Skip to content

පටුනට යන්න

බොරු ආගම්වල භයංකර නිමාව කලින් දකී

බොරු ආගම්වල භයංකර නිමාව කලින් දකී

ටවන පරිච්ඡේදය

බොරු ආගම්වල භයංකර නිමාව කලින් දකී

යෙසායා 47:1-15

1, 2. (අ) ඉතා ඉක්මනින් ලෝකයේ ආගමික වාතාවරණයේ සම්පූර්ණ වෙනසක් වෙයි කියා සමහරුන් විශ්වාස නොකරන බව පෙනෙන්නේ මන්ද? (ආ) යෙසායා 47වන පරිච්ඡේදයෙහි අනාගත අදාළ වීමක් තිබෙන බව අප දන්නේ කෙසේද? (ඇ) සියලුම බොරු ආගම් ‘මහ බබිලෝනිය’ කියා හැඳින්වීම උචිත වන්නේ මන්ද?

 “ආගම් යළි හිස ඔසවයි.” ද නියූ යෝක් ටයිම්ස් සඟරාවේ ලිපියක පළ වූ පණිවිඩය එයයි. එම ලිපියේ අදහස වූයේ ආගම, තවමත් දශලක්ෂ ගණන් ජනයාගේ හදවත් සහ මනස් තුළ ගැඹුරටම මුල් බැස ඇති බවය. මේ හේතුවෙන් ලෝකයේ ආගමික වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියා සිතීම දුෂ්කරය. එහෙත්, සිදුවීමට යන එවැනි වෙනසක් ගැන යෙසායා 47වන පරිච්ඡේදයේ සඳහන් කර ඇත.

2 යෙසායාගේ වචන දැනට අවුරුදු 2,500කට පමණ පෙර ඉෂ්ට විය. කෙසේවෙතත්, යෙසායා 47:8 වාර්තා කර ඇති වචන එළිදරව් පොතේද උපුටා දක්වා ඇති අතර, එයින් පැහැදිලි වන්නේ අනාගතයේදී තවත් අදාළ වීමක් ඊට ඇති බවයි. වේශ්‍යාවක් බඳු මේ සංවිධානය ‘මහ බබිලෝනිය’ හෙවත් බොරු ආගම්වල ලෝක අධිරාජ්‍යය ලෙස බයිබලයෙහි හඳුන්වයි. (එළිදරව් 16:19) බොරු ආගම් ඇරඹුණේ පුරාණ බබිලෝනියෙන් නිසා, ලෝකයේ තිබෙන බොරු ආගම්වලට “බබිලෝනිය” යන නම භාවිත කිරීම උචිතයි. එතැන් සිට බොරු ආගම දසත පැතිරෙන්න පටන්ගත්තේය. (උත්පත්ති 11:1-9) අමරණීය ආත්මය, නිරාගින්න, ත්‍රිත්වය වැනි බබිලෝනියෙන් ඇරඹුණු ආගමික මූලධර්ම ක්‍රිස්තියානි ලෝකය ඇතුළු සියලුම ආගම් මගින් උගන්වනු ලබයි. * ආගමට සිදුවීමට යන දේ සම්බන්ධයෙන් යෙසායාගේ අනාවැකියට කියන්න යමක් තිබේද?

බබිලෝනිය සුන්නද්දූලි වේ

3. බබිලෝනීය ලෝක බලයේ මහත්කම විස්තර කරන්න.

3 හද කලතන දිව්‍ය ප්‍රකාශයට ඇහුම්කන් දෙන්න. “කන්‍යාවවූ බබිලොන් දියණිය, බැස ධූලියෙහි හිඳගන්න; කල්දිවරුන්ගේ දියණිය, සිංහාසනයක් නැතුව බිම හිඳගන්න. මක්නිසාද: මෘදුවූ සිව්මැළිවූ තැනැත්තීයයි තවත් නුඹට කියනු නොලැබේ.” (යෙසායා 47:1) අවුරුදු ගණනාවක් පුරා ලෝකයේ බලවත්ම අධිරාජ්‍යය ලෙස නම් දැරුවේ බබිලෝනියයි. ඇය “රාජ්‍යවල අලංකාරය” හැටියට, එනම් ආගමික, වාණිජ සහ හමුදා මධ්‍යස්ථානයක් හැටියට පැවතුණි. (යෙසායා 13:19) බබිලෝනීය රාජ්‍යයේ බලවත්ම අවදියේදී එහි දකුණු මායිම මිසරයේ මායිම දක්වාම පැතිර තිබුණි. තවද පොදු යුගයට පෙර 607දී ඇය යෙරුසලම පරාජය කළ විට, ඇගේ අත නවත්වන්න දෙවිටවත් බැරි බවයි පෙනෙන්න තිබුණේ! මේ හේතුව නිසා ඇය තමාව සැලකුවේ, කිසිම විදේශිකයෙකුගේ අතට හසු නොවන ‘කන්‍යා දියණියක්’ ලෙසයි. *

4. බබිලෝනිය අද්දකින්න යන්නේ කුමක්ද?

4 කෙසේවෙතත්, අපරාජිත ලෙස දිස් වන්නාවූ මේ උඩඟු ‘කන්‍යාවව’ සිංහාසනයෙන් ඉවත් කිරීමටත්, ‘දූවිල්ලේ හින්දවීමටත්’ නියමිතය. (යෙසායා 26:5) හුරතල් කිරීම නිසා නරක් වූ ‘මෘදු සිව්මැළි’කුමාරිකාවක් ලෙස ඇයව තවදුරටත් සලකන්නේ නැත. යෙහෝවා මෙසේද අණ කරයි. “ඇඹරුම් ගල්ගෙන පිටි අඹරන්න. නුඹේ මුහුණු වැස්ම අහක්කොට, පිට ඇඳුම ගළවා දමා, කකුල් නග්නකර, ගංගාවලින් එගොඩවෙන්න.” (යෙසායා 47:2) මුළු යූදා ජාතියවම වහලුන් සේ තබාගෙන අවසන් වූ පසු, බබිලෝනියත් වහලියක් බවට පත් වෙයි! බබිලෝනිය බලයෙන් පහ කළ මේදියයන් සහ පර්සියානුවන් තමන් වෙනුවෙන් නිගරු වැඩ කිරීමට ඇයව යොදාගනී.

5. (අ) බබිලෝනියේ ‘මුහුණු වැස්මත් පිට ඇඳුමත්’ අහක් කිරීමෙන් අදහස් වන්නේ කුමක්ද? (ආ) ‘ගංගාවලින් එගොඩ වෙන්න’ කියා ඇයට අණ දීමෙන් කුමක් අදහස් කරනවා විය හැකිද?

5 බබිලෝනියේ ‘මුහුණු වැස්මත් පිට ඇඳුමත්’ අහක් කිරීමෙන්, කලින් ඇය සතු වූ මහේශාක්‍යයත් තේජසත් නැතිව යනු ඇත. “ගංගාවලින් එගොඩවෙන්න” කියා ඇයට අණ දෙන්නන් කියනු ඇත. මෙයින් අදහස් වන්නේ වහල් වැඩ කිරීමට බබිලෝනිවරුන්ගෙන් සමහරෙකුව යැවීම විය හැක. එසේත් නැතහොත් වහල්භාවය සඳහා ඔවුන්ව වචනයේ පදගතාර්ථයෙන්ම ගංගාවන් හරහා ඇදගෙන යෑම මෙම අනාවැකියෙන් අදහස් කළා විය හැකිය. අනාවැකිය කොයි ආකාරයෙන් ඉටු වුණත්, රැජිනක් දෝලාවෙන් ගමන් කරන තේජවත් විලාශයෙන් බබිලෝනිය තවදුරටත් ගමන් නොකරනු ඇත. ඒ වෙනුවට, විනීතකම ගැන සිතන්නවත් අයිතියක් නැති වහලියක් මෙන් ඇඳුම ඉහළට ඔසවාගෙන ගඟ තරණය කිරීමට ඇයට සිදු වනු ඇත. ඇය අද්දකින්නේ මොනතරම් මහත් නින්දාවක්ද!

6. (අ) බබිලෝනියේ නිරුවත හෙළි කරන්නේ කිනම් ආකාරයෙන්ද? (ආ) දෙවි ‘කිසි මනුෂ්‍යයෙකුව පිළි නොගන්නේය’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (පාදසටහන බලන්න.)

6 යෙහෝවා දිගටම ඔවුන් තුළ ලැජ්ජාව තිබීමට සලස්වයි. “නුඹේ නග්න භාවය ප්‍රකාශවන්නේය, නුඹේ ලජ්ජාවත් පෙනෙන්නේය. මම පළිගන්නෙමි. කිසි මනුෂ්‍යයෙකු පිළි නොගන්නෙමි.” (යෙසායා 47:3) * බබිලෝනිය ලැජ්ජාවටත් නින්දාවටත් පත් වෙනවා ඇත. ඇය දෙවිගේ සෙනඟට සිදු කළ දුෂ්ටකම් හා කෲරකම් ප්‍රසිද්ධියේ හෙළි කෙරෙනු ඇත. දෙවිගේ උදහස නවත්වන්න කිසි කෙනෙකුට නොහැකිය!

7. (අ) බබිලෝනියේ වැටීම පිළිබඳ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් යුදෙව්වන්ගේ ප්‍රතිචාරය කුමක් වනු ඇද්ද? (ආ) යෙහෝවා තම සෙනඟව මිල දී ගනු ඇත්තේ කෙසේද?

7 බබිලෝනියේ දැඩි ග්‍රහණය යටතේ වසර 70ක් පුරා වහල්ව සිටීමෙන් පසු, එහි වැටීම දකින්න ලැබීම දෙවිගේ සෙනඟට මොනතරම් ප්‍රීතියක්ද! ඔවුහු මෙසේ ප්‍රීතිනාද කළෝය. ‘අපේ මිදුම්කාරයා නම් සේනාවල යෙහෝවා යන නාමය ඇති ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාය.’ (යෙසායා 47:4) තමාගේ ණය ගෙවීමට ඉශ්‍රායෙල් ජාතිකයෙකු තමාව වහල්කමට විකුණුවේ නම්, මෝසෙස්ට දුන් ව්‍යවස්ථාවේ හැටියට, ඔහුව වහල්කමෙන් මුදවාගැනීම සඳහා ඔහුව මිල දී ගැනීමට මිදුම්කරුවෙකුට (ඔහුගේ ලේ නෑයෙකුට) හැකි විය. (ලෙවී කථාව 25:47-54) යුදෙව්වන්ව බබිලෝනියේ වහල්භාවයට විකුණා ඇති නිසා, ඔවුන්ව ඉන් මුදාගත යුතුය. එනමුත් අධිරාජ්‍යයක වැටීමෙන් එහි සිටින වහලුන්ට ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගනිද්දී එය එක ස්වාමියෙකු වෙනුවට තව ස්වාමියෙකු පත්වීමක් පමණක් විය හැකියි. එහෙත්, යුදෙව්වන්ව වහල්කමෙන් මුදාගැනීමට යෙහෝවා බබිලෝනිය පරාජය කළ කෝරෙෂ් රජුව පොලඹවනු ඇත. යුදෙව්වන්ගේ පාඩුවට මිසරය, ඉතියෝපියාව සහ සෙබා යන රාජ්‍යයන් යෙහෝවා ‘මිදීමේ මිලයක්’ ලෙස කෝරෙෂ්ට දෙනු ඇත. (යෙසායා 43:3) එමනිසා, ඉශ්‍රායෙල්ගේ මිදුම්කාරයාව ‘සේනාවල යෙහෝවා’ ලෙස හැඳින්වීම උචිතයි. බබිලෝනියේ සිටි බලවත් හමුදාව යෙහෝවාගේ අදෘශ්‍යමාන දේවදූත හමුදා ඉදිරියේ කිසිත් නැති තරම්ය.

කෲරකමේ ඵල විපාක

8. බබිලෝනිය ‘අන්ධකාරයට ඇතුල් වන්නේ’ කිනම් අර්ථයෙන්ද?

8 යෙහෝවා බබිලෝනියට විරුද්ධව තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි. “කල්දිවරුන්ගේ දියණිය, නිශ්ශබ්දව ඉඳ අන්ධකාරයට ඇතුල්වෙන්න. මක්නිසාද නුඹ: රාජ්‍යවල ස්වාමිදුවයයි තවත් කියනු නොලබන්නීය.” (යෙසායා 47:5) බබිලෝනියට ඉතිරි වන්නේ අන්ධකාරය පමණයි. කෲර ස්වාමි දුවක් සේ ඇය තවදුරටත් කිසිවෙකුව පාලනය නොකරනු ඇත.—යෙසායා 14:4.

9. යෙහෝවා යුදෙව්වන් සමඟ උදහස් වූයේ මන්ද?

9 එසේනම් දෙවිගේ සෙනඟට හානි කිරීමට බබිලෝනියට ඉඩහැරියේ ඇයි? යෙහෝවා මෙසේ පැහැදිලි කරයි. “මම මාගේ සෙනග කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි.” (යෙසායා 47:6අ) යුදෙව්වන් සමඟ උදහස් වීමට යෙහෝවාට හොඳ හේතු තිබුණි. තම ව්‍යවස්ථාවට අකීකරු වූවොත් ඔවුන්ව දේශයෙන් පන්නා දමන බව යෙහෝවා කලින්ම කියා තිබුණි. (ද්විතීය කථාව 28:64) ඔවුන් රූප වන්දනාව, ලිංගික දුරාචාරය වැනි මලපත්වලට වැටුණු විට නිර්මල නමස්කාරය යළි පිහිටුවීමට යෙහෝවා ප්‍රේමනීය ලෙස අනාගතවක්තෲන්ව එවීය. එහෙත් ‘සුවයක් නැති තරම් යෙහෝවාගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔවුහු දෙවිගේ පණිවිඩකාරයන්ට සරදම් කර, ඔහුගේ වචන සුළු කර, ඔහුගේ ප්‍රොපේතවරුන්ට නින්දා කළෝය.’ (2 ලේකම් 36:16) මේ නිසා, බබිලෝනිය යූදා දේශය වැටලූ විට, තම උරුමය වන යුදෙව්වන්ව සහ තම ශුද්ධ වූ දේවමාළිගාව අපකීර්තියට පත් වෙන්න යෙහෝවා ඉඩහැරියේය.—ගීතාවලිය 79:1; එසකියෙල් 24:21.

10, 11. තම සෙනඟව වහල්කමට ගෙන යෑමට ඉඩහැරියත්, බබිලෝනිය ගැන යෙහෝවා උදහස් වන්නේ මන්ද?

10 මේ අනුව බලන කල, බබිලෝනිය විසින් යුදෙව්වන්ව වහල්භාවයේ රඳවාගැනීම දේවකැමැත්ත නෙවෙයිද? එසේ නොවන බව දෙවිගේ වචනවලින් පැහැදිලියි. “නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය. මම සෑම කලම ස්වාමිදුවව සිටින්නෙමියි නුඹ කීවෙහිය. මෙසේ නුඹ මේ දේවල් සිතට ගත්තේවත්, එහි අන්තිමය සිහිකළේවත් නැත.” (යෙසායා 47:6ආ, 7) එතරම් කෲර අන්දමින් ක්‍රියා කිරීමට යෙහෝවා බබිලෝනියට අණ කර තිබුණේ නැත. ඔවුන් ‘මහල්ලන්ටවත්’ කරුණාව පෙන්වූයේ නැත. (විලාප ගී 4:16; 5:12) යුදෙව් වහලුන්ව විහිළුවකට ගනිමින් ඔවුන්ට දුක් දී ආස්වාදයක් ලබන්න යෙහෝවා කිසිවෙකුට අවසර දුන්නේ නැත.—ගීතාවලිය 137:3.

11 යුදෙව්වන්ව වහල්කමේ තබාගෙන සිටින්නේ තාවකාලිකව කියා තේරුම්ගැනීමට බබිලෝනිය අසමත් විය. යෙහෝවා තමන්ගේ නියමිත කාලයේදී තම සෙනඟව නිදහස් කරනවාය යන අනතුරු ඇඟවීම බබිලෝනිය විසින් නොසලකා හරිනු ලැබීය. ඇය හැසිරෙන්නේ හරියට යුදෙව්වන්ව සදහටම පාලනය කරගෙන ඇගේ යටත් විජිත සෑමදාම තමන් යටතේ තබාගැනීමට පුළුවන් ගානටයි. ඇගේ පීඩාකාරි පාලනයට ‘අන්තිමයක්’ තිබෙන බව පිළිගැනීමට ඇය අසමත් විය!

බබිලෝනියේ වැටීම පුරෝකථනය කරයි

12. බබිලෝනිය ‘සැප ජීවිකාවට ලොල් වූ තැනැත්තිය’ ලෙස හඳුන්වන්නේ මන්ද?

12 යෙහෝවා මෙසේ කියයි. “සැප ජීවිකාවට ඇලුම්වූ [ලොල් වූ, NW], නොසැලකිලිකමින් වාසයකරන්නාවූ [සුරක්ෂිතව හිඳිමින්, NW]: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි කියාද මා වැන්දඹුවක් වෙන්නේවත් දරුවන් නැතිවීමක් අත්දකින්නේවත් නැතැයි කියාද සිත තුළ කියාගන්නාවූ [තැනැත්තිය, NW] නුඹ මේක අසන්න.” (යෙසායා 47:8) අධික විනෝදාස්වාදය පසුපස ලුහුබැඳීම සම්බන්ධයෙන් බබිලෝනිය ප්‍රසිද්ධ බව කවුරුත් දනී. ආදරයට අධිපති දේවතාවියට ගෞරවයක් වශයෙන් සියලුම ස්ත්‍රීන් වේශ්‍යාකමේ යෙදීම බබිලෝනිවරුන් අතර වූ “නින්දාසහගතම චාරිත්‍රයක්” බව පො.යු.පෙ. පස්වන සියවසේ විසූ ඉතිහාසඥ හෙරඩෝටස් කියා සිටියේය. ඒ හා සමානව, පුරාණ ඉතිහාසඥයෙකු වූ කර්ටියස් මෙසේ කීවේය. “නුවර වැසියන් තුළ සාරධර්ම නැත්තටම නැති වී ඇත. මෙතරම් පුළුල්ව පැතිරුණු සහ සල්ලාල ජීවිතයකට දිරි දෙන දූෂිත ක්‍රියා වෙන කොතැනකවත් නොමැති තරම්ය.”

13. බබිලෝනිවරුන්ගේ විනෝදාස්වාදය සෙවීමට තිබූ ලොල්කම එහි වැටීම වේගවත් කරන්නේ කෙසේද?

13 විනෝදාස්වාදය ලුහුබැඳීමට තිබූ ලොල්කම බබිලෝනියේ වැටීම වේගවත් කරන්නේය. වැටීම සිදු වූ දින, රජ සහ ඔහුගේ අධිපතීහු මංගල්‍යෝත්සවයක් පවත්වමින් සිටිති. ඔවුහු පදම ඉක්මවා බොති. මත් ගතිය වැඩි නිසා නුවර අල්ලාගැනීමට පැමිණ සිටින මේද පර්සියානුවන් කෙරෙහි ඔවුන් අවධානයක් නොදෙනු ඇත. (දානියෙල් 5:1-4) ඇය “සුරක්ෂිතව හිඳිමින්,” කිසිදාක පරාජය කළ නොහැකි පවුරු සහ අගල තමන්ව වැටලීමෙන් ආරක්ෂා කරයි කියා සිතයි. තමන්ගේ තැන ‘තවත් කෙනෙකුට’ නොදෙන බව ඇය කියා සිටියි. තම අධිරාජ්‍යය නැතිවීමත් සමඟම ඇය “වැන්දඹුවක්” වන බවවත් ඇගේ “දරුවන්” හෙවත් සෙනඟ ඇයට නැති වී යන බවවත් ඇය විශ්වාස කරන්නේ නැත. එහෙත් යෙහෝවාගේ උදහස නමැති හස්තයෙන් ඇයව රැකගැනීමට එම පවුරුවලට හැකි වන්නේ නැත! මේ ගැන යෙහෝවා මෙසේ කියයි. “බබිලෝනිය අහස දක්වා නැගුණත්, ඇගේ ශක්තියේ උස් කොටුව ඉතා බලවත්කළත්, මා වෙතින් නාස්තිකරන්නන් ඈ කරා පැමිණෙනවා ඇත.”—යෙරෙමියා 51:53.

14. බබිලෝනිය ‘දරුවන් නැතිවීමෙන්ද වැන්දඹුවක් වීමෙන්ද’ දුක් විඳින්න යන්නේ කෙසේද?

14 බබිලෝනියේ ඉරණම කුමක් වේවිද? යෙහෝවා මෙසේ කියයි. “නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය.” (යෙසායා 47:9) ලෝක බලය හැටියට බබිලෝනිය සතුව තිබූ ඒ මහන්තත්වය හදිසියේම නිමාවකට පැමිණේ. ඉපැරණි ප්‍රාචීන කාලවලදී ස්ත්‍රියකට අද්දකින්න සිදු වන දරුණුම අද්දැකීම වන්නේ මරණයෙන් පුරුෂයා සහ දරුවන් නැති වී යෑමයි. බබිලෝනිය වැටුණු රැයේදී ඇගේ “දරුවන්” කීදෙනෙකු ඇයට අහිමි වුණාද කියා කියන්න අප දන්නේ නැත. * එහෙත්, කාලයාගේ ඇවෑමෙන් නුවර සහමුලින්ම පාළුවට යනු ඇත. (යෙරෙමියා 51:29) ඇගේ රජවරුන්ව රජකමෙන් හෙළා දමන නිසා ඇය වැන්දඹුවක් බවට පත් වනු ඇත.

15. බබිලෝනිවරුන් යුදෙව්වන්ට කුරිරු ආකාරයෙන් සැලකීමට අමතරව යෙහෝවා ඔවුන් සමඟ උදහස් වීමට මුල් වූ තවත් හේතුවක් සඳහන් කරන්න.

15 කෙසේවෙතත්, බබිලෝනිවරුන්ට විරුද්ධව යෙහෝවා උදහස් වූයේ යුදෙව්වන්ට සැලකූ ආකාරය නිසාම නොවෙයි. ඇගේ ‘බොහෝ මන්ත්‍ර ගුරුකම්ද’ ඔහුගේ උදහස ඇවිළීමට තවත් හේතුවකි. ඉශ්‍රායෙල්වරුන්ට දුන් දෙවිගේ ව්‍යවස්ථාව ආත්ම බන්ධන ක්‍රියා හෙළා දකියි. එසේ වුවත්, බබිලෝනිවරු මෙම අද්භූත ක්‍රියා දැඩි ලෙස ලුහුබැන්දාහ. (ද්විතීය කථාව 18:10-12; එසකියෙල් 21:21) අෂූරියයන් සහ බබිලෝනිවරුන්ගේ සමාජ ජීවිතය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙසේ කියයි. බබිලෝනිවරුන් ජීවත් වුණේ “රාක්ෂයන් කෙරෙහි නිරන්තර භයකිනි. ඔවුන් සිතුවේ භූතයන් විශාල පිරිසකගෙන් තමන් වට වී සිටිනවා කියාය.”

දුෂ්ටකම කෙරෙහි විශ්වාසය තැබීම

16, 17. (අ) බබිලෝනිය ‘දුෂ්ටකම කෙරෙහි විශ්වාසය’ තබන්නේ කෙසේද? (ආ) බබිලෝනියේ ඉරණම වෙනස් කිරීමට නොහැක්කේ මන්ද?

16 ශාස්ත්‍රවන්තයන් බබිලෝනිය බේරාගනීවිද? යෙහෝවා මෙසේ පිළිතුරු දෙයි. “නුඹේ දුෂ්ටකමෙහි නුඹ නොසැලකිලිව [දුෂ්ටකම කෙරෙහි විශ්වාසව, NW] සිට: මා දකින කෙනෙක් නැතැයි කීවෙහිය; නුඹේ ප්‍රඥාව හා නුඹේ දැනගැන්ම කරණකොටගෙන නුඹ මුළාවී: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි නුඹේ සිත තුළ සිතාගත්තෙහිය.” (යෙසායා 47:10) තම ලෞකික හා ධාර්මික ප්‍රඥාවෙන්, යුධ ශක්තියෙන් සහ කපටි ලෙස කෲරකම් කරමින් සැමදා ලෝකයේ බලවතා ලෙස සිටිය හැකියි කියා බබිලෝනිය සිතාගෙන සිටියි. කිසිවෙකු තමාව ‘නොදකින’ බවත් ඒ හේතුවෙන් තම දුෂ්ටකමට වගකීමට අවශ්‍යතාවක් නැතැයි කියාද ඇයට හැඟෙයි. ඇයට පෙනෙන මානයේ විරුද්ධවාදියෙකු නැත. ඒ නිසා, “තවත් කෙනෙක් නැතුව මමම සිටිමි” කියා ඇය කියාගන්නීය.

17 කෙසේවෙතත්, යෙහෝවා ඔහුගේ වෙනත් අනාගතවක්තෘවරයෙකු මාර්ගයෙන් මෙසේ අනතුරු අඟවා ඇත. “මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්ද?” (යෙරෙමියා 23:24; හෙබ්‍රෙව් 4:13) තවදුරටත්, යෙහෝවා මෙසේ ප්‍රකාශ කරයි. “ඒ නිසා විපත්තිය නුඹ පිටට පැමිණෙන්නේය; ඒක මතුරා හරින්ට නුඹ නොදන්නෙහිය. නුඹට පහකරගන්නට බැරි නාස්තියක් නුඹ පිටට වැටෙන්නේය. නුඹ නොදන්න විනාශයක්ද හදිසියෙන් නුඹ පිටට පැමිණෙන්නේය.” (යෙසායා 47:11) බබිලෝනියේ දෙවිවරුන්ටවත් ‘මතුරන’ විජ්ජාකරුවන්ටවත් පැමිණෙන විපත්තිය වළක්වන්න හැකියාවක් නැත. මේ විපත්තිය වෙන කිසිමදාක වුණාට වඩා දරුණු වනු ඇත!

බබිලෝනියේ උපදේශකයන් ව්‍යර්ථ උත්සාහයක

18, 19. බබිලෝනිය තම උපදේශකයන් මත රඳා සිටීම විනාශකාරි දෙයක් වන්නේ මන්ද?

18 යෙහෝවා උපහාසාත්මකව මෙසේ අණ කරයි. “ඉතින් නුඹේ බාල වයසේ පටන් නුඹ විසින් වෙහෙස ඇතුව පුරුදුකළාවූ නුඹේ මන්ත්‍රද බොහෝවූ නුඹේ මායම්ද භාවිතාකරන්න; සමහරවිට නුඹට වාසි ලබාගත හැකිවන්නේය, සමහරවිට නුඹ සතුරන්ට භය උපදවන්නෙහිය.” (යෙසායා 47:12) බබිලෝනිය ජාතියක් වශයෙන් ගුප්ත කර්මයෙහි යෙදී සිටින්නේ “බාල වයසේ” සිටමයි. පුළුවන් නම් දිගටම විජ්ජාවන් කෙරෙහි විශ්වාස කර බලන්නැයි බබිලෝනිවරුන්ට යෙහෝවා අභියෝග කරයි.

19 එහෙත් යෙහෝවා තවදුරටත් සමච්චල් කරමින් මෙසේ කියයි. “නුඹේ බොහෝ මන්ත්‍රණවලින් [උපදේශකයන්ගෙන්, NW] නුඹ වෙහෙසවී සිටින්නෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද අමාවක්වලදී කාරණා දන්වන්නෝද නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා.” (යෙසායා 47:13) * තම උපදේශකයන්ගේ අන්ත අසාර්ථකත්වයට මුහුණ දීමට බබිලෝනියට සිදු වේ. සියවස් ගණනාවක් පුරා තාරකා අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට බබිලෝනියේ නක්ෂත්‍රය බිහි වූ බව සැබෑවකි. එහෙත් ඇගේ විනාශය සිදු වන රැයේදී එම නක්ෂත්‍රකරුවන්ගේ දුඃඛිත අසාර්ථකත්වය තුළින් ජ්‍යෝතිඃ ශාස්ත්‍රයේ ඇති පුහුබව හෙළි කළේය.—දානියෙල් 5:7, 8.

20. බබිලෝනියේ උපදේශකයන්ගේ ඉරණම කුමක් වනු ඇද්ද?

20 යෙහෝවා තම අනාවැකියේ මෙම කොටස මේ ආකාරයට අවසන් කරයි. “බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ඔව්හු ගිනිදැල්ලේ බලයෙන් තමුන්ම ගළවා නොගන්නෝය. එය ගිනි තපින්ට අඟුරක්වත් ළංව ඉන්ට ගින්නක්වත් නොවන්නේය. නුඹ යම් යම් දේ සමග වෙහෙසුණෙහිද ඒවා නුඹට එයාකාරවන්නේය. නුඹේ යෞවන වයසේ පටන් නුඹ සමග වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.” (යෙසායා 47:14, 15) බොරු උපදේශකයන්ව දවාලන ගිනිමය කාලවල් අත ළඟය! එය ශීතල දවසක උණුසුම දෙන ආකාරයේ ගින්නක් නොවේ. එය විනාශකාරිය. බොරු උපදේශකයන්ගේ වෙස් මුහුණු දවා දමා ඔවුන් නිකම්ම නිකම් කසළ ගොඩක් බව හෙළි කරන ගින්නක්ය. එසේ නම් බබිලෝනියේ උපදේශකයන් භයෙන් පලා යෑම පුදුමයට කරුණක් නොවේ. බබිලෝනිය ගළවාගැනීමට ඇති අවසාන තුරුම්පුවද නැතිව ගොසිනි. ඇය ගළවාගැනීමට වෙන කිසිවෙකුද නැත. ඈ යෙරුසලම මත ගෙනා ඉරණමම විඳිනු ඇත.—යෙරෙමියා 11:12.

21. යෙසායාගේ අනාවැකි වදන් සැබෑ වූයේ කෙසේද? කවදාද?

21 පොදු යුගයට පෙර 539දී දේවානුභාවයෙන් ලියැවුණු මේ වචන ඉෂ්ට වීමට පටන්ගන්නේය. කෝරෙෂ් යටතේ එන මේද පර්සියානු හමුදා නුවර වටලාගෙන එහි නැවතී පාලනය කරමින් සිටි බේල්ෂශර් රජුව ඝාතනය කරන්නෝය. (දානියෙල් 5:1-4, 30) එක රැයකින් බබිලෝනිය ලෝක අධිරාජ්‍යය කණපිට පෙරළනු ලබයි. සියවස් ගණනාවක් පුරා පැවති සෙමටික ආධිපත්‍යය මේ ආකාරයට අවසන් වී ආර්යයන් අතට පත් වේ. බබිලෝනිය සියවස් ගණනාවක් පුරා අද්දකින්න යන පිරිහීම මෙයින් ඇරඹේ. පොදු යුගයේ හතරවන සියවස අවසාන වන විට එය නිකම්ම ‘ජරාවාස ගොඩකට’ වඩා වැඩි දෙයක් නොවනු ඇත. (යෙරෙමියා 51:37) මේ ආකාරයට යෙසායාගේ අනාවැකිය මුළුමනින්ම ඉටු වනු ඇත.

නවීන දින බබිලෝනිය

22. බබිලෝනියේ වැටීම මගින් උඩඟුකම සම්බන්ධව අපට උගන්වන පාඩම කුමක්ද?

22 යෙසායාගේ අනාවැකිය බොහෝ දේ ගැන සිතන්න අපව පොලඹවයි. එයින් එක් දෙයක් වන්නේ, උඩඟුකමේ සහ අනිසි ආත්ම විශ්වාසයේ භයානකකමයි. උඩඟු බබිලෝනියේ වැටීමට හේතුව බයිබලයේ හිතෝපදේශයක මෙසේ කියයි. “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.” (හිතෝපදේශ 16:18) සමහර අවස්ථාවලදී උඩඟුකම අපේ අසම්පූර්ණ මිනිස් නැඹුරුවාවන් කෙරෙහි බලපවත්වයි. මෙසේ, ‘උඩඟුකමෙන් හිස උදුම්මාගැනීම නින්දාවක්ද යක්ෂයාගේ මලපතක්ද’ විය හැක. (1 තිමෝති 3:6, 7, NW) ඒ නිසා, අප යාකොබ්ගේ උපදේශයට එකඟව ජීවත් වීම වටින්නේය. ‘යෙහෝවා ඉදිරියෙහි යටහත් පහත් වෙන්න. එවිට ඔහු නුඹලා උසස් කරන්නේය.’—යාකොබ් 4:10.

23. යෙසායාගේ අනාවැකිය අපට උපකාර කරන්නේ කිනම් විශ්වාසය ඇතුව සිටීමටද?

23 යෙහෝවා තමන්ගේ සියලුම සතුරන්ට වඩා බලවත් බැවින් ඔහු කෙරෙහි විශ්වාසය තැබීමට මේ අනාවැකි වදන් අපට උපකාර කරයි. (ගීතාවලිය 24:8; 34:7; 50:15; 91:14, 15) මේ දුෂ්කර කාලවලදී එය දිරිගන්වනසුලු මතක් කිරීමකි. ‘නිර්දෝෂ තැනැත්තාගේ අනාගතය සමාදානය’ බව බයිබලයෙහි කියයි. මෙය යෙහෝවාගේ ඇස් හමුයෙහි නිර්දෝෂව සිටීමට වූ අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කරයි. (ගීතාවලිය 37:37, 38) සාතන්ගේ ‘කපටි උපායන්’ මධ්‍යයෙහි අපේම නුවණෙහි රැඳී සිටිනවා වෙනුවට, උපකාරය සඳහා සැමවිටම යෙහෝවා දෙස බැලීම ඥානවන්තය.—එපීස 6:10-13, NW පාදසටහන.

24, 25. (අ) නක්ෂත්‍රය පදනම් විරහිත දෙයක් වන්නේ මන්ද? එනමුත් බොහෝදෙනෙකු ඒ වෙත යොමු වන්නේ මන්ද? (ආ) ක්‍රිස්තියානීන් මිථ්‍යා විශ්වාසයන් හෙළා දැකීමට හේතු මොනවාද?

24 ආත්ම බන්ධන ක්‍රියාවලට විරුද්ධව සිටීමට අපට අනතුරු අඟවා ඇති අතර, විශේෂයෙන්ම අප නක්ෂත්‍රයෙන්ද වැළකී සිටිය යුතුය. (ගලාති 5:20, 21) බබිලෝනියේ වැටීමත් සමඟ නක්ෂත්‍රය කෙරෙහි ජනයා තුළ තිබූ කුහුල නැතිව ගියේ නැත. පුරාණ ලෝකයේ ප්‍රධාන නගර (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ සඳහන් දෙය සැලකිල්ලට ගන්න. බබිලෝනිවරුන් කලින් තාරකා රාශි ස්ථානගත කර තිබූ පිළිවෙළ අදදින තවදුරටත් “යොදා නොගැනෙන” අතර, “[නක්ෂත්‍රය] විකාරයක් බවට පත් වී ඇත” කියා එහි සඳහන් වේ. එසේ වුවත්, නක්ෂත්‍රය තවමත් ලොව පුරා ඉහළින් වැජඹෙන අතර, බොහෝ පුවත්පත් තීරුවල ඒවා මුද්‍රණය කර ඇත්තේ පාඨකයන්ට පහසුවෙන්ම හඳහන් බලාගැනීමට හැකි වන පරිද්දෙනි.

25 ඉහළ පෙළේ උගතුන් ඇතුළු විශාල ජනකායක් නක්ෂත්‍රය හෝ වෙනත් ආකාරයේ පදනම් විරහිත මිථ්‍යා විශ්වාසයන් කෙරෙහි තම හිත් යොමු කර ඇත්තේ මන්ද? ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ කියයි. “මිනිසා එකිනෙකාට භයෙන් ජීවත් වන තාක් කල් මෙන්ම අනාගතය ගැන අස්ථිරව සිටින තාක් කල් මිථ්‍යා විශ්වාස මිනිසාගේ ජීවිතයෙන් බැහැර වෙයි යන්න සැක සහිතය.” භය සහ අස්ථිරත්වය මිනිසාව මිථ්‍යා විශ්වාස වෙත යොමු කරයි. කෙසේවෙතත්, ක්‍රිස්තියානීහු මිථ්‍යා විශ්වාස හෙළා දකිති. ඔවුන් මිනිසාට භය නැත. ඔවුන්ගේ උපකාරකාරයා යෙහෝවාය. (ගීතාවලිය 6:4-10) එමෙන්ම, ඔවුන් අනාගතය දෙස බලන්නේද ඒකාන්ත ආකාරයෙන් මිස අස්ථිරභාවයෙන් නොවේ. යෙහෝවා එළිදරව් කර ඇති අරමුණු ගැන ඔවුහු දනිති. එබැවින් ‘යෙහෝවාගේ මන්ත්‍රණය සදාකාලයට පවත්නා’ බවට ඔවුන් තුළ කිසි සැකයක් නැත. (ගීතාවලිය 33:11) ඔව්! යෙහෝවාගේ උපදෙස්වලට අනුකූලව අපේ ජීවිත හැඩගස්වා ගැනීමෙන් ප්‍රීතිමත් දිගු කාලීන අනාගතයක් බලාපොරොත්තු විය හැක.

26. “ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵල” බව ඔප්පු වන්නේ කුමකින්ද?

26 මෑත වර්ෂවලදී අනාගතය ගැන දැනගැනීමට සමහරුන් “විද්‍යාත්මක” යයි සලකන ක්‍රම පාවිච්චි කර ඇත. අනාගත විද්‍යාව නමින් හඳුන්වන අධ්‍යයන ක්‍රමයක් දැන් තිබෙන අතර, එහි අරමුණ විස්තර කරන්නේ “පවත්නා වර්තමාන රැල්ල පදනම් කරගනිමින් අනාගත හැකියාවන් අධ්‍යයනය කිරීම” හැටියටයි. උදාහරණයක් ලෙස, 1972දී අධ්‍යාපනික සහ ව්‍යාපාරික කණ්ඩායම් එකතු වී පිහිටුවාගත් රෝම සමාජය නමැති කණ්ඩායම කියා සිටියේ, 1992 වන විට ලෝකයේ තිබෙන රන්, රසදිය, සින්ක් සහ පෙට්‍රෝලියම් ආකර නැත්තටම නැති වී යනවා කියායි. වර්ෂ 1972 සිට මේ දක්වා භයානක සිදුවීම්වලට ලෝකය මුහුණ දී ඇතත් පොළොවේ මේ අමුද්‍රව්‍ය තවමත් පවතින බැවින් ඒ අනාවැකිය සහමුලින්ම බොරුවක් වී ඇත. ඇත්තෙන්ම, මිනිසා ඇති තරම් අනාවැකි ප්‍රකාශ කර තිබුණත් ඒවා සැමවිටම විශ්වාසභංගත්වයට මඟ පාදා තිබේ. “ප්‍රඥාවන්තයන්ගේ කල්පනා නිෂ්ඵල” බව මෙමගින් ඔප්පු වේ.—1 කොරින්ති 3:20.

මහ බබිලෝනිය මත ගෙනෙන විනාශය

27. මහ බබිලෝනිය පො.යු.පෙ. 539දී මෙන් වැටීමකට භාජන වූයේ කවදාද? කෙසේද?

27 වර්තමානයේ තිබෙන ආගම් උගන්වමින් සිටින්නේ පුරාණ බබිලෝනියේ පැවති මූලධර්මමයි. එමනිසා, බොරු ආගම්වල ලෝක අධිරාජ්‍යය, මහ බබිලෝනිය කියා නම් කර තිබීම උචිතයි. (එළිදරව් 17:5) මේ ජාත්‍යන්තර ආගමික සන්ධානය, පො.යු.පෙ. 539දී පුරාණ බබිලෝනිය වැටුණා හා සමාන වැටීමකට භාජන වී හමාරයි. (එළිදරව් 14:8; 18:2) වර්ෂ 1919දී ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ගේ ඉතිරි කොටස ආත්මික වහල්භාවයෙන් පිටතට පැමිණ, මහ බබිලෝනියේ ප්‍රධාන කොටස වන ක්‍රිස්තියානි ලෝකයේ ආගමික බලපෑම්වලින් ඉවත් විය. එතැන් සිට ක්‍රිස්තියානි ලෝකයේ දැඩි බලපෑමට ලක්ව තිබූ බොහෝ රටවල් කෙරෙන් ඒ බලපෑම හීන වී ගියේය.

28. මහ බබිලෝනිය පුරාජේරු දොඩන්නේ කෙසේද? ඇගේ ඉරණම කුමක් වනු ඇද්ද?

28 කෙසේවෙතත්, එම වැටීම බොරු ආගමේ අවසාන විනාශයේ ආරම්භය පමණි. මහ බබිලෝනියේ විනාශය ගැන එළිදරව් පොතේ සඳහන් අනාවැකි මගින් යෙසායා 47:8, 9හි වාර්තා වී ඇති අනාවැකි අපට මතක් කර දේ. පැරණි බබිලෝනිය මෙන් වර්තමාන මහ බබිලෝනියද මෙසේ කියයි. ‘මම බිසවක්ව සිටිමි. මම වැන්දඹුවක් නොවෙමි. ශෝකයද කිසිසේත් නොදකිමි.’ එහෙත්, “මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ [යෙහෝවා දෙවි] බලවත්ව [සිටින්නේය].” යෙසායා 47වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති අනාවැකි වදන් තවමත් බොරු ආගම් සමඟ මිශ්‍ර වී සිටින අයට අනතුරු අඟවයි. ඇගේ විනාශයේදී තමන්ද එහි පංගුකාරයෙකු නොවීමට නම්, ඔවුන් “ඇගෙන් ඉවත්ව එන්න” යන දිව්‍යමය අණට අවනත විය යුතුය.—එළිදරව් 18:4, 7, 8.

[පාදසටහන්වල]

^ බොරු ආගමික මූලධර්මවල වර්ධනය පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත දෙවි සඳහා මනුෂ්‍යවර්ගයාගේ ගවේෂණය (ඉංග්‍රීසියෙන්) නමැති පොත බලන්න.

^ හෙබ්‍රෙව් භාෂාවෙන් “කන්‍යාවවූ බබිලොන් දියණිය” යන කියමන යොදාගන්නේ බබිලෝනියට හෝ එහි වැසියන්ට යොමු දැක්වීමටය. ඇයට කන්‍යාව කියා අමතන්නේ, බබිලෝනිය ලෝක බලයට පත් වූ දා සිට කිසිම විදේශීය රාජ්‍යයක් විසින් එය පරාජය කර කොල්ලකා නොමැති නිසාය.

^ “කිසි මනුෂ්‍යයෙකු පිළි නොගන්නෙමි” යන හෙබ්‍රෙව් කියමන විශාරදයන් විසින් විස්තර කර ඇත්තේ පරිවර්තනය කිරීමට “අතිශයින් දුෂ්කර වාක්‍ය ඛණ්ඩයක්” ලෙසය. මෙහි අදහස වන්නේ බබිලෝනියේ සරණට කිසිම පිටස්තරයෙකුට සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ යන්නයි. තවදුරටත්, යුදෙව් ප්‍රකාශන සමාගමක් මගින් කළ පරිවර්තනයක මේ වගන්තිය පරිවර්තනය කර ඇත්තේ “මම කිසිවෙකුට . . . මැදහත් වෙන්න ඉඩ නොදෙන්නෙමි” කියායි.

^ නැබොනිඩස් ඇන්ඩ් බෙල්ෂසාර් නමැති පොතේ රේමන්ඩ් ෆිලිප් ඩොඅටි මෙවන් විස්තරයක් සපයයි: නැබොනිඩස් පුරාවෘත්තයේ කියැවෙන්නේ බබිලෝනිය ආක්‍රමණය කළ අය “කිසිම සටනක් නොකර” නුවරට ඇතුල් වුණා කියායි. එහෙත්, ග්‍රීක් ඉතිහාසඥ සෙනෆොන් කියා සිටින්නේ සැලකිය යුතු ප්‍රමාණයේ ලේ වැගිරවීමක් සිදු වන්නට ඇති බවයි.

^ ඇතැම් පරිවර්තකයන්, “නක්ෂත්‍රකාරයන්” සඳහා යොදා ඇති හෙබ්‍රෙව් කියමන පරිවර්තනය කර ඇත්තේ “අහස බෙදන්නන්” හැටියටයි. මෙයින් යොමු දක්වන්නේ හඳහන් බැලීමට අහස කොටස්වලට වෙන් කිරීමේ ක්‍රමය විය හැකියි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[111වන පිටුවේ පින්තූර]

සැප ජීවිකාවෙන් කල් ගෙවූ බබිලෝනිය දූලි වී යනු ඇත

[114වන පිටුවේ පින්තූරය]

බබිලෝනියේ වැටීම පුරෝකථනය කිරීමට එහි නක්ෂත්‍රකරුවන්ට නොහැකි වේ

[116වන පිටුවේ පින්තූරය]

පොදු යුගයට පෙර පළමු සහස්‍රයට අයත් බබිලෝනියේ නක්ෂත්‍ර දින දර්ශනයක්

[119වන පිටුවේ පින්තූර]

නවීන දින බබිලෝනිය ඉතා ඉක්මනින් විනාශ වී යනු ඇත