Skip to content

පටුනට යන්න

සියොන්හි ධර්මිෂ්ඨකම දළුලයි

සියොන්හි ධර්මිෂ්ඨකම දළුලයි

විසිදෙවන පරිච්ඡේදය

සියොන්හි ධර්මිෂ්ඨකම දළුලයි

යෙසායා 61:1-11

1, 2. ඉශ්‍රායෙල් අද්දකින්න යන වෙනස කුමක්ද? මෙය සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද?

 නිදහස ප්‍රකාශ කරාවා! යෙහෝවා තම සෙනඟව යළි පිහිටුවා ඔවුන්ගේ මව්බිම කරා ගෙන යෑමට තීරණය කර තිබේ. මද වැස්සකින් පසු දළුලා වැඩෙන බීජයක් සේ සැබෑ නමස්කාරයද යළිත් වැඩෙනු ඇත. ඒ දිනය පැමිණෙද්දී, කනස්සල්ල ප්‍රීති සන්තෝෂයටත් ප්‍රශංසා ගී ගැයීමටත් පෙරළෙනු ඇති අතර, දුක් විපත් නිසා අළු දමාගෙන සිටි හිස දිව්‍ය අනුමැතියේ කිරුළෙන් පැළඳෙනු ඇත.

2 මේ පුදුමාකාර පරිවර්තනය සිදු කරනු ඇත්තේ කවුරුන් විසින්ද? එය කළ හැක්කේ යෙහෝවාට පමණි. (ගීතාවලිය 9:19, 20; යෙසායා 40:25) අනාගතවක්තෘ ශෙපනියා අනාවැකිමය ආකාරයෙන් මෙසේ අණ කරයි. “සියොන් දියණියෙනි, ගී කියන්න; ඉශ්‍රායෙල්, ඝෝෂාකරන්න; යෙරුසලම් දියණියෙනි, මුළු සිතින් සන්තෝෂවී ප්‍රීතිමත්වෙන්න. [යෙහෝවා] නුඹේ විනිශ්චයන් [පහ කළේය].” (ශෙපනියා 3:14, 15) එය මොනතරම් ප්‍රීතිමත් කාලයක් වනු ඇද්ද! යෙහෝවා පො.යු.පෙ. 537දී යළි පිහිටුවනු ලබන ඉතිරි කොටස එක්රැස් කරන විට එය සිහිනයක් සැබෑ වූවා සේ වනු ඇත.—ගීතාවලිය 126:1.

3. යෙසායා 61වන පරිච්ඡේදයේ සඳහන් අනාවැකියට ඇත්තේ කිනම් ඉටුවීම්ද?

3 මේ යළි පිහිටුවීම පුරෝකථනය කර තිබෙන්නේ යෙසායා 61වන පරිච්ඡේදයෙයි. කෙසේවෙතත්, මේ අනාවැකියේ පැහැදිලි ඉටුවීමක් පො.යු.පෙ. 537දී සිදු වුණත්, පසු කාලයකදී එහි මහා පරිමාණයේ ඉටුවීමක් සිදු විය. එම මහා පරිමාණ ඉටුවීමට මුල් සියවසේ සිටි යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන්ද නවීන දින යෙහෝවාගේ සෙනඟද අයත්ය. මේ අනුව බලන කල, දේවානුභාවය ලත් වචන මොනතරම් අර්ථවත්ද!

“කරුණාවේ අවුරුද්ද”

4. යෙසායා 61:1හි මුල් ඉටුවීමේදී ශුභාරංචිය ප්‍රකාශ කිරීමට පත් කරනු ලැබුවේ කාවද? දෙවන ඉටුවීමේදී පත් කළේ කාවද?

4 යෙසායා මෙසේ ලියයි. “ස්වාමිවූ [යෙහෝවාගේ] ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට [යෙහෝවා] මා ආලේප [කළේය]; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද [මා එවූවේය].” (යෙසායා 61:1) ශුභාරංචිය ප්‍රකාශ කරන්න පත් කළේ කාවද? මුල් ඉටුවීමේදී, ඒ සඳහා පත් කළ පුද්ගලයා වූයේ බබිලෝනියේ සිටින වහලුන් සඳහා ශුභාරංචිය වාර්තා කර තැබීමට දෙවි විසින් පත් කළ යෙසායා විය හැක. කෙසේවෙතත්, යෙසායාගේ වදන් තමන්ට අදාළ කරගැනීමෙන්, මෙම අනාවැකියේ වැදගත්ම ඉටුවීම යේසුස් පෙන්වා දුන්නේය. (ලූක් 4:16-21) මොළොක් ගුණැති අයට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට යේසුස්ව යවනු ලැබූ අතර, ඒ සඳහා ඔහුගේ බව්තීස්මයේදී ඔහුව ශුද්ධාත්මයෙන් ආලේප කළේය.—මතෙව් 3:16, 17.

5. අවුරුදු 2,000ක පමණ කාලයක් පුරා ශුභාරංචිය දේශනා කරමින් සිටින්නේ කවුරුන්ද?

5 තවදුරටත්, යේසුස් තම අනුගාමිකයන්ට එවැන්ජලිස්තවරුන් නැතහොත් ශුභාරංචියේ දේශනාකරුවන් වීමට ඉගැන්වීය. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේදී, 120දෙනෙකුව පමණ ශුද්ධාත්මයෙන් ආලේප කළ අතර, ඔවුහු දෙවිගේ ආත්මික පුත්‍රයන් බවට පත් වූහ. (ක්‍රියා 2:1-4, 14-42; රෝම 8:14-16) ඔවුන්වද පත් කරනු ලැබුවේ මොළොක් ගුණැති සහ තැළී පොඩි වී සිටියවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහාය. මේ 120දෙනා ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබූ 1,44,000දෙනාගේ මුල්ම සාමාජිකයෝ වූහ. මොවුන්ගේ අවසාන කණ්ඩායම තවමත් පොළොවෙහි ක්‍රියාශීලීව වැඩ කරමින් සිටිති. මෙසේ, අවුරුදු 2,000ක පමණ කාලයක් පුරා යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන් ‘දෙවි ඉදිරියේ පසුතැවිලි වීමත් අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඇදහිල්ල තැබීමත් ගැන’ සාක්ෂි දරා තිබේ.—ක්‍රියා 20:21.

6. පුරාණ කාලවලදී, ශුභාරංචියට ඇහුම්කන් දීමෙන් සැනසීම ලැබුවේ කවුද? අද දවස ගැන කුමක් කිව හැකිද?

6 යෙසායා ප්‍රකාශ කළ දිව්‍ය ආරංචිය බබිලෝනියේ සිටි පසුතැවිලි වූ යුදෙව්වන්ට ඉමහත් සැනසිල්ලක් ළඟා කළේය. යේසුස්ගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ කාලයේදී, මුල් සියවසේ ඉශ්‍රායෙල්හි පැවති දුෂ්ටකම සහ යුදෙව් ධර්මයේ පැවති බොරු ආගමික චාරිත්‍රවලින් යට වී බලාපොරොත්තුවක් නොමැතිව තැළී පොඩි වී සිටි යුදෙව්වන්ට ශුභාරංචිය මගින් සැනසීම ගෙනාවේය. (මතෙව් 15:3-6) අදදිනද ක්‍රිස්තියානි ලෝකයේ පවතින මිථ්‍යා දෘෂ්ටික සහ දෙවිට නිග්‍රහ කරන්නාවූ සිරිත් විරිත්වලට හසුව සිටින අය එම ආගමික ක්‍රමය තුළ සිදු කරන පිළිකුල් ක්‍රියා හේතුවෙන් ‘සුසුම්ලා කෙඳිරිගාති.’ (එසකියෙල් 9:4) ශුභාරංචියට යහපත් ප්‍රතිචාරයක් දක්වන අයව එම දුඃඛිත තත්වයෙන් ගළවාගනු ලැබේ. (මතෙව් 9:35-38) යෙහෝවාට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කරන්න පටන්ගත් විට ඔවුන්ගේ තේරුම්ගැනීම නමැති ඇස් ඇරෙනු ඇත.—යොහන් 4:24.

7, 8. (අ)‘කරුණාවේ අවුරුදු’ මොනවාද? (ආ) යෙහෝවාගේ ‘පළිගැනීමේ දවස්’ මොනවාද?

7 ශුභාරංචිය දේශනා කිරීමට කාලසටහනක් ඇත. ‘යෙහෝවාගේ කරුණාවේ අවුරුද්ද මෙන්ම අපේ දෙවිගේ පළිගැනීමේ දවස ප්‍රකාශ කරන්ට සහ වැලපෙන සියල්ලන් සනසන්ට’ යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන්ට පවරනු ලැබුවේය. (යෙසායා 61:2) අවුරුද්දක් යනු දිගු කාලයකි. එහෙත්, එයට පටන්ගැන්මක් මෙන්ම අවසානයක්ද ඇත. ගැළවීම පිළිබඳ පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දැක්වීම සඳහා මොළොක් ගුණැති අයට අවස්ථාවක් දීමට යෙහෝවා තම “කරුණාවේ අවුරුද්ද” යොදාගනී.

8 මුල් සියවසේ යුදෙව් ජාතිය සම්බන්ධයෙන් බලද්දී, කරුණාවේ අවුරුද්ද ඇරඹුණේ යේසුස් තම භූමික දේවසේවය පටන්ගත් පො.යු. 29දීය. ඔහු යුදෙව්වන්ට මෙසේ කීවේය. “පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේ.” (මතෙව් 4:17) එම කරුණාවේ අවුරුද්ද පො.යු. 70 යෙහෝවාගේ “පළිගැනීමේ දවස” දක්වා දිව ගියේය. එම අවුරුද්දේදී, යෙරුසලම සහ එහි දේවමාළිගාව විනාශ කර දැමීමට රෝම හමුදාවට යෙහෝවා ඉඩහැරියේය. (මතෙව් 24:3-22) අද අප ජීවත් වන්නේ වෙනත් කරුණාවේ අවුරුද්දකය. එය ආරම්භ වූයේ 1914දී ස්වර්ගයේ දෙවිගේ රාජ්‍යය පිහිටුවීමත් සමඟය. මේ කරුණාවේ අවුරුද්ද අවසන් වන්නේ මේ මුළු ලෝක ක්‍රමයම ‘මහත් පීඩාවේදී’ විනාශ කර දමන්නාවූ යෙහෝවාගේ ලෝක ව්‍යාප්ත පළිගැනීමේ දවසිනි.—මතෙව් 24:21.

9. යෙහෝවාගේ කරුණාවේ අවුරුද්දෙන් අදදින ප්‍රයෝජන ලබන්නේ කවුද?

9 අදදින දෙවිගේ කරුණාවේ අවුරුද්දෙන් ප්‍රයෝජන ගන්නේ කවුරුන්ද? පණිවිඩය පිළිගන්නාවූ හා දෙවිගේ රාජ්‍යය “සියලු ජාතීන්ට” ප්‍රකාශ කිරීමෙහි ජ්වලිත ලෙස හවුල් වන්නාවූ මොළොක් ගුණැති අයයි. (මාර්ක් 13:10) ශුභාරංචිය මගින් සැබෑ සැනසීම ගෙනෙන බව එවැනි අය තේරුම්ගනිති. කෙසේවෙතත්, පණිවිඩය පිළිගැනීම සහ යෙහෝවාගේ කරුණාවේ අවුරුද්දෙන් ප්‍රයෝජන ගැනීම ප්‍රතික්ෂේප කරන්නාවූ අයට ඔහුගේ මේ පළිගැනීමේ දවසේ භයානක ඉරණමට මුහුණ දීමට සිදු වනු ඇත.—2 තෙසලෝනික 1:6-9.

දෙවිව ප්‍රශංසාවට පත් කරන ආත්මික ඵල

10. බබිලෝනිය හැරදා එන යුදෙව්වන් වෙනුවෙන් යෙහෝවා කළ මහත් ක්‍රියා ඔවුන්ට බලපාන්නේ කෙසේද?

10 යෙහෝවා ඔවුන් වෙනුවෙන් බොහෝ දේවල් කර තිබූ බව බබිලෝනියෙන් පිට වී ගිය යුදෙව්වෝ දැන සිටියහ. ඔවුන් දැන් නිදහස් වී ඇති නිසා, වහලුන් හැටියට ඔවුන් අද්දුටු දුක ප්‍රීතියටත් ප්‍රශංසාවටත් හැරී ඇත. යෙසායා තම අනාවැකිමය පැවරුම මෙසේ ඉටු කරයි. “සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද [ඔහු] මා [එව්වේය]. මෙසේ කළේ [යෙහෝවාට] ගෞරව ලැබීමට [ඔහු] විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන [විශාල, NW] ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය.”—යෙසායා 61:3.

11. යෙහෝවාගේ මහත් ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසා කිරීමට හොඳ හේතු තිබුණේ මුල් සියවසේ සිටි කාටද?

11 මුල් සියවසේදී, බොරු ආගම නමැති වහල්භාවයෙන් මිදී පැමිණි යුදෙව්වෝද යෙහෝවා ඔවුන් වෙනුවෙන් කර තිබූ මහත් ක්‍රියා සම්බන්ධයෙන් දෙවිට ප්‍රශංසා කළෝය. ඔවුන්ව ආත්මිකව මැරී සිටි ජාතියකින් බේරාගත් විට ඔවුහු තම කනස්සලු ස්වභාවයෙන් ඉවත් වී “ප්‍රශංසාව නැමති වස්ත්‍රය” පැළඳගත්තෝය. යේසුස්ගේ මුල් ගෝලයෝ එවැනි වෙනසක් අද්දුටුවෝය. ඔවුන් යේසුස්ගේ මරණය ගැන දුකෙන් සිටියත්, නැවත නැඟිටුවනු ලැබූ ඔවුන්ගේ ස්වාමීන් විසින් ඔවුන්ව ශුද්ධාත්මයෙන් ආලේප කළ විට ඔවුන්ගේ දුක ඉමහත් ප්‍රීතියකට පෙරළුණි. මෙම නවක ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ දේශනාවට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී බව්තීස්ම වූ මොළොක් ගුණැති අය 3,000දෙනාද එවැනිම වෙනසක් අද්දැක්කෝය. (ක්‍රියා 2:41) යෙහෝවා ඔවුන්ට ආශීර්වාද කරනවා යන නිසැකභාවය ඔවුන් තුළ මොනතරම් ප්‍රීතියක් ඇති කරන්න ඇද්ද! ‘සියොන ගැන වැලපෙමින් සිටිනවා’ වෙනුවට ඔවුහු ශුද්ධාත්මය ලබා ‘ප්‍රීතිය නමැති තෛලයෙන්’ ප්‍රාණවත්කම ලැබූහ. එයින් නියෝජනය කරන්නේ යෙහෝවාගේ බොහෝ ආශීර්වාද ලැබූ අය අද්දකින ප්‍රීතියයි.—හෙබ්‍රෙව් 1:9.

12, 13. (අ) පොදු යුගයට පෙර 537දී නැවත පැමිණි යුදෙව්වන් අතර සිටි “ධර්මිෂ්ඨකමේ විශාල ගස්” වූයේ කවුරුන්ද? (ආ) පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේ සිට “ධර්මිෂ්ඨකමේ විශාල ගස්” වූයේ කවුරුන්ද?

12 “ධර්මිෂ්ඨකමේ විශාල ගස්” මාර්ගයෙන් යෙහෝවා තම සෙනඟට ආශීර්වාද කරයි. මේ විශාල ගස්වලින් නියෝජනය කරන්නේ කාවද? පොදු යුගයට පෙර 537න් පසුව නම් මොවුන්ගෙන් නියෝජනය කළේ, දෙවිගේ වචනය අධ්‍යයනය කරමින්, ඒ ගැන මෙනෙහි කර, යෙහෝවාගේ ධර්මිෂ්ඨ ප්‍රමිති තමන් තුළ වගා කරගත් අයවයි. (ගීතාවලිය 1:1-3; යෙසායා 44:2-4; යෙරෙමියා 17:7, 8) එස්රා, හග්ගයි, සෙකරියා සහ උත්තම පූජක වූ යෝෂුවා වැනි මිනිසුන් “විශාල ගස්” බව ඔප්පු විය. ඔවුහු සත්‍යයේ බීජ රෝපණය කරමින් ජාතියේ ආත්මික දූෂණයට එරෙහිව සිටියෝය.

13 පොදු යුගයේ 33 පෙන්තකොස්ත දිනයේ සිට දෙවි ඒ හා සමාන ආකාරයකින් ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ නමැති ඔහුගේ අලුත් ජාතියේ ආත්මික දේශයෙහි, ධෛර්යවන්ත ආලේප ලත් ක්‍රිස්තියානීන් නමැති “ධර්මිෂ්ඨකමේ විශාල ගස්” සිටෙව්වේය. (ගලාති 6:16) ගෙවී ගිය සියවස් ගණනාව තුළ, මේ “ගස්” සංඛ්‍යාවෙන් 1,44,000ක් බවට පත්ව ඇති අතර, යෙහෝවා දෙවිගේ නාමය තේජසට නැතහොත් ගෞරවයට පත් කරන ධර්මිෂ්ඨකමේ ඵල එමගින් නිපදවමින් තිබේ. (එළිදරව් 14:3) මෙම විශාල “ගස්” වන දෙවිගේ ඉශ්‍රායෙල්ගේ ඉතිරි කොටස තාවකාලිකව අක්‍රියාශීලී තත්වයක සිටියත්, 1919දී ඔවුන්ව එම තත්වයෙන් ගොඩගනු ලැබීමත් සමඟම සමෘද්ධිමත් වී ඇත. ඔවුන්ට ඇති තරම් ආත්මික ජල සැපයුමක් ලබා දීමෙන් යෙහෝවා ඔවුන්ව ධර්මිෂ්ඨකමේ ඵල දරන ගස් ඇති වනාන්තරයක් බවට පත් කර ඇත.—යෙසායා 27:6.

14, 15. යෙහෝවා විසින් නිදහස ලබා දුන් ඔහුගේ නමස්කාරකයන් (අ) පො.යු.පෙ. 537දී (ආ) පො.යු. 33දී (ඇ) 1919දී, භාරගත් ව්‍යාපෘතීන් මොනවාද?

14 මේ “ගස්” සතු විශේෂ වැඩ කොටස ගැන සඳහන් කරමින් යෙසායා මෙසේ ලියයි. “ඔව්හු පරණ නටබුන් ඉඩම් ගොඩනගන්නෝය, ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරිගස්සන්නෝය, නාස්තිවී පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු නුවරවල් අලුත්වැඩියාකරන්නෝය.” (යෙසායා 61:4) පර්සියාවේ රජ වූ කෝරෙෂ්ගේ ආඥාව යටතේ, බබිලෝනියෙන් පිටව ගිය ඇදහිලිවන්ත යුදෙව්වෝ මෙතෙක් කල් පාළුවට ගොස් තිබූ යෙරුසලමත් එහි දේවමාළිගාවත් යළි ගොඩනැඟුවෝය. පොදු යුගයේ 33 සහ 1919 යන අවුරුදුවලින් පසුවද යළි පිහිටුවීමේ වැඩ පිළිවෙළක් සිදු විය.

15 යේසුස්ව අත්අඩංගුවට ගැනීම, පරීක්ෂණයට ලක් කිරීම සහ මරණයට පත් කිරීම ගැන පො.යු. 33දී, ඔහුගේ ගෝලයෝ බොහෝ සේ සන්තාපයට පත්ව සිටියෝය. (මතෙව් 26:31) කෙසේවෙතත්, නැවත නැඟිටීමෙන් පසු ඔහු ඔවුන්ට පෙනුණු විට ඔවුන්ගේ තත්වය වෙනස් විය. ශුද්ධාත්මය ඔවුන් මත වගුරුවනු ලැබූ අතර, ඔවුහු “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද” ශුභාරංචිය දේශනා කිරීමෙහි කාර්ය බහුල වූහ. (ක්‍රියා 1:8) මෙසේ ඔවුහු නිර්මල නමස්කාරය යළි පිහිටුවන්න පටන්ගත්හ. මේ හා සමාන ආකාරයකට, ‘පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු තැන්’ යළි ගොඩනැඟීමට 1919 පටන් යේසුස් තම ආලේප ලත් සහෝදරයන්ව සන්නද්ධ කළේය. ගත වී ඇති සියවස් ගණනාව පුරාම ජනයාට යෙහෝවා පිළිබඳ සැබෑ දැනුම ලබා දීමට ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය අසමත් වී ඇත. යෙහෝවා ගැන උගන්වනවා වෙනුවට ඔවුන් විසින් මිනිසුන්ගේ පරම්පරාගත ඉගැන්වීම් සහ ශුද්ධ ලියවිල්ලට පටහැනි මූලධර්ම උගන්වනු ලැබුවේය. සැබෑ නමස්කාරයේ යළි පිහිටුවීම ඉදිරියටම ගෙන යෑමට හැකි වන පරිදි, ආලේප ලත් ක්‍රිස්තියානීහු ඔවුන්ගේ සභාවන් බොරු ආගමේ චාරිත්‍ර වාරිත්‍රවලින් සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරගත්තෝය. ඔවුහු ඒ සමඟම ලෝකයේ මේ දක්වා කර තිබෙන විශාලම දේශනා ව්‍යාපෘතිය ආරම්භ කළෝය.—මාර්ක් 13:10.

16. ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ යළි පිහිටුවීමේ වැඩය සඳහා ඔවුන්ට උපකාර කර තිබෙන්නේ කවුද? ඔවුන්ට පවරා ඇති වැඩ මොනවාද?

16 මෙය විශාල බලපැවරුමකි. සාපේක්ෂ වශයෙන් ඉශ්‍රායෙල්හිසිටි ස්වල්පදෙනා එවන් වැඩ කොටසක් ඉටු කරන්නේ කෙසේද? යෙහෝවා මෙසේ ප්‍රකාශ කිරීමට යෙසායාට ආනුභාවය ලබා දේ. “විදේශියෝ සිට [අමුත්තෝ, NW] නුඹලාගේ බැටළු රැළවල් පෝෂ්‍යකරන්නෝය, විදේශියෝ නුඹලාගේ ගොවියෝද නුඹලාගේ මිදිවතු වවන්නෝද වන්නෝය.” (යෙසායා 61:5) අමුත්තන්ගෙන් සහ විදේශීන්ගෙන් නියෝජනය වන්නේ යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් ‘මහත් සමූහයයි.’ * (යොහන් 10:11, 16; එළිදරව් 7:9) ඔවුන්ව ස්වර්ගීය බලාපොරොත්තුවක් ඇතුව ශුද්ධාත්මයෙන් ආලේප කර නැත. ඒ වෙනුවට, ඔවුන්ට තිබෙන්නේ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුවකි. (එළිදරව් 21:3, 4) එසේ වුණත් ඔවුන් යෙහෝවාට ප්‍රේම කරන නිසා, ආත්මික එඬේරුන්, ගොවීන් සහ මිදි වතු වවන්නන් වීමේ කාර්යය ඔහු විශ්වාසයෙන් යුතුව ඔවුන්ට භාර දී ඇත. මෙවැනි වැඩ පහත් ගණයේ ඒවා නොවේ. දෙවිගේ ඉශ්‍රායෙල්ගේ ඉතිරි අයගේ අනුදැනුම ඇතුව මේ වැඩකරුවන් ආත්මික එඬේරකම් කිරීමෙහි, පෝෂණය කිරීමෙහි සහ ඵල නෙළීමෙහි හවුල් වේ.—ලූක් 10:2; ක්‍රියා 20:28; 1 පේතෘස් 5:2; එළිදරව් 14:15, 16.

17. (අ) දෙවිගේ ඉශ්‍රායෙල්හි සාමාජිකයන්ව කැඳවනු ලබන්නේ කුමකටද? (ආ) පාපවලට සමාව ලබාගැනීමට අවශ්‍ය කරන එකම පූජාව කුමක්ද?

17 දෙවිගේ ඉශ්‍රායෙල් ගැන කුමක් කිව හැකිද? යෙහෝවා යෙසායා තුළින් මෙසේ කියයි. “නුඹලා වනාහි [යෙහෝවාගේ] පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් නුඹලාට: අපේ [දෙවිගේ] සේවකයෝයයි කියනවා ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත.” (යෙසායා 61:6) පුරාණ ඉශ්‍රායෙල් කාලයේ, පූජකයන් වෙනුවෙනුත් සෙසු ඉශ්‍රායෙල්වරුන් වෙනුවෙනුත් පූජාවන් ඔප්පු කිරීමට යෙහෝවා ලෙවී පූජකයන්ව පත් කර තිබුණි. කෙසේවෙතත්, පො.යු. 33දී, යෙහෝවා ලෙවී පූජකතන්ත්‍රය අහෝසි කර ඊට වඩා හොඳ විධිවිධානයක් පිහිටුවනු ලැබීය. මනුෂ්‍යවර්ගයාගේ පාපවලට පූජාවක් හැටියට ඔහු යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය පිළිගත්තේය. එතැන් සිට, වෙනත් කිසිම ආකාරයක පූජාවක් අවශ්‍ය නොවීය. යේසුස්ගේ පූජාව සෑම කාලයකටම වලංගු විය.—යොහන් 14:6; කොලොස්සි 2:13, 14; හෙබ්‍රෙව් 9:11-14, 24.

18. දෙවිගේ ඉශ්‍රායෙල් කුමන ආකාරයේ පූජකතන්ත්‍රයක් බවට පත් වේද? ඔවුන්ගේ බලපැවරුම කුමක්ද?

18 දෙවිගේ ඉශ්‍රායෙල් ‘යෙහෝවාගේ පූජකයන්’ වන්නේ කෙසේද? සෙසු ආලේප ලත් ක්‍රිස්තියානීන්ට ලියමින් ප්‍රේරිත පේතෘස් මෙසේ කියයි. “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් [තැනැත්තාගේ] උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද [දෙවි] සන්තක සෙනගක්ද වන්නහුය.” (1 පේතෘස් 2:9) මේ අනුව, කණ්ඩායමක් හැටියට, ආලේප ලත් ක්‍රිස්තියානීන්ගෙන් පූජකතන්ත්‍රයක් සකස් වනු ඇත. ඔවුන්ට නිශ්චිත බලපැවරුමක් තිබේ. එය නම්, යෙහෝවාගේ තේජස සියලුම ජාතීන්ට දැන්වීමයි. ඔවුන් ඔහුගේ සාක්ෂිකාරයන් විය යුතුය. (යෙසායා 43:10-12) මෙම අන්තිම දවස්වලදී ආලේප ලත් ක්‍රිස්තියානීහු මේ වැදගත් බලපැවරුම ඇදහිලිවන්ත ලෙස ඉෂ්ට කරමින් සිටිති. එහි ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවාගේ රාජ්‍යය ගැන දේශනා කිරීමට දශලක්ෂ ගණනක් ඔවුන් හා හවුල් වෙමින් සිටී.

19. ආලේප ලත් ක්‍රිස්තියානීන්ට ඉටු කිරීමට ලැබෙන සේවා වරප්‍රසාදය කුමක්ද?

19 තවදුරටත්, වෙනත් ආකාරයේ පූජක සේවයක යෙදීමේ ප්‍රස්තාවද දෙවිගේ ඉශ්‍රායෙල්ගේ සාමාජිකයන්ට ඇත. ඔවුන්ගේ මරණයෙන් පසු, ඔවුන්ව ස්වර්ගයේ අමරණීය ජීවිතයකට නැවත නැඟිටුවනු ලබයි. එහිදී ඔවුන් යේසුස් සමඟ ඔහුගේ රාජ්‍යය පාලනය කිරීමේ හවුල් වෙනවා පමණක් නොව, ඔවුන් දෙවිගේ පූජකයන්ද වනු ඇත. (එළිදරව් 5:10; 20:6) එහිදී පොළොවේ සිටින සියලුම ඇදහිලිවන්ත මනුෂ්‍යයන්ට යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ ප්‍රයෝජන අත් කර දීමට ඔවුන් වරප්‍රසාද ලබනු ඇත. එළිදරව් 22වන පරිච්ඡේදයෙහි සඳහන් ප්‍රේරිත යොහන්ගේ දර්ශනයේදී ඔවුන්ව නැවත වරක් හඳුන්වා තිබෙන්නේ ‘වෘක්ෂ’ නැතහොත් ගස් හැටියටයි. ගස් 1,44,000ම ස්වර්ගයේ දක්නට ලැබේ. මේ ගැන යොහන් මෙසේ කියයි. ‘දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂ තිබුණේය. ඒ වෘක්ෂවල කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.’ (එළිදරව් 22:1, 2) එය මොනතරම් පුදුමාකාර පූජක සේවයක් වනු ඇද්ද!

ලජ්ජාව සහ නින්දාවෙන් පසු ප්‍රීතිය

20. රාජකීය පූජක තන්ත්‍රය විරෝධතා මැද අපේක්ෂාවෙන් සිටින ආශීර්වාද මොනවාද?

20 වර්ෂ 1914දී යෙහෝවාගේ කරුණාවේ අවුරුද්ද ආරම්භ වූ අවස්ථාවේ සිට, රාජකීය පූජක තන්ත්‍රයට ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයේ විරෝධයන්ට යළි යළිත් මුහුණ දෙන්න සිදු විය. (එළිදරව් 12:16ආ) එසේ වුවත්, ශුභාරංචිය නවතා දැමීමට වූ සියලුම වෑයම් අවසානයේදී අසාර්ථක විය. මේ ගැන යෙසායාගේ අනාවැකියේ පුරෝකථනය කර තිබෙන්නේ මෙසේය. “නුඹලාගේ ලජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නහුය; නින්දාව වෙනුවට ඔව්හු තමුන්ගේ කොටස ගැන ප්‍රීතිමත්වන්නෝය. එබැවින් ඔව්හු තමුන්ගේ දේශයෙහි දෙපංගුවක් භුක්තිවිඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය.”—යෙසායා 61:7.

21. ආලේප ලත් ක්‍රිස්තියානීන්ට දෙපංගුවක් ආශීර්වාද ලැබුණේ කෙසේද?

21 පළමුවන ලෝක මහා යුද්ධ සමයේදී, ජාතිවාදී ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය අතින් ආලේප ලත් ඉතිරි කොටස ලජ්ජාවට සහ නින්දාවට පත් විය. බෘක්ලින්හි පිහිටි මූලස්ථානයේ ඇදහිලිවන්ත සහෝදරයන් අටදෙනාට රාජ ද්‍රෝහීන් යන බොරු චෝදනාව එල්ල කළ අය අතර පූජකයන්ද විය. මේ සහෝදරයන්ව අසාධාරණ ලෙස මාස නවයකට සිරගත කරනු ලැබීය. අවසානයේදී 1919 වසන්ත සමයේදී, ඔවුන්ව නිදහස් කළ අතර, ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කර තිබූ චෝදනා සියල්ලක්ම ඉවත් කරනු ලැබීය. මේ ආකාරයට, දේශනා වැඩය ව්‍යර්ථ කිරීමට කැපූ වළට වළ කැපූ අයම ඇද වැටුණෝය. යෙහෝවා තම නමස්කාරකයන්ට දිගින් දිගටම ලජ්ජා විඳින්න ඉඩ නොදී ඔවුන්ව ගළවාගෙන ‘ඔවුන්ගේ [ආත්මික] දේශයේ’ යළි පිහිටෙව්වේය. එහිදී ඔවුන්ට දෙපංගුවක් ආශීර්වාද ලැබුණි. ඔවුන් වින්දාවූ නින්දාවට වඩා බොහෝ වැඩියෙන් ඔවුහු ආශීර්වාද භුක්ති වින්දාහ. ප්‍රීති ඝෝෂා නඟන්න ඔවුන්ට ඇත්ත වශයෙන්ම හොඳ හේතු තිබුණි!

22, 23. ආලේප ලත් ක්‍රිස්තියානීන් යෙහෝවාව අනුකරණය කර තිබෙන්නේ කෙසේද? ඔහු ඔවුන්ට විපාක දී තිබෙන්නේ කෙසේද?

22 අදදින සිටින ක්‍රිස්තියානීන්ට ප්‍රීතිවීමට තිබෙන තවත් හේතුවක් යෙහෝවා ඊළඟට පවසන දෙයෙහි අඩංගුය. “[යෙහෝවා] වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි; ඉන් නිසා මම ඔවුන්ගේ විපාකය සැබෑකමින් දෙන්නෙමි, සදාකාල ගිවිසුමක්ද ඔවුන් සමග කරන්නෙමි.” (යෙසායා 61:8) ආලේප ලත් ඉතිරි කොටස තම බයිබල් අධ්‍යයනය තුළින් යුක්තියට ප්‍රේම කිරීමටත් දුෂ්ටකමට වෛර කිරීමටත් ඉගෙනගෙන තිබේ. (හිතෝපදේශ 6:12-19; 11:20) ඔවුන් ‘කඩුවලින් හීවැල් තළාගන්න’ ඉගෙනගෙන තිබෙන අතර, මනුෂ්‍යයා කරන්නාවූ යුද්ධ සහ දේශපාලන උද්ඝෝෂණවලදී ඔවුහු මධ්‍යස්ථභාවය රැකගනිමින් සිටිත්. (යෙසායා 2:4) ඔවුන් අපහාස කිරීම්, වේශ්‍යාකම, සොරකම සහ බේබදුකම වැනි දෙවිට නින්දා ගෙනෙන පුරුදුද පසෙක දමා තිබේ.—ගලාති 5:19-21.

23 ආලේප ලත් ක්‍රිස්තියානීන් තම මැවුම්කරුගේ යුක්තියට ප්‍රේම කරන බැවින්, ඔහු ‘ඔවුන්ට සැබෑකමින් විපාක’ දී තිබේ. ඉන් එක් ‘විපාකයක්’ වන්නේ දෙවි ඔවුන් සමඟ පිහිටුවා ඇති සදාකාලික වූ ගිවිසුම වන නව ගිවිසුමයි. යේසුස් තම මරණයට පෙර රාත්‍රියේදී තම අනුගාමිකයන්ට කතා කරනු ලැබුවේ එම ගිවිසුම ගැනයි. ඔවුන් ආත්මික ජාතියක් නැතහොත් දෙවිගේ විශේෂ සෙනඟක් බවට පත් වන්නේ එම ගිවිසුම පදනම් කරගෙනය. (යෙරෙමියා 31:31-34; ලූක් 22:20) ඒ ගිවිසුම මාර්ගයෙන්, ආලේප ලත් අයගේත් අනිකුත් සියලුම ඇදහිලිවන්ත මනුෂ්‍යයන්ගේත් පාපවලට සමාව ඇතුළුව යේසුස්ගේ මිදීමේ මිල පූජාවේ සියලුම ප්‍රයෝජන ඔවුන්ට යෙහෝවා අත් කර දෙනු ඇත.

යෙහෝවාගේ ආශීර්වාද ප්‍රීතිය ගෙනේ

24. ජාතීන් අතරෙන් ආශීර්වාද ලත් “වංශය” බවට පත් වන්නේ කවුරුන්ද? ඔවුන් ‘වංශයක්’ බවට පත් වන්නේ කෙසේද?

24 යෙහෝවා තම සෙනඟට ආශීර්වාද කර තිබෙන ආකාරය ජාතීන් අතරේ සිටින සමහරුන් දැක ඇත. මේ ගැන යෙහෝවා මෙසේ පුරෝකථනය කර තිබේ. “ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගෙන් පැවතඑන්නෝ ජනයන් අතරේද ඇඳිනගනු ලැබෙත්. ඔවුන් [යෙහෝවාගෙන්] ආශීර්වාදලත් වංශය බව ඔවුන් දකින සියල්ලෝම දැනගන්නෝය.” (යෙසායා 61:9) දෙවිගේ ඉශ්‍රායෙල්ගේ සාමාජිකයෝ නැතහොත් ආලේප ලත් ක්‍රිස්තියානීහු යෙහෝවාගේ කරුණාවේ අවුරුද්ද පුරා ක්‍රියාශීලීව ජාතීන්ට දේශනා කරමින් සිටිති. මේ වන විට දශලක්ෂ ගණනක් ඔවුන්ගේ දේවසේවයට හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇත. දෙවිගේ ඉශ්‍රායෙල් සමඟ කිට්ටුවෙන් වැඩ කිරීම මගින්, විවිධ ජාතීන්ට අයත් අයට ‘යෙහෝවාගෙන් ආශීර්වාද ලත් වංශය’ බවට පත්වීමේ වරප්‍රසාදය ලැබී ඇත. ඔවුන්ගේ ප්‍රීතිය සියලු මනුෂ්‍යවර්ගයාට දැකගත හැක.

25, 26. සියලුම ක්‍රිස්තියානීන් යෙසායා 61:10හි ඇති හැඟීම්බර වදන්වලට තම එකඟත්වය පළ කරන්නේ කෙසේද?

25 ආලේප ලත් මෙන්ම වෙනත් බැටළුවන් යන සියලුම ක්‍රිස්තියානීහු යෙහෝවාට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කිරීමට ආශාවෙන් බලා සිටිති. ඔවුහු දේවානුභාවයෙන් ලියූ අනාගතවක්තෘ යෙසායා සමඟ එක් හඬින් මෙසේ කියති. ‘මම යෙහෝවා තුළ බොහෝ සේ ප්‍රීති වන්නෙමි. මාගේ ආත්මය මාගේ දෙවි තුළ සන්තෝෂ වන්නේය; [ඔහු ගැළවීම නමැති ඇඳුම මට හඳවා, ධර්මිෂ්ඨකම නමැති අත් නැති සැට්ටයෙන් මා සැරසුවේය, NW] මක්නිසාද මනමාලයා පූජක මකුටයක් දමාගන්නාක් මෙන්ද මනමාලී ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද ඔහු ගැළවීම නමැති වස්ත්‍ර මට පැළඳෙව්වේය. ධර්මිෂ්ඨකම නමැති සළුවද මට පෙරෙව්වේය.’—යෙසායා 61:10.

26 “ධර්මිෂ්ඨකම නමැති අත් නැති [සැට්ටයකින්]” සැරසී සිටින ආලේප ලත් ක්‍රිස්තියානීහුද යෙහෝවාගේ ඇස් ඉදිරියෙහි පිරිසිදු ස්ථාවරයක් ඇතුව සිටීමට අධිෂ්ඨාන කරගෙන සිටිති. (2 කොරින්ති 11:1, 2) ස්වර්ගීය ජීවිතයක් උරුම කර දීමේ අරමුණින් යෙහෝවා විසින් ධර්මිෂ්ඨ බව ප්‍රකාශ කර සිටින මොවුන්, තමන්ව මුදවාගත් පාළු මහා බබිලෝනිය වෙත නැවත හැරී යන්නේ නැත. (රෝම 5:9; 8:30) ගැළවීමේ වස්ත්‍ර ඔවුන්ගේ ඇස් හමුයෙහි මිල කළ නොහැක. වෙනත් බැටළුවන් වන අනිකුත් සාමාජිකයන්ද ඔවුන් හා සමානව පවිත්‍ර නමස්කාරයේ කොටසක් වන යෙහෝවා දෙවි නියම කර ඇති උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වීමට තීරණය කර ඇත. ඔවුන් “තමුන්ගේ සළු බැටළුපැටවාගේ ලෙයින් සෝදා [සුදු කරගෙන]” ඇති නිසා ඔවුන්ව ධර්මිෂ්ඨ කොට ගණන්ගනු ලැබ ඇති අතර, මේ හේතුවෙන් ඔවුන් ‘මහත් පීඩාවෙන්’ බේරෙනු ඇත. (එළිදරව් 7:14; යාකොබ් 2:23, 25) ඒ වන තුරු, ඔවුන් මහා බබිලෝනියෙන් පැමිණිය හැකි ඕනෑම දූෂ්‍ය කරවන බලපෑමකින් ආරක්ෂා වීම සඳහා තම ආලේප ලත් සාමාජිකයන්ව අනුගමනය කරනු ඇත.

27. (අ) දහස් අවුරුදු පාලන සමයේදී, කුමන විශේෂ ‘හටගැනීමක්’ සිදු වනු ඇද්ද? (ආ) මනුෂ්‍යවර්ගයා අතරේ දැනටමත් ධර්මිෂ්ඨකම හටගෙන තිබෙන්නේ කෙසේද?

27 ආත්මික පාරාදීසයක සිටීමට ලැබීම ගැන අද සිටින යෙහෝවාගේ නමස්කාරකයන් මහත් සේ ප්‍රීතියට පත් වේ. ඉතා ඉක්මනින්ම ඔවුන් භෞතික පාරාදීසයක ප්‍රීතිය විඳිනු ඇත. එම කාලය එන තුරු අපි මහත් ඕනෑකමින් බලා සිටින්නෙමු. එම කාලය යෙසායා 61 අවසාන වචනවල මෙසේ විස්තර කර ඇත. “මක්නිසාද පොළොව ස්වකීය දළු උපදවන්නාක්මෙන්ද උයන එහි වපුළ දේ ලියලවන්නාක්මෙන්ද ස්වාමිවූ [යෙහෝවා] ධර්මිෂ්ඨකම සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.” (යෙසායා 61:11) ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය තුළදී, පොළොවේ ‘ධර්මිෂ්ඨකම හටගන්නේය.’ මිනිස්වර්ගයා ප්‍රීති ඝෝෂා නඟන්නෝය. පොළොවේ කෙළවර දක්වා ධර්මිෂ්ඨකම පැතිර යන්නේය. (යෙසායා 26:9) කෙසේවෙතත්, ජාතීන් ඉදිරියේ යෙහෝවාට ප්‍රශංසා ගෙන ඒමට එම තේජවත් දවස එන තුරු බලා සිටිය යුතු නැත. ස්වර්ගයේ සිටින දෙවිට තේජස ගෙන දෙන දශලක්ෂ ගණන් සමූහයා අතරේ දැනටත් ධර්මිෂ්ඨකම පවතින අතර, ඔවුහු දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රචාරය කරති. දැනුදු අපේ ඇදහිල්ල සහ අපේ බලාපොරොත්තුව දෙවිගේ ආශීර්වාද තුළ ප්‍රීතිවීමට අපට හොඳ හේතු සපයයි.

[පාදසටහන]

^ පෙනෙන විදිහට, යුදෙව් නොවන්නන් යුදෙව්වන් සමඟ යෙරුසලමට නැවත පැමිණ දේශය යළි පිහිටුවීමට උපකාර කළ බැවින්, යෙසායා 61:5 එම කාලයට අදාළ වූවා විය හැක. (එස්රා 2:43-58) කෙසේවෙතත්, 6වන ඡේදයේ සිට අනාවැකිය අදාළ වන්නේ දෙවිගේ ඉශ්‍රායෙල්ට පමණක් බව පෙනෙන්න තිබේ.

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[323වන පිටුවේ පින්තූරය]

යුදෙව් වහලුන්ට ප්‍රකාශ කිරීමට ශුභාරංචියක් යෙසායා සතුව ඇත

[331වන පිටුවේ පින්තූරය]

පොදු යුගයේ 33 සිට “ධර්මිෂ්ඨකමේ විශාල ගස්” 1,44,000ක් යෙහෝවා පැළ කර ඇත

[334වන පිටුවේ පින්තූරය]

පොළොව ධර්මිෂ්ඨකම හටගන්වන්නේය