Skip to content

පටුනට යන්න

රජ සහ ඔහුගේ කුමාරවරු

රජ සහ ඔහුගේ කුමාරවරු

විසිපස්වන පරිච්ඡේදය

රජ සහ ඔහුගේ කුමාරවරු

යෙසායා 32:1-20

1, 2. මළ මුහුද ආසන්නයේදී සොයාගත් යෙසායාගේ ලියවිල්ල ගැන කුමක් කිව හැකිද?

 එක්දහස් නවසිය හතළිස් ගණන්වල අග භාගය වන විට පලස්තීනයේ මළ මුහුදට ආසන්න ප්‍රදේශයේ ගුහාවල තිබී අකුළන පොත් විශාල ප්‍රමාණයක් සොයාගත්තා. මළ මුහුදේ අකුළන පොත් ලෙස හඳුන්වනු ලැබූ ඒවා ලියා තිබුණේ පො.යු.පෙ. 200 සිට පො.යු. 70 පමණ කාලය තුළයි. මේ අතරින් ජනප්‍රියම එක වූයේ කල් පවතින සම්වල හෙබ්‍රෙව් භාෂාවෙන් ලියා තිබූ යෙසායාගේ අකුළන පොතයි. මේ අකුළන පොතෙහි යෙසායාගේ ලියකියවිලි සම්පූර්ණයෙන්ම වාගේ තිබුණා. එහි අඩංගු වූ දෑ, ඊට අවුරුදු 1,000කට පමණ පසුව ලියූ මැසරෙටික් ලියවිල්ලේ අත්පිටපත් හා සසඳද්දී වෙනස් වන්නේ ඉතාම ස්වල්ප වශයෙනුයි. මෙසේ, අකුළන පිටපත බයිබලය නිරවද්‍ය ලෙස පැවත ආ බවට සාක්ෂියක්.

2 මළ මුහුදේ යෙසායාගේ අකුළන පොත් සම්බන්ධයෙන් වැදගත් කාරණයක් වන්නේ අද අපි යෙසායා 32 කියා හඳුන්වන කොටසෙහි සටහන් තීරුවේ ලියන්නෙකු විසින් ඔහුගේම අත් අකුරෙන් කතිරයක් (X) ගසා තිබීමයි. ලියන්නා එවැනි සලකුණක් දැමුවේ ඇයිදැයි අපි දන්නේ නැති වුණත්, බයිබලයේ මේ කොටසෙහි යම් විශේෂත්වයක් තිබෙන බව නම් අපි දන්නවා.

ධර්මිෂ්ඨකමෙන් සහ යුක්තියෙන් පාලනය කිරීම

3. යෙසායා සහ එළිදරව් පොත්වල පුරෝකථනය කර ඇති පරිපාලනය කුමක්ද?

3 යෙසායා 32වන පරිච්ඡේදය ආරම්භ වන්නේ හද කුල්මත් කරවන අනාවැකියකින්. එහි අද කාලයට විශිෂ්ට ඉටුවීමක් තිබෙනවා. “බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහුද [කුමාරවරුද, NW] දැහැමින් අධිපතිකම් [යුක්තියෙන් පාලනය, NW] කරන්නෝය.” (යෙසායා 32:1) “බලව” යන විස්මයාර්ථය බයිබලයේ අවසාන අනාවැකි පොතේ ඇති ඒ හා සමාන විස්මයාර්ථයක් මතකයට නඟනවා. “සිංහාසනය පිට වැඩහුන් [තැනැත්තා] කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි [කීවේය].” (එළිදරව් 21:5) බයිබලයේ යෙසායා සහ එළිදරව් යන පොත් ලියා තිබෙන්නේ අවුරුදු 900ක පමණ කාල පරතරයක් තුළ වුණත්, මේ පොත් දෙකේම අලුත් පරිපාලනයක් සම්බන්ධ හද උණුසුම් කරවන විස්තරයක් ඉදිරිපත් කරනවා. මේ පරිපාලනයට 1914දී ස්වර්ගයෙහි රජ වූ යේසුස් ක්‍රිස්තුස් සහ “පොළොවෙන් මිලේටගනු ලැබුවාවූ” හවුල් පාලකයන් වන 1,44,000දෙනෙකුගෙන් සමන්විත “අලුත් අහසක්ද” ලෝක ව්‍යාප්ත එක්සත් මිනිස් සමාජයක් වන “අලුත් පොළොවක්ද” අයත් වෙනවා. * (එළිදරව් 14:1-4; 21:1-4; යෙසායා 65:17-25) මේ මුළු විධිවිධානයම ක්‍රියාත්මක කරන්ට හැකි වී තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාව හේතුකොටගෙනයි.

4. දැන් පවතින්නේ අලුත් පොළොවේ කිනම් න්‍යෂ්ටියද?

4 මේ 1,44,000දෙනාගේ අවසාන මුද්‍රා කිරීම දර්ශනයෙන් දුටුවාට පසු ප්‍රේරිත යොහන් මෙසේ වාර්තා කරනවා. “[බලව! NW] සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් . . . සිංහාසනය ඉදිරියෙහිත් [බැටළුපැටවා] ඉදිරියෙහිත් සිටිනවා දුටිමි.” දැනට 1,44,000දෙනාගේ ඉතිරි අය බොහෝ වයස්ගතව සිටිනවා. අලුත් පොළොවේ න්‍යෂ්ටිය වන්නේ ඔවුන්ගේ පැත්තට එකතු වන දශලක්ෂ ගණන් මහත් සමූහයයි. මේ මහත් සමූහය ඉතා ඉක්මනින් පැමිණෙන්නාවූ මහත් පීඩාවෙන් ගැළවෙන අතර, පාරාදීසයේදී නැවත නැඟිටුවන ලද ඇදහිලිවන්තයන් හා ඇදහිල්ල පැවැත්වීමට ප්‍රස්තාවක් දෙනු ලබන තවත් කෝටි ගණනක්ද ඔවුන්ට එක් වෙන්ට යනවා. එසේ ඇදහිල්ල පවත්වන්නාවූ සියලුදෙනාම සදාකාල ජීවනය ලැබීමෙන් ආශීර්වාද ලබන්ට යනවා.—එළිදරව් 7:4, 9-17.

5-7. පුරෝකථනය කර තිබෙන ‘කුමාරවරුන්’ දෙවිගේ රැළ වෙනුවෙන් ඉටු කරන්නේ කුමක්ද?

5 කෙසේවෙතත්, වෛරයෙන් පිරි මේ ලෝකය පවතින තාක් කල් මහත් සමූහයේ සාමාජිකයන්ට ආරක්ෂාව අවශ්‍ය කරනවා. වැඩි වශයෙන් මෙය සපයන්නේ ‘යුක්තියෙන් පාලනය කරන’ ‘කුමාරවරුන්’ මාර්ගයෙනුයි. මොනතරම් වටිනා විධිවිධානයක්ද! යෙසායාගේ අනාවැකියේ වචන මේ ‘කුමාරවරුන්’ ගැන තවදුරටත් විස්තර කරනවා. “මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.”—යෙසායා 32:2.

6 අද ලෝක ව්‍යාප්තව පවතින කාන්සාවෙන් පිරි වාතාවරණය තුළ මේ ‘කුමාරවරුන්ගේ’ එනම් ‘මුළු රැළ ගැන අවධානය දෙන’ යෙහෝවාගේ බැටළුවන්ව රැකබලා ගන්නා යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව යුක්තිය ඉටු කරන වැඩිමහල්ලන්ගේ අවශ්‍යතාවක් තිබෙනවා. (ක්‍රියා 20:28, NW) එවැනි ‘කුමාරවරුන්’ බවට පත්වීම සඳහා 1 තිමෝති 3:2-7 සහ තීතස් 1:6-9 දක්වා සඳහන් කර ඇති සුදුසුකම්වලට එකඟව කටයුතු කළ යුතුයි.

7 “පවතින ක්‍රමයේ [ඛේදනීය] අවසානය” ගැන විස්තර කරන මහත් අනාවැකියේ යේසුස් මෙසේ කිව්වා. “නොකැලඹෙන්ට බලාගන්න.” (මතෙව් 24:3, NW; 4-8) යේසුස්ගේ අනුගාමිකයන් අද පවතින භයානක ලෝක තත්වය ගැන බියට පත් වෙන්නේ නැත්තේ මන්ද? මේ ‘කුමාරවරුන්’ ආලේප ලත් වේවා “වෙනත් බැටළුවෝ” හෝ වේවා පක්ෂපාතීව රැළ රැකබලා ගැනීම ඊට එක හේතුවක්. (යොහන් 10:16) වාර්ගික යුද්ධවලදී සහ මහා ජන සංහාරවලදී පවා ඔවුන් නිර්භීතව තම සහෝදර සහෝදරියන්ව රැකබලා ගන්නවා. ආත්මිකව පහත වැටුණු ලෝකයක දෙවිගේ වචනය වන බයිබලයේ තිබෙන ගොඩනංවනසුලු සත්‍යයන්ගෙන් කනස්සල්ලට පත් අයව ඔවුන් ප්‍රබෝධවත් කරනවා.

8. වෙනත් බැටළුවන්ගේ ගාලට අයත් වන ‘කුමාරවරුන්ව’ යෙහෝවා පුහුණු කරන්නෙත්, පාවිච්චි කරන්නෙත් කෙසේද?

8 පසුගිය අවුරුදු 50 තුළදී, ‘කුමාරවරුන්ව’ විශේෂයෙන් කැපීපෙනී තිබෙනවා. මහත් සමූහයට අයත් ‘කුමාරවරුන්ව’ ක්‍රමානුකූලව වැඩි වන්නාවූ “අධිපති” පංතියක් බවට පත් කිරීම සඳහා දැන් පුහුණු කරමින් සිටිනවා. එසේ කරන්නේ මහත් පීඩාවෙන් පසු ඔවුන් අතරින් සුදුසුකම් ලබන අයව ‘අලුත් පොළොවේදී’ පරිපාලන සේවාවන්හි කටයුතු කිරීමට සූදානම් කිරීම සඳහායි. (එසකියෙල් 44:2, 3; 2 පේතෘස් 3:13) ඔවුන් ආත්මික මඟ පෙන්වීම සහ සහනය සපයමින් රාජ්‍ය කටයුතුවල මූලිකත්වය ගනිද්දී, ඔවුන් ‘මහ පර්වතයක සෙවණක්’ බව ඔප්පු කරනවා. මෙසේ ඔවුන් නමස්කාරමය කටයුතු සඳහා රැළට සහය වෙනවා. *

9. අදදින ‘කුමාරවරුන්’ සඳහා තිබෙන අවශ්‍යතාව පෙන්වන්නේ කිනම් තත්වයන් මගින්ද?

9 සාතන්ගේ දුෂ්ට ලෝකයේ මේ බිහිසුණු අවසාන දවස්වලදී කැප වූ ක්‍රිස්තියානීන්ට මුළුමනින්ම එවැනි ආරක්ෂාවක් අවශ්‍ය කරනවා. (2 තිමෝති 3:1-5, 13) බොරු මූලධර්ම සහ විකෘති වූ ප්‍රචාරණ චණ්ඩ මාරුතයක් සේ ගසාගෙන යමින් තිබෙනවා. තවදුරටත්, ජාතියක් ජාතියක් සමඟත්, එකම ජාතිය තුළත් යුධ ගිනි ඇවිළෙමින් තිබෙන අතර, යෙහෝවා දෙවිගේ ඇදහිලිවන්ත නමස්කාරකයන්ට විරුද්ධවත් කෙළින්ම ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. ආත්මික නියඟය නිසා පිපාසිතව සිටින ලෝකයක ආත්මික පිපාසය නිවාගැනීමට පවිත්‍ර, අමිශ්‍ර වූ සත්‍යයන්ගෙන් හෙබි දිය පාරක් ක්‍රිස්තියානීන්ට නැතුවම බැරි දෙයක් වී තිබෙනවා. සතුටුදායක දෙයක් වන්නේ, යෙහෝවා තම පාලක රජ, ඔහුගේ ආලේප ලත් සහෝදරයන් සහ වෙනත් බැටළුවන්ගේ සහයෝගී ‘කුමාරවරුන්’ මාර්ගයෙන් අවශ්‍යතාව ඇති මේ කනස්සල්ලෙන් පිරි කාලයේදී දිරිගැන්වීම සහ මඟ පෙන්වීම එය අවශ්‍ය අයට සපයන බවට පොරොන්දු වීමයි. ධර්මිෂ්ඨ සහ යුක්තිසහගත දේ ජයගන්ට යන බවට යෙහෝවා වගබලා ගන්ට යනවා.

ඇස්, කන් සහ හදවතින් අවධානය යොමු කිරීම

10. තම සෙනඟට ආත්මික දේවල් ‘දකින්ට’ සහ ‘අසන්ට’ යෙහෝවා ඇති කර තිබෙන සැලසුම් මොනවාද?

10 මහත් සමූහය යෙහෝවාගේ දිව්‍යාණ්ඩු විධිවිධානය කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමක්ද? අනාවැකිය තවදුරටත් මෙසේ කියනවා. “දකින්නන්ගේ ඇස් අඳුරු නොවන්නේය, අසන්නන්ගේ කන් ඇහුම්කන්දෙන්නේය.” (යෙසායා 32:3) පසුගිය අවුරුදු ගණනාව පුරා යෙහෝවා තම වටිනා සේවකයන්ට මේරුභාවය කරා ළඟාවීම සඳහා උපදෙස් සහ මඟ පෙන්වීම සපයා තිබෙනවා. දිස්ත්‍රික්, දේශීය සහ ජාත්‍යන්තර සමුළු සහ ලෝක ව්‍යාප්තව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල ක්‍රියාත්මක වන දිව්‍යාණ්ඩු සේවා පාසැල සහ වෙනත් රැස්වීම් මෙන්ම ආදරයෙන් රැළ රැකබලා ගැනීමට ‘කුමාරවරුන්ට’ දෙන විශේෂිත පුහුණුව, ලක්ෂ සංඛ්‍යාත සමස්ත ලෝක එක්සත් සහෝදරත්වයක් ගොඩනැඟීමට දායක වී තිබෙනවා. මේ එඬේරුන් ලෝකයේ කොහේ හිටියත්, සත්‍යයේ අවබෝධය ප්‍රගතිශීලී ලෙස වැඩි වෙද්දී ඒ අනුව සකස් කිරීම් කිරීමට කැමැත්තෙන් සිටිනවා. ඔවුන් තමන්ගේ බයිබලය මත පුහුණු කරන ලද හෘදය සාක්ෂිය නිසා ඇහුම්කන් දීමටත් කීකරු වීමටත් සූදානමින් සිටිනවා.—ගීතාවලිය 25:10.

11. දැන් දෙවිගේ සෙනඟ සැකයෙන් ගොත ගසන්නේ නැතුව විශ්වාසයෙන් යුතුව කතා කරන්නේ මන්ද?

11 එහෙත් අනාවැකිය මීළඟට මෙසේ අනතුරු අඟවනවා. “ඉක්මන්කාරයන්ගේ සිත දැනගැන්ම තේරුම්ගන්නේය, වික්කලුන්ගේ දිව පහසුවෙන් පැහැදිලිලෙස කථාකරන්නේය.” (යෙසායා 32:4) කුමක්ද හරි කුමක්ද වැරදි කියා තීරණය කිරීමට කිසිවෙක් ඉක්මන් නොවිය යුතුයි. බයිබලය මෙසේ කියනවා. “තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු නුඹ දුටුවෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.” (හිතෝපදේශ 29:20; දේශනාකාරයා 5:2) වර්ෂ 1919ට කලින් යෙහෝවාගේ සෙනඟ පවා බබිලෝනියේ අදහස් උදහස්වලින් අපවිත්‍රව සිටියා. එහෙත් එම වර්ෂයේ සිට, යෙහෝවා තම අරමුණු ගැන පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලබා දුන්නා. යෙහෝවා හෙළි කර තිබෙන සත්‍යයන් හදිසියේ දුන් ඒවා නොවන බවත්, ඒවා හොඳින් හිතා බලා හෙළි කර ඇති බවත් ඔවුන්ට තේරී ගොස් තිබෙන නිසා ඔවුන් සැකයෙන් ගොත ගසන්නේ නැතිව ඉතා විශ්වාසයෙන් ඒවා ගැන කතා කරනවා.

“අඥානයා”

12. අදදින සිටින “අඥානයා” කවුද? එමෙන්ම ඔවුන් ත්‍යාගශීලීභාවයෙන් ඌන වන්නේ කිනම් ආකාරයටද?

12 යෙසායාගේ අනාවැකිය මීළඟට හාත්පසින්ම වෙනස් දෙයක් දක්වනවා. “අධමයා [අඥානයා, NW] උත්තමයෙක්ය කියාවත් ප්‍රයෝගකාරයා ගුණවන්තයෙක්ය කියාවත් තවත් කියනු නොලබන්නේය. මක්නිසාද අධමයා [අඥානයා, NW] අභක්තික ලෙස [හැසිරෙයි].” (යෙසායා 32:5, 6අ) කවුද මේ “අඥානයා”? කාවැද්දීමට මෙන් දාවිත් රජ දෙවරක් පිළිතුරු දෙනවා. “අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.” (ගීතාවලිය 14:1; 53:1) ඇත්තෙන්ම අදේවවාදීන් යෙහෝවා සිටින බව විශ්වාස කරන්නේම නැහැ. දෙවිකෙනෙක් නැතැයි හිතන “පණ්ඩිතයන්” සහ අනිකුත් අය, තමා කිසිවෙකුට ගණන් දිය යුතුයි කියා කොහෙත්ම සිතන්නේ නැති බව ඔවුන්ගේ ක්‍රියාවලින් පෙන්වනවා. සත්‍යය එවැනි අය තුළ නැති නිසා ඔවුන්ගේ හදවත්වල ත්‍යාගශීලීභාවයකුත් නැහැ. එසේ වී ඇත්තේ ඔවුන්ව ප්‍රේමය මගින් මඟ පෙන්වන්නේ නැති නිසයි. සැබෑ ක්‍රිස්තියානීන් මෙන් නොව ඔවුන් අවශ්‍යතාව ඇති අයට විපතේදී උපකාර කරන්ට අදි මදි කරනවා පමණක් නොව කොහෙත්ම එසේ නොකරනවා වෙන්ටත් පුළුවන්.

13, 14. (අ) නවීන දින සිටින ඇදහිල්ල අත්හළ අය නපුරු ක්‍රියා කරන්නේ කෙසේද? (ආ) ඇදහිල්ල අත්හළ අය, බඩගින්නෙන් සහ පිපාසයෙන් සිටින්නන්ගෙන් වළක්වන්ට වෑයම් කරන්නේ කුමක්ද? එහෙත් අවසාන ප්‍රතිඵලය කුමක් වේද?

13 එවැනි බොහෝ අඥාන අය දෙවිගේ සත්‍යයට සහයෝගය දක්වන්නන්ට වෛර කරනවා. “[යෙහෝවාට] විරුද්ධව අපහාස කථාකරමින්ද . . . දුෂ්ටලෙස කථාකරන්නේය, ඔහුගේ සිතද අයුතුකම් කරන්නේය.” (යෙසායා 32:6ආ, ඇ) නවීන දින සිටින ඇදහිල්ල අත්හළ අය සම්බන්ධයෙන් මෙය කොතරම් සැබෑවක්ද! ආසියාවේ සහ යුරෝපයේ රටවල් ගණනාවකම ඇදහිල්ල අත්හළ අය සත්‍යයට විරුද්ධවාදිකම් පාන වෙනත් අය සමඟ හවුල් වී යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය තහනම් කිරීමේ හෝ තහංචි දැමීමේ අදහසින් බලධාරීන්ට අමූලික බොරු ගොතා කියා තිබෙනවා. ඔවුන් යේසුස් පුරෝකථනය කළ ‘නපුරු දාසයාගේ’ ස්වභාවය පිළිබිඹු කරනවා. “ඒ නපුරු දාසයා: මාගේ ස්වාමියා ප්‍රමාදවන්නේයයි තමාගේ සිතින් සිතාගන, තමාගේ සහකාර දාසයන්ට තළන්ට පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටිනවා නම්, ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලා නොසිටින දවසක නොදන්නා පැයක ඇවිත්, ඔහුට තදබලලෙස අච්චුකොට, වංචාකාරයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය.”—මතෙව් 24:48-51.

14 මේ අතරතුරේදී ඇදහිල්ල අත්හළ අය ‘බඩගිනි අයගේ ප්‍රාණය හිස් කිරීමේද පිපාසා ඇත්තාගේ පානය අහක් කිරීමේද’ යෙදෙනවා. (යෙසායා 32:6ආ) සත්‍යයේ සතුරන් සත්‍යයට සාගින්නක් ඇති අයගෙන් ආත්මික ආහාර ඉවත් කිරීමට වෑයම් කරනවා. ඔවුන් පිපාසිත අයව රාජ්‍ය පණිවිඩයේ නැවුම් ජලය බීමෙන් වළක්වන්ට උත්සාහ කරනවා. එහෙත් එහි අවසාන ප්‍රතිඵලය වන්ට යන්නේ යෙහෝවා වෙනත් අනාගතවක්තෘවරයෙක් මාර්ගයෙන් කිව්වා හා සමාන දෙයක්. “ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය; නුමුත් නුඹෙන් ජයගන්ට ඔවුන්ට බැරිවන්නේය. මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමග සිටිමියි [යෙහෝවා කියන්නේය].”—යෙරෙමියා 1:19; යෙසායා 54:17.

15. විශේෂයෙන්ම අද සිටින “ප්‍රයෝගකාරයා” කවුද? එමෙන්ම ඔවුන් අනුබල දී ඇති “බොරු වචන” මොනවාද? එහි ප්‍රතිඵලය කුමක්ද?

15 විසිවන සියවසේ මැද භාගයේ සිට ක්‍රිස්තියානි ලෝකයේ රටවල ලිංගික දුරාචාරය එළිපිට වේගයෙන් පැතිරෙන්ට පටන්ගෙන තිබෙනවා. ඒ මන්ද? අනාවැකියේ මීට එක හේතුවක් මෙසේ විස්තර කරනවා. “ප්‍රයෝගකාරයාගේ උපකරණ නපුරුය. දිළින්දා යුක්තිය කථාකරන විට පවා ඔහු බොරු වචනවලින් යටහතුන් විනාශකරන්ට දුෂ්ට උපා යොදන්නේය.” (යෙසායා 32:7) මෙහි ඉටුවීමක් වශයෙන් විශේෂයෙන්ම බොහෝ පූජකයන්, විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, විවාහ නොවී එකට ජීවත් වීම සහ සමලිංගික සේවනය සම්බන්ධයෙන් බොහෝම නිදහස්, ස්වාධීන ආකල්පයක් ඇතුව සිටිනවා. ඇත්තෙන්ම මේවා අයත් වන්නේ ‘වේශ්‍යාකම සහ සියලු ආකාර අපවිත්‍රකමටයි.’ (එපීස 5:3) මෙසේ ඔවුන් තම බොරු වචනවලින් ඔවුන්ගේ රැළ ‘විනාශ කරනවා.’

16. සැබෑ ක්‍රිස්තියානීන්ව සතුටට පත් කරන්නේ කුමක්ද?

16 ඒ තත්වයට වෙනස්ව අනාගතවක්තෘවරයාගේ ඊළඟ වචන මොනතරම් සැනසිලිදායකද කියා බලන්න! “එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි.” (යෙසායා 32:8) ඊට එකඟව යේසු ත්‍යාගශීලීකම ගැන කීවේ මෙසේයි. “දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේය.” (ලූක් 6:38) ත්‍යාගශීලී අයට ලැබෙන ආශීර්වාද ගැන ප්‍රේරිත පාවුල්ද කරුණු දැක්වූයේ මෙසේයි. “ගැනීමට වඩා දීමෙහි සන්තෝෂයක් ඇතැයි ස්වාමි වූ යේසුස්ම කී වචන සිහි කරන්න.” (ක්‍රියා 20:35, NW) සැබෑ ක්‍රිස්තියානීන් සන්තෝෂය ලබන්නේ ද්‍රව්‍යමය වස්තු හෝ සමාජීය තත්වයන් අත් කරගැනීමෙන් නොව, නමුත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවා මෙන් ත්‍යාගශීලී වීම මගිනුයි. (මතෙව් 5:44, 45) ඔවුන් ඉමහත්ම සතුටක් අත් කරගන්නේ දේවකැමැත්ත කිරීම මගිනුයි. ඒ අනිත් අයට “සන්තෝෂවත් දෙවිගේ තේජවත් වූ ශුභාරංචිය” ත්‍යාගශීලී ලෙස දීම මගිනුයි.—1 තිමෝති 1:11, NW.

17. යෙසායා යොමු දැක්වූ ‘අප්‍රවේසම් දූවරුන්’ හා සමාන වන්නේ අද සිටින කවුරුන්ද?

17 යෙසායාගේ අනාවැකියේ තවදුරටත් මෙසේ කියනවා. “එම්බා නොසැලකිලි ස්ත්‍රීවරුනි, නැගිටින්න, මාගේ හඬ අසන්න; අප්‍රවේසම් දූවරුනි, මාගේ බසට ඇහුම්කන්දෙන්න. අප්‍රවේසම් තැනැත්තියෙනි, අවුරුද්දකට වැඩි කාලයකින් නුඹලා කැලඹෙන්නහුය. මක්නිසාද මුද්‍රිකඵල ඉවරවන්නේය; ඵල නෙළාගැනීමක් නොපැමිණෙන්නේය. නොසැලකිලි ස්ත්‍රීවරුනි, වෙවුලන්න.” (යෙසායා 32:9-11අ) මේ ස්ත්‍රීන්ගේ ආකල්පය අදදින සිටින දෙවිට සේවය කරනවායයි කිව්වත් සේවයේ ජ්වලිත නැති අයව අපට මතක් කරවිය හැකියි. එවැනි අය ‘වේශ්‍යාවන්ගේ මව් වන මහා බබිලෝනියේ’ ආගම් තුළ දකින්ට ලැබෙනවා. (එළිදරව් 17:5) උදාහරණයක් හැටියට ක්‍රිස්තියානි ලෝකයේ ආගමික සාමාජිකයන් ‘ස්ත්‍රීන්’ ගැන යෙසායා දුන් විස්තරයට බොහෝ සමානයි. ඔවුන්ට නියමිත විනිශ්චය සහ ඔවුන් ඉතා ඉක්මනින් පත් වෙන්ට යන වියවුල්සහගත තත්වය ගැන ඔවුන් දරන්නේ ‘නොසැලකිලිමත්’ හෝ සෑහීමට පත් ආකල්පයක්.

18. “ඉඟටිවල ගෝණිරෙදි බැඳගන්න” කියා අණ කළේ කාටද? ඒ මන්ද?

18 ඒ නිසා, බොරු ආගම් වෙතට මීළඟ පණිවිඩය යොමු වෙනවා. “අප්‍රවේසම් තැනැත්තියෙනි, චංචලවෙන්න; වස්ත්‍ර ගළවා දමා, නිර්වස්ත්‍රවී, ඉඟටිවල ගෝණිරෙදි බැඳගන්න. ඔව්හු ප්‍රසන්න කෙත් ගැනත් සාරවත් මිදිවැල් ගැනත් ළයට ගසාගන්නෝය. මාගේ සෙනගගේ බිම්වල කටුද ගොකටුද හටගන්නේය; ප්‍රීතිමත් නගරයේ සියලුම ප්‍රිය ගෙවල්වල පවා එසේ වන්නේය.” (යෙසායා 32:11ආ-13) “වස්ත්‍ර ගළවා දමා, නිර්වස්ත්‍ර” වෙන්ට කියන වාක්‍ය ඛණ්ඩයෙන් අදහස් කරන්නේ නැහැ සම්පූර්ණයෙන්ම ඇඳුම් ගළවා දැමීමක්. පුරාණ චාරිත්‍රය වූයේ පිට සළුවට අමතරව ඊට යටිනුත් ඇඳුමක් ඇඳීමයි. පිට ඇඳුම බොහෝවිට කෙනෙකුව හඳුනාගැනීමේ ලක්ෂණයක් වුණා. (2 රාජාවලිය 10:22, 23; එළිදරව් 7:13, 14) මෙසේ අනාවැකියෙන් බොරු ආගමික සාමාජිකයන්ට ඔවුන්ගේ පිට ඇඳුම එනම් බොරුවට දෙවිගේ සේවකයන්යයි කියමින් දමාගෙන සිටින වෙස් මුහුණු ගළවා දැමීමට ආඥා කරනවා. ඒ වෙනුවට ඉතා ඉක්මනින් පැමිණීමට යන ඔවුන්ගේ විනිශ්චය ගැන දුක්වීමේ සංකේතයක් හැටියට ගෝනි රෙදි ඇඳගැනීමට ඔවුන්ට අණ කරනවා. (එළිදරව් 17:16) දෙවිගේ ‘ප්‍රීතිමත් නගරයයයි’ කියාගන්නා ක්‍රිස්තියානි ලෝකයේ ආගමික සංවිධාන අතරේ හෝ බොරු ආගමේ ලෝක අධිරාජ්‍යයේ අනෙකුත් සාමාජිකයන් අතරේ දිව්‍ය ඵලදාව සොයාගැනීමට හැකියාවක් නැහැ. ඔවුන්ගේ මඟ පෙන්වීමෙන් හෝ පරිපාලනයෙන් බිහි කරන්නේ නොසැලකිල්ලේ සහ පාළුවට හැරීමේ ‘කටු සහ ගොකටුයි.’

19. යෙසායා විසින් හෙළි කළේ ඇදහිල්ල අත්හළ ‘යෙරුසලමේ’ කිනම් තත්වයද?

19 දීප්තියෙන් තොර අඳුරු දසුන ඇදහිල්ල අත්හළ “යෙරුසලම” සිසාරා පැතිර යනවා. “මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් [ඕපෙල්, NW] මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය.” (යෙසායා 32:14) ඇත්තෙන්ම ඕපෙල් ගැනත් කතා කරනවා. ඕපෙල් කියන්නේ යෙරුසලමේ පිහිටි ඉතා උස් ස්ථානයක්. එය යෙරුසලමට ප්‍රබල රක්ෂස්ථානයක්ව තිබෙනවා. ඉතින් ඕපෙල් පාළු බිමක් වෙනවා කියද්දී ඉන් පුරෝකථනය කරන්නේ නුවරට සිදු වන සම්පූර්ණ පාළුවීමයි. යෙසායාගේ වචන තවදුරටත් පෙන්වන්නේ ඇදහිල්ල අත්හළ “යෙරුසලම” හෙවත් ක්‍රිස්තියානි ලෝකය දෙවිගේ කැමැත්ත කිරීම සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව කටයුතු කරන බවයි. එනම් කිසිම සත්‍යතාවක් හෝ යුක්තියක් සොයාගැනීමට නැති මෘගාකාර, ආත්මිකව පාළු තත්වයකට ඇය පත්ව ඇති බවයි.

ප්‍රියජනක වෙනසක්!

20. දෙවි තම සෙනඟ මත ආත්මය වැගිරවීමේ ප්‍රතිඵලය කුමක්ද?

20 යෙසායා ඊළඟට යෙහෝවාගේ කැමැත්ත කරන අයට හද උණුසුම් කරන බලාපොරොත්තුවක් සපයනවා. දෙවිගේ සෙනඟ පාළුවීමක් අද්දකින්ට යන්නේ “උසස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරුවන්ටත් කාන්තාරය උයනක් වෙන්ටත් උයන [සැබෑ, NW] වනයක්කොට ගණන්ගනු ලබන්ටත් යෙදෙන තුරුය.” (යෙසායා 32:15) එනම් එය දීර්ඝ කාලීන පාළුවීමක් වන්ට යන්නේ නැහැ. සන්තෝෂයට හේතු වෙමින් 1919 සිට යෙහෝවාගේ ආත්මය ඔහුගේ සෙනඟ පිට බහුල ලෙස වගුරුවා ඵල දරන උයනක් බඳු ආලේප ලත් සාක්ෂිකරුවන්ව යළි පිහිටුවා තිබෙනවා. පැතිරී යන කැලයක් වැනි වෙනත් බැටළුවන් ඔවුන්ව අනුගමනය කරමින් සිටිනවා. සමෘද්ධිය සහ වර්ධනය දෙවිගේ අද තිබෙන භූමික සංවිධානය අද්දකින ප්‍රධානම දේවල් වී තිබෙනවා. යළි පිහිටුවා ඇති ආත්මික පාරාදීසයෙහි ‘යෙහෝවාගේ තේජස සහ අපේ දෙවිගේ අලංකාරකම’ පිළිබිඹු වෙන්ට යනවා. එසේ වන්ට යන්නේ පැමිණෙන ලෝක ව්‍යාප්ත රාජ්‍යය ගැන දෙවිගේ සෙනඟ ප්‍රචාරය කරද්දීයි.—යෙසායා 35:1, 2.

21. අද ධර්මිෂ්ඨකමත්, නිශ්චලබවත්, සුරක්ෂිතබවත් සොයාගත හැක්කේ කොහෙන්ද?

21 දැන් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ පොරොන්දුවට ඇහුම්කන් දෙන්න. “එකල යුක්තිය කාන්තාරයෙහි වාසයකරන්නේය, ධර්මිෂ්ඨකම උයනෙහි පවතින්නේය. ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.” (යෙසායා 32:16, 17) අද සිටින යෙහෝවාගේ සෙනඟගේ ආත්මික තත්වය මෙහි මොනතරම් හොඳින් විස්තර කර තිබෙනවාද! අදදින මනුෂ්‍යවර්ගයාගෙන් බහුතරයක් වෛරයෙන්, සැහැසියාවෙන් බෙදී සිටින අතර, ආත්මික දිළිඳුකමෙන් පීඩිතව සිටිනවා. ඔවුන්ට වෙනස්ව “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණ සිටින සැබෑ ක්‍රිස්තියානීන් එක්සත්ව සිටිනවා. ඔවුන් ජීවත් වන්නේ, වැඩ කරන්නේ සහ සේවය කරන්නේ දෙවිගේ ධර්මිෂ්ඨකමට එකඟවයි. එසේ කරන්නේ අවසානයේදී සදාකාලයෙන් සදාකාලයට සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය භුක්ති විඳීමට ඇති හැකියාව සම්බන්ධයෙන් නිසැකභාවයක් ඇතුවයි.—එළිදරව් 7:9, 17.

22. දෙවිගේ සෙනඟගේත් බොරු ආගම්වල සිටින අයගේත් තත්වයන් අතර ඇති වෙනස කුමක්ද?

22 ආත්මික පාරාදීසය තුළ යෙසායා 32:18 දැනටමත් ඉටු වී තිබෙනවා. එහි කියන්නේ මෙසේයි. “මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.” එහෙත් ව්‍යාජ ක්‍රිස්තියානීන්ට “වනය වැටීයාමේදී ගල්වර්ෂාවක් වහිනවා ඇත.” (යෙසායා 32:19) ඔව්, දරුණු ගල්වර්ෂාවක් මෙන් යෙහෝවාගේ විනිශ්චය බොරු ආගමේ වංචාකාර නුවර මතට ගෙන ඒමට සූදානම් කර තිබෙනවා. එසේ ඔවුන්ගේ “වනය” බඳු සහචරයන්ව පහත් කර ඔවුන්ව සදාකාලයටම නැති කර දමන්ට යනවා.

23. අවසානයකට ළඟා වෙමින් තිබෙන ලෝක ව්‍යාප්ත වැඩය කුමක්ද? එම වැඩයේ හවුල් වන අයව සලකන්නේ කෙසේද?

23 අනාවැකියේ මේ කොටස අවසන් වන්නේ මේ ආකාරයටයි. “නුවරද සහමුලින්ම පහත්කමට පැමිණෙනවා ඇත. සෑම දියපාරවල් ළඟ වපුරන්නාවූ, ගොනාගෙත් කොටළුවාගෙත් පාද මුදන්නාවූ නුඹලා වාසනාවන්තයෝය [සන්තෝෂවත්ය, NW].” (යෙසායා 32:20) දෙවිගේ පුරාණ සෙනඟ සීසාන්ට සහ වපුරන්ට ගොනුන් සහ කොටළුවන් වැනි බර අදින සතුන්ව යොදාගත්තා. ඒ හා සමානව කෝටි ගණන් බයිබල් ප්‍රකාශන මුද්‍රණය කර බෙදාහැරීම සඳහා අදදින සිටින යෙහෝවාගේ සෙනඟ මුද්‍රණ යන්ත්‍ර, විද්‍යුත් උපකරණ, නවීන ගොඩනැඟිලි සහ ප්‍රවාහණ මාධ්‍යයන් යොදාගන්නවා. මේ සියල්ලටම වඩා ඔවුන් එක්සත් දිව්‍යාණ්ඩු සංවිධානයක් යොදාගන්නවා. කැමැත්තෙන් වැඩ කරන අය, රාජ්‍යයේ සත්‍යය නමැති බීජ ලොව පුරා එනම් ‘සෑම දියපාරක් ළඟම’ වැපිරීමට මේ ආම්පන්න පාවිච්චි කරනවා. දේවභයැති පුරුෂයන් සහ ස්ත්‍රීන් දශලක්ෂ ගණන්දෙනෙක්ව දැනටමත් නෙළාගෙන ඇති අතර, තව බොහෝදෙනෙක් අස්වැන්නට එක් වෙමින් සිටිනවා. (එළිදරව් 14:15, 16) ඔවුන් සියලුදෙනාවම “සන්තෝෂවත්” අය ලෙස සැලකිය හැකියි!

[පාදසටහන්වල]

^ යෙසායා 32:1හි මුල්ම යොමු දැක්වීමේදී ‘රජ’ ලෙස හෙසකියාව හඳුන්වන්ට ඇති. කෙසේවෙතත්, යෙසායා 32වන පරිච්ඡේදයේ ප්‍රධාන ඉටුවීමේදී රජ ලෙස හඳුන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි.

^ Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත 1999 මාර්තු 1 මුරටැඹෙහි 13-18 දක්වා පිටු බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[331වන පිටුවේ පින්තූර]

මළ මුහුදේ ලියවිල්ලේ යෙසායා 32වන පරිච්ඡේදයේ කතිරයක් (X) ගසා තිබෙනවා

[333වන පිටුවේ පින්තූර]

සෑම ‘කුමාරයෙක්ම’ සුළඟෙන් මුවා වෙන ඉඩමක්ද වර්ෂාවට ආවරණයක්ද කාන්තාරයේ ජලයද කාස්ටක අව්වට හෙවණක්ද මෙනි

[338වන පිටුවේ පින්තූරය]

අන්‍යයන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමට ක්‍රිස්තියානිවරයෙක් බොහෝ සේ සතුටු වෙනවා