Skip to content

පටුනට යන්න

සැබෑ නමස්කාරය ලෝක ව්‍යාප්තව පැතිරේ

සැබෑ නමස්කාරය ලෝක ව්‍යාප්තව පැතිරේ

විසිඑක්වන පරිච්ඡේදය

සැබෑ නමස්කාරය ලෝක ව්‍යාප්තව පැතිරේ

යෙසායා 60:1-22

1. යෙසායා 60වන පරිච්ඡේදයෙහි අඩංගු දිරිගන්වනසුලු පණිවිඩය කුමක්ද?

 යෙසායා 60වන පරිච්ඡේදය ලියා තිබෙන්නේ හද පිනා යන නාට්‍යයක් ලෙසිනි. එහි මුල් පදයම අපේ අවධානය ඇදගන්නේය. ඉතා වේගයෙන් දිගහැරෙන්නා වූ සිදුවීම් පෙළ අපව හැඟීම් දනවන අවසානයක් කරා ගෙන යයි. පුරාණ යෙරුසලමේදී පැවති සැබෑ නමස්කාරයේ යළි පිහිටුවීමත් අදදින සැබෑ නමස්කාරය ලොව පතළ වීමත් මේ පරිච්ඡේදයෙහි ඉතා පැහැදිලිව දක්වයි. තවදුරටත්, දෙවිගේ සියලුම පක්ෂපාත නමස්කාරකයන් ඉදිරියේ තබා තිබෙන ආශීර්වාදද එය ගෙනහැර දක්වයි. යෙසායාගේ අනාවැකියේ මෙම චිත්තාකර්ෂණීය කොටසෙහි ඉටුවීමට යම් ආකාරයකින් දායක වීමට අප සියලුදෙනාටම හැකි නිසා, අපි දැන් එයට අපේ කිට්ටු අවධානය යොමු කරමු.

අඳුරේ බැබළෙන ආලෝකය

2. අඳුරේ සිටින ස්ත්‍රියකට දෙනු ලබන අණ කුමක්ද? ඇය ඊට කීකරු වීම හදිසි කාරණයක් වන්නේ මන්ද?

2 මෙම පරිච්ඡේදයෙහි ආරම්භක වදන්වලින් දුක්මුසු තත්වයක සිටින ස්ත්‍රියකව අමතයි. පෙනෙන විදිහට ඇය අඳුරේ අසරණව බිම වැතිරී සිටින්නීය. හදිසියේම, අඳුර කපා එන ආලෝකයක් තුළින් යෙහෝවා යෙසායා මාර්ගයෙන් ඇයට මෙසේ කියයි. “[ස්ත්‍රිය, NW] නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, [යෙහෝවාගේ] තේජසද නුඹ කෙරෙහි උදාවිය.” (යෙසායා 60:1) එසේය, එම “ස්ත්‍රිය” නැඟිට දෙවිගේ තේජස විදහාපෙන්විය යුතුය! මෙය හදිසි කාරණයක් වන්නේ මන්ද? අනාවැකිය තවදුරටත් මේ ගැන පවසන්නේ මෙසේය. ‘එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නමුත් නුඹ කෙරෙහි යෙහෝවා උදා වන්නේය. ඔහුගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.’ (යෙසායා 60:2) අවට අඳුරේ අතපත ගාමින් යන අයගේ ප්‍රයෝජනය සඳහා මේ “ස්ත්‍රිය” ‘ආලෝකය බැබළවිය’ යුතුය. එහි ප්‍රතිඵලය කුමක්ද? “ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.” (යෙසායා 60:3) මේ ආරම්භක වදන් මගින් කැටි කොට දක්වා ඇත්තේ මීළඟට එන විස්තරාත්මක පැහැදිලි කිරීම එනම්, සැබෑ නමස්කාරය ලොව පුරා පතළ වීම නමැති කරුණයි.

3. (අ) මේ “ස්ත්‍රිය” කවරෙක්ද? (ආ) ඇය අඳුරේ වැටී සිටින්නේ මන්ද?

3 අනාගත සිදුවීම් ගැන කතා කළත් යෙහෝවා එම ‘ස්ත්‍රියට’ කියා සිටින්නේ ඇගේ ආලෝකය දැනටමත් “පැමුණුණේය” කියායි. මෙම අනාවැකිය නිසැකවම ඉටු වන බව මෙමගින් කාවද්දයි. මෙහි යොමු දක්වන “ස්ත්‍රිය” වනාහි යූදාහි අගනුවර වන සියොන නැතහොත් යෙරුසලමයි. (යෙසායා 52:1, 2; 60:14) මුළු ජාතියම එම නුවරෙන් නියෝජනය කරයි. මේ අනාවැකියේ මුල් ඉටුවීම සිදු වූ කාලයේදී, එනම් පො.යු.පෙ. 607දී යෙරුසලම විනාශ වූ දවසේ සිට මේ “ස්ත්‍රිය” අඳුරේ වැටී සිටියාය. එහෙත්, පො.යු.පෙ. 537දී ඇදහිලිවන්ත යුදෙව් වහලුන් කුඩා කණ්ඩායමක් යෙරුසලමට නැවත පැමිණ පවිත්‍ර නමස්කාරය යළි පිහිටුවයි. පොරොන්දු වූ ලෙස යෙහෝවා තම “ස්ත්‍රිය” මත ආලෝකය බබළවන අතර, ආත්මිකව අන්ධකාරයේ සිටින ජාතීන්ට ඔහුගේ යළි පිහිටුවනු ලැබූ සෙනඟ ඥානාලෝකයේ උල්පතක් බවට පත් වේ.

වඩා උතුම් ඉටුවීමක්

4. අදදින ‘ස්ත්‍රියව’ පොළොව මත නියෝජනය කරන්නේ කවුද? අනාවැකිය තවදුරටත් අදාළ වන්නේ කාටද?

4 මේ අනාවැකි වදන් කෙරෙහි ඇති උනන්දුව පුරාණ යෙරුසලමේ ඉටු වූ දෙයින් ඔබ්බට අපව ගෙන යයි. අදදින යෙහෝවාගේ ස්වර්ගීය ‘ස්ත්‍රියව’ පොළොව මත නියෝජනය කරනු ලබනුයේ ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ විසිනි. (ගලාති 6:16) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී සිදු වූ මෙම ආත්මික ජාතියේ උපතේ සිට මේ දක්වා ආත්මයෙන් ආලේප ලත් සාමාජිකයන්ගේ සංඛ්‍යාව 1,44,000දෙනෙකු දක්වා වැඩි වී ඇති අතර, ඔවුන්ව “පොළොවෙන් මිලේට” ගෙන තිබෙන්නේ, ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කිරීමේ අපේක්ෂාවෙනි. (එළිදරව් 14:1, 3) යෙසායා 60වන පරිච්ඡේදයේ වර්තමාන ඉටුවීම කේන්ද්‍රගත වන්නේ, මේ “අන්තිම දවස්වල” 1,44,000දෙනා අතුරින් පොළොව මත ඉතිරි වී සිටින අය වටාය. (2 තිමෝති 3:1) මේ අනාවැකියේ, ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සහකරුවන් වන ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් “මහත් සමූහය” ගැනද කතා කරයි.—යොහන් 10:11, 16; එළිදරව් 7:9.

5. දෙවිගේ ඉශ්‍රායෙල්ගේ භූමික සාමාජිකයන් අඳුරේ වැතිර සිටියේ කිනම් කාලයේදීද? යෙහෝවා තම ආලෝකය ඔවුන් මත හෙළුවේ කවදාද?

5 එක්දාස් නවසිය ගණන්වල මුල් භාගයේදී, දෙවිගේ ඉශ්‍රායෙල්ට අයත් අය ටික කලකට සංකේතාත්මක ලෙස අන්ධකාරයේ බිම වැතිරී සිටියෝය. පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වන විට ඔවුන් සිටියේ ආත්මිකව මළ තත්වයකය. එළිදරව් පොතේ විස්තර කර ඇති ආකාරයට ඔවුන්ගේ මළ කඳන් ‘සොදොම සහ මිසරයත්යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන, මහත් නුවර වීථියේ තිබුණි.’ (එළිදරව් 11:8) කෙසේවෙතත්, 1919දී යෙහෝවා ඔවුන් මත ආලෝකය හෙළීය. එහි ප්‍රතිඵලයක් හැටියට ඔවුහු නැඟිට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අභීතව ප්‍රචාරය කරමින් දෙවිගේ ආලෝකය විහිදුවන්න පටන්ගත්හ.—මතෙව් 5:14-16; 24:14.

6. යේසුස් රාජකීයව පැමිණ සිටින කාලය පිළිබඳව දැනුම් දීමට ලෝකයේ ජනයාගෙන් වැඩි පිරිසක් දක්වන ප්‍රතිචාරය කුමක්ද? එහෙත්, යෙහෝවාගේ ආලෝකයට ආකර්ෂණය වී ඇත්තේ කවුද?

6 “මේ අන්ධකාරයේ ලෝක [මුලාදෑනීන්ගේ]” ප්‍රධානියා වන සාතන්ගේ දැඩි බලපෑම නිසා මනුෂ්‍යවර්ගයාගෙන් වැඩි පිරිසක් “ලෝකයේ ආලෝකය” වන යේසුස් ක්‍රිස්තුස් රාජකීය ආකාරයකින් පැමිණ සිටින කාලය පිළිබඳව දැනුම් දීම ප්‍රතික්ෂේප කර තිබේ. (එපීස 6:12; යොහන් 8:12; 2 කොරින්ති 4:3, 4) එසේ වුණත්, ‘ජාතීන්ගෙන්’ (වෙනත් බැටළුවන්ගෙන් යුත් මහත් සමූහය) සහ ‘රජවරුන්ගෙන්’ (ස්වර්ග රාජ්‍යයේ ආලේප ලත් උරුමක්කාරයන්) සමන්විත දශලක්ෂ ගණන් ජනයා යෙහෝවාගේ ආලෝකයට ආකර්ෂණය වී ඇත.

ව්‍යාප්තිය හද පිනවයි

7. “ස්ත්‍රිය” දකින හද උණුසුම් කරවන දසුන කුමක්ද?

7 යෙසායා 60:3හි ඇති තේමාවට එකඟව යෙහෝවා ‘ස්ත්‍රියට’ තවත් අණක් දෙයි. “නුඹේ ඇස් ඔසවා වටකර බලන්න.” “ස්ත්‍රිය” එසේ කළ විට හද උණුසුම් කරවන දසුනක් ඇගේ දෑස් වෙළාගනියි. ඇගේ දරුවෝ නැවත ඇය කරා ගමන් කරන්නෝය. “ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත.” (යෙසායා 60:4) වර්ෂ 1919දී ජාත්‍යන්තර රාජ්‍යය ප්‍රචාරය කිරීමේ වැඩය ඇරඹුණි. එහි ප්‍රතිඵලයක් හැටියට තවත් ආලේප ලත් “පුත්‍රයන්” සහ “දූවරුන්” දහස් ගණනක් දෙවිගේ ඉශ්‍රායෙල්ට එකතු විය. මේ ආකාරයට ක්‍රිස්තුස් සමඟ හවුලේ පාලනය කරන 1,44,000දෙනාව සම්පූර්ණ කිරීමට යෙහෝවා පියවර ගත්තේය.—එළිදරව් 5:9, 10.

8. වර්ෂ 1919 සිට දෙවිගේ ඉශ්‍රායෙල් අද්දුටු ප්‍රීතිය කුමක්ද?

8 මේ වැඩිවීම මහත් ප්‍රීතියකට හේතු විය. “එකල නුඹ දැක ප්‍රීතිවන්නෙහිය, නුඹේ සිතද පිනාගොස් විශාලවන්නේය; මක්නිසාද මුහුදේ සම්පත් නුඹ වෙත හැරීඑන්නේය, ජාතීන්ගේ වස්තුද නුඹ ළඟට පැමිණෙන්නේය.” (යෙසායා 60:5) එක්දාස් නවසිය විසි ගණන්වල සහ 30 ගණන්වල ආලේප ලත් අයව එක්රැස් කිරීමේ වැඩය දෙවිගේ ඉශ්‍රායෙල්ට මහත් ප්‍රීතියක් ගෙනාවේය. එහෙත් ප්‍රීතිවීමට ඔවුන්ට අමතර හේතුවක්ද තිබුණි. විශේෂයෙන්ම 1930 ගණන්වල මැද භාගයේදී, දෙවිගෙන් විදේශී වූ මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත ‘මුහුදට’ අයත් වූ ජනයා, සියලු ජාතීන් අතරින් පිටතට පැමිණ දෙවිගේ ඉශ්‍රායෙල් සමඟ නමස්කාරයෙහි හවුල් වී තිබේ. (යෙසායා 57:20; හග්ගයි 2:7) ඔවුන් එසේ පැමිණෙන්නේ තමන්ට කැමති කැමති ආකාරයට දෙවිට සේවය කිරීමේ අරමුණින් නොවේ. ඒ වෙනුවට ඔවුහු දෙවිගේ “ස්ත්‍රිය” වෙතට පැමිණ දෙවිගේ එකමුතු රැළේ කොටසක් බවට පත් වෙති. මෙහි ප්‍රතිඵලයක් හැටියට, දෙවිගේ සේවකයෝ සියලුදෙනාම සැබෑ නමස්කාරයේ ව්‍යාප්තිය උදෙසා වැඩ කරන්නෝය.

ජාතීන් යෙරුසලමට එක්රොක් වේ

9, 10. යෙරුසලමට එක්රොක් වන්නේ කවුද? යෙහෝවා ඔවුන්ව පිළිගන්නේ කෙසේද?

9 යෙසායාගේ සමකාලීනයන්ට තේරුම්ගත හැකි ආකාරයේ උපහැරණ යොදාගනිමින් යෙහෝවා එම ව්‍යාප්තිය මෙසේ විස්තර කරයි. “ස්ත්‍රිය” සියොන් කන්දේ සිට මුලින්ම නැඟෙනහිර පෙනෙන මානය දෙස විපරමින් බලන්නීය. ඇය දකින්නේ කුමක්ද? “ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය [වැසී යන්නේය, NW]; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් [යෙහෝවාගේ] ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.” (යෙසායා 60:6) අතීතයේදී විවිධ ගෝත්‍රවලට අයත් සංචාරක වෙළෙන්දෝ ඔටුවන් පිට බඩු පටවාගෙන යෙරුසලම වෙත ගමන් කළහ. (උත්පත්ති 37:25, 28; විනිශ්චයකාරයන් 6:1, 5; 1 රාජාවලිය 10:1, 2) ඔටුවන් සෑම තැනම විසිරී සිටින්නේ පොළොව ජලගැල්මකින් වැසී තිබෙන්නාක් මෙනි! මේ ඔටුවන් මත ගෙන යන්නේ වටිනා තෑගිය. එයින් වෙළඳුන්ගේ සාමකාමි පරමාර්ථය කියාපාන්නේය. ඔවුන්ට වුවමනා කරන්නේ යෙහෝවාට නමස්කාර කර ඔවුන්ට දිය හැකි උපරිමය යෙහෝවාට ඉදිරිපත් කිරීමටය.

10 ගමනේ යෙදෙන්නේ මේ වෙළඳුන් පමණක්ම නොවේ. “කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්.” ඈත එපිට ගම් නියම්ගම්වල වැසියන්ද යෙරුසලම වෙත ගමන් ගන්නේ, බැටළු රැළවල් වැනි ඔවුන් සතු වටිනාම දේවල්ද රැගෙනය. ඔවුහු යෙරුසලමේ සේවය සඳහා තමන්වද පුදති. යෙහෝවා ඔවුන් පුදන දේ පිළිගන්නේ කෙසේද? “උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.” (යෙසායා 60:7) යෙහෝවා ඔවුන්ගේ තෑගි කැමැත්තෙන් භාරගන්නා අතර, ඒවා පවිත්‍ර නමස්කාරය සඳහා පාවිච්චි කරන්නේය.—යෙසායා 56:7; යෙරෙමියා 49:28, 29.

11, 12. (අ) “ස්ත්‍රිය” බටහිර දෙස බැලූ විට ඇයට දකින්න ලැබෙන්නේ කුමක්ද? (ආ) එතරම් බොහෝදෙනෙකු යෙරුසලම වෙත වේගයෙන් යන්නේ මන්ද?

11 යෙහෝවා දැන් ‘ස්ත්‍රියට’ බටහිර දෙස බලන්නැයි කියා මෙසේ අසයි. “වළාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද අර ඉගිලී එන අය කවුරුද?” ඊට යෙහෝවාම මෙසේ උත්තර දෙයි. “සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලා සිටින්නෝය. බලාසිටින්නේ දුරින් නුඹේ පුත්‍රයන්ද ඔවුන් සමග ඔවුන්ගේ රන්රිදීද නුඹේ දෙවිවූ [යෙහෝවාගේ] නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාත්] නිසා ගෙනෙන පිණිසය; මක්නිසාද [ඔහු] නුඹට ගෞරවකර තිබේ.”—යෙසායා 60:8, 9.

12 ඔබ දැන් සිටින්නේ එම “ස්ත්‍රිය” සිටින තැන සිටගෙන මධ්‍යධරණී මුහුද දෙස බලාගෙනයයි සිතන්න. ඔබට පෙනෙන්නේ කුමක්ද? වතුරේ වැදී නොවැදී ඔබ දෙසට පැමිණෙන සුදු පැහැති ලපවලින් සෑදුණු වලාකුළකි. ඒවා මුලින්ම කුරුළු රංචුවක් සේ පෙනුණත්, ළං වෙන්න ළං වෙන්න ඔබ දකින්නේ රුවල් දැමූ නැව් සමූහයකි. ඒවා පැමිණ තිබෙන්නේ ‘දුර ඈත’ සිටය. * (යෙසායා 49:12) ඒ තරම්ම විශාල නැව් සමූහයක් සියොන දෙසට එන්නේ හරියට කවුළුවලට ඉගිළී එන පරෙවි රෑනක් සේය. එම නැව් සමූහය එතරම් වේගයෙන් පැමිණෙන්නේ මන්ද? දුර ඈත තොටුපොළවල සිට පැමිණෙන යෙහෝවාගේ නමස්කාරකයන්ව බැස්සවීමේ අවශ්‍යතාවෙන් පෙළෙන නිසාය. නැඟෙනහිරින් සහ බටහිරෙන්ද, ළඟපාතින් මෙන්ම දුර ඈතින්ද පැමිණෙන ඉශ්‍රායෙල්වරුන්ගෙන් හා විදේශීන්ගෙන් යුත් මේ සියලුම නවකයෝ තමන් සතු සියල්ලම ඔවුන්ගේ දෙවි වන යෙහෝවාගේ නාමයට කැප කිරීම සඳහා නොඉවසිලිමත්ව වේගයෙන් යෙරුසලම කරා යති.—යෙසායා 55:5.

13. අදදින සිටින “පුත්‍රයන්” සහ “දූවරුන්” කවුරුන්ද? “ජාතීන්ගේ වස්තු” කියා හඳුන්වන්නේ කාවද?

13 යෙහෝවාගේ ස්ත්‍රිය මේ ලෝකයේ අන්ධකාරය මත ආලෝකය හෙළීම ආරම්භ කළ දා සිට සිදු වූ ලෝක ව්‍යාප්ත වර්ධනය ගැන යෙසායා 60:4-9හි සිතුවම් කරන්නේ මොනතරම් අලංකාර චිත්‍රයක්ද! මුලින්ම ඊට අයත් වූයේ, ආලේප ලත් ක්‍රිස්තියානීන් බවට පත් වූ ස්වර්ගීය සියොන්හි “පුත්‍රයන්” සහ ‘දූවරුන්ය.’ වර්ෂ 1931දී ඔවුන් තමන්ව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වාගනු ලැබීය. ඉන්පසු ‘මුහුදේ සම්පත්ද ජාතීන්ගේ වස්තුද’ ලෙස හැඳින්විය හැකි වලාකුළක් වැනි මොළොක් ගුණැති සේනාවක් ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ගේ ඉතිරි අයට ඉතා වේගයෙන් එකතු විය. * විවිධ පසුබිම් සහ දේශවලින් පැමිණෙන යෙහෝවාගේ නවීන දින සේවකයෝ, දෙවිගේ ඉශ්‍රායෙල්ට එකතු වී පරමාධිපති ස්වාමි වූ යෙහෝවාට ප්‍රශංසා කිරීමේද, මුළු විශ්වයේ උතුම්ම නාමය වර්ණනා කිරීමෙහිද හවුල් වෙති.

14. නවකයන් ‘දෙවිගේ පූජාසනය පිටට’ පැමිණෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

14 කෙසේවෙතත්, ජාතීන් අතරින් එන මේ නවකයන් ‘දෙවිගේ පූජාසනය පිටට’ පැමිණෙනවායයි කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? සාමාන්‍යයෙන් පූජාසනයක් යොදාගන්නේ පූජාවක් ඔප්පු කිරීමටය. පූජාවක් නැතහොත් යාගයක් ඔප්පු කරන ආකාරය ගැන කතා කළ ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. ‘ඔබේ ශරීර ජීවමාන වූ, ශුද්ධ වූ, දෙවිට පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට ඔබෙන් ඉල්ලමි. එය බුද්ධිමත්ව කරන පරිශුද්ධ සේවයක් වේ.’ (රෝම 12:1, NW) සැබෑ ක්‍රිස්තියානීහු තමන් සතු සියල්ල වුවත් දීමට කැමැත්තෙන් සිටිති. (ලූක් 9:23, 24) පවිත්‍ර නමස්කාරයේ ව්‍යාප්තිය සඳහා ඔවුහු තම කාලය, ශක්තිය සහ නිපුණතාවන් කැප කරත්. (රෝම 6:13) මෙසේ, ඔවුහු දෙවිට පිළිගත හැකි ප්‍රශංසාවේ පූජා ඔප්පු කරති. (හෙබ්‍රෙව් 13:15) අදදින සිටින දශලක්ෂ ගණන් තරුණ මහලු යෙහෝවාගේ නමස්කාරකයන්, ඔවුන්ගේ පෞද්ගලික ආශාවන් දෙවිගේ රාජ්‍යය වෙනුවෙන් දෙවැනි ස්ථානයට දමා තිබීම කොතරම් හද දනවන්නක්ද! ඔවුහු අව්‍යාජ ආත්ම පරිත්‍යාගී ස්ප්‍රීතුවක් විදහා පෙන්වති!—මතෙව් 6:33; 2 කොරින්ති 5:15.

නවකයන් ව්‍යාප්ත කිරීමේ වැඩයෙහි හවුල් වේ

15. (අ) පුරාණ කාලයේදී, විදේශීන් සම්බන්ධයෙන් යෙහෝවා තම දයාව පෙන්වූයේ කෙසේද? (ආ) වර්තමානයේදී, සැබෑ නමස්කාරය ගොඩනැඟීමෙහි ‘විදේශීන්’ හවුල් වී තිබෙන්නේ කෙසේද?

15 මේ නවකයෝ තම ශ්‍රමය සහ වෙහෙස මහන්සිය ඇතුළු තමන් සතුව තිබෙන සෑම දෙයක්ම යෙහෝවාගේ ‘ස්ත්‍රියට’ සහයෝගය දැක්වීම සඳහා යොදවති. “විදේශීහු නුඹේ පවුරු ගොඩනගන්නේය, ඔවුන්ගේ රජවරුද නුඹට සේවයකරන්නෝය. මක්නිසාද මම මාගේ උදහසෙන් නුඹට පහරදුන් නුමුත් මාගේ කරුණාවෙන් නුඹට අනුකම්පාකෙළෙමි.” (යෙසායා 60:10) පොදු යුගයට පෙර හයවන සියවසේදී යෙරුසලම ඉදි කිරීමට විදේශීන්ගේ උපකාර සැපයීමෙන් යෙහෝවා තම දයාව පෙන්වූයේය. (එස්රා 3:7; නෙහෙමියා 3:26) අදදින එහි විශාල ඉටුවීමේදී, “විදේශීහු” එනම් මහත් සමූහය, සැබෑ නමස්කාරය ගොඩනැඟීම සඳහා ආලේප ලත් ඉතිරි අයට සහයෝගය දෙති. ඔවුහු තම බයිබල් ශිෂ්‍යයන් තුළ ක්‍රිස්තියානි ගුණාංග ගොඩනැඟීමට උදව් වෙති. එසේ කිරීමෙන් ක්‍රිස්තියානි සභාව ගොඩනංවමින් නුවරක් බඳු යෙහෝවාගේ සංවිධානයේ “පවුරු” වඩා ශක්තිමත් කරන්නෝය. (1 කොරින්ති 3:10-15) ඔවුහු පදගතාර්ථ ආකාරයකින්ද ඉදි කිරීමෙහි හවුල් වන්නෝය. ඔවුහු වෙහෙස මහන්සි නොබලා රාජ්‍ය ශාලා, එක්රැස්වීම් ශාලා සහ බෙතෙල් සංකීර්ණ ඉදි කිරීමේ යෙදෙති. මෙසේ කිරීමෙන් යෙහෝවාගේ ව්‍යාප්ත වන්නාවූ සංවිධානය රැකබලා ගැනීම සඳහා ආලේප ලත් සහෝදරයන් සමඟ හවුල් වෙති.—යෙසායා 61:5.

16, 17. (අ) දෙවිගේ සංවිධානයේ “දොරටු” දිගටම ඇර තිබෙන්නේ කෙසේද? (ආ) “රජුන්” සියොන්ට සේවය කර තිබෙන්නේ කෙසේද? (ඇ) යෙහෝවා විවෘතව තැබීමට කැමති “දොරටු” වැසීමට උත්සාහ කරන අයට සිදු වන්නේ කුමක්ද?

16 ආත්මික ඉදි කිරීමේ වැඩසටහනේ ප්‍රතිඵලයක් හැටියට සෑම වර්ෂයකම ලක්ෂ ගණන් “විදේශීහු” යෙහෝවාගේ සංවිධානය සමඟ ඇසුරු කිරීමට පටන්ගන්නා අතර, තව බොහෝදෙනෙකුට ඇතුල් වීමටද ඉඩ සලසා දෙති. යෙහෝවා මෙසේ කියයි. “ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.” (යෙසායා 60:11) සියොනට ජාතීන්ගේ වස්තු ගෙන ඒමට මුල් වන්නාවූ “රජුන්” කවුරුන්ද? පුරාණ කාලයේදී, සියොන වෙනුවෙන් ‘සේවය කිරීමට’ යෙහෝවා සමහර පාලකයන්ගේ හදවත් පෙලඹුවේය. උදාහරණයක් හැටියට, යෙරුසලමේ දේවමාළිගාව ගොඩනැඟීමට යුදෙව්වන් යැවීම සඳහා කෝරෙෂ් රජ මූලිකත්වය ගත්තේය. පසුව, අර්තක්ෂස්තා රජ යෙරුසලමේ තාප්ප ගොඩනැඟීම සඳහා අවශ්‍ය කළමනාද සමඟ නෙහෙමියාව පිටත් කර යැව්වේය. (එස්රා 1:2, 3; නෙහෙමියා 2:1-8) සැබවින්ම, “[රජෙකුගේ] සිත දිය පාරවල් මෙන් [යෙහෝවාගේ] අතෙහි පවතී.” (හිතෝපදේශ 21:1) තම කැමැත්ත ඉටු කරගැනීම සඳහා බලවත් පාලකයන්ව පවා පොලඹවන්න අපේ දෙවිට හැකිය.

17 වත්මන් කාලයේදී, බොහෝ “රජුන්” නැතහොත් ලෞකික අධිකාරීන් යෙහෝවාගේ සංවිධානයේ “දොරටු” වැසීමට උත්සාහ කර තිබේ. කෙසේවෙතත්, අනෙකුත් රජවරුන් එම “දොරටු” විවෘතව තබාගැනීමට තීරණය කරමින් සියොන උදෙසා සේවය කර තිබේ. (රෝම 13:4) වර්ෂ 1919දී, ජෝසෆ් එෆ්. රදෆඩ් සහ ඔහුගේ සගයන්ව අයුක්තිසහගත ලෙස සිරගත කිරීමෙන් පසු ලෞකික අධිකාරීන් විසින්ම ඔවුන්ව නිදහස් කරනු ලැබීය. (එළිදරව් 11:13) සාතන්ව ස්වර්ගයේ සිට පොළොවට හෙළා දැමූ පසු, ඔහු වේගයෙන් ගලා යන ගඟක් සේ නික්මවා ඇති පීඩා මිනිස් ආණ්ඩු විසින් ‘ගිල දමා’ ඇත. (එළිදරව් 12:16) සමහර ආණ්ඩු ආගමික නිදහස ලබා දී ඇති අතර, එසේ කර තිබෙන්නේ විශේෂයෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වෙනුවෙනි. මේ ආකාරයේ දේවල් සිදු කිරීම මගින්, මොළොක් ගුණැති අයට “දොරටු” තුළින් යෙහෝවාගේ සංවිධානයට පැමිණීම වඩා පහසු කර ඇත. එම “දොරටු” වැසීමට උත්සාහ කරන විරුද්ධවාදීන් ගැන කුමක් කිව හැකිද? ඔවුන්ට කිසිදාක සාර්ථක විය නොහැක. ඔවුන් ගැන යෙහෝවා මෙසේ කියයි. “නුඹට සේවය නොකරන ජාතියද රාජ්‍යයද නැතිවන්නේය; එසේය, ඒ ජාතීහු සහමුලින්ම විනාශවන්නෝය.” (යෙසායා 60:12) යෙහෝවාගේ ‘ස්ත්‍රියට’ විරුද්ධව සටන් කරන සැවොම, එනම් තනි පුද්ගලයෙකු වේවා, සංවිධානයක් වේවා, පැමිණෙන්නාවූ අර්මගෙදොන් යුද්ධයට පෙර හෝ ඒ අතරතුර අනිවාර්යයෙන්ම විනාශ වනු ඇත.—එළිදරව් 16:14, 16.

18. (අ) ඉශ්‍රායෙල්හි ගස් සාරවත්ව වැඩෙන බවට දුන් පොරොන්දුවේ අර්ථය කුමක්ද? (ආ) අදදින ‘යෙහෝවාගේ පාදස්ථානය’ කුමක්ද?

18 විනිශ්චය පිළිබඳ අනතුරු ඇඟවීමෙන් පසු, උසස් කරන සහ සමෘද්ධිය ඇති කරන බවට පොරොන්දුවක් මේ අනාවැකියෙන් ප්‍රකාශ කෙරේ. තම “ස්ත්‍රිය” ගැන සඳහන් කරමින් යෙහෝවා මෙසේ කියන්නේය. “මාගේ ශුද්ධස්ථානය අලංකාරකිරීමට ලෙබනොන්හි තේජසද දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂුර් ගස්ද එක්ව නුඹ ළඟට පැමිණෙනවා ඇත; මමද මාගේ පාදස්ථානය තේජවත්කරන්නෙමි.” (යෙසායා 60:13) සාරවත් ගස් අලංකාරය සහ ඵලදායීභාවය සංකේතවත් කරයි. (යෙසායා 41:19; 55:13) මේ පදයේ ඇති “ශුද්ධස්ථානය” සහ “පාදස්ථානය” යන වචනවලින් යොමු දක්වන්නේ යෙරුසලමේ දේවමාළිගාවටයි. (1 ලේකම් 28:2; ගීතාවලිය 99:5) කෙසේවෙතත්, යෙරුසලමේ දේවමාළිගාවෙන් පූර්වාදර්ශනය කළේ ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාවේ පදනම යටතේ යෙහෝවාට නමස්කාර කිරීමට එළඹිය හැකි විධිවිධානය වන මහත් ආත්මික දේවමාළිගාවයි කියා ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේය. (හෙබ්‍රෙව් 8:1-5; 9:2-10, 23) අදදින යෙහෝවා තම “පාදස්ථානය” වන මහත් ආත්මික දේවමාළිගාවේ භූමික මළු තේජසට පත් කරන්නේය. මෙම මළු සියලු ජාතීන්ට අයත් සෙනඟව සැබෑ නමස්කාරය වෙත ආකර්ෂණය කරවන්නේය.—යෙසායා 2:1-4; හග්ගයි 2:7.

19. විරුද්ධවාදීන්ට බල කරන්නේ කුමක් පිළිගැනීමටද? අඩුම තරමින් ඔවුන් මෙය කරනු ඇත්තේ කවදාද?

19 යෙහෝවා දැන් තම විරුද්ධවාදීන් වෙත අවධානය යොමු කරමින් මෙසේ කියයි. “නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: [යෙහෝවාගේ] නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාගේ] සියොන් කියාත් කියනවා ඇත.” (යෙසායා 60:14) දෙවිගේ ආශීර්වාදය නිසා ඔහුගේ සෙනඟ ලබා තිබෙන අසීමිත වර්ධනය සහ ඔවුන්ගේ උසස් ජීවිත රටාව දැකීමෙන් පෙලඹුණු සමහර විරුද්ධවාදීහු වැඳ වැටී ‘ස්ත්‍රියට’ හඬගසති. ඊට හේතුව වන්නේ, ආලේප ලත් ඉතිරි අයත් ඔවුන්ගේ සගයනුත් ස්ථිරවම දෙවිගේ ස්වර්ගීය සංවිධානය නොහොත් ‘යෙහෝවාගේ නුවර හා ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාගේ සියොන’ නියෝජනය කරන බව අඩුම තරමින් අර්මගෙදොනයේදීවත් ඔවුන්ට පිළිගැනීමට සිදුවීමය.

තිබෙන වස්තුවෙන් ප්‍රයෝජන ගැනීම

20. “ස්ත්‍රිය” අද්දකින්න යන වෙනස කුමක්ද?

20 යෙහෝවාගේ “ස්ත්‍රිය” මොනතරම් විශාල වෙනසක් අද්දකින්න යනවාද! යෙහෝවා මෙසේ කියයි. “කිසිවෙක් නුඹ ළඟින් නොයන ලෙස නුඹ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම නුඹ සදාකාල උතුම්කමක්ද [සදාකාලයටම උසස් කරන්නෙමි, NW] පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි. නුඹ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය, රජුන්ගේ තන උරන්නෙහිය. [යෙහෝවා] වන මම නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයා යාකොබ්ගේ [බලවන්තයා] බවත් නුඹ දැනගන්නවා ඇත.”යෙසායා 60:15, 16.

21. (අ) පුරාණ යෙරුසලම “උසස්” කළේ කෙසේද? (ආ) වර්ෂ 1919 සිට යෙහෝවාගේ ආලේප ලත් සේවකයන් භුක්ති විඳ ඇති ආශීර්වාද මොනවාද? ඔවුන් “ජාතීන්ගේ කිරි” උරා බී ඇත්තේ කෙසේද?

21 අවුරුදු 70ක් පුරා පුරාණ යෙරුසලම ‘කිසිවෙකු ළඟින් නොයන ලෙස’ මාර්ග සිතියම්වලින් මැකී ගොස් තිබුණායයි කීවොත් නිවැරදිය. එහෙත්, පො.යු.පෙ. 537 සිට යෙහෝවා නගරය යළි ජනාවාස කරමින් එය සියල්ලන් ඉදිරියෙහි ‘උසස් කළේය.’ ඒ හා සමානව, Iවන ලෝක මහා යුද සමයේදී දෙවිගේ ඉශ්‍රායෙල්ද එවැනිම කාලයක් අද්දුටු අතර, ඔවුන්ට හැඟුණේ තමන්ව මුළුමනින්ම ‘අත්හැර’ තිබෙන බවයි. එහෙත් 1919දී, යෙහෝවා තම ආලේප ලත් සේවකයන්ව වහල්භාවයෙන් නැවත මිල දී ගත් අතර, එතැන් සිට පෙර නොවූ තරම් ලෝකය පුරා ව්‍යාප්ත වීමට සැලැස්වීමෙන්ද ආත්මික සමෘද්ධියක් ලබා දීමෙන්ද ආශීර්වාද කර ඇත. ඔහුගේ සෙනඟ සැබෑ නමස්කාරයේ ප්‍රගතිය සඳහා ජාතීන්ගේ ද්‍රව්‍යමය වස්තු එනම් “ජාතීන්ගේ කිරි” උරා බී තිබේ. උදාහරණයක් වශයෙන් භාෂා සිය ගණනකින් බයිබල් සහ බයිබල් ප්‍රකාශන පරිවර්තනය කිරීමට සහ ප්‍රකාශයට පත් කිරීමට ඔවුන් නවීන තාක්ෂණය නුවණැතිව යොදාගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් හැටියට, සෑම වසරකම ලක්ෂ ගණන් ජනයා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන අතර, යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන යෙහෝවා ඔවුන්ව ගළවාගන්න ආකාරය ගැන ඉගෙනගනිමින් සිටිති.—ක්‍රියා 5:31; 1 යොහන් 4:14.

සංවිධානාත්මක කටයුතුවල ප්‍රගතිය

22. යෙහෝවා පොරොන්දු වන්නේ කිනම් ආකාරයේ විශේෂ ප්‍රගතියක්ද?

22 යෙහෝවාගේ සෙනඟගේ ගණන වැඩිවීම හා සංවිධානාත්මක කටයුතුවල ප්‍රගතිය යන දෙකම අත්වැල් බැඳගෙන ගමන් කරයි. යෙහෝවා මෙසේ කියයි. “මම පිත්තල [තඹද, NW] වෙනුවට රත්රන් ගෙනෙන්නෙමි, යකඩ වෙනුවට රිදීද ලී වෙනුවට පිත්තලද [තඹද, NW] ගල් වෙනුවට යකඩද ගෙනෙන්නෙමි. මම නුඹේ මුලාදෑනීන් සමාදානයද නුඹේ ආණ්ඩුකාරයන් ධර්මිෂ්ඨකමද වෙන්ට සලස්වන්නෙමි.” (යෙසායා 60:17) තඹ වෙනුවට රන් යොදාගැනීම දියුණුවකි. අනිත් අමුද්‍රව්‍ය ගැන කිව හැක්කේද එයමයි. මේ අනාවැකියට අනුව යෙහෝවාගේ සෙනඟ අවසාන කාලය පුරාම ඔවුන්ගේ සංවිධානාත්මක කටයුතුවල ක්‍රමානුකූල ප්‍රගතියක් අද්දැක ඇත.

23, 24. වර්ෂ 1919 සිට යෙහෝවාගේ සේවකයන් අද්දකිමින් සිටින ප්‍රගතියක් පෙන්වන සංවිධානාත්මක විධිවිධාන මොනවාද?

23 වර්ෂ 1919වන විට, සභාවල වැඩිමහල්ලන් සහ උපස්ථායකයන්ව පත් කරගනු ලැබුවේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයකටය. එනම්, ඡන්දය දැමීමකිනි. ඒ වර්ෂයේදී, සභාවේ ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා සේවා අධ්‍යක්ෂකයෙකුව දිව්‍යාණ්ඩුමය ආකාරයකට පත් කරගැනිණ. එහෙත්, ඡන්ද ක්‍රමයට පත් කරගනු ලැබූ සමහර වැඩිමහල්ලෝ සේවා අධ්‍යක්ෂකවරුන්ව ප්‍රතික්ෂේප කරන්න පටන්ගත්හ. වර්ෂ 1932දී දේවල් වෙනස් වීමට පටන්ගත්තේය. එම වසරේදී, වැඩිමහල්ලන්ව සහ උපස්ථායකයන්ව ඡන්ද මාර්ගයෙන් පත් කරගැනීම අවලංගු කරන ලදි. මේ බව වොච්ටවර් සඟරාව මාර්ගයෙන් සභාවලට දැනුම් දුණි. ඒ වෙනුවට ඔවුහු සේවා අධ්‍යක්ෂක සමඟ වැඩ කිරීමට සේවා කමිටුවක් පත් කරගත්හ. මේ වෙනස විශාල ප්‍රගතියකට දායක විය.

24 වර්ෂ 1938දී, සභාවේ සිටින සියලුම සේවකයන්ව දිව්‍යාණ්ඩුමය ආකාරයට පත් කළ යුතුය කියා සංවිධානාත්මක වෙනසක් කළ විට, තව තවත් “රත්රන්” ගෙනෙනු ලැබීය. සභාවේ පරිපාලනය සමාගම් සේවකගේ (පසුව, සභා සේවකගේ) මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ අතර, අනිත් සේවකයන් ඔහුට සහයෝගය දෙනු ලැබීය. * මේ සියලුදෙනාවම අධීක්ෂණය කරනු ලැබුවේ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගිනි. (මතෙව් 24:45-47) කෙසේවෙතත්, සභාවක් රැකබලා ගැනීම නමැති ශුද්ධ ලියවිලිමය කාර්යය සිදු කළ යුත්තේ වැඩිමහල් මණ්ඩලයක් විසින් මිස තනි පුද්ගලයෙකු විසින් නොවේයයි 1972දී වටහාගනු ලැබීය. (පිලිප්පි 1:1) සභාවන් තුළ මෙන්ම පාලක මණ්ඩලය තුළත් වෙනත් ආකාරයේ වෙනස්කම්ද සිදු කෙරුණි. පාලක මණ්ඩලය තුළ සිදු කළ වෙනස්කම්වලට, වර්ෂ 2000 ඔක්තෝබර් 7වනදා කළ වෙනස උදාහරණයක් වශයෙන් ගත හැක. පාලක මණ්ඩලයට අයත් සාමාජිකයන්, පෙන්සිල්වේනියා හා අනුබද්ධ වොච් ටවර් සමිතියේ අධ්‍යක්ෂවරුන් ලෙස සේවය කිරීමෙන් කැමැත්තෙන්ම ඉවත් වූ බව එදින නිවේදනය කෙරුණි. ‘දෙවිගේ සභාව’ සහ එහි සහයකයන් වන වෙනත් බැටළුවන්ගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් දීමට, විශ්වාස වූ නුවණ ඇති දාසයාව නියෝජනය කරන පාලක මණ්ඩලයට මෙමගින් දැන් වැඩියෙන් ප්‍රස්තාව ලැබී ඇත. (ක්‍රියා 20:28) මේ සෑම විධිවිධානයක්ම ප්‍රගතියක් ලෙස හැඳින්විය හැක. එය යෙහෝවාගේ සංවිධානය වඩා ශක්තිමත් කර ඇති අතර, යෙහෝවාගේ නමස්කාරකයන්ට ආශීර්වාදයක්ද වී ඇත.

25. යෙහෝවාගේ සෙනඟගේ ප්‍රගතිය පිටුපස සිටින්නේ කවුද? ඔවුන් නෙළාගෙන තිබෙන ප්‍රයෝජන මොනවාද?

25 මේ ප්‍රගතිය පිටුපස සිටින්නේ කවරෙක්ද? එම ප්‍රගතිය සිදුව ඇත්තේ සංවිධානාත්මක හැකියාවන් නිසාද? නැතහොත් මිනිසුන්ගේ බුද්ධිමත් සිතීමේ හැකියාව නිසාද? නැත. යෙහෝවා කියන්නේ ‘රත්රන් ගෙනෙන්නේ මමය’ කියාය. මේ සෑම ප්‍රගතියක් පිටුපසම දිව්‍ය මඟ පෙන්වීම ඇත. යෙහෝවාගේ සෙනඟ ඔහුගේ මඟ පෙන්වීමට යටත්ව අවශ්‍ය වෙනස්කම් සිදු කරද්දී ප්‍රයෝජන නෙළාගන්නේ ඔවුන්මය. ඔවුන් අතරේ සමාදානය පවතින අතර, ධර්මිෂ්ඨකමට ඇති ලැදියාව ඔහුට සේවය කිරීමට ඔවුන්ව දිගටම පොලඹවයි.

26. විරුද්ධවාදීන්ව පවා පුදුමයට පත් කරවන සැබෑ ක්‍රිස්තියානීන්ගේ හඳුනාගැනීමේ ලකුණ කුමක්ද?

26 දෙවි දී තිබෙන සමාදානය තුළින් අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට පෙලඹීමක් ඇති කර තිබේ. යෙහෝවා මෙසේ පොරොන්දු වේ. “නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.” (යෙසායා 60:18) එය මොනතරම් සැබෑවක්ද! සමාදානය සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ විශිෂ්ට ලකුණක්ය කියා විරුද්ධවාදීහු පවා පිළිගනිති. (මීකා 4:3) යෙහෝවාත් ඔහුගේ සාක්ෂිකරුවනුත් අතර තිබෙන මේ සමාදානයේ ප්‍රතිඵලයක් හැටියට, ඔවුන්ගේ ක්‍රිස්තියානි රැස්වීම් පවත්වන සෑම තැනක්ම මේ සැහැසික ලෝකය තුළ ක්ෂේම භූමියක් වී ඇත. (1 පේතෘස් 2:17) පොළොවේ සියලු වැසියන් ‘යෙහෝවා විසින් උගන්වනු’ ලබන කාලයේදී තිබෙනු ඇති අසීමිත සමාදානය සම්බන්ධයෙන් මෙය පෙර නිමිත්තකි.—යෙසායා 11:9; 54:13.

දිව්‍ය අනුමැතියේ තේජවත් ආලෝකය

27. යෙහෝවාගේ “ස්ත්‍රිය” මත හෙළන නිරන්තර ආලෝකය කුමක්ද?

27 යෙරුසලම කෙරෙහි බබළන අධික ආලෝකය ගැන විස්තර කරමින් යෙහෝවා මෙසේ කියයි. “ඉර තවත් නුඹේ දවාලේ එළිය නොවන්නේය; දීප්තිය පිණිස සඳද නුඹට එළිය නොදෙන්නේය. නුමුත් [යෙහෝවා] නුඹට සදාකාල එළියක්ද නුඹේ [දෙවි] නුඹේ තේජසද [වන්නේය]. නුඹේ ඉර තවත් බැසයන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද [යෙහෝවා] නුඹේ සදාකාල එළිය [වන්නේය]. නුඹේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.” (යෙසායා 60:19, 20) යෙහෝවා තම “ස්ත්‍රිය” මත “සදාකාල එළියක්” වනු ඇත. ඔහු කිසි දිනක ඉර මෙන් “බැසයන්නේවත්,” සඳ මෙන් “පහව” යන්නේවත් නැත. * දෙවිගේ ‘ස්ත්‍රියව’ නියෝජනය කරන ආලේප ලත් අය මත යෙහෝවා තම අනුමැතිය නමැති ආලෝකය නිරන්තරව බබළවනු ඇත. ඔවුහු මහත් සමූහය සමඟ එකතුව ආත්මික ආලෝකය බහුල ලෙස භුක්ති විඳින්නෝය. මෙය පහ කිරීමට මේ අඳුරු ලෝකයේ කිසිම දේශපාලනික හෝ ආර්ථික ක්‍රමයකට නොහැකි වනු ඇත. එමෙන්ම, යෙහෝවා තමන් ඉදිරියේ තබා ඇති දීප්තිමත් අනාගතය කෙරෙහි ඔවුන් විශ්වාසය තබා ඇත.—රෝම 2:7; එළිදරව් 21:3-5.

28. (අ) යළි යෙරුසලමට යන වැසියන් සම්බන්ධයෙන් දී තිබූ පොරොන්දුව කුමක්ද? (ආ) වර්ෂ 1919දී ආලේප ලත් ක්‍රිස්තියානීන් උරුම කරගත්තේ කුමක්ද? (ඇ) ධර්මිෂ්ඨයන් පොළොව උරුම කරගන්නේ කොතරම් කාලයකටද?

28 යෙරුසලමේ වැසියන් සම්බන්ධයෙන් යෙහෝවා මෙසේද කියයි. “නුඹේ සෙනග සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය [දේශය උරුම කරගන්නෝය, NW].” (යෙසායා 60:21) ස්වාභාවික ඉශ්‍රායෙල්වරුන් බබිලෝනියේ සිට නැවත පැමිණි විට ඔවුහු “දේශය උරුම” කරගත්තෝය. නමුත් “සදාකාලේටම” යන්නෙන් ඔවුන්ට අදහස් කළේ පොදු යුගයේ මුල් සියවස දක්වා පමණය. මන්දයත් එම වසරේදී රෝම හමුදා විසින් යෙරුසලමත් එහි ජාතියත් විනාශ කර දැමූ බැවිනි. එලෙසම, 1919දී ආලේප ලත් ක්‍රිස්තියානීහු ආත්මික වහල්භාවයෙන් පිටතට පැමිණ, ආත්මික දේශයක් උරුම කරගත්තෝය. (යෙසායා 66:8) මේ දේශය නැතහොත් ආත්මික ක්‍රියාකාරකම් සිදු කරන ක්ෂේත්‍රය කිසිදා පහ නොවන්නාවූ ආත්මික සමෘද්ධියක් භුක්ති විඳින්නාවූ පාරාදීසයක් බඳුය. පුරාණ ඉශ්‍රායෙල් මෙන් නොව, ආත්මික ඉශ්‍රායෙල්ට අයත් වූවන් සමූහයක් හැටියට විශ්වාසවන්තව සිටිනු ඇත. තවදුරටත්, මේ පොළොව “මහත් සමාදානයෙන්” පිරි පාරාදීසයක් බවට පත් වන විට යෙසායාගේ අනාවැකිය භෞතික ආකාරයකින්ද ඉටු වනු ඇත. ඉන්පසු භූමික බලාපොරොත්තුවක් ඇති ධර්මිෂ්ඨයන් සදාකාලයටම පොළොව උරුම කරගනු ඇත.—ගීතාවලිය 37:11, 29.

29, 30. “කුඩා තැනැත්තා දහසක්” වී තිබෙන්නේ කෙසේද?

29 යෙසායා 60වන පරිච්ඡේදය අවසන් කරමින් යෙහෝවා තමන්ගේම නාමයෙන් දිවුරමින් මෙසේ පොරොන්දු වෙයි. “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. [යෙහෝවා වන] මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි.” (යෙසායා 60:22) වර්ෂ 1919දී, විසිර සිටි ආලේප ලත් අයව ක්‍රියාකාරකම් සඳහා යළි පිහිටෙවූ අවස්ථාවේදී, ඔවුහු සංඛ්‍යාවෙන් ‘කුඩා තැනැත්තෙකුව’ සිටියෝය. * එහෙත්, ආත්මික ඉශ්‍රායෙල්ගේ ඉතිරි සාමාජිකයන්ව එක්රැස් කිරීමට පටන්ගත් විට, ඔවුන්ගේ ගණන වැඩි විය. මහත් සමූහයේ ඒකරාශි කිරීම ක්‍රියාත්මක වීමට පටන්ගත් විට වර්ධනය අතිවිශිෂ්ට විය.

30 වැඩි කල් යන්න මත්තෙන්, දෙවිගේ සෙනඟ අතරේ තිබෙන සමාදානය සහ ධර්මිෂ්ඨකම, අවංක හදවත් ඇති බොහෝදෙනෙකුව සත්‍යය වෙත ආකර්ෂණය කළේය. ඒ හේතුවෙන්, “සුළු තැනැත්තා” පදගතාර්ථයෙන්ම “බලවත් ජාතියක්” බවට පත් වුණේය. මෙම ජාතිය දැනටමත් ලෝකයේ සමහර රටවල සිටින ජනගහනයට වඩා වැඩි ජනගහනයකට උරුමකම් කියයි. පැහැදිලිවම යෙහෝවා ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් රාජ්‍ය වැඩය මෙහෙයවා තිබෙන අතර, වේගයද වැඩි කර තිබේ. ලෝකය පුරා සිදුව ඇති සැබෑ නමස්කාරයේ ව්‍යාප්තිය දකින්න ලැබීමත් එහි කොටස්කරුවන් වීමට ලැබීමත් මොනතරම් සතුටක්ද! ඔව්, පුරාණයේ සිටම මේ දේවල් ගැන පුරෝකථනය කළ යෙහෝවාව මෙම වර්ධනය මගින් මහිමයට පත් වන බව දැනගැනීම ඉමහත් ප්‍රීතියකි!

[පාදසටහන්වල]

^ තිබෙන සාක්ෂිවලට අනුව තර්ෂිෂ් පිහිටා තිබුණේ දැන් ස්පාඤ්ඤය තිබෙන ප්‍රදේශයේය. කෙසේවෙතත්, ඇතැම් මූලාශ්‍රවලට අනුව, “තර්ෂිෂ්හි නැව්” යන කියමන යොමු දක්වන්නේ නැව් වර්ගයකටය. එය “තර්ෂිෂ් වෙත ගමන් කිරීමට තරම් ශක්තිසම්පන්න” වූ “උස කුඹගස් ඇති මුහුදු යන නැව්” වර්ගයකි. වෙනත් වචනවලින් කියනවා නම්, දුර ඈත ගමනාන්ත දක්වා යෑමට යෝග්‍ය නැව්ය.—1 රාජාවලිය 22:48.

^ වර්ෂ 1930ට ප්‍රථම භූමික බලාපොරොත්තුව ඇති ක්‍රියාශීලී, ජ්වලිත ක්‍රිස්තියානීන් දෙවිගේ ඉශ්‍රායෙල් සමඟ හවුලේ සේවය කළද, මේ ක්‍රිස්තියානීන්ගේ සංඛ්‍යාව 1930 ගණන්වලදී සැලකිය යුතු ලෙස වැඩි වෙන්න පටන්ගත්තේය.

^ ඒ දවස්වල සභාවන් හැඳින්වූයේ සමාගම් හැටියටය.

^ “අලුත් යෙරුසලම” නැතහොත් 1,44,000දෙනාගේ ස්වර්ගීය තේජස ගැන විස්තර කිරීමට ප්‍රේරිත යොහන් ඒ හා සමාන වචන යොදාගනී. (එළිදරව් 3:12; 21:10, 22-26) ‘අලුත් යෙරුසලමෙන්’ ස්වර්ගීය තේජසට පැමිණි දෙවිගේ ඉශ්‍රායෙල්ගේ සියලුම සාමාජිකයන්ව නියෝජනය වන නිසාත්, ඔවුන් ඉන්පසු යේසුස් ක්‍රිස්තුස් සමඟ දෙවිගේ ‘ස්ත්‍රියගේ’ නැතහොත් ‘ඉහළ තිබෙන යෙරුසලමේ’ ප්‍රධාන කොටස බවට පත් වන නිසාත් එලෙස විස්තර කිරීම උචිතය.—ගලාති 4:26.

^ වර්ෂ 1918දී, සෑම මාසයකදීම ලොව පුරා දේශනා වැඩයෙහි යෙදුණු අයගේ සාමාන්‍ය සංඛ්‍යාව 4,000කටත් වඩා අඩුය.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[305වන පිටුවේ පින්තූරය]

‘ස්ත්‍රියට නැඟිටින්නැයි’ අණ කරයි

[312, 313වන පිටුවේ පින්තූරය]

“තර්ෂිෂ්හි නැව්” යෙහෝවාගේ නමස්කාරකයන්ව පටවාගෙන එයි