Skip to content

පටුනට යන්න

වඳ තැනැත්තී ප්‍රීති වේ

වඳ තැනැත්තී ප්‍රීති වේ

පහළොස්වන පරිච්ඡේදය

වඳ තැනැත්තී ප්‍රීති වේ

යෙසායා 54:1-17

1. සාරා දරුවෙකු වැදීමට ආශාවෙන් සිටියේ මන්ද? මේ සම්බන්ධයෙන් ඇගේ අද්දැකීම විස්තර කරන්න.

 සාරා දරුවෙකු වැදීමට ආශාවෙන් සිටියාය. කනගාටුදායක ලෙස ඇය වඳව සිටි අතර, එය ඇයව මහත් වේදනාවට පත් කළේය. ඒ කාලයේදී, වඳභාවය නින්දාවක් වූ නමුත්, සාරාව වේදනාවට පත් කිරීමට ඊට වඩා ප්‍රබල කාරණයක් හේතු විය. මන්ද, ආබ්‍රහම් පොළොවේ සිටින සියලුම පවුල්වලට ආශීර්වාදයක් වන වංශයක පියා වීමට නියමිතව සිටියේය. එබැවින් සාරා ඇගේ පුරුෂයාට දෙවි දුන් පොරොන්දුව ඉටු වන තුරු බලා සිටියාය. (උත්පත්ති 12:1-3) කෙසේවෙතත්, දෙවි මේ පොරොන්දුව දී දශක කිහිපයක් ගත වුවත් ඔවුන්ට දරුවෙකු නොවීය. සාරා තවත් වියපත් වෙමින් දරුවන් නොලැබම සිටියාය. ඇගේ බලාපොරොත්තු සුනුවිසුනු වී ගොසින්දැයි ඇතැම්විට ඇය තැවුණාද විය හැක. එහෙත්, කනස්සල්ල ප්‍රීතියට පෙරළුණු දවස පැමිණියේය!

2. යෙසායා 54වන පරිච්ඡේදයෙහි වාර්තා කර ඇති අනාවැකිය අප තුළ උනන්දුවක් ඇති කරන්නේ මන්ද?

2 යෙසායා 54වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති අනාවැකිය තේරුම්ගැනීමට සාරාගේ ගැටලුව අපට උපකාර කරයි. එහි යෙරුසලම පසු කාලයේදී බොහෝ දරුවන් ලැබීම හේතුවෙන් ප්‍රීති උද්දාමයට පත් වන වඳ ස්ත්‍රියක් ලෙස හඳුන්වයි. සමූහයක් හැටියට තම පුරාණ සෙනඟව තම භාර්යාව ලෙස හැඳින්වීමෙන් යෙහෝවා ඔවුන් කෙරෙහි තමන් තුළ ඇති මෘදු හැඟීම් පෙන්වයි. ඊටත් වඩා, යෙසායා පොතේ මේ පරිච්ඡේදය අපට බයිබලයේ සඳහන් “පරිශුද්ධ රහස” [NW] යන වැදගත් අංගය පැහැදිලිව වටහාගැනීමට උපකාර කරයි. (රෝම 16:25, 26) මේ අනාවැකියේ පුරෝකථනය කර තිබෙන ‘තැනැත්තියගේ’ අනන්‍යතාව සහ ඇගේ අද්දැකීම් අදදින පවිත්‍ර නමස්කාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට රුකුලක් වේ.

‘තැනැත්තියගේ’ අනන්‍යතාව

3. වඳ ‘තැනැත්තියට’ ප්‍රීති විය හැක්කේ මන්ද?

3 පනස්හතරවන පරිච්ඡේදය ඇරඹෙන්නේ ප්‍රීතිමත් කියමනකිනි. “දරුවන් බිහිනොකළ වඳ තැනැත්තිය, ගීකියන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬනගා ශබ්ද පවත්වන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝයයි [යෙහෝවා කියන්නේය].” (යෙසායා 54:1) යෙසායා මේ වචන ටික කටින් පිට කරද්දී මොනතරම් ප්‍රීති වෙන්න ඇද්ද! එම වචනවල ඉටුවීම, බබිලෝනියේ සිටින යුදෙව් වහලුන්ට මොනතරම් සැනසිල්ලක් ගෙන දේවිද! එම අනාවැකිය ඉටු වන කාලය වන විට යෙරුසලම පාළුව තිබෙනු ඇත. වියපත් වූ වඳ කතක් සාමාන්‍යයෙන් දරුවෙකු බලාපොරොත්තු නොවන්නා සේ මිනිසුන්ගේ දෘෂ්ටි කෝණයෙන් නම්, ඇය නැවත කිසිම දිනක ජනාවාස වෙයි කියා පෙනෙන්න තිබුණේ නැත. එහෙත්, මේ ‘තැනැත්තියගේ’ අනාගතය ඉතාම විපාකදායි එකක් වනු ඇත. ඇය දරු සම්පත් ලබන්නීය. ඇය ප්‍රීතියෙන් ඉපිල යනු ඇත. ඇය නැවත වරක් “දරුවන්” නැතහොත් ජනයාගෙන් පිරෙනු ඇත.

4. (අ) යෙසායා 54වන පරිච්ඡේදයට, පො.යු.පෙ. 537දී තිබුණාට වඩා විශාල ඉටුවීමක් තිබෙනු ඇති බව පෙන්වීමට ප්‍රේරිත පාවුල් උත්සාහ කරන්නේ කෙසේද? (ආ) “ඉහළ තිබෙන යෙරුසලම” කියන්නේ කුමක්ද?

4 යෙසායා ඒ ගැන නොදැන සිටියා විය හැකි නමුත් මේ අනාවැකියට ඉටුවීම් එකකට වඩා තිබෙනු ඇත. ප්‍රේරිත පාවුල් යෙසායා 54වන පරිච්ඡේදයෙන් උපුටා දක්වමින් පැහැදිලි කරන්නේ එහි සඳහන් “තැනැත්තිය” භූමික යෙරුසලම් නුවරට වඩා වැදගත් යමක් නියෝජනය කරන බවයි. ඔහු මෙසේ ලියයි. “නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.” (ගලාති 4:26) මේ “ඉහළ තිබෙන යෙරුසලම” කුමක්ද? පොරොන්දු දේශයේ තිබූ යෙරුසලම් නුවර නොවන බව පැහැදිලිය. එම නුවර පිහිටියේ පොළොවේ මිස “ඉහළ” එනම් ස්වර්ගයේ නොවේ. “ඉහළ තිබෙන යෙරුසලම” කියා කියන්නේ දෙවිගේ ස්වර්ගීය “තැනැත්තිය” නැතහොත් බිරිඳ වන බලවත් ආත්ම මැවිලිවලින් යුත් ඔහුගේ සංවිධානයටයි.

5. ගලාති 4:22-31හි දක්වා තිබෙන සංකේතමය නාට්‍යයේ (අ) ආබ්‍රහම්ගෙන් (ආ) සාරාගෙන් (ඇ) ඊසාක්ගෙන් (ඈ) හාගර්ගෙන් සහ (ඉ) ඉෂ්මායෙල්ගෙන් නියෝජනය කරන්නේ කාවද?

5 එහෙත්, යෙහෝවාට ස්වර්ගයේත් පොළොවේත් දෙතැනම සංකේතාත්මක ස්ත්‍රීන් දෙදෙනෙකු සිටිය හැක්කේ කෙසේද? මෙහි පරස්පර විරෝධිතාවක් තිබේද? කොහෙත්ම නැත. මීට පිළිතුර ගැබ්ව තිබෙන්නේ ආබ්‍රහම්ගේ පවුල හා බැඳි අනාවැකිමය නාට්‍යය තුළ බව ප්‍රේරිත පාවුල් පෙන්වා දෙයි. (ගලාති 4:22-31; 218වන පිටුවේ ඇති “ආබ්‍රහම්ගේ පවුල—අනාවැකිමය නාට්‍යයක්” යන කොටස බලන්න.) ආබ්‍රහම්ගේ භාර්යාව මෙන්ම “නිර්දාසිය” වූ සාරාගෙන් නියෝජනය කරන්නේ ආත්ම මැවිලිවලින් සමන්විත යෙහෝවාගේ ස්ත්‍රිය බඳු සංවිධානයය. දාසිය මෙන්ම ආබ්‍රහම්ගේ දෙවැනි භාර්යාව නැතහොත් උපභාර්යාව වූ හාගර්ගෙන් නියෝජනය කරන්නේ භූමික යෙරුසලමය.

6. දෙවිගේ ස්වර්ගීය සංවිධානය දිගු කාලපරිච්ඡේදයකට වඳව සිටියේ කිනම් අර්ථයෙන්ද?

6 එම පසුබිම දැනගැනීමත් සමඟම යෙසායා 54:1හි සඳහන් දෙයෙහි තිබෙන ගැඹුරුකම සහ වැදගත්කම දැකගත හැක. දශක ගණනාවක වඳභාවයෙන් පසු වයස අවුරුදු 90දී සාරා ඊසාක්ව වැදුවාය. ඒ හා සමානව, යෙහෝවාගේ ස්වර්ගීය සංවිධානය දිගු කාලයක් පුරා වඳව සිටියාය. ඈත අතීතයේ ඒදන් උයනේදී, තම “ස්ත්‍රිය” විසින් ‘වංශයක්’ බිහි කරන බවට යෙහෝවා පොරොන්දු විය. (උත්පත්ති 3:15) තවද, ඊට අවුරුදු 2,000කට පමණ පසු පොරොන්දු වූ වංශය ගැන යෙහෝවා ආබ්‍රහම් සමඟ ගිවිසුමකට එළඹුණි. එහෙත්, එම වංශය උපදින තුරු දෙවිගේ ස්වර්ගීය ‘තැනැත්තියට’ තව බොහෝ සියවස් ගණනාවක් පුරා බලා සිටීමට සිදු විය. කෙසේවෙතත්, මෙතුවක් කල් ‘වඳව සිටි මේ තැනැත්තියගේ’ දරුවන්, මාංසික ඉශ්‍රායෙල්ට වඩා ගණනින් වැඩි වන කාලය පැමිණියේය. පුරෝකථනය කළ වංශයේ පැමිණීම ගැන සාක්ෂි දීමට දේවදූතයන් මහත් ආශාවෙන් සිටියේ ඇයි කියා තේරුම්ගැනීමට වඳව සිටි තැනැත්තිය පිළිබඳ මේ උපහැරණය උපකාර කරයි. (1 පේතෘස් 1:12) මෙය අන්තිමට සිදු වූයේ කවදාද?

7. යෙසායා 54:1හි පුරෝකථනය කර ඇති ලෙස ‘ඉහළ තිබෙන යෙරුසලමට’ ප්‍රීතිවීමට අවස්ථාව ලැබුණේ කවදාද? ඔබ එසේ පිළිතුරු දෙන්නේ මන්ද?

7 මිනිස් දරුවෙකු හැටියට යේසුස්ගේ උත්පත්තිය දේවදූතයන්ගේ ප්‍රීතියටද හේතුවක් විය. (ලූක් 2:9-14) නමුත් යෙසායා 54:1හි පුරෝකථනය කරන්නේ ඒ සිද්ධිය ගැන නොවේ. යේසුස් ‘ඉහළ තිබෙන යෙරුසලමේ’ ආත්මික පුත්‍රයෙකු බවට පත් වූයේ පො.යු. 29දී ඔහුව ශුද්ධාත්මයෙන් උත්පාදනය කළ අවස්ථාවේදීයි. “මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා” කියා යේසුස්ව අමතමින් යෙහෝවා ඔහුව ප්‍රසිද්ධියේ පිළිගත්තේ එම අවස්ථාවේදීය. (මාර්ක් 1:10, 11; හෙබ්‍රෙව් 1:5; 5:4, 5) ඒ අවස්ථාවේදී යෙසායා 54:1හි සඳහන් වචන ඉටුවීම නිසා දෙවිගේ ස්වර්ගීය ‘තැනැත්තියට’ ප්‍රීතිවීමට ප්‍රස්තාව ලැබුණි. අන්තිමේදී, ඇය පොරොන්දු වූ වංශය වන මෙසියස්ව ප්‍රසූත කළාය! සියවස් ගණනක කාලයක් පුරා පැවති ඇගේ වඳභාවය එයින් නිමා විය. එහෙත්, ඇගේ ප්‍රීතිය එයින් අවසන් නොවීය.

වඳ තැනැත්තිය බොහෝ දරුවන් වදන්නීය

8. පොරොන්දු වූ වංශය බිහි කළ පසු දෙවිගේ ස්වර්ගීය ‘තැනැත්තියට’ ප්‍රීතිවීමට හැකි වුණේ මන්ද?

8 යේසුස්ගේ මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් පසුව, දෙවිගේ ස්වර්ගීය “තැනැත්තිය” මේ ඉතා ප්‍රිය පුත්‍රයාව “මළවුන්ගෙන් කුළුඳුලා” ලෙස යළි පිළිගැනීමට කැමති විය. (කොලොස්සි 1:18) එතැන් පටන් ඇය තවත් දරුවන් බිහි කිරීමට පටන්ගත්තාය. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී යේසුස්ගේ අනුගාමිකයන් 120දෙනෙකුව පමණ ශුද්ධාත්මයෙන් ආලේප කළ අතර, ඔවුන්ව ක්‍රිස්තුස් සමඟ හවුල් පාලකයන් වීමට තෝරාගන්නා ලදි. එදිනම තවත් 3,000ක් පමණ ඔවුන්ට එකතු විය. (යොහන් 1:12; ක්‍රියා 1:13-15; 2:1-4, 41; රෝම 8:14-16) මේ පුතුන් කණ්ඩායම වැඩි වෙන්න පටන්ගත්තේය. එහෙත්, ක්‍රිස්තියානි ලෝකයේ ඇදහිල්ල හැරයෑම සිදු වූ මුල් අවදියේදී, වර්ධනය කුඩා දිය කඩිත්තක් බවට පත් විය. කෙසේවෙතත්, එය 20වන සියවසේදී වෙනස් වීමට නියමිතව තිබුණි.

9, 10. පුරාණ කාලයේදී කූඩාරම්වල විසූ ස්ත්‍රීන්ට “කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න” යන උපදෙසින් අදහස් කළේ කුමක්ද? එවැනි ස්ත්‍රියකට එය ප්‍රීතිමත් කාලයක් වූයේ මන්ද?

9 විශිෂ්ට වර්ධනයක් සිදු වන කාලයක් ගැන යෙසායා තවදුරටත් පුරෝකථනය කරයි. “නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. නුඹේ ලනු දික්කර නුඹේ ඇණ සවිකරන්න. මක්නිසාද නුඹ දකුණටත් වමටත් පැතිරයනවා ඇත; නුඹේ වංශය ජාතීන්ගේ දේශ හිමිකරගෙන, පාළුවූ නුවරවල් වැසියන්ගෙන් පුරවනවා ඇත. භය නොවන්න; මක්නිසාද නුඹ ලජ්ජාවට පැමිණෙන්නේ නැත. නොකැලඹෙන්න; නුඹ නින්දාවට නොපැමිණෙන්නෙහිය. මක්නිසාද නුඹ නුඹේ යෞවන කාලයේ ලජ්ජාව සිහිනැතිකරන්නෙහිය, නුඹේ වැන්දඹුකමේ නින්දාවද තවත් සිහි නොකරන්නෙහිය.”—යෙසායා 54:2-4.

10 මෙහි යෙරුසලම හඳුන්වා තිබෙන්නේ සාරා මෙන් කූඩාරම්වල වසන භාර්යාවක් සහ මවක් හැටියටය. පවුල ප්‍රමාණයෙන් විශාල වන විට කූඩාරම විශාල කිරීමේ වගකීම පැවරෙන්නේ මවටය. වඩා දිග කූඩාරම් තිර එළා ලණුවලින් ගැටගසා අලුත් ඇණ නියමිත ස්ථානවල සවි කිරීමේ කාර්යය ඇය සතුය. මේ කාලය ඇයට ඉතාම ප්‍රීතිමත් මෙන්ම කාර්ය බහුල කාලයක් වනු ඇත. තමන්ට දරුවන් ලැබෙයිද, පරම්පරාව ගෙන යන්නේ කොහොමද වැනි ප්‍රශ්නවලින් තැවුණු අතීතය එම කාලයේදී ඇයට ඉබේම අමතක වී යනු ඇත.

11. (අ) වර්ෂ 1914දී දෙවිගේ ස්වර්ගීය “තැනැත්තිය” ආශීර්වාද ලැබුවේ කෙසේද? (පාදසටහන බලන්න.) (ආ) වර්ෂ 1919 සිට පොළොව මත සිටින ආලේප ලත් අය අද්දුටු ආශීර්වාද මොනවාද?

11 භූමික යෙරුසලම බබිලෝනියේ වහල්භාවයෙන් පසු එවැනි ප්‍රකෘතිමත් කාලයක් අද්දැක්කාය. ඊට වඩා ආශීර්වාදයක් “ඉහළ තිබෙන යෙරුසලම” අද්දැක්කාය. * විශේෂයෙන්ම 1919 සිට ඇගේ ආලේප ලත් “වංශය” යළි පිහිටුවන ලද ඔවුන්ගේ අලුත් ආත්මික වාතාවරණය තුළ වර්ධනය වී තිබේ. (යෙසායා 61:4; 66:8) ඔවුන් ‘ජාතීන්ගේ දේශ හිමි කරගැනීමෙන්’ අදහස් කරන්නේ ඔවුන්ගේ ආත්මික පවුලට එක්රැස් වන අයව සෙවීමට බොහෝ දේශවලට පැතිර යෑමයි. ඒ හේතුවෙන්, ආලේප ලත් පුත්‍රයන් එක්රැස් කිරීමේ ඉතා ශීඝ්‍ර වර්ධනයක් සිදු විය. වර්ෂ 1930 මැද භාගය වන විට ඔවුන්ගේ අවසාන සංඛ්‍යාව වන 1,44,000 සම්පූර්ණ වී ඇති බවක් පෙනුණි. (එළිදරව් 14:3) එම කාලයේදී, ආලේප ලත් අයව එක්රැස් කිරීම සඳහා සිදු කළ දේශනා වැඩය නතර කෙරුණි. කෙසේවුවත් වර්ධනය නම් නැවතුණේ නැත.

12. ආලේප ලත් අයට අමතරව, 1930 ගණන්වල සිට ක්‍රිස්තියානි සභාවට එක්රැස් කරවා තිබෙන්නේ කාවද?

12 තම ආලේප ලත් සහෝදරයන්ගෙන් සමන්විත ‘කුඩා රැළට’ අමතරව සැබෑ ක්‍රිස්තියානි බැටළු ගාලට ගෙනා යුතු ‘වෙනත් බැටළුවන්ද’ සිටින බව යේසුස් පුරෝකථනය කළේය. (ලූක් 12:32; යොහන් 10:16) මේ ඇදහිලිවන්ත සහයකයන් ‘ඉහළ තිබෙන යෙරුසලමට’ අයිති ආලේප ලත් පුත්‍රයන් නොවුණත්, ඔවුන් බොහෝ කාලයකට පෙර පුරෝකථනය කළ අනාවැකියක් ඉටු කරයි. (සෙකරියා 8:23) වර්ෂ 1930 ගණන්වල සිට මේ දක්වා, මොවුන්ගෙන් “මහත් සමූහයක්” එක්රැස් කර තිබෙන අතර, එය ක්‍රිස්තියානි සභාවේ පෙර නොවූ විරූ අන්දමේ වර්ධනයක් දැකීමට හේතු වී තිබේ. (එළිදරව් 7:9, 10) අද මහත් සමූහයේ සංඛ්‍යාව දශලක්ෂ ගණන් දක්වා වැඩි වී ඇත. මේ වර්ධනය නිසා තව තවත් රාජ්‍ය ශාලා, එක්රැස්වීම් ශාලා සහ ශාඛා සංකීර්ණ ගොඩනැඟීමේ අවශ්‍යතාව වැඩි වී තිබේ. යෙසායාගේ වචන වෙන කවරදාකටත් වඩා මේ කාලයට උචිත වී ඇත. පුරෝකථනය කළ එම වර්ධනයේ කොටස්කරුවන් වීමට ලැබීම මොනතරම් වරප්‍රසාදයක්ද!

තම දරුවන් ගැන සලකන මවක්

13, 14. (අ) දෙවිගේ ස්වර්ගීය “තැනැත්තිය” සම්බන්ධයෙන් යොදාගෙන තිබෙන කියමන තේරුම්ගැනීමට දුෂ්කරබවක් දැනෙන්නේ ඇයි? (ආ) දෙවි යොදාගන්නා පවුල් සබඳතා හා බැඳි උපහැරණවලින් අපට ලබාගත හැකි අවබෝධය කුමක්ද?

13 අනාවැකියේ “තැනැත්තිය” යෙහෝවාගේ ස්වර්ගීය සංවිධානය නියෝජනය කරන බව එහි ප්‍රධාන ඉටුවීමේදී අපි දුටිමු. එහෙත්, යෙසායා 54:4 කියවීමෙන් පසු, ආත්ම මැවිලිවලින් සමන්විත එම සංවිධානය ලැජ්ජාව නැතහොත් නින්දාව විඳින්නේ කෙසේද කියා ඔබ කල්පනා කරන්න ඉඩ තිබේ. දෙවිගේ “තැනැත්තිය” ප්‍රතික්ෂේප වීමට, පීඩා විඳීමට සහ ආක්‍රමණවලට ගොදුරු වීමට යන බව ඊළඟ ඡේදවල පවසයි. ඇය දෙවිගේ සාධාරණ කෝපය පවා අවුස්සනු ඇති බව එහි කියවේ. කිසිදාක පව් නොකරන පරිපූර්ණ ආත්ම මැවිලිවලින් සමන්විත සංවිධානයකට එම වචන අදාළ වන්නේ කෙසේද? පිළිතුර ගැබ්ව තිබෙන්නේ එය මොන වගේ පවුලක්ද යන්න මතයි.

14 යෙහෝවා ගැඹුරු ආත්මික සත්‍යතා තේරුම් කර දීමට ස්වාමිපුරුෂයා සහ භාර්යාව, මව සහ දරුවන් වැනි පවුල් සබඳතා යොදාගනී. මන්ද එවැනි උපහැරණ මිනිසුන්ට අර්ථවත් යමක් වන හෙයිනි. පවුලේ අය සමඟ අප එකිනෙකාට තිබෙන බැඳීම කුමක් වුණත්, හොඳ විවාහයක් හෝ හොඳ මාපිය-දරු සම්බන්ධයක් කියන්නේ කුමක්ද කියා අප නොදන්නවා නොවේ. එසේ නම්, පවුල් සම්බන්ධතා යොදාගනිමින් යෙහෝවා තමන් හා ස්වර්ගීය සේවකයන් අතර සමීප, උණුසුම් මෙන්ම විශ්වසනීය සම්බන්ධයක් තිබෙන බව මොනතරම් පැහැදිලිව අපට උගන්වයිද! දෙවිගේ ස්වර්ගීය සංවිධානය ආත්මයෙන් ආලේප ලත් තම භූමික වංශය කොතරම් ආදරයෙන් රැකබලා ගන්නවාද කියා මොනතරම් ලස්සනට උගන්වනවාද! මිනිස් සේවකයන් වේදනාවට පත් වෙද්දී, ‘ඉහළ තිබෙන යෙරුසලමට’ අයත් ඇදහිලිවන්ත ස්වර්ගික සේවකයන්ද වේදනාවට පත් වේ. ඒ හා සමාන අදහසක් ගෙනහැර දක්වමින් යේසුස් කීවේ මෙසේය. “මාගේ මේ [ආත්මයෙන් ආලේප ලත්] සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය.”—මතෙව් 25:40.

15, 16. යෙසායා 54:5, 6හි මුල් ඉටුවීම කුමක්ද? එහි ප්‍රධාන ඉටුවීම කුමක්ද?

15 මේ අනුව බලද්දී, යෙහෝවාගේ ස්වර්ගීය “තැනැත්තිය” පිළිබඳව පවසා ඇති බොහෝ දේවල්වලින් ඇගේ භූමික දරුවන්ගේ තත්වය හෙළි වේ. මේ වචන සලකා බලන්න. ‘නුඹේ ස්වාමිපුරුෂයා නම් නුඹේ මැවුම්කාරයාය [ශ්‍රේෂ්ඨ සැදුම්කාරයාය, NW]; ඔහුගේ නාමය සේනාවල යෙහෝවාය. නුඹේ මිදුම්කාරයා ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාය; මුළු පොළොවේ දෙවියයි ඔහුට කියනු ලැබේ. මක්නිසාද අත්හරින ලද්දාවූ, ආත්මයෙහි ශෝක ඇත්තාවූ භාර්යාවක් මෙන්ද පහ කරන ලද යෞවන කාලයේ භාර්යාවක් මෙන්ද යෙහෝවා නුඹ කැඳවාගත්තේයයි නුඹේ දෙවි කියන්නේය.’—යෙසායා 54:5, 6.

16 මෙහි කතා කරන භාර්යාව කවුද? මුල් ඉටුවීමේදී භාර්යාව වූයේ දෙවිගේ සෙනඟව නියෝජනය කළ යෙරුසලමයි. බබිලෝනීය වහල්භාවයේ සිටි අවුරුදු 70ක කාලය තුළදී ඔවුන්ට දැනුණේ යෙහෝවා ඔවුන්ව ප්‍රතික්ෂේප කර මුළුමනින්ම අතහැර දමා තිබුණාක් මෙනි. එහි ප්‍රධාන ඉටුවීමේදී එම වචනවලින් යොමු දක්වන්නේ, ‘ඉහළ තිබෙන යෙරුසලමට’ සහ උත්පත්ති 3:15හි සඳහන් “වංශය” බිහි කිරීම හා සම්බන්ධ ඇගේ අද්දැකීමටය.

තාවකාලික හික්මවීම සහ සදාකාලික ආශීර්වාද

17. (අ) භූමික යෙරුසලම මත දිව්‍ය උදහස ‘වැගුරුවේ’ කෙසේද? (ආ) ‘ඉහළ තිබෙන යෙරුසලමට’ අයිති පුත්‍රයන් මත උදහස ‘වැගිරුවේ’ කෙසේද?

17 අනාවැකියෙහි තවදුරටත් මෙසේ කියයි. “මම ලුහුඬු මොහොතකට නුඹ අත්හැරියෙමි; නුමුත් මහත් අනුකම්පාවලින් [දයාවෙන්, NW] නුඹ නැවත කැඳවාගන්නෙමි. මම උදහස වගුරුවා මාගේ මුහුණ මොහොතක් නුඹෙන් සඟවා ගතිමි; නුමුත් සදාකාල කරුණාවෙන් නුඹට අනුකම්පාකරමියි නුඹේ මිදුම්කාරයා වන [යෙහෝවා කියන්නේය].” (යෙසායා 54:7, 8) පොදු යුගයට පෙර 607දී බබිලෝනීය හමුදා යෙරුසලම ආක්‍රමණය කළ අවස්ථාවේදී දෙවිගේ උදහස භූමික යෙරුසලම කෙරෙහි “වගුරුවා” තිබුණි. ඈ වහල්භාවයේ ගත කළ අවුරුදු 70 දිගු කලක් මෙන් පෙනෙන්න තිබුණි. හික්මවීමට හොඳ ප්‍රතිචාරයක් දක්වන අය ලැබීමට නියමිත සදාකාලික ආශීර්වාද සමඟ සසඳා බලන විට, මේ පරීක්ෂා පවතින්නේ සුළු “මොහොතකට” පමණි. ඒ හා සමානව, මහා බබිලෝනියේ උසිගැන්වීම නිසා දේශපාලනික බලවතුන්ගේ ආක්‍රමණයට ලක්වීමට යෙහෝවා ඉඩහළ විට, ‘ඉහළ තිබෙන යෙරුසලමට’ අයිති ආලේප ලත් පුත්‍රයන්ද සිතුවේ තමන් මත දිව්‍ය උදහස “වගුරුවා” තිබෙනවා කියාය. එහෙත්, 1919 සිට ආත්මික අර්ථයකින් භුක්ති විඳ ඇති ආශීර්වාදාත්මක කාලය හා සසඳද්දී හික්මවනු ලැබූ කාලපරිච්ඡේදය මොනතරම් කෙටිද!

18. තමන් සෙනඟට විරුද්ධව ඇවිළෙන යෙහෝවාගේ උදහස සම්බන්ධයෙන් අප ඉගෙනගන්නා වැදගත් ප්‍රතිපත්තිය කුමක්ද? එය අපට පුද්ගලිකව බලපාන්නේ කෙසේද?

18 මේ පද තවත් වැදගත් සත්‍යයක් අපට උගන්වයි. එනම්, දෙවිගේ උදහස තාවකාලික බවත්, ඔහුගේ දයාව සදාකාලික බවත්ය. ඔහුගේ කෝපය වැරදි ක්‍රියාවලට විරුද්ධව ඇවිළුණද, එය සැමවිටම පාලනයෙන් සහ අරමුණකින් යුක්තයි. එමෙන්ම, අපි යෙහෝවාගේ හික්මවීම පිළිගනිමු නම්, ඔහුගේ උදහස “මොහොතකට” පැවත නිවී යයි. ඔහු ‘මහත් දයාවෙන්’ පෙලඹී අපට සමාව දෙන අතර, ප්‍රේමනීය කරුණාව දක්වයි. ඒවා ‘සදාකාලයටම’ පවතී. ඒ නිසා, අප පාපයක් කළ විට, පසුතැවිලි වීමට සහ දෙවි ඉදිරියේ වැරැද්ද නිවැරදි කරගැනීමට කිසිවිටෙක පසුබට නොවිය යුතුයි. පාපය බරපතළ එකක් නම්, අප වහාම සභාවේ සිටින වැඩිමහල්ලන්ව මුණගැසිය යුතුය. (යාකොබ් 5:14) එවිට හික්මවීම ලැබීමට සිදු විය හැකිය. එය ලැබීම වේදනාසහගත දෙයක්ද විය හැකිය. (හෙබ්‍රෙව් 12:11) එහෙත්, යෙහෝවා දෙවිගේ සමාව ලැබීමෙන් අත් වන සදාකාලික ආශීර්වාද සමඟ සසඳද්දී ඒ වේදනාව තාවකාලිකය!

19, 20. (අ) දේදුන්නේ ගිවිසුම කුමක්ද? බබිලෝනියේ සිටි වහලුන් හා ඊට ඇති සම්බන්ධය කුමක්ද? (ආ) අදදින සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන්ට ‘සමාදාන ගිවිසුමෙන්’ ලබා දෙන සහතිකය කුමක්ද?

19 දැන් යෙහෝවා තම සෙනඟට සැනසිලිදායක සහතිකයක් ලබා දෙයි. “මේක මට නෝවාගේ ජලගැලීම මෙන්ය. මක්නිසාද නෝවාගේ ජලගැලීම තවත් පොළොවේ නොගලන හැටියට මා විසින් දිවුරුවාක්මෙන්ම, නුඹ කෙරෙහි උදහස් නොවන බවටත් නුඹට තරවටු නොකරන බවටත් මම දිවුළෙමි. මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන [යෙහෝවා කියන්නේය].” (යෙසායා 54:9, 10) ජලගැලීමෙන් පසු දෙවි නෝවා සහ අනිකුත් සියලුම ප්‍රාණ සමඟ ගිවිසුමක් කළ අතර, එය සමහර අවස්ථාවලදී දේදුන්නේ ගිවිසුම ලෙසද හඳුන්වයි. නැවත කවදාවත් මේ පොළොව ජලගැලීමකින් විනාශ නොකරන බවට යෙහෝවා එහිදී පොරොන්දු විය. (උත්පත්ති 9:8-17) එයින් යෙසායාටත් ඔහුගේ කාලයේ සිටි මිනිසුන්ටත් ඇති ප්‍රයෝජනය කුමක්ද?

20 ඔවුන් විඳි දඬුවම එනම්, බබිලෝනියේ අවුරුදු 70ක් පුරා වහලුන්ව සිටීම සිදු වන්නේ එක් වතාවක් පමණක් වීම සැනසිලිදායක පණිවිඩයකි. එය අවසන් වූ පසු නැවත කිසිදාක එසේ සිදු නොවනු ඇත. ඉන්පසු, දෙවිගේ “සමාදාන ගිවිසුම” ක්‍රියාත්මක වේ. ‘සමාදානය’ නමැති හෙබ්‍රෙව් වචනයෙහි යුද්ධයෙන් තොර කියන අදහස පමණක් නොව සෑම ආකාරයකම යහපත් දේ ලැබීම යන අදහසද ගැබ්ව ඇත. දෙවිගේ පැත්තෙන් නම්, මේ ගිවිසුම සදාකාලිකයි. නුදුරු අනාගතයේදී කඳු සහ හෙල් පහ වුණත්, ඔහුගේ සෙනඟ කෙරෙහි ඔහු දක්වන ප්‍රේමනීය කරුණාව නම් නැති නොවේ. කනගාටුදායක ලෙස දෙවිගේ භූමික ජාතිය ගිවිසුමේ තමන්ගේ කොටසට අනුව ජීවත් වීමට අපොහොසත් වූ අතර, මෙසියස්ව ප්‍රතික්ෂේප කිරීම මගින් එම ගිවිසුම කඩ කළහ. එහෙත්, ‘ඉහළ තිබෙන යෙරුසලමේ’ පුත්‍රයන් එසේ කළේ නැත. ඔවුන්ගේ හික්මවීමේ දුෂ්කරම කාලපරිච්ඡේදය පසු කළායින් පසු ඔවුන්ට දිව්‍ය රැකවරණයේ සහතිකය ලැබුණි.

දෙවිගේ සෙනඟගේ ආත්මික සුරක්ෂිතභාවය

21, 22. (අ) “ඉහළ තිබෙන යෙරුසලම” පීඩාවකට හෝ කුණාටුවකට හසු වූවාක් මෙන් එහාට මෙහාට සෙලවීමකට ලක් වන බව කියන්නේ මන්ද? (ආ) දෙවිගේ ස්වර්ගීය ‘තැනැත්තියගේ’ ආශීර්වාද ලත් තත්වය ඇගේ භූමික “වංශය” ගැන කියා පාන්නේ කුමක්ද?

21 යෙහෝවා තම ඇදහිලිවන්ත සෙනඟ ලබන සුරක්ෂිතභාවය ගැන පුරෝකථනය කරන්නේ මෙසේයි. “අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි. නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි. නුඹේ සියලුම දරුවෝද [යෙහෝවා] විසින් උගන්වනු ලබන්නෝ වෙති; නුඹේ දරුවන්ගේ සමාදානයද මහත් වන්නේය. නුඹ ධර්මිෂ්ඨකමෙන් පිහිටුවනු ලබනවා ඇත. නුඹ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක නුඹට ළං නොවන්නේය. මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. නුඹට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් නුඹ නිසා වැටෙන්නෝය.”යෙසායා 54:11-15.

22 ආත්ම විෂයෙහි සිටින යෙහෝවාගේ “තැනැත්තිය” කෙළින්ම පීඩාවකට හෝ කුණාටුවකට කිසිදා හසුව නැති බව ඇත්තයි. එහෙත්, ඇගේ භූමික ආලේප ලත් “වංශය,” විශේෂයෙන්ම ඔවුන් ආත්මික වහල්භාවයේ සිටි 1918ත් 1919ත් අතර කාලයේදී දුක් විඳිනු ලැබූ විට ඇයද දුක් වින්දාය. නමුත්, ස්වර්ගීය “තැනැත්තිය” උසස් කරනු ලැබූ විට, ඇගේ වංශය තුළද එම තත්වයම පිළිබිඹු විය. එය සැලකිල්ලට ගනිමින්, “ඉහළ තිබෙන යෙරුසලම” පිළිබඳ ප්‍රබල විස්තරය සලකා බලන්න. එක් මූලාශ්‍රයක දක්වන ආකාරයට, දොරටුවල ඔබ්බා තිබෙන අනර්ඝ ගල්, මිල අධික “ගල් අංජන” කැට, අත්තිවාරම් පමණක් නොව මායිම්වලින් පවා අඟවන්නේ, “අලංකාරය, තේජශ්‍රීය, පවිත්‍රත්වය, බලය සහ ශක්තිසම්පන්නබවයි.” ආලේප ලත් ක්‍රිස්තියානීන් එවන් සුරක්ෂිත මෙන්ම ආශීර්වාද ලත් තත්වයක් අත් කරගැනීමට හේතු වන්නේ කුමක්ද?

23. (අ) ‘යෙහෝවා විසින් උගන්වනු ලැබීම’ අන්තිම දවස්වල සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන්ට බලපා ඇත්තේ කෙසේද? (ආ) දෙවිගේ සෙනඟ ‘පියකරු ගලින් සකස් කළ මායිම්’ නිසා ආශීර්වාද ලබා තිබෙනවායයි කිව හැක්කේ කිනම් අර්ථයෙන්ද?

23 යෙසායා 54වන පරිච්ඡේදයේ 13වන පදයේ එහි රහස ගැබ්ව තිබේ. එයට හේතු වන්නේ, ඔවුන් සියලුදෙනාටම ‘යෙහෝවා විසින් උගන්වනු ලැබීමයි.’ යේසුස්ද මේ වචන තම ආලේප ලත් අනුගාමිකයන්ට අදාළ කළේය. (යොහන් 6:45) අනාගතවක්තෘ දානියෙල් පුරෝකථනය කළේ මේ ‘අන්තිම කාලයේදී’ ආලේප ලත් අය නිවැරදි දැනුමෙන් සහ ආත්මික අවබෝධයෙන් ආශීර්වාද ලබන බවයි. (දානියෙල් 12:3, 4) ඉතිහාසය තුළ දියත් කළ විශාලතම අධ්‍යාපනික ව්‍යාපෘතිය එනම්, පොළොව පුරා දිව්‍ය ඉගැන්වීම් පතළ කිරීම වේගවත් කිරීමට එවන් ඥානාලෝකයක් දායක වී තිබේ. (මතෙව් 24:14) ඒ අතරම, එම අවබෝධය සැබෑ ආගම සහ බොරු ආගම අතර වෙනස දකින්න ඔවුන්ට උපකාර කර තිබේ. යෙසායා 54:12හි ‘පියකරු ගලින් සකස් කළ මායිම්’ ගැන සඳහන් වේ. වර්ෂ 1919 සිට, බොරු ආගමෙන් සහ ලෝකයේ අභක්තික බලපෑම්වලින් තමන්ව වෙන් කරන ආත්මික මායිම් පැහැදිලිව හඳුනාගැනීමට යෙහෝවා වෙන කවරදාකටත් වඩා ආලේප ලත් අයට උපකාර කර තිබේ. (එසකියෙල් 44:23; යොහන් 17:14; යාකොබ් 1:27) මේ ආකාරයට ඔවුහු දෙවිගේම සෙනඟ හැටියට ලෝකයෙන් වෙන්ව සිටිති.—1 පේතෘස් 2:9.

24. දෙවි විසින් උගන්වනු ලබන බවට සහතික වීමට අප කුමක් කළ යුතුද?

24 ඒ නිසා, ‘මටත් යෙහෝවා උගන්වමින් සිටිනවාද?’ කියා අප සියලුදෙනාම පුද්ගලිකව අපෙන්ම අසාගැනීම යෙහෙකි. අපට එවන් ඉගැන්වීමක් ඉබේම ලැබෙන්නේ නැත. එය ලබාගැනීමට අප වෑයම් කළ යුතුය. අප ඇත්ත වශයෙන්ම යෙහෝවාගෙන් ඉගෙනගන්නවායයි කිව හැක්කේ කුමක් කළොත්ද? අප එය කරන්නේ, දෙවිගේ වචනය නිතිපතාම කියවා, කියවන දේ මෙනෙහි කිරීම මගින් උපදෙස් සිතට ගැනීමෙනි. එමෙන්ම, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ප්‍රකාශයට පත් කරන බයිබලය මත පදනම් ප්‍රකාශන කියවා එහි ඇති උපදෙස් අදාළ කරගැනීමෙන් සහ හොඳින් සූදානම් වී ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙනි. (මතෙව් 24:45-47) අප ඉගෙනගන්නා දේ අදාළ කරගෙන ආත්මිකව අවදියෙන් හා සුපරීක්ෂාවෙන් සිටීමට වෑයම් කරනවා නම්, දිව්‍ය ඉගැන්වීම් අපව අභක්තික ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කර තබනු ඇත. (1 පේතෘස් 5:8, 9) ඊටත් වඩා වැඩියෙන්, එය ‘දෙවිට ළං වෙන්න’ අපට උපකාර කරනු ඇත.—යාකොබ් 1:22-25; 4:8.

25. වර්තමාන කාලයේ සිටින තම සෙනඟට දෙවි පොරොන්දු වන සමාදානයෙන් අදහස් කරන්නේ කුමක්ද?

25 ආලේප ලත් අය බොහෝ සමාදානය භුක්ති විඳින බවත් යෙසායාගේ අනාවැකියේ පුරෝකථනය කරයි. මෙයින් අදහස් කරන්නේ ඔවුන් කිසිදාක ආක්‍රමණයකට ලක් වන්නේ නැතැයි කියාද? නැත. ඒ වෙනුවට, කිසිම ආක්‍රමණයකට ඉඩ දෙන්නේවත් එවැන්නක් සාර්ථක වීමට සලස්වන්නේවත් නැති බව දෙවි සහතික කරයි. ඒ ගැන අපට මෙසේ කියවීමට තිබේ. “අඟුරුගින්න පිඹ නියම වැඩයට ආයුධයක් සාදන්නාවූ ආචාරියා මැව්වේ මමය; වැනසීමට නාස්තිකාරයා මැවුවෙත් මමය. නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. [යෙහෝවාගේ] මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි [යෙහෝවා කියන්නේය].”යෙසායා 54:16, 17.

26. යෙහෝවා සියලු මනුෂ්‍යවර්ගයාගේම මැවුම්කරු බව දැනගැනීම සහනයක් වන්නේ කෙසේද?

26 යෙසායා 54වන පරිච්ඡේදයේ දෙවන වතාවටත් තම සේවකයන්ට තමන් මැවුම්කරු බව යෙහෝවා මතක් කර දෙයි. තමන් ඇගේ “ශ්‍රේෂ්ඨ සැදුම්කරුවා” කියා තම සංකේතමය භාර්යාවට යෙහෝවා කියා තිබුණි. නමුත් දැන් ඔහු පවසන්නේ තමන් සියලු මනුෂ්‍යවර්ගයාගේ මැවුම්කරුවා කියායි. ගිනි අඟුරුවලට පිඹිමින් අවි ආයුධ තනන කම්මල්කරුවෙකු ගැනත්, ‘වැනසීමට නාස්තිකාරයෙකු,’ එනම් හේවායෙකු ගැනත් දහසයවන ඡේදයේ කතා කරයි. මිනිස් කෝණයෙන් එවන් මිනිසුන් ගැන සිතද්දී අපේ මනස්වල බියකරු චිත්‍රයක් මැවුණත්, තමන්ගේ මැවුම්කාරයාට ඉහළින් යන්න ඔවුන්ට හපන්කමක් තිබේද? එලෙසම, අදදින මේ ලෝකයේ සිටින බලවත්ම හමුදාව යෙහෝවාගේ සෙනඟ ආක්‍රමණය කිරීමට පැමිණියත් ඔවුන් සඵල වෙන්නේ නැත. එසේ කියන්නේ ඇයි?

27, 28. මේ ගැටලු සහිත කාලවලදී අපට නිසැක විය හැක්කේ කුමක් ගැනද? අපට විරුද්ධව සාතන් දියත් කරන ආක්‍රමණ නිෂ්ඵල වන බව අප දන්නේ කෙසේද?

27 දෙවිගේ සෙනඟටත් ඔවුන් ආත්මයෙන්ද සැබෑකමෙන්ද කරන නමස්කාරයටත් විරුද්ධව ගෙනෙන විනාශකාරි ආක්‍රමණය සිදු කර හමාරයි. (යොහන් 4:23, 24) යෙහෝවා එක ආක්‍රමණයක් කිරීමට මහා බබිලෝනියට ඉඩහළ අතර, එය තාවකාලිකව සාර්ථක වූ බවක් පෙනෙන්න තිබුණි. ටික මොහොතකට “ඉහළ තිබෙන යෙරුසලම” තම වංශය පොළොව මත කරන දේශනා වැඩය නිහඬ තත්වයකට නැතහොත් නවතින තත්වයටම පැමිණෙනවා දිටීය. නැවත කිසිදා එසේ නොවනු ඇත! දැන් ඇය ඇගේ දරුවන් ගැන ප්‍රීති වන්නීය. ඔවුන්වද ආත්මික අර්ථයෙන් ගත් කල පරාජය කළ නොහැකිය. (යොහන් 16:33; 1 යොහන් 5:4) ඔවුන්ට විරුද්ධව තර්ජන ගර්ජන මතු වන්නේ නැතැයි මින් අදහස් නොකෙරේ. ඉදිරියට තවත් එසේ වනු ඇත. (එළිදරව් 12:16ආ) එහෙත් මේ එකක්වත් සඵල වී නැත. ඉදිරියේදීත් එසේ නොවනු ඇත. ආලේප ලත් අයගේ සහ ඔවුන්ගේ සහයකයන්ගේ ඇදහිල්ල සහ දැවෙන ජ්වලිතය නිවිය හැකි කිසිම ආයුධයක් සාතන් ළඟ නැත. මෙම ආත්මික සමාදානය ‘යෙහෝවාගේ මෙහෙකරුවන්ගේ උරුමය’ වේ. කිසිම කෙනෙකුට එය ඔවුන්ගෙන් පැහැරගැනීමට නොහැකි වනු ඇත.—ගීතාවලිය 118:6; රෝම 8:38, 39.

28 දෙවිගේ කැප වූ සේවකයන් කරන වැඩය හෝ ඔවුන්ගේ පවිත්‍ර නමස්කාරය හෝ නවත්වන්න සාතන්ගේ මේ ලෝකය සතු කිසිම දෙයකට නොහැකිය. ‘ඉහළ තිබෙන යෙරුසලමේ’ ආලේප ලත් වංශය මේ සහතිකයෙන් මහත් සැනසිල්ලක් ලබයි. මහත් සමූහයේ සාමාජිකයන්ද එසේමය. අප යෙහෝවාගේ ස්වර්ගීය සංවිධානය ගැනත්, එය පොළොවේ සිටින තම නමස්කාරකයන් සමඟ කටයුතු කරන ආකාරය ගැනත් දැනගන්න දැනගන්න අපේ ඇදහිල්ල ශක්තිමත් වනු ඇත. අපේ ඇදහිල්ල ශක්තිමත්ව තිබෙන තාක් කල්, අපට විරුද්ධව සාතන් කරන සටනේදී ඔහුගේ ආයුධ පුස්සක් වන බව ඔප්පු වනු ඇත!

[පාදසටහන]

^ එළිදරව් 12:1-16ට අනුව, දෙවිගේ ස්ත්‍රිය ඉතා වැදගත් ‘දරුවෙකු’ බිහි කිරීමට තරම් ආශීර්වාද ලැබුවාය. මෙම දරුවාගෙන් නියෝජනය කරන්නේ ආත්ම පුද්ගලයෙකුව නොව, ස්වර්ගික මෙසියානු රාජ්‍යයයි. එහි උපත සිදු වූයේ 1914දීය. (එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! නමැති පොතේ 177-86 දක්වා පිටු බලන්න.) පොළොව මත සිටින ඇගේ ආලේප ලත් පුත්‍රයන්ට දෙවි ලබා දී තිබෙන ආශීර්වාද සම්බන්ධයෙන් ඇයට දැනෙන ප්‍රීතියට යෙසායාගේ අනාවැකිය අවධානය යොමු කරයි.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[218, 219වන පිටුවේ කොටුව]

ආබ්‍රහම්ගේ පවුල—අනාවැකිමය නාට්‍යයක්

ස්වර්ගීය සංවිධානයත් මෝසෙස්ගේ ව්‍යවස්ථා ගිවිසුම යටතේ සිටින භූමික ඉශ්‍රායෙල් ජාතියත් සමඟ යෙහෝවාට ඇති සම්බන්ධතාව, ආබ්‍රහම්ගේ පවුල හා බැඳි අනාවැකිමය නාට්‍යය මගින් හෙළි වන බව ප්‍රේරිත පාවුල් විස්තර කළේය.—ගලාති 4:22-31.

ආබ්‍රහම් පවුලේ මූලිකයා හැටියට යෙහෝවා දෙවිව නියෝජනය කරයි. ආබ්‍රහම් තම ප්‍රේමවන්ත පුත්‍රයා වන ඊසාක්ව පූජා කිරීමට කැමති වීමෙන් සංකේතවත් කළේ, මනුෂ්‍යවර්ගයාගේ පාපවලට පූජාවක් හැටියට තම ප්‍රේමවන්ත පුත්‍රයාව ඔප්පු කිරීමට යෙහෝවා තුළ වූ කැමැත්තයි.—උත්පත්ති 22:1-13; යොහන් 3:16.

සාරාගෙන් නියෝජනය කරන්නේ ආත්ම මැවිලිවලින් සමන්විත සංවිධානය වන දෙවිගේ ස්වර්ගීය ‘භාර්යාවයි.’ එම ස්වර්ගීය සංවිධානය යෙහෝවාව ඉතා කිට්ටුවෙන් ඇසුරු කරන නිසාත්, සැමවිටම ඔහුගේ මූලිකත්වයට අවනත වන නිසාත්, ඔහුගේ අරමුණු ඉටු කිරීමේදී පූර්ණ සහයෝගය දක්වන නිසාත් යෙහෝවාගේ භාර්යාව ලෙස හැඳින්වීම ඉතා උචිතය. ඇයව “ඉහළ තිබෙන යෙරුසලම” කියාද හඳුන්වයි. (ගලාති 4:26) උත්පත්ති 3:15 සඳහන් වන්නේද එළිදරව් 12:1-6, 13-16 දක්වා සඳහන් දර්ශනයෙහි විග්‍රහ කර ඇත්තේද මේ “ස්ත්‍රිය” ගැනය.

ඊසාක්ගෙන් සංකේතවත් කරන්නේ, දෙවිගේ ස්ත්‍රියගේ ආත්මික වංශයයි. මෙම වංශයට මූලිකවම අයත් වන්නේ යේසුස් ක්‍රිස්තුස්ය. කෙසේවෙතත්, ආත්මික පුත්‍රයන් සහ ක්‍රිස්තුස් සමඟ හවුල් උරුමක්කාරයන් වීම සඳහා තෝරාගත් ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ද මේ වංශයට ඇතුළත් වේ.—රෝම 8:15-17; ගලාති 3:16, 29.

හාගර් නැතහොත් ආබ්‍රහම්ගේ උපභාර්යාව දාසියකි. තමන් පාපයේ සහ මරණයේ වහලුන් බව හෙළි කළ මෝසෙස්ගේ ව්‍යවස්ථා සංග්‍රහය මගින් පාලනය වූ භූමික යෙරුසලම ඇය නියෝජනය කරන්නීය. මේ ගැන පාවුල් පවසන්නේ, “හාගර් නම් අරාබියෙහි සීනා පර්වතයය” කියාය. ඊට හේතුව ව්‍යවස්ථා ගිවිසුම පිහිටවූයේ සීනයිහිදී වීමය.—ගලාති 3:10, 13; 4:25.

ඉෂ්මායෙල් හාගර්ගේ පුත්‍රයාය. ඔහුගෙන් නියෝජනය වූයේ ඒ වන විටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට යටත්ව සිටි යෙරුසලමේ පුත්‍රයන් වූ මුල් සියවසේ යුදෙව්වන්ය. ඉෂ්මායෙල් ඊසාක්ට පීඩා කළාක් මෙන් එම යුදෙව්වෝද සංකේතාත්මක සාරා නැතහොත් ‘ඉහළ තිබෙන යෙරුසලමට’ අයිති ආලේප ලත් පුත්‍රයන් වූ ක්‍රිස්තියානීන්ව පීඩාවට ලක් කළෝය. යෙහෝවා විසින් හාගර්ව සහ ඉෂ්මායෙල්ව පිටත් කරහැරියා සේ, යෙහෝවාද අන්තිමේදී යෙරුසලම හා ඇගේ කැරලිකාර පුත්‍රයන්ව ඉවතලෑවේය.—මතෙව් 23:37, 38.

220වන පිටුවේ පින්තූරය]

යේසුස් බව්තීස්ම වූ විට ඔහුව ශුද්ධාත්මයෙන් ආලේප කරන ලදි. එවිට යෙසායා 54:1හි සඳහන් වඩාත්ම වැදගත් ඉටුවීම ආරම්භ විය

[225වන පිටුවේ පින්තූරය]

යෙහෝවා යෙරුසලමෙන් තම මුහුණ සඟවාගන්නේ සුළු “මොහොතකට” පමණි

[231වන පිටුවේ පින්තූර]

කම්මල්කරුවාටත් හේවායාටත් ඔවුන්ගේ මැවුම්කරුවාට ඉහළින් යමින් හපන්කම් කළ හැකිද?