Skip to content

පටුනට යන්න

දෙවිගේ අනාගතවක්තෘවරයෙක් මනුෂ්‍යවර්ගයාට ආලෝකය සපයයි

දෙවිගේ අනාගතවක්තෘවරයෙක් මනුෂ්‍යවර්ගයාට ආලෝකය සපයයි

පළමුවන පරිච්ඡේදය

දෙවිගේ අනාගතවක්තෘවරයෙක් මනුෂ්‍යවර්ගයාට ආලෝකය සපයයි

1, 2. බොහෝදෙනෙකුව කනස්සල්ලට පත් කරන්නේ කිනම් වර්තමාන තත්වයන්ද?

 අප ජීවත් වෙන්නේ හැම දෙයක්ම අතට පයට කරගන්න පුළුවන් කාලයකයි. අභ්‍යවකාශ ගමන්, පරිගණක තාක්ෂණය, ජාන ඉන්ජිනේරු විද්‍යාව සහ වෙනත් විද්‍යාත්මක සොයාගැනීම්, මිනිසාට වඩාත් සැප පහසු දිවියක් මෙන්ම වැඩි කාලයක් ජීවත් වීමේ අපේක්ෂාවද ලබා දී තිබේ.

2 එහෙත් ඔබේ නිවසේ දොරගුලු ඇර තැබීමට එවන් ප්‍රගතියකින් හැකි කරවා තිබෙනවාද? එවන් ප්‍රගතියක් තුළින් යුද්ධයෙන් එල්ල වන තර්ජන මුලිනුපුටා දැමීමට හැකි වී තිබෙනවාද? මිනිසාගේ අසනීප සුව කර, ඔවුන්ගේ ප්‍රේමනීයයන් මරණයට පත්වීම වළක්වා තිබෙනවාද? එසේ කර ඇති බව කීම උගහටයි. මිනිසුන් විවිධ ක්ෂේත්‍රවල ප්‍රගතියක් ලබා තිබුණත් එය සීමා සහිතයි. “අපි හඳට යන හැටි සොයාගත්තා. මෙතෙක් සෑදූ ප්‍රබලම සිලිකන් චිපය සාදන්න විතරක් නෙවෙයි, මිනිස් ජාන බද්ධ කරන්න පවා අපි දන්නවා. එහෙත්, කෝටි සංඛ්‍යාත ජනයාට පිරිසිදු වතුර සපයන්න අපිට හැකි වෙලා නැහැ. සතුන් දහස් ගණනින් වඳ වී යෑමේ උවදුර වළක්වාගන්න හෝ වායු ගෝලයේ ස්ථායිතාවට හානි නොකර අපිට අවශ්‍ය ඉන්ධන සොයාගන්නත් අපිට හැකි වෙලා නැහැ” කියා වර්ල්ඩ් වොච් ආයතනයේ වාර්තාවක සඳහන් වෙයි. මේ අනුව බලද්දී, සැනසිල්ල සහ බලාපොරොත්තුව සඳහා කොහේට හැරෙන්නද කියා නොදැන සිටින බොහෝදෙනෙකු අනාගතය දෙස බලන්නේ කනස්සල්ලෙන් සහ අස්ථිරභාවයෙනි.

3. පොදු යුගයට පෙර අටවන සියවසේදී යූදාහි පැවති තත්වය කුමක්ද?

3 අද අප මුහුණ දෙන තත්වය පො.යු.පෙ. අටවන සියවසේ සිටි දෙවිගේ සෙනඟ මුහුණ දුන් තත්වයට සමානයි. ඒ අවස්ථාවේදී යූදාහි සිටි සෙනඟට සැනසිලිදායක පණිවිඩයක් ගෙන යෑමට යෙහෝවා ඔහුගේ සේවක යෙසායාට පැවරුවේය. ඇත්තෙන්ම ඒ මිනිසුන්ට අවශ්‍යව තිබුණේ සැනසිලිදායක වචනයි! අර්බුදකාරි සිදුවීම් හේතුවෙන් ජාතිය කැලඹී සිටියහ. කෲර අෂූරියයන්ගේ මරණීය තර්ජන ඉදිරියේ බොහෝදෙනෙකු සිටියේ භයෙන් බිරාන්තවයි. දෙවිගේ සෙනඟ ගැළවීම සඳහා හැරෙන්නේ කා වෙතටද? තමන් යෙහෝවාගේ සෙනඟයයි නමට කියාගත්තත් ඔවුන් වැඩි කැමැත්තක් දැක්වූයේ මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන්නයි.—2 රාජාවලිය 16:7; 18:21.

අඳුරේ බබළන ආලෝකය

4. ප්‍රකාශ කිරීමට යෙසායාට පැවරුණු දෙවැදෑරුම් පණිවිඩය කුමක්ද?

4 යුදෙව්වන් කැරලිගැසීමේ ප්‍රතිඵලයක් හැටියට, යෙරුසලම විනාශ වෙන්නත් ඔවුන්ව වහලුන් ලෙස බබිලෝනියට ගෙන යන්නත් නියමව තිබුණි. ඔව්, අඳුර ඔවුන්ට අත වැනුවේය. මේ විපත්ති කාලය ගැන පුරෝකථනය කිරීමට පමණක් නොව, ශුභ පණිවිඩයක් දන්වන්නත් යෙහෝවා අනාගතවක්තෘ යෙසායාට පවරයි. අවුරුදු හැත්තෑවක් වහලුන්ව සිටීමෙන් පසු යුදෙව්වන්ව බබිලෝනියෙන් මුදාගැනීමට නියමිතයි! ප්‍රීතියෙන් උද්දාමයට පත් වූ සුළු කොටසක් සියොන් වෙත නැවත ගොස් නිර්මල නමස්කාරය යළි එහි පිහිටුවීමේ වරප්‍රසාදය භුක්ති විඳිනු ඇත. මේ ප්‍රීතිමත් පණිවිඩය සමඟින් යෙහෝවා තම අනාගතවක්තෘ මාර්ගයෙන් අඳුර තුළ ආලෝකයක් බබළන්න සලස්වන්නේය.

5. යෙහෝවා තම අරමුණු බොහෝ කලකට පෙර සිට එළිදරව් කරන්නේ මන්ද?

5 යෙසායා මේ අනාවැකි පවසා අවුරුදු 100කට වඩා වැඩි කාලයක් ගත වන තුරුත් යූදා දේශය පාළුවට ගියේ නැත. යෙහෝවා තම අරමුණු කල් තියාම එළිදරව් කරන්නේ ඇයි? අනාවැකි ඉටු වන කාලය වන විට මුලින් යෙසායාගේ වචන ඇසූ අය ජීවතුන් අතර සිටීවිද? සමහරවිට නැති වෙන්නත් ඉඩ තිබේ. එහෙත්, යෙසායාට දුන් යෙහෝවාගේ එළිදරව් කිරීමට ස්තුතිවන්ත වන්න, පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ වන කාලයේ සිටින අයට යෙසායාගේ අනාවැකිමය පණිවිඩය සඳහන් ලිඛිත වාර්තාවක් තිබේ. තවදුරටත්, යෙහෝවා “අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ” තැනැත්තා බවට බිඳළිය නොහැකි සාක්ෂි මෙමගින් සැපයුවේය.—යෙසායා 46:10; 55:10, 11.

6. යෙහෝවා අනාවැකි පවසන මිනිසුන්ට වඩා අතිශ්‍රේෂ්ඨ වන්නේ කිනම් ආකාරවලින්ද?

6 එවැනි දෙයක් කීමට හැකි එකම තැනැත්තා යෙහෝවා පමණයි. පවතින දේශපාලනික හෝ සමාජීය වාතාවරණය සැලකිල්ලට ගෙන නුදුරු අනාගතයේදී සිදු විය හැකි දෙයක් ගැන කීමට මිනිසාටත් බැරිකමක් නැත. එහෙත්, නුදුරු අනාගතයේදී පමණක් නොව, ඈත අනාගතයේදී පවා සිදු වනු ඇති දේවල් දශමයටම පැවසීමේ හැකියාව ඇත්තේ යෙහෝවාට පමණයි. එමෙන්ම, ඒ දේවල් සිදුවීමට බොහෝ කාලයකට පෙර, ඒවා ගැන පුරෝකථනය කිරීමට තම සේවකයන්ට බලය දෙන්නත් ඔහුට හැකියි. මේ ගැන බයිබලය කියන්නේ මෙසේයි. ‘[පරමාධිපති, NW] ස්වාමි වූ යෙහෝවා තමන්ගේ රහස තමන් මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන්නේය.’—ආමොස් 3:7.

යෙසායලා” කීදෙනෙක්ද?

7. යෙසායා පොතේ ලේඛන අයිතියට බොහෝ විශාරදයන් පහර ගසා ඇත්තේ කෙසේද? ඒ මන්ද?

7 යෙසායා පොතේ ලේඛකයා පිළිබඳව ප්‍රශ්න කිරීමට බොහෝ විශාරදයන් පෙලඹී ඇති එක් හේතුවක් වන්නේ එහි සඳහන් අනාවැකියි. විවේචකයන් තරයේ කියා සිටින්නේ පොතේ අග කොටස ලියුවේ පො.යු.පෙ. හයවන සියවස තුළ, බබිලෝනියේ වහල්භාවයේ හෝ ඉන්පසුව සිටි වෙනත් කෙනෙකු කියායි. ඔවුන් පවසන පරිදි, යූදාහි පාළු කිරීම පිළිබඳ අනාවැකි ලියනු ලැබුවේ, ඒවා ඉටු වූ පසුවයි. ඒ අනුව බලද්දී ඒවා ඇත්තෙන්ම පුරෝකථනයන් නොවේ. එවකට පැවති ලෝක බලය බබිලෝනිය බවත්, ඉශ්‍රායෙල්වරුන් එහි වහල්භාවයේ සිටින බවත් යෙසායා පොතේ හතළිස්වන පරිච්ඡේදයෙන් පසු හෙළි වන බව විවේචකයන් තවදුරටත් ප්‍රකාශ කරයි. එමනිසා, ඔවුන් කියන්නේ යෙසායා පොතේ අග කොටස ලියූ කවුරු හෝ වේවා එසේ කළේ එම වකවානුවේදීම එනම්, පො.යු.පෙ. හයවන සියවසේදී බවයි. එවැනි තර්කයකට හොඳ පදනමක් තිබෙනවාද? කොහෙත්ම නැත!

8. යෙසායා පොතේ ලේඛකත්වය පිළිබඳ සැක පහළ කිරීම් ඇරඹුණේ කවදා සිටද? එය පැතිරී ගියේ කෙසේද?

8 පොදු යුගයේ 12වන සියවස වන තුරු යෙසායා පොතේ ලේඛකයා පිළිබඳව කිසිම ගැටලුවක් මතුව තිබුණේ නැත. ගැටලු මතු කරන ලද්දේ ඒබ්‍රහම් ඉබනෙස්රා නම් වූ ටීකාකරුවෙකු විසිනි. එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා කියන විදිහට “[ඒබ්‍රහම් ඉබනෙස්රා] තම යෙසායාගේ විවරණයෙහි කියන්නේ, යෙසායා පොතේ දෙවන කොටස එනම්, 40වන පරිච්ඡේදයේ සිට ලියා තිබෙන්නේ, බබිලෝනීය වහල්භාවයේ සිටි කාලයත් සියොන් වෙත නැවත පැමිණි මුල් කාලයත් අතර ජීවත් වූ අනාගතවක්තෘවරයෙකු විසින් කියායි.” දහඅටවන සහ දහනවවන සියවස්වලදී විශාරදයන් කිහිපදෙනෙක් ඉබනෙස්රාගේ අදහස් හිස් මුදුනින් පිළිගත්හ. යෙසායා පොත සම්බන්ධයෙන් විග්‍රහයන් පළ කළ ජර්මානු දේවධර්මාචාර්යවරයෙකු වන යොහාන් ක්‍රිස්ටොෆ් ඩිඕඩලයින් ඔවුන්ගෙන් කෙනෙකි. ඔහුගේ පළමු කෘතිය 1775දීත්, දෙවැන්න 1789දීත් පළ විය. අලුත් සියවසේ බයිබල් විවරණය (ඉංග්‍රීසියෙන්) මෙසේ සඳහන් කරයි. “ආදි කාලීන මතධාරීන් කිහිපදෙනෙකු හැර, විශාරදයන් සෑම කෙනෙකුම පාහේ ඩිඕඩලයින් ඉදිරිපත් කළ මතය පිළිගන්නවා. ඔවුන් විශ්වාස කරන්නේ යෙසායා පොතේ 40 සිට 66 දක්වා ඇති පරිච්ඡේදවල සඳහන් අනාවැකි, පො.යු.පෙ. අටවන සියවසේ සිටි අනාගතවක්තෘ යෙසායාගේ වචන නොව පසුකාලීනයෙකු විසින් ලියනු ලැබූ ඒවා බවයි.”

9. (අ) යෙසායා පොත කොටස්වලට බෙදීමක් සිදු වූයේ කෙසේද? (ආ) යෙසායා පොතේ ලේඛකත්වය පිළිබඳ මතභේදය එක් බයිබල් ටීකාකරුවෙකු විස්තර කරන්නේ කෙසේද?

9 කෙසේවෙතත්, යෙසායා පොතේ ලේඛකයා පිළිබඳ ප්‍රශ්නය එතෙකින් නැවතුණේ නැත. වෙනත් යෙසායා කෙනෙකු හෙවත් දෙවන යෙසායා කෙනෙකු පිළිබඳ වාදය තුන්වැන්නෙකු පිළිබඳව සැක කිරීම දක්වාම දුරදිග ගියේය. * යෙසායා පොත තවත් කොටස්වලට බෙදනු ලැබූ අතර, එක් විශාරදයෙක් නොදන්නා අනාගතවක්තෘවරයෙකුට යෙසායා 15වන සහ 16වන පරිච්ඡේදවල ලේඛකත්වය ආරෝපණය කළේය. තවත් විශාරදයෙක් යෙසායා 23 සිට 27 දක්වා පරිච්ඡේදවල ලේඛකයා පිළිබඳව සැක මතු කළේය. ඊට අමතරව වෙනත් විශාරදයෙකු පැවසුවේ යෙසායා 34වන සහ 35වන පරිච්ඡේද යෙසායා ලිව්වේ නැති බවයි. ඔහු එසේ පැවසුවේ මන්ද? අටවන සියවසේ සිටි යෙසායාට වඩා වෙනස් යෙසායා කෙනෙකු විසින් ලියූ බවට දැනටමත් කියවෙන යෙසායා 40-66 දක්වා පරිච්ඡේදවල ඇති කරුණුවලට එහි අඩංගු කරුණු, බොහෝ කිට්ටුවෙන් යන නිසයි. බයිබල් ටීකාකරුවෙක් වන චාල්ස් සී. ටොරි මෙවන් ආකාරයේ තර්ක ගැන සැකෙවින් විස්තර කරන්නේ මෙසේයි. “‘වහලුන්ගේ අනාගතවක්තෘ’ ලෙස නම් දැරූ ඔහුව කොහෙත්ම වැදගත්කමක් නැති පුද්ගලයෙකු බවට පත් කර ඇත. ඔහු පිළිබඳ අවබෝධය ව්‍යාකූලත්වයෙන් වළ දමා ඇත.” කෙසේවෙතත්, සෑම විශාරදයෙකුම ඉහත කී ආකාරයේ බෙදීම් සමඟ එකඟ වෙන්නේ නැත.

තනි ලේඛකයෙකුගේ කෘතියක්

10. එකම ප්‍රකාශයන් පාවිච්චි කිරීම, යෙසායා පොත ලියුවේ තනි ලේඛකයෙකු බව කීමට සාක්ෂි සපයන්නේ කෙසේද යන්නට උදාහරණයක් දෙන්න.

10 යෙසායා පොත ලියා ඇත්තේ තනි ලේඛකයෙකු විසින්යයි කීමට ප්‍රබල හේතු තිබේ. එක් සාක්ෂියක් නම්, වාක්‍ය ඛණ්ඩ පාවිච්චි කරන විට පොත පුරාම ඒවා එකම විදිහට යොදා තිබීමය. උදාහරණයක් හැටියට, ‘ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තා’ යන වාක්‍ය ඛණ්ඩය සලකා බලන්න. එය යෙසායා 1 සිට 39වන පරිච්ඡේදය දක්වා 12 වතාවක්ද යෙසායා 40 සිට 66වන පරිච්ඡේදය දක්වා 13 වතාවක්ද පාවිච්චි කර තිබේ. එහෙත් යෙහෝවාව විස්තර කිරීමට යොදන එම යෙදුම හෙබ්‍රෙව් ලියවිල්ලේ වෙනත් තැන්වල සඳහන්ව ඇත්තේ හය වතාවක් පමණයි. වෙනත් තැන්වල වැඩිපුර පාවිච්චි කර නැති නමුත්, යෙසායා පොතේ නැවත නැවත එම වාක්‍ය ඛණ්ඩය පාවිච්චි කර තිබීමෙන් යෙසායා පොත එක ලේඛකයෙකු අතින් ලියවුණු බව ඔප්පු වේ.

11. යෙසායා 1 සිට 39 දක්වා පරිච්ඡේදත් යෙසායා 40 සිට 66 දක්වා පරිච්ඡේදත් අතර ඇති සමානකම් මොනවාද?

11 යෙසායා 1 සිට 39 දක්වාත් යෙසායා 40 සිට 66 දක්වාත් ඇති පරිච්ඡේදවල සමානත්වයන් කිහිපයක් අපට සලකා බැලිය හැකියි. කොටස් දෙකේම එක හා සමාන වාක්‍යාලංකාර රටාවන් නිතරම පාවිච්චි කරයි. විලිරුජා විඳින ස්ත්‍රියක් සහ ‘මාර්ගයක්’ හෝ ‘මහ මාවතක්’ යන වචන ඊට උදාහරණ වේ. * එමෙන්ම “සියොන්” යන්නද කිහිප වතාවක්ම සඳහන් කරයි. එම වචනය යෙසායා 1 සිට 39 දක්වා පරිච්ඡේදවල 29 වතාවකුත්, යෙසායා 40 සිට 66 දක්වා පරිච්ඡේදවල 18 වතාවකුත් පාවිච්චි කර තිබේ. ඇත්තෙන්ම, සියොන් යන වචනය බයිබලයේ අනිත් සෑම පොතකටම වඩා යෙසායා පොතේ සඳහන් වේ. දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩඩ් බයිබල් එන්සයික්ලොපීඩියා දක්වන ආකාරයට, මේ පොත ලේඛකයන් දෙතුන්දෙනෙකු විසින් ලියනු ලැබුවා නම්, මෙවැනි “අද්විතීය සාක්ෂි එහි දක්නට නොලැබෙන බව සහතිකය.”

12, 13. යෙසායා පොත තනි ලේඛකයෙකු ලියූ බව ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවලින් තහවුරු වන්නේ කෙසේද?

12 යෙසායා පොත තනි ලේඛකයෙකු විසින් ලියන ලද බවට ඇති ප්‍රබලම සාක්ෂිය සොයාගත හැක්කේ ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලෙනි. එම සාක්ෂි පැහැදිලිවම අඟවන්නේ මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් යෙසායා පොත තනි ලේඛකයෙකු විසින් ලියූ බව විශ්වාස කළ බවයි. උදාහරණයක් හැටියට, විවේචකයන් විසින් වර්තමානයේදී දෙවන යෙසායා කෙනෙකු විසින් ලියුවායයි කියන කොටසට අයත් වන යෙසායා 53වන පරිච්ඡේදයේ තිබෙන එක් කොටසක් කියවමින් සිටි ඉතියෝපීය නිලධාරියෙකු ගැන ලූක් සඳහන් කරයි. එහිදී, ලූක් පවසන්නේ ඉතියෝපීයයා “අනාගතවක්තෘවූ යෙසායාගේ පොත කියවමින්” සිටි බවයි.—ක්‍රියා 8:26-28.

13 යෙසායා පොතේ 40:3හි ඇති අනාවැකි වදන්, යොහන් බව්තීස්තගේ දේවසේවය තුළින් ඉටු වූයේ කෙසේද කියා සුවිශේෂ ලේඛක මතෙව් විස්තර කරන ආකාරය ඊළඟට සලකා බලන්න. මෙහිදී මතෙව් මේ අනාවැකිය යොමු දක්වන්නේ කා වෙතටද? ඔහු කියා සිටින්නේ නොදන්නා දෙවන යෙසායා කෙනෙකු පැවසූ බවද? නැත. මතෙව් පවසන්නේ “අනාගතවක්තෘවූ යෙසායා” * එම අනාවැකිය ප්‍රකාශ කළ බවයි. (මතෙව් 3:1-3) තවත් අවස්ථාවකදී, යෙසායා 61:1, 2හි දැන් අපට කියවීමට තිබෙන වචන යේසුස් අකුළන ලද ලියවිල්ලකින් කියෙව්වේය. මේ සිද්ධිය ගැන ලූක් මෙසේ වාර්තා කරයි. “අනාගතවක්තෘවූ යෙසායාගේ පොත [ඔහුට] දෙනලද්දේය.” (ලූක් 4:17) පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියෙහි යෙසායා පොතේ මුල් සහ අග කොටස්වලට යොමු දක්වයි. ඒ කිසි අවස්ථාවක, එහි ලේඛකයා යෙසායාම මිස වෙන යෙසායා කෙනෙකු බව ඔහු නිකම්වත් අඟවන්නේ නැත. (රෝම 10:16, 20; 15:12) යෙසායා පොත ලේඛකයන් දෙතුන්දෙනෙකු හෝ ඊට වැඩිදෙනෙකු ලියුවාය යන්න මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් පිළිගත්තේ නැති බව පැහැදිලියි.

14. යෙසායාගේ ලේඛන අයිතිය පිළිබඳ කාරණයට මළ මුහුදේ අකුළන ලද ලියවිලි සපයන සාක්ෂි මොනවාද?

14 මළ මුහුදේ ඉපැරණි ලියවිලිවලින් ලැබෙන සාක්ෂිද සලකා බලන්න. මේවායින් බොහොමයක් යේසුස් ඉපදෙන්නත් කලින් ලියූ ඒවායි. යෙසායාගේ අකුළන ලද ලියවිල්ල ලෙස හඳුන්වන යෙසායා පොතේ එක් අත්පිටපතක් පො.යු.පෙ. දෙවන සියවස දක්වා දිව යයි. යෙසායා 40වන පරිච්ඡේදයේ සිට දෙවන යෙසායා කෙනෙකු ලිවීම බාරගත්තායයි කියන විවේචකයන්ගේ අදහසට විරුද්ධව එය කරුණු පැහැදිලි කරයි. ඒ කෙසේද? මේ ඉපැරණි ලියවිල්ලේ, දැන් අප යෙසායා 40වන පරිච්ඡේදය ලෙස හඳුන්වන කොටසේ මුල් වාක්‍යය පටන්ගන්නේ තීරුවේ අගින්ය. එම වාක්‍යය අවසන් වන්නේ ඊළඟ තීරුවෙනි. මෙතැන් සිට වෙන ලේඛකයෙකු ලියා ඇති බව හෝ යම් බෙදීමක් ඇති බවට වූ අදහසක් අත්පිටපත්කරුවාගේ මනසේ කොහෙත්ම නොතිබූ බව පැහැදිලිය.

15. කෝරෙෂ් පිළිබඳව යෙසායාගේ අනාවැකිවල සඳහන් දේ ගැන මුල් සියවසේ සිටි යුදෙව් ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස් කියන්නේ කුමක්ද?

15 අවසාන වශයෙන්, මුල් සියවසේ සිටි යුදෙව් ඉතිහාසඥ ෆ්ලේවියස් ජොසීෆස්ගේ සාක්ෂිය ගැන සලකා බලන්න. යෙසායා පොතේ කෝරෙෂ් ගැන තිබෙන අනාවැකි පො.යු.පෙ. අටවන සියවසේදී ලියුවා කියා පමණක් නොව, කෝරෙෂ්ද එම අනාවැකි ගැන හොඳින් දැන සිටි බවත් ඔහු පවසයි. “අවුරුදු දෙසිය දහයකට ප්‍රථමයෙන් ලියා තිබූ යෙසායා පොතේ අනාවැකි කෝරෙෂ් කියවා තිබූ නිසා, තමා ගැන එහි සඳහන් වන බව ඔහු දැන සිටියා” කියා ජොසීෆස් ලියුවේය. ජොසීෆස් පවසන ආකාරයට, මේ අනාවැකි පිළිබඳව කෝරෙෂ්ට තිබූ දැනුම යුදෙව්වන්ව නැවත ඔවුන්ගේ මව්බිමට යවන්න ඔහු තුළ කැමැත්තක් ඇතිවීමට හේතු වූවා විය හැක. මන්ද මේ ගැන ජොසීෆස් ලියන්නේ, කෝරෙෂ් “ලියා තිබූ දේ ඉටු කිරීමට දැඩි ආශාවකින් සහ අධිෂ්ඨානයකින් සිටියා” කියායි.—ජුවිෂ් ඇන්ටික්විටීස්, XIවන පොතේ 1වන පරිච්ඡේදයේ 2වන ඡේදය.

16. යෙසායා පොතේ අග භාගයෙහි බබිලෝනිය පවතින ලෝක බලය ලෙස විස්තර කරනවායයි කියන විවේචකයන්ගේ ප්‍රකාශය ගැන කිව හැක්කේ කුමක්ද?

16 කලින් සඳහන් කළ ආකාරයට, බොහෝ විවේචකයන් කියා සිටින්නේ යෙසායා 40වන පරිච්ඡේදයේ සිට ඉදිරියට, බබිලෝනිය පවතින ලෝක බලය බව හා ඉශ්‍රායෙල්වරුන් ඒ වන විටත් වහල්භාවයේ සිටි බව සඳහන් වනවා කියායි. මෙය, ලේඛකයා පො.යු.පෙ. හයවන සියවසේ සිටි කෙනෙකු බව අඟවන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම නැත. සැබෑ කාරණය නම් යෙසායා 40වන පරිච්ඡේදයට පෙර පවා, බබිලෝනිය පවතින ලෝක බලය ලෙස සමහර අවස්ථාවලදී හඳුන්වා තිබීමයි. උදාහරණයක් හැටියට, යෙසායා 13:19හි බබිලෝනිය “රාජ්‍යවල අලංකාරය” ලෙස හෝ ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්හි දැක්වෙන විදිහට “සියලුම රාජ්‍යයන්ට වඩා අලංකාරම රාජ්‍යය” ලෙස හඳුන්වා තිබේ. මෙයට පැහැදිලිවම අනාවැකියක් කියා කීමට හැකි වන්නේ, තවත් සියවසක් ගෙවී යන තුරු බබිලෝනිය ලෝක බලයක් බවට පත් වුණේ නැති නිසයි. තවත් විවේචකයෙකු පැනනැඟී තිබෙන මේ ගැටලුව “විසඳන්නේ” යෙසායා 13වන පරිච්ඡේදය ලියුවේ වෙනත් ලේඛකයෙකු විසින් කියා පැවසීමෙනි! අනාගතික සිදුවීම් ඒ වන විටත් සිදු වුණා හා සමානව ලිවීම බයිබල් අනාවැකිවල අපට සාමාන්‍යයෙන් දකින්න තිබෙන ලක්ෂණයකි. මෙම ලේඛන ශෛලිය මගින් අපට කාවද්දන්නේ යම් අනාවැකියක ඉටුවීම සහතිකයි යන කාරණයයි. (එළිදරව් 21:5, 6) “බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි” කියා කිව හැකි එකම තැනැත්තා සැබෑ අනාවැකි ප්‍රකාශ කරන එකම දෙවි වන යෙහෝවා පමණයි.—යෙසායා 42:9.

විශ්වාසවන්ත අනාවැකි ඇති පොතක්

17. යෙසායා 40වන පරිච්ඡේදයේ සිට ලේඛන ශෛලියේ සිදු වී ඇති වෙනසට හේතු පැහැදිලි කරන්න.

17 එසේනම්, සාක්ෂි මගින් ඔප්පු වී ඇත්තේ කුමක්ද? යෙසායා පොත තනි ලේඛකයෙකු විසින් ලියන ලද්දක් බවයි. ගත වූ සියවස් ගණනාව තුළ මේ මුළු පොතම අප අතට පත් වී ඇත්තේ තනි ලේඛකයෙකු විසින් මිස ලේඛකයන් දෙතුන්දෙනෙකු කළ දෙයක් හැටියට නොවේ. යෙසායා හතළිස්වන පරිච්ඡේදයේ සිට යෙසායා පොතේ ලේඛන ශෛලිය වෙනස් වන බව යමෙකු පැවසිය හැක. එහෙත්, දෙවිගේ අනාගතවක්තෘ කෙනෙකු හැටියට යෙසායා අවුරුදු 46කට නොඅඩු කාලයක් පුරා සේවය කළ බවද අමතක නොකළ යුතුයි. එම කාලය තුළදී ඔහුගේ පණිවිඩයේ අඩංගු දෙය සහ එය ප්‍රකාශ කළ ආකාරය වෙනස් වෙයි කියා අපට බලාපොරොත්තු විය හැකියි. ඇත්තෙන්ම, යෙසායාට දෙවිගෙන් ලැබුණු පැවරුමට දරුණු විනිශ්චමය අනතුරු ඇඟවීම් පමණක්ම අයිති වුණේ නැත. “මාගේ සෙනග සනසන්න, සනසන්නැයි” කියන යෙහෝවාගේ වචන ප්‍රකාශ කරන්නද ඔහුට සිද්ධ විය. (යෙසායා 40:1) ගිවිසුමකින් බැඳී සිටින දෙවිගේ සෙනඟ අවුරුදු 70ක වහල්භාවයෙන් පසු නැවත ඔවුන්ගේ මව්බිම කරා යන බවට වූ පොරොන්දුව ඇත්තෙන්ම සැනසිලිදායක එකක් විය.

18. මේ ප්‍රකාශනයේ සාකච්ඡා කරනු ලබන යෙසායාගේ පොතේ එක් තේමාවක් නම් කරන්න.

18 මේ ප්‍රකාශනයේ සාකච්ඡා කෙරෙන යෙසායා පොතේ බොහෝ පරිච්ඡේදවල තේමාව වී තිබෙන්නේ බබිලෝනියේ වහල්භාවයෙන් යුදෙව්වන්ව නිදහස් කිරීමයි. * අප දකින ආකාරයට මේ අනාවැකි බොහොමයකට නවීන දින ඉටුවීමක් තිබේ. මීට අමතරව දෙවිගේ ඒක ජාතක පුත්‍රයාගේ ජීවිතය සහ මරණය සම්බන්ධයෙන් ඉටු වූ හැඟීම් දනවන අනාවැකිද යෙසායා පොතේ දක්නට තිබේ. මේ වැදගත් අනාවැකි අඩංගු යෙසායා පොත අධ්‍යයනය කිරීම ලොව වටා සිටින දෙවිගේ සේවකයන්ටත් අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන බව නිසැකයි. මේ අනාවැකි ඇත්තෙන්ම සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහනකි.

[පාදසටහන්වල]

^ යෙසායා පනස්හයේ සිට 66 දක්වා පරිච්ඡේද ලියා ඇත්තේ තෙවන යෙසායා ලෙස හඳුන්වන මනඃකල්පිත තුන්වන ලේඛකයෙකු විසින්ය කියා විශාරදයෝ පවසති.

^ විලිරුජා විඳින ස්ත්‍රියක්: යෙසායා 13:8; 21:3; 26:17, 18; 42:14; 45:10NW; 54:1; 66:7. ‘මාර්ගයක්’ හෝ ‘මහ මාවතක්’: යෙසායා 11:16; 19:23; 35:8; 40:3; 43:19; 49:11; 57:14; 62:10.

^ මේ වාක්‍ය ඛණ්ඩයම මාර්ක්, ලූක් සහ යොහන් යන පොත්වලද පාවිච්චි කර තිබේ.—මාර්ක් 1:2, 3ආ; ලූක් 3:5; යොහන් 1:23.

^ යෙසායා පොතේ මුල් පරිච්ඡේද 40, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති පොතෙහි සාකච්ඡා කරයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ කොටුව]

භාෂික ඉතිහාසයේ වර්ධනය පිළිබඳ විශ්ලේෂණවලින් ලැබුණු සාක්ෂි

භාෂික ඉතිහාසයේ වර්ධනය හෙවත් අවුරුදු ගණනාවක් පුරා භාෂාවේ සිදු වූ සියුම් වෙනස්කම් සොයාගෙන යද්දී, ඊට අදාළ සාක්ෂි පෙන්වන්නේ යෙසායා පොත තනි ලේඛකයෙකු විසින් ලියන ලද්දක් බවයි. යෙසායා පොතේ කොටසක් පො.යු.පෙ. අටවන සියවසේදී ලියා, ඊළඟ කොටස ඊට අවුරුදු 200කට පමණ පසුව ලියුවා නම්, මේ කොටස් දෙකෙහි යොදාගැනුණු හෙබ්‍රෙව් භාෂාවේ වෙනස්කම් තිබිය යුතුයි. එහෙත් වෙස්ට්මිනිස්ටර් තියලොජිකල් ජර්නල්හි පළ වූ එක් අධ්‍යයනයක මෙසේ සඳහන් වේ. “භාෂික ඉතිහාසයේ වර්ධනය පිළිබඳ විශ්ලේෂණවල සාක්ෂි කියන්නේ යෙසායා 40-66 දක්වා පරිච්ඡේද වහල්භාවයට පෙර කාලයකදී ලියැවී ඇති බවය.” මෙම අධ්‍යයනය මෙහෙයවූ තැනැත්තා මෙවැනි නිගමනයකට එළඹීය. “යෙසායා පොත ලියැවුණේ වහල්භාවයේ සිටිද්දී හෝ ඉන්පසුව කියා විශාරදයන් විවේචනාත්මකව පවසනවා නම්, ඔවුන් එසේ කළ යුතු වන්නේ භාෂික ඉතිහාසයේ වර්ධනය පිළිබඳව ඇති සාක්ෂිවලට පිටුපාමින්ය.”

[11වන පිටුවේ පින්තූරය]

යෙසායාගේ මළ මුහුදේ ලිපිවලින් කොටසකි. යෙසායා තිස්නවවන පරිච්ඡේදයේ අග කොටස ඊතලයකින් දක්වා ඇත

[12, 13වන පිටුවේ පින්තූර]

යුදෙව්වන්ගේ මිදීම ගැන අවුරුදු 200කට පමණ කලින් යෙසායා පුරෝකථනය කළේය