Skip to content

පටුනට යන්න

යෙහෝවා තම මෙසියානු සේවකයා උසස් කරයි

යෙහෝවා තම මෙසියානු සේවකයා උසස් කරයි

දහහතරවන පරිච්ඡේදය

යෙහෝවා තම මෙසියානු සේවකයා උසස් කරයි

යෙසායා 52:13-53:12

1, 2. (අ) පොදු යුගයේ පළමු සියවසේ මුල් භාගයේ සිටි යුදෙව්වන් බොහෝදෙනෙකු මුහුණ දුන් තත්වය විස්තර කරන්න. (ආ) ඇදහිලිවන්ත යුදෙව්වන්ට මෙසියස්ව හඳුන්වා දීම සඳහා යෙහෝවා කළේ කුමක්ද?

 ඔබට ඉහළ පෙළේ නිලධාරියෙකු හමුවීමට තිබෙනවායැයි සිතන්න. හමු වන ස්ථානය සහ වේලාව දැනටමත් සැලසුම් කර ඇත. එහෙත් ගැටලුව නම්, ඔහු මොන වගේ කෙනෙකුදැයි ඔබ නොදැන සිටීමයි. එමෙන්ම, ඔහු පැමිණෙන්නේද සෙනඟක් පිරිවරාගෙන නොව නිහඬවයි. ඔබ ඔහුව හඳුනාගන්නේ කෙසේද? ඔබට ඔහු ගැන පැහැදිලි තොරතුරු තිබුණි නම්, එය දුෂ්කර කාර්යයක් නොවනු ඇත.

2 පොදු යුගයට පෙර පළමු සියවසේ මුල් භාගයේදී, යුදෙව්වන් බොහෝදෙනෙකුට මේ තත්වයට මුහුණ දීමට සිදු විය. ඔවුහු මිහිපිට ජීවත් වනු ඇති වැදගත්ම පුද්ගලයා වන මෙසියස්ව බලාපොරොත්තුවෙන් සිටියහ. (දානියෙල් 9:24-27; ලූක් 3:15) එහෙත්, ඇදහිලිවන්ත යුදෙව්වන් ඔහුව හඳුනාගන්නේ කෙසේද? මෙසියස් හා සබැඳි සිදුවීම් අවබෝධයෙන් යුතුව සොයන අයට නොවරදවා ඔහුව හඳුනාගැනීම සඳහා, යෙහෝවා හෙබ්‍රෙව් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් තොරතුරුවලින් පිරි පැහැදිලි චිත්‍රයක් ලබා දුන්නේය.

3. යෙසායා 52:13-53:12 දක්වා මෙසියස් පිළිබඳව සපයන්නේ කිනම් විස්තරයක්ද?

3 මෙසියස් ගැන හෙබ්‍රෙව් අනාගතවක්තෲන් ලියා තිබෙන අනාවැකි අතරින් යෙසායා 52:13 සිට 53:12 දක්වා සඳහන් වන තරම් පැහැදිලි චිත්‍රයක් වෙන කොතැනකවත් නැති තරම්ය. ඊට අවුරුදු 700කට පමණ පෙර මෙසියස්ගේ බාහිර පෙනුම නොව, වඩා වැදගත් කාරණා වන ඔහු දුක් විඳින ආකාරය මෙන්ම ඊට හේතුව සහ ඔහුගේ මරණය, තැන්පත් කිරීම සහ උසස් කරනු ලැබීම වැනි නිශ්චිත තොරතුරු යෙසායා විස්තර කර තිබුණි. මේ අනාවැකිය ගැනත් එහි ඉටුවීම ගැනත් සලකා බැලීම අපේ හදවත් උණුසුම් කරන අතර අපේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේය.

“මාගේ සේවකයා” යනු කවරෙක්ද?

4. ‘සේවකයාගේ’ අනන්‍යතාව සම්බන්ධයෙන් සමහර යුදෙව් විශාරදයන්ට ඇත්තේ කිනම් මතද? එහෙත්, ඒවා යෙසායාගේ අනාවැකිය හා එකඟ නොවන්නේ මන්ද?

4 බබිලෝනියේ සිටින යුදෙව් වහලුන්ව නිදහස් කරන බවට යෙසායා දැන්වීය. දැන් වඩාත් ශ්‍රේෂ්ඨ සිදුවීමක් බලාපොරොත්තු වෙමින් යෙසායා යෙහෝවාගේ වචන මෙසේ වාර්තා කරයි. “බලව, මාගේ සේවකයා නුවණින් [තීක්ෂ්ණ බුද්ධියෙන් යුතුව, NW] ක්‍රියා කරමින් උසස්වී උතුම්වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත.” (යෙසායා 52:13) මේ “සේවකයා” කවුද? සියවස් ගණනාවක් පුරා යුදෙව් විශාරදයෝ මේ ගැන විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ. බබිලෝනියේ වහල්භාවයේ සිටි මුළු ඉශ්‍රායෙල් ජාතියම මොහුගෙන් නියෝජනය කළ බව සමහරු කියා සිටියහ. දෙවිගේ සේවකයා දුක් විඳීමට කැමැත්තෙන්ම තෝරාගත් නිසා, එවැනි විග්‍රහයක් අනාවැකිය සමඟ එකඟ වන්නේ නැත. ඔහු වංචාවකින් තොර කෙනෙකු වුණත්, අනිත් අයගේ පාප නිසා දුක් වින්දේය. මෙවැනි විස්තරයක් යුදෙව් ජාතියට ගැළපෙනවා කියා පිළිගැනීමට නොහැකිය. මන්ද ඔවුන්ව වහල්භාවයට ගෙන ගියේ ඔවුන්ගේම පාපතර ක්‍රියාමාර්ගය නිසාය. (2 රාජාවලිය 21:11-15; යෙරෙමියා 25:8-11) අනිත් අය කියා සිටින්නේ මේ සේවකයාගෙන් නියෝජනය කළේ පව්කාර ඉශ්‍රායෙල්වරුන් වෙනුවෙන් දුක් විඳි උසස්යයි සැලකුණු භක්තිවන්ත ඉශ්‍රායෙල්වරුන් කියායි. කෙසේවෙතත්, ඉශ්‍රායෙලයේ පැවති පීඩාකාරි කාලයේදී කිසිම කෙනෙකු තවත් කෙනෙකු වෙනුවෙන් දුක් වින්දේ නැත.

5. (අ) යෙසායාගේ අනාවැකිය සමහර යුදෙව් විශාරදයන් සම්බන්ධ කරන්නේ කාටද? (පාදසටහන බලන්න.) (ආ) බයිබලයේ ක්‍රියා පොතෙහි සේවකයාගේ අනන්‍යතාව පැහැදිලිව විස්තර කර ඇත්තේ කෙසේද?

5 ක්‍රිස්තියානි ධර්මයේ ආගමනයට පෙරාතුව එනම් පොදු යුගයේ මුල් සියවස්වල සිටි සමහර යුදෙව් විශාරදයයෝ, මේ අනාවැකිය අදාළ වන්නේ මෙසියස්ට බව කියා සිටියෝය. සැබෑ අදාළත්වය එය බව ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවලින් මනාව පැහැදිලි වේ. ක්‍රියා පොතේ වාර්තා කරන ආකාරයට, යෙසායාගේ අනාවැකියේ සඳහන් සේවකයාගේ අනන්‍යතාව ඉතියෝපීය නිලධාරියා දන්නේ නැතැයි කී විට, පිලිප් ‘යේසුස් ගැන [ශුභාරංචිය, NW] ඔහුට දේශනා කළේය.’ (ක්‍රියා 8:26-40; යෙසායා 53:7, 8) ඒ හා සමානව අනිකුත් බයිබල් පොත්වලද යෙසායාගේ අනාවැකියේ සඳහන් මෙසියානු සේවකයා යේසුස් ක්‍රිස්තුස් බව කියා සිටියි. * එමෙන්ම, යෙහෝවා “මාගේ සේවකයා” යයි කියන තැනැත්තා සහ නාසරෙත්හි යේසුස් අතර ඇති ඉවතලිය නොහැකි සමානකම් අප මේ අනාවැකිය සාකච්ඡා කරද්දී දකිනු ඇත.

6. මෙසියස් දේවකැමැත්ත සාර්ථක ලෙස ඉෂ්ට කරන බවට යෙසායාගේ අනාවැකිය අඟවන්නේ කෙසේද?

6 අනාවැකිය ඇරඹෙන්නේ දේවකැමැත්ත කරන මෙසියස් අවසානයේදී අද්දකින සාර්ථකත්වය විස්තර කරමිනි. සාමාන්‍යයෙන් සේවකයෙකු තම ස්වාමියාට යටත් වන්නාක් මෙන් ඔහුද දෙවිගේ කැමැත්තට යටත් වන බැවින් “සේවකයා” යනුවෙන් ඔහුව හඳුන්වා ඇත. ඔහු එසේ කරනු ඇත්තේ “තීක්ෂ්ණ බුද්ධියෙන්” යුතුවයි. තීක්ෂ්ණ බුද්ධිය යනු යම් කාරණයක් හරහා බැලීමට එනම් විනිවිද දැකීමට ඇති හැකියාවයි. තීක්ෂ්ණ බුද්ධියෙන් යුතුව ක්‍රියා කිරීම ඥානවන්තව ක්‍රියා කිරීම යන්නට තවත් අදහසකි. මෙහිදී පාවිච්චි කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදයේ ගැබ්ව තිබෙන අදහස එක්තරා යොමු දැක්වීමක සඳහන් කරන්නේ, “දූරදර්ශී ඥානයෙන් යුතුව ක්‍රියා කිරීම” හැටියටයි. “ප්‍රඥාවෙන් යුතුව ක්‍රියා කරන්නෙකු සාර්ථකත්වය අද්දකියි” යන අදහසද එහි ගැබ්ව ඇත. මෙසියස් කොතරම් සාර්ථකත්වයක් අද්දැක්කාද කිවහොත්, අනාවැකියේ කියන්නේ, ඔහු “උතුම්වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත” කියාය.

7. යේසුස් ක්‍රිස්තුස් “තීක්ෂ්ණ බුද්ධියෙන් යුතුව ක්‍රියා” කළේ කෙසේද? ‘ඔහුව උතුම් හා ඉතා උත්කෘෂ්ට තත්වයකට පත් කළේ’ කෙසේද?

7 යේසුස් “තීක්ෂ්ණ බුද්ධියෙන් යුතුව ක්‍රියා” කළ බව පැහැදිලිය. ඔහු තමන්ට අදාළ බයිබල් අනාවැකි තේරුම්ගත් අතර, තම පියාගේ කැමැත්ත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීමද එමගින් ලැබීය. (යොහන් 17:4; 19:30) එහි ප්‍රතිඵලය කුමක්ද? යේසුස්ගේ නැවත නැඟිටීමෙන් සහ ස්වර්ගයට නැඟීමෙන් පසු, ‘දෙවි ඔහුව ඉතා උසස් කොට, සියලු නාමවලට වඩා උසස් නාමය ඔහුට දුන්නේය.’ (පිලිප්පි 2:9; ක්‍රියා 2:34-36) ඉන්පසු, තේජසට පත්ව සිටි යේසුස්ව 1914දී තවත් උසස් කරනු ලැබීය. යෙහෝවා විසින් ඔහුව මෙසියානු රාජ්‍යයේ රජකමට උසස් කරන ලදි. (එළිදරව් 12:1-5) ඔව්, ඔහුව ‘උතුම් හා ඉතා උත්කෘෂ්ට තත්වයකට පත් කරනු ලැබුවේය.’

‘විස්මපත්ව ඔහු දෙස බැලීම’

8, 9. උසස් කරන ලද යේසුස් විනිශ්චය කිරීමට පැමිණෙන කල, පොළොවේ සිටින පාලකයන් ප්‍රතිචාරය දක්වනු ඇත්තේ කෙසේද? ඒ මන්ද?

8 මෙසියස්ගේ උසස් කිරීම පිළිබඳව පොළොවේ ජාතීන් සහ ඔවුන්ගේ පාලකයන් ප්‍රතිචාරය දක්වනු ඇත්තේ කෙසේද? දහහතරවන පදයේ මුල් කොටස මොහොතකට මඟහැර කියෙව්වොත් අනාවැකියේ කියවෙන්නේ මෙසේයි. ‘බොහෝදෙනෙකු ඔහු නිසා විස්මපත් වුණාක් මෙන්ම, ඔහු බොහෝ ජාතීන්ට ඉසිනවා ඇත [බොහෝ ජාතීන්ව විස්මපත් කරන්නේය, NW]; රජවරු ඔහු නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත.” (යෙසායා 52:14ආ, 15) යෙසායා මේ වචනවලින් මෙසියස්ගේ මුල් පෙනී සිටීම ගැන නොව පොළොවේ පාලකයන් සමඟ ඔහුට තිබෙන අවසාන ගැටුම ගැන විස්තර කරන්නේය.

9 උසස් කරන ලද යේසුස් මේ අභක්තික ලෝක ක්‍රමය විනිශ්චයට පත් කිරීමට පැමිණෙන විට, පොළොවේ පාලකයන් ‘විස්මපත්ව ඔහු දෙස බලන්නේය.’ මිනිස් පාලකයන් තේජසට පත් යේසුස්ව ඇස්වලට නොදකින බව ඇත්තයි. නමුත් යෙහෝවාගේ ස්වර්ගීය සටන්කාමියා හැටියට ඔහුගේ බලයේ දෘශ්‍යමාන සාක්ෂි ඔවුන් දකිනු ඇත. (මතෙව් 24:30) ආගමික නායකයන් ඔවුන්ට උගන්වා නොතිබුණු දෙයක් ගැන අනිවාර්යයෙන්ම දැනගැනීමට ඔවුන්ට සිදු වනු ඇත. එය නම් දෙවිගේ වධකයා යේසුස්ය යන කාරණයයි! උසස් කරන ලද සේවකයා ඔවුන් අපේක්ෂා නොකළ ආකාරයකට ක්‍රියා කරනු ඇත.

10, 11. මුල් සියවසේදී යේසුස් පිළිබඳව තිබුණේ අවලක්ෂණ පින්තූරයක් කියා කිව හැක්කේ මන්ද? මෙය අදදින සිදු වන්නේ කිනම් ආකාරයටද?

10 දැන් අපි දහහතරවන පදයේ මුල් කොටසට අවධානය යොමු කරමු. යෙසායා මෙසේ පවසා ඇත. “[ඔහුගේ] පෙනීම කිසි මනුෂ්‍යයෙකුටත් [ඔහුගේ] ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ටත් වඩා අවලක්ෂණව [තිබුණි].” (යෙසායා 52:14අ) යේසුස්ගේ ශාරීරික පෙනුම යම් ආකාරයකට අවලක්ෂණ වූවාද? නැත. යේසුස් ශාරීරිකව මොන වගේදැයි කියා විස්තරයක් බයිබලයෙහි සඳහන් නොවුණත්, දෙවිගේ පරිපූර්ණ පුත්‍රයාට පිරිපුන් වූත් ප්‍රසන්න වූත් ශාරීරික පෙනුමක් තිබූ බව නිසැකයි. තිබෙන සාක්ෂිවලට අනුව, මෙහිදී යෙසායා යොමු දක්වන්නේ යේසුස් විඳි නින්දාවටය. ඔහු තම දවසේ සිටි ආගමික නායකයන්ගේ වෙස් මුහුණු ගැළෙව්වේ ඔවුන් වංචාකාරයන්, බොරුකාරයන් සහ මිනිමරන්නන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි. ප්‍රතිඵලයක් ලෙස ඔවුහු ඔහුට සතුරුකම් පාන්න පටන්ගත්හ. (1 පේතෘස් 2:22, 23) ඔවුහු, ව්‍යවස්ථාව කඩකරන්නෙකු, නින්දා කරන්නෙකු, රවටන්නෙකු සහ රෝමයට විරුද්ධව ගිනි අවුළන්නෙකු හැටියට ඔහුට චෝදනා කළහ. මෙසේ, මෙම බොරු චෝදනා කරන්නෝ යේසුස්ගේ චරිතය මුළුමනින්ම ඝාතනය කරමින් ඔහු පිළිබඳ අවලක්ෂණ පින්තූරයක් ඉදිරිපත් කළහ.

11 යේසුස් පිළිබඳ වැරදි පින්තූරයක් දීම අදටත් නැවතී නැත. බොහෝ මිනිසුන් යේසුස්ව අදටත් සලකන්නේ ගව ඔරුවක බහා සිටින බිළිඳෙකු ලෙසය, එසේත් නැතහොත් කුරුසයකට තියා ඇණ ගසා, කටු ඔටුන්නක් දමා ඇති ක්ලාන්ත වූ මුහුණක් ඇත්තෙකු හැටියටය. මෙවැනි සංකල්පනාවන්ට පණ පොවන්නේ ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයයි. යේසුස් යනු සියලු ජාතීන් ගණන් දිය යුතු බලවත් ස්වර්ගීය රජු බව කියා දීමට ඔවුහු අපොහොසත්ව සිටිත්. ඉතා නුදුරු අනාගතයේදී උසස් කරන ලද යේසුස් එනම්, “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය” ඇති මෙසියස් හා මුහුණට මුහුණ ලා ගැටීමට මිනිස් පාලකයන්ට සිදු වේ.—මතෙව් 28:18.

මේ ශුභාරංචිය කෙරෙහි විශ්වාසය තබන්නේ කවුද?

12. යෙසායා 53:1හි මතු කරන්නේ කුහුල ඇති කරවන කිනම් ප්‍රශ්නද?

12 මෙසියස්ගේ ‘අවලක්ෂණ වීමේ’ සිට ‘උසස් වීම’ දක්වා සිදු වන පුදුමාකාර වෙනස් වීම විස්තර කිරීමෙන් පසු, යෙසායා මෙසේ අසයි. “අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? [යෙහෝවාගේ] හස්තය කාට එළිදරව්වීද?” (යෙසායා 53:1) යෙසායාගේ මෙම වචන කුහුල දනවන ප්‍රශ්න මතු කරයි. මේ අනාවැකි ඉටු වේවිද? බලය පෑමට ඇති හැකියාව නියෝජනය කරන ‘යෙහෝවාගේ හස්තය’ මේ වචන ඉටුවීමට සලස්වාවිද?

13. යෙසායාගේ අනාවැකිය යේසුස් තුළ ඉටු වූ බව පාවුල් පෙන්වන්නේ කෙසේද? ඒ සඳහා ලැබුණේ කිනම් ආකාරයේ ප්‍රතිචාරයක්ද?

13 පිළිතුර ඔව් කියා අවිවාදයෙන්ම පිළිගත හැකියි. රෝමවරුන්ට ලියූ ලිපියෙහි පාවුල් යෙසායා වාර්තා කළ දේ උපුටාගැනීමෙන් පෙන්වන්නේ එම අනාවැකි යේසුස් තුළ ඉටු වූ බවයි. පොළොව මත විඳි වේදනාවලින් පසු යේසුස්ව උසස් කරනු ලැබීම ඇත්තෙන්ම ශුභාරංචියකි. “නුමුත්” නොඇදහිලිකාර යුදෙව්වන් සම්බන්ධයෙන් කතා කරමින් පාවුල් මෙසේ කියා සිටියි. “ඔවුන් සියල්ලන්ම ඒ යහපත් ආරංචියට ඇහුම්කන්දුන්නේ නැත. මක්නිසාද: ස්වාමිනි, අපේ දැන්වීම විශ්වාසකළේ කවුදැයි යෙසායා කියයි. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද [ක්‍රිස්තුස්ගේ] වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.” (රෝම 10:16, 17) එහෙත්, දෙවිගේ සේවකයා පිළිබඳ ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල තැබුවේ පාවුල්ගේ දවසේ සිටි ස්වල්පදෙනෙකු පමණක් වීම කනගාටුවට කරුණකි. එසේ වීමට හේතුව කුමක්ද?

14, 15. මෙසියස් මෙලොවට බිහි වන්නේ කිනම් පවුල් පසුබිමකින්ද?

14 අනාවැකිය මීළඟට පළමුවන පදයේ සඳහන් ප්‍රශ්න ඇසීමට හේතුව ඉශ්‍රායෙල්වරුන්ට පැහැදිලි කරයි. එසේ කිරීමෙන් බොහෝදෙනෙකු මෙසියස්ව පිළි නොගැනීමට හේතුව පෙන්වා දෙයි. “මක්නිසාද [ඔහු] ළා පැලයක් මෙන්ද වියළි බිමින් මතුවෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි [හටගත්තේය. ඔහුට] රුවවත් ශෝභනකමවත් නැත; අප විසින් [ඔහු] දකින විට [ඔහු] කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත.” (යෙසායා 53:2) මෙසියස් මෙලොවට බිහි වන්නේ කිනම් පවුල් පසුබිමකින්ද යන්න අපි මෙහිදී දකින්නෙමු. ඔහු තම ජීවිතය අරඹන්නේ ඉතාම පහළ මට්ටමකිනි. නිරීක්ෂකයන් ඉදිරියේ ඔහු කිසි කමකට නැත්තෙකු මෙනි. ඔහු විශාල කඳක් සහිත ගසක වැඩෙන ළා පැළයක් හෝ අංකුරයක් මෙන්ද, ජලයෙහි පිහිට පතන, වියළි පොළොවේ ඇති මුලක් මෙන්ද වනු ඇත. ඔහු රාජශ්‍රීයෙන් රාජකීය වස්ත්‍ර හා බබළන ඔටුන්නක් පැළඳගෙන නොපැමිණෙනු ඇත. ඒ වෙනුවට ඔහු තම ජීවිතය අරඹන්නේ දුගී මෙන්ම චාම් පසුබිමකිනි.

15 මනුෂ්‍යයෙකු හැටියට යේසුස්ගේ යටහත් පහත් ආරම්භය එම කාරණය මගින් මොනවට පැහැදිලි කරයි. මරියා නමැති යුදෙව් කන්‍යාව බෙත්ලෙහෙම කියන කුඩා නගරයේ ගව මඩුවකදී ඔහුව බිහි කළාය. * (ලූක් 2:7; යොහන් 7:42) මරියා සහ ඇගේ පුරුෂයා වූ යෝසෙප් දිළිඳු අය වූහ. යේසුස් ඉපදී දින 40කට පසු ඔවුහු පාප පූජාව සඳහා දිළිඳු අයගෙන් අපේක්ෂා කළ හැටියට “කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු” ගෙනාවෝය. (ලූක් 2:24; ලෙවී කථාව 12:6-8) කාලයාගේ ඇවෑමෙන්, මරියා සහ යෝසෙප් නාසරෙත්හි පදිංචි වූහ. එහිදී යේසුස් යාන්තමින් ජීවිතය ගැටගසා ගත් විශාල පවුලක හැදී වැඩුණේය.—මතෙව් 13:55, 56.

16. යේසුස්ට කිසිම ‘රුවක් හෝ ශෝභනකමක්’ තිබුණේ නැතැයි කිව හැක්කේ කවර අන්දමකින්ද?

16 බැලූ බැල්මට යේසුස් උපත ලැබුවේ තමාට ගැළපෙන පවුල් පසුබිමක නොවේ. වෙනත් විදිහකින් පවසනවා නම්, එම අංකුරය වැඩුණේ සරු පසක නොවේ. (යොහන් 1:46; 7:41, 52) ඔහු පරිපූර්ණ මිනිසෙකු වුණත්, දාවිත් රජුගේ පෙළපතින් පැමිණියත්, ඔහුගේ නිරහංකාර ජීවිත ක්‍රමය තුළ කිසිම ‘රුවක් හෝ ශෝභනකමක්’ දකින්න තිබුණේ නැත. එහෙත්, මෙසියස් පැමිණෙන්නේ වඩා උසස් පසුබිමකින් කියා සිතූ අය කල්පනා කළේ එලෙසය. යුදෙව් ආගමික නායකයන්ගේ උසිගැන්වීම හේතුවෙන් ජනයාගෙන් බහුතරයක් ඔහුව නින්දාවටත් සුළු කිරීමටත් ලක් කළහ. අවසානයේදී, ඔවුහු දෙවිගේ පුත්‍රයා තුළ කිසිම හොඳක් නොදුටුවෝය.—මතෙව් 27:11-26.

‘මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබීය’

17. (අ) යෙසායා විස්තර කරන්න පටන්ගන්නේ කුමක්ද? ඔහු අතීත කාලයෙන් ලියන්නේ මන්ද? (ආ) යේසුස්ව “සුළුකොට එපාකරනු” ලැබුවේ කවුරුන් විසින්ද? ඔවුන් එය කළේ කෙසේද?

17 මනුෂ්‍යයන් මෙසියස්ව දකින්නේ සහ ඔහුට සලකන්නේ කෙසේද කියා විස්තර කිරීමට යෙසායා පටන්ගනී. ‘ඔහුව මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය; වේදනා ඇත්තාවූ දුක [අසනීප ගැන, NW] දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, ඔහු සුළු කරනු ලැබුවේය, අපිද ඔහු නොසැලකුවෙමුව.” (යෙසායා 53:3) මේ වචන ඉෂ්ට වන බවට ඒ තරම්ම සහතික බැවින්, යෙසායා මේ වචන දැනටමත් ඉෂ්ට වී ඇත්තාක් මෙන් අතීත කාලයෙන් ලියයි. යේසුස් ක්‍රිස්තුස්ව ඇත්තටම සුළු කොට එපා කරනු ලැබීද? ඔව්, එසේ කරනු ලැබීය. ආත්ම ධර්මිෂ්ඨ ආගමික නායකයන් සහ ඔවුන්ගේ එහෙයියන් ඔහුව සැලකුවේ මිහිපිට සිටින පහත්ම මනුෂ්‍යයා ලෙසයි. ඔවුන් ඔහුව හැඳින්වූයේ බදු අය කරන්නන්ගෙත් ගණිකාවන්ගෙත් මිතුරෙකු හැටියටයි. (ලූක් 7:34, 37-39) ඔවුහු ඔහුගේ මුහුණට කෙළ ගැසූහ. මිට මොළවා පහර දුන්හ. සරදම්ද කර ඔහුට කවටකම් කළෝය. (මතෙව් 26:67) සත්‍යතාවට සතුරුකම් කරන මිනිසුන්ගේ බලපෑම හේතුවෙන් යේසුස්ගේම ‘සෙනඟ ඔහුව පිළි නොගත්තෝය.’—යොහන් 1:10, 11.

18. යේසුස් කිසිදාක අසනීප නොවූවත්, ඔහු ‘වේදනා දැනෙන්නාවූ අසනීප ගැන දන්නාවූ මනුෂ්‍යයෙක්’ වූයේ කෙසේද?

18 යේසුස් පරිපූර්ණ මිනිසෙකු බැවින් ඔහු අසනීප වූයේ නැත. එහෙත් ඔහු ‘වේදනාව දැනෙන්නාවූ අසනීප ගැන දන්නාවූ මනුෂ්‍යයෙක්’ විය. ඔහු කිසිදා වේදනාවෙන් සහ අසනීපයෙන් නොපෙළුණත්, ස්වර්ගයේ සිට පැමිණියේ ලෙඩ රෝගවලින් ගහන වූ ලෝකයකටය. ඔහු ජීවත් වූයේ දුක් වේදනා විඳින මිනිසුන් අතරය. එනමුත්, ඔහු ශාරීරිකව හෝ ආත්මිකව අසනීප වූ අයව ඇසුරු කිරීමෙන් වැළකුණේ නැත. කරුණාවන්ත වෛද්‍යවරයෙකු හැටියට ඔහු තමන් වටා සිටි අයගේ දුක් වේදනා ගැන හොඳ හැටි ඉගෙනගත්තේය. මේ සියල්ලටම ඉහළින්, කිසිම මිනිස් වෙදෙකුට කළ නොහැකි දේ ඔහු කළේය.—ලූක් 5:27-32.

19. ‘සඟවනු ලැබුවේ’ කාගේ මුහුණද? යේසුස්ගේ සතුරන් ‘ඔහුව නොසලකා හැරිය’ බව පෙන්වූයේ කෙසේද?

19 එනමුත්, යේසුස්ගේ සතුරන් ඔහුව සැලකුවේ ලෙඩෙකු ලෙසය. මේ හේතුවෙන් ඔවුහු සැමවිටම ඔහුගෙන් ඈත් ව සිටීමට වගබලා ගත් අතර, ඔහුට හිමි ගෞරවය දීමට අසමත් වූහ. ඔවුන් ඔහුගේ මුහුණ ‘සැඟවීමට’ වෑයම් කළා මිස, යේසුස් තම මුහුණ අනිත් අයගෙන් සඟවා නොගත්තේය. ද නියූ ඉංග්ලිෂ් බයිබල් යෙසායා 53:3හි එම වාක්‍ය ඛණ්ඩය දක්වා තිබෙන්නේ “දුටු විගස අහක බලාගැනීමට පෙලඹෙන දෙයක්” කියාය. යේසුස්ගේ විරුද්ධකරුවන් ඔහුව කොතරම් පිළිකුල් කළාද කිවහොත් ඔවුහු අප්‍රසන්න දෙයක් හෙළා දකින්නාක් මෙන් ඔහුව පහත් කොට සැලකූහ. ඔවුන් ඔහුට සැලකුවේ වහලෙකුට සලකන්නාක් මෙනි. (නික්මයාම 21:32; මතෙව් 26:14-16) මිනිමරු බරබ්බස්ට තරම්වත් ගෞරවයක් ඔවුන් තුළ ඔහු කෙරෙහි නොවීය. (ලූක් 23:18-25) යේසුස්ව ඔවුන් කොයිතරම් පිළිකුල් කොට සැලකුවාද කියා ඔප්පු කරන්න මීටත් වඩා සාක්ෂි අවශ්‍යද?

20. අද දින සිටින යෙහෝවාගේ සෙනඟට යෙසායාගේ වචන සැනසිල්ලක් වන්නේ කෙසේද?

20 අද සිටින යෙහෝවාගේ සේවකයන්ට යෙසායාගේ වචනවලින් මහත් සැනසීමක් ලබාගත හැක. සමහර අවස්ථාවලදී විරුද්ධවාදීහු යෙහෝවාගේ ඇදහිලිවන්ත නමස්කාරකයන්ව ගණනකටවත් නොගෙන පිළිකුලට ලක් කරත්. කෙසේවෙතත්, යේසුස් හා සම්බන්ධයෙන් සැබෑ වූවාක් මෙන් වඩා වැදගත් දෙය වන්නේ යෙහෝවා අපව සලකන ආකාරයයි. මිනිසුන් ‘ඔහුව නොසලකා හැරියත්’ යෙහෝවාගේ ඇස් හමුවෙහි කිසිවිටෙකත් ඔහුගේ වටිනාකම අඩු වූයේ නැත!

තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය”

21, 22. (අ) මෙසියස් අනිත් අය වෙනුවෙන් ඉසුලුවේ කුමක්ද? (ආ) බොහෝදෙනෙකු මෙසියස්ව සැලකුවේ කෙසේද? ඔහුගේ දුක් අවසන් වූයේ කුමන ආකාරයෙන්ද?

21 මෙසියස්ට දුක් විඳ මැරෙන්න සිදු වූයේ මන්ද? යෙසායා මෙසේ පැහැදිලි කරයි. ‘සැබවින්ම ඔහු උසුලාගත්තේ අපේ දුක්ය [ලෙඩ දුක්ය, NW]; දරාගත්තේ අපේ ශෝකයය. එසේ වී නුමුත් ඔහු දඬුවමද [වසංගතයද, NW] දෙවිගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. නුමුත් ඔහු තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම ඔහු පිටට පැමුණුණේය; ඔහුගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළා වී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; යෙහෝවාද අප සියල්ලන්ගේ අයුතුකම ඔහු පිට තැබුවේය.’—යෙසායා 53:4-6.

22 මෙසියස් අනුන්ගේ අසනීප සහ වේදනාවන් දරාගත්තේය. ඔහු ඔවුන්ගේ බර තමන්ගේ කරපිටට ගෙන ඉසිලුවා හා සමානය. අසනීප සහ වේදනාව මිනිස්වර්ගයාගේ පව්කාර තත්වයේ ප්‍රතිඵලයක් නිසා මෙසියස් අන් අයගේ පාප උසුලාගත්තා කියාද කිව හැකිය. ඔහු දුක් විඳීමට හේතුව බොහෝදෙනෙකු වටහා නොගත් අතර, ඔවුන් සිතුවේ දෙවි ඔහුට දඬුවම් කරනවා නැත්නම් ඔහු පිළිකුල්සහගත වසංගතයකින් පහර ලැබ සිටිනවා කියායි. * මෙසියස්ගේ වේදනාවන් අවසන් වූයේ තුවාල ලැබීමෙන්, පොඩි කරනු ලැබීමෙන් සහ පහර කෑමෙන් වේදනා විඳි පසුවයි. මෙය ඇත්තෙන්ම සැහැසික මෙන්ම වේදනාසහගත මරණයක් අඟවයි. එහෙත් ඔහුගේ මරණයට සමාව දීමේ බලයක් තිබේ. පාපය නිසා අතරමංව සිටින්නන්ට දෙවි සමඟ යළි සාමය ඇති කරගැනීමට පදනම එමගින් සපයයි.

23. යේසුස් අනිත් අයගේ දුක් දැරුවේ කිනම් ආකාරයටද?

23 යේසුස් අන් අයගේ දුක් වේදනාවලට කරගැසුවේ කෙසේද? සුවිශේෂ ලේඛක මතෙව් යෙසායා 53:4 උපුටා දක්වමින් මෙසේ ලියයි. ‘යක්ෂාවේශ වූ බොහෝදෙනෙක් ඔහු වෙතට ගෙනෙන ලද්දෝය. ඔහු වචන මාත්‍රයකින් ආත්මයන් දුරු කළේය, රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළේය. මෙසේ වූයේ: ඔහුම අපේ දුර්වලකම් ගත්තේය, අපේ රෝග උසුලාගත්තේයැයි අනාගතවක්තෘ වූ යෙසායා කරණකොටගෙන කියන ලද කාරණාව සම්පූර්ණ වන පිණිසය.’ (මතෙව් 8:16, 17) විවිධාකාර ලෙඩ සුව කරගැනීමට පැමිණි අයව සුව කිරීමෙන් යේසුස් ඔවුන්ගේ වේදනාවන් තමන් මතට ගත්තේය. එසේ සුව කිරීමේදී ඔහුගේ ශක්තිය වැය විය. (ලූක් 8:43-48) සියලු ආකාර ශාරීරික මෙන්ම ආත්මික රෝග සුව කිරීමට ඔහුට තිබූ බලය, මිනිසුන්ව පාපයෙන් මුදාගැනීමට ඔහුට බලය ලැබී ඇති බවට සාක්ෂියක් විය.—මතෙව් 9:2-8.

24. (අ) යේසුස්ට දෙවි ‘වසංගතයකින්’ පහර දී ඇති බව බොහෝදෙනෙකු සිතුවේ මන්ද? (ආ) යේසුස් දුක් විඳ මැරුණේ මන්ද?

24 බොහෝදෙනෙකු සිතුවේ යේසුස්ට දෙවි විසින් ‘වසංගතයෙන්’ පහර දී ඇතැයි කියාය. මන්ද ඔහු දුක් වින්දේ ගරුතර ආගමික නායකයන්ගේ උසිගැන්වීම හේතුවෙනි. නමුත් ඔහු දුක් වින්දේ කිසිම ආකාරයකින් ඔහු තුළ තිබූ පාපයක් නිසා නොවන බව හොඳින් මතක තබාගන්න. පේතෘස් ඒ ගැන මෙසේ කීවේය. ‘ක්‍රිස්තුස් නුඹලා නිසා වධ විඳ, නුඹලා ඔහුගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියේය. ඔහු කිසි පාපයක් නොකළේය. ඔහුගේ මුඛයෙහි වංචාවක් සම්බ වුණෙත් නැත. අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, ඔහුම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලුවේය; ඔහුගේ තුවාලවලින් නුඹලා සුව කරනු ලැබුවහුය.’ (1 පේතෘස් 2:21, 22, 24) අපි සියලුදෙනාම යම් කාලයක “බැටළුවන් මෙන් මුළාව” ගොස් සිටියෙමු. (1 පේතෘස් 2:25) කෙසේවෙතත්, යෙහෝවා යේසුස් කරණකොටගෙන අපේ පව්කාර තත්වයෙන් අප මුදාගත්තේය. දෙවි අපේ පාප යේසුස් ‘පිට තැබුවේය.’ කිසිදු පාපයක් නොකළ යේසුස් අපේ පාපවලට දඬුවම ස්වකැමැත්තෙන්ම භාරගත්තේය. විඳිය නොයුතු වේදනාවක් විඳිමින් ඔහු වද කණුවක් මත නින්දිත මරණයකට මුහුණ දීමෙන්, අපට දෙවි සමඟ සමාදාන වීමේ මඟ විවෘත කර දුන්නේය.

‘ඔහුට පීඩා කළ විට යටත් වී සිටියේය’

25. මෙසියස් කැමැත්තෙන්ම දුක් විඳ මැරුණු බව අප දන්නේ කෙසේද?

25 දුක් විඳ මැරෙන්න මෙසියස් කැමති වුණාද? යෙසායා මෙසේ කියයි. “[ඔහුට] පීඩාකළ විට, [ඔහු] යටත්වී තමන්ගේ මුඛය නෑර [සිටියේය]; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද [ඔහු] තමන් මුඛය නෑර [සිටියේය].” (යෙසායා 53:7) යේසුස්ගේ ජීවිතයේ අවසාන රාත්‍රියේදී, අවශ්‍ය නම් යේසුස්ට “දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා” තමාගේ උපකාරයට එවන ලෙස ඉල්ලන්ට හැකියාව තිබුණි. නමුත් ඔහු පැවසුවේ, “එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ කොහොමදැයි” කියාය. (මතෙව් 26:53, 54) ‘දෙවිගේ බැටළු පැටියා’ ඊට කිසිම විරෝධතාවක් පෑවේ නැත. (යොහන් 1:29) උත්තම පූජකයන් සහ වැඩිමහල්ලන් පිලාත් ඉදිරියේ බොරු චෝදනා ඉදිරිපත් කරද්දී යේසුස් ‘එක වචනයකින්වත් උත්තර දුන්නේ නැත.’ (මතෙව් 27:11-14) ඔහු පිළිබඳ දේවකැමැත්තට කොයිම ආකාරයකින් හෝ බාධාවක් වන දෙයක් කීමට ඔහු අකමැති විය. කීකරු මනුෂ්‍යවර්ගයාව පාපයෙන්, අසනීපවලින් සහ මරණයෙන් ගළවාගැනීමට ඔහුගේ මරණයට හැකි බව හොඳින් දැන සිටි යේසුස්, පූජාවට යොදාගන්නා බැටළුවෙකු මෙන් මැරෙන්න කැමති විය.

26. යේසුස්ගේ විරුද්ධවාදීන් “බලහත්කාරකමෙන්” දේවල් කළේ කෙසේද?

26 යෙසායා දැන් මෙසියස් දුක් විඳීම සහ නින්දාවට පත්වීම සම්බන්ධයෙන් වැඩිමනත් විස්තර සපයයි. අනාගතවක්තෘවරයා මෙසේ ලියයි. ‘ඔහුව බලහත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහ කරනු ලැබුවේය. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් ඔහු සිඳදමනු ලැබුවේය. මන්ද ඔහුගේ පරම්පරාවෙහි [සුලමුල ගැන, NW] කල්පනා කරන්නේ කවරෙක්ද? ඔහුව තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය.’ (යෙසායා 53:8) අන්තිමට යේසුස්ගේ සතුරන් ඔහුව අල්ලාගත් විට, මේ ආගමික නායකයන් ක්‍රියා කළේ ‘බලහත්කාරකමෙන්ය.’ ඔවුන් තමන්ගේ වෛරය ප්‍රකාශ කළේ බලහත්කාර අන්දමින් යුක්තිය පෙරළීමෙනි. ග්‍රීක් සෙප්ටූඅජින්ට් යෙසායා 53:8හි, ‘බලහත්කාරය’ වෙනුවට “නින්දාව” යන වදන භාවිතා කරයි. යේසුස්ගේ සතුරන් ඔහුට නින්දා කළේ, සාමාන්‍යයෙන් අපරාධකාරයන්ට දිය යුතු සැලකිල්ලවත් නොදෙමිනි. යේසුස්ගේ නඩු විභාගය යුක්තිය පාච්චලයට ලක් කිරීමක් විය. ඒ කෙසේද?

27. යුදෙව් ආගමික නායකයන් යේසුස්ගේ නඩුව අසද්දී, ඔවුන් නොසලකා හළ නීති මොනවාද? ඔවුන් දෙවිගේ ව්‍යවස්ථාව උල්ලංගනය කළේ කෙසේද?

27 යේසුස්ව නැති කර දැමීමට අධිෂ්ඨාන කරගෙන සිටි යුදෙව් ආගමික නායකයෝ ඔවුන්ගේම නීති කඩ කළෝය. පරම්පරාගත නියෝගවලට අනුව මරණ දණ්ඩනය නියම කරන වරදකදී, සැන්හීඩ්‍රිනය විසින් නඩු ඇසීම සඳහා යොදාගත යුත්තේ දේවමාළිගා භූමියේ ඇති කැපූ ගලින් සාදන ලද ශාලාව මිස, උත්තම පූජකයාගේ මැදුර නොවේ. එමෙන්ම, එවැනි නඩුවක් පැවැත්විය යුතු වූයේ දවාලේ මිස හිරු බැස ගිය පසු නොවේ. එපමණක්ද නොව, මරණ දණ්ඩනය නියම වන නඩුවක වරදකරුගේ තීන්දුව දැනුම් දිය යුත්තේ නඩුව පැවැත්වූ දිනට පසු දිනයේදීය. තවදුරටත්, නඩු ඇසීම සබත් දවසකට හෝ මංගල්‍ය දවසකට පෙර දින සන්ධ්‍යාවේදී සිදු කළ නොහැකි විය. යේසුස්ගේ නඩුවේදී මේ සෑම නීතියක්ම ඔවුහු නොසලකා හැරියෝය. (මතෙව් 26:57-68) මේ සියල්ලටම වඩා නරක දෙය වූයේ නඩුව පැවැත්වූ ආකාරයෙන් මේ ආගමික නායකයන් දෙවිගේ ව්‍යවස්ථාව හිතාමතාම උල්ලංගනය කිරීමයි. උදාහරණයක් හැටියට ඔවුහු යේසුස්ව අල්ලාගැනීමට අල්ලසක් ගෙවූහ. (ද්විතීය කථාව 16:19; ලූක් 22:2-6) ඔවුහු බොරු සාක්ෂිකරුවන්ට කන් දුන්හ. (නික්මයාම 20:16; මාර්ක් 14:55, 56) එමෙන්ම, මිනිමරුවෙකුව නිදහස් කිරීමට කුමන්ත්‍රණය කිරීමෙන් ඔවුහු තමන් පිටත් ඔවුන්ගේ ජාතිය පිටත් ලේ වරද පමුණුවාගත්තෝය. (ගණන් කථාව 35:31-34; ද්විතීය කථාව 19:11-13; ලූක් 23:16-25) මේ හේතු නිසා, නිවැරදි, සාධාරණ හා අපක්ෂපාතී ‘විනිශ්චයක්’ එම නඩුව තුළ ක්‍රියාත්මක වූයේ නැත.

28. යේසුස්ගේ සතුරන් සැලකිල්ලට ගැනීමට අසමත් වූයේ කුමක්ද?

28 මෙම නඩුව අසන්නේ කාට විරුද්ධවද කියන කාරණය යේසුස්ගේ සතුරන් සොයා බලා තිබුණාද? යෙසායා ඒ හා සමානම ප්‍රශ්නයක් නඟයි. ‘ඔහුගේ පරම්පරාවෙහි [සුලමුල ගැන, NW] කල්පනා කරන්නේ කවරෙක්ද?’ ‘පරම්පරාව’ කියන වචනයෙන් කෙනෙකුගේ උපතට හෝ පැමිණෙන පසුබිමට යොමු දැක්විය හැකිය. යේසුස් සැන්හීඩ්‍රිනය ඉදිරියේ සිටියදී, එහි සාමාජිකයන් ඔහුගේ පසුබිම, එනම් පොරොන්දු වූ මෙසියස් පිළිබඳ අනාවැකි ඔහු තුළ ඉටු වී ඇති ආකාරය පිළිබඳව සැලකිල්ලට ගත්තේ නැත. ඒ වෙනුවට, ඔවුහු ඔහුව දේවද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසා මරණයට සුදුස්සෙකු බව තීන්දු කළහ. (මාර්ක් 14:64) පසුව, යේසුස්ව වද කණුවේ ඇණ ගැසීමට ඔවුහු රෝමානු ආණ්ඩුකාර පොන්තියුස් පිලාත්ව කැමති කරවාගත්තෝය. (ලූක් 23:13-25) මෙසේ, වයස අවුරුදු 33 1/2ක්ව සිටියදී යේසුස්ව “සිඳදමනු” ලැබීය.

29. යේසුස්ගේ මරණය හා තැන්පත් කිරීම “දුෂ්ටයන් අතරෙහි” සහ “වස්තුකාරයන් සමග” වූයේ කෙසේද?

29 යෙසායා මීළඟට ලියන්නේ මෙසියස්ගේ මරණය සහ තැන්පත් කිරීම සම්බන්ධවයි. “ඔව්හු [ඔහුගේ] මිනීවළ දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියමකළෝය, නුමුත් [ඔහුගේ] මරණයේදී එය වස්තුකාරයන් සමග විය; මක්නිසාද [ඔහු] අධර්මිෂ්ඨකමක් කළේවත් [ඔහුගේ] මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත.” (යෙසායා 53:9) යේසුස්ගේ මරණයේදී සහ තැන්පත් කිරීමේදී ඔහු දුෂ්ටයන් හා වස්තුකාරයන් සමඟ සිටියේ කෙසේද? පොදු යුගයේ 33 නීසාන් 14වැනිදා ඔහුව යෙරුසලමේ තාප්පයෙන් පිටතදී වද කණුවක එල්ලා මරා දමන ලදි. ඔහුව අපරාධකරුවන් දෙදෙනෙකු අතරේ එල්ලනු ලැබූ නිසා, ඔහුගේ මිනීවළ දුෂ්ටයන් අතරේ වූ බව පැවසිය හැක. (ලූක් 23:33) කෙසේවෙතත්, යේසුස් මැරුණු පසු, අරිමාතියේ සිටි ධනවතෙක් වූ යෝසෙප් හිත ධෛර්යය කරගෙන ගොස්, යේසුස්ගේ සිරුර වද කණුවෙන් බස්වා තැන්පත් කිරීමට පිලාත්ගෙන් අවසර ඉල්ලාගත්තේය. යෝසෙප් නිකොදේමුස් සමඟ එක් වී යේසුස්ගේ මළ සිරුර තැන්පත් කිරීම සඳහා සූදානම් කළ අතර, තමන්ට අයිති අලුතින් හාරන ලද ගුහාවක එය තැන්පත් කළේය. (මතෙව් 27:57-60; යොහන් 19:38-42) මෙසේ, යේසුස්ව තැන්පත් කරනු ලැබුවේ වස්තුකාරයන් අතරේය.

‘ඔහුව පොඩි කරන්න යෙහෝවා කැමතිව සිටියේය’

30. යේසුස්ව පොඩි කරනවාට යෙහෝවා කැමති වූයේ කිනම් අර්ථයෙන්ද?

30 මීළඟට යෙසායා පුදුමදනවන දෙයක් පවසයි. ‘ඔහුව පොඩි කරන්ට යෙහෝවා කැමතිව දුකට පත් කළේය. ඔබ ඔහුගේ ප්‍රාණය පාප-පූජාවක් කරන විට ඔහු තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩි කරන්නේය. යෙහෝවාගේ කැමැත්තද ඔහුගේ අතෙහි සඵල වන්නේය. ඔහු තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙන්නේය. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝදෙනෙකු ධර්මිෂ්ඨ කරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද ඔහුම දරාගන්නවා ඇත.’ (යෙසායා 53:10, 11) මේ ඇදහිලිවන්ත සේවකයාව පොඩි කරනවා යෙහෝවා බලා සිටින්නේ මොන හිතකින්ද? පැහැදිලිවම, තම ආදරණීය පුත්‍රයා පිට දුක් වේදනා ගෙනාවේ යෙහෝවා නොවේ. යේසුස්ට කළ දේවල් සම්බන්ධයෙන් ඔහුගේ සතුරන් පූර්ණ වගකීම දැරිය යුතුය. එහෙත් එවන් කුරිරු ආකාරයකට ක්‍රියා කිරීමට යෙහෝවා ඉඩහැර තිබුණි. (යොහන් 19:11) ඊට හේතුව කුමක්ද? අනුන්ගේ දුක තේරුම්ගත හැකි දයාබර කරුණාවේ දෙවිට තම අහිංසක පුත්‍රයාගේ වේදනාව දැනුණ බවට කිසිම සැකයක් නැත. (යෙසායා 63:9; ලූක් 1:77, 78) යේසුස් කොයිම ආකාරයකින්වත් යෙහෝවාගේ අප්‍රසාදයට ලක් වූයේ නැත. ඒ වෙනුවට, තම පුත්‍රයා දුක් විඳීමට කැමති වීම ගැන යෙහෝවා ප්‍රීති වූයේ, ප්‍රතිඵලයක් හැටියට එයින් ලැබෙන ආශීර්වාද නිසාය.

31. (අ) යෙහෝවා යේසුස්ගේ ජීවිතය “පාප-පූජාවක්” බවට පත් කළේ කෙසේද? (ආ) මිනිසෙකු හැටියට විඳින්න සිදු වූ සියල්ල විඳ හමාර වූ පසු, ඔහු විශේෂයෙන්ම සෑහීමට පත් වන්න ඇත්තේ කුමක් නිසාද?

31 මින් ලැබෙන එක් ආශීර්වාදයක් වන්නේ යෙහෝවා යේසුස්ගේ ශරීරය පාප පූජාවක් ලෙස තැකීමය. මේ හේතුව නිසා, යේසුස් නැවත ස්වර්ගයට ගිය විට, ඔහු යෙහෝවා ඉදිරියට ගියේ පාප පූජාවක් බවට පත් කරගත් තමන්ගේ මිනිස් ජීවිත පූජාවේ වටිනාකමද රැගෙනය. එවිට සියලු මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් එය පිළිගැනීමට යෙහෝවා කැමති විය. (හෙබ්‍රෙව් 9:24; 10:5-14) තම පාප පූජාව කරණකොටගෙන යේසුස් තමන්ට ‘වංශයක්’ ජනිත කරගත්තේය. “සදාකාල පියා” හැටියට, තමන් වැගිරූ රුධිරය කෙරෙහි ඇදහිල්ල පවත්වන අයට සදාකාල ජීවිතය දීමට ඔහුට හැකිය. (යෙසායා 9:6) මිනිසෙකු හැටියට විඳින්න සිදු වූ සියල්ල විඳ හමාර වූ පසු, මනුෂ්‍යවර්ගයාව පාපයෙන් සහ මරණයෙන් මුදාගැනීමේ හැකියාව තමන්ට ලැබී තිබෙන බව දැනගැනීමෙන් යේසුස් මොනතරම් සෑහීමට පත් වෙන්න ඇද්ද! තම පියාට නින්දා කරන ඔහුගේ ප්‍රධාන සතුරා වන සාතන් නමැති යක්ෂයාට පිළිතුරක් දීමට තම අඛණ්ඩතාව හේතුවක් වීම ගැන සිතද්දී එයින් ඔහු මොනතරම් සතුටු වෙන්න ඇද්ද!—හිතෝපදේශ 27:11.

32. යේසුස් ‘බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨ’ තත්වයකට ගෙන එන්නේ කුමන “දැනගැන්ම” කරණකොටගෙනද? මේ තත්වය ලබා දෙන්නේ කාටද?

32 යේසුස්ගේ මරණය හේතුවෙන් ලැබෙන තවත් ආශීර්වාදයක් වන්නේ, එයින් ‘බොහෝදෙනෙකුව ධර්මිෂ්ඨ’ තත්වයකට ගෙන ඒමයි. එසේ කරන්නේ, “ස්වකීය දැනගැන්ම කරණකොටගෙන” බව යෙසායා පවසයි. මෙහි කතා කරන්නේ මාංසවත් වී පොළොවට පැමිණ දෙවිට ඇති කීකරුකම නිසා අසාධාරණය විඳීම හේතුවෙන් ලද අවබෝධය ගැනයි. (හෙබ්‍රෙව් 4:15) මරණය දක්වාම දුක් විඳීමෙන්, අනිත් අයට ධර්මිෂ්ඨ තත්වයක් ලබාගැනීමට උපකාර කළ හැකි පූජාවක් ඔප්පු කිරීමට යේසුස්ට හැකි විය. මේ ධර්මිෂ්ඨ තත්වය ලබා දෙන්නේ කාටද? මුලින්ම ඔහුගේ ආලේප ලත් අනුගාමිකයන්ටයි. මොවුන් යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල දක්වන නිසා, ඔවුන්ව තමන්ගේ පුත්‍රයන් සහ යේසුස් සමඟ හවුල් උරුමක්කාරයන් කරගැනීමේ අදහසින් යෙහෝවා ඔවුන් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කරයි. (රෝම 5:19; 8:16, 17) ඉන්පසු, ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් “මහත් සමූහයක්” යේසුස් වැගිරූ රුධිරය කෙරෙහි තමන්ගේ ඇදහිල්ල දක්වා, දෙවිගේ මිතුරන් සහ අර්මගෙදොනෙන් ගැළවෙන්නන් ලෙස එම ධර්මිෂ්ඨ තත්වය භුක්ති විඳිනු ඇත.—එළිදරව් 7:9; 16:14, 16; යොහන් 10:16; යාකොබ් 2:23, 25.

33, 34. (අ) අප යෙහෝවා ගැන ඉගෙනගන්නාවූ හද උණුසුම් කරවන දෙය කුමක්ද? (ආ) මෙසියානු සේවකයා “කොටසක්” ලබන කල සිටින්න යන ‘බොහෝදෙනා’ කවුරුන්ද?

33 අවසානයේදී යෙසායා මෙසියස්ගේ ජයග්‍රහණය ගැන මෙසේ විස්තර කරයි. “එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි [ඔහුට] කොටසක් බෙදාදෙන්නෙමි, බලවන්තයන් සමගද [ඔහු] කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමග ගණන්ගනු ලැබ, [ඔහුම] බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද [ඔහු මැදහත්කාරකම් කරන්නේය].”යෙසායා 53:12.

34 යෙසායාගේ අනාවැකියේ මෙම කොටසේ අවසාන වචන කිහිපයෙහි යෙහෝවා පිළිබඳ හද උණුසුම් කරවන යමක් උගන්වයි. එය නම්, තමන්ට පක්ෂපාතව සිටින අය ඔහුට අනර්ඝය යන කාරණයයි. මෙසියානු සේවකයාට ‘බොහෝදෙනෙකු අතරෙහි කොටසක් බෙදා දීමට’ පොරොන්දු වීමෙන් මේ බව අඟවයි. පෙනෙන විදිහට මේ වචන යුද්ධයේ කොල්ලය බෙදාගන්නා සිරිතට සම්බන්ධය. පුරාණ කාලයේ සිටි ඇදහිලිවන්තයන් ‘බොහෝදෙනෙකුගේ’ පක්ෂපාතකම යෙහෝවා අගය කරයි. ඔවුන් අතර, නෝවා, ආබ්‍රහම් සහ යෝබ් වැනි අය සිටින අතර පැමිණෙන්නාවූ අලුත් පොළොවෙහි එවැනි අයට “කොටසක්” වෙන් කර තබා තිබේ. (හෙබ්‍රෙව් 11:13-16) ඒ හා සමානව, ඔහු තම මෙසියානු සේවකයාටද කොටසක් බෙදා දෙනු ඇත. ඇත්තවශයෙන්ම, යෙහෝවා යේසුස්ගේ අඛණ්ඩතාවට විපාක දෙන්නේය. එලෙසම යෙහෝවා ‘අපේ වැඩයද ඔහුගේ නාමයට පෙන්නූ ප්‍රේමයද අමතක’ නොකරන බවට අපටත් නිසැක විය හැක.—හෙබ්‍රෙව් 6:10.

35. යේසුස් කොල්ලය බෙදාගනු ලබන “බලවන්තයන්” කවුරුන්ද? කොල්ලය කුමක්ද?

35 දෙවිගේ සතුරන්ව පරාජය කරන නිසා දෙවිගේ සේවකයා කොල්ලයක්ද ලබාගන්නේය. ඔහු මේ කොල්ලය “බලවන්තයන්” සමඟ බෙදාගන්නේය. මෙහි සඳහන් “බලවන්තයන්” කවුද? ඔවුන් නම්, යේසුස් මෙන් ලෝකයෙන් ජයගත් ඔහුගේ මුල් ගෝලයන්ය. එනම්, ‘දෙවිගේ ඉශ්‍රායෙල්ට’ අයත් 1,44,000දෙනාය. (ගලාති 6:16; යොහන් 16:33; එළිදරව් 3:21; 14:1) එසේ නම් කොල්ලයෙන් නියෝජනය කරන්නේ කුමක්ද? තිබෙන සාක්ෂිවලට අනුව, සාතන්ගේ ලෝකයෙන් ඉවතට ඇද, ක්‍රිස්තියානි සභාවට යේසුස් ‘තෑගි වශයෙන් දී ඇති මනුෂ්‍යයන්’ ඊට අයත් වේ. (එපීස 4:8-12) “බලවන්තයන්” 1,44,000දෙනාට වෙනත් කොල්ලයකද කොටස් බෙදා දෙනු ඇත. ඔවුන් ලෝකයෙන් ජයගෙන තිබෙන නිසා, දෙවිට නින්දා කිරීමට සාතන් ගෙනෙන ඕනෑම චෝදනාවක් බොරුයයි ඔවුන් ඔප්පු කර ඇත. යෙහෝවා කෙරෙහි ඔවුන් තුළ ඇති නොබිඳෙන භක්තිය ඔහුව උසස් කරවන අතර, ඔහුගේ හදවතට ප්‍රීතියක් ගෙන දෙයි.

36. තමන් දෙවිගේ සේවකයා පිළිබඳ අනාවැකි ඉටු කරන බව යේසුස් දැන සිටියේද? විස්තර කරන්න.

36 තමන් දෙවිගේ සේවකයා පිළිබඳ අනාවැකි ඉටු කරන බවට යේසුස් දැන සිටියේය. ඔහුව අත්අඩංගුවට ගත් රාත්‍රියේදී, ඔහු යෙසායා 53:12හි ඇති වචන උපුටා දක්වමින් එය තමාටම අදාළ කරගත්තේය. “මක්නිසාද නුඹලාට කියමි—[ඔහු] අපරාධකාරයන් සමඟ ගණන්ගනු [ලැබුවේයයි] ලියා තිබෙන මේ දේ මා කෙරෙහි සම්පූර්ණවිය යුතුය; මක්නිසාද මා ගැන ලියා තිබෙන දේ සම්පූර්ණවන්නේය.” (ලූක් 22:36, 37) කනගාටුදායක ලෙස යේසුස්ව සැලකුවේ අපරාධකාරයෙකු හැටියටය. ඔහුව මරණයට පත් කළේ ව්‍යවස්ථාව කඩකරන්නෙකු ලෙසය. වද කණුවේ ඇණ ගැසුවේ සොරුන් දෙදෙනෙකු අතරෙහිය. (මාර්ක් 15:27) එහෙත්, මේ සියල්ල අප වෙනුවෙන් කළ යුතු බව හොඳ හැටි දැන සිටි නිසා, ඔහු කැමැත්තෙන්ම එම නින්දා අපහාස වින්දේය. ඔහු පව්කාරයන් වෙනුවෙන් දුඃඛිත මරණයක් විඳ ඔවුන්ව මුදාගත්තේය.

37. (අ) යේසුස්ගේ ජීවිතයත් මරණයත් පිළිබඳ මේ ඓතිහාසික වාර්තාව, කුමක් හඳුනාගැනීමට අපට උපකාර කරයිද? (ආ) අප යෙහෝවා දෙවිටත් ඔහුගේ උසස් කරන ලද සේවකයාටත් කෘතඥපූර්වක විය යුත්තේ මන්ද?

37 යේසුස්ගේ ජීවිතයත් මරණයත් පිළිබඳ මේ ඓතිහාසික වාර්තාව, යෙසායාගේ අනාවැකියේ එන මෙසියානු සේවකයා යේසුස් ක්‍රිස්තුස් බව සක්සුදක් සේ හඳුනාගැනීමට අපට උපකාර කරයි. අපව පාපයෙන් සහ මරණයෙන් මුදන පිණිස දුක් විඳ මරණයට පත්වීමට තම ආදරණීය පුත්‍රයාව සේවකයාගේ අනාවැකි කාර්යභාරය ඉටු කිරීම සඳහා එවීමට යෙහෝවා කැමති විය. අප මේ ගැන යෙහෝවාට මොනතරම් ස්තුතිපූර්වක විය යුතුද! මේ ආකාරයට යෙහෝවා පුදුමාකාර ප්‍රේමයක් පෙන්වා තිබේ. රෝම 5:8හි මෙසේ කියයි. “[දෙවි] අප කෙරෙහි ඇති [තමන්ගේ] ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට [ක්‍රිස්තුස්] මරණය විඳීමෙන්ය.” එමෙන්ම, මරණය දක්වා තමන්ගේ ජීවිතය කැමැත්තෙන්ම කැප කිරීම ගැන උසස් කරන ලද සේවකයා වන යේසුස් ක්‍රිස්තුස්ටත් අප මොනතරම් කෘතඥපූර්වක විය යුතුද!

[පාදසටහන්වල]

^ යෙසායා 52:13හි සඳහන් දෙය ගැන ජේ. එෆ්. ස්ටෙනිං විසින් පරිවර්තනය කරන ලද ජොනතන් බෙන් උසියෙල්ගේ (පො.යු. මුල් සියවසේ) ටාගම් නමැති කෘතියේ සඳහන් වන්නේ මෙසේයි. “බලන්න, මාගේ සේවකයා හෙවත් ආලේප ලත් තැනැත්තා (එනම්, මෙසියස්) සඵල වන හැටි!” ඒ හා සමානව, බබිලෝනීය තල්මුඩය (පො.යු. තුනේදී පමණ) මෙසේ කියයි. “මෙසියස්—ඔහුගේ නම කුමක්ද? රබ්බිවරුන් ඔහුව හඳුන්වන්නේ [රෝගී තැනැත්තා] ලෙසය. මන්ද ‘ඔහු උසුලාගත්තේ අපේ ලෙඩ දුක්ය’ කියා ලියා තිබේ.”—සැන්හීඩ්‍රින් 98b; යෙසායා 53:4.

^ අනාගතවක්තෘ වූ මීකා බෙත්ලෙහෙම විස්තර කරන්නේ ‘යූදාගේ දහස් ගණන් අතරෙහි කුඩාව සිටින’ නුවරක් හැටියටයි. (මීකා 5:2) බෙත්ලෙහෙම කුඩා නුවරක් වුණත් මෙසියස් ඉපදුන නුවර හැටියට එය විශිෂ්ට ගෞරවයකට පාත්‍ර විය.

^ “වසංගතය” යන්නට භාවිතා කරන හෙබ්‍රෙව් වචනය ලාදුරු රෝගය විස්තර කිරීම සඳහාද යොදාගැනේ. (2 රාජාවලිය 15:5) මෙසියස් ලාදුරු රෝගියෙකු විය හැකියැයි දැක්වීමට ඇතැම් යුදෙව්වන් යෙසායා 53:4 යොදාගත්තායයි සමහර විශාරදයෝ පවසති. බබිලෝනීය තල්මුඩය මේ පදය මෙසියස්ට අදාළ කරමින් ඔහුව “ලාදුරු රෝගයෙන් පෙළුණු විශාරදයා” ලෙස හඳුන්වයි. කතෝලික ඩුඒ වර්ෂන්හි මෙම පදය, ලතින් වල්ගේට්හි අදහස දක්වමින් මෙසේ කියයි. “අප සිතුවේ ඔහු ලාදුරු රෝගියෙකු කියාය.”

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[211වන පිටුවේ වගුව]

යෙහෝවාගේ සේවකයා

යේසුස් තම කාර්යය ඉටු කළ අයුරු

අනාවැකිය

සිද්ධිය

ඉටුවීම

යෙසා. 52:13

උතුම් වී උත්කෘෂ්ට වීම

ක්‍රියා 2:34-36; පිලි. 2:8-11; 1 පේතෘ. 3:22

යෙසා. 52:14

ඔහු ගැන වැරදි වැටහීමක් දීම සහ ඔහුගේ චරිතයට මඩ ගැසීම

මතෙ. 11:19; 27:39-44, 63, 64; යොහ. 8:48; 10:20

යෙසා. 52:15

බොහෝ ජාතීන්ව විස්මයට පත් කිරීම

මතෙ. 24:30; 2 තෙස. 1:6-10; එළි. 1:7

යෙසා. 53:1

ඔහුව විශ්වාස නොකිරීම

යොහ. 12:37, 38;

රෝම 10:11, 16, 17

යෙසා. 53:2

මිනිස් ජීවිතය දුගී මෙන්ම චාම් ආකාරයට ආරම්භ කිරීම

ලූක් 2:7; යොහ. 1:46

යෙසා. 53:3

සුළු කරන ලදුව එපා කරනු ලැබීම:

මතෙ. 26:67; ලූක් 23:18-25; යොහ. 1:10, 11

යෙසා. 53:4

අපේ ලෙඩ දුක් දරාගැනීම

මතෙ. 8:16, 17; ලූක් 8:43-48

යෙසා. 53:5

තුවාල කරනු ලැබීම

මතෙ. 27:49NW

යෙසා. 53:6

අන් අයගේ වැරදිවලට දුක් විඳීම

1 පේතෘ. 2:21-25

යෙසා. 53:7

චෝදනා කරන්නන් ඉදිරියේ නිශ්ශබ්දව මෙන්ම චෝදනා නොකර සිටීම

මතෙ. 27:11-14; මාක්. 14:60, 61; ක්‍රියා 8:32, 35

යෙසා. 53:8

අසාධාරණ නඩු විභාගයකට මුහුණ දී වරදකරුවෙකු ලෙස චෝදනා ලැබීම

මතෙ. 26:57-68; 27:1, 2, 11-26; යොහ. 18:12-14, 19-24, 28-40

යෙසා. 53:9

ධනවතුන් සමඟ භූමදානය කිරීම

මතෙ. 27:57-60; යොහ. 19:38-42

යෙසා. 53:10

ප්‍රාණය පාප පූජාවක් ලෙස ඔප්පු කිරීම

හෙබ්‍රෙ. 9:24; 10:5-14

යෙසා. 53:11

බොහෝදෙනෙකුට ධර්මිෂ්ඨ තත්වයට ඒමට මඟ පෑදීම

රෝම 5:18, 19; 1 පේතෘ. 2:24; එළි. 7:14

යෙසා. 53:12

පව්කාරයන් සමඟ ගණන්ගනු ලැබීම

මතෙ. 26:55, 56; 27:38; ලූක් 22:36, 37

[203වන පිටුවේ පින්තූරය]

‘ඔහුව මනුෂ්‍යයන් විසින් සුළු කරනු ලැබීය’

[206වන පිටුවේ පින්තූරය]

‘ඔහු තමන්ගේ මුඛය නෑර සිටියේය’

[හිමිකම් විස්තර]

තොරතුරු ලබාගත්තේ අන්තෝනියෝ චිසෙරිගේ “එක්කෙ හෝමො” අනුග්‍රහයෙනි

[211වන පිටුවේ පින්තූරය]

‘ඔහු තම ප්‍රාණය මරණයට වගුරුවා දුන්නේය’