Skip to content

පටුනට යන්න

ජාතීන්ට ආලෝකයක්

ජාතීන්ට ආලෝකයක්

විසිඅටවන පරිච්ඡේදය

ජාතීන්ට ආලෝකයක්

යෙසායා 66:15-24

1, 2. ආලෝකය එතරම්ම වැදගත් වන්නේ මන්ද? අද පෘථිවිය වසාගෙන තිබෙන්නේ කිනම් ආකාරයේ අන්ධකාරයක්ද?

 ආලෝකයේ උල්පත යෙහෝවායි. “දිවා කාලයේදී ආලෝකය දීම සඳහා සූර්යයාටද, රාත්‍රියේදී ආලෝකය දීම සඳහා සඳ සහ තාරකාවලටද යෙහෝවා නියෝග කර තිබේ.” (යෙරෙමියා 31:35, NW) ඔහු ජීවිතයේ උල්පත බව පිළිගැනීමට මේ කාරණය සලකා බැලීම පමණක්ම ප්‍රමාණවත්ය. මන්ද ආලෝකය නැතුව ජීවයක් පවතින්නේ නැත. හිරු කිරණෙන් සහ රශ්මියෙන් පොළොව නැහැවී ගියේ නැත්නම්, මිහිපිට කිසිම ජීවියෙකුට සිටිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. අපේ පෘථිවි ග්‍රහයා ජීවි ශූන්‍ය තැනක් වනු ඇත.

2 එමනිසා, යෙහෝවා අපේ දවස ඝනාන්ධකාරයෙන් වැසී තිබෙන බව පුරෝකථනය කර තිබීම ගැන අප ඉතා සැලකිලිමත් විය යුතුය. දේවානුභාවයෙන් යුතුව යෙසායා මෙසේ ලීවේය. “පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය.” (යෙසායා 60:2) මේ වචන යොමු දැක්වූයේ ආත්මික අන්ධකාරයට මිස භෞතික අන්ධකාරයට නොවන බව සැබෑය. එහෙත් එහි බැරෑරුම්කම අප විසින් අවතක්සේරු නොකළ යුතුය. හිරුගේ ආලෝකය නැති වූ විට ජීවත් විය නොහැකිවාක් මෙන් ආත්මික ආලෝකය නැති වූ විටද ඒ හා සමාන දෙයක් සිදු වේ.

3. මේ අඳුරු කාලවලදී ආලෝකය සොයා යා හැක්කේ කොතැනටද?

3 මේ අඳුරු කාලවලදී, යෙහෝවා අපට සපයන ආත්මික ආලෝකය නොසලකා සිටීමට අපට නොහැක. අපේ මාවත ආලෝකවත් කිරීමට නම් දෙවිගේ වචනය වෙත යොමුවීම අත්‍යවශ්‍යය. මේ සඳහා, දිනපතාම බයිබලය කියවීමට හැකි නම් එය ප්‍රයෝජනවත් වනු ඇත. (ගීතාවලිය 119:105) ‘ධර්මිෂ්ඨයන්ගේ මාවතේ’ දිගටම ගමන් කිරීමට එකිනෙකාව දිරිගැන්වීම සඳහා ක්‍රිස්තියානි රැස්වීම් අපට කදිම ප්‍රස්තාවක් ලබා දෙයි. (හිතෝපදේශ 4:18; හෙබ්‍රෙව් 10:23-25) ඉතා උනන්දුවෙන් බයිබලය පාඩම් කිරීමෙන් සහ ක්‍රිස්තියානි ඇසුරෙන් ලබන ශක්තිය, ‘යෙහෝවාගේ මහත් උදහස් දවසෙන්’ අවසන් වන මේ “අන්තිම දවස්වල” අප අවට තිබෙන අන්ධකාරයේ නොගිලී සිටීමට අපට උපකාර කරයි. (ශෙපනියා 2:3; 2 තිමෝති 3:1) එම දවස ඉතා ඉක්මනින් පැමිණෙමින් තිබේ! එම දිනය පුරාණ යෙරුසලමේ වැසියන් මත පැමිණි ආකාරයෙන්ම පැමිණෙනු ඇත.

යෙහෝවා “විනිශ්චයට පැමිණෙනවා ඇත”

4, 5. (අ) යෙහෝවා යෙරුසලමට විරුද්ධව පැමිණෙන්නේ කෙසේද? (ආ) යෙරුසලම පො.යු.පෙ. 607දී විනාශ වීමෙන් පසු ඉතිරි වන්නේ සාපේක්ෂ වශයෙන් කුඩා පිරිසක් පමණයි කියා නිගමනය කිරීම සාධාරණ වන්නේ මන්ද? (පාදසටහන බලන්න.)

4 යෙසායාගේ සිත්ගන්නා අනාවැකියේ අවසාන පද සාකච්ඡා කරද්දී, යෙහෝවා තම උදහස් දිනය දක්වා දිවෙන සිදුවීම් පෙළ ඉතා පැහැදිලිව දක්වයි. “[යෙහෝවා] තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද [ඔහුගේ] රථ සුළිහුළඟ [දූලි කුණාටුව, NW] මෙන්ද එනවා ඇත. එසේය, [යෙහෝවා] ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංසමයවූ සියල්ලන් සමග විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද [යෙහෝවාගෙන්] මැරුම්කනවා ඇත.”—යෙසායා 66:15, 16.

5 මේ වචන ඇසෙද්දී, තමන් සිටින තත්වයේ බරපතළකම යෙසායාගේ රටවැසියන්ට තේරුම් යා යුතුය. බබිලෝනිවරුන් යෙහෝවාගේ වධකයා හැටියට දූලි කුණාටුවක් මෙන් අශ්ව රථවලින් යෙරුසලමට විරුද්ධව පැමිණෙන දවස ඉතා ළඟය. එය මොනතරම් බිය උපදවන දවසක් වේවිද! නොඇදහිලිකාර වූ සෑම යුදෙව් ‘මාංසයකටම’ විරුද්ධව තම ගිනිමය විනිශ්චය ක්‍රියාත්මක කිරීමට යෙහෝවා මේ ආක්‍රමණිකයන්ව පාවිච්චි කරනු ඇත. ඔහුගේ ‘කෝපය’ එතෙක් නවතින්නේ නැත. එය හරියට යෙහෝවාම තම සෙනඟට විරුද්ධව සටන් කරන්නා සේය. බොහෝ යුදෙව්වෝ ‘යෙහෝවාගෙන් මැරුම්කන්නෝය.’ පොදු යුගයට පෙර 607දී මේ අනාවැකිය ඉටු විය. *

6. යූදාහි සිදු වන වැරදිසහගත ක්‍රියා මොනවාද?

6 යෙහෝවා තම සෙනඟට විරුද්ධව ‘විනිශ්චය පැමිණවීම’ සාධාරණ දෙයක්ද? නිසැකවම සාධාරණයි කියා පැවසිය හැක. යුදෙව්වන් යෙහෝවාට කැප වී සිටියත්, ඔවුන් බොරු නමස්කාරයේ ගැලී සිටි ආකාරය අපි යෙසායා පොත පුරාම දුටුවෙමු. යෙහෝවා මෙවන් ක්‍රියා සම්බන්ධයෙන් ඇස් වසාගෙන සිටියේ නැත. අනාවැකියේ මීළඟ වදන්වලදී මෙය නැවත වරක් දක්නට ලැබේ. “මැද සිටින කෙනෙකුට පස්සෙන් උයන්වලට යන පිණිස තමුන් ශුද්ධ පවිත්‍රකරගන්නාවූ, ඌරු මස් සහ පිළිකුල් දේද මීයන්ද කන්නාවූ අය එක්ව නැතිවන්නෝයයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 66:17) එම යුදෙව්වන් ‘තමන්ව ශුද්ධ පවිත්‍ර කරගන්නේ’ පවිත්‍ර නමස්කාරයට සූදානම් වීම සඳහාද? පැහැදිලිවම නැත. ඊට හාත්පසින්ම වෙනස්ව, ඔවුහු විශේෂයෙන් වෙන් කළ උයන්වල මිථ්‍යා දෘෂ්ටික පවිත්‍ර වීමේ චාරිත්‍රවල නියැලෙති. ඉන්පසු ඔවුහු කෑදරයන් මෙන්, මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි අපවිත්‍රයයි සැලකූ ඌරුමස් සහ වෙනත් සතුන්ගේ මස්ද කති.—ලෙවී කථාව 11:7, 21-23.

7. ක්‍රිස්තියානි ලෝකය රූප නමස්කාරයේ යෙදුණ යුදෙව්වන් මෙන් වන්නේ කෙසේද?

7 සැබෑ වූ එකම දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටි ජාතිය සිටියේ මොනතරම් පිළිකුල්සහගත තත්වයකද! එදා මෙන් අදද, ක්‍රිස්තියානි ලෝකයේ ආගම් තුළ ඒ හා සමානම පිළිකුල්සහගත තත්වයක් පවතින ආකාරය සැලකිල්ලට ගන්න. දෙවිට සේවය කරන බව කියා සිටිමින් ඒවායේ නායකයන් බොහෝදෙනෙක් පුහු භක්තියක් පෙන්වති. එහෙත්, මිථ්‍යා ඉගැන්වීම් සහ චාරිත්‍ර වාරිත්‍රවල ගැලී සිටීමෙන් තමන් ආත්මික අන්ධකාරයේ සිටින බව ඔවුහු විදහාපාති. එය මොනතරම් දැඩි අන්ධකාරයක්ද!—මතෙව් 6:23; යොහන් 3:19, 20.

‘ඔවුහු මාගේ තේජස දකින්නෝය’

8. (අ) යූදා සහ ක්‍රිස්තියානි ලෝකය මත පැමිණෙන්නේ කුමක්ද? (ආ) ජාතීන් ‘යෙහෝවාගේ තේජස දකින්නේ’ කිනම් අර්ථයකින්ද?

8 යෙහෝවා ක්‍රිස්තියානි ලෝකයේ වැරදිසහගත ක්‍රියාවන් සහ බොරු ඉගැන්වීම් සැලකිල්ලට ගනියිද? යෙසායා වාර්තා කළ පරිදි යෙහෝවා ඊළඟට කී දෙය කියවා ඔබම නිගමනය කරන්න. “මම ඔවුන්ගේ ක්‍රියා සහ යෝජනා දනිමි. සියලු ජාතීන් සහ භාෂාවන් මා විසින් රැස්කිරීමට කාලය පැමිණෙන්නේය; ඔව්හු ඇවිත් මාගේ තේජස දකින්නෝය.” (යෙසායා 66:18) තමන්ගේ සේවකයන්යයි කියාගන්නාවූ අයගේ ක්‍රියා පමණක් නොව ඔවුන්ගේ සිතුවිලි පවා විනිශ්චය කිරීමට යෙහෝවා සූදානමින් සිටින්නේය. යූදා යෙහෝවා කෙරෙහි විශ්වාස කරන බව කියා සිටියත්, ඇගේ පිළිම නමස්කාරමය ක්‍රියාකලාපය සහ මිථ්‍යා දෘෂ්ටික චාරිත්‍ර වාරිත්‍ර මගින් ඔවුන් කියන දේ බොරුවක් බව පෙන්වති. යෙරුසලමේ වැසියන් මිථ්‍යා සිරිත් විරිත්වලට එකඟව තමන්ව “පවිත්‍ර” කරගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් ලබන්නේ නැත. ජාතිය හෙළා දමනු ලබන අතර, අවට සිටින රූප නමස්කාරමය ජාතීන්ට පැහැදිලිව පෙනෙන ආකාරයට එය සිදු වනු ඇත. එවිට ‘ඔවුන් දෙවිගේ තේජස දකිනු’ ඇත. ඔව්, යෙහෝවාගේ වචන සැබෑ වී ඇති බව ඔවුන්ට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදු වේ. මේ සෑම දෙයක්ම ක්‍රිස්තියානි ලෝකයට අදාළ වන්නේ කෙසේද? ඇය ඇගේ අවසානය අද්දකින විට, ඇගේ මිතුරන්ව සිටින අයට සහ හවුල් ව්‍යාපාරිකයන්ට කිසිවක් කරකියා ගත නොහැකිව යෙහෝවාගේ වචන සැබෑ වන හැටි දුර සිට බලා සිටීමට සිදු වනු ඇත.—යෙරෙමියා 25:31-33; එළිදරව් 17:15-18; 18:9-19.

9. යෙහෝවා ප්‍රකාශ කරන ශුභාරංචිය කුමක්ද?

9 පොදු යුගයට පෙර 607දී, යෙරුසලමේ වූ විනාශයෙන් අදහස් කළේ තවදුරටත් පොළොව මත යෙහෝවාට සාක්ෂිකරුවන් නොසිටින්න යන බවද? නැත. දානියෙල් සහ ඔහුගේ මිතුරන් තිදෙනා වැනි විශිෂ්ට අඛණ්ඩතාව රකින්නෝ බබිලෝනියේ වහල්භාවයේ සිටින අතරතුරේදීද යෙහෝවාට නොකඩවාම සේවය කරන්නෝය. (දානියෙල් 1:6, 7) ඔව්, යෙහෝවාට ඇදහිලිවන්තව සාක්ෂි දරන අය දිගටම සිටිනු ඇති අතර, වසර 70 අවසානයේදී, යෙරුසලමේ පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවීම සඳහා ඇදහිලිවන්තයන් බබිලෝනිය හැරදා යනු ඇත. යෙහෝවා ඊළඟට කියන්න සැරසෙන්නේ එයයි. “මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.”—යෙසායා 66:19.

10. (අ) බබිලෝනියෙන් බේරුණු යුදෙව්වන් ලකුණක් සේ ක්‍රියා කරන්නේ කෙසේද? (ආ) අදදින ලකුණක් සේ ක්‍රියා කරන්නේ කවුරුන්ද?

10 පොදු යුගයට පෙර 537දී, යෙරුසලමට නැවත යන ඇදහිලිවන්ත ස්ත්‍රීන් සහ පුරුෂයන්, පුදුමාකාර ලකුණක් මෙන් ක්‍රියා කරනු ඇත. ඔවුන් යෙහෝවා තම සෙනඟ ගළවා ඇති බවට සාක්ෂියක් වනු ඇත. යම් දවසක යෙහෝවාගේ මාළිගාවට ගොස් නැවත පවිත්‍ර නමස්කාරය පිදීමට යුදෙව්වන්ට හැකි වේයයි අවට ජාතීන් සිහිනෙකින්වත් සිතන්න ඇද්ද? මුල් සියවසේදී එවන් ආකාරයකට “ලකුණුද පුදුමද” ලෙස සේවය කළ ආලේප ලත් ක්‍රිස්තියානීන් වෙතට, යෙහෝවාට සේවය කිරීමට කැමති මොළොක් ගුණැති අය එක්රැස් වූහ. (යෙසායා 8:18; හෙබ්‍රෙව් 2:13) අදදින ආලේප ලත් ක්‍රිස්තියානීන් ඔවුන්ගේ යළි පිහිටුවන ලද දේශය තුළ සමෘද්ධිමත් වෙමින් සිටින අතර, මුළු පොළොවටම විස්මිත ලකුණක් වී තිබේ. (යෙසායා 66:8) ඔවුහු යෙහෝවාගේ ශුද්ධාත්මයේ බලයට ජීවමාන සාක්ෂියක් ලෙස ක්‍රියා කරමින් යෙහෝවාට සේවය කිරීමට පෙලඹෙන මොළොක් ගුණැති අයව ආකර්ෂණය කරගනිති.

11. (අ) යළි පිහිටුවීමෙන් පසු, අන්‍ය ජාතීන්ට අයත් මනුෂ්‍යයන් යෙහෝවා ගැන ඉගෙනගනු ඇත්තේ කෙසේද? (ආ) සෙකරියා 8:23හි මුල් ඉටුවීම සිදු වූයේ කෙසේද?

11 කෙසේවෙතත්, පො.යු.පෙ. 537දී යළි පිහිටුවීමෙන් පසු, යෙහෝවා ගැන අසා නොතිබූ ජාතීන්ට ඔහු ගැන දැනගන්න ලැබෙන්නේ කෙසේද? බබිලෝනීය වහල්භාවයේ අවසානයේදී ඇදහිලිවන්ත සැවොම යෙරුසලම බලා පිටත් නොවන්නෝය. දානියෙල් වැනි සමහරුන් බබිලෝනියේම සිටිනු ඇත. අනිත් අය පොළොවේ සතර කොනටම විසිරී යනු ඇත. පොදු යුගයට පෙර පස්වන සියවසේදී, පර්සියානු අධිරාජ්‍යය පුරාම යුදෙව්වෝ ජීවත් වෙමින් සිටියහ. (එස්තර් 1:1; 3:8) ඔවුන්ගේ අසල්වැසියන්ගෙන් සමහරෙකුට ඔවුන් යෙහෝවා ගැන කී බවට සැකයක් නැත. එම ජාතීන්ගෙන් සමහරෙක් යුදෙව් ආගමට හැරුණෝය. මුල් සියවසේදී ක්‍රිස්තියානි ගෝලයෙකු වූ පිලිප් දේශනා කළාවූ ඉතියෝපීය නපුංසකයා හා සම්බන්ධ සිද්ධිය මීට නිදසුනකි. (ක්‍රියා 8:26-40) මේ සෑම දෙයක්ම ඉටු වූයේ අනාගතවක්තෘ සෙකරියාගේ මෙම වචනවල මුල් ඉටුවීමක් වශයෙනි. “ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන—අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද [දෙවි] නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇත” (සෙකරියා 8:23) ඇත්තෙන්ම යෙහෝවා ජාතීන්ට ආලෝකය පැමිණවීය!—ගීතාවලිය 43:3.

‘යෙහෝවාට පඬුරක්’ ගෙන ඒම

12, 13. පො.යු.පෙ. 537 සිට ‘සහෝදරයන්’ යෙරුසලමට ගෙනෙනු ඇත්තේ කිනම් ආකාරයටද?

12 මව්බිමෙන් ඈත එපිට විසිර සිටින යුදෙව්වන් යෙරුසලම යළි ගොඩනැඟීමෙන් පසු, එම නගරය කෙරෙහි මෙන්ම පවිත්‍ර නමස්කාරයේ නාභිය වන නැවත ක්‍රියාත්මක කරන ලද එහි පූජකතන්ත්‍රය කෙරෙහිද අවධානය යොමු කරනු ඇත. බොහෝදෙනෙක් වාර්ෂිකව පැවැත්වෙන මංගල්‍යයන් උදෙසා දුර කතර ගෙවා එහි යනු ඇත. යෙසායා මේ ගැන දේවානුභාවයෙන් ලියන්නේ මෙසේය. ‘ඉශ්‍රායෙල් පුත්‍රයන් පිරිසිදු භාජනයක යෙහෝවාගේ ගෘහයට පඬුරු ගෙනෙන්නාක් මෙන් ඔවුන් නුඹලාගේ සියලු සහෝදරයන් සියලු ජාතීන් අතරෙන් අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට යෙහෝවාට [පිරිසිදු භාජනයක තිබෙන, NW] පඬුරක් කොට ගෙනෙනවා ඇතැයි යෙහෝවා කියන්නේය. ඔවුන්ගෙන්ද සමහරුන් මම පූජකයන් සහ ලෙවීවරුන් කොට ගන්නෙමියි යෙහෝවා කියන්නේය.’—යෙසායා 66:20, 21.

13 ‘එම සහෝදරයෝ සියලු ජාතීන් අතරෙන්’ පැමිණ යේසුස්ගේ ගෝලයන් මත ශුද්ධාත්මය වැගිරෙවූ පෙන්තකොස්ත දවසේදී එහි සිටියහ. වාර්තාවේ මෙසේ සඳහන් වේ. “එකල අහසින් යට තිබෙන සියලු දේශවලින් ආවාවූ භක්තිවන්ත යුදෙව්වරු යෙරුසලමේ වාසයකරමින් සිටියෝය.” (ක්‍රියා 2:5) ඔවුන් යෙරුසලමට පැමිණියේ යුදෙව් චාරිත්‍රවලට අනුව නමස්කාර කිරීමට වුවත්, ඔවුහු යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය ඇසූ විට ඔහු කෙරෙහි ඇදහිල්ල තබා බව්තීස්ම වූහ.

14, 15. (අ) පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසුව, ආලේප ලත් ක්‍රිස්තියානීන් තවත් ආත්මික ‘සහෝදරයන්ව’ එක්රැස් කරගනු ලැබුවේ කෙසේද? ‘පිරිසිදු භාජනයක තිබෙන පඬුරක්’ මෙන් මොවුන්ව යෙහෝවා ඉදිරියට ගෙන එනු ලැබුවේ කෙසේද? (ආ) යෙහෝවා සමහරුන්ව “පූජකයන්” හැටියට ගන්නේ කෙසේද? (ඇ) තම ආත්මික සහෝදරයන්ව එක්රැස් කිරීමෙහි හවුල් වූ සමහර ආලේප ලත් ක්‍රිස්තියානීන් කවුරුන්ද? (409වන පිටුවේ ඇති කොටුව බලන්න.)

14 මේ අනාවැකියට වර්තමාන දින ඉටුවීමක් තිබේද? ඔව්! පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසු එනම්, 1914දී දෙවිගේ රාජ්‍යය ස්වර්ගයෙහි පිහිටෙවූ බව යෙහෝවාගේ ආලේප ලත් සේවකයෝ ශුද්ධ ලියවිලි අධ්‍යයනයෙන් වටහාගත්හ. ඉතා පරෙස්සමෙන් කළ බයිබල් අධ්‍යයනයක ප්‍රතිඵලයක් හැටියට, අමතර රාජ්‍ය උරුමක්කාරයන් හෝ “සහෝදරයන්” එක්රැස් කිරීමක් සිදුවීමට අවශ්‍ය බවද ඔවුහු තේරුම්ගත්හ. ඒ නිසා, සෑම ආකාරයේ ප්‍රවාහණ මාධ්‍යයක්ම යොදාගනිමින් මෙම අභීත දේවසේවකයෝ “පොළොවේ සීමාව දක්වා” ගමන් කරමින් ආලේප ලත් ඉතිරි කොටසේ සාමාජිකයන්ව සොයන්න පටන්ගත්හ. මොවුන්ගෙන් වැඩි කොටසක් පැමිණියේ ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවලිනි. මොවුන්ව සොයාගත් පසු ඔවුහු ඉතිරි කොටසේ සාමාජිකයන්ව යෙහෝවාට පඬුරක් ලෙස ගෙනෙනු ලැබුවෝය.—ක්‍රියා 1:8.

15 මුල් අවුරුදුවලදී රැස් කරනු ලැබූ ආලේප ලත් අය, තමන් බයිබල් සත්‍යය වැලඳගැනීමට පෙර සිටි තත්වයෙන්ම යෙහෝවා තමන්ව පිළිගත යුතුයි කියා අපේක්ෂා කළේ නැත. ‘පිරිසිදු භාජනයක තිබෙන පඬුරක්’ නැතහොත් ප්‍රේරිත පාවුල් පැවසුවාක් මෙන් ‘පිරිසිදු කන්‍යාවක මෙන් ක්‍රිස්තුස්’ ඉදිරියේ ආත්මිකව මෙන්ම සදාචාරමයව පිරිසිදුව සිටීමට ඔවුහු නිශ්චිත පියවර ගත්හ. (2 කොරින්ති 11:2) මූලධර්මවල තිබෙන වැරදි හෙළා දැකීමට අමතරව, මේ ලෝකයේ පවතින දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් මුළුමනින්ම මධ්‍යස්ථව සිටීමටද මෙම ආලේප ලත් සෙනඟ ඉගෙනගත්හ. වර්ෂ 1931දී තම සේවකයන්ව සුදුසු තරමට පවිත්‍ර කිරීමෙන් පසුව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස ඔහුගේ නාමය දැරීමේ වරප්‍රසාදය යෙහෝවා ඉතා කාරුණිකව ඔවුන්ට භාර දුන්නේය. (යෙසායා 43:10-12) කෙසේවෙතත්, යෙහෝවා සමහරුන්ව “පූජකයන්” හැටියට ගන්නේ කෙසේද? කණ්ඩායමක් හැටියට, මේ ආලේප ලත් අය දෙවිට ප්‍රශංසා නමැති පූජා ඔප්පු කරන ‘රාජකීය පූජකයන්ගේද ශුද්ධ වූ ජාතියකද’ කොටසක් වන්නෝය.—1 පේතෘස් 2:9; යෙසායා 54:1; හෙබ්‍රෙව් 13:15.

එක්රැස් කිරීම දිගටම ක්‍රියාත්මක වේ

16, 17. පළමුවන ලෝක මහා යුද්ධයෙන් පසු “නුඹලාගේ වංශය” ලෙස හැඳින්වූයේ කවරෙකුවද?

16 එම ‘රාජකීය පූජකයන්ගේ’ මුළු සංඛ්‍යාව ගණනින් 1,44,000ක් වූ අතර, කාලයාගේ ඇවෑමෙන් එහි එක්රැස් කිරීම සම්පූර්ණ විය. (එළිදරව් 7:1-8; 14:1) ඒකරාශි කිරීමේ වැඩයේ අවසානය එය වීද? නැත. යෙසායාගේ අනාවැකිය මෙසේ කියයි. “මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 66:22) මේ වචනවල මුල් ඉටුවීමේදී, බබිලෝනියේ වහල්භාවයේ සිට පැමිණෙන යුදෙව්වන් දරුවන් බිහි කිරීමට පටන්ගනු ඇත. මෙසේ නැවත පිහිටෙවූ යුදෙව්වන්ගේ “අලුත් පොළොව,” අලුත් යුදෙව් පරිපාලන ක්‍රමය වන “අලුත් අහස” යටතේ ඉතා ස්ථිරව පිහිටුවනු ලබනවා ඇත. කෙසේවෙතත්, මේ අනාවැකියට අපේ දවසේදී අද්විතීය ඉටුවීමක් තිබේ.

17 ආත්මික සහෝදරයන්ගේ ජාතිය විසින් බිහි කරන ලද “වංශය” වන්නේ, පොළොව මත සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාවෙන් සිටින ‘මහත් සමූහයයි.’ ඔවුහු “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” පැමිණ ‘සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවා ඉදිරියෙහිත්’ සිටගත්හ. මොවුහු ‘තමුන්ගේ සළු බැටළුපැටවාගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය.’ (එළිදරව් 7:9-14; 22:17) අදදින “මහත් සමූහය” ආත්මික අන්ධකාරයේ සිට යෙහෝවා දෙන ආලෝකය වෙත හැරෙති. ඔවුහු යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල පවත්වන අතර, ඔවුන්ගේ ආලේප ලත් සහෝදර සහෝදරියන් මෙන් ආත්මිකව මෙන්ම සදාචාරමයව පවිත්‍රව සිටීමට වෑයම් කරති. කණ්ඩායමක් හැටියට ඔවුන් ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ දිගටම සේවය කරන අතර, ඔහු ඉදිරියේ සදාකාලයටම “පවතින්නේය.”—ගීතාවලිය 37:11, 29.

18. (අ) මහත් සමූහයේ සාමාජිකයන් තම ආලේප ලත් සහෝදරයන් මෙන් ක්‍රියා කර තිබෙන්නේ කෙසේද? (ආ) ආලේප ලත් අය සහ ඔවුන්ගේ සහයකයන් “අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද” යෙහෝවාට සේවය කර තිබෙන්නේ කෙසේද?

18 යෙහෝවාව සතුටු කිරීමට ආත්මිකව සහ සදාචාරමයව පවිත්‍රව සිටීමට අමතරව කළ යුතු දේවල් තිබෙන බව, පොළොව මත ජීවත් වීමේ අපේක්ෂාවෙන් සිටින වෙහෙස මහන්සි වී වැඩ කරන මේ ස්ත්‍රීහු සහ පුරුෂයෝ දනිති. එක්රැස් කිරීමේ වැඩය වේගයෙන් ඉදිරියටම ඇදී යයි. එහි හවුල් වීමට ඔවුහු මහත් ආශාවෙන් සිටිති. ඔවුන් ගැන එළිදරව් පොතේ මෙසේ සඳහන් කරයි. “ඔව්හු [දෙවිගේ] සිංහාසනය ඉදිරියෙහි සිටිති; [ඔහුගේ] මාළිගාවේ රෑ දාවල් [ඔහුට] සේවයකරති.” (එළිදරව් 7:15) එම වචන යෙසායාගේ අනාවැකියේ අවසානයට කලින් ඡේදයේ ඇති දෙය මතකයට ගෙනෙයි. “අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 66:23) මෙය අදදිනද සිදු වේ. එසේ සිදු වන්නේ, “අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද” එනම්, සෑම සතියකම හා සෑම මාසයකම නැතහොත් නිරන්තරවම ආලේප ලත් ක්‍රිස්තියානීන් සහ ඔවුන්ගේ සහයකයන් වන මහත් සමූහය යෙහෝවාට නමස්කාර කිරීමට රැස් වන විටය. ඔවුන් මෙය කරන්නේ නමස්කාරයේ තව බොහෝ දේ කරන අතරේ, ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙන් හා ප්‍රසිද්ධ දේවසේවයේ යෙදීමෙනි. ඔබත් නිතරම ‘යෙහෝවාට නමස්කාර කරන්ට එන්නාවූ කෙනෙක්ද?’ යෙහෝවාගේ සෙනඟ එසේ කිරීමෙන් මහත් ප්‍රීතියක් අද්දකිති. එමෙන්ම, ‘සියලු මනුෂ්‍යයන්’ “අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද” යෙහෝවාට සදාකාලයෙන් සදාකාලයට සේවය කරන කාලය දෙස මහත් සමූහය දැඩි ඕනෑකමකින් බලා සිටිති.

දෙවිගේ සතුරන්ව නැත්තටම නැති කර දමයි

19, 20. බයිබල් කාලවලදී ගෙහෙන්නාව පාවිච්චි කළේ කුමකටද? එයින් සංකේතවත් කරන්නේ කුමක්ද?

19 යෙසායාගේ පොතේ අධ්‍යයනය අවසන් කිරීමට තව එක ඡේදයක් ඉතිරිව ඇත. මෙසේ කියමින් අනාවැකිය අවසන් වේ. “ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.” (යෙසායා 66:24) තම ජීවිත සරල කරගෙන රාජ්‍යය පිළිබඳ කාරණාවලට මුල් තැන දෙන්න කියා තම ගෝලයන්ව දිරිගන්වද්දී යේසුස්ගේ මනසේ මේ අනාවැකිය තිබුණා විය හැක. ඔහු මෙසේ කීවේය. “නුඹේ ඇස නුඹට බාධාකෙරේ නම් ඒක උගුලාදමන්න. ඇස් දෙක ඇතුව නිරයේ [ගෙහෙන්නාවේ, NW] හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව [දෙවිගේ] රාජ්‍යයට ඇතුල්වීම නුඹට හොඳය. නිරයේදී [ගෙහෙන්නාවේදී, NW] ඔවුන්ගේ පණුවා නසින්නේවත් ගින්න නිවෙන්නේවත් නැත.”—මාර්ක් 9:47, 48; මතෙව් 5:29, 30; 6:33.

20 මේ ගෙහෙන්නාව කියන ස්ථානය කුමක්ද? සියවස් ගණනාවකට පෙර යුදෙව් විශාරද ඩේවිඩ් කිම්හි මෙසේ ලීවේය. “එය යෙරුසලමට කිට්ටුව පිහිටි . . . ස්ථානයකි. පිළිකුල්සහගත තැනකි. ඔවුන් අපවිත්‍ර දේවල් සහ මළකුණු දැමුවේ එතැනටය. එය නිරන්තරව දැවුණු කුණු ගොඩකි. මළකුණුවල ඇටකටු එහි දැවුණි. එමනිසා, දුෂ්ටයන්ගේ විනිශ්චය උපහැරණාකාරයෙන් හැඳින්වූයේ ගෙහින්නොම් කියාය.” මෙම යුදෙව් විශාරදයා පවසන ආකාරයට, ගෙහෙන්නාවට දැමුවේ වළ දැමීමට තරම්වත් නොවටින අපද්‍රව්‍ය සහ මළකුණුය. ඒවා ගින්නෙන් පුලුස්සා දැමීම සුදුසු විය. ගින්නෙන් ඉතුරු වූ දේ පණුවෝ විනාශ කර දැමූහ. දෙවිගේ සතුරන්ගේ අන්තිමය පිළිබඳ මොනතරම් උචිත චිත්‍රයක්ද! *

21. යෙසායා පොත අවසන් වන්නේ කවරෙකුට ඒකාන්ත බලාපොරොත්තුවක් ලබා දෙමින්ද? ඒ මන්ද?

21 මළ මිනි, ගින්දර සහ පණුවන් වැනි දේවලට යොමු දැක්වීම මගින්, යෙසායාගේ අනාවැකිය ඉතාම බියකරු චිත්‍රයක් මනසට නඟමින් අවසන් වන බව අපට කිව නොහැකිද? දෙවිගේ සතුරන්ට එය සැබවින්ම බියකරු දෙයක් වන බවට සැකයක් නැත. එහෙත් දෙවිගේ මිතුරන්ට නම්, යෙසායා කතා කරන දුෂ්ටයන්ගේ සදාකාලික විනාශය පිළිබඳ විස්තරය හද සනසන දෙයකි. යෙහෝවාගේ සෙනඟගේ සතුරන් යළි කිසිදාක තමන්ට විරුද්ධව නැඟී නොසිටින බවට සහතිකයක් ඔවුන්ට වුවමනා කරයි. දෙවිගේ නමස්කාරකයන්ට ඒ තරම්ම පීඩා ගෙනා දෙවිගේ නාමය නින්දාවට ලක් කළ එම සතුරන්ව දෙවි සදාකාලයටම විනාශ කර දමනු ඇත. “විපත්තිය දෙවරක් නොපැමිණෙන්නේය.”—නාහුම් 1:9.

22, 23. (අ) යෙසායාගේ පොත අධ්‍යයනය කිරීමෙන් පුද්ගලිකව ඔබ ලබා ඇති ප්‍රයෝජන කිහිපයක් විස්තර කරන්න. (ආ) යෙසායාගේ පොත අධ්‍යයනය කිරීමෙන් පසු ඔබේ අධිෂ්ඨානය කුමක්ද? ඔබේ බලාපොරොත්තුව කුමක්ද?

22 අපි යෙසායාගේ පොත අධ්‍යයනය කිරීම අවසන් කරන විට, මේ පොත නිකම්ම වළ දැමූ අතීතයක් ඇතුළත් පොතක් නොවන බව ඉගෙනගත්තෙමු. එහි අදදින අප සැමට පණිවිඩයක් ඇති බව අපි දුටිමු. යෙසායා ජීවත් වූ එම අඳුරු කාලය මතක් කරද්දී, එය අපේ කාලයට කොතරම් සමානද කියා අපට පෙනී ගියේය. දේශපාලනික අස්ථාවරත්වය, ආගමික කුහකකම, අධිකරණ දූෂණ, විශ්වාසවන්ත අයව සහ දුප්පත් අයව මැඩීම වැනි දේ යෙසායාගේ කාලයේදී මෙන් අපේ කාලයේදීද පොදුවේ දැකිය හැක. පොදු යුගයට පෙර හයවන සියවසේ සිටි ඇදහිලිවන්ත යුදෙව්වන් යෙසායාගේ අනාවැකියට කෘතඥපූර්වක වූ බව නිසැකය. එය අප අද අධ්‍යයනය කරන විට අපිද සහනයක් අද්දකින්නෙමු.

23 මේ දුෂ්කර අඳුරු යුගයේ පොළොව සහ ජනයන් තද අන්ධකාරයෙන් වැසී යද්දී, යෙහෝවා යෙසායා මාර්ගයෙන් සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහනක් සපයා දීම ගැන අප ඔහුට කෘතඥපූර්වක විය යුතුය! යමෙකු එම ආත්මික ආලෝකයෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීමෙන් අදහස් කරන්නේ, කුමන ජාතියකට වර්ගයකට හෝ තරාතිරමකට අයිති වුණත්, ඔහුට හෝ ඇයට සදාකාල ජීවනය හිමි වන බවය. (ක්‍රියා 10:34, 35) එසේ නම්, අපි සැම දෙවිගේ වචනය නමැති ආලෝකයේ නොකඩවා ගමන් කරමු. ඒ සඳහා එය දිනපතා කියවමු, ඒ ගැන මෙනෙහි කරමු, එහි ඇති පණිවිඩයට ඇලුම් කරමු. එය අපගේ සදාකාල ආශීර්වාදයටත් යෙහෝවාගේ ශුද්ධ නාමය ප්‍රශංසාවට පත් කිරීමටත් හේතු වේවා!

[පාදසටහන්වල]

^ යෙරුසලම බබිලෝනිවරුන් අතට පත් වූ පසුව පවතින තත්වය ගැන විස්තර කරද්දී යෙරෙමියා 52:15හි [NW] “දිළිඳු සෙනඟගෙන් සමහරෙක්” ගැන සහ “නුවරේ ඉතිරිව සිටි සෙනඟ” ගැන සඳහන් කරයි. ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් (සිංහලෙන් නොමැත) පොතේ Iවන වෙළුමේ 415වන පිටුවේ මේ ගැන සඳහන් වන්නේ මෙසේය. “පෙනෙන විදිහට, ‘නුවරේ ඉතිරිව සිටි’ කීමෙන් අඟවන්නේ විශාල සංඛ්‍යාවක් සාගතයෙන්, වසංගතයෙන්, ගින්නෙන් හෝ යුද්ධයෙන් මරණයට පත් වූවා” කියාය.

^ ගෙහෙන්නාවේ පිලිස්සුණේ අප්‍රාණික මළකඳන් නිසා, එය සදාකාලිකව වද විඳීම සංකේතවත් කරන්නේ නැත.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[409වන පිටුවේ කොටුව]

සියලු ජාතීන් යෙහෝවාට පුද කරන ආලේප ලත් පඬුරු

වර්ෂ 1920දී, හුවාන් ම්‍යූන්‍යෙස් එක්සත් ජනපදයේ සිට ස්පාඤ්ඤයටත් එතැනින් ආර්ජන්ටිනාවටත් ගමන් කරමින් ආලේප ලත් අයගේ සභාවන් සංවිධානය කළේය. වර්ෂ 1923දී, මිෂනාරිවරයෙක් වූ විලියම් ආර්. බ්‍රවුන් (බොහෝවිට ඔහුව හැඳින්වූයේ බයිබල් බ්‍රවුන් ලෙසය) බටහිර අප්‍රිකාවේ අවංක සිත් ඇත්තන්ට සත්‍යයේ ආලෝකය බබළවන්න පටන්ගත්තේය. ඔහු සියෙරා ලියොන්, ඝානාව, ලයිබීරියාව, ගැම්බියාව සහ නයිජීරියාව වැනි දකුණු අප්‍රිකානු රටවල රාජ්‍ය පණිවිඩය පතුරුවාහැරියේය. ඒ අවුරුද්දේදීම, කැනඩාවේ ජෝර්ජ් යං බ්‍රසීලයට, ආර්ජන්ටිනාවට, කොස්ටරීකා, පැනමා, වෙනුසුවේලා සහ සෝවියට් ජනපදයට සත්‍යය ගෙන ගියේය. මේ කාලයේදීම වාගේ එඩ්වින් ස්කිනර් එංගලන්තයේ සිට ඉන්දියාව දක්වා මුහුදු සංචාරයක යෙදුණි. එහිදී ඔහු අස්වැන්න නෙළීමේ වැඩයේ අවුරුදු ගණනාවක් වෙහෙස මහන්සි නොබලා වැඩ කළේය.

[411වන පිටුවේ පින්තූරය]

පෙන්තකොස්ත දවසේ සිටි සමහර යුදෙව්වෝ ‘සියලු ජාතීන් අතරෙන් ආවාවූ සහෝදරයෝය’

[413වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]