Skip to content

පටුනට යන්න

‘නුඹලා මාගේ සාක්ෂිකරුවන්ය!’

‘නුඹලා මාගේ සාක්ෂිකරුවන්ය!’

හතරවන පරිච්ඡේදය

‘නුඹලා මාගේ සාක්ෂිකරුවන්ය!’

යෙසායා 43:1-28

1. යෙහෝවා අනාවැකි යොදාගන්නේ කුමක් සඳහාද? එමෙන්ම, ඉටු වූ අනාවැකි සම්බන්ධයෙන් ඔහුගේ සේවකයන්ගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?

 සැබෑ දෙවි සහ සියලු බොරු දෙවිවරුන් අතර වෙනස හඳුනාගත හැකි එක් ලක්ෂණයක් වන්නේ, අනාගතය ගැන කලින් දැන්වීමට ඔවුන් සතු හැකියාවයි. එහෙත්, අනාවැකි පළ කරන විට, තම දෙවිකම ඔප්පු කරනවාට වඩා වැඩි යමක් යෙහෝවාගේ මනසේ තිබේ. තමන්ගේ දෙවිකම පෙන්වීම පමණක් නොව ඔහු සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟ කෙරෙහි තිබෙන ප්‍රේමය පෙන්වීමේ සාක්ෂියක් හැටියටත් යෙහෝවා අනාවැකි පළ කරන බව, යෙසායා 43වන පරිච්ඡේදය සලකා බලද්දී අපට පැහැදිලි වේ. අනිත් අතට, එම අනාවැකිවල ඉටුවීම අද්දුටු ඔහුගේ සෙනඟ ඒ සම්බන්ධයෙන් මුනිවත රකිනවා වෙනුවට, තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දැරිය යුතුයි. එසේ කරමින් ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් බව ඔප්පු කළ යුතුයි!

2. (අ) යෙසායාගේ කාලයේ සිටි ඉශ්‍රායෙල්වරුන්ගේ ආත්මික තත්වය කෙබඳුද? (ආ) යෙහෝවා තම සෙනඟගේ ඇස් අරිනු ලබන්නේ කෙසේද?

2 කනගාටුදායක ලෙස, යෙසායාගේ දවසේ සිටි ඉශ්‍රායෙල්වරුන්ගේ තත්වය කොතරම් ඛේදනීයද කිවහොත්, යෙහෝවා ඔවුන්ව සැලකුවේ ආත්මික අබ්බගාතයන් ලෙසයි. “ඇස් ඇති අන්ධ සෙනගද කන් ඇති බිහිරන්ද පිටතට ගෙනෙන්න.” (යෙසායා 43:8) එසේ නම්, ආත්මිකව අන්ධ සහ බිහිරි තත්වයේ සිටි අය යෙහෝවාගේ ක්‍රියාශීලී සාක්ෂිකරුවන් ලෙස කටයුතු කරන්නේ කෙසේද? ඒ සඳහා තිබෙන්නේ එකම එක ක්‍රමයයි. එනම්, ඔවුන්ගේ ඇස් සහ කන් ප්‍රාතිහාර්යමය ලෙසින් සුව විය යුතුයි. ඇත්තටම යෙහෝවා එය කරනු ඇත! ඒ කෙසේද? මුලින්ම, ඔහු ඔවුන්ට දැඩි හික්මවීමක් ලබා දෙන්නේය. ඉශ්‍රායෙල්හි උතුරු රාජ්‍යයේ වැසියන් පො.යු.පෙ. 740දීත්, යූදා වැසියන් පො.යු.පෙ. 607දීත් වහල්භාවයට නතු වේ. ඉන්පසුව, යෙහෝවා තම බලය යොදාගෙන පො.යු.පෙ. 537දී තම සෙනඟව ගළවාගෙන ආත්මිකව යළි නඟා සිටුවා, පසුතැවිලි වූ සුළු පිරිසක්ව ඔවුන්ගේ මව්බිම කරා ගෙන යයි. ඉශ්‍රායෙල්හි මිදීම ඒ වන විටත් සිදු වී නොතිබුණත්, එය සිදු වුණා හා සමානව අවුරුදු 200කටත් වඩා වැඩි කාලයකට ඉහතදී ඔහු ඒ ගැන පුරෝකථනය කළේ ඒ දේ වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි බවට වූ ඔහුගේ විශ්වාසය නිසයි.

3. අනාගතයේදී වහලුන් වීමට යන මේ සෙනඟට යෙහෝවා ලබා දෙන දිරිගැන්වීම කුමක්ද?

3 “එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද [යෙහෝවා] මෙසේ [කියන්නේය]: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය. නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි; නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලායන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නෙහිය; ගිනිදැල්ල නුඹ කෙරෙහි නොඇවිළෙන්නේය. මක්නිසාද මම නුඹේ දෙවිවූ [යෙහෝවාය], නුඹේ ගැළවුම්කාරයා වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාය].”යෙසායා 43:1-3අ.

4. යෙහෝවා ඉශ්‍රායෙල්ගේ මැවුම්කරුවා වන්නේ කෙසේද? ඔවුන් නැවත තම මව්බිම කරා යෑම සම්බන්ධයෙන් ඔහු ඔවුන්ට දෙන සහතිකය කුමක්ද?

4 යෙහෝවා ඉශ්‍රායෙල් ජාතියේ අයිතිකරු බැවින් ඔවුන් ගැන විශේෂ කැක්කුමක් ඔහුට තිබේ. ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියට යෙහෝවාම මෙම ජාතිය බිහි කළේය. (උත්පත්ති 12:1-3) මේ ගැන ගීතාවලිය 100:3හි පවසන්නේ මෙසේයි. ‘යෙහෝවා දෙවි බව දැනගන්න. ඔහු අප මැවීය, අප ඔහුගේය. අප ඔහුගේ සෙනඟය, ඔහුගේ ගොදුරු බිමේ බැටළුවෝය.’ ඉශ්‍රායෙල්හි මැවුම්කරුවා සහ මිදුම්කරුවා වන යෙහෝවා ඔවුන්ව සුරක්ෂිතව තම මව්බිම කරා නැවත ගෙන එයි. ඊට අවුරුදු දහසකට පමණ පෙර ඔවුන්ගේ මුතුන්මිත්තන් පොරොන්දු දේශයට ගිය ගමනේදී කිසිම දෙයකින් ඔවුන්ගේ ගමනට බාධා ඇති නොවූවා සේම, මොවුන් ඉදිරියේ ඇති ජල ගංගා, හිරු රශ්මියෙන් ගිනියම් වූ කාන්තාර වැනි වැට කඩුලු ඔවුන්ගේ ගමනටත් බාධාවක් වන්නේ නැත.

5. (අ) යෙහෝවාගේ වචන ආත්මික ඉශ්‍රායෙල්ගේ බිය සැක දුරලන්නේ කෙසේද? (ආ) ආත්මික ඉශ්‍රායෙල්ගේ හවුල්කරුවන් වන්නේ කවුද? මේ අයව පූර්වාදර්ශනය කළේ කවුරුන් විසින්ද?

5 ආත්මයෙන් උත්පාදනය කරන ලද “අලුත් මැවිල්ල” වන නවීන දින ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසටද යෙහෝවාගේ මේ වචන සැනසිල්ලක් ගෙන දෙයි. (2 කොරින්ති 5:17) මනුෂ්‍යවර්ගයා නමැති ‘ජල කඳ’ තරණය කිරීමට පසුබට වී නැති ඔවුන්, සංකේතාත්මක ජල පහර හමුවේ දෙවිගේ ප්‍රේමනීය රැකවරණය අද්දැක තිබේ. ඔවුන්ගේ සතුරන්ගෙන් එල්ල වන ගිනිමය පරීක්ෂණවලින් ඔවුන් නොපිලිස්සී සිටිනවා පමණක් නොව, පරීක්ෂණ නමැති ගින්න ඔවුන්ව පවිත්‍ර කර තිබේ. (සෙකරියා 13:9; එළිදරව් 12:15, 16) තම ආත්මික ජාතිය සමඟ හවුලේ වැඩ කරන ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් “මහත් සමූහය” වෙතටත් යෙහෝවා දෙවිගේ ඇස් යොමු වී තිබේ. (යොහන් 10:16; එළිදරව් 7:9) මිසරය හැර යන විට ඉශ්‍රායෙල්වරුන් සමඟ ගමන් ගත් ‘විශාල මිශ්‍ර සමූහයෙන්ද,’ බබිලෝනියේ වහල්භාවයෙන් මිදී යන අයට එකතු වූ යුදෙව් නොවන අයගෙන්ද මේ මහත් සමූහයව පූර්වාදර්ශනය කෙරේ.—නික්මයාම 12:38; එස්රා 2:1, 43, 55, 58.

6. (අ) මාංසික ඉශ්‍රායෙල් සහ (ආ) ආත්මික ඉශ්‍රායෙල් සඳහා ගෙවීමක් කිරීමෙන් තමන් යුක්තිසහගත දෙවිකෙනෙකු බව යෙහෝවා පෙන්වූයේ කෙසේද?

6 මේද පර්සියාවේ හමුදාව මාර්ගයෙන් තම සෙනඟව බබිලෝනියෙන් මුදවාගන්නා බවට යෙහෝවා පොරොන්දු වේ. (යෙසායා 13:17-19; 21:2, 9; 44:28; දානියෙල් 5:28) යෙහෝවා යුක්තියේ දෙවිකෙනෙකු වන නිසා තම මේද පර්සියානු “වැඩකරුවන්ට” ඉශ්‍රායෙල් වෙනුවට සුදුසු ගෙවීමක් කරනු ඇත. “නුඹේ මිදීමේ මිලය පිණිස මිසරයද නුඹ වෙනුවට කූෂ් සහ සෙබාද දුනිමි. නුඹ මා ඉදිරියේ අනර්ඝව ගරුකටයුතුවූ බැවින්ද, මා නුඹට ප්‍රේමකළ බැවින්ද, නුඹ වෙනුවට මිනිසුන්ද නුඹේ ජීවිතය වෙනුවට ජනයන්ද දෙන්නෙමි.” (යෙසායා 43:3ආ, 4) දෙවි පුරෝකථනය කළ ආකාරයටම පර්සියානු අධිරාජ්‍යය විසින් මිසරය, ඉතියෝපියාව සහ ඒ අසල පිහිටි සෙබා අල්ලාගත් බවට ඉතිහාසය තහවුරු කරයි. (හිතෝපදේශ 21:18) ඒ හා සමානව, වර්ෂ 1919දී යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් යෙහෝවා ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටසව ආත්මික වහල්භාවයෙන් මුදාගත්තේය. කෙසේවෙතත්, යේසුස්ට ඔහු කළ සේවය වෙනුවෙන් යම් ගෙවීමක් කිරීම අවශ්‍ය වූයේ නැත. ඊට හේතුව ඔහු මිථ්‍යා දෘෂ්ටික පාලකයෙකු නොවීමයි. අනිත් අතට ඔහු මුදවාගනිමින් සිටියේ තමාගේම ආත්මික සහෝදරයන්වයි. ඊට අමතරව, 1914 වන විටත්, යෙහෝවා “[යේසුස්ගේ] උරුමයට ජාතීන්ද [ඔහුගේ] කොටසට පොළොවේ සීමාන්තය දක්වාද” දී තිබුණි.—ගීතාවලිය 2:8.

7. පුරාණයේ සිටි හා වර්තමානයේ සිටින තම සෙනඟ ගැන යෙහෝවාට හැඟෙන්නේ කෙසේද?

7 යෙහෝවා තමන් විසින් මිලයට ගත් වහලුන් සම්බන්ධයෙන් වූ තම මෘදු හැඟීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආකාරය දෙස බලන්න. තමාට ඔවුන් “අනර්ඝ” “ගරුකටයුතු” අය බවත් ඔවුන්ට ඔහු “ප්‍රේම” කරන බවත් යෙහෝවා කියා සිටියි. (යෙරෙමියා 31:3) අද සිටින ඔහුගේ සේවකයන් ගැන ඔහුට හැඟෙන්නෙත් ඒ ආකාරයටමයි. සමහරවිට ඊටත් වඩා වැඩියෙන් විය හැකියි. ආලේප ලත් ක්‍රිස්තියානීන් තම මැවුම්කරුවාට පෞද්ගලිකව කැපවීමෙන් පසුව ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වය තුළින් දෙවි සමඟ විශේෂ සම්බන්ධතාවකට පැමිණියේය. මෙය උපතෙන්ම සිදු වූ දෙයක් නොවේ. යෙහෝවා මොවුන්ව තමන් සහ තම පුත්‍රයා වෙතට ඇදගෙන ඇති අතර, ඔහුගේ නීති සහ ප්‍රතිපත්ති යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට ලැදි ඔවුන්ගේ හදවත්වල ලියා තිබේ.—යෙරෙමියා 31:31-34; යොහන් 6:44.

8. යෙහෝවා වහලුන්ගේ බිය සැක දුරු කරන්නේ කෙසේද? වහලුන්ට ඔවුන්ගේ ගැළවීම ගැන හැඟෙනු ඇත්තේ කෙසේද?

8 වහලුන්ගේ බිය සැක තව තවත් දුරු කරමින් යෙහෝවා මෙසේද කියයි. “භයනොවෙන්න; මක්නිසාද මම නුඹ සමග සිටිමි. නුඹේ වංශය නැගෙනහිරින් ගෙනෙන්නෙමි, බස්නාහිරින්ද නුඹ රැස්කරන්නෙමි; මම උතුරු දිසාවට කථාකොට: දෙන්නැයි කියාත්, දකුණු දිසාවට: නවත්වා නොගන්නැයි කියාත්, දුර සිට මාගේ පුත්‍රයන්ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන්ද, එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.” (යෙසායා 43:5-7) තම දූ පුතුන්ව ඔවුන්ගේ ආදරණීය මව්බිම කරා ගෙන යෑමට කාලය පැමිණෙන විට, ඔවුන් පොළොවේ කොතැන සිටියත් ඔවුන්ව නිදහස් කිරීම යෙහෝවාට දුෂ්කර දෙයක් නොවේ. (යෙරෙමියා 30:10, 11) යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය කලින් වතාවේ මිසරයෙන් ගළවාගත්තාක් මෙන් මේ අවස්ථාවේදීත් ශ්‍රේෂ්ඨ ගැළවීමක් ලැබෙන බවට කිසිම සැකයක් නැත.—යෙරෙමියා 16:14, 15.

9. යෙහෝවා තම ගැළවීමේ ක්‍රියාවන්වලට තම නාමය සම්බන්ධ කරගන්නේ කිනම් ආකාර දෙක මගින්ද?

9 යෙහෝවා තම සෙනඟව හඳුන්වන්නේ තමන්ගේම නාමයෙන් බව ඔවුන්ට මතක් කර දීමෙන්, ඉශ්‍රායෙල්වරුන්ව ගළවාගන්නා බවට කළ පොරොන්දුව තවදුරටත් තහවුරු කරයි. (යෙසායා 54:5, 6) එමෙන්ම, යෙහෝවා තම ගැළවීමේ පොරොන්දු දෙන විටත් තම නාමය ඊට සම්බන්ධ කරගනී. එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඔහුගේ අනාවැකිමය වචන ඉටු වූ විට එහි ගෞරවය ලැබෙන්නේ ඔහුටයි. සැබෑ වූ එකම දෙවි වන යෙහෝවාට හිමි ගෞරවය කිසිම දිනෙක බබිලෝනිය පරාජය කළ රජුට හිමි වන්නේ නැත.

දෙවිවරුන්ට අභියෝගයක්

10. යෙහෝවා ජාතීන් සහ ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ තබන අභියෝගය කුමක්ද?

10 යෙහෝවා ජාතීන්ගේ දෙවිවරුන්ට අභියෝගයක් එල්ල කරන්නේ, ඉශ්‍රායෙල්ව බේරාගන්නා බවට පොරොන්දු වෙමිනි. ඔහු එසේ කරන්නේ, විශ්වනීය පරිමාණයෙන් පවත්වන නඩුවකට පදනමද දමමිනි. “සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් [ඔවුන්ගේ දෙවිවරුන්ගෙන්] කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශ කරනවා ඇද්ද? ඔවුහු [ඔවුන්ගේ දෙවිවරුන්] තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා.” (යෙසායා 43:9) යෙහෝවා ලෝකයේ ජාතීන්ට ප්‍රබල ලෙස අභියෝග කරන්නේය. සාරංශයක් වශයෙන් ඔහු කියන්නේ මෙයයි. ‘අනාගතයේදී වෙන දේවල් කල් ඇතුව දන්වා තමන් දෙවිවරුන් බව ඔප්පු කරන්න කියලා ඔබේ දෙවිවරුන්ට කියන්න.’ අනාගතය ගැන නිවැරදිව පුරෝකථනය කළ හැක්කේ එකම සැබෑ දෙවිට පමණක්ම නිසා මේ පරීක්ෂණය සියලුම බොරුකාරයන්ව හෙළි කරයි. (යෙසායා 48:5) එහෙත්, සර්වපරාක්‍රම දෙවි තවත් නීතිමය කොන්දේසියක් සඳහන් කරන්නේය. තමන් සැබෑ දෙවිවරුන්යයි කියාගන්නා අයගේ පුරෝකථනයන් සම්බන්ධවද, ඒවායේ ඉටුවීම සම්බන්ධවද සාක්ෂි දරන්න සාක්ෂිකරුවන් සිටිය යුතුයි. නිසැකවම යෙහෝවාත් මේ නීතිමය කොන්දේසිය කඩ කරන්නේ නැත.

11. යෙහෝවා තම සේවකයාට දුන් බලපැවරුම කුමක්ද? යෙහෝවා තම දෙවිකම ගැන හෙළි කරන්නේ කුමක්ද?

11 තමා වෙනුවෙන් සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට මෙම බෙලහීන වූ බොරු දෙවිවරුන්ට කිසිම හැකියාවක් නැත. ඔවුන්ගේ සාක්ෂි කූඩුව හිස්ව තිබේ. මොනතරම් අවමානයක්ද! එහෙත්, දැන් තම දෙවිකම ඔප්පු කරන්න යෙහෝවාගේ වේලාව පැමිණ ඇත. තම සෙනඟ දෙස බලමින් දෙවි මෙසේ කියයි. “මම ඒ [තැනැත්තා] බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුය . . . මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, . . . මම, මමම, [යෙහෝවාය]; මා ඇර වෙන ගැළවුම්කාරයෙක් නැත. මමම දැන්වීමි, මමම ගැළවීමි, මමම ප්‍රකාශකෙළෙමි, අන් දෙවිකෙනෙක් නුඹලා අතරේ සිටියේ නැත. එබැවින් නුඹලා මාගේ සාක්ෂිකාරයෝය, මම [දෙවිය] . . . එසේය, දවස ඇතිවූ තැන් පටන් මම [ඔහුය]; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, [මගේ හස්තය] වලක්වන්නේ කවුද?”යෙසායා 43:10-13.

12, 13. (අ) යෙහෝවාගේ සෙනඟට ඉදිරිපත් කිරීමට ඇත්තේ කිනම් සාක්ෂි කන්දරාවද? (ආ) වර්තමානයේදී යෙහෝවාගේ නාමය බොහෝ ප්‍රසිද්ධ වී ඇත්තේ කෙසේද?

12 යෙහෝවාගේ වචනයට ප්‍රතිචාරය දක්වන ප්‍රීතිමත් සාක්ෂිකාර සේනාවකින් සාක්ෂි කූඩුව පිරී යයි. ඔවුන්ගේ සාක්ෂිය නිවැරදි මෙන්ම සැකයෙන් තොරයි. යෝෂුවා මෙන්, ‘යෙහෝවා කී සෑම දෙයක්ම ඉටු වී ඇති බවටත් කිසිවක් ඉටු නොවී නොතිබෙන’ බවටත් ඔවුහු සාක්ෂි දරති. (යෝෂුවා 23:14) යුදෙව්වන් වහල්කමට පැමිණීම හා ඉන් ඔවුන් ආශ්චර්යවත් ලෙස මිදී යන ආකාරය ගැන යෙසායා, යෙරෙමියා, එසකියෙල් සහ වෙනත් අනාගතවක්තෘවරුන් එක හා සමානව පැවසූ වචන යෙහෝවාගේ සෙනඟගේ කන්වල තවමත් රැව් පිළිරැව් දෙයි. (යෙරෙමියා 25:11, 12) යූදාව මුදාහළ කෝරෙෂ් ඉපදෙන්නත් කලින්ම එය කරන්නේ ඔහු බව දන්වා තිබුණි!—යෙසායා 44:26-45:1.

13 සාගරයක් තරම් වූ මේ සාක්ෂි කන්දරාව මැද, යෙහෝවා සැබෑ දෙවි බව විශ්වාස කළ නොහැක්කේ කාටද? මිථ්‍යා දෙවිවරුන් මෙන් නොව යෙහෝවාව වෙන කෙනෙකු විසින් මවනු ලැබුවේ නැත. සැබෑ වූ එකම දෙවි ඔහුම පමණය. * එබැවින්, අනාගත පරම්පරාවලට මෙන්ම යෙහෝවාගේ පුදුම ක්‍රියා ගැන අසන අයට ඔහු ගැන ප්‍රකාශ කිරීමේ ප්‍රීතිමත් සහ අද්විතීය වරප්‍රසාදය යෙහෝවාගේ නාමය දරන අය සතුය. (ගීතාවලිය 78:5-7) යෙහෝවාගේ වර්තමාන දින සාක්ෂිකරුවන්ටත් පොළොව පුරාම දෙවිගේ නාමය ප්‍රචාරය කිරීමේ වරප්‍රසාදය ලැබී තිබේ. වර්ෂ 1920දී බයිබල් ශිෂ්‍යයෝ යෙහෝවා යන දෙවිගේ නාමයේ ගැඹුරු අර්ථය සහ එහි වැදගත්කම වැඩි වැඩියෙන් තේරුම්ගන්න පටන්ගත්හ. ඉන්පසු, වර්ෂ 1931 ජූලි මාසයේ 26වනදා ඔහායෝ කොලම්බස්හිදී පැවැත්වූ සමුළුවේදී සමිතියේ එවකට සභාපති වූ ජෝසෆ් එෆ්. රදෆඩ් “අලුත් නමක්” යනුවෙන් හැඳින්වූ සම්මුතිය ඉදිරිපත් කළේය. එය පැමිණ සිටි අයව ප්‍රීති ප්‍රමෝදයට පත් කළේය. එහි මෙසේ පවසා තිබුණි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස අපව හඳුන්වා දෙන්නත් එනමින් අපව අමතනවාටත් අපි කැමැත්තෙමු.” ඔවුහු ඊට එක හඬින් “එසේය” කියා පවසමින් තම එකඟත්වය පළ කළහ. එදා සිට යෙහෝවාගේ නාමය ලොව පුරාම පතළ වෙන්න පටන්ගත්තේය.—ගීතාවලිය 83:17.

14. යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට මතක් කර දෙන්නේ කුමක් ගැනද? එසේ මතක් කිරීම කාලෝචිත වන්නේ මන්ද?

14 ගෞරවාන්විතව තම නාමය දරන අයව යෙහෝවා තම ‘ඇසේ කළු ඉංගිරියාව’ මෙන් ආරක්ෂා කරන්නේය. ඉශ්‍රායෙල්වරුන්ව මිසරයෙන් ගළවාගෙන පාළුකරය හරහා සුරක්ෂිතව ගෙන ගිය ආකාරය ගැන යෙහෝවා ඔවුන්ට මතක් කර දෙයි. (ද්විතීය කථාව 32:10, 12) ඒ අවස්ථාවේදී, ඔවුන්ට උපකාර කරන්න කිසිම අන්‍ය දෙවි කෙනෙකු ඔවුන් අතරේ සිටියේ නැත. මන්ද මිසරයේ දෙවිවරුන්යයි කියාගත්තවුන් ඔවුන්ගේ ඇස් පණාපිටම නින්දාවට ලක් විය. ඇත්තෙන්ම, මිසරය ගළවාගන්නවත් ඉශ්‍රායෙල්වරුන්ගේ නික්මයෑම වළක්වන්නවත් මිසර දෙවිවරුන්ට කොහෙත්ම හැකි වූයේ නැත. (නික්මයාම 12:12) ඒ හා සමානවම, බබිලෝනි නුවර තුළ පමණක් මිථ්‍යා දෙවිවරුන් සඳහා දේවාල අඩුම තරමින් 50ක්වත් ඉදි කර තිබුණත්, තම සෙනඟ නිදහස් කිරීමට සර්වපරාක්‍රම දෙවි ක්‍රියාත්මක වෙද්දී ඔහුගේ අත නවත්වන්න ඔවුන්ටද හැකි වන්නේ නැත. මින් පැහැදිලි වන්නේ, යෙහෝවා හැර වෙන ‘ගැළවුම්කරුවෙකු’ නැති බවයි.

යුධ අශ්වයන් වැටී යන කල සිර ගෙවල්ද ඇරේ

15. බබිලෝනිය ගැන යෙහෝවා පුරෝකථනය කළේ කුමක්ද?

15 “නුඹලාගේ මිදුම්කාරයාණෝද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාද] වන [යෙහෝවා] මෙසේ [කියන්නේය]: මම නුඹලා උදෙසා බබිලෝනියට යවා, ඔවුන් සියල්ලන්, එනම් කල්දිවරුන්, ඔවුන්ගේ ප්‍රීතිඝෝෂා සහිත නැව්වලම හිරකරුවන් කොට ගෙනෙන්නෙමි. මම නුඹලාගේ ශුද්ධ [තැනැත්තාද] ඉශ්‍රායෙල්ගේ මැවුම්කාරයාද නුඹලාගේ රජද වන [යෙහෝවාය]. මුහුදෙහි මාර්ගයක්ද මහ ජලයන් මැදින් පාරක්ද සාදන්නාවූ, රථද අශ්වයන්ද සේනාවද බලවන්තයන්ද පිටතට පමුණුවා, ඔවුන් නොනැගිටින ලෙස එක්ව වැටීමට සහ සිඳියාමටද පහන්තිරයමෙන් නිවීයාමටද සලස්වන්නාවූ [යෙහෝවා මෙසේ කියන්නේය].”යෙසායා 43:14-17.

16. බබිලෝනීය මෙන්ම කල්දීය වෙළඳුන් සහ බබිලෝනියේ ආරක්ෂාවට සිටින්නන් මත පැමිණීමට නියමිතව තිබෙන්නේ කුමක්ද?

16 බබිලෝනිය ඉශ්‍රායෙල්වරුන්ට සිරගෙයක් බඳුය. ඒ හේතුවෙන් ඔවුන්ට බබිලෝනියෙන් පිට වී නැවත යෙරුසලම වෙත යෑමට නොහැකි විය. එහෙත්, බබිලෝනියේ ආරක්ෂක වළලු සර්වපරාක්‍රම දෙවිට මහා දෙයක් නොවේ. “[රතු] මුහුදෙහි මාර්ගයක්ද [සමහරවිට යොර්දාන් ගඟ විය හැකි] මහ ජලයන් මැදින් පාරක්ද” සෑදූ තැනැත්තා ඔහුයි. (නික්මයාම 14:16; යෝෂුවා 3:13) ඒ හා සමාන ආකාරයකට යෙහෝවාගේ නියෝජිතයා වන කෝරෙෂ් මහා යුප්‍රටීස් ගඟ හිඳෙන්න සලස්වමින් ඔහුගේ හේවායන්ට බබිලෝනිය නුවරට ඇතුල් වෙන්න සැලසුම් යොදයි. බබිලෝනියේ ඇළ මාර්ග හරහා නිතරම එහාට මෙහාට යන දහස් සංඛ්‍යාත හබල් නැව් මෙන්ම බබිලෝනියේ දෙවිවරුන්ව එහා මෙහා ගෙන යන පාරු පදවන බබිලෝනීය වෙළඳුන් තමන්ගේ බලවත් නුවරේ වැටීම ගැන ලතෝනි තියයි. රතු මුහුදේ අතුරුදහන් වූ ඵාරාවෝගේ යුධ අශ්ව රථ මෙන්, බබිලෝනියේ රථද අන්ත අසරණ තත්වයකට පත් වේ. ඇයව බේරාගැනීමට ඒවාට නොහැක. ලාම්පුවක ඇති දුම් නඟින පහන් තිරයක් නිවන්න පහසු වන්නා සේ, ආක්‍රමණිකයා විසින් ඔහුට විරුද්ධව එන ඕනෑම කෙනෙකුගේ ජීවිත පහසුවෙන්ම නැති කර දමයි.

යෙහෝවා තම සෙනඟව සුරක්ෂිතව මව්බිම කරා ගෙනෙයි

17, 18. (අ) යෙහෝවා පුරෝකථනය කළ “අලුත්” දේවල් මොනවාද? (ආ) සෙනඟ පුරාණයේ දේවල් අමතක කළ යුත්තේ කිනම් අර්ථයෙන්ද? ඒ මන්ද?

17 යෙහෝවා තමා කලින් කළ ගැළවීමේ ක්‍රියාවන් ඔහු ඊළඟට කරන දේ සමඟ සන්සන්දනය කරමින් මෙසේ කියයි. “පළමු කාරණ සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න. බලව, මම අමුතු [අලුත්, නව අනුවාදය] දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි. මා විසින් තෝරාගත් මාගේ සෙනගට වතුර දෙන්ට මම කාන්තාරයෙහි වතුරද වනයෙහි ගංගාද දෙන නිසා, සිවලුන්ද පැස්බරුන්ද ඇතුළුව වනයේ සත්වයෝ මට ගෞරවකරන්නෝය. මා විසින් මටම උපදවාගත් ඒ සෙනග මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත.”—යෙසායා 43:18-21.

18 “පළමු කාරණ සිහි නොකරන්න” කියා කියද්දී යෙහෝවා කලින් කළ ගැළවීමේ ක්‍රියා තම සේවකයන් විසින් අමතක කළ යුතුයි කියා පවසනවා නොවේ. ඇත්තෙන්ම, මෙවැනි ක්‍රියාවන් බොහොමයක් පිළිබඳ වාර්තා දේවානුභාවයෙන් ලේඛනගත කළ ඉශ්‍රායෙල් ඉතිහාසයේ කොටසක් වී තිබේ. ඒ විතරක් නොව, මිසරයෙන් මිදී ඒම වසරක් වසරක් පාසා සමරන්න කියාද යෙහෝවා අණ කළේය. (ලෙවී කථාව 23:5; ද්විතීය කථාව 16:1-4) කෙසේවෙතත්, දැන් යෙහෝවා තමන්ගේ සෙනඟට “අලුත් දෙයක්” අද්දකින්න සැලැස්වීමෙන් තමාව ගෞරවයට පත් කරයි. මෙය ඔවුන් විසින්ම අද්දකින දෙයකි. මීට බබිලෝනියෙන් ඔවුන්ගේ මිදීම පමණක් නොව, ඔවුන්ගේ මව්බිම කරා සමහරවිට ඍජු කාන්තාර මාර්ගයක් ඔස්සේ ගිය ආශ්චර්යවත් ගමනද ඇතුළත් වේ. ඒ පාළු දේශයේදී යෙහෝවා බලවත් ක්‍රියා කරමින් ඔවුන්ට ‘මඟ පෙන්වනු’ ඇත. ඒ ක්‍රියා මෝසෙස්ගේ කාලයේදී ඉශ්‍රායෙල් අද්දුටු තත්වය මතක් කර දේ. ඇත්තෙන්ම, යෙහෝවා කාන්තාරයේදී ඔවුන්ගේ කුස පුරවනවා පමණක් නොව කාන්තාරය හරහා ගලා යෑමට සලස්වන සැබෑ ගංගාවලින් ඔවුන්ගේ පිපාසයද නිවයි. යෙහෝවා බහුල ලෙස කරන සැපයුම් හේතුවෙන් වන සතුන් පවා යෙහෝවාට ගෞරව කරන්නේය. එමෙන්ම උන් සෙනඟට හානි කරන්නේද නැත.

19. ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටස සහ ඔවුන්ගේ සෙසු හවුල්කරුවන් ‘ශුද්ධකමේ මාර්ගයේ’ ගමන් කරන්නේ කෙසේද?

19 ඒ හා සමානව, 1919දී ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටස බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් වූ අතර, යෙහෝවා සූදානම් කළ මඟක් ඔස්සේ එනම්, ‘ශුද්ධකමේ මාර්ගයක’ ඔවුන් ගමන් කරන්න පටන්ගත්තේය. (යෙසායා 35:8) මාස කිහිපයක් ඇතුළත යෙරුසලම වෙත පැමිණීමෙන් අතීත ඉශ්‍රායෙල්වරුන්ගේ ගමන නිම විය. එහෙත්, ආත්මික ඉශ්‍රායෙල්ගේ ගමන එසේ නිම වූයේ නැත. ඔවුන්ට ගිනියම් වූ වැලිකතරේ ගමන් කිරීමට අවශ්‍ය වූයේද නැත. කෙසේවෙතත් මේ “ශුද්ධකමේ මාර්ගය” ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි අයට මඟ පෙන්වූයේ ආත්මික පාරාදීසයකටයි. දැන් පවතින මේ ක්‍රමය තුළ ඔවුන්ට ජීවත් වීමට සිදු වන නිසා ඔවුන්ට එම ‘ශුද්ධකමේ මාර්ගයේ’ දිගටම රැඳී සිටින්න සිදු වේ. ඔවුන් එම මාර්ගයේ රැඳී සිටින තාක් කල්, එනම් දෙවිගේ පවිත්‍රකම සහ ශුද්ධකම පිළිබඳ ප්‍රමිති රකින තාක් කල් ඔවුහු ආත්මික පාරාදීසය තුළ සිටිති. ‘ඉශ්‍රායෙල් නොවන’ සෙසු ඇදහිලිවන්ත සාමාජිකයන්ගෙන් යුත් මහත් සමූහයක් සමඟ හවුල්ව කටයුතු කිරීමට ලැබීම ඔවුන්ගේ ප්‍රීතියට මොනතරම් හේතුවක්ද! සාතන්ගේ ක්‍රමය දෙස බලා සිටින අයට වෙනස්ව, ආලේප ලත් ඉතිරි කොටසට අයිති අය හා ඔවුන්ගේ සෙසු හවුල්කරුවෝ දිගින් දිගටම යෙහෝවා සපයා දෙන මහත් ආත්මික මංගල්‍යයෙන් භුක්ති විඳිති. (යෙසායා 25:6; 65:13, 14) යෙහෝවා තම සෙනඟට කර ඇති ආශීර්වාද දකින මෘග ගති ඇති බොහෝදෙනෙකු තමන්ගේ ජීවිත මාර්ග වෙනස් කරගනිමින් සැබෑ දෙවිට ගෞරවය ගෙනැවිත් තිබේ.—යෙසායා 11:6-9.

යෙහෝවා තමාගේ වේදනාව හෙළි කරයි

20. යෙසායාගේ කාලයේ සිටි ඉශ්‍රායෙල්වරුන් යෙහෝවාව වේදනාවට පත් කළේ කෙසේද?

20 යෙසායාගේ කාලයේ සිටි දුෂ්ට පරම්පරාව සමඟ සන්සන්දනය කරද්දී නැවත පිහිටෙවූ ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටස සෑහෙන වෙනස් කණ්ඩායමක්ව සිටියෝය. එම දුෂ්ට පරම්පරාව ගැන යෙහෝවා මෙසේ පවසයි. “එහෙත්, යාකොබ්, නුඹ මට යාච්ඤා නොකෙළෙහිය; ඉශ්‍රායෙල්, නුඹ මා ගැන කලකිරුණෙහිය. නුඹේ දවන පූජාවල එළු බැටළුවන් නුඹ මට ගෙනාවේවත් නුඹේ යාගවලින් මට ගෞරව කළේවත් නැත. මම ආහාර පූජාවලින් නුඹට බරක් නොවීමි, දුම් පූජාවලින් නුඹ නොවෙහෙසීමි. නුඹ මට සුවඳ දඬු මිලේටගත්තේවත් නුඹේ පූජාවල තෙලෙන් මා තෘප්තියට පැමිණෙවුවේවත් නැත. නුඹේ පාපවලින් නුඹ මට බරක්වී, නුඹේ අයුතුකම්වලින් මා වෙහෙසෙවුවා පමණක්ය.”—යෙසායා 43:22-24.

21, 22. (අ) යෙහෝවා ඉල්ලා සිටින දේවල් කිරීම බරක් නොවේයයි කිව හැක්කේ මන්ද? (ආ) සෙනඟ යෙහෝවා ලවා තමන්ට සේවය කරගැනීමට උත්සාහ ගත්තේ කෙසේද?

21 “මම ආහාර පූජාවලින් නුඹට බරක් නොවීමි, දුම් පූජාවලින් නුඹ නොවෙහෙසීමි” කියා කීමෙන් යෙහෝවා අදහස් කළේ, පූජාවන් සහ (පූජාවේ අංගයක් වන) සුවඳ දුම් ඔප්පු කිරීම අවශ්‍ය නැති බව නොවේ. ඇත්තෙන්ම ව්‍යවස්ථා ගිවිසුම යටතේ මේවා නමස්කාරය සඳහා අත්‍යවශ්‍ය අංගයන් විය. එමෙන්ම ශුද්ධ වූ ආලේප තෛලය සඳහා පාවිච්චි කළ සුවඳැති ද්‍රව්‍යයක් වූ ‘සුවඳ දඬුද’ කලින් ඒවා මෙන්ම අත්‍යවශ්‍ය අංගයක් විය. නමුත් ඉශ්‍රායෙල් ජනයා දේවමාළිගාවේ පිරිනමන සේවයේදී මේ වැදගත් අංග නොසලකා හැර තිබුණි. එහෙත් ප්‍රශ්නය වන්නේ, එවැනි අවශ්‍යතා ඉටු කිරීම සෙනඟට බරක් වූවාද යන්නයි. ඇත්තෙන්ම නැත! බොරු දෙවිවරුන් වෙනුවෙන් කළ පුද පූජා හා සසඳද්දී යෙහෝවා ඉල්ලා සිටින්නේ ඉතා සුළු දෙයක් පමණයි. උදාහරණයක් හැටියට, බොරු දෙවියෙකු වූ මොලෙක් ඉදිරියේදී දරුවන්ව පූජා කිරීම අවශ්‍ය විය. නමුත් එවැනි දෙයක් යෙහෝවා දෙවිට කිසිමදාක අවශ්‍ය වූයේ නැත.—ද්විතීය කථාව 30:11; මීකා 6:3, 4, 8.

22 ඉශ්‍රායෙල්වරුන්ට ආත්මික දෘෂ්ටියක් තිබුණා නම්, ඔවුන් කිසිමදාක ‘යෙහෝවා ගැන කලකිරෙන්නේ නැත.’ ඔවුන් දෙවිගේ ව්‍යවස්ථාව දෙස ඕනෑකමින් බැලුවා නම්, යෙහෝවා ඔවුන් කෙරෙහි දක්වා තිබූ ගැඹුරු ප්‍රේමය ඔවුන් දකින අතර, එතුළින් ඔවුන් පුදන පූජාවල ඉතාම වැදගත් කොටස වන ‘තෙල’ කැමැත්තෙන්ම ඔහුට ඉදිරිපත් කරන්න ඔවුන් පෙලඹේ. නමුත් ඔවුන් කළේ තෙල් කොටස කෑදර ලෙස ඔවුන් ළඟ තබාගැනීමයි. (ලෙවී කථාව 3:9-11, 16) මේ දුෂ්ට ජාතිය ඔවුන්ගේ පාපවලින් යෙහෝවා මත අනිසි බරක් පැටවූ ආකාරය ගැන සිතා බලන්න. එසේ කිරීම මගින් ඔවුන් උත්සාහ කළේ යෙහෝවා ලවා තමන්ට සේවය කරගැනීමටයි.—නෙහෙමියා 9:28-30.

හික්මවීම ඵලදායකයි

23. (අ) යෙහෝවා සපයන හික්මවීම ඒ තරම්ම උචිත වන්නේ මන්ද? (ආ) දෙවි විසින් ඉශ්‍රායෙල්වරුන්ට දෙන හික්මවීමට අයත් වන්නේ කුමක්ද?

23 හික්මවීම දැඩි ස්වරූපයක් ගත්තත්, එය ලැබීමට ඔවුන් සුදුසු තත්වයේ සිටියි. යෙහෝවා ලබා දෙන හික්මවීම තුළින් සෑමවිටම ඔහු ඉටු කිරීමට බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට වන අතර, දයාව පෙන්වීමටද එතුළින් මං විවර වේ. “මම, මමම, මා නිසා නුඹේ පාපවල් සිහි නොකොට, නුඹේ වරද මකාදමන [තැනැත්තාය]. මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න. නුඹේ මුල් පියා පව්කෙළේය, නුඹේ තානාපතියෝද [තෝල්කයෝද, NW පාදසටහන] මට විරුද්ධව වරදකළෝය. එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් [විනාශයටත්, NW] ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.” (යෙසායා 43:25-28) ලෝකයේ අනිකුත් සියලුම ජාතීන් මෙන් ඉශ්‍රායෙල් ජාතියද පැවතෙන්නේ ‘මුල් මිනිසා වූ’ ආදම්ගෙනි. ඒ නිසා කිසිම ඉශ්‍රායෙල්වරයෙකුට තමන් ‘ධර්මිෂ්ඨයි’ කියා පැවසීමට නොහැක. ඉශ්‍රායෙල්හි “තානාපතියෝ” එනම් ඔවුන්ගේ ව්‍යවස්ථාව උගන්වන ගුරුවරු සහ එය තේරුම් කර දෙන්නන් වැනි අය පවා යෙහෝවාට විරුද්ධව පව් කරමින් බොරු ඉගැන්වූහ. ඒ හේතුවෙන් යෙහෝවා මුළු ජාතියවම ‘විනාශයටත් නින්දාවටත්’ පාවා දෙන්නේය. තවදුරටත්, ඔහු “ශුද්ධස්ථානයේ” සේවය කරන අයව පවා නින්දාවට ලක් කරයි.

24. අතීතයේදීත් වර්තමානයේදීත් යෙහෝවා තම සෙනඟට සමාව දීමට ප්‍රධාන හේතුව කුමක්ද? එහෙත් ඔවුන් කෙරෙහි ඔහුට ඇත්තේ කිනම් ආකාරයේ හැඟීමක්ද?

24 ඉශ්‍රායෙල්වරුන්ට දිව්‍ය දයාව ලැබෙන්නේ ඔවුන් දක්වන පසුතැවිල්ල නිසා පමණක්ම නොවේ. යෙහෝවා දයාව පෙන්වන්නේ තම නාමය මහිමවත් කිරීමටයි. ඔහු ඉශ්‍රායෙල්වරුන්ට සදාකාලයටම වහල්භාවයේ සිටින්න හැරියා නම්, ඔවුන් දෙස බලන්නන් ඔහුගේ නාමය නින්දාවට පත් කරනවා නිසැකයි. (ගීතාවලිය 79:9; එසකියෙල් 20:8-10) ඒ හා සමානව අදදිනත්, යෙහෝවාගේ නාමය විශුද්ධි කිරීම සහ ඔහුගේ පරමාධිපත්‍යයට එල්ල වී තිබෙන චෝදනාවලින් ඔහුව නිදොස් කිරීම සම්බන්ධයෙන් සලකා බලද්දී, මිනිසාගේ ගැළවීමට ලැබෙන්නේ දෙවැනි තැනයි. එසේ වුණත්, යෙහෝවා පැකිලීමකින් තොරව තම හික්මවීම පිළිගන්න අයටත් ඔහුට ආත්මයෙන් සහ සැබෑකමින් නමස්කාර කරන අයටත් ප්‍රේමය පෙන්වන්නේය. ආලේප ලත් අය වුණත්, වෙනත් බැටළුවන් වුණත්, මෙවැනි අයට යේසුස් ක්‍රිස්තුස්ගේ පූජාවේ පදනම මත පව්වලට සමාව ලබා දීමෙන් ඔවුන්ට ප්‍රේම කරන බව යෙහෝවා පෙන්වයි.—යොහන් 3:16; 4:23, 24.

25. නුදුරු අනාගතයේදී යෙහෝවා කරන්නේ කිනම් ආකාරයේ පුදුමාකාර ක්‍රියාද? ඒ සඳහා අපේ අගය කිරීම දැන් පෙන්විය හැක්කේ කෙසේද?

25 තවදුරටත්, තම පක්ෂපාත සේවකයන් වන මහත් සමූහය වෙනුවෙන් අලුතෙන් යමක් කිරීමෙන්, එනම් ඔවුන්ව ‘මහත් පීඩාවෙන්’ ගළවාගෙන පිරිසිදු කරන ලද ‘අලුත් පොළොවකට’ ගෙන යෑම මගින් යෙහෝවා ඔවුන්ට ප්‍රේමය පෙන්වන්නේය. (එළිදරව් 7:14; 2 පේතෘස් 3:13) එය සිදුවීමේදී මිනිසා විසින් මෙතෙක් දැක ඇති යෙහෝවාගේ බලයේ අති අසාමාන්‍යම සිදුවීමට ඔවුන් සාක්ෂිකරුවන් වේ. එම සිදුවීමේ එක් අරමුණක් වන්නේ, ආලේප ලත් ඉතිරි අයට සහ මහත් සමූහයට අයත් වන්නාවූ අයට සෑම දිනකම ප්‍රීතියෙන්, “නුඹලා මාගේ සාක්ෂිකාරයෝ” යයි පවසමින් යෙහෝවා දුන් අතිඋත්කෘෂ්ට මෙහෙය ඉටු කිරීමට හැකියාව ලබා දීමයි.—යෙසායා 43:10.

[පාදසටහන]

^ ජාතීන්ගේ මිථ්‍යා කථාවලට අනුව බොහෝ දෙවිවරුන් “ඉපදුණු” බව පමණක් නොව, ඔවුන්ට “දරුවන්ද” සිටි බව කියැවේ.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[48, 49වන පිටුවේ පින්තූරය]

යුදෙව්වන් නැවත ඔවුන්ගේ මව්බිම කරා යන ගමනේදී යෙහෝවා ඔවුන්ට උපකාර කරයි

[52වන පිටුවේ පින්තූර]

තම දෙවිවරුන් වෙනුවෙන් සාක්ෂි දෙන්න කියා යෙහෝවා ජාතීන්ට අභියෝග කරයි

1. බාල් වෙනුවෙන් ඉදි කළ ලෝකඩ පිළිමයක් 2. මැටියෙන් තනන ලද කුඩා අෂ්ටාරොත් පිළිම 3. මිසරයේ හෝරස්, ඔසිරිස් සහ අයිසිස්ගෙන් සෑදුණු ත්‍රිත්වය 4. ග්‍රීක් දෙවිවරුන් වන ඇතීනා (වමේ) සහ ඇෆ්‍රොඩයිටී

[58වන පිටුවේ පින්තූර]

‘නුඹලා මාගේ සාක්ෂිකරුවන්ය!’—යෙසායා 43:10