Skip to content

පටුනට යන්න

යෙහෝවා අපට උගන්වන්නේ අපේ ප්‍රයෝජනයටයි

යෙහෝවා අපට උගන්වන්නේ අපේ ප්‍රයෝජනයටයි

නවවන පරිච්ඡේදය

යෙහෝවා අපට උගන්වන්නේ අපේ ප්‍රයෝජනයටයි

යෙසායා 48:1-22

1. ප්‍රඥාවන්තයන් යෙහෝවාගේ වචනයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

 යෙහෝවා කතා කරද්දී ප්‍රඥාවන්තයෝ මහත් ගරු සරුවෙන් යුතුව ඇහුම්කන් දී ඔහුගේ වචනයට ප්‍රතිචාරය දක්වති. යෙහෝවා පවසන සෑම දෙයක්ම අපේ ප්‍රයෝජනය සඳහායි. එය එසේ වන්නේ ඔහු අපේ සුභසාධනය කෙරෙහි ඒ තරම්ම උනන්දු වන නිසයි. උදාහරණයක් හැටියට, යෙහෝවා ගිවිසුමෙන් බැඳී සිටි පුරාණ සෙනඟට ආමන්ත්‍රණය කළේ මොනතරම් හද උණුසුම් කරවන ආකාරයෙන්ද! ඔහු පැවසුවේ ‘අනේ, ඔබ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්!’ කියාය. (යෙසායා 48:18) දෙවිගේ ඉගැන්වීම් එතරම්ම වටිනා බැවින් ඔහුට ඇහුම්කන් දෙන්නත් ඔහුගේ මඟ පෙන්වීම අනුගමනය කරන්නත් අප පෙලඹිය යුතුයි. ඉටු වී ඇති අනාවැකි පිළිබඳ වාර්තාව යෙහෝවා තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරනවාද නැද්ද යන්න පිළිබඳව තිබෙන සැකයන් දුරු කරලයි.

2. යෙසායා 48වන පරිච්ඡේදයේ ඇති වදන් වාර්තා කර ඇත්තේ කා වෙනුවෙන්ද? ඉන් ප්‍රයෝජන ගත හැක්කේ වෙන කාටද?

2 යෙසායා පොතේ 48වන පරිච්ඡේදයේ ඇති වචන පෙනෙන විදිහට ලියා තිබෙන්නේ බබිලෝනියේ වහලුන්ව සිටි යුදෙව්වන්ටයි. එනමුත්, අද සිටින ක්‍රිස්තියානීන්ටද අහක දැමිය නොහැකි පණිවිඩයක් එම වචනවල අන්තර්ගත වේ. යෙසායා 47වන පරිච්ඡේදයේ බබිලෝනියේ වැටීම ගැන පුරෝකථනය කර තිබේ. බබිලෝනියේ සිටින යුදෙව් වහලුන් පිළිබඳව යෙහෝවා අරමුණු කරන දේ ඔහු දැන් විස්තර කරයි. තමන් විසින් තෝරාගත් සෙනඟගේ කුහකකම ගැනත් තමන්ගේ පොරොන්දු ඔවුන් විශ්වාස නොකිරීම ගැනත් යෙහෝවා දුක් වෙයි. එසේ වුවත්, ඔවුන්ගේ යහපත සඳහා ඔවුන්ට උපදෙස් දෙන්න යෙහෝවාට උවමනාය. එමෙන්ම ඔහු ඔවුන්ව ශෝධනයකට ලක් කිරීමෙන් පසු යළි මව්බිම කරා යන්නේ ඇදහිලිවන්ත ඉතිරි කොටසක් පමණක් බව යෙහෝවා කල් තියා දකියි.

3. යූදාවරුන්ගේ නමස්කාරය තුළ තිබූ වරද කුමක්ද?

3 යෙහෝවාගේ සෙනඟ කොතරම් දුරට නිර්මල නමස්කාරයෙන් පිට පැන තිබේද? යෙසායාගේ ආරම්භක වචනවලින් බැරෑරුම් යමක් කියාපායි. “ඉශ්‍රායෙල් යන නාමය දරන්නාවූ, යූදා උල්පතෙන් නික්මුණාවූ, සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත් නොවන නුමුත් [යෙහෝවාගේ] නාමයෙන් දිවුරා ඉශ්‍රායෙල්ගේ [දෙවි] සඳහන්කරන්නාවූ තැනැත්තන් වන යාකොබ්ගේ වංශය, මේක අසන්න. මක්නිසාද තමුන් ශුද්ධ නුවරට අයිතියයි කියාගන ඔව්හු සේනාවල [යෙහෝවා] යන නාමය ඇති, ඉශ්‍රායෙල්ගේ [දෙවි] කෙරෙහි පිහිටා සිටිති.” (යෙසායා 48:1, 2) මොනතරම් කුහකකමක්ද! ‘යෙහෝවාගේ නාමයෙන් දිවිරීම’ දිව්‍ය නාමය නිරර්ථකයේ පාවිච්චි කිරීමකි. එසේ කිරීමෙන් ඔවුන්ට සිදු වන සෙතක් නැත. (ශෙපනියා 1:5) බබිලෝනියේ වහලුන් බවට පත්වීමට පෙර යුදෙව්වන් යෙහෝවාට නමස්කාර කළේ “ශුද්ධ නුවර” වන යෙරුසලමේය. එහෙත් ඔවුන්ගේ නමස්කාරය අවංක එකක් වූයේ නැත. ඔවුන්ගේ හදවත් දෙවි කෙරෙන් බොහෝ දුරස්ව තිබූ අතර, ඔවුන් තම නමස්කාරමය ක්‍රියා සිදු කළේ “සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත්” නොවේ. ඔවුන්ගේ ආදි පියවරුන්ට තිබූ ඇදහිල්ල ඔවුන් සතු වූයේ නැත.—මලාකී 3:7.

4. යෙහෝවාගේ හදවතට ප්‍රසන්න වන්නේ කිනම් ආකාරයේ නමස්කාරයක්ද?

4 යෙහෝවාගේ වචනය අපට නිතරම මතක් කර දෙන්නේ අපේ නමස්කාරය යාන්ත්‍රික එකක් නොවිය යුතුය කියායි. එය හෘදයාංගම එකක් විය යුතුය. කරන්නන් වාලේ කරන සේවයක්, එසේ නැතහොත් මිනිසුන්ව සතුටු කිරීමට හෝ අනිත් අය ඉදිරියේ කැපීපෙනෙන්න කරන සේවයක් “දේවභක්තික ක්‍රියාවක්” නොවේ. (2 පේතෘස් 3:11, NW) යමෙකු තමා ක්‍රිස්තියානියෙකැයි කියාගත් පමණින් ඔහුගේ නමස්කාරය දෙවිට පිළිගත හැකි එකක් වන්නේ නැත. (2 තිමෝති 3:5) ඒ සඳහා යෙහෝවා ජීවමාන බව පිළිගැනීම වැදගත්ය. එහෙත්, එය ආරම්භය පමණයි. මන්ද යෙහෝවාට උවමනා කරන්නේ අපමුළු හෘදයෙන්ම, එනම් ඔහු කෙරෙහි ඉතා ගැඹුරු ප්‍රේමයකින් සහ අගය කිරීමකින් යුතුව නමස්කාර කරනවා දැකීමයි.—කොලොස්සි 3:24.

අලුත් දේවල් පුරෝකථනය කිරීම

5. යෙහෝවා විසින් පුරෝකථනය කරන ලද “පළමු කාරණා” සමහරක් මොනවාද?

5 සමහරවිට බබිලෝනියේ සිටි යුදෙව්වන්ගේ මනස් යළි ප්‍රකෘතිමත් කිරීම අවශ්‍ය වූවා විය හැක. එමනිසා, යෙහෝවා නැවත වරක් තමන් සැබෑවටම අනාවැකි ඉටු කරන දෙවි බව ඔවුන්ට මතක් කර දෙයි. “පළමු කාරණා පූර්වයේ පටන් දැන්වීමි; එසේය, ඒවා මාගේ මුඛයෙන් නික්මුණේය, මමද ඒවා ප්‍රකාශකෙළෙමි. මම ඒවා හදිසියෙන් කෙළෙමි, ඒවා සිදුවුණේය.” (යෙසායා 48:3) “පළමු කාරණා” කීමෙන් අදහස් කළේ ඉශ්‍රායෙල්වරුන්ව මිසරයෙන් මුදාගැනීම, උරුමයක් කොට ඔවුන්ට පොරොන්දු දේශය දීම වැනි දෙවි දැනටමත් කර ඇති දේවල්ය. (උත්පත්ති 13:14, 15; 15:13, 14) එවැනි පුරෝකථනයන් පැමිණෙන්නේ දෙවිගේ මුඛයෙනි, එනම් ඒවාට දිව්‍ය මූලාරම්භයක් ඇත. දෙවි තම ආඥා ඔවුන්ට දැනුම් දෙන අතර, ඔවුන්ද ඒ දේවලට අනුව ක්‍රියා කළ යුතුය. (ද්විතීය කථාව 28:15) ඔහු තමන් පුරෝකථනය කර ඇති දේ ඉටු කිරීමට ඉක්මනින්ම ක්‍රියාත්මක වේ. යෙහෝවා සර්වපරාක්‍රම දෙවි බැවින් තම අරමුණ ඉටු කිරීමට ඔහු වගබලා ගනී.—යෝෂුවා 21:45; 23:14.

6. යුදෙව්වන්ගේ ‘මුරණ්ඩු සහ කැරලිකාර’ ස්වභාවය කොතරම් දුරදිග ගියාද?

6 යෙහෝවාගේ සෙනඟ ‘මුරණ්ඩු සහ කැරලිකාර’ ජන සමූහයක් බවට පත් වී ඇත. (ගීතාවලිය 78:8) යෙහෝවා ඔවුන්ට කෙළින්ම මෙසේ කියයි. “නුඹ දැඩි බවත් නුඹේ බෙල්ල යකඩ නහරයක් බවත් නුඹේ නළල පිත්තල [තඹ, NW] බවත් [මම දනිමි].” (යෙසායා 48:4) යුදෙව්වන් ලෝහ මෙන්ය. ඔවුන් නම්මවාගැනීමට පහසු ජාතියක් නොවේ. ඔවුන්ට දැඩි ආකල්පයක් ඇත. යෙහෝවා දේවල් ඉටුවීමට පෙර ඒ බව ඔවුන්ට දැන්වීමට එය එක් හේතුවකි. එසේ නොවෙන්න යෙහෝවා කරන දේවල් සම්බන්ධයෙන් ඔවුන් මෙසේ කියනු ඇත. ‘මාගේ දේව රූපය ඒවා කෙළේය. මාගේ කැටයම් රූපය සහ මාගේ වාත්තු පිළිමය ඒවා නියම කෙළේය.’ (යෙසායා 48:5) යෙහෝවා දැන් කියන දේවලින් නොඇදහිලිකාර යුදෙව්වන්ට ප්‍රයෝජනයක් තිබේද? දෙවි ඔවුන්ට මෙසේ කියයි. “නුඹ එය අසා තිබේ; මේ සියල්ල බලන්න; නුඹලාත් දන්වන්නේ නැද්ද? මෙතැන් පටන් අමුතු දේවල්ද නුඹ නොදන්නාවූ සඟවා තිබෙන දේවල්ද නුඹට ප්‍රකාශකරමි. පූර්වයේ පටන් නොව දැන්ම ඒවා උපදවනලද්දේය. බලව, මම ඒවා දැනගතිමියි නුඹ නොකියන පිණිස අද දවසට පළමුවෙන් නුඹ ඒවා නොඇසුවෙහිය.”—යෙසායා 48:6, 7.

7. වහල්භාවයේ සිටින යුදෙව්වන්ට පිළිගන්න සිදු වන්නේ කුමක්ද? ඔවුන්ට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

7 බබිලෝනියේ වැටීම ගැන යෙසායා වාර්තා කළේ ඊට බොහෝ කාලයකට පෙරය. බබිලෝනියේ සිර වී සිටින වහලුන් හැටියට, අනාවැකියේ ඉටුවීම ගැන සිතා බලන්න කියා යෙහෝවා යුදෙව්වන්ට අණ කරයි. යෙහෝවා අනාවැකි ඉටු කරන දෙවිය යන කාරණය ඔවුන්ට ප්‍රතික්ෂේප කළ හැකිද? යෙහෝවා සැබෑ දෙවි බවට යූදා වැසියන්ට ඇසූ දුටූ සාක්ෂි ඕනෑතරම් තිබූ නිසා, ඔවුන් ඒ බව අනිත් අයටත් කිව යුතු නැද්ද? කෝරෙෂ් විසින් බබිලෝනිය පරාජය කිරීම සහ යුදෙව්වන්ව නිදහස් කිරීම වැනි තවමත් ඉටු වී නැති අලුත් දේවල් දෙවි දැනටමත් හෙළි කර තිබේ. (යෙසායා 48:14-16) එවැනි දේවල් හදිසියේ කොහෙන් මතු වේදැයි කිසිවෙක් නොදනිති. ලෝක දසුන කැරකෙන දිශාව බලා එවැනි දේවල් සිදු වෙයි කියා තීරණය කිරීමටද කිසිවෙකුට නුපුළුවන. ඒවා නිකම් ඉබේම හටගන්නාක් මෙනි. මේ දේවල් සිදු කරන්නේ කවුරුන්ද? යෙහෝවා මේ දේවල් අවුරුදු 200කට පෙර සිට පුරෝකථනය කරන බැවින් ඉහත ප්‍රශ්නයට උත්තරය ඉතා පැහැදිලියි.

8. අද සිටින ක්‍රිස්තියානීන් බලාපොරොත්තු වන්නේ කිනම් ආකාරයේ අලුත් දේවල්ද? ඔවුන් තුළ යෙහෝවාගේ අනාවැකි වදන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් ඇත්තේ මන්ද?

8 යෙහෝවා දේවල් සිදු කරන්නේ ඔහුගේ කාලසටහනට අනුවයි. ඉටු වී ඇති අනාවැකි, පුරාණයේ සිටි යුදෙව්වන්ට පමණක් නොව අද සිටින ක්‍රිස්තියානීන්ටද ඔහුගේ දෙවිකම ඔප්පු කරයි. අතීතයේදී ඉටු වූ බොහෝ අනාවැකි නැතහොත් “පළමු කාරණා” පිළිබඳ වාර්තාව යෙහෝවා පොරොන්දු වී ඇති අලුත් දේවල් ඉටු වන බවට සහතිකයක් සපයයි. එම පොරොන්දුවලට, ‘මහත් පීඩාව,’ “මහත් සමූහය,” මහත් පීඩාවෙන් ගැළවීම සහ “අලුත් පොළොව” වැනි දේ ඇතුළත්ය. (එළිදරව් 7:9, 14, 15; 21:4, 5; 2 පේතෘස් 3:13) එම සහතිකය අද සිටින අවංක හදවත් ඇති අයව දෙවි ගැන ජ්වලිත ලෙස කතා කිරීමට පොලඹවයි. ඔවුන්ට හැඟෙන්නෙත් ගීතිකාකරුට හැඟුණාක් මෙනි. ගීතිකාකරු මෙසේ කියයි. “මහත් සභාවේදී ධර්මිෂ්ඨකම ප්‍රකාශ කෙළෙමි; බැලුව මැනව, මාගේ තොල් නොවලක්වන්නෙමි.”—ගීතාවලිය 40:9.

යෙහෝවා තමන්ව දමනය කරගනියි

9. ඉශ්‍රායෙල් ජාතිය ‘කුසේ පටන් අපරාධකාරයෙකු’ වී ඇත්තේ කෙසේද?

9 යෙහෝවාගේ අනාවැකි කෙරෙහි විශ්වාසය නොතබන යුදෙව්වෝ ඔහුගේ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් නොදෙති. ඔහු ඔවුන්ට මෙසේ කියන්නේ ඒ නිසයි. “එසේය, නුඹ ඇසුවේවත් දැනගත්තේවත් නැත; එසේය, පූර්වයේ පටන් නුඹේ කන් අරිනු ලැබුවේවත් නැත. මක්නිසාද නුඹ ඉතා ද්‍රෝහිව ක්‍රියාකළ බවද කුසේ පටන් අපරාධකාරයෙකැයි නුඹට කියනලද බවද මම දැනගන සිටියෙමි.” (යෙසායා 48:8) යෙහෝවා ගෙනෙන සුබ පුවත් ඇසීම යූදා වැසියෝ ප්‍රතික්ෂේප කරති. (යෙසායා 29:10) දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින මේ සෙනඟ ‘කුසේ පටන් අපරාධකාරයෙකු’ ලෙස ක්‍රියා කර තිබේ. ජාතියේ උපතේ සිට එහි මුළු ඉතිහාසය පුරාම ඉශ්‍රායෙල්වරුන් කැරලිකාරයන් ලෙස ප්‍රසිද්ධ වී තිබේ. අකීකරුකම සහ පක්ෂපාතී නොවීම ඔවුන් පුරුද්දක් ලෙස සිදු කළ අපරාධ විය. ඒවා ඉඳහිට කළ වැරදි නොවීය.—ගීතාවලිය 95:10; මලාකී 2:11.

10. යෙහෝවා තමන්ව මර්දනය කරගන්නේ මන්ද?

10 සියලුම බලාපොරොත්තු සුන් වී ඇද්ද? නැත. යූදා වැසියන් පක්ෂපාත නොවී කැරලිකාරයන් බවට පත් වුවත්, යෙහෝවා සැමවිටම සත්‍යවාදී මෙන්ම විශ්වාසය තැබිය හැකි කෙනෙක්ව සිටියි. ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය වෙනුවෙන් ඔහු තම උදහස පාලනය කරනු ඇත. ඔහු මෙසේ කියයි. “මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාදකරන්නෙමි, [මම මාගේ කෝපය පාලනය කරගනිමි, NW] නුඹ සිඳ නොදමන පිණිස මාගේ ප්‍රශංසාව උදෙසා නුඹ ගැන එය නවත්වන්නෙමි, [මම මාවම දමනය කරගනිමි, NW].” (යෙසායා 48:9) මොනතරම් වෙනසක්ද! ඉශ්‍රායෙල් සහ යූදා යන යෙහෝවාගේ සෙනඟ යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තැබුවේ නැත. එහෙත් යෙහෝවා තම නාමය විශුද්ධ කරන අතර, එය ඔහුට ප්‍රශංසාවත් ගෞරවයත් ගෙනෙන ආකාරයට සිදු වනු ඇත. මේ හේතුව නිසා, ඔහු තමන් විසින් තෝරාගන්නා ලද සෙනඟව සිඳ දැමීමෙන් වැළකෙන්නේය.—යෝවෙල් 2:13, 14.

11. දෙවි තම සෙනඟව සහමුලින්ම වැනසී යෑමට ඉඩ නොදෙන්නේ මන්ද?

11 යුදෙව්වන් අතර සිටින හරි දෙය කිරීමට නැඹුරුවාවක් ඇති අය දෙවිගේ අවවාදවලින් පිබිදී ඔහුගේ ඉගැන්වීම්වලට එකඟව ජීවත් වීමට අදිටන් කරගනිති. එවැනි අයට පහත සඳහන් ප්‍රකාශය මහත් දිරිගැන්වීමකි. “බලව, මම නුඹ පවිත්‍රකෙළෙමි, නුමුත් රිදී මෙන් නොවේය; පීඩා නමැති උදුණේදී නුඹ තෝරාගතිමි. මා නිසා, මා නිසාම, ඒක කරන්නෙමි; මක්නිසාද මාගේ නාමය කෙලහෙන්ට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි.” (යෙසායා 48:10, 11) ‘පීඩා නමැති උදුනක’ පීඩාකාරි පරීක්ෂණ විඳින්ට යෙහෝවා තම සෙනඟට ඉඩහරියි. එමගින් ඔවුන්ව සෝදිසි කරනු ලැබ ශෝධනය කර ඔවුන්ගේ හදවත්වල ඇති දේ පිට කිරීමට සලස්වයි. එවැනි යමක් සම්බන්ධයෙන් සියවස් ගණනාවකට පෙර මේ ඉශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට මෝසෙස් මෙසේ කීවේය. ‘නුඹේ දෙවි වූ යෙහෝවා නුඹ යටහත් කර, නුඹ සෝදිසි කර, ඔහුගේ ආඥා නුඹ රක්ෂා කරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ [ගෙන ගියේය].’ (ද්විතීය කථාව 8:2) ඉශ්‍රායෙල් ජාතිය කැරලිකාර ආකල්පයක් දැරුවද යෙහෝවා ඔවුන්ව එම අවස්ථාවේදී විනාශ කළේ නැත. මේ අවස්ථාවේදී විනාශ කරන්නේද නැත. එසේ කිරීමෙන් ඔහුගේ නාමයත් ගෞරවයත් රැකෙනු ඇත. ඔහුගේ සෙනඟ බබිලෝනියයන් අතින් වැනසී ගියොත්, ඔහු අතින් තම ගිවිසුම කඩ කෙරෙන අතර, ජාතීන් අතරේ ඔහුගේ නාමය නින්දාවට පත් වේ. එසේ වුවොත්, ඉශ්‍රායෙල්ගේ දෙවිව තම ජාතිය ගළවාගැනීමට අපොහොසත් දුර්වල කෙනෙකු ලෙස පෙනෙනු ඇත.—එසකියෙල් 20:9.

12. පළමු ලෝක මහා යුද්ධය පැවති කාලයේදී සැබෑ ක්‍රිස්තියානීන් ශෝධනය වූයේ කෙසේද?

12 වර්තමාන කාලයේදීද යෙහෝවාගේ සෙනඟට අවශ්‍ය ශෝධනය ලැබී තිබේ. විසිවන සියවසේ මුල් කාලයේදී, බයිබල් ශිෂ්‍යයන් කුඩා කණ්ඩායමක් දෙවිව සතුටු කිරීමේ අවංක ආශාවෙන් සේවය කළත් ඔවුන්ගෙන් සමහරෙකු තුළ තිබූ ආකල්පය වැරදිසහගත විය. ඔවුන්ගේ අභිලාෂය වූයේ ප්‍රධාන තැන ගැනීමයි. ඒ කුඩා කණ්ඩායම, අන්තිම කාලයේදී සිදු වන බවට පුරෝකථනය කළ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය ලෝක ව්‍යාප්තව ඉදිරියට ගෙන යෑමට පෙර ශෝධනයකට ලක් විය යුතු විය. (මතෙව් 24:14) යෙහෝවා තම දේවමාළිගාවට පැමිණීමත් සමඟම එම ශෝධනය කිරීමේ කාර්යය සිදු වන බව අනාගතවක්තෘ මලාකී පුරෝකථනය කළේය. (මලාකී 3:1-4) ඔහුගේ වචන 1918දී ඉෂ්ට විය. පළමු ලෝක මහා යුද්ධයේ උණුසුම මැද සැබෑ ක්‍රිස්තියානීහු ගිනිමය පීඩාකාරි කාලපරිච්ඡේදයක් අද්දුටූහ. එවකට වොච් ටවර් සමිතියේ සභාපති වූ ජේ. එෆ්. රදෆඩ් ඇතුළු සමිතියේ ප්‍රමුඛ පෙළේ නිලධාරීන්ව සිරගත කිරීමත් සමඟ පීඩාවල උච්චාවස්ථාව එළඹිණ. එම අවංක ක්‍රිස්තියානීහු ශෝධනය වීමේ මෙම ක්‍රියාවලියෙන් ප්‍රයෝජන ගත්හ. ඔවුන් Iවන ලෝක මහා යුද්ධයෙන් පසු ඔවුන්ගේ අධිෂ්ඨානය වූයේ වෙන කවදාකටත් වඩා වැඩියෙන් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ දෙවි කියන ඕනෑම දෙයක් කිරීමටය.

13. පළමු ලෝක මහා යුද්ධයෙන් පසුව ගත වූ අවුරුදු ගණනාව පුරා යෙහෝවාගේ සෙනඟ පීඩාවන්ට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද?

13 එතැන් සිට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඉතාමත් දරුණු ආකාරයේ පීඩාවලට නැවත නැවත මුහුණ දෙන්න සිදුව තිබේ. එහෙත් මේ කිසිවකින් ඔවුන්ට තම මැවුම්කරුවාගේ වචන කෙරෙහි සැක කිරීමට සලස්වා නැත. ඒ වෙනුවට, ප්‍රේරිත පේතෘස් විසින් ඔහුගේ කාලයේ පීඩා යටතේ සිටි ක්‍රිස්තියානීන්ට ලියන ලද දෙය ඔවුහුද සැලකිල්ලට ගත්හ. ‘නුඹලා අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත් වුවත් එසේ වන්නේ, නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්ගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.’ (1 පේතෘස් 1:6, 7) සැබෑ ක්‍රිස්තියානීන්ගේ අඛණ්ඩතාව විනාශ කර දැමීමට ගිනිමය පීඩාවලට නොහැකිය. ඒ වෙනුවට, පීඩා විඳීමට කැමති වීමෙන් පිළිබිඹු වන්නේ ඔවුන්ගේ චේතනා කොතරම් පිරිසිදුද යන්නයි. ගිනිමය පීඩාවන් මගින් ඔවුන්ගේ ඇදහිල්ලේ ගුණය ඉහළ නංවන අතර, ඔවුන්ට කොතරම් ගැඹුරු භක්තියක් සහ ප්‍රේමයක් තිබෙනවාදැයි පෙන්වා දෙයි.—හිතෝපදේශ 17:3.

‘පළමුවෙනියාත් අන්තිමයාත් මමය’

14. (අ) යෙහෝවා “පළවෙනියා” සහ “අන්තිමයා” වන්නේ කිනම් අර්ථයෙන්ද? (ආ) යෙහෝවා තම ‘හස්තයෙන්’ කරන්නාවූ බලවත් ක්‍රියා මොනවාද?

14 දැන් යෙහෝවා තමන් සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟට උණුසුම් ලෙස මෙසේ ආයාචනා කරයි. “එම්බා යාකොබ්, මා විසින් කැඳවාගත් තැනැත්තාවූ ඉශ්‍රායෙල්, මට ඇහුම්කන්දෙන්න. මම [සදාකල්] සිටින්නාවූ [තැනැත්තාය]; මම පළමුවෙනියාය; අන්තිමයාත් මමය. එසේය, මාගේ හස්තය පොළොව පිහිටෙවුවේය, මාගේ දකුණතද අහස අතුරා තැබුවේය. මා ඒවාට අඬගසන විට ඒවා එක්ව නැගිට සිටින්නෝය.” (යෙසායා 48:12, 13) දෙවි මිනිසා මෙන් නොවේය. මිනිසා මෙන් ඔහු කිසිදා වෙනස් නොවේ. (මලාකී 3:6) එළිදරව් පොතේ යෙහෝවා මෙසේ ප්‍රකාශ කරයි. “මම අල්ඵා සහ ඕමෙගාය, පළමුවෙනියා සහ අන්තිමයාය, පටන්ගැන්ම සහ කෙළවරය.” (එළිදරව් 22:13) යෙහෝවාට පෙර සර්ව පරාක්‍රම දෙවිකෙනෙකු සිටියේ නැත. ඔහුට පසුවත් කිසිවෙකු සිටින්නේ නැත. උත්කෘෂ්ටවත් සහ සදාකාලික තැනැත්තා නැතහොත් මැවුම්කරුවා ඔහුමය. ඔහුගේ “හස්තය” එනම්, ක්‍රියාකාරික බලය පොළොව පිහිටෙවූ අතර, තාරකාවලින් පිරි අහස ඇතිරුවේය. (යෝබ් 38:4; ගීතාවලිය 102:25) ඔහු තම මැවිලිවලට හඬගසද්දී, ඔහුට සේවය පිරිනැමීමට ඒවා සීරුවෙන් පෙළ ගැසෙන්නේය.—ගීතාවලිය 147:4.

15. යෙහෝවා කෝරෙෂ්ට ‘ප්‍රේම කළේ’ කුමනාකාරයෙන්ද? ඔහුට ප්‍රේම කිරීමේ අරමුණ කුමක්ද?

15 යුදෙව්වන්ටත් යුදෙව් නොවන අයටත් වැදගත් ආරාධනයක් මෙන්න. ‘නුඹලා සියල්ලෝම රැස් වී අසන්න; ඔවුන් අතරෙන් මේ දේ දැන්නුවේ කවුද? යෙහෝවා ඔහුට ප්‍රේම කළේය. ඔහු දෙවිගේ කැමැත්ත බබිලෝනිය කෙරෙහි ඉෂ්ට කරනවා ඇත. ඔහුගේ හස්තය කල්දිවරුන් පිටට පැමිණෙන්නේය. මමම කතා කළෙමි; එසේය, මම ඔහු අඬගසාගතිමි. ඔහු ගෙන්වාගතිමි. ඔහු තමාගේ මාර්ගය සඵල කරගන්නේය.’ (යෙසායා 48:14, 15) සියලු බලයෙන් පූර්ණ, අනාගතය තිතටම කිව හැකි එකම තැනැත්තා යෙහෝවා පමණි. මේ දේවල් කිසිවක් කරන්න ‘ඔවුන්ට’ එනම්, පිළිම දෙවිවරුන්ට නොහැකිය. “ඔහුට” එනම්, කෝරෙෂ්ට ‘ප්‍රේම කළේ’ නැතහොත් යම් අරමුණක් සඳහා ඔහුව තෝරාගත්තේ යෙහෝවා මිස පිළිම දෙවිවරුන් නොවේ. (යෙසායා 41:2; 44:28; 45:1, 13; 46:11) ලෝක දසුනේ කෝරෙෂ්ගේ ජවනිකාව ඔහු කල් තියා දුටු අතර, අනාගතයේදී බබිලෝනිය පරාජය කරන්නේ ඔහු බව ඉතා පැහැදිලිව කියා සිටියේය.

16, 17. (අ) දෙවි තම අනාවැකි දන්වා ඇත්තේ රහසිගතව නොවන බව කිව හැක්කේ මන්ද? (ආ) යෙහෝවා තම අරමුණු ප්‍රකාශයට පත් කර ඇත්තේ කෙසේද?

16 යෙහෝවා ඉතා ආයාචනාත්මක ස්වරයකින් මෙසේ කියා සිටියි. “මා ළඟට ඇවිත් මේක අසන්න; මා පටන්ගැන්මේ සිට රහසින් කථාකළා නොවේය; ඒක ඇතිවූ කාලයේ සිට මම එහි සිටිමි.” (යෙසායා 48:16අ) යෙහෝවා තම අනාවැකි හෙළි කර තිබෙන්නේ රහසිගත ආකාරයටවත් අතළොස්සකටවත් නොවේ. යෙහෝවාගේ අනාගතවක්තෘවරු දෙවි වෙනුවෙන් ඍජු ලෙස කතා කළ අය වූහ. (යෙසායා 61:1) ඔවුහු ප්‍රසිද්ධියේ දෙවිගේ කැමැත්ත ප්‍රකාශ කළහ. උදාහරණයක් වශයෙන්, කෝරෙෂ් සම්බන්ධ සිද්ධීන් දෙවිට අලුත් යමක් නොවීය. එසේත් නැතහොත් ඔහු කලින් නොදුටු යමක්ද නොවීය. අවුරුදු 200කට පමණ පෙර දෙවි යෙසායා මාර්ගයෙන් සවිස්තරව ඒ බව අනාවරණය කළේය.

17 ඒ හා සමානව අදදිනත්, යෙහෝවා තම අරමුණු රහසක් වශයෙන් තබාගන්නේ නැත. දූපත් සහ දේශ සියගණනක වෙසෙන දශලක්ෂ ගණන් ජනයා ගෙයින් ගෙට යමින් හා වීථිවලදී මෙන්ම ඔවුන්ට හැකි සෑම තැනකදීම මේ දුෂ්ට ක්‍රමය මත පැමිණීමට නියමිත විනාශය ගැන අනතුරු අඟවන අතර, දෙවිගේ රාජ්‍යය යටතේ ලැබෙන්න යන ආශීර්වාද ගැන සුබ පුවතද ප්‍රකාශ කරති. ඇත්තෙන්ම, යෙහෝවා යනු තම අරමුණු දන්වන දෙවිකෙනෙකි.

‘මාගේ ආඥාවලට ඇහුම්කන් දෙන්න’

18. තම සෙනඟ සම්බන්ධයෙන් යෙහෝවාගේ ආශාව කුමක්ද?

18 යෙහෝවාගේ ආත්මයෙන් ශක්තිමත් වූ අනාගතවක්තෘවරයා මෙසේ ප්‍රකාශ කරයි. ‘දැනුදු ස්වාමි වූ යෙහෝවා මාත් ඔහුගේ ආත්මයත් එව්වේය. නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාද වන යෙහෝවා මෙසේ කියන්නේය: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවි වූ යෙහෝවා වන මමය.’ (යෙසායා 48:16ආ, 17) යෙහෝවා සැලකිල්ල දක්වන බව ප්‍රකාශ කරන මෙවැනි ප්‍රේමනීය වදන් මගින් බබිලෝනියේ වහල්භාවයෙන් දෙවි තමන්ව මුදාගන්නා බවට නිසැකකමක් ඉශ්‍රායෙල් ජාතිය තුළ ඇති විය යුතුයි. මන්ද ඔහු ඔවුන්ගේ මිදුම්කාරයායි. (යෙසායා 54:5) යෙහෝවාගේ හෘදයාංගම ආශාව වන්නේ, ඉශ්‍රායෙල්වරුන් ඔහු සමඟ තිබෙන සම්බන්ධය යළි ප්‍රකෘතිමත් කරගෙන ඔහුගේ ආඥාවලට අවධානය යොමු කරනවා දැකීමයි. සැබෑ නමස්කාරයේ පදනම වන්නේ දිව්‍ය උපදෙස්වලට කීකරු වීමයි. ඉශ්‍රායෙල්වරුන්ට ඔවුන් ‘යා යුතු මාර්ගය’ ඉගැන්වූයේ නැත්නම් හරි මාර්ගයෙහි ගමන් කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

19. යෙහෝවා ඉදිරිපත් කරන හෘදයාංගම ආයාචනය කුමක්ද?

19 යෙහෝවා ආශා වන්නේ ඔහුගේ සෙනඟ විපත්තියෙන් වැළකී ප්‍රීතියෙන් ජීවිතය භුක්ති විඳිනවා දැකීමටයි. ඒ බව ඊළඟ ඡේදයේ මනාව ප්‍රකාශ කරයි. “අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.” (යෙසායා 48:18) සර්ව පරාක්‍රම මැවුම්කරුගෙන් ලැබෙන හෘදයාංගම ආයාචනය මොනතරම් හද උණුසුම් කරවයිද! (ද්විතීය කථාව 5:29; ගීතාවලිය 81:13) වහල්භාවයට යනවා වෙනුවට ගඟක ගලන ජලය මෙන් බොහෝ සමාදානය අද්දකින්න ඔවුන්ට පුළුවන් වනු ඇත. (ගීතාවලිය 119:165) ඔවුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා මුහුදේ රැළ මෙන් ගැනිය නොහැක. (ආමොස් 5:24) ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සැබෑ උනන්දුවක් දක්වන තැනැත්තා හැටියට යෙහෝවා මෙලෙස ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ඔවුන් යා යුතු මාර්ගය ප්‍රේමනීය ලෙස පෙන්වමිනි. අනේ, ඔවුන් යෙහෝවාට ඇහුම්කන් දුන්නා නම්!

20. (අ) ඉශ්‍රායෙල්වරුන් කැරලිකාර වුවත් ඔවුන් වෙනුවෙන් යෙහෝවාගේ ආශාව කුමක් වූවාද? (ආ) යෙහෝවා තම ජාතිය සමඟ කටයුතු කළ ආකාරයෙන් අප ඔහු ගැන ඉගෙනගන්නේ කුමක්ද? (133වන පිටුවේ තිබෙන කොටුව බලන්න.)

20 ඉශ්‍රායෙල්වරුන් පසුතැවිලි වුවහොත් ඔවුන්ට ලැබෙන ආශීර්වාද මොනවාද? යෙහෝවා මෙසේ කියයි. “නුඹේ වංශය වැලි මෙන්ද නුඹෙන් පැවත එන්නෝ එහි වැලිඇට මෙන්ද වන්නෝය. ඔහුගේ නම මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේවත් නැති කරනු ලබන්නේවත් නැත.” (යෙසායා 48:19) ආබ්‍රහම්ගේ වංශය “අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද” වැඩි කරනවා යන කාරණය යෙහෝවා නැවත වරක් තම සෙනඟට මතක් කර දෙයි. (උත්පත්ති 22:17; 32:12) කෙසේවෙතත්, ආබ්‍රහම්ගෙන් පැවතුණු මොවුන් කැරලිකාර ජාතියක් වූ අතර, පොරොන්දු වූ දෙය ලැබීමට සුදුස්සන් වූයේ නැත. ඔවුන්ගේ වාර්තාව එතරම්ම නරක එකක් වූ අතර, යෙහෝවාගේ ව්‍යවස්ථාවේ හැටියට ජාතියක් වශයෙන් ඔවුන්ව ඉවත් කර දැමිය යුතු විය. (ද්විතීය කථාව 28:45) එහෙත්, තමන්ගේ ජාතිය සහමුලින්ම නැති වී යනවා දකින්නවත්, එය එහෙම්පිටින්ම අමතක කර දමන්නවත් යෙහෝවාට අවශ්‍ය වූයේ නැත.

21. යෙහෝවාගේ උපදෙස් ඉගෙනගතහොත්, අද අප අද්දකිනු ඇති ආශීර්වාද මොනවාද?

21 බයිබලයෙහි ඇති මෙම ප්‍රබල වදන් ඇතුළත් කොටසෙහි දක්නට තිබෙන ප්‍රතිපත්ති අද සිටින යෙහෝවාගේ නමස්කාරකයන්ට අදාළ වේ. ජීවිතයේ උල්පත යෙහෝවායි. අප අපේ ජීවිත ගත කළ යුත්තේ කෙසේද කියා වෙන කාටත් වඩා දන්නේ ඔහුයි. (ගීතාවලිය 36:9) ඔහු අපට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දී ඇත. එසේ කර තිබෙන්නේ අපේ ප්‍රීතිය නැති කිරීමට නොව අපේ දිගු කාලීන ප්‍රයෝජනය තකාය. සැබෑ ක්‍රිස්තියානීන් මීට ප්‍රතිචාරය දක්වන්නේ දෙවිගෙන් ඉගෙනගැනීමට උනන්දුවක් දැක්වීමෙනි. (මීකා 4:2) ඔහුගේ මඟ පෙන්වීම් අපේ ආත්මිකත්වය මෙන්ම ඔහු සමඟ ඇති අපේ සම්බන්ධය ආරක්ෂා කරන අතර, ඒවා අපව සාතන්ගේ දූෂිත බලපෑම්වලින්ද ආරක්ෂා කරයි. දෙවිගේ ව්‍යවස්ථාව පිටුපස ඇති ප්‍රතිපත්ති අගය කරන්න අප ඉගෙනගනිද්දී යෙහෝවා අපට උගන්වන්නේ අපේ යහපතට බව අපි දකින්න පටන්ගන්නෙමු. ඔහුගේ “ආඥා බර [නැති]” බව අපි තේරුම්ගන්නෙමු. ඊට එකඟව ජීවත් වුවහොත් අප විනාශ නොවෙනු ඇත.—1 යොහන් 2:17; 5:3.

“බබිලෝනියෙන් පිටතට යන්න”

22. ඇදහිලිවන්ත යුදෙව්වන්ට කරන්න කියා උදක්ම ඉල්ලා සිටියේ කුමක්ද? ඔවුන්ට දී තිබෙන සහතිකය කුමක්ද?

22 බබිලෝනිය වැටෙද්දී, එක යුදෙව්වෙකු හෝ නිසි හෘද ආකල්පයක් විදහාපාවිද? දෙවි දෙන ගැළවීමෙන් ප්‍රයෝජන ලබා ඔවුන්ගේ මව්බිම කරා ගොස්, නිර්මල නමස්කාරය යළි පිහිටුවාවිද? ඔව්, ඔවුන් එසේ කරනු ඇත. මෙය සිදු වන බවට ඔහු තුළ ඇති විශ්වාසය යෙහෝවාගේ මීළඟ වචනවලින් පෙන්වයි. ‘බබිලෝනියෙන් පිටතට යන්න, කල්දිවරුන් වෙතින් දුවන්න; ප්‍රීතිමත් හඬින් මෙය දන්වා, ප්‍රකාශ කර, පොළොවේ කෙළවර දක්වා එය පතළ කරන්න. එනම්: යෙහෝවා තමන්ගේ මෙහෙකරුවා වූ යාකොබ් මිදුවේය. ඔහු ඔවුන් කාන්තාරය මැදින් ගෙන ගිය විට ඔවුන්ට පිපාස වුණේ නැත. ඔහු ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වුවේය. ඔහු පර්වතය විවර කළ විට වතුර ගලා ආයේයයි කියන්න.’ (යෙසායා 48:20, 21) අප්‍රමාදව බබිලෝනියෙන් වෙන් වන ලෙස යෙහෝවා තම සෙනඟගෙන් අනාවැකිමය ආකාරයෙන් උදක්ම ඉල්ලා සිටියි. (යෙරෙමියා 50:8) ඔවුන්ගේ ගැළවීම ලොවේ සෑම කොනකම ප්‍රචාරය විය යුතුය. (යෙරෙමියා 31:10) යෙහෝවාගේ සෙනඟ මිසරයෙන් නික්ම කාන්තාරයේ ගමන් කළ කාලයේදී ඔවුන්ට අවශ්‍ය දේවල් යෙහෝවා සැපයීය. ඒ හා සමානව, ඔවුන් බබිලෝනියේ සිට සිය මව්බිම කරා යන ගමනේදීද ඔවුන්ට අවශ්‍ය දේ දෙවි විසින් සපයනු ලබයි.—ද්විතීය කථාව 8:15, 16.

23. දෙවි සපයන සමාදානය නොලබන්නේ කවුද?

23 යෙහෝවාගේ ගැළවීමේ ක්‍රියා සම්බන්ධයෙන් යුදෙව්වන් මනසේ තබාගත යුතු තව වැදගත් ප්‍රතිපත්තියක් තිබේ. එය නම්, ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන තැනැත්තන් තම පාප නිසා දුක් විඳින්ට ඉඩ ඇතත්, ඔවුන් විනාශ නොවන බවයි. එහෙත්, අධර්මිෂ්ඨයන්ගේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මන්ද ‘දුෂ්ටයන්ට සමාදානය නැතැයි යෙහෝවා කියන්නේය.’ (යෙසායා 48:22) දෙවිට ප්‍රේම කරන අය වෙනුවෙන් වෙන් කර ඇති සමාදානය පසුතැවිලි නොවන පව්කාරයන්ට ලැබෙන්නේ නැත. ගැළවීමේ ක්‍රියාවන් සිදු කරන්නේ මුරණ්ඩු දුෂ්ටයන් වෙනුවෙන්වත් දෙවිව විශ්වාස නොකරන අය වෙනුවෙන්වත් නොවේ. එම ක්‍රියාවන්වලින් ප්‍රයෝජන ලබන්නේ ඇදහිල්ල ඇති අය පමණි. (තීතස් 1:15, 16; එළිදරව් 22:14, 15) දෙවිගෙන් පැමිණෙන සමාදානය දුෂ්ටයන්ගේ උරුමයක් නොවේ.

24. වර්තමාන කාලයේ දෙවිගේ සෙනඟට ප්‍රීතිය ගෙනැවිත් තිබෙන්නේ කුමක්ද?

24 පොදු යුගයට පෙර 537දී, බබිලෝනිය හැරදා යෑමට ලැබුණු ප්‍රස්තාව ඇදහිලිවන්ත ඉශ්‍රායෙල්වරුන්ට මහත් ප්‍රීතියට කරුණක් විය. එලෙසම, වර්ෂ 1919දී දෙවිගේ සෙනඟ බබිලෝනීය වහල්භාවයෙන් මිදීම ඔවුන්ගේ සතුටට හේතු විය. (එළිදරව් 11:11, 12) ඔවුහු බලාපොරොත්තුවෙන් පිරී සිටි අතර, තමන්ගේ වැඩකටයුතු පුළුල් කිරීමට සෑම ප්‍රස්තාවක්ම යොදාගත්තෝය. වෛරයෙන් පිරි ලෝකයක දේශනා කිරීම සඳහා තිබෙන ප්‍රස්තාවලින් ප්‍රයෝජන ගැනීමට එම කුඩා ක්‍රිස්තියානීන් කණ්ඩායමට ධෛර්යය ඕනෑ වූ බව සැබෑවකි. එහෙත්, යෙහෝවාගේ උපකාරය ඇතුව ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය කිරීමට ඔවුහු අදිටන් කරගත්හ. යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කර ඇති බවට ඉතිහාසය සාක්ෂි දෙයි.

25. දෙවිගේ ධර්මිෂ්ඨ ආඥාවලට කිට්ටු අවධානයක් යොමු කිරීම වැදගත් වන්නේ මන්ද?

25 යෙසායාගේ අනාවැකියේ මෙම කොටස අපට කාවද්දන්නේ යෙහෝවා අපේ යහපත තකා උගන්වන බවයි. දෙවිගේ ධර්මිෂ්ඨ ආඥාවලට සමීප අවධානයක් දීම ඉතාමත්ම වැදගත් වේ. (එළිදරව් 15:2-4) එමනිසා දෙවිගේ ප්‍රඥාව සහ ප්‍රේමය ගැන අප නිතර නිතර මතක් කරගන්නවා නම්, යෙහෝවා හරියයි කියන්නාවූ දේවලට එකඟව ජීවත් වීමට එය අපට උදව් කරයි. යෙහෝවාගේ සියලුම ආඥා අපේම යහපතටයි.—යෙසායා 48:17, 18.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[133වන පිටුවේ කොටුව⁄පින්තූර]

සර්වපරාක්‍රම දෙවි තමාවම දමනය කරගනී

“මම මාගේ කෝපය පාලනය කරගනිමි. . . . මම මාවම දමනය කරගනිමි” කියා යෙහෝවා ඇදහිල්ල අත්හළ ඉශ්‍රායෙල්වරුන්ට කීවේය. (යෙසායා 48:9, NW) කිසිවිටකත් තම බලය අයුතු ලෙස පාවිච්චි නොකිරීම සම්බන්ධයෙන් යෙහෝවා හොඳම ආදර්ශය තබන බව තේරුම්ගැනීමට එම කියමන අපට උපකාර කරයි. දෙවිට තරම් බලයක් වෙන කිසිම කෙනෙකුට නැත. ඒ නිසයි අප ඔහුව සියලු බලය ඇත්තා එනම් සර්වබලධාරි තැනැත්තා කියා හඳුන්වන්නේ. එමෙන්ම ඔහුට “සර්වපරාක්‍රම” යන පදවි නාමයද හොඳින්ම ගැළපේ. (උත්පත්ති 17:1) ඔහුට අසීමිත බලයක් තිබෙනවා පමණක් නොව, විශ්වයේ පරමාධිපති හැටියට ඔහු තමන් මැවූ දේවල් කෙරෙහි පූර්ණ අධිකාරයක්ද හොබවයි. ඔහු දේවල් හසුරුවන ආකාරය ගැන ප්‍රශ්න කිරීමටවත්, ‘ඔබ කුමක් කරන්නේද?’ කියා ඔහුගෙන් ඇසීමටවත් කිසිවෙකුට නොහැක්කේ ඒ නිසයි.—දානියෙල් 4:35.

කෙසේවෙතත්, තම සතුරන්ට විරුද්ධව තම බලය පෙන්වීමට සාධාරණ අවශ්‍යතාවක් තිබුණත්, දෙවි කෝපවීමට ප්‍රමාදය. (නාහුම් 1:3) යෙහෝවාට “කෝපය පාලනය [කරගත]” හැකි අතර, ඔහු ‘කෝපවීමට ප්‍රමාදය’ කියා කීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. ඊට හේතුව ඔහුගේ ප්‍රධානම ගුණාංගය කෝපය නොව ප්‍රේමය වීමයි. ඔහුගේ කෝපය සෑමවිටම ධර්මිෂ්ඨයි, සාධාරණයි, එමෙන්ම සෑමවිටම පාලනයෙන් යුක්තයි.—නික්මයාම 34:6; 1 යොහන් 4:8.

යෙහෝවා මේ ආකාරයෙන් ක්‍රියා කරන්නේ මන්ද? ඊට හේතුව නම්, ඔහු තම පූර්ණ බලය ප්‍රඥාව, යුක්තිය සහ ප්‍රේමය යන ඔහුගේ අනිකුත් ප්‍රධාන ගුණාංග තුන සමඟ පරිපූර්ණ ආකාරයකින් සමබර කිරීමයි. ඔහු තම බලය යොදවද්දී එය සැමවිටම අනිත් ගුණාංග හා මුසුව පවතී.

[122වන පිටුවේ පින්තූරය]

යළි පිහිටුවීම පිළිබඳ යෙසායාගේ පණිවිඩය වහල්භාවයේ සිටින ඇදහිලිවන්ත යුදෙව්වන්ට බලාපොරොත්තුවේ අරුණලු ළඟා කරයි

[124වන පිටුවේ පින්තූර]

බලවත් ක්‍රියාවන් සම්බන්ධයෙන් යෙහෝවාට දිය යුතු ගෞරවය පිළිමවලට පිදීමේ නැඹුරුවාවක් යුදෙව්වන් තුළ විය

1. ඉස්තාර් 2. බබිලෝනියේ පෙරහැර යන මාවතක තිබූ දිලිසෙන ගඩොලේ කෙටූ පටියක් 3. මාඩුක්ගේ මකර සංකේතය

[127වන පිටුවේ පින්තූරය]

අප යෙහෝවාට කරන සේවය පිටුපස ඇති චේතනාව පිරිසිදුද නැද්ද කියා එළිදරව් කිරීමට ‘පීඩා නමැති උදුනට’ හැකියි

[128වන පිටුවේ පින්තූර]

කෲරම ආකාරයේ පීඩාවලට සැබෑ ක්‍රිස්තියානීන් මුහුණ දී ඇත