Skip to content

පටුනට යන්න

රැකවරණය සඳහා යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න

රැකවරණය සඳහා යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න

දහසයවන පරිච්ඡේදය

රැකවරණය සඳහා යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න

යෙසායා 20:1-6

1, 2. පොදු යුගයට පෙර අටවන සියවසේදී දෙවිගේ සෙනඟ අද්දකින්නේ කුමන අනතුරද? එමෙන්ම, රැකවරණය සොයා බොහෝදෙනෙක් හැරෙන්ට යන්නේ කා වෙතටද?

 මේ පොතේ කලින් පරිච්ඡේදවල දුටු ආකාරයට, පො.යු.පෙ. අටවන සියවසේදී දෙවිගේ සෙනඟ බියකරු තර්ජනයකට මුහුණ දෙනවා. ලේ පිපාසිත අෂූරියයන් දේශයක් දේශයක් පාසා විනාශ කරමින් ඉදිරියටම පැමිණෙන අතර, වැඩිකල් යන්ට මත්තෙන් දකුණු රාජ්‍යය වන යූදා දේශය ආක්‍රමණය කරන්ටත් අදහස් කරනවා. දේශයේ සෙනඟ හැරෙන්ට යන්නේ කා වෙතටද? ඔවුන් යෙහෝවා සමඟ ගිවිසුමෙන් බැඳී සිටින අතර, උපකාරය සඳහා ඔහු මත රඳා සිටිය යුතුයි. (නික්මයාම 19:5, 6) දාවිත් රජු කළේ එයයි. ඔහු මෙසේ කිව්වා. “[යෙහෝවා] මාගේ පර්වතයය මාගේ බලකොටුවය, මාගේ, මාගේම [මිදුම්කාරයාය].” (2 සාමුවෙල් 22:2) කෙසේවෙතත්, පො.යු.පෙ. අටවන සියවසේ සිටින බොහෝදෙනෙක් තමන්ගේ බලකොටුව ලෙස යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්නේ නැති බව පැහැදිලියි. දෙවි දෙස බලනවා වෙනුවට අෂූරීය ආක්‍රමණයට විරුද්ධව මිසරය සහ ඉතියෝපියාව රැකවරණය සපයයි කියා බලාපොරොත්තු වෙමින් ඔවුන් එම ජාතීන් වෙත යොමු වෙනවා. එහෙත් ඔවුන් වැරදියි!

2 මිසරයෙන් හෝ ඉතියෝපියාවෙන් සරණ පැතීම විනාශකාරි බව යෙහෝවා තම අනාගතවක්තෘ වූ යෙසායා මාර්ගයෙන් අනතුරු අඟවනවා. අනාගතවක්තෘවරයාගේ දේවානුභාවය ලත් වචන එම සෙනඟට ප්‍රයෝජනවත් පාඩමක් සපයන අතර, යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමේ වැදගත්කම ගැන අපිටත් වටිනා පාඩමක් එහි අන්තර්ගත වී තිබෙනවා.

ලේ වගුරුවන දේශයක්

3. යුධ ශක්තිය අෂූරියෙහි කොතරම් වැදගත්කමක් ඉසිලුවාද කියා විස්තර කරන්න.

3 අෂූරියයන් ඔවුන්ගේ යුධ ශක්තිය ගැන නම් දරා සිටියා. ඉපැරණි නගර (ඉංග්‍රීසියෙන්) යන පොතේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් වන්දනා කළේ යුධ ශක්තියටයි. ගලින් නෙළූ සිංහයන්ගේ සහ ගොනුන්ගේ දැවැන්ත ප්‍රතිමාවල මහ විශාල පාදවලින්, රාජාලීන්ගේ පියාපත්වලින් සහ මිනිස් හිස්වලින් සංකේතවත් කළ ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණය උදෙසා පමණයි ඔවුන් යාච්ඤා කළේ. සටන් කිරීම ජාතියේ මූලික ඉලක්කය වූ අතර පූජකයන් යුද්ධයේ නිරන්තර උසිගන්වන්නන්ව සිටියා.” මේ නිසා, අෂූරියේ අගනුවර වූ නිනිවය “ලේ වගුරුවන නුවර” ලෙස නාහුම් හඳුන්වන්නේ හොඳ හේතු ඇතුවයි.—නාහුම් 3:1.

4. අෂූරියයන් ජාතීන්ගේ හදවත් තුළ භය ඉපදවූයේ කෙසේද?

4 අෂූරියයන්ගේ සටන් උපක්‍රම අතිකෲර ඒවා වුණා. ඒ කාලයට අයත් ගල් කැටයම්වල පෙනෙන්ට තිබෙන්නේ, වහලුන්ගේ නාස් සහ තොල්වලට කොකු දමා අෂූරීය හේවායන් විසින් ඔවුන්ව ඇදගෙන යන ආකාරයයි. හෙල්ලෙන් ඇන සමහර වහලුන්ව ඔවුන් අන්ධ කළා. එක් ජයග්‍රහණයකින් පසු අෂූරීය හමුදාව විසින් වහලුන්ගේ අත් පා කපා දමා නගරයෙන් පිට, එකක් අත් පාවලින්ද අනික ඔළුගෙඩිවලින්ද යුත් ගොඩවල් දෙකක් ගැසූ බව එක් ශිලා ලේඛනයක් කියනවා. පරාජිතයන්ගේ කුඩා දරුවන්ව ගින්නෙන් පුලුස්සා දැමුවා. ඔවුන්ට එරෙහිව නැඟී සිටීමට කවුරුත් නිර්භීත නොවූ නිසා එවැනි කෲරකමක් යුධමය අතින් අෂූරියයන්ට වාසියක් වන්ට ඇති.

අෂ්දෝද්ට විරුද්ධව යුද්ධය

5. යෙසායාගේ දවසේදී සිටි බලවත් අෂූරීය පාලකයා කවුද? ඔහු පිළිබඳ බයිබල් වාර්තාව සැබෑ වූයේ කෙසේද?

5 යෙසායාගේ දවසේදී සර්ගොන් රජු යටතේ අෂූරිය අධිරාජ්‍යය පෙර නොවූ විරූ ආකාරයෙන් බලවත් වුණා. * මෙවැනි පාලකයෙකුගේ පැවැත්ම පිළිබඳව කිසිම තොරතුරක් ලෞකික මූලාශ්‍රයක සොයාගැනීමට නොහැකි වූ නිසා අවුරුදු ගණනාවක් පුරා විවේචකයන් ඒ ගැන සැක පහළ කළා. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන් පුරාවිද්‍යාඥයන් සර්ගොන්ගේ මාළිගාවේ නටබුන් ගොඩගත් අතර, එමගින් බයිබල් වාර්තාව සැබෑ බව ඔප්පු වුණා.

6, 7. (අ) සර්ගොන් රජ අෂ්දෝද් නුවර ආක්‍රමණය කිරීමට හේතුව කුමක් විය හැකිද? (ආ) අෂ්දෝද්හි වැටීම පිලිස්තියේ අසල්වාසීන්ට බලපාන්නේ කෙසේද?

6 සර්ගොන්ගේ යුධ ව්‍යාපාරයක් ගැන යෙසායා කෙටියෙන් මෙසේ විස්තර කරනවා. “අෂූර්හි රජවූ සර්ගොන් විසින් එවුවාවූ තර්තාන් අෂ්දෝද්ට ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට [අල්වාගත්තා].” (යෙසායා 20:1) * සර්ගොන් පිලිස්තියේ නගරයක් වන අෂ්දෝද් ආක්‍රමණය කිරීමට අණ කළේ ඇයි? එක් හේතුවක් නම්, පිලිස්තිය මිසරයේ මිත්‍ර පාක්ෂිකයෙක් වීමයි. එමෙන්ම, අෂ්දෝද් දාගොන් දෙවියාගේ මාළිගාව පිහිටි නගරයයි. එය පිහිටා තිබුණේ මිසරයේ සිට පලස්තීනය දක්වා වැටී තිබූ වෙරළබඩ තීරයේයි. මෙසේ මේ නගරය පිහිටියේ යුධ කටයුතු හැසිරවීමට පහසු ස්ථානයකයි. එය අල්ලාගැනීම මිසරය අල්ලාගැනීමේ මුල් පියවර ලෙස පෙනෙන්ට තිබුණා. ඊට අමතරව, අෂූරියේ වාර්තා සඳහන් කරන්නේ අෂ්දෝද්හි රජු වූ අසුරි, අෂූරියට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් සිටියා කියායි. මේ නිසා, සර්ගොන් මේ කැරලිකාර රජුව ඉවත් කර ඔහු වෙනුවට ඔහුගේ බාල සහෝදරයා වන අහිමිටිව සිංහාසනාරූඪ කරනවා. ඒ වුණත්, කාරණය නිරාකරණය වූයේ නැහැ. තවත් කැරැල්ලක් ඇති වෙනවා. මේ වතාවේදී සර්ගොන් වඩා ප්‍රබල ආකාරයකට කටයුතු මෙහෙයවනවා. ඔහු අෂ්දෝද් ආක්‍රමණය කරන්ට අණ කරන අතර, එය අල්වා පරාජය කරනවා. සමහරවිට යෙසායා 20:1 වක්‍රාකාරව යොමු දක්වන්නේ මේ සිද්ධියට විය හැකියි.

7 අෂ්දෝද්ගේ වැටීම ඇගේ අසල්වැසියන්, විශේෂයෙන්ම යූදා දේශය මත අඳුරු සෙවණැල්ලක් මෙන් වෙනවා. යූදා වැසියන් මිසරය හෝ ඊට දකුණෙන් ඇති ඉතියෝපියාව වැනි “මාංසමය හස්තයක්” වෙතට ආරක්ෂාව පතා නැඹුරු වන බව යෙහෝවා දන්නවා. එමනිසා, රඟ දැක්වීමකින් අනතුර අඟවන්ට යෙහෝවා යෙසායාව පත් කරනවා.—2 ලේකම් 32:7, 8.

“වස්ත්‍රද වහන්ද නැතුව”

8. යෙසායා රඟ දක්වන්නේ කිනම් අනාවැකිමය ක්‍රියාවද?

8 යෙහෝවා යෙසායාට මෙසේ කියනවා. “නුඹ ගොස් නුඹේ ඉඟටියෙන් ගෝණි රෙද්ද මුදා නුඹේ පාදවලින් වහන් ගළවන්න.” යෙසායා යෙහෝවා කී ලෙසම කළා. “ඔහු එසේ කොට වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දේය.” (යෙසායා 20:2) සමහර අවස්ථාවලදී අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ප්‍රකාශ කිරීමට කලින් අනාගතවක්තෲන් ගෝනි රෙදි ඇන්දා. එමෙන්ම, අර්බුදකාරි තත්වයන් අද්දකින විට හෝ විපත්තිදායක පුවත් සැලවූ විටත් ගෝනි රෙදි ඇන්දා. (2 රාජාවලිය 19:2; ගීතාවලිය 35:13; දානියෙල් 9:3) ඇත්තටම යෙසායා වස්ත්‍ර නැතුව ඇවිද්දා කීමෙන් අදහස් කළේ ඔහු හෙලුවෙන් ඇවිද්දා කියන එකද? අනිවාර්යයෙන්ම නැහැ. ‘වස්ත්‍ර නැතුව’ නැත්නම් නිරුවත කියා පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයෙන් බාගෙට හෝ යාන්තමට ඇඟ වසාගෙන සිටීමක් අදහස් කරන්ටත් පුළුවන්. (1 සාමුවෙල් 19:24, NW පාදසටහන) ඉතින් සාමාන්‍යයෙන් ඇඟට තද වෙන්ට අඳින කෙටි කබාය තියෙද්දී යෙසායා සමහරවිට ඔහුගේ පිට වස්ත්‍රය උනා තබන්ට ඇති. වහල්කමට ගෙන ගිය පිරිමින්ව අෂූරීය කැටයම්වල කොටා තිබෙන්නේ ඒ ආකාරයටයි.

9. යෙසායාගේ හැසිරීමේ අනාවැකිමය අරමුණ කුමක්ද?

9 යෙසායාගේ අසාමාන්‍ය හැසිරීම් රටාවේ අරමුණ ගැන සැකයක් නැහැ. “[යෙහෝවා] කථාකොට: මාගේ මෙහෙකරුවූ යෙසායා තුන් අවුරුද්දක් මිසරය ගැනත් කූෂ් දේශය ගැනත් ලකුණක්ද පුදුමයක්ද වශයෙන් වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දාක්මෙන්, අෂූර්හි රජ වාලට ගන්නාලද මිසරවරුන්ද පිටිවහල්ව සිටින කූෂ්වරුන්ද [ඔවුන්ගේ පිරිමි ළමුන්ද මහල්ලන්ද, NW] රැගෙන, වස්ත්‍ර හා වහන් නැතුව, ඔවුන්ගේ තට්ටම් නග්නව තිබෙද්දී, මිසරයට නින්දාවක්කොට ගෙනයනවා [ඇතැයි කීවේය].” (යෙසායා 20:3, 4) ඇත්තෙන්ම වැඩිකල් යන්ට මත්තෙන් මිසර සහ කූෂ් ජාතිකයන්ව වහල්කමට ගෙන යනවා. කිසිවෙකුව ඉතිරි කරන්ට යන්නේ නැහැ. දරුවන්ව සහ මහලු අයව පවා වහල්කමට ගෙනයනවා. මිසරය සහ ඉතියෝපියාව කෙරෙහි විශ්වාසය තැබීමේ නිෂ්ඵලකමත් අන්තරාදායකකමත් මෙවැනි අඳුරු දසුනකින් යෙහෝවා යූදාහි වැසියන්ට පෙන්වනවා. එම ජාතීන්ගේ වැටීම, ඔවුන්ගේ ‘නග්නභාවය’ හෙළි කරන්ට එනම් ඔවුන්ට අවසානයේදී අත් වන ලැජ්ජාව හෙළි කරන්ට යනවා!

බලාපොරොත්තු සුන් වී, අලංකාරය නැති වී

10, 11. (අ) මිසරය සහ ඉතියෝපියාව අෂූරිය ඉදිරියේ දුබල බව දුටු විට යූදාගේ ප්‍රතිචාරය කුමක් වන්ට යනවාද? (ආ) යූදාහි වැසියන් මිසරය සහ ඉතියෝපියාව කෙරෙහි විශ්වාසය තැබීමට හේතුව කුමක් විය හැකිද?

10 යෙහෝවා මීළඟට අනාවැකිමය ආකාරයෙන් විස්තර කරන්නේ තම සෙනඟ අෂූරියයන්ට භය වී තම සරණය කරගත් මිසරය සහ ඉතියෝපියාව දුබල බව තේරුම්ගත් විට ඔවුන් දක්වන ප්‍රතිචාරයයි. “ඔව්හු තමුන්ගේ බලාපොරොත්තුව වන කූෂ් ගැනද තමුන්ගේ පාරට්ටුව [අලංකාරය, NW] වන මිසරය ගැනද කැලඹී ලජ්ජාවට පැමිණෙන්නෝය. මේ මුහුදුබඩ වැසියෝ ඒ දවසෙහි කථාකොට: බලව, අෂූර්හි රජුගෙන් ගැළවෙන පිණිස පිහිට ලබන්ට අප පලාආවාවූ ස්ථානය වන අපේ බලාපොරොත්තුවට මෙසේ වූයේ නම් අපි කෙසේ ගැළවෙන්නෙමුදැයි කියනවා ඇත.”—යෙසායා 20:5, 6.

11 මිසරයේ සහ ඉතියෝපියාවේ බලවත්භාවය සමඟ සසඳද්දී යූදා දේශය පෙනෙන්නේ හරියට මුහුදුබඩ තීරුවක් වගෙයි. මිසරයේ තිබෙන දැවැන්ත පිරමිඩ, සුවිසල් මන්දිර, පලතුරු වතු සහ පොකුණුවලින් වට වී ඇති විශාල බංගලා නිසා එහි ඇති අලංකාරයට ඇතැම් “මුහුදුබඩ” වැසියන් වශී වී සිටිනවා විය යුතුයි. දැකුම්කලු ගෘහනිර්මාණ ශිල්පය මිසරයේ සදාකාලිකත්වය පෙන්වන්නාක් මෙනි. නිසැකවම එවැනි දේශයක් පාළුවට යාවිද! ඒ හා සමානවම ඉතියෝපියාවේ දුනුවායන්, අශ්ව කරත්ත සහ අසරුවන් වෙත යුදෙව්වන් සිත් ඇදී ගොස් තිබෙනවා.

12. යූදා විශ්වාසය තැබිය යුත්තේ කා කෙරෙහිද?

12 මිසරය සහ ඉතියෝපියාව කෙරෙහි විශ්වාසය තැබීමට නැඹුරුව සිටින, තමන් දෙවිගේ සේවකයෙක්යයි කියාගන්නා කෙනෙක් යෙසායා රඟ දැක්වීමකින් කළ අනතුරු ඇඟවීම ගැන සහ යෙහෝවාගේ අනාවැකිමය වචනය ගැන බැරෑරුම් ලෙස දෙවරක් සිතා බැලීම අවශ්‍ය වෙනවා. දූවිලි වැනි මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබනවාට වඩා යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන එක කොතරම් හොඳද! (ගීතාවලිය 25:2; 40:4) කාරණා සිදු වන්නේ යූදා දේශය අෂූරියේ රජු අතින් දරුණු ලෙස පහර කන්ට මඟ පාදමින්. පසුව බබිලෝනිය අතින් ඇගේ දේවමාළිගාවත් අගනුවරත් නැත්තටම නැති කර දැමෙනවා. ඒ වුණත්, විශාල ගසක් කැපූ විට ඉතිරි වන මුලේ කඳ කොටස මෙන් “දසයෙන් කොටසක්” හෝ ‘ශුද්ධ වූ වංශයක්’ ඉතිරි වෙනවා. (යෙසායා 6:13) නියමිත කාලයේදී යෙසායාගේ පණිවිඩය, යෙහෝවා කෙරෙහි දිගටම විශ්වාසය තබන එම කුඩා කණ්ඩායමේ ඇදහිල්ල ප්‍රාණවත් කරනවා!

ඔබ විශ්වාසය තබන්නේ යෙහෝවා මතද?

13. අදදින සිටින දෙවි කෙරෙහි විශ්වාසය තබන සහ නොතබන සියලුදෙනාටම බලපාන පීඩන මොනවාද?

13 මිසරය සහ ඉතියෝපියාව කෙරෙහි විශ්වාසය තැබීමේ නිෂ්ඵලකම ගැන යෙසායා කළ අනතුරු ඇඟවීම නිකම්ම මළ ඉතිහාසයක් නෙවෙයි. එහි අපගේ දවසටත් ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. අපි ජීවත් වන්නේ ‘කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලයකයි.’ (2 තිමෝති 3:1, NW) ආර්ථික ව්‍යසන, දසත පැතිරුණු දිළිඳුකම, දේශපාලන අස්ථාවරත්වය, රට අභ්‍යන්තර කැරලි කෝලහාල, කුඩා හෝ මහා පරිමාණ යුද්ධ විනාශකාරි බලපෑමක් ඇති කර තිබෙනවා. දෙවිගේ පාලනතන්ත්‍රය හෙළා දකින අය පමණක් නොව යෙහෝවාට නමස්කාර කරන අය පවා ඒවායේ බලපෑම අද්දකිනවා. අපි සැමදෙනාම පෞද්ගලිකව මුහුණ දෙන ප්‍රශ්නය මෙයයි. ‘මම හැරෙන්නේ කා වෙතටද?’

14. අපි යෙහෝවා කෙරෙහි පමණක්ම විශ්වාසය තැබිය යුත්තේ මන්ද?

14 මිනිස් හැකියාව සහ තාක්ෂණය යොදාගෙන මිනිසාගේ ප්‍රශ්න විසඳීම ගැන උදම් අනන අද සිටින ආර්ථික විද්වතුන්, දේශපාලනඥයන් සහ විද්‍යාඥයන් වැනි අය වෙත සමහරුන් ඇදී ගොස් තිබිය හැකියි. කෙසේවෙතත්, බයිබලය පැහැදිලිවම කියන්නේ මෙසේයි. “අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා [යෙහෝවා] කෙරෙහි ඇදහීම යහපත.” (ගීතාවලිය 118:9) අනාගතවක්තෘ යෙරෙමියා ඉතා උචිත ආකාරයට සඳහන් කළ හේතුව නිසා සමාදානය සහ සුරක්ෂිතභාවය පිළිබඳ මිනිසාගේ සියලුම යෝජනා හිස් වී යනවා. “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.”—යෙරෙමියා 10:23.

15. විපතට පත් මනුෂ්‍යවර්ගයාගේ එකම බලාපොරොත්තුව කුමක්ද?

15 එමනිසා, දෙවිගේ සේවකයන් ලෞකික ප්‍රඥාව හෝ ශක්තිය වෙත අනවශ්‍ය ලෙස ඇදී යෑමෙන් වැළකීමට වගබලා ගැනීම අත්‍යවශ්‍යයි. (ගීතාවලිය 33:10; 1 කොරින්ති 3:19, 20) විපතට පත් මනුෂ්‍යවර්ගයාගේ එකම බලාපොරොත්තුව මැවුම්කාර යෙහෝවායි. ඔහු කෙරෙහි විශ්වාසය තබන අය ගැළවෙන්ට යනවා. දේවානුභාවය ලත් ප්‍රේරිත යොහන් ලියූ ආකාරයට, “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17.

[පාදසටහන්වල]

^ ඉතිහාසඥයන් මේ රජුව හඳුන්වන්නේ IIවන සර්ගොන් හැටියටයි. ඔහුට පෙර අෂූරියේ නොව නමුත් බබිලෝනියේ සිටි රජෙකුට “Iවන සර්ගොන්” යන නම දී තිබෙනවා.

^ “තර්තාන්” කියන්නේ කෙනෙකුගේ නමක් නොවේ. ඒ අෂූරිය හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ තනතුරයි. සමහරවිට අධිරාජ්‍යයේ සිටි දෙවනුවට බලතල දරන පුද්ගලයා ඔහුයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[209වන පිටුවේ පින්තූරය]

අෂූරියයන් තමන්ගේ සමහර වහලුන්ව අන්ධ කළා

[213වන පිටුවේ පින්තූර]

මිනිස් අත් කරගැනීම් කෙරෙහි සමහරුන්ගේ සිත ඇදී යා හැකි නමුත්, යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීම ඊට වඩා යහපති