Skip to content

පටුනට යන්න

යෙහෝවා පවිත්‍ර නමස්කාරයට ආශීර්වාද කරයි

යෙහෝවා පවිත්‍ර නමස්කාරයට ආශීර්වාද කරයි

විසිහත්වන පරිච්ඡේදය

යෙහෝවා පවිත්‍ර නමස්කාරයට ආශීර්වාද කරයි

යෙසායා 66:1-14

1. යෙසායා පොතේ අවසාන පරිච්ඡේදයේ දක්වා ඇති තේමාවන් මොනවාද? පිළිතුරු දී ඇති ප්‍රශ්න මොනවාද?

 යෙසායා පොතේ අවසාන පරිච්ඡේදය එම පොතේ ඇති ප්‍රධාන තේමා කිහිපයක් ඒවායේ උච්චාවස්ථාවට ගෙනෙයි. වැදගත් ප්‍රශ්න ගණනාවකට උත්තරද සපයයි. යෙහෝවාගේ උතුම්කම, කුහකකම කෙරෙහි ඇති ද්වේෂය, දුෂ්ටයන්ට දඬුවම් කිරීමට තිබෙන අධිෂ්ඨානය සහ ඇදහිලිවන්තයන් කෙරෙහි ඇති ප්‍රේමය සහ සැලකිල්ල මේ විශේෂ තේමා අතර වේ. ඊට අමතරව, පහත සඳහන් ප්‍රශ්නවලට උත්තරද සපයයි. සැබෑ නමස්කාරයත් බොරු නමස්කාරයත් අතර ඇති වෙනස කුමක්ද? දෙවිගේ සෙනඟට විරුද්ධකම් පාන අතරේ සුදනන් මෙන් පෙනී සිටින කුහකයන්ගෙන් යෙහෝවා පළිගන්නා බවට අපට නිසැක විය හැක්කේ කෙසේද? තමන්ට දිගටම ඇදහිලිවන්තව සිටින අයට යෙහෝවා ආශීර්වාද කරන්නේ කෙසේද?

පවිත්‍ර නමස්කාරය සඳහා මඟ

2. යෙහෝවා තම උත්කෘෂ්ටභාවය ගැන ප්‍රකාශ කරන්නේ කුමක්ද? මේ ප්‍රකාශයෙන් නොඅඟවන්නේ කුමක්ද?

2 යෙහෝවාගේ උත්කෘෂ්ටභාවය කාවද්දමින් අනාවැකිය මෙසේ ඇරඹෙයි. ‘යෙහෝවා මෙසේ කියන්නේය. අහස [ස්වර්ගය, NW] මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?’ (යෙසායා 66:1) යෙහෝවා යුදෙව්වන්ව යළි මව්බිම කරා ගෙනා පසු, අනාගතවක්තෘවරයා ඔවුන්ව දේවමාළිගාව යළි ගොඩනැඟීමෙන් වළක්වාලීම සඳහා අධෛර්යයට පත් කිරීමේ අරමුණෙන් මේ වචන යොදාගන්නවායයි සමහරු විශ්වාස කරති. දේවමාළිගාව ගොඩනැඟීමට අණ කරන්නේ යෙහෝවාමයි. ඒ නිසා යෙසායා ඔවුන්ව අධෛර්යයට පත් කරමින් සිටියා කියා පැවසිය නොහැක. (එස්රා 1:1-6; යෙසායා 60:13; හග්ගයි 1:7, 8) එසේ නම්, මේ පදයෙහි අදහස කුමක්ද?

3. පොළොව යෙහෝවාගේ “පාපුටුව” කියා කීම උචිත වන්නේ මන්ද?

3 මුලින්ම, පොළොව යෙහෝවාගේ “පාපුටුව” කියා යෙහෝවා කියන්නේ මන්දැයි අප සලකා බැලිය යුතුයි. එය නිග්‍රහාත්මක කියමනක් නොවේ. විශ්වයේ තිබෙන කෝටි සංඛ්‍යාත ග්‍රහ වස්තූන් සමඟ සසඳද්දී පොළොවට තිබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. අපේ ග්‍රහ ලෝකය සදාකාලයටම අද්විතීය තැනක් වන බවට නිසැකය. මන්ද යෙහෝවාගේ ඒකජාතක පුත්‍රයා තම මිදීමේ මිලය ගෙවනු ලැබූ ස්ථානය මෙයයි. මෙසියානු රාජ්‍යය මගින් යෙහෝවා තම පරමාධිපත්‍යය නිදොස් කරන්න යන්නේද මෙහිදීමයි. එබැවින් පොළොව යෙහෝවාගේ පාපුටුවයයි කීම මොනතරම් උචිතද! රජෙක් තම සිංහාසනයේ හිඳගැනීම සඳහා පාපුටුව මත පය තබන අතර, පසුව තම දෙපා ඒ මත තබමින් පහසු ගනී.

4. (අ) මේ පොළොව මත තිබෙන කිසිම ගොඩනැඟිල්ලක් යෙහෝවා දෙවිගේ වාසයට සුදුසු නොවන්නේ මන්ද? (ආ) “මේ සියල්ල” කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවාට නමස්කාර කිරීම සම්බන්ධයෙන් අප එළඹිය යුතු නිගමනය කුමක්ද?

4 කිසිම රජෙකු තම පාපුටුව මත හිඳ නොගන්නාක් මෙන් යෙහෝවාද පෘථිවියෙහි වාසය කරන්නේ නැත. මන්ද, යෙහෝවාට විසීමට මුළු විශ්වය පවා ප්‍රමාණවත් නොවන බැවිනි! එබැවින් යෙහෝවාට විසීමට තරම් ප්‍රමාණවත් ගොඩනැඟිල්ලක් පොළොවේ සොයාගත හැකි වේද! (1 රාජාවලිය 8:27) යෙහෝවාගේ සිංහාසනයත් ඔහුගේ වාසස්ථානයත් තිබෙන්නේ ආත්ම විෂයෙහිය. එය යෙසායා 66:1හි පවසන ආකාරයට “ස්වර්ගය” වේ. ඊළඟ ඡේදය කාරණය පැහැදිලි කරයි. “මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 66:2අ) යෙහෝවා ඇඟිල්ල දිගු කර “මේ සියල්ල” නැතහොත් ස්වර්ගයේද පොළොවේද ඇති සියල්ල කියා පවසන ආකාරය සිතින් මවාගන්න. (යෙසායා 40:26; එළිදරව් 10:6) මුළු විශ්වයේම මැවුම්කාර දෙවි වන යෙහෝවාට, නිකම්ම ගොඩනැඟිල්ලක් කැප කරනවාට වඩා යමක් අවශ්‍යය. එනම්, ඔහුට පිටාතර නමස්කාරයට වඩා වැඩි යමක් අවශ්‍යය.

5. අප ‘බිඳුණු හා තැළුණු ආත්මයක්’ ඇති අය බව පෙන්වන්නේ කෙසේද?

5 විශ්වනීය පරමාධිපති අනුමත කරන නමස්කාරය කුමක්ද? ඒ ගැන ඔහුම පවසන දේ සලකා බලන්න. “යටහත්වූ [බිඳුණාවූ, NW], තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.” (යෙසායා 66:2ආ) එසේ නම්, සුදුසු හෘද ආකල්පයක් තිබීම පවිත්‍ර නමස්කාරය සඳහා අත්‍යවශ්‍ය දෙයකි. (එළිදරව් 4:11) යෙහෝවාට නමස්කාර කරන්නා ‘බිඳුණු හා තැළුණු ආත්මයක්’ ඇතුව සිටිය යුතුය. මෙයින් අදහස් කරන්නේ අප දුකින් සිටිනවාට යෙහෝවා කැමති බවද? නැත. “සන්තෝෂවත් දෙවි” හැටියට ඔහු තම නමස්කාරකයන්ගෙන් අපේක්ෂා කරන්නේද සන්තෝෂයෙන් ජීවත් වීමයි. (1 තිමෝති 1:11, NW; පිලිප්පි 4:4) කෙසේවෙතත්, අප සියලුදෙනාම බොහෝ වර පව් කරන අතර, අපි අපේ පව් ගැන සුළුවෙන් නොසිතිය යුත්තෙමු. අප ඒවා නිසා ‘බිඳුණු’ ආත්මයක් ඇත්තෙකු මෙන් විය යුතුය. අප යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති කඩ කිරීම ගැන දුක් විය යුතුය. (ගීතාවලිය 51:17) අවංකව පසුතැවිලි වීමෙන්, අපේ පව්කාර නැඹුරුවාවන්ට විරුද්ධව සටන් කිරීමෙන් සහ සමාව අයැද යෙහෝවාට යාච්ඤා කිරීමෙන් අපට ඇත්තේ “තැළුණු ආත්මයක්” බව පෙන්විය හැක.—ලූක් 11:4; 1 යොහන් 1:8-10.

6. සැබෑ නමස්කාරකයන් ‘දෙවිගේ වචනයට වෙවුලිය’ යුත්තේ කිනම් අර්ථයෙන්ද?

6 ඊට අමතරව, යෙහෝවා තම “වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා” දෙසද බලන්නේය. මෙයින් අදහස් කරන්නේ, අප දිව්‍ය ප්‍රකාශයක් කියවූ සැණින් ඔහුට භයෙන් වෙවුලිය යුතු බවද? නැත. ඔහු කැමති වන්නේ ඔහු පවසන දේ අප විසින් ගරු බියෙන් යුතුව සලකනවා දැකීමටයි. අප අපේ ජීවිතයේ සෑම කාරණයකදීම අවංකවම ඔහුගේ මඟ පෙන්වීම් සොයා බැලිය යුතුය. (ගීතාවලිය 119:105) දෙවිට අකීකරු වීම, මිනිසුන්ගේ පරම්පරාගත නියෝග නිසා දෙවිගේ සත්‍යය දූෂ්‍ය කිරීම හෝ එය සැහැල්ලුවට ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් සිතද්දී නම් අප ‘වෙවුලිය’ යුතුය. පවිත්‍ර නමස්කාරය සඳහා එවැනි යටහත් පහත් ආකල්පයක් නැතුවම බැරිය. එහෙත්, වත්මන් ලෝකයේ එම ආකල්පය දුර්ලභ යමක් වීම කනගාටුවට කරුණකි.

යෙහෝවා කුහක නමස්කාරයට ද්වේෂ කරයි

7, 8. ආගමික කුහකයන්ගේ නමස්කාරය යෙහෝවා සැලකුවේ කෙසේද?

7 යෙසායා තම සෙනඟට මේ වචන පවසන විට, යෙහෝවා තම නමස්කාරකයන්ගෙන් අපේක්ෂා කරන ගතිගුණ බොහෝදෙනෙකු ළඟ නැති බව ඔහු වටහාගනී. මේ හේතුව නිසා, ඇදහිල්ල අත්හළ යෙරුසලම ළඟදීම පැමිණීමට නියමිත විනිශ්චය ලැබීමට වටී. ඇගේ නමස්කාර පිළිවෙත් යෙහෝවා සලකන ආකාරය ගැන කල්පනා කර බලන්න. “ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.”—යෙසායා 66:3.

8 මේ වචන, යෙසායා පළමුවන පරිච්ඡේදයේ වාර්තා වී ඇති වචනවලට සමානය. එම වාර්තාවේ යෙහෝවා තම හිතුවක්කාර සෙනඟට පවසා තිබෙන්නේ, ඔවුන්ගේ නමස්කාරය කුහක එකක් නිසා, ඔවුන්ගේ නමස්කාර චාරිත්‍ර විධි ඔහුව සතුටු කරනවා වෙනුවට, ඔහුගේ ධර්මිෂ්ඨ කෝපය අවුළුවන බවයි. (යෙසායා 1:11-17) ඒ හා සමානව, යෙහෝවා නැවත වරක් ඔවුන්ගේ පුදපූජා සලකන්නේ පාපිෂ්ඨ අපරාධ හැටියටය. ගවයෙකු මරා මිල අධික පූජාවක් කිරීමේත් මිනිසෙකුව මැරීමේත් අතර වෙනසක් යෙහෝවාට මොවුන් තුළ පෙනෙන්නේ නැත! අනිකුත් පුදපූජා බල්ලෙකුව නැතහොත් ඌරෙකුව පූජා කිරීමකට ඔහු සමාන කරයි. ඒ සතුන් මෝසෙස්ට දුන් ව්‍යවස්ථාවේ හැටියට පිළිකුල් සතුන්ය. උන් පූජාවන් සඳහා කොහෙත්ම සුදුසු නැත. (ලෙවී කථාව 11:7, 27) යෙහෝවා එවන් ආගමික කුහකකමකට දඬුවම් නොදී හරියිද?

9. යෙහෝවා යෙසායා තුළින් කළ මතක් කිරීම්වලට යුදෙව්වන් බොහෝදෙනෙකු ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? වැළැක්විය නොහැකි ප්‍රතිඵලය කුමක් වනු ඇද්ද?

9 යෙහෝවා දැන් මෙසේ කියයි. “මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමති නැති දේ තෝරාගත්තෝය.” (යෙසායා 66:4) යෙසායාට මේ වචන හෘදයාංගමව පැවසීමට හැකි වූ බවට කිසිම සැකයක් නැත. අවුරුදු ගණනාවක් පුරා ඔහු යූදා වැසියන්ට යෙහෝවා වෙනුවෙන් ‘අඬගසමින්’ හා ‘කතා කරමින්’ යෙහෝවාගේ නියෝජිතයා සේ ක්‍රියා කළේය. එහෙත් බහුතරයක් ඇහුම්කන් නොදුන් බව අනාගතවක්තෘවරයා හොඳ හැටි දනී. ඔවුන් දිගටම නපුරෙහි නියැලී සිටි නිසා දඬුවමෙන් පැන යෑමට ඔවුන්ට හැකිකමක් නැත. එම දඬුවම තෝරාගන්නේ යෙහෝවා විසින්මයි. එබැවින් ඔහුව අත්හැර ගිය සෙනඟට එමගින් තැතිගන්වනසුලු විපාකයන් ගෙන එයි.

10. යෙහෝවා යූදා සමඟ කටයුතු කළ ආකාරයෙන් ඔහු ක්‍රිස්තියානි ලෝකය ගැන දරන ආකල්පය පිළිබඳව කියාපාන්නේ කුමක්ද?

10 වර්තමාන ක්‍රිස්තියානි ලෝකයද යෙහෝවාව අසතුටු කරවන ආකාරයේ චාරිත්‍රවල යෙදී ඇත. ඇගේ පල්ලිවල රූප නමස්කාරය වැජඹේ. දේශනා කූඩුවලින් එළි දකින්නේ බයිබලයට පටහැනි දර්ශනවාදයන් සහ පරම්පරාගත ඉගැන්වීම්ය. දේශපාලන බල තණ්හාව නිසා ලෝකයේ ජාතීන් සමඟ ඈ ආත්මික වේශ්‍යාකමේ අන්තයටම ගිලී සිටින්නීය. (මාර්ක් 7:13; එළිදරව් 18:4, 5, 9) පුරාණ යෙරුසලමට මෙන් ක්‍රිස්තියානි ලෝකයටද අනිවාර්යයෙන්ම ලැබිය යුතු ‘බියකරු’ දඬුවමින් ගැළවිය නොහැකි වනු ඇත. ඇගේ දඬුවමට තවත් හේතුවක් වන්නේ ඇය දෙවිගේ සෙනඟට සැලකූ කුරිරු ආකාරයයි.

11. (අ) යෙසායාගේ දවසේ සිටි ඇදහිල්ල හැර ගිය අයගේ පාපය තව තවත් බරපතළ කළේ කුමක්ද? (ආ) ‘දෙවිගේ නාමය නිසා’ යෙසායාගේ රටවැසියන් ඇදහිලිවන්තයන්ව හෙළා දුටුවේ කිනම් අර්ථයෙන්ද?

11 යෙසායා තවදුරටත් මෙසේ කියන්නේය. ‘යෙහෝවාගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, ඔහුගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛර වී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: යෙහෝවාට ගෞරව වේවායයි කියති. එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.’ (යෙසායා 66:5) යෙසායාගේ “සහෝදරයෝ” නැතහොත් ඔහුගේම රටවැසියෝ, යෙහෝවා දෙවිව නියෝජනය කිරීමට හා ඔහුගේ පරමාධිපත්‍යයට යටත් වීමට දෙවිගෙන් තමන් ලද වගකීම ඉටු කිරීමට බැඳී සිටිති. එසේ කිරීමට අසමත් වීමේ පාපය සියල්ලටම වඩා බරපතළය. එහෙත් ඔවුන්ගේ පාපය තව තවත් බරපතළ කරන්නේ ඔවුන් යෙසායා වැනි ඇදහිලිවන්ත මෙන්ම යටහත් පහත් මිනිසුන්ට වෛර කිරීමයි. මේ ඇදහිල්ලෙන් වැටී ගිය සෙනඟ ඇදහිලිවන්තයන්ට වෛර කර ඔවුන්ව හෙළා දකින්නේ මොවුන් යෙහෝවා දෙවිව නියම ආකාරයෙන් නියෝජනය කරන නිසාය. ඒ අර්ථයෙන් ගත් කල ඔවුන් තම සහෝදරයන්ව හෙළා දකින්නේ ‘දෙවිගේ නාමය නිසාය.’ ඇතැම් අවස්ථාවලදී මේ කුහක සෙනඟ යෙහෝවාව නියෝජනය කරන බව කියමින් සැදැහැවත් ලීලාවෙන් හා බැතිමත් රාවයෙන් ‘යෙහෝවාට ගෞරව වේවා!’ කියා පවසති. *

12. ආගමික කුහකයන් යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන්ට ගෙනා පීඩා සමහරක් මොනවාද?

12 පවිත්‍ර නමස්කාරයේ යෙදෙන්නන් කෙරෙහි බොරු ආගම දක්වා ඇති වෛරය අද ඊයේ ඇරඹුණක් නොවේ. එය උත්පත්ති 3:15හි ඇති අනාවැකියේ වැඩිමනත් ඉටුවීමකි. එහි සාතන්ගේ වංශය සහ දෙවිගේ ස්ත්‍රියගේ වංශය අතර පවතින නිරන්තර එදිරිවාදිකම ගැන පුරෝකථනය කර ඇත. තම රටවැසියන්ගේ පීඩාවලට ඔවුන් ලක් වන බව මුල් සියවසේ සිටි තම ආලේප ලත් අනුගාමිකයන්ට යේසුස් කියා සිටියේය. ඔවුන්ව සිනගෝගයෙන් පන්නා දමා මරණය තෙක්ම පීඩා කරන බව ඔහු ඔවුන්ට පැවසුවේය. (යොහන් 16:2) වර්තමාන කාලය ගැන කුමක් කිව හැකිද? “අන්තිම දවස්වල” ආරම්භයේදී, තමන් ඉදිරියේ තිබෙන ඒ හා සමාන පීඩාවන් දෙවිගේ සෙනඟ විසින් තේරුම්ගනු ලැබීය. (2 තිමෝති 3:1) වර්ෂ 1914දී, ද වොච් ටවර් සඟරාව යෙසායා 66:5 උපුටා දක්වමින් කියා සිටියේ, “දෙවිගේ සෙනඟට පැමිණ තිබෙන සෑම පීඩාවක්ම වාගේ පැමිණ තිබෙන්නේ ක්‍රිස්තියානීන්යයි කියාගන්නා අයගෙනි” කියායි. එම ලිපියේම තවදුරටත් කියා තිබුණේ මෙසේය. “ඔවුන් අපේ කාලයේදී පීඩා කිරීමෙහි අන්තයටම යෑමට ඉඩ ඇත. ඔවුන් අපව සමාජයෙන් කොන් කර, දෙවිගේ සංවිධානය ව්‍යාකූල කිරීමට වෑයම් කර, සමහරවිට ඇත්තටම අපව මරා දැමීමටද ඉඩ තිබේ.” එම වචන මොනතරම් සැබෑවක් වීද! එය ප්‍රකාශයට පත් කර වැඩි කල් යන්න මත්තෙන්, Iවන ලෝක මහා යුද්ධ සමයේදී, පූජකයන් විසින් උසිගන්වන ලද පීඩා එහි උච්චම අවස්ථාවට පැමිණියේය. එහෙත්, පුරෝකථනය කර තිබූ ආකාරයටම ක්‍රිස්තියානි ලෝකය ලජ්ජාවට පත් විය. ඒ කෙසේද?

වේගවත් මෙන්ම ක්ෂණික යළි පිහිටුවීමක්

13. මුල් ඉටුවීමේදී, ‘නුවරින් පැමිණි ඝෝෂා හඬ’ කුමක්ද?

13 යෙසායා මෙසේ ප්‍රකාශ කරයි. “ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵලදෙන [යෙහෝවාගේ] හඬය.” (යෙසායා 66:6) මේ වචනවල මුල් ඉටුවීමේදී ‘නුවර’ වන්නේ යෙහෝවාගේ දේවමාළිගාව තිබූ යෙරුසලමයි. ‘ඝෝෂා හඬෙන්’ අඟවන්නේ, පො.යු.පෙ. 607දී බබිලෝනීය හමුදා නුවර ආක්‍රමණය කිරීමට පැමිණි විට ඇසුණු යුධ ඝෝෂාවයි. මෙහි වර්තමාන ඉටුවීම ගැන කුමක් කිව හැකිද?

14. (අ) යෙහෝවා ඔහුගේ දේවමාළිගාවට පැමිණීම ගැන මලාකී පුරෝකථනය කළේ කුමක්ද? (ආ) එසකියෙල්ගේ අනාවැකියට අනුව, යෙහෝවා තම දේවමාළිගාවට පැමිණි විට කුමක් සිදු වීද? (ඇ) යෙහෝවා සහ යේසුස් ආත්මික දේවමාළිගාව පරීක්ෂා කළේ කවදාද? එය පවිත්‍ර නමස්කාරය නියෝජනය කරනවායයි කියාගත්තාවූ අයට බලපෑවේ කෙසේද?

14 යෙසායා පොතේ තිබෙන මේ අනාවැකිය වෙනත් අනාවැකි දෙකක් සමඟ එකඟ වේ. ඒවා තිබෙන්නේ එසකියෙල් 43:4, 6-9හි සහ මලාකී 3:1-5හිය. යෙහෝවා දෙවි තම මාළිගාවට පැමිණෙන කාලයක් ගැන එසකියෙල් සහ මලාකී යන දෙදෙනාම පුරෝකථනය කරති. යෙහෝවා තමන්ට නමස්කාර කරන ගෘහය පරීක්ෂා කිරීමටත් ඔහුව වැරදි ආකාරයට නියෝජනය කරන්නන්ව හෙළා දකින ශෝධකයෙකු හැටියට කටයුතු කරන්නත් පැමිණෙන බව මලාකීගේ අනාවැකියේ සඳහන් වේ. යෙහෝවා දේවමාළිගාවට ඇතුල්ව රූප නමස්කාරයේ සහ වේශ්‍යාකමේ සෑම අංශු මාත්‍රයක්ම ඉවත් කරන ආකාරය එසකියෙල්ගේ දර්ශනයෙහි පෙන්වා දෙයි. * මේ අනාවැකිවල වර්තමාන ඉටුවීමේදී, ඉතාමත් වැදගත් ආත්මික සිද්ධීන් කිහිපයක්ම සනිටුහන් විය. මෙය වර්ෂ 1918දී යෙහෝවාගේ නමස්කාරය හා සබැඳිව සිදු විය. යෙහෝවා සහ යේසුස්, පවිත්‍ර නමස්කාරය නියෝජනය කරනවායයි කියාගත්තාවූ සියලුදෙනාවම පරීක්ෂා කිරීමක යෙදුණහ. මේ පරීක්ෂණය දූෂිත ක්‍රිස්තියානි ලෝකය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වීමට හේතු විය. ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ට නම් මේ පරීක්ෂණය, ශෝධනය කිරීමේ කෙටි කාලයක් මෙන්ම 1919දී වේගවත් ලෙස ආත්මිකව යළි පිහිටුවීමක් විය.—1 පේතෘස් 4:17.

15. පුරෝකථනය කළ උපත කුමක්ද? මෙය පො.යු.පෙ. 537දී ඉටු වූයේ කෙසේද?

15 මේ යළි පිහිටුවීම ගැන යෙසායාගේ පොතේ ඊළඟ පදවල පැහැදිලිව සඳහන් වේ. “ප්‍රසව වේදනාව පැමිණෙන්ට පළමුවෙන් ඈ බිහිකළාය; ඈට විලිරුජාව අල්ලන්ට පළමුවෙන් පිරිමි දරුවෙකු ප්‍රසූතකළාය. මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනගක් [ජාතියක්, NW] එකවිටම උපදිනවා ඇද්ද? සියොන් ප්‍රසව වේදනා වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවන් බිහිකළාය.” (යෙසායා 66:7, 8) බබිලෝනියේ සිටින වහල් යුදෙව්වෝ මේ වචනවල සිත්ගන්නා මුල් ඉටුවීමක් අද්දුටහ. සියොන නැතහොත් යෙරුසලම, දරුවෙකු ප්‍රසූත කරන ස්ත්‍රියකට නැවත වරක් සමාන කරයි. නමුත් එය මොනතරම් අසාමාන්‍ය උපතක්ද! එය ඉතාමත් වේගවත්ව, ඉතා හදිසියේ සිදු වන අතර, ඇය ප්‍රසව වේදනා විඳීමටත් පළමුවෙන් දරුවා බිහි කරන්නීය. මෙය ඉතා ගැළපෙන චිත්‍රයකි. පොදු යුගයට පෙර 537දී ස්වාධීන ජාතියක් හැටියට දෙවිගේ සෙනඟගේ යළි උපත සිදු වූයේ ඉතා වේගයෙන් මෙන්ම හදිසියේය. එය ආශ්චර්යයක් බඳු විය. යුදෙව්වන්ව වහල්භාවයෙන් නිදහස් කළ නියෝගය කෝරෙෂ්ගෙන් ලැබීමත් ඇදහිලිවන්ත යුදෙව් සුළුතරය තම මව්බිම කරා යෑමත් අතර ගෙවුණේ මාස කිහිපයක් පමණි! මෙය ඉශ්‍රායෙල් ජාතියේ මුල් උපතට වඩා මොනතරම් වෙනස් වූවාද! විරෝධය පෑ අධිරාජ්‍යයෙකු ඉදිරියේ නිදහස ඉල්ලා වැඳ වැටීමටවත්, සතුරු හමුදාවක් ඉදිරියේ පැන යෑමටවත්, අවුරුදු 40ක් පුරා පාළුකරයේ ඔබමොබ යෑමටවත් පො.යු.පෙ. 537දී ඔවුන්ට සිදු වූයේ නැත.

16. යෙසායා 66:7, 8හි වර්තමාන ඉටුවීමේ සියොනෙන් නියෝජනය කරන්නේ කුමක්ද? ඇගෙන් පැවතෙන්නන් යළි ඉපදීමකට ලක් වූයේ කෙසේද?

16 වර්තමාන ඉටුවීමේදී, සියොනෙන් නියෝජනය කරන්නේ ආත්ම මැවිලි සිටින යෙහෝවාගේ ස්වර්ගීය සංවිධානය වන ඔහුගේ ස්වර්ගීය ‘ස්ත්‍රියයි.’ වර්ෂ 1919දී මේ “ස්ත්‍රිය” පොළොව මත සිටින ඇගේ ආලේප ලත් පුත්‍රයන් සංවිධානාත්මක සෙනඟක් හෙවත් “ජාතියක්” ලෙස උපත ලැබීම ගැන මහත් සේ ප්‍රීති වූවාය. එම යළි ඉපදීම වේගවත්ව මෙන්ම හදිසියේ සිදු විය. * මාස කිහිපයක් ඇතුළත, ආලේප ලත් අය කණ්ඩායමක් හැටියට මළ තත්වයක සිට ඔවුන්ගේ ‘දේශයේ’ එනම්, ඔවුන්ගේ ආත්මික ක්‍රියාකාරකම් සිදු කිරීමට දෙවි දී ඇති ක්ෂේත්‍රය තුළ ප්‍රාණවත්ව සහ ක්‍රියාශීලීව කටයුතු කරන තත්වයට පත් විය. (එළිදරව් 11:8-12) වර්ෂ 1919 ශරත් ඍතුව වන විට, ඔවුන් තම වොච් ටවර් සඟරාවේ සහයක සඟරාව වන ගෝල්ඩන් ඒජ් (දැන් පිබිදෙව්!) සඟරාව අලුතෙන් ප්‍රකාශයට පත් කළේය. දෙවිගේ සෙනඟ යළි පිබිදී දේවසේවය සඳහා නැවත වරක් සූදානම් බවට එම සඟරාව සාක්ෂියක් විය.

17. ආත්මික ඉශ්‍රායෙල් සම්බන්ධයෙන් ඔහුගේ අරමුණ ක්‍රියාත්මක කිරීම වළක්වන්න කිසිවකට නොහැකි බව යෙහෝවා තම සෙනඟට සහතික කරන්නේ කෙසේද?

17 මේ ආත්මික යළි ඉපදීමට එරෙහි වීමට විශ්වයේ තිබෙන කිසිම බලයකට හැකියාවක් නැත. මේ ගැන ඊළඟ ඡේදයේ මෙසේ කාවද්දයි. “බිහිවෙන්ට ළංකරන්නාවූ මම උපදින්ට නොසලස්වන්නෙම්දැයි [යෙහෝවා කියන්නේය]. නොහොත් බිහිවන්ට සලස්වන්නාවූ මමම ගර්භය පියන්නෙම්දැයි නුඹේ [දෙවි කියන්නේය].” (යෙසායා 66:9) දරුවෙකු ප්‍රසූත කිරීම සිදු වන විට එය නැවැත්වීමට හැකියාවක් නැති සේම, ආත්මික ඉශ්‍රායෙල්ගේ යළි ඉපදීමද කිසිවෙකුට නැවැත්විය නොහැක. විරෝධතා තිබූ බව ඇත්තයි. අනාගතයේදී ඊට වඩා විරෝධතා පැමිණීමටද ඉඩ ඇත. එහෙත්, යෙහෝවා පටන්ගත් දෙය නැවැත්විය හැක්කේ යෙහෝවාටම පමණය. නමුත් යෙහෝවා කෙදිනකවත් එසේ නොකරනු ඇත! එසේනම්, යළි ප්‍රාණවත් කළ මේ සෙනඟට යෙහෝවා සලකන්නේ කෙසේද?

යෙහෝවාගේ මුදු මොළොක් සැලකිල්ල

18, 19. (අ) යෙහෝවා පාවිච්චි කරන හද උණුසුම් කරවන නිදර්ශනය කුමක්ද? වහල්භාවයේ සිටි සෙනඟට එය අදාළ වන්නේ කෙසේද? (ආ) ප්‍රේමනීය ලෙස සපයන පෝෂණය සහ සැලකිල්ලෙන් අද සිටින ආලේප ලත් ඉතිරි කොටස ප්‍රයෝජන ලබා තිබෙන්නේ කෙසේද?

18 ඊළඟ ඡේද හතරෙහි යෙහෝවාගේ මුදු මොළොක් සැලකිල්ල විචිත්‍රවත්ව විස්තර කර තිබේ. යෙසායා මුලින්ම මෙසේ කියයි. ‘යෙරුසලමට ප්‍රේම කරන සියල්ලෙනි, ඈ සමඟ සන්තෝෂ වී, ඈ කෙරෙහි ප්‍රීතිමත් වෙන්න; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීති වෙන්න. මෙසේ නුඹලා ඇගේ සැනසිලි [ගෙන දෙන] තන උරා තෘප්තියට පැමිණෙනවා ඇත; ඇගේ තේජසේ පූර්ණකමින් දොවාගන භුක්ති විඳිනවා ඇත.’ (යෙසායා 66:10, 11) යෙහෝවා මෙහිදී තම මොළකැටි බිළිඳාට සාත්තු සප්පායම් කරන මවක් සම්බන්ධ නිදර්ශනයක් පාවිච්චි කරයි. බිළිඳාට හොඳටම බඩගිනි වූ විට, ඔහු නොනවත්වා ඇඬීමට පටන්ගනී. එහෙත්, ඔහු කිරි බීමට මවගේ පියයුරු වෙත ළං වන විට ඔහුගේ දුක ප්‍රීතියට හා තෘප්තිමත්භාවයට හැරේ. ඒ හා සමාන ආකාරයකින් බබිලෝනියේ සිටි ඇදහිලිවන්ත යුදෙව්වන් කණ්ඩායම, තම මිදීම සහ යළි පිහිටුවීම අද්දකිද්දී, දුඃඛිත තත්වයේ සිට ප්‍රීතිමත් මෙන්ම තෘප්තිමත් තත්වයට පත් වෙති. යෙරුසලම යළි ගොඩනඟා පුනරුත්ථාපනය කරන විට එය යළිත් තේජසට පත් වේ. මෙහි ප්‍රතිඵලයක් හැටියට නුවරේ තේජසින් ඇදහිලිවන්ත වැසියන්වද තේජසට පත් වේ. නැවත වරක්, ක්‍රියාශීලී පූජක තන්ත්‍රයක් මාර්ගයෙන් ඔවුන්ව ආත්මිකව ප්‍රබෝධවත් කරනු ලබයි.—එසකියෙල් 44:15, 23.

19 වර්ෂ 1919දී යළි පිහිටුවීමෙන් පසු, ඇති තරම් පෝෂණය වීමට ප්‍රස්තාව ලැබීම මාර්ගයෙන් ආත්මික ඉශ්‍රායෙල් ආශීර්වාද ලැබීය. එතැන් සිට, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් පිළියෙළ කරන ආත්මික ආහාර නොකඩවාම ලැබී ඇත. (මතෙව් 24:45-47) ආලේප ලත් අයට මෙය සැනසීමේ සහ ප්‍රීතියේ කාලයක් බව නිසැකයි. එහෙත් ඔවුන්ට තවත් ආශීර්වාද ලැබීමට නියමිතය.

20. යෙරුසලම පුරාණයේ මෙන්ම වර්තමානයේදීද ‘ඉතිරෙන ඔයකින්’ ආශීර්වාද ලබා තිබෙන්නේ කෙසේද?

20 අනාවැකිය තවදුරටත් මෙසේ කියයි. “[යෙහෝවා] මෙසේ [කියන්නේය]. බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි, නුඹලා එයින් උරා බොන්නහුය; උකුළේ ගෙනයනු ලබන්නහුය, දෙදණ පිට සුරතල්කරනු ලබන්නහුය.” (යෙසායා 66:12) මෙහි කිරි දෙන මවක් සමඟ ‘ගඟක් සහ ඉතිරෙන ඔයක්’ වැනි බහුල ආශීර්වාද ගලා යෑමක් සම්බන්ධ කර කතා කරයි. යෙරුසලම යෙහෝවාගෙන් ලැබෙන සමාදානයෙන් පමණක් නොව, දෙවිගේ සෙනඟ වෙත ඇදෙන ‘ජාතීන්ගේ තේජසින්ද’ ආශීර්වාද ලබයි. මෙයින් අදහස් කරන්නේ විවිධ ජාතීන්ට අයත් සෙනඟ යෙහෝවාගේ සෙනඟට එක් වන බවය. (හග්ගයි 2:7) පුරාණ ඉටුවීමේදී, විවිධ ජාතීන්ට අයත් මිනිසුන් ගණනාවක් යුදෙව් ආගමට හැරී, ඉශ්‍රායෙල් සමඟ එක් වූහ. කෙසේවෙතත්, ගංගාවක් මෙන් වූ ‘සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් යුත් මහත් සමූහයක්’ ආත්මික යුදෙව්වන්ගේ ඉතිරි කොටස හා එක් වූ විට, එම අනාවැකිය අපේ කාලයේදී වඩා විශාල ආකාරයකින් ඉටු විය.—එළිදරව් 7:9; සෙකරියා 8:23.

21. උනන්දුව ඇති කරවන නිදර්ශනයකින් යෙහෝවා පුරෝකථනය කරන සැනසිල්ල කෙබඳු එකක්ද?

21 යෙසායා 66:12හිද මවකගේ සෙනෙහස ගැන කියැවෙන විස්තරයක් අඩංගුය. එහි දරුවාව උකුළේ තබාගෙන යෑම සහ ඔඩොක්කුවේ රුවාගෙන හුරතල් කිරීම වැනි දේ ගැන කතා කරයි. ඊළඟ වගන්තියේදී, එම අදහසම වෙනත් ආකාරයකින් ගෙනහැර පායි. “මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි; යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත.” (යෙසායා 66:13) බිළිඳා දැන් වැඩිහිටි “මනුෂ්‍යයෙකු” බවට පත්ව ඇත. එහෙත්, ඔහුගේ විපතේදී ඔහුව සැනසීමට ඔහුගේ මවට තිබෙන ආශාව ඇගෙන් තුරන්ව ගොස් නැත.

22. යෙහෝවා තම මුදු මොළොක්කම සහ ප්‍රේමයේ බලවත්කම පෙන්වන්නේ කෙසේද?

22 මෙවන් සිත්ගන්නාසුලු ආකාරයකට, තම සෙනඟ කෙරෙහි තමන්ට ඇති ප්‍රේමයේ බලවත්කම සහ මුදු මොළොක්කම යෙහෝවා මෙහිදී හුවා දක්වයි. තම ඇදහිලිවන්ත සෙනඟ කෙරෙහි යෙහෝවාට ඇති ගැඹුරු ප්‍රේමය මව් සෙනෙහස හා සැසඳිය නොහැකිය. යෙහෝවාගේ ප්‍රේමය ඊටත් වඩා වැඩිය. (යෙසායා 49:15) සෑම ක්‍රිස්තියානියෙකුම තම ස්වර්ගික පියා සතු මේ ගුණාංගය විදහාපෑම අත්‍යවශ්‍යය! ප්‍රේරිත පාවුල් එසේ කර, ක්‍රිස්තියානි සභාවේ සිටින වැඩිමහල්ලන්ට මහඟු ආදර්ශයක් තැබුවේය. (1 තෙසලෝනික 2:7) තම අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ප්‍රධාන ලකුණ සහෝදර ප්‍රේමය බව යේසුස් පැවසුවේය.—යොහන් 13:34, 35.

23. යෙහෝවාගේ සෙනඟගේ ප්‍රීතිමත් තත්වය විස්තර කරන්න.

23 යෙහෝවා තම ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වයි. ඔහු මෙසේ පවසයි. “නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. [යෙහෝවාගේ] හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, [ඔහු] තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත.” (යෙසායා 66:14) ‘නුඹලා දැක’ කියා දක්වන යෙදුමෙන්, දේශයෙහි යළි පිහිටුවනු ලැබූ යුදෙව්වන් බලන බලන කොයි දෙස වුවත්, “ඔවුන් දකින්නේ ප්‍රීතියයි” යන අදහස කියවෙන බව හෙබ්‍රෙව් ව්‍යාකරණඥයෙක් පවසයි. ඔවුන්ව තම මව්බිමේ යළි පිහිටුවා තිබෙන නිසා ඔවුන්ගේ ප්‍රීතිය වචනයෙන් විස්තර කළ නොහැකිය. ඔවුන්ගේ ඇට ශක්තිමත් වන්නාක් මෙන් ඔවුන්ට මහත් ප්‍රාණවත්කමක්ද වසන්තයේ පීදෙන තෘණ මෙන් නැවුම්බවක්ද දැනෙනු ඇත. මෙතරම් ආශීර්වාද ලත් කාලයක් පැමිණියේ මිනිස් බලයෙන් නොව, ‘යෙහෝවාගේ හස්තයෙන්’ බව සියලුදෙනා දැනගනු ඇත.

24. (අ) අදදින සිටින යෙහෝවාගේ සෙනඟ ගැන සලකා බලද්දී ඔබ පැමිණෙන නිගමනය කුමක්ද? (ආ) අපේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?

24 අදදින සිටින තම සෙනඟ සම්බන්ධයෙන් යෙහෝවාගේ හස්තයේ ක්‍රියාකාරිත්වය ඔබ හඳුනාගෙන තිබේද? පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවීමට කිසිම මනුෂ්‍යයෙකුට හැකියාවක් නොමැත. ඇදහිලිවන්ත ආලේප ලත් අය සමඟ ඔවුන්ගේ ආත්මික දේශයේ වැඩ කටයුතුවල නිරත වීමට දශලක්ෂ ගණන් සෙනඟක් රැස් කිරීමට කිසිම මිනිසෙකුට හැකියාවක් නැත. එවැනි දෙයක් කළ හැක්කේ යෙහෝවා දෙවිට පමණය. යෙහෝවාගේ ප්‍රේමය පිළිබඳ මෙවන් ප්‍රකාශයන් අපේ අධික ප්‍රීතියට හේතු වේ. යෙහෝවාගේ ප්‍රේමය අපි කිසිදාක සුළු කොට නොතකමු. ‘ඔහුගේ වචනය ඉදිරියේ අපි දිගටම වෙවුලමින්’ සිටිමු. බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වී යෙහෝවාට සේවය කිරීමේ ප්‍රීතිය අත් කරගැනීමට අපි අධිෂ්ඨාන කරගනිමු.

[පාදසටහන්වල]

^ අදදින ක්‍රිස්තියානි ලෝකයේ සිටින බොහෝදෙනෙක් යෙහෝවාගේ පුද්ගලික නාමය පාවිච්චි කිරීම ප්‍රතික්ෂේප කරති. ඔවුන් එම දිව්‍ය නාමය බයිබල් පරිවර්තන ගණනාවකින් ඉවත් කිරීමට පවා එඩිතර වී ඇත. එම නාමය පාවිච්චි කරන නිසා සමහරු දෙවිගේ සෙනඟට සමච්චල් කරති. ඒ වුණත්, බොහෝදෙනෙක් බැතිමත් රාවයෙන් “යාහ්ට ප්‍රශංසා වේවා” යන අරුත් ඇති “හලෙලූයා” කියා පවසති.

^ එසකියෙල් 43:7, 9හි “රජවරුන්ගේ මළකඳන්” යන කියමනෙන් යොමු දක්වන්නේ වන්දනා කරන පිළිමවලටයි. යෙරුසලමේ සිටි කැරලිකාර පාලකයන් සහ සෙනඟ දෙවිගේ මාළිගාව පිළිමවලින් දූෂ්‍ය කර තිබූ අතර, ඒවා තමුන්ගේ රජුන් බවට පත් කරගෙන තිබුණි.

^ මෙහි පුරෝකථනය කරන්නේ එළිදරව් 12:1, 2, 5හි විස්තර කරන උපත නොවේ. එළිදරව් පොතේ, “පුත්‍රයෙකු, පිරිමි දරුවෙකු” යන්නෙන් නියෝජනය වන්නේ 1914දී ක්‍රියාත්මක වීමට පටන්ගත් මෙසියානු රාජ්‍යයයි. කෙසේවෙතත්, අවස්ථා දෙකේදීම කතා කරන්නේ එකම “ස්ත්‍රිය” ගැනයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[395වන පිටුවේ පින්තූරය]

“මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය”

[402වන පිටුවේ පින්තූරය]

යෙහෝවා සියොනට “ජාතීන්ගේ තේජස” ලබා දෙන්නේය