Skip to content

පටුනට යන්න

ගැළවීම පිළිබඳ සැබෑ දෙවිගේ අනාවැකි

ගැළවීම පිළිබඳ සැබෑ දෙවිගේ අනාවැකි

පස්වන පරිච්ඡේදය

ගැළවීම පිළිබඳ සැබෑ දෙවිගේ අනාවැකි

යෙසායා 44:1-28

1, 2. (අ) යෙහෝවා විසින් නඟන ලද ප්‍රශ්න මොනවාද? (ආ) සැබෑ වූ එකම දෙවි තමා පමණක්මයයි යෙහෝවා ඔප්පු කරන්නේ කෙසේද?

 ‘සැබෑ දෙවි කවුද?’ සියවස් ගණනාවක් පුරා පුන පුනා අසා ඇති ප්‍රශ්නයකි මෙය. එසේ අසා තිබියදීත්, යෙසායා පොතේ යෙහෝවාම මේ ප්‍රශ්නය නැඟීම මොනතරම් පුදුමයට හේතුවක්ද! මේ සම්බන්ධයෙන් සිතාබැලීමට ඔහු මිනිසුන්ට ආරාධනා කරයි. ‘එකම සැබෑ දෙවි, යෙහෝවාද? එසේ නැතහොත් ඔහුගේ තත්වයට අභියෝග කළ හැකි වෙනත් කෙනෙකු සිටිනවාද?’ යෙහෝවා සාකච්ඡාව මේ ආකාරයට ආරම්භ කර, දේවත්වය පිළිබඳ කාරණය සමතයකට පත් කරවිය හැකි ආකාරයෙන් තර්කානුකූලව සාක්ෂි ඉදිරිපත් කරයි. ඉදිරිපත් කළ සාක්ෂි අවංක හදවතක් ඇත්තෙකුට ස්ථිර නිගමනයකට ඒමට මඟ සලස්වයි.

2 යෙසායාගේ කාලයේ සිටි මිනිස්සු රූප වන්දනාවේ ඇලී ගැලී සිටියහ. යෙසායාගේ අනාවැකි පොතේ යෙසායා 44වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති පැහැදිලි මෙන්ම ඍජු සාකච්ඡාවෙහි, රූප වන්දනාව කොතරම් නිෂ්ඵල දෙයක්ද කියා පෙන්වා තිබේ. එසේ වුණත් දෙවිගේම සෙනඟ රූප වන්දනාවේ මලපතට වැටුණි. මේ නිසා යෙසායා පොතේ කලින් පරිච්ඡේදවල සඳහන් කළ ආකාරයට ඉශ්‍රායෙල්වරු ඉතා දැඩි හික්මවීමක් ලැබීමට සුදුසු තත්වයක සිටියෝය. තම සෙනඟව වහල්භාවයට ගෙන යෑමට යෙහෝවා බබිලෝනිවරුන්ට ඉඩහැරියත්, තමන් නියම කර ඇති කාලයේදී ඔවුන්ව ගළවාගන්නා බවට ඔහු ප්‍රේමනීය ආකාරයෙන් සහතික කරයි. වහල්භාවයෙන් ගළවාගැනීම සහ නිර්මල නමස්කාරය යළි පිහිටුවීම පිළිබඳ අනාවැකිවල ඉටුවීම මගින්, යෙහෝවා සැබෑ දෙවි බව සැක කරන අයට, එම සැකයන් දුරු කරගැනීමට හැකි වේ. එපමණක්ද නොව, පණ නැති දෙවිවරුන් අදහන්නන්ව එමගින් ලජ්ජාවටද පත් කරවයි.

3. වර්තමානයේ සිටින ක්‍රිස්තියානීන්ට යෙසායා පැවසූ අනාවැකි වදන් ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

3 යෙසායා පොතේ මේ කොටසේ ඇති අනාවැකි සහ අතීතයේදී ඒවා ඉටු වූ ආකාරය පිළිබඳව සලකා බැලීමෙන්, අදදින සිටින ක්‍රිස්තියානීන්ට තම ඇදහිල්ල ශක්තිමත් කරගත හැක. එමෙන්ම යෙසායා පොතේ සඳහන් අනාවැකි අපේ කාලයේදී පමණක් නොව අනාගතයේදීත් ඉටු වෙයි. තවදුරටත්, දෙවිගේ පුරාණ සෙනඟ අද්දුටු ගැළවීමට වඩා විශාල ගැළවීමක් පමණක් නොව වඩා උතුම් ගැළවුම්කරුවෙකු හා සම්බන්ධ දේවල්ද එම සිද්ධීන්වලට සම්බන්ධ වේ.

යෙහෝවාට අයිති වූ අයට ඇති බලාපොරොත්තුව

4. යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ව දිරිගන්වන්නේ කෙසේද?

4 ඉශ්‍රායෙල්වරුන්ව අවට ජාතීන්ගෙන් වෙන් කර තම සේවකයා කරගැනීමට තමා තෝරාගෙන තිබෙන බව දෙවි ඔවුන්ට මතක් කර දෙයි. යෙසායා 44වන පරිච්ඡේදය ඇරඹෙන්නේ එවන් දිරිගන්වනසුලු වදන් පෙළකිනි. අනාවැකිය පවසන්නේ මෙසේයි. “මාගේ මෙහෙකරුවූ යාකොබ්, මා විසින් තෝරාගත් ඉශ්‍රායෙල්, දැන් අසන්න. නුඹ මවා කුසේ පටන් නුඹ සෑදුවාවූ, නුඹට උපකාරකරන්නාවූ [යෙහෝවා] මෙසේ [කියන්නේය]: මාගේ මෙහෙකරුවාවූ යාකොබ්, මා විසින් තෝරාගත් යෙෂුරූන්, භය නොවෙන්න. (යෙසායා 44:1, 2) මිසරයෙන් නික්මවිත් ජාතියක් බවට පත් වූ මොහොතේ සිටම, එනම් මව් ගැබේ සිටම යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ව රැකබලා ගත්තායයි කිව හැකියි. ඔහු තම සෙනඟට දක්වන සෙනෙහස සහ ඔවුන් සම්බන්ධයෙන් තමාට ඇති වන මුදු මොළොක් හැඟීම් විස්තර කිරීම සඳහා ඔවුන්ව සමූහයක් වශයෙන් අමතන්නේ “අවංක තැනැත්තා” යන අරුත් ඇති “යෙෂුරූන්” ලෙසිනි. ඉශ්‍රායෙල්වරුන් අවංක ලෙස කටයුතු කළ යුතු බව එම නාමයෙන් තවදුරටත් අඟවයි. එහෙත්, එසේ කිරීමට ඔවුන් බොහෝවිට අසමත් වේ.

5, 6. යෙහෝවා ඉශ්‍රායෙල්ට කිනම් සැනසිලිදායක සැපයුම් ලබා දෙයිද? එහි ප්‍රතිඵලය කුමක්ද?

5 යෙහෝවාගේ මීළඟ වදන් මොනතරම් ප්‍රියමනාප මෙන්ම සැනසිලිදායකද! ඔහු මෙසේ කියයි. “පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි. ඔවුන් වතුර ළඟ තෘණ මෙන්ද දිය ඔයවල් ළඟ නළා ගස් මෙන්ද වැඩෙනවා ඇත.” (යෙසායා 44:3, 4) උෂ්ණාධික වියළි දේශගුණයක් ඇති රටක වුණත්, ජල ධාරා අද්දර තිබෙන රුක් ගොමු සරුවට වැවේ. යෙහෝවා සත්‍යය නමැති ජීවනදායක ජලය සහ ශුද්ධාත්මය වගුරුවන විට, වාරිමාර්ගයක් දෙපැත්තේ ඇති ගස් මෙන් ඉශ්‍රායෙල්වරුන් බොහෝ සෙයින් වර්ධනය වනු ඇත. (ගීතාවලිය 1:3; යෙරෙමියා 17:7, 8) තම දෙවිකමට සාක්ෂි දරන්නන් වශයෙන් ඔවුන්ගේ පැවරුම ඉටු කිරීමට යෙහෝවා තම සෙනඟට මෙසේ ශක්තිය සපයයි.

6 ශුද්ධාත්මය මේ අයුරින් වැගිරවීමේ එක් ප්‍රතිඵලයක් හැටියට, ඉශ්‍රායෙල් සමඟ යෙහෝවාට ඇති සම්බන්ධය සමහරෙක් යළි අගය කිරීමට පටන්ගත්තෝය. මේ ගැන තවදුරටත් අපට මෙසේ කියවීමට තිබේ. “එක්කෙනෙක්: මම [යෙහෝවාගේයයි] කියනවා ඇත; තවත් කෙනෙක් යාකොබ් යන නාමය තබා ගන්නවා ඇත; තවත් කෙනෙක්ද තමා [යෙහෝවාට] අයිතියයි තමාගේ අතෙහි ලියා තබා, ඉශ්‍රායෙල් යන දෙවෙනි නාමයක් පවරාගන්නවා ඇත.” (යෙසායා 44:5) යෙහෝවා එකම සැබෑ වූ දෙවි බව ඔප්පු වී ඇති නිසා ඔහුගේ නාමය දැරීම නිසැකවම ගෞරවයට හේතුවක්!

දෙවිවරුන්ට අභියෝගයක්

7, 8. යෙහෝවා ජාතීන්ගේ දෙවිවරුන්ට අභියෝග කරන්නේ කෙසේද?

7 මුදවාගන්නෙකුට කෙනෙකුව වහල්භාවයෙන් මිල දී ගත හැකියි. මෝසෙස්ට දුන් ව්‍යවස්ථාවට අනුව සාමාන්‍යයෙන් එසේ කළ හැකි වූයේ මිදීම ලබන්නාගේ කිට්ටුම පිරිමි ඥාතියෙකුටය. (ලෙවී කථාව 25:47-54; රූත් 2:20) ඉශ්‍රායෙල්ව යළි මිල දී ගන්නා නැතහොත් ජාතියේ මිදුම්කාරයා ලෙස යෙහෝවා දැන් තමන්වම හඳුන්වා දෙයි. මෙය බබිලෝනියටත් එහි සියලුම දෙවිවරුන්ටත් මහත් ලජ්ජාවට හේතුවකි. (යෙරෙමියා 50:34) යෙහෝවා එම බොරු දෙවිවරුන්ට අභියෝග කරන්නේ මෙසේ කියමිනි. “ඉශ්‍රායෙල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමිවූ සේනාවල [යෙහෝවා] මෙසේ [කියන්නේය]: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත. මා විසින් පුරාණ සෙනග පිහිටෙවු තැන් පටන් මා වාගේ ප්‍රකාශකර, යමක් දන්වා, පිළිවෙළට මට කියන්නේ කවරෙක්ද? ඔව්හු සිද්ධවෙන දේවල්ද පැමිණෙන්ට තිබෙන දේවල්ද දන්වත්වා. තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත; අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.”—යෙසායා 44:6-8.

8 තමන්ට සාක්ෂි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න කියා යෙහෝවා දෙවිවරුන්ට අභියෝග කරයි. නැති දෙයක් තිබෙන්නා සේ අඟවමින්, අනාගතයේදී සිදුවීමට නියමිත දේවල් දැනටමත් සිදු වී ඇති අයුරින්, එතරම්ම නිවැරදි ආකාරයකට පුරෝකථනය කරන්න ඔවුන්ට පුළුවන්ද? සියලුම බොරු දෙවිවරුන් නිර්මාණය වීමට පෙර සිටම සිටින ‘පළමුවැනියා සහ අන්තිමයා’ මෙන්ම බොරු දෙවිවරුන් නැති වී ගිය පසුත් සිටින එකම තැනැත්තා ඔහුයි. යෙහෝවා දැවැන්ත පර්වතයක් මෙන් නිසලව සිටිමින් තම සෙනඟට උපකාර කරන නිසා, ඔවුන් ඔහුගේ සත්‍යතාවන්ට සාක්ෂි දරන්න කොහෙත්ම භය විය යුතු නැත.—ද්විතීය කථාව 32:4; 2 සාමුවෙල් 22:31, 32.

රූප නමස්කාරය නිෂ්ඵලය

9. ජීවමාන දෙයකට සමාන ඕනෑම දෙයක් සාදාගැනීම ඉශ්‍රායෙල්වරුන්ට තහනම් කර තිබුණාද? පැහැදිලි කරන්න.

9 බොරු දෙවිවරුන්ට යෙහෝවා කළ අභියෝගයෙන් දස පනතේ දෙවැනි ආඥාව අපේ මතකයට නැංවෙයි. එම ආඥාවේ පැහැදිලිව මෙසේ සඳහන් වේ. “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව.” (නික්මයාම 20:4, 5) අලංකාරය සඳහා කැටයම් කැපීම හෝ යම් රූපයක් ඇඹීම ඉශ්‍රායෙල්වරුන්ට තහනම් දෙයක්ය කියා මෙයින් කොහෙත්ම අදහස් වුණේ නැත. ශාකවල, සතුන්ගේ සහ කෙරුබ්වරුන්ගේ රූප සාදා මණ්ඩපයේ තැබීමට යෙහෝවාම අණ කර තිබුණි. (නික්මයාම 25:18; 26:31) කෙසේවෙතත්, මේවා සාදා තිබුණේ වන්දනාමාන කිරීමට නොවේ. එම පිළිමවලට යාච්ඤා කිරීම හෝ පුද පූජා පැවැත්වීම නොකළ යුතු යමක් විය. නමස්කාරය සඳහා කිසිම දෙයක් සාදා නොගත යුතුය කියා දෙවි නියෝග කර තිබුණි. රූප වන්දනාව ලෙස සැලකෙන්නේ පිළිමවලට නමස්කාර කිරීම හෝ ඒවා ඉදිරියේ භක්ත්‍යාදරයෙන් වැඳ වැටීමය.—1 යොහන් 5:21.

10, 11. නමස්කාරය සඳහා පිළිම සෑදීම නින්දාසහගත දෙයක් ලෙස යෙහෝවා සලකන්නේ මන්ද?

10 අප්‍රාණික පිළිමවල ඇති නිෂ්ඵල බව හා ඒවා සාදන්නන් විඳින ලජ්ජාව ගැන යෙසායා දැන් විස්තර කරන්නේ මෙසේයි. “රූප සාදන සියල්ලෝම හිස්කමය; ඔවුන්ගේ ප්‍රිය දේවලින් ප්‍රයෝජන නැත. ඔව්හු ඔවුන්ගේම සාක්ෂිකාරයෝය; ඔව්හු නොදකිති, නොදනිති. එබැවින් ඔව්හු ලජ්ජාවට පැමිණෙන්නෝය. දෙවිකෙනෙකු සාදා ප්‍රයෝජන නැති රූපයක් වාත්තුකෙළේ කවුද? බලව, ඒකට සම්බන්ධව සිටින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති; කර්මාන්තකාරයෝ පවා මනුෂ්‍යයෝය. ඔවුන් සියල්ලෝම රැස්වී නැගිට සිටිත්වා; ඔව්හු භයව එක්ව ලජ්ජාවන්නෝය.”—යෙසායා 44:9-11.

11 නමස්කාරය සඳහා සාදන පිළිම එතරම් නින්දිත යමක් ලෙස දෙවි සලකන්නේ මන්ද? ඊට මූලික හේතුවක් වන්නේ, සර්ව පරාක්‍රම දෙවිව රූපයකින් නිවැරදි ආකාරයට දක්වන්න කොහෙත්ම නොහැකි වීමයි. (ක්‍රියා 17:29) තවදුරටත් මැවුම්කරු සිටියදී, මැවිල්ලකට නමස්කාර කිරීම යෙහෝවාගේ දේවත්වයට කරන නින්දාවකි. එමෙන්ම එය ‘දෙවිගේ ස්වරූපයෙන්’ මවා ඇති මනුෂ්‍යයා තමාටම කරගන්නාවූ නිග්‍රහයක් නොවේද?—උත්පත්ති 1:27; රෝම 1:23, 25.

12, 13. නමස්කාරය සඳහා උචිත පිළිමයක් සාදාගැනීමට මිනිසාට කොහෙත්ම නොහැකි වන්නේ මන්ද?

12 යම් භෞතික දෙයක් නමස්කාරය සඳහා සෑදූ පළියට එවැනි දෙයකට ශුද්ධත්වයක් ආරූඪ වෙනවාද? පිළිමයක් කියන්නේ මිනිස් හස්ත කර්මාන්තයක් විතරයි කියා යෙසායා සඳහන් කරයි. පිළිම තනන්නෙකුගේ උපකරණ සහ ඔහුගේ ශිල්පීය ඥානයත් වෙන කලාකරුවෙකු යොදාගන්නා තාක්ෂණයත් අතර වෙනසක් නැත. “ආචාරියා පොරොවක් සාදමින්, ගිනි අඟුරුවලින් වැඩකරමින්, මිටිවලින් ඒක තළා, තමාගේ සවි හස්තයෙන් ඒක සාදයි. එසේය, ඔහුට බඩගිනිව ඔහුගේ ශක්තිය හීනවෙයි; ඔහු වතුර නොබී ක්ලාන්තවෙයි. වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණුකර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණුකොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත් මනුෂ්‍යයෙකුගේ ශෝභනකම ප්‍රකාරයටත් ඒක සාදන්නේය.”—යෙසායා 44:12, 13.

13 මිහිපිට වෙසෙන මිනිසා ඇතුළු සියලුම ජීවීන් මවන ලද්දේ සැබෑ දෙවි විසිනි. සංවේදනය දැක්වීමේ හැකියාව සහිත ජීවීන් යෙහෝවාගේ දේවත්වය සම්බන්ධයෙන් මවිතාකාර සාක්ෂියක් සපයයි! කෙසේ නමුත්, යෙහෝවා මවා ඇති සියලුම දේවල් ඔහුට වඩා පහත්ය. යම් දේවල් කිරීම සඳහා දෙවිට වඩා හැකියාවක් මිනිසාට තිබෙනවාද? නමස්කාර කිරීමට තමාට වඩා උසස් යමක් සාදන්න මිනිසාට පුළුවන්ද? මිනිසෙකු පිළිමයක් අඹද්දී ඔහු වෙහෙසට පත් වෙයි. ඔහුට බඩගින්න සහ පිපාසය දැනෙයි. මෙයින් හෙළි වෙන්නේ මිනිසාට කළ හැකි දේවල සීමාවක් තිබෙන බව වුණත්, අඩුම තරමින් ඔහු ජීවමාන පුද්ගලයෙකු බව මේවා කියාපායි. පිළිමයක් මිනිසෙකුගේ හැඩරුව ගැනීමට ඉඩ ඇත. ඇතැම්විට එය අලංකාර යමක් වීමටත් ඉඩ තිබේ. එනමුත් එයට පණ දිය නොහැක. කොයිම ආකාරයකින්වත් ඊට දේවත්වයක් ලබා දිය නොහැක. තවදුරටත්, දෙවියන්ගෙන් ලැබුණායයි කීමට හැකි වන පරිද්දෙන්, කිසිම පිළිමයක් අහසින් පොළොවට ‘වැටිලාද’ නැත.—ක්‍රියා 19:35.

14. පිළිම සාදන්නන් සම්පූර්ණයෙන්ම යෙහෝවා මත රඳා සිටින්නේ කෙසේද?

14 පිළිම සාදන්නන් යෙහෝවා මවා ඇති ස්වාභාවික දේවල් මත සම්පූර්ණයෙන්ම රඳා සිටින බව යෙසායා තවදුරටත් සඳහන් කරයි. “ඔහු කිහිරි ගස් කපාගන්නේය, ඔහු තිර්සා ගහක්ද අලෝන ගහක්ද රැගෙන වනයේ ගස් අතරෙහි වවන්නේය. ඔහු දේවදාර ගහක් හිටවයි, ඒක වර්ෂාවෙන් වැවේ. එවිට ඒක ගිනිදැල්වීම පිණිස මනුෂ්‍යයෙකුට ලැබේ; ඔහු එයින් රැගෙන ගිනිතපින්නේය; එසේය, එය පත්තුකොට රොටිද පුලුස්සන්නේය. එයින් ඔහු දෙවිකෙනෙකුත් සාදා නමස්කාරකරන්නේය. එයින් රූපයක්ද තනා ඊට වැඳවැටෙන්නේය. ඔහු එයින් කොටසක් ගින්නෙන් දවන්නේය, කොටසකින් මස් පිස කන්නේය; ඔහු කෑම පුලුස්සා කා තෘප්තියට පැමිණෙන්නේය. එසේය, ඔහු ගිනි තැප: ඔහෝ මම උණුසුම්වීමි, ගින්දර දුටිමියි කියන්නේය. ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.”—යෙසායා 44:14-17.

15. පිළිම සාදන්නෙකු තුළ වූ තේරුම්ගැනීමේ ඌනතාව පෙන්නුම් කර තිබෙන්නේ කෙසේද?

15 නිකම්ම නිකම් දර කොටයකට පුළුවන්ද කෙනෙකුව ගළවාගන්න? එවැනි දෙයකට බැරි බව කවුරුත් දනී. ගැළවීම ලබා දිය හැක්කේ සැබෑ වූ දෙවිට පමණයි. පණ නැති දෙයක් දෙවියෝයයි සලකන්න තරම් මිනිසුන් මෝඩද! යෙසායා පෙන්වන විදිහට ඇත්තෙන්ම ගැටලුව පවතින්නේ පුද්ගලයෙකුගේ හදවතේයි. “ඔව්හු නොදනිති, ඔව්හු කල්පනා නොකෙරෙති. මක්නිසාද නොපෙනෙන හැටියට ඔවුන්ගේ ඇස්ද තේරුම් නොගන්න හැටියට ඔවුන්ගේ සිත්ද වසා තිබේ. මම කොටසක් දවා එහි අඟුරු පිට රොටි පිලිස්සීමි; මස් පුලුස්සා කෑවෙමි; ඉතිරි ඒවායෙන් පිළිකුල් දෙයක් සාදා ලී කඳකට වැඳවැටෙම්දැයි කියන්ට කිසිවෙක් සිතට ගන්නේවත් ඒ අයට දැනගැන්මද තේරුමද ඇත්තේවත් නැත. ඔහු කන්නේ අළුය. තමාගේ ප්‍රාණය ගළවාගන්ටවත්: මාගේ දකුණතේ බොරුවක් තිබෙනවා නොවේදැයි කියන්ටවත් බැරි ලෙස ඔහුගේ සිත රැවටී, ඔහු මුළාව ගොස් සිටියි.” (යෙසායා 44:18-20) පිළිම වන්දනාව තුළින් මිනිසාට ආත්මික ආකාරයකින් යහපතක් විය හැකියි කියා සිතීම හරියට පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වෙනුවට අළු කනවා වගේ වැඩකි!

16. පිළිම නමස්කාරය ඇරඹුණේ කෙසේද? පිළිම නමස්කාරයේ යෙදීමට කෙනෙකුව පොලඹවන්නේ කුමක්ද?

16 පිළිම නමස්කාරය ඇත්තෙන්ම ඇරඹුණේ ස්වර්ගයෙනි. එය ඇරඹුණේ, සාතන් බවට පත් වූ බලවත් ආත්ම මැවිල්ලක් විසින් යෙහෝවාට පමණක් ලැබිය යුතු නමස්කාරය තෘෂ්ණාධික ලෙස සොරාගැනීමට උත්සාහ කළ මොහොතේදීයි. සාතන්ගේ තෘෂ්ණාව කොතරම් දැඩිව තිබුණාද කිවහොත්, දෙවිගෙන් ඔහුව සහමුලින්ම ඈත් කිරීමට එය හේතුවක් විය. ඇත්තෙන්ම එයයි පිළිම නමස්කාරයේ උපත. ප්‍රේරිත පාවුල් තණ්හාව පිළිම නමස්කාරයට සමාන කරන්නේ ඒ නිසාය. (යෙසායා 14:12-14; එසකියෙල් 28:13-15, 17; කොලොස්සි 3:5) සාතන් මුල් මිනිස් යුවළ තුළ ආත්මාර්ථකාමී සිතුවිලි වැඩෙන්න සැලැස්සුවේය. සාතන් කී දේ සම්බන්ධයෙන් ඒව තුළ තෘෂ්ණාවක් ඇති විය. ‘නුඹලාගේ ඇස් ඇරී, නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වෙන’ බව ඔහු කියා සිටියේය. මේ සම්බන්ධයෙන් යේසුස් පැවසුවේ, තණ්හාවේ මුල හදවත කියාය. (උත්පත්ති 3:5; මාර්ක් 7:20-23) හෘද තත්වය දූෂිත නම් පිළිම නමස්කාරයේ යෙදීම අපහසු දෙයක් වන්නේ නැත. එසේ නම්, අප සියලුදෙනාම “අපේ හදවත රැකගැනීම” මොනතරම් වැදගත්ද! කිසි කෙනෙකුටවත් කිසි දෙයකටවත් අපේ හෘදයේ යෙහෝවාට හිමි තැන සොරාගැනීමට අප කෙදිනකවත් ඉඩ නොදිය යුතුයි!—හිතෝපදේශ 4:23, NW; යාකොබ් 1:14.

යෙහෝවා හදවතට කතා කරයි

17. ඉශ්‍රායෙල්වරුන් සිතට ගත යුත්තේ කුමක්ද?

17 යෙහෝවා ඊළඟට ඉශ්‍රායෙල්වරුන්ගේ හදවතටම කතා කරමින්, ඔවුන් සිටින්නේ ඉතා වරප්‍රසාද ලත් මෙන්ම වගකිව යුතු තත්වයක බව මතක් කර දෙයි. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්! මේ ගැන ඔහු මෙසේ කියයි. “එම්බා යාකොබ්, ඉශ්‍රායෙල්, මේ දේවල් සිහිකරන්න, මක්නිසාද නුඹ මාගේ මෙහෙකරුවාය. මම නුඹ සෑදීමි; නුඹ මාගේ මෙහෙකරුවාය. ඉශ්‍රායෙල්, නුඹ මාගේ සිහියෙන් තොර නොවන්නෙහිය. මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුලක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි. ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද [යෙහෝවා] ඒක [කළේය]; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද [යෙහෝවා] යාකොබ් [මිදුවේය], ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව [ලබාගන්නේය].”යෙසායා 44:21-23.

18. (අ) ප්‍රීතිවීමට ඉශ්‍රායෙල්වරුන්ට තිබෙන හේතුව කුමක්ද? (ආ) අදදින සිටින යෙහෝවාගේ සේවකයන්ට ඔහුගේ දයාව අනුගමනය කළ හැක්කේ කෙසේද?

18 යෙහෝවාව සාදන ලද්දේ ඉශ්‍රායෙල්වරුන් විසින් නොවේ. යෙහෝවා මිනිසුන්ගේ හස්ත කර්මාන්තයක්ද නොවේ. ඒ වෙනුවට තමන් තෝරාගත් සේවකයා බවට ඉශ්‍රායෙල්ව පත් කරගත්තේ යෙහෝවා විසිනි. සෙනඟව ගළවාගැනීම මගින් යෙහෝවා නැවත වරක් තම දේවත්වය පෙන්වන්න සූදානම්ය. ඔහු තම සෙනඟව මුදු මොළොක් ලෙස ආමන්ත්‍රණය කරමින්, ඔවුන් අවංකවම පසුතැවිලි වුණොත්, ඔහු සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ පව්වලට කමාව දෙන බවත් ඔවුන්ගේ වරද විනිවිද නොපෙනෙන ඝන වලාකුළකින් වසා සඟවන බවත් දන්වා සිටියි. ඉශ්‍රායෙල්වරුන් මොනතරම් ප්‍රීතියකින් ඉපිල යා යුතුද! දයාව පෙන්වීම සම්බන්ධයෙන් වූ යෙහෝවාගේ මෙම ආදර්ශය වර්තමානයේ සිටින දෙවිගේ සේවකයන්ට ඔහුව අනුගමනය කිරීමට මහත් පෙලඹවීමක් වී තිබේ. වැරදි කරන අයට උපකාර කිරීමට හැකි සෑමදෙයක්ම කිරීමෙන් සහ ඔවුන්ව ආත්මිකව නඟාසිටුවීමට උත්සාහ කිරීමෙන් ඔවුන්ට ඒ ආදර්ශය අනුගමනය කළ හැකියි.—ගලාති 6:1, 2.

දේවත්වය පිළිබඳ අවසන් පරීක්ෂණය!

19, 20. (අ) යෙහෝවා තම නඩු විභාගය උච්චාවස්ථාවකට ගෙනෙන්නේ කෙසේද? (ආ) යෙහෝවා තම සෙනඟ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන හද උණුසුම් කරවන දේවල් මොනවාද? මේ දේවල් කරන්නේ කවුරුන් මාර්ගයෙන්ද?

19 යෙහෝවා දැන් තම නඩුව උච්චාවස්ථාවකට ගෙන එයි. දේවත්වය ඔප්පු කිරීම හා සම්බන්ධ ප්‍රබලතම පරීක්ෂණයට අදාළ කාරණාවලට වග උත්තර බැඳීම සඳහා යෙහෝවා සූදානම්ය. ඒ වනාහි අනාගතය ගැන නිවැරදිව ප්‍රකාශ කිරීමට තිබෙන හැකියාව පිළිබඳ පරීක්ෂණයයි. බයිබල් විශාරදයෙකු යෙසායා 44වන පරිච්ඡේදයේ ඊළඟ ඡේද පහ හැඳින්වූයේ, එකම මැවුම්කරුත්, අනාගතය ගැන කිව හැකි එකම තැනැත්තාත්, ඉශ්‍රායෙල්ගේ මිදුම්කරුවාත් වන “සියල්ල අබිබවා යන ඉශ්‍රායෙල්හි දෙවිගේ උතුම්කම වර්ණනා කරන කාව්‍යයක්” හැටියටයි. මෙම කාව්‍යයේ හැඟීම් පුබුදුවාලන ස්වරය ක්‍රමානුකූලව ඉහළ නැංවීමේදී බබිලෝනීය වහල්භාවයෙන් ඉශ්‍රායෙල් ජාතිය බේරාගන්නාගේ නම පවා සඳහන් කරයි.

20 ‘නුඹේ මිදුම්කාරයා වූ, කුසේ පටන් නුඹ සෑදුවාවූ යෙහෝවා මෙසේ කියන්නේය. යෙහෝවා වූ මම සියල්ලම කරන්නාවූ තැනැත්තාය. මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිගහරින්නාවූ, අන් කිසිවෙකු නැතුව පොළොව අතුරන්නාවූ තැනැත්තාය. මම බොරුකාරයන්ගේ ලකුණු හිස් කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ තැනැත්තාය. මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිර කරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ට කරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනඟනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද, එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනැත්තාය. ගැඹුරට, හිඳෙන්න කියාද, මම නුඹේ ගංගා හිඳවන්නෙමියි කියාද කියන තැනැත්තාය. කෝරෙෂ් ගැන, ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ට කරමින්—යෙරුසලම ගොඩනඟනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනැත්තාය.”—යෙසායා 44:24-28.

21. යෙහෝවාගේ වචන මගින් සපයන සහතිකය කුමක්ද?

21 සැබවින්ම, අනාගතය ගැන කියන්න පමණක් නොව, තමන් හෙළි කළ අරමුණ සම්පූර්ණයෙන්ම ඉටු කිරීමටද බලය ඇත්තේ යෙහෝවාට පමණයි. එමනිසා, ඉහත ප්‍රකාශය ඉශ්‍රායෙල්වරුන් තුළ මහත් බලාපොරොත්තුවක් ඇති කළේය. බබිලෝනිය අතින් යූදා දේශය පාළු වුණත්, යෙරුසලම සහ එය යටතේ පාලනය වන නගර නැවත ගොඩනඟා සැබෑ නමස්කාරය යළි පිහිටුවන බවට එයින් සහතික විය. නමුත් එය කරන්නේ කෙසේද?

22. යුප්‍රටීස් ගඟ හිඳෙන්න සැලැස්වූයේ කෙසේද කියා විස්තර කරන්න.

22 දෙවිගේ අනුමැතිය නැති පේන කියන්නන් අනාගතය ගැන හෙළි කරද්දී සියලු තතු හෙළි කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. ඊට හේතුව, කාලයාගේ ඇවෑමෙන් තමන් වැරදිකරුවෙකු බව ඔප්පු වෙයි යන භය ඔවුන් තුළ තිබීමය. ඊට හාත්පසින්ම වෙනස්ව, බබිලෝනියේ වහල්භාවයෙන් තම සෙනඟව මුදාගැනීමට හා ඔවුන්ගේ මව්බිම කරා නැවත යෑමට ඉඩ සලසවමින් යෙරුසලමත් එහි දේවමාළිගාවත් නැවත ගොඩනැඟීමට තමන් පාවිච්චි කරන තැනැත්තාගේ නම පවා යෙහෝවා යෙසායා තුළින් කල් තියාම දන්වයි. ඔහුගේ නම කෝරෙෂ්ය. ඔහුව පර්සියාවේ මහා කෝරෙෂ් ලෙසත් හඳුන්වයි. බබිලෝනියේ දැවැන්ත සහ සංකීර්ණ ආරක්ෂක වළලු හරහා යෑමට කෝරෙෂ් යොදන යුධ උපාය ගැන තොරතුරු පවා යෙහෝවා කලින්ම සපයයි. බබිලෝනිය ඉතා උස් වූ පවුරුවලින් වට කර තිබෙන අතර නගරය වටා මෙන්ම නගරය හරහාත් ජල මාර්ග ඉදි කර තිබෙනු ඇත. මෙම ආරක්ෂක විධිවිධානයේ ප්‍රධාන අංගයක් වන යුප්‍රටීස් ගඟ පවා කෝරෙෂ් තම වාසියට හරවාගන්නේය. පුරාණයේ විසූ ඉතිහාසඥයන් වන හෙරඩෝටස් සහ සෙනෆොන් විස්තර කර ඇති ආකාරයට, කෝරෙෂ් යුප්‍රටීස් ගඟේ ජල කඳ බබිලෝනිය කරා ළඟාවීමට පෙර වෙනත් දිසාවකට හරවා, ගඟේ ජල මට්ටම පහළ බසින්න සැලැස්වීය. මෙසේ ඔහුගේ හේවායන්ට පයින්ම නුවරට ඇතුල් වීමට හැකි වන තරමටම ජල මට්ටම පහළ බස්සවන්න ඔහුට හැකි විය. තමාව ආරක්ෂා කරගැනීමට බබිලෝනියට තිබූ හැකියාව ගැන සලකා බලද්දී, කෝරෙෂ් යුප්‍රටීස් ගඟ හිඳෙන්න සැලැස්සුවා කීවොත් නිවැරදියි.

23. කෝරෙෂ් ඉශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන බවට වූ අනාවැකියේ ඉටුවීම පිළිබඳව තිබෙන වාර්තාව කුමක්ද?

23 කෝරෙෂ් දෙවිගේ සෙනඟව මුදාගෙන යෙරුසලමත් එහි දේවමාළිගාවත් යළි ගොඩනඟනවායයි කියූ අනාවැකිය ගැන කුමක් කිව හැකිද? කෝරෙෂ් විසින් නිල වශයෙන් දුන් ආඥාවක් බයිබලයේ මෙසේ සුරැකිව තිබේ. ‘පර්සියාවේ රජ වූ කෝරෙෂ් තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ, ස්වර්ගයේ දෙවි වූ යෙහෝවා පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද ඔහු යූදාහි තිබෙන යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනඟන්ට මට අණ කර තිබේ. ඔහුගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවි වූ යෙහෝවා සිටිත්වා. ඔහු යූදාහි වූ යෙරුසලමට ගොස් යෙරුසලමෙහි සිටින ඉශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවාගේ ගෘහය ගොඩනඟාවා. (ඔහු දෙවිය.)’ (එස්රා 1:1අ, 2, 3) යෙසායා තුළින් යෙහෝවා කී සියලුම වචන එකක් නෑරම ඉෂ්ට විය!

යෙසායා, කෝරෙෂ් සහ වත්මන් ක්‍රිස්තියානීන්

24. “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට” දුන් අර්තක්ෂස්තාගේ ආඥාවත් මෙසියස්ගේ පැමිණීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද?

24 යෙහෝවා තම පුරාණ සෙනඟගේ සැබෑ දෙවි හා ගැළවුම්කරුවා බව යෙසායා 44වන පරිච්ඡේදය තුළ පැහැදිලිව විස්තර කරයි. තවදුරටත්, මේ අනාවැකියෙහි අප සියලුදෙනාටම බලපාන ගැඹුරට මුල් බැසගත් අර්ථයක්ද අඩංගුයි. යෙරුසලමේ දේවමාළිගාව යළි ගොඩනැඟීම සඳහා පො.යු.පෙ. 538/537දී කෝරෙෂ් දුන් ආඥාව තවත් විශිෂ්ට අනාවැකියක් ඉටුවීමට පාදක විය. යෙරුසලම යළි ගොඩනැඟිය යුතු බවට කෝරෙෂ් දුන් ආඥාව ඔහුට පසුව පැමිණි පාලකයෙකු වූ අර්තක්ෂස්තා විසින් ක්‍රියාත්මක කරන ලදි. දානියෙල්ගේ පොතේ මෙය හෙළි කරන්නේ, “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් [එනම්, පො.යු.පෙ. 455 සිට] අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා” “සති” 69ක් තිබෙන බවය (එය අවුරුදු 7 වරක් සති 69කි). (දානියෙල් 9:24, 25) මේ අනාවැකිය ඒ අයුරින්ම සැබෑ විය. මෙම කාලසටහනට අනුව, පොරොන්දු දේශයේදී අර්තක්ෂස්තාගේ ආඥාව ක්‍රියාත්මක වී අවුරුදු 483කට පසුව, එනම් පො.යු. 29දී යේසුස් බව්තීස්ම වී ඔහුගේ භූමික දේවසේවය ආරම්භ කළේය. *

25. කෝරෙෂ් අතින් බබිලෝනිය වැටීම අපේ කාලයට අදාළ වන්නේ කෙසේද?

25 බබිලෝනියේ වැටීමත් සමඟම පක්ෂපාත යුදෙව්වන්ව වහල්භාවයෙන් මුදාගැනීමෙන් පූර්වාදර්ශනය කළේ, ආත්මික වහල්භාවයේ සිටි ආලේප ලත් ක්‍රිස්තියානීන්ව 1919දී මුදාගැනීමය. මෙයින් ඇඟවූයේ ලෝකයේ තිබෙන සියලුම බොරු ආගම් සාමූහික ලෙස නියෝජනය කරන වේශ්‍යාව නැත්නම් මහා බබිලෝනිය ලෙස හඳුන්වන වෙනත් බබිලෝනියක වැටීමක් සිදු වී ඇති බවය. එළිදරව් පොතේ වාර්තා කර ඇති පරිදි ප්‍රේරිත යොහන් ඇගේ වැටීම කල් තියා දුටුවේය. (එළිදරව් 14:8) හදිසියේ සිදු වූ ඇගේ විනාශයත් ඔහු දුටුවේය. යොහන් සඳහන් කරන පිළිමවලින් පිරි එම ලෝක අධිරාජ්‍යයේ විනාශය, කෝරෙෂ් විසින් පුරාණ බබිලෝනිය සාර්ථක ලෙස පරාජය කිරීම හා සමානය. කෝරෙෂ් අතින් බබිලෝනිය බේරාගැනීමට ඇය වටා තිබූ ජල ගංගාවලට නොහැකි වූවා සේම, මහා බබිලෝනිය විනාශය නමැති ඛේදනීය ඉරණම අද්දකින්න කලින්, ඇයව රැකගැනීමට සහ ඇයට සහය වීමට මිනිස් ‘ගංගාවලට’ නොහැකි වේ. ඒවාද ‘හිඳී යනු’ ඇත.—එළිදරව් 16:12. *

26. යෙසායාගේ අනාවැකියත් එහි ඉටුවීමත් අපේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කෙසේද?

26 අපගේ දෘෂ්ටියෙන් බලන කල, යෙසායා තම අනාවැකි ප්‍රකාශ කර අවුරුදු දෙදහස් පන්සියයකට වඩා වැඩි කාලයක් ගෙවී ගොස් ඇතත්, දෙවි “තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ” තැනැත්තා බව අපට පෙනී යයි. (යෙසායා 44:26) මෙසේ යෙසායාගේ අනාවැකිය ඉටුවීමෙන් පැහැදිලි වන්නේ ශුද්ධ ලියවිල්ලේ ඇති සියලුම අනාවැකි විශ්වසනීය බවයි.

[පාදසටහන්වල]

^ Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

^ Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොතේ 35 සහ 36වන පරිච්ඡේද බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[63වන පිටුවේ පින්තූරය]

නිකම්ම නිකම් දර කොටයකට පුළුවන්ද කෙනෙකුව ගළවාගන්න?

[73වන පිටුවේ පින්තූරය]

කෝරෙෂ්ගේයයි සිතිය හැකි කිරිගරුඬෙන් තැනූ පර්සියානු රජෙකුගේ හිසක්

[75වන පිටුවේ පින්තූරය]

යුප්‍රටීස් ගඟේ ජල කඳ වෙනතකට හැරවීමෙන් කෝරෙෂ් අනාවැකිය ඉටු කරයි