයකට පමණ පෙර මෙම ෆිනීෂියානු බලකොටුවේ වැටීම ගැනත්, ඒ මත යැපෙන්නන් නඟන විලාපය ගැනත් අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළා. ඔහු තවදුරටත් පැවසුවේ එසේ වීමෙන් කාලයක් ගත වූ පසු දෙවි මේ නුවර වෙත නැවත වරක් අවධානය යොමු කර, ඇගේ සමෘද්ධිය යළි පණගන්වන්ට අවසර දෙන බවයි. අනාගතවක්තෘවරයාගේ වචන ඉටු වූයේ කෙසේද? තීර්ට සිදු වූයේ කුමක්ද? එවැනි දෙයක් සිදු වූයේ මන්ද? ඒ සිදු වූ සියල්ලෙන් අපිට උගත හැකි පාඩම් මොනවාද යන කාරණා නිරවුල්ව තේරුම්ගැනීමෙන් යෙහෝවා සහ ඔහුගේ පොරොන්දු කෙරෙහි ඇති අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් වනු ඇති බව නිසැකයි.

“තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න”

3, 4. (අ) තර්ෂිෂ් පිහිටියේ කොහේද? තීර් සහ තර්ෂිෂ් අතර පැවති සම්බන්ධය කුමක්ද? (ආ) තර්ෂිෂ් සමඟ වෙළඳාම් කරන නැවියන්ට “කෑමොර” දෙන්ට තිබෙන හේතු මොනවාද?

3 “තීර්ට විරුද්ධව දිව්‍ය ප්‍රකාශය [NW]” යන කියමනෙන් ආරම්භ කරමින් යෙසායා මෙසේ කියනවා. “අහෝ තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද ගෙයක්වත් ඇතුල්වෙන තැනක්වත් නැති තරමට ඒක නාස්තිවිය.” (යෙසායා 23:1අ) තර්ෂිෂ් කියන්නේ මධ්‍යධරණී මුහුදේ නැඟෙනහිරට වෙන්ට තිබූ තීර් සිට බොහෝ ඈතින් වූ ස්පාඤ්ඤයේ කොටසකට බව විශ්වාස කෙරෙනවා. * එසේ වුණත්, ෆිනීෂියාවේ වැසියන් දක්ෂ නැවියන්. ඔවුන්ගේ නැව් අතිවිශාල වූ අතර, ඒවා මුහුදු ගමන්වලට හොඳහැටි ඔරොත්තු දුන්නා. සඳ සහ වඩදිය බාදිය අතර ඇති සම්බන්ධයත් නාවික ගමන් සඳහා තාරකා ශාස්ත්‍රයත් මුලින්ම යොදාගත්තේ ෆිනීෂියාවේ වැසියන් බව සමහර ඉතිහාසඥයන් පවසනවා. එසේ බලන කල, තීර් සිට තර්ෂිෂ් දක්වා ඇති දුර ගමන ඔවුන්ට බාධාවක් වූයේ නැහැ.

4 ඈතින් පිහිටියත් යෙසායාගේ දවසේදී තර්ෂිෂ් තීර්ගේ වෙළඳ මධ්‍යස්ථානයක්. තීර්හි ඉතිහාසයේ ඇතැම් වකවානුවල ධනස්කන්ධය රැස් කරගැනීමේ ප්‍රධාන උල්පත එය වන්ට ඇති. ස්පාඤ්ඤය රිදී, යකඩ, ටින් සහ වෙනත් ලෝහ පිරි ආකරවලින් ගහනයි. (යෙරෙමියා 10:9 සහ එසකියෙල් 27:12 සසඳන්න.) “තර්ෂිෂ්හි නැව්කාරයෙනි” කියා කියද්දී සමහරවිට එයින් අදහස් කරන්නේ, තර්ෂිෂ් සමඟ වෙළහෙළඳාම් කරන තීර්හි නැව්කාරයන්ව විය හැකියි. තම මව්බිමේ වරාය විනාශ වීම ගැන ‘කෑමොරගසා’ විලාප තියන්ට ඔවුන්ට හොඳ හේතු තියෙන්ට යනවා.

5. තීර්හි වැටීම ගැන තර්ෂිෂ්හි සිට පැමිණෙන නැවියන්ට දැනගන්ට ලැබෙන්නේ කොහේදිද?

5 තම මව්බිම වන තීර්හි වැටීම ගැන නැවියන් දැනගන්ට යන්නේ කොහොමද? යෙසායා මෙසේ කියනවා. “කිත්තිවරුන්ගේ දේශයෙන් ඒක ඔවුන්ට ආරංචිවිය.” (යෙසායා 23:1ආ) ‘කිත්තිවරුන්ගේ දේශය’ කියා සමහරවිට හඳුන්වන්නේ ෆිනීෂියානු වෙරළේ සිට බටහිර දිශාවට කිලෝ මීටර් 100ක් පමණ දුරින් පිහිටි කුප්‍රස හෙවත් සයිප්‍රස් දූපත විය හැකියි. තර්ෂිෂ්හි සිට නැඟෙනහිර දෙසට එන නැව් තීර් වෙත සේන්දු වීමට පෙර තිබෙන අවසාන නැවතුම්පොළ එයයි. මෙසේ, සයිප්‍රස්හි නැංගුරම්ලන විට තම මව්බිමේ වරාය විනාශ වී ඇති බව නැවියන්ට දැනගන්ට ලැබෙනවා. එය ඔවුන්ට මොනතරම් කම්පනයක් වේවිද! අඬා වැලපෙමින් කිසිවක් කර කියාගත නොහැකිව ඔවුන් “කෑමොරගසන්න” යනවා.

6. තීර් සහ ශීදොන් අතර සම්බන්ධතාව විස්තර කරන්න.

6 ෆිනීෂියාවේ වැසියන්ද ව්‍යාකූල වෙන්ට යනවා. අනාගතවක්තෘවරයා කියන්නේ මෙසේයි. “මුහුදු බඩ වැසියෙනි, නිශ්ශබ්ද වෙන්න; මුහුදේ යාත්‍රාකරන ශීදොන් වෙළඳුන් විසින් නුඹ පූර්ණකොට තිබේ. මහා ජලයන් කරණකොටගෙන ෂිහෝර්හි බීජ වන නයිල් ගංගාවේ අස්වැන්න ඇගේ ආදායම විය; ඈ ජාතීන්ගේ වෙළඳාම්පළ වූවාය.” (යෙසායා 23:2, 3) ‘මුහුදුබඩ වැසියන්’ එනම් තීර්හි අසල්වැසියන් තීර්ට අත් වන විපත්තිය දෙස මීයට පිම්බාක් මෙන් බිරාන්ත වී බලා සිටිනවා. තීර්ව ‘පූර්ණ කර’ ඇයව ධනවත් කළ ‘ශීදොන්හි වෙළඳුන්’ කවුද? තීර් කියන්නේ වරාය ආශ්‍රිත වූ ශීදොන්හි සිට කිලෝ මීටර් 35ක් පමණ දකුණෙන් පිහිටි ශීදොන්හි මුල් ජනපදයකටයි. ශීදොන් තීර්ගේ මව ලෙස ශීදොන්හි කාසිවල සඳහන් කර තිබෙනවා. මේ වන විට තීර් ශීදොන්ට වඩා මහත් ධන සම්භාරයකට උරුමකම් කීවත්, ඇය තවමත් ‘ශීදොන්ගේ දියණියයි.’ එහි වැසියන් තමන්ව හඳුනගන්නේද ශීදොන් වැසියන් හැටියටයි. (යෙසායා 23:12) මේ නිසා, ‘ශීදොන්හි වෙළඳුන්’ කියා සමහරවිට යොමු දක්වන්නේ තීර්හි ව්‍යාපාරික වැසියන්ට විය හැකියි.

7. ශීදොන්හි වෙළඳුන් නිසා වෙනත් රටවල් ධනවත් වූයේ කෙසේද?

7 ධනවත් ශීදොන්හි වෙළඳුන් ව්‍යාපාරික කටයුතුවල යෙදෙමින් මධ්‍යධරණී මුහුදේ සැරිසරනවා. මිසරයේ ඩෙල්ටා ප්‍රදේශයෙහි නයිල් ගඟේ නැඟෙනහිරටම වෙන්ට පිහිටා තිබෙන ෂිහෝර්හි බීජ නැතහොත් ධාන්‍ය වර්ග ඔවුන් බොහෝ දේශවලට ගෙන යනවා. (යෙරෙමියා 2:18 සසඳන්න.) ‘නයිල් ගඟේ අස්වැන්නට’ මිසරයේ වෙනත් කෘෂිකාර්මික නිෂ්පාදනද ඇතුළත් වෙනවා. භාණ්ඩ වෙළඳාම සහ හුවමාරුව මේ මුහුදු වෙළඳුන්ට පමණක් නෙවෙයි, ඔවුන් සමඟ ව්‍යාපාරයේ යෙදෙන ජාතීන්ටත් ඉතා ලාභදායකයි. ශීදොන්හි වෙළඳුන්ගේ ආදායමෙන් තීර් පිරෙනවා. ඇගේ පාළුවීම ගැන ඔවුන් ඇත්තෙන්ම මහත් සේ දුක් වේවි!

8. තීර්හි විනාශය ශීදොන් මත බලපාන්නේ කෙසේද?

8 මීළඟට යෙසායා මේ වචනවලින් ශීදොන් වැසියන්ව අමතනවා. “එම්බා ශීදොන්, ලජ්ජාවෙන්න; මක්නිසාද මුහුද, එනම් මුහුදු බලකොටුව කථාකොට: මම බිහිකරන වේදනා නොවින්දෙමි, දරුවන් බිහිනොකළෙමි, තරුණයන් පෝෂ්‍ය නොකෙළෙමි, කන්‍යාවන් ඇති නොකෙළෙමියි කීවාය.” (යෙසායා 23:4) තීර් විනාශ වූ පසු, එම නුවර පිහිටි වෙරළ තීරය පාළු බවක් උසුලන්ට යනවා. මුහුද හරියට තම දරුවන් අහිමි වුණු මවක් මෙන් කාන්සාවෙන් සිටිනවා පමණක් නෙවෙයි, ඇති වන කම්පනය නිසා ඇයට දරුවන් සිටියාද කියාවත් කියන්ට හරි හැටි සිහිකල්පනාවක් නැතුවාක් මෙන් අඬා වැලපෙන්ට යනවා. තම දියණියට සිදු වන දේ සම්බන්ධයෙන් ශීදොන් ලැජ්ජාවට පත් වෙන්ට නියමිතයි.

9. තීර්හි වැටීමෙන් පසු ජනයා තුළ වූ දුක සමාන වන්නේ ඉතිහාසයේ සිදු වූ කිනම් වෙනත් සිදුවීම්වලටද?

9 සැබවින්ම, තීර්හි විනාශය ගැන ආරංචිය, සතර දිගෙන්ම දුක් අඳෝනා ඇති වන්ට හේතුවක් වෙන්ට යනවා. යෙසායා මෙසේ කියනවා. “මිසරයට සිදු වූ දෙය සැල වූ කළ ඔවුන්ට ඇති වූ ශෝකය හා සමාන ශෝකයක් තීර් ගැන ආරංචි වන දෙයින්ද ඇති වන්නේය.” (යෙසායා 23:5, NW) වැලපෙන්නන්ගේ වේදනාව මිසරය පිළිබඳ වාර්තාව ඇසීමෙන් ඇති වූ වේදනාවට සමාන වෙන්ට යනවා. අනාගතවක්තෘවරයා අදහස් කරන්නේ කුමන වාර්තාව ගැනද? සමහරවිට “මිසරයට විරුද්ධව [NW]” මුලින් සඳහන් කළ ‘දිව්‍ය ප්‍රකාශයේ’ ඉටුවීම සම්බන්ධයෙන් විය හැකියි. * (යෙසායා 19:1-25) එහෙමත් නැත්නම් අනාගතවක්තෘවරයා වාර්තා කරන්නේ මෝසෙස්ගේ දවසේදී ඵාරාවෝගේ හමුදාවට අත් වූ විනාශයෙන් පැනනැඟුණු ව්‍යාකූලත්වය ගැන විය හැකියි. (නික්මයාම 15:4, 5, 14-16; යෝෂුවා 2:9-11) ඒ කුමක් ගැන වුණත්, තීර්හි විනාශය ගැන අසන අය සිටින්ට යන්නේ තද වේදනාවෙන්. සරණ පතා ඈත පිහිටි තර්ෂිෂ් වෙත පලා යන ලෙස ඔවුන්ට ආරාධනා කෙරෙන අතර, ඔවුන්ට හඬනඟා විලාප තියන්ට කියන්නේ මේ ආකාරයටයි. “තර්ෂිෂ්ට යාත්‍රාකරන්න; මුහුදුබඩ වැසියෙනි, කෑමොරගසන්න.”—යෙසායා 23:6.

“පුරාණ කාලයේ සිට” ප්‍රීතිමත්ව

10-12. තීර්හි ධනය, එහි ඉතිහාසය සහ බලපෑම් කිරීමට ඊට තිබූ හැකියාව පැහැදිලි කරන්න.

10 තීර් පුරාණයේ සිට පැවතෙන නුවරක් බව යෙසායා අපිට මතක් කර දෙනවා. “පුරාණ කාලයේ සිට පවත්නාවූ . . . නුඹලාගේ ප්‍රීතිමත් නුවර මේකද?” (යෙසායා 23:7) තීර්හි සමෘද්ධිමත් ඉතිහාසය දුරාතීතයේ යෝෂුවාගේ කාලය දක්වා දිවෙනවා. (යෝෂුවා 19:29) ඉන්පසු ගත වූ අවුරුදු ගණනාව තුළ ලෝහ භාණ්ඩ, වීදුරු බඩු සහ රත්නිල් සායම් පෙවූ රෙදි නිෂ්පාදනය සඳහා තීර් ප්‍රසිද්ධ වුණා. තීර්හි රත්නිල් කබායන්වලට තිබෙන්නේ ඉහළම ඉල්ලුමක්. තීර්හි මිල අධික රෙදි වංශවත් අයගේ තේරීමයි. (එසකියෙල් 27:7, 24 සසඳන්න.) දේශ දේශාන්තරවල සිට ගොඩබිමින් පැමිණෙන තවලම් සඳහාත් තීර් වෙළඳ මධ්‍යස්ථානයක්. එමෙන්ම එය මහා පරිමාණයේ ආනයන අපනයන ගබඩාවක්.

11 මීට අමතරව ප්‍රබල හමුදාවක් මේ නුවර සතුයි. “ෆිනීෂියාවේ වැසියන් හේවායන් නෙවෙයි. ඔවුන් වෙළෙන්දෝ. ඒ වුණත් ඔවුන් තම නුවරවල් රැක්කේ දැඩි දේශාභිමානී හැඟීමකින්, හිතුවක්කාර ආකාරයට. මේ කාරණාත් ඔවුන් සතු වූ නාවික ශක්තියත් නිසා එවකට සිටි ලෝක බලවතා වූ අෂූරියට යට නොවී සිටීමට තීර්ට හැකි වුණා” කියා එල්. ස්ප්‍රේග් ඩ කෑම්ප් පවසනවා.

12 ඇත්තවශයෙන්ම තීර් මධ්‍යධරණී ලෝකය තුළ වාර්තාවක් පිහිටුවාගෙන තිබෙනවා. ඇය “වාසය පිණිස බොහෝ දුර පයින් [ගමන්ගත්තා].” (යෙසායා 23:7) ෆිනීෂියාවේ වැසියන් දුර දේශවලට ගමන් කරන අතර, වෙළඳ මධ්‍යස්ථාන සහ අතරමැදි වරායන් පිහිටුවාගන්නවා. මෙසේ කරන සමහර අවස්ථාවලදී ඒවා ජනපද බවට පත් වෙනවා. උදාහරණයක් හැටියට, අප්‍රිකාවේ උතුරු වෙරළේ පිහිටි කාතේජය තීර්හි ජනපදයක්. කාලයාගේ ඇවෑමෙන් ආර්ථිකමය වශයෙන් කාතේජය තීර් පරදා මධ්‍යධරණී ලෝකයෙහි රෝමය හා තරඟ වදින්ටත් යනවා.

ඇගේ උඩඟුකම පහ කරයි

13. තීර්ට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කිරීමට තරම් නිර්භීත වන්නේ කවරෙකුද යන්න ගැන ප්‍රශ්නයක් පැනනඟින්නේ මන්ද?

13 තීර්හි පෞරාණිකබව සහ ධනවත්කම ගැන කතා කරද්දී ඊළඟට අසන ප්‍රශ්නය ඉතා උචිතයි. ‘ඔටුනු පළඳවන නුවර වූ, වෙළෙන්දන් අධිපතියන්ව සිටි, ගනුදෙනුකාරයන් පොළොවේ නම්බුකාරයන්ව සිටි තීර්ට විරුද්ධව මේක යෝජනා කළේ කවුද?’ (යෙසායා 23:8) ජනපදවල සහ වෙනත් තැන්වල ‘ඔටුනු පළන්’ අධිපතීන් ලෙස බලවත් මිනිසුන්ව පත් කර ඇති නුවරකට විරුද්ධව භය නැතුව කතා කරන්ට ඉදිරිපත් වෙන්නේ කවුද? වෙළෙන්දෝ අධිපතීන් වන සහ ගනුදෙනුකරුවෝ නම්බුකාරයන් වන අගනුවරකට විරුද්ධව කතා කරන්ට නිර්භීත වෙන්නේ කවුද? ලෙබනන්වල බේරූට්හි ජාතික කෞතුකාගාරයේ කලින් සිටි පුරාවස්තු පිළිබඳ අධ්‍යක්ෂක මෝරිස් ෂේහැබ් මෙසේ කිව්වා. “පොදු යුගයට පෙර නවවන සියවසේ සිට හයවන සියවස දක්වා තීර් පැවතුණේ, ලන්ඩන් නුවර දොළොස්වන සියවස ආරම්භයේදී පැවති තරම් වැදගත් තත්වයකයි.” ඉතින්, මේ නුවරට විරුද්ධව භය නැතුව කතා කරන්ට ඉදිරිපත් වෙන්නේ කවුද?

14. තීර්ට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කරන්නේ කවුද? ඒ මන්ද?

14 යෙසායාගේ දේවානුභාවය ලත් මෙම පිළිතුර තීර්ව ව්‍යාකූලත්වයට පැමිණෙව්වා. “සියලු අලංකාරකම්වල උඩඟුකම කෙළහන්ටත් පොළොවේ සියලු නම්බුකාරයන් නින්දාවට පමුණුවන්ටත් සේනාවල [යෙහෝවා] එය [යෝජනා කළේය].” (යෙසායා 23:9) මේ පැරණි ධනවත් නුවරට විරුද්ධව යෙහෝවා විනිශ්චය පමුණුවන්නේ ඇයි? එහි වැසියන් මිථ්‍යා දෙවි වූ බාල්ට නමස්කාර කරන නිසාද? ඒ ඉශ්‍රායෙල්හි ආහාස් රජු සමඟ විවාහ වී යෙහෝවාගේ අනාගතවක්තෘවරුන් මරා දැමූ තීර් ඇතුළු ශීදොන්වරුන්ගේ රජු වන එත්බාල්ගේ දූ වූ යෙසෙබෙල් සමඟ තීර්ට ඇති සබඳතාව නිසාද? (1 රාජාවලිය 16:29, 31; 18:4, 13, 19) ප්‍රශ්න දෙකටම උත්තරය නැත යන්නයි. තීර්ව හෙළා දකින්නේ ඈ තුළ වූ උඩඟු අහංකාරකම නිසයි. ඉශ්‍රායෙල් ඇතුළු අනෙකුත් සෙනඟගේ ධනයෙන් ඇය සමෘද්ධිමත් වෙමින් සිටිනවා. පොදු යුගයට පෙර නවවන සියවසේදී යෙහෝවා අනාගතවක්තෘ යෝවෙල් තුළින් තීර් සහ වෙනත් නුවරවලට මෙසේ කිව්වා. “නුඹලා යූදා දරුවන්ද යෙරුසලමේ දරුවන්ද නුඹලාගේ සීමාවෙන් ඈත්කරන පිණිස ඔවුන් ග්‍රීක්වරුන්ගේ පුත්‍රයන්ට වික්කහුය.” (යෝවෙල් 3:6) තමන් සමඟ ගිවිසුමකින් බැඳී සිටින සෙනඟව තීර් විසින් නිකම්ම වෙළඳ භාණ්ඩ ලෙස සැලකීම යෙහෝවා නොසලකා හරීවිද?

15. යෙරුසලම නෙබුකද්නෙශර්ගේ අතට නතු වූ විට තීර් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද?

15 අවුරුදු සියයක් පසු වී ගිය තැනත් තීර් වෙනස් වෙන්ට යන්නේ නැහැ. බබිලෝනියේ රජුගේ හමුදාව පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ කරන විට තීර් මෙසේ ප්‍රීති වෙන්ට යනවා. “ඔහෝ, ජනයන්ගේ දොරටුව වන ඈ කඩා දමනු ලැබුවාය; එය මා දෙසට ඇරී තිබෙයි. ඈ පාළුකරනු ලැබ සිටින නිසා මට පූර්ණකම ඇතිවන්නේය.” (එසකියෙල් 26:2) යෙරුසලමේ විනාශයෙන් ප්‍රයෝජන ලබන්ට බලාපොරොත්තුවෙන් තීර් ප්‍රීති වෙනවා. යූදා අගනුවරට තවදුරටත් තමන් සමඟ තරඟ කරන්ට නොහැකි වන නිසා වෙළඳාම් තවත් තර කරගන්ට ඇය අපේක්ෂා කරනවා. තමන්ම ‘නම්බුකාරයන්යයි’ කියාගනිමින් දෙවිගේ සෙනඟගේ සතුරන් සමඟ උඩඟු ලෙස වැජඹෙන ඇයව යෙහෝවා නින්දාවට පමුණුවන්ට යනවා.

16, 17. තීර් පරාජය වූ විට එහි වැසියන්ට සිදු වන්නේ කුමක්ද? (පාදසටහන බලන්න.)

16 යෙහෝවා තීර්ව හෙළා දැකීම යෙසායා මෙසේ වාර්තා කරනවා. “එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් නුඹේ දේශයෙහි පැතිරෙන්න; නුඹ අවටින් බැම්මක් තවත් නැත. [ඔහු] තමන්ගේ හස්තය මුහුද කෙරෙහි දිඟුකර රාජ්‍යයන් [සෙලෙවුවේය]. කානාන්හි බලකොටු නැති කරන ලෙස [යෙහෝවා] ඒ ගැන [අණ කළේය]. බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, නුඹ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් නුඹට නිවාඩුවක් නොලැබෙන්නේය.”—යෙසායා 23:10-12.

17 තීර්ව “තර්ෂිෂ්හි දියණියෙනි” කියා අමතන්නේ ඇයි? සමහරවිට තීර් පරාජය වීමෙන් පසු, මේ දෙකෙන් ඊළඟට බලවත් නුවරව තිබෙන්නේ තර්ෂිෂ් නිසයි. * අධික ජලස්කන්ධයක් ගලා යන ගං වතුරක් හේතුවෙන් ගං කණ්ඩි කැඩී වතුර පිටාර ගලා අවට තැනිතලාවලට ගලා යන්නා සේ විනාශ වූ තීර්හි වැසියන් විසිරී යන්ට යනවා. යෙසායා ‘තර්ෂිෂ්හි දියණියට’ දුන් පණිවිඩයෙන් කාවද්දන්නේ තීර්ට අත් වන කෲර ඉරණමයි. එය අණ කරන්නේ යෙහෝවායි. කිසිම කෙනෙකුට ප්‍රතිඵලය වෙනස් කරන්ට පුළුවන්කමක් නැහැ.

18. තීර් ‘ශීදොන්හි කන්‍යා දුව’ ලෙස හඳුන්වන්නේ මන්ද? එමෙන්ම, ඇගේ තත්වය වෙනස් වන්නේ කෙසේද?

18 තීර් ‘ශීදොන්හි කන්‍යා දුව [NW]’ ලෙස යෙසායා විසින් හැඳින්වීමෙන් අඟවන්නේ ඇයව මීට පෙර විදේශීය හමුදා විසින් වටලා හෝ කොල්ලකා නැති බවත් යටත් නොවූ දේශයක් ලෙස තවමත් සතුටින් සිටින බවත්ය. (2 රාජාවලිය 19:21; යෙසායා 47:1 සහ යෙරෙමියා 46:11 සසඳන්න.) කෙසේවෙතත්, දැන් ඇයව වනසා දැමීමට නියමිතයි. එහි වෙසෙන සමහර වැසියන් ෆිනීෂියානු ජනපදයක් වන කිත්තීම් වෙත යන්ට යනවා. කෙසේවෙතත්, ඔවුන්ගේ ආර්ථිකය පහත වැටී ඇති නිසා කොහේ සිටියත් ඔවුන්ට සැනසීමක් නම් තියෙන්ට යන්නේ නැහැ.

කල්දිවරුන් ඔවුන්ව කා දමයි

19, 20. තීර් පරාජය කරන්නා කවුරු හැටියටද පුරෝකථනය කර තිබෙන්නේ? එමෙන්ම, එම අනාවැකිය ඉටු වන්නේ කෙසේද?

19 තීර්ට එරෙහිව යෙහෝවාගේ විනිශ්චය ඉටු කරන්නේ කිනම් දේශපාලන බලවේගය විසින්ද? යෙසායා මෙසේ ප්‍රකාශ කරනවා. ‘කල්දිවරුන්ගේ දේශය බලන්න! අෂූර්වරුන් තවත් නැත. ඒක වන මෘගයන්ට නියම කරන ලද්දේය. ඔවුන් [කල්දිවරුන්] තමුන්ගේ බලකොටු ගොඩනඟා, එහි මාළිගාවල් නාස්ති කර දමා, එය ජරාවාසයක් කළේය. තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න. මක්නිසාද නුඹලාගේ බලකොටුව නාස්ති විය.’ (යෙසායා 23:13, 14) අෂූරියයන් නොව කල්දිවරුන් තීර්ව පරාජය කරනවා. ඔවුන් උස බලකොටු ගොඩනඟා තීර්හි වාසස්ථාන පොළොවට සමතලා කර, ශක්තිය වූ තර්ෂිෂ්හි නැව් කුඩුපට්ටම් කර දූලි ගොඩක් බවට පත් කරන්ට යනවා.

20 අනාවැකිය සැබෑ කරමින්, යෙරුසලම වටලා වැඩි කලක් යන්ට මත්තෙන් තීර් බබිලෝනියට විරුද්ධව කැරලිගසන අතර, නෙබුකද්නෙශර් නුවර වටලනවා. තමා අපරාජිතයි කියා සිතන තීර් තකට තක සිටිනවා. වටලා සිටින කාලය තුළදී, හිස් වැසුම් පැළඳ සිටීම හේතුවෙන් හේවායන්ගේ හිස් ‘මුඩු වෙලා.’ වැටලීමට අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය කරගසාගෙන ඒම හේතුවෙන් ඔවුන්ගේ උරහිස්වල ‘හම ගිහින්.’ (එසකියෙල් 29:18) වැටලීමෙන් නෙබුකද්නෙශර්ට වාසියක් නම් වෙලා නැහැ. තීර්හි ප්‍රධාන භූමි ප්‍රදේශයේ පිහිටි නුවර විනාශ වී තිබුණත්, එහි කොල්ලය බේරී තිබෙනවා. තීර්හි වස්තුවෙන් වැඩිහරියක් වෙරළේ සිට කිලෝ මීටරයක් පමණ ඈතින් පිහිටි කුඩා දූපතකට මාරු කෙරෙනවා. කල්දියේ රජුට නැව් කණ්ඩායමක් නැති නිසා එම දූපත පරාජය කිරීමට හැකියාවක් නැහැ. අවුරුදු 13කට පසු තීර් යටත් වන නමුත් එය බේරෙන අතර තවත් අනාවැකිවල ඉටුවීම් දකින්ට යනවා.

‘ඈ තමාගේ කුලියට හැරී පැමිණිය යුතුයි’

21. තීර්ව “මතක නැති” වන්නේ කිනම් ආකාරයෙන්ද? කොපමණ කාලයකටද?

21 යෙසායා තවදුරටත් අනාවැකි පවසනවා. “ඒ දවසෙහි එක රජෙකුගේ දවස් මෙන් තීර් අවුරුදු සැත්තෑවක් මතක නැතිවන්නේය.” (යෙසායා 23:15අ) බබිලෝනිය අතින් ප්‍රධාන භූමි ප්‍රදේශයේ පිහිටි නුවර විනාශ වීමෙන් පසු, දූපත්-නුවර වන තීර් “මතක නැති” වී යනවා. අනාවැකිය සැබෑ කරමින්, “එක රජෙකුගේ” කාලපරිච්ඡේදයේදී එනම්, බබිලෝනීය පාලන සමයේදී දූපත්-නුවර වන තීර් වැදගත් ආර්ථික ශක්තියක් ලෙස සලකන්ට යන්නේ නැහැ. යෙරෙමියා තුළින් යෙහෝවා තමන්ගේ උදහසේ මිදියුෂ පානය කරන ජාතීන් අතරට තීර්වත් ඇතුළත් කරනවා. ඔහු මෙසේ කියනවා. “මේ ජාතීහු බබිලෝනියේ රජුට සැත්තෑ අවුරුද්දක් සේවයකරන්නෝය.” (යෙරෙමියා 25:8-17, 22, 27) බබිලෝනියේ අධිරාජ්‍යය පො.යු.පෙ. 539දී වැටෙන්ට යන නිසා දූපත්-නුවර වන තීර් සම්පූර්ණ අවුරුදු 70ම බබිලෝනියට යටව තිබෙන්ට යන්නේ නැහැ. පැහැදිලිවම, අවුරුදු 70න් නියෝජනය කරන්නේ බබිලෝනියේ විශාල බලපරාක්‍රමයයි. ඒ ‘දෙවිගේ තාරකාවලට’ ඉහළින් බබිලෝනියේ රාජ වංශය පුරසාරම් දොඩන්ට යන කාලයයි. (යෙසායා 14:13) විවිධ කාලවලදී විවිධ ජාතීන් මෙම ආධිපත්‍යය යටතට පැමිණියා. එහෙත් අවුරුදු 70 අවසානයේදී එම ආධිපත්‍යය බිඳ වැටෙන්ට යනවා. එවිට තීර්ට කුමක් සිදු වෙයිද?

22, 23. බබිලෝනියේ බලයෙන් මිදුණු පසු තීර්ට සිදු වන්නේ කුමක්ද?

22 යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “අවුරුදු සැත්තෑවකට පසුව වේශ්‍යාවගේ ගීතිකාව මෙන් තීර්ට සිදුවන්නේය. එම්බා මතක නැතිවුණු වේශ්‍යාව, වීණාවක් ගෙන නුවර ඇවිද, නුඹ ගැන මතක්වෙන පිණිස මිහිරි ගී නාද කොට, බොහෝසේ ගී කියන්න. තවද අවුරුදු සැත්තෑවකට පසුව [යෙහෝවා] තීර් දෙස [බලන්නේය], ඈද තමාගේ කුලියට හැරී ඇවිත්, පොළෝ මතුපිට ලෝකයේ සියලු රාජ්‍යවල් සමග ගනුදෙනුකරනවා ඇත.”—යෙසායා 23:15ආ-17.

23 පොදු යුගයට පෙර 539දී බබිලෝනියේ වැටීමෙන් පසු, ෆිනීෂියාව මේද-පර්සියාවේ පාලනයට නතු වෙනවා. එහෙත්, පර්සියානු අධිරාජ්‍යයා වන මහා කෝරෙෂ් සාධාරණ රජෙක්. මේ අලුත් පාලනය යටතේ තීර් ඇගේ මුල් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරනවා. එය හරියට අමතක වී ගිය වේශ්‍යාවක් ඇගේ මුල් අනුග්‍රාහකයන් නැති වී ගිය නිසා අලුත් අයව ආකර්ෂණය කරගැනීමට නුවර පුරා වීණා වයමින් සිංදු කියනවා වගෙයි. මෙසේ, වාණිජ මධ්‍යස්ථානයක් ලෙස නැවතත් තම ස්ථානය අත් කරගැනීම සඳහා ඇය ලෝකය ඉදිරියේ පෙනී සිටිනවා. තීර් සාර්ථකත්වයක් අද්දකීවිද? ඔව් යෙහෝවා ඇයට සාර්ථකත්වය ලබා දෙනවා. කාලයාගේ ඇවෑමෙන්, දූපත්-නුවර කොතරම් සමෘද්ධිමත් වෙනවාද කිව්වොත් පො.යු.පෙ. හයවන සියවසේදී අනාගතවක්තෘ සෙකරියා මෙසේ කියන්ට යනවා. “තීර් වනාහි බලකොටුවක් ගොඩනගාගන, දූවිලි මෙන් රිදීද වීථිවල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය.”—සෙකරියා 9:3.

‘ඇගේ වෙළඳාම ශුද්ධව තිබිය යුතුය’

24, 25. (අ) තීර්හි ආදායම් යෙහෝවාට ශුද්ධ දෙයක් වන්නේ කෙසේද? (ආ) ඇගෙන් දෙවිගේ සෙනඟට උපකාර ලැබුණත්, ඇයට විරුද්ධව යෙහෝවා පළ කරන අනාවැකිය කුමක්ද?

24 මීළඟ අනාවැකිමය වචන කොතරම් අනර්ඝද! “ඇගේ වෙළඳාමද කුලියද [යෙහෝවාට] ශුද්ධව තිබේ. ඒවා නිධාන කරනු ලබන්නේවත් රැස්කරනු ලබන්නේවත් නැත; මක්නිසාද ඇගේ වෙළඳාම [යෙහෝවා] ඉදිරියෙහි වාසයකරන්නන්ට සෑහෙන පමණ කන පිණිසත් අලංකාර වස්ත්‍ර පිණිසත් වන්නේය.” (යෙසායා 23:18) තීර්හි ද්‍රව්‍යමය වාසි ශුද්ධ දෙයක් වන්නේ කෙසේද? යෙහෝවා කාරණා හසුරුවන්නේ ඔහුගේ කැමැත්තට අනුවයි. එනම් තමන්ගේ සෙනඟගේ තෘප්තිය වෙනුවෙන් කෑම සහ ඇඳුම් ලබා දීම සඳහායි. මෙය සිදු වන්නේ ඉශ්‍රායෙල් සෙනඟ බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වීමත් සමඟයි. තීර්හි සෙනඟ දේවමාළිගාව නැවත ගොඩනැඟීම සඳහා ලී සපයමින් ඔවුන්ට උදව් කරනවා. ඔවුන් නැවතත් යෙරුසලම සමඟ වෙළඳාම් ආරම්භ කරනවා.—එස්රා 3:7; නෙහෙමියා 13:16.

25 මේ හැම දෙයක්ම මැද යෙහෝවා තීර්ට විරුද්ධව තවදුරටත් ප්‍රකාශයන් කරනවා. දැන් ධනවත්ව සිටින දූපත්-නුවර ගැන සෙකරියා අනාවැකි පවසනවා. “බලව, [යෙහෝවා] එය අල්ලාගෙන, එහි පවුර මුහුදේ හෙළාදමනවා ඇත; එය ගින්නෙන් විනාශවන්නේය.” (සෙකරියා 9:4) මහ ඇලෙක්සැන්ඩර් විසින් මුහුදේ සිටි උඩඟු ස්වාමිදුවව පො.යු.පෙ. 332 ජූලි මාසයේදී බිඳ හෙළීමත් සමඟම මෙය ඉටු වුණා.

ද්‍රව්‍යවාදයෙන් සහ උඩඟුකමෙන් වළකින්න

26. දෙවි තීර් හෙළා දකින්නේ මන්ද?

26 යෙහෝවා තීර්ගේ උඩඟුකම හෙළා දකින්නේ ඔහු එම ගුණාංගයට දැඩි සේ අකමැති නිසයි. යෙහෝවා ද්වේෂ කරන දේවල් හතක් සඳහන් ලැයිස්තුවේ මුලින්ම තිබෙන්නේ “උඩඟු ඇස්ය.” (හිතෝපදේශ 6:16-19) පාවුල් උඩඟුකම සාතන් නමැති යක්ෂයා සමඟ සම්බන්ධ කරන අතර, උඩඟු තීර් පිළිබඳ එසකියෙල්ගේ විස්තරයේ සාතන්ගේම ගුණාංග විස්තර කෙරෙනවා. (එසකියෙල් 28:13-15; 1 තිමෝති 3:6) තීර් උඩඟු වූයේ ඇයි? එසකියෙල් තීර්ට කතා කරමින් මෙසේ කියනවා. “නුඹේ සම්පත්වලින් නුඹේ සිත උඩඟුවී තිබේ.” (එසකියෙල් 28:5) එම නුවර කැප වී සිටියේ වෙළඳාමට සහ ධනය රැස් කිරීමට පමණයි. තීර් මෙහිදී සාර්ථකත්වය අද්දැකීම අසාමාන්‍ය ලෙස ඇයව උඩඟුකමට පත් කළා. යෙහෝවා එසකියෙල් තුළින් “තීර්හි අධිපතියාට” මෙසේ කියනවා. ‘නුඹේ සිත උඩඟු වී මම දෙවිකෙනෙක්මි. මම දෙවිකෙනෙකුගේ ආසනයේ සිටින්නෙමියි කියනවා ඇත.’—එසකියෙල් 28:2.

27, 28. මිනිසුන් අසු වන්නේ කිනම් උගුලටද? යේසුස් මෙය නිදර්ශනය කරන්නේ කෙසේද?

27 ජාතීන් උඩඟුකම සහ ධනසම්පත් සම්බන්ධයෙන් වැරදි ආකල්පයකට යටවීමට ඉඩ තිබෙනවා. එමෙන්ම එක් එක් පුද්ගලයාටද එසේ වීමට පුළුවන්. මේ මලපත කොපමණ සූක්ෂ්මද කියා පෙන්වීමට යේසුස් උපමාවක් දුන්නා. බොහෝ ඵලදාව දුන් කෙතක් ඇති ධනවතෙක් ගැන ඔහු කතා කළා. කුල්මත් වූ මිනිසා ඔහුගේ බෝග රැස් කිරීමට වඩා විශාල ගබඩා සාදන්ට සැලසුම් කළා. වඩා ප්‍රීතිමත් අනාගතයක් ගැන සිහින මැව්වා. එහෙත් සිදු වූයේ එය නෙවෙයි. දෙවි ඔහුට මෙසේ කිව්වා. “අඥානය, අද රාත්‍රියේදී නුඹේ ප්‍රාණය නුඹෙන් අයකරනු ලැබේ; එවිට නුඹ සූදානම්කරගත් දේ කාට වන්නේද?” ඔව්, මිනිසා මිය ගියා. ඔහුගේ ධනසම්පතින් ඔහුට කිසිම ඵලක් වුණේ නැහැ.—ලූක් 12:16-20.

28 යේසුස් තම උපමාව අවසන් කරන්නේ මේ ආකාරයටයි. ‘දෙවි කෙරෙහි පොහොසත් නොවී තමාටම වස්තු රැස් කරගන්න අය එයාකාරයි.’ (ලූක් 12:21) ධනවත්ව සිටීම වැරදි නැහැ. හොඳ අස්වැන්නක් ලබාගන්න එකත් පාපයක් නෙවෙයි. එම මිනිසාගේ වරද වූයේ ඒවා ඔහුගේ ජීවිතයේ ප්‍රධාන දේ කරගැනීමයි. ඔහුගේ පූර්ණ විශ්වාසය රඳා පැවතුණේ ඔහුගේ ධනය මතයි. අනාගතය දෙස බලද්දී ඔහු යෙහෝවා දෙවිව ගණනකටවත් ගත්තේ නැහැ.

29, 30. අනිසි ආත්ම-විශ්වාසයට විරුද්ධව යාකොබ් අනතුරු අඟවන්නේ කෙසේද?

29 යාකොබ්ද මේ කාරණය ඉතා තදින් කාවද්දනවා. ඔහු මෙසේ කියනවා. “මෙන්න: අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළඳාම්කොට ලාභ උපදවාගන්නෙමුයයි කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. එබැවින්: [යෙහෝවා කැමති] නම්, අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය.” (යාකොබ් 4:13-15) ඊළඟ පදයේදී යාකොබ් ධනයේත් උඩඟුකමේත් ඇති සම්බන්ධය ගෙනහැර දැක්වුවා. “දැන් නුඹලාගේ අහංකාර කථාවලින් නුඹලා පාරට්ටුකරගන්නහුය. එබඳු සියලු පාරට්ටුකිරීම් නපුරුය.”—යාකොබ් 4:16.

30 නැවතත් කියනවා නම්, ව්‍යාපාරවල යෙදීම පාපයක් නෙවෙයි. පාපය වන්නේ උඩඟුකමයි. පුහු මාන්නයයි. ධනසම්පත් වැඩිවීම නිසා ඇති විය හැකි අනිසි ආත්ම-විශ්වාසයයි. ප්‍රඥාවන්ත අන්දමින් පුරාණ හිතෝපදේශයක් කියන්නේ මෙසේයි. ‘මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදෙන්න.’ දිළිඳුකම කියන එක ජීවිතයේ තිත්ත අද්දැකීමක් බව ඇත්තයි. එහෙත් ධනවත්කම කෙනෙකුව ‘දෙවිව එපා කර: යෙහෝවා කියන්නේ කාටද’ කියා අහන තත්වයටම මඟ පාදන්ට පුළුවන්.—හිතෝපදේශ 30:8, 9.

31. ක්‍රිස්තියානියෙක් තමාගෙන්ම අසාගත යුත්තේ කුමන ප්‍රශ්නද?

31 අපි ජීවත් වන්නේ බොහෝදෙනෙක් ගිජුකමට සහ ආත්මාර්ථකාමිත්වයට වැටී සිටින ලෝකයකයි. පවතින වාණිජ නැඹුරුවාව නිසා වැඩි අවධානයක් යොමු වන්නේ ධනය කෙරෙහියි. එමනිසා, වාණිජ නුවර වූ තීර් වැටුණු වළේම නොවැටෙන්ට ක්‍රිස්තියානියෙකු වගබලා ගැනීම යෙහෙකි. ඇත්තවශයෙන්ම ඔහු ධනයේ වහලෙක් වන තරමටම තම කාලය සහ ශක්තිය ද්‍රව්‍යවාදී ලුහුබැඳීම් සඳහා යොදවනවාද? (මතෙව් 6:24) ඔහුට වඩා දේවල් හෝ වස්තු සම්පත්ති ඇති අය කෙරෙහි ඔහු කුඩුකේඩුකමක් දක්වනවාද? (ගලාති 5:26) ඔහු ධනවත් නම්, ඔහු තමාට වැඩි අවධානයක් හෝ අනිත් අයට වඩා තමාට වරප්‍රසාද ලැබිය යුතුයි යන උඩඟු ආකල්පයක් ඇතුව සිටිනවාද? (යාකොබ් 2:1-9 සසඳන්න.) ඔහු ධනවත් නැත්නම්, මොන ක්‍රමයෙන් හෝ “ධනවත් වීමට අධිෂ්ඨාන කරගෙන” සිටිනවාද? (1 තිමෝති 6:9, NW) ඔහු දෙවිට කරන සේවය පැත්තකට තල්ලු වී යන තරමටම, තමාගේ ව්‍යාපාරික කටයුතු කෙරෙහි අනවශ්‍ය අවධානයක් දී තිබෙනවාද? (2 තිමෝති 2:4) තම ව්‍යාපාරික කටයුතු නිසා ක්‍රිස්තියානි ප්‍රතිපත්ති තුට්ටුවකටවත් මායිම් නොකරන තරමටම ඔහු තම ධන සම්පත් ලුහුබැඳීමට මුළුමනින්ම යොමු වී සිටිනවාද?—1 තිමෝති 6:10.

32. යොහන් සපයන්නේ කිනම් අනතුරු ඇඟවීමද? අපිට එය අදාළ කරගත හැක්කේ කෙසේද?

32 අපේ ආර්ථික තත්වය කුමක් වුණත්, අපේ ජීවිතයේ මුල් ස්ථානය සැමවිටම රාජ්‍යය වෙනුවෙන් වෙන් කළ යුතුයි. එමෙන්ම ප්‍රේරිත යොහන් කී දෙයින් අපගේ නෙත් සිත් ඉවත් නොකළ යුතුයි. “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, [පියා] කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.” (1 යොහන් 2:15) ජීවත් වීමට නම් ලෝකයේ පවතින ආර්ථික සැලසුම් ප්‍රයෝජනයට ගත යුතු බව ඇත්තයි. (2 තෙසලෝනික 3:10) එනමුත්, අපි ‘මේ ලෝකය භුක්ති විඳිය යුත්තේ අධික ලෙස’ නොවෙයි. (1 කොරින්ති 7:31) අපි ද්‍රව්‍යමය දේවල් එනම්, ලෞකික දේවල් කෙරෙහි අනවශ්‍ය ඇඟෑලුම්කමක් දක්වනවා නම් තවදුරටත් අපි යෙහෝවාට ආදරය කරන්නේ නැහැ. “මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් [ආටෝපකාරි ප්‍රදර්ශනයත්, NW]” දෙවිගේ කැමැත්ත කිරීම සමඟ යා වෙන්නේ නැහැ. * ඇත්තෙන්ම සදාකාල ජීවනයට මඟ පෙන්වන්නේ දෙවිගේ කැමැත්ත කිරීමයි.—1 යොහන් 2:16, 17.

33. තීර්ව හසු වූ උගුලෙන් ක්‍රිස්තියානීන් වැළකෙන්නේ කෙසේද?

33 අනිත් සියල්ලටම ඉහළින් ද්‍රව්‍යමය දේවල් ලුහුබැඳීම නමැති උගුලට තීර් හසු වුණා. ඇය ද්‍රව්‍යමය ආකාරයකින් සමෘද්ධිමත් වුණා. ඉන්පසු උඩඟු වුණා. අවසානයේදී ඇගේ උඩඟුකමට දඬුවම් ලැබුණා. ඇගේ ආදර්ශය අද සිටින ජාතීන්ටත් පෞද්ගලිකව අනතුරු ඇඟවීමක් වෙනවා. ද්‍රව්‍යවාදී වීමේ උගුලට හසු වනවා වෙනුවට ප්‍රේරිත පාවුල්ගේ අනුශාසනාව අනුගමනය කිරීම මොනතරම් හොඳද! ඔහු ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ “උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ට” කියායි.—1 තිමෝති 6:17.

[පාදසටහන්වල]

^ තර්ෂිෂ් කියන්නේ මධ්‍යධරණී මුහුදේ බස්නාහිරට වෙන්ට පිහිටි දූපතක් වූ සාඩීනියාවට කියා සමහර විශාරදයන් පවසනවා. එසේ වුණත්, සාඩීනියාවද තීර්ට සෑහෙන දුරකිනුයි පිහිටියේ.

^ මේ පොතේ 200-207 දක්වා පිටුවල ඇති 15වන පරිච්ඡේදය බලන්න.

^ විකල්පයක් හැටියට තර්ෂිෂ්හි වැසියන්ව ‘තර්ෂිෂ්හි දියණිය’ ලෙස හැඳින්විය හැකියි. එක් ආශ්‍රේය ග්‍රන්ථයක් මෙසේ පවසනවා. “නයිල් ගඟ සෑම දෙසටම ගලා යන්නා සේ තර්ෂිෂ්හි වැසියන් ඕනෑම දෙසකට යන්ටත්, ගොස් වෙළඳාම් කරන්ටත් නිදහස්ව සිටිනවා.” ඒ වුණත්, අනාවැකිය කාවද්දන්නේ තීර්හි වැටීමෙන් ඇති වන දරුණු ඵල විපාක ගැනයි.

^ “ආටෝපකාරි ප්‍රදර්ශනය” ලෙස පරිවර්තනය කර ඇති ආ·ලා·සෝ·නි’අ යන ග්‍රීක් වචනයෙන් “ලෞකික දේවල් කෙරෙහි විශ්වාසය තබන ශ්‍රද්ධාවක් නැති, හිස් අනුමානයක්” යන්න අදහස් කරනවා.—තේයර්ගේ නව ඉංග්‍රීසි-ග්‍රීක් ශබ්දකෝෂය.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[256වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

යුරෝපය

ස්පාඤ්ඤය (තර්ෂිෂ්යයි සිතන තැන)

මධ්‍යධරණී මුහුද

සාඩීනියාව

සයිප්‍රසය

ආසියාව

ශීදොන්

තීර්

අප්‍රිකාව

මිසරය

[250වන පිටුවේ පින්තූරය]

තීර් අෂූරියට නොව, බබිලෝනියට පරාජය වෙයි

[256වන පිටුවේ පින්තූරය]

තීර්හි අධිපති දෙවි වන මෙල්කාට්ගේ රූපයක් කොටා ඇති කාසිය

[256වන පිටුවේ පින්තූරය]

ෆිනීෂියානු නැවක ආකෘතියක්