Skip to content

පටුනට යන්න

යෙහෝවා තමන්ට අලංකාර නාමයක් සාදාගන්නේය

යෙහෝවා තමන්ට අලංකාර නාමයක් සාදාගන්නේය

විසිහතරවන පරිච්ඡේදය

යෙහෝවා තමන්ට අලංකාර නාමයක් සාදාගන්නේය

යෙසායා 63:1-14

1, 2. (අ) පැමිණෙන්නාවූ ‘යෙහෝවාගේ දවස’ ක්‍රිස්තියානීන්ට පෞද්ගලිකව බලපානවායයි පැවසිය හැක්කේ මන්ද? (ආ) පැමිණෙන්නාවූ යෙහෝවාගේ දවසට සම්බන්ධ වන වඩා වැදගත් කාරණය කුමක්ද?

 අවුරුදු දෙදහසක පමණ කාලයක් පුරා ක්‍රිස්තියානීහු “යෙහෝවාගේ දවසේ පැමිණීම බලා සිටිමින්ද එය මනසේ ප්‍රමුඛව තබාගනිමින්ද” සිටිති. (2 පේතෘස් 3:11, NW; තීතස් 2:13) ඒ දවස පැමිණෙන තුරු ඔවුන් මහත් ආශාවෙන් බලා සිටිනවාය යන කාරණය තේරුම්ගැනීමට අපහසු යමක් නොවේ. මන්ද, එය අසම්පූර්ණත්වයෙන් සිදු වී ඇති හානිය මුළුමනින්ම ඉවත් කර දැමීමේ ආරම්භය වන බැවිනි. (රෝම 8:22) ‘කටයුතු කිරීමට අසීරු මේ අර්බුදකාරි කාලවලදී’ ඔවුන් මුහුණපාන පීඩනවලින් සම්පූර්ණ සහනයක්ද එයින් අදහස් වනු ඇත.—2 තිමෝති 3:1, NW.

2 කෙසේවෙතත්, යෙහෝවාගේ දවස ධර්මිෂ්ඨයන්ට සහනයක් ගෙන ආවත්, ‘දෙවිව නාඳුනන්නන්ට සහ අපගේ ස්වාමි වූ යේසුස්ගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ට’ ඉන් අදහස් කරනු ඇත්තේ විනාශයයි. (2 තෙසලෝනික 1:6-8) එසේ නම් ඒ ගැන බැරෑරුම් ලෙස සිතිය යුතු නැද්ද? යෙහෝවා දුෂ්ටයන් මතට විනාශය ගෙන එන්නේ ඔහුගේ සෙනඟ විඳින දුඃඛිත තත්වයෙන් ඔවුන්ව බේරාගැනීමටම පමණක්ද? යෙසායා 63වන පරිච්ඡේදයේ පෙන්වන විදිහට, ඊට වඩා වැදගත් කාරණයක් එයට සම්බන්ධය. එය නම්, දෙවිගේ නාමය විශුද්ධවත් කිරීමයි.

විජයග්‍රාහී හේවායෙකුගේ ගමන

3, 4. (අ) යෙසායා 63වන පරිච්ඡේදයේ පසුබිම කුමක්ද? (ආ) යෙසායා දකින්නේ යෙරුසලමට ගමන් කරන කවරෙකුවද? මෙම තැනැත්තා පිළිබඳව විශාරදයන් පවසන්නේ කුමක්ද?

3 යුදෙව්වන් බබිලෝනියේ වහල්භාවයෙන් මිදී තම මව්බිම කරා යන බව අපි යෙසායා 62වන පරිච්ඡේදයෙන් ඉගෙනගතිමු. ඒ සම්බන්ධයෙන් මෙවැනි ප්‍රශ්නයක් නඟන එක සාධාරණයි. යුදෙව්වන්ගේ ඉතිරි කොටස වෙනත් සතුරු ජාතීන්ගේ ආක්‍රමණයකට බියෙන් සලිත විය යුතුද? යෙසායාගේ දර්ශනය ඔවුන්ගේ බිය සැක දුරු කිරීමට හේතු වෙයි. අනාවැකිය මෙසේ කියමින් ඇරඹේ. “ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද?”—යෙසායා 63:1අ.

4 ජවසම්පන්න මෙන්ම විජයග්‍රාහී හේවායෙකු යෙරුසලම දෙසට ගමන් කරනවා යෙසායා දකියි. ඔහුගේ තේජවත් ඇඳුමෙන් කියාපාන්නේ ඔහු ඉතා උසස් පෙළේ නිලධාරියෙකු බවයි. ඔහු පැමිණෙන්නේ ඒදොම්හි අගනුවර වන බොශ්රා දෙසිනි. එයින් අඟවන්නේ, ඔහු එම සතුරු දේශය පරාජය කර පැමිණෙන බවයි. මේ හේවායා කවරෙකු විය හැකිද? සමහර විශාරදයන් කියා සිටින්නේ ඔහු යේසුස් ක්‍රිස්තුස් බවයි. වෙනත් සමහරුන් කියා සිටින්නේ ඔහු යුදෙව් හමුදාපති වන යූදස් මකබියස් කියායි. කෙසේවෙතත්, ඉහත නැඟූ ප්‍රශ්නයට එම හේවායාම උත්තර දෙමින් තම අනන්‍යතාව හෙළි කරයි. ඒ “ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.”—යෙසායා 63:1ආ.

5. යෙසායා දකින හේවායා කවුද? ඔබ එසේ උත්තර දෙන්නේ මන්ද?

5 මේ හේවායා වෙන කිසිවෙකු නොව යෙහෝවාම බවට කිසිම සැකයක් නැත. වෙනත් තැන්වල ඔහුව විස්තර කරන්නේ, “ශක්තියෙන් බලවත්” මෙන්ම “ධර්මිෂ්ඨ දේ” කියන තැනැත්තා හැටියටය. (යෙසායා 40:26; 45:19, 23) හේවායාගේ තේජවත් ඇඳුමින් ගීතිකාකරුගේ මෙම වදන් අපට මතක් කර දේ. ‘මාගේ දෙවි වූ යෙහෝවා, ඔබ ඉතා උතුම්ය; ඔබ ගෞරවයෙන් හා මහිමයෙන් සැරසී සිටින්නේය.’ (ගීතාවලිය 104:1) යෙහෝවා ප්‍රේමයේ දෙවිව සිටියත්, අවශ්‍ය අවස්ථාවන්හිදී යුධ වස්ත්‍රයෙන් සැරසෙන බව බයිබලය කියයි.—යෙසායා 34:2; 1 යොහන් 4:16.

6. යෙහෝවා ඒදොම් සමඟ සටන් කරන්නේ මන්ද?

6 එහෙත්, යෙහෝවා ඒදොම් සමඟ සටන් කරන්නේ මන්ද? දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටි සෙනඟට විරුද්ධව ඒදොම්වරුන් දිගින් දිගටම සතුරුකම පවත්වාගෙන තිබුණි. එම සතුරුකම ඔවුන්ගේ ආදි පියා වූ ඒසව්ගේ කාලය තරම් ඈතට දිව යයි. (උත්පත්ති 25:24-34; ගණන් කථාව 20:14-21) යුදෙව්වන්ට විරුද්ධව ඒදොම්ගේ සතුරුවාදිකම උච්චම අවස්ථාවට පැමිණියේ බබිලෝනියේ හේවායන් යෙරුසලම විනාශයට පත් කරන විට ප්‍රීතියෙන් යුතුව ඒදොම්වරුන් ඔවුන්ව දිරිගැන්වූ අවස්ථාවේදීයි. (ගීතාවලිය 137:7) එවැනි සතුරුවාදිකම් යෙහෝවා සලකන්නේ පෞද්ගලිකවම තමාට කරන අපහාසයක් හැටියටයි. එසේ නම්, ඒදොමට විරුද්ධව ඔහු තම උදහස නමැති කඩුව අතට ගැනීමට තීරණය කිරීම ගැන පුදුම විය යුතු නැත.—යෙසායා 34:5-15; යෙරෙමියා 49:7-22.

7. (අ) ඒදොම පිළිබඳ අනාවැකියේ මුල් ඉටුවීම සිදු වූයේ කෙසේද? (ආ) ඒදොම්ගෙන් සංකේතවත් කරන්නේ කුමක්ද?

7 යෙරුසලම බලා නැවත යන යුදෙව්වන්ට යෙසායාගේ මේ දර්ශනය මහත් දිරිගැන්වීමක් සපයයි. ඔවුන්ගේ අලුත් වාසස්ථානයේදී ඔවුන් සුරක්ෂිතභාවය අද්දකින බවට එමගින් ඔවුන්ට සහතිකයක් සපයන ලදි. ඇත්ත වශයෙන්ම, අනාගතවක්තෘ මලාකීගේ කාලයේදී යෙහෝවා ඒදොම්හි ‘කඳු පාළු කර, ඒදොම්ගේ උරුමය කාන්තාරයේ සිවලුන්ට දුන්නේය.’ (මලාකී 1:3) මෙයින් අදහස් කරන්නේ යෙසායාගේ අනාවැකිය මලාකීගේ කාලය වන විට සම්පූර්ණයෙන්ම ඉටු වූ බවද? නැත. පාළු වූ තත්වයේ තිබුණත් එම පාළු වූ තැන් නැවත ගොඩනැඟීම අත් නොහැරීමට ඒදොම අධිෂ්ඨාන කරගත්තේය. මලාකී පවා ඒදොම් හැඳින්වූයේ “දුෂ්ටකමේ පළාත” සහ “[යෙහෝවාගේ] උදහස සෑම කල්ම දරන සෙනග” කියාය. * (මලාකී 1:4, 5) කෙසේවෙතත්, අනාවැකියෙහි ඒදොම කියා කියද්දී එය යොමු දක්වන්නේ ඒසව්ගෙන් පැවතෙන්නන්ට පමණක් නොවේ. ඒදොම්ගෙන් සංකේතවත් කරන්නේ යෙහෝවාගේ නමස්කාරකයන්ට විරුද්ධ වන සියලුම ජාතීන්වයි. මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකයේ ජාතීන් ප්‍රමුඛත්වය ගෙන ඇත. මේ නවීන දින ඒදොමට කුමක් සිදු වේද?

මුද්‍රික පැස

8, 9. (අ) යෙසායා දුටු හේවායා යෙදී සිටි කාර්යය කුමක්ද? (ආ) සංකේතාත්මක මුද්‍රික පැස පාගනු ලබන්නේ කෙසේද? කවදාද?

8 යෙරුසලමට පැමිණෙන හේවායාගෙන් යෙසායා මෙසේ අසයි. “ඔබගේ ඇඳුම් රතුව, ඔබගේ වස්ත්‍ර මුද්‍රික පැස පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ මක්නිසාද?” යෙහෝවා මෙසේ පිළිතුරු දෙයි.“මම තනියම මිදියන්ත්‍රය පෑගීමි; ජනයන්ගෙන් කිසි මනුෂ්‍යයෙක් මා සමග නොසිටියේය. එසේය, මාගේ උදහසින් ඔවුන් පෑගීමි, මාගේ කෝපයෙන් ඔවුන් පොඩිකෙළෙමි; ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසිරී තිබේ, එයින් මාගේ සියලු ඇඳුම් කැලැල්කරගතිමි.”—යෙසායා 63:2, 3.

9 මෙහි කියැවෙන්නේ සමූලඝාතනයක් ගැනය. දෙවිගේ තේජවත් වස්ත්‍ර පවා මුද්‍රික පැස පාගන්නෙකුගේ ඇඳුම් මෙන් පැල්ලම්වලින් පිරී ඇත! යෙහෝවා තම සතුරන්ව විනාශ කිරීමට පියවර ගන්නා විට, උගුලකට හසු වුණාක් මෙන් ගැළවිය නොහැකිව ඔවුන් සිටින ආකාරය මුද්‍රික පැසක් මගින් මනාව සංකේතවත් කෙරේ. මේ සංකේතවත් මුද්‍රික පැස පාගනු ලබන්නේ කවදාද? යෝවෙල් සහ ප්‍රේරිත යොහන් වැනි අයද සංකේතාත්මක මුද්‍රික පැසක් ගැන කතා කරයි. එම අනාවැකිවල සඳහන් වන මුද්‍රික පැස පාගනු ලබන්නේ, යෙහෝවා තම සතුරන්ව අර්මගෙදොන්හිදී විනාශ කර දමන විටය. (යෝවෙල් 3:13; එළිදරව් 14:18-20; 16:16) යෙසායා කතා කරන අනාවැකිමය මුද්‍රික පැසද යොමු දක්වන්නේ එම කාලයටමය.

10. මුද්‍රික පැස තමා තනියෙන්ම පාගා දැමුවා කියා යෙහෝවා කියන්නේ මන්ද?

10 කිසිවෙකු ඔහු සමඟ නොසිටි නිසා ඔහු තනියෙන්ම මුද්‍රික පැස පාගා දැමුවා කියා යෙහෝවා කියන්නේ මන්ද? දෙවිගේ නියෝජිතයා හැටියට යේසුස් ක්‍රිස්තුස් මුද්‍රික පැස පෑගීමේදී මූලිකත්වය ගන්නේ නැද්ද? (එළිදරව් 19:11-16) යෙහෝවා මෙහිදී කතා කරන්නේ මිනිසුන් ගැන මිස ආත්ම මැවිලි ගැන නොවේ. ඔහු කියා සිටින්නේ සාතන්ව සහ ඔහුගේ සහචරයන්ව පොළොවෙන් පන්නා දැමීමට කිසිම මනුෂ්‍යයෙකුට හැකියාවක් නැති බවයි. (යෙසායා 59:15, 16) එමනිසා, ඔවුන් විනාශ වී යන තුරු උදහසෙන් පාගා දැමීමට භාර වී ඇත්තේ සර්වපරාක්‍රම දෙවිටය.

11. (අ) යෙහෝවා “පළිගැනීමේ දවස” ගෙනෙන්නේ මන්ද? (ආ) පුරාණ කාලයේ සිටි “මුදනු ලැබූවන්” කවුරුන් වීද? අද ඔවුන්ගෙන් නියෝජනය කරන්නේ කාවද?

11 මේ කාර්යය තමන් විසින්ම කළේ ඇයි කියා යෙහෝවා තවදුරටත් පැහැදිලි කරයි. “මක්නිසාද පළිගැනීමේ දවස මාගේ සිතේ තිබුණේය, මා විසින් මුදනු ලැබූවන්ගේ අවුරුද්දත් පැමිණ තිබේ.” (යෙසායා 63:4) * යෙහෝවාගේ සෙනඟට හානි ගෙනෙන්නන්ගෙන් පළිගැනීමට අයිතිය තිබෙන්නේ යෙහෝවාට පමණයි. (ද්විතීය කථාව 32:35) පුරාණ කාලවලදී, බබිලෝනිවරුන්ගේ අතින් පීඩාවට පත් වෙමින් සිටි යුදෙව්වන්ය “මුදනු ලැබූවන්” වූයේ. (යෙසායා 35:10; 43:1; 48:20) වර්තමානයේදී ඔවුන්ගෙන් සංකේතවත් වන්නේ ආලේප ලත් ඉතිරි අයය. (එළිදරව් 12:16ආ) පුරාණයේ සිටියවුන් මෙන් ඔවුන්වද ආගමික වහල්භාවයෙන් මුදවාගෙන තිබේ. තවද යුදෙව්වන් මෙන් ආලේප ලත් අයත්, ‘වෙනත් බැටළුවන්’ වන ඔවුන්ගේ සගයනුත් පීඩා සහ විරෝධතාවන්ගේ ගොදුරු බවට පත්ව ඇත. (යොහන් 10:16) යෙසායාගේ අනාවැකිය අද සිටින ක්‍රිස්තියානීන්ට තවදුරටත් සහතික කරන්නේ, දෙවි තමන්ගේ නියමිත කාලයේදී ඔවුන් වෙනුවෙන් මැදිහත් වන බවයි.

12, 13. (අ) යෙහෝවාට පිහිට වීමට කිසිවෙකු නැතැයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) යෙහෝවාගේ හස්තය ගැළවීම ගෙන එන්නේ කෙසේද? ඔහුගේ උදහස ඔහුට අනුබල දුන්නේ කෙසේද?

12 යෙහෝවා තවදුරටත් මෙසේ කියයි. “මම බැලීමි, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය; උසුලන්ට කිසිවෙක් නැති බැවින් පුදුමවීමි. ඒ නිසා මාගේම හස්තය මට ගැළවීම ගෙනදුන්නේය; මාගේ කෝපය මා උසුලාගත්තේය [මට අනුබල දුන්නේය, NW]. මාගේ උදහසින් ජනයන් පාගා, මාගේ කෝපයෙන් ඔවුන් මත්කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙවුවෙමි.”—යෙසායා 63:5, 6.

13 යෙහෝවාගේ මහත් පළිගැනීමේ දවසේදී ඔහු විසින් සිදු කරනු ලබන දේවලින් ගෞරවයක් දිනාගැනීමට කිසිම මිනිසෙකුට නොහැක. අනිත් අතට, තම අරමුණ ඉටු කිරීමට යෙහෝවාට කිසිම මිනිසෙකුගේ පිහිට අවශ්‍ය වන්නේද නැත. * ඔහුගේ අපරිමිත ශක්තියෙන් යුත් බලවත් හස්තයෙන් එය ඉටු කිරීමට ඔහුට හැක. (ගීතාවලිය 44:3; 98:1; යෙරෙමියා 27:5) මේ සියල්ලටම වඩා, එසේ කිරීමට ඔහු පෙලඹෙන්නේ ඔහු තුළ ඇති උදහස නිසාය. අප එසේ කියන්නේ මන්ද? දෙවිගේ උදහස යනු පාලනයකින් තොරව පිට කරන කෝපයක් නොව, ධර්මිෂ්ඨ කෝපයකි. යෙහෝවා සෑමවිටම ක්‍රියාත්මක වන්නේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට එකඟව නිසා ඔහුගේ සතුරන්ගේ ‘රුධිරය බිම වගුරුවන්නෙත්’ ඔවුන්ව නින්දාවට සහ පරාජයට පත් කරන්නෙත් සාධාරණ හේතු ඇතුවයි. මේ දේ කිරීම සඳහා ඔහුට අනුබල දෙමින් ඔහුව පොලඹවන්නේ ඔහුගේ ධර්මිෂ්ඨ කෝපයයි.—ගීතාවලිය 75:8; යෙසායා 25:10; 26:5.

දෙවිගේ ප්‍රේමනීය කරුණාවේ ක්‍රියා

14. යෙසායා සපයනු ලබන කාලෝචිත මතක් කිරීම් මොනවාද?

14 අතීතයේදී, යුදෙව්වෝ යෙහෝවා තමන් වෙනුවෙන් කළ දේවල් ඉක්මනින්ම අමතක කළෝය. ඒ නිසා යෙහෝවා ඔවුන් වෙනුවෙන් ඒ දේවල් කළේ ඇයි කියා යෙසායා ඔවුන්ට මතක් කර දීම උචිත විය. ඔහු මෙසේ ප්‍රකාශ කරයි. ‘මම යෙහෝවාගේ කරුණාවල්ද [ප්‍රේමනීය කරුණාවද, NW], යෙහෝවා අපට ගෙන දුන් සියල්ල ලෙස යෙහෝවාගේ ප්‍රශංසාවල්ද, ඔහුගේ අනුකම්පාවල හැටියටත් ඔහුගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්‍රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන් කරන්නෙමි. මක්නිසාද ඔහු කතා කොට: සැබවින් ඔවුහු මාගේ සෙනඟය, ද්‍රෝහිකමින් ක්‍රියා නොකරන දරුවෝයයි කීවේය. ඔහුද ඔවුන්ගේ ගැළවුම්කාරයා වූයේය. ඔවුන්ගේ සියලුම දුක්වලදී ඔහු දුක් වූයේය. ඔහුගේ අභිමුඛය වන දූත තෙමේ [පුද්ගලික පණිවිඩකරුවා, NW] ඔවුන් ගැළෙව්වේය. ඔහු තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන්ව උසුලාගෙන ගියේය.’—යෙසායා 63:7-9.

15. මිසරයේ සිටි ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ට යෙහෝවා ප්‍රේමනීය කරුණාව පෙන්වූයේ මන්ද? කෙසේද?

15 ප්‍රේමනීය කරුණාව නොහොත් පක්ෂපාත ප්‍රේමය පෙන්වීමේදී යෙහෝවා මොනතරම් ආදර්ශවත්ද! (ගීතාවලිය 36:7; 62:12) යෙහෝවා ආබ්‍රහම් සමඟ ප්‍රේමනීය සම්බන්ධයක් ඇති කරගත්තේය. (මීකා 7:20) ඔහු ආබ්‍රහම්ට පොරොන්දු වූයේ ඔහුගේ වංශය නැතහොත් ඔහුගෙන් පැවතෙන්නන් කරණකොටගෙන පොළොවේ සිටින සියලුම ජාතීන් ආශීර්වාද ලබන බවය. (උත්පත්ති 22:17, 18) යෙහෝවා තමන් දුන් පොරොන්දුව රකිමින් ඉශ්‍රායෙල් ජාතියට බොහෝ සෙයින් යහපත්කම් කළේය. ඔහුගේ පක්ෂපාත ක්‍රියාවන් අතරින් විශිෂ්ට එකක් වූයේ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ව මිසරයේ වහල්භාවයෙන් මුදාගැනීමය.—නික්මයාම 14:30.

16. (අ) ඉශ්‍රායෙල්වරුන් සමඟ ගිවිසුමෙන් බැඳෙන අවස්ථාවේදී යෙහෝවාට ඔවුන් ගැන තිබුණේ කෙබඳු හැඟීමක්ද? (ආ) යෙහෝවා තම සෙනඟ සමඟ කටයුතු කරන්නේ කෙසේද?

16 මිසරයෙන් නික්ම යෑමෙන් පසු යෙහෝවා ඉශ්‍රායෙල් ජාතිය සීනයි කඳු පාමුලට ගෙනැවිත් මෙම පොරොන්දුව දුන්නේය. “නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනග අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. . . . නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය.” (නික්මයාම 19:5, 6) යෙහෝවා මේ පොරොන්දුව ඉදිරිපත් කළේ සෙනඟව රවටා වාසි ප්‍රයෝජන ගැනීමටද? නැත. “සැබවින් ඔව්හු මාගේ සෙනගය, ද්‍රෝහිකමින් ක්‍රියා නොකරන දරුවෝය” කියා යෙහෝවා අවංකවම පිළිගන්නා බව යෙසායා පවසන්නේය. මේ ගැන එක් විශාරදයෙකු පවසන්නේ මෙලෙසයි. “මෙම වගන්තියේ ‘සැබවින්ම’ කියා කියද්දී, යෙහෝවා පරමාධිපති වශයෙන් තම සෙනඟ සම්බන්ධයෙන් එවැනි දෙයක් කලින් නියම කර තිබූ බවවත් අනාගතයේදී සිදුවීමට තිබූ යමක් කලින් ඔහු දුටු බවවත් අඟවන්නේ නැත. ඊට වෙනස්ව, තම සෙනඟ කෙරෙහි තිබෙන ප්‍රේමය නිසා ඔවුන් එසේ කරාවි යන විශ්වාසයෙන් යුතුව ඔහු බලා සිටින බව ඉන් අඟවයි.” මේ අනුව බලන කල, යෙහෝවා තම සෙනඟ සමඟ ගිවිසුමෙන් බැඳුණේ ඔවුන් නිසැකවම ඊට පක්ෂපාතව සිට ඉන් ආශීර්වාද ලබයි යන පූර්ණ විශ්වාසය ඇතුවය. ඔවුන් අසම්පූර්ණ වුවත්, යෙහෝවා ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීය. තම නමස්කාරකයන් කෙරෙහි එවැනි විශ්වාසයක් තබන දෙවිකෙනෙකුට නමස්කාර කිරීමට ලැබීම මොනතරම් ආශීර්වාදයක්ද! අදදින සිටින වැඩිමහල්ලෝද දෙවිගේ සේවකයන් තුළ ඇති යහපත් චේතනා විශ්වාස කරමින්, තමන්ට රැකබලා ගැනීමට පවරා සිටින අයව දිරිගැන්වීම සඳහා වෙහෙස මහන්සි වෙති.—2 තෙසලෝනික 3:4; හෙබ්‍රෙව් 6:9, 10.

17. (අ) ඉශ්‍රායෙල්වරුන්ට ඇති ප්‍රේමය පිළිබඳව යෙහෝවා සාක්ෂි සැපයුවේ කෙසේද? (ආ) අදදින අපට තබාගත හැකි නිසැකකම කුමක්ද?

17 කෙසේවෙතත්, ඉශ්‍රායෙල්වරුන් සම්බන්ධයෙන් ගීතිකාකරු මෙසේ කියයි. ‘ඔවුහු මිසරයේදී මහත් ක්‍රියා සිදු කළ තමුන්ගේ ගැළවුම්කාර දෙවිව මතක නැති කළෝය.’ (ගීතාවලිය 106:21, 22) ඔවුන්ගේ අකීකරු හිතුවක්කාර ආකල්පය නිසා ඔවුන් අමාරුවේ වැටුණු වාර ගණන අපමණය. (ද්විතීය කථාව 9:6) එහෙත්, යෙහෝවා තම ප්‍රේමනීය කරුණාව පෙන්වීම නැවැත්වීද? නැත. යෙසායා කියන්නේ, ‘ඔවුන්ගේ සියලුම දුක්වලදී ඔහු දුක් වූයේය’ කියායි. යෙහෝවා මොනතරම් අනුකම්පා සහගතද! ඕනෑම ප්‍රේමනීය පියෙකුට මෙන් ඔහුටද තම දරුවන් දුක් විඳිනවා දැකීම වේදනාසහගත දෙයක් විය. ඔවුන් දුක් වින්දේ ඔවුන්ගේම මෝඩකම නිසා වුවත් එය ඔහුට වේදනා ගෙනාවේය. පුරෝකථනය කළ ආකාරයට, ප්‍රේමයේ සාක්ෂියක් හැටියට ඔවුන්ව පොරොන්දු දේශය කරා මඟ පෙන්වීම සඳහා, ඔහු තම ‘පුද්ගලික පණිවිඩකරුවාව’ එනම් පෙනෙන විදිහට පොළොවට පැමිණීමට පෙර සිටි යේසුස්ව එව්වේය. (නික්මයාම 23:20) මෙසේ “මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන්” යෙහෝවා තම ජාතිය ඉසුලාගෙන ගියේය. (ද්විතීය කථාව 1:31; ගීතාවලිය 106:10) අදදිනත්, අප අද්දකින දුක් කරදර යෙහෝවා දකින බවත් ඔහු අපේ අමාරුකම්වලදී අප සමඟ දුක් වන බවත් අපට සහතික විය හැකිය. ‘ඔහු අප ගැන සලකන බැවින් අපේ හැම සිත්තැවුලක්ම [භය නැතුව] ඔහුට භාර දිය හැකිය.’—1 පේතෘස් 5:7, NW.

දෙවි සතුරෙක් බවට පත් වේ

18. යෙහෝවා තම සෙනඟගේ සතුරෙක් බවට පත් වූයේ මන්ද?

18 කෙසේවෙතත්, අප කිසිවිටෙක දෙවිගේ ප්‍රේමනීය කරුණාවෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය. මීළඟට යෙසායා මෙසේ කියයි. ‘නුමුත් ඔවුහු කැරලිගසා, ඔහුගේ ශුද්ධාත්මයට දුක් ඉපදෙවුවෝය. ඒ නිසා ඔහු ඔවුන්ට සතුරෙක් වී, ඔහුම ඔවුන්ට විරුද්ධව යුද්ධ කළේය.’ (යෙසායා 63:10) තමා අනුකම්පාවෙන් පූර්ණ, දයාන්විත දෙවිකෙනෙකු වුවත්, “වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන” බවට යෙහෝවා අනතුරු අඟවා ඇත. (නික්මයාම 34:6, 7) ඉශ්‍රායෙල්වරු දිගටම කැරලිගැසූ නිසා දඬුවමට සුදුස්සෝ වූහ. “නුඹ කාන්තාරයේදී නුඹේ දෙවිවූ [යෙහෝවා] උදහස් කළ හැටි . . . මතක නැති නොකරන්න. නුඹ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් නුඹලා [යෙහෝවාට] විරුද්ධව කැරළිකාරව සිටියහුය” කියා මෝසෙස් ඔවුන්ට මතක් කර දුන්නේය. (ද්විතීය කථාව 9:7) ශුද්ධාත්මයේ සුවදායක බලපෑමට විරුද්ධව ක්‍රියා කිරීම නිසා ඔවුහු ඊට දුක් දුන්නෝය. (එපීස 4:30) තමන්ගේ සතුරා බවට පත්වීමට ඔවුහු දෙවිව පෙලඹවූහ.—ලෙවී කථාව 26:17; ද්විතීය කථාව 28:63.

19, 20. යුදෙව්වන්ට මතක් වන්නේ කිනම් දේවල්ද? ඒ මන්ද?

19 පීඩා විඳින සමහර යුදෙව්වෝ අතීතය ආවර්ජනය කිරීමට පෙලඹුණෝය. යෙසායා මෙසේ කියයි. ‘ඔහු පුරාතන දවස්ද මෝසෙස් සහ තමන්ගේ සෙනඟද සිහි කළේය. තමන්ගේ රැළේ [එඬේරුන්] සමඟ ඔවුන් මුහුදෙන් ගෙනා තැනැත්තා කොයිද? තමන් ශුද්ධාත්මය ඔවුන් මැද තැබූ තැනැත්තා කොයිද? මෝසෙස්ගේ දකුණත ළඟ ස්වකීය තේජවත් බාහුව යන්ට සැලැස්සුවාවූ, තමන්ට සදාකාල නාමයක් ලබාගැනීමට ඔවුන් ඉදිරියෙන් ජලය බෙදා, කාන්තාරයෙහි යන අශ්වයෙකු මෙන් නොපැකිලෙන හැටියට ඔවුන් ගැඹුර මැදින් ගෙන ගියාවූ තැනැත්තා කොයිද? ගවරැළ මිටියාවතට බසින්නාක් මෙන් යෙහෝවාගේ ආත්මය ඔවුන් නිශ්චලභාවයට පැමිණෙව්වේය.’—යෙසායා 63:11-14අ. *

20 ඔව්, අකීකරුකම හේතුවෙන් දුක් විඳිද්දී, යෙහෝවා තමන්ගේ සතුරා නොව මිතුරාව සිටි කාලය යුදෙව්වන්ට සිහි වේ. ඔවුන්ගේ ‘එඬේරුන්’ වූ මෝසෙස් සහ ආරොන් ඔවුන්ව රතු මුහුද හරහා සුරක්ෂිතව ගෙන ගිය ආකාරය ඔවුන්ට මතක් වේ. (ගීතාවලිය 77:20; යෙසායා 51:10) දෙවිගේ ශුද්ධාත්මයට දුක් පමුණුවනවා වෙනුවට මෝසෙස්ගේ සහ ආත්මයෙන් ආලේප ලත් අනෙකුත් වැඩිමහල්ලන්ගේ අධිකාරය පිළිගනිමින් ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට තමන් අවනත වූ කාලය ඔවුන්ට සිහි වේ. (ගණන් කථාව 11:16, 17) යෙහෝවා මෝසෙස් කරණකොටගෙන ඔහුගේ “තේජවත් බාහුව” තමන් වෙනුවෙන් පාවිචිචි කළ ආකාරයද ඔවුන්ගේ මතකයට නැඟේ. කාලයාගේ ඇවෑමෙන් දෙවි ඔවුන්ව බියකරු පාළුකරයෙන් එහා පිහිටි කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන වාසස්ථානයකට ගෙනා හැටිද ඔවුන්ට මතක් වේ. (ද්විතීය කථාව 1:19; යෝෂුවා 5:6; 22:4) එහෙත්, ඉශ්‍රායෙල්වරුන් දෙවි සමඟ තිබූ අනුමැතිය ලත් තත්වය නැති කරගත් බැවින් දැන් ඔවුහු දුක් විඳිමින් සිටිති!

‘තමන්ට තේජවත් නාමයක් ලබාගැනීමට’

21. (අ) දෙවිගේ නාමය ගැන සලකා බලද්දී ඉශ්‍රායෙල්වරුන්ට අත් කරගත හැකිව තිබූ මහත් වරප්‍රසාදය කුමක්ද? (ආ) යෙහෝවා ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ව මිසරයෙන් මුදවාගැනීමට මූලික හේතුව කුමක් වීද?

21 ඉශ්‍රායෙල්වරුන්ට නැති වූ ලෞකික දේ, ඔවුන් අහක දැමූ වරප්‍රසාදය සමඟ සැසඳිය නොහැක. එම වරප්‍රසාදය වූයේ වෙන කිසිවක් නොව, දෙවිගේ නාමය ගෞරවයට පත් කිරීමෙහි හවුල් වීමට තිබූ ප්‍රස්තාවය. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ පොරොන්දු විය. ‘නුඹේ දෙවි වූ යෙහෝවාගේ ආඥා පවත්වා ඔහුගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, යෙහෝවා නුඹට දිවුළ ලෙස ඔහුටම ශුද්ධ සෙනඟක් කොට නුඹ ස්ථිර කරන්නේය. යෙහෝවාගේ නාමය නුඹ කෙරෙහි තබා තිබෙන බව පොළොවේ සියලු මනුෂ්‍යවර්ගයෝ දැක නුඹට භය වන්නෝය.’ (ද්විතීය කථාව 28:9, 10) යෙහෝවා ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ව මිසරයේ වහල්භාවයෙන් ගළවාගත්තේ, ඔවුන්ට සැප පහසු ජීවිතයක් දීමට පමණක්ම නොවේ. එසේ කළේ ඊට වඩා වැදගත් දෙයක්, එනම්, ඔහුගේ නාමය උදෙසාය. ඔව්, ඔහු තම නාමය “මුළු පොළොවෙහි ප්‍රකාශ” වන බවට වගබලා ගනිමින් සිටියේය. (නික්මයාම 9:15, 16) පාළුකරයේදී ඉශ්‍රායෙල්වරුන් කැරලිගැසූ පසු යෙහෝවා ඔවුන්ට දයාව පෙන්වූයේ, ජාතිය කෙරෙහි ඔහු තුළ ජනිත වූ අනුකම්පාව නිසා පමණක්ම නොවේ. ‘ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස මම ක්‍රියා කළෙමි’ කියා යෙහෝවා කීවේය.—එසකියෙල් 20:8-10.

22. (අ) අනාගතයේදී, දෙවි නැවත වරක් තම සෙනඟ වෙනුවෙන් සටන් කරනු ඇත්තේ මන්ද? (ආ) දෙවිගේ නාමය කෙරෙහි ඇති අපේ ඇල්ම අපේ ක්‍රියාවලට බලපෑ යුත්තේ කෙසේද?

22 යෙසායා තම අනාවැකිය ප්‍රබල ආකාරයකට අවසන් කරයි. “තේජවත් නාමයක් ලබාගැනීමට ඔබ එසේ ඔබගේ සෙනග [ගෙන ගියේය].” (යෙසායා 63:14ආ) යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් එතරම් බලවත් ආකාරයට සටන් කරන්නේ මන්ද කියා අපට දැන් පැහැදිලිය. ඒ තමා වෙනුවෙන් තේජවත් නාමයක් සාදාගැනීමටය. යෙහෝවාගේ නාමය දැරීම සුවිශේෂී වරප්‍රසාදයක් පමණක් නොව විශාල වගකීමක්ද වන බව යෙසායාගේ අනාවැකිය අපට ප්‍රබල ලෙස මතක් කර දෙයි! අදදින සිටින සැබෑ ක්‍රිස්තියානීහු තම ජීවිතයට වඩා යෙහෝවාගේ නාමයට බෙහෙවින් ඇලුම් කරති. (යෙසායා 56:6; හෙබ්‍රෙව් 6:10) එම පරිශුද්ධ නාමය මතට නින්දා අපහාස ගෙනෙන කිසිම දෙයක් කිරීමට ඔවුහු කැමති නොවෙත්. එමෙන්ම, ඔවුහු එවැනි දේ පිළිකුල් කරති. ඔවුන් දෙවිගේ පක්ෂපාත ප්‍රේමයට ප්‍රතිචාරය දක්වන්නේ, ඔහුට පක්ෂපාතව සිටීමෙනි. ඔවුන් යෙහෝවාගේ තේජවත් නාමයට ඇලුම් කරන බැවින්, ඔහු උදහසේ මුද්‍රික පැස පාගා දමන, එනම් තම සතුරන්ව විනාශ කරන දවස එන තුරු ඔවුහු ඉතා ඕනෑකමින් බලා සිටිත්. එසේ බලා සිටින්නේ එයින් ඔවුන්ට ප්‍රයෝජන අත් වන නිසාම නොව, ඒ වෙනුවට ඔවුන් එතරම් ඇලුම් කරන දෙවිගේ නාමය එමගින් මහිමයට පත් වන නිසාය.—මතෙව් 6:9.

[පාදසටහන්වල]

^ මුල් සියවසේ සිටි හෙරොද්වරු ඒදොම්වරුය.

^ “මුදනු ලැබූවන්ගේ අවුරුද්ද” කීමෙන් යොමු දක්වන්නේ “පළිගැනීමේ දවස” සිදු වන කාලපරිච්ඡේදයටම විය හැක. යෙසායා 34:8හි පාවිච්චි කර ඇති සමාන වචනද සලකා බලන්න.

^ කිසිවෙකු තමන්ට පිහිට නොවීම ගැන යෙහෝවා පුදුමයට පත් වේ. යේසුස් මැරී අවුරුදු 2,000ක් ගෙවී ගිය පසුත් මනුෂ්‍යවර්ගයාගේ බලවතුන් තවමත් දෙවිගේ කැමැත්තට විරුද්ධ වීම ඇත්තෙන්ම පුදුමයකි.—ගීතාවලිය 2:2-12; යෙසායා 59:16.

^ “ඔහු සිහි කිරීමට පටන්ගත්තේය” කියා සඳහන් කිරීමෙන් සිහි කරන්නා යෙහෝවා කියා නිශ්චිතවම අදහස් කරන්නේ නැත. (යෙසායා 63:11, NW පාදසටහන) ඊළඟට සඳහන් වන පදවල ඇත්තේ දෙවිගේ සෙනඟගේ සිතුවිලි මිස යෙහෝවාගේ සිතුවිලි නොවේ. බයිබලයේ සොන්සිනෝ පොත් නමැති ග්‍රන්ථයේ (සිංහලෙන් පළ වී නොමැත) මේ වචන සඳහන් වන්නේ මෙසේය. “එවිට ඔහුගේ සෙනඟ පුරාණ දවස් සිහි කළෝය.”

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[359වන පිටුවේ පින්තූරය]

යෙහෝවා තම සෙනඟ ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියේය