Skip to content

පටුනට යන්න

‘පිළිගත යුතු වූ කාලයක්’

‘පිළිගත යුතු වූ කාලයක්’

දහවන පරිච්ඡේදය

‘පිළිගත යුතු වූ කාලයක්’

යෙසායා 49:1-26

1, 2. (අ) යෙසායා භුක්ති විඳි ආශීර්වාද මොනවාද? (ආ) යෙසායා 49වන පරිච්ඡේදයේ මුල් කොටසෙහි වාර්තා වන අනාවැකි වදන් අදාළ වන්නේ කාටද?

 සියලුම ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් බොහෝ කාලයක් පුරා දෙවිගේ අනුමැතියත් ආරක්ෂාවත් භුක්ති විඳ තිබේ. එහෙත් යෙහෝවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඔහුගේ අනුමැතිය ලබා දෙන්නේ නැත. එවන් අද්විතීය ආශීර්වාදයක් ලැබීම සඳහා කෙනෙකු සුදුසුකම් ලැබිය යුතුය. යෙසායා එවැන්නෙකි. ඔහු යෙහෝවාගේ අනුග්‍රහය ලැබූ අතර, අන් අයට දේවකැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා යෙහෝවා ඔහුව යොදාගත්තේය. මීට එක් උදාහරණයක් යෙසායාගේ අනාවැකියේ යෙසායා 49වන පරිච්ඡේදයේ මුල් කොටසෙහි වාර්තා වී තිබේ.

2 අනාවැකිමය ලෙස පවසන මේ වචනවලින් අමතන්නේ ආබ්‍රහම්ගේ වංශයවයි. එහි මුල් ඉටුවීමේදී, එම වංශය වූයේ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වූ ඉශ්‍රායෙල් ජාතියයි. කෙසේවෙතත්, එහි කියා ඇති බොහෝ දේ අදාළ වන්නේ, දිගු කාලයක් පුරා බලාපොරොත්තුව සිටි ආබ්‍රහම්ගේ වංශය ලෙස සැලකුණු පොරොන්දු වූ මෙසියස්ටයි. දෙවිගේ ආනුභාවයෙන් ලියැවුණු මේ වදන් ආබ්‍රහම්ගේ ආත්මික වංශයේ කොටසක් බවට පත් වූ සහ ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ බවට පත් වූ මෙසියස්ගේ ආත්මික සහෝදරයන්ටත් අදාළ වේ. (ගලාති 3:7, 16, 29; 6:16) විශේෂයෙන්ම යෙසායාගේ අනාවැකියේ මේ කොටසින් කියැවෙන්නේ, යෙහෝවා සහ ඔහුගේ ආදරණීය පුතුණුවන් වන යේසුස් ක්‍රිස්තුස් අතර තිබෙන විශේෂාකාර අන්‍යොන්‍ය සම්බන්ධය ගැනයි.—යෙසායා 49:26.

යෙහෝවා විසින් ආලේප කර හා ආරක්ෂා කර

3, 4. (අ) මෙසියස්ට ඇත්තේ කාගේ අනුබලයද? (ආ) මෙසියස් අමතන්නේ කාවද?

3 මෙසියස්ට දෙවිගේ අනුග්‍රහය හෙවත් අනුමැතිය ලැබී තිබේ. මෙහෙය සම්පූර්ණ කිරීමට අවශ්‍ය අධිකාරය සහ සුදුසුකම් යෙහෝවා ඔහුට ලබා දී තිබේ. අනාගත මෙසියස් මෙසේ කීම ඉතා උචිතයි. “ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනගෙනි [ජාතීනි, NW], ඇහුම්කන්දෙන්න, [යෙහෝවා] කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් [කළේය].”යෙසායා 49:1.

4 මෙසියස් මෙහිදී අමතන්නේ “දුර” සිටින සෙනඟවයි. මෙසියස්ව ලබා දෙන බවට පොරොන්දු වූයේ යුදෙව්වන්ට වුවත්, ඔහුගේ දේවසේවයෙන් සියලු ජාතීහු ප්‍රයෝජන ලබති. (මතෙව් 25:31-33) ‘දූපත්’ වැසියන් සහ ‘ජාතීන්’ යෙහෝවා සමඟ ගිවිසුමකින් බැඳී නොසිටියත්, ඔවුන් ඉශ්‍රායෙල්ගේ මෙසියස්ට ඇහුම්කන් දිය යුතුය. මන්ද ඔහුව එවා තිබෙන්නේ සියලුම මනුෂ්‍යවර්ගයාට ගැළවීම ලබා දීමටය.

5. මිනිසෙකු ලෙස උපදින්න පෙර සිට මෙසියස්ව හඳුන්වා තිබූ නම් මොනවාද?

5 මෙසියස් මිනිසෙකු ලෙස උපදින්න පෙර සිට යෙහෝවා ඔහුට නමක් තබන බව අනාවැකියේ සඳහන් වේ. (මතෙව් 1:21; ලූක් 1:31) යේසුස් ඉපදෙන්න බොහෝ කාලයකට පෙර ඔහුට ‘අපූර්ව මන්ත්‍රීවරයා, පරාක්‍රමවත් දෙවි, සදාකාල පියාණෝ සහ සමාදානයේ කුමාරයා’ යන නම් තබා තිබුණි. (යෙසායා 9:6) ඇතැම්විට යෙසායාගේ පුත්‍රයෙකුට දී තිබුණා විය හැකි නාමයක් වන එම්මානුවෙල්ද මෙසියස්ට දී තිබූ අනාවැකිමය නම් අතරින් එකකි. (යෙසායා 7:14; මතෙව් 1:21-23) මෙසියස් බවට පත් වන තැනැත්තාට දෙනු ලබන නම යේසුස් බව ඔහු උපදින්නත් පෙර පුරෝකථනය කර තිබුණි. (ලූක් 1:30, 31) මෙම නාමය සඳහා යොදා ඇති හෙබ්‍රෙව් වචනයේ අදහස වන්නේ “යෙහෝවා ගැළවීමය” යන්නයි. මෙසේ, යේසුස් වනාහි තමන් විසින්ම පත් වූ ක්‍රිස්තුස් කෙනෙකු නොවූ බව පැහැදිලිය.

6. මෙසියස්ගේ මුඛය තියුණු කඩුවක් මෙන් වන්නේ කුමන ආකාරයෙන්ද? ඔහුව සඟවා හෝ වසා තබන්නේ කෙසේද?

6 මෙසියස් තම අනාවැකි වදන් තවදුරටත් මෙසේ සඳහන් කරයි. ‘ඔහු මාගේ මුඛය තියුණු කඩුවක් මෙන් කොට, තමන්ගේ අත් සෙවණෙහි මා සැඟෙවුවේය; ඔහු මා මුවහත් කර තිබෙන ඊගසක් මෙන් කොට, තමන්ගේ කොපුවේ වසා තැබුවේය.’ (යෙසායා 49:2) පොදු යුගයේ 29දී යෙහෝවාගේ මෙසියස්ට තම භූමික දේවසේවය පටන්ගැනීමට කාලය පැමිණියේය. ඔහුගේ ඉගැන්වීම් සහ ක්‍රියා මුවහත් කළ තියුණු ආයුධ මෙන් විය. එමනිසා තම ශ්‍රාවකයන්ගේ හදවත්වලට කිඳාබසින්න ඔහු සමත් විය. (ලූක් 4:31, 32) ඔහුගේ වදන් සහ ක්‍රියාවන් යෙහෝවාගේ පරම සතුරා වූ සාතන් හා ඔහුගේ භූතයන්ගේ කෝපය උත්සන්න කිරීමට හේතු විය. යේසුස් ඉපදුණු දවසේ සිට ඔහුගේ ජීවිතය නසන්න සාතන් විවිධාකාරයෙන් උත්සාහ කළත්, යේසුස් හරියට යෙහෝවාගේ ඊගස් කොපුවේ වසා තිබෙන ඊගසක් මෙන් ආරක්ෂාව ලැබුවේය. * තම පියාගේ සුරැකුම ගැන ඔහුට කිසිම සැකයක් තිබුණේ නැත. (ගීතාවලිය 91:1; ලූක් 1:35) නියමිත කාලයේදී යේසුස් තම ජීවිතය මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් පුදනු ඇත. එහෙත්, පරාක්‍රමවත් ස්වර්ගීය හේවායෙකු මෙන් ඔහු යුද්ධයට සැරසෙන කාලයක්ද පැමිණේ. ඒ අවස්ථාවේදී ඔහු සන්නද්ධ වන්නේ වෙනත් අරමුණක් උදෙසාය. ඔහුගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙන අතර, එයින් නියෝජනය වන්නේ යෙහෝවාගේ සතුරන්ට විරුද්ධව විනිශ්චයන් ප්‍රකාශ කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට ඔහුට ඇති බලයය.—එළිදරව් 1:16.

දෙවිගේ සේවකයන්ගේ වෙහෙස අපතේ නොයයි

7. යෙසායා 49:3හි ඇති යෙහෝවාගේ වදන් අදාළ වන්නේ කාටද? ඒ මන්ද?

7 දැන් යෙහෝවා මෙම අනාවැකිමය වදන් පවසයි. “ඉශ්‍රායෙල්, නුඹ මාගේ මෙහෙකරුවාය; නුඹ කරණකොටගෙන ගෞරව ලබාගන්නෙමි.” (යෙසායා 49:3) ඉශ්‍රායෙල් ජාතිය තමන්ගේ සේවකයා ලෙස යෙහෝවා හඳුන්වයි. (යෙසායා 41:8) එහෙත් දෙවිගේ උසස්ම සේවකයා වන්නේ යේසුස් ක්‍රිස්තුස්ය. (ක්‍රියා 3:13) යෙහෝවාගේ ‘ගෞරවය’ යේසුස් තරම් හොඳින් නිරූපණය කිරීමට දෙවිගේ වෙනත් කිසිම මැවිල්ලකට නුපුළුවන. මෙහි ඉශ්‍රායෙල් කියා පදගතාර්ථයෙන් හැඳින්වූවත්, එය ඇත්තෙන්ම අදාළ වන්නේ යේසුස්ටය.—යොහන් 14:9; කොලොස්සි 1:15.

8. මෙසියස්ගේම සෙනඟ ඔහු කෙරෙහි දක්වන ප්‍රතිචාරය කුමක්ද? මෙසියස් තමන්ගේ සාර්ථකත්වය මැනීම භාර දෙන්නේ කාටද?

8 කෙසේවෙතත්, තමන්ගේම සෙනඟ විසින් යේසුස්ව සුළු කර ප්‍රතික්ෂේප කරනු ලැබුවා නොවේද? ඔව්, සමස්තයක් වශයෙන් ගත් කල, යේසුස් දෙවිගේ ආලේප ලත් සේවකයා යන කාරණය ඉශ්‍රායෙල් ජාතිය පිළිගන්නේ නැත. (යොහන් 1:11) යේසුස් මේ පොළොවේදී කරන්න යන සෑම දෙයක්ම, වටිනාකමකට හෝ වැදගැම්මකට නැති දේවල් ලෙසයි ඔහුගේ සමකාලීනයන් දකින්න යන්නේ. මේ හේතුවෙන් මෙසියස්ගේ දේවසේවය අසාර්ථකයයි කෙනෙකු විසින් නිගමනය කළ හැකි බව ඊළඟ වාක්‍යයෙන් අඟවයි. “මම පලක් නැතුව වෙහෙසුණෙමි, හිස්කමටත් නිෂ්ඵලකමටත් මාගේ ශක්තිය නැති කරගතිමි.” (යෙසායා 49:4අ) මෙසියස් මේ ආකාරයෙන් පවසන්නේ ඔහු අධෛර්යයට පත් වූ නිසා නොවේ. ඔහු මීළඟට කියන දේ සලකා බලන්න. “එසේ වී නුමුත් සැබවින්ම මාගේ විනිශ්චය [යෙහෝවා] වෙතද මාගේ විපාකය මාගේ [දෙවි ] වෙතද තිබේයයි කීමි.” (යෙසායා 49:4ආ) මෙසියස්ගේ සාර්ථකත්වය මනින්නේ දෙවි විසින් මිස මනුෂ්‍යයන් විසින් නොවේ.

9, 10. (අ) යෙහෝවා මෙසියස්ට පැවරූ මෙහෙය කුමක්ද? ඔහු අත් කරගත් ප්‍රතිඵල මොනවාද? (ආ) මෙසියස්ගේ අද්දැකීම්වලින් අද සිටින ක්‍රිස්තියානීන් දිරිගැන්වීමක් ලබන්නේ කෙසේද?

9 යේසුස් මූලිකවම උනන්දු වන්නේ දෙවිගේ අනුමැතිය නැතහොත් අනුග්‍රහය ලබාගැනීමටයි. මෙසියස් මෙසේ පවසයි. ‘ඉතින් තමන් වෙතට යාකොබ් හැරවීමටත් ඉශ්‍රායෙල්වරුන් තමන් වෙතට රැස් කිරීමටත් කුසේ පටන් මා තමන්ට සේවකයෙකු කරගත්තාවූ යෙහෝවා මෙසේ පවසන්නේය. (මක්නිසාද යෙහෝවාගේ ඇස් හමුවෙහි මට ගෞරව ඇත්තේය. මාගේ දෙවි මාගේ බලයව සිටින්නේය.)’ (යෙසායා 49:5) මෙසියස් පැමිණෙන්නේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ හදවත් ඔවුන්ගේ ස්වර්ගීය පියා වෙතට නැවත හැරවීමටයි. බොහෝදෙනෙකු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවත්, සමහරු යහපත් ප්‍රතිචාරයක් දක්වති. ඒ කෙසේවෙතත්, මෙසියස්ගේ නියම විපාකය ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙනි. ඔහුගේ සාර්ථකත්වය මනින්නේ, මිනිසාට ඕනෑ කරන විදිහට නොව, නමුත් යෙහෝවාගේ ප්‍රමිතිවලට එකඟවය.

10 තමන් සේවය තුළ වෙහෙසෙන්නේ නිරපරාදේ කියා අද සිටින යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් ඇතමෙකු සිතිය හැක. සමහර ස්ථානවල වැඩයේ සහ වෙහෙසේ තරමට ප්‍රතිඵල හිඟ නම් ඔවුන්ගේ සේවය කිසිම තේරුමක් නැති යමක් මෙන් දැනෙනවාද විය හැක. එසේ වුවත්, ඔවුහු යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරමින් දිරිගැන්වීමක් ලබති. එමෙන්ම, ඔවුහු ප්‍රේරිත පාවුල් ලියූ මෙම වදන්වලින් නව ජීවයක් ලබති. “එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, [ස්වාමීන්] කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම [ස්වාමීන්ගේ] මෙහෙයෙහි වඩ වඩා පවතිව්.”—1 කොරින්ති 15:58.

“අන්‍ය ජාතීන්ට එළියක්”

11, 12. මෙසියස් “අන්‍ය ජාතීන්ට එළියක්” වී තිබෙන්නේ කෙසේද?

11 යෙසායාගේ අනාවැකියෙන් යෙහෝවා මෙසියස්ට මතක් කර දෙන්නේ දෙවිගේ සේවකයා වීම “සුළුපටු කාරණයක් [NW]” නොවන බවයි. ‘යාකොබ්ගේ ගෝත්‍ර නැඟිටවීමටත් ආරක්ෂා කරන ලද ඉශ්‍රායෙල්වරුන්ව හැරවීමටත්’ යේසුස්ව පත් කර ඇත. යෙහෝවා තවදුරටත් මෙසේ විස්තර කරයි. “පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමි.” (යෙසායා 49:6) යේසුස්ගේ දේවසේවය ඉශ්‍රායෙලයට පමණක් සීමා වී තිබියදී, ඔහු “පොළොවේ කෙළවර දක්වා” සිටින සෙනඟට ආලෝකයක් වන්නේ කෙසේද?

12 දෙවි ‘අන්‍ය ජාතීන්ට දෙන එළිය’ යේසුස්ගේ භූමික දේවසේවය අවසන් වූ පසුත් නිවී නොගිය බවයි බයිබල් වාර්තාව පෙන්වන්නේ. යේසුස් මැරී අවුරුදු 15කට පසු, මිෂනාරිවරුන් වූ පාවුල් සහ බාර්ණබස් යෙසායා 49:6හි තිබෙන අනාවැකිය උපුටා දක්වමින් එය යේසුස්ගේ ආත්මික සහෝදරයන්ට නැතහොත් ඔහුගේ ගෝලයන්ට අදාළ කළහ. ඔවුහු මෙසේ කීවෝය. “[යෙහෝවා] අපට මෙසේ [අණ කළේය], කෙසේදයත්: නුඹ පොළොවේ සීමා දක්වා ගැළවීම වන පිණිස අන්‍යජාතීන්ට නුඹ එළියක් කොට තැබුවෙමියි [කියාය].” (ක්‍රියා 13:47) පාවුල් තම මරණයට පෙර ගැළවීමේ ශුභාරංචිය යුදෙව්වන්ට පමණක් නොව, “අහසින් යට මුළු මැවිල්ලෙහි” ප්‍රකාශ වූ බව දුටුවේය. (කොලොස්සි 1:6, 23) අදදින ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ගේ ඉතිරි අය මේ වැඩය දිගටම කරගෙන යමින්, ලොව වටා රටවල් 230කට වැඩි ප්‍රමාණයක “අන්‍ය ජාතීන්ට එළියක්” වෙමින් සිටිති. දශලක්ෂ ගණනකින් යුත් ‘මහත් සමූහයක්’ ඔවුන්ට සහයෝගය දෙමින් සිටිත්.—එළිදරව් 7:9.

13, 14. (අ) දේශනා කිරීමේ වැඩය සම්බන්ධයෙන් මෙසියස් සහ ඔහුගේ අනුගාමිකයන්ට ලැබුණු ප්‍රතිචාරය කුමක්ද? (ආ) තත්වයන් හොඳ අතට හැරෙන්නේ කිනම් ආකාරයෙන්ද?

13 තම සේවකයා වන මෙසියස්, ඔහුගේ ආලේප ලත් සහෝදරයන් සහ ඔවුන් සමඟ දිගටම ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයෙහි නිරත වන මහත් සමූහය පිටුපස සිටිමින් ඔවුන්ට ශක්තිය සපයන්නේ යෙහෝවා බව පැහැදිලියි. යේසුස් හා සමානව, ඔහුගේ ගෝලයන්ද අපකීර්තියට සහ විරුද්ධවාදිකම්වලට මුහුණ දී තිබේ. (යොහන් 15:20) එහෙත් තමන් නියම කරන ලද කාලයේදී, යෙහෝවා තම පක්ෂපාත සේවකයන්ව පීඩාවෙන් ගළවා ඔවුන්ට නිසි විපාක දෙයි. “මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ” මෙසියස් ගැන යෙහෝවා මෙසේ පොරොන්දු වේ. ‘විශ්වාසව සිටින්නාවූ, නුඹව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා නිසා රජවරු දැක නැඟිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝය [ආචාර කරන්නෝය, NW].’යෙසායා 49:7.

14 පසු කාලයේදී ප්‍රේරිත පාවුල් ඉහත තත්වය අනික් පැත්තට හැරෙන ආකාරය ගැන පුරෝකථනය කරමින් පිලිප්පියේ සිටි ක්‍රිස්තියානීන්ට ලීවේය. ඔහු යේසුස්ව විස්තර කළේ, වද කණුවක නින්දාවට ලක් වුණත් දෙවි විසින් උසස් තත්වයකට පත් කළ තැනැත්තෙකු හැටියටයි. යෙහෝවා තම සේවකයාව ‘ඉතා උසස් කොට, සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට දුන්නේය. එසේ කළේ, සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නමන පිණිසය.’ (පිලිප්පි 2:8-11) ඒ හා සමානව ක්‍රිස්තුස්ගේ ඇදහිලිවන්ත අනුගාමිකයන්ටද පීඩා කරනු ඇති බවට අනතුරු අඟවා තිබේ. එහෙත්, මෙසියස් මෙන් ඔවුන්ද යෙහෝවාගේ අනුග්‍රහය ලබන බවට සහතික කර ඇත.—මතෙව් 5:10-12; 24:9-13; මාර්ක් 10:29, 30.

“විශේෂයෙන් පිළිගත යුතු වූ කාලය”

15. යෙසායාගේ අනාවැකියෙහි සඳහන් කරන විශේෂ “කාලය” කුමක්ද? ඉන් අඟවන්නේ කුමක්ද?

15 අතිවිශේෂ වැදගත්කමකින් යුත් කියමනක් සමඟින් යෙසායාගේ අනාවැකියේ යෙහෝවා මෙසියස්ට තවදුරටත් මෙසේ කියයි. “පිළිගත යුතු කාලයකදී මම නුඹට උත්තරදී, ගැළවීමේ දවසකදී නුඹට උපකාරකෙළෙමි. . . . මම නුඹ ආරක්ෂාකොට සෙනගට ගිවිසුමක් කොට දෙන්නෙමි.” (යෙසායා 49:8අ, 9ආ) මේ හා සමානම අනාවැකියක් ගීතාවලිය 69:13-18හි වාර්තා කර ඇත. ගීතිකාකරු “පිළිගත යුතු කාලය” සඳහා “පිළිගන්නා කාලය” කියා යොදා තිබේ. මේ කියමන්වලින් අඟවන්නේ යෙහෝවාගේ පිළිගැනීම සහ රැකවරණය විශේෂාකාරයකින් ඔවුන්ට දෙන බවත්, එය දෙනු ඇත්තේ නිශ්චිත සහ තාවකාලික කාලයක් තුළදී බවත්ය.

16. පුරාණ ඉශ්‍රායෙල්වරුන්ට යෙහෝවාගේ පිළිගත යුතු වූ කාලය වූයේ කවදාද?

16 එම පිළිගත යුතු කාලය වූයේ කවදාද? මුලින්ම මේ වචන යළි පිහිටුවීම සම්බන්ධ අනාවැකියේ කොටසක් වූ අතර, යුදෙව්වන් වහල්භාවයෙන් මිදී ඒම ගැන එයින් පුරෝකථනය කෙරිණි. ඉශ්‍රායෙල් ජාතිය ‘දේශය ප්‍රකෘතිමත් කර, පාළු වූ උරුමවල් යළි හිමි කරගත් විට’ පිළිගත යුතු කාලයක් අද්දුටූහ. (යෙසායා 49:8ආ) ඔවුන් තවදුරටත් බබිලෝනියේ “හිරකාරයන්” නොවේ. ඔවුන් නැවත තම මව්බිම කරා එන ගමනේදී “බඩගිනි” හෝ “පිපාසා” නොවන බවටත්, ‘මිරිඟු වැල්ල හෝ අව්ව ඔවුන්ට පහර’ නොදෙන බවටත් යෙහෝවා වගබලා ගත්තේය. විසිරී සිටි රැළ නැවත මව්බිම කරා ගෙන ඒමට යෙහෝවා ඔවුන්ව ‘දුර සිට එනම්, උතුරෙන්ද බස්නාහිරෙන්ද’ එක්කාසු කළේය. (යෙසායා 49:9-12) මෙම අනාවැකියේ මුල් ඉටුවීම මෙය වුණත්, මේ අනාවැකියට අමතර අදාළ වීම්ද තිබෙන බව බයිබලය පෙන්වා දෙයි.

17, 18. පළමු සියවසේදී යෙහෝවා ක්‍රියාත්මක කළ පිළිගත යුතු වූ කාලය කුමක්ද?

17 මුලින්ම, යේසුස්ගේ උත්පත්තිය සිදු වූ අවස්ථාවේදී දේවදූතයන් කියා සිටියේ, සමාදානය මෙන්ම දෙවිගේ අනුමැතිය නැතහොත් අනුග්‍රහය මිනිසුන් කරා පැමිණෙන බවයි. (ලූක් 2:13, 14) මේ අනුමැතිය ලැබුණේ යේසුස් කෙරෙහි ඇදහිල්ල තැබූ අයට මිස හැමෝටම නොවේ. පසුව යේසුස් යෙසායා 61:1, 2හි ඇති අනාවැකිය ප්‍රසිද්ධියේ කියවා, තමන් ‘යෙහෝවාගේ පිළිගත යුතු අවුරුද්ද’ ප්‍රකාශ කරන්නා බව පැවසුවේය. (ලූක් 4:17-21) ප්‍රේරිත පාවුල් යේසුස් ගැන කතා කරද්දී කීවේ ඔහු මාංසාකාරයෙන් මිහිමත සිටි විට විශේෂාකාරයෙන් යෙහෝවාගේ රැකවරණය ලැබූ බවයි. (හෙබ්‍රෙව් 5:7-9) මෙසේ අනුමැතිය ඇති මේ කාලයෙන් යොමු දක්වන්නේ දෙවිගේ අනුග්‍රහය ලබමින් මිනිසෙකු ලෙස යේසුස් මේ පොළොවේ විසූ කාලයටයි.

18 කෙසේවෙතත්, මේ අනාවැකිය සම්බන්ධ තවත් අදාළ වීමක් ඇත. පිළිගත යුතු කාලය සම්බන්ධයෙන් යෙසායාගේ වචන ප්‍රකාශ කළායින් පසුව පාවුල් මේ ආකාරයට ප්‍රකාශ කළේය. “මෙන්න, දැන් [විශේෂයෙන්, NW] පිළිගත යුතුවූ කාලයය; මෙන්න, දැන් ගැළවීමේ දවසය.” (2 කොරින්ති 6:2) පාවුල් මේ වදන් ලියුවේ යේසුස් මැරී අවුරුදු 22ක් ගත වූ පසුවය. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී සිදු වූ ක්‍රිස්තියානි සභාවේ උපතත් සමඟ යෙහෝවා තම පිළිගත යුතු අවුරුද්ද ආරම්භ කර තිබේ. එසේ කර තිබෙන්නේ ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ව එක්රැස් කිරීම සඳහාය.

19. යෙහෝවාගේ අනුමැතිය ඇති මෙම කාලයෙන් අද සිටින ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද?

19 දෙවිගේ ස්වර්ගීය රාජ්‍යයේ ආලේප ලත් උරුමක්කාරයන් නොවන අද සිටින යේසුස්ගේ අනුගාමිකයන් ගැන කුමක් කිව හැකිද? භූමික අපේක්ෂාවක් ඇති අයට මේ පිළිගත යුතු වූ කාලයෙන් ප්‍රයෝජන ගත හැකිද? ඇත්තෙන්ම ප්‍රයෝජන ගත හැකිය. පාරාදීස පොළොවක ජීවිතය භුක්ති විඳීමට “මහත් පීඩාව” මැදින් ඒමට නියමිත මහත් සමූහය දැන් යෙහෝවාගේ අනුමැතිය ලබන නැතහොත් පිළිගත යුතු වූ කාලය අද්දකිමින් සිටින බව එළිදරව් පොතේ පෙන්වා තිබේ. (එළිදරව් 7:13-17) එබැවින් යෙහෝවා අසම්පූර්ණ මිනිසාට තම අනුමැතිය පෙන්වන මෙම සීමිත කාලයේදී සෑම ක්‍රිස්තියානියෙකුටම ඉන් ප්‍රයෝජන ලබාගත හැකියි.

20. ක්‍රිස්තියානියෙකු යෙහෝවාගේ මහත් කරුණාව පෙන්වීමේ නියම අරමුණ වරදවා වටහාගැනීමෙන් වළකින්නේ කිනම් ආකාරයෙන්ද?

20 ප්‍රේරිත පාවුල් යෙහෝවාගේ අනුමැතිය ඇති කාලය ගැන කතා කිරීමට කලින් අනතුරු ඇඟවීමක් දෙයි. “[දෙවිගේ] මහත් කරුණාවේ නියම අරමුණ වරදවා නොගන්න” කියා ඔහු ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියි. (2 කොරින්ති 6:1, NW) මේ හේතුව නිසා, ක්‍රිස්තියානීහු දෙවිව සතුටු කිරීමට සහ ඔහුගේ කැමැත්ත කිරීමට ඔවුන්ගේ උපරිම වෑයම දරත්. (එපීස 5:15, 16) ඔවුහු පාවුල්ගේ අනතුරු ඇඟවීම හිතට ගනිත්. ඔහු මෙසේ කියයි. “සහෝදරයෙනි, ජීවමාන [දෙවි] කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න. නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.”—හෙබ්‍රෙව් 3:12, 13.

21. යෙසායා 49වන පරිච්ඡේදයේ මුල් කොටස අවසන් කරන්නේ කිනම් ප්‍රීතිමත් වදන් පෙළින්ද?

21 යෙහෝවා සහ ඔහුගේ මෙසියස් අතර අනාවැකිමය කතා බහ අවසන් වූ පසු යෙසායා මෙවන් ප්‍රීතිමත් වදන් පෙළක් ලියයි. “ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද [යෙහෝවා] තමන්ගේ සෙනග [සැනසුවේය], තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පා [කරන්නේය].” (යෙසායා 49:13) පුරාණ ඉශ්‍රායෙල්වරුන්, යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ සේවකයා වන යේසුස් ක්‍රිස්තුස්, යෙහෝවාගේ ආලේප ලත් සේවකයන් හා ඔවුන්ගේ සහයකයන් වන ‘වෙනත් බැටළුවන්’ තුළ මෙය මොනතරම් ප්‍රීතිමත් හැඟීමක් ජනිත කරයිද!—යොහන් 10:16.

යෙහෝවා තම සෙනඟව අමතක නොකරයි

22. යෙහෝවා තම සෙනඟව කිසිදා අමතක නොකරන බව කාවද්දන්නේ කෙසේද?

22 යෙසායා දැන් යෙහෝවාගේ ප්‍රකාශයන් දිගටම දැනුම් දෙයි. වහල්භාවයේ සිටින ඉශ්‍රායෙල්වරුන් වෙහෙසට පත් වී, බලාපොරොත්තු සුන් කරගන්නා බව ඔහු පුරෝකථනය කරයි. යෙසායා මෙසේ කියයි. ‘සියොන්: යෙහෝවා මා අත්හැරියේය, යෙහෝවා මා මතක නැති කළේයයි කීවාය.’ (යෙසායා 49:14) මෙය සැබෑවක්ද? යෙහෝවා තම සෙනඟව අත්හැර දමා මතක නැති කර තිබේද? යෙහෝවාගේ වදන් ප්‍රකාශ කරන්නා හැටියට යෙසායා මෙසේ කියයි. “ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්නට ඈට පුළුවන්ද? එසේය, මොවුන්ට මතකනැතිවෙන්ට පුළුවන, එහෙත් මම නම් මතක නැති නොකරන්නෙමි.” (යෙසායා 49:15) යෙහෝවාගේ ප්‍රතිචාරය මොනතරම් ප්‍රේමනීයද! මවක් තම දරුවාට දක්වන ප්‍රේමයට වඩා යෙහෝවා තම සෙනඟ කෙරෙහි දක්වන ප්‍රේමය අධිකය. යෙහෝවා සෑමවිටම තම පක්ෂපාත සේවකයන් ගැන සිතමින් සිටින්නේය. ඔවුන්ගේ නම් තම අතේ කොටා ඇත්තාක් මෙන් ඔහු ඔවුන්ව තම මතකයේ තබාගන්නේය. “බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ.”—යෙසායා 49:16.

23. යෙහෝවා තම සෙනඟව අමතක නොකරන බව විශ්වාස කිරීමට පාවුල් ක්‍රිස්තියානීන්ව දිරිගැන්වූයේ කෙසේද?

23 ගලාතියේ සිටි ක්‍රිස්තියානීන්ට ලියූ ලිපියෙහි ප්‍රේරිත පාවුල් මෙසේ දිරිගැන්වීය. “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.” (ගලාති 6:9) හෙබ්‍රෙව්වරුන්ට ඔහු දිරිගන්වනසුලු මෙම වදන් පවසයි. ‘නුඹලා දෙවිගේ නාමයට පෙන්නූ ප්‍රේමය මතක නැති කරන්ට ඔහු අධර්මිෂ්ඨ නැත.’ (හෙබ්‍රෙව් 6:10) යෙහෝවා තම සෙනඟව අමතක කර ඇතැයි කියා අප කිසිවිටෙක නොසිතිය යුතුයි. පුරාණ සියොන් වැසියන් මෙන් ප්‍රීතියෙන් හා ඉවසිලිවන්තව යෙහෝවා දෙස බලා සිටීමට ක්‍රිස්තියානීන්ටද හොඳ හේතු තිබේ. යෙහෝවා තම ගිවිසුමේ කොන්දේසි සහ පොරොන්දුවලට තදින් ඇලී සිටින්නේය.

24. සියොන යළි පිහිටුවන්නේ කිනම් ආකාරයෙන්ද? එමෙන්ම ඇය අසනු ඇත්තේ කිනම් ප්‍රශ්නද?

24 යෙහෝවා යෙසායා තුළින් අමතර සැනසිල්ලක් සපයයි. ‘සියොන විනාශ’ කළ බබිලෝනිවරුන් හෝ ඇදහිල්ල අත්හැර ගිය යුදෙව්වන් හෝ තවදුරටත් තර්ජනයක් වන්න යන්නේ නැත. යෙහෝවාට පක්ෂපාතව සිටි සියොන්හි “දරුවෝ ඉක්මනින් එති.” ඔවුන්ව යෙහෝවා “එකතු” කරනු ඇත. යෙරුසලමට රැගෙන ආ පසු, යළි පිහිටුවන ලද යුදෙව්වන් ඔවුන්ගේ නුවරට අලංකාර සැරසිල්ලක් මෙන් වනු ඇත. එය ‘මනමාලියක් ආභරණයක්’ පැළඳගන්නවා හා සමානයි. (යෙසායා 49:17, 18) සියොනය “පාළු” වී තිබුණි. ඇය වාසය කරන තැන ඉඩ මදි වන තරමටම වැසියන්ගෙන් පිරී ඉතිරී යන විට ඇය කොයිතරම් පුදුම වේවිදැයි සිතා බලන්න! (යෙසායා 49:19, 20 කියවන්න.) මේ දරුවන් පැමිණියේ කොහින්දැයි ඇය ඇසීම පුදුමයට කාරණයක් විය යුතුද? “නුඹේ සිතින් නුඹ කල්පනාකොට: මොවුන් මට ඉපදෙවුවේ කවුද? මම දරුවන් නැතුව වඳව, රටෙන් පිට වහල්වී, ඔබ මොබ ගියෙමි; මොවුන් ඇතිකළේ කවුද? මම තනිව සිටියෙමි; මොවුන් සිටියේ කොතැනදැයි කියනවා ඇත.” (යෙසායා 49:21) කලින් වඳව සිටි සියොනයට මෙය මොනතරම් ප්‍රීතියට කරුණක් වනු ඇද්ද!

25. නවීන කාලයේදී ආත්මික ඉශ්‍රායෙල් අද්දකින්නේ කිනම් ආකාරයේ යළි පිහිටුවීමක්ද?

25 මෙම වදන්වලට නවීන දින අදාළ වීමක් තිබේ. දුෂ්කර වූ Iවන ලෝක මහා යුධ සමයේදී, ආත්මික ඉශ්‍රායෙල්වරු පාළු කිරීමේ සහ වහල්භාවයේ කාලයක් අද්දුටූහ. එහෙත්, ඇයව යළි පිහිටුවා ආත්මික පාරාදීසයකට ගෙනෙනු ලැබීය. (යෙසායා 35:1-10) යෙසායා කලින් විස්තර කළ පාළු නුවර ප්‍රීති වුණාක් මෙන් ඇයද මහත් සතුටකින් ඉපිල ගියාය. ඊට හේතු වූයේ, යෙහෝවාට ප්‍රීතියෙන් සේවය කරන ක්‍රියාශීලී නමස්කාර කරන්නන්ගෙන් ඇය පිරී ඉතිරී යෑමයි.

‘ජනයන්ට කොඩියක් ඔසවන්නෙමි’

26. මිදී ආ තම සෙනඟට යෙහෝවා තවදුරටත් දෙන මඟ පෙන්වීම කුමක්ද?

26 අනාවැකිමය ආකාරයකින්, තම සෙනඟ බබිලෝනියේ වහල්භාවයෙන් මිදෙන කාලය දක්වා යෙහෝවා යෙසායාව ගෙන යයි. ඔවුන් දිව්‍ය මඟ පෙන්වීමක් ලබයිද? ඒ සඳහා යෙහෝවා දෙන උත්තරය බලන්න. ‘මම ජාතීන්ට මාගේ අත ඔසවා, ජනයන්ට මාගේ කොඩිය ඔසවන්නෙමි. ඔවුහු නුඹේ පුත්‍රයන් වඩාගෙන එන්නෝය. නුඹේ දූවරුද ඔවුන්ගේ කර පිට ගෙනෙනු ලබන්නෝය.’ (යෙසායා 49:22) එහි මුල් ඉටුවීමේදී, රාජ්‍යයේ පරිපාලන මධ්‍යස්ථානය සහ යෙහෝවාගේ දේවමාළිගාව පිහිටි ස්ථානය වූයේ යෙරුසලමයි. එය යෙහෝවාගේ පාලන තන්ත්‍රය නියෝජනය කළ බැවින් ඔහුගේ “කොඩිය” එසවූ ස්ථානය ලෙස දැක්වීය. වෙනත් ප්‍රසිද්ධ බලවත් ජාතීන්ගේ “රජවරු” සහ “බිසෝවරු” පවා ඉශ්‍රායෙල්වරුන්ට නැවත යන්න උපකාර කරන්නෝය. (යෙසායා 49:23අ) පර්සියානු රජ වූ කෝරෙෂ් සහ අර්තක්ෂස්තා ලොංගිමානස් සහ ඔවුන්ගේ රජවාසල් වැසියන් මේ උපකාරකයන් අතර විය. (එස්රා 5:13; 7:11-26) කෙසේවෙතත්, යෙහෝවාගේ මේ වචනවලට අමතර අදාළ වීමක්ද ඇත.

27. (අ) මහා පරිමාණ ඉටුවීමේදී, ජනයා රැස් වන්නේ කිනම් “කොඩිය” වෙතටද? (ආ) මෙසියස්ගේ පාලන තන්ත්‍රයට සියලුම ජාතීන්ට දණ නමන්න සිද්ධ වන විට ඇති වන ප්‍රතිඵලය කුමක්ද?

27 යෙසායා 11:10හි “ජනයන්ට කොඩියක්” ගැන කතා කරයි. ප්‍රේරිත පාවුල් මේ වදන් යේසුස් ක්‍රිස්තුස්ට අදාළ කරයි. (රෝම 15:8-12) එබැවින්, මෙහි මහා පරිමාණ ඉටුවීමේදී, ජනයා එක්රොක් වන යෙහෝවාගේ ‘කොඩිය’ වන්නේ, යේසුස් සහ ඔහුගේ ආත්මයෙන් ආලේප ලත් හවුල් පාලකයන්ය. (එළිදරව් 14:1) යථා කාලයේදී, සියලුම ජනයාට එනම්, අද සිටින පාලක පංතිවලට පවා මෙසියස්ගේ පාලන තන්ත්‍රයට දණ නමන්න සිදු වේ. (ගීතාවලිය 2:10, 11; දානියෙල් 2:44, 45ආ) එහි ප්‍රතිඵලය කුමක්ද? යෙහෝවා මෙසේ කියයි. “නුඹද යෙහෝවා වන මා කෙරෙහි බලාපොරොත්තු වන අය ලජ්ජාවට නොපැමිණෙන බව දැනගන්නෙහිය.”යෙසායා 49:23ආ.

“දැන් ගැළවීම අපට ළංව තිබේ”

28. (අ) තම සෙනඟ මිදීම ලබන බව යෙහෝවා නැවත වරක් තහවුරු කරන්නේ කිනම් වචනවලින්ද? (ආ) තම සෙනඟ සම්බන්ධයෙන් යෙහෝවා තුළ තවමත් තිබෙන හැඟීම කුමක්ද?

28 බබිලෝනියේ වහල්භාවයේ සිටින සමහරුන් මෙසේ සිතන්න ඇත. ‘ඉශ්‍රායෙල්වරුන් ඇත්තටම බේරිලා යයිද?’ යෙහෝවා එම ප්‍රශ්නය සැලකිල්ලට ගෙන මෙසේ අසයි. “බලවන්තයාගෙන් කොල්ලය ගන්ට නොහොත් යුතුලෙස වාලට අසුවුණ අය මුදන්ට පුළුවන්ද?” (යෙසායා 49:24) උත්තරය පුළුවන් යන්නයි. යෙහෝවා මෙසේ සහතික වේ. “බලවන්තයාගේ වාලුන් පවා පැහැරගන්නවා ඇත, භයානකයාගේ කොල්ලයද මුදනවා ඇත.” (යෙසායා 49:25අ) මොනතරම් සැනසිලිදායක සහතිකයක්ද! එපමණක්ද නොව, තම අනුමැතිය ලබා දෙමින් ඔවුන්ව ආරක්ෂා කිරීමට යෙහෝවා තුළ ගැඹුරු පෙලඹීමක්ද ඇත. ඉතා ස්ථිරභාවයකින් ඔහු මෙසේ කියයි. “නුඹ සමග විවාදකරන්නා සමග මම විවාදකරන්නෙමි, නුඹේ දරුවන්ද මම ගළවන්නෙමි.” (යෙසායා 49:25ආ) යෙහෝවා තුළ වූ එම හැඟීම තවමත් එලෙසම පවතී. සෙකරියා 2:8හි යෙහෝවා තම සෙනඟ ගැන මෙසේ කියයි. ‘නුඹලාට අත ගසන්නා මාගේ ඇසේ කළු ඉංගිරියාවට අත ගසන්නේය.’ ලොව වටා සිටින සෙනඟට ආත්මික සියොනට එක් විය හැකි, එනම් දෙවිගේ අනුමැතිය ඇති කාලපරිච්ඡේදයක අද අප ජීවත් වන බව ඇත්තයි. කෙසේවෙතත්, එම අනුමැතිය ඇති කාලපරිච්ඡේදය අවසන් වීමට නියමිතයි.

29. යෙහෝවාට අවනත වීම ප්‍රතික්ෂේප කරන්නවුන්ට ඇති දුක්බර අපේක්ෂාව කුමක්ද?

29 යෙහෝවාට අවනත වීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරනවා නම් හෝ දෙවිගේ නමස්කාරකයන්ට පීඩා පවා ගෙනෙනවා නම් එවැන්නන්ට සිදු වන්නේ කුමක්ද? ඔහු මෙසේ කියයි. “නුඹට පීඩාකරන්නන්ට ඔවුන්ගේම මාංසය කවන්නෙමි; ඔව්හු මුද්‍රිකයුසයෙන් මෙන් තමුන්ගේම ලෙයින් මත්වන්නෝය.” (යෙසායා 49:26අ) මොනතරම් දුක්බර අපේක්ෂාවක්ද! එවැනි මුරණ්ඩු විරුද්ධවාදීන්ට දිගු කාලීන අනාගතයක් නැත. ඔවුන් විනාශයට පත් වනු ඇත. තම සෙනඟව ගළවාගැනීමෙන් සහ ඔවුන්ගේ සතුරන්ව විනාශ කිරීමෙන් යෙහෝවා තමා ගැළවුම්කරුවා බව පෙන්වනු ඇත. ‘යෙහෝවා වන මා නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයාද යාකොබ්ගේ බලවන්තයාද බවත් මාංසමය වූ සියල්ලෝම දැනගන්නෝය.’—යෙසායා 49:26ආ.

30. තම සෙනඟ වෙනුවෙන් යෙහෝවා කර ඇති ගැළවීමේ ක්‍රියා මොනවාද? තවදුරටත් ඔහු සිදු කරනු ඇති ගැළවීමේ ක්‍රියාව කුමක්ද?

30 යෙහෝවා තම සෙනඟව බබිලෝනියේ වහල්භාවයෙන් මුදවාගැනීමට කෝරෙෂ්ව පාවිච්චි කළ විට මුල් වතාවට එම වචන අදාළ විය. තම සෙනඟව 1919දී ආත්මික වහල්භාවයෙන් මුදාගැනීමට සිංහාසනාරූඪ තම පුතු වන යේසුස් ක්‍රිස්තුස්ව පාවිච්චි කළ විටත් ඒ හා සමාන ආකාරයකටම එය අදාළ විය. මේ අනුව බයිබලය යෙහෝවා සහ යේසුස් යන දෙදෙනාවම ගැළවුම්කරුවන් ලෙස හඳුන්වයි. (තීතස් 2:11-13; 3:4-6) යෙහෝවා අපේ ගැළවුම්කරුද, යේසුස් නැතහොත් මෙසියස් ඔහුගේ “ප්‍රධාන නියෝජිතයාද” වෙයි. (ක්‍රියා 5:31, NW) යේසුස් ක්‍රිස්තුස් තුළින් යෙහෝවා සිදු කරන ගැළවීමේ ක්‍රියා ඇත්තෙන්ම පුදුමාකාරයි. ශුභාරංචිය ප්‍රචාරය කිරීමේදී යහපත් ප්‍රතිචාරයක් දක්වන අයව යෙහෝවා බොරු ආගමික බැඳුම්වලින් නිදහස් කරයි. මිදීමේ මිල පූජාව කරණකොටගෙන ඔවුන්ව පාපයෙන් සහ මරණයෙන් මුදාගනු ලැබේ. වර්ෂ 1919දී ඔහු යේසුස්ගේ සහෝදරයන්ව ආත්මික බැඳුම්වලින් නිදහස් කරනු ලැබීය. ඉතා වේගයෙන් ළඟා වන අර්මගෙදොන් යුද්ධයේදී පව්කාරයන් මත විනාශය ගෙනෙන අතර, ඔහු ඇදහිලිවන්ත මහත් සමූහය බේරාගනු ඇත.

31. දෙවිගේ අනුමැතිය ලබන්නන් වීම සඳහා ලැබූ ප්‍රස්තාවට ක්‍රිස්තියානීන් ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

31 දෙවිගේ අනුමැතිය ඇති අය බවට පත්වීමට ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද! එමනිසා, මේ පිළිගත යුතු වූ කාලයෙන් අපි සියලුදෙනාම උපරිම ප්‍රයෝජන ලබමු. අපේ කාලයේ තිබෙන හදිසිතාව තේරුම්ගනිමින්, රෝමවරුන්ට පාවුල් ලියූ දෙයට එකඟව අපි ක්‍රියා කරමු. ‘තවද කාලය දැන, එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ. රාත්‍රිය බොහෝ සේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහක දමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු. ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු. නුමුත් තෘෂ්ණා පූර්ණ කරන පිණිස මාංසයට ඉඩ නොදී [මාංසය වෙනුවෙන් සැලසුම් නොකොට, NW], ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් පැළඳගන්න.’—රෝම 13:11-14.

32. දෙවිගේ සෙනඟට තිබෙන සහතිකය කුමක්ද?

32 තම උපදෙස් පිළිපදින අයට යෙහෝවා දිගටම අනුග්‍රහය දක්වයි. ශුභාරංචිය දේශනා කිරීමට අවශ්‍ය කරන ශක්තිය සහ හැකියාව ඔහු ඔවුන්ට සපයයි. (2 කොරින්ති 4:7) යෙහෝවා තම සේවකයන්ව ඔවුන්ගේ නායකයා වන යේසුස්ව යොදාගන්නා ආකාරයටම යොදාගනු ලබයි. ඔවුන්ට මෘදු ගුණැති මනුෂ්‍යයන්ගේ හදවත් කරා ළඟාවීමට හැකි වන පිණිස ඔහු ඔවුන්ගේ මුඛ “තියුණු කඩුවක් මෙන්” කරනු ඇත. (මතෙව් 28:19, 20) ඔහු තම සෙනඟ “තමන්ගේ අත් සෙවණෙහි” ආරක්ෂා කරනු ඇත. “මුවහත්කර තිබෙන ඊගසක් මෙන්” යෙහෝවා ඔවුන්ව “තමන්ගේ කොපුවේ” වසා තබනු ඇත. ඇත්තෙන්ම, යෙහෝවා තම සෙනඟ අත් නොහරින්නේය!—ගීතාවලිය 94:14; යෙසායා 49:2, 15.

[පාදසටහන]

^ “යේසුස් දෙවිගේ පුත්‍රයා බවත්, අනාවැකියේ සඳහන් ලෙස තමාගේ හිස පොඩි කරන්නේ ඔහු බවත් (උත් 3:15) සාතන් දැන සිටි බවට කිසිම සැකයක් නැත. එමනිසා, යේසුස්ව විනාශ කිරීමට හැකි සෑම දෙයක්ම ඔහු කළේය. කෙසේවෙතත්, ආරක්ෂා සහිතව යේසුස් මරියාගේ ගර්භාශයේ පිළිසිඳගන්නා බව ගාබ්‍රියෙල් දේවදූතයා සහතික කළේ මෙසේයි. ‘ශුද්ධාත්මය නුඹ කෙරෙහි පැමිණෙන්නේය. මහෝත්තමයාගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය. දෙවිගේ පුත්‍රයායයි කියනු ලබන්නේය.’ (ලූක් 1:35) මෙසේ යෙහෝවා තම පුත්‍රයාව ආරක්ෂා කළේය. යේසුස් බිළිඳෙකුව සිටියදී මරන්න දැරූ තැත ව්‍යර්ථ විය.”—Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්හි දෙවන කාණ්ඩයේ 868වන පිටුව.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[139වන පිටුවේ පින්තූරය]

මෙසියස් හරියට යෙහෝවාගේ ඊකොපුවේ තිබෙන ‘මුවහත් කළ ඊගසක්’ මෙනි

[141වන පිටුවේ පින්තූරය]

මෙසියස් “අන්‍ය ජාතීන්ට එළියක්” වී තිබේ

[147වන පිටුවේ පින්තූරය]

මවක් තම දරුවාට දක්වන ප්‍රේමයට වඩා යෙහෝවා තම සෙනඟ කෙරෙහි දක්වන ප්‍රේමය අධිකය