Skip to content

පටුනට යන්න

‘අලුත් නාමයක්’

‘අලුත් නාමයක්’

විසිතුන්වන පරිච්ඡේදය

‘අලුත් නාමයක්’

යෙසායා 62:1-12

1. යෙසායා 62වන පරිච්ඡේදය සපයන්නේ කිනම් සහතිකයද?

 බබිලෝනියේ අපේක්ෂා භංගව සිටින යුදෙව්වන්ට අවශ්‍ය වන්නේ යළි පිහිටුවීම ගැන සහතිකයක්, සැනසීමක් සහ බලාපොරොත්තුවකි. යෙරුසලමත් එහි දේවමාළිගාවත් විනාශ වී දශක ගණනාවක් ගෙවී ගොස් ඇත. බබිලෝනියෙන් කිලෝ මීටර 800 ගණනක් එහායින් පිහිටි යූදා දේශය පාළුවට ගොස් ඇත. යෙහෝවාට යුදෙව්වන්ව අමතක වී ගොස් ඇත්තාක් මෙනි. බලාපොරොත්තු සුන් වූ තත්වයේ සිටින ඔවුන්ව ඉන් ගොඩගත හැක්කේ කෙසේද? මව්බිම කරා පැමිණ සැබෑ නමස්කාරය යළි පිහිටුවිය හැකි බවට යෙහෝවා දෙන පොරොන්දුවෙනි. යෙරුසලමේ යළි පිහිටුවීමෙන් පසු, ‘අත්හරින ලද’ සහ “පාළු” යන වචන වෙනුවට දෙවිගේ අනුමැතිය ඇති බව අඟවන නම්වලින් එය හඳුන්වනු ඇත. (යෙසායා 62:4; සෙකරියා 2:12) යෙසායා 62වන පරිච්ඡේදය පුරාම මෙවැනි පොරොන්දු කියවීමට තිබේ. කෙසේවෙතත්, යළි පිහිටුවීම පිළිබඳ අනිකුත් අනාවැකි මෙන්, මේ පරිච්ඡේදයද බබිලෝනියේ වහල්භාවයේ සිටින යුදෙව්වන්ගේ මිදීමෙන් එහාට දිවෙන කාරණා ගැනද සඳහන් කරයි. එහි ප්‍රධාන ඉටුවීමේදී, යෙහෝවාගේ ආත්මික ජාතියේ නැතහොත් ‘දෙවිගේ ඉශ්‍රායෙල්ගේ’ ගැළවීම ස්ථිර බව යෙසායා 62වන පරිච්ඡේදය අපට සහතික කරයි.—ගලාති 6:16.

යෙහෝවා නිහඬව නොසිටින්නේය

2. යෙහෝවා නැවත වරක් සියොන කෙරෙහි තම අනුග්‍රහය පෙන්වූයේ කිනම් ආකාරයටද?

2 බබිලෝනිය පො.යු.පෙ. 539දී බිඳ වැටුණි. ඉන්පසු, පර්සියාවේ කෝරෙෂ් රජ දේවභයැති යුදෙව්වන්ට නැවත යෙරුසලමට ගොස් යෙහෝවාගේ නමස්කාරය යළි පිහිටුවීමට හැකි කරවන ආකාරයේ ආඥාවක් නිකුත් කළේය. (එස්රා 1:2-4) එහි ප්‍රතිඵලයක් ලෙස, පො.යු.පෙ. 537දී මුල් යුදෙව් කණ්ඩායම නැවත තම මව්බිම කරා පැමිණියෝය. යෙහෝවා නැවත වරක් යෙරුසලමට තම අනුග්‍රහය පෙන්වා ඇති බව පහත සඳහන් දිරිගන්වනසුලු අනාවැකිමය ප්‍රකාශයෙන් පැහැදිලි වේ. “මම සියොන් උදෙසාත් යෙරුසලම උදෙසාත් නිශ්ශබ්දව නොසිටින්නෙමි, එහි ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද එහි ගැළවීම ඇවිලෙන පහනක් මෙන්ද නික්මෙන තුරු නොනවතින්නෙමි.”—යෙසායා 62:1.

3. (අ) යෙහෝවා අවසානයේදී භූමික සියොන ප්‍රතික්ෂේප කළේ මන්ද? ඇය වෙනුවෙන් පත් කළේ කාවද? (ආ) කිනම් ආකාරයේ වැටීමක් සිදු වූයේද? එය සිදු වූයේ කවදාද? අප ජීවත් වන්නේ කිනම් කාලපරිච්ඡේදයකද?

3 පොදු යුගයට පෙර 537දී, සියොන නැතහොත් යෙරුසලම යළි පිහිටුවීම පිළිබඳ තම පොරොන්දුව යෙහෝවා ඉටු කළේය. යෙරුසලමේ වැසියන් දෙවිගේ ගැළවීම අද්දුටු අතර, ඔවුන්ගේ ධර්මිෂ්ඨකම දීප්තිමත්ව බැබළුණි. එහෙත්, ඔවුහු පසු කලෙක නැවතත් පවිත්‍ර නමස්කාරයෙන් ඉවතට ඇදී ගියෝය. යේසුස් මෙසියස් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔවුහු දුරදිග ගියහ. මෙහි ප්‍රතිඵලයක් හැටියට යෙහෝවා තමන්ගේ තෝරාගත් ජාතිය අත්හැරියේය. (මතෙව් 21:43; 23:38; යොහන් 1:9-13) යෙහෝවා අලුත් ජාතියක් නැතහොත් ‘දෙවිගේ ඉශ්‍රායෙල්ව’ බිහි කිරීමට කටයුතු සූදානම් කළේය. මේ අලුත් ජාතිය ඔහුගේ විශේෂ සෙනඟ බවට පත් වූහ. මුල් සියවසේදී මෙහි සාමාජිකයෝ එවකට දැන සිටි ලෝකය පුරා ජ්වලිත ලෙස ශුභාරංචිය දේශනා කළෝය. (ගලාති 6:16; කොලොස්සි 1:23) නමුත් ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු, සැබෑ නමස්කාරයෙන් වැටී යෑමක් සිදුවීම කනගාටුවට කරුණක් විය. එහි ප්‍රතිඵලයක් හැටියට, අද ක්‍රිස්තියානි ලෝකය තුළ දකින්න තිබෙන ඇදහිල්ල අත්හළ අය විසින් බිහි කළ ක්‍රිස්තියානි ධර්මය ආරම්භ විය. (මතෙව් 13:24-30, 36-43; ක්‍රියා 20:29, 30) සියවස් ගණනාවක් පුරා ක්‍රිස්තියානි ලෝකය යෙහෝවාගේ නාමය මතට මහත් නින්දාවක් පමුණුවා ඇත. කෙසේවෙතත්, අවසානයේදී, එනම් 1914දී යෙසායාගේ මෙම අනාවැකියේ ප්‍රධාන ඉටුවීමත් සමඟම යෙහෝවාගේ “කරුණාවේ අවුරුද්ද” ආරම්භ විය.—යෙසායා 61:2.

4, 5. (අ) සියොන් සහ ඇගේ දරුවන්ගෙන් අදදින නියෝජනය වන්නේ කාවද? (ආ) යෙහෝවා සියොනේ “ගැළවීම ඇවිලෙන පහනක්” මෙන් යොදාගන්නේ කෙසේද?

4 අදදින, සියොන යළි පිහිටුවන බවට යෙහෝවා කළ පොරොන්දුව ඔහුගේ ස්වර්ගීය සංවිධානය නැතහොත් “ඉහළ තිබෙන යෙරුසලම” කෙරෙහි ඉටු වී තිබේ. මෙහි භූමික නියෝජිතයන් වන්නේ, ඇගේ දරුවන් වන ආලේප ලත් ක්‍රිස්තියානීන්ය. (ගලාති 4:26) යෙහෝවාගේ ස්වර්ගීය සංවිධානය සාවධානී, ප්‍රේමනීය මෙන්ම කඩිසර කැප වූ සේවිකාවක් මෙන් කටයුතු කරයි. එය 1914දී මෙසියානු රාජ්‍යය උපදවූ අවස්ථාව මොනතරම් ප්‍රීතිමත් එකක් වීද! (එළිදරව් 12:1-5) විශේෂයෙන්ම 1919 සිට, ඇගේ භූමික දරුවන් ඇගේ ධර්මිෂ්ඨකම සහ ඇය ලද ගැළවීම ගැන ජාතීන්ට දේශනා කර තිබේ. යෙසායා පුරෝකථනය කළ ආකාරයට, මේ දරුවන් අඳුර කපා ආලෝකය බබළවන පහනක් මෙනි.—මතෙව් 5:15, 16; පිලිප්පි 2:14, 15.

5 යෙහෝවා තම නමස්කාරකයන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන අතර, සියොන සහ ඇගේ දරුවන්ට වී ඇති පොරොන්දු ඉටු කරන තුරු විවේක ගන්නේවත් නිශ්ශබ්දව සිටින්නේවත් නැත. ආලේප ලත් ඉතිරි අයව මෙන්ම ‘වෙනත් බැටළුවන්ට’ අයත් ඔවුන්ගේ සගයන්වද නිශ්ශබ්ද කළ නොහැක. (යොහන් 10:16) ඇත්තෙන්ම, ගැළවීම සඳහා තිබෙන එකම මාර්ගයට ඔවුන් ජනයාව යොමු කරවන්නේ මහත් හඬක් නංවමින්ය.—රෝම 10:10.

යෙහෝවා විසින් ‘අලුත් නාමයක්’ දෙනු ලැබ

6. සියොන සම්බන්ධයෙන් යෙහෝවා කරන්න යන්නේ කුමක්ද?

6 පුරාණ යෙරුසලමෙන් නියෝජනය කළ යෙහෝවාගේ ස්වර්ගීය “ස්ත්‍රිය” වන සියොන සම්බන්ධයෙන් ඔහු අරමුණු කළේ කුමක්ද? ඔහු මෙසේ කියයි. “[අහෝ ස්ත්‍රිය, NW] ජාතීන් නුඹේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනවා ඇත. [යෙහෝවාගේ] මුඛයෙන් කියවෙන අලුත් නමක්ද නුඹට කියන්ට යෙදෙනවා ඇත.” (යෙසායා 62:2) ඉශ්‍රායෙල්වරුන් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරන ආකාරය දෙස අවධානය යොමු කිරීමට ජාතීන්ට බල කරනු ඇත. තමාව නියෝජනය කිරීමට යෙහෝවා යෙරුසලම පාවිච්චි කරන බවත් යෙහෝවාගේ රාජ්‍යයට එරෙහිව නැඟී සිටීමට කිසිම ආණ්ඩුවකට නොහැකි බවත් පිළිගැනීමට රජවරුන්ට පවා සිදු වේ.—යෙසායා 49:23.

7. සියොන්හි අලුත් නාමයෙන් අඟවන්නේ කුමක්ද?

7 සියොනට අලුත් නාමයක් දීමෙන් ඇගේ තත්වය වෙනස් කර ඇති බව යෙහෝවා සහතික කරයි. එම අලුත් නාමය, සියොන්හි භූමික දරුවන් පො.යු.පෙ. 537 සිට භුක්ති වින්ද ආශීර්වාද ලත් මෙන්ම ගෞරවනීය තත්වය පිළිබිඹු කරයි. * එමෙන්ම සියොන අයිති යෙහෝවාට බව එය පෙන්වයි. මේ ආකාරයට අදදිනත්, දෙවිගේ ඉශ්‍රායෙල් යෙහෝවාට මහත් ප්‍රීතියක් ගෙන ඒම තුළින් සතුටට පත් වේ. වෙනත් බැටළුවෝද ඔවුන්ගේ ප්‍රීතියට හවුල් වෙති.

8. යෙහෝවා සියොනට ගෞරව කර තිබෙන්නේ කෙසේද?

8 සියොනට අලුත් නාමයක් දීමෙන් පසු යෙහෝවා මෙසේ පොරොන්දු වෙයි. ‘නුඹ යෙහෝවාගේ අතෙහි අලංකාර ඔටුන්නක්ද නුඹේ දෙවිගේ අතෙහි රාජ කිරීටයක්ද වන්නෙහිය.’ (යෙසායා 62:3) යෙහෝවා ස්වර්ගීය සියොන නැතහොත් තම සංකේතාත්මක භාර්යාවව, සියල්ලන්ගේම ගෞරවයට පාත්‍ර වන පිණිස උසස් කරන්නේය. (ගීතාවලිය 48:2; 50:2) අලංකාර ඔටුන්නෙන් හා ‘රාජ කිරීටයෙන්’ පෙන්නුම් කරන්නේ ඇයට ගෞරවය සහ ආධිපත්‍යය දී තිබෙන බවයි. (සෙකරියා 9:16) ස්වර්ගීය සියොන නැතහොත් “ඉහළ තිබෙන යෙරුසලම” නියෝජනය කරන දෙවිගේ ඉශ්‍රායෙල්, ඔහුගේ හස්තයේ නොහොත් ක්‍රියාකාරික බලයේ පුදුමාකාර නිපැයුමකි. (ගලාති 4:26) යෙහෝවාගේ උපකාරය ඇතුව එම ආත්මික ජාතිය අඛණ්ඩතාව සහ භක්තිය පිළිබඳ කැපීපෙනෙන වාර්තාවක් තබා තිබේ. ආලේප ලත් සහ වෙනත් බැටළුවන්ගෙන් යුත් දශලක්ෂ ගණනක් තම ඇදහිල්ල සහ ප්‍රේමය පෙන්වීමට දිරිය ලබා ඇත. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන සමයේදී, කෙඳිරිගාමින් දුක් විඳින මැවිල්ලට සදාකාල ජීවනය අත් කර දීම සඳහා යෙහෝවා ස්වර්ගීය තේජස නමැති ත්‍යාගය ලබා දී තිබෙන ආලේප ලත් අයව යොදාගනියි.—රෝම 8:21, 22; එළිදරව් 22:2.

‘යෙහෝවා ඔබ කෙරෙහි ප්‍රසන්න වේ’

9. සියොනෙහි සිදු වූ පරිවර්තනය විස්තර කරන්න.

9 භූමික දරුවන්ගෙන් නියෝජනය කළ ස්වර්ගීය සියොනෙහි ප්‍රීතිමත් පරිවර්තනයට දායක වන එක් කාරණයකි, ඇය ලද අලුත් නාමය. මේ බව පවසා තිබෙන්නේ මෙසේය. “නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ හෙප්ශීබා [ඇය කෙරෙහි ප්‍රසන්න වෙමි] කියාද නුඹේ දේශය බෙයුලා [සරණ පාවාගනු ලැබීමි] කියාද කියනු ලබන්නේය. මක්නිසාද [යෙහෝවා] නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ.” (යෙසායා 62:4) භූමික සියොන පො.යු.පෙ. 607දී විනාශ වූ දා පටන් පාළු තත්වයක පවතී. කෙසේවෙතත්, යෙහෝවාගේ වචනවලින් සහතික කර ඇති පරිදි දේශය යළි පිහිටුවා ඇයව සෙනඟගෙන් පිරවීමට නියමිතය. පාළුවට ගොස් තිබූ සියොන තවදුරටත්, අතහැර දැමූ ස්ත්‍රියක් මෙන් හෝ පාළුවට ගිය දේශයක් මෙන් හෝ වන්නේ නැත. පොදු යුගයට පෙර 537දී යෙරුසලම යළි පිහිටුවීමෙන් අදහස් කළේ පාළු වූ තත්වයෙන් ඇය මුළුමනින්ම ගොඩ ආ බවයි. තමා සියොන ‘කෙරෙහි ප්‍රසන්න වන’ බවත් ඇගේ දේශය ‘සරණ පාවාගන්නා’ බවත් යෙහෝවා ප්‍රකාශ කරන්නේය.—යෙසායා 54:1, 5, 6; 66:8; යෙරෙමියා 23:5-8; 30:17; ගලාති 4:27-31.

10. (අ) දෙවිගේ ඉශ්‍රායෙල් පරිවර්තනයකට ලක් වූයේ කෙසේද? (ආ) දෙවිගේ ඉශ්‍රායෙල්ගේ “දේශය” කුමක්ද?

10 වර්ෂ 1919 පටන් දෙවිගේ ඉශ්‍රායෙල් තුළද එවැනිම වෙනස්කම් සිදුවීමට පටන්ගත්තේය. පළමුවන ලෝක මහා සංග්‍රාමය පැවති කාලයේදී ආලේප ලත් ක්‍රිස්තියානීන්ව දෙවි විසින් අත්හැර දමනු ලැබූ බවක් පෙනුණි. එනමුත් 1919දී ඔවුන්ව අනුමැතිය ලත් තත්වයට යළි පිහිටුවනු ලදුව ඔවුන්ගේ නමස්කාරය පිරිපහදුවට ලක් කරනු ලැබීය. මෙය ඔවුන්ගේ ඉගැන්වීම්වලට, සංවිධානය වූ ආකාරයට සහ අනෙකුත් ක්‍රියාකාරකම්වලට බලපෑවේය. දෙවිගේ ඉශ්‍රායෙල් තම ආත්මික “දේශයට” හෙවත් ආත්මික ක්‍රියාකාරකම් සිදු කරන ක්ෂේත්‍රයට ඇතුල් විය.—යෙසායා 66:7, 8, 20-22.

11. යුදෙව්වන් තම මවව භාර්යාවක් මෙන් සරණ පාවාගන්නේ කෙසේද?

11 යෙහෝවා තම සෙනඟගේ අලුත්, අනුමැතිය ලත් තත්වය තවදුරටත් කාවද්දමින් මෙසේ කියයි. “මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවාගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ [දෙවි] නුඹ කෙරෙහි [ප්‍රීතිවන්නේය].” (යෙසායා 62:5) යුදෙව්වන් නැතහොත් සියොන්හි ‘පුත්‍රයන්’ තම මවව භාර්යාවක් මෙන් සරණ පාවාගන්නේ කෙසේද? බබිලෝනියේ වහල්භාවයෙන් මිදී එන සියොන් පුත්‍රයෝ ඔවුන්ගේ පරණ අගනුවරෙහි නැවත වරක් පදිංචි වන්නෝය. එවිට සියොන තවදුරටත් පාළු තත්වයේ නොතිබී දරුවන්ගෙන් පිරී යනු ඇත.—යෙරෙමියා 3:14.

12. (අ) ආලේප ලත් ක්‍රිස්තියානීන් යෙහෝවා සරණ පාවාගෙන තිබෙන සංවිධානයේ කොටසක් බව යෙහෝවා පැහැදිලිව පෙන්නුම් කරන්නේ කෙසේද? (ආ) යෙහෝවා තම සෙනඟ සමඟ කටයුතු කරන ආකාරය මගින් අදදින සිදු කෙරෙන විවාහයන්ට උත්තරීතර ආදර්ශයක් සපයන්නේ කෙසේද? (342වන පිටුවේ කොටුව බලන්න.)

12 ඒ හා සමාන ආකාරයකට 1919 සිට ස්වර්ගීය සියොනෙහි සිටින දරුවෝ “සරණ පාවාගනු ලැබීමි” යන අනාවැකිමය නාමය ඇති ඔවුන්ගේ ආත්මික දේශය උරුම කරගත්තෝය. මේ ආලේප ලත් ක්‍රිස්තියානීන් ‘[යෙහෝවාගේ] නාමය වෙනුවෙන් සිටින සෙනඟක්’ බවට, දේශය තුළ සිදු කරන ඔවුන්ගේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සාක්ෂි දරයි. (ක්‍රියා 15:14) මේ ක්‍රිස්තියානීන් රාජ්‍යය සඳහා ඵල දැරීමත් යෙහෝවාගේ නාමය ප්‍රචාරය කිරීමත් යෙහෝවා ඔවුන් ගැන ප්‍රීති වන බවට සහතිකයකි. ඔවුන් වෙන් කළ නොහැකි එකමුතුකමක් ඇති දෙවිගේ සංවිධානයේ කොටසක් බව යෙහෝවා පෙන්වා තිබේ. මේ ක්‍රිස්තියානීන්ව ශුද්ධාත්මයෙන් ආලේප කර, ආත්මික වහල්භාවයෙන් මුදාගෙන සියලුම මනුෂ්‍යවර්ගයාට රාජ්‍යය පිළිබඳ බලාපොරොත්තුව ගැන දේශනා කිරීමට යොදාගෙන ඇත. එමගින් මනමාලයෙක් තම මනමාලී කෙරෙහි ප්‍රීති වන්නාක් මෙන් යෙහෝවා ඔවුන් ගැන ප්‍රීති වන බව පෙන්වයි.—යෙරෙමියා 32:41.

‘නුඹලා විවේක නොගන්න’

13, 14. (අ) පුරාණ කාලයේදී, යෙරුසලම ආරක්ෂාව සලසන නුවරක් වූයේ කෙසේද? (ආ) වර්තමාන කාලයේදී, සියොන ‘පොළොවෙහි ප්‍රශංසාවක්’ වන්නේ කෙසේද?

13 යෙහෝවා තම සෙනඟට දී තිබෙන සංකේතාත්මක අලුත් නාමය ඔහුගේ සෙනඟට සුරක්ෂිතභාවයක් ලබා දෙයි. දෙවි ඔවුන්ව පිළිගන්නා බවත් ඔවුන් දෙවිට අයිති බවත් ඔවුහු දනිත්. දැන් වෙනත් නිදර්ශනයක් පාවිච්චි කරමින් බලකොටු නගරයකට කතා කරන්නාක් මෙන් යෙහෝවා තම සෙනඟට කතා කරයි. ‘එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔවුහු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. යෙහෝවාට මතක් කරවන තැනැත්තෙනි, ඔහු යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක [විවේක, NW] නොගන්න, ඔහුට නිෂ්කලංක [විවේකය, NW] නොදෙන්න.’ (යෙසායා 62:6, 7) බබිලෝනියේ සිටින ඇදහිලිවන්ත ඉතිරි අය යෙහෝවා නියම කර ඇති කාලයේදී යළි පැමිණි විට, එහි වැසියන්ට ආරක්ෂාව සපයන බලකොටු නුවරක් ලෙස යෙරුසලම ‘පොළොවෙහි ප්‍රශංසාවක්’ බවට පත් වනු ඇත. දිවා රෑ නුවර රකින මුරකරුවන් පවුරු උඩ එහා මෙහා යමින් අවශ්‍ය වූ විට නුවර වැසියන්ට අනතුරු අඟවනු ඇත.—නෙහෙමියා 6:15; 7:3; යෙසායා 52:8.

14 මොළොක් ගුණැති අයට බොරු ආගමේ බැඳුම්වලින් මිදෙන මාර්ගය පෙන්වීමට වර්තමාන කාලයේදී යෙහෝවා තම ආලේප ලත් මුරකරුවන්ව යොදාගෙන තිබේ. ආත්මික දූෂණයෙන්, අභක්තික බලපෑම්වලින් සහ යෙහෝවාගේ උදහසෙන් ආරක්ෂාව තිබෙන යෙහෝවාගේ සංවිධානයට පැමිණීමට මොවුන්ට ආරාධනා කර ඇත. (යෙරෙමියා 33:9; ශෙපනියා 3:19) එවන් ආරක්ෂාවක් ලැබීම සඳහා, ‘නියම වේලාවට ආත්මික ආහාර සපයන’ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” නැතහොත් මුරකරු පංතියේ කාර්යභාරය අත්‍යවශ්‍යය. (මතෙව් 24:45-47) මුරකරු පංතිය සමඟ වැඩ කරන ‘මහත් සමූහයද’ සියොන් ‘පොළොවෙහි ප්‍රශංසාවක්’ බවට පත් කිරීම සඳහා මහඟු සේවයක් ඉටු කරයි.—එළිදරව් 7:9.

15. මුරකරු පංතිය සහ ඔවුන්ගේ සගයන් නොකඩවාම යෙහෝවාට සේවය කරන්නේ කෙසේද?

15 මුරකරු පංතියේ සහ ඔවුන්ගේ සගයන්ගේ සේවය නොනැවතී ක්‍රියාත්මක වෙයි! සංචාරක අවේක්ෂකයන් සහ ඔවුන්ගේ භාර්යාවන්ගේ, බෙතෙල් නිවාසවල සහ මුද්‍රණ අංශවල සේවය කරන ස්වේච්ඡා සේවකයන්ගේ, මිෂනාරිවරුන් මෙන්ම විශේෂ, ස්ථාවර සහ උපකාරික පුරෝගාමීන්ගේ සහයෝගය ඇතුව දශලක්ෂ ගණන් ඇදහිලිවන්ත සාමාජිකයන් ජ්වලිත ලෙස සේවය කරද්දී ඔවුන්ගේ ආත්ම පූර්ණ ආකල්පය පැහැදිලිව දැකගත හැකිය. ඊට අමතරව, ඔවුහු රාජ්‍ය ශාලා ඉදි කිරීමේ, අසනීප අයව බැහැදැකීමට යෑමේ, අභියෝගාත්මක වෛද්‍ය තත්වයන්ට මුහුණ දුන් අයට උපකාර කිරීමේ මෙන්ම විපත් සහ ආපදාවන්ට ගොදුරුවූවන්ට සහනාධාර සැපයීමේ කටයුතුවල වෙහෙස මහන්සි නොබලා නියැලෙත්. මෙසේ ආත්ම පරිත්‍යාගශීලි ලෙස සේවය කරන බහුතරයක් වචනයේ පරිසමාප්තියෙන්ම ‘දිවා රෑ’ නොබලා සේවයෙහි යෙදෙති.—එළිදරව් 7:14, 15.

16. යෙහෝවාගේ සේවකයන් ඔහුට ‘විවේක නොදෙන්නේ’ කිනම් ආකාරයෙන්ද?

16 ඔහුගේ “කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු” ලබන පිණිස නොකඩවාම දෙවිට යාච්ඤා කරන ලෙස යෙහෝවාගේ සේවකයන්ව දිරිගන්වා තිබේ. (මතෙව් 6:9, 10; 1 තෙසලෝනික 5:17) ඔවුන්ට අනුශාසනා කර ඇත්තේ, සැබෑ නමස්කාරය යළි පිහිටුවීම සම්බන්ධයෙන් තිබෙන පොරොන්දු සහ ආශාවන් ඉටු වන තුරු “[යෙහෝවාට] විවේක නොදෙන්න” කියාය. යේසුස් පවා නොකඩවා යාච්ඤා කිරීමේ අවශ්‍යතාව කාවද්දමින් ඔහුගේ අනුගාමිකයන්ට කීවේ ‘දෙවිට රෑ දාවල් හඬගසන්න’ කියායි.—ලූක් 18:1-8.

දෙවිට කරන සේවය විපාකදායකයි

17, 18. (අ) සියොන්හි වැසියන්ට ඔවුන්ගේ වෙහෙසේ ඵල භුක්ති විඳීමට අපේක්ෂා කළ හැක්කේ කිනම් ආකාරයෙන්ද? (ආ) අදදින සිටින යෙහෝවාගේ සෙනඟ ඔවුන්ගේ වෙහෙසේ ඵල භුක්ති විඳින්නේ කෙසේද?

17 යෙහෝවා තම සෙනඟට දෙනු ලබන අලුත් නාමය ඔවුන් දරන වෑයම නිෂ්ඵල නොවන බවට සහතිකයක් ලබා දේ. “[යෙහෝවා] තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය. නුමුත් ඒවා එකතුකළ අය ඒවා කා, [යෙහෝවාට] ප්‍රශංසා කරන්නෝය; ඒවා රැස්කළ අය මාගේ ශුද්ධ මළුවලදී ඒවා බොන්නෝයයි [කීවේය].” (යෙසායා 62:8, 9) යෙහෝවාගේ දකුණත සහ බලවත් හස්තය මගින් සංකේතවත් කරන්නේ ඔහුගේ බලය සහ ශක්තියයි. (ද්විතීය කථාව 32:40, නව අනුවාදය; එසකියෙල් 20:5) අත ඔසවා දිවුරීමෙන් ඔහු සියොන්හි තත්වය වෙනස් කිරීමට අධිෂ්ඨාන කරගෙන තිබෙන බව පෙනේ. සියොන විනාශ කර එහි ඇති දේ කොල්ලකෑමට පො.යු.පෙ. 607දී යෙහෝවා සියොන්හි සතුරන්ට ඉඩහරිනු ලැබීය. (ද්විතීය කථාව 28:33, 51) එහෙත්, දැන් සියොන්හි උරුමයන් භුක්ති විඳින්න යන්නේ ඊට අයිතිවාසිකම් ඇති අය විසින් පමණයි.—ද්විතීය කථාව 14:22-27.

18 මේ පොරොන්දුවේ නවීන දින ඉටුවීමේදී, යෙහෝවා යළි පිහිටෙවූ සෙනඟ මහත් ආත්මික සමෘද්ධියක් අද්දකියි. එනම් තමන් දැරූ වෙහෙසේ ඵල වශයෙන්, ක්‍රිස්තියානි ගෝලයන් ඉතා විශාල සංඛ්‍යාවක් එක්රැස් කරගැනීමට සහ ආත්මික ආහාර කන්දරාවක් භුක්ති විඳීමට ඔවුන්ට හැකි වී තිබේ. (යෙසායා 55:1, 2; 65:14) යෙහෝවාට තම සෙනඟ විශ්වාසවන්තව සිටින නිසා, ඔවුන්ගේ ආත්මික සමෘද්ධියට බාධා කරන්න හෝ ඔවුන්ගේ ආත්ම පූර්ණ සේවයේ ඵල සොරාගන්න ඔවුන්ගේ සතුරන්ට යෙහෝවා ඉඩ නොතබනු ඇත. යෙහෝවාගේ නාමය වෙනුවෙන් කරන කිසිවක් අපතේ යන්නේ නැත.—මලාකී 3:10-12; හෙබ්‍රෙව් 6:10.

19, 20. (අ) යෙරුසලමට යළි පැමිණෙන යුදෙව්වන් මාර්ගය එළිපෙහෙළි කරගන්නා ලද්දේ කෙසේද? (ආ) වර්තමාන කාලයේදී මොළොක් ගුණැති අයට යෙහෝවාගේ සංවිධානයට ඒමට මාර්ගය සකස් කර තිබෙන්නේ කෙසේද?

19 දී ඇති අලුත් නාමය අවංක හදවත් ඇති අයව යෙහෝවාගේ සංවිධානය වෙත ඇදගැනීමටද හේතු වී තිබේ. දහස් ගණන් ඊට එක්රොක් වන අතර, ඔවුන් සඳහා දොර විවෘත කර තිබේ. මේ ගැන යෙසායා මෙසේ කියයි. ‘පිට වී යන්න. දොරටුවලින් පිට වී ගොස් ආපසු එන සෙනඟට මාර්ගයක් පිළියෙළ කරන්න. මහ මාවත් ඉදි කරන්න. ගල් ඉවත් කරන්න. ජනයන්ට කොඩියක් ඔසවන්න.’ (යෙසායා 62:10, නව අනුවාදය) මෙය මුලින්ම ඉටු වූයේ, බබිලෝනියේ දොරටුවලින් පිටව, නැවත යෙරුසලම බලා යන අය සම්බන්ධයෙන් විය හැක. යළි මව්බිම කරා යන මොවුන් තමන් ඉදිරියේ ඇති ගල් ඉවත් කර, මාර්ගය පිළියෙළ කරගත යුතුව තිබිණ. එමෙන්ම, මඟ පෙන්වන කොඩියක්ද එසවිය යුතු විය.—යෙසායා 11:12.

20 වර්ෂ 1919 සිට, ආලේප ලත් ක්‍රිස්තියානීන්ව දෙවිගේ සේවය උදෙසා වෙන් කර ඇති අතර, එදා සිට ඔවුහු ‘ශුද්ධ මාවතේ’ ගමන් කරමින් සිටිත්. (යෙසායා 35:8) මහා බබිලෝනියෙන් ඉවත් වී ආත්මික මහා මාර්ගයෙහි ගමන් කළ මුල්ම අය වූයේ මොවුන්ය. (යෙසායා 40:3; 48:20) යෙහෝවාගේ බලවත් ක්‍රියා ප්‍රකාශ කිරීමේත් අනිත් අයට මහා මාර්ගය වෙත ඒමට පාර කීමේත් වරප්‍රසාදය දෙවි ඔවුන්ට පවරා තිබේ. ඔවුන්ගේම යහපත උදෙසා ඔවුන් ඉදිරියේ ඇති පැකිලවන ගල් ඉවත් කිරීමටද සිදු විය. (යෙසායා 57:14) දෙවිගේ ඉගැන්වීම් සහ අරමුණු ඔවුන් පැහැදිලිව දැනගත යුතුව තිබිණ. බොරු ආගමික විශ්වාසයන් ජීවිත ගමනේ පැකිලවන ගල් මෙන්ය. එහෙත් යෙහෝවාගේ වචන හරියට ‘පර්වත පොඩි කරන කුළු ගෙඩියක් මෙන්ය.’ ආලේප ලත් අය දේවවචනය යොදාගෙන යෙහෝවාට සේවය කරන්න ආශාවෙන් සිටින අයව වැටීමට සලස්වන පැකිලවන ගල් කුඩු පට්ටම් කර දමන්නෝය.—යෙරෙමියා 23:29.

21, 22. බොරු ආගම හැර යන අයට යෙහෝවා සපයා ඇති සංඥාව කුමක්ද? අප එය දන්නේ කෙසේද?

21 පොදු යුගයට පෙර 537දී, යුදෙව්වන්ගේ ඉතිරි කොටසට නැවත ගොස් දේවමාළිගාව යළි ගොඩනැඟීම සඳහා කොඩිය හෙවත් සංඥාව වූයේ යෙරුසලමයි. (යෙසායා 49:22) වර්ෂ 1919දී ආලේප ලත් ඉතිරි කොටස බොරු ආගමික බැඳීම්වලින් මිදුණු පසු තමන් විසින් කළ යුතුව තිබූ දේ නොදැන අතපත ගාමින් නොසිටියෝය. ඔවුන් තම ගමනාන්තය දැන සිටි අතර, යෙහෝවා ඔවුන් වෙනුවෙන් සංඥාවක් සපයා තිබුණේය. කිනම් ආකාරයේ සංඥාවක්ද? එම සංඥාව ගැන යෙසායා 11:10හි මෙසේ සඳහන් කර තිබේ. “ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ [ඔහු] වෙතට ජාතීහු රැස්වන්නෝය.” ප්‍රේරිත පාවුල් මේ වචන යේසුස්ට අදාළ කළේය. (රෝම 15:8, 12) ඔව්, සංඥාව වන්නේ ස්වර්ගීය සියොන් කන්දේ පාලක රජු වන යේසුස් ක්‍රිස්තුස්ය.—හෙබ්‍රෙව් 12:22; එළිදරව් 14:1.

22 ආලේප ලත් ක්‍රිස්තියානීහු මෙන්ම වෙනත් බැටළුවෝද මහෝත්තම දෙවි ඉදිරියේ එක්සත්ව නමස්කාර කිරීමට යේසුස් ක්‍රිස්තුස් වටා එක්රොක් වෙති. ඔහුගේ පාලනය මගින් යෙහෝවාගේ විශ්වනීය පරමාධිපත්‍යය නිදොස් කිරීමට සහ පොළොවේ වෙසෙන සියලු ජාතීන්ට අයත් අවංක හදවත් ඇති මිනිසුන්ට ආශීර්වාද ගෙන එනු ඇත. දෙවිට ප්‍රශංසා කිරීම සඳහා එක්රැස් වීමට අප සියලුදෙනාටම මෙය හොඳ හේතුවක් නොවේද!

“නුඹේ ගැළවීම එන්නේය”

23, 24. දෙවි කෙරෙහි ඇදහිල්ල තිබෙන අයට ගැළවීම ගෙනෙන්නේ කෙසේද?

23 යෙහෝවා තම භාර්යාව බඳු සංවිධානයට දී තිබෙන අලුත් නාමය, ඇගේ දරුවන්ගේ සදාකාල ගැළවීම හා බැඳුණු එකකි. යෙසායා මේ ගැන මෙසේ ලියයි. ‘බලව, යෙහෝවා පොළොවේ කෙළවර දක්වා මෙසේ ප්‍රකාශ කර තිබේ; අන්න නුඹේ ගැළවීම එන්නේය; අන්න ඔහුගේ බලය ඔහු සමඟය, ඔහුගේ විපාකය ඔහු ඉදිරියෙහිය කියා සියොන් දුවට කියන්න.’ (යෙසායා 62:11) බබිලෝනිය වැටීමෙන් අනතුරුව යුදෙව්වන් තම මව්බිම කරා නැවත ගිය විට ඔවුන්ට ගැළවීම අත් විය. එහෙත් මේ වචන ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයකට යොමු දක්වයි. යෙහෝවා මෙහිදී ප්‍රකාශ කරන දෙය යෙරුසලම සම්බන්ධයෙන් සෙකරියා ප්‍රකාශ කළ අනාවැකිය අපගේ මතකයට නඟයි. ‘සියොන් දියණියෙනි, බොහෝ සෙයින් ප්‍රීතිමත් වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එන්නේය. ඔහු ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; ඔහු යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැඟී එන්නේය.’—සෙකරියා 9:9.

24 යේසුස් වතුරෙන් බව්තීස්ම වීමෙන් සහ ශුද්ධාත්මයෙන් ඔහුව ආලේප කිරීමෙන් අවුරුදු තුනහමාරකට පසු ඔහු කොටළුවෙකු පිට නැඟී යෙරුසලමට පැමිණ දේවමාළිගාව පවිත්‍ර කළේය. (මතෙව් 21:1-5; යොහන් 12:14-16) අදදින දෙවි කෙරෙහි ඇදහිල්ල තබන සියලුදෙනාටම යෙහෝවා දෙන ගැළවීම අත් කර දෙන්නේ යේසුස් ක්‍රිස්තුස් විසිනි. වර්ෂ 1914දී සිංහාසනාරූඪ වූ දවසේ සිට යේසුස් යෙහෝවාගේ පත් කරන ලද විනිශ්චකරු සහ වධකයා ලෙසද ක්‍රියා කරයි. වර්ෂ 1918දී, එනම් ඔහු සිංහාසනාරූඪ වී අවුරුදු තුනහමාරක් ගිය තැන, ඔහු පොළොවේ සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාවෙන් නියෝජනය කරන යෙහෝවාගේ ආත්මික දේවමාළිගාව පිරිසිදු කළේය. (මලාකී 3:1-5) ඔහුව සංඥාවක් හැටියට එසවීමත් සමඟ මෙසියානු රාජ්‍යයට සහය වීමට පොළොවේ සෑම තැනකින්ම බොහෝදෙනෙකුව ඒකරාශි කිරීමේ වැඩක් ආරම්භ කරනු ලැබීය. පුරාණ කාලයේදී මෙන් දෙවිගේ ඉශ්‍රායෙල්ටද “ගැළවීම” අත් වූයේ 1919දී ඔවුන් මහා බබිලෝනියෙන් මිදී ආ විටය. ආත්ම පරිත්‍යාගශීලි අස්වැන්න නෙළන්නන් වෙනුවෙන් වෙන් කර ඇති “විපාකය,” ස්වර්ගයේ අමරණීය ජීවිතයක් නැතහොත් පොළොව මත සදාකාල ජීවනයකි. ඒ නිසා, ‘ස්වාමීන් කෙරෙහි ඔවුන්ගේ මෙහෙය නිෂ්ඵල නොවන බව’ ඇදහිලිවන්ත සියලුදෙනාටම සහතික විය හැකිය.—1 කොරින්ති 15:58.

25. යෙහෝවාගේ සෙනඟට දී තිබෙන සහතිකය කුමක්ද?

25 යෙහෝවාගේ ස්වර්ගීය සංවිධානයට, පොළොවේ සිටින එහි ආලේප ලත් නියෝජිතයන්ට සහ ඔවුන් සමඟ ක්‍රියාශීලී ලෙස සේවය කරන අයට තිබෙන්නේ මොනතරම් ලස්සන බලාපොරොත්තුවක්ද! (ද්විතීය කථාව 26:19) යෙසායා මේ ගැන පුරෝකථනය කළේ මෙසේය. “ඔව්හු: ශුද්ධ සෙනගය කියාත් [යෙහෝවාගේ] මුදාගත් අයය කියාත් කියනු ලබන්නෝය. නුඹ වනාහි: සොයාගත් තැනැත්තීය, අත්නෑරිය නුවරක්ය කියා කියනු ලබන්නෙහිය.” (යෙසායා 62:12) වතාවක්, දෙවිගේ ඉශ්‍රායෙල්ගෙන් නියෝජනය කරන ‘ඉහළ තිබෙන යෙරුසලමට’ දෙවි තමාව අත්හැර තිබූ බවක් හැඟුණි. නැවත කිසිදාක ඇයට එසේ නොහැඟෙනු ඇත. යෙහෝවාගේ සෙනඟ සදාකාලයටම ඔහුගේ සුරක්ෂිත රැකවරණය තුළ රැඳෙනු ඇත. එසේම ඔහුගේ අනුමැතිය සදාකාලයටම ලබනු ඇත.

[පාදසටහන]

^ බයිබල් අනාවැකිවල, ‘අලුත් නාමයකින්’ අලුත් තත්වයක් හෝ වරප්‍රසාදයක් ඇඟවිය හැක.—එළිදරව් 2:17; 3:12.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[342වන පිටුවේ කොටුව]

විවාහය සඳහා උත්තරීතර ආදර්ශය

දෙදෙනෙකු විවාහ වන විට, ඔවුහු තම ඕනෑ එපාකම් සහ ආශාවන් සැලකිල්ලට ගනිත්. එසේ නම්, විවාහ ඒකකයේ නිර්මාතෘවරයා වන යෙහෝවාගේ ඕනෑ එපාකම් සහ ආශාවන් ගැනත් සැලකිලිමත් විය යුතු නැද්ද? විවාහය පිළිබඳව ඔහුගේ අරමුණ කුමක් වීද?

දෙවි මේ කාරණය දෙස බලන්නේ කෙසේද කියා ඔහු ඉශ්‍රායෙල් ජාතිය සමඟ කටයුතු කළ ආකාරයෙන් පෙනේ. ඔහු ඔවුන් සමඟ පවත්වාගත් සම්බන්ධය යෙසායා විස්තර කරන්නේ විවාහයක් හැටියටයි. (යෙසායා 62:1-5) යෙහෝවා “ස්වාමිපුරුෂයා” හැටියට ඔහුගේ “මනමාලිය” වෙනුවෙන් ඉටු කරන දෙය කුමක්දැයි සලකා බලන්න. ඔහු ඇයව ආරක්ෂා කර, පවිත්‍ර කරන්නේය. (යෙසායා 62:6, 7, 12) ඔහු ඇයට ගරු කරන අතර, ඔහුට ඇයව බොහෝ සෙයින් වටියි. (යෙසායා 62:3, 8, 9) ඔහු ඇයට දුන් අලුත් නාමයෙන් ඇඟවෙන්නේ ඔහු ඇය කෙරෙහි ප්‍රීති වන බවයි.—යෙසායා 62:4, 5, 12.

යෙහෝවා සහ ඉශ්‍රායෙල් අතර තිබෙන සම්බන්ධය යෙසායා පොතේ ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවක අතර තිබෙන සම්බන්ධයට සමාන කර ඇත. ක්‍රිස්තුස් සහ ආලේප ලත් ක්‍රිස්තියානි සභාව අතර තිබෙන සම්බන්ධයද ඒ හා සමාන බව පාවුල් ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලෙහි සඳහන් කරයි.—එපීස 5:21-27.

පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්වූයේ යේසුස් සහ සභාව අතර තිබෙන සම්බන්ධය ඔවුන්ගේ විවාහයේදී ආදර්ශයට ගන්න කියාය. යෙහෝවා ඉශ්‍රායෙල් සෙනඟටත්, ක්‍රිස්තුස් සභාවටත් පෙන්වූ ප්‍රේමය තරම් උතුම් ප්‍රේමයක් තවත් නැත. එම සංකේතාත්මක සම්බන්ධතා සාර්ථක සහ ප්‍රීතිමත් විවාහයක් සඳහා ක්‍රිස්තියානීන්ට උත්තරීතර ආදර්ශයක් සපයයි.—එපීස 5:28-33.

[339වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ස්වර්ගීය සියොනට අලුත් නාමයකින් හඬගසයි

[347වන පිටුවේ පින්තූර]

වර්තමාන කාලයේදී යෙහෝවාගේ මුරකරු පංතිය නිහඬව නොසිටී