Skip to content

පටුනට යන්න

යෙහෝවා රජයි

යෙහෝවා රජයි

විසිවන පරිච්ඡේදය

යෙහෝවා රජයි

යෙසායා 24:1-23

1, 2. (අ) යෙහෝවාගේ උදහසට පාත්‍ර වන්නේ කවුද? (ආ) යූදා දඬුවම් නොලබා සිටීද? ඒ බව අපි දන්නේ කොහොමද?

 බබිලෝනිය, පිලිස්තිය, මෝවබ්, සිරියාව, ඉතියෝපියාව, මිසරය, ඒදොම, තීර්, අෂූරිය යන හැම ජාතියක්ම යෙහෝවාගේ උදහසට පාත්‍ර වෙන්ට යනවා. මේ සතුරු ජාතීන් සහ නගරවලට පැමිණෙන විපත්ති ගැන යෙසායා පුරෝකථනය කළා. යූදා ගැන කුමක් කිව හැකිද? යූදාහි වැසියන් ඔවුන්ගේ පව්කාර මාර්ගවලට දඬුවම් නොලබා සිටීවිද? නැහැ. කොහෙත්ම නැති බවයි ඓතිහාසික වාර්තාව පවසන්නේ.

2 ඉශ්‍රායෙල්හි ගෝත්‍ර දසයේ අගනුවර වූ සමාරියට සිදු වූ දෙය සලකා බලමු. එම ජාතිය දෙවි සමඟ බැඳි තමන්ගේ ගිවිසුමට එකඟව ජීවත් වූයේ නැහැ. අවට සිටි ජාතීන්ගේ සල්ලාල පුරුදුවලින් වෙන්ව සිටියේ නැහැ. ඒ වෙනුවට, සමාරියේ සිටි වැසියන් ‘යෙහෝවා උදහස් කරවන ලෙස ඔහුගේ ඇස් හමුවෙහි නපුරු දේවල් කළා. ඒ නිසා යෙහෝවා ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහ කළා.’ බලහත්කාරයෙන් ‘ඉශ්‍රායෙල්වරුන්ව තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙන ගියා.’ (2 රාජාවලිය 17:9-12, 16-18, 23; හොෂෙයා 4:12-14) ඉශ්‍රායෙල්ට සිදු වූ දෙය ඇගේ සහෝදරිය වැනි යූදා රාජ්‍යයට හොඳ පෙරනිමිත්තක් නම් නෙවෙයි.

යූදාහි පාළුවීම ගැන යෙසායාගේ පුරෝකථනය

3. (අ) යෙහෝවා යූදාහි ගෝත්‍ර දෙකේ රාජ්‍යය අත්හරින්නේ මන්ද? (ආ) යෙහෝවා කරන්ට අධිෂ්ඨාන කරන්නේ කුමක්ද?

3 යූදාහි සිටි සමහර රජවරුන් ඇදහිලිවන්තයන් වුණත්, බොහෝදෙනෙක් එසේ වුණේ නැහැ. යෝතාම් වැනි ඇදහිලිවන්ත රජෙකු යටතේ පවා, සෙනඟ සම්පූර්ණයෙන්ම බොරු නමස්කාරයෙන් ඉවත් වුණේද නැහැ. (2 රාජාවලිය 15:32-35) ලේ පිපාසිත මනස්සේ රජුගේ පාලන සමයේදී යූදාහි දුෂ්ටකම උච්චාවස්ථාවකට එළඹෙනවා. යුදෙව් ජන වහරට අනුව, ඇදහිලිවන්ත අනාගතවක්තෘ වූ යෙසායාව කියතෙන් ඉරා මරා දමන්ට අණ කරන්නේ ඔහුයි. (හෙබ්‍රෙව් 11:37 සසඳන්න.) මේ දුෂ්ට රජ “[යෙහෝවා] ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට . . . යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළා” කරමින් සිටිනවා. (2 ලේකම් 33:9) ඔහුගේ පාලන සමයේදී දේශය කානාන්වරුන් පාලනය කළාටත් වඩා දූෂිත තත්වයකට පත් වෙනවා. එමනිසා යෙහෝවා මෙසේ ප්‍රකාශ කරනවා. “බලව, අසන සියල්ලන්ගේ කන්දෙක ලෙළදෙන තරම් මම යෙරුසලම සහ යූදාවරුන් පිටට විපත්තිය පමුණුවන්නෙමි. . . . මනුෂ්‍යයෙක් තැටියක් පිසදමා, පිසදැමුවාම මුණින් පෙරළා තබන්නාක් මෙන් යෙරුසලම පිසදමන්නෙමි. මාගේ උරුමයෙන් ඉතුරු කොටස මම අත්හැරදමා, ඔවුන් තමුන්ගේ සියලු සතුරන්ට ගොදුරක්ද කොල්ලයක්ද වෙන පිණිස ඔවුන්ගේ සතුරන් අතට ඔවුන් පාවාදෙන්නෙමි; මක්නිසාද . . . ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබුණු දේ කොට මා කෝප කළෝය.”—2 රාජාවලිය 21:11-15.

4. යෙහෝවා යූදාට කරන්න යන්නේ කුමක්ද? මේ අනාවැකිය ඉටු වන්නේ කෙසේද?

4 වළඳක් මුණින් අතට පෙරළූ විට එහි ඇති දේවල් විසිරී යන්නා සේ මිනිසුන් දේශයෙන් නැති වී යනවා. යූදා සහ යෙරුසලම පිට පැමිණෙන්ට යන පාළුවීම නැවත වරක් යෙසායාගේ අනාවැකියේ විෂය වී තිබෙනවා. ඔහු මෙසේ පටන්ගන්නවා. “බලව, [යෙහෝවා] පොළොව හිස්කොට [පාළු කරන්නේය], ඒක පෙරළා එහි වැසියන් [විසුරුවා දමන්නේය].” (යෙසායා 24:1) මේ අනාවැකිය ඉටු වෙන්නේ නෙබුකද්නෙශර් රජ යටතේ පැමිණි බබිලෝනීය හමුදාව යෙරුසලම සහ එහි දේවමාළිගාව විනාශ කළ විටත්, යූදාහි බහුතරයක් කඩුවෙන්, සාගතයෙන් සහ වසංගතයෙන් විනාශය අද්දකිද්දීත්ය. ගැළවෙන බොහෝදෙනෙකුව වහලුන් හැටියට බබිලෝනියට ගෙන යනවා. ඉතිරි වන ටිකදෙනා මිසරයට පලා යනවා. මෙසේ යූදා දේශය නාස්ති වී ජනශුන්‍ය වී තිබෙනවා. ගෙදර දොරේ වසන සතෙක්වත් ඉතිරි වෙලා නැහැ. මේ පාළු දේශය වනසතුන් සහ කුරුල්ලන් පමණක් ගැවසෙන නටබුන් ගොඩක් බවට හැරෙනවා.

5. යෙහෝවාගේ විනිශ්චයෙන් කිසිම කෙනෙකුට බේරෙන්ට පුළුවන්ද? පැහැදිලි කරන්න.

5 පැමිණෙන්නා වූ විනිශ්චයේදී යූදාහි සිටින සමහරෙකුට විශේෂ සැලකිලි ලැබේවිද? යෙසායා මෙසේ උත්තර දෙනවා. “සෙනගට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ ස්වාමියාටත් වැඩකාරීට මෙන් ඇගේ ස්වාමීදුවටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත් පොළීගන්නාට මෙන් පොළීදෙන්නාටත් සිදුවන්නේය. පොළොව සහමුලින්ම හිස්කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේය; මක්නිසාද [යෙහෝවා] මේ වචන [පැවසීය].” (යෙසායා 24:2, 3) ධනය හෝ දේවමාළිගා සේවයේ වරප්‍රසාද තිබුණු පළියට කිසිම වෙනසක් වන්ට යන්නේ නැහැ. නිදහසට කරුණු කියන්ට ලැබෙන්නෙත් නැහැ. දේශය හොඳටම දූෂිත වෙලා. බේරෙන සියලුදෙනාම, එනම් පූජකයන්, සේවකයන් සහ ස්වාමිවරුන්, මිල දී ගන්න හා විකුණන සියල්ලන් වහල්භාවයට ගෙන යන්ට යනවා.

6. යෙහෝවා දේශයෙන් තම ආශීර්වාදය ඉවත් කරන්නේ මන්ද?

6 වරදවා වටහාගැනීම් නැති කරගැනීම සඳහා පැමිණෙන්නාවූ විනාශය ගැන සම්පූර්ණ විස්තරයක් කරන අතර ඊට හේතුවද පැහැදිලි කරනවා. “පොළොව වැලපී මලානිකවේ, ලෝකය ක්ලාන්තව මලානිකවේ, පොළොවේ ජනයන්ගේ උත්තමයෝ ක්ලාන්තවෙති. පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය. එබැවින් ශාපයෙන් පොළොව නාස්තිවී, එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරුවෙන හැටියට පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.” (යෙසායා 24:4-6) ඉශ්‍රායෙල්වරුන්ට කානාන් දේශය දුන් අවස්ථාවේදී එය “කිරි හා මීපැණි ගලා යන දේශයක් ව” තිබෙන බව ඔවුන් දැනගත්තා. (ද්විතීය කථාව 27:3) ඒ වුණත්, ඔවුන්ට යෙහෝවාගේ ආශීර්වාද මත දිගටම රඳා පැවතීමට සිදු වුණා. ඔවුන් ඔහුගේ ආඥා සහ පනත්වලට කීකරුව කටයුතු කළොත්, දේශය ‘එහි වර්ධනය දෙනවා.’ එහෙත් ඔවුන් එම අණ පනත්වලින් පිට පැන්නොත් භූමිය වගා කිරීම ‘නිකරුණේ වියදම් කිරීමක්’ වන අතර, පොළොව ‘එහි වර්ධනය දෙන්ට යන්නේ නැහැ.’ (ලෙවී කථාව 26:3-5, 14, 15, 20) යෙහෝවාගේ ශාපය ‘දේශය පාළුවීමට සලස්වනවා.’ (ද්විතීය කථාව 28:15-20, 38-42, 62, 63) යූදා දැන් ශාපය ලැබීමට අපේක්ෂාවෙන් සිටිය යුතුයි.

7. ඉශ්‍රායෙල්වරුන්ට ව්‍යවස්ථා ගිවිසුම ආශීර්වාදයක් වූයේ කෙසේද?

7 යෙසායාගේ දවසට අවුරුදු 800කට පමණ පෙර, ඉශ්‍රායෙල්වරුන් කැමැත්තෙන්ම යෙහෝවා සමඟ ගිවිසුමකින් බැඳි සබඳතාවක් භුක්ති විඳීමට එකඟ වුණා. (නික්මයාම 24:3-8) ඔවුන් යෙහෝවාගේ ආඥාවලට කීකරු වෙනවා නම් ඔවුන්ට ඔහුගේ මහත් ආශීර්වාද ලැබෙන බවත්, ගිවිසුම උල්ලංගනය කළොත් දෙවිගේ ආශීර්වාදය නැති වී ඔවුන් සතුරන්ගේ වහලුන් බවට පත් වන බවත් ව්‍යවස්ථා ගිවිසුමේ කොන්දේසිවල සඳහන් කර තිබුණා. (නික්මයාම 19:5, 6; ද්විතීය කථාව 28:1-68) මෝසෙස් ලවා දුන් මේ ව්‍යවස්ථා ගිවිසුම සදාකාලයෙන් සදාකාලයට අවිනිශ්චිත කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියම කර තිබුණා. එය ඉශ්‍රායෙල්වරුන්ව මෙසියස්ගේ පැමිණීම දක්වා ආරක්ෂා කරනවා.—ගලාති 3:19, 24.

8. (අ) සෙනඟ ‘ව්‍යවස්ථාවන් කඩ කර නියෝගය වෙනස් කරන්නේ’ කෙසේද? (ආ) ‘උත්තමයන්’ මුලින්ම ‘ක්ලාන්ත වන්නේ’ කිනම් අර්ථයෙන්ද?

8 එහෙත් සෙනඟ එම ‘සදාකාල ගිවිසුම කඩ කළා.’ ඔවුන් දෙවි විසින් දුන් නීති ගණන් ගත්තේ නැහැ. ඔවුන් “නියෝගය වෙනස්කර” යෙහෝවා දුන් ඒවාට වඩා වෙනස් නීතික ක්‍රියා පිළිවෙත් අනුගමනය කරමින් සිටියා. (නික්මයාම 22:25; එසකියෙල් 22:12) මේ හේතුව නිසා සෙනඟව එම දේශයෙන් ඉවත් කරන්ට යනවා. පැමිණෙන්නාවූ විනිශ්චයේදී කිසිම දයාවක් පෙන්වන්ට යන්නේ නැහැ. යෙහෝවා තමන් සැපයූ ආරක්ෂාව සහ අනුග්‍රහය ඉවත් කරගන්නා විට මුලින්ම ‘ක්ලාන්ත වෙන්ට’ යන්නේ වංශවත් ‘උත්තමයනුයි.’ මෙහි ඉටුවීමක් හැටියට, යෙරුසලමේ විනාශය ළඟා වෙද්දී, මුලින්ම මිසරයත් පසුව බබිලෝනියත් යූදාහි රජුන්ව කප්පම් ගෙවන රජුන් ලෙස පත් කරගන්නවා. පසු කාලයේදී, බබිලෝනියේ වහල්භාවයට ගෙන යන අය අතරේ ප්‍රමුඛයන් වන යෙහෝයාකීම් රජ සහ රජ පවුලේ වෙනත් සාමාජිකයන් සිටින්ට යනවා.—2 ලේකම් 36:4, 9, 10.

ප්‍රීතිය දේශය හැරයයි

9, 10. (අ) කෘෂිකර්මාන්තය ඉශ්‍රායෙලය හා බැඳී තිබෙන්නේ කෙසේද? (ආ) එකිනෙකා “තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද” සිටීමෙන් අඟවන්නේ කුමක්ද?

9 ඉශ්‍රායෙල්වරුන් අයිති වන්නේ කෘෂිකාර්මික සමාජයකටයි. ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වූ දා සිට ඔවුන් බෝග වගා කිරීමේ සහ සත්ව පාලනයේ යෙදෙමින් සිටිනවා. මෙසේ, යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට දුන් නීති රීතිවල කෘෂිකර්මාන්තයට මූලික තැනක් හිමි වී තිබෙනවා. පසේ සාරවත් බව යළි ඇතිවීම සඳහා සෑම අවුරුදු හතකට වතාවක් භූමිය සඳහා අනිවාර්ය සබත් නිවාඩුවක් නියම කර තිබෙනවා. (නික්මයාම 23:10, 11; ලෙවී කථාව 25:3-7) ජාතිය විසින් පැවැත්විය යුතුයයි අණ කළ වාර්ෂික මංගල්‍යයන් තුන කෘෂිකාර්මික කාලයන් අළලා නියම කර තිබෙනවා.—නික්මයාම 23:14-16.

10 දේශය නම් මිදි වතුවලින් නම් අඩුවක් නැහැ. බැලූ බැලූ හැම දෙසින්ම මිදි වතු. “මනුෂ්‍යයාගේ සිත සතුටුකරන” මිදි වැලේ ඵලය වන මුද්‍රිකපානය තෑග්ගක් ලෙස දී තිබෙන්නේ දෙවි බව බයිබලය කියනවා. (ගීතාවලිය 104:15) එකිනෙකා “තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද” සිටීමෙන් අඟවන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ පාලනය යටතේ සමෘද්ධිය, සාමය සහ ආරක්ෂාව ලබන්ට යන බවයි. (1 රාජාවලිය 4:25; මීකා 4:4) ඵලදායී මිදි වලු නෙළන කාලයක් ආශීර්වාදයක් ලෙස සැලකෙන අතර, එය ප්‍රීති ගී ගැයීමට හේතුවක් වෙයි. (විනිශ්චයකාරයන් 9:27; යෙරෙමියා 25:30) එහි විරුද්ධ පැත්ත ගැන කුමක් කිව හැකිද? මිදි වැල් මැලවී ගිය විට හෝ මිදි හට නොගෙන මිදි වතු පාළු වී වියළි කටු ගොඩක් බවට පත් වූ විට, යෙහෝවා ආශීර්වාදය ඔවුන්ගෙන් ඉවත් කරගෙන ඇති බවට එය සාක්ෂියක් වෙනවා. එය මහත් දුකට හේතුවක්.

11, 12. (අ) යෙහෝවාගේ විනිශ්චය හේතුවෙන් ඇති වන ප්‍රතිඵලය යෙසායා නිදර්ශනය කරන්නේ කෙසේද? (ආ) කිනම් අඳුරු අනාගතයක් ගැනද යෙසායා විස්තර කරන්නේ?

11 එසේනම්, යෙහෝවා දේශයෙන් තම ආශීර්වාදය ඉවත් කරගැනීමෙන් අත් වන ප්‍රතිඵලය නිදර්ශනය කිරීමට යෙසායා විසින් මිදිවතු සහ එහි ඵලදාව යොදාගැනීම ඉතා උචිතයි. “අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති. රබන්වල ප්‍රීතිය නවතියි, ප්‍රීතිවන්නන්ගේ ඝෝෂාව අත්හිටියි, වීණාවේ ප්‍රීතිය නවතියි. ඔවුන් ගී කිය කියා මිදිරස බොන්නේ නැත; මද්‍යපාන බොන්නන්ට ඒවා තික්තවන්නේය. පාළුවූ නුවර කඩාදමා තිබේ. කිසිවෙක් ඇතුල් නොවන ලෙස සියලු ගෙවල් වසාතිබේ. මුද්‍රිකපානය නිසා වීථිවල කෑගැසීමක් තිබේ; මුළු ප්‍රීතිය අඳුරුවී, දේශයේ සන්තෝෂය පහව ගියේය. නුවර ඉතුරුව තිබෙන්නේ පාළුකමය, දොරටුව නාස්තිවන සේ පහර ලැබීය.”—යෙසායා 24:7-12.

12 රබන් සහ වීණා යෙහෝවාට ප්‍රශංසා කිරීමටත් ප්‍රීතිය ප්‍රකාශ කිරීමටත් පාවිච්චි කළ මිහිරි සංගීත භාණ්ඩයි. (2 ලේකම් 29:25; ගීතාවලිය 81:2) දිව්‍ය දඬුවම ලබන කාලයේදී මේ භාණ්ඩවල සංගීතය ඇසෙන්ට යන්නේ නැහැ. ප්‍රීතිදායක මිදි අස්වැන්නක් මින් මත්තට තවත් තිබෙන්ට යන්නේ නැහැ. පාළු වී නටබුන් වූ යෙරුසලමෙහි තවත් සතුටු නාද තිබෙන්ට යන්නේ නැහැ. දොරටුව “නාස්තිවන සේ පහර” ලැබ, කිසිවෙකුට ඇතුල් වීමට නොහැකි වන ලෙස එහි නිවෙස්ද “වසා” දමා තිබෙනවා. එතරම්ම සශ්‍රීකව පැවති දේශයක සිටින වැසියන්ට ඇත්තේ කොතරම් අඳුරු අනාගතයක්ද!

ඉතිරි කොටසක් ‘ප්‍රීතියෙන් මොරගසයි’

13, 14. (අ) අස්වැන්න නෙළීම සම්බන්ධයෙන් යෙහෝවා පැනවූ නීති සමහරක් මොනවාද? (ආ) සමහරෙක් යෙහෝවාගේ විනිශ්චයෙන් ගැළවෙන්ට යන බව නිදර්ශනය කිරීමට යෙසායා අස්වනු නෙළීම සම්බන්ධ නීති යොදාගන්නේ කෙසේද? (ඇ) පරීක්ෂණාත්මක අඳුරු කාලයක් තිබුණත් ඇදහිලිවන්ත යුදෙව්වන්ට නිසැක විය හැක්කේ කුමක් ගැනද?

13 ඔලීව අස්වැන්න එකතු කිරීම සඳහා ඉශ්‍රායෙල්වරුන් ඔලීව ගස්වලට පොලුවලින් ගසා ගෙඩි වට්ටාගන්නවා. ඉතිරි වී ඇති ඔලීව එකතු කිරීම සඳහා අතුවලට නැඟීම දෙවිගේ ව්‍යවස්ථාවට අනුව තහනම්. එමෙන්ම ඔවුන්ගේ මිදිවතුවල ඉතිරි වූ අස්වැන්න එකතු කිරීමත් තහනම්. ඉතිරි වූ අස්වැන්න තබන්නේ දිළිඳුන්ටයි. එනම්, ‘විදේශියා, පියා නැත්තා සහ වැන්දඹුව’ විසින් එකතු කරගැනීමටයි. (ද්විතීය කථාව 24:19-21) යෙහෝවා ගෙනෙන්ට යන විනිශ්චයේදී ගැළවෙන්නන් සිටින්ට යන බවට වූ සැනසිලිදායක කරුණ, ව්‍යවස්ථාවේ ඇති ප්‍රකට වචනවලින් යෙසායා උපුටාගන්නේ මෙසේයි. “මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක්මෙන්ද මිදිපල කඩා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය. මොව්හු හඬනගා ප්‍රීතියෙන් මොරගසා [යෙහෝවාගේ] මහන්තත්වය නිසා මුහුදේ සිට ශබ්ද පවත්වන්නෝය. එබැවින් නැගෙනහිර දිසාවලදී [යෙහෝවාටත්] මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ [යෙහෝවාගේ] නාමයටත් ගෞරවකරන්න. ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේයයි කියන ගීතිකා පොළොවේ කෙළවරේ සිට ඇසීමුව.”—යෙසායා 24:13-16අ.

14 අස්වැන්න නෙළුවාට පසුවත් සමහර ඵල ගසේ හෝ වැලේ තිබෙන්ට හරින්නා සේම, යෙහෝවා විනිශ්චය ක්‍රියාත්මක කළාට පසුව, එනම් “මිදිපල කඩා නිමවූ කල” සමහරුන් ඉතිරි වෙන්ට යනවා. යෙසා 24 හයවන ඡේදයේ වාර්තා කර තිබෙන ආකාරයට, අනාගතවක්තෘවරයා දැනටමත් මේ ගැන කතා කර තිබෙනවා. එහි කියන්නේ, “මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරු” වන බවයි. ඔවුන්ගේ සංඛ්‍යාව කුඩා වුණත් යෙරුසලමේ සහ යූදාහි විනාශයෙන් ගැළවෙන අය සිටින්ට යන අතර, පසුව ඉතිරි කොටසක් දේශය ජනාවාස කිරීම සඳහා වහල්භාවයේ සිට නැවත පැමිණෙන්ට යනවා. (යෙසායා 4:2, 3; 14:1-5) ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් දුක්ඛිත පරීක්ෂණ සහිත කාලයක් අද්දැක්කත් අනාගතයේදී ගැළවීම සහ ප්‍රීතිය අද්දකින්ට යන බවට නිසැක විය හැකියි. ගැළවීම ලබන අය යෙහෝවාගේ අනාවැකි ඉටු වන ආකාරය දකින අතර, යෙසායා දෙවිගේ සැබෑ අනාගතවක්තෘවරයෙක්ව සිටි බව තේරුම්ගන්නවා. නැවත පිහිටුවීම පිළිබඳ අනාවැකිවල ඉටුවීම දකිද්දී ඔවුන් ප්‍රීතියෙන් පිනා යනවා. ඔවුන් කොහේ විසිර සිටියත්, බටහිරට වූ මධ්‍යධරණී මුහුදේ දූපත්වලින් වේවා, නැඟෙනහිර දිශාවෙන් හෝ වෙන ඕනෑම දුර දේශයකින් වේවා, යෙහෝවා ඔවුන්ව ගළවාගෙන ඇති නිසා ඔවුන් ඔහුට ප්‍රශංසාව ගෙනෙන්ට යනවා. “ධර්මිෂ්ඨයාට ගෞරවය ඇත්තේය” කියා ඔවුන් ගයන්ට යනවා.

යෙහෝවාගේ විනිශ්චය එද්දී විසුමක් වෙන්නේ නැහැ

15, 16. (අ) තම සෙනඟට සිදුවීමට යන දේ සම්බන්ධයෙන් යෙසායාට හැඟෙන්නේ කෙසේද? (ආ) දේශයේ සිටින නොඇදහිලිකාරයන් මතට පැමිණෙන්නේ කුමක්ද?

15 මේ ප්‍රීති උද්දාමය සඳහා තවම කාලය පැමිණ නැහැ. එමනිසා යෙසායා තම සමකාලීනයන්ට සිහිගන්වන්නේ මෙසේයි. “එහෙත් මම කථාකොට: මම ක්ෂයවෙමි, මම ක්ෂයවෙමි, මට දුක්වේ! වංචාකාරයෝ වංචාකළෝය; එසේය, වංචාකාරයෝ බොහෝසෙයින් වංචාකළෝයයි කීමි. එම්බා පොළෝ වැසිය, භයානකකමක්ද වළක්ද මලපතක්ද නුඹ පිට තිබේ. තවද භය ඝෝෂාව නිසා පලායන්නා වළේ වැටෙන්නේය; වළෙන් ගොඩවෙන්නා මලපතට අසුවන්නේය. මක්නිසාද ඉහළ කවුළු ඇරී තිබේ, පොළොවේ අත්තිවාරම්ද සෙලවෙන්නේය. පොළොව සහමුලින්ම කැඩී තිබේ, පොළොව එහෙම පිටින්ම දියවී තිබේ, පොළොව අතිශයින් කම්පාවේ. පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.”—යෙසායා 24:16ආ-20.

16 තම සෙනඟ පිට පැමිණෙන්ට යන දේ ගැන යෙසායා මහත් සේ දුකට පත් වෙනවා. ඔහු වටා ඇති තත්වය ඔහුව ලෙඩ කරනවා. කාන්සාවට පත් කරනවා. වංචාකාරයන් දේශයේ හතු පිපෙන්නා සේ වැඩී දේශයට මහත් බියකරු බවක් ගෙනෙනවා. තමන් සැපයූ ආරක්ෂාව යෙහෝවා ඉන් ඉවත් කරන විට යූදාහි නොඇදහිලිකාර වැසියන් රැයක් දවාලක් නැතුව ත්‍රාසය අද්දකිනවා. ඔවුන්ගේ ජීවිත ගැන ඔවුන්ට විශ්වාසයක් තබන්ට බැහැ. යෙහෝවාගේ ආඥාවලින් පිට පැනීම නිසාත් දිව්‍ය ප්‍රඥාව නොසලකා හැර තිබෙන නිසාත් ඔවුන් මත ගෙනෙන විපත්තියේදී ඔවුන්ට විසුමක් වෙන්නේ නැහැ. (හිතෝපදේශ 1:24-27) බොරුවෙන් සහ වංචාවෙන් සෙනඟව විනාශය කරා ගෙනයමින්, සියලු දේ හොඳින් සිදු වන බව සෙනඟට ඒත්තුගන්වන්ට දේශයේ සිටින වංචාකාරයන් තැත් කළත් විපත්තිය පැමිණෙනවා පැමිණෙනවාමයි. (යෙරෙමියා 27:9-15) පිටින් පැමිණෙන සතුරන් ඔවුන්ව කොල්ල කා වහලුන් ලෙස ගෙනයනවා. මේ සැම දෙයක්ම යෙසායාව කනස්සල්ලට පමුණුවනවා.

17. (අ) කිසිම ගැළවීමක් නැති බව කිව හැක්කේ මන්ද? (ආ) යෙහෝවාගේ විනිශ්චයේ බලය ස්වර්ගයෙන් නිකුත් වූ විට දේශයට කුමක් සිදු වේද?

17 ඒ වුණත්, ඔවුන්ට විසුමක් නම් වෙන්නේ නැති බව අනාගතවක්තෘවරයා දැන්විය යුතුමයි. සෙනඟ ගැළවීම සඳහා කුමන ස්ථානයකට පලා ගියත් ඔවුන්ව හසු වෙන්ට යනවා. කෙනෙක් එක් විපතකින් ගැළවුණත් තවත් එකකට හසු වෙන්ට යනවා. ඔවුන්ට ආරක්ෂාවක් ඇත්තේම නැහැ. එය හරියට ලුහුබඳිනු ලබන සතෙකු වළකට නොවැටී බේරුණත් වෙනත් උගුලකට හසු වෙන්නා වගෙයි. (ආමොස් 5:18, 19 සසඳන්න.) යෙහෝවාගේ විනිශ්චයේ බලය ස්වර්ගයෙන් නිකුත් වී දේශයේ අත්තිවාරම් සොලවන්ට යනවා. දේශය බේබද්දෙක් මෙන් හොඳටම වැනි වැනී ගොස් ඇදගෙන වැටෙනවා. එහි වරදසහගත බව වැඩි නිසා ආයෙත් නැඟිටගන්ට බැරි වෙනවා. (ආමොස් 5:2) යෙහෝවා තම විනිශ්චය වෙනස් කරන්නේ නැහැ. සම්පූර්ණ විනාශය සහ විපත්තිය දේශය මතට පැමිණෙන්ට යනවා.

යෙහෝවා තේජසින් පාලනය කරයි

18, 19. (අ) “උත්තමයන්ගේ සේනාව” කියා හඳුන්වන්නේ කාට විය හැකිද? එමෙන්ම මොවුන්ව රැස් කර “හිරගෙයි වසාතබනු [ලබන්නේ]” කෙසේද? (ආ) පෙනෙන විදිහට, “බොහෝ දවසකට පසු” “උත්තමයන්ගේ සේනාව” වෙත අවධානය යොමු කරන්නේ කුමනාකාරයෙන්ද? (ඇ) යෙහෝවා “පොළොවේ සිටින පොළොවේ රජවරුන්” වෙත අවධානය යොමු කරන්නේ කෙසේද?

18 යෙසායාගේ අනාවැකිය දැන් පුළුල් පරාසයක් ගන්ට යනවා. ඒ යෙහෝවා මුළු පොළොව සඳහා තම අරමුණ අවසානයකට ගෙන ඒම දක්වායි. “ඒ දවසෙහි [යෙහෝවා] උසස්ථානයෙහි සිටින උත්තමයන්ගේ සේනාවටත් පොළොවේ සිටින පොළොවේ රජවරුන්ටත් [දඬුවම් කරන්නේය]. හිරකාරයන් වළක රැස්කර තබන්නාක්මෙන් ඔව්හු එකට හිරගෙයි වසාතබනු ලබන්නෝය, බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය. එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල [යෙහෝවා] සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද [ඔහුගේ] පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් [රජකම් කරන්නේය].”යෙසායා 24:21-23.

19 “උත්තමයන්ගේ සේනාව” කියා හඳුන්වන්නේ යක්ෂාකාර වූ “මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත්” විය හැකියි. (එපීස 6:12) ලෝක බලයන් කෙරෙහි මොවුන් ඉතා මහත් බලයක් පවත්වා තිබෙනවා. (දානියෙල් 10:13, 20; 1 යොහන් 5:19) ඔවුන්ගේ ඒකායන අරමුණ වන්නේ සෙනඟ යෙහෝවාගෙන් සහ ඔහුගේ නිර්මල නමස්කාරයෙන් ඉවතට ඇද දැමීමයි. මොවුන් ඉශ්‍රායෙල් ජාතිය වටා සිටි වෙනත් ජාතීන්ගේ දූෂිත පුරුදු අනුගමනය කිරීමට ඔවුන්ව පොලඹවනවා. එය කොතරම් සාර්ථක වෙනවාද කිවහොත් ප්‍රතිඵලයක් හැටියට ඉශ්‍රායෙල් ජාතිය දිව්‍ය විනිශ්චය ලබන්ට සුදුස්සන් වෙනවා! එහෙත් දෙවි අවසානයේදී තමාට විරුද්ධ වීමට සහ තම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමට ජනයාව පෙලඹවූ සාතන් සහ ඔහුගේ භූතයන් මෙන්ම භූමික පාලකයන් වන “පොළොවේ සිටින පොළොවේ රජවරුන්” කෙරෙහි තම අවධානය යොමු කරන්ට යනවා. එසේ කරන විට සාතන් සහ ඔහුගේ භූතයන් දෙවිට ගණන් දිය යුතු වෙනවා. (එළිදරව් 16:13, 14) සංකේතාත්මකව කතා කරමින් යෙසායා කියන්නේ ඔවුන්ව රැස් කර “හිරගෙයි වසාතබනු ලබන්නෝය” කියායි. “බොහෝ දවසකට පසු” සමහරවිට යේසුස්ගේ දහස් අවුරුදු පාලනය අවසානයේදී සාතන් සහ ඔහුගේ භූතයන්ව (“පොළොවේ සිටින පොළොවේ රජවරුන්” නොව) තාවකාලිකව මුදාහරින විට, දෙවි ඔවුන්ට නියම කර ඇති අවසාන දඬුවම ගෙනෙන්ට යනවා.—එළිදරව් 20:3, 7-10.

20. පුරාණයේ මෙන්ම අදත් ‘යෙහෝවා රජකම් කරන්නේ’ කෙසේද? කවදා සිටද?

20 මෙසේ යෙසායාගේ අනාවැකියේ මේ කොටස යුදෙව්වන්ට පුදුමාකාර සහතිකයක් ලබා දෙනවා. යෙහෝවාගේ නියමිත දවසේදී, ඔහු පුරාණ බබිලෝනිය විනාශ කරන අතර, යුදෙව්වන්ව තම මව්බිම වෙත ගෙන යනවා. මේ ආකාරයට යෙහෝවා පො.යු.පෙ. 537දී තම සෙනඟ වෙනුවෙන් තම බලයත් පරමාධිපතීත්වයත් නිරූපණය කරද්දී ඔවුන් සම්බන්ධයෙන් මෙසේ කිව හැකි වෙනවා. ‘නුඹේ දෙවි රජකම් කරන්නේය.’ (යෙසායා 52:7) වර්තමාන කාලයේදී එනම් 1914දී යේසුස් ක්‍රිස්තුස්ව ස්වර්ග රාජ්‍යයේ රජ ලෙස පත් කළ විට යෙහෝවා ‘රජකම් කිරීම’ ඇරඹුවා. (ගීතාවලිය 96:10) එමෙන්ම 1919දී තම ආත්මික ඉශ්‍රායෙල්ව මහ බබිලෝනියේ බැඳුම්වලින් ලිහා තම රජකමේ බලය පෙන්වූ විටත් ඔහු ‘රජකම් කිරීම’ ඇරඹුවායයි කිව හැකියි.

21. (අ) ‘චන්ද්‍රයා වියවුලටත්, සූර්යයා ලජ්ජාවටත් පත් වන්නේ’ කෙසේද? (ආ) එහි ඉටුවීමේ උච්චාවස්ථාවට පත් වන්නේ කිනම් රැව් පිළිරැව් දෙන ආරාධනාවක්ද?

21 යෙහෝවා මහ බබිලෝනියටත් වර්තමානයේ පවතින දුෂ්ට ක්‍රමයේ අනෙකුත් අංගවලටත් අවසානයක් ගෙනෙන විට යෙහෝවා නැවතත් ‘රජකම් කරන්ට’ යනවා. (සෙකරියා 14:9; එළිදරව් 19:1, 2, 19-21) ඉන්පසු, යෙහෝවාගේ රාජ්‍ය පාලනය කොතරම් උත්කෘෂ්ටව පවතිනවාද කිවහොත් රෑට පායන චන්ද්‍රයාවත් දවල්ට ගිනි අව්ව දෙන සූර්යයාවත් දෙවිගේ තේජසට ළං කරන්ට පුළුවන්කමක් නැහැ. (එළිදරව් 22:5 සසඳන්න.) තේජවත් සේනාවල යෙහෝවා සමඟ තමන්ව සන්සන්දනය කරගන්ට යෑමෙන් ඒවා ලැජ්ජාවට පත් වෙනවා කියා කිව හැකියි. යෙහෝවා උත්කෘෂ්ටව සිට පාලනය කරන්ට යනවා. ඔහුගේ සර්වපරාක්‍රමය සහ තේජස සියල්ලන්ම දකින්ට යනවා. (එළිදරව් 4:8-11; 5:13, 14) මොනතරම් පුදුමාකාර අපේක්ෂාවක්ද! එම කාලයේදී ගීතාවලිය 97:1හි ආරාධනය මහ පරිමාණයෙන් පොළොව පුරා රැව් පිළිරැව් දෙන්ට යනවා. ‘යෙහෝවා රජකම් කරන්නේය; පොළොව ප්‍රීති වේවා; ද්වීප සමූහය සන්තෝෂ වෙත්වා.’

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[262වන පිටුවේ පින්තූරය]

දේශයේ තවත් සතුටු නාද තිබෙන්ට යන්නේ නැහැ

[265වන පිටුවේ පින්තූරය]

අස්වැන්න නෙළුවාට පසුවත් සමහර ඵල ගසේ තිබෙන්ට හරින්නා සේම, යෙහෝවාගේ විනිශ්චයේදී සමහරුන් ඉතිරි වෙන්ට යනවා

[267වන පිටුවේ පින්තූරය]

තම සෙනඟ පිට පැමිණෙන්ට යන දේ ගැන යෙසායා මහත් සේ දුකට පත් වෙනවා

[269වන පිටුවේ පින්තූරය]

දෙවිගේ තේජසට ළං වෙන්ට චන්ද්‍රයාටවත් සූර්යයාටවත් පුළුවන්කමක් නැහැ