Skip to content

පටුනට යන්න

රජෙකුගේ ඇදහිල්ලට විපාක ලැබෙයි

රජෙකුගේ ඇදහිල්ලට විපාක ලැබෙයි

විසිනවවන පරිච්ඡේදය

රජෙකුගේ ඇදහිල්ලට විපාක ලැබෙයි

යෙසායා 36:1–39:8

1, 2. හෙසකියා ආහාස්ට වඩා හොඳ රජෙක් වූයේ කෙසේද?

 යූදාහි රජ බවට පත් වන විට හෙසකියාට වයස අවුරුදු 25යි. ඔහු මොන වගේ රජෙක් වෙයිද? ඔහු තම පියා වන ආහාස් රජගේ අඩි පාරේ ගමන් කර, යටත් වැසියන්ව බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්ට පොලඹවයිද? එහෙම නැත්නම්, ඔහුගේ මුතුන් මිත්තෙක් වූ දාවිත් රජ මෙන්, සෙනඟව යෙහෝවාගේ නමස්කාර මාර්ගයේ මෙහෙයවයිද?—2 රාජාවලිය 16:2.

2 හෙසකියා රජ වූ වහාම, ඔහු ‘යෙහෝවාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කිරීමට’ අධිෂ්ඨාන කරගෙන සිටින බව පසක් වුණා. (2 රාජාවලිය 18:2, 3) ඔහුගේ පාලනයේ මුල් අවුරුද්දේදී යෙහෝවාගේ මාළිගාව අලුත්වැඩියා කර දේවමාළිගා සේවයට නැවත ආරම්භයක් දුන්නා. (2 ලේකම් 29:3, 7, 11) ඉන්පසු ඔහු අතිවිශාල පාස්කුවක් සඳහා සැලසුම් යෙදුවා. එය සමරන්ට ඉශ්‍රායෙල්හි උතුරු දස ගෝත්‍රයේ අය ඇතුළු මුළු ජාතියටම ආරාධනා කළා. මෙය කෙතරම් මතකයේ රැඳෙන මංගල්‍යයක් වුණාද! සාලමොන් රජගේ කාලයට පසු මෙවැනි උත්සවයක් පවත්වා තිබුණේ නැහැ.—2 ලේකම් 30:1, 25, 26.

3. (අ) හෙසකියා විසින් සංවිධානය කළ පාස්කුවට සහභාගි වූ ඉශ්‍රායෙල්වරුන් සහ යූදා වැසියන් ගත් ක්‍රියා මාර්ගය කුමක්ද? (ආ) පාස්කුවට පැමිණි අය ගත් තීරණාත්මක ක්‍රියා මාර්ගයෙන් අදදින ක්‍රිස්තියානීන්ට උගත හැක්කේ කුමක්ද?

3 පාස්කු මංගල්‍යය අවසන් වීමත් සමඟම පැමිණ සිටි සෙනඟ රූපස්තම්භ සහ අෂේරා කණු බිඳ දමා, බොරු දෙවිවරුන්ට තැනූ උස් තැන් සහ පූජාසන කඩා දැමීමට පෙලඹුණා. ඔවුන් නැවත තම තමුන්ගේ ගෙවල් බලා පිටත් වුණේ සැබෑ දෙවිට සේවය කිරීමට අධිෂ්ඨානයක් ඇතුවයි. (2 ලේකම් 31:1) ඔවුන්ගේ කලින් තිබූ ආගමික ආකල්පවලට වඩා කොතරම් වෙනසක්ද! අද සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට ‘තමන්ගේ රැස්වීම් අත් නොහැරීමේ’ වැදගත්කම සම්බන්ධ පාඩමක් මෙයින් උගත හැකියි. එලෙස එකට එකතු වන්නේ රාජ්‍ය ශාලාවලදී නැතහොත් විශාල මට්ටමේ එක්රැස්වීම් හෝ සමුළුවලදීයි. ඒ කොතැනකදී රැස් වුණත්, ඒවා දිරිගැන්වීම් ලබන්ට රුකුලක් වන අතර, සහෝදරත්වයෙන් සහ දෙවිගේ ආත්මයෙන් එකිනෙකාව “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද” පොලඹවන්ට යනවා.—හෙබ්‍රෙව් 10:23-25.

පරීක්ෂණයට මුහුණ දෙන ඇදහිල්ල

4, 5. (අ) හෙසකියා අෂූරියෙන් ස්වාධීනව කටයුතු කරන බව පෙන්වූයේ කෙසේද? (ආ) යූදාවට එරෙහිව සෙනකෙරීබ් ගත් යුධෝපාය කුමක්ද? එමෙන්ම, යෙරුසලම හදිසි පහර දීමකින් වළක්වාගැනීමට හෙසකියා ගත් පියවර මොනවාද? (ඇ) හෙසකියා අෂූරියයන්ගෙන් යෙරුසලම රැකගැනීමට කටයුතු සූදානම් කරන්නේ කෙසේද?

4 බැරෑරුම් පරීක්ෂණ යෙරුසලමේ දොරකොඩටම ඇවිත්. හෙසකියා තම නොඇදහිලිකාර පියා වූ ආහාස් අෂූරියයන් සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුමක් අහෝසි කළා පමණක් නොව, ඔහු අෂූරියයන්ගේ මිත්‍ර පාක්ෂිකයන් වූ පිලිස්තිවරුන්ව යටත් කරගත්තා. (2 රාජාවලිය 18:7, 8) මෙය අෂූරියේ රජව ප්‍රකෝප කළා. ඒ ගැන අපිට කියවන්ට තිබෙන්නේ මෙසේයි. “හෙසකියා රජුගේ දහ හතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරීබ් තෙමේ යූදාහි පවුරු ඇති සියලු නුවරවලට විරුද්ධව අවුත් ඒවා අල්ලාගත්තේය.” (යෙසායා 36:1) සමහරවිට කෲර අෂූරිය හමුදාවෙන් විය හැකි හදිසි පහර දීමකින් යෙරුසලම බේරාගැනීමේ අදහසින්, හෙසකියා අතිවිශාල කප්පමක් වන රිදී තලෙන්ත 300කුත් රත්තරන් තලෙන්ත 30කුත් දෙන්ට එකඟ වෙනවා. *2 රාජාවලිය 18:14.

5 කප්පම ගෙවීමට තරම් රන් රිදී රාජකීය ගබඩාවේ නොතිබෙන නිසා, හෙසකියා තමාට ලබාගත හැකි වටිනා දේවල් දේවමාළිගාවෙන් එකතු කරගන්නවා. ඔහු රන් ආලේප කර තිබූ දේවමාළිගාවේ දොරටු පවා කපා සෙනකෙරීබ් වෙත යවනවා. මෙය අෂූරියයාගේ ආශාව සන්සිඳුවන්නේ ටික කාලයකට පමණයි. (2 රාජාවලිය 18:15, 16) අෂූරියයන් යෙරුසලම ආක්‍රමණය කරන්ට අර අඳින බව හෙසකියාට අවබෝධ වෙනවා. වැඩි කල් යන්ට මත්තෙන් එසේ කරන බව ඔහුට පැහැදිලියි. එමනිසා, අවශ්‍ය සැලසුම් යෙදිය යුතුයි. ජනතාව ආක්‍රමණික අෂූරියයන්ට ජලය ලබාගත හැකි මාර්ග වසා දමනවා. හෙසකියා යෙරුසලමේ බලකොටුවල ආරක්ෂාව තර කරනවා. “බොහෝ ආයුධ හා පලිස්” ඇතුළු යුධායුධ ගබඩාවක්ද තනනවා.—2 ලේකම් 32:4, 5.

6. හෙසකියා තම විශ්වාසය තබන්නේ කා මතද?

6 කෙසේවෙතත්, හෙසකියා තම විශ්වාසය තබන්නේ දක්ෂ යුධ උපක්‍රම හෝ බලකොටු මත නෙවෙයි. ඔහු විශ්වාසය තබන්නේ සේනාවල යෙහෝවා මතයි. ඔහු තම හමුදාවේ අධිපතීන්ට කතා කර මෙසේ අනුශාසනා කරනවා. “අෂූර්හි රජුටවත් ඔහු සමඟ සිටින මුළු සමූහයාටවත් භයනොවී නොකැලඹී බලවත්ව සවිව [සිටින්න]. මක්නිසාද ඔහු සමඟ සිටින්නන්ට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේය. ඔහු සමඟ ඇත්තේ මාංසමය හස්තයක්ය; නුමුත් අපට පිහිටවී අපේ යුද්ධයන් කරන පිණිස අප සමඟ සිටින්නේ අපේ දෙවිවූ [යෙහෝවාය].” මෙසේ, “සෙනඟ යූදාහි රජවූ හෙසකියාගේ වචන කෙරෙහි විශ්වාසය” තබමින් ප්‍රතිචාරය දක්වන්ට පටන්ගන්නවා. (2 ලේකම් 32:7, 8) යෙසායාගේ අනාවැකියේ 36 සිට 39 දක්වා පරිච්ඡේද අප දැන් පරීක්ෂා කරද්දී එහි ඇති හද ඉපිලී යන සිද්ධීන් සිතේ මවාගන්න.

රබ්-ෂාකේ කතා කරයි

7. රබ්-ෂාකේ කියන්නේ කවුද? ඔහුව යෙරුසලමට එවන්නේ මන්ද?

7 සෙනකෙරීබ් උසස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ රබ්-ෂාකේව (මෙය හමුදා තනතුරක් මිස කෙනෙකුගේ නමක් නොවෙයි) යෙරුසලමට එවන්නේ එය තමාට යටත් විය යුතුයි යන පණිවිඩය ඇතුවයි. (2 රාජාවලිය 18:17) මොවුන් නුවරින් පිටත පවුර අසලදී, හෙසකියාගේ රජ ගෙදර ප්‍රධානියා වන එලියාකීම්, ලේකම් වන ෂෙබ්නා සහ වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍ර වූ යෝවා යන රාජ නියෝජිතයන්ව මුණගැසෙනවා.—යෙසායා 36:2, 3.

8. රබ්-ෂාකේ යෙරුසලමේ බලය බිඳ දැමීමට වෑයම් කරන්නේ කෙසේද?

8 රබ්-ෂාකේගේ ඉලක්කය සරලයි. ඒ යුද්ධ නොකර යෙරුසලමේ වැසියන්ව යටත් කරගැනීමයි. හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහු හඬ නඟා මෙසේ කියනවා. ‘නුඹ විශ්වාසය තබන ඔය දේ මොකක්ද? නුඹ මට විරුද්ධව කැරලිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද?’ (යෙසායා 36:4, 5) ඉන්පසු රබ්-ෂාකේ බියෙන් ගැහෙන යුදෙව්වන්ට නින්දා කරමින්, ඔවුන් මුළුමනින්ම හුදකලා වී ඇති බව මතක් කර දෙනවා. උදව් ඉල්ලා ඔවුන්ට හැරෙන්ට පුළුවන් කා වෙතටද? අර “තැළුණු බට දණ්ඩ” වන මිසරය වෙතටද? (යෙසායා 36:6) මේ වන විට මිසරය ඇත්තෙන්ම තැළුණු බට දණ්ඩක් හා සමාන කළ හැකියි. කලින් ලෝක බලයව තිබූ මෙය දැන් තාවකාලිකව ඉතියෝපියාවේ අණසකට නතු වෙලා. එමෙන්ම දැනට මිසරය පාලනය කරන ඵාරාවෝ එනම් තිර්හාකා රජ මිසර ජාතිකයෙක් නොව ඉතියෝපීය ජාතිකයෙකි. ඔහුවත් අෂූරිය විසින් පරාජය කරන්ට ආසන්නයි. (2 රාජාවලිය 19:8, 9) ඉතින් මිසරයට තමාවම බේරාගන්ට බැරුව ඉද්දී කොහොමද යූදා දේශය බේරාගන්නේ?

9. යෙහෝවා ඔහුගේ සෙනඟව අත්හරියි කියා නිගමනය කිරීමට රබ්-ෂාකේට හේතු වන්නේ කුමක්ද? එහෙත්, සැබෑ තත්වය කුමක්ද?

9 රබ්-ෂාකේගේ තර්කයේ හැටියට යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් සටන් කරන්නේ නැත්තේ ඔහු ඔවුන් සමඟ අමනාපව සිටින නිසයි. ඔහු මෙසේ කියනවා. “අපේ දෙවිවූ [යෙහෝවා] කෙරෙහි අපි විශ්වාසකරමුයයි නුඹ සමහර විට මට කියනවා ඇත. නුමුත්: නුඹලා මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි හෙසකියා යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා පහකරදැමුවේ [ඔහුගේ] උස් තැන් හා පූජාසන නොවේද?” (යෙසායා 36:7) දේශයේ තිබූ උස් තැන් සහ පූජාසන පහ කිරීම මගින් යුදෙව්වන් යෙහෝවාව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, ඔවුන් ඇත්තෙන්ම යෙහෝවා වෙතට හැරී ආවා.

10. යූදා හමුදාව කුඩා වුණත් විශාල වුණත් එය එතරම් වැදගත් නොවන්නේ මන්ද?

10 හමුදාමය අතින් යූදා වැසියන් අෂූරියයන් හා සැසඳූ කල අන්ත දුර්වල බව රබ්-ෂාකේ මීළඟට මතක් කර දෙනවා. පිළියම වශයෙන් ඔහු ඉදිරිපත් කරන උඩඟු අභියෝගය මෙයයි. ‘ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.’ (යෙසායා 36:8) එහෙත් යථාර්ථය සලකා බලද්දී, යූදාහි පුහුණු කරන ලද අසරුවන් බොහෝ වුණත්, ටික වුණත් ඉන් ඵලක් තියෙනවාද? නැහැ. මන්ද යූදාගේ ගැළවීම රඳා පවතින්නේ විශිෂ්ට යුධ ශක්තිය මත නොවන නිසයි. හිතෝපදේශ 21:31 මේ ගැන පැහැදිලි කරන්නේ මෙසේයි. “අශ්වයා යුද්ධ දවසට සෑදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ [යෙහෝවාගෙන්ය].” ඉන්පසු රබ්-ෂාකේ කියා සිටින්නේ යෙහෝවාගේ ආශීර්වාදය ලැබී තිබෙන්නේ යුදෙව්වන්ට නොව අෂූරියයන්ට බවයි. එසේ නූණා නම්, යූදා දේශය ආක්‍රමණය කරමින් මෙපමණ දුරක් එන්ට අෂූරියයන්ට පුළුවන් වුණේ කොහොමද කියා ඔහු තර්ක කරනවා.—යෙසායා 36:9, 10.

11, 12. (අ) රබ්-ෂාකේ “යුදෙව් භාෂාවෙන්” කතා කිරීම නොනවත්වන්නේ මන්ද? ඔහුට ඇහුම්කන් දෙමින් සිටි යුදෙව්වන්ව ආකර්ෂණය කරන්ට ඔහු වෑයම් කරන්නේ කෙසේද? (ආ) රබ්-ෂාකේගේ වචන යුදෙව්වන් මත ඇති කළ බලපෑම කුමක් විය හැකිද?

11 හෙසකියාගේ නියෝජිතයන්ගේ මනසේ තිබෙන්නේ වෙනත් දෙයක්. ඔවුන් කල්පනා කරන්නේ රබ්-ෂාකේගේ තර්කය නුවරේ පවුර උඩ සිට අසාගෙන සිටින මිනිසුන් තුළ ඇති කරන බලපෑම ගැනයි. ඒ නිසා මේ යුදෙව් නිලධාරීන් මෙවන් ඉල්ලීමක් කරනවා. “පවුර පිට සිටින සෙනගට ඇසෙන්ට යුදෙව් භාෂාවෙන් අපට කථා නොකොට, නුඹේ මෙහෙකරුවන්වූ අපට සිරියේ භාෂාව තේරෙන නිසා ඒ භාෂාවෙන් අපට කථා [කරන්න].” (යෙසායා 36:11) එහෙත් සිරියානු භාෂාවෙන් කතා කරන්ට රබ්-ෂාකේට කිසිම අදහසක් නැහැ. ඒ වෙනුවට යුදෙව්වන්ගේ හදවත් තුළ භය ජනිත කරමින් සැකයේ බීජ වපුරන්ට ඔහුට අවශ්‍යයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් යටත් වෙන්ට ඉඩ තිබෙනවා. එවිට යුද්ධ නොකරම ඔවුන්ට යෙරුසලම අල්ලාගන්ට පුළුවන්! (යෙසායා 36:12) මේ නිසා අෂූරියයා නැවතත් “යුදෙව් භාෂාවෙන්” කතා කරන්ට පටන්ගන්නවා. ඔහු යෙරුසලමේ වැසියන්ට මෙසේ අනතුරු අඟවනවා. “නුඹලා රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න; මක්නිසාද නුඹලා ගළවාගන්ට ඔහුට බැරිය.” ඒ සමඟම තමාට ඇහුම්කන් දෙන්නන්ව රැවටීමට අෂූරීය පාලනය යටතේ යුදෙව්වන්ට ගත කළ හැකි ආකාරයේ ජීවිතයක් ගැන ඔහු පින්තූරයක් මවා පෙන්වනවා. “මා සමග සමාදානයකට පැමිණ මා වෙතට එන්න. එවිට මම ඇවිත් නුඹලාගේ දේශයට සමානවූ දේශයකට, ධාන්‍ය හා මුද්‍රිකපානයද කෑම හා මිදිවතුද ඇති දේශයකට නුඹලා ගෙනයන තුරු, නුඹලා කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන්ද තම තමාගේ අත්තික්කා ගසෙන්ද කන්ටත් තම තමාගේ ළිඳේ වතුර බොන්ටත් පුළුවන.”—යෙසායා 36:13-17.

12 මෙවර යුදෙව්වන්ට අස්වැන්නක් තියෙන්ට යන්නේ නැහැ. අෂූරීය ආක්‍රමණය නිසා මෙවර බෝග වගාව කෙරුණේ නැහැ. යුස පිරුණු මිදි සහ සිසිල් ජලය ගැන කියූ කතා පවුර පිට හිඳ අසා සිටින්නන්ගේ තොල් තෙත් කර ඔවුන්ගේ සිත් ඇදගත් බව නිසැකයි. එහෙත් යුදෙව්වන්ව මානසිකව වැට්ටීම රබ්-ෂාකේ තවමත් නිම කර නැහැ.

13, 14. රබ්-ෂාකේගේ තර්කවලට වෙනස්ව, සමාරියට සිදු වූ දෙය යූදාහි තත්වයට සමාන කළ නොහැක්කේ මන්ද?

13 රබ්-ෂාකේ තම තර්ක ගබඩාවෙන් තවත් වාචික අවියක් එළියට අදිනවා. ‘යෙහෝවා අප ගළවාගන්නේය’ කියා කියද්දී පරෙස්සම් වන ලෙස ඔහු සෙනඟට අනතුරු අඟවනවා. ගෝත්‍ර දසය අෂූරියයන් අතින් බේරාගන්ට සමාරියේ දෙවිවරුන්ට බැරි වූ බව රබ්-ෂාකේ යුදෙව්වන්ට මතක් කරනවා. අෂූරිය යටත් කරගත් අනිත් ජාතීන්ගේ දෙවිවරුන් ගැන කුමක් කිව හැකිද? “හමාත්හිද අර්පාද්හිද දෙවිවරු කොයිද? සෙපර්වයිම්හි දෙවිවරු කොයිද? ඔව්හු සමාරිය මාගේ අතින් [ගළවාගත්තෝදැයි]” ඔහු ප්‍රශ්න කරනවා.යෙසායා 36:18-20.

14 ඇත්තවශයෙන්ම රබ්-ෂාකේ මිථ්‍යා දෘෂ්ටිකයෙක්. ඇදහිල්ල අත්හළ සමාරියත් හෙසකියා යටතේ පවතින යෙරුසලමත් අතර විශාල වෙනසක් තිබෙන බව ඔහුට තේරෙන්නේ නැහැ. සමාරියේ බොරු දෙවිවරුන්ට ගෝත්‍ර දසයේ රාජ්‍යය බේරාගන්ට තරම් බලයක් තිබුණේ නැහැ. (2 රාජාවලිය 17:7, 17, 18) අනිත් අතට, හෙසකියා යටතේ පවතින යෙරුසලම බොරු දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කර නැවතත් යෙහෝවාට සේවය කිරීමට පටන්ගෙන තිබෙනවා. කෙසේවෙතත්, යුදෙව් නියෝජිතයන් තිදෙනා රබ්-ෂාකේට මේ කාරණය පැහැදිලි කරන්ට වෑයම් කරන්නේ නැහැ. “ඔව්හු ඔහුට කිසි උත්තරයක් නොදී නිශ්ශබ්දව සිටියෝය. මක්නිසාද: ඔහුට උත්තර දෙන්ට එපාය කියා රජුගේ ආඥාවක් තිබුණේය.” (යෙසායා 36:21) එලියාකීම්, ෂෙබ්නා සහ යෝවා හෙසකියා වෙතට පැමිණ රබ්-ෂාකේ කී දේවල් පිළිබඳ නිල වාර්තාවක් ඉදිරිපත් කරනවා.—යෙසායා 36:22.

හෙසකියා තීරණයක් ගනියි

15. (අ) තීරණයක් ගැනීමට කලින් හෙසකියා සලකා බැලිය යුත්තේ මොනවාද? (ආ) යෙහෝවා තම සෙනඟගේ භය සැක දුරු කරන්නේ කෙසේද?

15 හෙසකියා රජට දැන් තීරණයක් ගැනීමට තිබෙනවා. යෙරුසලම අෂූරියට යටත් වෙයිද? මිසරය සමඟ එකතු වෙයිද? එහෙම නැත්නම් තනිවම සටන් කරයිද? හෙසකියා සිටින්නේ දැඩි පීඩනයක් යටතේ. එලියාකීම්ව සහ ෂෙබ්නාවත් පූජකයන්ගේ වැඩිමහල්ලන්වත් යෙහෝවාගෙන් විමසීම සඳහා අනාගතවක්තෘ යෙසායා ළඟට යවා, ඔහු යෙහෝවාගේ මාළිගාවට යනවා. (යෙසායා 37:1, 2) රජගේ රහස් නියෝජිතයන් ගෝනි රෙදි ඇඳගෙන ගොස් යෙසායාට මෙසේ කියනවා. ‘අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. ජීවමාන දෙවිට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවක වූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවි වූ යෙහෝවා අසා, ඒ ඇසූ වචන ගැන ඔහු තර්ජනයක් කරනවා ඇත.’ (යෙසායා 37:3-5) ඔව්, අෂූරියයන් ජීවමාන දෙවිට අභියෝග කරනවා! යෙහෝවා ඔවුන්ගේ නින්දා වෙත කන යොමාවිද? යෙසායා තුළින් යෙහෝවා යුදෙව්වන්ගේ භය සැක දුරු කරන්නේ මෙසේයි. “නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාසකොට කීවාවූ වචනවලට භය නොවන්න. ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමි.”—යෙසායා 37:6, 7.

16. සෙනකෙරීබ් එවන ලිපි මොනවාද?

16 මේ අතර, තමාට සහය වීමට පැමිණෙන ලෙස දන්වමින් ලිබ්නාහි යුද්ධ කරමින් සිටි සෙනකෙරීබ්, රබ්-ෂාකේට පණිවිඩයක් එවා තිබුණා. සෙනකෙරීබ් පසුව යෙරුසලම අල්ලාගැනීමට පැමිණේවි. (යෙසායා 37:8) රබ්-ෂාකේ පිට වී ගියත් හෙසකියාට එරෙහිව එන පීඩනවල නම් අඩුවක් නැහැ. යෙරුසලම යටත් නූණොත් එහි වැසියන්ට විඳින්ට වන දේ සඳහන් කරමින් එවන සෙනකෙරීබ්ගේ තර්ජනාත්මක ලියුම් ගණනාවක්ම හෙසකියාට ලැබෙනවා. ‘අෂූර්හි රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශ කර දැමූ බව නුඹ අසා තිබේ. එසේ නම් නුඹ ගැළවෙනවා ඇද්ද? මාගේ පියවරුන් විසින් නැති කළ ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද? හමාත්හි රජ, අර්පාද්හි රජ සහ සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජ කොහෙද?’ (යෙසායා 37:9-13) අෂූරියයන් කෙටියෙන්ම කියන්නේ යෙරුසලම තමන් සමඟ පොරට සිටීම මෝඩකමක් බව සහ එයින් සිදු වන්නේ ගැටලු තවත් උග්‍රවීම පමණක් බවයි.

17, 18. (අ) යෙහෝවාගෙන් ආරක්ෂාව ඉල්ලීමේදී හෙසකියාගේ චේතනාව කුමක්ද? (ආ) යෙහෝවා යෙසායා තුළින් අෂූරියයාට උත්තර දෙන්නේ කෙසේද?

17 තමා ගත යුතු තීරණයේ ඵලවිපාක ගැන ගැඹුරට කල්පනා කරමින්, හෙසකියා සෙනකෙරීබ් එවූ ලිපි දේවමාළිගාවේදී යෙහෝවා ඉදිරියේ දිගහරිනවා. (යෙසායා 37:14) ඉන්පසු අෂූරීය තර්ජනයට ප්‍රතිචාරය දක්වන ලෙස ඉල්ලමින් යෙහෝවාට කරන හෘදයාංගම යාච්ඤාව හෙසකියා අවසන් කරන්නේ මේ ආකාරයටයි. “අපේ දෙවිවූ [යෙහෝවා], ඔබ, ඔබ පමණක්ම, [යෙහෝවා] බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනව.” (යෙසායා 37:15-20) මෙයින් පැහැදිලි වෙන්නේ හෙසකියාගේ මූලික සැලකිල්ල යොමු වී තිබෙන්නේ තමාගේ ගැළවීම කෙරෙහි නොව නමුත්, අෂූරිය අතින් යෙරුසලම පරාජය වුණොත් යෙහෝවාගේ නාමයට විරුද්ධව ගොඩගැසෙන නින්දාව කෙරෙහි බවයි.

18 හෙසකියාගේ යාච්ඤාවට යෙහෝවා යෙසායා තුළින් උත්තර දෙනවා. යෙරුසලම අෂූරියට යටත් නොවිය යුතුයි. ඇය නොසැලී සිටිය යුතුයි. යෙසායා අෂූරියයා වන සෙනකෙරීබ් සම්බන්ධයෙන් කතා කරමින් යෙහෝවාගේ පණිවිඩය නිර්භීත ලෙස මෙසේ සඳහන් කරනවා. “සියොන් කන්‍යා දුව නුඹ සුළු කරනවාය, නුඹට සරදම්කරනවාය; යෙරුසලම් දුව නුඹට පස්සෙන් [සමච්චලයට] ඉස වනනවාය.” (යෙසායා 37:21, 22) ඇත්තෙන්ම යෙහෝවා ඉන් අදහස් කරන්නේ මෙවැනි දෙයක්. ‘ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාට විරුද්ධව අපහාස කරන්ට නුඹ කවුද? මම නුඹේ ක්‍රියා දනිමි. නුඹට මහත් අභිලාෂයන් තිබේ. නුඹ පුරසාරම් දොඩයි. නුඹ නුඹේ යුධ ශක්තිය කෙරෙහි විශ්වාසය තබා දේශ දේශාන්තර ජයගනියි. එහෙත් නුඹ අපරාජිත නැතැයි සිතන්ට එපා. මම නුඹේ සැලසුම් කණපිට හරවන්නෙමි. මම නුඹ පරාජය කරමි. එවිට මම නුඹට නුඹ අනුන්ට කළ ලෙසම කරන්නෙමි. මම නුඹේ නාසයට කොක්කක් දමා අෂූරියටම ඇදගෙන යන්නෙමි.’—යෙසායා 37:23-29.

‘මෙය ඔබට ලකුණක් වන්නේය’

19. යෙහෝවා හෙසකියාට දෙන ලකුණ කුමක්ද? එයින් අදහස් කරන්නේ කුමක්ද?

19 යෙසායාගේ අනාවැකිය ඉටු වන බවට හෙසකියාට ඇති සහතිකය කුමක්ද? යෙහෝවා මෙසේ උත්තර දෙනවා. “මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.” (යෙසායා 37:30) යෙහෝවා හිර වී සිටින යුදෙව්වන්ට කෑම සපයන්ට යනවා. අෂූරියයන්ගේ වටලෑම හේතුවෙන් වගා කිරීමට නොහැකි හෙයින්, කලින් අවුරුද්දේ අස්වැන්නෙන් වැටෙද්දී එකතු කරගත් ධාන්‍ය කන්ට ඔවුන්ට හැකි වෙනවා. ඊළඟ අවුරුද්දේදී, එනම් සබත් අවුරුද්දේදී, ඉතා දුෂ්කර තත්වයක් අද්දැක්කත් ඔවුන් ව්‍යවස්ථාවේ අණ කර ඇති පරිදි තම භූමිය වගා නොකර පුරන් වෙන්ට හැරිය යුතුයි. (නික්මයාම 23:11) සෙනඟ තම හඬට කීකරු වුණොත්, ඔවුන්ට ඇති තරමට භූමිය ඵලගන්ට සලස්වන බවට යෙහෝවා පොරොන්දු වෙනවා. එහෙත් පසුව පැමිණෙන අවුරුද්දේදී, සාමාන්‍ය පරිදි සෙනඟ බීජ වපුරා, තම දහඩිය මහන්සියෙන් ලබාගත් ඵල භුක්ති විඳින්ට යනවා.

20. අෂූරීය ආක්‍රමණයෙන් ගැළවෙන අය ‘පහළට මුල් ඇද ඉහළ ඵල දරන්ට’ යන්නේ කිනම් ආකාරයෙන්ද?

20 යෙහෝවා තම සෙනඟව ලෙහෙසියෙන් උදුරා දැමිය නොහැකි පැළයකට සමාන කරනවා. “යූදා වංශයෙන් ගැළවී ඉතිරිව සිටින කොටස නැවත පහළට මුල් ඇද ඉහළ ඵල දරනවා ඇත.” (යෙසායා 37:31, 32 එමනිසා, යෙහෝවා කෙරෙහි විශ්වාස කරන අයට භය වෙන්ට කිසිම හේතුවක් නැහැ. ඔවුන් සහ ඔවුන්ගේ මතු පරම්පරාව දේශයේ ස්ථිරව පදිංචි වෙන්ට යනවා.

21, 22. (අ) සෙනකෙරීබ් සම්බන්ධයෙන් පුරෝකථනය කර තිබෙන්නේ කුමක්ද? (ආ) සෙනකෙරීබ් සම්බන්ධයෙන් යෙහෝවාගේ වචනය ඉෂ්ට වූයේ කවදාද? කෙසේද?

21 මින් ඉදිරියට අෂූරිය යෙරුසලමට විරුද්ධව ගෙනෙන්ට යන තර්ජන ගැන කුමක් කිව හැකිද? යෙහෝවා මෙසේ උත්තර දෙනවා. “ඔහු මේ නුවරට ඇතුල්වෙන්නේවත් ඊගහක් ඊට විදින්නේවත් ඒ ඉදිරිපිටට පලිහක් රැගෙන එන්නේවත් ඊට විරුද්ධව ගොඩැල්ලක් නගන්නේවත් නැත. ඔහු මේ නුවර තුළට නෑවිත් ආ මගින්ම හැරී යනවා ඇත.” (යෙසායා 37:33, 34) මින් මත්තට අෂූරියත් යෙරුසලමත් අතර කිසිම යුද්ධයක් තියෙන්ට යන්නේ නැහැ. යුද්ධ නොකරම පැරදෙන්ට යන්නේ අෂූරියයන් මිස යුදෙව්වන් නෙවෙයි. පුදුමයි ඒත් ඇත්තයි!

22 යෙහෝවා තම වචනය සැබෑ කරමින් එක දේවදූතයෙකු එවා සෙනකෙරීබ්ගේ හමුදාවේ සිටි හොඳම භටයන් 1,85,000දෙනෙකුව මරා දමනවා. පෙනෙන විදිහට මෙය සිදු වන්නේ ලිබ්නාහිදීයි. අවදි වන විට සෙනකෙරීබ් දකින්නේ ඔහුගේ හමුදාවේ නායකයන්, අධිපතීන් සහ බලවන්තයන් මැරී සිටින ආකාරයයි. ලැජ්ජාවෙන් ඔහු නිනිවයට හැරී යනවා. මනකම්පිත කරන පරාජය හමුවේ ඔහු තවමත් මුරණ්ඩු ලෙස ඔහුගේ බොරු දෙවියා වන නිස්රොක්ට නමස්කාර කිරීමේ යෙදී සිටිනවා. අවුරුදු කිහිපයකට පසුව, සෙනකෙරීබ් නිස්රොක්ගේ දේවාලයේ වන්දනා කරමින් සිටියදී ඔහුගේ පුතුන් දෙදෙනෙකු විසින් ඔහුව ඝාතනය කරනවා. නැවත වරක්, කෙනෙකුව ගළවාගැනීමටවත් බැරි තරම් අප්‍රාණික නිස්රොක්ගේ බලය පුස්සක් බව ඔප්පු වෙනවා.—යෙසායා 37:35-38.

හෙසකියාගේ ඇදහිල්ල තවත් ශක්තිමත් වේ

23. සෙනකෙරීබ් මුලින්ම යූදාවට විරුද්ධව පැමිණි විට හෙසකියා මුහුණ දුන් අර්බුදය කුමක්ද? මේ අර්බුදය නිසා කුමක් සිදුවීමට ඉඩ තිබුණාද?

23 සෙනකෙරීබ් යූදා අල්ලාගැනීමට පැමිණි මුල් කාලයේදීම වගේ හෙසකියා අසනීප වී මරණාසන්න වෙනවා. ඔහු මැරෙන බව යෙසායා පවසනවා. (යෙසායා 38:1) තිස්නව හැවිරිදි රජ කරකියාගත නොහැකි තත්වයකට පත් වෙලා. මේ වන විට, ඔහුගේ අවධානය තමන්ගේ ශුභසාධනය ගැන පමණක් නොව තම ජනතාවගේ අනාගතය කෙරෙහිත් යොමු වී තිබෙනවා. යෙරුසලම සහ යූදා දේශය අෂූරිය හමුදාව විසින් ආක්‍රමණය කිරීමේ අවදානම අත ළඟයි. හෙසකියා මැරුණොත් යුද්ධය මෙහෙයවන්නේ කවුද? පාලනය භාර දීමට හෙසකියාට ඒ වන විටත් පුත්‍රයෙක් සිටියේ නැහැ. ඉතින්, තමාට දයාව පෙන්වන ලෙස ඉල්ලා හැඬූ කඳුළින් යුතුව හෙසකියා යෙහෝවාට යාච්ඤා කරනවා.—යෙසායා 38:2, 3.

24, 25. (අ) යෙහෝවා හෙසකියාගේ යාච්ඤාවට දයානුකම්පාවෙන් උත්තර දෙන්නේ කෙසේද? (ආ) යෙසායා 38:7, 8 කියන විදිහට යෙහෝවා සිදු කරන ආශ්චර්යය කුමක්ද?

24 යෙහෝවා තවත් පණිවිඩයක් ඔහුට එවද්දී, යෙසායා රජගෙදර මිදුලවත් පසු කර සිටියේ නැහැ. දැන් ඔහු දුකින් පෙළෙන රජගේ යහන වෙත නැවතත් පිය නඟනවා. “මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි. මම අෂූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා, මේ නුවර ආවරණයකරන්නෙමි.” (යෙසායා 38:4-6; 2 රාජාවලිය 20:4, 5) යෙහෝවා තම පොරොන්දුව අසාමාන්‍ය ලකුණක් මගින් තහවුරු කරනවා. “බලව, ආහාස්ගේ හෝරා-යන්ත්‍ර මණ්ඩලය [තරප්පු පෙළේ පඩි, NW] පිට සෙවණැල්ල බැස ගිය තැනින් අංශක දශයක් පස්සට [පඩි දහයක් ආපස්සට, NW] යන්ට සලස්වන්නෙමි.”—යෙසායා 38:7, 8අ.

25 යුදෙව් ඉතිහාසඥ ජොසීෆස් කියන විදිහට, රජ මාළිගාව ඇතුළේ තරප්පු පෙළක් තිබුණු අතර, බොහෝවිට ඒ අසලින්ම කණුවකුත් තිබුණා. හිරු කිරණ කණුව මත පතිත වුණාම, එහි සෙවණැල්ල තරප්පු පෙළ මත වැටෙනවා. ඉතින් පඩි මත සෙවණැල්ල ඇදෙන ආකාරය බැලීමෙන් කෙනෙකුට වේලාව දැනගන්ට හැකි වෙනවා. එහෙත් දැන් යෙහෝවා ආශ්චර්යයක් කරන්ටයි යන්නේ. සෙවණැල්ල සාමාන්‍ය පරිදි පඩි දිගේ පහළට වැටෙද්දී, එය හදිසියේම පඩි දහයක් ආපස්සට යනවා. ඒ වගේ දෙයක් ගැන කවුද අහලා තිබුණේ. මේ ගැන බයිබලය කියන්නේ මෙසේයි. ‘එසේ තරප්පු පෙළේ පඩි පිට සූර්ය-ඡායාව බැස ගොස් තිබුණු තැනින් පඩි දහයක් ආපස්සට හැරී ආවේය.’ (යෙසායා 38:8ආ) එය සිදු වී වැඩි වේලාවක් යන්ට මත්තෙන් හෙසකියා සුවය ලබනවා. සුවවීම පිළිබඳ පුවත බබිලෝනිය තරම් දුරකට පැතිරෙනවා. බබිලෝනියේ රජට මේ ගැන ආරංචි වූ විට, ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට ඔහු පණිවිඩකරුවන්ව යෙරුසලමට යවනවා.

26. හෙසකියාගේ ආයුෂ දිගු කිරීමේ එක් ප්‍රතිඵලයක් වන්නේ කුමක්ද?

26 හෙසකියාගේ ආශ්චර්යවත් සුවයෙන් අවුරුදු තුනකට පමණ පසු ඔහුගේ කුලුඳුල් පුත්‍රයා වන මනස්සේ ඉපදෙනවා. මනස්සේ ලොකු මහත් වෙන විට, යෙහෝවාගේ දයානුකම්පාව සම්බන්ධයෙන් ඔහු කිසිම අගයක් පෙන්වන්නේ නැහැ. යෙහෝවාගේ දයානුකම්පාව නොවන්නට තමාට මෙලොව එළිය දකින්ට ලැබෙන්නේ නැති බව ඔහු තේරුම්ගන්නේ නැහැ. ඒ වෙනුවට මනස්සේ තමාගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් යෙහෝවාගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කරනවා.—2 ලේකම් 32:24; 33:1-6.

දුර්වල විනිශ්චයක්

27. හෙසකියා යෙහෝවාට තම කෘතඥපූර්වකත්වය පෙන්වන්නේ කිනම් ආකාරවලින්ද?

27 හෙසකියා තම මුතුන් මිත්තා වන දාවිත් මෙන් ඇදහිලිවන්ත මනුෂ්‍යයෙක්. ඔහු දෙවිගේ වචනය මහත් සේ අගය කරනවා. හිතෝපදේශ 25:1ට අනුව හිතෝපදේශ 25 සිට 29 දක්වා පරිච්ඡේදවල දැන් අපට දැකගත හැකි කොටස් ගොනු කර තැබීමට ඔහු සැලසුම් කළා. ගීතාවලිය 119වන පරිච්ඡේදය ඔහු රචනා කළ බවයි සමහරුන්ගේ විශ්වාසය. හෙසකියා සුව වූ පසු ස්තුතිපූර්වකව රචනා කළ හැඟීම්බර ගීතය පෙන්වන්නේ ඔහු ගැඹුරු හැඟීම් ඇති මිනිසෙක් බවයි. ජීවිතයේ වැදගත්ම දෙය “අපේ ජීවිතයේ සියලුම දවස්වල” යෙහෝවාගේ මාළිගාවේ සිට ඔහුට ප්‍රශංසා කිරීම බව ඔහු පවසනවා. (යෙසායා 38:9-20) පවිත්‍ර නමස්කාරය සම්බන්ධයෙන් අප සියලුදෙනාටද එසේම හැඟේවා!

28. ආශ්චර්යවත් ලෙස සුව වී කාලයක් ගිය පසු, හෙසකියා ගන්න අඥාන තීරණය කුමක්ද?

28 ඇදහිලිවන්ත වුණත් හෙසකියා අසම්පූර්ණයි. යෙහෝවා ඔහුව සුව කර කාලයක් ගත වූ පසු ඔහු අඥාන තීරණයක් ගන්නවා. ඒ ගැන යෙසායා මෙසේ පැහැදිලි කරනවා. “ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝනියේ රජවූ මෙරොදක්-බලදාන් හෙසකියා ලෙඩින් සිට සුවවුණ බව අසා ලියුම් සහ තෑග්ගක් ඔහු වෙතට එවුවේය. හෙසකියාද ඔවුන් ගැන ප්‍රීතිවී, තමාගේ වස්තු ගබඩාවද එහි තිබුණු රන්රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෘහයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. හෙසකියා තමාගේ ගෙයිවත් මුළු රාජ්‍යයෙහිවත් ඔවුන්ට නොපෙන්වූ කිසිවක් නොතිබුණේය.”—යෙසායා 39:1, 2. *

29. (අ) හෙසකියා බබිලෝනීය නියෝජිතයන්ට තම ධනස්කන්ධය පෙන්වීමේ පරමාර්ථය කුමක් වෙන්ට ඇද්ද? (ආ) හෙසකියාගේ අඥාන තීරණයේ ප්‍රතිවිපාකය කුමක් වේද?

29 යෙහෝවාගේ දූතයා අතින් අද්දුටු විනාශකාරි පහරෙන් පසුව පවා, අෂූරිය විසින් බබිලෝනිය ඇතුළු විවිධ ජාතීන්ට තර්ජනය කිරීම නවත්වන්නේ නැහැ. අනාගතයේදී බබිලෝනියේ රජට තමාගේ මිත්‍ර පාක්ෂිකයෙක් විය හැකියි යන සිතුවිල්ල ඒත්තුගන්වන්ට හෙසකියාට අවශ්‍ය වෙන්ට ඇති. කෙසේවෙතත්, යූදා වැසියන් ඔවුන්ගේ සතුරන් සමඟ හාදකම් ඇති කරගන්නවාට යෙහෝවා කැමති නැහැ. යෙහෝවා කැමති යූදා වැසියන් ඔහු කෙරෙහි විශ්වාසය තබනවාට පමණයි! අනාගතවක්තෘ යෙසායා තුළින් යෙහෝවා හෙසකියාට අනාගතය හෙළි කරන්නේ මෙසේයි. “බලව, නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තැබූ දේත් කිසිවක් ඉතිරි නොකර බබිලෝනියට ගෙනයන දවස් පැමිණෙන්නේය. නුඹ තුළින් නික්මෙන, නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් ගෙනයනු ලබන්නෝය; ඔව්හු බබිලෝනියේ රජුගේ මාළිගාවෙහි නපුංසකයෝ වන්නෝය.” (යෙසායා 39:3-7) ඔව්, හෙසකියා තම රාජ්‍යය සතු වස්තුවෙන් පුදුමයට පත් කරන්ට සිතූ ජාතිය විසින්ම අවසානයේදී යෙරුසලමේ වස්තු කොල්ලකා එහි වැසියන්ව වහලුන් ලෙස ගෙන යනවා. හෙසකියා බබිලෝනීයයන්ට තම වස්තුව පෙන්වීමෙන් සිදු වුණේ ඔවුන්ගේ කෑදරකම වැඩිවීම විතරයි.

30. හෙසකියා යහපත් ආකල්පයක් විදහාපාන්නේ කෙසේද?

30 පෙනෙන විදිහට, හෙසකියා බබිලෝනීයයන්ට තම වස්තුව පෙන්වීමේ සිද්ධියට යොමු දක්වමින් 2 ලේකම් 32:26 මෙසේ කියනවා. ‘තමාගේ හෘදයේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත් [යටහත් පහත්, NW] වූ නිසා හෙසකියාගේ දවස්වලදී යෙහෝවාගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය.’

31. හෙසකියාගේ ජීවිතයේ ඉතිරි කාලය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක්ද? මෙයින් අපට උගත හැකි පාඩම කුමක්ද?

31 හෙසකියා අසම්පූර්ණ කෙනෙක්. එහෙත් ඔහු ඇදහිලිවන්ත මිනිසෙක් වූවායයි කිව හැකියි. යෙහෝවා දෙවි හැඟීම් තිබෙන සැබෑ පුද්ගලයෙක් බව ඔහු දැනගෙන සිටියා. පීඩන යටතේදී හෙසකියා හැඬූ කඳුළින් යෙහෝවාට යාච්ඤා කළ විට යෙහෝවා උත්තර දුන්නා. ඔහුගේ ජීවිතයේ ඉතිරි දවස්වලදී යෙහෝවා ඔහුට සමාදානය දුන්නා. හෙසකියා ඒ ගැන යෙහෝවාට කෘතඥපූර්වක වුණා. (යෙසායා 39:8) ඒ හා සමානව යෙහෝවා අපිටත් සැබෑ කෙනෙක් විය යුතුයි. ප්‍රශ්න පැනනැඟුණු විට, අපිත් හෙසකියා මෙන් ‘වරද නොතබන බොහෝ කොට සියල්ලන්ට දෙන දෙවි’ වන යෙහෝවා සපයන ප්‍රඥාව දෙස බලමු. (යාකොබ් 1:5) අපි දිගටම විඳදරාගෙන, යෙහෝවා කෙරෙහි දිගටම ඇදහිල්ල පවත්වනවා නම්, ඔහු දැනුත් අනාගතයේදීත් නොඅනුමානවම ‘ඔහුව සොයන්නන්ට විපාක දෙන කෙනෙකු බවට’ පත් වෙනවා.—හෙබ්‍රෙව් 11:6.

[පාදසටහන්වල]

^ වර්තමාන වටිනාකමට අනුව එය රුපියල් දශලක්ෂ 693.5කි.

^ සෙනකෙරීබ්ගේ පරාජයෙන් පසු අවට ජාතීන් හෙසකියාට රන්, රිදී සහ වෙනත් අනර්ඝ ද්‍රව්‍ය දුන්නා. “හෙසකියාට වස්තුද ඓශ්වර්යද අතිශයින්ම [තිබුණු]” බවත් “ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව” සිටි බවත් 2 ලේකම් 32:22, 23, 27හි කියනවා. අෂූරියයන්ට කප්පම් ගෙවද්දී හිස් වූ ගබඩා මේ තෑගිවලින් පුරවන්ට ඔහුට හැකි වෙන්ට ඇති.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[383වන පිටුවේ පින්තූරය]

බලවත් අෂූරියට මුහුණ දෙද්දී හෙසකියා රජ යෙහෝවා කෙරෙහි විශ්වාසය තබනවා

[384වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

[389වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගෙන් විමසීමට රජ රහස් නියෝජිතයන්ව යෙසායා වෙත පිටත් කර යවනවා

[390වන පිටුවේ පින්තූරය]

අෂූරිය පරාජය කර යෙහෝවාගේ නාමය උසස් කරන ලෙස හෙසකියා යාච්ඤා කරනවා

[393වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ දූතයා අෂූරියයන් 1,85,000ක් මරා දමනවා