Skip to content

පටුනට යන්න

සමාදානයේ කුමාරයෙක් පිළිබඳ පොරොන්දුව

සමාදානයේ කුමාරයෙක් පිළිබඳ පොරොන්දුව

දහවන පරිච්ඡේදය

සමාදානයේ කුමාරයෙක් පිළිබඳ පොරොන්දුව

යෙසායා 8:19–9:7

1. කායින්ගේ දවසේ පටන් මනුෂ්‍යවර්ගයා අද්දකිමින් සිට ඇත්තේ කුමක්ද?

 දැනට අවුරුදු හයදහසකට පමණ පෙර පළමු බිළිඳා මෙලොව එළිය දුටුවා. ඔහු නමින් කායින් වූ අතර ඔහුගේ උපත සුවිශේෂ සිද්ධියක් වුණා. ඔහුගේ දෙමාපියන් සහ දේවදූතයන් තියා මැවුම්කරුවාවත් මින් පෙර මිනිස් බිළිඳෙකු ඉපදෙනවා දැක තිබුණේ නැහැ. දඬුවමට නියමව සිටි මිනිස් ජාතිය මත බලාපොරොත්තුව ගෙනෙන්ට මේ අලුත උපන් බිළිඳාට හැකිව තිබුණා. එහෙත් ඔහු උස් මහත් වූ පසු මිනිමරුවෙක් බවට පත්වීම මොනතරම් බලාපොරොත්තු සුන්වීමක් වුණාද! (1 යොහන් 3:12) එතැන් සිට මනුෂ්‍යවර්ගයා වෙනත් අසංඛ්‍යාත මිනිමැරුම්වලට වගකිව යුතුව තිබෙනවා. වැරදි කිරීමටම නැඹුරුවාවක් තිබෙන මනුෂ්‍යයන්ට අන් අය සමඟවත් දෙවි සමඟවත් සමාදානයෙන් සිටින්ට බැහැ.—උත්පත්ති 6:5; යෙසායා 48:22.

2, 3. යේසුස් ක්‍රිස්තුස් විසින් විවෘත කර තිබෙන අපේක්ෂාවන් මොනවාද? එවැනි ආශීර්වාද ලබාගැනීමට අප කුමක් කළ යුතුද?

2 කායින් ඉපදී අවුරුදු හාරදහසකට පමණ පසු තවත් බිළිඳෙක් මෙලොව එළිය දුටුවා. ඔහු නමින් යේසුස් වූ අතර ඔහුගේ උපතද ඉතා සුවිශේෂ එකක් වුණා. ඔහු ඉපදුණේ ශුද්ධාත්ම බලය තුළින් කන්‍යාවකගෙන්. ඉතිහාසයේ ඒ ආකාරයට සිදු වූ මුල්ම දරු උපත එයයි. ඔහු උපන් දවසේදී ඉමහත් ප්‍රීතියට පත් අතිවිශාල දේවදූත සේනාවක් දෙවිට ප්‍රශංසා ගීතිකා ගායනා කළේ මේ ආකාරයටයි. ‘ඉතා උසස්තැන්හි දෙවිට මහිමයද පොළොවෙහි ඔහුට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා.’ (ලූක් 2:13, 14) යේසුස් මිනීමරුවෙක් බවට පත් වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු මිනිසුන්ට දෙවි සමඟ සමාදාන වීමට සහ සදාකාල ජීවනය ලබාගැනීමට මාර්ගය විවෘත කළා.—යොහන් 3:16; 1 කොරින්ති 15:55.

3 යේසුස්ව “සමාදානයේ කුමාරයා” ලෙස හඳුන්වන්න යන බවට යෙසායා අනාවැකි පළ කළා. (යෙසායා 9:6) ඔහු මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තම ජීවිතය පුද කිරීමෙන් තම පාපයට සමාව ලබාගැනීමට මිනිසුන්ට හැකි කරවා තිබෙනවා. (යෙසායා 53:11) යේසුස් ක්‍රිස්තුස් මත ඇදහිල්ල තැබීමෙන් අදදින දෙවි සමඟ සමාදානය භුක්ති විඳිය හැකි අතර පාපවලටද සමාව ලබාගත හැකියි. එහෙත් එවන් ආශීර්වාද ස්වයංක්‍රීයව ලැබෙන්නේ නැහැ. (කොලොස්සි 1:21-23) එය අවශ්‍ය කරන අය යෙහෝවා දෙවිට කීකරු වීමට ඉගෙනගත යුතුයි. (1 පේතෘස් 3:11; සසඳන්න හෙබ්‍රෙව් 5:8, 9.) යෙසායාගේ දවසේදී, ඉශ්‍රායෙල් සහ යූදා කළේ හරියටම ඊට විරුද්ධ දෙයයි.

භූතයන් වෙත හැරෙමින්

4, 5. යෙසායාගේ දවසේදී දේශයේ පැවති තත්වය කුමක්ද? සමහරුන් හැරෙන්නේ කා වෙතටද?

4 අකීකරුකම නිසා යෙසායාගේ සමකාලීනයන් පහත් සදාචාර තත්වයකට එනම් නියම ආත්මික අඳුරු ආගාධයකට වැටී සිටිනවා. දෙවිගේ මාළිගාව පිහිටා තිබෙන යූදාහි දකුණු රාජ්‍යයේ පවා සමාදානයක් නැහැ. ඔවුන්ගේ අභක්තිකකමේ ප්‍රතිඵලයක් හැටියට, යූදාහි සෙනඟ අෂූරියයන්ගේ වැටලීමේ තර්ජනයට ලක්ව සිටින නිසා ඉදිරියේදී දුෂ්කර කාලයක් අද්දකින්ට යනවා. උපකාරය සඳහා ඔවුන් හැරෙන්නේ කා දෙසටද? කනගාටුදායක ලෙස බොහෝදෙනෙක් යෙහෝවා වෙතට හැරෙනවා වෙනුවට සාතන් දෙසට හැරෙනවා. ඔවුන් සාතන් යන නමින්ම උපකාර ඉල්ලා සිටින්නේ නැහැ. ඒ වෙනුවට, පුරාණයේ සාවුල් රජ මෙන් ඔවුන් භූතවාදයේ යෙදෙමින් මළවුන් සමඟ කතා කිරීමට උත්සාහ කරමින් ඔවුන්ගේ ගැටලුවලට පිළිතුරු ඒ තුළින් බලාපොරොත්තු වෙනවා.—1 සාමුවෙල් 28:1-20.

5 සමහරුන් මේ ක්‍රියාවට තම අනුබලය පවා දෙමින් සිටිනවා. එවැනි ඇදහිල්ල අත්හැර යෑමක් පිළිබඳව යෙසායා මෙසේ පෙන්නුම් කරනවා. “ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි නුඹලාට කියන විට, සෙනගක් විසින් ස්වකීය [දෙවිගෙන්] විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුද?” (යෙසායා 8:19) ‘කෙඳිරිගාමින් තොල් මතුරමින්’ මිනිසුන්ව රවටන්න ආත්ම විෂයේ සිටින අයට හැකියි. එවැනි හඬවල් මළවුන්ගේම ඒවා බව අඟවමින් වෙනත් කෙනෙකු ලවා කතා කරවන්ටද ඔවුන්ට හැකියි. කෙසේවෙතත්, පෙනෙන විදිහට සාවුල් ඒන්දොර්හි යක්දෙස්සියගෙන් විමසද්දී සිදු වුණා සේ භූතයන් කෙළින්ම සම්බන්ධ වී මැරුණු පුද්ගලයාගේ චරිතය රඟපාන අවස්ථාද තිබෙනවා.—1 සාමුවෙල් 28:8-19.

6. ආත්ම බන්ධන ක්‍රියාවල සරණ පැතූ ඉශ්‍රායෙල්වරුන් විශේෂයෙන්ම දෝෂාරෝපණයට ලක් වන්නේ ඇයි?

6 මේ සෑම දෙයක්ම යූදාහි සිදු වෙමින් තිබුණේ ආත්ම බන්ධන ක්‍රියා යෙහෝවා විසින් තහනම් කර තිබෙද්දීයි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ එය මරණ දණ්ඩනය නියම වන දෙයක්. (ලෙවී කථාව 19:31; 20:6, 27; ද්විතීය කථාව 18:9-12) යෙහෝවාගේ අසහාය වස්තුව වන මේ සෙනඟ මෙතරම් බරපතළ වරදක් කරන්නේ ඇයි? ඒ ඔවුන් යෙහෝවාගේ ව්‍යවස්ථාව සහ උපදෙස් ප්‍රතික්ෂේප කර ‘පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි වී’ සිටින නිසයි. (හෙබ්‍රෙව් 3:13) ‘නොදැනෙන තරමට ඔවුන්ගේ හෘදය තෙල මෙන් තරව’ තිබුණා පමණක් නොව ඔවුන්ගේ දෙවිගෙන් ඔවුන් විදේශීව සිටියා.—ගීතාවලිය 119:70, NW. *

7. අදදින සිටින බොහෝදෙනෙක් යෙසායාගේ දවසේ සිටි ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ව අනුගමනය කරන්නේ කෙසේද?

7 ‘අෂූරියේ හමුදාව අපිව ආක්‍රමණය කරන්ට ඔන්න මෙන්න කියල තියෙද්දී මොන ව්‍යවස්ථාවක්ද’ කියා සමහරවිට ඔවුන් සිතන්ට ඇති. ඔවුන් සිටි තත්වයෙන් ගොඩ එන්ට ක්ෂණික සහ පහසු විසඳුමක් ඔවුන්ට අවශ්‍ය කළා මිසක, යෙහෝවාගේ ක්‍රමයට දේවල් සිදු වන තුරු බලා ඉන්ට ඔවුන් කැමති වුණේ නැහැ. අපගේ දවසේ පවා, බොහෝදෙනෙක් යෙහෝවාගේ ව්‍යවස්ථාව නොසලකා හරිනවා. ඔවුන් ආත්ම බන්ධන ක්‍රම සොයා යනවා. කේන්දර බලනවා. ගැටලු විසඳාගැනීම සඳහා විවිධාකාර ගුප්ත ක්‍රියාවන්ගේ සරණ පතනවා. කෙසේවෙතත්, ජීවත් වන අය ගැන මළවුන්ගෙන් විමසීම එදා මෙන්ම අදත් මෝඩ ක්‍රියාවක්. එවැනි ක්‍රියාවල පසුතැවිලි නොවී යෙදෙන්නා වූ අයගේ අනාගතය, ‘මිනීමරන්නන්ගේත්, වේශ්‍යාකම්කරන්නන්ගේත්, රූපවඳින්නන්ගේත්, සියලු බොරුකාරයන්ගේත්’ අනාගතයට සමාන වෙන්ට යනවා. ජීවිතය සඳහා ඔවුන්ට කිසිම අනාගත බලාපොරොත්තුවක් තිබෙන්ට යන්නේ නැහැ.—එළිදරව් 21:8.

දෙවිගේ ‘ව්‍යවස්ථාව සහ සාක්ෂිය’

8. මඟ පෙන්වීම සඳහා අප අද යා යුතු “ව්‍යවස්ථාව” සහ “සාක්ෂිය” කුමක්ද?

8 ආත්ම බන්ධන තහනම් කළ ව්‍යවස්ථාව සහ යෙහෝවාගේ අනිකුත් ආඥා යූදාහි සඟවා තබා නැහැ. එය ලියවිලිවල සුරැකී තිබෙනවා. අදදිනත් දෙවිගේ වචනය සම්පූර්ණ පොතක් ආකාරයට අපට තිබෙනවා. ඒ බයිබලයයි. එහි දිව්‍ය නීති රෙගුලාසි ගොනු කර තිබෙනවා පමණක් නොව තම සෙනඟ සමඟ දෙවි කටයුතු කළ ආකාරය ගැන වාර්තාවද එහි අඩංගු වෙනවා. යෙහෝවාගේ කටයුතු පිළිබඳ මේ බයිබල් වාර්තා සාක්ෂියක් නැතහොත් සහතිකයක් ලබා දෙන අතර යෙහෝවාගේ පෞද්ගලිකත්වය සහ ගුණාංග අපට උගන්වනවා. මළවුන්ගෙන් විමසනවා වෙනුවට මඟ පෙන්වීම ලබාගැනීම සඳහා ඉශ්‍රායෙල්වරුන් යා යුත්තේ කුමක් වෙතටද? “ව්‍යවස්ථාවද සාක්ෂියද වෙතට” කියා යෙසායා පිළිතුරු දෙනවා. (යෙසායා 8:20අ) ඔව්, සෑබෑ ඥානාලෝකය අවශ්‍ය අය දෙවිගේ ලිඛිත වචනය වෙත යොමු විය යුතුයි.

9. පසුතැවිලි නොවන පව්කාරයන් විටින් විට බයිබලයෙන් උපුටා දැක්වීමෙන් ඵලක් තිබෙනවාද?

9 ආත්ම බන්ධන ක්‍රියාවල තරමක් දුරට හවුල් වූ සමහර ඉශ්‍රායෙල්වරුන් දෙවිගේ ලිඛිත වචනයට ගරු කරන බව කියා සිටිනවා විය හැකියි. එහෙත් ඒ කීම් හිස් මෙන්ම වංකයි. යෙසායා මෙසේ කියනවා. “ඒ වචනයේ හැටියට ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන්වීමක් නැත.” (යෙසායා 8:20ආ) යෙසායා මෙහිදී යොමු දක්වන්නේ මොන වචනයටද? ඒ සමහරවිට ‘ව්‍යවස්ථාව සහ සාක්ෂිය’ විය හැකියි. අදදින සිටින ඇදහිල්ල හැර ගිය අය සහ වෙනත් අය ශුද්ධ ලියවිල්ලෙන් උපුටා දැක්වීම් කරන්නාක් මෙන් ඇදහිල්ල හැර ගිය සමහර ඉශ්‍රායෙල්වරුන්ද දෙවිගේ වචනයෙන් උපුටා දැක්වීම් කළා. එහෙත් ඒවා වචනයට පමණක්ම සීමා වුණා. යෙහෝවාගේ කැමැත්ත කරන්නේ සහ අපවිත්‍ර පුරුදු ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ශුද්ධ ලියවිල්ලෙන් උපුටාගැනීම ‘පහන් වීමකට’ නැතහොත් යෙහෝවාගෙන් ඥානාලෝකය ලැබීමට මඟ පාදන්නේ නැහැ. *

“හානියක්, එනම් කෑම හානියක්”

10. යෙහෝවාව ප්‍රතික්ෂේප කිරීම නිසා යූදා සෙනඟ දුක් විඳින්නේ කෙසේද?

10 යෙහෝවාට අකීකරු වීමේ ප්‍රතිඵලය මානසික අන්ධකාරයයි. (එපීස 4:17, 18) ආත්මික ආකාරයකට, යූදාහි සිටි ජනයා අවබෝධයෙන් තොරව අන්ධ වී සිටියා. (1 කොරින්ති 2:14) යෙසායා ඔවුන්ගේ තත්වය මෙසේ විස්තර කරනවා. “ඔව්හු අමාරුවට වැටී, බඩගිනිව, රටෙහි ඔබ මොබ යන්නෝය.” (යෙසායා 8:21අ) විශේෂයෙන්ම ආහාස් රජුගේ පාලන සමයේදී ජාතියේ නොඇදහිලිකාරකම නිසා, ස්වාධීන රාජ්‍යයක් හැටියට යූදාගේ පැවැත්ම තර්ජනයට ලක් වී තිබුණා. ජාතිය සතුරන් විසින් වට කර තිබුණා. අෂූරිය හමුදාව යූදා නගරයක් නගරයක් පාසා පහර දෙනවා. කෑම හිඟයක් ඇති කරමින් සතුරන් සරු බිම් පාළු කරනවා. බොහෝදෙනෙක් “අමාරුවට වැටී, බඩගිනිව” සිටිනවා. එහෙත් තවත් ආකාරයක කුසගින්නක් දේශයට පහර දෙනවා. දශක ගණනාවකට පෙර ආමොස් මෙසේ අනාවැකි පළ කළා. “බලව, හානියක් [සාගතයක්, NW], එනම් කෑම හානියක්වත් [සාගතයක්වත්, NW] වතුර පිපාසායක්වත් නොව [යෙහෝවාගේ] වචන ඇසීමේ හානියක් [සාගතයක්, NW], මා විසින් දේශයට එවන දවස් පැමිණෙන්නේය.” (ආමොස් 8:11) දැන් යූදා හරියටම එවැනි ආකාරයක ආත්මික පහර කෑමකට ලක් වෙමින් සිටිනවා!

11. යූදා ලබන හික්මවීමෙන් ඇය පාඩමක් ඉගෙනගනීද?

11 යූදා පාඩමක් ඉගෙනගෙන යෙහෝවා වෙතට නැවත හැරෙයිද? ඇගේ සෙනඟ භූතවාදයෙන් සහ රූප නමස්කාරයෙන් ඉවත්ව ‘ව්‍යවස්ථාව සහ සාක්ෂිය වෙතට’ යළි පැමිණේවිද? ඔවුන්ගේ ප්‍රතිචාරය යෙහෝවා කල්තියාම දකින්නේ මෙසේයි. “ඔවුන්ට බඩගිනිවන විට තරහවී, තමුන්ගේ රජුටද තමුන්ගේ [දෙවිටද] දෙස් කියා උඩ බලන්නෝය.” (යෙසායා 8:21ආ) ඔව්, මේ තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් බොහෝදෙනෙක් ඔවුන්ගේ රජුට දොස් කියාවි. සමහරුන් ඔවුන්ට පැමිණි විපත්ති නිසා අඥාන ලෙස යෙහෝවාට පවා දොස් කියාවි. (යෙරෙමියා 44:15-18 සසඳන්න.) අදදිනත් බොහෝදෙනෙක් ප්‍රතිචාරය දක්වන්නේ ඊට සමාන ආකාරයකටයි. ඔවුන් මිනිස් දුෂ්ටකම හේතුවෙන් සිදු වී තිබෙන විපත්තිවලට දෙවිට දොස් කියනවා.

12. (අ) යූදා දෙවිගෙන් ඉවත්ව යෑමේ ප්‍රතිඵලය කුමක් වීද? (ආ) කිනම් වැදගත් ප්‍රශ්න පැනනඟීද?

12 දෙවිට දොස් කීමෙන් යූදාට සාමයක් අත් වෙයිද? නැහැ. යෙසායා මෙසේ පුරෝකථනය කරනවා. “ඔව්හු පොළොව දෙසත් බලන්නෝය, එහි විපතද අන්ධකාරයද ශෝකයේ අඳුරද තිබේ.” (යෙසායා 8:22) අහස දෙස බලා ඔවුන් දෙවිට දොස් කීවාට පසු, ඔවුන් දැන් පොළොව දෙස එනම් ඔවුන්ගේ සුන් වූ අපේක්ෂා වෙත නෙත් යොමනවා. දෙවිගෙන් ඔවුන් ඉවත් වී යෑම ඔවුන්ව විපත්තියට මඟ පෑදුවා. (හිතෝපදේශ 19:3) කෙසේවෙතත්, දෙවි ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට දුන් පොරොන්දු ගැන කුමක් කිව හැකිද? (උත්පත්ති 22:15-18; 28:14, 15) යෙහෝවා ඒවා නොසලකා හරීවිද? යූදාට සහ දාවිත්ට පොරොන්දු වූ රාජකීය පෙළපත අෂූරිය හෝ වෙනත් යුධ බලයක් විසින් නිමාවකට පත් කරයිද? (උත්පත්ති 49:8-10; 2 සාමුවෙල් 7:11-16) ඉශ්‍රායෙල්වරුන්ව සදහටම අන්ධකාරයේ තබාවිද?

‘පහත් කොට සැලකූ’ දේශයක්

13. “ජාතීන්ගේ ගලීලය” කුමක්ද? එමෙන්ම එය ‘පහත් කොට සලකන්නේ’ කෙසේද?

13 ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් මතට පැමිණීමට යන දරුණුම ආකාරයේ විනාශය ගැන දැන් යෙසායා වක්‍රාකාරයෙන් මෙසේ පවසනවා. ‘ඔව්හු ඝනාන්ධකාරයට පන්නනු ලබන්නෝය. එහෙත් තද වේදනාවෙන් සිටියාවූ ඈට අඳුරක් නොවන්නේය. පළමු කාලයේදී ඔහු සාබුලොන් රටද නප්තලී රටද පහත් කොට සැලකුවේය, නුමුත් අන්තිම කාලයේදී [පසු කාලයේදී, NW] ඔහු යොර්දාන් අසබඩ මුහුදු පළාත වූ ජාතීන්ගේ ගලීලය මහිමතාවට [ගෞරවයට, NW] පැමිණෙව්වේය.’ (යෙසායා 9:1) ගලීලය ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයට අයත් ප්‍රදේශයක්. යෙසායාගේ අනාවැකියෙහි “සාබුලොන් රටද නප්තලී රටද” එමෙන්ම පුරාණ කාලයේ ගලීල මුහුදු ප්‍රදේශයේ සිට මධ්‍යධරණී මුහුද දක්වා දිව ගිය ‘මුහුද අසබඩ පාරද’ ඇතුළත් කර තිබෙනවා. යෙසායාගේ දවසේදී එම ප්‍රදේශය හැඳින්වූයේ “ජාතීන්ගේ ගලීලය” කියායි. ඒ බොහෝවිට එහි නගර ඉශ්‍රායෙල් නොවන්නන්ගෙන් ජනාවාස වී තිබූ නිසයි. * මේ දේශය ‘පහත් කොට සලකන්නේ’ කෙසේද? මිථ්‍යා දෘෂ්ටික අෂූරියයන් එය පරාජය කරනවා. ඉශ්‍රායෙල්වරුන්ව වහල්භාවයට ගෙන යනවා. එමෙන්ම, ආබ්‍රහම්ගේ වංශයෙන් නොවන අයගෙන් මුළු දේශයම ජනාවාස වෙනවා. මෙසේ අද්විතීය ජාතියක්ව සිටි උතුරු රාජ්‍යයේ ගෝත්‍ර දසය ඉතිහාසයෙන් මැකී යාවි!—2 රාජාවලිය 17:5, 6, 18, 23, 24.

14. යූදාහි ‘ඝනාන්ධකාරය’ ගෝත්‍ර දසයේ එකට වඩා අඩු වන්නේ කිනම් අර්ථයෙන්ද?

14 යූදා දේශයද අෂූරියයන් නිසා පීඩනයට ලක් වී තිබෙනවා. සාබුලොන් සහ නප්තලී රටවලින් නියෝජනය කළ ගෝත්‍ර දසයේ රාජ්‍යයට වුණාක් මෙන් මෙයත් ‘ඝනාන්ධකාරයට’ පත් කරනු ලබයිද? නැහැ. ‘පසු කාලයකදී,’ යූදාහි දකුණු රාජ්‍යය තිබෙන ප්‍රදේශයට පමණක් නොව කලින් උතුරු රාජ්‍යය මගින් පාලනය කළ ප්‍රදේශයටද ආශීර්වාද ගෙනෙන්ට යනවා. ඒ කෙසේද?

15, 16. (අ) ‘සාබුලොන් රටේද නප්තලී රටේද තත්වය’ ‘පසු කාලයකදී’ වෙනස් වන්නේ කෙසේද? (ආ) පහත් කරනු ලැබූ දේශය ගෞරවයට පත් කරන්නේ කෙසේද?

15 යේසුස්ගේ භූමික දේවසේවය ගැන ප්‍රේරිත මතෙව් දේවානුභාවයෙන් ලියූ තම වාර්තාවෙහි මේ ප්‍රශ්නයට උත්තර දෙනවා. එම දේවසේවයේ මුල් දවස් ගැන මතෙව් මෙසේ විස්තර කරනවා. “[යේසුස්] නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි [වාසය කළේය]. මෙසේ කළේ—යොර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලොන් රටද නප්තලී රටද වන අන්‍ය ජාතීන්ගේ ගලීලයෙහි, අන්ධකාරයෙහි හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය, මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට ආලෝකය උදාවූයේයයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.”—මතෙව් 4:13-16.

16 යෙසායා විසින් පුරෝකථනය කළ ‘පසු කාලයකදී’ යන්න යොමු දක්වන්නේ ක්‍රිස්තුස්ගේ භූමික දේවසේවා කාලයටයි. යේසුස් තම භූමික ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ගලීලයේයි. තම දේවසේවය ආරම්භ කර “ස්වර්ගරාජ්‍යය ළංවී තිබේ” කියා ප්‍රකාශ කරන්ට පටන්ගත්තේ ගලීල ප්‍රදේශයේදීයි. (මතෙව් 4:17) ගලීලයේදී ඔහු තම ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව ඉදිරිපත් කළා. තම ප්‍රේරිතයන්ව තෝරාගත්තා. මුල්ම ප්‍රාතිහාර්යය සිදු කළා. එමෙන්ම තම නැවත නැඟිටීම අනුගාමිකයන් 500දෙනෙකුට පෙනෙන්ට සැලැස්වුවා. (මතෙව් 5:1–7:27; 28:16-20; මාර්ක් 3:13, 14; යොහන් 2:8-11; 1 කොරින්ති 15:6) මේ ආකාරයට “සාබුලොන් රටද නප්තලී රටද” ගෞරවයට පත් කිරීමෙන් යේසුස් යෙසායාගේ අනාවැකිය ඉටු කළා. ඇත්තවශයෙන්ම යේසුස් තම දේවසේවය ගලීලයේ මිනිසුන්ට පමණක් සීමා කළේ නැහැ. දේශය පුරාම ශුභාරංචිය දේශනා කිරීමෙන් යූදා දේශය ඇතුළු මුළු ඉශ්‍රායෙල් ජාතියවම යේසුස් ‘ගෞරවයට පැමිණෙව්වා.’

“මහත් ආලෝකය”

17. ගලීලයේ “මහත් ආලෝකයක්” බබළන්නේ කෙසේද?

17 කෙසේවෙතත්, ගලීලයේ තිබෙන “මහත් ආලෝකයක්” කියා මතෙව් කියන්නේ කුමකටද? මෙයත් යෙසායාගේ අනාවැකියෙන් උපුටාගැනීමක්. යෙසායා මෙසේ ලියනවා. “අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් බැබළුණේය.” (යෙසායා 9:2) පොදු යුගයේ පළමු සියවස වන විට, මිථ්‍යාව හේතුවෙන් සත්‍යයේ ආලෝකය සැඟවී තිබුණා. යුදෙව් ආගමික නායකයන් මේ ගැටලුව තවත් වැඩි කර තිබුණේ “[දෙවිගේ] වචනය අවලංගු” කර ඔවුන්ගේ ආගමික පිළිවෙත්වලට ඇලී සිටීමෙනුයි. (මතෙව් 15:6) නිහතමානි අයව පාගා දමනු ලැබූ අතර, ‘අන්ධ වූ මඟපෙන්වන්නන්’ නිසා ඔවුන් ව්‍යාකූල වී සිටියා. (මතෙව් 23:2-4, 16) මෙසියස් වන යේසුස් පැමිණි විට, නිහතමානී බොහෝදෙනාගේ ඇස් පුදුමාකාර අන්දමින් ඇරුණා. (යොහන් 1:9, 12) පොළොව මත සිටියදී යේසුස්ගේ වැඩයත් ඔහුගේ පූජාවේ ප්‍රතිඵලයක් හැටියට පැමිණි ආශීර්වාදත් “මහත් ආලෝකයක්” ලෙස උචිත අයුරින් යෙසායාගේ අනාවැකිය තුළ පැහැදිලි කරනවා.—යොහන් 8:12.

18, 19. ආලෝකයට ප්‍රතිචාරය දැක්වූ අයට මහත් ප්‍රීතියක් ලබන්ට තිබූ හේතු මොනවාද?

18 ආලෝකයට ප්‍රතිචාරය දැක්වූ අයට ප්‍රීතිවීම සඳහා බොහෝ හේතු තිබුණා. යෙසායා මෙසේ කියනවා. “ඔබ ජාතිය [වැඩි කළේය], ඔබ ඔවුන්ගේ ප්‍රීතිය [වර්ධනය කළේය]. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.” (යෙසායා 9:3) යේසුස්ගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ දේශනා වැඩයේ ප්‍රතිඵලයක් හැටියට අවංක හෘද ඇති අය යෙහෝවාට ආත්මයෙන් සහ සැබෑකමින් නමස්කාර කිරීමට කැමති බව පෙන්නුවා. (යොහන් 4:24) අවුරුදු හතරකට වඩා අඩු කාලයකදී, බොහෝදෙනා ක්‍රිස්තියානි ධර්මය වැලඳගත්තා. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී තුන්දහසක් බව්තීස්ම වුණා. ඉන් ටික කාලයකට පසුව, “ඒ මනුෂ්‍යයන්ගේ ගණන පන්දහසක් පමණ” වුණා. (ක්‍රියා 2:41, 4:4) ගෝලයන් එම ආලෝකය ජ්වලිත ලෙස බබළවද්දී, “ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.”—ක්‍රියා 6:7.

19 බහුල අස්වැන්නක් නිසා ප්‍රීති වෙන අය නැතහොත් මහත් යුධ ජයග්‍රහණයකින් පසු වටිනා කොල්ලයක් බෙදාගන්නා විට සතුටු වෙන අය වගේ, යේසුස්ගේ අනුගාමිකයන් වර්ධනය ගැන ප්‍රීතියෙන් ඉපිල ගියා. (ක්‍රියා 2:46, 47) කාලයාගේ ඇවෑමෙන් යෙහෝවා ජාතීන් අතරේ ආලෝකය බබළන්ට සැලැස්සුවා. (ක්‍රියා 14:27) යෙහෝවා වෙත ළඟා විය හැකි මාර්ගය තමන්ට ඇරී තිබෙන නිසා සෑම වර්ගයකටම අයත් ජනයා ප්‍රීති වුණා.—ක්‍රියා 13:48.

“මිදියන්හි දවසේදී මෙන්”

20. (අ) මිදියන්වරුන් ඉශ්‍රායෙල්වරුන්ගේ සතුරන් බවට පත් වුණේ කිනම් ආකාරවලින්ද? ඔවුන් කළ තර්ජනවලට යෙහෝවා අවසානයක් ගෙනාවේ කෙසේද? (ආ) අනාගත ‘මිදියන්හි දවසකදී’ දෙවිගේ සෙනඟගේ සතුරන් කරන තර්ජනවලට යේසුස් අවසානයක් ගෙනෙන්නේ කෙසේද?

20 යෙසායාගේ ඊළඟ වචනවලින් අප දකින ආකාරයට මෙසියස්ගේ ක්‍රියාවල බලපෑම සදාකාලිකයි. “ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් [ඔබ කඩා දැමුවේය].” (යෙසායා 9:4) යෙසායාගේ දවසට සියවස් ගණනාවකට කලින් ඉශ්‍රායෙල්වරුන්ව පාපයට පොලඹවාගැනීමට මිදියන්වරුන් මෝවබ්වරුන් සමඟ කුමන්ත්‍රණය කළා. (ගණන් කථාව 25:1-9, 14-18; 31:15, 16) පසුව, මිදියන්වරුන් ඉශ්‍රායෙල්වරුන්ගේ ගම් සහ ගොවිපොළවල් වටලා කොල්ල කෑමෙන් අවුරුදු හතක් පුරා ඔවුන්ව ත්‍රාසයට පත් කළා. (විනිශ්චයකාරයන් 6:1-6) එහෙත් යෙහෝවා තම සේවකයා වන ගිඩියොන් තුළින් මිදියන් හමුදා විනාශ කර දැමුවා. එම ‘මිදියන්හි දවසෙන්’ පසු යෙහෝවාගේ සෙනඟ මිදියන්වරුන්ගේ අතින් පීඩාවට ලක් වූ බවට සාක්ෂි නැහැ. (විනිශ්චයකාරයන් 6:7-16; 8:28) ඉතාමත් නුදුරු අනාගතයේදී උතුම් ගිඩියොන් වන යේසුස් ක්‍රිස්තුස් යෙහෝවාගේ සෙනඟගේ නවීන දින සතුරන්ට මරණීය පහරක් එල්ල කරනවා. (එළිදරව් 17:14; 19:11-21) ඉන්පසු “මිදියන්හි දවසේදී මෙන්” මිනිස් බලයෙන් නොව, නමුත් යෙහෝවාගේ බලයෙන් සම්පූර්ණ සදාකාලික ජයග්‍රහණයක් ගෙනෙනවා. (විනිශ්චයකාරයන් 7:2-22) යෙහෝවාගේ සෙනඟ නැවත කිසිදාක පීඩා කරන්නන්ගේ වියගහ යටට පැමිණෙන්ට යන්නේ නැහැ!

21. අනාගතයේදී යුද්ධවල තත්වය ගැන යෙසායාගේ අනාවැකිය අඟවන්නේ කුමක්ද?

21 දිව්‍ය බලයේ විදහාපෙන්වීම් මගින් කෙරෙන්නේ යුද්ධය උසස් කොට දැක්වීම නොවෙයි. නැවත නැඟිටුවනු ලැබූ යේසුස් සාමයේ කුමාරයායි. එමෙන්ම ඔහුගේ සතුරන්ව මුළුමනින්ම විනාශ කිරීම මගින් ඔහු සදාකාල සාමය ගෙනෙන්ට යනවා. සෑම යුධ උපකරණයක්ම ගින්නෙන් විනාශ වෙන බව යෙසායා ඊළඟට පවසනවා. “කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වහන්ද ලෙයෙහි පෙඟු වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය.” (යෙසායා 9:5) පාබල හමුදාවන්ගේ අඩි ශබ්දය ඇති කරන භය නැවත කිසිදාක ඇසෙන්ට යන්නේ නැහැ. සටනෙහිම යෙදී සිටින භටයන්ගේ ලෙයින් පෙඟුණු ඇඳුම් නැවත කවදාවත් දකින්ට යන්නේ නැහැ. යුද්ධය තවත් නැහැ!—ගීතාවලිය 46:9.

“මවිතකර උපදේශකයා”

22. යෙසායාගේ පොතෙහි යේසුස්ට දී ඇති අනාවැකිමය නම් මොනවාද?

22 මෙසියස් බවට පත්වීමට ඉපදුණු තැනැත්තා වූ යේසුස්ට ඒ නම ලැබුණේ ඔහුගේ ආශ්චර්යවත් උපත සිදු වන විටයි. එහි අර්ථය “යෙහෝවා ගැළවීම” යන්නයි. එහෙත් ඔහුට වෙනත් අනාවැකිමය නම් ඇති අතර, ඒවා ඔහුගේ මූලික කාර්යභාරයත් ඔහුගේ උසස් තත්වයත් පෙන්නුම් කරනවා. ඉන් එක් නමක් වන්නේ එම්මානුවෙල්ය. එහි අර්ථය ‘දෙවි අප සමඟයි’ යන්නය. (යෙසායා 7:14, NW පාදසටහන) යෙසායා දැන් තවත් අනාවැකිමය නම් විස්තර කරනවා. ‘අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය; ආණ්ඩුවද ඔහුගේ කර පිට තිබෙන්නේය. ඔහුගේ නාමය අපූර්ව මන්ත්‍රීවරයාය [මවිතකර උපදේශකයාය, NW], පරාක්‍රමවත් දෙවිය, සදාකාල පියාය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.’ (යෙසායා 9:6) මේ අනාවැකිමය නම්වල පූර්ණ අර්ථය සලකා බලන්න.

23, 24. (අ) යේසුස් ‘මවිතකර උපදේශකයෙක්’ වන්නේ කිනම් ආකාරයෙන්ද? (ආ) අදදින සිටින ක්‍රිස්තියානි උපදේශකයන්ට යේසුස්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද?

23 උපදේශකයා කියන්නේ උපදෙස් හෝ අවවාද දෙන්නාටයි. පොළොවේ සිටියදී යේසුස් ක්‍රිස්තුස් මවිතකර උපදෙස් සැපයුවා. බයිබලයේ අපට කියා තිබෙන්නේ “සමූහයෝ [ඔහුගේ] ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය” කියායි. (මතෙව් 7:28) ඔහු මිනිස් ස්වභාවය ගැන අසාමාන්‍ය අවබෝධයක් ඇති ප්‍රඥාවන්ත සහ දයානුකම්පිත උපදේශකයෙක්ව සිටියා. ඔහුගේ උපදෙස්, තරවටු කිරීම් හෝ දඬුවම්වලට සීමා වෙලා නැහැ. ඒ වෙනුවට ඒවා ඉගැන්වීම් සහ ප්‍රේමනීය අවවාද ස්වරූපයෙනුයි කෙරෙන්නේ. යේසුස්ගේ උපදෙස් මවිතාකාර වෙන්නේ එය සැමවිටම ප්‍රඥාවන්ත, සම්පූර්ණ සහ නොවරදින නිසයි. ඒවා පිළිපැදීම සදාකාල ජීවනයට මඟ පෙන්වනවා.—යොහන් 6:68.

24 යේසුස්ගේ උපදෙස් නිකම්ම ඔහුගේ අතිදක්ෂ මනසෙන් පැමිණි ඒවා නෙවෙයි. ඒ ගැන ඔහු කියන්නේ මෙසේයි. “මාගේ ඉගැන්වීම මාගේ නොව මා එවූ [තැනැත්තාගේය].” (යොහන් 7:16) සාලමොන්ගේ මෙන් යේසුස්ගේ ප්‍රඥාවෙත් උල්පත යෙහෝවා දෙවියි. (1 රාජාවලිය 3:7-14; මතෙව් 12:42) යේසුස්ගේ ආදර්ශය, සැමවිටම දෙවිගේ වචනය මත පදනම් උපදෙස් සපයන්ට ක්‍රිස්තියානි සභාවේ සිටින ගුරුවරුන්ව සහ උපදේශකයන්ව පෙලඹවිය යුතුයි.—හිතෝපදේශ 21:30.

‘පරාක්‍රමවත් දෙවිය, සදාකාල පියාය’

25. ‘පරාක්‍රමවත් දෙවි’ යන නම ස්වර්ගීය යේසුස් ගැන කියාපාන්නේ කුමක්ද?

25 යේසුස් ‘පරාක්‍රමවත් දෙවි’ මෙන්ම “සදාකාල පියා” වෙයි. ඔහු “අපේ පියවූ” යෙහෝවාගේ අධිකාරය සහ තත්වය බලෙන් ගන්නවා කියා එයින් අදහස් කරන්නේ නැහැ. (2 කොරින්ති 1:2) ‘යේසුස් දෙවිට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතු වූ වස්තුවක්යයි සිතුවේ නැහැ.’ (පිලිප්පි 2:6) ඔහුව හඳුන්වන්නේ පරාක්‍රමවත් දෙවි කියා මිස සර්වපරාක්‍රම දෙවි කියා නෙවෙයි. යේසුස් තමා සර්වපරාක්‍රම දෙවි කියා කිසිවිටෙකත් සිතුවේ නැහැ. ඔහු නිතරම කතා කළේ තම පියා වන ‘එකම සැබෑ වූ දෙවි’ එනම් නමස්කාර කළ යුතු එකම දෙවි ගැනයි. (යොහන් 17:3; එළිදරව් 4:11) ශුද්ධ ලියවිලිවල සඳහන් “දෙවි” නමැති වචනය “බලවත් කෙනෙක්” හෝ “ශක්තිමත් කෙනෙක්” යන අර්ථය දෙනවා. (නික්මයාම 12:12; ගීතාවලිය 8:5; 2 කොරින්ති 4:4) යේසුස් පොළොවට එන්ට කලින් ඔහු ‘දෙවිගේ රූපාකාරය දරමින්’ ‘දෙවි කෙනෙක්ව’ සිටියා. ඔහුගේ නැවත නැඟිටීමෙන් පසු, ඔහු ස්වර්ගයේ ඊටත් වඩා උසස් තත්වයකට පත් වුණා. (පිලිප්පි 2:6-11; යොහන් 1:1, NW) තවදුරටත්, “දෙවි” යන පදවිය අමතර ඇඟවීමක්ද කරනවා. ඉශ්‍රායෙල්හි සිටි විනිශ්චයකරුවන්ව “දෙවිවරු” ලෙස හැඳින්වුවා. වතාවක් යේසුස්ද ඔවුන්ව මෙලෙසම හැඳින්වුවා. (ගීතාවලිය 82:6; යොහන් 10:35) යේසුස් කියන්නේ “ජීවත්ව සිටින්නන් සහ මළවුන්ද විනිශ්චයකරන්ට” යෙහෝවා පත් කරන ලද විනිශ්චයකාරයාටයි. (2 තිමෝති 4:1; යොහන් 5:30) පැහැදිලිවම, ඔහුව පරාක්‍රම දෙවි ලෙස හැඳින්වීම උචිතයි.

26. යේසුස්ව “සදාකාල පියා” ලෙස හැඳින්විය හැක්කේ කෙසේද?

26 “සදාකාල පියා” යන තනතුර, පොළොව මත සදාකාල ජීවිතයේ අපේක්ෂාව මනුෂ්‍යවර්ගයාට දීමට හැකි මෙසියානු රජගේ බලය සහ අධිකාරයට යොමු දක්වනවා. (යොහන් 11:25, 26) අපේ මුල් පියා වූ ආදම්ගෙන් ලැබුණු උරුමය මරණයයි. අන්තිම ආදම් වන යේසුස් “ජීවනදායක ආත්මයක් විය.” (1 කොරින්ති 15:22, 45; රෝම 5:12, 18) සදාකාල පියා වන යේසුස් සදාකාලයටම ජීවත් වන්නා සේ කීකරු මනුෂ්‍යවර්ගයා ඔහුගේ පිතෘත්වයෙන් සදාකාලයටම ආශීර්වාද භුක්ති විඳින්ට යනවා.—රෝම 6:9.

“සමාදානයේ කුමාරයා”

27, 28. ‘සමාදානයේ කුමාරයාගේ’ යටත්වැසියන් දැනුත් අනාගතයේදීත් ලබන පුදුමාකාර ආශීර්වාද මොනවාද?

27 සදාකාල ජීවනයට අමතරව මිනිසාට දෙවි සමඟත් තම අසල්වැසියා සමඟත් සමාදානය අවශ්‍ය කරනවා. ‘සමාදානයේ කුමාරයාගේ’ පාලනයට යටත්ව සිටින අය අදදින පවා ‘තමන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගෙන’ තිබෙනවා. (යෙසායා 2:2-4) දේශපාලනික, දේශීය, වාර්ගික හෝ ආර්ථික වෙනස්කම් නිසා ඔවුන් වෛරය පැලපදියම් කරගන්නේ නැහැ. ඔවුන් එකම සැබෑ වූ දෙවි වන යෙහෝවාගේ නමස්කාරයෙහි එක්සත්ව සිටිනවා. එමෙන්ම ඔවුන් සභාව තුළදීත් පිටතදීත් තම අසල්වැසියා සමඟ සාමකාමී සම්බන්ධතාවක් පවත්වාගැනීමට කටයුතු කරනවා.—ගලාති 6:10; එපීස 4:2, 3; 2 තිමෝති 2:24.

28 දෙවිගේ නියමිත කාලයේදී ක්‍රිස්තුස් විසින් පොළොව මතට ලෝක ව්‍යාප්ත තිරසාර සදාකාලික සමාදානයක් ගෙනෙන්ට යනවා. (ක්‍රියා 1:7) “මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි [ඔහුගේ] ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය.” (යෙසායා 9:7අ) සමාදානයේ කුමාරයා ලෙස ඔහු තම අධිකාරය හොබවද්දී, කෲර ඒකාධිපතියෙකු ලෙස එය කරන්ට යන්නේ නැහැ. ඔහුගේ යටත්වැසියන්ගේ නිදහස් කැමැත්ත බලෙන් උදුරාගන්ට යන්නෙත් නැහැ. ඒ වෙනුවට, ඔහු ඉටු කිරීමට යන සෑම දෙයක්ම “යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද” කරන්ට යනවා. කොතරම් සහනදායි වෙනසක්ද!

29. සදාකාලික සමාදානය භුක්ති විඳින්ට කැමති නම් අප කුමක් කළ යුතුද?

29 යේසුස්ගේ අනාවැකිමය නාමයේ පුදුම දනවන ඇඟවීම් කල්පනා කර බලද්දී, අනාවැකියේ මේ කොටස යෙසායා අවසන් කරන ආකාරය ඇත්තෙන්ම සිත්ගන්නාසුලුයි. ඔහු මෙසේ ලියනවා. “සේනාවල [යෙහෝවාගේ] ජ්වලිතය මෙය ඉෂ්ටකරන්නේය.” (යෙසායා 9:7ආ) ඔව්, යෙහෝවා ක්‍රියා කරන්නේ ජ්වලිතයෙන්. ඔහු කිසිම දෙයක් අඩ හෘදයෙන් කරන්නේ නැහැ. ඔහු පොරොන්දු වී ඇති ඕනෑම දෙයක් සම්පූර්ණයෙන්ම ඉටු කරනවා කියා අපට නිසැක විය හැකියි. එසේ නම්, සදාකාලික සමාදානය භුක්ති විඳින්ට යමෙක් කැමති නම්, ඔහු යෙහෝවාට පූර්ණ හෘදයෙන් යුතුව සේවය කරාවා! යෙහෝවා දෙවි සහ සමාදානයේ කුමාරයා වන යේසුස් මෙන් දෙවිගේ සියලුම සේවකයින් ‘යහපත් ක්‍රියා ගැන ජ්වලිතව’ කටයුතු කරාවා!—තීතස් 2:14.

[පාදසටහන්වල]

^ හෙසකියා රජෙකු වීමට කලින් ගීතාවලිය 119වන පරිච්ඡේදය ඔහු ලිව්වා කියා බොහෝදෙනෙක් විශ්වාස කරනවා. එසේ වූවා නම්, එය ලියා තිබෙන්නේ යෙසායා අනාවැකි පවසන කාලයේදීයි.

^ යෙසායා 8:20හි “ඒ වචනයේ” යන ප්‍රකාශයෙන් යෙසායා 8:19හි උපුටා දක්වා ඇති භූතවාදය නමැති කියමනට යොමු දක්වනවා විය හැකියි. තත්වය එසේ නම්, යෙසායා කියන්නේ යූදාහි භූතවාදයට අනුබල දෙන අය ආත්ම බන්ධනකරුවන් සමඟ කටයුතු කිරීමට ජනයාව දිගටම පොලඹවන අතර, එසේ කිරීම නිසා යෙහෝවාගෙන් කිසිම ඥානාලෝකයක් නොලැබෙන බවයි.

^ සාලමොන් රජ තීර්හි රජ වූ හීරාම්ට දුන් ගලීල නගර 20 ඉශ්‍රායෙල් නොවන්නන්ගෙන් ජනාවාස වූ බව සමහරුන් කියනවා.—1 රාජාවලිය 9:10-13.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[122වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

කොරාශීන්

බෙත්සයිදා

කපර්ණවුම

ගෙන්නෙසරෙත්හි තැනිතලාව

ගලීල මුහුද

මගදන්

තිබේරියස්

යොර්දාන් ගඟ

ගදාරා

ගදාරා

[119වන පිටුවේ පින්තූර]

කායින්ගේත් යේසුස්ගේත් උපත ඉතා විශේෂ දෙයක් වුණත් සතුටුදායක ප්‍රතිඵල ලැබුණේ යේසුස්ගේ උපතෙන් පමණයි

[121වන පිටුවේ පින්තූරය]

සාගතයක් පැමිණෙයි. එය කුසගින්නටත් පිපාසයටත් අන්තයි

[127වන පිටුවේ පින්තූරය]

යේසුස් දේශයට ආලෝකයක් වුණා