Skip to content

පටුනට යන්න

දෙවිගේ සෙනඟට සැනසිල්ල

දෙවිගේ සෙනඟට සැනසිල්ල

දොළොස්වන පරිච්ඡේදය

දෙවිගේ සෙනඟට සැනසිල්ල

යෙසායා 51:1-23

1. යෙරුසලමත් එහි වැසියනුත් මුහුණ දීමට නියමිත වේදනාකාරි තත්වයන් මොනවාද? එහෙත්, ඔවුන්ට ඇති බලාපොරොත්තුව කුමක්ද?

 අවුරුදු හැත්තෑවක්! මිනිසෙකුගේ සාමාන්‍ය ආයුෂ කාලය එයයි. එපමණ කාලයක් පුරා යූදා ජාතිය බබිලෝනියේ වහල්භාවයේ සිටිනු ඇත. (ගීතාවලිය 90:10; යෙරෙමියා 25:11; 29:10) වහල්භාවයට ගෙන යනු ලබන බොහෝ ඉශ්‍රායෙල්වරුන් මහලු වී බබිලෝනියේදීම මිය යනු ඇත. තම සතුරන්ගේ අපහාසවලට මුහුණ දෙද්දී ඔවුන් විඳින නින්දාව ගැන සිතා බලන්න. ඔවුන්ගේ දෙවි වන යෙහෝවාට එල්ල වන නින්දාව ගැනද මොහොතකට සිතන්න. දෙවිගේ නාමය තැබූ එම නුවර එතරම් දිගු කාලයකට පාළු වී යනු ඇත. (නෙහෙමියා 1:9; ගීතාවලිය 132:13; 137:1-3) සාලමොන් දේවමාළිගාව කැප කරද්දී යෙහෝවා එය තම තේජසින් පිරවූවත් එම තේජස එහි තවත් නොවනු ඇත. (2 ලේකම් 7:1-3) මොනතරම් වේදනාසහගත තත්වයක්ද! එහෙත් යෙහෝවා යෙසායා තුළින් යළි පිහිටුවීම පිළිබඳ අනාවැකියක් පවසයි. (යෙසායා 43:14; 44:26-28) යෙසායා 51වන පරිච්ඡේදයේ සැනසිල්ල සහ බලාපොරොත්තුව යන තේමාව යටතේ තව තවත් අනාවැකි දකින්න තිබේ.

2. (අ) යෙහෝවා යෙසායා තුළින් සැනසිල්ල සපයන මේ පණිවිඩය ලබා දෙන්නේ කාටද? (ආ) ඇදහිලිවන්ත යුදෙව්වන් ‘ධර්මිෂ්ඨකම අනුව ගියේ’ කෙසේද?

2 තමන් වෙතට ඔවුන්ගේ හදවත යොමු කරන යුදෙව්වන් ගැන යෙහෝවා මෙසේ කියයි. “ධර්මිෂ්ඨකම අනුවයන්නාවූ, [යෙහෝවා] සොයන්නාවූ තැනැත්තෙනි, මට කන්දෙන්න.” (යෙසායා 51:1අ) ‘ධර්මිෂ්ඨකම අනුව යෑම’ කීමෙන් ක්‍රියා කිරීමක් අඟවයි. ‘ධර්මිෂ්ඨකම අනුව යන්නාවූ’ අය නිකම්ම නමට දෙවිගේ සෙනඟයයි කියාගන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු ධර්මිෂ්ඨව සිටින්නත් දෙවිගේ කැමැත්තට එකඟව ජීවත් වෙන්නත් දැඩි වෙහෙසක් දරති. (ගීතාවලිය 34:15; හිතෝපදේශ 21:21) ධර්මිෂ්ඨකමේ එකම උල්පත හැටියට යෙහෝවා දෙස බලන ඔවුහු, ‘යෙහෝවාව සොයමින්ද සිටිති.’ (ගීතාවලිය 11:7; 145:17) යෙහෝවා කවුද කියාත් ඔහුට යාච්ඤාවෙන් ළඟා වෙන්නේ කෙසේද කියාත් දැනගැනීමට වඩා වැඩි දෙයක් එයින් අදහස් කරයි. එයින් අදහස් කරන්නේ ඔවුන් යෙහෝවාට සමීප වීමට උත්සාහ කිරීමයි. ඔහුට නමස්කාර කිරීමයි. ඔහුට යාච්ඤා කිරීමයි. එමෙන්ම ඔවුන් කරන්නාවූ සෑම දෙයකදීම ඔහුගේ මඟ පෙන්වීම පැතීමයි.

3, 4. (අ) යුදෙව්වන්ව කපාගත් “පර්වතය” කුමක්ද? එමෙන්ම, ඔවුන්ව හාරාගත් “ගල්වළ” කුමක්ද? (ආ) ඔවුන්ගේ ඉතිහාසයේ සුල මුල මතකයේ තබාගැනීම යුදෙව්වන්ට ප්‍රයෝජනවත් වන්නේ මන්ද?

3 කෙසේවෙතත්, යූදාහි ධර්මිෂ්ඨකම සෙවුවාවූ අය සිටියේ ඉතාම ස්වල්පදෙනෙකි. ඒ නිසා, ඔවුන් අධෛර්යයට හෝ දුකට පත් වන්නට ඇත. නමුත් ගල්වළක් සම්බන්ධ නිදර්ශනයක් පාවිච්චි කරමින් යෙහෝවා ඔවුන්ව දිරිගැන්වීය. “නුඹලාව කොටාගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාව හාරා ගත්තේ මොන ගල්වළකින්ද කියාත් බලන්න. නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.” (යෙසායා 51:1ආ, 2) යුදෙව්වන්ව කපාගෙන ඇති “පර්වතය” වන්නේ ඉශ්‍රායෙල්වරුන් එතරම්ම ආඩම්බරයෙන් කතා කරන ඔවුන්ගේ ජාතියේ ප්‍රාරම්භකයා වන ආබ්‍රහම්ය. (මතෙව් 3:8, 9; යොහන් 8:33, 39) එම ජාතියේ මුතුන්මිත්තා හෙවත් උල්පත ඔහුයි. “ගල්වළ” ලෙස හඳුන්වන්නේ සාරාවයි. ඇගේ ගර්භාශයෙන් ඉශ්‍රායෙල්හි ආදි පියා වන ඊසාක් පැමිණියේය.

4 ආබ්‍රහම් සහ සාරා යන දෙදෙනාම ඔවුන්ගේ දරු සම්පත් ලබන කාලය පසු කර දරුවන් නොමැතිව සිටියත්, යෙහෝවා ආබ්‍රහම්ට ආශීර්වාද කර ඔහුව ‘වැඩි කරන’ බවට පොරොන්දු විය. (උත්පත්ති 17:1-6, 15-17) ඔවුන්ගේ ප්‍රජනන හැකියාවන් දෙවි විසින් ප්‍රකෘතිමත් කරන ලදුව, ආබ්‍රහම් සහ සාරා ඔවුන්ගේ මහලු වයසේදී දරුවෙකු ප්‍රසූත කළ අතර, එම ළදරුවාගෙන් දෙවි පොරොන්දු වූ ජාතිය ඉපදුණි. මෙසේ, යෙහෝවා ආබ්‍රහම්ව අහසේ තාරකා මෙන් ගණන් කළ නොහැකි මහත් ජාතියක පියා බවට පත් කළේය. (උත්පත්ති 15:5; ක්‍රියා 7:5) දුර ඈත රටකින් ආබ්‍රහම්ව කැඳවාගෙන ඔහුගෙන් බලවත් ජාතියක් බිහි කරන්න යෙහෝවාට හැකි වූවා නම්, බබිලෝනියේ වහල්භාවයෙන් ඇදහිලිවන්ත ඉතිරි කොටසක් මුදවාගෙන ඔවුන්ව නැවතත් තම මව්බිම කරා ගෙන ගොස් මහත් ජාතියක් බවට පත් කිරීමට යෙහෝවාට බැරිකමක් නැත. ඔහු ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉෂ්ට විය. ඒ හා සමානව යුදෙව් වහලුන්ට යෙහෝවා පොරොන්දු වූ දේවල්ද ඉෂ්ට වනු ඇත.

5. (අ) ආබ්‍රහම් සහ සාරාගෙන් නියෝජනය කරන්නේ කාවද? පැහැදිලි කරන්න. (ආ) අවසාන ඉටුවීමේදී, ‘පර්වතයෙන්’ නික්මෙන්නේ කුමන ජාතියක්ද?

5 යෙසායා 51:1, 2හි සඳහන් සංකේතාත්මක ගල්වළට තවත් අදාළ වීමක් තිබෙන බව පෙනේ. ද්විතීය කථාව 32:18හි යෙහෝවාව ඉශ්‍රායෙල් ජාතිය ජාතක කළ “පර්වතය” ලෙසත් ‘විලිරුජා ඇතුව ඉශ්‍රායෙල්ව ඉපදෙවූ තැනැත්තා’ [NW] ලෙසත් හඳුන්වයි. යෙසායා 51:2හි සාරා ඉශ්‍රායෙල්වරුන්ව බිහි කිරීම සම්බන්ධයෙන් සඳහන් කරද්දී පාවිච්චි කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදයම ඉහත දෙවනුව සඳහන් කර තිබෙන කියමන සඳහාද යොදාගෙන ඇත. එමනිසා, ආබ්‍රහම් අනාවැකිමය අර්ථයකින් උතුම් ආබ්‍රහම් වන යෙහෝවාව නියෝජනය කරයි. ආබ්‍රහම්ගේ භාර්යාව වන සාරා ආත්මික ජීවීන්ගෙන් යුත් යෙහෝවාගේ විශ්වනීය ස්වර්ගික සංවිධානය නියෝජනය කරයි. එම සංවිධානය ශුද්ධ ලියවිල්ලෙහි දෙවිගේ භාර්යාව නැතහොත් ස්ත්‍රිය ලෙස හඳුන්වයි. (උත්පත්ති 3:15; එළිදරව් 12:1, 5) යෙසායාගේ අනාවැකියේ අවසාන ඉටුවීමේදී ‘පර්වතයෙන්’ නික්මෙන ජාතිය වන්නේ ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ හෙවත් පො.යු. 33 පෙන්තකොස්ත දිනයේදී ඉපදුණු ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාවයි. මේ පොතේ මුල් පරිච්ඡේදවල දැනගත් පරිදි 1918දී බබිලෝනීය වහල්භාවය යටතට පත් වූ එම ජාතිය, 1919දී නැවතත් ආත්මික සමෘද්ධිමත්භාවයට පත් විය.—ගලාති 3:26-29; 4:28; 6:16.

6. (අ) යූදා දේශයට සිදු වන්න යන්නේ කුමක්ද? කුමනාකාරයේ ප්‍රකෘතිමත් කිරීමක් සිදු වනු ඇද්ද? (ආ) යෙසායා 51:3 මතක් කර දෙන්නේ කුමන නවීන දින යළි පිහිටුවීමක්ද?

6 සියොන් හෙවත් යෙරුසලම වෙත යෙහෝවා ගෙනෙන සැනසිල්ලට, විශාල ජාතියක් බිහි කිරීමේ පොරොන්දුවට වඩා වැඩි යමක් ඇතුළත් වේ. මේ ගැන අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. ‘යෙහෝවා සියොන් සැනසුවේය. ඔහු ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය යෙහෝවාගේ උයන මෙන්ද කළේය. ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුති දීම සහ ගීතිකා හඬද එහි සම්බ වේ.’ (යෙසායා 51:3) අවුරුදු 70ක් පුරා පාළු වී යෑමෙන් පසු යූදා දේශය වනාන්තර තත්වයකට හැරෙනු ඇත. එය කටු පඳුරුවලින්ද කටු ඇඹිල්ල ගස් සහ වෙනත් වල් ගස්වලින්ද වැසී යනු ඇත. (යෙසායා 64:10; යෙරෙමියා 4:26; 9:10-12) ඒ නිසා යුදෙව්වන් එහි යළි ජීවිතය ආරම්භ කිරීමට පෙර, දේශය යළි පිහිටුවීමටද සිදු වනු ඇත. එය ඒදන් උයන මෙන් ජලය ගලා යන ඵල දරන පලතුරු ගස් ඇති සමෘද්ධිමත් දේශයක් බවට පත් වනු ඇත. පොළොව ප්‍රීතියෙන් පිනා යනු ඇත. වහල්භාවයේ සිටින සමයේදී දේශයේ තිබූ පාළුකර තත්වය සමඟ සසඳද්දී දැන් එය පාරාදීසයක් බඳුය. දෙවිගේ ඉශ්‍රායෙල්ගේ ආලේප ලත් ඉතිරි කොටසද මේ ආකාරයට, 1919දී ආත්මික පාරාදීසමය තත්වයක් අද්දුටූහ.—යෙසායා 11:6-9; 35:1-7.

යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීමට හේතු

7, 8. (අ) තමන්ට ඇහුම්කන් දෙන්න කියා යෙහෝවා කියද්දී ඉන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) යුදෙව්වන් යෙහෝවා කියන දේ කිරීම වැදගත් වන්නේ මන්ද?

7 යෙහෝවා ඔවුන්ගේ අවධානය පුබුදුවාලන්නේ මේ ආකාරයටයි. “මාගේ සෙනගෙනි, මට ඇහුම්කන් දෙන්න; මාගේ ජනයෙනි, මට කන්යොමුකරන්න. මක්නිසාද ව්‍යවස්ථාවක් මා වෙතින් නිකුත්වන්නේය, මාගේ විනිශ්චයද ජාතීන්ට එළියක් කොට පිහිටුවන්නෙමි. මාගේ ධර්මිෂ්ඨකම ළංව තිබේ, මාගේ ගැළවීම පිටත්ව ගියේය, මාගේ හස්තයෙන්ද ජනයන් විනිශ්චයකරනවා ඇත; ද්වීපයෝ මා ගැන බලාසිට, මාගේ හස්තය කෙරෙහි බලාපොරොත්තුවෙනවා ඇත.”—යෙසායා 51:4, 5.

8 යෙහෝවාට ඇහුම්කන් දෙන්න කියා කියද්දී නිකම්ම පණිවිඩයට ඇහුම්කන් දීමට වඩා වැඩි යමක් අදහස් කරයි. එයින් අදහස් කරන්නේ ඇහුම්කන් දුන් දෙයට අනුව ක්‍රියා කිරීමට උත්සුක වීමයි. (ගීතාවලිය 49:1; 78:1) යෙහෝවා යනු උපදෙස්වල, යුක්තියේ සහ ගැළවීමේ උල්පත බව ජාතියේ සැමෝම තේරුම්ගත යුතුය. ආත්මික ඥානාලෝකය සපයන්නේ ඔහු පමණක්ම බවත් ඔවුන් වටහාගත යුතුයි. (2 කොරින්ති 4:6) මිනිසාගේ අවසාන විනිශ්චයකාරයා යෙහෝවායි. තම ජීවිත පාලනය කිරීමට යෙහෝවාගේ ව්‍යවස්ථාවට සහ විනිශ්චයන්ට ඉඩහරින අයගේ පාදවලට ඒවා පහනක් වේ.—ගීතාවලිය 43:3; 119:105; හිතෝපදේශ 6:24.

9. දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින ජනයාට අමතරව යෙහෝවාගේ ගැළවීමේ ක්‍රියාවලින් ප්‍රයෝජන ලබන්නේ වෙන කවුද?

9 මේ සෑම දෙයක්ම අදාළ වන්නේ දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටින සෙනඟට පමණක් නොවේ. දුර ඈත දූපත් ඇතුළු ලොව පුරා විසිරී සිටින සදාකාල ජීවනයට නැඹුරුවාවක් ඇති සියලුදෙනාටම මෙය අදාළ වේ. තම ඇදහිලිවන්ත සේවකයන් වෙනුවෙන් පෙනී සිටීමට සහ ඔවුන්ව ගළවාගැනීමට දෙවිට ඇති හැකියාව කෙරෙහි විශ්වාසය තබන්නන්ගේ බලාපොරොත්තු කිසිදා සුන් නොවේ. ඔහුගේ බලය නියෝජනය කරන්නාවූ හස්තය නවතාලන්න කිසිවෙකුට නුපුළුවන. (යෙසායා 40:10; ලූක් 1:51, 52) අදදිනත්, දුර ඈත දූපත්වල වෙසෙන දශලක්ෂ ගණන් ජනයාට යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තබා ඔහු වෙත හැරෙන්න හැකියාව ලැබී තිබේ. එසේ කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ දෙවිගේ ඉශ්‍රායෙල්ගේ ඉතිරි සාමාජිකයන් ඉටු කරන ජ්වලිත දේශනා වැඩය නිසයි.

10. (අ) නෙබුකද්නෙශර් රජුට දැනගැනීමට සිදු වූ සත්‍යය කුමක්ද? (ආ) නිමාවකට පැමිණෙන්නේ කිනම් “අහස” සහ ‘පොළොවද?’

10 මීළඟට බබිලෝනියේ නෙබුකද්නෙශර් රජු විසින් දැනගත යුතු සත්‍යයක් ගැන අනාවැකියේ කතා කරයි. යෙහෝවා තම කැමැත්ත සිදු කිරීමට තීරණය කළ විට එය වළක්වන්න අහසේවත් පොළොවේවත් තිබෙන කිසිම දෙයකට නුපුළුවන. (දානියෙල් 4:34, 35) ඒ ගැන අනාවැකියේ අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “නුඹලාගේ ඇස් අහස දෙසට ඔසවන්න, පහළ තිබෙන පොළොවත් බලන්න. මක්නිසාද අහස දුම මෙන් පහවීයන්නේය, පොළොවද වස්ත්‍රයක් මෙන් පරණවන්නේය, එහි වාසයකරන්නෝද එයාකාරයෙන්ම [මදුරුවන් මරා දමන්නාක් මෙන්, NW] නසින්නෝය. නුමුත් මාගේ ගැළවීම සදාකාලේටම පවතින්නේය, මාගේ ධර්මිෂ්ඨකමද කඩ නොවන්නේය.” (යෙසායා 51:6) වහලුන්ව නැවත ඔවුන්ගේ මව්බිම කරා යැවීම බබිලෝනියේ රාජ නීතියට පටහැනි වුණත්, තම සෙනඟව ගළවාගැනීමට යෙහෝවා ගත් තීරණය වෙනස් කිරීමට ඊට කොහෙත්ම හැකියාවක් නැත. (යෙසායා 14:16, 17) බබිලෝනියේ “අහස” නැතහොත් පාලන බලය බිඳ දමනු ඇත. බබිලෝනියේ “පොළොව” නැතහොත් පාලිතයන් ක්‍රමානුකූලව නැතිව යනු ඇත. ඔව්, යෙහෝවාගේ හස්තය නවත්වන්ටත් ඔහුගේ ගැළවීමේ ක්‍රියා වළක්වන්ටත් එවකට සිටින ප්‍රබලම ලෝක බලයට පවා නොහැකි වනු ඇත.

11. බබිලෝනියේ “අහස” සහ “පොළොව” පහ වී යෑම පිළිබඳ අනාවැකියේ පූර්ණ ඉටුවීම අද සිටින ක්‍රිස්තියානීන්ට දිරිගැන්වීමක් වන්නේ කෙසේද?

11 අනාවැකිමය වචන සම්පූර්ණයෙන්ම ඉටු වී ඇති බව දැනගැනීමට ලැබීම අදදින සිටින ක්‍රිස්තියානීන්ට මොනතරම් දිරිගැන්වීමක්ද! එය දිරිගැන්වීමට හේතුවක් වන්නේ මන්ද? තව ඉදිරියට සිදුවීමට තිබෙන දේ ගැන සඳහන් කරද්දී ප්‍රේරිත පේතෘස් ඒ හා සමාන කියමනක් පාවිච්චි කරන නිසයි. අත ළඟ එන යෙහෝවාගේ දවස ගැන කතා කරමින් ඔහු කියන්නේ “අහස ගිනි ඇවිලී නාස්තිවෙනවා ඇත, මහාභූතයෝද දාලා උණුවීයන්නෝය” කියාය. තවදුරටත්, ඔහු මෙසේද කියයි. “එහෙත් ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.” (2 පේතෘස් 3:12, 13; යෙසායා 34:4; එළිදරව් 6:12-14) සියලුම බලවත් ජාතීන් සහ ඔවුන්ගේ ජනප්‍රිය පාලකයන් යෙහෝවාට විරුද්ධව කැරලිකාර අන්දමින් කටයුතු කරන අතර, යෙහෝවා තමන් නියම කළ කාලයේදී ඔවුන්ව මදුරුවන් තළා මරන්නාක් මෙන් නැති කර දමනු ඇත. (ගීතාවලිය 2:1-9) ඉන්පසුව ධර්මිෂ්ඨ මනුෂ්‍යවර්ගයාව පාලනය කරනු ලබන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ආණ්ඩුව මගින් පමණි.—දානියෙල් 2:44, 45ආ; එළිදරව් 21:1-4.

12. විරුද්ධවාදීන් විසින් ගෙනෙනු ලබන නින්දා අපහාසවලට දෙවිගේ සේවකයන් බිය නොවිය යුත්තේ මන්ද?

12 ‘ධර්මිෂ්ඨකම අනුව යන සෙනඟ’ ගැන කතා කරමින් යෙහෝවා දැන් මෙසේ කියයි. “ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනගෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න. මක්නිසාද කාවා ඔවුන් වස්ත්‍රයක් මෙන් කාදමන්නේය, පණුවාද ඔවුන් ලෝම මෙන් කන්නේය. නුමුත් මාගේ ධර්මිෂ්ඨකම සදාකාලයටත් මාගේ ගැළවීම සියලු පරම්පරාවලටත් පවත්නේය.” (යෙසායා 51:7, 8) යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන සියල්ලෝ ඔවුන්ගේ නිර්භීත ස්ථාවරය නිසා නින්දාවටත් අපහාසයටත් ලක් වන්නෝය. එහෙත්, නින්දා අපහාස විඳීම භයවීමට හේතුවක් නොවේ. නින්දා කරන්නන් දුර්වල මිනිසුන්ය. කාවෙකු ලෝම ඇඳුමක් ‘කා දමන්නාක් මෙන්’ ඔවුන්ව විනාශ කර දමනු ඇත. * පුරාණයේ සිටි යුදෙව්වන් මෙන්, අද සිටින ක්‍රිස්තියානීන්ටද ඔවුන්ගේ විරුද්ධවාදීන්ට භයවීමට කිසිම හේතුවක් නැත. සදාකාල දෙවි වන යෙහෝවා ඔවුන්ගේ ගැළවීමය. (ගීතාවලිය 37:1, 2) දෙවිගේ සතුරන්ගෙන් ඔහුගේ සෙනඟට නින්දා අපහාස එල්ල වීම ඔවුන්ට ශුද්ධාත්මය තිබෙන බවට සාක්ෂියකි.—මතෙව් 5:11, 12; 10:24-31.

13, 14. “රාහබ්” සහ “දීර්ඝයා” යන කියමන්වලින් හඳුන්වන්නේ කුමක්ද? එය ‘කෑලිවලට කපා දැමුවෙත්, ඇන දමා බල රහිත කළෙත්’ කෙසේද?

13 යෙහෝවාට තම වහල් සෙනඟ වෙනුවෙන් ක්‍රියා කරන්න කියා කියන්නාක් මෙන් යෙසායා මෙසේ පවසන්නේය. “එම්බා [යෙහෝවාගේ] හස්තය, පිබිදෙන්න, පිබිදෙන්න, බලය පැළඳගන්න; ප්‍රථම පරම්පරා වන පුරාණ දවස්වලදී මෙන් පිබිදෙන්න. රාහබ් කෑලිකොට කැපුවෙත් දීර්ඝයා ඇනදැමුවෙත් නුඹ නොවේද? මහ ගැඹුරේ ජලය වන මුහුද හින්දවා, මිදුණු අයට එතරවීමට මුහුදේ ගැඹුරු මාර්ගයක් කළේ නුඹ නොවේද?”—යෙසායා 51:9, 10.

14 යෙසායා මෙහිදී ඉතාම සැලකිල්ලෙන් තෝරාගත් ඓතිහාසික සිදුවීම් කිහිපයක් ගැන කතා කරයි. තම ජාතිය මිසරයෙන් ගැළවී ඒම සහ රතු මුහුද හරහා ගමන් කිරීම ගැන නොදන්නා ඉශ්‍රායෙල්වරයෙකු නැත. (නික්මයාම 12:24-27; 14:26-31) “රාහබ්” සහ “දීර්ඝයා” ලෙස යොමු දක්වන්නේ ඉශ්‍රායෙල්වරුන්ට පිට වී යෑමට ඉඩ නොදුන් මිසරයට සහ එහි ඵාරාවෝටයි. (ගීතාවලිය 74:13; 87:4; යෙසායා 30:7) හිසක් මෙන් වූ නයිල් ඩෙල්ටාවත්, එතැන් සිට සමෘද්ධිමත් නයිල් නිම්නය හරහා කිලෝ මීටර සියගණනක් දිගට ඇදෙන සිරුරක් හෙවත් කඳක් මෙන් වූ නයිල් ගඟත් නිසා, පුරාණ මිසරය විශාල උරගයෙකුට සමාන කළ හැකි විය. (එසකියෙල් 29:3) එහෙත්, යෙහෝවා පීඩා දහයක් ගෙන ඒමත් සමඟ මේ දීර්ඝයාව කෑලිවලට කපා දැමීය. ඌට ඇන හොඳටම තුවාල කර, සහමුලින්ම බල රහිත කරනු ලැබුවේ මිසර හමුදාව රතු මුහුදේ ගිල්වීමෙනි. නිසැකවම, මිසරවරුන් ඉදිරියේ යෙහෝවා තම හස්තයේ බලවත්කම පෙන්වීය. එසේනම්, බබිලෝනියයන් අතින් තමන්ගේ සෙනඟ ගළවාගැනීම, යෙහෝවාට අමාරු දෙයක් කියා සිතිය යුතුද?

15. (අ) සියොන් කෙරෙන් දුක සහ සුසුම්ලෑම පලා යන්නේ කවදාද? ඒ කෙසේද? (ආ) වර්තමානයේදී දෙවිගේ ඉශ්‍රායෙල් කෙරෙන් දුක සහ සුසුම්ලෑම පලා ගියේ කෙසේද?

15 බබිලෝනියෙන් ඉශ්‍රායෙල් අද්දකින ගැළවීම වෙත යොමු දක්වමින් අනාවැකිය තවදුරටත් මෙසේ පවසයි. “[යෙහෝවා] විසින් මුදනලද්දෝ ගී කියමින් සියොන්ට හැරීඑන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කමද ඔවුන් පිටට පැමිණෙන්නේය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.” (යෙසායා 51:11) බබිලෝනියේදී ඔවුන් මුහුණ දුන් තත්වය කොතරම් දුක්ඛිත වුණත්, යෙහෝවාගේ ධර්මිෂ්ඨකම සෙවූවන්ට එමගින් ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ගෙන දුන්නේය. දුක සහ සුසුම්ලෑම නැති කාලයක් එනු ඇත. මිදී එන අයගේ හදවත් ප්‍රීති සන්තෝෂයෙන් පිරී තිබෙන බව ඔවුන්ගේ කෑමොර ගැසීමෙන් පෙනේ. මෙහි වත්මන් ඉටුවීම සිදු වූයේ දෙවිගේ ඉශ්‍රායෙල්ව 1919දී මහ බබිලෝනීය වහල්භාවයෙන් මුදනු ලැබීමත් සමඟය. මහත් ප්‍රීතියෙන් යුතුව ඔවුන් තමන්ගේ ආත්මික දේශයට පැමිණි අතර, එම ප්‍රීතිය අද දක්වාම පවත්වාගෙන තිබේ.

16. යුදෙව්වන්ව මුදවාගැනීම සඳහා ගෙවන මිලය කුමක්ද?

16 යුදෙව්වන්ගේ මිදීම සඳහා ගෙවන මිලය කුමක්ද? යෙසායාගේ අනාවැකිය ඒ වන විටත් ඒ බව අනාවරණය කර තිබේ. “නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි.” (යෙසායා 43:1-4) මෙය පසු කාලයේදී සිදු වනු ඇත. පර්සියානු අධිරාජ්‍යය විසින් බබිලෝනිය පරාජය කළ පසු යුදෙව් වහලුන්ව මුදාහරිනු ඇත. ඉන්පසු, මිසරයත්, ඉතියෝපියාවත්, සෙබාත් පරාජය කරනු ඇත. එම රාජ්‍යයන් පර්සියාව අතට දෙනු ලබන්නේ ඉශ්‍රායෙල් වහලුන් වෙනුවෙනි. මෙය හිතෝපදේශ 21:18හි සඳහන් කර ඇති ප්‍රතිපත්තියට එකඟයි. “දුෂ්ටයා ධර්මිෂ්ඨයා උදෙසා මිදීමේ මිලයක්ය; අවංක අය වෙනුවට ද්‍රෝහියා පැමිණෙයි.”

තවත් සහතිකයක්

17. බබිලෝනියේ සිටින්නන් කෝප වූ පළියට යුදෙව්වන් බිය නොවිය යුත්තේ මන්ද?

17 යෙහෝවා තම සෙනඟට තවදුරටත් සහතිකයක් දෙමින් මෙසේ කියයි. “නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ, අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ [යෙහෝවා] සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?” (යෙසායා 51:11, 12) අවුරුදු ගණනාවකට වහල්භාවයේ සිටීමට සිදු වුවත් බබිලෝනිවරුන්ට භයවීමට හේතුවක් නැත. බයිබල් වාර්තාවේ එන තුන්වන ලෝක බලය දෙවිගේ සෙනඟව පරාජය කර ඔවුන්ගේ මිදීම වළක්වන්න උත්සාහ කළත්, බබිලෝනිය කෝරෙෂ්ගේ අතට හසු වී බිඳ වැටෙන බව ඇදහිලිවන්ත යුදෙව්වෝ දනිති. (යෙසායා 44:8, 24-28) බබිලෝනියේ වැසියන් වියළි කාලයේ අධික රස්නෙන් වියළී යන තණකොළ මෙන් වනු ඇත. එහෙත් මැවුම්කරු නොහොත් සදාකාලික දෙවි වන යෙහෝවා එසේ නොවනු ඇත. එවිට බබිලෝනිවරුන්ගේ තර්ජන ගර්ජන සහ කෝපය කොහේද? එසේ නම්, අහසත් පොළොවත් මැවූ යෙහෝවාව අමතක කර මිනිසාට බියවීම මොනතරම් මෝඩකමක්ද!

18. යෙහෝවාගේ සෙනඟ ටික කාලයකට වහලුන්ව සිටියත්, යෙහෝවා ඔවුන්ට දෙන්නේ කිනම් සහතිකයද?

18 යෙහෝවාගේ සෙනඟ ටික කාලයකට වහලුන්ව සිටියත්, ඔවුන්ව ඉක්මනටම මුදවාගනු ලැබේ. බබිලෝනියේදී ඔවුන්ගේ ජාතිය නැත්තටම නැති වී යන්නවත් වහලුන් ලෙස බඩගින්නේ සිට මිනීවළට නැතහොත් ෂෙයෝලයට යන්නවත් දෙවි ඉඩහරින්නේ නැත. (ගීතාවලිය 30:3; 88:3-5) යෙහෝවා ඔවුන්ට මෙසේ සහතික කරයි. “රටින් පිට වහල්වී සිටින්නා ඉක්මනට මුදනු ලබන්නේය; ඔහු වළේදී නසින්නේවත් ඔහුගේ කෑම පිරිහෙන්නේවත් නැත.”යෙසායා 51:14.

19. ඇදහිලිවන්ත යුදෙව්වන්ට යෙහෝවා කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබිය හැක්කේ මන්ද?

19 යෙහෝවා තවදුරටත් සියොන් වැසියන් සනසමින් මෙසේ කියයි. “මම වනාහි මුහුදේ රැළ ගර්ජනාකරන ලෙස එය අවුස්සන්නාවූ, සේනාවල [යෙහෝවා] යන නාමය ඇත්තාවූ, නුඹේ දෙවිවූ [යෙහෝවාය]. මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: නුඹ මාගේ සෙනගයයි සියොන්ට කීමටත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි නුඹ සැඟෙවුවෙමි.” (යෙසායා 51:15, 16) තම බලය යොදා මුහුද නිශ්චල කිරීමට ඇති දෙවිගේ හැකියාව ගැන බයිබලය පුන පුනා කියයි. (යෝබ් 26:12; ගීතාවලිය 89:9; යෙරෙමියා 31:35) භෞතික බලවේග සහමුලින්ම පාලනය කිරීමට ඔහුට ඇති හැකියාව මිසරයෙන් තම සෙනඟ මුදවාගැනීම්දී යෙහෝවා විදහාපෑවේය. ‘සේනාවල යෙහෝවාට’ අංශු මාත්‍රයකින් හෝ සමානකම් ඇත්තෙක් සිටීද?—ගීතාවලිය 24:10.

20. යෙහෝවා සියොන නැවත පිහිටුවන විට ඇති වෙන “අහස” සහ “පොළොව” කුමක්ද? ඔහු ප්‍රකාශ කරන දිරිගන්වනසුලු වදන් මොනවාද?

20 යුදෙව්වන් දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින අතර, ඔවුන් ඔවුන්ගේ මව්බිමට ගොස් යළිත් වරක් දෙවිගේ ව්‍යවස්ථාවට යටත්ව ජීවත් වන බව යෙහෝවා කියා සිටියේය. එහිදී ඔවුන් යෙරුසලම සහ දේවමාළිගාව නැවත ගොඩනඟා, දෙවි මෝසෙස් තුළින් ඔවුන් හා ඇති කරගත් ගිවිසුමට අයත් වගකීම් යළි ඉටු කරනු ඇත. නැවත පැමිණෙන ඉශ්‍රායෙල්වරුන්ගෙන් සහ ඔවුන්ගේ එළු බැටළු රැළවලින් දේශය පිරෙන්න පටන්ගන්නා විට ‘අලුත් පොළොවේ’ ආරම්භය සිදු වේ. ඊට “අලුත් අහසක්” නැතහොත් නව ආණ්ඩු ක්‍රමයක්ද එක් වනු ඇත. (යෙසායා 65:17-19; හග්ගයි 1:1, 14) එහිදී “නුඹ මාගේ සෙනගයයි” යෙහෝවා නැවතත් සියොන්ට කියනු ඇත.

ක්‍රියාවට පෙලඹවීම

21. යෙහෝවා සියොන් වැසියන්ව පොලඹවන්නේ කුමක් කිරීමටද?

21 සියොන් වැසියන්ව සනසාලීමෙන් පසු යෙහෝවා ඔවුන්ව ක්‍රියාවට පොලඹවයි. සියොනෙහි දුක දැනටමත් නැති වී ඇති බවක් අඟවමින් ඔහු මෙසේ කියයි. “[යෙහෝවාගේ] අතින් [ඔහුගේ] කෝපය නමැති කුසලානෙන් බී, වැනෙන්ට සලස්වන පාත්‍ර කුසලානෙන් උරාබීවාවූ යෙරුසලම, පිබිදෙන්න, පිබිදෙන්න, නැගිටින්න.” (යෙසායා 51:17) යෙරුසලම ඇගේ විපත්තිදායක තත්වයෙන් ගොඩ ඇවිත් ඇගේ පරණ තේජවත් තත්වයට යළි පත් විය යුතුය. දිව්‍ය උදහස නමැති සංකේතමය කුසලාන හිස් කරන කාලයක් පැමිණීමට නියමිතය. එවිට, ඇයට විරුද්ධව දෙවි තුළ වූ උදහස පහව යනු ඇත.

22, 23. යෙරුසලම යෙහෝවාගේ කෝපය නමැති කුසලානෙන් පානය කිරීමේ ප්‍රතිඵලය කුමක්ද?

22 කෙසේවෙතත්, යෙරුසලමට දඬුවම් කරද්දී, එයින් ඇයව ගළවාගැනීමට ඇගේ වැසියන් නැතහොත් ඇගේ “පුත්‍රයන්” හට නොහැකි වනු ඇත. (යෙසායා 43:5-7; යෙරෙමියා 3:14) අනාවැකියෙහි මෙසේ කියයි. “ඈ වැදූ සියලුම පුත්‍රයන් අතරෙන් ඈට මගපෙන්වන්ට කෙනෙක් නැත; ඈ ඇතිකළ සියලුම පුත්‍රයන් අතරෙන් ඇගේ අත අල්වාගන්ට කිසිවෙක් නැත.” (යෙසායා 51:18) බබිලෝනිය අතින් ඇය විඳිනු ඇති දුක මොනතරම්ද! “මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද? නුඹේ පුත්‍රයෝ [යෙහෝවාගේ] කෝපය වන නුඹේ [දෙවිගේ] තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.”—යෙසායා 51:19, 20.

23 යෙරුසලමේ තත්වය හරිම කනගාටුයි! ඇයට ‘පාළුවීම සහ විනාශය’ අද්දකින්න පමණක් නොව ‘සාගතයෙන් සහ කඩුවෙන්’ පීඩා විඳින්නත් සිදු වේ. ඇයට මඟ පෙන්වන්න හෝ ඇයව දිරිමත් කිරීමට ඇගේ ‘පුත්‍රයන්ට’ නොහැකිය. ඔවුහු කිසිවක් කරකියා ගත නොහැකිව අසරණව සිටින අතර, බබිලෝනීය ආක්‍රමණිකයන්ව පලවාහැරීමට අපොහොසත්ව සිටිති. මංසන්ධියේ හෝ වීථි කෙළවරේ ක්ලාන්තව, දුර්වලව සහ වෙහෙසට පත්ව ඔවුන් ඇද වැටී සිටිනවා සියල්ලන්ටම දැකගත හැක. (විලාප ගී 2:19; 4:1, 2) ඔවුන් දෙවිගේ උදහස නමැති කුසලානෙන් පානය කර, දැලකට හසු වූ සතෙකු මෙන් හතරගාතෙන් වැටී සිටිනු ඇත.

24, 25. (අ) යෙරුසලමෙහි නැවත වරක් සිදු නොවන්නේ කුමක්ද? (ආ) යෙරුසලමෙන් පසුව යෙහෝවාගේ උදහසට පාත්‍රවීමට නියමිතව සිටින්නේ කවුද?

24 එහෙත් මෙම දුක්ඛිත අද්දැකීම නිමාවකට පත් වනු ඇත. යෙසායා ඔවුන්ව සනසමින් මෙසේ කියයි. “එබැවින් පීඩිතවූ, මුද්‍රිකපානය නැතුව මත්වී සිටින්නාවූ තැනැත්තිය, මේක අසන්න. නුඹේ ස්වාමිවූ [යෙහෝවා] වන තමන්ගේ සෙනග වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ [දෙවි] මෙසේ [කියන්නේය]: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝපය නමැති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය. නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන්ද තැබුවෙහිය.” (යෙසායා 51:21-23) යෙහෝවා යෙරුසලම හික්මවූවාට පසු ඇය කෙරෙහි අනුකම්පා කර සමාව දීමට කැමැත්තෙන් සිටින්නේය.

25 යෙහෝවා දැන් ඔහුගේ කෝපය යෙරුසලමෙන් ඉවත් කර බබිලෝනිය මතට වගුරුවයි. බබිලෝනිය විසින් යෙරුසලම පොළොවට සමතලා කර එය නින්දාවට ලක් කර ඇත. (ගීතාවලිය 137:7-9) යෙරුසලම තවදුරටත් බබිලෝනියේ හෝ ඇගේ මිතුරන්ගේ උදහසට පාත්‍ර නොවනු ඇත. ඒ වෙනුවට, එම කුසලාන යෙරුසලම අතින් රැගෙන ඇය අපකීර්තියට පත් වූ විට ඒ ගැන සතුටුවූවන් අතට දෙනු ඇත. (විලාප ගී 4:21, 22) බබිලෝනිය යෙහෝවාගේ උදහස මුළුමනින්ම අද්දකිනු ඇත. (යෙරෙමියා 51:6-8) මේ අතර සියොන දියුණුවෙන් දියුණුවට පත් වේ! එය මොනතරම් වෙනසක්ද! ඇත්තෙන්ම, එවන් බලාපොරොත්තුවකින් සියොන් වැසියන්ට සහනයක් ලැබෙනු ඇත. යෙහෝවා ඔහුගේ ගැළවීමේ ක්‍රියා මගින් තම නාමය විශුද්ධි කරන බවටද යෙහෝවාගේ සේවකයන්ට නිසැක විය හැක.

[පාදසටහන]

^ මෙහි කාවා කියා යොමු දක්වන්නේ, කීට අවස්ථාවේ සිටින රෙදි සලබ වර්ගයකටයි. මෙම සලබයා රෙදි පිළි නාස්තියට පත් කරමින් ඒවායේ සිදුරු ඇති කරයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[167වන පිටුවේ පින්තූරය]

තම සෙනඟව කපාගත් “පර්වතය” උතුම් ආබ්‍රහම් වන යෙහෝවායි

[170වන පිටුවේ පින්තූරය]

කාවන් කා දැමූ රෙදි කැබැල්ලක් මෙන් දෙවිගේ සෙනඟගේ විරුද්ධවාදීන්ව නැති වී යනු ඇත

[176, 177වන පිටුවේ පින්තූරය]

මහා භූතයන්ව පාලනය කිරීමෙන් යෙහෝවා තම බලය පෙන්වා ඇත

[178වන පිටුවේ පින්තූරය]

යෙරුසලම පානය කළ උදහසේ කුසලාන බබිලෝනියටත් ඇගේ මිතුරන්ටත් දෙනු ලැබේ