Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි තම ශුද්ධ මාළිගාවේ සිටී

යෙහෝවා දෙවි තම ශුද්ධ මාළිගාවේ සිටී

අටවන පරිච්ඡේදය

යෙහෝවා දෙවි තම ශුද්ධ මාළිගාවේ සිටී

යෙසායා 6:1-13

1, 2. (අ) යෙසායාට දේවමාළිගාව පිළිබඳ දර්ශනය ලැබුණේ කවදාද? (ආ) උස්සියා රජු දෙවිගේ අනුමැතිය නැති කරගත්තේ මන්ද?

 “උස්සියා රජු නැසුණු අවුරුද්දේදී [යෙහෝවා] උස්වූ උසස්වූ සිංහාසනයක හිඳිනවා දුටිමි, [ඔහුගේ] වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.” (යෙසායා 6:1) අනාගතවක්තෘවරයාගේ මේ වචන සමඟින් යෙසායා හයවන පරිච්ඡේදය ආරම්භ වෙනවා. ඒ පො.යු.පෙ. 778වන අවුරුද්දයි.

2 යූදාහි රජු ලෙස උස්සියා පාලනය කළ අවුරුදු 52ක කාලය වැඩි වශයෙන් අතිසාර්ථක එකක්. “[යෙහෝවාගේ] ඇස් හමුයෙහි හරිව තිබුණු” දේ කළ නිසා, ඔහු හවුල් වූ අභියෝගාත්මක යුධ කටයුතු සහ ඉදි කිරීම් මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලදී දෙවිගේ අනුබලය ඔහුට ලැබුණා. කෙසේවෙතත්, පරහට හිටියේත් ඔහුගේ සාර්ථකත්වයමයි. අවසානයේදී ඔහුගේ හෘදය උඩඟු වී, “දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස [යෙහෝවාගේ] මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ [යෙහෝවාට] විරුද්ධව [වරදක්]” කළා. ඔහු කළ මේ හිතුවක්කාර ක්‍රියාව සහ එය හෙළා දුටු පූජකයන්ට විරුද්ධව ඇති කරගත් කෝපය නිසා උස්සියා ලාදුරු රෝගය වැළඳී මියගියා. (2 ලේකම් 26:3-22) මේ කාලයේදී තමයි යෙසායා තම අනාවැකිමය සේවය ආරම්භ කළේ.

3. (අ) යෙසායා ඇත්තටම යෙහෝවාව දුටුවාද? පැහැදිලි කරන්න. (ආ) යෙසායා දුටු දර්ශනය කුමක්ද? එහි අරමුණ කුමක්ද?

3 යෙසායා දර්ශනය දකිද්දී ඔහු සිටියේ කොහේද කියා සඳහන් කර නැහැ. ‘කිසිවෙක් කිසිකලක දෙවි දුටුවේ නැති’ නිසා ඔහු ඇස් දෙකින් දැක්කේ සර්වපරාක්‍රමයා පිළිබඳ දර්ශනයක් මිස ඔහුගේ සැබෑ පෙනුම නෙවෙයි. (යොහන් 1:18; නික්මයාම 33:20) කෙසේවෙතත් දර්ශනයකින් හරි මැවුම්කරුවා වන යෙහෝවාව දැකීම විශිෂ්ට දෙයක්. ඔහු උසස් සිංහාසනයක ඉඳගෙන සිටින අතර, එයින් සංකේතවත් වන්නේ සදාකාලික රජු සහ විනිශ්චයකරුවා මෙන්ම විශ්වනීය පාලකයා සහ ආණ්ඩු කිරීමට සුදුසුම තැනැත්තා ඔහු බවයි! ඔහුගේ දිග වස්ත්‍රයෙන් මුළු දේවමාළිගාවම පිරෙනවා. යෙහෝවාගේ පරමාධිපති බලය සහ යුක්තිය ගෞරවයට පත් කරන අනාවැකිමය සේවයකට යෙසායාව කැඳවනවා. ඊට සූදානමක් හැටියට ඔහුට දෙවිගේ ශුද්ධකම පිළිබඳ දර්ශනයක් දෙනු ලබනවා.

4. (අ) යෙහෝවාව විස්තර කරන දර්ශන වාර්තා කිරීමේදී ඒවා සංකේතාත්මකව කර ඇතැයි කිව හැක්කේ මන්ද? (ආ) යෙසායාගේ දර්ශනයෙන් යෙහෝවා ගැන ඉගෙනගන්නේ කුමක්ද?

4 එසකියෙල්, දානියෙල් සහ යොහන් වාර්තා කළ දර්ශනවල මෙන්, යෙහෝවාගේ පෙනුම ගැන විස්තරයක් යෙසායා ඉදිරිපත් කරන්නේ නැහැ. තවද ස්වර්ගයෙහි දකින දේවල් සම්බන්ධයෙන්ද ඒ ඒ දර්ශන එකිනෙකට වෙනස්. (එසකියෙල් 1:26-28; දානියෙල් 7:9, 10; එළිදරව් 4:2, 3) කෙසේවෙතත්, යෙසායා දුටු දර්ශනවල ස්වභාවය සහ අරමුණ සිහියේ තබාගත යුතුයි. ඒවා යෙහෝවාගේ සැබෑ පෙනුම ඇති සැටියෙන් දක්වන විස්තර නෙවෙයි. ඒ වෙනුවට ඒවා සංකේතාත්මකව ගත යුතුයි. මන්ද ආත්මික දේවල් පියවි ඇසට දකින්ට හැකියාවක් නැති නිසයි. එමෙන්ම සීමිත මිනිස් මනසට ආත්ම විෂය පිළිබඳව වටහාගැනීමට පුළුවන්කමකුත් නැහැ. මේ නිසා, දර්ශන උදව් වන්නේ ඉදිරිපත් කළ යුතු තොරතුරු මිනිසාට පහසුවෙන් අවබෝධ කරගැනීම සඳහායි. (එළිදරව් 1:1 සසඳන්න.) යෙසායා දකින දර්ශනයට දෙවිගේ පෙනුම පිළිබඳ විස්තරයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට දර්ශනයෙන් යෙසායාට දන්වන්නේ යෙහෝවා ශුද්ධ බව, ඔහු සිටින්නේ ශුද්ධ මාළිගාවක බව සහ ඔහුගේ විනිශ්චයන් පවිත්‍රය යන කාරණයි.

සෙරාප්වරු

5. (අ) සෙරාප්වරුන් කියන්නේ කවුද? එම වචනයේ අර්ථය කුමක්ද? (ආ) සෙරාප්වරුන් ඔවුන්ගේ මුහුණු සහ පාද සඟවාගන්නේ මන්ද?

5 ඇහුම්කන් දෙන්න! යෙසායා මෙසේ කියනවා. “[ඔහු] අවටින් සෙරාප්වරු සිටියෝය. [ඔහුට ඉහළින් සෙරාප්වරු සිටගෙන සිටියෝය, NW] එක් එක්කෙනාට පියාපත් හය බැගින් තිබුණේය; දෙකකින් මුහුණ වසාගත්තේය, දෙකකින් පාද වසාගත්තේය, දෙකකින් පියාසර කෙළේය.” (යෙසායා 6:2) බයිබලයේ සෙරාප්වරුන් ගැන කතා කරන එකම ස්ථානය යෙසායා හයවන පරිච්ඡේදය පමණයි. ඔවුන් යෙහෝවාගේ ස්වර්ගීය සිංහාසනය ආසන්නයෙහිම සිටින අතර, වරප්‍රසාද සහ ගෞරවය අතින් ඉතා උසස් තත්වයක් භුක්ති විඳිමින් යෙහෝවාගේ සේවයේ නිරතව සිටින දේවදූත මැවිලි බව පැහැදිලියි. උඩඟු උස්සියා රජු මෙන් නොව, මොවුන් සේවය කරමින් සිටින්නේ අව්‍යාජ නිහතමානිකමෙන් සහ විනීතකමින් යුතුවයි. ඔවුන් ස්වර්ගීය පරමාධිපති ඉදිරියේ සිටින නිසා, තම මුහුණු පියාපත් යුගළකින් වසාගෙන සිටින අතර, එම ශුද්ධ ස්ථානයට ඇති භක්තිය නිසා, අනිත් පියාපත් යුගළෙන් පාද වසාගෙන සිටිනවා. විශ්වයේ පරමාධිපති ස්වාමියා සමීපයේ සිටින සෙරාප්වරුන් දෙවිගේ පෞද්ගලික තේජසට හානි නොකිරීමට යටහත් පහත්ව සැලකිලිමත් වෙනවා. “සෙරාප්” යන වචනයේ තේරුම වන්නේ, “ගිනිමය තැනැත්තා” නැතහොත් “ඇවිළෙන තැනැත්තා” යන්නයි. ඒ අනුව පැහැදිලි වන්නේ ඔවුන් කාන්තියක් පිට කළත්, යෙහෝවාගෙන් නිකුත් වන ඊට වඩා ප්‍රබල දීප්තියෙන් සහ ගෞරවයෙන් තමන්ගේ මුහුණු සඟවාගන්නා බවයි.

6. යෙහෝවාට සාපේක්ෂ වශයෙන් සෙරාප්වරුන්ගේ තත්වය කුමක්ද?

6 සෙරාප්වරුන් ඔවුන්ගේ තුන්වන පියාපත් යුගළ පියෑඹීම සඳහා පාවිච්චි කරනවා. මෙම පියාපත් ඔවුන්ට නියමිත ස්ථානයේ නැවතී සිටීමට හෝ ‘සිටගැනීමට’ උදව් කරනවා විය යුතුයි. (ද්විතීය කථාව 31:15 සසඳන්න.) ඔවුන්ගේ තත්වය සම්බන්ධයෙන් මහාචාර්ය ෆ්‍රාන්ට්ස් ඩෙලිට්ෂ් මෙසේ අදහස් දක්වනවා. “සෙරාප්වරුන් ඇත්තෙන්ම සිංහාසනයේ සිටින ඔහුගේ හිසට උඩින් සිටිනවා නොව, ශාලාව පිරී තිබෙන ඔහුගේ වස්ත්‍රයට ඉහළින් පියාපත් ගසමින් නැවතී සිටිනවා.” (පුරාණ ගිවිසුම පිළිබඳ විවරණය) මෙය සාධාරණයි. ඔවුන් යෙහෝවාට ‘ඉහළින් සිටගෙන’ සිටිනවා කියන්නේ ඔහුට වඩා උතුම්ය කියන එක නොව, නමුත් කීකරු ලෙස සේවය කිරීමට සූදානමින් සිටිනවා කියන එකයි.

7. (අ) සෙරාප්වරුන් ඉටු කරන පැවරුම කුමක්ද? (ආ) සෙරාප්වරුන් දෙවිගේ ශුද්ධකම තුන් වතාවක් ප්‍රකාශ කරන්නේ මන්ද?

7 එම වරප්‍රසාද ලත් සෙරාප්වරුන්ට දැන් ඇහුම්කන් දෙන්න! “එක්කෙනෙක් අනිකෙකුට මොරගසමින්: සේනාවල [යෙහෝවා] ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, මුළු පොළොව [ඔහුගේ] තේජසින් පිරී තිබේයයි කීවෝය.” (යෙසායා 6:3) ඔවුන්ගේ පැවරුම වන්නේ යෙහෝවාගේ ශුද්ධකම ප්‍රකාශ වෙනවාද කියාත් ඔහුගේ තේජස පෘථිවිය ඇතුළු විශ්වය පුරාම පිළිගැනෙනවාද කියාත් සොයාබැලීමයි. යෙහෝවා මැවූ සියල්ලෙන් ඔහුගේ තේජස පෙනෙන අතර, පොළෝ වැසි සියල්ලන් ඉක්මනින් එය දැනගන්ට යනවා. (ගණන් කථාව 14:21; ගීතාවලිය 19:1-3; හබක්කුක් 2:14) “ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියා තෙවරක් කළ ප්‍රකාශය ත්‍රිත්වය සඳහා සාක්ෂියක් නොවෙයි. ඒ වෙනුවට, එය දෙවිගේ ශුද්ධකම තුන් වතාවක් අවධාරණය කිරීමක්. (එළිදරව් 4:8 සසඳන්න.) යෙහෝවාගේ ශුද්ධකම කියා නිම කළ නොහැකියි.

8. සෙරාප්වරුන්ගේ ප්‍රකාශයෙහි ප්‍රතිඵලය කුමක්ද?

8 සෙරාප්වරුන්ගේ සංඛ්‍යාව සඳහන් කර නැති වුණත්, සිංහාසනය ආසන්නයේ සෙරාප්වරුන් කණ්ඩායම් කිහිපයක් සිටියා විය හැකියි. මිහිරි ගීතයකින් එක්කෙනා මාරුවට එක්කෙනා දෙවිගේ ශුද්ධකම සහ තේජස නැවත නැවත ප්‍රකාශ කරනවා. අපි දකින්නේ කිනම් ප්‍රතිඵලද? යෙසායා දිගින් දිගටම කතා කරද්දී ඇහුම්කන් දෙන්න. “මොරගැසූ තැනැත්තාගේ හඬට එළිපත්වල අත්තිවාරම් සෙලවුණේය, ගෘහයද දුමෙන් පිරුණේය.” (යෙසායා 6:4) දෙවි යම් තැනක සිටින බවට දෘශ්‍යමාන සාක්ෂි වශයෙන් බයිබලය දුම් හෝ වලාකුළු යොදාගන්නවා. (නික්මයාම 19:18; 40:34, 35; 1 රාජාවලිය 8:10, 11; එළිදරව් 15:5-8) ඉන් මිනිස් මැවිලි වන අපිට ළඟා විය නොහැකි තේජස අඟවනවා.

නොවටිනා වුණත් පවිත්‍රයි

9. (අ) දර්ශනය යෙසායා මත ඇති කළ බලපෑම කුමක්ද? (ආ) යෙසායා සහ උස්සියා රජු අතර පැහැදිලිව දිස් වන වෙනස කුමක්ද?

9 යෙහෝවාගේ සිංහාසනය පිළිබඳ මේ දර්ශනය යෙසායා කෙරෙහි මහත් බලපෑමක් ඇති කළා. ඔහු මෙසේ වාර්තා කරනවා. “මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතරේ වසන්නාවූ මම සේනාවල [යෙහෝවා වූ රජ්ජුරුවන්] මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.” (යෙසායා 6:5) යෙසායා සහ උස්සියා රජු අතරේ මොනතරම් වෙනසක් තිබෙනවාද! උස්සියා ආලේප ලත් පූජකයන්ට තිබූ තත්වය තමන් අතට ගෙන කිසිම ගෞරවයකින් තොරව දේවමාළිගාවේ ශුද්ධස්ථානයට බලහත්කාරයෙන් ඇතුල් වුණා. උස්සියා රන් පහන් රුක්, රනින් කළ සුවඳ දුම් පූජාසනය සහ ‘පිදීමේ රොටි තබන’ මේසයද දුටුවත්, යෙහෝවාගේ අනුමැතියවත් ඔහුගෙන් විශේෂ මෙහෙයක්වත් ඔහුට ලැබුණේ නැහැ. (1 රාජාවලිය 7:48-50) අනිත් අතට, යෙසායා විසින් පූජකතන්ත්‍රය නොසලකා හැරියේවත්, දේවමාළිගාවේ නීති රීති කඩ කළේවත් නැහැ. එහෙත්, ශුද්ධස්ථානයේ වසන යෙහෝවා පිළිබඳ දර්ශනයක් ඔහු දකින අතර, දෙවිගෙන් ඍජු මෙහෙයක් ලැබීමට තරම් ගෞරවය ලබනවා. දේවමාළිගාවෙහි සිංහාසනාරූඪව සිටින ස්වාමීන් දෙස බැලීම සෙරාප්වරුන්ගෙන් බලාපොරොත්තු නූණත්, දර්ශනයේදී ‘සේනාවල යෙහෝවා වූ රජ්ජුරුවන්’ දකින්ට යෙසායාට අවසර ලැබුණා!

10. දර්ශනය දැකීමෙන් යෙසායා භීතියට පත් වන්නේ මන්ද?

10 දෙවිගේ ශුද්ධකම සහ තම පව්කාර තත්වය අතර වෙනස දකිද්දී, ඔහු කොතරම් අපවිත්‍රද කියා ඔහුට දැනෙනවා. ඔහු කොතරම් භය වෙනවාද කිව්වොත්, තමා මැරෙයි කියා ඔහු සිතනවා. (නික්මයාම 33:20) සෙරාප්වරුන් පවිත්‍ර තොල්වලින් දෙවිට ප්‍රශංසා කරනවා ඔහුට ඇසෙන අතර, ඔහුගේ තොල් අපවිත්‍ර නිසාත්, ඔහු අවට සිටින මිනිසුන්ගේ තොල්වල අපවිත්‍රකම නිසාත් ඔහු ලජ්ජාවට පත් වෙනවා. යෙහෝවා ශුද්ධයි. එමනිසා ඔහුගේ සේවකයන් එම ගුණාංගය පිළිබිඹු කළ යුතුයි. (1 පේතෘස් 1:15, 16) දෙවි වෙනුවෙන් කතා කරන්නා හැටියට යෙසායාව දැනටමත් තෝරාගෙන තිබුණත්, තම පව්කාර තත්වය තේරුම්ගත් නිසාත්, තේජවත් සහ ශුද්ධ රජු වෙනුවෙන් කතා කරන්නෙකුට සුදුසු පවිත්‍ර තොල් ඔහුට තිබුණේ නැති නිසාත් ඔහු මහත් සේ කැලඹුණා. ස්වර්ගීය ප්‍රතිචාරය කුමක් වේවිද?

11. (අ) සෙරාප්වරයෙක් කුමක් කරයිද? මේ ක්‍රියාව සංකේතවත් කරන්නේ කුමක්ද? (ආ) යෙහෝවාගේ සේවකයන් හැටියට අපට නොවටිනාසුලුභාවයේ හැඟීම් ඇති වූ විට, සෙරාප්වරයා යෙසායාට කී දෙය මෙනෙහි කළ හැක්කේ කෙසේද?

11 යෙහෝවා ඉදිරියේ පහත් තත්වයක සිටි යෙසායාව නෙරපා දමනවා වෙනුවට, ඔහුට උපකාර කිරීමට සෙරාප්වරුන් කටයුතු කරනවා. වාර්තාව මෙසේ කියනවා. “සෙරාප්වරුන්ගෙන් එක්කෙනෙක් අඬුවෙන් පූජාසනය මත්තෙන් ගත් ගිනි අඟුරක් අතින් රැගෙන මා ළඟට පියාසරකර ඇවිත්, ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක නුඹේ තොල්වල තැවරුණේය; මෙසේ නුඹේ අපරාධය පහකරනලද්දේය, නුඹේ පාපය කමාකරනලද්දේය.” (යෙසායා 6:6, 7) සංකේතාත්මක අර්ථයකින් පවිත්‍ර කිරීමේ බලයක් ගින්නට තිබෙනවා. පූජාසනයේ ශුද්ධ ගින්නෙන් ගත් ගිනි අඟුර යෙසායාගේ තොල් මත ආලේප කළ පසු, දෙවිගේ අනුමැතිය සහ ඔහුගෙන් මෙහෙයක් ලැබීමට අවශ්‍ය තරම් සමාවක් ඔහුගේ පාප සඳහා ලැබී තිබෙන බව සෙරාප්වරයා සහතික කරනවා. අපිට එය මොනතරම් සැනසීමක්ද! අපිත් සිටින්නේ පව්කාර මෙන්ම දෙවි වෙතට ළඟාවීමට තරම් වටින්නේ නැති තත්වයකයි. එහෙත් යේසුස්ගේ මිදීමේ මිලයේ වටිනාකම මගින් අපව මුදවාගෙන ඇති අතර දෙවිගේ අනුග්‍රහය අපිට තිබෙනවා. එමෙන්ම, යාච්ඤාව තුළින් ඔහු වෙත ළඟාවීමටත් අපිට හැකියි.—2 කොරින්ති 5:18, 21; 1 යොහන් 4:10.

12. යෙසායා දකින පූජාසනය කුමක්ද? ගින්නෙන් ඉටු වන්නේ කුමක්ද?

12 මෙය දර්ශනයක් බව නැවත වරක් අපිට මතක් කරන්නේ “පූජාසනය” ගැන සඳහන් කිරීමෙනුයි. (එළිදරව් 8:3; 9:13 සසඳන්න.) යෙරුසලමේ දේවමාළිගාවේ පූජාසන දෙකක් තිබුණා. අතිශුද්ධස්ථානයේ තිරය වෙත යෑමට පෙර කුඩා සුවඳ දුම් පූජාසනය තිබුණා. ශුද්ධස්ථානයට ඇතුල් වීමට කලින් සැමවිටම දැවෙමින් තිබෙන විශාල සත්ව පූජාසනයද තිබුණා. (ලෙවී කථාව 6:12, 13; 16:12, 13) එහෙත් මේ භූමික පූජාසන වඩා උසස් පූජාසන නියෝජනය කළා. (හෙබ්‍රෙව් 8:5; 9:23; 10:5-10) සාලමොන් රජ දේවමාළිගාව කැප කරද්දී පූජාසනය මත තිබූ දවන පූජාව පුලුස්සා දැමුවේ ස්වර්ගයෙන් බැස ආ ගින්නකින්. (2 ලේකම් 7:1-3) යෙසායාගේ තොල්වල වූ අපවිත්‍රකම ඉවත් කර දැමුවේ සැබෑ ස්වර්ගීය පූජාසනයෙන් වූ ගින්නෙන්.

13. යෙහෝවා නඟන්නේ කිනම් ප්‍රශ්නද? “අප” කියද්දී ඔහු ඊට ඇතුළත් කරන්නේ කාවද?

13 අපත් ඇහුම්කන් දීමට යෙසායා සමඟ හවුල් වෙමු. “මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නාවූ [යෙහෝවාගේ] හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි.” (යෙසායා 6:8) දර්ශනයෙහි වෙන කිසිම අනාගතවක්තෘවරයෙක් පිළිබඳ සඳහනක් කර නැති නිසා යෙහෝවා එම ප්‍රශ්නය ඇසීමෙන් අරමුණු කළේ යෙසායාගේ ප්‍රතිචාරය කුමක්ද කියා නිරීක්ෂණය කිරීම බව පැහැදිලියි. මෙය නිසැකවම යෙහෝවාගේ පණිවිඩකරුවෙක් වීමට යෙසායාට ලැබුණු ආරාධනාවක්. එහෙත් “අප උදෙසා යන්නේ කවුද” කියා යෙහෝවා අසන්නේ ඇයි? “මම” කියන ඒකවචන සර්වනාමයේ සිට “අප” කියන බහුවචන සර්වනාමයට මාරු කිරීමෙන් අඩුම තරමින් තව එක් අයෙකුවවත් යෙහෝවා ඊට ඇතුළත් කරගන්නවා. ඒ කාවද? ඒ පසු කාලයක යේසුස් ක්‍රිස්තුස් නම් මිනිසා බවට පත් වූ ඔහුගේ ඒකජාතක පුත්‍රයායි. ඇත්තෙන්ම, මේ ‘අපගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සාදමු’ කියා දෙවි කියූ එම පුත්‍රයාමයි. (උත්පත්ති 1:26; හිතෝපදේශ 8:30, 31) ඔව්, ස්වර්ගීය දේවමාළිගාවේ යෙහෝවා ළඟින්ම සිටින්නේ ඔහුගේ ඒකජාතක පුත්‍රයායි.—යොහන් 1:14.

14. යෙසායා යෙහෝවාගේ ආරාධනයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? ඔහු අපිට තැබූ ආදර්ශය කුමක්ද?

14 ප්‍රතිචාරය දක්වන්ට යෙසායා පැකිලෙන්නේ නැහැ! පණිවිඩය කුමක්දැයි අසන්නත් කලින් ඔහු වහාම මෙසේ උත්තර දෙනවා. “මෙන්න මම මෙහිය; මා යැවුව මැනව.” පැවරුම පිළිගැනීමෙන් ලැබිය හැකි වාසි ගැන ඔහු සිතුවේ නැහැ. ඔහුගේ කැමැත්තෙන් ඉදිරිපත් වීමේ ස්වභාවය ‘රාජ්‍යයේ මේ ශුභාරංචිය ජනාවාස ලොව මුළුල්ලේ’ දේශනා කිරීමේ පැවරුම ලබා ඇති අද සිටින දෙවිගේ සේවකයන් සියලුදෙනාටම හොඳ ආදර්ශයක්. (මතෙව් 24:14, NW) යෙසායා මෙන් ඔවුනුත් ඇදහිලිවන්තව ඔවුන්ගේ පැවරුමට ඇලී සිටින අතර, ඔවුන් වටා පැතිර පවතින උදාසීනභාවය හමුවේ ‘සියලු ජාතීන්ට සාක්ෂි දැරීමේ’ වැඩය ඉටු කරමින් සිටිනවා. යෙසායා මෙන් ඔවුන්ද ඔවුන්ගේ පැවරුම, පවතින ඉහළම අධිකාරයෙන් පැමිණෙන බව දන්නා නිසා විශ්වාසයෙන් යුතුව එහි දිගටම නියැලෙමින් සිටිනවා.

යෙසායාගේ මෙහෙය

15, 16. (අ) “මේ සෙනගට” යෙසායා කිව යුත්තේ කුමක්ද? ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වේවිද? (ආ) සෙනඟගේ ප්‍රතිචාරය යෙසායාගේ පැත්තෙන් සිදු වන අඩුවක්ද? විස්තර කරන්න.

15 යෙසායා කිව යුතු දේ සහ එයට ජනයා දක්වන ප්‍රතිචාරය යෙහෝවා දැන් මෙසේ ලියා දක්වනවා. “නුඹ ගොස් මේ සෙනගට කථාකොට—නුඹලා [නැවත නැවතත්, NW] අසමින්ම තේරුම් නොගෙන [නැවත නැවතත්, NW] දකිමින්ම දැන නොගෙන සිටින්නැයි කියන්න. මේ සෙනග තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී, සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්න.” (යෙසායා 6:9, 10) යුදෙව්වන්ට යෙහෝවා සමඟ එකඟත්වයකට එන්ට නොදී ඔවුන්ව හෙළා දකිමින් කිසිම ගරු සරුවක් හෝ උපායශීලීකමක් නැතිව යෙසායා කටයුතු කළ යුතුයි කියා මෙයින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ! මේ යෙසායාට කිට්ටු සම්බන්ධයක් ඇති ඔහුගේම සෙනඟයි. යෙසායා කොතරම් විශ්වාසයෙන් යුතුව තමන්ගේ වැඩය ඉටු කළත්, ඔහුගේ පණිවිඩයට මේ මිනිසුන් ප්‍රතිචාරය දක්වන ආකාරය යෙහෝවාගේ වචන මගින් අඟවනවා.

16 වරද තිබෙන්නේ මිනිසුන්ගේ අතේ. යෙසායා මිනිසුන්ට “නැවත නැවතත්” කියා සිටියත්, ඔවුන් පණිවිඩය පිළිගත්තේවත් තේරුම්ගන්ට උත්සාහ කළේවත් නැහැ. සම්පූර්ණයෙන්ම අන්ධ හෝ බිහිරි අය මෙන් මිනිසුන් බහුතරයක් පණිවිඩය ගණන් නොගන්නා හිතුවක්කාර අයව සිටිනවා. ඔවුන් වෙත නැවත නැවතත් යෑමෙන් ඔවුන්ට තේරුම්ගැනීමට වුවමනාවක් නැති බව යෙසායා “මේ සෙනගට” පෙනෙන්ට සැලැස්වුවා. එමෙන්ම ඔවුන් යෙසායාගේ පණිවිඩයට එනම් දෙවිගේ පණිවිඩයට ඇහුම්කන් නොදී ඔවුන්ගේ මනස් සහ හෘද වසාගෙන සිටි බව ඔප්පු කළා. අදදින සිටින මිනිසුන් සම්බන්ධයෙනුත් මෙය කොපමණ සත්‍යයක්ද! පැමිණෙන්නාවූ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශනා කරද්දී බොහෝදෙනෙක් ඔවුන්ට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරනවා.

17. “කොපමණ කලකටද” කියා යෙසායා අසද්දී ඔහු යොමු දක්වන්නේ කුමකටද?

17 ඒ ගැන යෙසායා කියන්නේ මෙසේයි. “එවිට මම: [යෙහෝවා], කොපමණ කලකටදැයි ඇසුවෙමි. [ඔහුද]: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්, [යෙහෝවා] විසින් මනුෂ්‍යයන් ඈතට පහකිරීමත්, දේශයෙහි මහත් හිස්කමක් වීමත් සිදුවෙන තුරුය.” (යෙසායා 6:11, 12) “කොපමණ කලකටද” කියා අසද්දී යෙසායාට දැනගන්ට උවමනා වන්නේ, පණිවිඩය ගණනකට නොගන්නාවූ මිනිසුන්ට දේශනා කරමින් සිටින්ට යන්නේ කොපමණ කාලයකටද යන කාරණය නෙවෙයි. ඔහු සැලකිලිමත් වෙන්නේ මිනිසුන් ගැනයි. ඔහු අසන්නේ ඔවුන්ගේ පහත වැටුණු ආත්මික තත්වය පවතින්ට යන්නේ කොපමණ කාලයකටද, යෙහෝවාගේ නාමය මේ පොළොව මත අගෞරවයට පත් වෙන්ට යන්නේ කොපමණ කාලයකටද කියායි. (ගීතාවලිය 74:9-11 බලන්න.) ඇත්තෙන්ම, මේ මෝඩ අඥාන තත්වය කොපමණ කාලයක් පවතීවිද?

18. සෙනඟගේ පහත වැටුණු ආත්මික තත්වය කොතරම් කල් පවතීවිද? අනාවැකිය ඉටු වෙනවා දකින්ට යෙසායා ජීවත් වේවිද?

18 කනගාටුදායක ලෙස යෙහෝවාගේ පිළිතුර පෙන්වන්නේ, දෙවිගේ ගිවිසුමේ සඳහන් ආකාරයට අකීකරු වීමේ ආදීනව සියල්ල විඳින තුරු සෙනඟගේ ආත්මික තත්වය දිගටම නරකව පවතින බවයි. (ලෙවී කථාව 26:21-33; ද්විතීය කථාව 28:49-68) ජාතිය නැති නාස්ති වී යනවා. සෙනඟව පිටුවහල් කරනවා. දේශය පාළු වෙනවා. යෙසායා අවුරුදු 40ක් පුරා එනම් උස්සියා රජුගේ මුනුපුරාගේ පුත්‍රයා වන හෙසකියාගේ පාලනය දක්වා අනාගතවාක්‍ය පැවසුවා. එහෙත් යෙසායා පො.යු.පෙ. 607දී බබිලෝනීය හමුදාව යෙරුසලමත් එහි දේවමාළිගාවත් විනාශ කරන තුරු ජීවත් වුණේ නැහැ. එම ජාතිය මතට ගෙනා විපත්තිය සිදුවීමට අවුරුදු 100කට වඩා වැඩි කාලයකට ප්‍රථම ඔහු මිය ගියා. ඒ වන තුරුම යෙසායා තම මෙහෙයෙහි විශ්වාසවන්තව යෙදී සිටියා.

19. ජාතිය ගසක් මෙන් වැටුණත්, දෙවි යෙසායාට දෙන සහතිකය කුමක්ද?

19 විනාශයෙන් යූදා දේශය “මුළුමනින්ම පාළුවීම” ස්ථිරවම සිදු වුවත්, ඒ බලාපොරොත්තුවක් නැතුව නොවෙයි. (2 රාජාවලිය 25:1-26) යෙහෝවා යෙසායාට මෙසේ සහතික කරනවා. “දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක් මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයය.” (යෙසායා 6:13) ඔව්, ‘දසයෙන් කොටස නොහොත් ශුද්ධ වූ වංශය’ හරියට අතිවිශාල ගසක් කැපූ විට ඉතිරි වන මුලේ කඳ කොටස හා සමානයි. මේ සහතිකය යෙසායාට සැනසීමක් ගෙන දුන් බව නිසැකයි. ඒ ඔහුගේ සෙනඟ අතරින්ම ශුද්ධ වූ කොටසක් සොයාගන්ට හැකි වන නිසයි. දර සඳහා කපා දැමූ විශාල ගසක් මෙන් ජාතිය නැවත නැවතත් පිලිස්සීමට ලක් වුණත්, ඉශ්‍රායෙල්හි සංකේතාත්මක ගසේ වැදගත් කොටස වන මුලේ කඳ ඉතිරි වෙන්ට යනවා. එය යෙහෝවා ඉදිරියේ ශුද්ධ වූ වංශයක් බවට පත් වෙන්ට යනවා. කාලයාගේ ඇවෑමෙන් එය නැවතත් දළුලා වැඩෙන්ට යනවා.—යෝබ් 14:7-9; දානියෙල් 4:26 සසඳන්න.

20. යෙසායාගේ අනාවැකියේ අවසාන කොටස ඉටු වූයේ කෙසේද?

20 අනාගතවාක්‍යයේ වචන සැබෑ වුණාද? ඔව්. යූදා දේශය පාළුවීමෙන් අවුරුදු හැත්තෑවකට පසු බබිලෝනියේ වහල්භාවයේ සිටි දේවභයැති ඉතිරි කොටස පිට වී ගියා. ඔවුන් දේවමාළිගාවත් නුවරත් නැවත ගොඩනැඟුවා. ඔවුන් දේශයේ සැබෑ නමස්කාරය යළි පිහිටෙව්වා. දෙවිගෙන් ලද තම මව්බිමෙහි, යුදෙව්වන් නැවත පදිංචි වීම, යෙහෝවා යෙසායාට දුන් මේ අනාවැකියේ දෙවන ඉටුවීමකට මඟ විවර කළා. එය කුමක් වේවිද?—එස්රා 1:1-4.

වෙනත් ඉටුවීම්

21-23. (අ) යෙසායාගේ අනාවැකියේ මුල් සියවසේ ඉටුවීම සිදු වූයේ කා සම්බන්ධවද? ඒ කෙසේද? (ආ) මුල් සියවසේ සිටි “ශුද්ධවූ වංශය” කවුද? ඔවුන් ආරක්ෂා වුණේ කෙසේද?

21 යෙසායාගේ අනාවැකිමය කාර්යභාරය, අවුරුදු 800කට පමණ පසු යේසුස් ක්‍රිස්තුස් එනම්, මෙසියස් විසින් ඉටු කිරීමට යන වැඩය පූර්වාදර්ශනය කළා. (යෙසායා 8:18; 61:1, 2; ලූක් 4:16-21; හෙබ්‍රෙව් 2:13, 14) යේසුස් යෙසායාට වඩා උතුම් වුණත්, තම ස්වර්ගීය පියා විසින් යවනු ලැබීම සම්බන්ධයෙන් එතරම්ම කැමැත්තක් දැක්වුවා. ඔහු මෙසේ කිව්වා. ‘මෙන්න, ඔබගේ කැමැත්ත කරන්ට ඇවිත් සිටිමි.’—හෙබ්‍රෙව් 10:5-9; ගීතාවලිය 40:6-8.

22 යෙසායා මෙන් යේසුස්ද ඔහුට පැවරුණු වැඩය විශ්වාසවන්තව ඉටු කළ අතර, ඔහුට ලැබුණේද යෙසායාට ලැබුණු ප්‍රතිචාරයමයි. පණිවිඩය පිළිගැනීම සම්බන්ධයෙන් යේසුස්ගේ කාලයේ සිටි යුදෙව්වන් අනාගතවක්තෘ යෙසායාගේ කාලයේ සිටි යුදෙව්වන්ට දෙවැනි වූයේ නැහැ. (යෙසායා 1:4) යේසුස්ගේ දේවසේවයේ විශේෂාංගයක් වූයේ උපහැරණ භාවිතයයි. ගෝලයන් විසින් මෙසේ අසන්ට එය හේතු වුණා. “[ඔබ] ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාද?” යේසුස් මෙසේ පිළිතුරු දුන්නා. “ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත. . . . එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි. තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි සම්පූර්ණවේ, එනම්: ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය; බලමින්ම සිටින නුමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නහුය. මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනගගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිති.”—මතෙව් 13:10, 11, 13-15; මාර්ක් 4:10-12; ලූක් 8:9, 10.

23 යෙසායාගේ පොතෙන් උපුටා දක්වමින් එම අනාවැකියට තමන්ගේ කාලයේදී ඉටුවීමක් තිබෙන්ට යන බව යේසුස් පෙන්වා දුන්නා. සමස්තයක් හැටියට එවකට සිටි සෙනඟගේ හෘද ආකල්පය යෙසායාගේ දවසේ සිටි යුදෙව්වන්ගේ මෙන් වුණා. ඔවුන් ඔහුගේ පණිවිඩයට අන්ධ සහ බිහිරි ප්‍රතිචාරයක් දැක්වූ අතර, කලින් මෙන් විනාශය අද්දැක්කා. (මතෙව් 23:35-38; 24:1, 2) මෙය සිදු වූයේ පො.යු. 70දී රෝම හමුදාවන් ටයිටස් සේනාධිපති යටතේ යෙරුසලමට විරුද්ධව පැමිණ නුවර සහ එහි දේවමාළිගාව විනාශ කිරීමත් සමඟයි. එහෙත්, සමහරුන් යේසුස්ට ඇහුම්කන් දී ඔහුගේ ගෝලයන් බවට පත් වුණා. ඔවුන් “සන්තෝෂවත් [NW] අය බව යේසුස් ප්‍රකාශ කළා. (මතෙව් 13:16-23, 51) “සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා” ඔවුන් දකිද්දී “කඳුවලට [පලායන්ට]” ඔහු ඔවුන්ට දන්වා තිබුණා. (ලූක් 21:20-22) මෙසේ ඇදහිල්ල පැවැත්වූ, “[දෙවිගේ] ඉශ්‍රායෙල්” නමැති ආත්මික ජාතියක් බවට පත් වූ “ශුද්ධවූ වංශය” ගැළවුණා. *ගලාති 6:16.

24. යෙසායාගේ අනාවැකිය පාවුල් අදාළ කරන්නේ කාටද? එයින් අඟවන්නේ කුමක්ද?

24 ප්‍රේරිත පාවුල්ව පො.යු. 60දී රෝමයේ නිවාස අඩස්සියේ රඳවා තිබුණා. එහිදී ඔහු “යුදෙව්වරුන්ගේ ප්‍රධානීන්” සහ අනිකුත් මනුෂ්‍යයන් කැඳවා ‘දෙවිගේ රාජ්‍යය ගැන [මනා, NW] සාක්ෂියක්’ දුන්නා. බොහෝදෙනෙක් ඔහුගේ පණිවිඩය පිළි නොගත් විට, මෙය යෙසායාගේ අනාවැකියේ ඉටුවීමක් බව පාවුල් විස්තර කළා. (ක්‍රියා 28:17-27; යෙසායා 6:9, 10) මෙලෙස සලකා බලද්දී, යේසුස්ගේ ගෝලයන් කරමින් සිටියේද යෙසායා කළාට සමාන මෙහෙයක්.

25. නවීන දින යෙහෝවාගේ සාක්ෂිකරුවන් තේරුම්ගෙන තිබෙන්නේ කුමක්ද? ඔවුන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

25 ඒ හා සමානව, දෙවි යෙහෝවා තම ශුද්ධ මාළිගාවේ වසන බව අද සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් තේරුම්ගෙන තිබෙනවා. (මලාකී 3:1) යෙසායා මෙන් ඔවුන්ද මෙසේ කියනවා. “මෙන්න මම මෙහිය; මා යැවුව මැනව.” ජ්වලිතයෙන් යුතුව මේ දුෂ්ට ක්‍රමයේ ළඟා වෙමින් තිබෙන අවසානය පිළිබඳ අනතුරු අඟවන පණිවිඩය ඔවුන් පතුරුවමින් සිටිනවා. එහෙත්, යේසුස් ඇඟවූ ආකාරයට, ඇස් සහ කන් විවෘත කර ගැළවීම ලබන්ට යන්නේ සාපේක්ෂ වශයෙන් ටිකදෙනයි. (මතෙව් 7:13, 14) ‘සුවය ලැබීම සඳහා’ ඇහුම්කන් දීමට තම හෘද යොමු කරන මේ අය ඇත්තෙන්ම සන්තෝෂවත්!—යෙසායා 6:8, 10.

[පාදසටහන]

^ යුදෙව් කැරැල්ලට ප්‍රතිචාරයක් වශයෙන් පො.යු. 66දී සෙස්ටියස් ගැලස් යටතේ රෝම හමුදා යෙරුසලමට කඩා වැද දේවමාළිගාවේ තාප්ප දක්වා පැමිණියා. පසුව රෝම හේවායන් ඉවත්ව ගොස් පො.යු. 70දී යෙරුසලමට නැවත එන තුරු පෙරිය කඳුවලට පලා යන්ට යේසුස්ගේ ගෝලයන්ට ඉඩ කඩ සැලසුණා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[94වන පිටුවේ පින්තූරය]

“මෙන්න මම මෙහිය; මා යැවුව මැනව”

[97වන පිටුවේ පින්තූරය]

‘වැසියෙක් නැතිව නුවරවල්ද පාළු’ වන තුරු