Skip to content

පටුනට යන්න

“මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා”

“මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා”

තුන්වන පරිච්ඡේදය

“මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා”

යෙසායා 42:1-25

1, 2. අදදින සිටින ක්‍රිස්තියානීන්ට යෙසායා 42වන පරිච්ඡේදය එතරම් වැදගත් වන්නේ මන්ද?

 “නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 43:10) යෙහෝවා කළ මේ ප්‍රකාශය පො.යු.පෙ. අටවන සියවසේදී අනාගතවක්තෘ වූ යෙසායා විසින් වාර්තා කරනු ලැබීමෙන් පුරාණයේ යෙහෝවාගේ ගිවිසුම යටතේ සිටි සෙනඟ සාක්ෂිකාර ජාතියක්ව සිටි බවයි. ඔවුහු දෙවිගේ තෝරාගත් සේවකයෝව සිටියහ. ඊට අවුරුදු 2,600කට පමණ පසු එනම්, වර්ෂ 1931දී මේ වචන ආලේප ලත් ක්‍රිස්තියානීහු තමන්ට අදාළ වන බව ප්‍රකාශ කළෝය. ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියන නාමය වැලඳගෙන දෙවිගේ භූමික සේවකයන් හැටියට ඒ හා බැඳී තිබූ වගකීම් හෘද පූර්ණව ඉටු කිරීමට පටන්ගත්තෝය.

2 යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අවංකවම දෙවිව සතුටු කිරීමට ආශාවෙන් සිටිති. යෙසායා 42වන පරිච්ඡේදය මගින් යෙහෝවා අනුමත කරන සේවකයෙකු සහ ප්‍රතික්ෂේප කරන සේවකයෙකු පිළිබඳව පැහැදිලි පින්තූරයක් ලබාගත හැකි වන නිසා එය ඔවුන් සෑම කෙනෙකුටම ඉමහත් වැදගත්කමකින් යුක්තයි. මේ අනාවැකිය සහ එහි ඉටුවීම සලකා බැලීමෙන් දෙවිගේ අනුමැතියට සහ ඔහුගේ අප්‍රසාදයට හේතු වෙන්නේ මොනවාද කියා දැනගත හැකියි.

“මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි”

3. “මාගේ මෙහෙකරුවා” සම්බන්ධයෙන් යෙහෝවා යෙසායා තුළින් පුරෝකථනය කරන්නේ කුමක්ද?

3 යෙහෝවා ඔහු විසින්ම තෝරාගන්නා ලද මෙහෙකරුවෙකුගේ පැමිණීම ගැන යෙසායා තුළින් පුරෝකථනය කරයි. “මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය; මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය ඔහු කෙරෙහි තැබීමි; ඔහු ජාතීන්ට විනිශ්චය [යුක්තිය, NW] ගෙන එන්නේය. ඔහු මොර නොගසන්නේය, ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය. ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය, දුම්ගහන පහන්තිරයක් නොනිවන්නේය. ඔහු සැබෑවෙන් විනිශ්චය [යුක්තිය, NW] ප්‍රකාශකරන්නේය. පොළොවෙහි විනිශ්චය [යුක්තිය, NW] පිහිටුවන තුරු ඔහු දුර්වල නොවන්නේය, අධෛර්ය නොවන්නේය. ද්වීපයෝ ඔහුගේ ව්‍යවස්ථාව ගැන බලා සිටින්නෝය.”—යෙසායා 42:1-4.

4. පුරෝකථනය කළ “තෝරාගත් තැනැත්තා” කවුද? අප එය දන්නේ කෙසේද?

4 මෙහි යොමු දක්වන මෙහෙකරුවා කවුද? ඒ ගැන සැක කිරීමට අපට ඉඩ තබා නැත. අප මේ වචනම මතෙව්ගේ ශුභාරංචිය තුළ දකින අතර, එහිදී එම වචන යේසුස් ක්‍රිස්තුස්ට අදාළ කර තිබේ. (මතෙව් 12:15-21) “තෝරාගත් තැනැත්තා” වන යේසුස් ප්‍රේමනීය මෙහෙකරුවායි. යෙහෝවා තම ආත්මය යේසුස් මත වැගිරවූයේ කොයි අවස්ථාවේදීද? පොදු යුගයේ 29, යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදීයි. දේවානුභාවයෙන් ලියැවුණු වාර්තාවේ යේසුස්ගේ බව්තීස්මය ගැන සඳහන් වන අතර, ඔහු වතුරෙන් ගොඩ එන විට සිදු වූ දෙයද එහි සඳහන් වේ. ‘අහස විවර වී, ශුද්ධාත්මය රූපාකාරයෙන් පරෙවියෙකු මෙන් ඔහු පිටට බැස්සේය. එවිට, නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්ම ආයේය.’ මේ ආකාරයට යෙහෝවා තම ප්‍රේමනීය මෙහෙකරුවාව ඔහු විසින්ම හඳුන්වා දුන්නේය. එතැන් සිට කළ දේවසේවය සහ ඔහු සිදු කළ ප්‍රාතිහාර්යයන් මගින් යේසුස් තමාට යෙහෝවාගේ ශුද්ධාත්මය ඇති බව ඔප්පු කළේය.—ලූක් 3:21, 22; 4:14-21; මතෙව් 3:16, 17.

“ඔහු ජාතීන්ට යුක්තිය ගෙන එන්නේය”

5. පොදු යුගයේ පළමු සියවසේදී යුක්තිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වූයේ මන්ද?

5 යෙහෝවාගේ තෝරාගත් තැනැත්තා සැබෑ යුක්තිය “ගෙන එන්නේය.” “ඔහු අන්‍ය ජාතීන්ට විනිශ්චය ප්‍රකාශකරන්නේය [යුක්තිය ඉටු කරන්නේය, NW].” (මතෙව් 12:18) මෙය පො.යු. පළමු සියවසේදී මොනතරම් අත්‍යවශ්‍ය වුණාද! යුදෙව් ආගමික නායකයන් යුක්තිය සහ ධර්මිෂ්ඨකම ගැන ඉගැන්වූ දේ ව්‍යාකූල වූ එකකි. ඔවුන් ධර්මිෂ්ඨ බව පෙන්වන්න උත්සාහ කළේ නීති සංග්‍රහයක් අනුගමනය කිරීමෙනි. ඉන් බොහොමයක් ඔවුන් විසින්ම සාදාගත් ඒවායි. ඔවුන් යුක්තිය ඉෂ්ට කළේ නීතියට වහල් වෙමිනි. එමගින් දයාව සහ අනුකම්පාව වැනි දේවල් පසෙක තබනු ලැබුවේය.

6. සැබෑ යුක්තිය යනු කුමක්දැයි යේසුස් පෙන්නුවේ කෙසේද?

6 ඊට වෙනස්ව, යේසුස් යුක්තිය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය හෙළි කළේය. යේසුස් තමා ඉගැන්වූ ආකාරයෙන් සහ ජීවත් වූ ආකාරයෙන් සැබෑ යුක්තිය, අනුකම්පාවෙන් සහ දයාවෙන් පූර්ණ දෙයක් බව පෙන්වා දුන්නේය. යේසුස්ගේ ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව ගැන සිතා බලන්න. (මතෙව් 5-7 දක්වා පරිච්ඡේද) එහිදී යුක්තිය සහ ධර්මිෂ්ඨකම විදහාපෙන්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මොනතරම් ප්‍රබල අන්දමින් පහදා දෙනු ලැබුවාද! සුවිශේෂ වාර්තා කියවද්දී, දිළිඳුන් සහ පීඩිතයන් කෙරෙහි යේසුස් තුළ තිබූ දයානුකම්පාව අපගේ සිතුවිලි කෙරෙහි බලපාන්නේ නැද්ද? (මතෙව් 20:34; මාර්ක් 1:41; 6:34; ලූක් 7:13) තැළුණු බටලීයක් සේ පහර ලැබූ බොහෝදෙනෙකු වෙත ඔහු ගැළවීමේ පණිවිඩය රැගෙන ගියේය. දුම් නඟින පහන් තිරයක ආකාරයෙන් ඔවුන්ගේ ජීවිතය නමැති දැල්ල පැවතුණේ නිවි නිවි පත්තු වෙමිනි. යේසුස් ‘තැළුණු බටලීයක් බින්දේවත් දුම් නඟින පහන් තිරයක් නිව්වේවත්’ නැත. ඔහුගේ ප්‍රේමනීය, දයානුකම්පිත වදන් මෙන්ම ක්‍රියාවන්, අහිංසක මෘදු හදවත් ඇති අයට ජීවත් වීමට බලාපොරොත්තුවක් ලබා දුන්නේය.—මතෙව් 11:28-30.

7. යේසුස් ‘මොරගසන්නේවත්, වීථියෙහි තම හඬ ඇසෙන්ට දෙන්නේවත්’ නැතැයි අනාවැකියේ සඳහන් කරන්නේ ඇයි?

7 එහෙත් යේසුස් ‘මොරගසන්නේවත්, හඬ නඟන්නේවත්, වීථියෙහි එය ඇසෙන්ට දෙන්නේවත්’ නැතැයි කියා අනාවැකියේ සඳහන් කරන්නේ ඇයි? ඊට හේතුව වූයේ ඔහු එම කාලයේ සිටි අනිත් අය මෙන් තමන් ගැන පාරට්ටු කර නොගැනීමයි. (මතෙව් 6:5) ලාදුරු රෝගියෙකුව සුව කරමින් යේසුස් ඔහුට පැවසුවේ, “කිසිවෙකුට කිසිවක් නොකියන්ට බලාගන්න” කියායි. (මාර්ක් 1:40-44) යේසුස් ජනප්‍රිය වෙන්න කැමැත්තක් දැක්වූයේ නැත. එමෙන්ම කෙනෙකු තමන් ගැන වෙනත් අය මාර්ගයෙන් දැනගන්නවා දකින්නත් ඔහු කැමති වූයේ නැත. යේසුස් කැමති වූයේ, තමන් යෙහෝවාගේ ආලේප ලත් මෙහෙකරුවා වන ක්‍රිස්තුස් බවට ඇති ප්‍රබල සාක්ෂි ඔවුන්ගේම ඇස්වලින් දැක අවබෝධ කරගන්නවාටයි.

8. (අ) යේසුස් “ජාතීන්ට යුක්තිය” ඉටු කළේ කෙසේද? (ආ) කාරුණික සමරිතානුවරයා පිළිබඳ යේසුස්ගේ උපමාවෙන් යුක්තිය ගැන යේසුස් අපට උගන්වන්නේ කුමක්ද?

8 තෝරාගත් මෙහෙකරුවා “ජාතීන්ට යුක්තිය” ඉටු කිරීමට නියමිතයි. මෙය යේසුස් විසින් ඉටු කරන ලදි. දිව්‍ය යුක්තියේ දයානුකම්පිත ස්වභාවය කාවැද්දවීමට අමතරව සියලුම ජනයාට යුක්තිය ඉටු විය යුතුයි කියා ඔහු ඉගැන්නුවේය. එක් වතාවකදී යේසුස් ව්‍යවස්ථාව උගන්වන්නෙකුට මතක් කළේ, ඔහු දෙවිටත් තමාගේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතුව තිබෙන බවයි. එවිට එම මිනිසා යේසුස්ගෙන් මෙසේ ඇසුවේය. “මාගේ අසල්වාසියා කවුද?” ‘නුඹේ අසල්වැසියා වන්නේ යුදෙව්වාය’ කියා කියනු ඇතැයි සමහරවිට ඔහු සිතන්නට ඇත. එහෙත් යේසුස් කළේ කාරුණික සමාරියා ගැන උපමාව කියන්න පටන්ගැනීමයි. ලෙවීයෙකු සහ පූජකයෙකු විසින් නොසලකන ලද, සොරුන්ගෙන් පහර කා පාරේ වැටී සිටි යුදෙව්වෙකුගේ උදව්වට පැමිණි සමරිතානුවෙකු ගැන ඔහු තම උපමාවේ සඳහන් කළේය. එහිදී අසල්වැසියා වූයේ ලෙවීයාවත් පූජකයාවත් නොව යුදෙව්වන් විසින් හෙළා දකිනු ලබන සමරිතානුවා බව පිළිගැනීමට මෙම ප්‍රශ්න කළ පුද්ගලයාට සිදු විය. යේසුස් තම උපමාව මෙම උපදේශයෙන් අවසන් කළේය. “ගොස් එලෙසම කරන්න.”—ලූක් 10:25-37; ලෙවී කථාව 19:18.

‘ඔහු දුර්වල වන්නේවත් අධෛර්යයට පත් වන්නේවත් නැත’

9. සැබෑ යුක්තියේ ස්වභාවය තේරුම්ගැනීම අපට බලපෑ යුත්තේ කෙසේද?

9 සැබෑ යුක්තියේ ස්වභාවය පිළිබඳව යේසුස් පැහැදිලි ලෙස කියා දුන්නායින් පසු, ඔහුගේ ගෝලයෝ මේ ගුණාංගය විදහාපාන්න ඉගෙනගත්හ. එසේම අපත් කළ යුතුයි. යුක්තිය සහ ධර්මිෂ්ඨකම නියම කිරීමට අයිතිය තිබෙන්නේ යෙහෝවාට නිසා, යහපත සහ අයහපත පිළිබඳ දෙවිගේ ප්‍රමිතීන් අප මුලින්ම පිළිගත යුතුයි. අප දේවල් යෙහෝවාට ඕනෑ විදිහට කරන්න උත්සාහ කරද්දී, සැබෑ යුක්තිය කියන්නේ කුමක්ද කියා අපේ අවංක හැසිරීම් රටාව හඬගා කියනු ඇත.—1 පේතෘස් 2:12.

10. දේශනා කිරීමෙහි සහ ඉගැන්වීමෙහි හවුල් වීම යුක්තිය පෙන්වීමක් වෙන්නේ කෙසේද?

10 අපි දේශනා කිරීමෙහි සහ ඉගැන්වීමෙහි ජ්වලිත ලෙස යෙදෙද්දීත් මේ සැබෑ යුක්තිය විදහාපාන්නෙමු. යෙහෝවා තමන් ගැනත් තම පුත්‍රයා ගැනත් තම අරමුණු ගැනත් හෙළි කරමින් ජීවිත ගළවන දැනුම ඉතා ත්‍යාගශීලී ලෙස සපයා දී තිබේ. (යොහන් 17:3) එම දැනුම අප සතුව පමණක් තබාගැනීම හරි දෙය හෝ සාධාරණ දෙය නොවේ. “කරුණාව [යහපත, NW] පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න” කියා සාලමොන් පවසයි. (හිතෝපදේශ 3:27) ජනයා කුමන ජාතියකට, වර්ගයකට හෝ වාර්ගික පසුබිමකට අයිති වුණත්, දෙවි ගැන අපි දන්නා සියල්ල හෘද පූර්ණ ලෙස සියලුදෙනා සමඟම බෙදාගනිමු.—ක්‍රියා 10:34, 35.

11. යේසුස්ව අනුකරණය කරන්නන් හැටියට, අප අනිත් අයට සැලකිය යුත්තේ කෙසේද?

11 සැබෑ ක්‍රිස්තියානියෙකු අනිත් අයට සලකන්නේ යේසුස් සැලකූ ආකාරයටයි. අදදින සිටින බොහෝදෙනෙකු හද දෙපළු කරවන ගැටලුවලින් මිරිකී සිටින අතර, ඔවුන්ට දයානුකම්පාව දැක්වීමේද දිරිගැන්වීමේද අවශ්‍යතාවක් තිබේ. සමහර කැප වූ ක්‍රිස්තියානීන් පවා විවිධ තත්වයන් හේතුවෙන් හොඳටම බැට කා තිබිය හැකි අතර, ඔවුන් හරියට තැළුණු බට ලී හෝ දුම් නඟින පහන් තිර මෙන් වී තිබේ. ඔවුන්ට අපේ උපකාරය අවශ්‍ය වන්නේ නැද්ද? (ලූක් 22:32; ක්‍රියා 11:23, NW) යුක්තිය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් යේසුස්ව අනුගමනය කිරීමට වෑයම් කරන සැබෑ ක්‍රිස්තියානීන්ගේ සංගමයේ කොටසක් වීමට ලැබීමෙන් ඇති වන්නේ මොනතරම් ප්‍රබෝධයක්ද!

12. සියලුදෙනාටම යුක්තිය ඉෂ්ට වන කාලයක් ගැන අපට සහතික විය හැක්කේ මන්ද?

12 සියලු ජනයාට කවදා හෝ දිනක යුක්තිය ඉටු වේවිද? ඔව්, ඇත්තෙන්ම එය ඉටු වන්නේය. යෙහෝවාගේ තෝරාගත් තැනැත්තා ‘යුක්තිය ඉටු කරන තුරු දුර්වල වන්නේවත්, අධෛර්යයට පත් වන්නේවත්’ නැත. සිංහාසනාරූඪ වී සිටින රජ වන නැවත නැඟිටුවන ලද යේසුස් ක්‍රිස්තුස් ඉතාමත් ඉක්මනින් ‘දෙවිව නාඳුනන්නන්ට ප්‍රතිඵල දෙන්නේය.’ (2 තෙසලෝනික 1:6-8, 10; එළිදරව් 16:14-16) මිනිස් ආණ්ඩු ක්‍රම වෙනුවට දෙවිගේ රාජ්‍යය පිහිටුවන අතර, යුක්තිය සහ ධර්මිෂ්ඨකම පුළුල්ව පැතිර පවතී. (හිතෝපදේශ 2:21, 22; යෙසායා 11:3-5; දානියෙල් 2:44, 45; 2 පේතෘස් 3:13) දුර ඈත පිහිටි “ද්වීප” ඇතුළුව සෑම තැනකම වෙසෙන යෙහෝවාගේ සේවකයන් මහත් උනන්දුවෙන් බලා සිටින්නේ එම දවස එන තුරුයි.

‘මම ඔහුව ජාතීන්ගේ ආලෝකයක් බවට පත් කරමි’

13. තමන් තෝරාගත් මෙහෙකරුවා සම්බන්ධයෙන් යෙහෝවා පුරෝකථනය කරන්නේ මොනවාද?

13 යෙසායා තවදුරටත් මෙසේ කියයි. “ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනගට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද [සැබෑ, NW] දෙවිවූ [යෙහෝවා] මෙසේ [කියන්නේය].” (යෙසායා 42:5) මැවුම්කරු වන යෙහෝවා පිළිබඳ මොනතරම් ප්‍රබල විස්තරයක්ද! යෙහෝවාගේ බලසම්පන්නභාවය පිළිබඳ මෙම මතක් කිරීම ඔහු පවසන දේවලට අමතර සහතිකයක් සපයන්නේය. යෙහෝවා මෙසේ කියයි. “මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනගගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද [ආලෝකයක්ද, NW] කොට නියමකරන්නෙමි. එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.”—යෙසායා 42:6, 7.

14. (අ) යෙහෝවා තම තෝරාගත් මෙහෙකරුවාගේ අතින් අල්ලාගන්නවායයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) තෝරාගත් තැනැත්තාගේ කාර්යභාරය කුමක්ද?

14 විශ්වයේ උත්තරීතර මැවුම්කරුවා, ජීවිතදායකයා සහ එය පෝෂණය කරන්නා වන යෙහෝවා තමන් තෝරාගත් තැනැත්තාගේ අත අල්ලාගනිමින් ඔහුට පූර්ණ සහයෝගයක් නිරන්තරයෙන් ලබා දෙන බවට පොරොන්දු වේ. එය මොනතරම් සහනයක්ද! තවදුරටත්, තම ‘සෙනඟට ගිවිසුමක්’ හැටියට දීම සඳහා යෙහෝවා ඔහුව ආරක්ෂා කරයි. ගිවිසුමක් කියන්නේ කොන්ත්‍රාත්තුවකට එකඟ වීමක් නැතහොත් බැරෑරුම් පොරොන්දුවකට බැඳීමයි. එය ස්ථිර කොන්දේසියකි. ඔව්, යෙහෝවා තම සේවකයාව ‘සෙනඟට ගිවිසුමක්’ වීමට පත් කරගෙන තිබේ.

15, 16. යේසුස් “ජාතීන්ගේ ආලෝකය” හැටියට කටයුතු කරන්නේ කෙසේද?

15 “ජාතීන්ගේ ආලෝකයක්” හැටියට දෙන බවට පොරොන්දු කරන ලද මේ සේවකයා ‘අන්ධ වූ ඇස් අරින’ අතර “අන්ධකාරයෙහි ඉන්නන්” ඉන් මුදයි. යේසුස් මේ දේ කළේය. සත්‍යයට සාක්ෂි දරමින් යේසුස් තම ස්වර්ගීය පියාගේ නාමය ගෞරවයට පත් කළේය. (යොහන් 17:4, 6) ඔහු ආගම්වලට සම්බන්ධ බොරු හෙළි කරමින්, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළ අතර, ආගමික බැඳුම් මධ්‍යයෙහි සිටි අයට ආත්මික නිදහස නමැති දොරටු විවර කළේය. (මතෙව් 15:3-9; ලූක් 4:43; යොහන් 18:37) අන්ධකාරයට අයත් ක්‍රියාවන්හි නියැලීමට එරෙහිව ඔහු අනතුරු ඇඟවූ අතර, සාතන් “බොරුවේ පියා” සහ “මේ ලෝකයේ අධිපතියා” බව හෙළි කළේය.—යොහන් 3:19-21; 8:44; 16:11.

16 “මම ලෝකයේ ආලෝකයය” කියා යේසුස් පැවසුවේය. (යොහන් 8:12) තම පරිපූර්ණ ජීවිතය මිදීමේ මිලයක් කොට දීම තුළින් ඔහු විසින් එය සැබෑවක් බව ඉතා හොඳින් ඔප්පු කරන ලදි. ඇදහිල්ල තබන අයට පාපයට සමාවත්, දෙවි සමඟ අනුමැතිය ලත් සම්බන්ධතාවකුත්, සදාකාල ජීවනයට මාර්ගයත් ඔහු විවෘත කළේය. (මතෙව් 20:28; යොහන් 3:16) තම ජීවිත කාලය පුරාම පරිපූර්ණ දේවභක්තියක් ඇතුව සිටීම මගින් යේසුස් යෙහෝවාගේ පරමාධිපත්‍යය තහවුරු කළ අතර, යක්ෂයා බොරුකාරයෙකු බව ඔප්පු කරනු ලැබීය. යේසුස් සැබෑවටම අන්ධයන්ට පෙනීම ලබා දෙන්නෙකු මෙන්ම ආත්මික අන්ධකාරයේ බැඳුම්වලින් මුදවන්නෙකු බව පැහැදිලියි.

17. අප ආලෝකය දරන්නන් ලෙස කටයුතු කරන්නේ කුමන ආකාරවලින්ද?

17 “නුඹලා ලෝකයේ ආලෝකයය” කියා කන්ද උඩ දේශනාවේදී යේසුස් තම ගෝලයන්ට පැවසුවේය. (මතෙව් 5:14) අපත් ආලෝකය දරන්නන් නොවේද? අප ජීවත් වන ආකාරයෙන් සහ දේශනා කිරීම තුළින් සැබෑ ඥානාලෝකයේ උල්පත වන යෙහෝවා වෙත අන්‍යයන්ව මඟ පෙන්වීමේ වරප්‍රසාදය අපට තිබේ. අපි යේසුස්ව අනුකරණය කරමින් යෙහෝවාගේ නාමය අන්‍යයන්ට දන්වන්නෙමු. ඔහුගේ පරමාධිපත්‍යය තහවුරු කරන්නෙමු. එමෙන්ම මනුෂ්‍යවර්ගයාට තිබෙන එකම බලාපොරොත්තුව වන ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්නෙමු. තවදුරටත්, ආලෝකය පතුරුවන්නන් හැටියට අපි ආගම්වලට සම්බන්ධ බොරු හෙළි කරන අතර, අන්ධකාරයට අයත් අපවිත්‍ර ක්‍රියා සම්බන්ධයෙන් අනතුරු අඟවන්නෙමු. එපමණක්ද නොව, දුෂ්ටයා වන සාතන්ගේ වෙස් මුහුණද ගළවා දමන්නෙමු.—ක්‍රියා 1:8; 1 යොහන් 5:19.

‘යෙහෝවාට අලුත් ගීතිකාවක් ගායනා කරන්න’

18. යෙහෝවා තම සෙනඟට දැනගන්න සලස්වන්නේ කුමක්ද?

18 දැන් යෙහෝවා තම සෙනඟ වෙත අවධානය යොමු කරයි. “මම [යෙහෝවාය]; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි. බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, මම අමුතු [අලුත්, NW] දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි.” (යෙසායා 42:8, 9) “මාගේ මෙහෙකරුවා” සම්බන්ධ අනාවැකිය පවසන ලද්දේ අප්‍රාණික දෙවියෙකු විසින් නොව එකම සැබෑ වූ ජීවමාන දෙවි විසිනි. එය ඉටු වන බව නිසැකයි. ඔව් එය එපරිද්දෙන්ම ඉටු විය. ඇත්තෙන්ම අලුත් දේවල උල්පත යෙහෝවා දෙවියි. ඒවා සිදුවීමට ප්‍රථමයෙන් ඔහු තම සෙනඟට ඒ පිළිබඳව දැනගන්න සලස්වයි. එසේ කරද්දී අප එයට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

19, 20. (අ) ගායනා කළ යුතු ගීතිකාව කුමක්ද? (ආ) අදදින යෙහෝවාට ප්‍රශංසා ගීතිකාවක් ගායනා කරන්නේ කවුද?

19 යෙසායා මෙසේ ලියයි. “මුහුදට බැසයන්නෙනි, එහි පිරී සිටින සියල්ලෙනි, දිවයින් හා එහි වැසියෙනි, [යෙහෝවාට] අලුත් ගීතිකාවක්ද පොළෝ සීමාවේ සිට [ඔහුගේ] ප්‍රශංසාවද ගායනාකරන්න. කාන්තාරය සහ එහි නුවරවල්ද කේදාර්වරුන් වාසයකරන ගම්ද ශබ්දනගත්වා; පර්වතවල වැසියෝ ඔල්වරහඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා. ඔව්හු [යෙහෝවාට] ගෞරවය දී, [ඔහුගේ] ප්‍රශංසාව දිවයින්වල ප්‍රකාශකෙරෙත්වා.”යෙසායා 42:10-12.

20 නගර වැසියන්, කැලෑබදව වසන ගම්මුන්, දූපත් වැසියන් සහ කාන්තාරයේ මුර කරන “කේදාර්වරුන්” ඇතුළු සෑම තැනකම සිටින්නන් යෙහෝවාට ප්‍රශංසා ගීතිකාවක් ගායනා කිරීමට පෙලඹුණි. අපේ කාලයේදීත් දශලක්ෂ ගණන් සෙනඟක් මෙම අනාවැකිමය ඉල්ලීමට ප්‍රතිචාරය දක්වා තිබීම මොනතරම් සිත්ගන්නක්ද! දෙවිගේ වචනයේ සත්‍යතාවන් වැලඳගැනීමෙන් යෙහෝවාව තමන්ගේ දෙවි හැටියට ඔවුන් පිළිගෙන තිබේ. යෙහෝවාගේ සෙනඟ ඔහුගේ නාමය වර්ණනා කරන්නාවූ මේ අලුත් ගීතිකාව දේශ 230කට වඩා වැඩි ප්‍රමාණයක ගායනා කරයි. විවිධ සංස්කෘතීන්ට, භාෂාවන්ට සහ ජාතීන්ට අයත් අයට ඉහත සඳහන් ගායනයේ හවුල් වීමට ලැබීම මොනතරම් ප්‍රීතියක්ද!

21. යෙහෝවාට ගයන ප්‍රශංසා ගීතිකාව නතර කර දැමීමට දෙවිගේ සෙනඟගේ සතුරන් දරන වෑයම සඵල නොවන්නේ මන්ද?

21 ඊට විරුද්ධව නැඟී සිටිමින් එය ගැයීම නතර කිරීමට දෙවිගේ සතුරන්ට හැකිද? ඔවුන්ට කොහෙත්ම එය කළ නොහැකියි. මන්ද, ‘යෙහෝවා බලවන්තයෙකු මෙන් නික්ම එන්නේය. ඔහු යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවන්නේය. ඔහු කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවත් ලෙස ක්‍රියා කරන්නේය.’ (යෙසායා 42:13) යෙහෝවාට විරුද්ධව නැඟී සිටිය හැකි බලවන්තයා කවුද? දැනට අවුරුදු 3,500කට පමණ පෙර අනාගතවක්තෘ මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ ගායනා කළෝය. ‘යෙහෝවා යුද්ධ දක්ෂයෙක්ය. ඔහුගේ නාමය යෙහෝවාය. ඵාරාවෝගේ රථ සහ ඔහුගේ සේනාව ඔහු මුහුදට හෙළුවේය. ඔහුගේ තෝරාගත් [දක්ෂතම, NW] සේනාපතියෝ රතු මුහුදෙහි කිඳාගියෝය.’ (නික්මයාම 15:3, 4) එවකට සිටි බලවත්ම යුධ හමුදාවට වඩා යෙහෝවා බලවත්ව මෙන්ම අපරාජිත තත්වයක සිටියේය. යෙහෝවා බලවත් යුධ භටයෙකු මෙන් ක්‍රියා කරද්දී තම සෙනඟගේ කිසිම සතුරෙකුට ජයගැනීමට හැකි වූයේ නැත.

“මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි”

22, 23. යෙහෝවා ‘බොහෝ කාලයක් නිහඬව සිටින්නේ’ මන්ද?

22 යෙහෝවා තරාතිරම් නොබලන, ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි. තමන්ගේ සතුරන් විනිශ්චය කරද්දීත් එහි වෙනසක් නැත. ඔහු මෙසේ පවසයි. “මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි; නිශ්චලව කථා නොකර සිටියෙමි. දැන් විළිරුජා ඇති ස්ත්‍රියෙකු මෙන් කෑගසන්නෙමි; එකවිටම කට ඇර හතිදමන්නෙමි. මම කඳු සහ හෙල් පාළුකර, ඒවායේ සියලු පලාජාති වියළවන්නෙමි; ගංගා ගොඩ කර, පොකුණු හින්දවන්නෙමි.”—යෙසායා 42:14, 15.

23 යෙහෝවා තම විනිශ්චය ක්‍රියාත්මක කිරීමට පෙර, වැරදිකරුවන්ට ඔවුන්ගේ නපුරු මාර්ගවලින් ආපසු හැරෙන්න අවස්ථාවක් ලබා දෙන්නේය. (යෙරෙමියා 18:7-10; 2 පේතෘස් 3:9) එවකට පැවති ප්‍රබල ලෝක බලය වන බබිලෝනිය විසින් පො.යු.පෙ. 607දී යෙරුසලම පාළු කිරීම ගැන සිතා බලන්න. යෙහෝවා මෙයට ඉඩහරින්නේ ඉශ්‍රායෙල්වරුන්ගේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ව හික්මවීමක් වශයෙනි. කෙසේවෙතත්, බබිලෝනිවරුන් ඔවුන්ට භාර දී තිබූ කර්තව්‍යයේ බරපතළකම වටහාගන්නේ නැත. ඔවුහු දෙවිගේ විනිශ්චය ගැන කිසිදු තැකීමක් නැතුව සෙනඟට ඉතා කුරිරු ලෙස සලකති. (යෙසායා 47:6, 7; සෙකරියා 1:15) තම සෙනඟ දුක් විඳිනවා දැකීමෙන් සැබෑ දෙවිට මොනතරම් නම් වේදනාවක් ඇති වෙන්න ඇද්ද! එහෙත්, ඔහු තමන් නියම කරන ලද කාලය එන තුරු කිසිවක් නොකරන්නේය. අවස්ථාව පැමිණි විගස, ඔහු දරුවෙකු බිහි කිරීමට විළිරුජා විඳිමින් වෙහෙසෙන ස්ත්‍රියක් මෙන්, ගිවිසුමකින් බැඳී සිටින තම සෙනඟව නිදහස් කරමින් ඔවුන්ව ස්වාධීන ජාතියක් බවට පත් කරන්නේය. මෙසේ කිරීම සඳහා ඔහු පො.යු.පෙ. 539දී, බබිලෝනියේ ආරක්ෂිත ජලාශ හිඳෙන්න සලස්වා ඇය පාළු නගරයක් බවට පත් කරනු ඇත.

24. යෙහෝවා තම සෙනඟ වන ඉශ්‍රායෙල්ට විවෘත කර ඇති ප්‍රස්තාව කුමක්ද?

24 අවුරුදු ගණනාවක වහල්භාවයෙන් පසු, තම මව්බිම කරා යෑමට මඟ විවර වීම දෙවිගේ සෙනඟට මොනතරම් ප්‍රීතියට හේතුවක් වන්න ඇතිද! (2 ලේකම් 36:22, 23) ඔවුන් යෙහෝවාගේ පොරොන්දුවේ ඉටුවීම අද්දකින්න මහත් ආශාවෙන් බලා සිටියා විය හැකියි. “අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙනයන්නෙමි; ඔවුන් නොදන්නා මාවත්වලින් යන්ට සලස්වන්නෙමි. ඔවුන් ඉදිරියෙහි අන්ධකාරය එළිය කොට, ඇද තැන් ඇද අරින්නෙමි. මම මේ දේවල් කරන්නෙමි, ඔවුන් අත්නාරින්නෙමි.”—යෙසායා 42:16.

25. (අ) අදදින සිටින යෙහෝවාගේ සෙනඟට ස්ථිර විය හැක්කේ කුමක් ගැනද? (ආ) අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

25 මේ වචන අද කාලයට අදාළ වෙන්නේ කෙසේද? බොහෝ කාලයක් පුරා එනම්, සියවස් ගණනාවක් පුරා ඔවුන්ට ඕනෑ ආකාරයට ගමන් කරන්න යෙහෝවා ජාතීන්ට ඉඩහැර තිබේ. කෙසේවෙතත්, කාරණා සමතයකට පත් කරගැනීම සඳහා යෙහෝවා නියම කර ඇති කාලය ආසන්නයි. වර්තමානයේ ඔහු තම නාමයට සාක්ෂි දැරීම සඳහා සෙනඟක් නැඟිටුවා තිබේ. ඔවුන්ට විරුද්ධව නැඟී සිටින ඕනෑම සතුරුවාදී බාධාවක් සමතලා කර දමමින් ‘ආත්මයෙනුත් සැබෑකමිනුත්’ නමස්කාර කිරීමට ඔහු ඔවුන්ට මාර්ගය පාදා දී තිබේ. (යොහන් 4:24) ‘මම ඔවුන් අත්නාරින්නෙමි’ කියා ඔහු පොරොන්දු වී තිබේ. යෙහෝවා තම වචනය වෙනස් කර නැත. බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නන් ගැන කිව හැක්කේ කුමක්ද? යෙහෝවා මෙසේ පවසයි. “රූප කෙරෙහි විශ්වාසකරන්නාවූ, නුඹලා අපේ දෙවිවරුයයි පිළිමවලට කියන්නාවූ අය පස්සට හරවනු ලබන්නෝය, බොහෝසෙයින් ලජ්ජාවට පත්වන්නෝය.” (යෙසායා 42:17) යෙහෝවාගේ තෝරාගත් තැනැත්තා මෙන් දෙවි කෙරෙහි ඇදහිලිවන්තව සිටීම මොනතරම් වැදගත්ද!

‘බිහිරි මෙන්ම අන්ධ මෙහෙකරුවෙක්’

26, 27. ඉශ්‍රායෙල් ‘බිහිරි මෙන්ම අන්ධ මෙහෙකරුවෙකු’ බව ඔප්පු වූයේ කෙසේද? එහි ප්‍රතිවිපාක මොනවාද?

26 දෙවිගේ තෝරාගත් මෙහෙකරුවා වන යේසුස් ක්‍රිස්තුස් මරණය දක්වාම ඇදහිලිවන්තව සිටියේය. ඒ වුණත්, යෙහෝවාගේ සෙනඟ වන ඉශ්‍රායෙල් නොඇදහිලිවන්ත මෙහෙකරුවෙකු බව ඔප්පු විය. ආත්මික අර්ථයෙන් ගත් කල ඔවුන් බිහිරිව සහ අන්ධව සිටියේය. ඔවුන්ව ආමන්ත්‍රණය කරමින් යෙහෝවා මෙසේ පැවසුවේය. “බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, දකින පිණිස බලන්න. මාගේ මෙහෙකරුවා මිස අන්ධව සිටින්නෙත් මාගේ පණිවිඩකාරයා මෙන් බිහිරිව සිටින්නෙත් කවුද? මා හා සමාදානයෙන් සිටින්නා මෙන් අන්ධව සිටින්නෙත් [යෙහෝවාගේ] මෙහෙකරුවා මෙන් අන්ධව සිටින්නෙත් කවුද? නුඹ බොහෝදේ දකින නුමුත් නොසලකන්නෙහිය; ඔහුගේ කන් ඇරී තිබෙද්දීත් ඔහු අසන්නේ නැත. [යෙහෝවා] තමන්ගේ ධර්මිෂ්ඨකම නිසා ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරවකරන්ට [සතුටු වූයේය].”යෙසායා 42:18-21.

27 ඉශ්‍රායෙල්වරුන් සිටි අන්ත නින්දිත තත්වය ගැන සිතා බලන්න. ඇගේ සෙනඟ නැවත නැවතත් ජාතීන්ගේ බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමේ වරදට වැටුණෝය. දිගින් දිගටම යෙහෝවා තම පණිවිඩකරුවන්ව එවනු ලැබුවත් සෙනඟ ඇහුම්කන් දුන්නේ නැත. (2 ලේකම් 36:14-16) යෙසායා විපාකය ගැන මෙසේ පුරෝකථනය කරයි. “එහෙත් මොව්හු කොල්ලකෑමද පැහැරගැන්මද වින්දාවූ සෙනගක්ය; මොවුන් සියල්ලෝම වළවල්හි අසුවී, ඇඳිරි ගෙවල්වල සඟවනු ලැබ සිටිති. කිසිවෙකු විසින් ගළවනු නොලැබ, ඔව්හු කොල්ලයක්ව සිටිති; නිදහස්කරන්නැයි කිසිවෙකු කියන්නේ නැතුව නාස්තියක් වී සිටිති. නුඹලා අතරෙන් කවුරු මීට ඇහුම්කන්දී අසා, මින් මත්තට කීකරුවන්නේද? යාකොබ් කොල්ලයක් පිණිසද ඉශ්‍රායෙල් කොල්ලකාරයන්ටද දුන්නේ කවුද? [යෙහෝවා] නොවේද? අප පව්කළේ [ඔහුට] විරුද්ධවය, ඔවුන් යන්ට අකමැතිවුණේ [ඔහුගේ] මාර්ගවලය; ඔවුන් අකීකරුවුණේ [ඔහුගේ] ව්‍යවස්ථාවටය. ඒ නිසා [ඔහු] තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි [වැගිරෙවුවේය]; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.”යෙසායා 42:22-25.

28. (අ) යූදාහි වැසියන්ගේ ආදර්ශයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) අපට යෙහෝවාගේ අනුමැතිය සෙවිය හැක්කේ කෙසේද?

28 වැසියන් තුළ තිබූ නොඇදහිලිකාරකම නිසා, පො.යු.පෙ. 607දී යූදා දේශය කොල්ල කා දමන්න යෙහෝවා ඉඩහැරියේය. බබිලෝනියේ වැසියන් යෙහෝවාගේ දේවමාළිගාව ගින්නෙන් දවා, යෙරුසලම පාළු කර, යුදෙව්වන්ව වහල්කමට ගෙන ගියේය. (2 ලේකම් 36:17-21) අප මේ අනතුරු අඟවන ආදර්ශය හෘදවලට ගත යුතු අතර, යෙහෝවාගේ උපදෙස් ඉදිරියේ බිහිරි අය මෙන් හෝ ඔහුගේ ලිඛිත වාර්තා දැක දැක අන්ධ අය මෙන් කටයුතු නොකළ යුතුයි. තවදුරටත් යෙහෝවා අනුමත කර ඇති ඔහුගේ මෙහෙකරුවා වන ක්‍රිස්තුස් යේසුස්ව අනුකරණය කරමින් යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට අප උත්සාහ කළ යුතුයි. යේසුස් කළාක් මෙන් අපි කරන කියන දේවලින් සැබෑ යුක්තිය කියන්නේ කුමක්ද කියා පෙන්වමු. මේ ආකාරයට අපි යෙහෝවාගේ සෙනඟ අතරේ සිටිමින් හා සැබෑ දෙවිට ප්‍රශංසාවත් ගෞරවයත් ගෙන දෙමින් ආලෝකය දරන්නන් මෙන් සේවය කරමු.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[33වන පිටුවේ පින්තූර]

සැබෑ යුක්තිය අනුකම්පාවෙන් සහ දයාවෙන් පූර්ණයි

[34වන පිටුවේ පින්තූරය]

යුක්තිය සියලුදෙනාටම හිමි දෙයක් බව කාරුණික සමරිතානුවරයා පිළිබඳ උපමාවෙන් යේසුස් පෙන්නුවේය

[36වන පිටුවේ පින්තූර]

අන් අයව දිරිගැන්වීමෙන් සහ ඔවුන්ට කරුණාව පෑමෙන් අපි දිව්‍ය යුක්තිය ක්‍රියා තුළින් පෙන්වමු

[39වන පිටුවේ පින්තූර]

අපේ දේශනා සේවය මගින් අපි දිව්‍ය යුක්තිය විදහාපාන්නෙමු

[40වන පිටුවේ පින්තූරය]

අනුමැතිය ලත් මෙහෙකරුවාව ‘ජාතීන්ට ආලෝකයක්’ ලෙස දෙනු ලැබීය