Skip to content

පටුනට යන්න

පසුතැවිල්ලේ යාච්ඤාවක්

පසුතැවිල්ලේ යාච්ඤාවක්

විසිපස්වන පරිච්ඡේදය

පසුතැවිල්ලේ යාච්ඤාවක්

යෙසායා 63:15–64:12

1, 2. (අ) දිව්‍ය දඬුවමේ අරමුණ කුමක්ද? (ආ) යෙහෝවාගේ දඬුවම ලැබූ පසු යුදෙව්වන්ට කළ හැකි තේරීම කුමක්ද?

 පොදු යුගයට පෙර 607දී සිදු වූ යෙරුසලමේ සහ දේවමාළිගාවේ විනාශය යෙහෝවාගෙන් ලද දඬුවමක් විය. එය ඔහුගේ අනුමැතිය සම්පූර්ණයෙන්ම නැති වී යෑමේ ප්‍රතිඵලයකි. අකීකරු යුදෙව් ජාතිය එවන් දරුණු දඬුවමක් ලැබිය යුතු විය. එහෙත්, යුදෙව්වන් සමූලඝාතනයකට ලක් කිරීම යෙහෝවාගේ අරමුණ නොවීය. යෙහෝවා මෙසේ දඬුවම් කළේ තම සෙනඟව හික්මවීමේ අරමුණින් බව අඟවමින් ප්‍රේරිත පාවුල් මෙසේ කියයි. “කිසි දඬුවමක් ලබන කල ඒක ශෝකයට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් පෙනෙන්නේ නැත. නුමුත් පසුව එයින් පෙළුණු තැනැත්තන්ට ධර්මිෂ්ඨකමේ සමාදාන ඵල හටගන්නේය.”—හෙබ්‍රෙව් 12:11.

2 මෙම කටුක අද්දැකීමට යුදෙව්වන් ප්‍රතිචාරය දක්වනු ඇත්තේ කෙසේද? ඔවුන් යෙහෝවා දෙන හික්මවීමට වෛර කරාවිද? (ගීතාවලිය 50:16, 17) එසේ නැත්නම්, ඔවුන් එය තමන්ට ලැබෙන පුහුණුවක් සේ සලකාවිද? ඔවුන් පසුතැවිලි වී යථා සුවය ලබාගනීවිද? (යෙසායා 57:18; එසකියෙල් 18:23) අඩුම තරමින් යූදාහි මුල් වැසියන්ගෙන් අතළොස්සක්වත් මේ හික්මවීමට යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇති බව යෙසායාගේ අනාවැකියෙන් අඟවයි. යෙසායා හැටතුන්වන පරිච්ඡේදයේ 15-19 අග ඡේදවල සිට යෙසායා 64වන පරිච්ඡේදයේ අවසානය දක්වා යූදා ජාතියව හඳුන්වා දෙන්නේ හෘදයාංගම කන්නලව්වෙන් යෙහෝවා වෙතට ආ තැළුණු හදවත් ඇති සෙනඟක් ලෙසයි. අනාගතයේදී වහල්භාවයට යන තම රටවැසියන් වෙනුවෙන් අනාගතවක්තෘ යෙසායා පසුතැවිල්ලේ යාච්ඤාවක් ඉදිරිපත් කරයි. ඉදිරියේ ඇති දේ ඔහුගේ ඇස් පනාපිටම සිදු වෙමින් තිබෙන්නාක් මෙන් ඔහු යාච්ඤා කරයි.

දයානුකම්පිත පියෙක්

3. (අ) යෙසායාගේ අනාවැකිමය යාච්ඤාව යෙහෝවාව ගෞරවයට පත් කරන්නේ කෙසේද? (ආ) යෙසායාගේ අනාවැකිමය යාච්ඤාවෙන් බබිලෝනියේ සිටින පසුතැවිලි වූ යුදෙව්වන්ගේ හැඟීම් ප්‍රකාශ වන බව, දානියෙල්ගේ යාච්ඤාවෙන් පෙන්වන්නේ කෙසේද? (362වන පිටුවේ ඇති කොටුව බලන්න.)

3 යෙසායා යෙහෝවාට මෙසේ යාච්ඤා කරයි. “ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබගේ ශුද්ධකම සහ තේජසේ නිවාසයේ සිට බැලුව මැනව.” අනාගතවක්තෘවරයා මෙහිදී කතා කරන්නේ යෙහෝවා සහ ඔහුගේ අදෘශ්‍යමාන ආත්ම මැවිලි වසන ස්වර්ගය ගැනයි. වහල්භාවයේ සිටින යුදෙව්වන්ගේ හැඟීම් හෙළි කරමින් යෙසායා තවදුරටත් මෙසේ කියයි. “ඔබගේ ජ්වලිතකම සහ බලවත් ක්‍රියා කොයිද? මා කෙරෙහි වූ ඔබගේ දයාවද [ප්‍රේමයද, නව අනුවාදය] අනුකම්පාද නැවතී තිබේ.” (යෙසායා 63:15) යෙහෝවා කලින් තම සෙනඟ කෙරෙහි ගැඹුරු ප්‍රේමයක් පෙන්වා තිබිණ. එමෙන්ම ඔහු ඔවුන් වෙනුවෙන් තම බලයද පාවිච්චි කළේය. නමුත් දැන් ඔහු එසේ නොකරයි. ‘ඔවුන් කෙරෙහි වූ ඔහුගේ ප්‍රේමයද අනුකම්පාවද පහ වී ගොසිනි.’ එසේ වුවද යෙහෝවා, තවමත් යුදෙව්වන්ගේ “පියා” වේ. මියගොස් සිටින ඔවුන්ගේම පියවරුන් වූ ආබ්‍රහම් සහ ඉශ්‍රායෙල්ව (යාකොබ්) නැවත නැඟිට්ටෙව්වා නම්, නිසැකවම ඔවුන් ඇදහිල්ල අත්හැර ගොස් සිටින මේ පරම්පරාව හෙළා දකිනු ඇත. එහෙත්, යෙහෝවා ඊට වඩා දයානුකම්පිතය. (ගීතාවලිය 27:10) මේ සම්බන්ධයෙන් කෘතඥපූර්වක හදවතින් යෙසායා මෙසේ යාච්ඤා කරයි. “[යෙහෝවා], ඔබම අපේ පියාණෝය, අපේ මිදුම්කාරයාණෝය; එය පුරාණයේ සිට ඔබගේ නාමයය.”—යෙසායා 63:16.

4, 5. (අ) යෙහෝවා තම සෙනඟට ඔවුන්ගේ මාර්ගවලින් මුළාව යන්න සලස්වන්නේ කිනම් අර්ථයෙන්ද? (ආ) යෙහෝවාට ඕනෑ කරන්නේ කිනම් ආකාරයේ නමස්කාරයක්ද?

4 යෙසායා හද පත්ලෙන්ම යෙහෝවාට මෙසේ කියයි. “[යෙහෝවා], ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව.” (යෙසායා 63:17) ඔව්, යෙසායා යෙහෝවාට යාච්ඤා කරන්නේ, නැවත වරක් ඔහුගේ සේවකයන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලමිනි. කෙසේවෙතත්, යෙහෝවා යුදෙව්වන්ට ඔහුගේ මාර්ගවලින් මුළාව යන්න සලස්වන්නේ කිනම් අර්ථයෙන්ද? යෙහෝවා කෙරෙහි භය නැති වන තරමටම ඔවුන්ගේ සිත් දැඩිවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ යෙහෝවාද? නැත, කොහෙත්ම නැත. එහෙත් යෙහෝවා ඊට ඉඩහරින අතර, ඔවුන්ට එවන් නිදහස් කැමැත්තක් දීම ගැන යුදෙව්වෝ දැන් යෙහෝවාට විලාප නඟන්නෝය. (නික්මයාම 4:21; නෙහෙමියා 9:16) යෙහෝවා මැදිහත් වී වැරදි කිරීමෙන් ඔවුන්ව වළක්වාගත්තා නම් කොතරම් හොඳදැයි ඔවුහු සිතති.

5 කෙසේවෙතත්, යෙහෝවා මිනිසුන් සමඟ එසේ ක්‍රියා නොකරන්නේය. අප සැවොම නිදහස් කැමැත්ත ඇති ජීවීන්ය. ඔහුට අවනත වෙනවාද නැද්ද කියා තීරණය කිරීමට යෙහෝවා අපට ඉඩ දී ඇත. (ද්විතීය කථාව 30:15-19) යෙහෝවාට ඕනෑ කරන්නේ පවිත්‍ර ප්‍රේමයෙන් පෙලඹුණු හදවතකින් සහ මනසකින් ඉදිරිපත් කරන නමස්කාරයකි. එමනිසා, තමන්ගේ නිදහස් කැමැත්ත පාවිච්චි කරන්න යෙහෝවා යුදෙව්වන්ට ඉඩහළේය. එයින් සිදු වූයේ ඔවුන් ඔහුට විරුද්ධව කැරලිගැසීම වුවත්, යෙහෝවා ඊට ඉඩ දුන්නේය. යෙහෝවා ඔවුන්ගේ සිත් දැඩි කළා යන්නෙන් අදහස් කරන්නේ එයයි.—2 ලේකම් 36:14-21.

6, 7. (අ) යුදෙව්වන් යෙහෝවාගේ මාර්ගය අතහැරීමේ ප්‍රතිඵලය කුමක්ද? (ආ) ඔවුන් කළ නිෂ්ඵල ප්‍රාර්ථනය කුමක්ද? යුදෙව්වන්ට අයිතියක් නොතිබුණේ කුමක් කිරීමටද?

6 එහි ප්‍රතිඵලය කුමක් වීද? යෙසායා අනාවැකිමය ආකාරයකට මෙසේ කීවේය. “ස්වල්ප කලකට ඔබගේ ශුද්ධවූ සෙනග එය භුක්තිවින්දෝය. අපේ එදිරිකාරයෝ ඔබගේ ශුද්ධස්ථානය පාගාදැමුවෝය. අපි ඔබ විසින් කිසිකලක ආණ්ඩු නොකළවුන් මෙන්ද ඔබගේ නාමය නොදැරූ අය මෙන්ද වී සිටිමු.” (යෙසායා 63:18, 19) යෙහෝවාගේ සෙනඟ ටික කලකට ශුද්ධස්ථානය උරුම කරගෙන සිටියහ. ඉන්පසු එය විනාශ කර තම සෙනඟව වහල්භාවයට ගෙන යෑමට යෙහෝවා ඉඩහැරියේය. එසේ සිදු වූ විට, එය හරියට යෙහෝවාත් ආබ්‍රහම්ගේ වංශයත් අතර ගිවිසුමකින් කිසිම බැඳීමක් තිබුණේවත් ඔවුන් දෙවිගේ නම දැරුවේවත් නැත්තාක් මෙන් විය. බබිලෝනියේ සිටින යුදෙව්වෝ දැන් තම බලාපොරොත්තු සුන්වීම ගැන මෙසේ කෑමොර ගසති. “අහෝ ඔබගේ එදිරිකාරයන්ට ඔබගේ නාමය දන්වන පිණිසද ඔබ ඉදිරියෙහි ජාතීන් වෙවුලන පිණිසද [ඔබ] අහස පළාගන බසින්ටත්, ගින්න කැළෑව දල්වන්නාක්මෙන්ද ගින්න වතුර උතුරවන්නාක්මෙන්ද ඔබ ඉදිරියෙන් කඳු දියවයන්ටත් යෙදුණොත් හොඳය!” (යෙසායා 64:1, 2) ඔවුන්ව ගළවාගැනීමට ඇත්තෙන්ම යෙහෝවාට බලය තිබේ. අහස වැනි පාලන ක්‍රම පළාගෙන කඳු මෙන් වූ අධිරාජ්‍යයන් බිඳ දමමින් පැමිණ තම සෙනඟ වෙනුවෙන් සටන් කිරීමට නිසැකවම ඔහුට හැකියාව තිබේ. තම සෙනඟ වෙනුවෙන් ගින්නක් මෙන් දැවෙන තම ජ්වලිතය පෙන්වීම තුළින්, ඔහුගේ නාමය සියල්ලන්ට දැනගැනීමට සැලැස්වීමට යෙහෝවාට හැකියාව ඇත.

7 යෙහෝවා එවැනි දේවල් අතීතයේදී කර තිබුණි. යෙසායා මෙය සිහියට නඟමින් මෙසේ කියයි. “අප බලා නොසිටිය භයානක දේ කරමින් ඔබ [බැස්සේය], ඔබ ඉදිරියේ කඳු දියව ගියේය.” (යෙසායා 64:3, 4අ) එවැනි මහත් ක්‍රියා තුළින් යෙහෝවාගේ බලය සහ දෙවිකම දැකගත හැකි විය. කෙසේවෙතත්, යෙහෝවා තමන් වෙනුවෙන් එවැනි දෙයක් කරයි කියා බලාපොරොත්තු වීමට යෙසායාගේ කාලයේ සිටි අභක්තික යුදෙව්වන්ට කිසිම අයිතියක් නොතිබිණ.

ගළවාගත හැක්කේ යෙහෝවාට පමණය

8. (අ) ජාතීන්ගේ බොරු දෙවිවරුන්ට වඩා යෙහෝවා වෙනස් වන එක් ආකාරයක් කුමක්ද? (ආ) යෙහෝවාට හැකියාව තිබුණත් තම සෙනඟව ගළවා නොගත්තේ මන්ද? (ඇ) පාවුල් යෙසායා 64:4 උපුටා දක්වමින් එය අදාළ කරන්නේ කෙසේද? (366වන පිටුවේ ඇති කොටුව බලන්න.)

8 බොරු දෙවිවරුන්ට තම නමස්කාරකයන්ගේ ගැළවීම වෙනුවෙන් කිසිම බලවත් ක්‍රියාවක් කිරීමට නොහැක. යෙසායා මෙසේ ලියයි. “තමන් ගැන බලා සිටින අය උදෙසා ක්‍රියා කරන්නාවූ ඔබ හැර වෙන දෙවි කෙනෙක් ඇති බවක් පුරාණයේ සිට අසන්ට යෙදුණේවත් කනට වැටුණේවත් ඇසින් දකින්ට යෙදුණේවත් නැත. ප්‍රීතිවී ධර්මිෂ්ඨකම් කරන්නාවූ, ඔබගේ මාර්ගවලදී ඔබ සිහිකරන්නාවූ අයට ඔබ [සම්බ වන්නේය].” (යෙසායා 64:4, 5අ) අවංකව තමන්ව ‘සොයන්නන්ට විපාක දෙන්නේ’ යෙහෝවා පමණයි. (හෙබ්‍රෙව් 11:6) ධර්මිෂ්ඨකම් කරන මෙන්ම ඔහුව සිහි කරන අයව යෙහෝවා ආරක්ෂා කරන්නේය. (යෙසායා 30:18) යුදෙව්වන් මේ ආකාරයට ක්‍රියා කර තිබුණිද? නැත. යෙසායා යෙහෝවාට මෙසේ කියයි. “මෙන්න, ඔබ [කෝප වූයේය]. අපි පව්කෙළෙමුව. බොහෝ කලක සිට අපි ඒවායේ පැවතුණෙමුව, අපට ගැළවීම ලැබේද?” (යෙසායා 64:5ආ) දෙවිගේ සෙනඟ දිගු කාලයක් පුරා පව්කාර ජීවිතයක් ගත කරමින් සිටි නිසා, යෙහෝවා තම සාධාරණ කෝපය වළක්වාගැනීමට හෝ ඔවුන්ව ගළවාගැනීමට කොහෙත්ම අවශ්‍ය නැත.

9. පසුතැවිලි වන යුදෙව්වන්ට කුමක් අපේක්ෂා කළ හැකිද? මෙයින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

9 යුදෙව්වන්ට තම අතීතය වෙනස් කිරීමට හැකියාවක් නැත. එහෙත්, ඔවුන් පසුතැවිලි වී පවිත්‍ර නමස්කාරය වෙතට යළි හැරුණොත් ඔවුන්ට සමාව පමණක් නොව අනාගත ආශීර්වාදද බලාපොරොත්තු විය හැක. පසුතැවිලිවන්නන්ව යෙහෝවා තමන් නියම කර ඇති කාලයේදී බබිලෝනියේ වහල්භාවයෙන් මුදා විපාක දෙන්නේය. පසුතැවිලි වුණත්, ඔවුන් ඉවසීමෙන් සිටිය යුතු විය. පසුතැවිලි වුණා කියා යෙහෝවා තම කාලසටහන වෙනස් කරන්න යන්නේ නැත. කෙසේවෙතත්, ඔවුහු යෙහෝවාගේ කැමැත්තට සාවධානීව ප්‍රතිචාරය දක්වත් නම්, අවසානයේදී ඔවුන්ට මිදීම ලැබෙන බවට ස්ථිර විය හැක. ඒ හා සමානව, අදදින සිටින ක්‍රිස්තියානීහුද යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටිති. (2 පේතෘස් 3:11, 12) අපි ප්‍රේරිත පාවුල් කී දේ හදට ගනිමු. “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.”—ගලාති 6:9.

10. යෙසායාගේ යාච්ඤාවේදී ඔහු අවංකවම පිළිගන්නේ ඔවුන්ට කුමක් කළ නොහැකි බවද?

10 යෙසායාගේ අනාවැකිමය යාච්ඤාව නිකම්ම පව් සමාව ඉල්ලීමකට වඩා වැඩි දෙයකි. ජාතියක් හැටියට තමන්වම ගළවාගැනීමට ඔවුන්ට කිසිම හැකියාවක් නැති බව එහි අවංකවම කියැවෙයි. අනාගතවක්තෘවරයා මෙසේ කියයි. “අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.” (යෙසායා 64:6) ඇදහිල්ල අත්හැර ගිය යුදෙව්වන් වහල්භාවය අවසන් වීමත් සමඟ පසුතැවිලි වූවා විය හැක. ඔවුන් ධර්මිෂ්ඨ ක්‍රියා කරමින් යෙහෝවා වෙත හැරුණා විය හැක. එහෙත් ඔවුන් තවමත් අසම්පූර්ණය. ඔවුන්ගේ යහපත් ක්‍රියා ප්‍රශංසනීය වුවත්, ඒවා ඔවුන්ගේ පව් පහ කර දැමීමට තරම් ප්‍රමාණවත් නැත. ඒවා කිලුටු වස්ත්‍රයක් හා සමානය. යෙහෝවාගෙන් සමාව ලැබීම ඔවුන්ට අත් කරගත හැකි දෙයක් නොවේ. ඒ වෙනුවට එය යෙහෝවාගේ දයාව නිසා ඔවුන්ට ලැබෙන ත්‍යාගයකි. ලබන්න නොවටිනා ත්‍යාගයකි!—රෝම 3:23, 24.

11. (අ) වහල්භාවයේ සිටි බොහෝ යුදෙව්වන් අතරේ පැතිර තිබූ සුවදායි නොවූ ආත්මික තත්වය කුමක්ද? එවැනි තත්වයක් ඇතිවීමට හේතුව කුමක් විය හැකිද? (ආ) වහල්භාවයේ සිටි කාලයේදී ඇදහිල්ලේ විශිෂ්ට ආදර්ශ ලෙස ක්‍රියා කළේ කවුද?

11 යෙසායා අනාගතය දෙස බලද්දී ඔහු දකින්නේ කුමක්ද? අනාගතවක්තෘවරයා මෙසේ යාච්ඤා කරයි. “ඔබගේ නාමය කියා යාච්ඤාකරන්නාවූ, ඔබ අල්වාගන්න පිණිස තමාම ප්‍රබෝධ කරගන්නාවූ කිසිවෙක් නැත. මක්නිසාද [ඔබ] ඔබගේ මුහුණ අපෙන් සඟවා අපේ අපරාධ නිසා අප දියව යන්ට [හැරියේය].” (යෙසායා 64:7) ජාතියේ ආත්මික තත්වය පවතින්නේ ඉතාම පහත් අඩියකය. සෙනඟ දෙවිගේ නම කියා යාච්ඤා කරන්නේද නැත. රූප නමස්කාරය නමැති බරපතළ පාපයට ඔවුන් තවදුරටත් හසු නොවුණත්, පෙනෙන විදිහට ඔවුන්ගේ නමස්කාරය ගැන නොසැලකිලිමත් වීම නිසා යෙහෝවාව සොයන “පිණිස තමාම ප්‍රබෝධ කරගන්නාවූ කිසිවෙක් නැත.” ඔවුන් මැවුම්කරු සමඟ සුවදායි සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ නැති බව පැහැදිලියි. සමහරවිට සමහරුන් යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කිරීමට තමන් සුදුසු නැති බව සිතනවා විය හැක. අනිත් අය ඔහු ගැන තකන්නේ නැතුව තම තමන්ගේ දෛනික වැඩ කටයුතුවල නිරතව සිටිත්. ඇත්ත වශයෙන්ම, වහල්භාවයේ සිටි දානියෙල්, හනනියා, මීෂායෙල්, අසරියා සහ එසකියෙල් වැනි අය ඉතාම ඇදහිලිවන්ත ආදර්ශ වූ බවට කිසිම සැකයක් නැත. (හෙබ්‍රෙව් 11:33, 34) අවුරුදු 70ක කාලපරිච්ඡේදය අවසානයකට ළඟා වන විට, හග්ගයි, සෙකරියා, සෙරුබ්බාබෙල් සහ උත්තම පූජක වූ යෝෂුවා වැනි අය යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කිරීමෙහි පෙරමුණ ගෙන සිටියහ. කෙසේවෙතත්, යෙසායාගේ අනාවැකිමය යාච්ඤාවෙන් විස්තර කර ඇත්තේ වහල්භාවයේ සිටි බහුතරයකගේ තත්වයයි.

‘පූජාවලට වඩා කීකරු වීම හොඳය’

12. වෙනස්කම් කිරීමට පසුතැවිලි වූ යුදෙව්වන් තුළ ඇති ආශාව ගැන යෙසායා කියන්නේ කුමක්ද?

12 පසුතැවිලි වූ යුදෙව්වෝ වෙනස් වීමට කැමැත්තෙන් සිටියහ. ඔවුන්ව නියෝජනය කරමින් යෙසායා යෙහෝවාට යාච්ඤා කරයි. “[යෙහෝවා], ඔබ අපේ පියාණෝය, අපි මැටිය, ඔබ අපේ කුම්භකාරයාය; අපි සියල්ලෝ ඔබගේ අතේ කර්මාන්තයය.” (යෙසායා 64:8) පියා නැතහොත් ජීවිත දානය කරන්නා හැටියට යෙහෝවා සතු අයිතිය මෙම වචනවලින් නැවත වරක් කාවද්දවයි. (යෝබ් 10:9) පසුතැවිලි වූ යුදෙව්වන් ඇඹිය හැකි මැටි මෙන්ය. යෙහෝවාගේ හික්මවීමට යහපත් ප්‍රතිචාරයක් දක්වන අයව දෙවිගේ ප්‍රමිතීන්ට අනුව හැඩගැස්විය හැක. එහෙත්, මෙය කළ හැක්කේ කුම්භකාරයා වන යෙහෝවා සමාව දුන්නොත් පමණි. මේ නිසා, යෙසායා දෙවතාවක්ම යෙහෝවාට ආයාචනා කරන්නේ යුදෙව්වන් ඔහුගේ සෙනඟ බව අමතක නොකරන ලෙසය. “[යෙහෝවා], ඉතා උදහස්නූවමැනව, අයුතුකම් සෑම කල්ම සිහිනොකළ මැනව, අනේ බැලුව මැනව, අපි සියල්ලෝම ඔබගේ සෙනගය.”—යෙසායා 64:9.

13. දෙවිගේ සෙනඟ වහල්භාවයේ සිටින කාලයේදී ඉශ්‍රායෙල්වරුන්ගේ දේශයේ පැවති තත්වය කුමක්ද?

13 මිථ්‍යා දෘෂ්ටික දේශයක වහලුන්ව සිටිනවාට අමතරව, වෙනත් ආකාරයේ පීඩා බොහොමයක් විඳින්නද යුදෙව්වන්ට සිදු විය. යෙරුසලමේ සහ ඇගේ දේවමාළිගාවේ පවතින පාළු තත්වය ඔවුන්ටත් ඔවුන්ගේ දෙවිටත් නින්දාවක් ගෙනෙයි. මේ නින්දාවට හේතු වන දේවල් සමහරක් ගැන යෙසායාගේ පසුතැවිල්ලේ යාච්ඤාවේ සඳහන් වේ. “[ඔබගේ] ශුද්ධ නුවරවල් කාන්තාරයක්වී, සියොන් කාන්තාරයක්වී, යෙරුසලම පාළුවී තිබේ. අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.”—යෙසායා 64:10, 11.

14. (අ) එවකට පැවති තත්වය ගැන යෙහෝවා කලින් අනතුරු ඇඟවූයේ කෙසේද? (ආ) යෙහෝවා ඔහුගේ දේවමාළිගාව ගැනත් එහිදී පැවැත්වූ පූජාවන් ගැනත් ප්‍රසන්න වුවද, ඊට වඩා වැදගත් වූයේ කුමක්ද?

14 ඇත්ත වශයෙන්ම, යුදෙව්වන්ගේ පියවරුන්ගේ දේශයේ පැවති තත්වය ගැන යෙහෝවා නොදැන සිටියා නොවේ. යෙරුසලමේ විනාශය සිදුවීමට අවුරුදු 420කට පමණ පෙර, යෙහෝවා තම සෙනඟට අනතුරු අඟවමින් ඔහුගේ ආඥාවලින් ඉවතට හැරී වෙනත් දෙවිවරුන් පසුපස ගියොත්, ඔවුන්ව ‘දේශය මතුපිටින් සිඳදමන’ බවත් අලංකාර දේවමාළිගාව “නටබුන් ගොඩක් [NW]” කරන බවත් කියා සිටියේය. (1 රාජාවලිය 9:6-9) යෙහෝවා තම සෙනඟට දී තිබූ දේශය ගැනත්, ඔහුගේ ගෞරවය පිණිස සෑදූ උත්කෘෂ්ට දේවමාළිගාව ගැනත්, ඔහුට කළ පූජාවන් ගැනත් ඔහු මහත් සේ ප්‍රසන්නව සිටි බව ඇත්තයි. එහෙත් ද්‍රව්‍යමය දේවලට එනම්, පූජාවන්වලට වඩා වැදගත් වූයේ සෙනඟගේ පක්ෂපාතකම සහ කීකරුකමයි. මේ කාරණය පිළිබඳව අනාගතවක්තෘ සාමුවෙල්, සාවුල් රජුට ඉතා උචිත ආකාරයෙන් කියා දුන්නේය. “[යෙහෝවාගේ] හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් [යෙහෝවා ප්‍රසන්න වන්නේද?] පූජාවලට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.”—1 සාමුවෙල් 15:22.

15. (අ) යෙසායා යෙහෝවාගෙන් අනාවැකිමය ආකාරයෙන් ඉල්ලා සිටියේ කුමක්ද? ඊට ලැබුණු පිළිතුර කුමක්ද? (ආ) යෙහෝවා අවසානයේදී ජාතියක් හැටියට ඉශ්‍රායෙල්ව සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට හේතු වූයේ කුමක්ද?

15 එසේ වුවත්, ඉශ්‍රායෙල්ගේ දෙවිට තමන්ගේ පසුතැවිලි වූ සෙනඟගේ විපත්තිය දැක දැකත් අනුකම්පාවක් නොදක්වා නිකම් සිටිය හැකිද? යෙසායා ඔහුගේ අනාවැකිමය යාච්ඤාව අවසන් කරන්නේද එවැනිම ප්‍රශ්නයකිනි. වහල්භාවයේ සිටින යුදෙව්වන් වෙනුවෙන් ඔහු මෙසේ ඉල්ලා සිටියේය. ‘යෙහෝවා, ඔබ මේවා තිබෙද්දීත් නිකම් සිටින්නේද? ඔබ නිශ්ශබ්දව සිට අප තද දුකට පමුණුවන්නේද?’ (යෙසායා 64:12) කාලයාගේ ඇවෑමෙන් තත්වය වෙනස් වූ අතර, යෙහෝවා තම සෙනඟට සමාව දුන්නේය. පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවීමේ අරමුණින් ඔහු ඔවුන්ව පො.යු.පෙ. 537දී නැවතත් මව්බිම කරා ගෙනාවේය. (යෝවෙල් 2:13) කෙසේවෙතත්, සියවස් ගණනාවකට පසු, යෙරුසලම සහ එහි දේවමාළිගාව යළිත් වරක් විනාශ විය. එහිදී දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටි සෙනඟව දෙවි සම්පූර්ණයෙන්ම අත්හැර දැමුවේය. ඊට හේතුව කුමක්ද? යෙහෝවාගේ සෙනඟ ඔහුගේ ආඥාවලින් පිට පැන මෙසියස්ව හෙළා දැකීමයි. (යොහන් 1:11; 3:19, 20) එසේ වූ විට, යෙහෝවා ඉශ්‍රායෙල් වෙනුවට අලුත් ජාතියක් එනම් ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ යන නමින් ආත්මික ජාතියක් ඇති කරගත්තේය.—ගලාති 6:16; 1 පේතෘස් 2:9.

යෙහෝවා ‘යාච්ඤා අසන තැනැත්තාය’

16. යෙහෝවාගේ සමාව දීම ගැන බයිබලය කියන්නේ කුමක්ද?

16 ඉශ්‍රායෙල්වරුන්ට සිදු වූ දෙයින් වැදගත් පාඩමක් ඉගෙනගත හැකිය. එය යෙහෝවා ‘යහපත් මෙන්ම කමා වෙන්ට සූදානම්’ බව පෙන්වන්නේය. (ගීතාවලිය 86:5) අසම්පූර්ණ මනුෂ්‍යයන් හැටියට අපි ලබාගැනීම සඳහා, ඔහුගේ දයාව සහ සමාව දීම මත රඳා සිටින්නෙමු. අපේම ශක්තියෙන් මේ ආශීර්වාද අත් කරගැනීමට හැකියාවක් නැත. කෙසේවෙතත්, යෙහෝවා තම සමාව, ඔහේ දෙන්නම් වාලේ දෙන්නේ නැත. දිව්‍ය සමාව ලැබෙන්නේ තමන්ගේ පව්වලට පසුතැවිලි වී නැවත නිවැරදි මාර්ගය වෙත හැරෙන අයට පමණි.—ක්‍රියා 3:20.

17, 18. (අ) යෙහෝවා අපේ සිතුවිලි සහ හැඟීම් ගැන අව්‍යාජ උනන්දුවක් දක්වන බව අප දන්නේ කෙසේද? (ආ) පව්කාර මිනිසුන් කෙරෙහි යෙහෝවා ඉවසන්නේ ඇයි?

17 අප යාච්ඤාවෙන් අපේ සිතුවිලි සහ හැඟීම් යෙහෝවාට ප්‍රකාශ කළ විට ඔහු ඒවා ගැන ඉතා උනන්දුවක් දක්වන බවත් අපි ඉගෙනගන්නෙමු. “යාච්ඤා අසන [තැනැත්තා]” ඔහුය. (ගීතාවලිය 65:2) ප්‍රේරිත පේතෘස් අපට මෙසේ සහතික කළේය. “[යෙහෝවාගේ] ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් [ඔහුගේ] කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ.” (1 පේතෘස් 3:12) තවදුරටත්, පසුතැවිල්ලේ යාච්ඤාවකදී තමන්ගේ පාප යටහත් පහත් ලෙස හෙළි කළ යුතු බව අපි ඉගෙනගන්නෙමු. (හිතෝපදේශ 28:13) කෙසේවෙතත්, එසේ කර දෙවිගේ දයාවෙන් ප්‍රයෝජන ගත හැකියි කියා අයුතු ලෙස අපේක්ෂා නොකළ යුතුය. ක්‍රිස්තියානීන් ‘දෙවිගේ මහත් කරුණාව අයුතු ලෙස යොදා නොගැනීමට’ වගබලා ගත යුතුයයි බයිබලය පවසයි.—2 කොරින්ති 6:1, NW.

18 අවසාන වශයෙන්, යෙහෝවා තම පව්කාර සෙනඟ වෙනුවෙන් ඉවසන්නේ ඇයි කියා අපි ඉගෙනගන්නෙමු. යෙහෝවා ඉවසන්නේ “සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට [ඔහු] නොකැමැති” නිසා බව ප්‍රේරිත පේතෘස් කියා සිටියේය. (2 පේතෘස් 3:9) කෙසේවෙතත්, නොනවත්වාම දෙවිගේ ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරන අයට අවසානයේදී දඬුවම් ලැබේ. මේ ගැන අපට කියවීමට තිබෙන්නේ මෙසේය. ‘ඔහු සියලු මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාක දී, ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණීයභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙන්නේය; නුමුත් සැබෑකමට අකීකරු වූ, අධර්මිෂ්ඨකමට කීකරු වූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපය පැමිණෙන්නේය.’—රෝම 2:6-8.

19. යෙහෝවා සැමවිටම පෙන්වන වෙනස් නොවන ගුණාංග මොනවාද?

19 දෙවි පුරාණ ඉශ්‍රායෙල් සමඟ ක්‍රියා කළේ එලෙසයි. යෙහෝවා වෙනස් නොවන නිසා ඔහු හා සමඟ තිබෙන අපේ සම්බන්ධයද පාලනය වන්නේ එම ප්‍රතිපත්තිවලින්මය. දඬුවම් ලැබිය යුත්තාට දඬුවම් පැමිණෙව්වත්, යෙහෝවා සැමවිටම, ‘අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. ඔහු දහස් ගණනකට කරුණාව පවත්වන්නේය. අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමා කරන්නේය.’—නික්මයාම 34:6, 7.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[362වන පිටුවේ කොටුව/පින්තූර]

දානියෙල්ගේ පසුතැවිල්ලේ යාච්ඤාව

යුදෙව්වන් වහල්භාවයේ ගත කළ අවුරුදු 70 පුරාම අනාගතවක්තෘ දානියෙල් ජීවත් වූයේ බබිලෝනියේය. වහල්භාවයේ සිටි 68වන අවුරුද්දේදී පමණ, දානියෙල් යෙරෙමියාගේ අනාවැකිය අධ්‍යයනය කිරීමෙන් ඉශ්‍රායෙල්වරුන්ගේ වහල්භාවය නිමාවකට පැමිණෙන බව වටහාගත්තේය. (යෙරෙමියා 25:11; 29:10; දානියෙල් 9:1, 2) දානියෙල් යෙහෝවාට යාච්ඤා කරමින් මුළු ඉශ්‍රායෙල් ජාතිය වෙනුවෙන්ම පසුතැවිලි වූයේය. දානියෙල් මෙසේ කීවේය. ‘මම නිරාහාරව, ගෝණි රෙදිද අළුද ඇතුව, යාච්ඤාවෙනුත් කන්නලව්වලිනුත් සැබෑ දෙවි වූ යෙහෝවාව සොයන පිණිස මාගේ මුහුණ ඔහු දෙසට හරවා, මාගේ දෙවි වූ යෙහෝවාට යාච්ඤා කොට පව් කියා දුනිමි.’—දානියෙල් 9:3, 4.

දානියෙල් මේ යාච්ඤාව කළේ යෙසායා තමා ලියූ පොතේ 63වන සහ 64වන පරිච්ඡේද ලියා අවුරුදු 200කට පමණ පසුවය. වහල්භාවයේ සිටි දුෂ්කර කාලයේදී අවංක හදවත් ඇති යුදෙව්වන් බොහෝදෙනෙකු යෙහෝවාට යාච්ඤා කළ බවට සැකයක් නැත. කෙසේවෙතත්, බයිබලය දානියෙල්ගේ යාච්ඤාව උපුටා දක්වන්නේ එවකට සිටි ඇදහිලිවන්ත යුදෙව්වන් බොහෝදෙනෙකුගේ හැඟීම් එමගින් විස්තර කෙරෙන නිසා විය හැකිය. තවදුරටත්, දානියෙල්ගේ යාච්ඤාවෙන් පෙනෙන්නේ, බබිලෝනියේ සිටි ඇදහිලිවන්ත යුදෙව්වන්ගේ හැඟීම් යෙසායා අනාවැකිමය ආකාරයකින් ලියූ හැඟීම්වලට සමාන බවයි.

යෙසායාගේ යාච්ඤාවත් දානියෙල්ගේ යාච්ඤාවත් අතර ඇති සමානකම් සලකා බලන්න.

යෙසායා 63:16 දානියෙල් 9:15

යෙසායා 63:18 දානියෙල් 9:17

යෙසායා 64:1-4අ දානියෙල් 9:15

යෙසායා 64:4-7 දානියෙල් 9:4-7

යෙසායා 64:6 දානියෙල් 9:9, 10

යෙසායා 64:10, 11 දානියෙල් 9:16-18

[366වන පිටුවේ කොටුව]

“ඇසට නොපෙනුණේය”

ප්‍රේරිත පාවුල් යෙසායාගේ පොතෙන් කොටසක් උපුටා දක්වමින් කොරින්තිවරුන්ට මෙසේ කියයි. ‘ලියා තිබෙන ලෙස, දෙවි විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමිණුණේය.’ (1 කොරින්ති 2:9) * පාවුල්ගේ වචනවලින් හෝ යෙසායාගේ හැඟීම්වලින්, යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් ස්වර්ගයේ තබා තිබෙන උරුමය හෝ අනාගත භූමික පාරාදීසය අඟවන්නේ නැත. ඒ වෙනුවට පාවුල් යෙසායාගේ වචන අදාළ කරන්නේ, දෙවි පිළිබඳ ගැඹුරු කාරණා තේරුම්ගැනීම සහ යෙහෝවාගෙන් එන ආත්මික ඥානාලෝකය ලැබීම වැනි මුල් සියවසේ ක්‍රිස්තියානීන් ඒ වන විටත් භුක්ති විඳිමින් සිටි ආශීර්වාදවලටය.

අපට යෙහෝවා පිළිබඳ ගැඹුරු කාරණා තේරුම්ගත හැකි වන්නේ ඒවා එළිදරව් කිරීමට යෙහෝවා විසින් නියම කරන ලද කාලයේදී පමණයි. ඒ සඳහා අප යෙහෝවා සමඟ සමීප සම්බන්ධයක් තිබෙන ආත්මික පුද්ගලයන් විය යුතුය. මේ අනුව, පාවුල්ගේ වචන අදාළ වන්නේ ආත්මිකව දුර්වල හෝ ආත්මික දෘෂ්ටියක් ඇත්තේම නැති අයටය. ආත්මික සත්‍යතා ඔවුන්ගේ ඇසට පෙනෙන්නේ නැත යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ට ඒවා වටහාගැනීමට නොහැකි වීමය. එවැනි දේවල් ඔවුන්ගේ කනට ඇසෙන්නේ නැත යන්නෙන් අදහස් වන්නේ ඔවුන්ට ඒවා තේරුම්ගත නොහැකි වීමයි. දෙවිට ප්‍රේම කරන අය වෙනුවෙන් ඔහු සූදානම් කර තිබෙන දේවල් පිළිබඳ දැනුම එවැනි මිනිසුන්ගේ හදවත්වලට ඇතුල් වෙන්නේවත් නැත. එහෙත් පාවුල් වැනි දෙවිට කැප වූ අයට දෙවි මෙවැනි දේවල් ඔහුගේ ආත්මය කරණකොටගෙන එළිදරව් කර තිබේ.—1 කොරින්ති 2:1-16.

[පාදසටහන]

^ මෙය හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් වන්නේ පාවුල් උපුටා දක්වා ඇති ආකාරයටම නොවේ. පෙනෙන විදිහට ඔහු යෙසායා 52:15; 64:4 සහ යෙසා 65:17හි ඇති අදහස් එක් කර දක්වයි.

[367වන පිටුවේ පින්තූරය]

දෙවිගේ සෙනඟ යෙරුසලම සහ ඇගේ දේවමාළිගාව උරුම කරගෙන සිටියේ “ස්වල්ප කලකට” පමණි