Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානි සාරධර්ම තම දරුවන්ගේ හදවත් තුළ පැළපැදියම් කිරීමට සාක්ෂිකරුවන් උත්සාහ කරනවා

අගය කිරීමට වටිනා යහපත් ගුණධර්ම

අගය කිරීමට වටිනා යහපත් ගුණධර්ම

ඉතිහාසය පුරා නිර්භීත ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුන්ගේ කාලයේ පැවති පොදු මතයට වෙනස්ව නිවැරදි දේ කිරීමට ස්ථිර අධිෂ්ඨානයක් ගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන් දේශපාලනමය, ආගමික සහ වාර්ගික වධ හිංසාවලට මුහුණ දුන් අතර සමහර අයට තම ජීවිතය පවා අහිමි වුණා.

යේසුස්ගේ මුල් අනුගාමිකයන් පෙන්වා තිබෙන නිර්භීතකම ඉතා කැපී පෙනෙනසුලුයි. රෝම අධිරාජ්‍යයා විසින් ඔවුන්ට දැඩි පීඩා එල්ල කළ පළමු ශතවර්ෂ තුන තුළදී ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට මරණයට මුහුණ දීමට සිදු වුණා. ඒ ඔවුන් එම අධිරාජ්‍යයාට නමස්කාර නොකළ නිසයි. නමුත් එම පීඩාවලින් ගැලවීමට ඔවුන්ට කිරීමට තිබුණේ සුළු ක්‍රියාවක් පමණයි. ඒ කුමක්ද? එනම් රෝම අධිරාජ්‍යයාව දෙවි කෙනෙකු ලෙස සලකා ඔවුන් ඉදි කළ පූජාසනයක් මත සුවඳ ද්‍රව්‍ය ස්වල්පයක් ඔප්පු කිරීමයි. බොහෝදෙනෙක් එය කරනවා වෙනුවට තම විශ්වාසයන් වෙනුවෙන් තම ජීවිත වුණත් දීමට කැමති වුණා.

එදා සිටි ක්‍රිස්තියානීන් මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිනවා. ජර්මනියේ නාට්සි පාලන සමයේදී ඔවුන් කටයුතු කළ ආකාරය ඊට කදිම උදාහරණයක්. ඔවුන් නාට්සි පාලනයේ දැඩි කෲරකම්වලට මුහුණ දුන්නා. දෙවන ලෝක මහා යුද්ධයට පෙර සහ ඒ අතරතුර කාලයේදී ජර්මනියේ සිටි සාක්ෂිකරුවන්ගෙන් හතරෙන් එකක් පමණ ගාල් කඳවුරුවල මිය ගියා. ඊට හේතුව ඔවුන් දේශපාලන කටයුතුවලට හවුල් නොවීම සහ “හිට්ලර්ට ජය වේවා” කියා පැවසීම ප්‍රතික්ෂේප කිරීමයි. ඒ වගේම ඔවුන්ගේ දරුවන්ව බලහත්කාරයෙන් ඔවුන්ගෙන් වෙන් කළා. බයිබලයට පටහැනි දේවල් කිරීමට එම දරුවන්ට බල කළත් ඔවුන් පවා ස්ථිරව සිටියා.

කොඩියට ආචාර කිරීම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එදා තරම් අද දින දැඩි පීඩාවලට මුහුණ නොදෙන බව ඇත්තයි. ඒ වුණත් ඔවුන් ගැන වරදවා වටහාගැනීම් ඇති වී තිබෙනවා. සාක්ෂිකරුවන්ගේ දරුවන් ඔවුන්ගේ හෘදය සාක්ෂියට එකඟව කොඩියට ආචාර කිරීම ඇතුළත් දේශානුරාගී උත්සව අවස්ථාවන්ට සහභාගි නොවීමට තීරණය කිරීම ඊට උදාහරණයක්.

“සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න”—මතෙව් 22:21

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම රටක කොඩියකට ආචාර කරන්නේ නැහැ. ඒ වුණත් කොඩියට ආචාර කිරීමට අන් අයට ඇති අයිතියට ගරු කිරීමට සාක්ෂිකරුවන් ඔවුන්ගේ දරුවන්ට උගන්වා තිබෙනවා. එය සෑම කෙනෙකුගේම පෞද්ගලික තීරණයක් බව ඔවුන් දන්නවා. කොඩියට ආචාර නොකිරීම මගින් ඊට අගෞරව කරන බවක් කොහෙත්ම අදහස් කරන්නේ නැහැ. කොඩියෙන් නියෝජනය වන රටේ තිබෙන නීතිවලට කීකරු වීමෙන් ඔවුන් පෙන්වන්නේ කොඩියට ගරු කරන බවයි. ඔවුන් කිසිම ආකාරයකින් ආණ්ඩුවට විරුද්ධව කැරලිගසන්නේ නැහැ. වර්තමානයේ පවතින ආණ්ඩුවලට දෙවි ඉඩහැර තිබෙන බවත් එය ‘දෙවි පිහිටුවා ඇති සැලැස්මක්’ බවත් ඔවුන් අවබෝධ කරගෙන සිටිනවා. ඒ නිසා බදු මුදල් ගෙවීමට සහ “උසස් බලධාරීන්ට” ගෞරව කරන්න කියා දෙවි දී ඇති ආඥාවට ඔවුන් කීකරු වෙනවා. (රෝම 13:1-7) එය “සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න. දෙවිට අයිති දේ දෙවිට දෙන්න” කියා යේසුස් පැවසූ දෙයටද එකඟයි.—මතෙව් 22:21.

‘එසේනම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොඩියට ගෞරව කිරීමක් ලෙස ඊට ආචාර නොකරන්නේ ඇයි’ කියා කෙනෙක් ඇසීමට ඉඩ තිබෙනවා. ඊට හේතුව කොඩියට ආචාර කිරීම නමස්කාර කිරීම හා සමාන බව ඔවුන් විශ්වාස කිරීමයි. ඔවුන් නමස්කාර කරන්නේ දෙවිට පමණයි. ඔවුන් තම හෘදය සාක්ෂියට එකඟව දෙවිට හැර වෙන කිසිවෙකුට හෝ කිසිවකට නමස්කාර කරන්නේ නැහැ. (මතෙව් 4:10; ක්‍රියා 5:29) ඒ නිසා ඔවුන්ගේ විශ්වාසයට ගරු කරමින් ඒ අනුව කටයුතු කිරීමට ගුරුවරුන් ශිෂ්‍යයන්ට ඉඩ දෙන විට ඔවුන් එය බොහෝ සේ අගය කරනවා.

කොඩියට ආචාර කිරීම යම් ආකාරයකින් නමස්කාර කිරීමක් බව විශ්වාස කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණක් නොවෙයි. එය පැහැදිලි කරන වැදගත් මූලාශ්‍රවලින් ගත් තොරතුරු කිහිපයක් පහත සඳහන් වෙයි.

‘මුල් කාලයේදී භාවිත කළ කොඩි බොහෝවිට ආගමික සංකේතයක් වුණා. කොඩියට ආගමික මුහුණුවරක් ලබා දෙන්න නිරන්තර උත්සාහයක් දරා තිබෙනවා.’—Encyclopædia Britannica.

“කොඩියද කුරුසය හා සමානව පරිශුද්ධයි. ජාතික ලාංඡනයට සැලකිය යුතු ආකාරය විස්තර කිරීමේදී ඒ සඳහා ‘කොඩියට සේවය කරන්න’ ‘කොඩියට ගරුබුහුමන් කරන්න’ ‘කොඩියට භක්තියක් පෙන්වන්න’ වැනි ප්‍රබල වචන යොදාගෙන තිබෙනවා.”—The Encyclopedia Americana.

‘රෝම අධිරාජ්‍යය දෙවි කෙනෙකු ලෙස සලකා ඊට පුද පූජා ඔප්පු කිරීම ක්‍රිස්තියානීන් ප්‍රතික්ෂේප කළා. එය අද දින කොඩියට ආචාර කිරීමට නැතහොත් තම රටට පක්ෂපාත බව දිවුරා පැවසීම ප්‍රතික්ෂේප කිරීමට සමානයි.’—Those About to Die (1958), 135 පිටුව.

බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජ විසින් ඉදි කළ විශාල රූපයට නමස්කාර කිරීම හෙබ්‍රෙව් යෞවනයන් ප්‍රතික්ෂේප කළා

කොඩියට ආචාර කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යම් ආණ්ඩුවකට හෝ එහි පාලකයන්ට අගෞරව කරන බවක් ඉන් කොහෙත්ම අදහස් කරන්නේ නැහැ. කොඩියට ආචාර කිරීම ඔවුන් සලකන්නේ යම් ආණ්ඩුවක් නියෝජනය කරන රූපයකට නමස්කාර කිරීමක් ලෙසයි. පුරාණ බැබිලෝනියේ වහල්භාවයේ සිටි හෙබ්‍රෙව් යෞවනයන් තිදෙනෙක් ගත්තේද ඒ හා සමාන තීරණයක්. බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජු විසින් දූරා නම් තැනිතලාවේ ඉදි කළ විශාල රූපයට නමස්කාර කරන්න කියා අණ කළ අවස්ථාවේදී එම යෞවනයන්ද එය ප්‍රතික්ෂේප කළා. (දානියෙල් 3වන පරිච්ඡේදය) එලෙසම අන් අය කොඩියට ආචාර කළත් සාක්ෂිකරුවන් තම දරුවන්ට උගන්වන්නේ හෘදය සාක්ෂියට එකඟව එනම් බයිබලයෙන් ඉගෙනගෙන ඇති දේවලට එකඟව තීරණ ගැනීමටයි. ඒ නිසා කොඩියට ආචාර කරන අවස්ථාවලදී ඔවුන් ඊට හවුල් නොවුණත් නිශ්ශබ්දව හා ගෞරවනීය ආකාරයෙන් හැසිරෙනවා. එමෙන්ම ජාතික ගීය ගැයෙන හෝ වාදනය කරන විටද ඔවුන් කටයුතු කරන්නේ ඒ ආකාරයටමයි.

දෙමාපියන්ගේ අයිතිය

තමන්ගේ ආගමික විශ්වාසයන් දරුවන්ට ඉගැන්වීමට දෙමාපියන්ට තිබෙන අයිතිය අද වන විට බොහෝ රටවල් පිළිගෙන තිබෙනවා. කතෝලික ආගම ඇතුළු අනික් සියලුම ආගම්ද එම අයිතිය පිළිගන්නවා. ඒ ගැන කතෝලික පල්ලියේ ඇති නීති මාලාවේ මෙසේ සඳහන් වෙනවා. “දරුවන්ව මෙලොවට බිහි කිරීම නිසා ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමට දෙමාපියන් වගකීමෙන් බැඳී සිටින අතර ඒ සඳහා ඔවුන්ට අයිතියක්ද තිබෙනවා. පල්ලියේ ඉගැන්වීම්වලට අනුව තම දරුවන්ට දෙවිගේ ප්‍රමිති ඉගැන්වීමට දෙමාපියන්ට විශේෂ වගකීමක් තිබෙනවා.”—Canon 226.

අන් අය ගැන සැලකිලිමත් වීමට සාක්ෂිකරුවන් තම දරුවන්ට උගන්වනවා

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද බලාපොරොත්තු වන්නේ තමන්ගේ එම අයිතියට අන් අය ගරු කරයි කියායි. වගකීමෙන් වැඩ කරන දෙමාපියන් හැටියට ඔවුන් උත්සාහ කරන්නේ ක්‍රිස්තියානි සාරධර්ම තම දරුවන්ගේ හදවත් තුළ පැළපැදියම් කිරීමටයි. ඒ වගේම තම අසල්වාසියාට ප්‍රේම කිරීමටත් ඔවුන්ගේ දේපළවලට හානි නොකිරීමටත් උගන්වනවා. ඔවුන් එය කරන්නේ බයිබලයේ දී ඇති මෙම උපදෙසට එකඟවයි. “පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් ක්‍රිස්තියානි විනයෙන්ද අවවාදයෙන්ද ඇතිදැඩි කරන්න.”—එෆීස 6:4, නව අනුවාදය.

මව සහ පියා ආගම් දෙකක සිටින විට

සමහර පවුල්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ව සිටින්නේ මව හෝ පියාගෙන් කෙනෙක් පමණයි. එවැනි අවස්ථාවලදී දෙදෙනාටම තම තමන්ගේ ආගමික විශ්වාසයන් තම දරුවන්ට ඉගැන්වීමට අයිතියක් තිබෙන බව සාක්ෂිකරුවෙක් වී සිටින මව හෝ පියා පිළිගන්නවා. පවුල තුළ ආගම් දෙකක් තිබීම දරුවාට හානියක් නොවෙයි. * තමන් අදහන්නේ කුමන ආගමද කියා තීරණය කරන්නේ දරුවායි. අනික් අතට දෙමාපියන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වූ පමණින් ඒ සෑම දරුවෙක්ම එම ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි කියා ඔවුන් බල කරන්නේ නැහැ.

හෘදය සාක්ෂියට අනුව තීරණ ගන්න දරුවන්ට ඇති අයිතිය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින අය, අන් අය තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ගන්නා තීරණවලට ගරු කරනවා. (රෝම 14වන පරිච්ඡේදය) වර්ෂ 1989දී එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමේදී දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සම්මුතියක් ගනු ලැබුවා. ඊට දරුවෙකුට “නිදහස් මත දරන්න, හෘදය සාක්ෂියට එකඟව තීරණ ගන්න, තමන් කැමති ආගමක් තෝරාගන්න” වගේම නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න සහ දරුවාට බලපාන ඕනෑම කාරණයකදී ඒ සම්බන්ධයෙන් විවිධ පැති ගැන කල්පනා කර බලන්න නිදහස දිය යුතු බව තීරණය කළා.

සෑම දරුවෙක්ම එක හා සමාන නැහැ. ඒ නිසා සාක්ෂිකරුවන් වන හා නොවන යෞවනයන් පාසැලේ ඇතැම් ක්‍රියාකාරකම් හා පැවරුම් සම්බන්ධයෙන් ගන්නා තීරණ විවිධ බව ඔබ දන්නවා ඇති. ඔවුන් තම හෘදය සාක්ෂියට එකඟව ගන්නා තීරණවලට ඔබ ගරු කරන බව අපට විශ්වාසයි.

^ 18 ඡේ. ආගම් දෙකකට අයත් පවුලක සිටින දරුවන් සම්බන්ධයෙන් එක් පොතක මෙසේ සඳහන් වුණා. “දෙමාපියන් නිවසේදී විවෘතව කටයුතු නොකරන විට හා ආගමික කාරණා ගැන නිදහසේ කතාබහ නොකරන විට දරුවන් අපහසුතාවට පත් වෙනවා. අනික් අතට දෙමාපියන් තමන්ගේ ආගමික විශ්වාසයන්, සාරධර්ම හා ආගමික උත්සව පවත්වන ආකාරය ගැන විවෘතව කතා කරන විට එය දරුවන්ට යම් සුරක්ෂිතබවක් මෙන්ම ආත්ම විශ්වාසයක් ඇති කරගැනීමට උපකාර වෙනවා. ඊට අමතරව සමාජයේ තමන්ට හිමි තැන හඳුනාගැනීමටත් එය දායක වෙනවා.”—Raising Jewish Children in a Contemporary World.