Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ නමස්කාරය වෙතට නැවත හැරෙන්න

යෙහෝවාගේ නමස්කාරය වෙතට නැවත හැරෙන්න

හත්වන පරිච්ඡේදය

යෙහෝවාගේ නමස්කාරය වෙතට නැවත හැරෙන්න

යෙසායා 46:1-13

1. බබිලෝනිවරුන් නමස්කාර කළ ප්‍රධාන දෙවිවරුන් දෙදෙනෙකුව නම් කරන්න. ඔවුන් ගැන පුරෝකථනය කර තිබෙන්නේ කුමක්ද?

 ඉශ්‍රායෙල්වරුන් වහලුන් ලෙස බබිලෝනියේ සිටින විට ඔවුහු බොරු නමස්කාරයෙන් වට වී සිටියෝය. නමුත් යෙසායාගේ කාලයේදී නම් ඔවුන්ව වහල්භාවයට ගෙන ගොස් තිබුණේ නැත. ඒ වන විට ඔවුන්ගේ නමස්කාරය සඳහා දේවමාළිගාවත් එහි පූජක තන්ත්‍රයත් ක්‍රියාත්මක වෙමින් තිබුණි. තත්වය එසේ වුණත්, දෙවිට කැප වූ මේ ජාතියට අයත් බොහෝදෙනෙක් රූප වන්දනාවේ ගොදුරක් වී සිටියහ. එමනිසා, බබිලෝනියේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරමින් ඔවුන්ට සේවය කිරීමේ මලපතට නොවැටෙන පිණිස ඔවුන්ව කල් තියා සූදානම් කිරීම අත්‍යවශ්‍යයි. මේ හේතුව අරබයා බබිලෝනියේ ප්‍රධාන දෙවිවරුන් දෙදෙනෙකු ගැන යෙසායා මෙසේ අනාවැකියකින් දක්වයි. “බේල් පහත්වෙයි, නෙබෝ නැමෙයි; ඒවායේ රූප මෘගයින් පිටද සිව්පාවුන් පිටද තිබේ. නුඹලා විසින් ගෙනගිය ඒවා වෙහෙසවෙන මෘගයන් පිට බරක් කොට පටවා තිබේ.” (යෙසායා 46:1) කල්දිවරුන්ගේ ප්‍රධානම දෙවියා වූයේ බේල්ය. ඔවුන් නෙබෝව සැලකුවේ නුවණට සහ දැනුමට අධිපති දෙවියා ලෙසයි. මේ දෙවිවරුන් දෙදෙනාට තිබූ ගෞරව භක්තිය සමහර බබිලෝනිවරුන්ට දමා තිබූ නම්වලින් පැහැදිලි වේ. බේල්ෂශර්, නැබොපොලොසාර්, නෙබුකද්නෙශර් සහ නෙබුසරදාන් එවැනි නම් කිහිපයකි.

2. බබිලෝනියේ දෙවිවරුන්ගේ අන්ත අසරණ තත්වය අවධාරණය කර තිබෙන්නේ කෙසේද?

2 යෙසායා කියන්නේ බේල් “පහත්වෙයි” නෙබෝ “නැමෙයි” කියායි. මෙයින් අදහස් කරන්නේ මේ බොරු දෙවිවරුන් නින්දාවට පත් වන බවයි. යෙහෝවා බබිලෝනියට එරෙහිව තමන්ගේ විනිශ්චය ගෙනෙන විට, තම නමස්කාරකයන්ගේ ආධාරයට පැමිණීමට ඔවුන් අපොහොසත් වනු ඇත. අනුන්ව තියා තමන්ව ගළවාගැනීමටවත් ඒ දෙවිවරුන් අසමත් වනු ඇත! මින් මත්තට බබිලෝනියේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සව වැනි උත්සවවලදී යන පෙරහැරේ බේල් සහ නෙබෝගේ රූප ඉදිරියෙන්ම ගෙන යනවා දැකගැනීමට තවදුරටත් නොහැකි වනු ඇත. අනිකුත් බඩු මුට්ටු ගෙන යන්නා සේ නමස්කාරකයන් විසින් මොවුන්ගේ දේවරූපද ඇදගෙන යනු ඇත. බේල් සහ නෙබෝට දැක්වූ ප්‍රශංසාව සහ ගරු බුහුමන්, සමච්චලයටත් අවමානයටත් හැරෙනු ඇත.

3. (අ) බබිලෝනියේ වැසියන්ව කම්පනයට පත් කරන්නේ කුමක්ද? (ආ) බබිලෝනියේ දෙවිවරුන්ට සිදු වූ දෙයින් අද අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?

3 බබිලෝනිවරුන් එතරම් ආදරයකින් සිප වැලඳගත් පිළිම හෙම්බත් වූ මෘගයන් විසින් ඇදගෙන යනවා දැකීම ඔවුන්ගේ හදවත් මොනතරම් කම්පාවට පත් කරාවිද! යෙහෝවා කෙරෙහි විශ්වාස කරනවා වෙනුවට අදදින සිටින මිනිසුන්ද තමන්ගේ ශක්තිය සහ ජීවිතය මේ ලෝකයේ දෙවිවරුන් වෙනුවෙන් කැප කර තිබේ. එය මායාවක් පමණයි. ධනය, යුධෝපකරණ, විනෝදාස්වාදය, ලෝක පාලකයන්, මව්බිම හෝ එහි කොඩිය ඇතුළු වෙනත් ලාංඡන සහ වෙනත් බොහෝ දේ ගරු බුහුමන් ලබන දෙවිවරුන් බවට පත්ව තිබේ. යෙහෝවා නියම කර ඇති කාලයේදී ඔහු එවැනි දෙවිවරුන් කොපමණ බෙලහීනද කියා හෙළි කරනු ඇත.—දානියෙල් 11:38; මතෙව් 6:24; ක්‍රියා 12:22; පිලිප්පි 3:19; කොලොස්සි 3:5; එළිදරව් 13:14, 15.

4. බබිලෝනියේ දෙවිවරුන් ‘නැමී පහත් වන්නේ’ කිනම් අර්ථයෙන්ද?

4 බබිලෝනියේ දෙවිවරුන්ගේ අන්ත අසරණ තත්වය අවධාරණය කරමින් අනාවැකිය තවදුරටත් මෙසේ පවසයි. “ඒ දෙවිවරු එක්ව නැමී පහත්වෙති; ඒ බර ගළවාගන්ට නොහැකිව, තුමූම වහල්කමට ගොස් සිටිති.” (යෙසායා 46:2) බබිලෝනියේ දෙවිවරුන් “නැමී පහත්” වී සිටින්නේ යුද්ධයෙන් තුවාල වූ හේවායන් මෙනි. මහලු වයස හේතුවෙන් බෙලහීන වූ අය මෙනි. මෘගයන් මත පටවා ඇති බර සැහැල්ලු කිරීමට හෝ උන්ව බරින් නිදහස් කිරීමට එම දෙවිවරුන්ට නොහැක. එසේ නම්, දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟ බබිලෝනියේ වහලුන්ව සිටි පළියට එම දෙවිවරුන්ට ගරු බුහුමන් කළ යුතුද? එසේ කිරීමට කිසිම අවශ්‍යතාවක් නැත! ඒ හා සමානව, 1919දී තමා අද්දුටු වැටීම වළක්වාගැනීමටවත් ‘මහත් පීඩාවේදී’ තමන් පිටට පැමිණෙන විපත්තියෙන් තමන්ව ගළවාගැනීමටවත් නොහැකි ‘මහ බබිලෝනියේ’ බොරු දෙවිවරුන්ට, යෙහෝවාගේ ආලේප ලත් සේවකයන් ආත්මික වහල්භාවයේ සිටිද්දී පවා කිසිම බුහුමනක් දැක්වූයේ නැත.—එළිදරව් 18:2, 21; මතෙව් 24:21.

5. බබිලෝනිවරුන් රූප වන්දනාවේ යෙදීමෙන් සිදු කළ වරද නැවත කිරීමෙන් වර්තමාන ක්‍රිස්තියානීන් වළකින්නේ කෙසේද?

5 වර්තමානයේ සිටින ක්‍රිස්තියානීන් කිසිම ආකාරයක දේවතා රූපයක් ඉදිරියේ වැඳ වැටෙන්නේ නැත. (1 යොහන් 5:21) කුරුස, ජපමාල හෝ ශුද්ධවන්තයන්ගේ රූප මාර්ගයෙන් මැවුම්කරුවා වෙතට ළඟා විය නොහැකිය. අප වෙනුවෙන් මැදිහත් වීමට ඒවාට බැරිය. දෙවිට නමස්කාර කළ යුතු නිවැරදි ක්‍රමය ගැන යේසුස් ඔහුගේ මුල් සියවසේ ගෝලයන්ට ඉගැන්නුවේ මෙසේයි. “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් [පියා] වෙතට පැමිණෙන්නේ නැත. නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ට කරන්නෙමි.”—යොහන් 14:6, 14.

‘ගර්භයේ පටන් ඉසිලීම’

6. යෙහෝවා ජාතීන්ගේ දෙවිවරුන්ට වඩා වෙනස් වන්නේ කිනම් ආකාරයෙන්ද?

6 බබිලෝනියේ පිළිම දේවතාවුන්ට නමස්කාර කිරීමේ හිස්කම හෙළි කළ පසු යෙහෝවා තම සෙනඟට මෙසේ කියයි. “ගර්භයේ සිට මා විසින් උසුලනලද්දාවූ, කුසේ සිට ගෙනයනලද්දාවූ යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ ඉතිරිවූ සියල්ලෙනි, මාගේ වචන අසන්න.” (යෙසායා 46:3) යෙහෝවාත් බබිලෝනියේ ගල් පිළිමත් අතර මොනතරම් වෙනසක් තිබේද! බබිලෝනියේ දෙවිවරුන්ට තම නමස්කාරකයන් වෙනුවෙන් කිසිම දෙයක් කළ නොහැක. ඔවුන්ව එහාට මෙහාට ගෙන යන්න ඕනෑ වූ විට බර අදින සතෙකු පිට ගෙන යා යුතුමය. නමුත් යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ව ගෙන යන්නේ උසුලාගෙනය. ඔහු ඔවුන්ව ජාතියක් සේ පිහිටෙවූ දවසේ සිට එනම්, “ගර්භයේ සිට” ඔවුන්ව ඉසිලීය. යෙහෝවා විසින් ඔවුන්ව එතරම් ආදරයෙන් යුතුව උසුලා දරාගැනීම පිළිබඳ උණුසුම් මතකයන්, ඔවුන්ගේ පියා සහ මිත්‍රයා හැටියට දෙවි කෙරෙහි විශ්වාස කිරීමටත් රූප වන්දනාව හෙළා දැකීමටත් යුදෙව්වන්ව දිරිගැන්විය යුතු වෙයි.

7. යෙහෝවා තමන්ට නමස්කාර කරන්නන් කෙරෙහි දක්වන මුදු මොළොක් සැලකිල්ල, මිනිස් දෙමාපියන් තම දරුවන්ට දක්වන සැලකිල්ලට වඩා වැඩි වන්නේ කෙසේද?

7 තම සෙනඟට යෙහෝවා නැවත වරක් මුදු මොළොක් ස්වරයෙන් කතා කරයි. “මහලු වයස දක්වාත් මම එසේමය, හිස පැසීම දක්වාත් මම නුඹලා උසුලන්නෙමි. මම සෑදීමි, මමම නුඹලා දරාගෙන මමම උසුලාගන ගළවන්නෙමි.” (යෙසායා 46:4) ඉතාමත්ම සැලකිලිමත් දෙමාපියන්ගේ අවධානයට වඩා අතිශයින් වැඩි අවධානයක් යෙහෝවා තම සෙනඟ කෙරෙහි දක්වන බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. දෙමාපියන් ක්‍රමානුකූලව මහලු වන විට දරුවෝ දෙමාපියන්ව රැකබලා ගනිති. යෙහෝවා සම්බන්ධයෙන් එය කවදාවත් එසේ නොවන්නේය. ඔහු කිසිමදාක තමන්ගේ මිනිස් දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල නවත්වන්නේ නැත. ඔවුන් වයසට ගොස් බෙලහීන වුවත් එම සැලකිල්ල වෙනස් නොවේ. වර්තමානයේ දෙවිට නමස්කාර කරන්නෝ ඔවුන්ගේ මැවුම්කරුවාට ප්‍රේම කරනවා පමණක් නොව, ඔහු කෙරෙහි විශ්වාසයද තබා ඇති අතර, යෙසායාගේ අනාවැකියේ ඉහත වදන්වලින් ඉමහත් සැනසිල්ලක් ලබති. මේ දුෂ්ට ක්‍රමයේ ගත කරන ඉදිරි දවස් හෝ අවුරුදු ගණන ගැන කනස්සලු වීමට ඔවුන්ට හේතුවක් නැත. යෙහෝවා පොරොන්දු වෙන්නේ මහලු අයව ‘උසුලන’ බවටත්, ඇදහිලිවන්තව විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය දෙන බවටත්ය. එසේය, යෙහෝවා ඔවුන්ව උසුලා දරන්නේය; ඔවුන්ට ශක්තිය දෙන්නේය; අවශ්‍ය දෑ සපයන්නේය.—හෙබ්‍රෙව් 6:10.

නවීන දින පිළිම නමස්කාරයෙන් පරෙස්සම් වන්න

8. යෙසායාගේ රටවැසියන් සමහරෙකු නියැලුණේ නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකි කිනම් පාපයේද?

8 පිළිම මත තම විශ්වාසය තබන බබිලෝනිවරුන් අද්දකින්න යන බලාපොරොත්තු සුන්වීම ගැන සිතා බලන්න. ඒවා කිසිම වැඩකට නැති බව ඔවුන් තේරුම්ගනු ඇත. එම දෙවිවරුන් යෙහෝවාට සමානයයි ඉශ්‍රායෙල්වරුන් මොහොතකට හෝ සිතිය යුතුද? කොහෙත්ම නැත. යෙහෝවා මෙසේ ඇසීම සාධාරණයි. “අප එකාකාර වන සේ නුඹලා මා සමාන කරන්නෙත් එක සම කරන්නෙත් සදෘශ කරන්නෙත් කාටද?” (යෙසායා 46:5) කිසිවක් කරකියා ගත නොහැකි අජීවි මෙන්ම ගොළු පිළිම වෙත හැරුණාවූ යෙසායාගේ රටවැසියන්ට එසේ කිරීම ගැන කියන්න කිසිම නිදහසට කරුණක් තිබේවිද! මෙසේ කටයුතු කළේ යෙහෝවා ගැන නොදන්න ජාතියක් නොවේ. මිනිස් අතින් හැඩගැන්වුණු කිසිවක් කරකියා ගත නොහැකි එවැනි අජීවි පිළිම කෙරෙහි විශ්වාසය තැබූ මොවුහු සැබවින්ම මෝඩයෝ වූහ.

9. සමහර රූප නමස්කාර කරන්නන්ගේ පුහු තර්ක කිරීම විස්තර කරන්න.

9 රූප නමස්කාර කරන්නන්ගේ පුහු තර්ක සෝදිසි කර බලන්න. “වස්තුකාරයෝ මල්ලෙන් ගන්න රන්ද රිදීද තරාදියෙන් කිරා, රන්කරුවෙකු කුලියට ගෙන, ඒවායින් දෙවිකෙනෙකු සාදවාගෙන ඊට වැඳවැටී නමස්කාරකෙරෙති.” (යෙසායා 46:6) ලීයෙන් තැනූ රූපයකට වඩා මිල අධික අමුද්‍රව්‍යයකින් සෑදූ රූපයකට මිනිසුන්ව ගළවාගැනීමට ඇති හැකියාව වැඩියි කියා ඔවුන් සිතුවා විය හැකියි. එබැවින් ඔවුහු දේවතා රූප සෑදීමට අත පය දිගහැර මිල මුදල් වියදම් කරති. සෑදීමට කොතරම් ශ්‍රමයක් දැරුවත්, කොතරම් මුදලක් යට කළත්, පණ නැති රූපෙ පණ නැති රූපෙමයි. ඊට වඩා දෙයක් ඉන් බලාපොරොත්තු විය හැකිද?

10. රූප නමස්කාරය කිසිම පලක් නැති බව විස්තර කර තිබෙන්නේ කෙසේද?

10 පිළිම වන්දනාවේ ඇති අඥානකම අනාවැකියෙන් තවදුරටත් පිළිබිඹු කරයි. “ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.” (යෙසායා 46:7) යමක් කිරීමට තබා ඇහුම්කන් දීමටවත් නොහැකි පිළිමයකට යාච්ඤා කිරීම මොනතරම් විහිළුවක්ද! නමස්කාරය සඳහා යොදාගැනෙන එවැනි පුස් දේවල් ගැන ගීතිකාකරු පවසන දෙයෙහි තිබෙන සත්‍යතාව සලකා බලන්න. “ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තයෝය. ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති; කන් ඇත, එහෙත් නොඅසති; නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති; අත් ඇත, එහෙත් නාල්ලති; පා ඇත, එහෙත් නොඇවිදිති; උගුරෙන් කථා නොකෙරෙති. ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාසය තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.”—ගීතාවලිය 115:4-8.

“පුරුෂයන් මෙන් හැසිරෙන්න”

11. තීරණයකට එළඹීමට නොහැකිව ලත වෙවී සිටින අයට “පුරුෂයන් මෙන් හැසිරෙන්න” උදව් විය හැක්කේ කුමක්ද?

11 රූප නමස්කාරය වනාහි නිෂ්ඵල ක්‍රියාවක් බව පෙන්නුම් කළාට පසු, ඉශ්‍රායෙල්වරුන් වෙන කාටවත් නොව තමාට නමස්කාර කළ යුතු හේතුව යෙහෝවා පහදා දෙයි. “මේක සිහිකොට මනුෂ්‍යයන් [පුරුෂයන්, NW] මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න. පුරාණයේ පළමු කාරණ සිහිකරන්න. මක්නිසාද මමම [දෙවිය], වෙන කෙනෙක් නැත; මම [දෙවිය], මා සමාන කෙනෙක් නැත.” (යෙසායා 46:8, 9) සැබෑ නමස්කාරයත් රූප වන්දනාවත් අතර හිර වී තීරණයකට එළඹීමට නොහැකිව ලත වෙවී සිටින අය ඉතිහාසය ගැන සිතා බැලුවොත් හොඳයි. යෙහෝවා කර ඇති දේවල් ඔවුන් මතක් කරගත යුතුයි. ධෛර්යයෙන් යුතුව දෙවි ඉදිරියේ නිවැරදි දේ කිරීමට එය ඔවුන්ව පොලඹවනු ඇත. යෙහෝවාට නමස්කාර කිරීම සඳහා ඔහු වෙත නැවත හැරෙන්න එය ඔවුන්ට උදව් වේ.

12, 13. ක්‍රිස්තියානීන්ට කුමන දේවල්වලට එරෙහිව සටන් කිරීමට තිබේද? ඔවුන්ට ඒවායින් ජයගත හැක්කේ කෙසේද?

12 මෙම දිරිගැන්වීම අදටත් වැදගත්ය. ඉශ්‍රායෙල්වරුන්ට මෙන් අද සිටින අවංක ක්‍රිස්තියානීන්ටද පරීක්ෂාවන් සහ මාංසයේ තෘෂ්ණාවන්ට විරුද්ධව සටන් කිරීමට සිදු වෙයි. (රෝම 7:21-24) ඊට අමතරව, නොපෙනෙන ඉතා බලවත් සතුරෙකු සමඟ ආත්මික සටනකද ඔවුහු නොකඩවාම යෙදී සිටිති. මේ ගැන ප්‍රේරිත පාවුල් මෙසේ කීවේය. “අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.”—එපීස 6:12.

13 සාතන් සහ ඔහුගේ භූත පිරිස ක්‍රිස්තියානීන්ව සැබෑ නමස්කාරයෙන් ඉවතට හැරවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව නිසැකයි. සාර්ථක සටනක නිරත වීම සඳහා ක්‍රිස්තියානීන් යෙහෝවාගේ උපදෙස්වලට අවනත විය යුතු අතර, ධෛර්යවත්ව සිටිය යුතුය. එම ධෛර්යය ලබාගත හැක්කේ කෙසේද? ප්‍රේරිත පාවුල් විස්තර කරන්නේ මෙසේයි. “යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස [දෙවිගේ] සියලු යුද්ධායුධ පැළඳගන්න.” යෙහෝවා තම සේවකයන්ව සන්නාහ සන්නද්ධ නොකර යුද්ධයට යවන්නේ නැත. ඊට සපයන යුධ ආයුධයක් ගැන කියන්නේ මෙසේයි. “ඇදහිල්ල නමැති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය.” (එපීස 6:11, 16) ඉශ්‍රායෙල්වරුන් වැරදිකරුවන් වූයේ යෙහෝවා ඔවුන්ට ලබා දුන් ආත්මික සැපයුම් නොසලකා හළ නිසයි. යෙහෝවා තමන් වෙනුවෙන් නැවත නැවතත් කළ බලවත් ක්‍රියා ගැන ඔවුන් මෙනෙහි කළා නම්, ඔවුන් කිසිමදාක එතරම්ම පිළිකුල් වූ රූප වෙත නොහැරෙනු ඇත. අපි ඔවුන්ගේ අවාදර්ශයෙන් පාඩමක් ඉගෙනගනිමු. හරි දේ කිරීම සඳහා කිසිදා පසුබට නොවෙමු.—1 කොරින්ති 10:11.

14. තමා එකම සැබෑ වූ දෙවි බව පෙන්වීමට යෙහෝවා යොදාගන්නේ තමන්ගේ කුමන හැකියාවද?

14 යෙහෝවා “වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්වන්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ [තැනැත්තාය].” (යෙසායා 46:10) මේ සම්බන්ධයෙන් යෙහෝවා හා සමාන වන්නේ මොන දෙවියාද? අනාගතය ගැන කල් ඇතුව කීමට ඇති හැකියාව මැවුම්කරුවාගේ දෙවිකම ඔප්පු කරන ප්‍රබල සාක්ෂියකි. කෙසේවෙතත්, පුරෝකථනය කර ඇති දේවල් ඉටු කිරීමට නිකම්ම දූරදර්ශීභාවයට වඩා වැඩි යමක් අවශ්‍යය. දෙවිගේ අරමුණු වෙනස් නොවන බව අවධාරණය කිරීමට ‘මාගේ මන්ත්‍රණ පවත්වන්නේය’ යන කියමන යොදාගැනේ. යෙහෝවාට අසීමිත වූ බලයක් තිබෙන අතර, ඔහුගේ අරමුණු ඉටු කිරීම නැවැත්විය හැකි සමතෙකු විශ්වයේ කොතැනකවත් නැත. (දානියෙල් 4:35) එබැවින්, ඉදිරියේදී ඉටුවීමට යන අනාවැකිද දෙවි නියම කර ඇති කාලයේදී ඉටු වන බවට අපට ස්ථිර විය හැක.—යෙසායා 55:11.

15. යෙසායා අපේ අවධානයට ගෙනෙන්නේ අනාගත සිදුවීම් ගැන කීමට යෙහෝවා සතු හැකියාව පිළිබඳ කිනම් විශිෂ්ට ආදර්ශයද?

15 අනාගත සිදුවීම් ගැන කීමට යෙහෝවා සතු හැකියාව සහ ඒවා ඉටු කිරීම පිළිබඳ විශිෂ්ට ආදර්ශයක් යෙසායා මීළඟ වදන්වලින් අපේ අවධානයට ලක් කරයි. “මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්න [තැනැත්තාය]. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.” (යෙසායා 46:11) යෙහෝවා දෙවි “අන්තිමය මුල පටන් . . . දන්වන්නාවූ” තැනැත්තා හැටියට තමන් කී දේ ඉටු කිරීම සඳහා මිනිස් කටයුතු තමන්ට රිසි සේ හසුරුවනු ඇත. “නැගෙනහිරින්” එනම්, පර්සියාවේ පිහිටි කෝරෙෂ්ගේ ප්‍රියතම නුවර වන පසාර්ගඩි වෙතින් යෙහෝවා ඔහුව කැඳවාගනු ඇත. කෝරෙෂ් “ගිජු පක්ෂියෙක්” මෙන් අනපේක්ෂිත ලෙස බබිලෝනිවරුන්ව අන්දමන්ද කරවමින් දේශය අල්ලාගන්නේය.

16. බබිලෝනිය සම්බන්ධයෙන් කළ පුරෝකථනයේ ස්ථිරත්වය යෙහෝවා තහවුරු කරන්නේ කෙසේද?

16 බබිලෝනිය සම්බන්ධයෙන් යෙහෝවා පුරෝකථනය කර ඇති දේවල ස්ථිරත්වය “මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නෙමි” යන කීමෙන් තහවුරු කරයි. මිනිසා අසම්පූර්ණ බැවින් හැඟීම්වලට වහල් වී විවිධාකාර පොරොන්දු දුන්නද, පසුව ඒවා ඉටු කිරීම සම්බන්ධයෙන් පසුබට වෙති. එහෙත් මැවුම්කරුවා නම් තමන්ගේ පොරොන්දු ඉටු කිරීමට කිසිදා අසමත් නොවේ. යෙහෝවා “බොරු නොකියන” දෙවි බැවින්, ඔහු ‘යෝජනා කරන දේ’ නිසැකවම ‘ඉටු කරන’ බවට සහතික විය හැකිය.—තීතස් 1:1.

ඇදහිල්ල නැති හදවත්

17, 18. (අ) පුරාණයේදී සහ (ආ) වර්තමානයේදී ‘දැඩි සිත් ඇත්තන්’ ලෙස විස්තර කළ හැක්කේ කාවද?

17 නැවත වරක් යෙහෝවා තම අවධානය බබිලෝනිය වෙත යොමු කරමින් මෙසේ පවසයි. “ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින දැඩි සිත් ඇත්තෙනි, මාගේ වචන අසන්න.” (යෙසායා 46:12) “දැඩි සිත් ඇත්තෙනි” කියා කියද්දී ඉන් යොමු දක්වන්නේ දෙවිගේ කැමැත්ත කිරීමට එරෙහි වන මුරණ්ඩු මෙන්ම දරදඬු ආකල්පයක් දරන අයටයි. බබිලෝනියේ වැසියන්ට දෙවි කෙරෙහි කිසිදු ඇදහිල්ලක් නොතිබූ බව පැහැදිලිය. යෙහෝවා සහ ඔහුගේ සෙනඟ කෙරෙහි ඔවුන් තුළ තිබූ වෛරය, යෙරුසලම හා එහි දේවමාළිගාව විනාශ කර දැමීමටත් එහි වැසියන්ව වහල්භාවයට ගෙන යෑමටත් හේතු විය.

18 වර්තමානයේ ජනාවාස පොළොව පුරා දේශනා කරන දේවරාජ්‍යයේ පණිවිඩය දෙස වපර ඇසෙන් බලන, එය පිළි නොගන්නාවූ මනුෂ්‍යයෝ එමපණිවිඩය ඇසීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරති. (මතෙව් 24:14) යෙහෝවා සැබෑ පරමාධිපති දෙවි බව පිළිගැනීමට ඔවුන් කැමති නැත. (ගීතාවලිය 83:17; එළිදරව් 4:11) “ධර්මිෂ්ඨකමින් ඈත්ව සිටින” මේ මිනිස්සු දෙවිගේ කැමැත්ත සිදු කිරීම වැළැක්වීම සඳහා ඔවුන්ට හැකි සෑම දෙයක්ම කරති. (2 තිමෝති 3:1-5) බබිලෝනියේ වැසියන් මෙන් ඔවුහුද යෙහෝවාට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරති.

දෙවිගේ ගැළවීම අප්‍රමාදව ඉටු වේ

19. ඉශ්‍රායෙල් වෙනුවෙන් යෙහෝවා ධර්මිෂ්ඨ ක්‍රියාවක් සිදු කරන්නේ කෙසේද?

19 යෙසායා 46වන පරිච්ඡේදයේ අවසාන වදන් යෙහෝවාගේ පෞද්ගලිකත්වයේ මූලික අංග කාවද්දයි. “මාගේ ධර්මිෂ්ඨකම ළංකරන්නෙමි, ඒක ඈත්ව නොතිබෙන්නේය, මාගේ ගැළවීමද ප්‍රමාද නොවන්නේය; මාගේ ගෞරවයවූ ඉශ්‍රායෙල්ට සියොන්හි ගැළවීම දෙන්නෙමි.” (යෙසායා 46:13) ඉශ්‍රායෙල් ජාතිය වහල්භාවයෙන් මුදාගැනීම දෙවි විසින් සිදු කරනු ලැබූ ධර්මිෂ්ඨ ක්‍රියාවකි. තම සෙනඟට වහල්භාවයේ දිගටම සිටීමට දෙවි ඉඩහරින්නේ නැත. සියොන්හි ගැළවීම නියමිත කාලයේදී සිදු වේ. එය “ප්‍රමාද නොවන්නේය.” ඉශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් මිදුවායින් පසු, ඔවුන් අවට ජාතීන්ගේ අවධානයට පාත්‍ර වනු ඇත. යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය ගළවාගැනීමෙන් ඔප්පු වන්නේ, මිනිසුන්ව ගළවාගැනීමට ඔහුට බලය ඇති බවය. බබිලෝනියේ දෙවිවරුන් වන බේල් සහ නෙබෝ නිකම්ම නිකම් මැටි ගොඩක් බව කාහටත් පැහැදිලිව පෙනී යනු ඇත. එමගින් ඔවුන්ගේ දුබලකම හෙළි වනු නියතය.—1 රාජාවලිය 18:39, 40.

20. යෙහෝවා දෙන ‘ගැළවීම ප්‍රමාද නොවී පැමිණෙන’ බවට ක්‍රිස්තියානීන්ට සහතික විය හැක්කේ මන්ද?

20 වර්ෂ 1919දී, යෙහෝවා තම සෙනඟව ආත්මික වහල්භාවයෙන් මුදාගත්තේය. ඒ සඳහා ඔහු ප්‍රමාද වූයේ නැත. එම සිද්ධියත්, බබිලෝනිය කෝරෙෂ් අතට නතුවීම පිළිබඳ සිද්ධියත් අද අපට දිරිගැන්වීමක් වන්නේය. බොරු නමස්කාරය ඇතුළු, දැන් පවතින මේ දුෂ්ට ක්‍රමයට නිමාවක් ගෙන ඒමට යෙහෝවා පොරොන්දු වී ඇත. (එළිදරව් 19:1, 2, 17-21) මේ දෙස මිනිස් දෘෂ්ටියෙන් බැලීම නිසා තමන්ගේ ගැළවීම ප්‍රමාදයයි සමහර ක්‍රිස්තියානීන්ට හැඟෙන්න පුළුවන. එසේ වුණත්, එම පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා වූ ඔහුගේ නියමිත කාලය එන තුරු යෙහෝවා දක්වන ඉවසිලිවන්තකමද ධර්මිෂ්ඨකමේ ක්‍රියාවකි. ඇත්ත වශයෙන්ම, ‘සියලුදෙනා පසුතැවිලි වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට යෙහෝවා කැමති නැත.’ (2 පේතෘස් 3:9) එමනිසා, පුරාණ ඉශ්‍රායෙලයේ දවස්වල මෙන් ‘ගැළවීම ප්‍රමාද නොවී පැමිණෙන’ බවට සහතික වන්න. ඇත්තෙන්ම, ගැළවීමේ දවස ක්‍රමානුකූලව ළඟා වෙත්ම, යෙහෝවා මෙම ප්‍රේමනීය ආරාධනාව ඉදිරිපත් කරන්නේය. ‘යෙහෝවා සම්බ වෙන්ට සිටිද්දී ඔහු සොයා, ඔහු ළංව සිටිද්දී ඔහුට යාච්ඤා කරන්න. දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, යෙහෝවා වෙතට [නැවත, NW] හැරී ඒවා. ඔහු ඔහුට අනුකම්පා කරනවා ඇත; අපේ දෙවි වෙතට ඔහු හැරී ඒවා. මක්නිසාද ඔහු අතිශයින් කමා වෙනවා ඇත.’—යෙසායා 55:6, 7.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[94වන පිටුවේ පින්තූර]

බබිලෝනියේ දෙවිවරුන් විනාශයෙන් ඇයව බේරාගන්නේ නැත

[98වන පිටුවේ පින්තූර]

නවීන දින රූප නමස්කාරයෙන් අදදින සිටින ක්‍රිස්තියානීන් ආරක්ෂා විය යුතුය

[101වන පිටුවේ පින්තූර]

හරි දේ කිරීමට දිරි වඩවාගන්න