Skip to content

පටුනට යන්න

විපත්ති හමුවේ යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න

විපත්ති හමුවේ යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න

නවවන පරිච්ඡේදය

විපත්ති හමුවේ යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න

යෙසායා 7:1–8:18

1. යෙසායා හත්වන සහ අටවන පරිච්ඡේද පරීක්ෂා කර බැලීමෙන් අදදින සිටින ක්‍රිස්තියානීන් ප්‍රයෝජන ලබන්නේ මන්ද?

 යෙසායා හත්වන සහ අටවන පරිච්ඡේද එකිනෙකට වෙනස් ප්‍රතිචාර දෙකක් ගැන කතා කරනවා. යෙසායා සහ ආහාස් යන දෙදෙනාම යෙහෝවාට කැප වී සිටි ජාතියට අයත්ව සිටියා. දෙදෙනාටම දෙවිගෙන් ලද පැවරුම් තිබුණා. එක් කෙනෙක් අනාගතවක්තෘවරයෙක්. අනික් තැනැත්තා යූදාහි රජ. දෙදෙනාම එකම ආකාරයේ තර්ජනයකට එනම්, යූදාවරුන්ට වඩා බලවත් සතුරු ආක්‍රමණයක තර්ජනයට මුහුණ දුන්නා. එහිදී යෙසායා යෙහෝවා කෙරෙහි විශ්වාසයෙන් තර්ජනයට මුහුණ දුන්නත්, ආහාස් භය වී ඊට ගොදුරු වුණා. මෙවැනි දෙයාකාර ප්‍රතිචාරයකට හේතුව කුමක්ද? අදදින සිටින ක්‍රිස්තියානීන්ද සතුරු බලවේගවලින් වට වී සිටින නිසා යෙසායා පොතේ මේ පරිච්ඡේද දෙකෙන් ඉගෙනගත හැක්කේ මොනවාදැයි පරීක්ෂා කර බැලීම හොඳයි.

තීරණයක් ගැනීම

2, 3. යෙසායා තම ආරම්භක වචනවලින් සපයන සාරාංශය කුමක්ද?

2 චිත්‍ර ශිල්පියෙක් අලුත් පින්තූරයක් අඳින්ට පටන්ගනිද්දී මුලින්ම කරන්නේ ඒ පින්තූරයේ දළ සටහනක් ඇඳීමයි. ඒ හා සමානවම, තමන් කියන්ට යන සිදුවීම්වල සුල මුල යෙසායා මෙසේ විස්තර කරයි. “උස්සියාගේ පුත්‍රවූ යෝතාම්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ ආහාස්ගේ දවස්වලදී සිරියේ රජවූ රෙශීන්ද රෙමලියාගේ පුත්‍රවූ, ඉශ්‍රායෙල්හි රජවූ පෙකාද යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට ආවෝය; නුමුත් ජයගන්ට නොහැකි වූවෝය.”—යෙසායා 7:1.

3 එය පො.යු.පෙ. අටවන සියවසයි. ආහාස් ඔහුගේ පියා වූ යෝතාම්ගෙන් පසුව යූදාහි රජව සිටිනවා. සිරියාවේ රජ වූ රෙශීන් සහ ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයෙහි රජ වූ පෙකා ඉතා දරුණු අන්දමින් යූදා දේශය ආක්‍රමණය කරනවා. අවසානයේදී, ඔවුන් යෙරුසලමත් වටලන්ට හදනවා. කෙසේවෙතත්, වැටලීම අසාර්ථක වෙනවා. (2 රාජාවලිය 16:5, 6; 2 ලේකම් 28:5-8) ඒ ඇයි? අපි ඒ ගැන පසුව බලන්ට යනවා.

4. ආහාස්ගේ සහ ඔහුගේ සෙනඟගේ හෘද භයෙන් පිරී තිබුණේ මන්ද?

4 යුද්ධයේ මුල් අවධියේදී, “සිරියවරුන් එප්‍රායිම්හි සිටින බව දාවිත්ගේ වංශයට දන්වන ලද්දේය. එවිට රජුගේ සිතද ඔහුගේ සෙනගගේ සිතද වනයේ ගස් හුළඟට සෙලවෙන්නාක්මෙන් චංචලවුණේය.” (යෙසායා 7:2) ඔව්, සිරියවරුන් සහ ඉශ්‍රායෙල්වරුන් හවුලේ යුද්ධ කරන්ට යන බවත්, එප්‍රායිම් (ඉශ්‍රායෙල්) භූමියේ ඔවුන් දැනටමත් කඳවුරු බැඳගෙන සිටින බවත් ආහාස්ට මෙන්ම ඔහුගේ සෙනඟට දැනගන්ට ලැබුණු විට, එය ඔවුන් තුළ මහත් භීතියක් ජනිත කළා. ඒ සේනාව සිටින්නේ බොහොම අත ළඟ. යෙරුසලමේ සිට දවස් දෙක තුනක පා ගමනක දුරින්!

5. අදදින දෙවිගේ සෙනඟ යෙසායාව නියෝජනය කරන්නේ කිනම් ආකාරයෙන්ද?

5 යෙහෝවා යෙසායාට මෙසේ කියනවා. “නුඹ සහ නුඹේ පුත්‍රවූ ෂෙයාර්-යාෂුබ් ආහාස් සම්බවෙන්ට අපුල්ලන්නන්ගේ පිටියේ මාවතෙහි ඉහළ පොකුණේ කාණුවේ කෙළවරට [යන්න].” (යෙසායා 7:3) නිකමට සිතා බලන්න! රජ යෙහෝවාගේ අනාගතවක්තෘවරයාගෙන් විමසා ඔහුගෙන් මඟ පෙන්වීම ලැබිය යුතු මොහොතක, රජුව සොයාගෙන අනාගතවක්තෘවරයාට යන්ට සිද්ධ වෙනවා! එසේ වුණත්, යෙසායා කැමැත්තෙන්ම යෙහෝවාට කීකරු වුණා. අදත් ඒ වගේමයි. මේ ලෝකයේ ඇති පීඩන නිසා භයෙන් සිටින ජනයා සොයාගෙන දෙවිගේ සෙනඟ කැමැත්තෙන්ම ඔවුන් වෙතට යනවා. (මතෙව් 24:6, 14) මේ ශුභාරංචිය දේශනා කරන්නන්ගේ බැහැදැකීම්වලට ප්‍රතිචාරයක් හැටියට සෑම වසරකම සියදහස් ගණන් අය යෙහෝවාගේ රැකවරණය යටතට පැමිණීම මොනතරම් තෘප්තිකර දෙයක්ද!

6. (අ) අනාගතවක්තෘවරයා රජට දෙන්නේ කිනම් උණුසුම් පණිවිඩයක්ද? (ආ) අදදින පවතින තත්වය කුමක්ද?

6 ආහාස් රජ තම නුවරට ඉතා ඉක්මනින් සිදු වෙන්ට යන වැටලීමට සූදානම් වෙමින් සිටිනවා. යෙසායාට රජව මුණගැසෙන්නේ ඔහු නුවර ජල සැපයුම පරීක්ෂා කරමින් යෙරුසලමේ තාප්පයට එපිටින් සිටියදීයි. යෙසායා ඔහුට යෙහෝවාගේ පණිවිඩය දෙනවා. “නුඹ භය නොවී නිශ්චලව සිටින්ට බලාගන්න; දුම්නගින ඒ ගිනිපෙනෙලි දෙකෙළවරවූ රෙශීන් සහ සිරියවරුන්ගෙත් රෙමලියාගේ පුත්‍රයාගෙත් තද කෝපය නිසා නුඹේ සිත දුර්වල නොවේවා.” (යෙසායා 7:4) ආක්‍රමණිකයන් කලින් වතාවේ යූදා දේශය විනාශ කරද්දී, ඔවුන්ගේ කෝපය ගින්දර මෙන් සැරව තිබුණා. එහෙත් මේ වතාවේ ඔවුන් ‘දුම් නඟින ගිනිපෙනෙලි දෙකෙළවරක්’ වගෙයි. සිරියේ රජ වූ රෙශීන්ටවත් ඉශ්‍රායෙල්හි රජ වූ රෙමලියාගේ පුත්‍ර පෙකාටවත් භයවීමට ආහාස්ට අවශ්‍යතාවක් නැහැ. අදත් ඊට සමානයි. සියවස් ගණනාවක් පුරා, ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් සැබෑ ක්‍රිස්තියානීන්ව ගිනිමය පීඩාවන් යටතට ගෙනැවිත් තිබෙනවා. කෙසේවෙතත්, දැන් ක්‍රිස්තියානි ලෝකය හොඳටම පිලිස්සී ගිය ගිනිපෙනෙල්ලක් වගෙයි. ඇගේ දවස් ගණන් කර තිබෙනවා.

7. යෙසායාගේ මෙන්ම ඔහුගේ පුත්‍රයාගේ නාමයන් බලාපොරොත්තුව සඳහා හේතු සපයන්නේ කෙසේද?

7 ආහාස්ගේ දවසේදී, යෙසායාගේ පණිවිඩය පමණක් නොව ඔහුගේ සහ ඔහුගේ පුත්‍රයාගේ නාමවල අර්ථයත් යෙහෝවා මත විශ්වාසය තැබූ අයට බලාපොරොත්තුවක් ලබා දුන්නා. යූදා මරු කටේ සිටින බව ඇත්තයි. එහෙත්, යෙසායා කියන නමේ අර්ථය “යෙහෝවා දෙන ගැළවීම” යන්නයි. එය යෙහෝවා ඔවුන්ට ගැළවීම ලබා දෙන බවට ඇඟවීමක් වුණා. යෙසායාගේ පුත්‍ර වූ ෂෙයාර්-යාෂුබ්ගේ නමේ අර්ථය “කොටසක් පමණක් නැවත පැමිණෙයි” යන්නයි. ඔහුවත් ගෙන යෑමට යෙහෝවා යෙසායාට කීමෙන් ඇඟෙව්වේ, අන්තිමේදී යූදා රාජ්‍යය වැටුණට පසුව පවා, දයානුකම්පිත ලෙස දෙවි ඉතිරි කොටසක් දේශයට යළි පමුණුවන බවයි.

ජාතීන් අතර යුද්ධයකට වඩා වැඩි යමක්

8. යෙරුසලම ආක්‍රමණය කිරීම ජාතීන් අතර යුද්ධයකට වඩා වැඩි යමක් වුණේ මන්ද?

8 යූදාගේ සතුරන්ගේ යුධ උපක්‍රම යෙසායා මාර්ගයෙන් යෙහෝවා හෙළි කරනවා. ඔවුන් සැලසුම මෙයයි. “අපි යූදාට විරුද්ධව ගොස්, ඊට පීඩාකර, ඒක බිඳගන ඇතුළුවී, ඒ මැද ටාබෙයෙල්ගේ පුත්‍රයා රජකොට තබමු.” (යෙසායා 7:5, 6) සිරියානු-ඉශ්‍රායෙල් මිත්‍ර හමුදාවේ කුමන්ත්‍රණය නම් යූදාව පරාජය කර දාවිත්ගේ පුත්‍රයෙක් වන ආහාස් වෙනුවට, ඔවුන්ගේම මිනිහෙකුව පත් කරගැනීමයි. පැහැදිලිවම යෙරුසලම ආක්‍රමණය කිරීම ජාතීන් අතර පවතින යුද්ධයකට වඩා වැඩි යමක් වුණා. එය සාතන් සහ යෙහෝවා අතර පවතින අරගලයක් බවට පත් වුණා. ඊට හේතුව වුණේ, යෙහෝවාගේ සෙනඟව පාලනය කරන්නේ දාවිත්ගේ පුත්‍රයන් බව සහතික කරමින් යෙහෝවා දාවිත් රජ සමඟ කළ ගිවිසුමයි. (2 සාමුවෙල් 7:11, 16) යෙරුසලමේ සිංහාසනය මත වෙනත් රාජකීය වංශයක් පිහිටුවන්ට පුළුවන් නම් සාතන්ට එය මොනතරම් ජයග්‍රහණයක් වේවිද! ‘සමාදානයේ කුමාරයෙක්’ නොහොත් සදාකාලික උරුමක්කාරයෙක් බිහි කරන දාවිත්ගේ පෙළපත සම්බන්ධයෙන් යෙහෝවාගේ අරමුණ ඔහු අවුල් කරන්ටත් ඉඩ තිබෙනවා.—යෙසායා 9:6, 7.

යෙහෝවා ප්‍රේමනීයව සහතික කරන දේ

9. ආහාස්ට සහ අදදින සිටින ක්‍රිස්තියානීන්ට දිරිගැන්වීමක් සපයන්නේ කිනම් සහතිකයන්ද?

9 සිරියාවේ සහ ඉශ්‍රායෙලයේ කුමන්ත්‍රණය සාර්ථක වෙයිද! නැහැ. යෙහෝවා මෙසේ ප්‍රකාශ කරනවා. “ඒක ස්ථිර නොවන්නේය, සිද්ධ නොවන්නේය.” (යෙසායා 7:7) යෙරුසලම වැටලීම අසාර්ථක වන බව පමණක් නොව, “තව හැටපස් අවුරුද්දකින් එප්‍රායිම් සෙනගක්ව නොසිටින හැටියට සුනුවිසුණු කරනු [ලබන]” බවත් යෙසායා තුළින් යෙහෝවා කියා සිටිනවා. (යෙසායා 7:8) ඔව්, තව අවුරුදු 65කින් පසු ඉශ්‍රායෙලය සෙනඟක් හැටියට පවතින්ට යන්නේ නැහැ. * කාලය නිශ්චිත වශයෙන් සඳහන් කිරීමෙන් දුන් සහතිකය ආහාස්ට දිරිගැන්වීම ලබා දිය යුතුයි. ඒ හා සමානව, සාතන්ගේ ලෝකයට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක් බව දන්නා නිසා, අද සිටින දෙවිගේ සෙනඟ ශක්තිමත්ව සිටිනවා.

10. (අ) අද සිටින ක්‍රිස්තියානීන්ට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද? (ආ) යෙහෝවා ආහාස්ට කළ ඉදිරිපත් කිරීම කුමක්ද?

10 සමහරවිට ආහාස්ගේ මුහුණෙහි අවිශ්වාසයක් ලියැවී තිබෙන්ට ඇති. යෙසායා තුළින් යෙහෝවා මෙසේ කියන්නේ ඒ නිසයි. “නුඹලා විශ්වාස නොකරන්නහු නම් සැබවින්ම නුඹලා ස්ථිර නොවන්නහුය.” යෙහෝවා ඉවසිලිවන්තව ‘ආහාස්ට තවදුරටත් කතා කළා.’ (යෙසායා 7:9, 10) මොනතරම් කදිම ආදර්ශයක්ද! අදදින බොහෝදෙනෙක් රාජ්‍ය පණිවිඩයට ඇහුම්කන් දෙන්නේ නැති වුණත්, නැවත නැවත බැහැදකිමින් ‘තවදුරටත් කතා කිරීමෙන්’ අපි යෙහෝවාව අනුකරණය කළ යුතුයි. ඊළඟට ආහාස්ට යෙහෝවා මෙසේ කියනවා. “නුඹේ දෙවිවූ [යෙහෝවා] වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්න.” (යෙසායා 7:11) ආහාස්ට ලකුණක් ඉල්ලන්ට තිබුණා. යෙහෝවා එය ඉටු කරන්නේ දාවිත්ගේ වංශය රැකගන්නා බවට සහතික වීමක් වශයෙනුයි.

11. “නුඹේ දෙවි” යන යෙහෝවාගේ ප්‍රකාශයේ කිනම් සහතිකයක් තිබේද?

11 යෙහෝවා මෙසේ කිවූ බවත් සලකන්න. ‘නුඹේ දෙවි වූ යෙහෝවාගෙන් ලකුණක් ඉල්ලන්න.’ යෙහෝවා ඇත්තෙන්ම කරුණාවන්තයි. වාර්තාවේ සඳහන් ලෙස ආහාස් දැනටමත් බොරු දෙවිවරුන්ට නමස්කාර කරමින් සිටින අතර, පිළිකුල්සහගත මිථ්‍යා ආගමික පිළිවෙත්ද අනුගමනය කරමින් සිටිනවා. (2 රාජාවලිය 16:3, 4) ඒ කාරණය ඇතුළු ආහාස්ගේ බියගුලු ආකල්පයත් පැත්තකින් තියෙද්දී ආහාස්ගේ දෙවි හැටියට යෙහෝවා තමාව හඳුන්වා දෙනවා. යෙහෝවා මිනිසුන්ට කර්කශ ආකාරයෙන් සලකන්නේ නැති බවට මේ සිද්ධියෙන් අපිට සහතිකයක් දෙනවා. වැරදි කරන අය වෙතට නැතහොත් ඇදහිල්ල දුර්වල වී තිබෙන අය වෙතට ළඟා වෙන්ට ඔහු කැමතියි. එහෙත්, මේ සහතිකය යෙහෝවාගේ උපකාර පිළිගැනීමට ආහාස්ව පෙලඹුවාද?

සැකයේ සිට අකීකරුකම දක්වා

12. (අ) ආහාස් ආරූඪ කරගෙන සිටියේ කිනම් උඩඟු ආකල්පයක්ද? (ආ) යෙහෝවා දෙසට හැරෙනවා වෙනුවට, උපකාරය සඳහා ආහාස් ගියේ කා වෙතටද?

12 ආහාස් එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ කියනවා. “මම නොඉල්ලමි, [යෙහෝවා] පරීක්ෂා නොකරමි.” (යෙසායා 7:12) ‘ඔබේ දෙවි වූ යෙහෝවා පරීක්ෂා නොකරන්න’ යන ව්‍යවස්ථාවේ සඳහන් වචන ආහාස් මෙහිදී පිළිපදිමින් සිටියා නොවෙයි. (ද්විතීය කථාව 6:16) සියවස් කිහිපයකට පසු, සාතන් තමන්ව පරීක්ෂා කරද්දී යේසුස් ඒ කාරණය උපුටා දැක්වුවා. (මතෙව් 4:7) කෙසේවෙතත්, ආහාස් සම්බන්ධ සිද්ධියේදී, සැබෑ නමස්කාරය වෙත නැවත හැරෙන ලෙස යෙහෝවා ඔහුට ආරාධනා කරන අතර, ලකුණක් ඉටු කිරීමෙන් ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට ඉදිරිපත් වෙනවා. එහෙත්, වෙනත් ආකාරයේ උදව් ලබාගැනීමටයි ආහාස් කැමති වෙන්නේ. රජ අෂූරියට විශාල මුදල් කන්දරාවක් යවන්නේ පෙනෙන විදිහට මේ අවස්ථාවේදියි. ඒ ඔහුගේ උතුරු දෙසින් පැමිණෙන සතුරන්ට විරුද්ධව උදව් බලාපොරොත්තුවෙන්. (2 රාජාවලිය 16:7, 8) මේ අතරවාරයේ, සිරියානු-ඉශ්‍රායෙල් හමුදාව යෙරුසලම වට කරගෙන සිටිනවා.

13. යෙසායා 7 දහතුන්වන පදයේ අපි දකින වෙනස කුමක්ද? එහි කාවද්දන්නේ කුමක්ද?

13 රජගේ ඇදහිල්ල මදිකම හිතේ තියාගෙන යෙසායා මෙසේ කියනවා. “එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසන්න; නුඹලා මාගේ [දෙවි] වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද?” (යෙසායා 7:13) ඔව්, නිරන්තර විරෝධය හමුවේ යෙහෝවා වෙහෙසට පත් විය හැකියි. එමෙන්ම දැන් අනාගතවක්තෘවරයා “නුඹේ දෙවි” නොව “මාගේ දෙවි” කියා අමතන බවද සලකන්න. විපත්තියක පෙරනිමිත්තක්! ආහාස් යෙහෝවාව ප්‍රතික්ෂේප කර අෂූරිය වෙත හැරෙද්දී, දෙවි සමඟ හොඳ සම්බන්ධයක් යළි ඇති කරගැනීමට තිබූ අනගි ප්‍රස්තාව ඔහු වෙතින් ගිලිහී ගියා. තාවකාලික වාසි ලබාගැනීමේ පරමාර්ථයෙන් අපේ ශුද්ධ ලියවිලිමය විශ්වාසයන් පාවා දී, දෙවි සමඟ තිබෙන අපගේ සම්බන්ධය කිසිදාක පූජා නොකිරීමට වගබලා ගනිමු.

එම්මානුවෙල් පිළිබඳ ලකුණ

14. යෙහෝවා දාවිත් සමඟ කළ ගිවිසුමට විශ්වාසවන්තභාවය පෙන්වූයේ කෙසේද?

14 යෙහෝවා දාවිත් සමඟ කළ ගිවිසුමට දිගටම විශ්වාසවන්තව ඇලී සිටිනවා. ලකුණක් දෙන බවට ඔහු ප්‍රකාශ කළා. එමනිසා එය නිසැකවම දෙනු ලබනවා! යෙසායා දිගටම මෙසේ කියනවා. “[ස්වාමීන්ම] නුඹලාට ලකුණක් [දෙන්නේය]; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. ඔහු නපුර එපාකොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය. මක්නිසාද දරුවා නපුර එපාකොට යහපත තෝරාගැනීම දැනගන්ට පළමුවෙන් නුඹ භයවෙන රජවරුන් දෙදෙනාගේ දේශය අත්හරිනු ලබන්නේය.”—යෙසායා 7:14-16.

15. එම්මානුවෙල් පිළිබඳ අනාවැකිය කිනම් ප්‍රශ්න දෙකට පිළිතුරු සපයයිද?

15 ආක්‍රමණිකයන් විසින් දාවිත්ගේ රජ පෙළපතට අවසානයක් ගෙනෙයි කියා භය වන ඕනෑම කෙනෙකුට මෙන්න ශුභාරංචියක්! “එම්මානුවෙල්” යන වචනයෙහි අර්ථය ‘දෙවි අප සමඟය’ යන්නයි. දෙවි යූදා සමඟ සිටින අතර, දාවිත් සමඟ පිහිටුවාගෙන තිබූ ගිවිසුම සෙලවෙන්ට ඔහු ඉඩ දෙන්නේ නැහැ. ඊට අමතරව, යෙහෝවා කරන්ට යන්නේ මොනවාද කියා පමණක් නොව එසේ කරන්නේ කවදාද කියාත් ආහාස්ට සහ ඔහුගේ සෙනඟට කිව්වා. එම්මානුවෙල් නමැති පිරිමි දරුවා හොඳ නරක දෙකේ වෙනස තේරෙන වයසට එන්ට කලින්, සතුරු හමුදාවන් විනාශ වෙන්ට යනවා. මෙය සැබෑ බව ඔප්පු වුණා!

16. ආහාස්ගේ දවසේ එම්මානුවෙල්ගේ අනන්‍යතාව යෙහෝවා පැහැදිලිව දකින්ට නොසැලැස්සුවේ කුමක් නිසා විය හැකිද?

16 එම්මානුවෙල් කියන්නේ කාගේ පුත්‍රයාදැයි බයිබලය කියන්නේ නැහැ. එහෙත්, මේ ළදරු එම්මානුවෙල් ලකුණක් හැටියට කටයුතු කරනවා. යෙසායා පසුව සඳහන් කරන්නේ තමාත් තමාගේ දරුවනුත් ‘ලකුණු හැටියට’ කටයුතු කරන්ට යනවා කියායි. එමනිසා එම්මානුවෙල් කියන්නේ අනාගතවක්තෘවරයාගේ පුතෙක් විය හැකියි. (යෙසායා 8:18) පසු පරම්පරාවලට උතුම් එම්මානුවෙල්ගේ අනන්‍යතාව අවුල් නොකිරීම සඳහා සමහරවිට ආහාස්ගේ දවසේ එම්මානුවෙල්ගේ අනන්‍යතාව යෙහෝවා පැහැදිලි නොකර සිටින්ට ඇති. ඇත්තෙන්ම, උතුම් එම්මානුවෙල් කවුද?

17. (අ) උතුම් එම්මානුවෙල් කවුද? ඔහුගේ උපත අඟවන්නේ කුමක්ද? (ආ) ‘දෙවි අප සමඟ’ නිසා, දෙවිගේ සෙනඟට අදදින මහත් හඬින් කිව හැක්කේ මන්ද?

17 යෙසායාගේ පොතට අමතරව බයිබලයේ එම්මානුවෙල් යන නාමය සඳහන් වන්නේ තව එක තැනක පමණයි. ඒ මතෙව් 1:22, 23හිය. එම්මානුවෙල්ගේ උපත පිළිබඳ අනාවැකිය, දාවිත්ගේ සිංහාසනයේ නියම උරුමක්කාරයා වන යේසුස්ගේ උපතට අදාළ කරන්ට යෙහෝවා මතෙව්ට ආනුභාවය දුන්නා. (මතෙව් 1:18-23) මුල් එම්මානුවෙල්ගේ උපත, දෙවි දාවිත්ගේ ගෘහය නොසලකා හැර නැති බව පෙන්වීමට ලකුණක් වුණා. ඒ හා සමානව, උතුම් එම්මානුවෙල් වන යේසුස්ගේ උපත දෙවි මනුෂ්‍යවර්ගයාව පමණක් නොව දාවිත්ගේ ගෘහය සමඟ කළ රාජ්‍ය ගිවිසුමත් නොසලකා හැර නැති බවට ලකුණක් වුණා. (ලූක් 1:31-33) මනුෂ්‍යවර්ගයා අතරේ සිටි යෙහෝවාගේ ප්‍රධානම නියෝජිතයා සම්බන්ධයෙන් මතෙව්ට ‘දෙවි අප සමඟයි’ කියා සැබෑවටම කීමට හැකි වුණා. අද යේසුස් රජෙක් ලෙස ස්වර්ගයේ සිට පාලනය කරන අතර පොළොව මත තිබෙන සභාව සමඟ සිටිනවා. (මතෙව් 28:20) මේ නිසා ‘දෙවි අප සමඟයි’ කියා නිර්භීතව මහත් හඬින් කියන්ට දෙවිගේ සෙනඟට හොඳ හේතු තිබෙන බව නිසැකයි!

නොඇදහිලිකාරකමේ තවත් ඵලවිපාක

18. (අ) යෙසායාගේ ඊළඟ වචන ඔහුට සවන්දෙන්නන් තුළ ත්‍රාසයක් ඇති කරන්නේ මන්ද? (ආ) ඉතා ඉක්මනින් සිදුවීමට යන්නේ කිනම් වෙනස්කම්ද?

18 යෙසායාගේ ඉහත වචන සහනදායී වුණත්, ඊළඟ වචන ඔහුට ඇහුම්කන් දෙන්නන් තුළ මහත් භීතියක් ඇති කළා. “එප්‍රායිම් යූදාගෙන් වෙන්වුණ කාලයේ පටන් නොවූ විධියේ දවස් අෂූර්හි රජු කරණකොටගෙන [යෙහෝවා] නුඹ පිටටත් නුඹේ සෙනග පිටටත් නුඹේ පිය වංශය පිටටත් [පමුණුවන්නේය].” (යෙසායා 7:17) ඔව්, අෂූරියේ රජු අතින් විපත්තිය පැමිණෙනවා. ආහාස් සහ ඔහුගේ සෙනඟ ගත කළ බොහෝ නිදිවර්ජිත රාත්‍රිවලට හේතුව මේ අතිකෲර අෂූරීය ආධිපත්‍යයට භයවීම විය හැකියි. අෂූරිය සමඟ මිත්‍රවීම මගින් ඉශ්‍රායෙලයේ සහ සිරියාවේ බලපෑමෙන් සහනයක් ලබාගත හැකි වෙයි කියා ආහාස් සිතුවත් එය හරියට ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වුණා. ඇත්තෙන්ම, අෂූරියේ රජු අන්තිමේදී ඉශ්‍රායෙලය සහ සිරියාව ආක්‍රමණය කිරීමෙන් ආහාස්ගේ ආයාචනයට ප්‍රතිචාරය දැක්වුවා. (2 රාජාවලිය 16:9) පෙකාට සහ රෙශීන්ට යෙරුසලම වැටලීම නතර කිරීමට පාදක වූ හේතුව මෙය විය හැකියි. මෙසේ, යෙරුසලම අත් පත් කරගැනීමට සිරියානු-ඉශ්‍රායෙල් මිත්‍ර හමුදාවට හැකි වූයේ නැහැ. (යෙසායා 7:1) කෙසේවෙතත්, ඔවුන් බලාපොරොත්තු තැබූ ආරක්ෂකයා ඔවුන්ගේ විරුද්ධකාරයා බවට පත් වන බව යෙසායා ජනයාට පැවසූ විට ඔවුන් මහත් සේ කැලඹීමට පත් වෙනවා.—හිතෝපදේශ 29:25 සසඳන්න.

19. අදදින සිටින ක්‍රිස්තියානීන්ට මේ ඓතිහාසික නාටකයෙහි ඇති අනතුරු ඇඟවීම කුමක්ද?

19 අදදින සිටින ක්‍රිස්තියානීන්ට මේ සැබෑ ඉතිහාස වාර්තාව තුළ අනතුරු ඇඟවීමක් ගැබ් වී තිබෙනවා. පීඩනය යටතේ සිටින විට ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පාවා දීමට අපි පෙලඹිය හැකියි. එවිට යෙහෝවා දෙන ආරක්ෂාව අපි ප්‍රතික්ෂේප කරනවා. එසේ කිරීම අදූරදර්ශී දෙයක්. එය සියදිවි හානි කරගැනීමක් හා සමාන බව යෙසායාගේ මීළඟ වචනවලින් පැහැදිලි වෙනවා. අෂූරියේ ආක්‍රමණය මගින් දේශයටත් සෙනඟටත් සිදු වෙන්ට යන්නේ කුමක්ද කියා අනාගතවක්තෘවරයා තවදුරටත් විස්තර කරනවා.

20. “මැස්සන්” සහ “මීමැස්සන්” කවුද? ඔවුන් කරන්නේ කුමක්ද?

20 යෙසායා තම ප්‍රකාශය කොටස් හතරකට බෙදනවා. ඒ සෑම පුරෝකථනයක්ම “ඒ දවසෙහි” එනම්, අෂූරිය යූදා ආක්‍රමණය කරන දවසේදී සිදු වන්ට යන දේ සඳහන් කරනවා. “ඒ දවසෙහි, [යෙහෝවා] මිසරයේ ගංගාවල් අසබඩ ඉන්න මැස්සන්ටත් අෂූර් දේශයෙහි ඉන්න මීමැස්සන්ටත් සංඥාකර හඬගසාගන්නවා ඇත. උන් සියල්ලෝම ඇවිත්, පාළු මිටියාවත්වලද පර්වත විවරවලද සියලු කටු ගස්වලද සෑම ගොදුරු බිම්වලද රඳන්නෝය.” (යෙසායා 7:18, 19) මිසරයේ සහ අෂූරියේ හමුදා, මැසි සහ මීමැසි පොදි මෙන් රංචු පිටින් ඇවිත් පොරොන්දු දේශය වෙතට අවධානය යොමු කරනවා. මෙය කෙටි කාලීන වැටලීමක් නෙවෙයි. “මැස්සන්” සහ “මීමැස්සන්” එහි රැඳෙන්ට යනවා. මෙලෙස එහි සෑම බිම් අඟලක් අඟලක් පාසාම උන් පිරෙන්ට යනවා.

21. අෂූරියේ රජ දැළි පිහියක් වන්නේ කිනම් ආකාරයෙන්ද?

21 යෙසායා තවදුරටත් මෙසේ කියනවා. “ඒ දවසෙහි [යෙහෝවා] ගංගාවට එගොඩින් කුලියට ගත් දැළිපිහිය වන අෂූර්හි රජු ලවා හිසේද පාදවලද කේශ කපාදමනවා [බූගා දමනවා, NW] ඇත. රැවුලත් එයින් සිඳදමනු ලබන්නේය.” (යෙසායා 7:20) දැන් සඳහන් කර තිබෙන්නේ ප්‍රධාන තර්ජනය වන අෂූරිය ගැන පමණයි. සිරියාවේ සහ ඉශ්‍රායෙලයේ ‘කේශ කපා දමන්ට’ ආහාස් අෂූරියේ රජුව කුලියට ගන්නවා. කෙසේවෙතත්, යුප්‍රටීස් ගංගා ප්‍රදේශයෙන් එන “කුලියට ගත් දැළිපිහිය” යූදාටත් එරෙහි වී එහිද ‘හිස’ බූගා දමනවා පමණක් නොව, රැවුලද කපා දමන්ට යනවා!

22. අෂූරිය ඉක්මනින් සිදු කරන වැටලීමේ ඵලවිපාක පෙන්වීමට යෙසායා යොදාගන්නා උදාහරණ මොනවාද?

22 ප්‍රතිඵලය කුමක් වේවිද? “ඒ දවසෙහි මනුෂ්‍යයෙක් තරුණ එළදෙනකුත් බැටළුවන් දෙන්නෙකුත් තබාගන, උන් දෙන කිරි බොහෝ නිසා දීකිරි කන්නේය. මක්නිසාද දේශයෙහි ඉතුරු වෙන සියල්ලෝම දීකිරි සහ මීපැණිත් කන්නෝය.” (යෙසායා 7:21, 22) දේශය අෂූරියයන් විසින් “බූගා දමන” කාලය පැමිණි විට, ඉතිරි වෙන්ට යන්නේ ඉතා සුළු ජන පිරිසක් වන අතර, ආහාර අවශ්‍ය කරන්නේ සතුන් කිහිපදෙනෙකුට පමණයි. ඔවුන් “දීකිරි සහ මීපැණි” කෑමට ගනු ලබන අතර, වෙන කිසි දෙයක් එනම් මුද්‍රිකපාන, රොටි හෝ වෙන කිසිම ප්‍රධාන ආහාරයක් තිබෙන්ට යන්නේ නැහැ. දේශය ඵලදායීව තිබූ බවත් එය දැන් කටු ගස්ද ගොකටුද ඇති තැනක් බවත් තුන් වතාවක්ම කීමෙන් පාළු කිරීමේ බරපතළකම කාවද්දනවා. කටුගස් අතරේ රැක සිටින වන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා කඳුකරයේ ඇවිදින තැනැත්තා “ඊගස්ද දුනුද ඇතුව යා යුතු” වුණා. ගොවිතැන සඳහා එළි පෙහෙළි කර තිබූ බිම් දැන් ගවයන් සහ බැටළුවන් ගැවසෙන පාළු බිම් බවට පත් වෙනවා. (යෙසායා 7:23-25) මේ අනාවැකිය ආහාස්ගේ ජීවිත කාලය තුළදීම ඉටු වෙන්ට පටන්ගත්තා.—2 ලේකම් 28:20.

නිශ්චිත පුරෝකථන

23. (අ) යෙසායාට දැන් අණ කරන්නේ කුමක් කරන්ටද? (ආ) ලෑල්ල පිළිබඳ ලකුණ තහවුරු කළේ කෙසේද?

23 යෙසායා දැන් පවතින හදිසි තත්වයට නැවතත් අවධානය යොමු කරනවා. යෙරුසලම සිරියානු-ඉශ්‍රායෙල් මිත්‍ර හමුදාවන් විසින් වටලා තිබෙද්දීම යෙසායා මෙසේ වාර්තා කරනවා. “[යෙහෝවා] මට කථාකොට: නුඹ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි එහි ලියන්න. මමද විශ්වාස සාක්ෂිකාරයින් වන උරියා පූජකයාත් යෙබෙරෙකියාගේ පුත්‍රවූ සෙකරියාත් සාක්ෂියට ගන්නෙමියි [කීවේය].” (යෙසායා 8:1, 2) මහෙර්-ෂාලාල්-හාෂ්-බස් යන්නෙහි තේරුම “කොල්ලය ඉක්මන් කරන්න! කොල්ලකෑමට ඔහු ඉක්මනින් පැමිණ තිබේ” යනුයි. ප්‍රජාවේ සිටි පිළිගත් මනුෂ්‍යයන් දෙදෙනෙකුට විශාල ලෑල්ලක් මත තමා ලියන්ට යන දෙයට සාක්ෂි දරන්න කියා යෙසායා පවසන්නේ, පසු කාලයක මේ ලියවිල්ලේ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහායි. කෙසේවෙතත්, මේ ලකුණ තවත් ලකුණකින් තහවුරු කිරීමට නියමිතයි.

24. මහෙර්-ෂාලාල්-හාෂ්-බස් පිළිබඳ ලකුණ යූදා සෙනඟ මත කුමන බලපෑමක් ඇති කළ යුතුද?

24 යෙසායා මෙසේ කියනවා. “මම අනාගතවක්ත්‍රිය කරා ගියෙමි; ඈ ගර්භිණීව පුත්‍රයෙකු වැදුවාය. එවිට [යෙහෝවා] මට කථාකොට: ඔහුට මහෙර්-ෂාලාල්-හාෂ්-බස් යන නම තබන්න. මක්නිසාද: තාත්තේ, අම්මේ කියා හඬගසන්ට දරුවා දැනගන්ට පළමුවෙන් දමස්කයේ වස්තුවත් සමාරියේ කොල්ලයත් අෂූර්හි රජු ඉදිරියට ගෙනයනු ලබන්නේයයි [කීවේය].” (යෙසායා 8:3, 4) විශාල ලෑල්ලත් අලුත උපන් පිරිමි දරුවාත් අෂූරිය විසින් යූදාහි විරුද්ධකාර සිරියාව සහ ඉශ්‍රායෙලය ආක්‍රමණය කරන බවට ලකුණු ලෙස කටයුතු කළා. එය කොපමණ ඉක්මනින් සිදු වෙන්ට යනවාද? කුඩා දරුවන් බොහෝවිට කියන්ට ඉගෙනගන්නා මුල්ම වචන වන “අම්මේ” “තාත්තේ” කියන්ටත් පළමුවෙන්. එවැනි නිශ්චිත පුරෝකථනයක් එක්කො සෙනඟ තුළ යෙහෝවා කෙරෙහි ඇදහිල්ලක් ගොඩනැංවිය යුතුයි. එහෙම නැත්නම් යෙසායාවත් ඔහුගේ පුත්‍රයන්වත් ඔවුන් විසින් ලැජ්ජාවට පත් කළ යුතුයි. මින් කුමක් සිදු වුවත්, යෙසායාගේ අනාවැකිමය වචන සැබෑ වුණා.—2 රාජාවලිය 17:1-6.

25. යෙසායාගේ දවස් සහ වර්තමාන දවස් අතර ඇති සමානකම් මොනවාද?

25 යෙසායා පුන පුනා පවසන අනතුරු ඇඟවීම්වලින් අද සිටින ක්‍රිස්තියානීන්ට යමක් ඉගෙනගන්ට පුළුවන්. මේ ඓතිහාසික නාටකයේ යෙසායාගෙන් යේසුස් ක්‍රිස්තුස්වත්, යෙසායාගේ පුත්‍රයන්ගෙන් යේසුස්ගේ ආලේප ලත් ගෝලයන්වත් සංකේතවත් කරන බව ප්‍රේරිත පාවුල් අපිට හෙළි කළා. (හෙබ්‍රෙව් 2:10-13) යේසුස් මේ පොළොව මත සිටින තම ආලේප ලත් අනුගාමිකයන් තුළින් මේ දුෂ්කර කාලවලදී “අවදිව” සිටීමේ අවශ්‍යතාව සැබෑ ක්‍රිස්තියානීන්ට මතක් කර දෙමින් සිටිනවා. (ලූක් 21:34-36) මේ අතරම, පැමිණෙන්නාවූ විනාශය සම්බන්ධ පණිවිඩය මාර්ගයෙන් පසුතැවිලි නොවන විරුද්ධකාරයන්ට අනතුරු අඟවනවා. එහෙත් බොහෝවිට ඔවුන් ඒවා පාච්චලයට ලක් කරනවා. (2 පේතෘස් 3:3, 4) යෙසායාගේ දවසේදී නිශ්චිත කාලපරිච්ඡේදයක් සඳහන් කළ අනාවැකිවල ඉටුවීම, අපේ දවසේදීත් දෙවිගේ කාලසටහනට අනුව “පසු නොබැස පැමිණෙන” බවට සහතිකයක්.—හබක්කුක් 2:3.

පාළු කරන “ජලය”

26, 27. (අ) යෙසායා පුරෝකථනය කරන්නේ කිනම් සිදුවීම්ද? (ආ) අදදින සිටින යෙහෝවාගේ සෙනඟට යෙසායාගේ වචනවලින් අඟවන්නේ කුමක්ද?

26 යෙසායා තම අනතුරු ඇඟවීම දිගටම කරගෙන යනවා. “මේ සෙනග හෙමින් බැස යන්නාවූ ෂිලොවාහි ජලය එපාකොට රෙශීන්ද රෙමලියාගේ පුත්‍රයාද කෙරෙහි ප්‍රීතිවන බැවින්, බලව, [යෙහෝවා] අෂූර්හි රජද ඔහුගේ මුළු තේජසද වන ගංගාවේ බලවත්වූ බොහෝවූ ජලයන් ඔවුන් පිටට [පමුණුවන්නේය.] ඒක එහි සියලු පාරවලින් පිටතට පැමිණ, එහි සියලු ඉවුරු උඩින් ගලා ඇවිත්, යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇත.”—යෙසායා 8:5-8.

27 “මේ සෙනග” එනම් ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යය දෙවි දාවිත් සමඟ කළ ගිවිසුම ප්‍රතික්ෂේප කරනවා. (2 රාජාවලිය 17:16-18) යෙහෝවාගේ ගිවිසුම ඔවුන්ට ෂිලොවෙන් පටන්ගෙන ගලා බසින යෙරුසලමේ ජල සැපයුම තරම්ම දුර්වල මන්දගාමී එකක්. යූදාට එරෙහිව ඔවුන් දියත් කළ යුද්ධය ගැන ඔවුන් මහත් සේ ප්‍රීති වෙනවා. එහෙත් මේ පිළිකුල්සහගත ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුන් දඬුවම් නොලබා සිටින්ට යන්නේ නැහැ. සිරියාව සහ ඉශ්‍රායෙලය පාගා දැමීමට හෝ ඔවුන් ‘පිටට පැමිණීමට’ යෙහෝවා අෂූරියයන්ට ඉඩහැරියා. එය වර්තමාන ලෝකයේ තිබෙන දේශපාලනික කොටස් විසින් ඉතා ඉක්මනින් බොරු ආගමික සංවිධාන පාගා දැමීමට බොහෝදුරට සමානයි. (එළිදරව් 17:16; සසඳන්න දානියෙල් 9:26.) මීළඟට යෙසායා කියන්නේ, වැඩි වන “ජල” කඳ “යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම” එනම් යූදාහි හිස (රජ) පාලනය කරන යෙරුසලම දක්වාම නඟින්ට යන බවයි. * අපගේ කාලයේදී බොරු ආගමික පීඩාකාරයන් යෙහෝවාගේ සේවකයන්ගේ “බෙල්ල දක්වාම” වට කර ආක්‍රමණය කරන්ට බලා සිටිනවා. (එසකියෙල් 38:2, 10-16) එහි ප්‍රතිඵලය කුමක්ද? යෙසායාගේ කාලයේදී සිදු වන්නේ කුමක්ද? අෂූරියයන් නුවර තාප්ප හරහා පැමිණ දෙවිගේ සෙනඟව අතුගා දැමුවාද? නැහැ. දෙවි ඔවුන් සමඟයි.

භය නොවන්න—‘දෙවි අප සමඟයි’

28. සතුරන්ගේ ප්‍රබල වෑයම් හමුවේ, යෙහෝවා යූදාට සහතික වන්නේ කුමක්ද?

28 යෙසායා මෙසේ අනතුරු අඟවනවා. “ජනයෙනි [දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟට විරුද්ධව සිටින්නෙනි], ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය. නුඹලා එක්ව [ඥාන බලය යොදා] මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද [දෙවි] අප සමග [සිටින්නේය].” (යෙසායා 8:9, 10) අවුරුදු ගණනාවකට පසුව, එනම් ආහාස්ගේ ඇදහිලිවන්ත පුත් හෙසකියාගේ කාලයේදී එම වචන සැබෑ වුණා. අෂූරියයන් යෙරුසලමට විරුද්ධව තර්ජනය කළ විට, යෙහෝවාගේ දූතයෙක් ඔවුන්ගෙන් 1,85,000දෙනෙකුව මරා දැමුවා. පැහැදිලිවම දෙවි සිටින්නේ ඔහුගේ සෙනඟ සමඟ පමණක් නොව දාවිත්ගේ රාජකීය පෙළපතද සමඟයි. (යෙසායා 37:33-37) පැමිණෙන්නාවූ අර්මගෙදොන් යුද්ධය අතරතුරේදී යෙහෝවා උතුම් එම්මානුවෙල්ව එවන්ට යන්නේ තම සතුරන්ව කැබලි කර දමන්ට පමණක් නොව, ඔහු කෙරෙහි ඇදහිල්ල පවත්වන සියලුදෙනාවම ගළවාගැනීමටයි.—ගීතාවලිය 2:2, 9, 12.

29. (අ) ආහාස්ගේ කාලයේ සිටි යුදෙව්වන් හෙසකියාගේ කාලයේ සිටි යුදෙව්වන්ට වඩා වෙනස් වන්නේ කෙසේද? (ආ) අදදින සිටින යෙහෝවාගේ සේවකයන් ආගමික සහ දේශපාලන මිත්‍රත්වයන් ඇති කරගැනීමෙන් වළකින්නේ මන්ද?

29 හෙසකියාගේ කාලයේ සිටි යුදෙව්වන් මෙන් නොව, ආහාස්ගේ සමකාලීනයන් යෙහෝවා සැපයූ ආරක්ෂාව කෙරෙහි ඇදහිල්ලේ ඌනතාවක් පෙන්නුවා. ඔවුන් සිරියානු-ඉශ්‍රායෙල් මිත්‍ර හමුදාවට විරුද්ධව සිටීමට අෂූරියයන් සමඟ ශක්තිමත් ආරක්ෂිත පවුරක් සාදාගැනීමට සමඟි සන්ධානයකට නැතහොත් “කුමන්ත්‍රණයකට” කැමති වුණා. කෙසේවෙතත්, “මේ සෙනගගේ මාර්ගයෙහි” නැතහොත් ජනප්‍රිය විලාසිතාව පිටුපස නොයන පිණිස, ඊට විරුද්ධව මෙසේ කියන්ට යෙහෝවාගේ “හස්තය” යෙසායාව පෙලඹුවා. ඔහු මෙසේ අනතුරු අඟවනවා. “මේ සෙනග විසින් ද්‍රෝහිකාරකමය කියන සියල්ලට නුඹලා ද්‍රෝහිකාරකමයයි නොකියන්න; ඔවුන් භයවන දේට භයනොවෙන්න, තැති නොගන්න. සේනාවල [යෙහෝවාම] ශුද්ධයයි සලකන්න; නුඹලා භයවෙන්ටත් තැතිගන්ටත් ඕනෑ [ඔහු] ඉදිරියෙහි පමණක්ය.” (යෙසායා 8:11-13) මෙය මනසේ තබාගෙන අද සිටින යෙහෝවාගේ සේවකයන් ආගමික සහ දේශපාලනික මිත්‍රත්වයන් ඇති කරගැනීමෙන් හෝ ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමෙන් වළකින්ට යනවා. තමන්ව ආරක්ෂා කිරීමට යෙහෝවාට ඇති බලය කෙරෙහි යෙහෝවාගේ සේවකයන්ට පූර්ණ විශ්වාසයක් තිබෙනවා. ඇත්තෙන්ම, ‘යෙහෝවා අපේ පක්ෂයේ නම්, මනුෂ්‍යයාට අපට කළ හැක්කේ කුමක්ද?’—ගීතාවලිය 118:6.

30. යෙහෝවා කෙරෙහි විශ්වාසය නොතබන අයගේ ඉරණම කුමක්ද?

30 යෙහෝවා “ශුද්ධස්ථානයක්” බව එනම් ඔහු කෙරෙහි විශ්වාස කරන අයට ගැළවීමක් දෙන බව යෙසායා නැවත නැවතත් කියා සිටිනවා. ඊට වෙනස්ව ඔහුව ප්‍රතික්ෂේප කරන අය ‘බාධාවීමටත්, පැකිලීමටත්, උගුලකට හසුවීමටත්, මලපතකට වැටීමටත්, අසුවීමටත්’ නියමිතයි. යෙහෝවා කෙරෙහි විශ්වාස නොකරන අයගේ ඉරණම ගැන කිසිම සැකයක් නොතැබීමට පැහැදිලි වචන පහක් මෙහි පාවිච්චි කර තිබෙනවා. (යෙසායා 8:14, 15) මුල් සියවසේදී, යේසුස්ව ප්‍රතික්ෂේප කළ අය පැකිලී වැටුණා. (ලූක් 20:17, 18) අදත්, සිංහාසනාරූඪ ස්වර්ගීය රජ වන යේසුස් කෙරෙහි පක්ෂපාතකම දැක්වීමට අපොහොසත් වන අයට ඒ හා සමානම ප්‍රතිඵලයක් බලා සිටිය හැකියි.—ගීතාවලිය 2:5-9.

31. අදදින සිටින ක්‍රිස්තියානීන්ට යෙසායාගේ සහ ඔහුගේ ඉගැන්වීම්වලට ඇහුම්කන් දෙන අයගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද?

31 යෙසායාගේ දවසේදී සියලුදෙනාම පැකිලෙන්නේ නැහැ. යෙසායා මෙසේ කියනවා. “නුඹ සාක්ෂිය බැඳ, ව්‍යවස්ථාව මුද්‍රාකර, මාගේ ගෝලයන් අතරේ තබන්නැයි [කීවේය]. මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න [යෙහෝවා] ගැන බලාසිට, [ඔහු] ගැන බලාපොරොත්තුවන්නෙමි.” (යෙසායා 8:16, 17) යෙසායාව පමණක් නොව ඔහුගේ ඉගැන්වීම්ද පිළිගන්න අය දෙවිගේ ව්‍යවස්ථාව හෙළා දකින්නේ නැහැ. එහෙත් ඔවුන් සමඟ සිටින අඥාන සෙසු ජනයා යෙහෝවාව විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරනවා. යෙහෝවා ඔවුන් කෙරෙන් තම මුහුණ සඟවාගනිද්දී දෙවිගේ ජනයා යෙහෝවා කෙරෙහි දිගටම විශ්වාසයෙන් සිටිනවා. අපිත් යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන, නිර්මල නමස්කාරයට ඇලී සිටීමට ඒ හා සමාන අධිෂ්ඨානයකින් සිටින අයගේ ආදර්ශය අනුකරණය කරමු.—දානියෙල් 12:4, 9; මතෙව් 24:45; සසඳන්න හෙබ්‍රෙව් 6:11, 12.

“ලකුණු” සහ “පුදුම”

32. (අ) අදදින “ලකුණුද පුදුමද” ලෙස ක්‍රියා කරන්නේ කවුද? (ආ) ක්‍රිස්තියානීන් ලෝකයෙන් වෙන්ව නැඟී සිටිය යුත්තේ මන්ද?

32 යෙසායා දැන් මෙසේ ප්‍රකාශ කරනවා. “බලව, මමද [යෙහෝවා] මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල [යෙහෝවා] කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.” (යෙසායා 8:18) ඔව්, යෙසායා, ෂෙයාර්-යාෂුබ් සහ මහෙර්-ෂාලාල්-හාෂ්-බස් යූදා වෙනුවෙන් යෙහෝවාගේ ලකුණුයි. ඒ ආකාරයටම අදදින, යේසුස් සහ ඔහුගේ ආලේප ලත් සහෝදරයනුත් ලකුණු හැටියට කටයුතු කරනවා. (හෙබ්‍රෙව් 2:11-13) එමෙන්ම ඔවුන්ගේ මේ වැඩය කිරීම සඳහා ‘වෙනත් බැටළුවන්ගේ මහත් සමූහය’ ඔවුන් හා එක්ව සිටිනවා. (යොහන් 10:16; එළිදරව් 7:9, 14) ඇත්තවශයෙන්ම ලකුණක් වඩා වටින්නේ වටපිටාවට වෙනස්ව කැපීපෙනුණොත් පමණයි. ඒ හා සමානව, මේ ලෝකයෙන් වෙනස්ව නැඟී සිටිමින්, යෙහෝවා කෙරෙහි තමන්ගේ පූර්ණ විශ්වාසය තබමින් සහ ඔහුගේ අරමුණු නිර්භීතව ප්‍රකාශ කරමින්, ක්‍රිස්තියානීන් ලකුණු හැටියට තම මෙහෙය ඉටු කරනවා.

33. (අ) සැබෑ ක්‍රිස්තියානීන් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින්නේ කුමක්ද? (ආ) සැබෑ ක්‍රිස්තියානීන්ට ස්ථිරව සිටීමට හැකිව තිබෙන්නේ මන්ද?

33 ඒ නිසා, අපිද ලෝකයේ ප්‍රමිති නොව දෙවිගේ ප්‍රමිති පවත්වමු. “කරුණාවේ අවුරුද්ද සහ අපේ [දෙවිගේ] පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ට” වූ උතුම් යෙසායා වන යේසුස් ක්‍රිස්තුස්ට දුන් මෙහෙය ඉදිරියට ගෙනයමින් ලකුණු මෙන් නිර්භයව දිගටම නැඟී සිටිමු. (යෙසායා 61:1, 2; ලූක් 4:17-21) ඇත්තෙන්ම, අෂූරියේ හමුදාව නමැති ජල කඳ පොළොව හරහා ගලා යන විට, එය අපේ බෙල්ල උසටම ළඟා වුණත්, සැබෑ ක්‍රිස්තියානීන්ව ගසාගෙන යන්නේ නැහැ. එසේ අපි ස්ථිරව නැඟී සිටින්ට යන්නේ ‘දෙවි අප සමඟ’ නිසයි.

[පාදසටහන්වල]

^ මේ අනාවැකියේ ඉටුවීම ගැන වැඩිමනත් තොරතුරු සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්) පොතේ පළමුවන වෙළුමේ 62වන සහ 758වන පිටු බලන්න.

^ “නුඹේ දේශය මුළුල්ලම පිරෙන” පියාපත් විහිදාගත් කුරුල්ලෙකුට අෂූරිය සමාන කර තිබෙනවා. මෙයින් පෙනෙන්නේ දේශය කොපමණ දුර පැතිර තිබුණත් අෂූරියේ හමුදාව විසින් එය වසාගන්නා බවයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[103වන පිටුවේ පින්තූරය]

ආහාස්ට යෙහෝවාගේ පණිවිඩය දෙද්දී යෙසායා ෂෙයාර්-යාෂුබ් සමඟ ගියා

[111වන පිටුවේ පින්තූරය]

යෙසායා විශාල ලෑල්ලක “මහෙර්-ෂාලාල්-හාෂ්-බස්” කියා ලිව්වේ ඇයි?