Skip to content

පටුනට යන්න

යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’

යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’

හයවන පරිච්ඡේදය

යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’

යෙසායා 45:1-25

1, 2. යෙසායා 45වන පරිච්ඡේදයේ සපයන සහතිකයන් මොනවාද? අප සලකා බලනු ලබන ප්‍රශ්න මොනවාද?

 යෙහෝවාගේ පොරොන්දු විශ්වාසදායකයි. අනාගතය හෙළි කරන තැනැත්තා මෙන්ම මැවුම්කාර දෙවි වෙන කිසිවෙකු නොව ඔහුමය. තමා ධර්මිෂ්ඨ දෙවිකෙනෙකු බවත්, සියලු ජාතීන්ට අයත් ජනයාගේ ගැළවුම්කරු බවත් ඔහු අනන්ත අප්‍රමාණ වාරයක් ඔප්පු කර ඇත. මේවා, යෙසායා 45වන පරිච්ඡේදයේ ඇති හද උණුසුම් කරවන සහතිකයන් කිහිපයකි.

2 ඊට අමතරව, යෙසායා 45වන පරිච්ඡේදයේ, අනාවැකි පළ කිරීමට යෙහෝවා සතු හැකියාව පිළිබඳ විශිෂ්ට උදාහරණයක්ද අඩංගුය. දුර ඈත රට රාජ්‍යයන් දෙස ඇස් හෙළා, තව සියවස් ගණනාවකට පසුව සිදු වන සිදුවීම් සෝදිසි කර බැලීමට දෙවිගේ ආත්මය යෙසායාට උදව් කරයි. එපමණක්ද නොව සැබෑ අනාවැකි පවසන දෙවි වන යෙහෝවාට පමණක් එතරම්ම නිවැරදිව පුරෝකථනය කළ හැකි සිද්ධියක් විස්තර කිරීමටද ශුද්ධාත්මය ඔහුව පොලඹවයි. එම සිදුවීම කුමක්ද? යෙසායාගේ දවසේ සිටි දෙවිගේ සෙනඟට එය බලපාන්නේ කෙසේද? එහි අදට ඇති වැදගත්කම කුමක්ද? මේවාට පිළිතුරු සොයාගැනීමට, අනාගතවක්තෘවරයාට අපි දැන් ඇහුම්කන් දෙමු.

බබිලෝනියට විරුද්ධව යෙහෝවාගේ ප්‍රකාශය

3. කෝරෙෂ්ගේ ජයග්‍රහණය ගැන යෙසායා 45වන පරිච්ඡේදයේ පැහැදිලිව විස්තර කර ඇත්තේ කෙසේද?

3 “තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් රජවරුන්ගේ ඉඟටි ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලාගත්තාවූ [යෙහෝවා] ඔහුට මෙසේ [කියන්නේය]: මම නුඹට පෙරටුවෙන් ගොස් රළු තැන් සමතලාකොට, පිත්තල දොරවල් බිඳ දමා, යකඩ අගුල් කපාදමන්නෙමි. . . . අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.”—යෙසායා 45:1, 2, 3ආ.

4. (අ) යෙහෝවා කෝරෙෂ්ව තම “අභිෂේකලත් තැනැත්තා” ලෙස හඳුන්වන්නේ මන්ද? (ආ) යෙහෝවා කෝරෙෂ්ගේ ජයග්‍රහණය තහවුරු කරන්නේ කෙසේද?

4 යෙහෝවා යෙසායා තුළින් කෝරෙෂ්ට කතා කරන්නේ හරියට කෝරෙෂ් ඉපදී ජීවතුන් අතර සිටින්නාක් මෙනි. එහෙත්, ඒ වන විට කෝරෙෂ් ඉපදී සිටියේවත් ඉපදෙන බවට ලකුණු පෙනෙන්න තිබුණේවත් නැත. (රෝම 4:17) යෙහෝවා කෝරෙෂ්ව බොහෝ කාලයකට පෙර සිටම යම් විශේෂිත වැඩකට පත් කර තිබූ නිසා, කෝරෙෂ්ව දෙවිගේ “අභිෂේකලත් තැනැත්තා” ලෙස හැඳින්විය හැකියි. දෙවිගේ අනුදැනුම යටතේ ඔහු ජාතීන් යටත් කරන්නේය. රජවරුන් ඔහු ඉදිරියේ කර කියාගත නොහැකි තත්වයට පත් වන්නේය. ඔවුන්ට ඔහු ඉදිරියේ කිසිවක් කිරීමට ධෛර්යය නොතිබෙනු ඇත. පසුව, කෝරෙෂ් බබිලෝනිය ආක්‍රමණය කරන කල, යෙහෝවා ඔහු වෙනුවෙන් නුවර දොරටු ඇර තැබීමට වගබලා ගන්නේය. මෙය සිදු වන විට, එම දොරටුවල තත්වය කැඩී බිඳී ගිය දොරටුවල තත්වයට සමාන වනු ඇත. ඒවා අතර වෙනසක් නැත්තාක් මෙනි. යෙහෝවා කෝරෙෂ්ට පෙරටුව යමින් සියලු බාධක බිඳ දමනු ඇත. අන්තිමේදී, කෝරෙෂ්ගේ හමුදාවන් විසින් නුවර ඔවුන් යටතට ගෙන, එහි ‘රහස් තැන්වල ඇති නිධානද’ අඳුරු කුටිවල ගබඩා කර ඇති වස්තුද අත් කරගනු ලබන්නේය. යෙසායා පුරෝකථනය කරන්නේ එම සිද්ධීන් ගැනයි. ඔහුගේ එම වචන සැබෑ වුණාද?

5, 6. බබිලෝනියේ වැටීම පිළිබඳ අනාවැකිය සැබෑවක් වූයේ කෙසේද? කවදාද?

5 දැන් පො.යු.පෙ. 539යි. යෙසායා මේ අනාවැකිය කියා අවුරුදු 200ක් පමණ ගත වී ඇත. කෝරෙෂ්, නුවර ආක්‍රමණය කිරීමට බබිලෝනියේ පවුරු ළඟටම පැමිණ තිබේ. (යෙරෙමියා 51:11, 12) කෙසේවෙතත්, බබිලෝනියේ වැසියන් ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැත. ඔවුන් සිටින්නේ අපරාජිත නගරයක කියා ඔවුහු සිතති. අහස උසට නැඟුණු පවුරුවලින් හා පවුරු වටා ඇති යුප්‍රටීස් ගඟේ ජල කඳ පිරුණු ගැඹුරු අගල්වලින් නුවරේ ආරක්ෂිත වළල්ල සෑදී තිබිණි. අවුරුදු සියයකට වඩා වැඩි කාලයක් තිස්සේ කිසිම සතුරෙකු ක්ෂණිකව බබිලෝනිය අත් පත් කරගැනීම ගැන සිතාවත් නැත! ඇත්තෙන්ම කියනවා නම්, බබිලෝනිය පාලනය කරමින් සිටින බේල්ෂශර් රජ ඒ ගැන කොතරම් නිසැකව සිටීද කිවහොත්, මේ වන විට ඔහු සිටින්නේ තම මැති ඇමතිවරුන් සමඟ විශාල මංගල්‍යෝත්සවයක් පවත්වමිනි. (දානියෙල් 5:1) එදා රෑ, එනම් ඔක්තෝබර් 5වනදා හෝ 6වනදා රාත්‍රියේදී කෝරෙෂ් අතිවිශිෂ්ට ලෙස තවත් හමුදා මෙහෙයුමක් දියත් කරයි.

6 කෝරෙෂ්ගේ ඉන්ජිනේරුවෝ යුප්‍රටීස් ගඟ බබිලෝනිය කරා ළඟාවීමට පෙර එහි ජල කඳ නුවර දෙසට, එනම් දකුණට නොගලන පිණිස වෙනතකට හැරෙව්වෝය. නුවර වටාත් නුවර ඇතුළතත් ගැලූ ගඟේ ජල මට්ටම වැඩි වේලාවක් යන්නට මත්තෙන් පහළ බසිනවාත් සමඟම කෝරෙෂ්ගේ හේවායෝ මඩ සහිත ගංපතුල හරහා නුවර තුළටම ගමන් කළෝය. (යෙසායා 44:27; යෙරෙමියා 50:38) පුදුම විය යුතු කාරණය වන්නේ, යෙසායා පුරෝකථනය කළ ලෙස ගඟ අසල පිහිටි දොරවල් ඇර දමා තිබීමයි. කෝරෙෂ්ගේ හමුදා මී මැසි රංචුවක් මෙන් බබිලෝනියට වැදී මාළිගාව අල්ලාගෙන බේල්ෂශර්ව ඝාතනය කරති. (දානියෙල් 5:30) එක රැයකින් සියල්ල අවසන්ය. බබිලෝනිය බිඳ වැටේ. අනාවැකිය අකුරටම ඉෂ්ට වේ.

7. කෝරෙෂ් හා සම්බන්ධ යෙසායාගේ අනාවැකියේ විශිෂ්ට ඉටුවීම දෙස බැලීමේදී, ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය ශක්තිමත් වන්නේ කෙසේද?

7 මේ අනාවැකිය තිතටම ඉටුවීම අද සිටින ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල ශක්තිමත් කරවීමට හේතුවක් වන්නේය. තවමත් ඉටු නොවූ බයිබල් අනාවැකිද මුළුමනින්ම විශ්වාසදායක බව පිළිගැනීමට මෙය ඔවුන්ට ප්‍රබල හේතුවක් සපයයි. (2 පේතෘස් 1:19, 21) පොදු යුගයට පෙර 539දී බබිලෝනියේ වැටීමෙන් පූර්වාදර්ශනය කළේ, 1919දී සිදු වූ ‘මහා බබිලෝනියේ’ වැටීම බව යෙහෝවාගේ නමස්කාරකයෝ දනිති. වර්තමානයේ තිබෙන එම ආගමික සංවිධානය විනාශ කරන බවට හා සාතන්ගේ අණසක යටතේ ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රම ඉවත් කරන බවට දී තිබෙන පොරොන්දුවේ ඉටුවීම දෙසත්, සාතන්ව පාතාලයට යැවීම සහ පැමිණීමට නියමිත අලුත් අහස හා අලුත් පොළොව පිළිබඳ අනාවැකිවල ඉටුවීම දෙසත් ඔවුහු බලා සිටිති. (එළිදරව් 18:2, 21; 19:19-21; 20:1-3, 12, 13; 21:1-4) යෙහෝවාගේ අනාවැකි හිස් පොරොන්දු නොවන බවත් ඒවා තිරසාර ලෙස අනාගතයේදී ඉටු වන බවත් ඔවුහු දනිති. බබිලෝනියේ වැටීම පිළිබඳ යෙසායාගේ අනාවැකියේ අඩංගු සියලුම තොරතුරු එනම් සුළු සුළු දේවල් පවා ඉටු වී තිබෙන ආකාරය ගැන සිතා බලද්දී සැබෑ ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වේ. යෙහෝවා අනිවාර්යෙන්ම තම වචන ඉෂ්ට කරන බව ඔවුහු හොඳින්ම දනිති.

යෙහෝවා කෝරෙෂ්ට උදව් කළේ මන්ද?

8. යෙහෝවා බබිලෝනියට එරෙහිව කෝරෙෂ්ට ජය අත් කර දීමට එක් හේතුවක් වූයේ කුමක්ද?

8 බබිලෝනිය පරාජය කරන්නේ කවුරුන් විසින්ද, එය කරනු ලබන්නේ කෙසේද කියා විස්තර කළායින් පසු කෝරෙෂ්ට ජය අත් කර දීමට එක් හේතුවක් යෙහෝවා සඳහන් කරයි. යෙහෝවා අනාවැකිමය ආකාරයකින් කෝරෙෂ්ට කතා කරමින් ඊට හේතුව ලෙස පවසන්නේ, “නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ [යෙහෝවා] වන මම බව නුඹ දැනගන්න පිණිස” කියාය. (යෙසායා 45:3අ) බයිබල් ඉතිහාසයේ එන හතරවන ලෝක බලයේ අධිරාජ්‍යයා තමන්ගේ දැවැන්ත ජයග්‍රහණයට හේතු පාදකය වන්නේ ඔහුට වඩා ශ්‍රේෂ්ඨ තැනැත්තෙකු වන විශ්වයේ පරමාධිපති යෙහෝවා බව දැනගැනීම උචිතය. තමන්ව කැඳවාගත්තේ නැතහොත් තමන්ට පැවරුමක් භාර දුන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවි වූ යෙහෝවා බව කෝරෙෂ් පිළිගත යුතුය. බයිබල් වාර්තාවේ පෙන්වන ආකාරයට, තමන්ගේ දැවැන්ත ජයග්‍රහණය පිටුපස සිටියේ යෙහෝවා බව කෝරෙෂ් පිළිගත්තේය.—එස්රා 1:2, 3.

9. බබිලෝනිය පරාජය කිරීමට යෙහෝවා කෝරෙෂ්ව යොදාගැනීමට දෙවන හේතුව කුමක්ද?

9 බබිලෝනිය පරාජය කිරීමට තමන් කෝරෙෂ්ව යොදාගැනීමට දෙවන හේතුව යෙහෝවා මෙසේ විස්තර කරයි. “මාගේ මෙහෙකරුවූ යාකොබ් නිසාත් මා තෝරාගත් ඉශ්‍රායෙල් නිසාත් නුඹේ නම කියා කැඳවීමි. නුඹ මා නෑඳින්න නුමුත් නුඹට නමක් තැබීමි.” (යෙසායා 45:4) කෝරෙෂ්ගේ ජයග්‍රහණය ලොව කලඹවනසුලු එකක් විය. එම ජයග්‍රහණය එක් ලෝක බලයක වැටීමත් තවත් ලෝක බලයක නැඟීමත් සනිටුහන් කරනු ඇති අතර, එය ඉතිහාසයෙන් කිසිවිටකත් මැකී නොයනු ඇත. බබිලෝනිය අවට ජාතීහු එහි සිදු වන දේවල් දෙස මහත් ඕනෑකමින් බලා සිටියෝය. මේ සියල්ල සිදු වුණේ යාකොබ්ගෙන් පැවතෙන යුදෙව්වන් එනම්, බබිලෝනියේ සිටි ‘වැදගැම්මකට නැති’ වහලුන් කිහිපදෙනෙකු වෙනුවෙන් කියා දැනගත් විට ඔවුන් පුදුමයෙනුත් පුදුමයට පත් වූ බවට කිසිම සැකයක් නැත. එහෙත්, යෙහෝවාගේ ඇස් හමුයෙහි නම්, පුරාණ ඉශ්‍රායෙල් ජාතියට අයත් ගැළවීම ලබා සිටි මේ අය වැදගැම්මකට නැති අය වූයේ නැත. ඔවුන්ව ඔහු සැලකුවේ තම ‘මෙහෙකරුවා’ ලෙසිනි. පොළොවේ සියලුම ජාතීන් අතරින් ඔහු “තෝරාගත්” ජාතිය වූයේ ඔවුන්ය. කෝරෙෂ් කලින් යෙහෝවාව දැන සිටියේ නැති වුණත්, වහලුන්ව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ නුවර පෙරළා දමන්න යෙහෝවා ඔහුව යොදාගත්තේය. තමන් තෝරාගත් සෙනඟගේ ජීවිත විදේශ රටක සදාකාලයටම වැළලී යනවා දැකීම දෙවිගේ අරමුණ නොවේ.

10. බබිලෝනීය ලෝක බලය නිමාවකට ගෙන ඒම සඳහා යෙහෝවා කෝරෙෂ්ව යොදාගැනීමට පාදක වූ වැදගත්ම හේතුව කුමක්ද?

10 බබිලෝනිය පෙරළා දමන්න යෙහෝවා කෝරෙෂ්ව පාවිච්චි කළ තුන්වන සහ වැදගත්ම හේතුව කුමක් වීද? යෙහෝවා කියන දේ අසන්න. “මම [යෙහෝවාය], වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත. මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම [යෙහෝවාය], වෙන කෙනෙක් නැත.” (යෙසායා 45:5, 6) බබිලෝනීය ලෝක බලයේ ඇද වැටීම යෙහෝවාගේ දෙවිකම තහවුරු කිරීමකි. නමස්කාරය ලැබීමට වටින්නේ ඔහුම පමණයි යන කාරණයට හොඳ සාක්ෂියකි, මෙය. දෙවිගේ සෙනඟ ලැබූ මේ මිදීම, නැඟෙනහිර සහ බටහිර සිටි බොහෝ ජාතීන්ට යෙහෝවා යනු සැබෑ දෙවි බව පිළිගැනීමට හේතුවක් විය.—මලාකී 1:11.

11. බබිලෝනිය සම්බන්ධයෙන් වූ තම අරමුණු ඉෂ්ට කිරීමට තමන්ට බලය ඇති බව යෙහෝවා පෙන්වන්නේ කෙසේද?

11 යෙසායා මේ අනාවැකි ලිව්වේ ඉහත සිද්ධීන් සිදුවීමට අවුරුදු 200කට පමණ පෙර බව මතක තබාගන්න. එම සිද්ධීන් කියවන්නෙකුට ‘යෙහෝවාට මේ අනාවැකි ඉටු කරන්න ඇත්තටම බලයක් තියෙනවාද’ කියා හැඟුණා විය හැක. ඔහුට බලය තිබෙන බව ඓතිහාසික සාක්ෂිවලින් ඔප්පු වේ. තමා කියන දේ ඉෂ්ට කරන්න තමන්ට පුළුවන් කියන කාරණය විශ්වාස කිරීම සාධාරණ ඇයි කියා යෙහෝවා පැහැදිලි කරයි. “[මම] එළිය සාදන්නාවූ, අන්ධකාරය උපදවන්නාවූ, සමාදානය දෙන්නාවූ, විපත උපදවන්නාවූ [තැනැත්තා] වෙමි; මම මේ සියල්ල සිදු කරන [යෙහෝවාය].” (යෙසායා 45:7) අඳුර හා ආලෝකය ඇතුළු මැවිල්ලේ ඇති සියලුම දේත්, විපත හා සාමය ඇතුළු ඉතිහාසය පුරා සිදු වූ සියලු දේත් පවතින්නේ යෙහෝවාගේ බලය හේතුවෙනි. යෙහෝවා දහවලේදී ආලෝකයත් රාත්‍රියේදී අන්ධකාරයත් ඇති කරන්නා සේම ඉශ්‍රායෙල් කෙරෙහි සමාදානයත් බබිලෝනිය කෙරෙහි විපත්තියත් ගෙනෙනු ඇත. විශ්වය මවන්න යෙහෝවාට බලය ඇත්තාක් මෙන් තමන් පැවසූ අනාවැකි ඉටු කිරීමටද ඔහුට බලය තිබේ. එය, දෙවිගේ අනාවැකි ඉතා පරෙස්සමින් අධ්‍යයනය කරන වර්තමානයේ සිටින ක්‍රිස්තියානීන්ට මහත් සැනසිල්ලකි.

12. (අ) යෙහෝවා සංකේතවත් අහසෙන් සහ පොළොවෙන් නික්මවූයේ කුමක්ද? (ආ) අද සිටින ක්‍රිස්තියානීන්ට යෙසායා 45:8හි සපයා ඇති සැනසිලිදායක පොරොන්දුව කුමක්ද?

12 වහල්භාවයේ සිටින යුදෙව්වන් ඉදිරියේදී අද්දකින දේවල් නිදර්ශනය කිරීමට යෙසායා ස්වාභාවික මැවිල්ල තුළ සිදු වන සාමාන්‍ය සිදුවීම් යොදාගනියි. “එම්බා අහස, ඉහළින් පොද හෙළව, වලාකුල් ධර්මිෂ්ඨකම වගුරුවත්වා. ගැළවීම හටගන්න පිණිස පොළොව ඇරේවා, එකට වැවෙන පිණිස ධර්මිෂ්ඨකමද නැගී ඒවා; [යෙහෝවා] වන මම ඒක සැලැස්වීමි.” (යෙසායා 45:8) අහසින් වැටෙන වැසිවලින් පොළොවට ජීවයක් ලැබෙන්නා සේම, යෙහෝවා ස්වර්ගයේ සිට වගුරුවන ආශීර්වාදවලින් තම සෙනඟට යහපතක්ම සිදු වනු ඇත. ස්වාභාවික පොළොව ඇති තරම් ඵලදාව උපදවන්නා සේ, සංකේතවත් පොළොවද දෙවිගේ ධර්මිෂ්ඨ අරමුණට එකඟව කාරණා සිදුවීමට සලසනු ඇත. එම අරමුණ වන්නේ විශේෂයෙන්ම බබිලෝනියේ සිටින තම වහල් සෙනඟව ගළවාගැනීමයි. වර්ෂ 1919දී ඒ හා සමාන ආකාරයකට, යෙහෝවා තම සෙනඟව මුදාගැනීම සඳහා ‘අහසේ හා පොළොවේ’ සිද්ධීන් සිදු වෙන්න සැලැස්වීය. ඒ දේවල් දැකීම අද සිටින ක්‍රිස්තියානීන්ව ප්‍රීති උද්දාමයට පත් කරවයි. ඒ මන්ද? සංකේතවත් අහස වන දෙවිගේ රාජ්‍යය ධර්මිෂ්ඨ පොළොවකට ආශීර්වාද ගෙනෙන කාලය දෙස බලා සිටීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් වන නිසයි. පුරාණ බබිලෝනිය පෙරළා දමන විට අද්දැක්කාට වඩා විශාල පරිමාණයකින් ඉදිරි අනාගතයේදී සංකේතවත් අහසෙන් සහ පොළොවෙන් නික්මෙන ධර්මිෂ්ඨකම සහ ගැළවීම අද්දැකීමට හැකි වනු ඇත. යෙසායාගේ ඉහත සඳහන් අනාවැකිවල ඉටුවීමට මොනතරම් උදාර අවසානයක් තිබෙනු ඇද්ද!—2 පේතෘස් 3:13; එළිදරව් 21:1.

යෙහෝවාගේ පරමාධිපත්‍යය පිළිගන්නා අය ලබන ආශීර්වාද

13. යෙහෝවාගේ අරමුණුවලට මනුෂ්‍යයා විසින් අභියෝග කිරීම අඥානකමක් වන්නේ මන්ද?

13 අනාගතයේ ලැබීමට තිබෙන ප්‍රීතිමත් ආශීර්වාද ගැන කතා කළාට පසුව අනාවැකියේ ස්වරය හදිසියේම වෙනස් වේ. දැන් යෙසායා ශාප දෙකක් ගැන පවසමින් මෙසේ සඳහන් කරයි. “තමාගේ මැවුම්කාරයා හා සමග පොරට සිටින්නාට දුක්වේ! මැටි කැබිලිති අතරේවූ කැබිලිත්තක හැටි! නුඹ හදන්නේ මොකක්ද කියා මැටි ඒවා අඹන්නාට කියන්ටවත් නුඹ හැදූ දෙය විසින්: ඔහුට අත් නැතැයි කියන්ටවත් යුතුද? නුඹ ජාතකකරන්නේ මොකක්දැයි පියෙකුටවත් නුඹ බිහිකරන්නේ කුමක්දැයි ස්ත්‍රියෙකුටවත් කියන්නාට දුක්වේ.” (යෙසායා 45:9, 10) පෙනෙන විදිහට යෙහෝවා පවසන දෙයට ඉශ්‍රායෙල් පුත්‍රයෝ විරෝධය පාති. යෙහෝවා තම සෙනඟව වහල්භාවයට ගෙන යෑමට ඉඩහරින්නේ නැහැයි කියා ඔවුන් සමහරවිට සිතුවා විය හැක. එසේ නැතහොත්, දාවිත්ගේ වංශයෙන් එන රජෙකු මාර්ගයෙන් නොව නොදන්නා ජාතියක රජෙකු අතින් ඔවුන්ව ගැළවෙනවා යන අදහස ඔවුන්ව කෝපයට පත් කළා විය හැකිය. එවැනි විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීම ඉතා අඥාන දෙයක් බව පෙන්වීමට යෙසායා උපහැරණයක් යොදාගනී. විරුද්ධ වන අයව ඔහු සමාන කරන්නේ කුම්භකාරයාගේ ප්‍රඥාව ගැන අහංකාර ලෙස ප්‍රශ්න කරන අහක දමන මැටි ගුලි සහ මැටි බඳුනක මැටි කැබලිවලටය. තමාව සෑදූ කුම්භකාරයාට අතක් නැතැයි කියා මැටි බඳුනකට කිව හැකිද? එසේ කීම මොනතරම් මෝඩකමක්ද! විරුද්ධවාදීන් කටයුතු කරන්නේ හරියට තම දෙමාපියන්ගේ අධිකාරිය විවේචනයට ලක් කරන කුඩා දරුවන් සේය.

14, 15. ‘ශුද්ධ තැනැත්තා’ සහ “මැවුම්කාරයා” යන ප්‍රකාශවලින් යෙහෝවා ගැන හෙළි වන්නේ කුමක්ද?

14 එවැනි විරුද්ධවාදීන්ට යෙසායා තුළින් යෙහෝවා මෙසේ කියයි. “ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාද] ඔහුගේ මැවුම්කාරයාද වූ [යෙහෝවා] මෙසේ [කියන්නේය]: මතු පැමිණෙන දේ ගැන මාගෙන් අසන්න; මාගේ පුත්‍රයන් ගැනද මාගේ අතේ ක්‍රියාවල් ගැනද මට අණකරන්න. පොළොව සාදා ඊ පිට මනුෂ්‍යයා මැවුවේ මමය. මා විසින්, එසේය, මාගේ අත්වලින් අහස විදහනලද්දේය, මම එහි මුළු සේනාවට නියමකෙළෙමි. ඔහු අධර්මිෂ්ඨකමින් [ධර්මිෂ්ඨකමින්, NW ] නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල [යෙහෝවා කියන්නේය].යෙසායා 45:11-13.

15 තමාව ‘ශුද්ධ තැනැත්තා’ ලෙස විස්තර කිරීමෙන් යෙහෝවා තම පරිශුද්ධභාවය කාවද්දවයි. සියලු දේවල ‘මැවුම්කරු’ තමා බව පැවසීමේදී ඔහු කාවද්දවන්නේ, සැදුම්කරු වශයෙන් අනාගත සිදුවීම් හැසිරවීමට තමන්ට අයිතිය තිබෙන බවයි. අනාගතයේදී සිදු වන දේවල් ගැන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දැන්වීමටත් ඔහුගේ හස්ත කර්මාන්තය වන සෙනඟව බලාගැනීමටත් යෙහෝවාට හැකිය. මෙසේ යෙහෝවා නැවත වරක් තම මැවිල්ල වන මනුෂ්‍යයා සහ තම එළිදරව් කිරීම් අතර ඇති සම්බන්ධය තහවුරු කරයි. මුළු විශ්වයේම මැවුම්කරුවා හැටියට තමන්ට රිසි පරිදි කාරණා හැසිරවීමට ඔහුට අයිතිය තිබේ. (1 ලේකම් 29:11, 12) ඉශ්‍රායෙල්වරුන්ව බේරාගැනීම සඳහා තම සෙනඟට අමුත්තෙකු වන කෝරෙෂ්ව නැඟිටුවීමට පරමාධිපති පාලකයා තීරණය කරයි. කෝරෙෂ්ගේ පැමිණීම අනාගතයේදී සිදුවීමට නියමිත දෙයක් වුණත්, එහි ඉටුවීම ඉර හඳ වගේ විශ්වාසයි. තම පියාණන් වන ‘සේනාවල යෙහෝවාව’ විවේචනය කළ හැක්කේ ඉශ්‍රායෙල්හි සිටින මොන පුත්‍රයාටද?

16. යෙහෝවාගේ සේවකයන් ඔහුට යටත් විය යුත්තේ මන්ද?

16 දෙවිගේ සේවකයන් ඔහුට යටත් වී සිටිය යුතුවීමට තවත් හේතුවක් යෙසායා පොතෙහි මෙම පදවල අඩංගුය. ඔහු සෑමවිටම තීරණ ගන්නේ ඔහුගේ සේවකයන්ගේ අභිවෘද්ධිය තකායි. (යෝබ් 36:3) යෙහෝවා භෞතික නීති සෑදුවේ තම සෙනඟට ප්‍රයෝජනවත් වන ආකාරයකටය. (යෙසායා 48:17) කෝරෙෂ්ගේ කාලයේ සිටි යුදෙව්වන් අතරින් යෙහෝවාව පරමාධිපති ලෙස පිළිගත් අය මේ බව තේරුම්ගත්හ. කෝරෙෂ් යෙහෝවා මෙන් ධර්මිෂ්ඨ අන්දමින් ක්‍රියා කරමින් යුදෙව්වන්ව බබිලෝනියේ වහල්භාවයෙන් නිදහස් කර යෙරුසලමට පිටත් කර යැවීම නිසා දේවමාළිගාව යළි ගොඩනැඟීමේ ප්‍රස්තාව ඔවුන්ට උදා විය. (එස්රා 6:3-5) ඒ හා සමානව අදදිනත්, දෙවිගේ ව්‍යවස්ථාවට අනුව ජීවිත සකස් කරගෙන ඔහුගේ පරමාධිපත්‍යයට යටත් වන අයට ආශීර්වාද ලැබෙනු ඇත.—ගීතාවලිය 1:1-3; 19:7; 119:105; යොහන් 8:31, 32.

වෙනත් ජාතීන්ට ලැබෙන ආශීර්වාද

17. ඉශ්‍රායෙල්වරුන්ට අමතරව යෙහෝවා දෙන ගැළවීමෙන් ප්‍රයෝජන ලබන්නේ කවුරුන්ද? එමෙන්ම ඒ කෙසේද?

17 බබිලෝනියේ පරාජයෙන් ප්‍රයෝජන ලබන්නේ ඉශ්‍රායෙල් ජාතිය පමණක්ම නොවේ. යෙසායා මෙසේ කියයි. ‘යෙහෝවා කියන්නේ, මිසරයේ සම්පත්ද [කුලී නොගෙවූ කම්කරුවෝද, NW] කූෂ්හි ලාභයද [කූෂ්හි වෙළෙන්දෝද, NW] උස ඇති මනුෂ්‍යයෝ වූ ෂෙබාවරුද නුඹ වෙතට පැමිණ නුඹට අයිති වන්නෝය. ඔවුහු නුඹ පස්සේ එන්නෝය. ඔවුහු දම්වැල් සහිතව නුඹ වෙතට පැමිණ නුඹට වැඳ, සැබවින්ම නුඹ වෙත දෙවිව සිටින්නේය [දෙවි ඔබ සමඟය, NW], ඔහු ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැතැයි කියමින් නුඹට කන්නලව් කරන්නෝයයි කියන්නේය.’ (යෙසායා 45:14) මෝසෙස්ගේ කාලයේදී, ඉශ්‍රායෙල්වරුන් මිසරයෙන් නික්ම යද්දී ඉශ්‍රායෙල් නොවන විශාල “මිශ්‍ර සමූහයක්ද” ඔවුන්ට එකතු විය. (නික්මයාම 12:37, 38) ඊට සමාන ආකාරයකින්, බබිලෝනියේ සිට නැවත එන යුදෙව් වහලුන් අතරට විදේශිකයෝද එක් වෙති. මෙසේ කිරීම සඳහා විදේශිකයන්ට බල කරන්නේ නැති වුණත්, ඔවුහු කැමැත්තෙන්ම යුදෙව්වන් “පස්සේ” ගමන් කරති. ‘ඔවුහු නුඹට වැඳ කන්නලව් කරන්නෝය’ කියා යෙහෝවා කියන්නේ, එම විදේශිකයන් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දක්වන යටත්කම සහ පක්ෂපාතකම නිසාය. සිය කැමැත්තෙන්ම දම්වැල් ලාගෙන “දෙවි ඔබ සමඟය” කියමින් ඔවුන් පැමිණීමෙන් පිළිබිඹු වන්නේ, දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටින සෙනඟට සේවය කිරීමට ඔවුන් තුළ දැඩි කැමැත්තක් ඇති බවය. යුදෙව්වන්ට මෙන් ඔවුන්ටද යෙහෝවාට නමස්කාර කිරීමට හැකි වන්නේ, ඉශ්‍රායෙල් ජාතිය සමඟ දෙවි කර තිබෙන ගිවිසුම නිසාය.—යෙසායා 56:6.

18. යෙහෝවා ‘තම ඉශ්‍රායෙල්ව’ මුදවාගැනීම හේතුවෙන් ප්‍රයෝජන ලබා තිබෙන්නේ කවුරුන්ද? එමෙන්ම කිනම් ආකාරවලින්ද?

18 වර්ෂ 1919දී ‘දෙවිගේ ඉශ්‍රායෙල්ව’ ආත්මික වහල්භාවයෙන් මුදාගැනීමත් සමඟම කෝරෙෂ්ගේ දවසට වඩා පුළුල් ආකාරයකින් යෙසායාගේ වචන ඉෂ්ට විය. ලොව වටා සිටින දශලක්ෂ ගණන් ජනී ජනයා යෙහෝවාට සේවය කිරීමට දැඩි කැමැත්තක් පෙන්වති. (ගලාති 6:16; සෙකරියා 8:23) යෙසායා සඳහන් කරන ‘කම්කරුවන්’ සහ ‘වෙළෙන්දන්’ මෙන් ඔවුහුද සැබෑ නමස්කාරයේ අභිවෘද්ධිය තකා තම තමන්ගේ ශ්‍රමය සහ ධන සම්පත් කැමැත්තෙන්ම පූජා කරති. (මතෙව් 25:34-40; මාර්ක් 12:30) ඔවුහු තමන්ව දෙවිට කැප කර, ඔහුගේ මාවත්වල ගමන් කරමින් කැමැත්තෙන්ම දෙවිගේ දාසයන් බවට පත් වෙති. (ලූක් 9:23) ඔවුන් නමස්කාර කරන්නේ යෙහෝවාට පමණි. එමෙන්ම දෙවි සමඟ විශේෂ ගිවිසුමකින් බැඳී සිටින යෙහෝවාගේ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සමඟ ඇසුරු කිරීමෙන් ඔවුහු ප්‍රයෝජන ලබති. (මතෙව් 24:45-47; 26:28; හෙබ්‍රෙව් 8:8-13) ‘කම්කරුවෝ’ සහ ‘වෙළෙන්දෝ’ වන ඔවුහු එම විශේෂ ගිවිසුම යටතේ නොසිටියත්, එහි ප්‍රයෝජන භුක්ති විඳිති. ඊට අදාළ නීති රෙගුලාසිවලට කීකරු වෙමින් ඔවුහු අභීතව මෙසේ ප්‍රකාශ කරති. ‘ඔහු ඇර අන් දෙවිකෙනෙක් ඇත්තේම නැත.’ සැබෑ නමස්කාරයට කැමැත්තෙන්ම සහයෝගය දක්වන්නන්ගේ ගණන ඉහළ යෑම ඇස් දෙකින්ම දැකගැනීමට හැකිවීම මොනතරම් හද දනවන්නක්ද!—යෙසායා 60:22.

19. රූප නමස්කාරයෙහි ඇලී ගැලී සිටින අයට සිදු වන්නේ කුමක්ද?

19 විවිධ ජාතීන්ට අයත් මනුෂ්‍යයන් යෙහෝවාට නමස්කාර කිරීමට එක්කාසු වන බව දැන්වීමෙන් පසු අනාගතවක්තෘවරයා මෙසේ ප්‍රකාශ කරයි. “ගැළවුම්කාරවූ ඉශ්‍රායෙල්ගේ [දෙවියනි], සැබවින්ම ඔබ සැඟවෙන දෙවිකෙනෙක්ය.” (යෙසායා 45:15) යෙහෝවා අදදින තම බලය පෙන්වීමෙන් වැළකී සිටියත්, අනාගතයේදී එසේ සිටින්නේ නැත. තමා ඉශ්‍රායෙල්ගේ දෙවි හෙවත් තම සෙනඟගේ ගැළවුම්කරුවා බව ඔහු පෙන්වනු ඇත. නමුත් රූප කෙරෙහි විශ්වාසය තබන්නන්ව යෙහෝවා ගළවාගන්නේ නැත. එවැනි අය ගැන යෙසායා කියන්නේ මෙසේයි. “දේවරූප සාදන්නෝ සියල්ලෝම ලජ්ජාවී, නින්දාවට පත්ව, එක්ව වියවුල් බවට පැමිණෙන්නෝය.” (යෙසායා 45:16) ඔවුන් අද්දකින නින්දාව තාවකාලික අපකීර්තියකට හෝ ලජ්ජාවකට වඩා වැඩි යමක් වනු ඇත. එයින් අදහස් කරනු ඇත්තේ මරණයයි. එනම්, යෙහෝවා ඉශ්‍රායෙල්ට ඊළඟට පොරොන්දු වන දෙයට විරුද්ධ දෙයයි.

20. ඉශ්‍රායෙල්වරුන් ‘සදාකාල ගැළවීමක්’ අද්දකිනු ඇත්තේ කෙසේද?

20 ‘[යෙහෝවාට ඇලී සිටීමෙන්, NW] ඉශ්‍රායෙල්වරු සදාකාල ගැළවීමක් අද්දකින්නෝය. නුඹලා සදාකාලයටම ලජ්ජාවටවත් වියවුල් බවටවත් නොපැමිණ සිටිනවා ඇත.’ (යෙසායා 45:17) යෙහෝවා ඉශ්‍රායෙල්වරුන්ට සදාකාල ගැළවීමක් ලබා දෙන බව ප්‍රකාශ කළද, ඊට අදාළ කොන්දේසියකට ඔවුන් යටත් විය යුතුය. ඉශ්‍රායෙල්වරුන් ‘යෙහෝවාට ඇලී සිටිය’ යුතුයි. යේසුස් මෙසියස් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඉශ්‍රායෙල්වරුන් යෙහෝවා සමඟ තිබෙන සම්බන්ධය බිඳගනු ඇත. ඒ හේතුවෙන් “සදාකාල ගැළවීම” ලබාගැනීම සඳහා තිබෙන ප්‍රස්තාව ජාතියටම අහිමි වනු ඇත. කෙසේවෙතත්, ඉශ්‍රායෙල්හි සිටින සමහරුන් යේසුස් කෙරෙහි ඇදහිල්ල පවත්වනු ඇති අතර, මොවුන් දෙවිගේ ඉශ්‍රායෙල්ගේ න්‍යෂ්ටිය බවට පත් වනු ඇත. මෙලෙස ඔවුහු මාංසික ඉශ්‍රායෙල්ගේ තැන ගන්නෝය. (මතෙව් 21:43; ගලාති 3:28, 29; 1 පේතෘස් 2:9) ආත්මික ඉශ්‍රායෙල් කිසිමදාක ලජ්ජාවට පත් නොවනු ඇත. ඊට හේතුව වන්නේ, ඔවුන් ‘සදාකාල ගිවිසුමකට’ බැඳී සිටීමයි.—හෙබ්‍රෙව් 13:20.

මැවීමේදී වේවා අනාගතය හෙළි කිරීමේදී වේවා යෙහෝවා විශ්වසනීයය

21. මැවීම සම්බන්ධයෙන් ගත්තත් අනාගතය හෙළි කිරීම සම්බන්ධයෙන් ගත්තත් තමන් විශ්වසනීය බව යෙහෝවා පෙන්වන්නේ කෙසේද?

21 ඉශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙන සදාකාලික ගැළවීම පිළිබඳ පොරොන්දුව විශ්වාස කිරීමට යුදෙව්වන්ට හැකිද? යෙසායා මෙසේ උත්තර දෙයි. ‘ස්වර්ගයන් මැවුවාවූ, පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ, එය හිස්කමට නොමවා වාසය පිණිස එය සෑදුවාවූ දෙවි වන යෙහෝවා මෙසේ කියන්නේය. මම යෙහෝවාය, වෙන කෙනෙක් නැත. මා කතා කළේ රහසින් නොවේය. පොළොවේ අඳුරු තැනකදීත් නොවේය. නිකමට මා සොයන්නැයි යාකොබ්ගේ වංශයට නොකීවෙමි. යෙහෝවා වන මම ධර්මිෂ්ඨ දේ කියමි. යුතු දේ ප්‍රකාශ කරමි.’ (යෙසායා 45:18, 19) මේ පරිච්ඡේදය තුළ සිව්වැනි සහ අවසාන වතාවට යෙසායා මේ ආකාරයෙන් අනාවැකියේ ඇති බරපතළකම කාවද්දවයි. ඔහු අනාවැකිය දිගහරින්නේ මෙසේ කියමිනි. ‘යෙහෝවා මෙසේ කියන්නේය.’ (යෙසායා 45:1, 11, 14) යෙහෝවා පවසන්නේ කුමක්ද? මැවීම සම්බන්ධයෙන් වේවා අනාගතය හෙළි කිරීම සම්බන්ධයෙන් වේවා තමා විශ්වසනීයව කටයුතු කළ බවය. යෙහෝවා පොළොව මවා තිබෙන්නේ ‘හිස්ව පැවතීමට’ නොවේ. ඒ හා සමානව, තමන්ගේ සෙනඟ වන ඉශ්‍රායෙල්වරුන්ට තමාව සොයන්න කියන්නෙත් “නිකමට” නොවේ. පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ ඉටු කරන්නා සේම දෙවි තමන්ගේ තෝරාගත් සෙනඟ හා සම්බන්ධ තම අරමුණද ඉටු කරනු ඇත. යෙහෝවාගේ වචන බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්නන්ගේ අභූත කතා මෙන් නොවේ. දෙවිගේ වචන කාටත් ඇසෙන සේ ප්‍රසිද්ධියේ කී ඒවායි. ඔහු යුක්තිසහගත ලෙසත් සැබෑ ලෙසත් කතා කරයි. ඔහුට නමස්කාර කිරීම ගඟට ඉනි කැපීමක් නොවන්නේය.

22. (අ) බබිලෝනියේ සිටින යුදෙව්වන්ට ඇති සහතිකය කුමක්ද? (ආ) එමෙන්ම අද සිටින ක්‍රිස්තියානීන් නිසැකව සිටින්නේ කුමක් ගැනද?

22 එම වචනවලින්, පොරොන්දු දේශය දිගටම පාළුවට නොයන බවට බබිලෝනියේ සිටි දෙවිගේ වහල් සෙනඟට සහතිකයක් ලැබුණි. එය යළිත් ජනාවාස කෙරෙනු ඇත. යෙහෝවා ඔවුන්ට පොරොන්දු වන දේ සැබෑ වනු ඇත. මේ හා සමානව, මේ පොළොව ගින්නෙන් දැවී යයි කියා සමහරුන් විශ්වාස කළත්, න්‍යෂ්ටික බෝම්බයකින් හෝ වෙනත් ආකාරයකින් විනාශ වී පොළොව පාළු මුඩු බිමක් වේයයි සමහරුන් තුළ භයක් තිබුණත්, යෙසායාගේ වචන දන්නාවූ දෙවිගේ සෙනඟ පොළොව එවන් ඉරණමකට ගොදුරු නොවන බව සහතික ලෙස දනිති. දෙවි අරමුණු කළේ පොළොව සදාකාලයටම පැවතීමටය. එමෙන්ම චිත්තාකර්ෂණීය පාරාදීසමය පරිසරයක වසන ධර්මිෂ්ඨ මිනිසුන්ගෙන් පොළොව පිරවීමටද ඔහු අරමුණු කළේය. (ගීතාවලිය 37:11, 29; 115:16; මතෙව් 6:9, 10; එළිදරව් 21:3, 4) සැබවින්ම, ඉශ්‍රායෙල් ජාතිය අද්දුටු ආකාරයට යෙහෝවාගේ වචන විශ්වසනීය බව අනාගතයේදීද ඔප්පු වනු ඇත.

යෙහෝවා දයාව පෙන්වයි

23. පිළිම නමස්කාර කරන්නන්ගේ ඉරණම කුමක්ද? යෙහෝවාට නමස්කාර කරන්නන්ට ලැබෙන විපාකය කුමක්ද?

23 යෙහෝවා පවසන ඊළඟ වචනවලින් ඉශ්‍රායෙල්වරුන්ගේ ගැළවීම තවදුරටත් තහවුරු වේ. “ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත. ඒක දන්වා, ඉදිරියට ගෙනෙන්න; එසේය, ඔව්හු එක්ව මන්ත්‍රණයකෙරෙත්වා. මේක පුරාණයේ සිට ප්‍රකාශකළෙත් පූර්වයේ පටන් දැන්නුවෙත් කවුද? [යෙහෝවා] වන මම නොවෙම්ද? මා ඇර වෙන දෙවිකෙනෙක් නැත; මම ධර්මිෂ්ඨවූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය; වෙන කෙනෙක් නැත.” (යෙසායා 45:20, 21) යෙහෝවා ‘ගැළවුණු තැනැත්තන්ට’ කියන්නේ ඔවුන් ලද ගැළවීම පිළිම නමස්කාර කරන්නන්ට සිදු වූ දෙය සමඟ සසඳා බලන ලෙසයි. (ද්විතීය කථාව 30:3; යෙරෙමියා 29:14; 50:28) පිළිම නමස්කාරකයන් නමස්කාර කරන්නේ සහ යාතිකා කරන්නේ අප්‍රාණික දෙවිවරුන්ට නිසා ඔවුන් තුළ “දැනුම නැත.” එබැවින් ඔවුන්ව ගළවාගැනීමට රූපවලට නොහැකි බව ඔවුන්ට නොවැටහේ. ඔවුන්ගේ නමස්කාරය නිස්සාර වැඩකි. ගඟට ඉනි කැපීමකි. කෙසේවෙතත්, බබිලෝනියේ වහල්භාවයේ සිටි අයගේ ගැළවීම ඇතුළුව යෙහෝවා “පුරාණයේ සිට” කී දේවල් ඉෂ්ට කරන බව ඔහුට නමස්කාර කරන්නාවූ අය දනිති. යෙහෝවාව අනිත් සියලුම දෙවිවරුන්ගෙන් වෙන් කර දක්වන්නේ ඔහුට ඇති එම බලය සහ දූරදර්ශී බවයි. යෙහෝවා ‘ධර්මිෂ්ඨ දෙවිකෙනෙකු මෙන්ම ගැළවුම්කරුවෙකු’ කියන කාරණය නම් ස්ථිරයි.

‘අපේ දෙවිට ගැළවීම අයිතිය’

24, 25. (අ) යෙහෝවා ඉදිරිපත් කරන ආරාධනාව කුමක්ද? ඔහුගේ පොරොන්දුව ඉටු වන බවට සහතික විය හැක්කේ මන්ද? (ආ) යෙහෝවා සාධාරණ අයුරින් අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

24 යෙහෝවා මීළඟට කරන ආරාධනාව ඉදිරිපත් කරන්නේ ඔහු දයාවන්ත කෙනෙකු නිසයි. “පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම [දෙවිය], වෙන කෙනෙක් නැත. සියලු දණහිස් මට නැමෙනවා ඇත, සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය. [සම්පූර්ණ, NW] ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ [යෙහෝවා] තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ [ඔහු] වෙතට එන්නෝය, [ඔහු] කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය. මුළු ඉශ්‍රායෙල් වංශය [යෙහෝවා] තුළම ධර්මිෂ්ඨකරනු ලැබ පාරට්ටුකරගන්නවා ඇත.”—යෙසායා 45:22-25.

25 තමන් වෙතට හැරෙන සියලුදෙනාවම බබිලෝනියෙන් ගළවාගන්නා බවට යෙහෝවා ඉශ්‍රායෙලිතයන්ට පොරොන්දු වෙයි. එය ඉටු නොවෙයි කියා කොහෙත්ම සිතිය නොහැක්කේ, තම සෙනඟව ගළවාගැනීමට යෙහෝවාට හැකියාව තිබෙන නිසාත් ඔහු එය කිරීමට දැඩි ආශාවකින් සිටින නිසාත්ය. (යෙසායා 55:11) දෙවිගේ වචනවල ඇති විශ්වසනීයත්වය තව තවත් ස්ථිර වන්නේ ඒ ඒ අනාවැකි ඉටු කරනු ලබන බවට ඔහු විසින් කරන දිවුරුම නිසයි. (හෙබ්‍රෙව් 6:13) ඔහුගේ අනුග්‍රහය ලබන්න කැමති අය තමාට යටත් වනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි (“සියලු දණහිස් මට නැමෙනවා ඇත”). ඔහු එය ලැබීමටද වටී. එමෙන්ම ඔවුන් ඔහු හා වගකීමෙන්ද බැඳී සිටිය යුතුය (“සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත”). යෙහෝවාට නමස්කාර කිරීමෙහි දිගටම නියැලෙන ඉශ්‍රායෙල්වරුන්ව ගළවනු ඇත. එවිට, යෙහෝවා ඔවුන් වෙනුවෙන් කර ඇති දේවල් ගැන ඔවුන්ට උදම් ඇනිය හැක.—2 කොරින්ති 10:17.

26. තමා වෙත හැරෙන්නැයි කියන යෙහෝවාගේ ඇරයුමට සියලු ජාතීන්ට අයත් “මහත් සමූහය” ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

26 තමා වෙතට හැරීමට කරන ආරාධනය සීමා වෙන්නේ පුරාණ බබිලෝනියේ සිටි වහලුන්ට පමණක් නොවේ. (ක්‍රියා 14:14, 15; 15:19; 1 තිමෝති 2:3, 4) ඒ ආරාධනය තවමත් විවෘතව පවතී. මීට ප්‍රතිචාරය දක්වන ‘සියලු ජාතීන්ට අයත් මහත් සමූහයක්’ මෙසේ ප්‍රකාශ කරති. ‘දෙවිටත් බැටළුපැටවා වන යේසුස්ටත් ගැළවීම අයිතිය.’ (එළිදරව් 7:9, 10; 15:4) සෑම අවුරුද්දකම සියදහස් ගණන් නවකයන් දෙවි වෙතට හැරී, ඔහුගේ පරමාධිපත්‍යය මුළුමනින්ම පිළිගෙන තමන්ගේ අඛණ්ඩ පක්ෂපාතීත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් මහත් සමූහයේ මායිම් පුළුල් කරනු ලබයි. ඊට අමතරව, ඔවුහු පක්ෂපාතී ලෙස “ආබ්‍රහම්ගේ වංශය” වන ආත්මික ඉශ්‍රායෙල්වරුන්ට සහයෝගයද දෙති. (ගලාති 3:29) “නිසැකවම යෙහෝවා තුළ සම්පූර්ණ ධර්මිෂ්ඨකමත් බලයත් ඇත්තේය [NW]” * යන කාරණය ලොව පුරා ප්‍රචාරය කිරීම මගින් ඔවුහු යෙහෝවාගේ ධර්මිෂ්ඨ පාලනය කෙරෙහි ඇති තම ලැදියාවද ප්‍රකාශ කරති. සෙප්ටූඅජින්ට්හි දක්වා ඇති ආකාරයට ප්‍රේරිත පාවුල් රෝමවරුන්ට ලියූ තම ලිපියෙහි යෙසායා 45:23න් උපුටා දැක්වීය. ඔහු එය උපුටා දැක්වූයේ ජීවත් වන සැමෝම අවසානයේදී දෙවිගේ පරමාධිපත්‍යය පිළිගෙන ඔහුගේ නාමය දිගටම ප්‍රශංසාවට පත් කරන බව අවධාරණය කිරීමටය.—රෝම 14:11; පිලිප්පි 2:9-11; එළිදරව් 21:22-27.

27. අදදින සිටින ක්‍රිස්තියානීන්ට යෙහෝවාගේ පොරොන්දු කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තැබිය හැක්කේ මන්ද?

27 යෙහෝවා වෙත හැරීමෙන් ගැළවීම ලැබෙන බව මහත් සමූහයේ සාමාජිකයන් විශ්වාස කරන්නේ මන්ද? ඔවුන් එය විශ්වාස කරන්නේ, යෙසායා 45වන පරිච්ඡේදයේ ඇති අනාවැකි ඉතා පැහැදිලි ලෙස පෙන්වන පරිදි යෙහෝවාගේ පොරොන්දු විශ්වසනීයබවින් යුක්ත නිසාය. අහසත් පොළොවත් මැවීමට යෙහෝවාට බලයත් ප්‍රඥාවත් තිබුණා හා සමානව, තමන්ගේ අනාවැකි ඉටු කිරීමටත් ඔහුට බලය හා ප්‍රඥාව තිබේ. කෝරෙෂ් හා සම්බන්ධ අනාවැකිය ඉටුවීමට සැලැස්වූ ආකාරයටම දැනට ඉටු වී නැති බයිබල් අනාවැකිද ඔහු විසින් ඉටුවීමට සලස්වනු ඇත. එමනිසා, තමන් ‘ධර්මිෂ්ඨ දෙවිකෙනෙකු මෙන්ම ගැළවුම්කරුවෙකු’ බව යෙහෝවා ඉතා ඉක්මනින්ම නැවත වරක් ඔප්පු කරනු ඇති බවට ඔහුගේ නමස්කාරකයන්ට නිසැක විය හැකියි.

[පාදසටහන]

^ හෙබ්‍රෙව් පිටපතෙහි “ධර්මිෂ්ඨකම” යන වචනය බහු වචන ස්වරූපයෙන් තිබෙන නිසා නව ලෝක පරිවර්තනයෙහි එම වචනය යොදා ඇත්තේ “සම්පූර්ණ ධර්මිෂ්ඨකම” කියාය. එම වචනය බහු වචන ස්වරූපයෙන් යොදා ඇත්තේ යෙහෝවාගේ ධර්මිෂ්ඨකමේ අසමසම බව හුවා දැක්වීමටය.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[80, 81වන පිටුවේ පින්තූර]

ආලෝකයත් අන්ධකාරයත් ඇති කරන්නාවූ යෙහෝවාට සමාදානයත් විපත්තියත් ඇති කළ හැක

[83වන පිටුවේ පින්තූරය]

යෙහෝවා ආශීර්වාද කිරීම සඳහා ‘අහසත්’ ගැළවීම ලබා දීම සඳහා ‘පොළොවත්’ යොදාගනියි

[84වන පිටුවේ පින්තූරය]

අහක දමන මැටි කැබැල්ලක් තම මැවුම්කරුගේ ප්‍රඥාව ගැන ප්‍රශ්න කළ යුතුද?

[89වන පිටුවේ පින්තූරය]

යෙහෝවා පොළොව මැව්වේ හිස්ව පැවතීමට නොවේ