Skip to content

පටුනට යන්න

විදේශීහු දෙවිගේ යාච්ඤා ගෘහයට එක්රොක් වෙති

විදේශීහු දෙවිගේ යාච්ඤා ගෘහයට එක්රොක් වෙති

දහහත්වන පරිච්ඡේදය

විදේශීහු දෙවිගේ යාච්ඤා ගෘහයට එක්රොක් වෙති

යෙසායා 56:1-12

1, 2. වර්ෂ 1935දී කළ ප්‍රීතිමත් නිවේදනය කුමක්ද? එමගින් ඉටු වූයේ කිනම් අනාවැකියද?

 දිනය 1935 මැයි 31. ස්ථානය වොෂිංටන් ඩී. සී. නගරය. සමුළුව අමතන්නේ ජෝසෆ් එෆ්. රදෆඩ්. ඔහු සාකච්ඡා කරන්නේ කුමක් ගැනද? ප්‍රේරිත යොහන් දර්ශනයෙන් දුටු “මහත් සමූහය” ගැනය. කතාවේ උච්චාවස්ථාවට පැමිණි විට ඔහු මෙසේ ඉල්ලා සිටියේය. “පොළොවේ සදාකාලයටම ජීවත් වීමට බලාපොරොත්තුවෙන් ඉන්න අය කරුණාකර හිටගන්න පුළුවන්ද?” එදා එතැන සිටි කෙනෙකු පවසන්නේ, “ආපු අයගෙන් භාගයකට වඩා හිටගත්තා” කියායි. එවිට කථිකයා මෙසේ කීවේය. “බලන්න! මහත් සමූහය දෙස!” එදා එතැන සිටි තවත් තැනැත්තියක් තම මතකය අලුත් කරමින් මෙසේ කියයි. “මුලින්ම මීයට පිම්බා වගේ නිශ්ශබ්දතාවයක් ඇති වුණා. ඊට පස්සේ සතුටු කඳුළු ගලන්න පටන්ගත්තා. ඒ එක්කම මහා හයියෙන් අත්පුඩි ගහන එක සෑහෙන වෙලාවක් යන තුරුම නැවතුණේ නැහැ.”—එළිදරව් 7:9.

2 දැනට අවුරුදු 2,700කට පමණ පෙර ලියූ අනාවැකියක ඉටුවීම සනිටුහන් වූ මොහොතකි එය. එම අනාවැකිය අපේ බයිබලයෙහි වාර්තා වී ඇත්තේ යෙසායා 56වන පරිච්ඡේදයේය. යෙසායා පොතේ තිබෙන වෙනත් බොහෝ අනාවැකි මෙන් මෙයද සැනසිලිදායක පොරොන්දු මෙන්ම තදබල අනතුරු ඇඟවීම්වලින් සමන්විතය. මෙහි මුල් අදාළ වීම යෙසායාගේ කාලයේ සිටි දෙවි සමඟ ගිවිසුමෙන් බැඳී සිටි සෙනඟට මූලිකවම අදාළ වූ අතර, එහි ඉටුවීම අපේ කාලය දක්වා දිවෙයි.

ගැළවීම සඳහා අවශ්‍ය දෑ

3. යුදෙව්වන් දෙවිගෙන් ගැළවීම අපේක්ෂා කරනවා නම් ඔවුන් කුමක් කළ යුතුද?

3 යෙසායා 56වන පරිච්ඡේදය ඇරඹෙන්නේ යුදෙව්වන්ට අනුශාසනාවක් දෙමිනි. කෙසේවෙතත්, සියලුම සැබෑ නමස්කාරකයන් අනාගතවක්තෘවරයා කියන දෙයට සවන් දිය යුතුය. “[යෙහෝවා] මෙසේ [කියන්නේය]: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය. මෙය කරන මනුෂ්‍යයාද මෙය අල්ලාගන සිටිමින්, සබත් දවස කඩනොකර එය පවත්වන්නාවූ, කිසි නපුරක් නොකරන ලෙස තමාගේ අත වලක්වාගන්නාවූ මනුෂ්‍ය පුත්‍රයාද වාසනාවන්තය.” (යෙසායා 56:1, 2) දෙවිගෙන් ගැළවීම අපේක්ෂා කරන යුදෙව්වන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කීකරු විය යුතු අතර, යුක්තිය ඉෂ්ට කරමින්, ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ යුතුය. ඊට හේතුව කුමක්ද? යෙහෝවා ධර්මිෂ්ඨ දෙවි කෙනෙකු වීමය. ධර්මිෂ්ඨකම ලුහුබඳින අය, යෙහෝවා තම අනුග්‍රහය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබෙන සන්තෝෂය භුක්ති විඳිති.—ගීතාවලිය 144:15ආ, NW.

4. පුරාණ ඉශ්‍රායෙල්වරුන් සබත පැවැත්වීම එතරම් වැදගත් වූයේ මන්ද?

4 සබත මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ වැදගත් අංගයක් වන නිසා මේ අනාවැකිය සබත පැවැත්වීම උලුප්පා දක්වයි. ඇත්තෙන්ම යුදෙව්වන් වහල්භාවයට යෑමට එක් හේතුවක් වූයේ ඔවුන් සබත කඩ කිරීමයි. (ලෙවී කථාව 26:34, 35; 2 ලේකම් 36:20, 21) සබත යනු යුදෙව්වන් සමඟ යෙහෝවාට තිබූ විශේෂ සම්බන්ධතාවයේ ලකුණකි. සබත පැවැත්වූ අය එම සම්බන්ධය අගය කොට සැලකූහ. (නික්මයාම 31:13) තවදුරටත්, සබත පැවැත්වීම යෙහෝවා මැවුම්කරු බව යෙසායාගේ කාලයේ සිටි මිනිසුන්ට මතක් කර දුන්නේය. එම දිනය යෙහෝවා ඔවුන් කෙරෙහි දැක්වූ දයාවද මතකයට නැංවූයේය. (නික්මයාම 20:8-11; ද්විතීය කථාව 5:12-15) එමෙන්ම, සබත මගින් යෙහෝවාට නිතිපතා නමස්කාර කිරීම සඳහා සංවිධානාත්මක සැලැස්මක් සැපයුවේය. සාමාන්‍ය කටයුතුවලින් සතියකට දිනක් විවේක ගැනීම යුදෙව් වැසියන්ට යාච්ඤා කිරීමටත්, දෙවි ගැන අධ්‍යයනය කිරීමටත්, මෙනෙහි කිරීමටත් අවස්ථාවක් ලබා දුන්නේය.

5. සබත පැවැත්වීම හා සම්බන්ධ උපදෙස ප්‍රතිපත්තියක් ලෙස අදාළ කරගැනීමට ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

5 ක්‍රිස්තියානීන් ගැන කුමක් කිව හැකිද? සබත පැවැත්වීම යන කාරණය ඔවුන්ටත් අදාළ වේද? කෙළින්ම අදාළ නොවන්නේ ක්‍රිස්තියානීන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ නොසිටින නිසාය. එමනිසා, සබත පැවැත්වීම ඔවුන්ගෙන් අපේක්ෂා නොකෙරේ. (කොලොස්සි 2:16, 17) ඒ වුණත්, ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් විසින් පැවැත්විය යුතු “සබත් නිවාඩුවක්” තිබෙන බව ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේය. ගැළවීම සඳහා මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ක්‍රියා මත රඳා සිටිනවා වෙනුවට යේසුස්ගේ මිදීමේ මිලය කෙරෙහි ඇදහිල්ල තැබීම මේ ‘සබත් නිවාඩුවට’ ඇතුළත් විය. (හෙබ්‍රෙව් 4:6-10) මෙසේ, සබත සම්බන්ධයෙන් යෙසායාගේ පොතේ තිබෙන අනාවැකි අදදින සිටින යෙහෝවාගේ සේවකයන්ට මතක් කර දෙන්නේ, ගැළවීම සඳහා තිබෙන දෙවිගේ විධිවිධානය කෙරෙහි ඇදහිල්ල තැබීමේ ඇති අවශ්‍යතාවයයි. එමෙන්ම යෙහෝවා සමඟ සමීප සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමේත්, නිතිපතා අඛණ්ඩව යෙහෝවාට නමස්කාර කිරීමේත් ඇති අවශ්‍යතාව මෙයින් හොඳහැටි මතක් කර දෙයි.

විදේශියාට සහ නපුංසකයාට සැනසිල්ල

6. යෙහෝවාගේ අවධානය ලබන කණ්ඩායම් දෙක කුමක්ද?

6 යෙහෝවාට සේවය කිරීමට කැමැත්තෙන් සිටියත් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව යුදෙව් සභාවට ඇතුල් වීමට අවසරයක් නැති කණ්ඩායම් දෙකක් අමතා යෙහෝවා මෙසේ පවසයි. ‘යෙහෝවාට එකතු වී සිටින විදේශියාද: යෙහෝවා තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින්ම වෙන් කරන්නේයයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා.” (යෙසායා 56:3) විදේශියාට තිබුණේ ඉශ්‍රායෙල් ජාතියෙන් තමාව වෙන් කරයිදෝ යන භයයි. නපුංසකයා සිතුවේ ඔහුගේ නාමය ගෙන යෑමට තමන්ට පරම්පරාවක් නැති වෙයි කියායි. කෙසේවෙතත්, මොවුන් දෙගොල්ලන්ම ධෛර්යවත් විය යුතුව තිබුණි. ඊට හේතුව බැලීමට පෙර, ඉශ්‍රායෙල්වරුන් සමඟ සසඳද්දී ව්‍යවස්ථාව යටතේ ඔවුන්ට හිමි වන තැන කුමක්ද කියා අපි සලකා බලමු.

7. ඉශ්‍රායෙල්වරුන්ගේ දේශයේ සිටි විදේශීන්ට ව්‍යවස්ථාව මගින් දමා තිබූ සීමාවන් කවරේද?

7 අචර්මච්ඡේදිත විදේශිකයන්ට ඉශ්‍රායෙල්වරුන් සමඟ නමස්කාරයෙහි හවුල් වීමට අවසර තිබුණේ නැත. උදාහරණයක් හැටියට, පාස්කුවට හවුල් වීමට ඔවුන්ට අවසර නොලැබුණි. (නික්මයාම 12:43) හිතාමතාම රටේ නීති කඩ නොකරන විදේශීන්ට යුක්තිය ඉටු කිරීමත් සමාව දීමත් සිදු වූ නමුත්, ඉශ්‍රායෙල් ජාතිය සමඟ දිගු කාලීන සබඳතා පවත්වාගෙන යෑමට ඉඩ නොලැබුණි. ඇත්තෙන්ම, සමහරුන් සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව වැලඳගත් අතර, එහි සංකේතයක් වශයෙන් එම පුරුෂයෝ චර්මච්ඡේදනය වූහ. යුදෙව් ආගමට හැරුණු එම විදේශීන් යෙහෝවාගේ දේවමාළිගාවේ මළුවේ සේවය කිරීමට ප්‍රස්තාව ලද අතර, ඔවුන්ව ඉශ්‍රායෙල් සභාවේ කොටසක් ලෙස සලකන ලදි. (ලෙවී කථාව 17:10-14; 20:2; 24:22) කෙසේවෙතත්, යුදෙව් ආගමට හැරුණු විදේශීන් යෙහෝවා ඉශ්‍රායෙල් සමඟ කළ ගිවිසුමෙහි පූර්ණ හවුල්කරුවන් නොවූ අතර, පොරොන්දු දේශයෙහි උරුමයක් ලැබුවේද නැත. තවත් සමහර විදේශීන්ට යාච්ඤා කිරීම සඳහා දේවමාළිගාවට යෑම තහනම් කර නොතිබූ අතර, පූජකයන් මාර්ගයෙන් ව්‍යවස්ථාවේ හැටියට ඔවුන් ඔප්පු කළ පූජාවල් පිළිගනු ලැබීය. (ලෙවී කථාව 22:25; 1 රාජාවලිය 8:41-43) කෙසේවෙතත්, ඔවුන් සමඟ සමීප ඇසුරක් පැවැත්වීම ඉශ්‍රායෙල්වරුන්ගෙන් අපේක්ෂා නොකෙරුණි.

නැති නොවන නාමයක් ලබන නපුංසකයෝ

8. (අ) ව්‍යවස්ථාව යටතේ නපුංසකයන්ව සැලකුවේ කෙසේද? (ආ) මිථ්‍යා දෘෂ්ටික ජාතීන් නපුංසකයන්ව සැලකුවේ කෙසේද? “නපුංසකයා” යන වචනය සමහර අවස්ථාවලදී යොදාගන්නේ කුමකටද?

8 තම දෙමාපියන් යුදෙව් ජාතියට අයත් අය වුවත්, නපුංසකයන්ට ඉශ්‍රායෙල් ජාතියේ පූර්ණ සාමාජිකත්වය දීම ප්‍රතික්ෂේප කරන ලදි. * (ද්විතීය කථාව 23:1) බයිබල් කාලවල සිටි සමහර මිථ්‍යා දෘෂ්ටික ජාතීන් අතර සිටි නපුංසකයන්ට විශේෂ ස්ථානයක් හිමි විය. එමෙන්ම, යුධ වහලුන් ලෙස ගත්තවුන්ගේ දරුවන්ව කප්පාදු කිරීම එවකට චාරිත්‍රයක්ව පැවතුණි. රජවාසලේ නිලතල සඳහාද නපුංසකයන්ව පත් කෙරුණි. නපුංසකයන්ව “ස්ත්‍රීන්ගේ රැකවලා,” “උප භාර්යාවන්ගේ රැකවලා” හෝ බිසවගේ මෙහෙකරුවා යන තනතුරුවලට පත් කරන ලදි. (එස්තර් 2:3, 12-15; 4:4-6, 9) එහෙත්, ඉශ්‍රායෙල්වරුන් එවන් චාරිත්‍ර අනුගමනය කළ බවටවත්, ඉශ්‍රායෙල් රාජසේවයෙහි ඔවුන් විශේෂ කාර්යයන්හි නියැලුණු බවටවත් සාක්ෂි නැත. *

9. යෙහෝවා ශාරීරිකව නපුංසකයන්ව සිටින අයව සැනසිලිදායක අන්දමින් අමතන්නේ කෙසේද?

9 සැබෑ දෙවිට නමස්කාර කිරීමෙහි යෙදීමට තිබුණු අවස්ථා සීමා සහිත වීමට අමතරව ඉශ්‍රායෙල්හි ශාරීරිකව නපුංසකයන්ව සිටින අය දැඩි නින්දාවකටද ලක් විය. ඊට හේතුව වූයේ, ඔවුන්ගේ පරම්පරා නාමය ගෙන යෑම සඳහා දරුවන් බිහි කිරීමට ඔවුන්ට නොහැකි වීමය. අනාවැකියේ මීළඟ වචන ඔවුන්ට මොනතරම් සහනයක් වෙන්න ඇද්ද! “මක්නිසාද මාගේ සබත් දවස් රක්ෂාකර, මා ප්‍රසන්න දේ තෝරාගෙන, මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින නපුංසකයන් ගැන [යෙහෝවා] මෙසේ [කියන්නේය]. එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිඳී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.”—යෙසායා 56:4, 5.

10. නපුංසකයන්ගේ තත්වය වෙනස් වූයේ කවදා සිටද? එතැන් සිට ඔවුන්ට ලැබී තිබෙන වරප්‍රසාදය කුමක්ද?

10 ශාරීරිකව නපුංසකයන්ව සිටින අය පවා යෙහෝවාගේ සේවකයන් හැටියට සම්පූර්ණයෙන්ම පිළිගනු ලබන කාලයක් පැමිණෙනු ඇත. ඔවුන් කීකරුව සිටියොත්, ඔවුන්ට “සිහිවීම් ලකුණක්” නැතහොත් යෙහෝවාගේ ගෘහයේ තැනක් මෙන්ම දූවරුන් සහ පුතුන්ට වඩා හොඳ නාමයක්ද ලැබෙනු ඇත. මෙය සිදු වන්නේ කවදාද? යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය සිදු වූ පසුවය. එනම්, අලුත් ගිවිසුම පරණ ව්‍යවස්ථා ගිවිසුමේද, ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ මාංසික ඉශ්‍රායෙල්වරුන්ගේද තැන ගත් පසුවය. (ගලාති 6:16) එතැන් සිට දෙවිට පිළිගත හැකි ආකාරයකින් නමස්කාර කිරීමට සියලුම ක්‍රිස්තියානීන්ට හැකිය. මාංසික හේතු සහ ශාරීරික තත්වයන් තවදුරටත් මීට බාධාවක් නොවේ. තමන්ගේ ශාරීරික තත්වය කුමක් වුණත්, යමෙකු විශ්වාසවන්තව විඳදරාගනියි නම්, “සිඳී නොයන සදාකාල නාමයක්” ඔවුන්ට දෙනු ලැබේ. යෙහෝවාට ඔවුන්ව අමතක නොවනු ඇත. ඔවුන්ගේ නම් දෙවිගේ ‘සිහිවීමේ පොතේ’ ලියනු ඇති අතර, දෙවි නියම කළ කාලයේදී ඔවුන්ට සදාකාල ජීවනය ලැබෙනු ඇත.—මලාකී 3:16; හිතෝපදේශ 22:1; 1 යොහන් 2:17.

විදේශීන් දෙවිගේ සෙනඟ සමඟ නමස්කාරයේ යෙදේ

11. ආශීර්වාද ලැබීමට නම්, විදේශීන්ට දිරිගැන්වූයේ කුමක් කිරීමටද?

11 විදේශීන් ගැන කුමක් කිව හැකිද? අනාවැකිය දැන් ඔවුන් කෙරෙහි යොමු වන අතර, ඔවුන් වෙනුවෙන්ද සැනසිලිදායක වචන යෙහෝවා සතුය. “[යෙහෝවාට] මෙහෙකරන්ටත් [ඔහුගේ] නාමයට ප්‍රේමකරන්ටත් [ඔහුගේ] සේවකයන්ව සිටින්ටත් [යෙහෝවාට] එකතුවන්නාවූ, සබත් දවස කඩ නොකර ඒක රක්ෂාකරන්නාවූ, මාගේ ගිවිසුම ස්ථිරලෙස පවත්වන්නාවූ විදේශීන්ද, මාගේ ශුද්ධ කන්දට පමුණුවා මාගේ යාච්ඤා-ගෘහයෙහි ඔවුන් ප්‍රීතිවන්ට සලස්වන්නෙමි; ඔවුන්ගේ දවන පූජා සහ යාග මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේය. මක්නිසාද මාගේ ගෘහය සියලු ජනයන්ට යාච්ඤා-ගෘහයක්යයි කියනු ලබන්නේය.”—යෙසායා 56:6, 7.

12. වෙනත් බැටළුවන් සම්බන්ධයෙන් යේසුස්ගේ අනාවැකිය ගැන කලින් වටහාගෙන තිබුණේ කුමක්ද?

12 “විදේශීන්” අපේ කාලයේදී ක්‍රමානුකූලව වැඩි වේ. දෙවිගේ ඉශ්‍රායෙල් ලෙස අදදින හඳුන්වන යේසුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කරන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ගැළවීම ලබන බව Iවන ලෝක මහා යුද්ධයට පෙර වටහාගනු ලැබීය. යොහන් 10:16හි වාර්තා කර තිබූ යේසුස්ගේ මෙම වචන කෙරෙහි බයිබල් ශිෂ්‍යයෝ අවධානය යොමු කරමින් සිටියහ. “මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.” මෙහි සඳහන් “වෙනත් බැටළුවෝ” යනු භූමික පංතිය බව ඔවුහු වටහාගෙන සිටියෝය. එහෙත්, බොහෝ බයිබල් ශිෂ්‍යයන් සිතුවේ වෙනත් බැටළුවන් දක්නට ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලන කාලය තුළදී කියාය.

13. මතෙව් 25වන පරිච්ඡේදයේ සඳහන් බැටළුවන් මේ දුෂ්ට ක්‍රමයේ අවසාන කාලයේදී පෙනී සිටිය යුතුයි කියා කීම තර්කානුකූල වන්නේ මන්ද?

13 අවසානයේදී, බැටළුවන් ගැන කතා කරන වෙනත් බයිබල් පද පිළිබඳ අවබෝධයද ක්‍රමානුකූලව වැඩි වෙන්න පටන්ගත්තේය. මතෙව් 25වන පරිච්ඡේදයෙහි සඳහන් එළුවන් සහ බැටළුවන් පිළිබඳව යේසුස් පැවසූ උපමාවට අනුව, බැටළුවන්ට සදාකාල ජීවනය ලැබෙනුයේ යේසුස්ගේ සහෝදරයන්ට ඔවුන් දක්වන සහයෝගය නිසාය. මෙයින් පැහැදිලි වන්නේ ඔවුන් ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ට වඩා වෙනස් පංතියක් බවය. වර්ෂ 1923දී, අ.එ.ජ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වූ සමුළුවකදී, වෙනත් බැටළුවන් පෙනී සිටිය යුත්තේ දහස් අවුරුදු පාලන කාලය තුළදී නොව මේ දුෂ්ට ක්‍රමයේ අවසාන කාලය තුළදී බව පැහැදිලි කරන ලදි. ඊට හේතුව වූයේ, යේසුස් මේ උපමාව සඳහන් කළේ මෙම ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් වන නිසාය. “ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? [ඔබගේ] ඊමටත් ලෝකාන්තිමයටත් [ඔබ පැමිණ සිටින කාලයටත්, දැන් පවතින ක්‍රමයේ අවසානයටත්, NW] ලකුණු කිමෙක්ද?”—මතෙව් 24:3.

14, 15. අවසාන කාලයේ සිටින වෙනත් බැටළුවන්ගේ තත්වය පිළිබඳ තිබූ අවබෝධය වැඩි වූයේ කෙසේද?

14 එක්දහස් නවසිය විසි ගණන්වලදී, තමන්ට ස්වර්ගීය කැඳවීමක් තිබෙන බවට යෙහෝවාගේ ආත්මය තමන්ට සාක්ෂි නොදෙන බව, බයිබල් ශිෂ්‍යයන් සමඟ ඇසුරු කළ සමහරුන්ට හැඟී ගියේය. ඒ වුණත්, ඔවුහු අතිඋතුම් දෙවිගේ ජ්වලිත සේවකයන්ව සිටියහ. වර්ෂ 1931දී වින්ඩිකේෂන් නමැති පොත ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔවුහු තම තත්වය වඩාත් හොඳින් වටහාගත්තෝය. (බයිබලයේ එසකියෙල් පොත ඡේදයක් ඡේදයක් පාසා මෙහි සාකච්ඡා කෙරුණි.) එසකියෙල් පොතෙහි සඳහන් තීන්ත කූඩුවක් ඇතුව සිටින “මනුෂ්‍යයා” පිළිබඳ දර්ශනය ගැන එම පොතෙහි පැහැදිලි කළේය. (එසකියෙල් 9:1-11) මේ “මනුෂ්‍යයා” යෙරුසලම පුරා ඇවිදිමින් එහි සිදු වන පිළිකුල් ක්‍රියා ගැන සුසුම්ලා කෙඳිරිගාන අයගේ නළල්වල ලකුණක් තැබුවේය. සංකේතවත් යෙරුසලම වන ක්‍රිස්තියානි ලෝකය විනිශ්චය කරන කාලයේදී පොළොවේ සිටින ආලේප ලත් ක්‍රිස්තියානීන් හෙවත්, යේසුස්ගේ සහෝදරයන්ව ඒ ‘මනුෂ්‍යයාගෙන්’ නියෝජනය කළේය. නළල්වල ලකුණක් ලබන්නේ එම කාලය තුළ සිටින වෙනත් බැටළුවන්ය. යෙහෝවා පත් කළ වධකයා ඇදහිල්ල හැරගිය නුවර මතට විනාශය ගෙනෙද්දී දර්ශනයේ හැටියට නළල්වල ලකුණ ලැබූ අය ගැළවේ.

15 වර්ෂ 1932දී ඉශ්‍රායෙල්හි යේහු රජ සහ ඉශ්‍රායෙල් නොවන ආධාරකරුවා වන යෙහෝනාදාබ් යන අය පිළිබඳ අනාවැකිමය නාට්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබුණි. බාල් නමස්කාරය විනාශ කිරීමට යේහු යන ගමනේදී ඔහුට සහය වීමට යෙහෝනාදාබ් හවුල් වුණා සේ, ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ට මෙම වෙනත් බැටළුවන් සහය වන බව එයින් ඇඟවීය. අවසානයේදී, ප්‍රේරිත යොහන් දර්ශනයෙන් දුටු මහත් සමූහය, මේ දුෂ්ට ක්‍රමයේ අවසාන කාලයේ ජීවත් වන වෙනත් බැටළුවන් වන බව 1935දී හඳුනාගත්තේය. මේ බව මුලින්ම විස්තර කරන ලද්දේ, ලිපියේ මුලදී සඳහන් කළ වොෂිංටන් ඩී.සී.හි පැවති සමුළුවේදී පොළොවේ බලාපොරොත්තුව ඇති අයට “මහත් සමූහය” කියා යොමු දැක්වූ ජේ. එෆ්. රදෆඩ් විසිනි.

16. “විදේශීන්” භුක්ති විඳින වරප්‍රසාද සහ වගකීම් මොනවාද?

16 තවදුරටත්, ‘විදේශීන්ට’ අන්තිම දවස්වලදී, යෙහෝවාගේ අරමුණු සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කිරීමට තිබෙන බව ක්‍රමානුකූලව වැටහෙන්න පටන්ගත්තේය. ඔවුහු යෙහෝවාට නමස්කාර කිරීම සඳහා දෙවිගේ ඉශ්‍රායෙල් වෙත පැමිණියහ. (සෙකරියා 8:23) එම ආත්මික ජාතිය සමඟ ඔවුහු දෙවිට පිළිගත හැකි යාග ඔප්පු කරමින් සබත් නිවාඩුවට ඇතුල් වෙති. (හෙබ්‍රෙව් 13:15, 16) තවදුරටත්, ඔවුහු යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ සේවය කරත්. එයද යෙරුසලමේ දේවමාළිගාව මෙන් ‘සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයක්’ වේ. (මාර්ක් 11:17) ඔවුහු යේසුස්ගේ මිදීමේ මිල පූජාව කෙරෙහි ඇදහිල්ල පවත්වන අතර, ‘ඔවුන්ගේ සළු බැටළුපැටවාගේ ලෙයින් සෝදා සුදු කරගන්නෝය.’ එමෙන්ම ඔවුහු නිරතුරුවම එනම්, “රෑ දාවල් [යෙහෝවාට] සේවයකරති.”—එළිදරව් 7:14, 15.

17. වර්තමානයේ සිටින මේ විදේශීන් අලුත් ගිවිසුමට ඇලී සිටින්නේ කෙසේද?

17 වර්තමානයේ සිටින මේ විදේශීන් දෙවිගේ ඉශ්‍රායෙල් සමඟ ඇසුරු කිරීම තුළින් අලුත් ගිවිසුමට ඇලී සිටින අතර, ඔවුහු අලුත් ගිවිසුම මගින් ලැබෙන ප්‍රයෝජන සහ ආශීර්වාද භුක්ති විඳිති. එම ගිවිසුමේ හවුල්කරුවන් නොවුණත්, එහි නීති රීතිවලට ඔවුහු මුළු හෘදයෙන්ම කීකරු වෙති. මෙසේ යෙහෝවාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ හෘදයේ තිබෙන අතර, යෙහෝවා ඔවුන්ගේ ස්වර්ගීය පියා බවත් උත්කෘෂ්ට පරමාධිපතියා බවත් ඔවුහු වටහාගනිත්.—යෙරෙමියා 31:33, 34; මතෙව් 6:9; යොහන් 17:3.

18. අවසාන කාලයේදී සිදු කර තිබෙන එක්රැස් කිරීමේ වැඩය කුමක්ද?

18 යෙසායාගේ අනාවැකිය තවදුරටත් මෙසේ කියයි. “පිටකරනු [විසිරුවනු, NW] ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ [යෙහෝවා]: ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි [කියන්නේය].” (යෙසායා 56:8) අවසාන කාලයේදී, යෙහෝවා “විසිරුවනු ලැබූ ඉශ්‍රායෙල්වරුන්” නැතහොත් ආලේප ලත් ඉතිරි කොටස එකතු කර ඇත. ඊට අමතරව, ඔහු අනිත් අයව එනම් මහත් සමූහයට අයත් වන අයවත් එකතු කරන්නේය. යෙහෝවා සහ ඔහුගේ සිංහාසනාරූඪ රජු වන යේසුස් ක්‍රිස්තුස්ගේ අධීක්ෂණය යටතේ ඔවුහු සාමයෙන් සහ සහයෝගයෙන් නමස්කාරයේ යෙදෙති. යහපත් එඬේරා වන ක්‍රිස්තුස් මගින් පාලනය කරන යෙහෝවාගේ ආණ්ඩුවට ඔවුන් පක්ෂපාතව සිටින නිසා, ක්‍රිස්තුස් ඔවුන්ව එක්සත් සහ ප්‍රීතිමත් රැළකට එක්රැස් කර තිබේ.

මුරකරුවන් අන්ධය, බුරන්න බැරි ගොළු බල්ලන්ය

19. කැලයේ සිටින මෘගයන්ට කරන ආරාධනය කුමනාකාරද?

19 ඉහත සඳහන් කළ උණුසුම් මෙන්ම ගොඩනඟනසුලු වචන පැවසූ පසු හද කලඹන වචන පවසනු ලැබේ. යෙහෝවා විදේශීන්ට සහ නපුංසකයන්ට දයාව දැක්වීමට සූදානමින් සිටී. එහෙත්, දෙවිගේ සභාවට අයිතියයි කියා සිටින බොහෝදෙනෙකුව යෙහෝවා හෙළා දකින අතර, ඔවුන්ව විනාශය සඳහා පෙළගස්වා තිබේ. ඔවුන්ව වළ දැමීමටවත් වටින්නේ නැති අතර, ඔවුන් සුදුසු වන්නේ බඩගින්නේ සිටින වන මෘගයන්ට කෑමට දීමටය. ඒ ගැන අපට කියවීමට තිබෙන්නේ මෙසේය. “වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.” (යෙසායා 56:9) මේ කැලෑ සතුන් කෑමට යන්නේ කුමක්ද? අනාවැකිය මේ බව හෙළි කරයි. මෙය, පැමිණෙන්නාවූ අර්මගෙදොන් යුද්ධයෙහිදී දෙවිට විරුද්ධ වන්නාවූ අයට ලැබෙන ඉරණමත්, එහිදී මැරී සිටින්නන්ගේ මළකඳන් අහසේ පක්ෂීන්ට කා දැමීම සඳහා දමා තිබෙන ආකාරයත් අපට මතක් කර දෙනු ඇත.—එළිදරව් 19:17, 18.

20, 21. ආගමික නායකයන් කිසිකමකට නැති ආත්මික මඟ පෙන්වන්නන් බවට පත් කරන්නේ ඔවුන්ගේ කිනම් දුර්වලකම්ද?

20 අනාවැකිය තවදුරටත් මෙසේ දන්වයි. “ඔහුගේ මුරකාරයන් සියල්ලෝම අන්ධව, දැනගැන්ම නැතුව සිටිති; සියල්ලෝම බුරන්ට බැරි ගොළු බල්ලෝය; ඔව්හු හීන දකිති, ලැග හිඳිති, නිදා ඉන්ට කැමැත්තෝය. එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේ මාර්ගයට තීන්දුවටම හැරීගියෝය. ඔව්හු කථාකොට: එන්න, මම මුද්‍රිකපානය ගෙනෙන්නෙමි, අපි සුරාපානයෙන් මත්වන්නෙමුව; හෙටත් අද වාගේ අධිකතර ලොකු දවසක් වන්නේයයි කියති.”—යෙසායා 56:10-12.

21 යූදාහි සිටින ආගමික නායකයෝ යෙහෝවාට නමස්කාර කරන බව කියා සිටිත්. ඔවුහු “ඔහුගේ මුරකාරයන්” බව කියා සිටිති. එහෙත්, ඔවුන් ආත්මිකව අන්ධ, ගොළු, නිදි කිරා වැටෙන අයය. අවදිව සිට විපත්තිය ගැන අනතුරු අඟවන්න බැරි ඔවුන්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? එවැනි ආගමික මුරකරුවන්, තේරුම්ගැනීමේ ශක්තියක් නැති අයය. ඔවුන් සිටින්නේ බැටළු ගුණැති මිනිසුන්ට ආත්මික මඟ පෙන්වීම දීමට නොහැකි තත්වයකය. මේ සියල්ලටම වඩා ඔවුහු දූෂිතව සිටිති. ඔවුන්ගේ ආත්මාර්ථකාමිත්වය කිසිදා සංසිඳෙන්නේ නැත. යෙහෝවාගේ මඟ පෙන්වීම අනුගමනය කරනවා වෙනුවට, ඔවුහු තමන්ගේම මාර්ගවල ගමන් කරන අතර, අල්ලස් පිටුපස හඹායමින්, සුරාපානයෙන් මත්ව, එසේ කිරීමට අන් අයවද පොලඹවති. පැමිණෙන්නාවූ දෙවිගේ විනිශ්චය ගැන කිසිම අවබෝධයක් නැතිව අදට වඩා හෙට හොඳ වෙයි කියා ඔවුහු සෙනඟට කියති.

22. යේසුස්ගේ කාලයේ සිටි ආගමික නායකයන් පුරාණ යූදාහි සිටි නායකයන්ට සමාන වූයේ කෙසේද?

22 යෙසායා මීට පෙරත් අනාවැකියේ යූදාහි අභක්තික ආගමික නායකයන්ව විස්තර කිරීමට ආත්මික බේබද්දන්, මත්වූවන්, තේරුම්නැත්තන් වැනි වාක්‍යාලංකාරය යොදාගෙන තිබේ. ඔවුහු මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලින් මිනිසුන්ව බර කරති. බොරු ආගමික මූලධර්ම උගන්වති. දෙවි කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට අෂූරිය කෙරෙහි විශ්වාස කරති. (2 රාජාවලිය 16:5-9; යෙසායා 29:1, 9-14) ඔවුන් ඉතිහාසයෙන් කිසිවක් ඉගෙනගෙන නැති බව පැහැදිලිය. කනගාටුදායක ලෙස එවැනිම නායකයෝ මුල් සියවසේද සිටියෝය. දෙවිගේම පුත්‍රයා විසින් ගෙනා ශුභාරංචිය වැලඳගන්නවා වෙනුවට, ඔවුහු යේසුස්ව හෙළා දුටු අතර, ඔහුව මැරීමට කුමන්ත්‍රණය කළහ. යේසුස් ඔවුන්ව කෙළින්ම ‘අන්ධ මඟපෙන්වන්නන්’ ලෙස හැඳින්වූ අතර, “අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇත” කියාද කීවේය.—මතෙව් 15:14.

අදදින මුරකරුවන්

23. ආගමික නායකයන් පිළිබඳව ඉටු වී තිබෙන්නේ පේතෘස් කී කිනම් අනාවැකියද?

23 ක්‍රිස්තියානීන්ව මුළා කිරීමට බොරු ගුරුවරුන් නැඟිටිනු ඇති බවට ප්‍රේරිත පේතෘස් අනතුරු ඇඟවීය. ඔහු මෙසේ ලීවේය. “සෙනග අතරේ බොරු ප්‍රොපේතවරුද සිටියෝය. එලෙසම විනාශක ධර්මභේද රහසින් උපදවමින්ද තමුන්ම මිලේටගත් [ආචාරීන්ව] එපාකරමින්ද තමුන් පිටට ශීඝ්‍ර විනාශය පමුණුවාගන්නාවූ බොරු ගුරුවරු නුඹලා අතරෙන් වන්නෝය.” (2 පේතෘස් 2:1) එවැනි බොරු ගුරුවරුන් ඉගැන්වූ බොරු ඉගැන්වීම්වල සහ නිකායවාදයේ ප්‍රතිඵලය කුමක් වූවාද? ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයන් ඔවුන්ගේ දේශපාලනික මිත්‍රයන් උදෙසා දෙවිගේ ආශීර්වාද ඉල්ලා යාච්ඤා කරන අතර, ඉන්පසු, දීප්තිමත් අනාගතයක්ද පොරොන්දු වෙයි. ආත්මික කාරණා සම්බන්ධයෙන් ගනිද්දී, ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයන් අන්ධ, ගොළු මෙන්ම නිදි කිරා වැටෙන අය බව ඔප්පු වී තිබේ.

24. ආත්මික ඉශ්‍රායෙල් සහ විදේශීන් අතර ඇත්තේ කිනම් ආකාරයේ එක්සත්කමක්ද?

24 කෙසේවෙතත්, යෙහෝවා තමන්ගේ මහත් ආත්මික යාච්ඤා ගෘහයෙහි දෙවිගේ ඉශ්‍රායෙල්ගේ අවසාන කිහිපදෙනා සමඟ එකතුව නමස්කාර කිරීමට විදේශීන් දශලක්ෂ ගණනක් ගෙනෙමින් තිබේ. මේ විදේශීන් විවිධ ජාතීන්ගෙන්, වර්ගවලින් සහ භාෂාවන්ගෙන් පැමිණියත්, එකිනෙකා සමඟත් දෙවිගේ ඉශ්‍රායෙල් සමඟත් එක්සත්ව කටයුතු කරයි. ගැළවීම ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන යෙහෝවා දෙවිගෙන් පමණයි කියා ඔවුන් වටහාගෙන තිබේ. යෙහෝවාට ඇති ප්‍රේමයෙන් පෙලඹී ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඔවුහු ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන් සමඟ එක්කාසු වෙති. එමෙන්ම ඔවුන් දේවානුභාවයෙන් ලියූ ප්‍රේරිතයාගේ වචනවලින් මහත් සැනසිල්ලක් ලබයි. ‘යේසුස් ස්වාමීන්යයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවි විසින් ඔහුව මළවුන්ගෙන් නැඟිටෙවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගළවනු ලබන්නෙහිය.’—රෝම 10:9.

[පාදසටහන්වල]

^ “නපුංසකයා” යන වචනය රාජවාසල් නිලධාරියෙකුව හැඳින්වීමටද යොදාගැනුණි. ශාරීරික කප්පාදු කිරීමක් මෙයින් අදහස් නොවුණි. යුදෙව් නොවන අචර්මච්ඡේදිතයන්ව බව්තීස්ම කිරීම ආරම්භ කිරීමට පෙර පිලිප් විසින් බව්තීස්ම කරනු ලැබූ යුදෙව් ආගමට හැරී සිටියාවූ ඉතියෝපීයයා මේ ආකාරයේ නපුංසකයෙකු විය යුතුය.—ක්‍රියා 8:27-39.

^ යෙරෙමියාගේ උපකාරයට පැමිණි, ශෙදෙකියා රජු සමඟ ඍජුවම කටයුතු කළ එබෙද්-මෙලෙක්වද නපුංසකයෙකු ලෙස හඳුන්වයි. මෙසේ හඳුන්වන්නේ, ශාරීරික කප්පාදු කිරීමක් නිසා නොව ඔහු රජවාසලේ නිලධාරියෙකුව සිටි නිසා විය යුතුය.—යෙරෙමියා 38:7-13.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[250වන පිටුවේ පින්තූරය]

යාච්ඤා කිරීමටත්, දෙවි ගැන අධ්‍යයනය කිරීමටත්, මෙනෙහි කිරීමටත් සබත් දිනයේදී අවස්ථාවක් ලැබිණ

[256වන පිටුවේ පින්තූර]

වෙනත් බැටළුවන්ගේ අනන්‍යතාව 1935දී වොෂිංටන් ඩී.සී.හි පැවති සමුළුවකදී පැහැදිලිව විස්තර කරන ලදි (බව්තීස්මය පහළ, වැඩසටහන දකුණ)

[259වන පිටුවේ පින්තූරය]

වන සතුන්ට කෑමට ආරාධනා කර ඇත

[261වන පිටුවේ පින්තූර]

ආත්මික ඉශ්‍රායෙල් සහ විදේශීන් එකිනෙකා සමඟ එක්සත්ව