Skip to content

පටුනට යන්න

අසරණ වූ වහලුන්ට සැනසිලිදායක පණිවිඩයක්

අසරණ වූ වහලුන්ට සැනසිලිදායක පණිවිඩයක්

දහසයවන පරිච්ඡේදය

අසරණ වූ වහලුන්ට සැනසිලිදායක පණිවිඩයක්

යෙසායා 55:1-13

1. බබිලෝනියේ සිටි යුදෙව් වහලුන්ගේ තත්වය විස්තර කරන්න.

 එය යූදා ඉතිහාසයේ අඳුරු සමයක් විය. දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටි සෙනඟව තම මව්බිමෙන් බලහත්කාරයෙන් ගෙන ගොස් බබිලෝනියේ වහල්භාවයේ රඳවා තිබේ. එහි සිටියදී ඔවුන්ගේ දෛනික වැඩකටයුතු සඳහා යම් දුරකට නිදහසක් දී තිබුණු බව නම් ඇත්තයි. (යෙරෙමියා 29:4-7) සමහරුන්ට වෘත්තීය දක්ෂතා තිබූ අතර, තවත් සමහරු වාණිජ ව්‍යාපාර කටයුතුවල යෙදුණහ. * (නෙහෙමියා 3:8, 31, 32) කෙසේවෙතත්, යුදෙව් වහලුන් ගත කළ ජීවිතය පහසු එකක් නොවීය. ඔවුහු ශාරීරිකව හා ආත්මිකව යන දෙයාකාරයෙන්ම වහලුන්ව සිටියහ. ඒ කෙසේදැයි අපි සොයා බලමු.

2, 3. යුදෙව්වන් වහල්භාවයේ සිටීම යෙහෝවාට කළ ඔවුන්ගේ නමස්කාරයට බලපෑවේ කෙසේද?

2 පොදු යුගයට පෙර 607දී බබිලෝනියේ හමුදා යෙරුසලම විනාශ කිරීමෙන්, ජාතියක් නැති කර දමනවාට වඩා වැඩි හානියක් සිදු කළෝය. ඔවුහු සැබෑ නමස්කාරයටද මරු පහරක් එල්ල කළහ. ඔවුහු යෙහෝවාගේ දේවමාළිගාව කඩා බිඳ දමා විනාශ කර දැමූහ. ලෙවී ගෝත්‍රයේ සමහරෙකුව වහල්කමට ගෙන ගිය අතර, අනිත් අයව ඝාතනය කළෝය. දැන් නමස්කාරය සඳහා ගෘහයක් නැත. පූජාසනයක්වත් සංවිධානාත්මක පූජක තන්ත්‍රයක්වත් නැත. ව්‍යවස්ථාවේ නියම කර ඇති ආකාරයට සැබෑ දෙවිට පූජා ඔප්පු කිරීමට දැන් යුදෙව්වන්ට කොහෙත්ම නොහැකිය.

3 ඇදහිලිවන්ත යුදෙව්වන්ට තමන්ගේ ආගමික කටයුතු සිදු කරගෙන යෑමට හැකි වූයේ, චර්මච්ඡේදනය කිරීමෙන් සහ හැකි තාක් දුරට ව්‍යවස්ථාවට අනුව තම ජීවිත සකස් කරගැනීමෙන් පමණි. උදාහරණයක් හැටියට, අකැප ආහාර පානවලින් වැළකී සිටීමටත් සබත පැවැත්වීමටත් ඔවුන්ට නිදහස තිබුණද, එසේ කිරීමේදී, ඔවුන්ට තමන්ව වහලට ගෙනාවුන්ගේ සමච්චලයට භාජන වීමෙන් මිදිය නොහැකි විය. ඔවුන් යුදෙව්වන්ගේ මේ ආගමික චාරිත්‍ර සැලකුවේ බොළඳකමක් හැටියටයි. මේ වහලුන්ගේ අසරණකම සහ මානසික බිඳ වැටීම ගීතිකාකරුවෙකුගේ වචනවලින් කියැවෙන්නේ මේ ආකාරයටයි. “බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව,—එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව. එහි මැද නළාගස්වල අපේ වීණා එල්ලා තැබීමුව. මක්නිසාද අප වහල්කොට ගෙනගිය අය එහිදී ගී කියන ලෙස අපෙන් ඉල්ලුවෝය, අපට පීඩාකළ අය: සියොන් ගීතිකාවලින් එකක් කියා සෙල්ලම්කරන්ට කීවෝය.”—ගීතාවලිය 137:1-3.

4. ගැළවීම සඳහා යුදෙව්වන් විසින් වෙනත් ජාතීන්ගේ සහය පැතීම නිෂ්ඵල ක්‍රියාවක් වන්නේ මන්ද? ඒ වෙනුවට සරණ පතා ඔවුන් හැරිය යුත්තේ කා වෙතටද?

4 එසේ නම්, සැනසිල්ල සොයා යා යුත්තේ කා වෙතටද? ඔවුන්ගේ ගැළවීම පැමිණෙන්නේ කොහෙන්ද? නිසැකවම, අසල්වැසි ජාතීන්ගෙන් නම් නොවේ! බබිලෝනිය ඉදිරියේ ඔවුන් හැමෝගේම දණිස් එකිනෙක ගැටී වෙවුලයි. ඇරත් ඔවුහු යුදෙව්වන්ගේ සතුරෝය. එහෙත් යුදෙව්වන් අසරණ වී නොමැත. යුදෙව්වන් නිදහස් ජාතියක්ව සිටියදී යෙහෝවාට විරුද්ධව කැරලිගැසුවත්, ඔවුන් වහලුන් වූ පසු යෙහෝවා ඔවුන්ව අත් නොහැරියේය. ඒ වෙනුවට ඔහු ඔවුන්ට හද පුබුදන ආරාධනාවක් කරයි.

“වතුර ළඟට එන්න”

5. “වතුර ළඟට එන්න” යන වචනවල ඇති විශේෂත්වය කුමක්ද?

5 යෙහෝවා යෙසායා මාර්ගයෙන් බබිලෝනියේ සිටින යුදෙව්වන්ට අනාවැකිමය ආකාරයෙන් කතා කරයි. “එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.” (යෙසායා 55:1) මේ වචනවලට ගැඹුරු අර්ථයක් ඇත. නිදසුනකට, “වතුර ළඟට එන්න” යන යෙහෝවාගේ ආරාධනාව සලකා බලන්න. වතුර නැතිව ජීවත් විය නොහැකිය. එම අත්‍යවශ්‍ය ද්‍රවය නැතිව මිනිසෙකුට වැඩිම වුණොත් ජීවත් විය හැක්කේ සතියක් පමණි. එමනිසා, යෙහෝවා තම වචන වතුරේ ඇති ගුණයට සමාන කිරීම ඉතාම උචිතය. කාන්තාර දේශයක සිසිල් ජලය මෙන් වූ ඔහුගේ පණිවිඩය, මැලවී ගිය යුදෙව් වහලුන්ගේ හදවත් ප්‍රාණවත් කරනු ඇත. එය ඔවුන්ව කනස්සල්ලෙන් මුදන අතර, සැබෑව සහ ධර්මිෂ්ඨකම සඳහා ඔවුන් තුළ ඇති පිපාසය සංසිඳුවාලයි. එමෙන්ම, එය වහල්කමෙන් නිදහස ලැබෙන බවට අපේක්ෂාවක් ඔවුන් තුළ ඇති කරයි. ඒ වුණත්, එයින් ප්‍රයෝජන ගැනීමට නම්, යුදෙව් වහලුන් දෙවිගේ පණිවිඩය පානය කරන්නාක් මෙන්, ඊට අවධානය යොමා, ඒ අනුව ක්‍රියා කළ යුතුය.

6. යුදෙව්වන් ‘මුද්‍රිකපානය සහ කිරි’ මිල මුදල් නැතුව ලබාගත්තා නම් ඔවුන්ට ලැබෙනු ඇති ප්‍රයෝජන මොනවාද?

6 යෙහෝවා ‘මුද්‍රිකපානය සහ කිරිද’ සපයයි. කිරි සිරුරු ශක්තිමත් කර දරුවෙකුව වැඩෙන්න සලස්වයි. ඒ හා සමානව යෙහෝවාගේ වචනය ඔහුගේ සෙනඟව ආත්මිකව ශක්තිමත් කර ඔහු සමඟ වඩා කිට්ටු සම්බන්ධයක් ඇති කරගැනීමට ඔවුන්ට උදව් කරයි. මුද්‍රිකපානය ගැන කුමක් කිව හැකිද? මුද්‍රිකපානය බොහෝවිට පාවිච්චි කරන්නේ මංගල්‍ය අවස්ථාවලදීය. බයිබලයේ එය සමෘද්ධිය සහ ප්‍රීතිය දැක්වීමට යොදාගෙන තිබේ. (ගීතාවලිය 104:15) ඇවිත් “මිලමුදල් නැතුව මුද්‍රිකපානය” ගන්න කියා තම සෙනඟට කීමෙන් යෙහෝවා අදහස් කරන්නේ, සැබෑ නමස්කාරය වෙත මුළු හෘදයෙන්ම ඔවුන් නැවත හැරී එනවා නම්, එමගින් ‘මුළුමනින්ම ප්‍රීතිය’ අද්දැකිය හැකි බවයි.—ද්විතීය කථාව 16:15; ගීතාවලිය 19:8; හිතෝපදේශ 10:22.

7. වහලුන්ට යෙහෝවා දක්වන දයානුකම්පාව විශිෂ්ටයි කියා කියන්නේ මන්ද? එය අපට ඔහු ගැන උගන්වන්නේ කුමක්ද?

7 වහල්භාවයේ සිටින යුදෙව්වන්ට ආත්මික වශයෙන් නව ජීවයක් ලබා දීම යෙහෝවා දක්වන දයාවන්තකමට මොනතරම් කැපීපෙනෙන සාක්ෂියක්ද! ඉතිහාසය පුරාම යුදෙව්වන් අනුගමනය කළ හිතුවක්කාර සහ කැරලිකාර ක්‍රියාමාර්ගය සිහි කරද්දී යෙහෝවා ඔවුන්ට අනුකම්පාව දැක්වීම පුදුමයට පත් කරවන්නකි. ඔවුන් යෙහෝවාගේ අනුමැතිය ලබන්න නම් කොහෙත්ම වටින්නේ නැත. ඒ වුණත්, සියවස් ගණනාවකට පෙර ගීතිකාකාර දාවිත් මෙසේ ලියුවේය. ‘යෙහෝවා අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටින්නේය. කෝපවීමට ප්‍රමාදය. අතිශයින් කරුණාවන්තය. ඔහු නිතර තරවටු නොකරන්නේය; සදාකාලයට කෝපය නොපවත්වන්නේය.’ (ගීතාවලිය 103:8, 9) තම සෙනඟව අහක නොදමා සමාදාන වීම සඳහා යෙහෝවා මුල් පියවර ගන්නේය. ඇත්ත වශයෙන්ම යෙහෝවා කියන්නේ “කරුණාවට ප්‍රිය” දෙවිකෙනෙකි.—මීකා 7:18.

විශ්වාසය වෙනතකට

8. යුදෙව්වන් බොහෝදෙනෙකු නොසලකා හැරියේ කිනම් අනතුරු ඇඟවීමද? ඔවුන් විශ්වාසය තැබුවේ කා කෙරෙහිද?

8 මේ දක්වා බොහෝ යුදෙව්වන් ගැළවීම සඳහා යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තිබුණේ නැත. උදාහරණයක් හැටියට, බබිලෝනිවරුන් අතට පත්වීමට පෙර, යෙරුසලමේ පාලකයන් උපකාරය පතා මිසරය සහ බබිලෝනිය වැනි බලවත් ජාතීන් වෙත හැරුණි. එය හරියට වේශ්‍යාකම් කිරීමක් මෙන් විය. (එසකියෙල් 16:26-29; 23:14) එසේ නම්, යෙරෙමියා මෙසේ අනතුරු අඟවන්නේ හොඳ හේතු ඇතුවයි. “මනුෂ්‍යයා කෙරෙහි විශ්වාසකරන්නාවූ, මාංසය තමාගේ හස්තයකොට තබාගන්නාවූ, සිතින් [යෙහෝවා] කෙරෙන් පහවයන්නාවූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය.” (යෙරෙමියා 17:5) දෙවිගේ සෙනඟ හරියටම කළේ එම දෙයමයි!

9. බොහෝ යුදෙව්වන් ‘කෑම නොවන දේට මුදල් වියදම් කරනු ඇත්තේ’ කෙසේද?

9 දැන් ඔවුන් කලින් විශ්වාසය තැබූ ජාතියක වහලුන් බවට පත් වී ඇත. ඔවුන් පාඩමක් ඉගෙනගත්තාද? පෙනෙන විදිහට බොහෝදෙනෙකු පාඩමක් ඉගෙනගත්තේ නැත. යෙහෝවා මෙසේ අසන්නේ එනිසා විය හැකියි. “කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද?” (යෙසායා 55:2අ) යුදෙව් වහලුන් යෙහෝවා හැර වෙන කෙනෙකු කෙරෙහි විශ්වාසය තබනවා නම්, ඇත්තෙන්ම ඔවුන් ‘කෑම නොවන දේට මුදල් වියදම් කරනවා’ හා සමානයි. තම වහලුන්ව කිසිදාක නැවත යවන්නේ නැත යන ප්‍රතිපත්තිය දරන, බබිලෝනියෙන් ඔවුන් කිසිම සහනයක් නොලබන බවට නම් සැකයක් නැත. එමෙන්ම, අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන්, වාණිජමය ලුහුබැඳීම්වලින් සහ බොරු වන්දනාවෙන් පිරී සිටින බබිලෝනියට මේ වහලුන්ට දෙන්න කිසිවක් ඇත්තේ නැත.

10. (අ) යුදෙව්වන් යෙහෝවාට ඇහුම්කන් දෙනවා නම්, යෙහෝවා ඔවුන්ට විපාක දෙන්නේ කෙසේද? (ආ) යෙහෝවා දාවිත් සමඟ ඇති කරගත් ගිවිසුම කුමක්ද?

10 යෙහෝවා දැන් යෙසායා මාර්ගයෙන් තම සෙනඟගෙන් මෙසේ ආයාචනා කරයි. “හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා. නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන [මම දාවිත් කෙරෙහි දැක්වූ ප්‍රේමනීය කරුණාවට පක්ෂපාතව, NW] සදාකාල ගිවිසුමක් නුඹලා සමග කරන්නෙමි.” (යෙසායා 55:2ආ, 3) ආත්මිකව මන්දපෝෂණයෙන් පෙළෙන මේ මිනිසුන්ට තිබෙන එකම බලාපොරොත්තුව යෙහෝවායි. ඔවුන්ගේ ගැළවීම සහමුලින්ම රඳා පවතින්නේ යෙසායා මගින් යෙහෝවා දෙන අනාවැකිමය පණිවිඩයට ඇහුම්කන් දීම මතය. එසේ කළොත් ඔබේ “ප්‍රාණය ජීවත්වන්නේය” කියා යෙහෝවා කියන්නේ ඒ නිසයි. කෙසේවෙතත්, තම වචනයට යහපත් ප්‍රතිචාරයක් දක්වන අය සමඟ යෙහෝවා ඇති කරගන්නා “සදාකාල ගිවිසුම” කුමක්ද? ඒ ගිවිසුම “දාවිත් කෙරෙහි දැක්වූ ප්‍රේමනීය කරුණාව” හා සම්බන්ධ එකකි. සියවස් ගණනාවකට පෙර, යෙහෝවා දාවිත්ගේ සිංහාසනය “සදාටම පිහිටුවනු ලබන්නේය” කියා පොරොන්දු විය. (2 සාමුවෙල් 7:16) මේ අනුව මෙහි සඳහන් “සදාකාල ගිවිසුම” පාලන තන්ත්‍රය හා සම්බන්ධයි.

නැති නොවන ආණ්ඩුවක ස්ථිර උරුමක්කාරයෙක්

11. දෙවි දාවිත්ට දුන් පොරොන්දුවේ ඉටුවීම බබිලෝනියේ සිටි වහලුන්ට ඇදහිය නොහැක්කක් ලෙස පෙනෙන්න ඇත්තේ මන්ද?

11 දාවිත්ගේ පෙළපතින් නැවත පාලනයක් ඇරඹෙයි කියන එක නම් යුදෙව් වහලුන්ට ඇදහිය නොහැක්කක් මෙන් දිස් වෙන්න ඇති බව පිළිගත යුතුයි. ඔවුන්ට තමන්ගේ දේශය පමණක් නොව ජාතියද නැති වී ඇත! එහෙත් එය තාවකාලිකයි. යෙහෝවා තමන් දාවිත් සමඟ ඇති කරගත් ගිවිසුම අමතක කර නැත. මිනිස් දෘෂ්ටිකෝණයෙන් බලද්දී එය සිදු විය නොහැකියි කියා සිතුණත්, දාවිත්ගේ පෙළපතින් නැති නොවන ආණ්ඩුවක් පිහිටුවන බවට වූ දෙවිගේ අරමුණ ඉෂ්ට වෙනවා වෙනවාමයි. එහෙත්, එය සිදු වන්නේ කෙසේද? එමෙන්ම කවදාද? පොදු යුගයට පෙර 537දී, යෙහෝවා තම සෙනඟව බබිලෝනියේ වහල්භාවයෙන් මුදාගෙන ඔවුන්ගේ මව්බිම කරා ගෙන ගියේය. මෙහි ප්‍රතිඵලයක් හැටියට සදාකාලික ආණ්ඩුවක් පිහිටුවනු ලබාවිද? නැත. දැන් ඔවුන් සිටින්නේ තවත් මිථ්‍යා දෘෂ්ටික අධිරාජ්‍යයක් වන මේද පර්සියාව යටතේය. ඒ වන විට, පාලනය කිරීමට අන්‍ය ජාතීන්ට “නියම කරන ලද කාලවල්” අවසන් වී තිබුණේ නැත. (ලූක් 21:24, NW) යෙහෝවා දාවිත්ට දුන් පොරොන්දුව රජෙකු නොමැතිව සිටි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සියවස් ගණනාවක් යන තුරු ඉටු නොවුණි.

12. යෙහෝවා දාවිත් සමඟ කළ රාජ්‍යය පිළිබඳ ගිවිසුම ඉටු කිරීම සඳහා ගත්තේ කිනම් පියවරද?

12 ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියේ වහල්භාවයෙන් මිදී අවුරුදු 500කට පමණ පසු යෙහෝවා එම රාජ්‍යය පිළිබඳ ගිවිසුම ඉෂ්ට කිරීම සඳහා මූලික පියවර තැබුවේය. එසේ කළේ, මුළු මැවිල්ලේ කුලුඳුලා වන තමන්ගේ ඒකජාතක පුත්‍රයාගේ ජීවිතය ස්වර්ගීය තේජසේ සිට මරියා නම් යුදෙව් කන්‍යාවකගේ ගර්භාශයට මාරු කිරීමෙනි. (කොලොස්සි 1:15-17) එම සිද්ධිය නිවේදනය කරමින් යෙහෝවාගේ දූතයා මරියාට මෙසේ කීවේය. ‘ඔහු උතුම්ව මහෝත්තමයාගේ පුත්‍රයායයි කියනු ලබන්නේය. ඔහුගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි වූ යෙහෝවා ඔහුට දෙන්නේය. ඔහු යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාලේටම රජකම් කරන්නේය. ඔහුගේ රාජ්‍යය කෙළවර නොවන්නේය.’ (ලූක් 1:32, 33) මෙසේ යේසුස් දාවිත්ගේ රාජකීය පෙළපතට අයත් කෙනෙකු ලෙස ඉපදී, රජකම් කිරීමට ඇති අයිතිය උරුම කරගත්තේය. යේසුස් සිංහාසනාරූඪ වූ පසු, “සදාකාලයටම” රජකම් කරන්නේය. (යෙසායා 9:7; දානියෙල් 7:14) මෙසේ, දාවිත් රජුට ස්ථිර උරුමක්කාරයෙකු දෙන බවට වූ සියවස් ගණනක් පරණ යෙහෝවාගේ පොරොන්දුව ඉටු කිරීමට පාර කැපිණි.

“ජනයන්ට අධිපතියෙක්”

13. යේසුස් තම දේවසේවා කාලයේදීත් ස්වර්ගයට ගිය පසුත් ‘ජනයන්ට සාක්ෂිකාරයෙක්ව’ සිටියේ කෙසේද?

13 මේ රජු අනාගතයේදී කුමක් කරාවිද? යෙහෝවා ඒ ගැන මෙසේ කියයි. “බලව, [ඔහු] ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්ද කොට දුනිමි.” (යෙසායා 55:4) යේසුස් වයසින් වැඩුණු පසු ඔහු පොළොවේ සිටින යෙහෝවාගේ නියෝජිතයා නැතහොත්, ජනයා සඳහා දෙවිගේ සාක්ෂිකාරයා විය. මිහිමත ඔහුගේ ජීවිත කාලයේදී ඔහුගේ දේවසේවය යොමුව තිබුණේ, ‘ඉශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙතටයි.’ කෙසේවෙතත්, යේසුස් ස්වර්ගයට යෑමට ටික මොහොතකට පෙර තම අනුගාමිකයන්ට කියා සිටියේ, “නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. . . . මමද ලෝකාන්තිමය [මේ ක්‍රමයේ අවසානය, NW] දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි” කියායි. (මතෙව් 10:5, 6; 15:24; 28:19, 20) මෙසේ, නියම කාලය පැමිණි විට ශුභාරංචිය යුදෙව් නොවන්නන් වෙතට ගෙන ගිය අතර, ඔවුන්ගෙන් සමහරෙක් දාවිත් සමඟ කළ ගිවිසුමේ ඉටුවීමට පංගුකාරයන් වූහ. (ක්‍රියා 13:46) මේ ආකාරයට ඔහුගේ මරණයෙන්, නැවත නැඟිටීමෙන් සහ ස්වර්ගයට යෑමෙන් පසුවත් දිගටම ඔහු ‘ජනයන්ට [යෙහෝවාගේ] සාක්ෂිකාරයෙක්ව’ සිටියේය.

14, 15. (අ) යේසුස් “අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්” බව ඔප්පු කරන්නේ කෙසේද? (ආ) යේසුස්ගේ මුල් සියවසේ අනුගාමිකයන් සිටියේ කුමන අපේක්ෂාවක් ඇතිවද?

14 යේසුස් “ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්” වන බවද කියා තිබිණ. මේ අනාවැකිමය විස්තරය සැබෑ කරවමින් මේ පොළොවේ සිටියදී, පාලකයෙක් වශයෙන් ඔහු තම වගකීම මුළුමනින්ම කරට ගත්තේය. ඔහු සැමවිටම මූලිකත්වය ගෙන කටයුතු කළ අතර විශාල ජනකායකට උගන්වමින් ඔවුන්ව සත්‍යය වෙතට ඇදගත්තේය. ඔහුගේ පාලනයට යටත් වන අයට ලැබෙන ප්‍රයෝජනද ඔහු පෙන්නුවේය. (මතෙව් 4:24; 7:28, 29; 11:5) ඔවුන් ඉදිරියේ ඇති විශාල දේශනා ව්‍යාපෘතිය භාරගැනීමට සූදානම් කරනු වස් ඔහු තම ගෝලයන්ව ඵලදායි ලෙස පුහුණු කළේය. (ලූක් 10:1-12; ක්‍රියා 1:8; කොලොස්සි 1:23) යේසුස් අවුරුදු තුනහමාරකින්, විවිධ ජාතීන්ට අයත් සාමාජිකයන් දහස් ගණනකින් සමන්විත එක්සත් ජාත්‍යන්තර සභාවකට අවශ්‍ය අඩිතාලම දැමුවේය! එවන් දැවැන්ත කාර්යයක් ඉටු කළ හැක්කේ නියම ‘අධිපතියෙකුට හා ආණ්ඩුකාරයෙකුට’ පමණයි. *

15 පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවට එක්රැස් කළ අයව ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබීය. ඔවුහු යේසුස් සමඟ ඔහුගේ ස්වර්ගීය රාජ්‍යයේ හවුල් පාලකයන් වීමේ අපේක්ෂාව ඇතුව සිටිති. (එළිදරව් 14:1) කෙසේවෙතත්, යෙසායාගේ අනාවැකිය මුල් ක්‍රිස්තියානි කාලයෙන් ඔබ්බට දිව යයි. සාක්ෂි පෙන්වන්නේ, යේසුස් 1914 වන තුරු දේවරාජ්‍යයේ රජු ලෙස පාලනය ආරම්භ කළේ නැති බවයි. ඉන් ටික කලකට පසු, පොළොව මත සිටි ආලේප ලත් ක්‍රිස්තියානීහු, පො.යු.පෙ. හයවන සියවසේ සිටි යුදෙව් වහලුන් මුහුණ දුන්නා හා සමාන තත්වයකට මුහුණ දුන්හ. ඇත්තෙන්ම, එම ක්‍රිස්තියානීන්ට සිදු වූ දෙය යෙසායාගේ අනාවැකියේ විශාල ඉටුවීමකට හේතු පාදක විය.

වර්තමාන වහල්භාවය සහ මිදීම

16. වර්ෂ 1914දී යේසුස් සිංහාසනාරූඪ වීමත් සමඟ පැමිණි දුක්ගාවිනා මොනවාද?

16 වර්ෂ 1914දී යේසුස්ගේ සිංහාසනාරූඪ වීම, ලෝකය පෙර අත් නොදුටු අන්දමේ දුක්ගාවිනාවලින් සනිටුහන් විය. ඊට හේතුව වූයේ යේසුස් රජ වූ වහාම සාතන්ව සහ ඔහුගේ දුෂ්ට ආත්ම මැවිලි ස්වර්ගයෙන් පිටුවහල් කිරීමයි. ඔවුන්ව පොළොවට පමණක් සීමා කළ විට, පොළොවේ සිටින ශුද්ධවන්තයන් වන ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටසට විරුද්ධව සාතන් සටන් කරන්න පටන්ගත්තේය. (එළිදරව් 12:7-12, 16ආ) වර්ෂ 1918දී එය උච්චාවස්ථාවට පැමිණි අතර, කැරලිකාරකම්වලට උසිගන්වනවායයි බොරු චෝදනා එල්ල කර වොච් ටවර් සමිතියේ වගකිව යුතු නිලධාරින්ව සිරගත කළ අවස්ථාවේදී ප්‍රසිද්ධ දේශනා වැඩය මුළුමනින්ම පාහේ නතර විය. පුරාණ යුදෙව්වන් වචනානුසාරයෙන් වහල්භාවයට යටත් වුණාක් මෙන් යෙහෝවාගේ වර්තමාන දින සේවකයන්ද මේ ආකාරයට ආත්මික වහල්භාවයට නතු විය. ඔවුහු මහත් නින්දාවකට ලක් වූහ.

17. වර්ෂ 1919දී ආලේප ලත් අයගේ තත්වය අනිත් අතට පෙරළුණේ කෙසේද? ඉන්පසු, ඔවුන්ව ශක්තිමත් කළේ කෙසේද?

17 කෙසේවෙතත්, දෙවිගේ ආලේප ලත් සෙනඟගේ වහල් තත්වය දිගටම පැවතුණේ නැත. වර්ෂ 1919 මාර්තු 26වනදා සිරගත කළ නිලධාරීන්ව නිදහස් කළ අතර, ඔවුන්ට විරුද්ධව එල්ල කර තිබූ සියලුම චෝදනා අහෝසි කරනු ලැබීය. යෙහෝවා තම මුදනු ලැබූ සෙනඟ මත ශුද්ධාත්මය වැගිරවූ අතර, ඉදිරියේ තිබූ වැඩය සඳහා ඔවුන්ව යළි පණගන්වනු ලැබීය. ඔවුහු ප්‍රීතියෙන් යුතුව “ජීවන-වතුර නොමිලයේ ගනීවා” යන ආරාධනාවට ප්‍රතිචාරය දැක්වූහ. (එළිදරව් 22:17) ආලේප ලත් ඉතිරි කොටස “මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද” ලබාගත් අතර, ඔවුන් නොසිතූ විරූ ආකාරයේ පුළුල් කිරීමේ ව්‍යාපෘතියක යෙදීම සඳහා එය ඔවුන්ව ආත්මිකව ශක්තිමත් කරනු ලැබීය.

මහත් සමූහයක් දෙවිගේ ආලේප ලත් අය වෙත දිව යයි

18. යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන් කුමන කණ්ඩායම් දෙකට අයත්ද? අදදින ඔවුන් සංවිධානය වී ඇත්තේ කෙසේද?

18 යේසුස්ගේ සෑම ගෝලයෙකුම අපේක්ෂා දෙකකින් එකක් ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටී. මුලින්ම, ගණනින් 1,44,000ක් වන ‘කුඩා රැළක්’ එක්රැස් කර තිබේ. යුදෙව් සහ අන්‍ය ජාතික පසුබිම්වලින් පැමිණෙන ආලේප ලත් ක්‍රිස්තියානීන් වන මොවුන්ව ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ ලෙස හඳුන්වන අතර, යේසුස් සමඟ ඔහුගේ ස්වර්ගීය රාජ්‍යයෙහි සිට පාලනය කිරීමේ අපේක්ෂාව මොවුන්ට ඇත. (ලූක් 12:32; ගලාති 6:16; එළිදරව් 14:1) දෙවනුව, අවසාන කාලයේදී ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් “මහත් සමූහයක්” පැහැදිලිව දැකගැනීමට හැකි විය. පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාව ඔවුන් සතුව ඇත. මහත් පීඩාව පැමිණීමට පෙර, ගණනක් නියම කර නැති මේ මහත් සමූහය, කුඩා රැළ සමඟ උරෙන් උර ගැටී සේවය කරත්. මේ කණ්ඩායම් දෙකම “එක එඬේරෙක්” යටතේ “එක රැළක්” වනු ඇත.—එළිදරව් 7:9, 10; යොහන් 10:16.

19. දෙවිගේ ඉශ්‍රායෙල් කලින් නොදැන සිටි “ජාතියක්,” එම ආත්මික ජාතියේ හඬට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද?

19 මහත් සමූහයේ එක්රැස් කිරීම, යෙසායාගේ අනාවැකියේ මීළඟ වදන්වලින් දැක්වේ. “බලව, නුඹ නොදන්න ජාතියක් නුඹ අඬගසාගන්නෙහිය, නුඹව නොදැන සිටි ජාතියක්ද නුඹේ දෙවිවූ [යෙහෝවා] සහ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාත්] නිසා නුඹ ළඟට දුව එනවා ඇත; මක්නිසාද [ඔහු] නුඹට ගෞරවකර තිබේ.” (යෙසායා 55:5) ආත්මික වහල්භාවයෙන් මිදුණු පසු ගත වූ වසර කිහිපය තුළදී, අර්මගෙදොනයට පෙර යෙහෝවාගේ නමස්කාරය සඳහා විශාල “ජාතියක්” රැස් කිරීමට යෙහෝවා තමන්ව පාවිච්චි කරන්න යන බව ආලේප ලත් ඉතිරි කොටසේ අය දැන සිටියේ නැත. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන්, ස්වර්ගීය බලාපොරොත්තුව නැති අවංක හදවත් ඇති බොහෝදෙනෙක් ආලේප ලත් අය සමඟ ඇසුරු කිරීමට පටන්ගත් අතර, ඔවුන් හා සමානම ජ්වලිතයකින් යෙහෝවාට සේවය කරමින් සිටියෝය. මේ නවකයෝද යෙහෝවා ඔහුගේ සෙනඟ සමඟ සිටින බව වටහාගෙන, ඔවුන්ගේ ගෞරවාන්විත තත්වය තේරුම්ගත්තෝය. (සෙකරියා 8:23) එක්දහස් නවසිය තිස් ගණන්වලදී, වර්ධනයක් අද්දකිමින් සිටි මේ කණ්ඩායමේ සැබෑ අනන්‍යතාව තේරුම්ගත් ආලේප ලත් අය ඔවුන් ඉදිරියේ තිබූ මහත් විශාල වූ එක්රැස් කිරීමේ වැඩයට සූදානම් විය. මහත් සමූහයද දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟ සමඟ ආශ්‍රය කිරීමට ඉක්මනින්ම පියවර ගත්තේ හොඳ හේතු ඇතුවය.

20. (අ) අපේ කාලයේදී, ‘යෙහෝවාව සෙවීම’ එතරම් හදිසි කාරණයක් වන්නේ මන්ද? එය කරන්නේ කෙසේද? (ආ) තමන්ව සොයන අයට යෙහෝවා ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

20 යෙසායාගේ දවසේදී මෙවන් හඬක් නිකුත් විය. ‘යෙහෝවා සම්බ වෙන්ට සිටිද්දී ඔහු සොයා ඔහු ළංව සිටිද්දී ඔහුට යාච්ඤා කරන්න.’ (යෙසායා 55:6) අපේ දවසේදී මේ වචන දෙවිගේ ඉශ්‍රායෙල්ට මෙන්ම වැඩි වන මහත් සමූහයටත් ගැළපේ. යෙහෝවා නිකම්ම ආශීර්වාද කරන්නේ නැත. එමෙන්ම, ඔහුගේ ආරාධනාව සදාකාලයටම තියෙන්නේද නැත. දෙවිගේ අනුමැතිය සෙවීමට කාලය දැන්ය. යෙහෝවාගේ විනිශ්චය සඳහා නියම කරන ලද කාලය පැමිණෙන තෙක් බලා සිටියොත් එය ප්‍රමාද වැඩිය. ඒ නිසා යෙසායා මෙසේ කියයි. “දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, [යෙහෝවා] වෙතට හැරී ඒවා, [ඔහු] ඔහුට අනුකම්පාකරනවා ඇත; අපේ [දෙවි] වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද [ඔහු] අතිශයින් කමාවෙනවා ඇත.”—යෙසායා 55:7.

21. ඉශ්‍රායෙල් ජාතිය තම ආදි පියවරුන් කී දේට ඇලී සිටියේ නැතැයි කිව හැක්කේ කෙසේද?

21 ‘යෙහෝවා වෙතට හැරී ඒවා’ යන කියමනෙන් අඟවන්නේ, පසුතැවිලි වීමට සිදු වන අයට මීට පෙර දෙවි සමඟ සම්බන්ධයක් තිබුණු බවයි. යෙසායාගේ මෙම අනාවැකිමය කොටසෙහි බොහෝ කාරණා මුලින්ම අදාළ වන්නේ බබිලෝනියේ සිටි වහල් යුදෙව්වන්ට බව අපි දුටුවෙමු. සියවස් ගණනාවකට පෙර, මේ වහලුන්ගේ ආදි පියවරුන් යෙහෝවාට කීකරු වීමට වූ තමන්ගේ අධිෂ්ඨානය ප්‍රකාශ කළේ මෙසේයි. “අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස [යෙහෝවා] අත්හැරීම අපෙන් දුරුවේවා.” (යෝෂුවා 24:16) කෙසේවෙතත්, “අත්හැරීම” එක් වතාවක් නොව නැවත නැවත සිදු වූ බව ඉතිහාසය කියාපායි! දෙවිගේ සෙනඟ බබිලෝනියේ වහලුන් බවට පත් වූයේ ඔවුන්ගේ ඇදහිල්ලේ ඌනකම නිසයි.

22. තමන්ගේ සිතුවිලි සහ මාර්ග මනුෂ්‍යයන්ගේ ඒවාට වඩා උසස් කියා යෙහෝවා කියන්නේ මන්ද?

22 ඔවුන් පසුතැවිලි වුණොත් කුමක් සිදු වේද? යෙසායා මාර්ගයෙන් යෙහෝවා ඔවුන්ට පොරොන්දු වෙන්නේ, ඔහු ‘අතිශයින් කමා වන’ බවයි. ඔහු තවදුරටත් කියන්නේ මෙසේය. “මක්නිසාද මාගේ යෝජනා [සිතුවිලි, NW] නුඹලාගේ යෝජනා [සිතුවිලි, NW] නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි [යෙහෝවා කියන්නේය]. අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා [සිතුවිලි, NW] නුඹලාගේ යෝජනාවලටත් [සිතුවිලිවලටත්, NW] වඩා උසස්ව තිබේ.” (යෙසායා 55:8, 9) යෙහෝවා පරිපූර්ණය. ඔහුගේ සිතුවිලි සහ මාර්ග ළඟා විය නොහැකි තරම් උසස්ය. ඔහුගේ දයාව ගැන කල්පනා කළත් කිව හැක්කේ, යෙහෝවා තරම් දයාවන්ත ලෙස කටයුතු කිරීමට මනුෂ්‍යයන්ට නොහැකි බවය. මේ ගැන සිතා බලන්න. අප තව කෙනෙකුට සමාව දෙන විට එයින් සිදු වන්නේ, පව්කාරයෙකු තවත් පව්කාරයෙකුට සමාව දීමකි. එසේ නොවේද? වැඩි කල් නොගොස් අප වරදක් කළ විට වෙනත් කෙනෙකුගෙන් අපට සමාව ලබාගැනීමට සිදු වන බව අපි දනිමු. (මතෙව් 6:12) දැන් යෙහෝවා ගැන සිතා බලන්න. කිසිදාක ඔහුට සමාවක් ලැබීමට අවශ්‍යතාවක් නැත. එහෙත්, ඔහු “අතිශයින් කමාවෙනවා ඇත!” ඇත්ත වශයෙන්ම, ඔහු ප්‍රේමනීය කරුණාවෙන් අගතැන්පත් දෙවිකෙනෙකි. ඒ නිසා, කෙනෙකු තමන්ගේ හද පත්ලෙන්ම යෙහෝවා වෙත නැවත හැරෙනවා නම්, දෙවි තම දයාව හේතුවෙන් ස්වර්ගයේ කවුළු ඇර, ඔහුට ආශීර්වාද කරනු ඇත.—මලාකී 3:10.

යෙහෝවා වෙතට හැරෙන අයට ආශීර්වාද ලැබේ

23. යෙහෝවා තම වචනය ඉටුවීමේ ස්ථිරභාවය නිදර්ශනය කරන්නේ කෙසේද?

23 යෙහෝවා තම සෙනඟට මෙසේ පොරොන්දු වේ. “එලෙස වැස්ස සහ හිම අහසෙන් බැස පොළොව පොඟවා, සශ්‍රීකකර, ඵල හටගන්වා, වපුරන්නාට බීජද කන්නාට කෑමද දෙන තුරු එහි හැරී නොයන්නාක්මෙන්, මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත.” (යෙසායා 55:10, 11) යෙහෝවා කියා ඇති සෑම දෙයකම ඉටුවීම නියතයි. අහසෙන් වැටෙන වැස්ස සහ හිම පොළොව තෙමා ඵල හටගන්වමින් එහි අරමුණ ඉටු කරන්නා සේ, යෙහෝවාගේ මුඛයෙන් පිට වන වචනය මුළුමනින්ම විශ්වසනීයයි. තමන් පොරොන්දු වන දේ ඔහු ඉටු කරයි. ඒ ගැන ආයෙ කතා දෙකක් නැත.—ගණන් කථාව 23:19.

24, 25. යෙසායා මාර්ගයෙන් යෙහෝවා දෙන පණිවිඩයට එකඟව ක්‍රියා කරන යුදෙව් වහලුන් ලබන ආශීර්වාද මොනවාද?

24 මේ අනුව, යෙසායා මාර්ගයෙන් කී අනාවැකි වදන්වලට යුදෙව්වන් ඇහුම්කන් දෙනවා නම්, යෙහෝවා පොරොන්දු වන ගැළවීම ඔවුන් ලබන බව නිසැකයි. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් මහත් ප්‍රීතියක් අද්දකිනු ඇත. මේ ගැන යෙහෝවා මෙසේ කියයි. “නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගීනාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය. කටු ගස වෙනුවට දේවදාර ගසද තිබොල් ගස් වෙනුවට මරඳ ගසද අටගන්නේය. ඒක [යෙහෝවාට] නාමයක් [ප්‍රසිද්ධියක්, NW] සහ මැකී නොයන සදාකාල ලකුණක්ද පිණිස වන්නේය.”—යෙසායා 55:12, 13.

25 පොදු යුගයට පෙර 537දී, යුදෙව් වහලුන් ප්‍රීතියෙන් බබිලෝනියෙන් පිට වී යනු ඇත. (ගීතාවලිය 126:1, 2) යෙරුසලමට පැමිණෙන විට, ඔවුන් දකින්නේ කටු සහ තිබොල් ගසින් වැසී ගිය දේශයකි. දේශය දශක ගණනාවක් පාළුව පැවති බව මතක තබාගන්න. එහෙත්, දේශයට අලුත් මුහුණුවරක් ලබා දෙන්න යළි පැමිණි දෙවිගේ සෙනඟට හැකිය! දැවැන්ත දේවදාර සහ මරඳ ගස්, කටු සහ තිබොල්වල තැන ගන්නේය. යෙහෝවාගේ සෙනඟ “ගීනාද” කරමින් සේවය කරද්දී, යෙහෝවාගේ ආශීර්වාදය ලැබී ඇති බවට එයම සාක්ෂියක් වේ. එය හරියට දේශය ගී ගායනා කරන්නා සේය.

26. අදදින සිටින දෙවිගේ සෙනඟ අද්දකින්නේ කිනම් ආශීර්වාද ලත් තත්වයක්ද?

26 වර්ෂ 1919දී ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස යෙහෝවා විසින් ආත්මික වහල්භාවයෙන් මුදාගනු ලැබීය. (යෙසායා 66:8) වෙනත් බැටළුවන්ගෙන් යුත් මහත් සමූහයක් සමඟ ඔවුහු ප්‍රීති උද්දාමයෙන් ආත්මික පාරාදීසයක් තුළ දෙවිට සේවය කරමින් සිටිති. බබිලෝනියේ සෑම බලපෑමකින්ම මිදී ඔවුහු අනුමැතිය ලත් තත්වයක් භුක්ති විඳිති. එමගින් යෙහෝවාට “ප්‍රසිද්ධියක්” ලැබෙන්නේය. ඔවුන්ගේ ආත්මික සමෘද්ධිය ඔහුගේ නාමය මහිමවත් කරයි. එය සැබෑ අනාවැකිවල දෙවි ලෙස ඔහුව උසස් කර දක්වයි. එමෙන්ම, යෙහෝවා ඔවුන් වෙනුවෙන් කර ඇති දෙයින් ඔහුගේ දෙවිකම ඔප්පු වන අතර, පසුතැවිලි වන අය කෙරෙහි ඔහු කොතරම් දයාවක් පෙන්වනවාද කියාත් තම වචනවලට කොතරම් පක්ෂපාතද කියාත් එය තහවුරු කරයි. ‘මිල මුදල් නැතුව නොකඩවාම මුද්‍රිකපානය හා කිරි’ ගන්නා අය සදාකාලයටම ඔහුට සේවය කිරීමෙන් ප්‍රීතිය අද්දකීවා!

[පාදසටහන්වල]

^ පුරාණ බබිලෝනීය ව්‍යාපාර කටයුතු පිළිබඳ වාර්තාවල බොහෝ යුදෙව් නම් ඇති බව සොයාගෙන තිබේ.

^ යේසුස් දිගටම ගෝලයන් සෑදීමේ වැඩය අධීක්ෂණය කරනු ඇත. (එළිදරව් 14:14-16) අදදින, ක්‍රිස්තියානි පුරුෂයන් සහ ස්ත්‍රීන් යන දෙපක්ෂයම යේසුස්ව සභාවේ හිස ලෙස පිළිගනී. (1 කොරින්ති 11:3) එමෙන්ම, දෙවි නියම කර ඇති කාලය වන අර්මගෙදොන් යුද්ධයේදී දෙවිගේ සතුරන්ට විරුද්ධව තීරණාත්මක සටනක් මෙහෙයවමින්, යේසුස් වෙනත් ආකාරයක “අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්” ලෙස ක්‍රියා කරනු ඇත.—එළිදරව් 19:19-21.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[234වන පිටුවේ පින්තූරය]

ආත්මික පිපාසයකින් සිටින යුදෙව්වන්ට ‘වතුර ළඟට එන්න කියාත්, මුද්‍රිකපානය හා කිරි ගන්න’ කියාත් ආරාධනා කරයි

[239වන පිටුවේ පින්තූරය]

යේසුස් තමන් “අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්” බව සියලු ජනයන් ඉදිරියේ ඔප්පු කරයි

[244, 245වන පිටුවේ පින්තූර]

‘දුෂ්ටයා තමාගේ මාර්ගය අත්හරීවා’