Skip to content

පටුනට යන්න

‘ප්‍රීතියෙන් ඝෝෂා කරමින් එක්ව ගී ගයන්න’

‘ප්‍රීතියෙන් ඝෝෂා කරමින් එක්ව ගී ගයන්න’

දහතුන්වන පරිච්ඡේදය

‘ප්‍රීතියෙන් ඝෝෂා කරමින් එක්ව ගී ගයන්න’

යෙසායා 52:1-12

1. යෙසායා 52වන පරිච්ඡේදයේ ඇති අනාවැකි වදන් ප්‍රීතියේ උල්පතක් වන්නේ මන්ද? එහි අන්තර්ගත ඉටුවීම් දෙක කුමක්ද?

 ගැළවීම! වහලුන්ට ඊට වඩා හොඳ බලාපොරොත්තුවක් තබාගත හැකිද? ගැළවීම සහ යළි පිහිටුවීම යනු යෙසායා පොත පුරා දිවෙන ප්‍රධාන මාතෘකාවකි. එසේ නම් ගීතාවලිය පොතට අමතරව, වෙන කොතැනකවත් නැති තරම් ප්‍රීතිය පළ කරන ප්‍රකාශයන් යෙසායා පොතෙහි දක්නට ලැබීම පුදුමයට කාරණයක් නොවේ. විශේෂයෙන්ම යෙසායා 52වන පරිච්ඡේදයෙහි දෙවිගේ සෙනඟට ප්‍රීතිවීමට හේතුවක් සපයයි. එහි අඩංගු අනාවැකිමය වදන් යෙරුසලම සම්බන්ධයෙන් ඉටු වූයේ පො.යු.පෙ. 537දීය. යෙහෝවාගේ ආත්මික මැවිලිවලින් සමන්විත ස්වර්ගීය සංවිධානය නැතහොත් “ඉහළ තිබෙන යෙරුසලම” හා බැඳි වඩා පුළුල් ඉටුවීමක්ද ඒවායෙහි අන්තර්ගතය. ඉහළ තිබෙන යෙරුසලම සමහර අවස්ථාවලදී මවක් සහ භාර්යාවක් ලෙසද විස්තර කර ඇත.—ගලාති 4:26; එළිදරව් 12:1.

‘සියොන් ඔබේ බලය පැළඳගන්න’

2. සියොන් පිබිදෙන්නේ කිනම් අවස්ථාවේදීද? මෙය සිදු වන්නේ කෙසේද?

2 යෙහෝවා යෙසායා තුළින් තමන්ගේ හදවතට සමීප නුවර වන සියොනට කතා කර මෙසේ කියයි. “සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මච්ඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය. යෙරුසලම, නුඹ ධූලි ගසාදමා, නැගිට වාඩිවෙන්න. වාලියෙක්වූ සියොන් දුව, නුඹේ බෙල්ලේ බැඳුම් ගළවා දමන්න.” (යෙසායා 52:1, 2) යෙරුසලමේ සෙනඟ යෙහෝවාගේ උදහස ඇවිළූ නිසා, යෙහෝවා ඇයව අවුරුදු 70කට පාළුවීමට ඉඩහැරියේය. (2 රාජාවලිය 24:4; 2 ලේකම් 36:15-21; යෙරෙමියා 25:8-11; දානියෙල් 9:2) දිගු කාලයක් පුරා අක්‍රියාශීලීව සිටි ඇයට දැන් ඉන් පිබිදී, නිදහස නමැති අලංකාර වස්ත්‍රය පැළඳගැනීමට කාලය පැමිණ ඇත. ‘වාලියක් වූ සියොන් දුවව’ නිදහස් කිරීමට යෙහෝවා කෝරෙෂ්ගේ හෘදය පොලඹවන්නේ, කලින් යෙරුසලමේ සිටි අයට සහ ඔවුන්ගේ දරු මුනුපුරන්ට බබිලෝනිය හැරදා නැවත යෙරුසලමට ගොස් නිර්මල නමස්කාරය යළි පිහිටුවීමට හැකි වන පිණිසයි. එහෙත්, යෙරුසලමේ කිසිම අචර්මච්ඡේදිතයෙකුවත් අපවිත්‍ර කෙනෙකුවත් නොසිටිය යුතුය.—එස්රා 1:1-4.

3. ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව “සියොන් දුව” ලෙස හඳුන්වන්නේ මන්ද? ඔවුන් නිදහස් වන්නේ කිනම් අර්ථයෙන්ද?

3 ක්‍රිස්තියානි සභාව තුළද යෙසායාගේ මෙම වදන් ඉටු විය. “ඉහළ තිබෙන යෙරුසලම” ඇගේ මව බැවින් නවීන දින ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සභාව “සියොන් දුව” ලෙස හැඳින්විය හැකියි. * මිථ්‍යා දෘෂ්ටික ඉගැන්වීම් සහ ඇදහිල්ල හැර ගියවුන්ගේ මූලධර්මවලින් ඉවත්ව ආලේප ලත් අය යෙහෝවා ඉදිරියේ පවිත්‍ර ස්ථාවරයක් රැකගත යුතුය. එයින් අදහස් කරන්නේ මාංසික චර්මච්ඡේදනයක් කරගැනීම නොව ඔවුන්ගේ හදවත් චර්මච්ඡේදනය කරගැනීමයි. (යෙරෙමියා 31:33; රෝම 2:25-29) ඔවුන් යෙහෝවා ඉදිරියේ ආත්මික, මානසික සහ සදාචාර පවිත්‍රකම රැකගැනීම ඊට අයත් වේ.—1 කොරින්ති 7:19; එපීස 2:3.

4. “ඉහළ තිබෙන යෙරුසලම” කිසිදාක යෙහෝවාට අකීකරු නොවුණත්, පොළොවේ සිටින ඇගේ නියෝජිතයන් පුරාණ යෙරුසලමේ වැසියන් හා සමාන වූයේ කෙසේද?

4 “ඉහළ තිබෙන යෙරුසලම” කිසිම අවස්ථාවක යෙහෝවාට අකීකරු වී නැත. කෙසේවෙතත්, පළමුවන ලෝක මහා යුද්ධ සමයේදී, පොළොවේ සිටි ඇගේ නියෝජිතයන් නැතහොත් ආලේප ලත් ක්‍රිස්තියානීහු සැබෑ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය යනු කුමක්දැයි හරිහැටි වටහාගෙන නොතිබුණු නිසා නොදැනුවත්වම යෙහෝවාගේ ව්‍යවස්ථාව උල්ලංගනය කළෝය. මේ හේතුවෙන් ඔවුන්ට දෙවිගේ අනුග්‍රහය අහිමි වූ අතර, ප්‍රතිඵලයක් හැටියට බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහ බබිලෝනියේ’ ආත්මික වහල්භාවයට නතු විය. (එළිදරව් 17:5) වර්ෂ 1918 ජූනි මාසයේදී, කුමන්ත්‍රණ කිරීම් ඇතුළු වෙනත් බොරු චෝදනා මත වොච් ටවර් සමිතියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අටදෙනෙකුව සිරගත කිරීමත් සමඟම ආත්මික වහල්භාවයේ උච්චාස්ථාවට ඔවුහු මුහුණ දුන්හ. එම අවස්ථාවේදී සංවිධානාත්මක ආකාරයකට සිදු කළ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය සම්පූර්ණයෙන්ම වාගේ නතර කෙරුණි. කෙසේවෙතත්, 1919දී ක්‍රියාවට පොලඹවන්නාවූ ආත්මික පිබිදීමක් අද්දිටීය. මෙසේ ආලේප ලත් ක්‍රිස්තියානීහු මහා බබිලෝනියේ තිබූ සදාචාර මෙන්ම ආත්මික අපවිත්‍රකමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට පටන්ගත්හ. මොවුන් වහල්කමේ දූවිලි පිස දමා නැඟිට සිටි අතර මෙසේ, “ඉහළ තිබෙන යෙරුසලම” ආත්මික අපවිත්‍රකමට ඉඩක් නැති ‘ශුද්ධ නුවරේ’ තේජස ලැබීය.

5. වහලට ගත්තාවූ තම සෙනඟව වන්දියක් නොගෙවා මුදාගැනීමට යෙහෝවාට පූර්ණ අයිතියක් තිබෙන්නේ මන්ද?

5 පොදු යුගයට පෙර 537දී මෙන්ම පො.යු. 1919දීත් තම සෙනඟව ගළවාගැනීමට යෙහෝවාට පූර්ණ අයිතිය තිබුණි. මේ ගැන යෙසායා පැහැදිලි කරන්නේ මෙසේයි. “[යෙහෝවා] මෙසේ [කියන්නේය]: නුඹලා නිකමට විකුණන ලද්දහුය; මිල නැතුව නුඹලා මුදනු ලබන්නහුය.” (යෙසායා 52:3) දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟව වහලුන් හැටියට ගෙන යද්දී පුරාණ බබිලෝනියවත් මහා බබිලෝනියවත් ඔවුන් සඳහා කිසිම මිලක් ගෙව්වේ නැත. කිසිම ආකාරයක මුදල් ගනුදෙනුවක් සිදු නොවූ නිසා යෙහෝවා තවමත් ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතිකරුවා වේ. ඔහු කාටවත් ණයගැති නොවේ. මේ අවස්ථා දෙකේදීම තමන්ගේ නමස්කාරකයන් වෙනුවෙන් වහලට ගෙනගියවුන්ට කිසිවක් නොගෙවා සිටීමට යෙහෝවාට අයිතියක් ඇත.—යෙසායා 45:13.

6. යෙහෝවාගේ සතුරන් අසමත් වන්නේ අතීතයෙන් කිනම් පාඩම ඉගෙනගන්නද?

6 යෙහෝවාගේ සතුරන් අතීතයෙන් කිසිම පාඩමක් ඉගෙනගෙන තිබුණේ නැත. ඒ ගැන කියා තිබෙන්නේ මෙසේය. “ස්වාමිවූ [යෙහෝවා] මෙසේ [කියන්නේය]: මුලදී මාගේ සෙනග මිසරයෙහි විදේශිව සිටින්ට එහි ගියෝය. අෂූර්වරු නිෂ්කාරණයේ ඔවුන්ට පීඩාකළෝය.” (යෙසායා 52:4) මිසරයෙහි ආගන්තුකයන් ලෙස සිටින්න අවසර ලැබුණු ඉශ්‍රායෙල්වරුන්ව ඵාරාවෝ වහලුන් බවට පත් කරගත්තේය. එහෙත් යෙහෝවා ඵාරාවෝව සහ ඔහුගේ හමුදාව රතු මුහුදේ ගිල්වීය. (නික්මයාම 1:11-14; 14:27, 28) අෂූර්හි සෙනකෙරීබ් රජු යෙරුසලමට තර්ජනයක් වූ විට, යෙහෝවා තම දූතයෙකු ලවා රජුගේ හේවායන් 1,85,000දෙනෙකුව ඝාතනය කළේය. (යෙසායා 37:33-37) ඒ හා සමානව, පුරාණ බබිලෝනියටවත් මහා බබිලෝනියටවත් දෙවිගේ සෙනඟට විරුද්ධවාදිකම් කර බේරී යෑමට හැකි නොවේ.

“මාගේ සෙනග මාගේ නාමය දැනගන්නවා ඇත”

7. තම සෙනඟව වහල්භාවයට ගැනීම යෙහෝවාගේ නාමයට බලපෑවේ කෙසේද?

7 ඉශ්‍රායෙල් සෙනඟගේ වහල් තත්වය යෙහෝවාගේ නාමය කෙරෙහි බලපෑමක් ඇති කරන බව අනාවැකියෙන් දැකිය හැක. “දැනුත් මට මෙහි තිබෙන්නේ කුමක්ද? මක්නිසාද මාගේ සෙනග නිකමට ගෙනයනලද්දේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයෝ කෑමොරගසති, මාගේ නාමයද නිතරම දවස මුළුල්ලෙහි අපහාසකරනු ලැබේයයි [යෙහෝවා කියන්නේය]. එබැවින් මාගේ සෙනග මාගේ නාමය දැනගන්නවා ඇත. එබැවින් කථාකරන්නේ මා බව ඒ දවසේදී ඔවුන් දැනගන්නවා ඇත. බලව, ඒ මමයයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 52:5, 6) මෙම වහල් තත්වය යෙහෝවාට බලපෑවේ කෙසේද? ඉශ්‍රායෙල්වරුන්ව බබිලෝනියේ වහල්භාවයට ගෙන යෑම ගැන ඔය තරම්ම යෙහෝවාට තියෙන කැක්කුම මොකක්ද? යෙහෝවා මේ සම්බන්ධයෙන් යමක් කළ යුත්තේ ඔහුගේ සෙනඟව වහල්කමට ගෙන ගිය බබිලෝනිය විසින් ඔවුන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් උදම් අනමින් සිටින නිසයි. එවැනි පුරසාරම් යෙහෝවාගේ නාමය නින්දාවට පත්වීමට හේතුවක් වී තිබේ. (එසකියෙල් 36:20, 21) යෙරුසලම එවැනි පාළු වූ තත්වයකට වැටී තිබුණේ යෙහෝවා තම සෙනඟ කෙරෙහි ප්‍රසන්න නොවූ නිසාය යන කාරණය තේරුම්ගැනීමට බබිලෝනිය අසමත් වී තිබිණ. යුදෙව්වන්ගේ වහල්භාවය ඔවුන්ගේ දෙවිගේ දුර්වලකම ඔප්පු කරනවායයි බබිලෝනියේ වැසියෝ කල්පනා කරත්. බබිලෝනියේ සමපාලක බේල්ෂශර් රජ බබිලෝනියේ දෙවිවරුන්ට ගරු බුහුමන් දක්වන මංගල්‍යයකදී යෙරුසලමේ දේවමාළිගාවෙන් කොල්ල කා ගෙනැවිත් තිබූ කුසලාන පාවිච්චි කිරීමෙන් යෙහෝවාට සමච්චල් කළේය.—දානියෙල් 5:1-4.

8. ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු යෙහෝවාගේ නාමයට ලැබුණේ කෙබඳු සැලකිල්ලක්ද?

8 මේ සෑම දෙයක්ම ‘ඉහළ තිබෙන යෙරුසලමට’ සම්බන්ධ වන්නේ කෙසේද? ක්‍රිස්තියානීන්යයි කියාගත් අය ඇදහිල්ල අත්හැර ගිය දා පටන් ‘[එම සෙනඟ] කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවිගේ නාමය අපහාසයට’ ලක් විය. (රෝම 2:24; ක්‍රියා 20:29, 30) එපමණක්ද නොව, මිථ්‍යා විශ්වාසයක් හේතුවෙන් කල් යත්ම යුදෙව්වන් දිව්‍ය නාමය පරිහරණය කිරීමෙන්ද වැළකුණේය. සියලුම ප්‍රේරිතයන්ගේ අභාවයෙන් පසු, ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානීන් යුදෙව්වන්ගේ ආදර්ශය අනුගමනය කරමින් දෙවිගේ පුද්ගලික නාමය පරිහරණය කිරීමෙන් වැළකුණි. මෙසේ ඇදහිල්ල අත්හැර යෑමේ ප්‍රතිඵලයක් හැටියට මහා බබිලෝනියේ ප්‍රධාන කොටස වන ක්‍රිස්තියානි ලෝකය බිහි විය. (2 තෙසලෝනික 2:3, 7; එළිදරව් 17:5) ක්‍රිස්තියානි ලෝකයේ සාරධර්ම පිරිහීම මෙන්ම ඉවක් බවක් නැති ලේ වැගිරීම් යෙහෝවාගේ නාමයට අපකීර්තියක් ගෙනැවිත් තිබේ.—2 පේතෘස් 2:1, 2.

9, 10. වර්තමාන කාලයේ දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟ යෙහෝවාගේ ප්‍රමිති සහ ඔහුගේ නාමය සම්බන්ධයෙන් ලබා තිබෙන ගැඹුරු අවබෝධය කුමක්ද?

9 උතුම් කෝරෙෂ් වන යේසුස් ක්‍රිස්තුස් දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟව 1919දී මහා බබිලෝනියෙන් මුදාගත් විට යෙහෝවා තමන්ගෙන් අපේක්ෂා කළේ මොනවාදැයි ඔවුහු හරිහැටි වටහාගත්හ. ක්‍රිස්තියානි යුගයට පෙර මිථ්‍යා දෘෂ්ටික මූලාරම්භයක් ලැබූ ත්‍රිත්වය, අමරණීය ආත්මය, නිරාගින්නේ දුක් විඳීම වැනි ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ ඉගැන්වීම්වලින් ඔවුහු මිදුණහ. ඉන්පසු, ඔවුහු බබිලෝනියේ සෑම බලපෑමකින්ම ඉවත් වීමට පටන්ගත්තෝය. විවිධ මුහුණුවර ගන්නා මේ ලෝකයේ සටන්කාමීත්වය හමුවෙහි මධ්‍යස්ථව කටයුතු කිරීමේ අවශ්‍යතාවද ඔවුහු වටහාගත්හ. ඔවුන්ගෙන් සමහරෙකු යම් ලේ වරදකට හසුව තිබුණි නම්, එයින් පිරිසිදු වීමද ඔවුන්ගෙන් බලාපොරොත්තු විය.

10 දෙවිගේ වර්තමාන සේවකයෝ යෙහෝවාගේ නාමයේ තිබෙන වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගැනීමටද පටන්ගත්හ. වර්ෂ 1931දී ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නාමය තමන්ට ඈඳාගත් අතර, ඔවුහු යෙහෝවාටත් ඔහුගේ නාමය පැතිරවීමටත් සහයෝගය දෙන බව ප්‍රසිද්ධියේ කියා සිටියහ. තවදුරටත්, වර්ෂ 1950 සිට ප්‍රකාශයට පත් කළ නව ලෝක පරිවර්තනය වැනි ප්‍රකාශන මාර්ගයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යෙහෝවාගේ නාමය බයිබලයෙහි ඊට අයිති නිසි තැන්වලට නැවත එක් කළෝය. ඔව්, ඔවුහු යෙහෝවාගේ නාමය අනර්ඝ දෙයක් ලෙස සලකන අතර, පොළොවේ සෑම අස්සක් මුල්ලක් නෑරම එය ප්‍රකාශ කරමින් සිටිත්.

‘ශුභ ආරංචි ගෙනෙන්නාවූ තැනැත්තා’

11. පොදු යුගයට පෙර 537දී සිදු වූ සිදුවීම් සලකා බලද්දී ‘ඔබේ දෙවි රජ වී ඇත’ කියා ප්‍රකාශ කිරීම ගැළපෙන්නේ කෙසේද?

11 අපේ අවධානය නැවතත් පාළු වූ සියොන වෙත ගෙන යමින් ශුභාරංචිය ගෙන යන පණිවිඩකරුවෙක් ඒ වෙත ළඟා වෙයි. ‘ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශ කරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශ කරන්නාවූ: නුඹේ දෙවි රජකම් කරන්නේයයි [රජ වී ඇතැයි, NW] සියොන්ට කියන්නාවූ තැනැත්තාගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!’ (යෙසායා 52:7) පොදු යුගයට පෙර 537දී සියොන්හි දෙවි රජ වූ බව කියන්නේ කෙසේද? සෑමදාම යෙහෝවා රජව සිටියේ නැද්ද? ඇත්ත වශයෙන්ම, යෙහෝවා ‘සදාකාලික රජයි.’ (එළිදරව් 15:3, NW) ‘ඔබේ දෙවි රජ වී ඇත’ යන ප්‍රකාශය ඉතා උචිත වන්නේ බබිලෝනියේ වැටීමත්, යෙරුසලමේ දේවමාළිගාව යළි ගොඩනැඟීමට දුන් රාජකීය ආඥාවත්, නිර්මල නමස්කාරය යළි පිහිටුවීමත් තුළින් යෙහෝවාගේ රජකමේ නව මුහුණුවරක් දකින නිසාය.—ගීතාවලිය 97:1.

12. ‘ශුභාරංචිය ගෙන යෑමේ’ ප්‍රධාන ආදර්ශය තැබුවේ කවුද? ඒ කෙසේද?

12 යෙසායාගේ දවසේදී, කිසිම පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ‘ශුභ ආරංචි ගෙනෙන’ අය ලෙස හඳුන්වා නැත. කෙසේවෙතත්, ශුභාරංචිය ගෙන යන්නාවූ තැනැත්තාව අදදින හෙළි කර තිබේ. යෙහෝවාගේ ශ්‍රේෂ්ඨතම සමාදානයේ පණිවිඩකරුවා යේසුස් ක්‍රිස්තුස්ය. අසනීප සහ මරණය ඇතුළු ආදම්ගෙන් උරුම වූ පාපයේ සියලුම බලපෑම්වලින් මිදීම හා සම්බන්ධ ශුභාරංචියක් මේ පොළොවේ සිටියදී යේසුස් දේශනා කළේය. (මතෙව් 9:35) යේසුස් මෙම ඉතා යහපත් ශුභාරංචිය ජ්වලිතව ප්‍රකාශ කිරීමෙන් ආදර්ශයක් තැබීය. ඔහු ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගෙන දේවරාජ්‍යය පිළිබඳව මිනිසුන්ට ඉගැන්වීය. (මතෙව් 5:1, 2; මාර්ක් 6:34; ලූක් 19:1-10; යොහන් 4:5-26) ඔහුගේ ගෝලයෝ ඔහුගේ ආදර්ශය අනුගමනය කළහ.

13. (අ) ‘ශුභ ආරංචි ගෙනෙන්නාවූ තැනැත්තාගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!’ යන කියමනට ප්‍රේරිත පාවුල් පුළුල් අර්ථයක් දෙන්නේ කෙසේද? (ආ) පණිවිඩකරුවන්ගේ පාද ‘අලංකාරයි’ කියා කිව හැක්කේ මන්ද?

13 ප්‍රේරිත පාවුල් රෝමවරුන්ට ලියද්දී, ශුභාරංචිය දේශනා කිරීමෙහි ඇති වැදගත්කම හුවා දැක්වීමට යෙසායා 52:7 උපුටා දක්වයි. “දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද?” වැනි හැඟීම් අවුස්සන ප්‍රශ්න පෙළක් ඔහු අසයි. තවදුරටත් ඔහු මෙසේ කියයි. “යහපත්දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.” (රෝම 10:14, 15) යෙසායාගේ මුල් පිටපතේ සඳහන් “තැනැත්තාගේ” යන ඒක වචනය වෙනුවට “තැනැත්තන්ගේ” යන බහු වචනය යොදාගෙන පාවුල් යෙසායා 52:7හි අදාළ වීමට වඩා පුළුල් අර්ථයක් ලබා දෙයි. යේසුස් ක්‍රිස්තුස්ව අනුගමනය කරන සියලුම ක්‍රිස්තියානීන් සමාදානයේ ශුභාරංචියේ පණිවිඩකරුවන්ය. ඔවුන්ගේ පාද “අලංකාර” වන්නේ කෙසේද? යෙසායා කියන හැටියට මේ පණිවිඩකරුවා යෙරුසලමට ළඟා වන්නේ ළඟපාත තිබෙන යූදා කඳුකරයෙනි. එතරම් දුරක සිට පණිවිඩකරුවාගේ පාද දැකීමට නොහැකිය. ඒ වෙනුවට මෙහි අවධානය යොමු කරන්නේ පාදවලින් නියෝජනය කරන්නාවූ පණිවිඩකරුවා වෙතටය. යේසුස් සහ ඔහුගේ ගෝලයන් මුල් සියවසේ සිටි මිනිසුන්ට සැනසිලිදායක මෙන්ම අලංකාර දසුනක් වූවා සේම, නවීන කාලයේ සාක්ෂිකරුවන්ද ශුභාරංචියේ ඇති ජීවනදායක පණිවිඩය සොයන යටහත් පහත් අයට ප්‍රිය දසුනකි.

14. වර්තමානයේදී යෙහෝවා රජ බවට පත් වූයේ කෙසේද? ඒ බව මිනිස්වර්ගයාට දන්වන්න පටන්ගත්තේ කවදා සිටද?

14 වර්තමාන කාලයේදී ‘ඔබේ දෙවි රජ වී ඇත’ යන හඬ ඇසෙන්න පටන්ගත්තේ කවදා සිටද? වර්ෂ 1919 සිටය. එම වර්ෂයේදී ඔහායෝ සීඩා පොයින්ට්හිදී පැවැත්වූ සමුළුවකදී වොච් ටවර් සමිතියේ එවකට සභාපතිව සිටි ජේ. එෆ්. රදෆඩ්, යෙසායා 52:7 සහ එළිදරව් 15:2 මත පදනම් “හවුල් වැඩකරුවන්ට ආරාධනයක්” නමැති තේමාවෙන් යුත් කතාව මගින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් අවුස්සාලනු ලැබීය. එම කතාවේදී, දේශනා කිරීමට එහි පැමිණ සිටි සියලුදෙනාවම දිරිගැන්වීය. මෙසේ, ‘අලංකාර පාද’ “කඳු පිට” පෙනෙන්ට පටන්ගත්තේය. මුලින්ම ආලේප ලත් ක්‍රිස්තියානීහුද පසුව ඔවුන්ගේ සහයකයන් වන ‘වෙනත් බැටළුවෝද’ යෙහෝවා රජ වී ඇත යන ශුභාරංචිය ජ්වලිතයෙන් දේශනා කිරීමට පිටත්ව ගියහ. (යොහන් 10:16) යෙහෝවා රජ බවට පත් වූයේ කෙසේද? වර්ෂ 1914දී තම පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්ව අලුතෙන් පිහිටෙවූ ස්වර්ගීය රාජ්‍යයෙහි රජ ලෙස පත් කිරීමෙන් යෙහෝවා තම රජකමට අලුත් මුහුණුවරක් දුන්නේය. එමෙන්ම 1919දී ‘දෙවිගේ ඉශ්‍රායෙල්ව’ මහා බබිලෝනියෙන් මුදවාගැනීමත් සමඟ යෙහෝවා තම රජකම තවදුරටත් තහවුරු කළේය.—ගලාති 6:16; ගීතාවලිය 47:8; එළිදරව් 11:15, 17; 19:6.

‘නුඹේ මුරකාරයෝ හඬ නඟති’

15. පොදු යුගයට පෙර 539දී හඬ නඟන “මුරකාරයන්” කවුරුන්ද?

15 ‘ඔබේ දෙවි රජ වී ඇත’ යන ප්‍රකාශයට හොඳ ප්‍රතිචාරයක් ලැබේවිද? ඔව්. යෙසායා මෙසේ කියයි. “අන්න, නුඹේ මුරකාරයන්ගේ හඬ! ඔව්හු හඬ නගති, ඔව්හු එක්ව ගී කියති; මක්නිසාද [යෙහෝවා] සියොන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත.” (යෙසායා 52:8) පොදු යුගයට පෙර 537දී යෙරුසලමට යළි පැමිණි මුල්ම වහලුන් කණ්ඩායම පිළිගැනීමට කිසිම මුරකාරයෙකු එහි සිටියේ නැත. නුවර අවුරුදු 70ක් පුරා පාළුවට ගොස් තිබුණි. (යෙරෙමියා 25:11, 12) මෙහි හඬ නඟන “මුරකාරයන්” වන්නේ සියොන්හි යළි පිහිටුවීම පිළිබඳ ශුභාරංචිය කල් තියා දැනගන්නාවූ සහ එම ආරංචිය ඉතිරි සියොන් පුත්‍රයන්ට දන්වන්නාවූ වගකිව යුතු ඉශ්‍රායෙල්වරුන් විය යුතුය. පොදු යුගයට පෙර 539දී යෙහෝවා විසින් බබිලෝනිය කෝරෙෂ් අතට පත් කරනු ලැබූ විට, යෙහෝවා තම සෙනඟව මුදාගන්නා බවට එම මුරකරුවන් තුළ නිසැකකමක් ඇති විය. ඔවුන්ට ඇහුම්කන් දෙන අයද එකතුව මෙම මුරකරුවෝ, අනිත් අයට ඇසෙන පිණිස මේ ශුභාරංචිය එක්සත්ව ප්‍රීතියෙන් කියන්නෝය.

16. මුරකරුවන් “ඇසින්ම” දකින්නේ කාවද? ඒ කුමන අර්ථයෙන්ද?

16 සුපරීක්ෂාකාරි මුරකරුවෝ යෙහෝවාව “ඇසින්ම” දකිති. එනම් “මුහුණට මුහුණ ලා” සිටින්නාක් මෙන් ඔහු සමඟ සමීප පුද්ගලික සම්බන්ධතාවක් ඇති කරගනිති. (ගණන් කථාව 14:14) යෙහෝවා සමඟ මෙන්ම ඔවුන් එකිනෙකා අතර තිබෙන සමීප සම්බන්ධය, ඔවුන්ගේ එකමුතුභාවය මෙන්ම ඔවුන් දරන පණිවිඩය කොතරම් ප්‍රීතිමත් එකක්ද කියා පෙන්වයි.—1 කොරින්ති 1:10.

17, 18. (අ) අදදින සිටින මුරකරු පංතිය ඔවුන්ගේ හඬ ඉහළ නංවා තිබෙන්නේ කෙසේද? (ආ) මුරකරු පංතිය එක්ව හඬ නඟන්නේ කුමන අර්ථයකින්ද?

17 වර්තමාන ඉටුවීමේදී, මුරකරු පංතිය නැතහොත් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” දෙවිගේ දෘශ්‍යමාන සංවිධානය තුළ සිටින අයට පමණක් නොව පිටත සිටින අයටත් ඔවුන්ගේ හඬ නඟයි. (මතෙව් 24:45-47) වර්ෂ 1919දී ආලේප ලත් අයගේ ඉතිරි කොටස ඒකරාශි කිරීම සඳහා හඬක් නිකුත් වුණි. ඉන් පසුව, එම හඬ 1922දී ඔහායෝ සීඩා පොයින්ට්හිදී පැවැත්වූ සමුළුවේදී උච්චාවස්ථාවකට පැමිණි අතර, එහිදී “රජු සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” කියා නිවේදනය කළේය. වර්ෂ 1935 සිට, බැටළු ගුණැති මහත් සමූහය ඒකරාශි කිරීම වෙත අවධානය යොමු විය. (එළිදරව් 7:9, 10) මෑත වර්ෂවලදී, යෙහෝවාගේ රජකම සම්බන්ධ පණිවිඩය තියුණු අන්දමින් නිවේදනය කර තිබේ. ඒ කෙසේද? වර්ෂ 2000දී රටවල් 230ක දශලක්ෂ හයක සෙනඟක් යෙහෝවාගේ රාජ්‍යය ගැන කියා දීමේ හවුල් වී තිබේ. තවදුරටත්, මුරකරු පංතියේ ප්‍රධාන මෙවලම වන මුරටැඹ සඟරාව භාෂා 130කට වැඩි සංඛ්‍යාවකින් මෙම ප්‍රීතිමත් පණිවිඩය ප්‍රචාරය කරයි.

18 එක්සත් කරන්නාවූ එම වැඩයෙහි යෙදෙන්න නම් නිහතමානිකමත් සහෝදර ප්‍රේමයත් තිබිය යුතුයි. එම පණිවිඩය ඵලදායී වීම සඳහා ඊට සම්බන්ධ සැමෝම එකම පණිවිඩය දේශනා කළ යුතුයි. යෙහෝවාගේ නාමය, ඔහු ලබා දී ඇති මිදීමේ මිලය, ඔහුගේ ප්‍රඥාව සහ ප්‍රේමය මෙන්ම ඔහුගේ රාජ්‍යය ගැන දේශනා කිරීම ඊට අයත් වෙයි. ලෝකය වටේම සිටින ක්‍රිස්තියානීන් උරෙන් උර ගැටී වැඩ කරන විට, යෙහෝවා සමඟ ඔවුන්ට තිබෙන පුද්ගලික බැඳීම වැඩි වන අතර, එම ප්‍රීතිමත් ආරංචිය එක්සත්ව ප්‍රචාරය කිරීම සඳහා මෙය දායක වේ.

19. (අ) “යෙරුසලමේ පාළු ඉඩම්” ප්‍රීතියෙන් පිනා යන්නේ කෙසේද? (ආ) යෙහෝවා තම ‘ශුද්ධ හස්තයේ බලය පෙන්වන්නේ’ කිනම් අර්ථයෙන්ද?

19 දෙවිගේ සෙනඟ ප්‍රීතියෙන් කෑගසද්දී, ඔවුන් සිටින ස්ථානයත් ප්‍රීතියෙන් පිරී යයි. අනාවැකිය තවදුරටත් මෙසේ කියයි. ‘යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂා කරමින් එක්ව ගී කියව්. මක්නිසාද යෙහෝවා තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ. යෙහෝවා තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි [සටන් පිණිස] නග්න කළේය [ශුද්ධ හස්තයේ බලය සියලු ජාතීන්ට පෙනෙන්න සැලැස්සුවේය, NW]; පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවිගේ ගැළවීම දකින්නෝය.’ (යෙසායා 52:9, 10) බබිලෝනියේ සිට වහලුන් නැවත පැමිණෙන විට දුඃඛිත පෙනුමක් ඇති පාළුවට ගිය යෙරුසලම, යෙහෝවාගේ පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවිය හැකි නිසා ප්‍රීතියෙන් ඉපිල ගිය මුහුණුවරක් ගනියි. (යෙසායා 35:1, 2) පැහැදිලිවම යෙහෝවා මීට මැදිහත් වන බව ස්ථිරයි. ඔහු තම සෙනඟව බේරාගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් තම ‘ශුද්ධ හස්තයේ බලය පෙන්වන්නේය.’—එස්රා 1:2, 3.

20. යෙහෝවා වර්තමානයේදී තම ශුද්ධ හස්තයේ බලය පෙන්වීම මගින් සිදු වී ඇත්තේ කුමක්ද? එමගින් ඉදිරියේදී සිදු වන්න යන්නේ කුමක්ද?

20 මේ “අන්තිම දවස්වලදී” එළිදරව් පොතේ සඳහන් වන ‘සාක්ෂිකරුවන් දෙදෙනා’ නැතහොත් ආලේප ලත් ඉතිරි කොටස පණගැන්වීම සඳහා යෙහෝවා තම ශුද්ධ හස්තයේ බලය පෙන්වා තිබේ. (2 තිමෝති 3:1; එළිදරව් 11:3, 7-13) වර්ෂ 1919 සිට මොවුන්ව ආත්මික පාරාදීසයකට ගෙනැවිත් තිබෙන අතර, මොවුහු තම දශලක්ෂ ගණනක් වූ සෙසු ඇදහිලිවන්තයන් වන වෙනත් බැටළුවන් සමඟ එම දේශයේ ආශීර්වාද භුක්ති විඳිති. අවසානයේදී, යෙහෝවා තම ශුද්ධ හස්තයේ බලය ‘හර්මගෙදොන්හිදී’ ඔහුගේ සෙනඟට ගැළවීම ගෙන ඒම සඳහා යොදාගනු ඇත. (එළිදරව් 16:14, 16) ඉන්පසු, ‘පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවිගේ ගැළවීම දකිනු’ ඇත.

හදිසි අවශ්‍යතාවක්

21. (අ) ‘යෙහෝවාගේ භාණ්ඩ දරන්නන්ගෙන්’ අපේක්ෂා කළේ කුමක්ද? (ආ) බබිලෝනියෙන් පිට වී යන යුදෙව්වන්ට බියවීමට කිසිම හේතුවක් නැත්තේ මන්ද?

21 බබිලෝනියෙන් පිට වී යෙරුසලම කරා යන අය විසින් ඉටු කළ යුතු අවශ්‍යතාවක් තිබේ. යෙසායා මෙසේ ලියයි. “පිටත්වෙන්න, පිටත්වෙන්න, ඔතනින් පිටතට යන්න, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට යන්න; [යෙහෝවාගේ] භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටින්න. මක්නිසාද නුඹලා ඉක්මනින් පිටතට යන්නේවත් නුඹලා පලායාමකින් යන්නේවත් නැත. මක්නිසාද [යෙහෝවා] නුඹලාට පෙරටුව [යන්නේය]; ඉශ්‍රායෙල්ගේ [දෙවි] නුඹලාට පස්සෙන් [එන්නේය].” (යෙසායා 52:11, 12) පිටත්ව යන ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියේ බොරු නමස්කාරයෙන් දූෂ්‍ය වූ කිසිම දෙයක් ගෙන යෑමෙන් වැළකී සිටිය යුතු විය. යෙරුසලමේ දේවමාළිගාවෙන් කොල්ලා කා ගෙනැවිත් තිබූ භාණ්ඩ නැවත යෙරුසලමට ගෙන යා යුතු වූ නිසා, ඔවුන් චාරිත්‍රානුකූලව එනම් පිටාතරව පමණක් නොව, මූලිකව ඔවුන්ගේ හෘදද පවිත්‍රව තබාගත යුතු විය. (2 රාජාවලිය 24:11-13; එස්රා 1:7) යෙහෝවා ඔවුන් ඉදිරියෙන් පමණක් නොව, ඔවුන් පිටුපසින්ද ගමන් කළ බැවින්, ලේ පිපාසිත විරුද්ධකාරයන් ඔවුන් පිටුපසින් හඹා ඒවියයි සිතමින් භයවීමට කිසිම හේතුවක් ඔවුන්ට නොවීය. ඔළුව විකාර වූවන් සේ තැන තැන දුවන්නද අවශ්‍ය නොවීය.—එස්රා 8:21-23.

22. ආලේප ලත් ක්‍රිස්තියානීන් පවිත්‍රව සිටීමේ අවශ්‍යතාව පාවුල් කාවද්දන්නේ කෙසේද?

22 පවිත්‍රව සිටීම පිළිබඳව යෙසායා කී දෙය ‘ඉහළ තිබෙන යෙරුසලමට’ අයිති වූවන් සම්බන්ධයෙන් මහා පරිමාණයෙන් ඉටු විය. නොඇදහිලිකාරයන් සමඟ අසම ලෙස සම්බන්ධ නොවන ලෙස කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් අනුශාසනා කළ විට, ඔහු උපුටා දැක්වූයේ යෙසායා 52:11වන ඡේදයයි. “එබැවින්—නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි [යෙහෝවා කියන්නේය].” (2 කොරින්ති 6:14-17) ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියෙන් පිටතට පැමිණියා සේ, ක්‍රිස්තියානීන්ද බබිලෝනියේ බොරු නමස්කාරයෙන් මුළුමනින්ම වෙන්ව සිටිය යුතුය.

23. අදදින සිටින යෙහෝවාගේ සේවකයන් තමන්ව පවිත්‍රව තබාගැනීමට උත්සාහ කරන්නේ කිනම් පැතිවලින්ද?

23 වර්ෂ 1919දී යේසුස් ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකයන් මහා බබිලෝනියෙන් පලා ගිය විට මෙය විශේෂයෙන්ම සැබෑවක් විය. ඔවුහු ක්‍රමානුකූලව බොරු නමස්කාරය හා සබැඳි සෑම දෙයකින්ම වෙන් වී පවිත්‍ර වූහ. (යෙසායා 8:19, 20; රෝම 15:4) සදාචාරව පවිත්‍රව සිටීමේ අවශ්‍යතාව ගැනද ඔවුහු වැඩි වැඩියෙන් සිතන්න පටන්ගත්හ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම අවස්ථාවකදීම උසස් සාරධර්ම පවත්වාගෙන තිබුණත්, 1952 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවල සභාවේ පවිත්‍රකම රැකීම සඳහා දුරාචාර ජීවිත ගත කරන්නන්ව හික්මවිය යුතුය යන කාරණය කාවද්දන ලදි. එවන් හික්මවීමක් දීම වරදකරුව අවංක පසුතැවීමකට පොලඹවයි.—1 කොරින්ති 5:6, 7, 9-13; 2 කොරින්ති 7:8-10; 2 යොහන් 10, 11.

24. (අ) වර්තමාන කාලයේ ‘යෙහෝවාගේ භාණ්ඩ’ කියන්නේ කුමකටද? (ආ) යෙහෝවා අදදින සිටින ක්‍රිස්තියානීන්ගේ ඉදිරියෙන් සහ පසුපසින් ගමන් කරන බවට නිසැක විය හැක්කේ මන්ද?

24 ආලේප ලත් අය සහ වෙනත් බැටළුවන් වන මහත් සමූහය තමන්ව ආත්මිකව අපවිත්‍ර වන කිසිම දෙයක් නොකිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියි. ඔවුන්ගේ පවිත්‍ර, පිරිසිදු තත්වය ‘යෙහෝවාගේ භාණ්ඩ දැරීමට’ එනම්, ගෙයින් ගෙට සේවයේත් බයිබල් පාඩම් පැවැත්වීමේත් වෙනත් ආකාරයේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වලත් යෙදීමට ඔවුන්ට උපකාර කරයි. පවිත්‍ර ස්ථාවරයක් පවත්වාගතහොත් යෙහෝවා ඔවුන්ගේ ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද ගමන් කරන බව දෙවිගේ සෙනඟට නිසැක විය හැකියි. දෙවිගේ පවිත්‍ර සෙනඟ හැටියට අපට ‘ප්‍රීතියෙන් ඝෝෂා කරමින් එක්ව ගී ගයන්න’ ඕනෑතරම් හේතු තිබේ!

[පාදසටහන]

^ ‘ඉහළ තිබෙන යෙරුසලමත්’ ඇගේ භූමික ආලේප ලත් දරුවනුත් අතර ඇති සම්බන්ධය පිළිබඳව වැඩිමනත් විස්තර ලබාගැනීමට මේ පොතේ 15වන පරිච්ඡේදය සලකා බලන්න.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[183වන පිටුවේ පින්තූරය]

සියොන් වහල්භාවයෙන් නිදහස් වේ

[186වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1919 සිට ‘අලංකාර පාද’ නැවත වරක් “කඳු පිට” දකින්න ලැබුණි

[189වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එක්සත්කමින් කතා කරති

[192වන පිටුවේ පින්තූරය]

‘යෙහෝවාගේ භාණ්ඩ දරන’ සියල්ලන්ම සදාචාරමයවත් ආත්මිකවත් පවිත්‍රව සිටිය යුතුය