Skip to content

පටුනට යන්න

වංක මිදිවතු වවන්නන්ට අත් වන දුක!

වංක මිදිවතු වවන්නන්ට අත් වන දුක!

හත්වන පරිච්ඡේදය

වංක මිදිවතු වවන්නන්ට අත් වන දුක!

යෙසායා 5:1-30

1, 2. “ප්‍රේමවන්තයා” සිටුවන්නේ මොනවාද? එහෙත්, එය බලාපොරොත්තු සුන් කරන්නේ කෙසේද?

 “මෙම උපමාව ලියා තිබෙන අලංකෘත භාෂා ශෛලිය සහ කාවදිනසුලු අයුරින් දෙන පණිවිඩය සලකා බැලූ කල වෙන කිසිම උපමාවක් මීට සමාන කරන්ට බැරි තරම්ය” කියා යෙසායා පස්වන පරිච්ඡේදයේ මුල් ඡේදවලට යොමු දක්වමින් එක් බයිබල් විචාරකයෙක් පැවසුවා. නිකම්ම සාහිත්‍ය කෘතියක් වනවාට වඩා යෙසායාගේ වචන යෙහෝවා තම සෙනඟ කෙරෙහි දක්වන ආදර සැලකිල්ල මනාව විස්තර කරනවා. එමෙන්ම මේ වචන ඔහු අප්‍රසන්න දේවල් සම්බන්ධයෙන්ද අනතුරු ඇඟවීමක් දෙනවා.

2 යෙසායාගේ උපමාව ඇරඹෙන්නේ මෙලෙසයි. “මාගේ ප්‍රේමවන්තයාගේ මිදිවත්ත ගැන ඔහුගේ ගීතිකාව මාගේ ප්‍රේමවන්තයා උදෙසා ගීතිකාකරන්නෙමි. මාගේ ප්‍රේමවන්තයාට ඉතා සාරවත් කන්දක මිදිවත්තක් තිබුණේය. ඔහු ඒක වටකොට අගළක් කපා [පොළොව හාරා, NW], ගල් අහක්කොට, ඉතා හොඳ [රතු, NW] මිදිවැල් හිටුවා, එහි මැද මුරකොටුවක් ගොඩනගා, එහි මිදි යන්ත්‍රයක් සාදා, හොඳ මුද්‍රික ඵල හටගන්නවා ඇත කියා බලාසිටියේය. නුමුත් හටගත්තේ වල් මිදි ඵලය.”—යෙසායා 5:1, 2; මාර්ක් 12:1 සසඳන්න.

මිදිවත්ත කෙරෙහි තිබූ සැලකිල්ල

3, 4. මිදිවත්ත සඳහා දැක්වූ ආදර සැලකිල්ල මොන වගේද?

3 යෙසායා මේ උපමාව තම ශ්‍රාවකයන් ඉදිරියේ ගායනා කළත් නැතත් එය නිසැකවම ඔවුන්ගේ අවධානයට ලක් වුණා. සමහරවිට ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මිදි වගාව ගැන හොඳින් දැන සිටි නිසා යෙසායාගේ විස්තරය ඔවුන්ගේ මනස් තුළ ප්‍රායෝගික මෙන්ම පැහැදිලි පින්තූරයක් මවන්ට ඇති. අදදින සිටින මිදිවතු වවන්නන් වගේ, මිදිවතු අයිතිකරුවන් හිටවන්නේ මිදි ඇට නොව, “ඉතා හොඳ” නැතහොත් ඉහළම පෙළේ “රතු මිදි” රිකිල්ලක් හෝ මිදි වැලකින් කපාගත් අතු කැබැල්ලකි. උචිත අන්දමින් ඔහු මිදිවත්ත සඳහා තෝරාගත්තේ ‘සාරවත් කන්දක්’ එනම් මිදිවත්තක් හොඳින් සඵල වන තැනකි.

4 මිදිවත්තක නියම ඵල නෙළාගැනීමට නම් බොහෝ සේ වෙහෙස මහන්සි විය යුතුයි. අයිතිකරුවා විසින් ‘පොළොව හෑරීම සහ ගල් අහක් කිරීම’ ගැන යෙසායා විස්තර කරනවා. එය දුෂ්කර මෙන්ම වෙහෙසකර වැඩක්! පෙනෙන විදිහට ඔහු විශාල ගල් පාවිච්චි කර “මුරකොටුවක් ගොඩනගා” ගන්නවා. පුරාණ කාලවලදී, සොර සතුරන්ගෙන් සහ සතුන්ගෙන් වගා ආරක්ෂා කරගැනීමට මුරකරුවන් කාලය ගෙව්වේ එහියි. * එමෙන්ම, මිදිවත්තේ මායිම් උස් වන ආකාරයට ඔහු ගල් වැටකුත් බඳිනවා. (යෙසායා 5:5) පොදුවේ මෙය සිදු කළේ, පොළොවේ සරු පස සේදී යෑම වළක්වාගැනීමටයි.

5. අයිතිකරුවාට මිදිවත්තෙන් සාධාරණව බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද? එහෙත් ඔහුට ලැබුණේ මොනවාද?

5 තම මිදිවත්ත ආරක්ෂා කිරීම සඳහා බොහෝ සේ වෙහෙස වූ පසු, එය ඵල දරයි කියා අයිතිකරුවා අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා. මේ සියලු බලාපොරොත්තු ඇතුව ඔහු මිදි යන්ත්‍රයකුත් සාදනවා. එහෙත් අස්වැන්න සඳහා පැතූ පැතුම් ඉටු වුණාද? නැහැ. මිදිවත්තේ ඵල දරන්නේ වල් මිදියි.

මිදිවත්ත සහ එහි අයිතිකරු

6, 7. (අ) මිදිවත්තේ අයිතිකරුවා කවුද? මිදිවත්ත කුමක්ද? (ආ) අයිතිකරුවා ඉල්ලා සිටින විනිශ්චය කුමක්ද?

6 මේ මිදිවත්තේ අයිතිකරුවා කවුද? එම මිදිවත්ත කුමක්ද? මිදිවත්තේ අයිතිකරුවාම මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. “ඉතින්, යෙරුසලමේ වැසියෙනි, යූදාහි මනුෂ්‍යයෙනි, මා සහ මාගේ මිදිවත්ත අතරේ විනිශ්චයකරන්න. මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද? ඉතින් මාගේ මිදිවත්තට කරන්ට යන දෙය නුඹලාට කියමි. මම එහි වැට පහ කරන්නෙමි, එවිට ඒක පාගාදමනු ලබන්නේය. එහි තාප්පය බිඳදමන්නෙමි, එවිට එය මඩිනු ලබන්නේය.”—යෙසායා 5:3-5.

7 ඔව්, මිදිවත්තේ අයිතිකරුවා යෙහෝවායි. මිදිවත්ත ඔහුගේ බලාපොරොත්තු සුන් කළා. ඒ නිසා යෙහෝවා යුක්තිය ඉල්ලා සිටිනවා. ඔහු එසේ කරන්නේ, හරියට කෙනෙක් තමාට වූ අයුක්තිය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගැනීමට උසාවියට යනවා හා සමානවයි. මෙහි මිදිවත්ත කුමක්ද? අයිතිකරුවා මෙසේ පැහැදිලි කරනවා. “සේනාවල [යෙහෝවාගේ] මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, [ඔහුගේ] ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය.”—යෙසායා 5:7අ.

8. යෙහෝවාට “මාගේ ප්‍රේමවන්තයා” කියා ආමන්ත්‍රණය කරන්ට යෙසායාට හැකි වූයේ මන්ද?

8 යෙසායා මිදිවත්තේ අයිතිකරුවා වන යෙහෝවාව හඳුන්වන්නේ “මාගේ ප්‍රේමවන්තයා” ලෙසයි. (යෙසායා 5:1) යෙසායාට දෙවි ගැන එතරම් ආදරයෙන් කතා කළ හැක්කේ, ඔහුට දෙවි සමඟ ඉතාමත් සමීප සම්බන්ධයක් තිබෙන නිසයි. (සසඳන්න යෝබ් 29:4; ගීතාවලිය 25:14.) කෙසේවෙතත්, අනාගතවක්තෘවරයා තුළ දෙවි කෙරෙහි ඇති ප්‍රේමය, දෙවි තමන් විසින් ‘සිටුවන ලද’ ජාතිය වන “මිදිවත්ත” කෙරෙහි පෙන්වා ඇති ප්‍රේමය සමඟ සන්සන්දනය කළොත් අනාගතවක්තෘවරයා තුළ කිසිම ප්‍රේමයක් නැති තරම්.—සසඳන්න නික්මයාම 15:17; ගීතාවලිය 80:8, 9.

9. වටිනා මිදිවත්තක් ලෙස යෙහෝවා තම සෙනඟව සලකා ඇත්තේ කෙසේද?

9 යෙහෝවා තම ජාතිය කානාන් දේශයේ ‘සිටුවා,’ අනිකුත් ජාතීන්ගෙන් දූෂ්‍ය වීමෙන් වළක්වාගැනීම සඳහා ඔවුන්ට නීති රීති දුන්නා. (නික්මයාම 19:5, 6; ගීතාවලිය 147:19, 20; එපීස 2:14) තවදුරටත්, උපදෙස් දීම සඳහා යෙහෝවා ඔවුන් වෙනුවෙන් විනිශ්චයකරුවන්, පූජකයන් සහ අනාගතවක්තෲන්ව පත් කළා. (2 රාජාවලිය 17:13; මලාකී 2:7; ක්‍රියා 13:20) සතුරු හමුදාවන් ඉශ්‍රායෙල්ට තර්ජනය කරද්දී, යෙහෝවා ඔවුන් අතරින් ගැළවුම්කරුවන්ව නැඟිටෙව්වා. (හෙබ්‍රෙව් 11:32, 33) මේ සියල්ල කළ පසු, “මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද” කියා යෙහෝවා අසන්නේ හොඳ හේතු ඇතුවයි.

දෙවිගේ නවීන දින මිදිවත්ත හඳුනාගැනීම

10. මිදිවත්තක් සම්බන්ධයෙන් යේසුස් පාවිච්චි කළ උපමාව කුමක්ද?

10 මිනිමරු ගොවීන් පිළිබඳ උපමාව පවසද්දී, යෙසායාගේ වචන යේසුස්ගේ මනසේ තිබෙන්ට ඇති. “එක් ගෙදර ස්වාමියෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, එහි මුද්‍රික යන්ත්‍රයක් හාරා තබා, කොතක් බැඳ ගොවීන්ට බදුදී, වෙන රටකට ගියේය.” මේ ගොවීන් කනගාටුදායක ලෙස අයිතිකරුවාට ද්‍රෝහි වුණා විතරක් නොව, ඔහුගේ පුත්‍රයාව පවා මැරුවා. මේ උපමාව තුළ සැබෑ ඉශ්‍රායෙල්වරුන් ගැන නිකම්ම සඳහන් කරනවාට වඩා වැඩි යමක් තිබෙන බව පෙන්වමින් යේසුස් මෙසේ කිව්වා. “[දෙවිගේ] රාජ්‍යය නුඹලාගෙන් [මාංසික ඉශ්‍රායෙල්ගෙන්] අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.”—මතෙව් 21:33-41, 43.

11. මුල් සියවසේ තිබූ ආත්මික මිදිවත්ත කුමක්ද? එහෙත් ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු සිදු වූයේ කුමක්ද?

11 ඒ අලුත් “ජාතිය” වනාහි 1,44,000ක් වන ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සමන්විත ආත්මික ජාතියක් වන “[දෙවිගේ] ඉශ්‍රායෙල්” බව ඔප්පු වුණා. (ගලාති 6:16; 1 පේතෘස් 2:9, 10; එළිදරව් 7:3, 4) “සැබෑවූ මිදිවැල” වන්නේ යේසුස්. ඔහු මෙම ගෝලයන්ව එහි ‘අතුවලට’ සමාන කළා. නිසැකවම, මේ අතුවලින් ඵල දැරීම බලාපොරොත්තු වෙනවා. (යොහන් 15:1-5) ඔවුන් ක්‍රිස්තු බඳු ගුණාංග විදහාපෑ යුතු වන අතර, ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීමේ වැඩයෙහි හවුල් විය යුතුයි. (මතෙව් 24:14; ගලාති 5:22, 23) එහෙත් ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ මරණයෙන් පසු ‘සැබෑ වූ මිදිවැලේ’ අතු බව කියා සිටි වැඩිදෙනෙක් ව්‍යාජ මිදි අතු බව ඔප්පු වුණා. හොඳ ඵල වෙනුවට ඒවා වල් ඵල නිපදෙව්වා.—මතෙව් 13:24-30, 38, 39.

12. යෙසායාගේ වදන් ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන්ව හෙළා දකින්නේ කෙසේද? සැබෑ ක්‍රිස්තියානීන්ට ඇත්තේ කිනම් පාඩමක්ද?

12 එමනිසා, යෙසායා විසින් යූදා ජාතිය හෙළා දැකීම අදදින ක්‍රිස්තියානි ලෝකයට අදාළ වෙනවා. ක්‍රිස්තියානි ලෝකයේ රටවල් අතර පැවති යුද්ධ, කුරුස යුද්ධ සහ අධර්ම මර්දනාධිකරණය වැනි ඇගේ ඉතිහාසය අධ්‍යයනය කළොත් ඇය මොනතරම් ඇඹුල් ඵල දරා තිබෙනවාද කියා හෙළි වෙනවා! කෙසේවෙතත්, ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් සැදුම් ලත් සැබෑ මිදිවත්ත සහ ඔවුන්ගේ සහායකයන් වන “මහත් සමූහය” යෙසායාගේ වදන් පිළිපැදිය යුතුයි. (එළිදරව් 7:9) මිදිවත්තේ අයිතිකරුවාව සතුටු කිරීමට නම්, ඔවුන් පෞද්ගලිකව සහ කණ්ඩායමක් වශයෙන් ඔහුව සතුටු කරන ඵල නිපදවිය යුතුයි.

“වල් මිදි”

13. නරක මිදි නිපදවන නිසා යෙහෝවා තම මිදිවත්තට කරන්ට යන්නේ කුමක්ද?

13 මිදිවත්ත බලාකියා ගැනීමට සහ වගා කිරීමට යෙහෝවා මහත් සේ වෙහෙසුණු පසු, “පෙණ නඟින මුද්‍රිකපානය ලබා දෙන මිදිවත්තක්” බලාපොරොත්තු වන එක සාධාරණයි! (යෙසායා 27:2, NW) කෙසේවෙතත්, පාවිච්චි කළ හැකි ඵල නිපදවනවා වෙනුවට, එමගින් නිපදවූයේ, ‘වල් මිදියි,’ එනම් පදගතාර්ථයෙන්ම “ගඳ ගසන” හෝ “කුණු වූ මිදියි.” (යෙසායා 5:2, NW පාදසටහන; යෙරෙමියා 2:21) එමනිසා යෙහෝවා ජාතිය වටා දමා තිබූ තම ආරක්ෂක වැට ඉවත් කරන්ට යන බව ප්‍රකාශ කරනවා. ජාතිය ‘විනාශයට නියම වූ දෙයක් [NW]’ මෙන්ම ඉවත දැමීමට සහ ඉඩෝරයට හසුවීමට තිබෙන දෙයක් බවට පත් වෙන්ට යනවා. (යෙසායා 5:6 කියවන්න.) ඔවුන් දෙවිගේ ව්‍යවස්ථාවට අකීකරු වුණොත් එවැනි තත්වයකට පත් වන බව මෝසෙස් අනතුරු අඟවා තිබුණා.—ද්විතීය කථාව 11:17; 28:63, 64; 29:22, 23.

14. යෙහෝවා තම ජාතියෙන් බලාපොරොත්තු වන්නේ කිනම් ඵලද? ඒ වෙනුවට එය නිපදවන්නේ කුමක්ද?

14 ජාතිය හොඳ ඵල දරයි කියා යෙහෝවා බලාපොරොත්තු වෙනවා. යෙසායාගේ සමකාලීනයෙක් වූ මීකා මෙසේ ප්‍රකාශ කරනවා. “ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ [දෙවි] වෙත යටහත්ලෙස හැසිරීමත් මිස [යෙහෝවා] නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” (මීකා 6:8; සෙකරියා 7:9) කෙසේවෙතත්, යෙහෝවාගේ අවවාදය පිළිපැදීමට ජාතිය අසමත් වෙනවා. ‘ඔහු යුක්තිය දකින්ට බලා සිටියේය, නුමුත් තිබුණේ අයුක්තියය, [ව්‍යවස්ථාව කැඩීමය, NW] ධර්මිෂ්ඨකම දකින්ට බලා සිටියේය, නුමුත් තිබුණේ විලාපයය.’ (යෙසායා 5:7ආ) මේ වංක ජාතිය නිපදවන්නේ “සොදොම්හි මුද්‍රිකවැලෙන්” උපදින විෂ මිදි බව මෝසෙස් කලින් කියා තිබුණා. (ද්විතීය කථාව 32:32) මෙසේ, සමලිංගික සේවනය ඇතුළු ලිංගික දුරාචාරය දෙවිගේ ව්‍යවස්ථාවෙන් පිට පැනීමේ ලක්ෂණයක් වෙනවා. (ලෙවී කථාව 18:22) “ව්‍යවස්ථාව කැඩීම” යන ප්‍රකාශය “ලේ හැළීම” ලෙසත් යොමු දැක්විය හැකියි. එවැනි මෘග සැලකිල්ලේ ප්‍රතිඵලයක් ලෙස ගොදුරුවූවන්ගෙන් ‘විලාපයක්’ නැඟෙන්ට ඇති. එම විලාපය මිදිවත්ත වැවූ තැනැත්තාගේ කන වැකුණා.—යෝබ් 34:28 සසඳන්න.

15, 16. ඉශ්‍රායෙල් ජාතිය ඉපදෙවූ නරක ඵල වැනි ඵල ඉපදවීමෙන් වැළකී සිටීමට සැබෑ ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

15 යෙහෝවා දෙවි “ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රේම කරන්නේය.” (ගීතාවලිය 33:5, NW) ඔහු යුදෙව්වන්ට අණ කළේ මෙසේයි. “විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන්න.” (ලෙවී කථාව 19:15) එමනිසා, එකිනෙකා සමඟ අපේ කටයුතුවලදී තරාතිරම් බැලීමෙන් වැළකී සිටිය යුතුයි. ජාතිය, වයස, ධනය හෝ දිළිඳුකම ආදිය නිසා කෙනෙකුගේ සැබෑ තත්වය පිළිබඳ අපේ නියම පින්තූරය බොඳ වී යෑමට අප කිසිවිටෙක ඉඩ නොදිය යුතුයි. (යාකොබ් 2:1-4) අධීක්ෂණ කටයුතු මෙහෙයවන අය ‘පැති නොගෙන දේවල් කිරීම’ විශේෂයෙන්ම වැදගත්. ඔවුන් විනිශ්චයක් කිරීමට කලින් සැමවිටම කාරණයක දෙපැත්තම සලකා බැලිය යුතුයි.—1 තිමෝති 5:21; හිතෝපදේශ 18:13.

16 කෙසේවෙතත්, ක්‍රිස්තියානීන් නොපනත් ලෝකයක ජීවත් වන නිසා දිව්‍ය ප්‍රමිතිවලට විරුද්ධ නිෂේධාත්මක හෝ කැරලිකාර ආකල්පයක් ඔවුන් තුළ පහසුවෙන්ම වර්ධනය විය හැකියි. එහෙත්, සැබෑ ක්‍රිස්තියානීන් දෙවිගේ ව්‍යවස්ථාවට “කීකරු වීමට සූදානමින්” සිටිය යුතුයි. (යාකොබ් 3:17, NW) “දැන් පවතින ක්‍රමය” තුළ පවතින ලිංගික දුරාචාරය සහ සැහැසියාව මැද පවා ඔවුන් “ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට [තමන් ගමන් කරන්නේ කෙසේද කියා, NW]” බලාගැනීම අවශ්‍යයි. (ගලාති 1:4; එපීස 5:15) ලිංගික කාරණා පිළිබඳ ලිහිල් අදහස් උදහස් ඔවුන් හෙළා දැකිය යුතු අතර, එකඟතාවකට පත් නොවන අවස්ථාවලදී, “කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත්, [අසභ්‍යකමත්, NW]” නැතුව කාරණා සමථයකට පත් කරගත යුතුයි. (එපීස 4:31) ධර්මිෂ්ඨකම වගා කරගැනීමෙන් සැබෑ ක්‍රිස්තියානීන් දෙවිට ගෞරවය ගෙනෙන අතර, ඔහුගේ අනුමැතිය ලබනවා.

ගිජුකමේ විපාක

17. යෙසායාගේ ප්‍රකාශ කළ පළමු දුකෙන් හෙළා දැක්කේ කිනම් දුෂ්ට හැසිරීමද?

17 යෙසායා 5:අටවන පදයේ යෙසායා යෙහෝවාගේ වදන් උපුටා දක්වන්නේ නැහැ. යූදාහි බිහි වූ “වල් මිදි” සමහරක් හෙළා දකිමින් ඔහු විසින්ම දුක් හයෙන් එකක් ප්‍රකාශ කරන්නේ මෙසේයි. “දේශ මැද තමුන්ම පමණක් වාසය කරන පිණිස, ඉඩ නැතිවෙන තරම්, ගෙයකට ගෙයක් එකතුකරගන්නාවූ, කෙතකට කෙතක් වැඩිකරගන්නාවූ අයට දුක් වේ! සැබවින්ම මහත්වූ අලංකාරවූ බොහෝ ගෙවල් වැසියන් නැතුව පාළුවන්නේයයි සේනාවල [යෙහෝවා] මාගේ කන්වලට [කියන්නේය.] අක්කර දසයක මිදිවත්තෙන් බාත් එකක්ද බුසල් දසයක බීජවලින් බුසලක්ද අස්වැන්න ලැබෙන්නේය.”—යෙසායා 5:8-10.

18, 19. යෙසායාගේ කාලයේ සිටි මිනිසුන් දේපොළ පිළිබඳ යෙහෝවාගේ නීති නොසලකා හැරියේ කෙසේද? එහි ප්‍රතිඵලය කුමක් වුණාද?

18 පුරාණ ඉශ්‍රායෙල්හි තිබූ සියලුම ඉඩම්වල අවසාන අයිතිකරු යෙහෝවායි. සෑම පවුලකටම දෙවි දුන් උරුමයක් තිබුණු අතර, එය කුලියට හෝ ණයට දීමට මිස “හැමදාටම” විකිණීමට කිසිදාක හැකි වූයේ නැහැ. (ලෙවී කථාව 25:23) මේ නියෝගය, තනි පුද්ගලයෙකු විසින් ඉඩකඩම් අයිති කරගැනීමෙන් ඇති විය හැකි අසාධාරණය වැළැක්වුවා. එමෙන්ම එය පවුල් දිළිඳුකමෙන් අන්ත අසරණ වීමෙන්ද වැළැක්වුවා. කෙසේවෙතත්, යූදාහි සිටි සමහරුන් ගිජු ලෙස ක්‍රියා කරමින් දේපොළ පිළිබඳ දෙවිගේ ව්‍යවස්ථාව කැඩුවා. මීකා මෙසේ ලියනවා. “ඔව්හු කෙත්වලට ආශාවී, ඒවා අල්ලාගනිති; ගෙවල්වලටත් ආශාවී, ඒවා පැහැරගනිති. ඔව්හු පුරුෂයෙකුට සහ ඔහුගේ ගෙදරටත්, එසේය, පුරුෂයෙකුට සහ ඔහුගේ උරුමයටත් බලාත්කාරකම්කරති.” (මීකා 2:2) එහෙත්, හිතෝපදේශ 20:21 මෙසේ අවවාද කරනවා. “මුලදී ඉක්මනින් ලබාගන්න උරුමය කෙළවරදී සඵල නොවන්නේය.”

19 මෙසේ ගිජු මිනිසුන් නීත්‍යනුකූල නොවූ ආකාරයට ලබාගත් ඉඩම්වලින් ඔවුන්ව ඉවත් කිරීමට යෙහෝවා පොරොන්දු වෙනවා. ඔවුන් බලාත්කාරයෙන් ලබාගත් නිවාසවල ‘වැසියන් නැති’ වෙන්ට යනවා. ඔවුන් ආශාවෙන් බලා සිටි භූමියෙන් ලැබෙන්ට යන්නේ බොහෝම ටිකයි. මේ ශාපය හරියටම සිදු වන්නේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳව පවසා නැහැ. පෙනෙන විදිහට, අනාගතයේදී පැමිණෙන බබිලෝනීය වහල්භාවය තුළදී ඉන් කොටසක්වත් ඉටු වුණා විය හැකියි.—යෙසායා 27:10.

20. ක්‍රිස්තියානීන්ට ඉශ්‍රායෙල්හි සිටි සමහරුන්ගේ ගිජු ආකල්පය අනුකරණය කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේද?

20 එදා සමහර ඉශ්‍රායෙල්වරුන් විදහාපෑ ආකාරයේ සන්සිඳිය නොහැකි ගිජුකම අද සිටින ක්‍රිස්තියානීන් ද්වේෂ කළ යුතුයි. (හිතෝපදේශ 27:20) ද්‍රව්‍යමය දේවල්වලට අනවශ්‍ය වැදගත්කමක් ආරූඪ කළ විට මුදල් ලබාගැනීම සඳහා සදාචාරමය ලෙස පහත්, සැකකටයුතු දේවල් කිරීමට පහසුවෙන්ම පෙලඹෙන්ට පුළුවන්. පහසුවෙන්ම වංක ව්‍යාපාර කටයුතුවලට හෝ ප්‍රායෝගික නොවන ආකාරවලින් ඉක්මනින්ම මුදල් ඉපයීමේ මලපතට වැටෙන්ට පුළුවන්. “වස්තුව උපදවාගන්ට ඉක්මන්වන්නා දිගටම අවංකව නොසිටියි.” (හිතෝපදේශ 28:20, NW) එසේනම්, අපේ මූලික අවශ්‍යතාවලින් සෑහීමට පත්වීම කොතරම් වැදගත්ද!—1 තිමෝති 6:8.

සැක සහිත විනෝදාස්වාදයේ මලපත

21. යෙසායා දෙවන දුක ප්‍රකාශ කරද්දී හෙළා දැක්කේ කිනම් පාපයද?

21 ඊළඟට යෙසායා දෙවන දුකත් ප්‍රකාශ කරනවා. “මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ! ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් [යෙහෝවාගේ] ක්‍රියාව සලකන්නේවත් [ඔහුගේ] අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.”—යෙසායා 5:11, 12.

22. ඉශ්‍රායෙල් විදහාපෑවේ ආත්මදමනයේ කිනම් ඌනතාවක්ද? ඒ නිසා, ජාතියට අත් වෙන්ට යන ඉරණම කුමක්ද?

22 යෙහෝවා “ප්‍රීතියේ දෙවි” වන අතර, ඔහුගේ සේවකයන් යම් හිතකර විනෝදාංශවල යෙදෙනවාට ඔහු අකමැති නැහැ. (1 තිමෝති 1:11, NW) කෙසේවෙතත්, මෙම සැපසෙල්ලමට ලොල් වූ අය හැම සීමාවක්ම කඩාගෙන යනවා. සාමාන්‍යයෙන් “මත්වෙන්නෝ රාත්‍රියෙහි මත්වෙති” කියා බයිබලයේ පවසනවා. (1 තෙසලෝනික 5:7) එහෙත්, මෙම අනාවැකියේ සඳහන් අය දිවා කාලයෙන් ආරම්භ කරන අධික ලෙස මත්පැන් පානය කිරීම රාත්‍රිය දක්වාම ගෙන යනවා! ඔවුන් හැසිරෙන්නේ හරියට දෙවිකෙනෙක් නැති ගානටයි. හරියට ඔවුන්ගේ ක්‍රියාවට ගණන් දීමට සිදු වන්නේ නැති ගානටයි. යෙසායා එවැනි අයට අත් වන්ට යන අඳුරු අනාගතය ගැන පුරෝකථනය කරනවා. “මාගේ සෙනග දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.” (යෙසායා 5:13) සැබෑ දැනුමට එකඟව ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කළ නිසා, දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටි සෙනඟ, උත්තමයාගේ සිට පහත් තැනැත්තා දක්වා මිනී වළට යනවා.—යෙසායා 5:14-17 කියවන්න.

23, 24. ක්‍රිස්තියානීන් ආත්මදමනය පෙන්විය යුත්තේ කිනම් අවස්ථාවලදීද?

23 මුල් සියවසේ සිටි සමහර ක්‍රිස්තියානීන් අතර පැවති ගැටලුවක් වූයේ, “මංගල්‍යඝෝෂා” නැතහොත් “අසභ්‍ය උත්සවයි.” (ගලාති 5:21; බයිංටන්; 2 පේතෘස් 2:13) ඉතින් අදදින සිටින සමහර කැප වූ ක්‍රිස්තියානීන්ද සමාජ සාදයන් සම්බන්ධව දුර්වල විනිශ්චයක් පෙන්වා තිබීම පුදුමයක් නෙවෙයි. සීමාවක් නැතුව මත්පැන් පාවිච්චි කිරීම සමහරුන්ව ඝෝෂාකාරි හඬකින් වල්පල් දොඩවන හෝ කෝලහල කරන තත්වයට පත් කර තිබෙනවා. (හිතෝපදේශ 20:1) මත්පැන් අධික ලෙස පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සමහරුන් අනාචාරයේ යෙදී තිබෙනවා. එමෙන්ම සමහර සාදයන් ඊළඟ දවසේ තිබෙන ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලට බාධා කරන ආකාරයට මුළු රාත්‍රිය පුරාම පවතින්ට ඉඩහැර තිබෙනවා.

24 කෙසේවෙතත්, සමහර ක්‍රිස්තියානීන්, තමන්ට රුචි විනෝදාස්වාදය තෝරාගැනීමේදී දිව්‍ය ගුණාංග විදහාපෙන්වන අතර, දැඩි සීමා පවත්වාගනිමින් මධ්‍යස්ථව කටයුතු කරනවා. ඔවුන් රෝම 13:13 ඇති පාවුල්ගේ උපදේශය පිළිපදිනවා. ‘ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙන්න.’

පාපයට ද්වේෂ කිරීම සහ සැබෑවට ප්‍රේම කිරීම

25, 26. යෙසායා තම තුන්වන සහ හතරවන දුක්වලින් හෙළි කරන්නේ ඉශ්‍රායෙල්වරුන් තුළ තිබූ කිනම් දුෂ්ට සිතුවිල්ලද?

25 යෙසායා තුන්වන සහ හතරවන දුක් ප්‍රකාශ කරද්දී එයට ඇහුම්කන් දෙන්න. “නිෂ්ඵලකම නැමති ලනුවලින් අයුතුකමත් ගැල් රැහැණකින් මෙන් පාපයත් අදින්නාවූ, අපට පෙනෙන පිණිස [ඔහු] ඉක්මන්වී තමන්ගේ ක්‍රියාව [කඩිනම් කරත්වා,] අප විසින් දැනගන්ට ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාගේ] මන්ත්‍රණය ළංව ඒවයි කියන්නාවූ අයට දුක් වේ! නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද කියන්නාවූ, එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියත් තබන්නාවූ, මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරත් තබන්නාවූ අයට දුක් වේ!”—යෙසායා 5:18-20.

26 පාපයේ යෙදී සිටින්නාවූ අය පිළිබඳ මොනතරම් පැහැදිලි පින්තූරයක්ද! ඔවුන් පාපයට ඇලී සිටින්නේ හරියට බර අදින හීලෑ සතෙකු කරත්තයකට බැඳ තිබෙනවා වගෙයි. පැමිණෙන්නාවූ විනිශ්චය දවස ගැන මේ පව්කාරයන් තුළ කිසිම භයක් නැහැ. සරදම් විලාශයෙන් ඔවුන් මෙහෙම කියනවා. ‘දෙවිගේ ක්‍රියාව කඩිනම් කරත්වා!’ දෙවිගේ ව්‍යවස්ථාවට යටත් වෙනවා වෙනුවට, “නපුරට යහපතය කියාද යහපතට නපුරය කියාද” කියමින් ඔවුන් දේවල් කණපිට පෙරළනවා.—සසඳන්න යෙරෙමියා 6:15; 2 පේතෘස් 3:3-7.

27. ඉශ්‍රායෙල්වරුන්ට තිබූ ආකාරයේ ආකල්පයකින් වැළකී සිටීමට අදදින සිටින ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

27 අදදින සිටින ක්‍රිස්තියානීන් මොනම තත්වයකට මුහුණ දුන්නත් එවැනි ආකල්පයකින් වැළකී සිටිය යුතුයි. උදාහරණයක් හැටියට, කාමමිථ්‍යාචාරය සහ සමලිංගිකත්වය පිළිබඳ ලෝකයේ දෘෂ්ටිය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. (එපීස 4:18, 19) ක්‍රිස්තියානියෙක් විසින් බරපතළ පාපයකට ඇද දැමිය හැකි ‘වැරදි පියවරක්’ ගැනීමට ඉඩ තිබෙන බව ඇත්තයි. (ගලාති 6:1, NW) කෙසේවෙතත්, සභා ආත්මිකව වැටුණු අයට අවශ්‍ය උපකාර දීමට සභාවේ සිටින වැඩිමහල්ලන් සූදානමින් සිටිනවා. (යාකොබ් 5:14, 15) ඔවුන් ඉදිරිපත් කරන යාච්ඤාවල සහ බයිබලය මත පදනම් උපදෙස්වල උපකාරයෙන් ආත්මික සුවය ලැබීමට හැකියාව තිබෙනවා. එසේ නූණොත්, ‘පාපයාගේ වහලෙක්’ වීමේ අන්තරාව තිබෙනවා. (යොහන් 8:34) දෙවිට සරදම් කර, විනිශ්චය දවස ඉක්මනින් පැමිණෙන බවට වූ හැඟීම නැති කරගන්නවා වෙනුවට ක්‍රිස්තියානීන් යෙහෝවා ඉදිරියේ “කැලැල් රහිතව, නිදොස්ව” සිටින්ට වෑයම් කළ යුතුයි.—2 පේතෘස් 3:14; ගලාති 6:7, 8.

28. යෙසායා අවසාන දුක් ප්‍රකාශ කරද්දී ඔහු හෙළා දැක තිබෙන්නේ කිනම් පාපද? අදදින සිටින ක්‍රිස්තියානීන්ට එවැනි පාපවලින් වැළකී සිටිය හැක්කේ කෙසේද?

28 උචිත අන්දමින් යෙසායා ඉතිරි දුක්ද මෙසේ එකතු කරනවා. “තුමූ ප්‍රඥාවන්තයෝයයි සිතන්නාවූද තුමූ නුවණැත්තෝයයි කල්පනාකරන්නාවූද අයට දුක් වේ! මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යමත් මනුෂ්‍යයෝවූ, අල්ලසකට දුෂ්ටයා නිදොස්කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහකරන්නාවූ අයින්ට දුක් වේ!” (යෙසායා 5:21-23) පෙනෙන ප්‍රකාරයට මේ වචන කිව්වේ දේශයේ විනිශ්චයකරුවන් ලෙස සේවය කරමින් සිටි අයටයි. අදදින සභාවේ සිටින වැඩිමහල්ලන් ‘තමන් ප්‍රඥාවන්තයයි’ පෙනීමට සැලැස්වීමෙන් වැළකී සිටිය යුතුයි. ඔවුන් සෙසු වැඩිමහල්ලන්ගෙන් පැමිණෙන උපදෙස් නිහතමානි ලෙස පිළිගෙන සංවිධානයෙන් සපයන උපදෙස්වලට කිට්ටුවෙන් ඇලී සිටිය යුතුයි. (හිතෝපදේශ 1:5; 1 කොරින්ති 14:33) ඔවුන් පමණ දැන මත්පැන් පාවිච්චි කරන අතර, සභා වගකීම් හසුරුවද්දී මත්පැන් කොහෙත්ම පාවිච්චි කරන්නේ නැහැ. (හොෂෙයා 4:11) වැඩිමහල්ලන් තමා පැතිගන්නා බව සිතුවිලි මාත්‍රයකින්වත් අනුන්ට දැනෙන්ට නොසැලැස්විය යුතුයි. (යාකොබ් 2:9) මෙය ක්‍රිස්තියානි ලෝකයේ පූජකයන් කටයුතු කරන ආකාරයට වඩා මොනතරම් වෙනස්ද! මොවුන්ගෙන් බොහෝදෙනෙක් තමන් අතරේ සිටින බලපුළුවන්කාර සහ ධනවත් පව්කාරයන්ව සුද්ද කරන්නේ, රෝම 1:18, 26, 27; 1 කොරින්ති 6:9, 10 සහ එපීස 5:3-5හි ඇති ප්‍රේරිත පාවුල්ගේ අනතුරු ඇඟවීම්වලට කෙළින්ම විරුද්ධ වෙමිනුයි.

29. යෙහෝවාගේ ඉශ්‍රායෙලීය මිදිවත්තේ විපත්තිදායක අවසානය කුමක්ද?

29 යෙසායා තම අනාවැකිමය පණිවිඩය අවසන් කරන්නේ “[යෙහෝවාගේ] ව්‍යවස්ථාව එපාකර,” ධර්මිෂ්ඨ ඵල උපදවන්ට අසමත් වූ අයට පැමිණෙන්ට යන විපත්තිදායක අවසානය විස්තර කරමිනුයි. (යෙසායා 5:24, 25; හොෂෙයා 9:16; මලාකී 4:1) ඔහු මෙසේ ප්‍රකාශ කරනවා. “[යෙහෝවා] දුර සිටින ජාතීන්ට [මහත් ජාතියකට, NW] කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර [අඬගසන්නේය.] බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය.”—යෙසායා 5:26; ද්විතීය කථාව 28:49; යෙරෙමියා 5:15.

30. යෙහෝවාගේ සෙනඟට විරුද්ධව “මහත් ජාතිය” රැස් කරන්ට යන්නේ කවුද? කිනම් ප්‍රතිඵලයක් ඇතුවද?

30 පුරාණ කාලයේදී උස් ස්ථානයක පිහිටි කණුවකින් අදහස් කළේ “කොඩියක්” නැතහොත් සාමාන්‍ය ජනයා හෝ හමුදාවන් රැස් වන ස්ථානයක් යන්නයි. (සසඳන්න යෙසායා 18:3; යෙරෙමියා 51:27.) දැන් යෙහෝවාම මේ නිර්නාමික “මහත් ජාතිය” තම විනිශ්චය සඳහා රැස් කරන්ට යනවා. * ඔහු තම මෙල්ල කළ නොහැකි සෙනඟ ගොදුරක් වීමට වටින අය බව අඟවන ‘සංඥාවක්’ දෙන්ට යනවා. අනාගතවක්තෘවරයා ඊළඟට විස්තර කරන්නේ සිංහයන් බඳු ආක්‍රමණිකයන් ගෙනෙන්ට යන වේගවත් සහ බියකරු ආක්‍රමණය ගැනයි. ඔවුන් දෙවිගේ ජනයා වන “ගොදුර අල්ලා” වහල්භාවයට ‘සුරැකිව ගෙනයන්ට’ යනවා. (යෙසායා 5:27-30අ කියවන්න.) යෙහෝවාගේ සෙනඟගේ දේශයට පැමිණෙන්ට යන දුකක මහත! “දේශය දෙස යමෙක් බැලුවොත් අන්ධකාරයත් විපතත් පෙනෙයි, එහි වලාකුල්වල එළිය අඳුරුවී තිබේ.”—යෙසායා 5:30ආ.

31. යෙහෝවාගේ ඉශ්‍රායෙලීය මිදිවත්ත මත පැනවූ ආකාරයේ දඬුවමක් විඳීම වළක්වාගැනීමට සැබෑ ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

31 ඔව්, දෙවි එතරම් ආදරයෙන් හිටෙවූ මිදිවත්ත වඳ බව ඔප්පු වූ අතර, එය සුදුසු වූයේ විනාශයටයි. අදදින යෙහෝවාට සේවය කරන සියලුදෙනාටම යෙසායාගේ මේ වදන්වල ඇත්තේ මොනතරම් ප්‍රබල පාඩමක්ද! ඔවුන් යෙහෝවාගේ ප්‍රශංසාව සහ ඔවුන්ගේම ගැළවීම සඳහා ධර්මිෂ්ඨ ඵල පමණක්ම දරන්ට උත්සාහ කරත්වා!

[පාදසටහන්වල]

^ ගලින් තැනූ මුරකොටුවලට වඩා කූඩාරම් වැනි අඩු වියදම්, තාවකාලික ගොඩනැඟිලි පොදුවේ පැවති බව සමහර විශාරදයන් පවසනවා. (යෙසායා 1:8) තම “මිදිවත්ත” වෙනුවෙන් අයිතිකරුවා දැරූ අසාමාන්‍ය වෙහෙස මුරකොටුවක් තිබීමෙන් අඟවනවා.

^ යූදා දේශය මත ගෙනෙන යෙහෝවාගේ පාළු කරන විනිශ්චය සඳහා පාවිච්චි කරන ජාතිය බබිලෝනිය බව යෙසායා වෙනත් අනාවැකිවල පැහැදිලි කරනවා.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[83වන පිටුවේ පින්තූරය]

පව්කාරයෙකු පාපය හා බැඳී ඇත්තේ බර අදින හීලෑ සතෙකු කරත්තයකට බැඳ ඇති ආකාරයටයි

[85වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]