Skip to content

පටුනට යන්න

ඔබ හා බැඳි සැනසිලිදායක අනාවැකි වදන්

ඔබ හා බැඳි සැනසිලිදායක අනාවැකි වදන්

දෙවන පරිච්ඡේදය

ඔබ හා බැඳි සැනසිලිදායක අනාවැකි වදන්

යෙසායා 41:1-29

1. යෙසායාගේ අනාවැකිය අපට එතරම් වැදගත් වන්නේ මන්ද?

 යෙසායා තම නාමය දරන පොත ලිවීමෙන් අවුරුදු 3,000ක් පමණ ගත වී ඇතත්, අදදින සිටින අපටද එමගින් වටිනා පාඩම් උගත හැකියි. ඔහු වාර්තා කළ ඓතිහාසික සිදුවීම් පිටුපස ඇති වටිනා ප්‍රතිපත්ති අපට එයින් ඉගෙනගත හැකියි. ඔහු යෙහෝවාගේ නාමයෙන් ලියා ඇති අනාවැකි අධ්‍යයනය කිරීමෙන් අපේ ඇදහිල්ල වර්ධනය කරගැනීමටද අපට හැකියි. ඔව්, යෙසායා ජීවමාන දෙවිගේ අනාගතවක්තෘවරයෙක්ව සිටියේය. දේවල් සිදුවීමට කලින් එනම් කල් තියා අනාගතය ගැන දැන්වීමට යෙහෝවා ඔහුට ආනුභාවය දුන්නේය. මෙසේ කිරීමෙන් තමන්ට අනාගතය ගැන කලින් කියන්නත් අනාගතය තමන්ට ඕනෑ ආකාරයට වෙනස් කරන්නත් හැකි බව යෙහෝවා පෙන්නුවේය. යෙසායා පොත අධ්‍යයනය කිරීම තුළින් යෙහෝවා පොරොන්දු ඉටු කරන දෙවි කෙනෙකු බව සැබෑ ක්‍රිස්තියානීන් ඒත්තුගෙන තිබේ.

2. යෙසායා තම අනාවැකි පොත ලියා අවසන් කළ කාලයේදී යෙරුසලමේ පැවති තත්වය කුමක් වීද? අනාගතයේදී කිනම් වෙනසක් සිදුවීමට නියමිතව තිබුණාද?

2 යෙසායා තම අනාවැකි ලියා අවසන් කළ කාලයේදී යෙරුසලම අෂූරීය තර්ජනයෙන් මිදී තිබුණි. ඒ වන විටත් දේවමාළිගාව යෙරුසලමේ සුරැකිව තිබූ අතර, සෙනඟද තම තමන්ගේ දෛනික චර්යාවන්හි පෙර පරිදිම යෙදී සිටියහ. එහෙත් ඒ තත්වය ඉතා ඉක්මනින් වෙනස් වීමට නියමිතව තිබුණි. යූදාහි රජවරුන්ගේ ධනස්කන්ධය බබිලෝනියට ගෙන යන හා යුදෙව් තරුණයන් බබිලෝනීය රාජ සේවකයන් බවට පත් වන කාලයක් පැමිණෙනු ඇත. * (යෙසායා 39:6-7) මේ දේවල් සිදු වන්නේ එතැන් සිට අවුරුදු 100කට වඩා වැඩි කාලයක් ගත වූ පසුවයි.—2 රාජාවලිය 24:12-17; දානියෙල් 1:19.

3. යෙසායා 41වන පරිච්ඡේදයේ දැකිය හැකි පණිවිඩය කුමක්ද?

3 කෙසේවෙතත්, යෙහෝවා යෙසායා තුළින් දුන් පණිවිඩය විනාශයේ පණිවිඩයක් පමණක්ම වූයේ නැත. යෙසායා පොතේ 40වන පරිච්ඡේදය ආරම්භ වන්නේ “සනසන්න” යන වදන් සමඟිනි. * යුදෙව්වෝ තමන්ට හෝ තමන්ගේ දරුවන්ට නැවත තම මව්බිමට යන්න ලැබෙනවා යන සහතිකයෙන් සැනසීමක් ලැබූහ. මේ සැනසිල්ල ගැන යෙසායා 41වන පරිච්ඡේදයෙත් සඳහන් කර තිබෙන අතර, දිව්‍ය කැමැත්ත ඉටු කිරීම සඳහා බලවත් රජෙකුව නැඟිටුවන බවට යෙහෝවා එහි පුරෝකථනය කරයි. එම පණිවිඩය ඔවුන්ගේ බිය සැක දුරලන අතර, දෙවි කෙරෙහි විශ්වාසය තැබීමටත් ඔවුන්ව දිරිගන්වයි. ඒ සමඟම ජාතීන් විශ්වාසය තබා තිබෙන බොරු දෙවිවරුන් කොතරම් දුබලද යන්නත් පෙන්වයි. මේ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ, යෙසායාගේ දවසේදීත් අපගේ දවසේදීත් ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට බොහෝ හේතු තිබෙන බවයි.

යෙහෝවාගෙන් ජාතීන්ට අභියෝගයක්

4. යෙහෝවා ජාතීන්ට අභියෝග කරන්නේ කෙසේද?

4 යෙහෝවා තම අනාගතවක්තෘවරයා තුළින් මෙසේ කියයි. “ද්වීපයෙනි, මා ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න; ජනයෝ තමුන්ගේ සවිය අලුත්කරගන, ළංව, පසුව කථාකෙරෙත්වා. අපි එක්ව විනිශ්චය පිණිස ළඟාවෙමු.” (යෙසායා 41:1) යෙහෝවා තම සෙනඟට විරුද්ධව ක්‍රියා කරන ජාතීන්ට ඒ ආකාරයට අභියෝග කරන්නේය. ඔවුන් දෙවි ඉදිරියේ සිටියාවේ! අප පසුව දකින ආකාරයට, යෙහෝවා අධිකරණයක සිටින නඩුකාරයෙකු මෙන් ඔවුන්ගේ දේවතා රූප සැබෑ දෙවිවරුන් නම් ඒ බව ඔප්පු කරන්න කියා අභියෝග කරයි. තම නමස්කාරකයන්ට ලබා දෙන බවට පොරොන්දු වන ගැළවීම ගැන පුරෝකථනය කරන්නත් ඔවුන්ගේ සතුරන්ට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කරන්නත් මේ දෙවිවරුන්ට හැකිද? එසේ කරන්න හැකි වුණත්, ඒවා ඉටු කරන්න ඔවුන්ට හැකිද? උත්තරය පැහැදිලියි. ඔවුන්ට එසේ කළ නොහැක. එසේ කළ හැක්කේ යෙහෝවාට පමණි.

5. යෙසායාගේ අනාවැකිවලට එක ඉටුවීමකට වඩා තිබෙන බව පැවසිය හැක්කේ මන්දැයි පැහැදිලි කරන්න.

5 බයිබලයේ අනිකුත් බොහෝ අනාවැකිවලට ඉටුවීම් කිහිපයක් තිබුණා හා සමානව යෙසායාගේ අනාවැකිවලටද ඉටුවීම් කිහිපයක් ඇති බව මෙම අනාවැකි සලකා බලද්දී අපි මතක තබාගනිමු. පොදු යුගයට පෙර 607දී, යූදා වැසියන් බබිලෝනියේ වහල්භාවයට යෑමට නියමිතයි. කෙසේවෙතත්, යෙහෝවා ඔවුන්ව වහල්භාවයෙන් මුදවාගන්නා බව යෙසායාගේ අනාවැකියෙන් එළිදරව් වේ. එය ඉටු වන්නේ පො.යු.පෙ. 537දීයි. එම මිදීම විසිවන සියවසේ මුල් කාලයේ සිදු වූ දෙයට සමානකමක් දැක්වීය. පළමු ලෝක යුද්ධය පැවති කාලය, පොළොව මත සිටි යෙහෝවාගේ ආලේප ලත් සේවකයන්ට පීඩාකාරි කාලපරිච්ඡේදයක් විය. මහ බබිලෝනියේ ප්‍රධාන කොටස වන ක්‍රිස්තියානි ලෝකයේ උසිගැන්වීම් හේතුවෙන්, 1918දී සාතන්ගේ ලෝකයෙන් පැමිණි පීඩන මගින් සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වූ ශුභාරංචිය දේශනා කිරීමට නැවතීමේ තිත තබන ලදි. (එළිදරව් 11:5-10) වොච් ටවර් සමිතියේ වගකිව යුතු නිලධාරීන් සමහරෙකුව ද්වේෂසහගත චෝදනා මත සිරගත කළේය. දෙවිගේ සෙනඟ සමඟ කළ සටනේදී ලෝකය දිනූ බව පෙනෙන්න තිබුණි. ඉන්පසු, පො.යු.පෙ. 537දී මෙන්, බලාපොරොත්තු නොවූ අයුරින් යෙහෝවා ඔවුන්ට නිදහස ගෙන දුන්නේය. වර්ෂ 1919දී, සිරගත කළ නිලධාරීන්ව නිදහස් කරන ලදුව, ඔවුන්ට විරුද්ධව එල්ල කර තිබූ චෝදනා ඉවත් කරනු ලැබීය. වර්ෂ 1919 සැප්තැම්බර් මාසයේදී, ඔහායෝ සීඩා පොයින්ට්හිදී පැවැත්වූ සමුළුවකදී, යෙහෝවාගේ සේවකයන්ගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය යළිත් වරක් ප්‍රාණවත් කිරීමට ප්‍රතිඥා දුන්නේය. (එළිදරව් 11:11, 12) එතැන් සිට මේ දක්වා, දේශනා කිරීම සීඝ්‍රවත් වී තිබේ. තවදුරටත්, යෙසායා සඳහන් කර ඇති බොහෝ දේ ඉදිරියේදී පැමිණීමට නියමිත පාරාදීසයේදී මවිතකර අන්දමින් ඉටු වේ. මෙලෙස, දුරාතීතයේදී ලියූ යෙසායාගේ වචන අද සිටින සියලු ජාතීන්ටත් ජනයන්ටත් අදාළ වේ.

ගැළවුම්කරුවෙකුට හඬගසයි

6. අනාගතවක්තෘවරයා අනාගත ජයග්‍රාහකයා ගැන විස්තර කරන්නේ කෙසේද?

6 දෙවිගේ සෙනඟව බබිලෝනියෙන් මුදාගනිමින් ඔවුන්ගේ සතුරන්ට විනිශ්චය ගෙනෙන ජයග්‍රාහී තැනැත්තා ගැන යෙහෝවා යෙසායා තුළින් පුරෝකථනය කරයි. යෙහෝවා මෙසේ අසන්නේය. “පෙරදිගින් කෙනෙකු නැගුටුවා ධර්මිෂ්ඨකමින් තමන්ගේ පාමුලට කැඳවාගත්තේ කවුද? [දෙවි ] ඔහු ඉදිරියේ ජාතීන් පාවාදී, ඔහු ලවා රජුන් [ආණ්ඩුකරවන්නේය]; [දෙවි ] ඔහුගේ කඩුවට ධූලි මෙන්ද ඔහුගේ දුන්නට හුළඟින් ගසාගනයන ඉපනැලි මෙන්ද ඔවුන් [පාවා දෙන්නේය]. ඔහු ඔවුන් ලුහුබඳවා, ඊට ප්‍රථම තමාගේ පාදවලින් නොගිය මාර්ගයකින් සුවසේ යන්නේය. පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ට කළේ කවුද? පළමුවෙනියාවූ, අන්තිමයන් සමගත් සිටින්නාවූ [යෙහෝවා] වන මමය, මම ඒ [තැනැත්තාය].”යෙසායා 41:2-4.

7. පැමිණෙන්න නියමිත ජයග්‍රාහකයා කවුද? ඔහු අත් කරගන්නේ කුමක්ද?

7 පෙරදිගින් නැඟී එන තැනැත්තා කවුද? මේද-පර්සියාව සහ ඒලාම් වැනි රටවල් පිහිටා තිබුණේ බබිලෝනියට නැඟෙනහිරට වෙන්නයි. එහි සිට පර්සියානු කෝරෙෂ් තම බලවත් හමුදාව සමඟ ගමනේ යෙදේ. (යෙසායා 41:25; 44:28; 45:1-4, 13; 46:11) කෝරෙෂ් යෙහෝවාගේ නමස්කාරකයෙකු නොවුණත්, ඔහු “ධර්මිෂ්ඨකමින්” ක්‍රියා කරන්නේය. එනම්, ධර්මිෂ්ඨ දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කරන්නේය. කෝරෙෂ් රජුන්ව පරාජය කරනු ලබන අතර, ඔවුන් ඔහු ඉදිරියේ දූවිලි මෙන් වන්නේය. ජය ලබමින් යන ගමනේදී ඔහු “සුවසේ” නැතහොත් කිසිම කරදරයක් නැතුව, කෙදිනකවත් ගමන් කර නැති මං ඔස්සේ බාධා ජයගනිමින් ඉදිරියටම ඇදුණේය. පොදු යුගයට පෙර 539වන අවුරුද්දේදී කෝරෙෂ් බලවත් නුවරක්ව තිබූ බබිලෝනිය කරා පැමිණ එය පෙරළා දැමුවේය. ප්‍රතිඵලයක් හැටියට, දෙවිගේ සෙනඟ ගැළවුණු අතර, ඔවුහු යෙරුසලමට ගොස් නිර්මල නමස්කාරය යළි පිහිටෙව්වෝය.—එස්රා 1:1-7. *

8. යෙහෝවාට පමණක් කළ හැක්කේ කුමක්ද?

8 මෙසේ කෝරෙෂ්ගේ නැඟීම ගැන ඔහු ඉපදෙන්නත් බොහෝ කාලයකට කලින්ම යෙහෝවා යෙසායා තුළින් පුරෝකථනය කළේය. එවැනි දෙයක් එතරම් නිවැරදිව දැන්විය හැක්කේ එකම සැබෑ දෙවිට පමණයි. යෙහෝවාව ජාතීන්ගේ බොරු දෙවිවරුන්ට කොහෙත්ම සමාන කරන්න පුළුවන්කමක් නැත. ඒ කාරණය ගැන යෙහෝවා කියන්නේ මේ ආකාරයටයි. ‘මාගේ ගෞරවය අන් කෙනෙකුට නොදෙන්නෙමි.’ එමෙන්ම මෙසේ කිව හැක්කේද යෙහෝවාටම පමණයි. “මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.”—යෙසායා 42:8; 44:6, 7.

භයට පත්වූවන් දේවරූපවල පිහිට පතයි

9-11. කෝරෙෂ් ලබා තිබූ ප්‍රගතියට ජාතීන් ප්‍රතික්‍රියා කළේ කෙසේද?

9 මේ අනාගත ජයග්‍රාහකයා සම්බන්ධයෙන් ජාතීන් දක්වන ප්‍රතිචාරය ගැන යෙසායා විස්තර කරන්නේ මෙසේයි. “ද්වීපයෝ දැක භයවූවෝය; පොළොවේ සීමාවෝ වෙවුලුවෝය. ඔව්හු ළංවී ආවෝය; එක එකා තම තමාගේ අසල්වාසියාට උපකාරකොට, තම තමාගේ සහෝදරයාට: ධෛර්යවත්වෙන්නැයි කීවෝය. මෙසේ වඩුවා රන්කරුවාටද මිටියෙන් මට්ටම්කරන්නා කිණිහිරය පිට තළන්නාටද ධෛර්යදුන්නේය, පෑස්සීම හොඳයයි කියා ඔහු ඒක නොසෙල්වෙන ලෙස ඇණවලින් සවිකෙළේය.”—යෙසායා 41:5-7.

10 අවුරුදු 200කට ඔබ්බෙන් ඇති අනාගතයේ තිබෙන ලෝක දසුන දෙස යෙහෝවා නෙත් හෙළයි. කෝරෙෂ්ගේ ප්‍රබල හමුදාව ඔහුට විරුද්ධව එන සියලුදෙනාවම පරාජය කරමින් වේගයෙන් ඉදිරියට ඇදේ. දූපත්වල සිටින ජනයා සහ දුර ඈත දේශවල සිටින ජනයා ඇතුළු සියලුම ජනයා ඔහුගේ පැමිණීම ගැන මහත් භයෙන් වෙවුලමින් සිටිති. විනිශ්චය ගෙන ඒම සඳහා නැඟෙනහිර දෙසින් යෙහෝවා කැඳවාගත් තැනැත්තාට විරුද්ධව කල්ලි ගැසීමට ඔවුන් භය වේ. ඔවුන් එකිනෙකාව දිරිගන්වමින් ‘ධෛර්යවත් වෙන්න’ කියා පවසයි.

11 සෙනඟව බේරාගැනීමට හැකි වේය යන අදහසින් මූර්ති ශිල්පීන් විසිතුරු දේවරූප තනයි. වඩුවෙක් ලීයෙන් යමක් සාදා, ඊට රන් ආලේප කරන්න කියා රන්කරුවාට පවසනවා විය හැක. කැටයම් ශිල්පියෙක් ලෝහ ඔප මට්ටම් කර එය පෑස්සීම සුදුසු බව පවසන්නේය. යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ ඇද වැටුණු දාගොන්ගේ රූපය මෙන් බෙලහීන දෙයක් ලෙස නොපෙනෙන පිණිස සෙලවී නොවැටෙන සේ ඇණ ගසා සවි කළ බව පවසන්නේ සමච්චලයට මෙන් විය හැකියි.—1 සාමුවෙල් 5:4.

භය නොවන්න!

12. යෙහෝවා ඉශ්‍රායෙල්ගේ බිය සැක දුරු කරන්නේ කෙසේද?

12 දැන් යෙහෝවා ඔහුගේ අවධානය තම සෙනඟ කෙරෙහි යොමු කරන්නේය. පණ නැති රූප කෙරෙහි විශ්වාසය තබන ජාතීන් මෙන් නොව, සැබෑ දෙවි කෙරෙහි විශ්වාසය තබන අය කිසිදා බියට පත් වෙන්නේ නැත. ඉශ්‍රායෙල් පැවතෙන්නේ ආබ්‍රහම් නමැති තම මිතුරාගෙන් බව මතක් කරමින් යෙහෝවා ඉතා මුදු මොළොක්භාවයකින් යුතුව, යෙසායා තුළින් මෙසේ සහතික වෙයි. “නුමුත් මාගේ මෙහෙකරුවාවූ ඉශ්‍රායෙල්, මා විසින් තෝරාගත් යාකොබ්, මාගේ මිත්‍රයාවූ ආබ්‍රහම්ගේ වංශය, මා විසින් පොළොවේ කෙළවරින් අල්ලාගෙන, එහි සීමාවලින් කැඳවාගෙන: නුඹ මාගේ මෙහෙකරුවාය, මම නුඹ පහකර නොදමා තෝරාගතිමියි කියා මා විසින් කියනලද්දාවූ නුඹ, භය නොවන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ [දෙවිය]. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.”—යෙසායා 41:8-10.

13. වහල්භාවයේ සිටින යුදෙව්වන්ට යෙහෝවාගේ වචන සැනසිල්ලක් වනු ඇත්තේ මන්ද?

13 විදේශීය රටක වහල්භාවයේ සිටින ඇදහිලිවන්ත යුදෙව්වන්ට මේ වචන මොනතරම් සැනසිල්ලක් ගෙන දේවිද! ඔවුන් බබිලෝනියේ රජුගේ මෙහෙකරුවන් සහ වහලුන්ව සිටියදී, යෙහෝවා ඔවුන්ව “මාගේ මෙහෙකරුවා” කියා අමතනවා අසන්නට ලැබීම මොනතරම් දිරිගන්වනසුලු දෙයක් වේවිද! (2 ලේකම් 36:20) ඉශ්‍රායෙල්වරුන්ගේ අභක්තිකකම නිසා යෙහෝවා ඔවුන්ව හික්මවූවත්, ඔහු ඔවුන්ව ප්‍රතික්ෂේප කළේ නැත. ඉශ්‍රායෙල්වරුන්ගේ අයිතිකරුවා යෙහෝවා මිස බබිලෝනිවරුන් නොවේ. විජයග්‍රාහී කෝරෙෂ්ගේ පැමිණීම ඉදිරියේ බියෙන් සැලෙන්න දෙවිගේ සෙනඟට කිසිම හේතුවක් තිබුණේ නැත. යෙහෝවා තම සෙනඟට නුදුරින් සිට ඔවුන්ට උපකාර කරන්නේය.

14. යෙහෝවාගේ වචන අදදින සිටින ඔහුගේ සේවකයන්ට සැනසිල්ලක් වන්නේ කෙසේද?

14 එම වචන අද දවස දක්වා දෙවිගේ සෙනඟව ශක්තිමත් කර ඔවුන්ට සහනයක් ගෙන දී තිබේ. යෙහෝවාගේ කැමැත්ත කුමක්ද කියා දැනගන්න වර්ෂ 1918දී ඔවුහු මහත් ආශාවක් දැක්වූහ. එමෙන්ම ආත්මික වහල් තත්වයෙන් ගැළවීම ලබන්න ඔවුහු මහත් ආශාවෙන් සිටියෝය. ඒ හා සමානවම අදදින අපිත් සාතන්, මේ ලෝකය සහ අපේම අසම්පූර්ණ මාංසය අප මත එල්ල කරන පීඩනවලින් සහනයක් ලබන්න මහත් ආශාවෙන් බලා සිටින්නෙමු. තම සෙනඟ වෙනුවෙන් ඉදිරිපත් විය යුතු නියම වේලාව සහ නියම ක්‍රමය යෙහෝවා දැනගෙන සිටිනවාය යන කාරණය අපි අගය කරන්නෙමු. ඒ නිසා ඔහු අපට ජයගැනීමට උපකාර කරන බව විශ්වාස කරමින්, කුඩා දරුවන් මෙන් අපි ඔහුගේ බලවත් හස්තය අල්ලාගෙන සිටින්නෙමු. (ගීතාවලිය 63:7, 8) තමන්ට සේවය කරන අයව යෙහෝවා අගය කරන්නේය. ඔහු 1918-19 වැනි දුෂ්කර කාලවලදීත් ඈත අතීතයේ ඇදහිලිවන්ත ඉශ්‍රායෙල්වරුන්ගේ කාලයේදීත් තම සෙනඟට උපකාර කළා සේම අදත් ඔහු අපට උපකාර කරයි.

15, 16. (අ) ඉශ්‍රායෙල්හි සතුරන්ට සිදු වන්නේ කුමක්ද? ඉශ්‍රායෙල්වරුන් පණුවෙකුගේ තත්වයට පත් වන්නේ කිනම් ආකාරයෙන්ද? (ආ) යෙහෝවාගේ වචන අද අපට විශේෂයෙන් දිරිගැන්වීමක් වන්නේ නුදුරු අනාගතයේදී සිදුවීමට නියමිත කිනම් ආක්‍රමණය නිසාද?

15 යෙහෝවා යෙසායා තුළින් ඊළඟට පවසන දේ ගැන සිතා බලන්න. “නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලජ්ජාවී වියවුල්වන්නෝය. නුඹ සමග විවාදකරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශවන්නෝය. නුඹ සමග විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත් ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය. මක්නිසාද නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මම: භය නොවෙන්න, මම නුඹට පිහිටවන්නෙමියි කියමින් නුඹේ දකුණත අල්ලන්නෙමි. පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි [යෙහෝවා කියන්නේය], නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාය].”යෙසායා 41:11-14.

16 ඉශ්‍රායෙල්ගේ කිසිම සතුරෙකු ඉතුරු වෙන්නේ නැත. ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපාවිෂ්ටව සිටින්නෝ ලැජ්ජාවට පත් වන්නෝය. ඉශ්‍රායෙල්ට විරුද්ධව යුද්ධ කරන අය විනාශ වේ. වහල්භාවයේ සිටින ඉශ්‍රායෙලිතයන් කිසිම හව්හරණක් නැති දුර්වල පණුවන් මෙන් පස්වල නළියමින් ඉන්නවා වගේ පෙනෙන්න තියෙද්දිත් යෙහෝවා ඔවුන්ට උදව් කරන්නේය. මේ ලෝකයේ බොහෝදෙනෙකුගේ දැඩි සතුරුකම්වලට ගොදුරු වන “අන්තිම දවස්වල” සිටින සැබෑ ක්‍රිස්තියානීන්ට මෙය මොනතරම් දිරිගැන්වීමක්ද! (2 තිමෝති 3:1) අනාවැකිවල “මාගොග් දේශයේ ගොග්” ලෙස හඳුන්වා තිබෙන සාතන් ගෙනෙන ආක්‍රමණය හමුවේ නොසැලී සිටීමට යෙහෝවා දෙන පොරොන්දුව මොනතරම් ශක්තියක් සපයනවාද! ගොග්ගේ අතිකෲර පීඩා හමුවේ යෙහෝවාගේ සෙනඟ ‘පවුරු රහිතව හා අගුල්ද දොරවල්ද නැතුව වාසය කරන’ සෙනඟක් මෙන් එනම් පණුවන් හා සමානව කිසිදු හව්හරණක් නැති අය සේ පෙනේ. එහෙත්, යෙහෝවා කෙරෙහි බලා සිටින අයට භයෙන් සැලෙන්න අවශ්‍යතාවක් නැත. සර්වපරාක්‍රම දෙවි ඔවුන් වෙනුවෙන් සටන් කර ඔවුන්ව ගළවාගන්නේය.—එසකියෙල් 38:2, 11, 14-16, 21-23; 2 කොරින්ති 1:3.

ඉශ්‍රායෙල්ව සැනසීම

17, 18. ඉශ්‍රායෙල්ට ශක්තිය සැපයීම ගැන යෙසායා විස්තර කරන්නේ කෙසේද? එය අපට සහතික කරන්නේ කිනම් ඉටුවීමද?

17 යෙහෝවා තම සෙනඟව දිගටම සනසමින් සිටින්නේ මෙසේ පවසමිනි. “බලව, මම නුඹ මුවහත්වූ අලුත් දැති ඇත්තාවූ මඩින යන්ත්‍රයක් කරන්නෙමි. නුඹ කඳු මැඩ පොඩිකර, හෙල් බොල්මෙන් කරන්නෙහිය. නුඹ ඒවා පොළන්නෙහිය, එවිට ඒවා සුළඟට ගහගන යන්නේය, සුළිහුළඟින් විසිරයන්නේය. නුඹ වනාහි [යෙහෝවා] තුළ ප්‍රීතිමත්වී, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] තුළ පාරට්ටුකරගන්නෙහිය.”—යෙසායා 41:15, 16.

18 ආත්මික ආකාරයකින් ගත් කල කඳු මෙන් සිටින සතුරන්ව යටත් කරගන්නත් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නත් අවශ්‍ය ශක්තිය ඉශ්‍රායෙල් ජනයාට දෙනු ලබයි. ඉශ්‍රායෙල්වරුන් වහල්භාවයෙන් පිටතට පැමිණි විට, යෙරුසලමේ දේවමාළිගාව සහ පවුරු යළි ගොඩනැඟීම වැළැක්වීමට උත්සාහ කරන සතුරන්ට විරුද්ධව ඇය නැඟී සිටිනු ඇත. (එස්රා 6:12; නෙහෙමියා 6:16) කෙසේවෙතත්, යෙහෝවාගේ වචනය මහත් පරිමාණයකින් ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ සම්බන්ධයෙන් ඉටු විය. (ගලාති 6:16) යේසුස් ආලේප ලත් ක්‍රිස්තියානීන්ට මෙසේ පොරොන්දු වෙයි. “ජයගන්නාවූ, කෙළවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නාවූ තැනැත්තාට නම් මාගේ [පියාගෙන්] මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි. කුම්භකාරයාගේ භාජන බිඳ සුණුකරනු ලබන්නාක්මෙන් ඔහු ඔවුන් යදණ්ඩකින් ආණ්ඩුකරන්නේය.” (එළිදරව් 2:26, 27) ස්වර්ගීය තේජසට නැවත නැඟිටුවනු ලැබූ ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ට, යෙහෝවා දෙවිගේ සතුරන්ව විනාශ කිරීමේ කොටස්කරුවන් වීමට ප්‍රස්තාව ලැබුණු විට එම කාලය පැමිණේ.—2 තෙසලෝනික 1:7, 8; එළිදරව් 20:4, 6.

19, 20. ඉශ්‍රායෙලය අලංකාර තැනක් බවට නැවත පත් කිරීම ගැන යෙසායා විස්තර කරන්නේ කෙසේද? තවද මෙය ඉටු වූයේ කෙසේද?

19 සංකේතාත්මක භාෂාවෙන් තමන් කළ පොරොන්දුව තවදුරටත් තහවුරු කරමින් දෙවි තම සෙනඟව සනසන්නේය. යෙසායා මෙසේ ලියයි. “අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි [දිව්, NW] පිපාසායෙන් වේලෙන කල, [යෙහෝවා] වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්‍රායෙල්හි [දෙවි] වන මම ඔවුන් අත්නාරින්නෙමි. මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි. මම කාන්තාරයෙහි කිහිරි ගස්ද ෂිට්ටීම් ගස්ද මරඳ ගස්ද තෙල් ගස්ද හිටවන්නෙමි; වනයෙහි දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂූර් ගස්ද එකට තබන්නෙමි. එසේ කරන්නේ [යෙහෝවාගේ] හස්තය මේක කළ බවද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තා] ඒක හටගැන්වූ බවද ඔවුන් එක්ව දැක, දැනගෙන, සිතට ගෙන, තේරුම්ගන්න පිණිසය.”—යෙසායා 41:17-20.

20 වහල්භාවයේ සිටි ඉශ්‍රායෙල්වරුන් ජීවත් වුණේ ධනවත් ලෝක බලයක් යටතේ තිබූ ප්‍රධාන නගරයක වුණත්, ඔවුන්ට දැනුණේ තමන් වියළි කාන්තාරයක සිටින්නාක් මෙනි. ඔවුන්ට හැඟුණේ සාවුල් කෙරෙන් පලා යන අවස්ථාවේදී දාවිත්ට හැඟුණු ආකාරයටයි. පොදු යුගයට පෙර 537දී, යූදා වෙතට නැවත යන්නත්, යෙරුසලමේ දේවමාළිගාව නැවත ගොඩනඟන්නත් යෙහෝවා මාර්ගය විවෘත කළේය. එසේ කිරීමෙන් නිර්මල නමස්කාරය යළි පිහිටුවන්න අවස්ථාව ලැබුණි. යෙහෝවා මේ ආකාරයට ඔවුන්ට ආශීර්වාද කළේය. පසු කාලයකදී ප්‍රකාශ කළ අනාවැකියකදී යෙසායා මෙසේ කීවේය. ‘මක්නිසාද යෙහෝවා සියොන් සැනසුවේය. ඔහු ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය යෙහෝවාගේ උයන මෙන්ද කළේය. ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුති දීම සහ ගීතිකා හඬද එහි සම්බ වේ.’ (යෙසායා 51:3) යුදෙව්වන් ඔවුන්ගේ මව්බිමට පැමිණි වහාම මේ අනාවැකිය ඉටු විය.

21. මෑත කාලයේදී සිදු වූ යළි පිහිටුවීම කුමක්ද? එමෙන්ම අනාගතයේදී සිදු වන්නේ කුමක්ද?

21 වර්තමාන කාලයේදීත් ඒ හා සමාන දෙයක් සිදු විය. එසේ වූයේ නිර්මල නමස්කාරය යළි පිහිටුවීම වෙනුවෙන් කටයුතු කිරීම සඳහා උතුම් කෝරෙෂ් වන යේසුස් ක්‍රිස්තුස් තම ආලේප ලත් අනුගාමිකයන්ව ආත්මික වහල්භාවයෙන් නිදහස් කිරීමත් සමඟය. එම ඇදහිලිවන්තයන් සංකේතාත්මක ඒදන් උයනක් එනම්, මනරම් ආත්මික පාරාදීසයක් ලබාගැනීම මගින් ආශීර්වාද ලැබීය. (යෙසායා 11:6-9; 35:1-7) එමෙන්ම, වද කණුවේ එල්ලා සිටි අපරාධකාරයාට යේසුස් පොරොන්දු වූ ආකාරයට, වැඩි කල් නොගොස් දෙවි තම සතුරන්ව විනාශ කර මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කරන්නේය.—ලූක් 23:43.

ඉශ්‍රායෙල්ගේ සතුරන්ට අභියෝගයක්

22. යෙහෝවා ජාතීන්ට අභියෝග කරන්නේ කිනම් ආකාරයටද?

22 ජාතීන් සහ ඔවුන්ගේ පිළිම දෙවිවරුන් සමඟ තිබෙන තම අරගලය වෙත යෙහෝවා දැන් අවධානය යොමු කරයි. “නුඹලාගේ පැමිණිල්ල ඉදිරියට ගෙනෙන්නැයි [යෙහෝවා කියන්නේය]; නුඹලාගේ බලවත් කාරණා පෙන්වන්නැයි යාකොබ්ගේ රජ්ජුරුවෝ [කියන්නේය]. ඔව්හු ඒවා ඉදිරිපත්කොට, සිද්ධවෙන්ට තිබෙන දේවල් අපට දන්වත්වා. ඉස්සර දේවල් මොනවාදැයි අප විසින් කල්පනාකොට ඒවායේ කෙළවර දැනගන්නා පිණිස ඒවා අපට දන්වන්න; නොහොත් පැමිණෙන්ට තිබෙන දේවල් අපට ප්‍රකාශකරන්න. මතු සිද්ධවෙන්ට තිබෙන දේවල් දන්වන්න, එවිට නුඹලා දෙවිවරුන් බව අපට දැනගන්න ලැබෙනවා ඇත. එසේය, අප එක්ව තැතිගෙන බලන පිණිස හොඳක් හෝ නරකක් කරන්න. බලව, නුඹලා කිසිත් නැතිකමය, නුඹලාගේ ක්‍රියාවත් හිස්කමය. නුඹලාව තෝරාගන්න තැනැත්තේ පිළිකුලක්ය.” (යෙසායා 41:21-24) ජාතීන්ගේ දෙවිවරුන්ට අනාගතය ගැන නිවැරදිව පුරෝකථනය කරමින්, තමන්ට දිව්‍යමය දැනුමක් ඇති බව ඔප්පු කළ හැකිද? එසේ කළ හැකි නම්, ඒ පිළිබඳව හොඳ හෝ නරක සාක්ෂි පෙනෙන්ට තිබිය යුතුයි. ඇත්තෙන්ම, එවන් අය ඉන්න බවටවත් සාක්ෂි නොතිබියදී, එවැනි දෙයක් කරාවියයි සිතිය හැකිද?

23. යෙහෝවා තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් නැවත නැවතත් දේවතා රූප හෙළා දකින්නේ මන්ද?

23 යෙහෝවා යෙසායා ඇතුළු වෙනත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් රූප වන්දනාවේ තිබෙන අඥානකම ගැන නැවත නැවත අවධාරණය කරමින් එතරම් කාලයක් වැය කළේ මන්දැයි කියා කෙනෙකු අසන්න පුළුවන. මිනිස් අතින් නිමැවුණු දේවතා රූපවලින් කිසිම ඵලක් නැති බව අද සිටින බොහෝදෙනෙක් දනිති. කෙසේවෙතත්, මිථ්‍යා දෘෂ්ටික ඉගැන්වීම් ක්‍රමයක් සමාජයේ මුල් බැසගත් විට එය විශ්වාස කරන්නන්ගේ මනස්වලින් මුලිනුපුටා දමන එක ලෙහෙසි පහසු දෙයක් නොවේ. වර්තමානයේ පවතින බොහෝ විශ්වාසයන්ද අප්‍රාණික රූපවලට දෙවිවරුන් කියා ආමන්ත්‍රණය කරනවා හා සමානයි. ඒවාට විරුද්ධව ප්‍රබල වාද විවාද පැනනැඟුණත් ජනයා ඒවායේම ඇලී ගැලී සිටිති. කෙසේවෙතත්, මොවුන්ගෙන් සමහරෙකු යෙහෝවාගේ ප්‍රඥාව කෙරෙහි විශ්වාසය තබන්නට නම් නැවත නැවතත් සත්‍යයට සවන් දිය යුතුයි.

24, 25. යෙහෝවා නැවතත් කෝරෙෂ් ගැන සඳහන් කරන්නේ කෙසේද? මෙය අපට මතක් කර දෙන්නේ වෙනත් කිනම් අනාවැකියද?

24 යෙහෝවා නැවතත් කෝරෙෂ් ගැන සඳහන් කරයි. “මම උතුරු දිගින් කෙනෙක් නැගිටවීමි, ඔහු ඇවිත් සිටියි; නැගෙනහිර පටන් ඔහු මාගේ නාමය කියා යාච්ඤාකරන කෙනෙක්ය. බදාම මෙන්ද කුම්භකාරයා මැටි පාගන්නාක්මෙන්ද ඔහු ආණ්ඩුකාරයන් පිටට පැමිණෙනවා ඇත.” (යෙසායා 41:25) * ජාතීන්ගේ දෙවිවරුන් මෙන් නොව යෙහෝවා තමන් කී දේවල් ඉටු කරන්නේය. ඔහු කෝරෙෂ්ව “නැගෙනහිර” දෙසින් ගෙන එද්දී, අනාවැකි කීමට මෙන්ම අනාවැකිවලට අනුව අනාගතය වෙනස් කිරීමටද තමන්ට හැකියාව තිබෙන බව නිරූපණය කරයි.

25 මේ විස්තරයෙන්, අපේ කාලයේදී ලෝකය පාලනය කිරීමට ඉදිරිපත් වන්නාවූ රජුන් පිළිබඳ ප්‍රේරිත යොහන්ගේ අනාවැකිමය විස්තරය මතක් කර දෙයි. “නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ” මාර්ගය සකස් කිරීම ගැන එළිදරව් 16:12හි කතා කරයි. මේ රජුන් යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවේ. කෝරෙෂ් අතීතයේදී දෙවිගේ සෙනඟව ගළවාගත්තේය. එහෙත් ඔහුට වඩා ඉතා බලවත් මෙම රජවරුන් විසින් යෙහෝවාගේ සතුරන්ව සහමුලින්ම විනාශ කර දමමින්, මහත් පීඩාව තුළින් ධර්මිෂ්ඨ අලුත් ලෝකයට ඔවුන්ව සුරැකිව ගෙන යනු ලබයි.—ගීතාවලිය 2:8, 9; 2 පේතෘස් 3:13; එළිදරව් 7:14-17.

යෙහෝවා උත්කෘෂ්ටයි!

26. යෙහෝවා දැන් අසන ප්‍රශ්නය කුමක්ද? ඊට උත්තර ලැබේද?

26 නැවතත් යෙහෝවා තමා පමණක්ම සැබෑ දෙවි බව ප්‍රකාශ කරයි. “අප විසින් දැනගන්න පිණිස පටන්ගැන්මේ සිටත්: ඔහු ධර්මිෂ්ඨයයි අප විසින් කියන පිණිස පුරාණයේදීත් දැන්නුවේ කවුද? එසේය, දන්වන කිසිවෙක් නැත, එසේය, ප්‍රකාශකරන කිසිවෙක් නැත, එසේය, නුඹලාගේ වචන අසන කිසිවෙකුත් නැත.” (යෙසායා 41:26) තමන් කෙරෙහි විශ්වාසය තබන අයව ගළවාගන්න පිණිස ජයග්‍රාහකයෙකු පැමිණෙන බව කිසිම දේවතා රූපයක් පවසා නැත. ඒ හැම දෙවියෙකුම අප්‍රාණිකයි, එමෙන්ම නිහඬයි. සැබවින්ම ඔවුන් දෙවිවරුන් නොවේ.

27, 28. යෙසායා 41වන පරිච්ඡේදයේ අවසාන ඡේදවලින් කාවද්දන වැදගත් සත්‍යය කුමක්ද? මෙය ප්‍රචාරය කරන්නේ කවුරුන් පමණක්මද?

27 යෙහෝවා ප්‍රකාශ කළ මේ කලඹවනසුලු අනාවැකියෙන් පසු, වැදගත් සත්‍යයක් යෙසායා සෙනඟ ඉදිරියේ තබයි. “බලන්න, බලන්නැයි පළමුකොට සියොනට කීවේ මමය; ශුභ ආරංචි ගෙනෙන කෙනෙකු මම යෙරුසලමට දෙන්නෙමි. මා විසින් බලන කල කිසිවෙක් නැත; මා ඔවුන්ගෙන් අසන කල කිසි උත්තරයක් දෙන්ට පුළුවන් මන්ත්‍රියෙක් ඔවුන් අතරේ නැත. බලව, ඔවුන් සියල්ලෝම කිසිත් නැතිකමය, ඔවුන්ගේ වැඩ නිෂ්ඵලකමය; ඔවුන්ගේ පිළිම සුළඟ සහ වියවුලය.”—යෙසායා 41:27-29.

28 බලවතා යෙහෝවායි. ඔහුයි අතිඋත්කෘෂ්ටම තැනැත්තා! තම සෙනඟගේ ගැළවීම ප්‍රකාශ කරන, ඔවුන්ට ශුභාරංචි ගෙනෙන සැබෑ දෙවි ඔහුයි! ජාතීන්ට දෙවිගේ මහෝත්තමභාවය ගැන ප්‍රකාශ කරන්නේ ඔහුගේ සාක්ෂිකරුවන් පමණයි. පිළිම යනු “සුළඟ සහ වියවුල” හැටියට හඳුන්වමින් ඒවා කෙරෙහි විශ්වාසය තබන අයව යෙහෝවා නින්දාවට පත් කරයි. සැබෑ දෙවි කෙරෙහිම රඳාසිටීමට අපට ඇත්තේ මොනතරම් ප්‍රබල හේතුවක්ද! නිසැක විශ්වාසය තබන්න වටින එකම තැනැත්තා යෙහෝවාම පමණයි.

[පාදසටහන්වල]

^ යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති පොතේ 29වන පරිච්ඡේදය බලන්න.

^ යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති පොතේ 30වන පරිච්ඡේදය බලන්න.

^ වර්ෂ 1919දී ‘දෙවිගේ ඉශ්‍රායෙල්ව’ ආත්මික වහල්භාවයෙන් මුදවාගත් උතුම් කෝරෙෂ් වනාහි 1914 සිට දෙවිගේ ස්වර්ගීය රාජ්‍යයේ රජු ලෙස සිංහාසනාරූඪ වී සිටින යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවේ.—ගලාති 6:16.

^ කෝරෙෂ්ගේ උපන් බිම තිබුණේ බබිලෝනියට නැඟෙනහිරෙන් වුණත්, නුවර අල්ලාගැනීම සඳහා ඔහු තම අවසාන ආක්‍රමණය සිදු කළේ උතුරෙන්, එනම් කුඩා ආසියාවේ සිට පැමිණයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[19වන පිටුවේ පින්තූරය]

කෝරෙෂ් මිථ්‍යාදෘෂ්ටිකයෙකු වුණත්, දෙවි වෙනුවෙන් මෙහෙයක් කිරීමට තෝරාගනු ලබයි

[21වන පිටුවේ පින්තූරය]

ජාතීන් අප්‍රාණික දේවතා රූප කෙරෙහි විශ්වාසය තබයි

[27වන පිටුවේ පින්තූර]

ඉශ්‍රායෙල් “මඩින යන්ත්‍රයක්” මෙන් ‘කඳු පොඩි කර’ දමයි