Skip to content

පටුනට යන්න

කුහකකම් හෙළි කරයි!

කුහකකම් හෙළි කරයි!

දහනවවන පරිච්ඡේදය

කුහකකම් හෙළි කරයි!

යෙසායා 58:1-14

1. යේසුස් සහ යෙහෝවා කුහකකම දකින්නේ කෙසේද? යෙසායාගේ දවසේ පැවති කුහක ජීවිත රටාව කිනම් ආකාර වීද?

 ‘නුඹලා පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද [කුහකකමෙන්ද, NW] අයුතුකමෙන්ද පිරී සිටින්නහුය’ කියා යේසුස් තමන්ගේ කාලයේ සිටි ආගමික නායකයන්ට කීවේය. (මතෙව් 23:28) යේසුස් කුහකකම හෙළා දුටු ආකාරයෙන් ඔහුගේ ස්වර්ගීය පියාගේ දෘෂ්ටිකෝණය හෙළි වේ. යෙසායාගේ අනාවැකියේ 58වන පරිච්ඡේදයෙහි යූදාහි පැතිර තිබූ කුහක ජීවිත රටාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. අඬදබර, හිංසා පීඩා කිරීම් හා සැහැසියාව එවකට පොදුව පැවති අතර, සබත් පැවැත්වීම නිකම්ම නිරර්ථක චාරිත්‍රයක් බවට පත්ව තිබුණි. ඔවුහු යෙහෝවාට කරන්නන් වාලේ නමස්කාර කළෝය. බොරු භක්තියක් මවාපෑමට ඔවුහු වංක ලෙස නිරාහාර ශීලය රැක්කෝය. එසේ නම්, යෙහෝවා ඔවුන්ගේ කුහකකම් හෙළි කිරීම පුදුමයක් නොවේ!

‘සෙනඟට ඔවුන්ගේ පව් ගැන දන්වන්න’

2. යෙසායා යෙහෝවාගේ පණිවිඩය ප්‍රකාශ කරද්දී විදහාපෑ ස්ප්‍රීතුව කුමක්ද? අද ඔහු හා සමාන වන්නේ කවුරුන්ද?

2 ඇත්තෙන්ම, යූදාගේ හැසිරීම යෙහෝවා ඉදිරියේ පිළිකුල්සහගත වුවත්, ඔහු මුළු ජාතියෙන්ම ඉල්ලා සිටින්නේ පසුතැවිලි වී තමා වෙතට හැරී එන ලෙසයි. ඒ කෙසේවෙතත්, ඔවුන් තමන්ට ලැබෙන හික්මවීම ගැන පැහැදිලිව දැනගන්නවා දකින්න යෙහෝවාට අවශ්‍යය. ඒ නිසා, ඔහු යෙසායාට මෙසේ අණ කරයි. “නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනගට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.” (යෙසායා 58:1) මෙලෙස යෙසායා, යෙහෝවාගේ වචන අභීත ආකාරයෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන් ජනයාගේ ඇනුම් බැනුම්වලට ලක් වුවත්, ඔහු නෙවෙයි පසුබට වෙන්නේ. “මෙන්න මම මෙහිය; මා යැවුව මැනව” කියා කියද්දී ඔහු තුළ තිබූ ඒ මුල් කැපවීම, ඒ ජ්වලිතය මේ වෙද්දිත් නොඅඩුව දැල්වෙමින් තිබූ බව කියාපායි. (යෙසායා 6:8) යෙසායාගේ විඳදරාගැනීම වර්තමාන දින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මොනතරම් කදිම ආදර්ශයක්ද! මන්ද ඔවුන්ටද දෙවිගේ වචනය ප්‍රකාශ කිරීමේ සහ ආගමික කුහකකම් හෙළි කිරීමේ වැඩය භාර දී තිබෙන නිසාය.—ගීතාවලිය 118:6; 2 තිමෝති 4:1-5.

3, 4. (අ) යෙසායාගේ කාලයේ සිටි සෙනඟ පැළඳ සිටි වෙස් මුහුණ කුමක්ද? (ආ) එහෙත්, යූදාහි පැවති සැබෑ තත්වය කුමක්ද?

3 යෙසායාගේ දවසේ සිටි සෙනඟ යෙහෝවා සොයන්නා සේ බොරු මවාපෑමක් කරමින්, ඔහුගේ ධර්මිෂ්ඨ විනිශ්චය ගැන අගය පළ කළහ. මේ ගැන යෙහෝවා කියන දේ අහන්න. “ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ [දෙවිගේ] නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, [දෙවි] වෙතට ළංවීමට ප්‍රසන්නවෙති.” (යෙසායා 58:2) යෙහෝවාගේ මාර්ග ගැන ඔවුන් තුළ වූ ප්‍රසන්නකම අව්‍යාජ එකක්ද? නැත. ඔවුන් ‘ධර්මිෂ්ඨකම් කළ ජාතියක්’ මෙන් පෙනුණත්, මේ සියල්ල පිටාතර ඔපයට පමණයි. ඇත්තෙන්ම, ඔවුන් ‘තම දෙවිගේ නියෝග අත්හළ’ ජාතියකි.

4 එහි පැවති තත්වය හරියට පසු කාලයේදී අනාගතවක්තෘ එසකියෙල්ට දැන්වූ තත්වය හා සමානයි. යුදෙව්වන් එකිනෙකාට කතා කරමින් “එන්න, [යෙහෝවාගෙන්] පැමිණෙන වචනය මොකද කියා අසන්නැයි” කියන බව යෙහෝවා එසකියෙල්ට දන්වයි. එහෙත්, ඔවුන්ගේ වංකකම ගැන අනතුරු අඟවමින් යෙහෝවා එසකියෙල්ට මෙසේ කියයි. ‘ඔවුහු නුඹ ළඟට ඇවිත්, නුඹේ වචන අසති. නුමුත් ඔවුහු ඒවා නොපවත්වති. මක්නිසාද තමුන්ගේ කටින් ඔවුහු බොහෝ ආදරය පෙන්වති. [තමුන්ගේ කාමුක ආශාවන් ප්‍රකාශ කරන්නේය, NW] නුමුත් ඔවුන්ගේ සිත ඔවුන්ගේ ලාභය පස්සේ යන්නේය. නුඹ වනාහි මිහිරි හඬක් ඇත්තාවූ හොඳට ගායනා කරන කෙනෙකුගේ ප්‍රේම ගීයක් මෙන් ඔවුන්ට සිටියි. මක්නිසාද ඔවුහු නුඹේ වචන අසති. නුමුත් ඒවා නොපවත්වා සිටිති.’ (එසකියෙල් 33:30-32) යෙසායාගේ කාලයේ සිටි අයද නිතරම යෙහෝවාව සොයන බව කියා සිටියත්, ඔහුගේ වචනයට කීකරු වූයේ නැත.

නිරාහාර ශීලයේ මුවාව

5. යුදෙව්වන් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට උත්සාහ කරන්නේ කෙසේද? ඊට යෙහෝවාගෙන් ලැබෙන ප්‍රතිචාරය කුමක්ද?

5 දෙවිගේ අනුමැතිය ලබාගැනීමේ අභිප්‍රායෙන් යුදෙව්වෝ චාරිත්‍රානුකූලව නිරාහාර ශීලයේ යෙදෙත්. එහෙත්, ඔවුන්ගේ පුහු භක්තියෙන් සිදු වන්නේ යෙහෝවාගේ අප්‍රසාදයට ලක්වීම පමණයි. ඉන් ප්‍රතිඵලයක් නොවුණු තැන ඔවුන් ව්‍යාකූල වී මෙසේ අසයි. “අප නිරාහාරයෙන් සිටිය නුමුත් ඔබ නොබැලුවෙත් අපේ ප්‍රාණවලට පීඩාකරගත් නුමුත් ඔබ නොසලකා සිටින්නෙත් මක්නිසාද?” යෙහෝවා කෙළින්ම ඔවුන්ට මෙසේ කියන්නේය. “බලව නුඹලාගේ උපවාස දවසේදී නුඹලා සැප ගනිති, නුඹලාගේ සියලුම වැඩද කරවාගනිති. නුඹලා නිරාහාරව සිටින්නේ විවාදයටත් තරඟයටත් දුෂ්ටකමේ මිටින් ගසන්ටත්ය. නුඹලාගේ හඬ උසස්ථානයේ ඇසෙන්ට සැලසෙන පරිද්දෙන් නුඹලා අද නිරාහාරව සිටින්නේ නැත. මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රාණය යටත්කරගන්න දවසක් වන මා විසින් තෝරාගත් උපවාසය එයාකාරද? එය තමාගේ හිස පන් ගසක් මෙන් නමාගෙන, ගෝණිරෙදි සහ අළු අතුරාගන හිඳීමද? මීට උපවාසයක් සහ [යෙහෝවාට] ප්‍රසන්නවූ දවසක්යයි නුඹ කියනවාද?”—යෙසායා 58:3-5.

6. නිරාහාර ශීලය කුහකකමක් බවට පත් කළේ යුදෙව්වන්ගේ කිනම් ක්‍රියාද?

6 නිරාහාර ශීලයේ යෙදෙමින්, බොරු ධර්මිෂ්ඨකමක් මවාපානවා පමණක් නොව, යෙහෝවාගේ යුක්තිසහගත විනිශ්චය ඉටු කරන ලෙස ඉල්ලා සිටින ඔවුහු ආත්මාර්ථකාමී ආශාවන් සහ ව්‍යාපාරික ලාභ ප්‍රයෝජන පසුපසද හඹා යති. ඔවුහු අඬදබර, හිංසා පීඩා කිරීම් සහ සැහැසියාවේ යෙදී සිටිති. තම හැසිරීම් රටාව වසාගැනීමට ඔවුහු ක්‍රම සොයති. ඔවුන්ගේ පාපවලට පසුතැවිලි වෙන නියාවෙන් ඔවුහු පන් ගස් මෙන් තම හිස් නමාගෙන, ගෝනි රෙදි ඇඳ අළුවල වැතිර කිඹුල් කඳුළු වගුරති. ඔවුන් දිගටම කැරලිගසනවා නම්, මෙසේ කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? අවංක නිරාහාර ශීලය රැකීම හා බැඳුණු දිව්‍ය ශෝකය නැතහොත් දෙවිව දුකට පත් කිරීම නිසා ඇති වී තිබෙන ශෝකය සහ අව්‍යාජ පසුතැවිල්ල ඔවුන් කොහෙත්ම පෙන්වන්නේ නැත. ඔවුන් මහා හඬින් වැලපුණත් ස්වර්ගයට නම් ඒ හඬ ඇසෙන්නේ නැත.

7. යේසුස්ගේ කාලයේ සිටි යුදෙව්වන් කුහක ලෙස ක්‍රියා කළේ කෙසේද? අදදින සිටින බොහෝදෙනෙකු එයම කරන්නේ කෙසේද?

7 යේසුස්ගේ දවසේ සිටි යුදෙව්වෝද ඒ හා සමාන ආකාරයේ චාරිත්‍රානුකූල නිරාහාර ශීලයක් පැවැත්වූහ. සමහරු සතියට දෙවතාවක් පවා එසේ කළහ! (මතෙව් 6:16-18; ලූක් 18:11, 12) එවකට සිටි බොහෝ ආගමික නායකයන් යෙසායාගේ කාලයේ සිටි පරම්පරාවේ ක්‍රියාපිළිවෙත අනුගමනය කළ අතර, මහජනයාව සැර පරුෂ මෙන්ම ඒකාධිපති ආකාරයෙන් පාලනය කළේය. එබැවින්, යේසුස් අභීතව ඔවුන්ගේ ආගමික වෙස් මුහුණු ගළවා දැමූ අතර, ඔවුන්ගේ නමස්කාරමය පිළිවෙත් නිෂ්ඵල බව පෙන්වා දුන්නේය. (මතෙව් 15:7-9) අදදිනත්, දශලක්ෂ ගණන් ජනයා “[දෙවි] දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් [ඔහුව] නාඳුනන බව ප්‍රකාශකරති.” (තීතස් 1:16) එවැනි අය දෙවිගේ දයාව බලාපොරොත්තුවෙන් සිටියත්, ඔවුන්ගේ හැසිරීමෙන් ඔවුන් තුළ ඇති වංකකම හෙළි වේ. ඔවුන්ට වෙනස්ව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ සැබෑ දිව්‍ය භක්තියත් අව්‍යාජ සහෝදර ප්‍රේමයත් විදහාපාති.—යොහන් 13:35.

අව්‍යාජ පසුතැවිල්ලට අයත් වන්නේ කුමක්ද?

8, 9. අවංක පසුතැවිල්ල සමඟ ගත යුතු ඒකාන්ත පියවර කුමක්ද?

8 තමන්ගේ පව් සම්බන්ධයෙන් නිරාහාරව සිටිනවාට වඩා වැඩි දෙයක් යෙහෝවා තම සෙනඟගෙන් බලාපොරොත්තු වේ. ඔහුට අවශ්‍ය වන්නේ අවංක පසුතැවිල්ලයි. ඔවුන් දෙවිගේ අනුමැතිය ලබන්නේ එවිට පමණයි. (එසකියෙල් 18:23, 32) අතීතයේදී තමන් කළ පව් නිවැරදි කර නොගන්නේ නම් නිරාහාරව හිඳීමේ පලක් නැති බවත් අව්‍යාජ පසුතැවිල්ල නිරූපණය කෙරෙන්නේ එවිට පමණක්ම බවත් යෙහෝවා ඔවුන්ට පැහැදිලි කරයි. මේ සම්බන්ධයෙන් යෙහෝවා අසන හද විමසන ප්‍රශ්නය සලකා බලන්න. “මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?”—යෙසායා 58:6.

9 විලංගු සහ වියගස් දරදඬු වහල්භාවය සලකුණු කරයි. නිරාහාරව සිටින අතරේම තම අසල්වැසි සහෝදරයාව තළා පෙළනවා වෙනුවට, ඔවුන් දෙවිගේ මෙම අණට කීකරු විය යුතුය. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (ලෙවී කථාව 19:18, NW) ඔවුන් පීඩාවට පත් කළ සහ අසාධාරණ ලෙස වහලුන් කරගත් සියලුදෙනාවම නිදහස් කළ යුතුය. * නිරාහාර ශීලය වැනි පුහු ආටෝපකාරි ආගමික චාරිත්‍ර, අව්‍යාජ දේවභක්තිය සහ සහෝදර ප්‍රේමය සඳහා විකල්පයක් කරගත නොහැක. යෙසායාගේ සමකාලීන අනාගතවක්තෘවරයෙක් වන මීකා මෙසේ ලියයි. ‘යහපත මොකද කියා ඔහු නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් [යුක්තිය ඉටු කිරීමත්, NW] කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවි වෙත යටහත් ලෙස [නිහතමානී ලෙස, NW] හැසිරීමත් මිස යෙහෝවා නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?’—මීකා 6:8.

10, 11. (අ) නිරාහාරව හිඳීමට වඩා යුදෙව්වන් විසින් කුමක් කළ යුතු වීද? (ආ) යුදෙව්වන්ට දුන් යෙහෝවාගේ උපදේශය අද සිටින ක්‍රිස්තියානීන්ටද අදාළ කරගත හැක්කේ කෙසේද?

10 යුක්තිය, කරුණාවන්තකම සහ නිහතමානීකම යන ගුණාංග අනිත් අය වෙනුවෙන් දේවල් කිරීමට අපව පෙලඹවිය යුතු අතර, ඒවා යෙහෝවාගේ ව්‍යවස්ථාවේ සාරයයි. (මතෙව් 7:12) නිරාහාරව හිඳීමට වඩා ඔවුන්ගේ ධනය දිළිඳුන් සමඟ බෙදාගැනීම යහපත් දෙයක් විය. යෙහෝවා මෙසේ අසයි. “[මා විසින් තෝරාගත් උපවාසය] බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?” (යෙසායා 58:7) ලෝකයාට පෙනෙන්න නිරාහාරව සිටිනවා වෙනුවට, යමක් කමක් කිරීමට හැකියාව තිබෙන අය, යූදාහි සිටින අවශ්‍යතාව ඇති ඔවුන්ගේම ලේ මස් නහර වැනි වූ සෙසු වැසියන්ට ආහාර, ඇඳුම් පැළඳුම් හෝ නිවාස පහසුකම් සැපයිය යුතුය.

11 යෙහෝවා දුන් සහෝදර ප්‍රේමයේ සහ දයානුකම්පාවේ අනර්ඝ ප්‍රතිපත්ති අදාළ වූයේ යෙසායාගේ කාලයේ සිටි යුදෙව්වන්ට පමණක් නොවේ. ඒවා ක්‍රිස්තියානීන්ටද මඟ පෙන්වීම ලබා දේ. මේ නිසා ප්‍රේරිත පාවුල් මෙසේ ලියයි. “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.” (ගලාති 6:10) අප ජීවත් වන්නාවූ කාලය එන්න එන්නම දුෂ්කර වන බැවින් ක්‍රිස්තියානි සභාව සහෝදර ප්‍රේමයෙන් පිරි ස්ථානයක් විය යුතුය.—2 තිමෝති 3:1; යාකොබ් 1:27.

කීකරුකම බොහෝ ආශීර්වාද ගෙනෙයි

12. සෙනඟ තමන්ට කීකරු වනවා නම්, යෙහෝවා ඔවුන්ට කුමක් කරනු ඇද්ද?

12 යෙහෝවාගේ සෙනඟ ඔහු දෙන ප්‍රේමනීය හික්මවීමට නිසි ප්‍රතිචාරයක් දැක්වූවා නම්! යෙහෝවා මෙසේ කියයි. “එවිට නුඹේ එළිය පහන්වේලාව මෙන් උදාවන්නේය, නුඹේ සුවයද ඉක්මනින් හටගන්නේය. නුඹේ ධර්මිෂ්ඨකම නුඹට පෙරටුවෙන් යන්නේය; [යෙහෝවාගේ] තේජසද නුඹට පස්සෙන් එන්නේය. එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, [යෙහෝවා උත්තර දෙන්නේය]; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි [ඔහු කියන්නේය].” (යෙසායා 58:8, 9අ) මේවා මොනතරම් ආයාචනාත්මක වචනද! ප්‍රේමනීය කරුණාවට හා ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන අයට යෙහෝවා ආශීර්වාද කර ඔවුන්ව ගළවාගන්නේය. යෙහෝවාගේ සෙනඟ ඔවුන්ගේ සැර පරුෂකම් සහ කුහකකම් සම්බන්ධයෙන් පසුතැවිලි වී ඔහුට කීකරු වේ නම්, ඔවුන්ගේ තත්වය වඩා හොඳ අතට හැරෙනු ඇත. යෙහෝවා ඔවුන්ට ආත්මික මෙන්ම ශාරීරික “සුවය” ලබා දෙන්නේය. ජාතියේ මුතුන්මිත්තන් මිසරයෙන් පිට වී එන විට කළාක් මෙන් ඔහු ඔවුන්වද ආරක්ෂා කරනු ඇත. ඔවුන්ගේ සරණයට ඉක්මනින්ම පැමිණෙනු ඇත.—නික්මයාම 14:19, 20, 31.

13. යුදෙව්වන් යෙහෝවාගේ අවවාදවලට නිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නම් ලැබෙනු ඇති ආශීර්වාද මොනවාද?

13 යෙහෝවා දැන් ඔහු කලින් දුන් අවවාදයට තවත් යමක් එක් කරමින් මෙසේ කියන්නේය. “නුඹ [දරදඬු, අයුතුසහගත දාසභාවයට ගැනීම නමැති] වියගහද [ඇතැම්විට බොරු හෝ නින්දිත චෝදනා නමැති] ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්, බඩගිනි ඇත්තා කෙරෙහි කරුණාව පෙන්වා, අසරණ ප්‍රාණය තෘප්තියට පමුණුවන්නෙහි නම්, අඳුරේදී නුඹේ එළිය නැගී එන්නේය, නුඹේ කළුවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේය.” (යෙසායා 58:9ආ, 10) ආත්මාර්ථකාමීකමෙන් සහ දරදඬුකමෙන් පාඩු වන්නේ තමන්ටමය. එය යෙහෝවාගේ උදහස ළං කරවන්නේය. කෙසේවෙතත්, විශේෂයෙන්ම කුසගින්නේ සිටින සහ පීඩිත අයට දක්වන කරුණාවන්තකම සහ ත්‍යාගශීලිකම යෙහෝවාගේ මහත් ආශීර්වාද ඔවුන් වෙත ළඟා කරනු ඇත. එසේ වන්නේ යුදෙව්වන් ඔවුන්ගේ හදවතින්ම මේ සත්‍යය වැලඳගත්තා නම් පමණි! එවිට ඔවුන්ගේ ආත්මික සන්තෝෂය සහ සමෘද්ධිය හේතුවෙන් ඔවුන්ගේ අඳුරු ස්වභාවය ඉවත් වී, දීප්තිමත් හා තෘප්තිමත් ජීවිතයකට මඟ එළි පෙහෙළි කරන්නේය. මේ සියල්ලටම වැඩියෙන්, ඔවුන්ව උසස් කළ හා ඔවුන්ට ආශීර්වාද ගෙනා යෙහෝවාට ඔවුන් ගෞරවය හා ප්‍රශංසාව ගෙනෙනු ඇත.—1 රාජාවලිය 8:41-43.

ජාතියක් යළි පිබිදේ

14. (අ) යෙසායාගේ කාලයේ සිටි සෙනඟ ඔහුගේ පණිවිඩයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) යෙහෝවා දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ කුමක්ද?

14 කනගාටුදායක ලෙස ජාතිය යෙහෝවාගේ ආයාචනය ප්‍රතික්ෂේප කරන අතර, දුෂ්ටකම නමැති මඩවගුරේ ගැඹුරටම ගිලෙයි. අවසානයේදී, යෙහෝවා කලින් අනතුරු අඟවා තිබූ ලෙස ඔවුන්ව වහල්භාවයට යවනවා හැර වෙන කරන්න කිසිවක් ඉතිරි වී නොතිබුණේය. (ද්විතීය කථාව 28:15, 36, 37, 64, 65) කෙසේවෙතත්, යෙහෝවා යෙසායා තුළින් කී මීළඟ වදන්වල බලාපොරොත්තුවක් ගැබ්ව ඇත. යූදා පාළු වූ තත්වයක පැවතියත්, හික්මවීම ලද පසුතැවිලි වූ ඉතිරි කොටසක් ප්‍රීතියෙන් නැවත පැමිණෙන බව යෙහෝවා පුරෝකථනය කරයි.

15. යෙහෝවා පුරෝකථනය කරන්නේ කිනම් ආකාරයේ ප්‍රීතිමත් යළි පිහිටුවීමක්ද?

15 පොදු යුගයට පෙර 537දී සිදු වන තම සෙනඟගේ යළි පිහිටුවීම වෙත යොමු දක්වමින් යෙහෝවා මෙසේ කියයි. “[යෙහෝවා] නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද [ශක්තිමත් කරන්නේය]; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිඳී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.” (යෙසායා 58:11) යෙහෝවා ඉශ්‍රායෙල්ගේ වියළී ගිය මව්බිම සශ්‍රීක භූමියක් බවට හරවනු ඇත. ඊටත් වඩා ප්‍රීතියට හේතු වන දෙය වන්නේ, පසුතැවිලි වූ ඔහුගේ සෙනඟව ආත්මික අප්‍රාණික තත්වයක සිට ජ්වලිතයෙන් පිරි තත්වයකට පත් කිරීමයි. (එසකියෙල් 37:1-14) සෙනඟද ආත්මික ඵලවලින් පූර්ණ “වතුර ඇති උයනක් මෙන්” වනු ඇත.

16. දේශය යළි පිහිටුවනු ලබන්නේ කෙසේද?

16 මේ යළි පිහිටුවීමට පො.යු.පෙ. 607දී බබිලෝනිය විසින් විනාශ කළ නුවරවල් යළි ගොඩනැඟීම අයත් වේ. “නුඹෙන් පැවතඑන්නෝ පරණ නටබුන් තැන් ගොඩනගන්නෝය. නුඹ බොහෝ පරම්පරාවල අත්තිවාරම් ගොඩනගන්නෙහිය; කැඩුම් හරිගස්සන්නාය, වාසය පිණිස මාවත් අලුත්වැඩියාකරන්නායයි නුඹට කියනු ලැබේ.” (යෙසායා 58:12) “පරණ නටබුන් තැන්” සහ “බොහෝ පරම්පරාවල අත්තිවාරම්” (නැතහොත්, පරම්පරා ගණනාවක් පුරා නටබුන් වී පැවතුණු අත්තිවාරම්) යන සමාන කියමන්වලින් අදහස් කරන්නේ, යළි පැමිණෙන යුදෙව්වන් නටබුන් වූ යූදා දේශයේ නුවරවල්, විශේෂයෙන්ම යෙරුසලම යළි ගොඩනඟන බවයි. (නෙහෙමියා 2:5; 12:27; යෙසායා 44:28) ඔවුන් යෙරුසලමේ සහ අනිත් නුවරවල තාප්පවල ඇති “කැඩුම්” නැතහොත් දෙදරා ඉරිතලා ගිය තැන් හරිගස්සනු ඇත.—යෙරෙමියා 31:38-40; ආමොස් 9:14.

පක්ෂපාත අන්දමින් සබත පැවැත්වීමෙන් ලැබෙන ආශීර්වාද

17. සබත් නීති පැවැත්වීමට යෙහෝවා තම සෙනඟට ආයාචනා කරන්නේ කෙසේද?

17 සබත පැවැත්වීමට අණ කිරීම තුළින් පිළිබිඹු වූයේ, යෙහෝවා තම සෙනඟගේ ශාරීරික මෙන්ම ආත්මික ශුභසාධනය කෙරෙහි දැක්වූ ගැඹුරු සැලකිල්ලය. මාර්ක් 2:27හි යේසුස් මෙසේ කියා තිබේ. “සබත් දවස මනුෂ්‍යයා උදෙසා නියමකරනලද්දේය.” යෙහෝවා විසින් විශුද්ධ කරන ලද මේ දවස, දෙවි කෙරෙහි ඇති තම ප්‍රේමය පෙන්වීමට ඉශ්‍රායෙල්වරුන්ට විශේෂ ප්‍රස්තාවක් උදා කළේය. එහෙත්, කනගාටුදායක අන්දමින් යෙසායාගේ කාලය වන විට මෙය නිකම්ම පිටාතර ඔපයට සීමා වූ චාරිත්‍රයක් මෙන්ම ආත්මාර්ථකාමී ආශාවන්හි නියැලීමට අවස්ථාවක්ද කරගෙන තිබුණි. මේ හේතුවෙන් නැවත වරක් යෙහෝවාට තම සෙනඟව හික්මවීමට සිදු විය. නැවත වරක් ඔහු ඔවුන්ගේ හදවතට ළඟාවීමට උත්සාහ කරයි. ඔහු මෙසේ කියයි. “නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද [යෙහෝවාගේ] ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම්, නුඹ [යෙහෝවා] කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට නුඹට සලස්වා, නුඹේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් නුඹ පෝෂණයකරන්නෙමි. මක්නිසාද [යෙහෝවාගේ] මුඛය ඒක [පැවසුවේය].”යෙසායා 58:13, 14.

18. යූදා වැසියන් සබත් දවසට ගරු කිරීමට අසමත් වීමේ ප්‍රතිඵලය කුමක්ද?

18 සබත් දවස නියම කර තිබුණේ ආත්මික කාරණා මෙනෙහි කිරීම, යාච්ඤා කිරීම හා පවුලක් වශයෙන් දෙවිට නමස්කාර කිරීම සඳහායි. ව්‍යවස්ථාවේ සඳහන් යුක්තිය සහ ප්‍රේමය විදහාපාමින් යෙහෝවා ඔවුන් වෙනුවෙන් කළ පුදුම ක්‍රියාවන් ගැන සිතන්න සහ මෙනෙහි කරන්න යුදෙව්වන් මේ දවස පාවිච්චි කළ යුතු විය. මෙසේ, මෙම ශුද්ධ වූ දවස පක්ෂපාත ලෙස පැවැත්වීමෙන් ඔවුන්ගේ දෙවිට වඩා සමීප වීමට සෙනඟට හැකි වේ. නමුත් එසේ කරනවා වෙනුවට ඔවුන් සබතේ අර්ථය විකෘති කළ අතර, එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් යෙහෝවාගේ ආශීර්වාද ලැබීමට නුසුදුසු තත්වයකට පත් විය.—ලෙවී කථාව 26:34; 2 ලේකම් 36:21.

19. දෙවිගේ සෙනඟ සබත් පැවැත්වීමට පටන්ගතහොත් ඔවුන්ට දීමට සූදානම් කර ඇති මහත් ආශීර්වාද මොනවාද?

19 එහෙත්, ඔවුන්ට ලැබෙන හික්මවීම හේතුවෙන් යුදෙව්වන් සබත් විධිවිධානයට ගරු කිරීමට පටන්ගතහොත්, යෙහෝවා ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබෙන බොහෝ ආශීර්වාදවල පංගුකාරයන් වීමට ඔවුන්ට හැකි වේ. සැබෑ නමස්කාරය සහ සබත් විධිවිධානය කෙරෙහි ගෞරවය දැක්වීමෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල ජීවිතයේ සෑම අංගයකින්ම පිළිබිඹු වනු ඇත. (ද්විතීය කථාව 28:1-14; ගීතාවලිය 19:7-11) උදාහරණයක් හැටියට, යෙහෝවා තම සෙනඟට “පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට” සලස්වන්නේය. මේ කියමනෙන් අඟවන්නේ සතුරන්ව පරාජය කිරීමට සහ සුරක්ෂිතභාවය ලැබීමට කෙනෙකුට උදා වන ප්‍රස්තාවයි. කඳු හා හෙල් වැනි උස් තැන් පාලනය කරන කවුරු වුණත්, තැනිතලා පොළොවද පාලනය කරන්නේය. (ද්විතීය කථාව 32:13; 33:29) ඉශ්‍රායෙල්වරුන් යෙහෝවාට කීකරුව කටයුතු කළ කාලයේදී, ඔවුන් යෙහෝවාගේ ආරක්ෂාව ලැබීය. ඔවුන් වෙනත් ජාතීන්ගේ ගෞරවයට පාත්‍ර වූ අතර එම ජාතීන් ජීවත් වූයේ ඔවුන්ට භයිනි. (යෝෂුවා 2:9-11; 1 රාජාවලිය 4:20, 21) ඔවුන් නැවත වරක් කීකරු වී යෙහෝවා වෙත හැරුණොත්, ඔවුන්ට නැති වූ ගෞරවය යළි ලබාගත හැකි වනු ඇත. යෙහෝවා ‘යාකොබ්ගේ උරුමයේ’ මුළු අයිතිය එනම්, ඉශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන් සමඟ කළ ගිවිසුම මගින් පොරොන්දු වූ ආශීර්වාද, විශේෂයෙන්ම පොරොන්දු දේශයේ සුරක්ෂිත උරුමයක් ලැබීම වැනි ආශීර්වාදද යෙහෝවා තම සෙනඟට ලබා දෙනු ඇත.—ගීතාවලිය 105:8-11.

20. ක්‍රිස්තියානීන්ට තිබෙන “සබත් නිවාඩුව” කුමනාකාරද?

20 මේ තුළ ක්‍රිස්තියානීන් සඳහා පාඩමක් ගැබ් වී තිබේද? යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයත් සමඟම සබත පැවැත්වීමේ අවශ්‍යතාව ඇතුළු මෝසෙස්ගේ ව්‍යවස්ථාව අහෝසි විය. (කොලොස්සි 2:16, 17) කෙසේවෙතත්, යූදාවරුන්ට පැවැත්වීමට දිරිගැන්වූ සබතේ ස්ප්‍රීතුව නැතහොත් සාරය වන ආත්මික කාරණාවලට මුල් තැන දීම සහ යෙහෝවාට සමීප වීම යන කාරණා යෙහෝවාගේ නමස්කාරකයන්ට තවමත් වැදගත් වේ. (මතෙව් 6:33; යාකොබ් 4:8) තවදුරටත්, හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියේදී පාවුල් කියා සිටියේ, “[දෙවිගේ] සෙනගට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ” කියාය. ක්‍රිස්තියානීන් මේ ‘සබත් නිවාඩුවට’ ඇතුල් වන්නේ යෙහෝවාට කීකරු වීමෙන් සහ යේසුස් ක්‍රිස්තුස් වැගිරූ රුධිරය කෙරෙහි ඇදහිල්ල තැබීම මත පදනම් වූ ධර්මිෂ්ඨකම ලුහුබැඳීමෙනි. (හෙබ්‍රෙව් 3:12, 18, 19; 4:6, 9-11, 14-16) ක්‍රිස්තියානීන් මේ ආකාරයේ සබතක් පැවැත්විය යුත්තේ සතියකට එක දවසක් නොව දිනපතාමය.—කොලොස්සි 3:23, 24.

ආත්මික ඉශ්‍රායෙල් ‘පොළොවේ උසස්ථාන මතුයෙහි නැගී යයි’

21, 22. යෙහෝවා විසින් දෙවිගේ ඉශ්‍රායෙල්ව “පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට” සලස්වා ඇත්තේ කිනම් ආකාරයෙන්ද?

21 වර්ෂ 1919දී බබිලෝනීය වහල්භාවයෙන් මිදුණු දා සිට, ආලේප ලත් ක්‍රිස්තියානීහු සබතෙන් සංකේතවත් කළ දෙය ඇදහිලිවන්ත ලෙස පවත්වමින් සිටිති. එහි ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා ඔවුන්ව “පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට” සැලැස්වුවේය. ඒ කිනම් අර්ථයෙන්ද? පොදු යුගයට පෙර 1513දී යෙහෝවා ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් සමඟ ගිවිසුමක් කරගත් අතර, ඔවුන් ඊට කීකරු වූවා නම්, ඔවුන් පූජක රාජ්‍යයක්ද ශුද්ධ ජාතියක්ද වන බවට පොරොන්දු විය. (නික්මයාම 19:5, 6) කාන්තාරයේ ගත කළ අවුරුදු 40 පුරාම යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ගේ අවශ්‍යතා ඕනෑවටත් වැඩියෙන් සපයමින් රාජාලියෙක් උගේ පැටවුන් පියාපත් මත ගෙනයන්නා සේ ඔවුන්ව සුරක්ෂිත ලෙස ගෙන ගියේය. (ද්විතීය කථාව 32:10-12) කෙසේවෙතත්, යෙහෝවා කෙරෙහි ඇදහිල්ලේ ඌනතාවක් විදහාපෑ ඉශ්‍රායෙල් ජාතිය, ඔවුන්ට ලැබෙන්න තිබූ සියලුම වරප්‍රසාද අහිමි කරගත්හ. ඒ වුණත්, යෙහෝවාට දැන් පූජක රාජ්‍යයක් ඇත. ඒ දෙවිගේ ආත්මික ඉශ්‍රායෙල්ය.—ගලාති 6:16; 1 පේතෘස් 2:9.

22 පුරාණ ඉශ්‍රායෙල්වරුන්ට කරන්න බැරි වූ දෙය ‘අන්තිම කාලයේදී’ මේ ආත්මික ජාතිය විසින් කර ඇත. ඔවුන් යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තබා තිබේ. (දානියෙල් 8:17) එහි සාමාජිකයන් යෙහෝවාගේ උසස් මාර්ග සහ උසස් සදාචාර ප්‍රමිතිවලට දැඩි ලෙස ඇලී සිටින නිසා, ආත්මික අර්ථයකින් යෙහෝවා ඔවුන්ව උසස් ස්ථානයකට පමුණුවා තිබේ. (හිතෝපදේශ 4:4, 5, 8; එළිදරව් 11:12) ඔවුන් අවට පැතිර තිබෙන දූෂිත සදාචාරය මධ්‍යයෙහි ඔවුහු උසස් ජීවන රටාවක් භුක්ති විඳිති. තම තමන්ගේ මාර්ගවල යනවා වෙනුවට ඔවුහු ‘යෙහෝවා කෙරෙහිත්’ ඔහුගේ වචනය කෙරෙහිත් ‘ප්‍රීති වෙති.’ (ගීතාවලිය 37:4) ලෝකය පුරා සංවිධානාත්මකව එල්ල කර ඇති විරෝධතා හමුවේ යෙහෝවා ඔවුන්ව ආත්මික ලෙස ආරක්ෂා කර තිබේ. වර්ෂ 1919 සිට ඔවුන්ගේ ආත්මික ‘දේශයට’ හානි කරන්න කිසිවෙකුට හැකි වී නැත. (යෙසායා 66:8) ඔවුහු දිගින් දිගටම යෙහෝවාගේ උසස් නාමය වෙනුවෙන් ජීවත් වෙමින් එම නාමය ප්‍රීතියෙන් ලොව පුරා දේශනා කරති. (ද්විතීය කථාව 32:3; ක්‍රියා 15:14) තවදුරටත්, යෙහෝවාගේ මාර්ග ගැන ඉගෙනගැනීමේ හා එම මාවත්වල ගමන් කිරීමේ වරප්‍රසාදය ලැබූ සියලු ජාතීන්ට අයත් මොළොක් ගුණැති බොහෝදෙනෙක්ද ඔවුන් සමඟ එම සේවයේ හවුල් වෙත්.

23. යෙහෝවා තම ආලේප ලත් සේවකයන්ට ‘යාකොබ්ගේ උරුමයෙන් පෝෂණය වෙන්න’ සලස්වා ඇත්තේ කෙසේද?

23 යෙහෝවා ආලේප ලත් අයව ‘යාකොබ්ගේ උරුමයෙන් පෝෂණය වෙන්න’ සලස්වා ඇත. ආබ්‍රහම්ගේ පොරොන්දු වංශය කෙරෙහි ඇදහිල්ල පවත්වන සියලුදෙනාම ආශීර්වාද ලබන බව ඒසව් වෙනුවට යාකොබ්ට ආශීර්වාද කරද්දී ඊසාක් එනම්, ඔවුන්ගේ පියා පැවසුවේය. (උත්පත්ති 27:27-29; ගලාති 3:16, 17) ඒසව් මෙන් නොව යාකොබ් මෙන්, ආලේප ලත් ක්‍රිස්තියානීන් සහ ඔවුන්ගේ සෙසු ඇදහිලිවන්තයෝ ‘පරිශුද්ධ දේවල් අගය’ [NW] කරති. ඔවුන් අගය කරන පරිශුද්ධ දේවල් අතර දෙවි බහුලව සපයන ආත්මික ආහාර කැපීපෙනේ. (හෙබ්‍රෙව් 12:16, 17; මතෙව් 4:4) මේ ආත්මික ආහාර එනම්, පොරොන්දු වූ වංශය සහ ඔහුගේ සහයකයන් මගින් යෙහෝවා ඉටු කරන දේවල් පිළිබඳ දැනුම, ඔවුන්ගේ ආත්මික ජීවිත ශක්තිමත් කිරීමට හා ප්‍රාණවත් කිරීමට අත්‍යවශ්‍ය දෙයකි. මේ නිසා, නොකඩවාම දේවවචනය කියවා ඒ ගැන මෙනෙහි කිරීම ඔවුන්ගේ ආත්මික පෝෂණය සඳහා අත්‍යවශ්‍යමය. (ගීතාවලිය 1:1-3) එමෙන්ම ඔවුන් තම සෙසු ඇදහිලිවන්තයන් සමඟ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමත් අවශ්‍යමය. එපමණක්ද නොව, ඔවුන් ප්‍රීතියෙන් අන්‍යයන් සමඟ මේ පෝෂණය බෙදාගන්නා අතරේදී නිර්මල නමස්කාරයේ උසස් ප්‍රමිති රැකිය යුතුමය.

24. අද සිටින සැබෑ ක්‍රිස්තියානීන් තමන්ගේ ජීවිත හැඩගස්වන්නේ කෙසේද?

24 යෙහෝවාගේ පොරොන්දුවල ඉටුවීම මහත් ඕනෑකමින් බලා සිටින අතරතුරේදී, සැබෑ ක්‍රිස්තියානීන් සෑම ආකාරයක කුහකකමක්ම හෙළා දකීවා! “යාකොබ්ගේ උරුමයෙන්” පෝෂණය ලබමින් “පොළොවේ උසස්ථාන මතුයෙහි” තිබෙන ආත්මික සුරක්ෂිතභාවය දිගින් දිගටම භුක්ති විඳීවා!

[පාදසටහන]

^ කෙනෙකු ණය වී එය ගෙවීමට නොහැකි වුවහොත් තමාව දාසයෙකු හැටියට කුලීකාරකමට විකිණීමෙන් ඒ ණය ගෙවා දැමීමේ ක්‍රමයක් යෙහෝවා හඳුන්වා දුන්නේය. (ලෙවී කථාව 25:39-43) කෙසේවෙතත්, දාසයන්ට කරුණාවන්ත ආකාරයෙන් සලකන්නැයි ව්‍යවස්ථාවේ ලියා තිබුණි. සාහසික ආකාරයෙන් සලකනු ලැබූ අයව නිදහස් කළ යුතු විය.—නික්මයාම 21:2, 3, 26, 27; ද්විතීය කථාව 15:12-15.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[278වන පිටුවේ පින්තූරය]

යුදෙව්වෝ වංක පසුතැවිල්ලක් පෙන්වීමට නිරාහාරව හිස් නමාගෙන සිටියහ. එහෙත් ඔවුන් තම මාර්ග වෙනස් කරගත්තේ නැත

[283වන පිටුවේ පින්තූරය]

යමක් කමක් කිරීමට හැකියාව තිබෙන අය අවශ්‍යතාව ඇති අයට ආහාර, ඇඳුම් පැළඳුම් හෝ නිවාස පහසුකම් සැපයිය යුතුය

[286වන පිටුවේ පින්තූරය]

යූදා පසුතැවිලි වුවහොත් ඇගේ පාළු වූ නුවරවල් ඇය යළි ගොඩනඟනු ඇත