Skip to content

පටුනට යන්න

යෙහෝවා යටහතුන්ගේ ආත්ම ප්‍රාණවත් කරයි

යෙහෝවා යටහතුන්ගේ ආත්ම ප්‍රාණවත් කරයි

දහඅටවන පරිච්ඡේදය

යෙහෝවා යටහතුන්ගේ ආත්ම ප්‍රාණවත් කරයි

යෙසායා 57:1-21

1. යෙහෝවා දෙන සහතිකය කුමක්ද? එයින් පැනනඟින ප්‍රශ්න මොනවාද?

 “උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති [තැනැත්තා] මෙසේ [කියන්නේය]: මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමග වාසයකරමි.” (යෙසායා 57:15) පොදු යුගයට පෙර අටවන සියවසේ සිටි අනාගතවක්තෘ වූ යෙසායා එසේ ලීවේය. මේ පණිවිඩය මෙතරම් දිරිගන්වනසුලු වීමට හේතුව කුමක්ද? ඒ වන විට යූදාහි කුමක් සිදු වෙමින් තිබුණිද? මේ දේවානුභාවයෙන් ලියැවුණු වදන්වලින් අද සිටින ක්‍රිස්තියානීන්ට දිරිගැන්වීමක් ලැබිය හැකිද? යෙසායා 57වන පරිච්ඡේදය සලකා බැලීමේදී මේ ප්‍රශ්නවලට උත්තර සොයාගත හැකිය.

මිනිසුනි “මෙහි ළංවෙන්න”

2. (අ) යෙසායා 57වන පරිච්ඡේදය අදාළ වන බව පෙනෙන්නේ කුමන කාලයටද? (ආ) යෙසායාගේ දවසේ සිටින ධර්මිෂ්ඨයන්ගේ තත්වය කුමක්ද?

2 යෙසායාගේ අනාවැකියේ මේ කොටස යෙසායාගේ කාලයට අදාළ වන බව පෙනේ. දුෂ්ටකම කොතරම් දුරට මුල් ඇද තිබුණාද කියා බලන්න. “ධර්මිෂ්ඨයා පහවයන්නේය, නුමුත් කිසිවෙක් එය සිතට නොගන්නේය; භක්තිවන්ත මනුෂ්‍යයෝද පහකරනු ලබති, නුමුත් ධර්මිෂ්ඨයා විපත්තිය ඉදිරියෙන් ගෙනයනු ලබන බව කිසිවෙක් කල්පනා කරන්නේ නැත. ඔහු සමාදානයට පැමිණෙයි; තමුන්ගේ අවංකකමින් හැසිරෙන්නෝ තමුන්ගේ යහන්වල නිශ්චලව සිටින්නෝය.” (යෙසායා 57:1, 2) ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකුට කරදරයක් වුණත් කිසිවෙකු ඒ ගැන පියවරක් ගන්නේ නැත. ඔහු අකාලයේ මිය ගියත් කිසිවෙකුට ඇති වැඩකුත් නැත. කෙසේවෙතත්, මරණයේදී අභක්තිකයන්ගෙන් පැමිණෙන දුක්ගැහැටෙන් සහ විපත්තියෙන් ඔහු නිදහස් වන නිසා මරණයට පත්වීම ඔහුට සහනයකි. දෙවි තෝරාගත් ජාතිය ඉතාම දුඃඛිත තත්වයකට වැටී සිටියි. එහෙත්, සිදු වන්නේ කුමක්ද කියා පමණක් නොව, එයින් ගොඩ ඒමට යෙහෝවා උපකාර කරනු ඇති බවත් දැනගැනීම ඇදහිලිවන්තයන්ට මොනතරම් දිරිගැන්වීමක් වනු ඇද්ද!

3. යෙහෝවා යූදාහි සිටින දුෂ්ට පරම්පරාව ආමන්ත්‍රණය කරන්නේ කෙසේද? එසේ කරන්නේ මන්ද?

3 යෙහෝවා යූදාහි මේ දුෂ්ට පරම්පරාව අමතමින් මෙසේ කියන්නේය. “මායාකාරීගේ පුත්‍රයෙනි, පරදාරිකයාගෙත් වේශ්‍යාවගෙත් වංශය, මෙහි ළංවෙන්න.” (යෙසායා 57:3) මායාකාරිගේ පුත්‍රයන්, පරදාරිකයාගේ සහ වේශ්‍යාවගේ වංශය වැනි නින්දිත නම් ඔවුන් විහින්ම ලබාගත් ඒවාය. රූප වන්දනාව, භූත නමස්කාරය මෙන්ම ලිංගික දුරාචාරය වැනි පිළිකුල්සහගත දේවල් ඔවුන් හැරී ගියාවූ බොරු නමස්කාරයට අයත්ය. ඒ නිසා යෙහෝවා පව්කාරයන්ගෙන් මෙසේ අසයි. “නුඹලා කාට විරුද්ධව කවටකම්කරන්නහුද [මහත් සේ විනෝද වන්නහුද, NW]? නුඹලා කාට විරුද්ධව කට අයා දිව දික්කරන්නහුද? අලෝන ගස් අතරෙන් සියලුම ගස් යටත් රාගයෙන් දැවෙන්නාවූ, මිටියාවත්වල පර්වත විවර යට දරුවන් මරන්නාවූ නුඹලා කැරළිකාරකමේ [පව්කාරයන්ගේ, NW] දරුවොත් බොරුකාර වංශයකුත් නොවන්නහුද?”—යෙසායා 57:4, 5.

4. යූදාහි සිටින දුෂ්ටයන් වැරදිකරුවන් වන්නේ කුමක් සම්බන්ධයෙන්ද?

4 යූදාහි සිටින දුෂ්ටයෝ කම්පා කරවන මිථ්‍යා දෘෂ්ටික නමස්කාරය ප්‍රසිද්ධියේම කරගෙන යමින් ‘මහත් සේ විනෝද’ වෙති. ඔවුන්ව නිවැරදි මාර්ගයට ගෙන ඒම සඳහා දෙවි එවූ අනාගතවක්තෘවරුන්ට නින්දා කරමින් අගෞරවනීය අන්දමින් ඔවුන්ගේ දිව් දික් කරති. ඔවුන් ආබ්‍රහම්ගේ දරුවන් වුවත්, කැරලිකාරකම් හේතුවෙන් පව්කාරයන්ගෙත්, බොරුකාරයන්ගෙත් වංශය බවට ඔවුන් පත්ව ඇත. (යෙසායා 1:4; 30:9; යොහන් 8:39, 44) කඳුකරයේ තිබෙන විශාල ගස් අතරේ ඔවුහු තමන්ගේ රූප නමස්කාරයේ උමතු ආගමික වතාවත්වල යෙදෙති. එම නමස්කාර ක්‍රමය මොනතරම් කුරිරුද! පිළිකුල්සහගත දේවල් කළ නිසා යෙහෝවා දේශයෙන් පන්නා දැමූ ජාතීන් කරන්නාක් මෙන් ඔවුහු තමන්ගේම දරුවන්ව අමු අමුවේ මරා දමති!—1 රාජාවලිය 14:23; 2 රාජාවලිය 16:3, 4; යෙසායා 1:29.

ගල්වලට පාන පූජාවක් ඔප්පු කරති

5, 6. (අ) යූදාහි වැසියන් යෙහෝවාට නමස්කාර කරනවා වෙනුවට කරන්න තෝරාගත්තේ කුමක්ද? (ආ) යූදාගේ රූප නමස්කාරය කොතරම් දූෂිතව මෙන්ම කොතරම් ප්‍රකටව පැතිර තිබුණිද?

5 යූදාහි වැසියන් රූප නමස්කාරයෙහි මොනතරම් ගැඹුරට නියැලී සිටියාද කියා බලන්න. “නුඹේ කොටස තිබෙන්නේ මිටියාවතේ සිනිඳු ගල් අතරෙහිය; ඒවාම නුඹේ කොටසය. ඒවාට නුඹ පාන පූජාවක් වගුරුවා ආහාර පූජාවක්ද ඔප්පුකෙළෙහිය. මේ දේවල් තිබියදී මා නිශ්චලව සිටින්නේ කොහොමද?” (යෙසායා 57:6) යුදෙව්වන් දෙවි සමඟ ගිවිසුමකින් බැඳී සිටින සෙනඟකි. එහෙත්, ඔවුහු දෙවිට වන්දනා කරනවා වෙනුවට ගංපතුලේ ඇති සිනිඳු ගල්වලින් දෙවිවරුන් තනාගනිති. තම කොටස හැටියට යෙහෝවාව තෝරාගත්තේයයි දාවිත් ප්‍රකාශ කළේය. එහෙත්, මේ පව්කාරයෝ ඔවුන්ගේ කොටස හැටියට පණ නැති ගල් තෝරාගෙන ඒවාට පාන පූජා ඔප්පු කරති. (ගීතාවලිය 16:5; හබක්කුක් 2:19) තම නාමය නියෝජනය කරන සෙනඟ යෙදී සිටින මේ විකෘති නමස්කාරය පෙනි පෙනී යෙහෝවා පියවර නොගෙන සිටින්නේ කෙසේද?

6 විශාල ගස් යට, මිටියාවත්වල, පර්වතවල, නුවරවල, සෑම තැනකම යූදා සෙනඟ රූප නමස්කාරයේ යෙදෙති. යෙහෝවාට මේ සෑම දෙයක්ම හොඳින් පෙනෙයි. ඔහු යෙසායා ලවා ඇගේ දූෂිත ක්‍රියා මෙසේ හෙළි කරයි. “උස්වූ උසස්වූ කන්දක් උඩ නුඹේ යහන නුඹ තබා ගත්තෙහිය. එතැනද පූජා ඔප්පුකිරීමට නුඹ නැගී ගියෙහිය. දොරටත් උළුවස්සටත් එහායින් නුඹේ සලකුණ නුඹ තබා තිබේ.” (යෙසායා 57:7, 8අ) යූදා වැසියන් උස් වූ තැන්වල තම ආත්මික අපවිත්‍රකම නමැති යහන තබා තිබේ. ඒ මත මිථ්‍යා දෙවිවරුන්ට ඇය පුද පූජා පවත්වන්නීය. * ගෙවල්වල උළුවහු උඩත් රූප තබා තිබේ.

7. යූදා දුරාචාරයෙන් පිරි නමස්කාරයේ යෙදුණේ කිනම් ආකල්පයකින්ද?

7 යූදා දේශය එතරම් දුරට අපවිත්‍ර නමස්කාරයට ගොදුරු වුණේ ඇයිදැයි යමෙකු කල්පනා කළ හැක. යෙහෝවාව අතහැරීමට යම් ප්‍රබල බලවේගයක් ඇයව පෙලඹෙව්වාද? නැත. ඇය එසේ කළේ කැමැත්තෙන්ම මෙන්ම ආශාවෙනි. යෙහෝවා මෙසේ කියයි. “නුඹ මට නොව අනිකෙකුට නුඹම ප්‍රකාශවී නැගී ගියෙහිය; නුඹේ යහන පළල්කොට ඔවුන්ගෙන් පොරොන්දු ලබාගත්තෙහිය; ඔවුන්ගේ යහන දුටු තැනදී ඊට ආලය වූයෙහිය.” (යෙසායා 57:8ආ) යූදා ඇගේ බොරු දෙවිවරුන් සමඟ ගිවිසුමක් කරගත්තාය. එමෙන්ම ඇය ඔවුන් සමඟ පැවැත්වූ අනියම් සම්බන්ධකම්වලට ප්‍රිය කළාය. විශේෂයෙන්ම මේ දෙවිවරුන්ගේ නමස්කාරයෙහි ප්‍රධාන අංගයක් වූ ලිංගික දුරාචාරමය ක්‍රියාවන්ට ඇය ප්‍රිය කරන්න ඇත! ඇතැම්විට මෙම දුරාචාරමය ක්‍රියාවලට ලිංගේන්ද්‍රයේ සංකේතද භාවිත කෙරුවා විය හැක.

8. යූදාහි රූප නමස්කාරය සශ්‍රීක වූයේ කිනම් රජු යටතේද?

8 මෙම පිළිකුල්, දුරාචාරයෙන් පිරි මෙන්ම කුරිරු නමස්කාර පිළිවෙත් සම්බන්ධයෙන් දක්වා ඇති විස්තරය, යූදාහි සිටි සමහර දුෂ්ට රජවරුන් ගැන දන්නා කරුණුවලින් සනාථ වේ. උදාහරණයක් හැටියට මනස්සේ රජුව සලකා බලන්න. ඔහු උස් තැන් ගොඩනැඟීය. එමෙන්ම බාල්ට පූජාසන සෑදුවේය. දේවමාළිගාවේ මිදුල් දෙකේ බොරු ආගමික පූජාසන තැබුවේය. ඔහුගේ පුත්‍රයන්ව ගිනි මැදින් යවා පූජා කළේය. ඔහු මායා, ශාස්ත්‍ර බැලීම් සහ සියලු ආකාර භූත ක්‍රියාවන්හි නියැලුණි. ඔහු තමා සෑදූ අෂේරා රූප යෙහෝවාගේ දේවමාළිගාවේ තැබීය. * යෙහෝවා විසින් ‘විනාශ කරන ලද ජාතීන්ට වඩා නපුරුකම්’ කිරීමට පොලඹවමින් මනස්සේ යූදා වැසියන්ව මුළා කළේය. (2 රාජාවලිය 21:2-9) මනස්සේගේ නම යෙසායා 1:1 සඳහන් නොවුණත්, සමහරුන් විශ්වාස කරන්නේ යෙසායාව මැරුවේ මනස්සේ කියාය.

‘නුඹේ තානාපතීන් යවමින් සිටී’

9. යූදා “දුරු රටවලට” තානාපතීන් යවන්නේ මන්ද?

9 යූදාගේ පව්කාරකම බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීමට සීමා වී නැත. තම පණිවිඩකාරයා වන යෙසායා මාර්ගයෙන් යෙහෝවා මෙසේ කියයි. “නුඹ රජු [මෙලෙක්, NW] වෙතට තෛල රැගෙන පැමිණුණෙහිය, නුඹේ සුවඳ දේද වැඩිකරගත්තෙහිය, නුඹේ තානාපතීන් නුඹ දුරු රටවලට ඇර, පාතාලය දක්වා පහතට බැස්සෙහිය.” (යෙසායා 57:9) අභක්තික යූදා ජාතිය හෙබ්‍රෙව්වලින් “මෙලෙක්” වශයෙන් හැඳින්වෙන “රජු” වෙතට යයි. පෙනෙන විදිහට ඔහු විදේශීය රජෙකි. ඔවුහු ඔහුට තෙල් සහ සුගන්ධ ද්‍රව්‍යවලින් නියෝජනය කරන මිල අධික මෙන්ම සිත් සොරාගන්නා දේ ගෙනැවිත් දෙති. යූදා දුර ඈත දේශවලට තානාපතීන් යවයි. ඒ මන්ද? ඇය සමඟ දේශපාලනික මිත්‍ර සම්බන්ධකම් ඇති කරගැනීමට අන්‍යජාතීන්ව පොලඹාගැනීමටයි. ඇය යෙහෝවාගෙන් ඉවත් වී තම විශ්වාසය විදේශීය රජුන් කෙරෙහි තබන්නීය.

10. (අ) ආහාස් රජු අෂූරියේ රජුගේ මිත්‍රත්වය සොයන්නේ කෙසේද? (ආ) යූදා ‘පාතාලය දක්වා පහතට බැස්සේ’ කෙසේද?

10 මේ විස්තරය සනාථ කරන සිද්ධියක් ආහාස් රජ සමයේදී සිදු විය. ඉශ්‍රායෙල් සහ සිරියාව එක් වී කළ තර්ජනය හමුවේ, යූදාහි මේ අභක්තික රජ අෂූරියේ රජු වන IIIවන තිග්ලත් පිලෙසෙර් වෙත පණිවිඩකරුවන් යවමින් මෙසේ කියයි. “මම ඔබගේ මෙහෙකරුවාය, ඔබගේ පුත්‍රයාය. ඇවිත් මට විරුද්ධව නැගිට සිටින සිරියේ රජුගේ අතිනුත් ඉශ්‍රායෙල් රජුගේ අතිනුත් මා ගැළවුවමැනව.” ආහාස් අෂූර්හි රජුට අල්ලසක් හැටියට රන් සහ රිදී යැවීය. අෂූර්හි රජ ඊට ප්‍රතිචාරයක් හැටියට සිරියාවට එරෙහිව ප්‍රබල ආක්‍රමණයක් දියත් කළේය. (2 රාජාවලිය 16:7-9) අන්‍යජාතීන් සමඟ කටයුතු කළ ආකාරය ගනිද්දී යූදාවරු “පාතාලයේ පතුලටම බැස්සෝය.” (අමෙරිකානු පරිවර්තනයක්, ඉංග්‍රීසියෙන්) ඒ අභක්තික ක්‍රියා නිසා ඇය මරණයට පත් වනු ඇත. එසේ නැත්නම්, රජෙකු නැති වහල් ජාතියක් වනු ඇත.

11. යූදාගෙන් දිස් වන්නේ කිනම් ආකාරයේ බොරු සුරක්ෂිතකමක්ද?

11 යෙහෝවා යූදාට තවදුරටත් මෙසේ කියයි. “නුඹේ මාර්ගයේ දීර්ඝකම නිසා නුඹ වෙහෙසවූවෙහිය; එසේ වුවත්: එය නිෂ්ඵලයයි නුඹ නොකීවෙහිය. නුඹේ අතේ ප්‍රාණවත්කම සම්බවූ බැවින් නුඹ දුර්වල නූණෙහිය.” (යෙසායා 57:10) ජාතිය තමන්ගේ ඇදහිල්ල හැර යන මාර්ගවල වෙහෙස වී වැඩ කළාය. ඇය කොතරම් කාලය කාදමනවාදැයි ඇයට නොතේරෙයි. එමෙන්ම, ඇය තමාවම රවටාගනිමින් තමාගේම ශක්තියෙන් සාර්ථක වන බව විශ්වාස කරන්නීය. ඒ නිසා ඇයට සුවයක් සහ ප්‍රාණවත්කමක් දැනෙයි. මොනතරම් මෝඩකමක්ද!

12. ක්‍රිස්තියානි ලෝකය හා යූදා අතර ඇති සමානකම් මොනවාද?

12 යෙසායාගේ කාලයේ සිටි යූදා හා සමාන හැසිරීම් රටාවක් ඇති සංවිධානයක් අද කාලයේද දක්නට තිබේ. ක්‍රිස්තියානි ලෝකය යේසුස්ගේ නාමය පාවිච්චි කළත්, ඇය ජාතීන් සමඟ මිත්‍රකම් ඇති කරගෙන ඇගේ වන්දනා ස්ථාන රූපවලින් පුරවාගෙන ඇත. ඇගේ අනුගාමිකයෝ ඔවුන්ගේ නිවෙස්වල පවා වන්දනාමාන කරන රූප තබාගෙන සිටිත්. ක්‍රිස්තියානි ලෝකය ඇගේ තරුණයන්ව ජාතීන්ගේ යුද්ධ වෙනුවෙන් පූජා කර තිබේ. මේ සෑම දෙයක්ම සැබෑ දෙවි ඉදිරියේ මොනතරම් පිළිකුල්ද! ඔහු ක්‍රිස්තියානීන්ට අණ කරන්නේ “රූප ඇදහීම කෙරෙන් පලා දුවන්න” කියාය. (1 කොරින්ති 10:14) ක්‍රිස්තියානි ලෝකය දේශපාලනය සමඟ සම්බන්ධ වීම මගින් ඇය ‘පොළොවේ රජවරුන් සමඟ වේශ්‍යාකම්’ කර ඇත. (එළිදරව් 17:1, 2) ඇය ඇත්තෙන්ම, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ආධාරකාරියයි. මේ ආගමික වේශ්‍යාවගේ අනාගතය කිනම් ස්වරූපයක් ගනීද? ඇගේ ආදර්ශකයා වන යෙරුසලම් නුවරෙන් නියෝජනය කළ අභක්තික යූදාට යෙහෝවා පැවසුවේ කුමක්ද?

‘නුඹ රැස් කරගත් දේවල් නුඹව ගළවා නොගනී’

13. යූදා කළේ කිනම් ආකාරයේ ‘බොරුවක්ද?’ ඔවුන් යෙහෝවාගේ ඉවසීමට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

13 “නුඹ මා සිහි නොකොට, ඒක සිතට නොගෙන, බොරුකීවේ කාට තැතිගෙන භයවෙලාද?” කියා යෙහෝවා අසයි. හොඳ ප්‍රශ්නයක්! යූදා නිසැකවම යෙහෝවා කෙරෙහි සුවදායි භයක් පෙන්වන්නේ නැත. දේවභයක් තිබුණා නම්, ඔවුන් කිසිදාක බොරු දෙවිවරුන්ට නමස්කාර කරන බොරුකාර ජාතියක් බවට පත් නොවනු ඇත. යෙහෝවා මෙසේද කියයි. “මම බොහෝ කලක්ම නිශ්ශබ්දව නොසිටියෙම්ද? නුමුත් නුඹ මා කෙරෙහි භයක් නැත.” (යෙසායා 57:11) යෙහෝවා යූදාට ඉක්මනින්ම දඬුවම් නොකර නිශ්ශබ්දව සිටියේය. යූදා මේ ගැන කෘතඥපූර්වක වූවාද? නැත. ඔවුහු දෙවිගේ ඉවසීම වරදවා වටහාගත්තෝය. ඔවුන් සිතුවේ දෙවි මේ ගැන කිසිදු තැකීමක් කරන්නේ නැතැයි කියාය. ඇයට ඔහු කෙරෙහි කිසිම භයක් තිබුණේ නැත.

14, 15. යූදාගේ ක්‍රියාවන් ගැන සහ ‘රැස් කරගත් දේවල්’ ගැන යෙහෝවා කියන්නේ කුමක්ද?

14 කෙසේවෙතත්, දෙවිගේ ඉවසීමේ කාලය ඉකුත්ව යනු ඇත. එම කාලය ගැන යෙහෝවා මෙසේ ප්‍රකාශ කරයි. “මම නුඹේ ධර්මිෂ්ඨකම දන්වන්නෙමි; නුඹේ ක්‍රියාවලින් නම් නුඹට ප්‍රයෝජන නොලැබේ. නුඹ මොරගසන විට නුඹ විසින් රැස්කරගත් ඒ දේවල් නුඹ ගළවා ගනීවා; ඒ සියල්ලම හුළඟට ගහගන යන්නේය, හුස්මකට පහවන්නේය.” (යෙසායා 57:12, 13අ) යෙහෝවා යූදාගේ බොරු ධර්මිෂ්ඨකම හෙළි කරනු ඇත. ඇගේ වංචනික ක්‍රියාවලින් කිසිම ඵලක් නැත. ඇය ‘රැස් කරගත් දේවල්’ නැතහොත් ඇගේ රූප ඇයව ගළවා නොගනී. විපත්තිය ඇය පිට පැමිණෙන විට, ඇය විශ්වාසය තැබූ ඇගේ දෙවිවරුන් එක හුළං පාරකින් වීසි වී යනු ඇත.

15 යෙහෝවාගේ වචන පො.යු.පෙ. 607දී ඉටු විය. එය සිදු වූයේ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් යෙරුසලම විනාශ කර, දේවමාළිගාව ගිනි ලා, එහි සිටි බහුතරයක් වහලුන් හැටියට ගෙන ගිය විටය. “මෙසේ යූදාවරු තමුන්ගේ ප්‍රවේණි භූමියෙන් ගෙනයන ලද්දෝය.”—2 රාජාවලිය 25:1-21.

16. ක්‍රිස්තියානි ලෝකයටත් ‘මහා බබිලෝනියේ’ ඉතිරි අයටත් ඉදිරියේදී කුමක් සිදු වේද?

16 ඒ හා සමානව ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ රූප සහ පිළිම යෙහෝවාගේ උදහස් දවසෙන් ඇයව ගළවාගන්නේ නැත. (යෙසායා 2:19-22; 2 තෙසලෝනික 1:6-10) බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහා බබිලෝනියේ’ සෙස්සන් සමඟ ක්‍රිස්තියානි ලෝකය සහමුලින්ම විනාශ වනු ඇත. අං දසයක් ඇත්තාවූ සංකේතාත්මක රතුපාට වන මෘගයා, මහා බබිලෝනිය “පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.” (එළිදරව් 17:3, 16, 17) “මාගේ සෙනගෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්න” යන යෙහෝවාගේ අණට කීකරු වීම ගැන අපි මොනතරම් ප්‍රීති වන්නෙමුද! (එළිදරව් 18:4, 5) අපි නැවත කිසිදාක ඇය වෙතටවත් ඇගේ මාර්ග වෙතටවත් හැරී නොයමු!

මා කෙරෙහි විශ්වාස කරන්නා දේශය අත් කරගන්නේය’

17. ‘යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්නාට’ දෙනු ලබන පොරොන්දුව කුමක්ද? එය ඉටු වනු ඇත්තේ කවදාද?

17 යෙසායාගේ අනාවැකියේ ඊළඟ වචන ගැන කුමක් කිව හැකිද? “මා කෙරෙහි විශ්වාසකරන්නා දේශය අත්කරගෙන, මාගේ ශුද්ධවූ කන්ද උරුමකරගන්නේය.” (යෙසායා 57:13ආ) යෙහෝවා දැන් කතා කරන්නේ කාටද? යෙහෝවා දැන් ඉතා ඉක්මනින් පැමිණීමට නියමිත මහත් විනාශයෙන් ඔබ්බට බලමින් තම සෙනඟව බබිලෝනියෙන් මුදාගැනීම ගැනත් ඔහුගේ ශුද්ධ කන්ද වන යෙරුසලමෙහි නිර්මල නමස්කාරය යළි පිහිටුවීම ගැනත් පුරෝකථනය කරයි. (යෙසායා 66:20; දානියෙල් 9:16) ඇදහිලිවන්තව සිටින යුදෙව්වන්ට මෙය මොනතරම් දිරිගැන්වීමක් වනු ඇද්ද! යෙහෝවා තවදුරටත් කියා සිටින්නේ මෙසේය. “කෙනෙක් කථාකොට: සමතලාකරන්න. සමතලාකර, මාර්ගය පහදා, පැකිලවන දේ මාගේ සෙනගගේ මාර්ගයෙන් අහක්කරන්නැයි කියනවා ඇත.” (යෙසායා 57:14) තම සෙනඟ ගළවාගැනීමට දෙවිගේ කාලය පැමිණෙන විට, මාර්ගය විවෘත වනු ඇත. සියලු බාධක ඉවත් වනු ඇත.—2 ලේකම් 36:22, 23.

18. යෙහෝවාගේ උසස් තත්වය විස්තර කර ඇත්තේ කෙසේද? එහෙත්, ඔහු තම ප්‍රේමනීය සැලකිල්ල පෙන්වා ඇත්තේ කෙසේද?

18 මේ පරිච්ඡේදය මුලදී සඳහන් කළ වදන් යෙසායා ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේදීයි. “උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති [තැනැත්තා] මෙසේ [කියන්නේය]: මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමග වාසයකරමි.” (යෙසායා 57:15) යෙහෝවාගේ සිංහාසනය පිහිටා තිබෙන්නේ ඉහළම ස්වර්ගයෙහිය. ඊට වඩා උසස් තැනක් තවත් නැත. දුෂ්ටයන්ගේ පාප පමණක් නොව දෙවිට සේවය කිරීමට උත්සාහ කරන ධර්මිෂ්ඨයන්ගේ ක්‍රියාද ඔහු දකියි. එහි සිට මේ සියලුම දේ ඔහු නිරීක්ෂණය කරන බව දැනගැනීමට ලැබීම මොනතරම් සැනසිලිදායක පණිවිඩයක්ද! (ගීතාවලිය 102:22; 103:6) ඔහුට පීඩිතයන්ගේ සුසුම්ලෑම් ඇසෙන අතර, ඔහු පොඩි වී සිටින්නන්ගේ සිත්ද ප්‍රාණවත් කරන්නේය. මේ වචන පුරාණ කාලයේ සිටි පසුතැවිලි වූ යුදෙව්වන්ගේ හදවත් කරා ළඟා වූ බවට කිසිදු සැකයක් නැත. අදදින එම වචන නිසැකවම අපේ හදවත්වලටද නැවුම්බවක් ලබා දෙයි.

19. යෙහෝවාගේ උදහස නැති වී යන්නේ කෙසේද?

19 යෙහෝවාගේ මීළඟ වචනද සැනසිලිදායකය. “මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.” (යෙසායා 57:16) යෙහෝවාගේ උදහස නිමක් නැතිව සදාකල්ම පැවතුණි නම් ඔහුගේ කිසිම මැවිල්ලකට බේරීමට නොහැකි වනු ඇත. එබැවින්, ඔහුගේ උදහස පවතින්නේ සීමිත කාලයකට පමණක්ය යන කාරණය ප්‍රීතියට හේතුවකි. දෙවිගේ උදහසට සැමවිටම සාධාරණ හේතුවක් ඇත. ඔහු උදහසින් යුතුව ක්‍රියා කළායින් පසු එම කාරණය අමතක කර දමයි. දේවානුභාවයෙන් ලත් එම අවබෝධය, තම මැවිලිවලට යෙහෝවා මොනතරම් ප්‍රේමයක් දක්වනවාද කියා අපට හොඳ හැටි තේරුම්ගන්න සලස්වයි.

20. (අ) පසුතැවිලි නොවන වැරදිකරුවෙකු සමඟ යෙහෝවා කටයුතු කරනු ඇත්තේ කෙසේද? (ආ) පසුතැවිලි වන්නාවූ කෙනෙකුව යෙහෝවා සනසන්නේ කෙසේද?

20 යෙහෝවාගේ වචනය අපට තවදුරටත් අවබෝධය ලබා දෙමින් මෙසේ කියයි. “ඔහුගේ තණ්හාවේ වරද නිසා මම උදහස්වී ඔහුට පහරදී, සැඟවී උදහස්ව සිටියෙමි. එහෙත් ඔහු හිතුවක්කාරව තමාගේ සිතේ මාර්ගයෙහිම ගියේය.” (යෙසායා 57:17) ගිජුකම නිසා කළ වැරදි හේතුවෙන් ඔවුන් මතට නිසැකවම දෙවිගේ උදහස පැමිණෙනු ඇත. කෙනෙකුගේ හෘදයේ කැරලිකාරකම පවතින තුරු යෙහෝවාගේ උදහස ඔහු කෙරෙහි පවතිනු ඇත. එහෙත්, කැරලිකරුවා හික්මවීම පිළිගත්තොත් තත්වය කුමක්ද? එවිට යෙහෝවා තම ප්‍රේමය සහ දයානුකම්පාව ක්‍රියාවට නංවයි. “මම ඔහුගේ මාර්ග දුටිමි, ඔහු සුවකරන්නෙමි. මම ඔහුට මගපෙන්වා, ඔහුටත් ඔහු සමග වැලපෙන්නන්ටත් නැවත සැනසීම දෙන්නෙමි.” (යෙසායා 57:18) අවශ්‍ය හික්මවීම දුන් පසු, යෙහෝවා පසුතැවිලි වූ තැනැත්තාවත් ඔහු සමඟ දුක් වන්නන්වත් සනසන්නේය. පොදු යුගයට පෙර 537දී, යුදෙව්වන්ට නැවතත් මව්බිම කරා යෑමට හැකි වූයේ ඒ නිසයි. යූදා නැවත වරක් දාවිත්ගෙන් පැවතෙන රජෙකු පාලනය කරන ස්වාධීන රාජ්‍යයක් නොවන බව ඇත්තයි. එහෙත්, යෙරුසලමේ දේවමාළිගාව නැවත ගොඩනඟා සැබෑ නමස්කාරය එහි යළි පිහිටුවනු ලැබීය.

21. (අ) යෙහෝවා 1919දී ආලේප ලත් ක්‍රිස්තියානීන්ව යළි ප්‍රාණවත් කළේ කෙසේද? (ආ) අප වගා කරගත යුත්තේ කිනම් ගුණාංගයද?

21 ‘උසස් වූ උත්කෘෂ්ට වූ තැනැත්තා’ වන යෙහෝවා 1919දී ආලේප ලත් අයගේ සුභසිද්ධිය වෙනුවෙන්ද ක්‍රියා කළේය. ඔවුන්ගේ පසුතැවිලි වූ යටහත් පහත් ආකල්පය නිසා උතුම් දෙවි වූ යෙහෝවා ඔවුන්ගේ පීඩිත තත්වය ගැන සැලකිලිමත් වී, බබිලෝනීය වහල්භාවයෙන් ඔවුන්ව මුදාගත්තේය. ඔහුට නිර්මල නමස්කාරය පිරිනැමීමට හැකි වන පරිදි ඔහු ඔවුන් ඉදිරියේ තිබූ සියලුම බාධක බිඳහෙළා ඔවුන්ව නිදහස් කළේය. මේ ආකාරයට යෙසායා මගින් ප්‍රකාශ කළ යෙහෝවාගේ වචන ඉටු විය. එම වචන පිටුපස අප සියලුදෙනාටම අදාළ කරගත හැකි සදාකාලික ප්‍රතිපත්ති අඩංගුය. යෙහෝවා පිළිගන්නේ තමන්ට යටහත් පහත් හදවතකින් නමස්කාර කරන අයව පමණයි. දෙවිගේ සේවකයෙකු පව් කළොත්, ඔහු ඉක්මනින්ම තම පාපය වටහාගෙන, හික්මවීම පිළිගෙන, ඔහුගේ මාර්ගය නිවැරදි කරගත යුතුය. යෙහෝවා නිහතමානි අයව සනසන බව අප කවදාවත් අමතක නොකළ යුතුය. එමෙන්ම, යෙහෝවා ‘උඩඟුවූවන්ට විරුද්ධව සිටින’ බවද අප මතක තබාගත යුතුය.—යාකොබ් 4:6.

“දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය”

22. යෙහෝවා (අ) පසුතැවිලිවන්නන්ට (ආ) දුෂ්ටයන්ට වෙන් කර ඇති අනාගතය කුමක්ද?

22 පසුතැවිලි වන අයගේ අනාගතය දිගටම පාපයේ ගැලී සිටින අයගේ අනාගතය සමඟ සන්සන්දනය කරමින් යෙහෝවා මෙසේ කියයි. “මම තොල්වල ඵල උපදවමි. දුර සිටින්නාටත් ළඟ සිටින්නාටත් සමාදානය වේවා, . . . මම ඔහු සුවකරන්නෙමියි [යෙහෝවා කියන්නේය]. නුමුත් දුෂ්ටයෝ කැලඹී තිබෙන මුහුදට සමානය; මක්නිසාද ඊට නිශ්චලවන්ට නුපුළුවන, එහි ජලය මඩ හා කුණු මතුකරයි. දුෂ්ටයන්ට සමාදානය නැත.”—යෙසායා 57:19-21.

23. තොල්වල ඵල යනු කුමක්ද? යෙහෝවා මේ ඵල ‘උපදවන්නේ’ කෙසේද?

23 තොල්වල ඵල යනු දෙවිට දෙන ප්‍රශංසාව නමැති පූජාවයි. එනම් ඔහුගේ නාමය ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීමයි. (හෙබ්‍රෙව් 13:15) යෙහෝවා එම තොල්වල ඵල ‘උපදවන්නේ’ කෙසේද? කෙනෙකු ප්‍රශංසාව නමැති පූජාව ඔප්පු කිරීමට නම්, ඔහු ප්‍රථමයෙන් දෙවි ගැන ඉගෙනගෙන ඉන්පසුව ඔහු කෙරෙහි ඇදහිල්ල තැබිය යුතුය. තමා ඇසූ දේ වෙනත් අයට කීමට දෙවිගේ ආත්මයේ ඵලයක් වන ඇදහිල්ල ඔහුව පොලඹවයි. වෙනත් විදිහකින් කියනවා නම්, ඔහු තම ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. (රෝම 10:13-15; ගලාති 5:22, NW) තමන්ට ප්‍රශංසා කිරීමට තම සේවකයන්ව පත් කරන්නේ යෙහෝවා බව අප මතක තබාගත යුතුය. එමෙන්ම, තම සෙනඟව මුදවාගන්නේද, එවැනි ප්‍රශංසාවේ පූජා ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකිකම ලබා දෙන්නේද යෙහෝවා බව අප මතක තබාගත යුතුය. (1 පේතෘස් 2:9) ඒ නිසා, මේ තොල්වල ඵල උපදවන්නේ යෙහෝවා කියා පැහැදිලිවම කිව හැකිය.

24. (අ) දෙවිගේ සමාදානය අද්දකිනු ලබන්නේ කවුද? එහි ප්‍රතිඵලය කුමක්ද? (ආ) සමාදානය අත් නොදකින්නේ කවුද? ඔවුන්ට අත් වන ප්‍රතිඵලය කුමක්ද?

24 යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කරමින් යුදෙව්වන් නැවත තම ගම් බිම් බලා පැමිණෙද්දී, ඔවුන් තොල්වලින් මොනතරම් සිත්ගන්නා ඵල ඔප්පු කරන්න ඇද්ද! ඔවුන් යූදා දේශයෙන් බොහෝ ‘දුර සිටියත්,’ නැවත තම මව්බිමේ එනම් ‘ළඟ සිටියත්,’ දෙවිගේ සමාදානය ලැබෙන බව දැනගැනීම ඔවුන්ගේ ප්‍රීතියට හේතු වන්නට ඇත. මෙය දුෂ්ටයන්ට අත් වන දෙයට වඩා කොතරම් වෙනස්ද! යෙහෝවාගේ හික්මවීමට යටත් වීමට කැමති නැති දුෂ්ට තැනැත්තන් කවුරු වුණත්, ඔවුන් කොතැනක සිටියත් ඔවුන්ට නම් සමාදානයක් නැත. කැලඹුණු මුහුද මෙන් චණ්ඩ මාරුත ඇති කරවමින්, ඔවුන් මතු කරන්නේ ප්‍රශංසාවේ ඵල නොව, “මඩ සහ කුණු” නමැති සියලු ආකාර අපවිත්‍රකම්ය.

25. දුර මෙන්ම ළඟ සිටින බොහෝදෙනෙකු සමාදානය ගැන ඉගෙනගන්නේ කෙසේද?

25 අදදිනත් යෙහෝවාගේ නමස්කාරකයෝ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොව වටා දේශනා කරති. දුර ඈතත් ළඟ පාතත් රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක ක්‍රිස්තියානීහු එකම සැබෑ දෙවිට ප්‍රශංසා කිරීම නමැති තොල්වල ඵල ඔප්පු කරමින් සිටිති. “පොළොවේ කොන්වලින්” ඔවුන් ප්‍රශංසා කරන හඬ ඇසෙයි. (යෙසායා 42:10-12, NW) ඔවුන්ගේ හඬ අසන අය දෙවිගේ වචනය වන බයිබලයේ ඇති සත්‍යතා වැලඳගනිමින් යහපත් ප්‍රතිචාරයක් දක්වත්. ‘සමාදානයේ දෙවිට’ සේවය කිරීමෙන් ලැබෙන සමාදානය ගැන ඔවුහු ඉගෙනගනිති.—රෝම 16:20.

26. (අ) දුෂ්ටයන්ගේ ඉරණම කුමක්ද? (ආ) මොළොක් ගුණ ඇත්තන්ට දී ඇති මහත් පොරොන්දුව කුමක්ද? අපේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?

26 දුෂ්ටයා රාජ්‍ය පණිවිඩයට කොයි ආකාරයකින්වත් කීකරු වන්නේ නැත. කෙසේවෙතත්, මොවුන්ට වැඩි කාලයක් ධර්මිෂ්ඨයාගේ සමාදානයට බාධා කරන්න ලැබෙන්නේ නැත. “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය” කියා යෙහෝවා පොරොන්දු වෙයි. යෙහෝවා මත විශ්වාසය තබන අය පුදුමාකාර අන්දමින් දේශය උරුම කරගනු ඇත. “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:10, 11, 29) එදාට අපේ පොළොව මොනතරම් ලස්සන තැනක් වේවිද! සදාකාලයෙන් සදාකාලයට දෙවිගේ ප්‍රශංසාව උදෙසා ගී ගැයීමට හැකි වන පිණිස, දෙවි දෙන සමාදානය නැති කර නොගැනීමට අපි සියලුදෙනාම දැඩි සේ අධිෂ්ඨාන කරගනිමු!

[පාදසටහන්වල]

^ “යහන” යන වචනයෙන් මිථ්‍යා දෘෂ්ටික නමස්කාර ස්ථානයට හෝ පූජාසනයට යොමු දක්වනවා විය හැක. එයට යහන කීමෙන් එම වන්දනාව ආත්මික වේශ්‍යාකමක් බව මතක් කර දේ.

^ අෂේරා රූප හෙවත් පරිශුද්ධ කණුවලින් දේවතාවියක්වද, පරිශුද්ධ කුලුනුවලින් දෙවියෙකුවද නියෝජනය කළ අතර, බොහෝවිට මේවා ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍ර සංකේතවත් කළේය. අභක්තික යුදෙව්වෝ තම නමස්කාරයේදී මේ දෙකම යොදාගත්තෝය.—2 රාජාවලිය 18:4; 23:14.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[263වන පිටුවේ පින්තූරය]

යූදා වැසියෝ සෑම විශාල ගසක් යටම දුරාචාර ක්‍රියාවලින් පිරි නමස්කාරයේ යෙදෙති

[267වන පිටුවේ පින්තූරය]

යූදා වැසියෝ දේශය පුරාම පූජාසන ගොඩනඟති

[275වන පිටුවේ පින්තූරය]

“මම තොල්වල ඵල උපදවමි”