Skip to content

පටුනට යන්න

‘මා විසින් මවනු ලබන දෙය ගැන සදාකාලේටම ප්‍රීති වෙන්න’

‘මා විසින් මවනු ලබන දෙය ගැන සදාකාලේටම ප්‍රීති වෙන්න’

විසිහයවන පරිච්ඡේදය

‘මා විසින් මවනු ලබන දෙය ගැන සදාකාලේටම ප්‍රීති වෙන්න’

යෙසායා 65:1-25

1. ප්‍රේරිත පේතෘස් ලියූ සැනසිලිදායක වදන් මොනවාද? එහෙත්, පැනනඟින ප්‍රශ්නය කුමක්ද?

 අයුක්තියේ සහ දුක් වේදනාවල අවසානයක් අප කවදා හෝ දකීවිද? වර්ෂ 1,900කට පමණ පෙර ප්‍රේරිත පේතෘස් මෙවන් සැනසිලිදායක වදනක් ලියා තැබීය. “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [දෙවිගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.” (2 පේතෘස් 3:13) පේතෘස් සියවස් ගණනාවකට පෙර සිටි දෙවිගේ අනිකුත් ඇදහිලිවන්ත සේවකයන් මෙන් අයුක්තිය, අඩන්තේට්ටම් සහ සැහැසියාව වෙනුවට ධර්මිෂ්ඨකම රජයන ඒ මහත් දවස පැමිණෙන තුරු ඉතා ඕනෑකමෙන් බලා සිටියේය. මේ පොරොන්දුව ඉටු වෙයි කියා අපට නිසැක විය හැකිද?

2. ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ ගැන කතා කළේ කිනම් අනාගතවක්තෘවරයාද? එම පුරාණ අනාවැකියට ඇති ඉටුවීම් මොනවාද?

2 ඔව්, අපට නිසැක විය හැකිය! පේතෘස් ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ ගැන කතා කරද්දී, ඔහු අලුත් අදහසක් ඉදිරිපත් කරමින් සිටියේ නැත. ඊට අවුරුදු 800කට පමණ පෙර, යෙහෝවා අනාගතවක්තෘ යෙසායා තුළින් ඒ හා සමානම වචන පවසා තිබුණි. පොදු යුගයට පෙර 537දී යුදෙව්වන් බබිලෝනීය වහල්භාවයෙන් නිදහස් වී යළි තම මව්බිම කරා පැමිණි විට එම මුල් පොරොන්දුවේ කුඩා පරිමාණයේ ඉටුවීමක් සිදු විය. එහෙත් අදදින යෙසායාගේ අනාවැකියට මහා පරිමාණයේ ඉටුවීමක් තිබේ. පැමිණෙන දෙවිගේ නව ලෝකයේදී මෙහි ඊට වඩා විශාල ඉටුවීමක් අද්දැකීමටද අපි බලාපොරොත්තු වන්නෙමු. ඇත්තෙන්ම, යෙසායා තුළින් දුන් මෙම හද උණුසුම් කරවන අනාවැකිය, දෙවිට ප්‍රේම කරන අයට දෙවි තබා තිබෙන ආශීර්වාද සම්බන්ධයෙන් ඉඟියක් සපයයි.

යෙහෝවා ‘මුරණ්ඩු සෙනඟකට’ ආයාචනා කරයි

3. යෙසායා 65වන පරිච්ඡේදයේ තිබෙන්නේ කුමන ප්‍රශ්නයට උත්තරයද?

3 බබිලෝනියේ සිටින යුදෙව් වහලුන් වෙනුවෙන් යෙසායා කළ අනාවැකිමය යාච්ඤාව යෙසායා 63:15-64:12 දක්වා තිබූ බව ඔබට මතක තිබිය හැක. යෙසායාගේ වචන පැහැදිලි කරන ආකාරයට බොහෝ යුදෙව්වන් යෙහෝවාට පූර්ණ හෘදයකින් සේවය නොකළද, ඔවුන්ගෙන් සමහරෙක් පසුතැවිලි වී නැවත ඔහු වෙත හැරුණෝය. පසුතැවිලි වන එම කිහිපදෙනා නිසා යෙහෝවා ජාතිය යළි පිහිටුවයිද? යෙසායා 65වන පරිච්ඡේදයෙන් එයට පිළිතුර සොයාගත හැක. ඇදහිලිවන්ත සුළුතරයගේ ගැළවීම පිළිබඳ පොරොන්දුව ප්‍රකාශ කිරීමට ප්‍රථම, ඇදහිල්ල නැති බහුතරයට ලැබෙන්න යන විනිශ්චය ගැන යෙහෝවා ප්‍රකාශ කරයි.

4. (අ) තම කැරලිකාර සෙනඟ වෙනුවට යෙහෝවාව සොයන්නේ කවුරුන්ද? (ආ) ප්‍රේරිත පාවුල් යෙසායා 65:1, 2 අදාළ කරන්නේ කෙසේද?

4 යෙහෝවා තම සෙනඟ නොනවත්වාම පෙන්වා තිබෙන කැරලිකාර ස්වභාවය ඕනෑතරම් ඉවසා ඇත. කෙසේවෙතත්, ඔවුන්ව තම සතුරන් අතට පාවා දීමෙන් අනතුරුව ඔහුගේ අනුමැතිය ලබන අයව පිළිගැනීම සඳහා කාලය පැමිණෙනු ඇත. යෙසායා තුළින් යෙහෝවා මෙසේ කියයි. “මා ගැන විභාග නොකළ අයට ප්‍රකාශවුණෙමි; මා නොසෙවු අයට සම්බවුණෙමි. මාගේ නාමය නොදැරූ ජාතියකට: මම මෙහිය, මම මෙහියයි කීවෙමි.” (යෙසායා 65:1) අන්‍ය ජාතීන් යෙහෝවා සමඟ ගිවිසුමෙන් බැඳෙද්දී, ගිවිසුමෙන් බැඳී සිටින යෙහෝවාගේ සෙනඟ වන මුරණ්ඩු යුදෙව්වන්ව ජාතියක් හැටියට ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ඇත. මොනතරම් දුඃඛිත තත්වයක්ද! අන්තිමේදී නොදන්නා සෙනඟක්ව යෙහෝවා විසින් තෝරාගන්නවායයි පුරෝකථනය කරන එකම අනාගතවක්තෘවරයා ඔහු නොවේ. (හොෂෙයා 1:10; 2:23) ප්‍රේරිත පාවුල් යෙසායා 65:1, 2 සෙප්ටූඅජින්ට් අනුවාදයෙන් උපුටා දක්වමින් පවසන්නේ, ස්වාභාවික යුදෙව්වන් අසමත් වුවත් අන්‍ය ජාතීන්ට අයත් සෙනඟව “ඇදහිල්ලෙන්වූ ධර්මිෂ්ඨකමට” පමුණුවනවා කියාය.—රෝම 9:30; 10:20, 21.

5, 6. (අ) යෙහෝවා විදහාපෑවේ කිනම් ආකාරයේ අවංක ආශාවක්ද? ඔහුගේ සෙනඟ ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? (ආ) යෙහෝවා යූදා සමඟ කටයුතු කළ ආකාරයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

5 යෙහෝවා තමන්ගේ සෙනඟ මතට විපත්ති පැමිණීමට ඉඩහරින්නේ මන්දැයි ඊළඟට විස්තර කරයි. “කැරළිකාරවූ [මුරණ්ඩු වූ, NW], තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනගක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි.” (යෙසායා 65:2) අත් විදහාගෙන සිටීම කීමෙන් අදහස් කරන්නේ, යම් ආරාධනාවක් නැතහොත් ආයාචනාවක් කිරීමකි. යෙහෝවා තම හස්තය කෙටි වේලාවකට නොව, දවස මුළුල්ලේම විදහාගෙන සිටියේය. ඔහුගේ හෘදයාංගම ආශාව වන්නේ යූදා වැසියන් තමන් වෙතට නැවත හැරී එනවා දැකීමය. එහෙත්, මේ මුරණ්ඩු සෙනඟ එසේ කිරීමට අසමත් වේ.

6 යෙහෝවාගේ වචනවලින් අප ඉගෙනගන්නේ මොනතරම් හද දනවන පාඩමක්ද! යෙහෝවා එළඹිය හැකි පුද්ගලිකත්වයකින් යුත් දෙවිකෙනෙකු නිසා අප ඔහු වෙතට ළඟා වෙනවාට ඔහු කැමතිය. (යාකොබ් 4:8) එම වචන තවදුරටත් අපට කියන්නේ යෙහෝවා යටහත් පහත් දෙවිකෙනෙකු කියාය. (ගීතාවලිය 113:5, 6) යුදෙව්වන් මුරණ්ඩු වෙමින් යෙහෝවාට ‘දුක් දුන්නද’ ඔහු සංකේතවත් ආකාරයෙන් තමන්ගේ අත් විදහාගෙන සිටින්නේය. (ගීතාවලිය 78:40, 41) යෙහෝවා ඔවුන්ව අතහරින්නේ සියවස් ගණනාවක් පුරා ඔවුන්ට ආයාචනා කිරීමෙන් පසුවය. එනමුත්, යුදෙව් ජාතියේ සිටින යටහත් පහත් සමහරුන්ට ඔහු දොර වසා දැමුවේ නැත.

7, 8. යෙහෝවාගේ මුරණ්ඩු සෙනඟ ඔහුව උදහස් කළේ කුමන ආකාරවලින්ද?

7 මුරණ්ඩු යුදෙව් ජාතිය තමන්ගේ නින්දාසහගත හැසිරීම නිසා නැවත නැවතත් යෙහෝවාව උදහසට ලක් කළෝය. “ඒ සෙනග මා ඉදිරියේදී නිතරම මා කෝපකරති, උයන්වල පූජාකරති, ගඩොල් පිටද සුවඳ දුම් ඔප්පුකරති. ඔව්හු සොහොන් අතරේ හිඳිති, රහස් ස්ථානවලද රාත්‍රිය පසුකරති. ඔව්හු ඌරුමස් කති, පිළිකුල් ද්‍රව්‍යවල හොදිද ඔවුන්ගේ භාජනවල තිබේ. මට ළංනොවී ඈතින් සිටින්න, මම නුඹට වඩා ශුද්ධයෙමියි ඔව්හු කියති. මොව්හු මාගේ නාසයට ධූමයක්ය, දවස මුළුල්ලේම ඇවිළෙන ගින්නක්ය.” (යෙසායා 65:3-5) පෙනෙන විදිහට පිටාතර ධර්මිෂ්ඨකමක් පෙන්වන මොවුහු, උද්ධච්ච මෙන්ම ඉතා අගෞරවනීය ආකාරයකට යෙහෝවාව අන්තයටම කෝප කරති. තමන්ගේ නීචකම් එළිපිටම කිරීමට පවා එඩිතර වෙති. ගෞරවයත් කීකරුකමත් ලබන්න වටින තැනැත්තා ඉදිරියේ මෙලෙස පව් කිරීම විශේෂයෙන්ම දඬුවම් ලැබිය යුතු වරදක් නොවේද?

8 ආත්ම ධර්මිෂ්ඨ වූ මේ පව්කාරයෝ අනිත් යුදෙව්වන්ට මෙසේ කියති. ‘මං ළඟට එන්න එපා. මම ඔයාට වඩා ධර්මිෂ්ඨයි!’ මොනතරම් කුහකකමක්ද! මේ ‘පුහු බැතිමත්හු’ දෙවිගේ ව්‍යවස්ථාවේ හෙළා දැක ඇති ක්‍රියාවක් වන බොරු දෙවිවරුන්ට පූජා සහ සුවඳ දුම් ඔප්පු කිරීමේ හවුල් වෙති. (නික්මයාම 20:2-6) ව්‍යවස්ථාවේ හැටියට ඔවුන්ව අපවිත්‍ර කරන්නාවූ සොහොන් බිම්වල ඔවුහු ගැවසෙති. (ගණන් කථාව 19:14-16) ඔවුහු මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට අපවිත්‍රයයි සැලකෙන ඌරුමස්ද කති. * (ලෙවී කථාව 11:7) එනමුත්, ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර නිසා තමන් අනිත් යුදෙව්වන්ට වඩා උසස්යයි ඔවුහු සිතති. අනිත් යුදෙව්වන්ව තමන්ගේ කටයුතුවලට සම්බන්ධ කර නොගන්නේ එසේ කිරීමෙන් තමන්ව අපවිත්‍ර වේයයි ඔවුන් සිතන නිසාය. කෙසේවෙතත්, “තනි භක්තිය” ඉල්ලා සිටින දෙවි මේ කාරණය දෙස බලන්නේ මේ ආකාරයට නොවේ!—ද්විතීය කථාව 4:24, NW.

9. ආත්ම ධර්මිෂ්ඨ පව්කාරයන් දෙස යෙහෝවා බලන්නේ කෙසේද?

9 මේ ආත්ම ධර්මිෂ්ඨ අය ශුද්ධයයි සලකනවා වෙනුවට යෙහෝවා කියන්නේ ඔවුන් තමන්ගේ “නාසයට ධූමයක්” කියාය. “නාසය” හෝ “නාස් කුහර” සඳහා හෙබ්‍රෙව් භාෂාවේ යොදාගන්නා වචනවලින් බොහෝවිට අදහස් කරන්නේ උදහසයි. ඇවිළෙන ගින්නකින් නික්මෙන ධූමයද යෙහෝවාගේ අධික උදහස අඟවයි. (ද්විතීය කථාව 29:20) යෙහෝවාගේ සෙනඟ වැටී සිටින මේ පිළිකුල්සහගත රූප වන්දනාව නිසා යෙහෝවාගේ උදහස ඇවිළී ඇත.

10. යූදාහි සිටින්නන්ට යෙහෝවා දඬුවම් කරන්නේ කෙසේද?

10 යෙහෝවා යුක්තිසහගත දෙවිකෙනෙකු නිසා කැමැත්තෙන්ම පව් කරන මොවුන්ට දඬුවම් නොකර නොසිටී. යෙසායා මෙසේ ලියයි. “බලව, ඒක මා ඉදිරියෙහි ලියා තිබේ. මම විපාක දෙනතුරු නිශ්ශබ්දව නොසිටිමි. එසේය, නුඹලාගේ අයුතුකම්ද කඳු උඩ සුවඳ දුම් ඔප්පුකොට හෙල් උඩ මට අපහාස කළාවූ නුඹලාගේ පියවරුන්ගේ අයුතුකම්ද නිසා ඔවුන්ගේ ළයට ප්‍රතිඵල දෙන්නෙමි, ඔවුන්ගේ පළමු ක්‍රියාවල් ඔවුන්ගේ ළයට මැනදෙන්නෙමියි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 65:6, 7) බොරු නමස්කාරයේ යෙදෙමින් සිටින මේ යුදෙව්වෝ යෙහෝවාට නින්දා ගෙන එති. අවට සිටින ජාතීන් කරන නමස්කාරයත් සැබෑ දෙවිට කරන නමස්කාරයත් අතර තිබෙන වෙනස ඔවුහු තම ක්‍රියාවලින් නොපෙන්වති. රූප වන්දනාව සහ ආත්ම බන්ධන ක්‍රියා ඇතුළු ‘ඔවුන්ගේම අයුතුකම් නිසා’ ඔවුන් ගෙවිය යුතු වන්දිය යෙහෝවා ඔවුන්ගේ “ළයට” මැන දෙනු ලැබේ. වෙළෙන්දෙකු මැන දුන් යමක් ගෙන යෑමට උඩු ඇඳුමෙන් මල්ලක් හැඩයට බොකු ගසා සකස් කරගත් කොටසට “ළය” කියා යොමු දැක්වූවා විය හැක. (ලූක් 6:38) ද්‍රෝහි යුදෙව්වන් සම්බන්ධයෙන් නම් කාරණය පැහැදිලිය. යෙහෝවා ඔවුන්ගේ ‘විපාකය’ නැතහොත් දඬුවම මැන දෙනු ඇත. යුක්තියේ දෙවි මේ සම්බන්ධයෙන් උදහස් විය යුතුමය. (ගීතාවලිය 79:12; යෙරෙමියා 32:18) යෙහෝවා වෙනස් නොවන දෙවිකෙනෙකු නිසා, ඔහු නියම කර ඇති කාලයේදී මේ දුෂ්ට ක්‍රමය මතටත් දඬුවම මැන දෙනු ඇති බවට නිසැක විය හැකිය.—මලාකී 3:6.

“මාගේ මෙහෙකරුවන් නිසා”

11. තමන් ඇදහිලිවන්ත සුළුතරයක් ආරක්ෂා කරන බව යෙහෝවා අඟවන්නේ කෙසේද?

11 තමන්ගේ සෙනඟ අතරේ සිටින ඇදහිලිවන්තයන්ට යෙහෝවා දයාව පෙන්වයිද? යෙසායා මෙසේ විස්තර කරයි. “[යෙහෝවා] මෙසේ [කියන්නේය]: මිදිවල්ලෙහි යුස තිබෙන බව යමෙක් දැක—එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය නාස්ති නොකරන්නැයි කියන්නාක්මෙන්, මාගේ මෙහෙකරුවන් නිසා කරන්නෙමි, මම සියල්ලන් විනාශ නොකරන්නෙමි. මම යාකොබ්ගෙන් වංශයක්ද යූදාගෙන් මාගේ කඳුවල උරුමක්කාරයෙක්ද නැගුටුවන්නෙමි. මාගේ තෝරාගත් අය ඒක උරුම කරගන්නවා ඇත, මාගේ මෙහෙකරුවන්ද එහි වසනවා ඇත.” (යෙසායා 65:8, 9) යෙහෝවා තම සෙනඟව මිදි පොකුරකට සමාන කරමින්, ඔවුන්ට පහසුවෙන් තේරුම්ගත හැකි නිදර්ශනයක් පාවිච්චි කරන්නේය. දේශයේ මිදි බහුලව ඇති අතර, මුද්‍රිකපානය මනුෂ්‍යවර්ගයාට ආශීර්වාදයකි. (ගීතාවලිය 104:15) මෙහි කතා කරන්නේ සමහර මිදි හොඳ තත්වයේ තිබෙන නමුත් සමහර ඒවා නරක් වී තිබෙන මිදි පොකුරක් ගැන විය හැකියි. එසේත් නැත්නම්, එක පොකුරක් හොඳ තත්වයේ තිබුණත්, අනිත් ඒවා අමු හෝ නරක් වී තිබෙන්න පුළුවන. මේ දෙකින් කොයික වුවත්, මිදි වවන්නා හොඳ මිදි විනාශ කරන්නේ නැත. මෙසේ යෙහෝවා තම සෙනඟට සහතික කරන්නේ, ඔහු ජාතිය සහමුලින්ම විනාශ නොකර ඇදහිලිවන්ත සුළුතරයක් ඉතිරි කරන බවය. ඔහුගේ අනුමැතිය ලත් සුළුතරය ඔහුගේ “කඳු” නැත්නම් යෙරුසලම සහ යෙහෝවා තමන්ට අයිති බව කියා සිටින කඳුරට වන යූදා දේශය උරුම කරගන්නා බව යෙහෝවා සඳහන් කරයි.

12. ඇදහිලිවන්ත සුළුතරය ලබන්න යන ආශීර්වාද මොනවාද?

12 මේ ඇදහිලිවන්ත සුළුතරය ලබන්න යන්නේ කිනම් ආශීර්වාදද? යෙහෝවා මෙසේ කියයි. “මා සෙවුවාවූ මාගේ සෙනග උදෙසා ෂාරොන් එළු බැටළු රැළවලට තෘණ බිමක්ද ආකොර් මිටියාවත ගව රැළවලට ලැගුම්පළක්ද වන්නේය.” (යෙසායා 65:10) සත්ව රැළවල් බොහෝ යුදෙව්වන්ගේ ජීවිතවල විශේෂ තැනක් ගනී. විහිදී ඇති තණබිම් ඇති තරම් තිබේ නම්, සාමකාමී කාලයකදී රටකට සමෘද්ධිය ගෙන ඒමට ඒවාට හැකිය. සමාදානය සහ සමෘද්ධිය පිරි තත්වයක් ගැන මනසේ දසුනක් මැවෙන සේ යෙහෝවා දේශයේ දිශා දෙකකට යොමු දක්වයි. ෂාරොන් තැනිතලාව තිබුණේ බස්නාහිරට වෙන්න මධ්‍යධරණී මුහුදු වෙරළ තීරයේය. එය අලංකාරය සහ සශ්‍රීකත්වය සංකේතවත් කළේය. ආකොර් මිටියාවත පිහිටියේ දේශයේ ඊසාන දිග මායිමේය. (යෝෂුවා 15:7) ඉදිරියේදී අද්දැකීමට යන වහල්භාවය තුළදී, මේ ප්‍රදේශද දේශයේ අනිකුත් ප්‍රදේශ මෙන් පාළුවට යනු ඇත. කෙසේවෙතත්, යෙහෝවා පොරොන්දු වන්නේ, වහල්භාවයෙන් පසු නැවත පැමිණෙන්නන් සඳහා, මේවා නැවත වතාවක් අලංකාරයෙන් හෙබි තෘණ බිම් බවට හැරෙන බවය.—යෙසායා 35:2; හොෂෙයා 2:15.

“වාසනාවේ දෙවි” කෙරෙහි විශ්වාසය තැබීම

13, 14. දෙවිගේ සෙනඟ ඔහුව අත්හැර ගොස් තිබෙන බව පෙන්වන්නේ කිනම් චාරිත්‍රද? ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ට සිදු වන්නේ කුමක්ද?

13 යෙසායාගේ අනාවැකිය දැන් නැවතත්, යෙහෝවාව අතහැර රූප වන්දනාවේ දිගටම නියැලී සිටින්නන් වෙත යොමු වේ. “[නුඹලා යෙහෝවා] අත්හැර, මාගේ ශුද්ධ කන්ද සිහිනැති කර, ශ්‍රීකාන්තාවට [වාසනාවේ දෙවිට, NW] මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍රවූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට [ඉරණම් දෙවිට, NW] පුරවා දෙන්නාවූ [තැනැත්තෝය].” (යෙසායා 65:11) “වාසනාවේ දෙවි” සහ “ඉරණම් දෙවි” වෙනුවෙන් ආහාර පාන පිරි මේසයක් පිළියෙළ කිරීමෙන්, මේ සදාචාරයක් නැති යුදෙව්වන් මිථ්‍යා දෘෂ්ටීන්ගේ රූප නමස්කාරයට ඇද වැටී ඇත. * අන්ධ ලෙස මේ දෙවිවරුන් කෙරෙහි විශ්වාස කරන අයට සිදු වන්නේ කුමක්ද?

14 මේ සම්බන්ධයෙන් යෙහෝවා ඔවුන්ට කෙළින්ම මෙසේ අනතුරු ඇඟවූයේය. “නුඹලා මම කඩුවට නියමකරන්නෙමි [ඔබේ ඉරණම කඩුවෙන් තීන්දු වන්නේය, NW]; නුඹලා සියල්ලෝම මැරුම්කෑමට අසුවන්නහුය. මක්නිසාද මා අඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහුය, මා කථාකළ විට නුඹලා නොඅසා, මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කොට, මා කැමති නැති දේ තෝරාගත්තහුය.” (යෙසායා 65:12) ඉරණමට අධිපති දෙවිගේ නම සම්බන්ධයෙන් කතා කරද්දී, යෙහෝවා මුල් හෙබ්‍රෙව් භාෂාවේ යොදාගන්නා අර්ථ දෙකකින් යුත් එක වචනයක් පාවිච්චි කරමින්, මේ බොරු දෙවියාට නමස්කාර කරන අයගේ ‘ඉරණම කඩුවෙන් තීන්දු වන’ බව නැතහොත් ඔවුන් විනාශයට නියම වන බව කීවේය. යෙහෝවා තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් නැවත නැවත තම සෙනඟට කියා සිටියේ පසුතැවිලි වන ලෙසයි. එහෙත්, ඔවුහු ඔහුව නොසලකා හැරිය අතර, ඔහුගේ ඇස් හමුයෙහි වැරදි දේ කිරීමට මුරණ්ඩු ලෙස තෝරාගත්තෝය. ඔවුන් දෙවිට ගෙනාවේ මොනතරම් අවමානයක්ද! යෙහෝවා අනතුරු ඇඟවූ විදිහටම, පො.යු.පෙ. 607දී ඔහු යෙරුසලමත් ඇගේ දේවමාළිගාවත් බබිලෝනියට විනාශ කිරීමට ඉඩහරිමින් යූදා ජාතිය මහත් විපතකට පමුණුවන්නේය. ඒ අවස්ථාවේදී, යූදා සහ යෙරුසලමේ සිටි තම බැතිමතුන්ව බේරාගැනීමට “වාසනාවේ දෙවි” අසමත් වනු ඇත.—2 ලේකම් 36:17.

15. අද සිටින ක්‍රිස්තියානීන් යෙසායා 65:11, 12හි ඇති අනතුරු ඇඟවීම පිළිගන්නේ කිනම් ආකාරයෙන්ද?

15 අද දින සැබෑ ක්‍රිස්තියානීහු යෙසායා 65:11, 12හි ඇති අනතුරු ඇඟවීමට එකඟව කටයුතු කරති. තමන්ට සුභ කාලයක් පහළ කළ හැකි අධිස්වාභාවික බලයක්යයි සිතමින් ඔවුහු ‘වාසනාව’ කෙරෙහි විශ්වාසය නොතබති. ‘වාසනාවේ දෙවිව’ සතුටු කිරීමට උත්සාහ කරමින්, ඔවුන් තම ද්‍රව්‍යමය ධන සම්පත් සූදුවේ යෙදීම මාර්ගයෙන් නැති නාස්ති කරගන්නේ නැත. ඔවුහු සූදුවේ සෑම අංගයකින්ම වැළකී සිටිති. මේ දෙවියා කෙරෙහි විශ්වාසය තබන්නන් අවසානයේදී තමන් සතු සියල්ල අහිමි කරගන්නා බව ඔවුන්ට නිසැකය. එවැනි අය ගැන යෙහෝවා මෙසේ කියා ඇති බව ඔවුහු දනිති. ඔවුන්ගේ “ඉරණම කඩුවෙන් තීන්දු වන්නේය.”

‘මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීති වේ’

16. යෙහෝවා තම ඇදහිලිවන්ත සේවකයන්ට ආශීර්වාද කරන්නේ කිනම් ආකාරයෙන්ද? එහෙත්, ඔහුව අතහැර යන අයට කුමක් වනු ඇද්ද?

16 යෙහෝවා තමන්ව අත්හැර ගිය අයව හික්මවීමේ අරමුණෙන්, දෙවිට අවංකවම නමස්කාර කරන්නන් සහ කුහක ලෙස නමස්කාර කරන්නන් අද්දකින එකිනෙකට වෙනස් විපාකයන් විස්තර කරයි. “එබැවින් ස්වාමිවූ [යෙහෝවා] මෙසේ [කියන්නේය]: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් සිතේ ප්‍රීතියෙන් ගීකියන කල්හි නුඹලා සිතේ වේදනාවෙන් කෑගසමින් ආත්මයේ පෙළීම නිසා කෑමොර ගසන්නහුය.” (යෙසායා 65:13, 14) යෙහෝවා තම ඇදහිලිවන්ත සේවකයන්ට ආශීර්වාද කරන්නේය. ප්‍රීතියෙන් පිරි හදවතින් යුතුව ඔවුහු කෑගසති. කෑම, බීම, සතුටු වීම යන වචනවලින් අඟවන්නේ යෙහෝවා තම නමස්කාරකයන්ගේ අවශ්‍යතා බහුල ලෙස සපුරාලන බවයි. අනිත් අතට, යෙහෝවාව අතහැරීමට තීරණය කර ඇති අය ආත්මික ආකාරයෙන් බඩගින්නට සහ පිපාසයට පත් වනු ඇත. ඔවුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් නොවනු ඇත. ඔවුන්ගේ සිත්තැවුල හා සන්තාපය නිසා ඔවුන් වේදනාවෙන් කෑමොර දෙනු ඇත.

17. අද සිටින දෙවිගේ සෙනඟට ප්‍රීතියෙන් කෑගැසීමට තිබෙන්නේ කුමන හේතුද?

17 දෙවිට සේවය කරන බව කියා සිටින අයගේ ආත්මික තත්වය යෙහෝවාගේ වචන මගින් පැහැදිලිව විස්තර කරයි. යෙහෝවාගේ නමස්කාරකයන් සිතේ ප්‍රීතියෙන් ගී කියද්දී ක්‍රිස්තියානි ලෝකයේ සිටින දශලක්ෂ ගණන් ජනයා සිත් වේදනාවෙන් දුක් විඳිති. යෙහෝවාගේ සෙනඟට ප්‍රීතිවීමට හොඳ හේතු ඇත. ඔවුන් ආත්මිකව තෘප්තිමත්ය. බයිබලය මත පදනම් ප්‍රකාශන සහ ක්‍රිස්තියානි එක්රැස්වීම් මාර්ගයෙන් යෙහෝවා ඔවුන්ට බහුල ලෙස ආත්මික ආහාර සපයයි. ඇත්තෙන්ම, දෙවිගේ වචනයේ ඇති දිරිගන්වනසුලු සත්‍යයන් සහ සැනසිලිදායක පොරොන්දු අපේ ‘සිත්වලට ප්‍රීතිය’ ගෙනෙනු ඇත!

18. යෙහෝවාව අතහැර යන අයට සිදු වන්නේ කුමක්ද? දිවුරීමේදී ඔවුන්ගේ නාමය පාවිච්චි කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

18 යෙහෝවා තමන්ව අතහැර ගිය අයව තවදුරටත් අමතයි. “නුඹලාගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට නුඹලා තබා යන්නහුය, ස්වාමිවූ [යෙහෝවා] නුඹ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත. එයින් පොළොවෙහි තමාට ආශීර්වාදකරගන්න අය සත්‍යතාවේ [දෙවිගේ] නම කියා ආශීර්වාද කරගන්නේය; පොළොවෙහි දිවුරන අයද සත්‍යතාවේ [දෙවිගේ] නම කියා දිවුරන්නේය; මෙසේ වන්නේ පළමු විපත්ති මතක නැතිවී, ඒවා මාගේ ඇස්වලින් සැඟවී තිබෙන නිසාය.” (යෙසායා 65:15, 16) යෙහෝවාව හැර ගොස් සිටින අයගේ ඉතිරි වන්නේ එකම එක දෙයක් පමණි. ඒ දිවුරීමකදී හෝ ශාප කිරීමකදී පාවිච්චි කරන ඔවුන්ගේ නාමය පමණි. මෙයින් අදහස් කළ හැක්කේ දිවුරුමකින් බැඳෙන්න කැමති කෙනෙකු මෙසේ කියන බවයි. ‘මම මේ පොරොන්දුව ඉටු නොකළොත්, ඇදහිල්ලට ද්‍රෝහි වූ අයට ලැබුණු දඬුවමම මටත් ලැබුණාවේ!’ සොදොම සහ ගොමොරාව මෙන් ඔවුන්ගේ නාමයත් දුෂ්ටයන්ට දෙවි ගෙනෙන දඬුවමේ සංකේතයක් ලෙස පාවිච්චි කිරීමද එයින් අදහස් විය හැක.

19. දෙවිගේ සේවකයන්ව වෙනත් නාමයකින් හැඳින්වීමෙන් අඟවන්නේ කුමක්ද? විශ්වාසවන්ත දෙවි කෙරෙහි ඔවුන් ඇදහිල්ල තබනු ඇත්තේ මන්ද? (පාදසටහනද බලන්න.)

19 දෙවිගේ සේවකයන්ගේ කොටස මොනතරම් වෙනස් වනු ඇද්ද! ඔවුන්ව වෙනත් නාමයකින් හඳුන්වනු ඇත. ඔවුන්ගේ මව්බිමේදී ඔවුන් භුක්ති විඳින්න යන ආශීර්වාද ලත් තත්වය සහ ගෞරවය එයින් අඟවනු ඇත. ඔවුන් බොරු දෙවිවරුන්ගේ ආශීර්වාද පතන්නේවත් පණ නැති දේවතා රූපවල නාමයෙන් දිවුරන්නේවත් නැත. ඒ වෙනුවට, ඔවුන් ආශීර්වාද ඉල්ලා සිටින්නේ හෝ දිවුරුමක් කරන්නේ සත්‍යතාවේ දෙවිගේ නාමයෙනි. (යෙසායා 65:16, NW පාදසටහන) දෙවි තම පොරොන්දු ඉටු කර ඇති නිසා, ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමට දේශයේ වැසියන්ට හේතු තිබෙනු ඇත. * යුදෙව්වන්ට තම මව්බිමේදී දැනෙන සුරක්ෂිතභාවය නිසා කලින් අද්දුටු සන්තාපය ඔවුන්ට අමතක වී යනු ඇත.

“මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි”

20. පොදු යුගයට පෙර 537දී ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ පිළිබඳ දෙවිගේ පොරොන්දුව ඉටු වූයේ කෙසේද?

20 යෙසායා තුළින් යෙහෝවා තවදුරටත් මෙසේ පොරොන්දු වේ. මෙය අදාළ වූයේ බබිලෝනියේ වහල්භාවයෙන් මිදී ආ පසුතැවිලි වූ කුඩා කණ්ඩායමටය. “බලව, මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත.” (යෙසායා 65:17) යළි පිහිටුවීම පිළිබඳ යෙහෝවාගේ පොරොන්දුව ස්ථිරවම ඉටු වනු ඇත. එම යළි පිහිටුවීම දැනටමත් සිදු වී ඇති ආකාරයකට යෙහෝවා කතා කරන්නේය. මේ අනාවැකිය, යුදෙව්වන්ගේ කුඩා කණ්ඩායමක් නැවත යෙරුසලමට යෑමත් සමඟ එනම්, පො.යු.පෙ. 537දී මුලින්ම ඉටු විය. එම කාලයේදී, ‘අලුත් අහසෙන්’ නියෝජනය කළේ කුමක්ද? යෙරුසලම කේන්ද්‍ර කරගෙන උත්තම පූජක වූ යෝෂුවාගේ සහයෝගයෙන් සෙරුබ්බාබෙල් ගෙන ගිය ආණ්ඩුවයි. “අලුත් පොළොව” නැතහොත් යළි පිහිටෙවූ යුදෙව්වන්ගේ කුඩා කණ්ඩායමෙන් සෑදුණු පවිත්‍ර සමාජය, එම පාලනයට යටත් වී දේශයේ පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවීමට දායක විය. (එස්රා 5:1, 2) යළි පිහිටුවීමේ ප්‍රීතිය කලින් අද්දුටු දුක් වේදනා අමතක කර දැමීමට හේතු විය. කලින් විඳි සන්තාපය මතකයට නොනැඟෙන සේ අමතක වී ගියේය.—ගීතාවලිය 126:1, 2.

21. වර්ෂ 1914දී ඇරඹුණු අලුත් අහස කුමක්ද?

21 කෙසේවෙතත්, පේතෘස් යෙසායාගේ අනාවැකියෙහි අනාගත ඉටුවීමක් ඇති බව පෙන්වමින් මෙසේ ලීවේය. “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.” (2 පේතෘස් 3:13) බොහෝ කාලයක් පුරා බලා සිටි අලුත් අහස එනම් මෙසියානු රාජ්‍යය 1914දී උපත ලැබීය. එය ස්වර්ගයේ සිට පාලනය කරන අතර, මුළු පොළොවම පාලනය කිරීමේ අයිතිය යෙහෝවා එයට පවරා ඇත. (ගීතාවලිය 2:6-8) මේ අලුත් අහස වන්නේ, ක්‍රිස්තුස් සහ ඔහුගේ හවුල් පාලකයන් වන 1,44,000දෙනාගෙන් යුත් රාජ්‍ය ආණ්ඩුවයි.—එළිදරව් 14:1.

22. අලුත් පොළොව සැකසෙන්නේ කාගෙන්ද? එම විධිවිධානයේ න්‍යෂ්ටිය වීමට දැන් පවා මිනිසුන්ව සූදානම් කෙරෙන්නේ කෙසේද?

22 අලුත් පොළොව ගැන කුමක් කිව හැකිද? පුරාණ අනාවැකියේ රටාවට අනුව, අලුත් පොළොව සැකසෙන්නේ අලුත් ස්වර්ගික ආණ්ඩුවට කැමැත්තෙන්ම යටත් වන සෙනඟගෙනි. දැනටමත් සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන දශලක්ෂ ගණන් ජනයා මේ ආණ්ඩුවට තමන්ගේ පක්ෂපාතකම පෙන්වා ඇති අතර, බයිබලයේ සඳහන් එම ආණ්ඩුවේ නීති රැකීමට උත්සාහ කරති. සියලු ජාතීන්ගෙන්, භාෂාවන්ගෙන් පැමිණෙන මේ අය එකට එක්කාසු වී පාලක රජ වන යේසුස් ක්‍රිස්තුස්ට සේවය කරති. (මීකා 4:1-4) වර්තමාන දුෂ්ට ක්‍රමය අවසන් වූ පසු, මේ කණ්ඩායම අලුත් පොළොවේ න්‍යෂ්ටිය බවට පත් වන අතර, අවසානයේදී ඒ වටා දෙවිගේ රාජ්‍යය උරුම කරගන්නාවූ දේවභයැති මිනිස් සමාජයක් ගොඩනැඟෙනු ඇත.—මතෙව් 25:34.

23. ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ ගැන එළිදරව් පොතේ තිබෙන්නේ කිනම් තොරතුරුද? එම අනාවැකිය ඉටු වන්නේ කෙසේද?

23 මේ දුෂ්ට ක්‍රමයේ අවසානය සනිටුහන් කරන යෙහෝවාගේ දවස පිළිබඳව ප්‍රේරිත යොහන් දුටු දර්ශනයක් එළිදරව් පොතේ විස්තර කරයි. ඉන්පසු, සාතන්ව පාතාලයට හෙළනු ඇත. (එළිදරව් 19:11-20:3) ඒ විස්තරයෙන් පසු, යොහන්ද යෙසායා කී දේම මේ ආකාරයට ලිවීය. “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි.” යෙහෝවා දෙවි මේ පොළොවේ තත්වය ඉතා ප්‍රබල වෙනසකට ලක් කිරීම පිළිබඳ තේජවත් දර්ශනය ගැන වාර්තාවේ ඊළඟ ඡේදවල සඳහන් වේ. (එළිදරව් 21:1, 3-5) පැහැදිලිවම, ‘අලුත් අහසක් හා අලුත් පොළොවක්’ පිළිබඳව යෙසායාට දුන් පොරොන්දුව දෙවිගේ නව ලෝකයේදී පුදුමාකාර අන්දමින් ඉටු වනු ඇත! අලුත් අහස නමැති පාලනය යටතේ අලුත් භූමික සමාජය ආත්මික මෙන්ම භෞතික පාරාදීසයක් භුක්ති විඳිනු ඇත. “පළමු දේ [අසනීප, දුක් වේදනා සහ මිනිසා මුහුණ දෙන වෙන ඕනෑම දුක් ගාවිනාවක්] මතක් කරනු ලබන්නේවත් සිහිවෙන්නේවත් නැත” යන පොරොන්දුව මොනතරම් සැනසිලිදායක එකක්ද! අද අපේ සිත් බර කරන්නාවූ දේවල් එදාට අපට මතක් වෙද්දී ඒවායින් අපේ සිත් පෑරෙන්නේ නැත.

24. යෙරුසලමේ යළි පිහිටුවීම ගැන යෙහෝවා සතුටු වන්නේ මන්ද? එම නුවරේ මාවත්වල තවදුරටත් නොඇසෙන්නේ කුමක්ද?

24 යෙසායාගේ අනාවැකිය තවදුරටත් මෙසේ කියයි. “එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනග ප්‍රීතියක්දකොට මවමි. මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව, මාගේ සෙනග කෙරේ ප්‍රීතිවන්නෙමි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් එහි තවත් නොඇසෙන්නේය.” (යෙසායා 65:18, 19) යුදෙව්වන්ට නැවත යෙරුසලම කරා යෑමට ලැබීම ගැන යුදෙව්වන් පමණක් නොව යෙහෝවාද සතුටු වෙයි. යෙරුසලම නැවතත් පොළොවේ සැබෑ නමස්කාරයේ මධ්‍යස්ථානය බවට පත් කරවමින් ඔහු එය අලංකාර තැනක් කරන්නේය. දශක ගණනාවකට ප්‍රථම විපත්තිය නිසා ඇසුණු ළතෝනිය මාවත්වල තවත් ඇසෙන්නේ නැත.

25, 26. (අ) අපගේ දවසේදී යෙහෝවා යෙරුසලම “ප්‍රීතිමත්කමක්” කරන්නේ කෙසේද? (ආ) යෙහෝවා අලුත් යෙරුසලම යොදාගන්නේ කුමක් කිරීමටද? අපට අදදින ප්‍රීතිවීමට හැක්කේ මන්ද?

25 අදදින පවා යෙහෝවා යෙරුසලම “ප්‍රීතිමත්කමක්” කරන්නේය. ඒ කෙසේද? අප දැනටමත් දුටු ආකාරයට, 1914දී උපත ඇරඹුණු අලුත් අහසට අවසානයේදී හවුල් පාලකයන් 1,44,000ක් ඇතුළත් වන අතර, ඔවුන් ස්වර්ගීය ආණ්ඩුවේ පාලනයට හවුල් වනු ඇත. ඔවුන්ව අනාවැකිමය ආකාරයෙන් විස්තර කරන්නේ “අලුත් යෙරුසලම” කියාය. (එළිදරව් 21:2) අලුත් යෙරුසලම ගැන කතා කරමින් දෙවි මෙසේ කියයි. “මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනග ප්‍රීතියක්දකොට මවමි.” කීකරු මනුෂ්‍යවර්ගයාට අදහාගත නොහැකි තරම් ආශීර්වාද වැගිරවීම සඳහා දෙවි අලුත් යෙරුසලම යොදාගනියි. ඇඬීමේ ශබ්දයක්වත් කෑගැසීමේ හඬක්වත් තවදුරටත් ඇසෙන්නේ නැත. මන්ද යෙහෝවා ‘අපේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන්නේය.’—ගීතාවලිය 37:3, 4.

26 අදදින ප්‍රීතියෙන් පිනා යෑමට අපට හොඳ හේතු රාශියක් තිබේ! ඉතා ඉක්මනින්ම යෙහෝවා තම විරුද්ධවාදීන් සියල්ලන්වම විනාශ කිරීමෙන් තම කීර්තිමත් නාමය විශුද්ධ කරනු ඇත. (ගීතාවලිය 83:17, 18) එවිට පූර්ණ බලය අලුත් අහස සතු වනු ඇත. දෙවි විසින් මවනු ලබන දේවල් කෙරෙහි ප්‍රීතිවීමට මේවා මොනතරම් හොඳ හේතුද!

සුරක්ෂිත අනාගතයක් පිළිබඳ පොරොන්දුව

27. නැවත පැමිණෙන යුදෙව්වන් තම මව්බිමේදී භුක්ති විඳින්න යන සුරක්ෂිතභාවය යෙසායා පැහැදිලි කරන්නේ කෙසේද?

27 මුල් ඉටුවීමේදී, අලුත් අහස යටතේ නැවත පැමිණෙන යුදෙව්වන්ගේ ජීවිත කුමනාකාර වනු ඇද්ද? “දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත.” (යෙසායා 65:20) මෙය යළි පිහිටුවන ලද වහලුන් තම මව්බිම කරා පැමිණි විට අද්දකින සුරක්ෂිතභාවය මනාව චිත්‍රයට නඟා ඇත! අකල් මරණයක් නිසා අලුත උපන් බිළිඳෙකු මියැදෙන්නේ නැත. වැඩිහිටියෙකු පවා මරණය අත් නොදැක, තම ආයුෂ කාලය සම්පූර්ණයෙන්ම භුක්ති විඳිනවා ඇත. * යූදා වෙත නැවත පැමිණෙන යුදෙව්වන්ට යෙසායාගේ වචන මොනතරම් සහනයක් ගෙන දෙයිද! සතුරන් යූදා දේශයේදී තම බිළිඳුන්ව හෝ මිනිසුන්ව පැහැරගෙන යයි කියාවත් ඔවුන්ව ඝාතනය කරයි කියාවත් භය විය යුතු නැත.

28. දෙවිගේ රාජ්‍යය යටතේ නව ලෝකය තුළ ජීවිතය ගැන යෙහෝවාගේ වචනයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

28 පැමිණෙන්නාවූ අලුත් ලෝකයේ තත්වය ගැන යෙහෝවා අපට කියන්නේ කුමක්ද? දෙවිගේ රාජ්‍යය යටතේ, සෑම දරුවෙකුටම සුරක්ෂිත අනාගතයක් තිබෙනු ඇත. කිසි දේවභයැති මිනිසෙකු අකාලයේ මරණයට පත් නොවනු ඇත. කීකරු මනුෂ්‍යවර්ගයාට සුරක්ෂිත, ප්‍රීතිය භුක්ති විඳිය හැකි වාතාවරණයක් ඇති වනු ඇත. දෙවිට විරුද්ධව කැරලිගැසීමට තෝරාගන්නා අය ගැන කුමක් කිව හැකිද? එවැනි අය ජීවත් වීමට ලැබී ඇති වරප්‍රසාදය නැති කරගනු ඇත. කැරලිකාර පව්කාරයා ‘වයස අවුරුදු සියයේ’ පසු වූවත් මරණයට පත් වනු ඇත. එවැනි තත්වයක් යටතේ, වැඩුණු පුරුෂයෙකු ලෙස නිමක් නැති ජීවිතයක් ගත කරනවා වෙනුවට ඔහු ‘බාල දරුවෙකු’ මෙන් මිය යනු ඇත.

29. (අ) යළි පිහිටෙවූ යූදා දේශය තුළ දෙවිගේ කීකරු මනුෂ්‍යයා කුමන ප්‍රීතිමත් දේවල් භුක්ති විඳිනු ඇද්ද? (ආ) වෘක්ෂයන්, දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුදුසු නිදර්ශනයක් වන්නේ මන්ද? (පාදසටහන බලන්න.)

29 නැවත පිහිටුවන ලද යූදා දේශයේ පවතිනු ඇති තත්වය ගැන යෙහෝවා තවදුරටත් මෙසේ කියයි. “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනගගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.” (යෙසායා 65:21, 22) නිවාස නැති මිදි වතු නැති පාළු වූ යූදා දේශයට නැවත පැමිණි විට, දෙවිගේ කීකරු සෙනඟ තමන්ම ගොඩනඟාගත් ගෙවල වසමින් තමන්ම වැවූ මිදිවතුවල ඵල කමින් ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳීමට පටන්ගන්නෝය. දෙවි ඔහුගේ වැඩයට ආශීර්වාද කරන්නේය. ඔවුන් තම අත්වැඩ සැමදා භුක්ති විඳිමින් වෘක්ෂයක දවස් මෙන් බොහෝ කල් ජීවත් වනු ඇත. *

30. යෙහෝවාගේ සේවකයන් අද දින භුක්ති විඳින්නේ කෙබඳු ප්‍රීතිමත් තත්වයක්ද? නව ලෝකයේදී ඔවුන් කෙබඳු තත්වයක් භුක්ති විඳිනු ඇද්ද?

30 අපේ කාලයේදීද මේ අනාවැකියට ඉටුවීමක් තිබුණි. යෙහෝවාගේ සෙනඟ 1919දී ආත්මික වහල්භාවයෙන් ඉවතට පැමිණි අතර, තමන්ගේ “දේශය” නැතහොත් ආත්මික ක්‍රියාකාරකම් සිදු කරන ක්ෂේත්‍රය සහ නමස්කාරය යළි පිහිටුවීමට පටන්ගත්හ. ඔවුහු සභාවන් ගොඩනැඟූ අතර, ආත්මික ඵල භුක්ති විඳින්න පටන්ගත්හ. එහි ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවාගේ සෙනඟ ආත්මික පාරාදීසයක් සහ දෙවිගෙන් ලැබී තිබෙන සමාදානය දැන් පවා භුක්ති විඳිති. එවැනි සමාදානයක් භෞතික පාරාදීසයේදීද ලැබෙන බව අපට නිසැක විය හැක. දෙවි නව ලෝකය තුළදී මුළු හදින්ම තමන්ට නමස්කාර කරන්නන් මාර්ගයෙන් ඉටු කිරීමට යන සෑම දෙයක් ගැනම හරියටම තීරණය කිරීමට අපට හැකියාවක් නැත. ඔබට ඔබේම නිවස ගොඩනඟා එහි ජීවත් වීමට ලැබීම මොනතරම් ප්‍රීතියක් වේවිද! රාජ්‍ය පාලනය තුළ, තෘප්තිකර වැඩවලට නිමාවක් නොතිබෙනු ඇත. ඔබේ වෙහෙසෙන් සෑමවිටම “සැප” භුක්ති විඳින්න ලැබීම මොනතරම් යහපත් විපාකයක්ද! (දේශනාකාරයා 3:13) අපේ අත්වලින් වැඩ කිරීමට පමණක් නොව එහි ප්‍රතිඵල භුක්ති විඳීමටත් ඇති තරම් කාලය තිබෙනු ඇද්ද? ඇත්ත වශයෙන්ම කාලය තිබෙනු ඇත! ඇදහිලිවන්ත මනුෂ්‍යවර්ගයාට ලැබෙන්න යන නිමාවක් නැති ජීවිතය “වෘක්ෂයක දවස් මෙන්” වන්නේය. ඉන් අදහස් වන්නේ අවුරුදු දහස් ගණනකි!

31, 32. (අ) නැවත පැමිණෙන වහලුන් භුක්ති විඳිනු ඇති ආශීර්වාද මොනවාද? (ආ) නව ලෝකයේදී ඇදහිලිවන්ත මනුෂ්‍යවර්ගයාට ලැබෙන ආශීර්වාද මොනවාද?

31 නැවත පැමිණෙන වහලුන් අද්දකින තවත් බොහෝ ආශීර්වාද ගැන යෙහෝවා කතා කරයි. “ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු [යෙහෝවාගෙන්] ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමග වන්නෝය.” (යෙසායා 65:23) යළි පිහිටුවනු ලැබූ එම යුදෙව්වන් යෙහෝවාගේ ආශීර්වාදය ලබනු ඇත. ඔවුන්ගේ වෙහෙස නිෂ්ඵල නොවනු ඇත. අකාලයේ මිය යන පිණිස දෙමාපියන් දරුවන් බිහි නොකරනු ඇත. කලින් වහලුන්ව සිටි අය පමණක් නොව ඔවුන්ගෙන් පැවතෙන්නන්ද යළි පිහිටුවීමේ ආශීර්වාද භුක්ති විඳිනු ඇත. තම සෙනඟගේ අවශ්‍යතා ඉටු කිරීමට ඒතරම්ම ආශාවෙන් සිටින යෙහෝවා මෙසේ පොරොන්දු වන්නේය. “ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.”—යෙසායා 65:24.

32 පැමිණෙන්නාවූ නව ලෝකයේදී යෙහෝවා මේ පොරොන්දු ඉටු කරන්නේ කෙසේද? එය දැනගැනීමට අප එහි ජීවත් විය යුතුමය. යෙහෝවා ඒ සෑම තොරතුරක්ම අපට සපයා නැත. එහෙත් එකක් ගැන නිසැක විය හැක. එනම් අප නැවත කවදාවත් “නිරර්ථකයේ වෙහෙසෙන්නේ” නැත. අර්මගෙදොනයෙන් බේරෙන මහත් සමූහය සහ ඔවුන්ට දාව දරුවන් ඉපදුණොත් ඔවුන්ද ඉතා දිගු තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමේ බලාපොරොත්තුව ලබනු ඇත. එය සදාකාලික ජීවිතයකි! නැවත නැඟිටින අය සහ දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට තෝරාගන්නා අය නව ලෝකයේදී අධික ප්‍රීතියක් භුක්ති විඳිනු ඇත. යෙහෝවා ඔවුන්ගේ අවශ්‍යතා ගැන පමණක් නොව අනාගතයේදී මතු විය හැකි අවශ්‍යතා දෙසද බලා ඒවා වෙනුවෙන් ක්‍රියා කරන්නේය. ඇත්ත වශයෙන්ම යෙහෝවා ‘ජීවමාන සියල්ලන්ගේ [සුදුසු] ආශාවන් පූර්ණ කරන්නේය.’—ගීතාවලිය 145:16.

33. යුදෙව්වන් තම මව්බිමට පැමිණි විට සතුන් ඔවුන් සමඟ සමාදානයෙන් සිටිනු ඇත්තේ කිනම් ආකාරයෙන්ද?

33 යෙහෝවා පොරොන්දු වී ඇති සමාදානය සහ සුරක්ෂිතභාවය කොතරම් දුරට පුළුල්ව පැතිරෙනු ඇද්ද? යෙහෝවා මේ අනාවැකිය මෙසේ අවසන් කරයි. “වෘකයාද බැටළුවස්සාද එකට තෘණ කන්නෝය, සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ධූලි සර්පයාගේ කෑම වන්නේය. මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශකිරීමක්වත් නැතැයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 65:25) ඇදහිලිවන්ත යුදෙව්වන් කණ්ඩායම නැවත තම මව්බිම කරා පැමිණි පසු, ඔවුන් යෙහෝවාගේ රැකවරණය යටතට පැමිණෙන්නේය. සිංහයා හරකා මෙන් පිදුරු කන්නේය. ඌ යුදෙව්වන්ටවත් ඔවුන්ගේ ගෘහාශ්‍රීත සතුන්ටවත් හිරිහැර නොකරනු ඇත. මේ පොරොන්දුව සැබෑ එකකි. මන්ද අනාවැකිය අවසන් කරන්නේ, ‘යෙහෝවා කියන්නේය’ යන වදන්වලිනි. ඔහුගේ වචන සැමවිටම සැබෑ වන්නේය!—යෙසායා 55:10, 11.

34. දැනුත් නව ලෝකයේදීත් යෙහෝවාගේ වචන ඉටු වන්නේ කෙසේද?

34 යෙහෝවාගේ වචන අද සිටින සැබෑ නමස්කාරයන් සම්බන්ධයෙන් පුදුමාකාර අන්දමෙන් ඉටු වේ. වර්ෂ 1919 සිට, දෙවි තම සෙනඟගේ ආත්මික දේශයට ආශීර්වාද කර ඇත. එය ආත්මික පාරාදීසයක් බවට පත් කර ඇත. මේ ආත්මික පාරාදීසයට පැමිණෙන්නාවූ අය ඔවුන්ගේ ජීවිතවල විශිෂ්ට වෙනස්කම් කරගෙන ඇත. (එපීස 4:22-24) කලින් මෘග ගතිගුණ තිබූ, සෙසු මිනිසුන්ව සූරාකෑ, එමෙන්ම ඔවුන්ට රිද්දූ අය දෙවිගේ ආත්මයේ උපකාරය ඇතුව, ක්‍රමානුකූලව යහපත් ගුණාංග වගා කරගෙන හීලෑ වූ තත්වයට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් හැටියට, ඔවුහු සෙසු ඇදහිලිවන්තයන් සමඟ එක්සත්ව සහ සමාදානයෙන් නමස්කාර කිරීමෙහි ප්‍රීතිය භුක්ති විඳිති. යෙහෝවාගේ සෙනඟ තමන්ගේ ආත්මික පාරාදීසය තුළ දැන් භුක්ති විඳින ආශීර්වාද, මිනිසුන් මිනිසුන් අතරද සතුන් මිනිසුන් අතරද සමාදානය පවතින භෞතික පාරාදීසයටද පැතිරෙනු ඇත. දෙවිගේ නියම කරන ලද කාලයේදී මනුෂ්‍යවර්ගයාට දෙවි දුන් මුල් පැවරුම නිසි ලෙස ක්‍රියාත්මක වනු ඇති බවට අපට නිසැක විය හැකිය. ඔහු කීවේ, “පොළොව . . . යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්න” කියාය.—උත්පත්ති 1:28.

35. “සදාකාලේටම සතුටු” වීමට ඇති තරම් හේතු තිබෙන්නේ මන්ද?

35 ‘අලුත් අහසක් සහ අලුත් පොළොවක්’ පිළිබඳ යෙහෝවාගේ පොරොන්දුව ගැන අප මොනතරම් කෘතඥපූර්වක විය යුතුද! මේ පොරොන්දුව පො.යු.පෙ. 537දී ඉටුවීමක් අද්දුටු අතර, අදදිනද එය ඉටු වෙමින් තිබේ. මේ ඉටුවීම් දෙක අදාළ වනුයේ කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා පොරොන්දු කර ඇති තේජවත් අනාගතයකටය. යෙහෝවාට ප්‍රේම කරන අය සඳහා ඔහු තබා තිබෙන ආශීර්වාද ගැන යම් අදහසක් යෙසායාගේ අනාවැකිය තුළින් අපට ලබාගත ඇත. “මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න” යන යෙහෝවාගේ වචනවලට කීකරු වීමට ඇති තරම් හේතු අපට ඇත!—යෙසායා 65:18.

[පාදසටහන්වල]

^ මේ සෙනඟ සොහොන් පිටිවල සිටියේ මළවුන් සමඟ කතා කිරීමට බවත්, ඌරුමස් කෑම ඔවුන්ගේ රූප වන්දනාවට සම්බන්ධ වන්න ඇතැයි කියාත් සමහරු කියති.

^ මේ පදය සම්බන්ධයෙන් (පො.යු. හතරවන සියවසේ උපත ලද) බයිබල් විශාරද ජෙරොම් අදහස් දක්වද්දී, අවුරුද්දේ අවසාන දිනයේදී පුරාණයේ සිටි රූප නමස්කාරකයන් පැවැත්වූ චාරිත්‍රයක් ගැන මෙසේ ලීවේය. “විවිධ වර්ගයේ ආහාර සහ රසවත් මුද්‍රික පානය මේසයක් උඩ තබා, ගෙවී ගිය වසරේ හෝ පැමිණෙන්නාවූ නව වසරේ සශ්‍රීකත්වය තහවුරු කිරීමට ඔවුහු වාසනාවට ඉඩහැරියෝය.”

^ යෙසායා 65:16හි හෙබ්‍රෙව් මැසරෙටික් ලියවිල්ලට අනුව, යෙහෝවා යනු “ආමෙන් නමැති දෙවිය.” “ආමෙන්” කීමෙන් අදහස් කරන්නේ “එසේම වේවා” නැතහොත් “සැකයක් නැත” යන්නයි. එය, යම් දෙයක් සැබෑ බව නැතහොත් සැබෑ වන බවට සහතිකයකි. යෙහෝවා තමන් විසින් පොරොන්දු වන සෑම දෙයක්ම ඉටු කිරීමෙන් තමන් කියන දේ සැබෑ බව පෙන්වන්නේය.

^ යෙසායා 65:20 නව අනුවාදයේ සඳහන් කරන්නේ මෙසේය. “ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති; පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති.”

^ වෘක්ෂ හෙවත් ගස් වනාහි දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුදුසු නිදර්ශනයකි. මන්ද, සජීවි දේවල් ගැන සලකා බලද්දී, වැඩිම කාලයක් පුරා පැවතීමේ හැකියාව ඇති දෙයකි ගස්. උදාහරණයක් හැටියට, ඔලීව ගස අවුරුදු සියගණනක් ඵල නිපදවන අතර, අවුරුදු දහස් ගණනක් ජීවත් වේ.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[389වන පිටුවේ පින්තූරය]

දෙවිගේ නව ලෝකයේදී, අපේ අත්වල ඵල භුක්ති විඳීමට ඇති තරම් කාලය තිබෙනු ඇත