Skip to content

පටුනට යන්න

ආගමික විවිධත්වයකට මුහුණ දීම

ආගමික විවිධත්වයකට මුහුණ දීම

විවිධ ආගම්වලට අයත් දරුවන් සිටීමේ අභියෝගයට ගුරුවරයෙකු ලෙස ඔබත් මුහුණ දී ඇති. ගත වූ ශතවර්ෂවල සිටි ගුරුවරුන් නම් එම අභියෝගයට මුහුණ දුන්නේ කලාතුරකින්.

ඉතිහාසයේ සාමාන්‍යයෙන් එක රටක සිටියේ එකම ආගම අදහන අයයි. දහනව වන ශතවර්ෂයේ අගභාගය වන තුරු යුරෝපයේ දකින්න ලැබුණේ ප්‍රධාන ආගම් කිහිපයක් පමණයි. ඒවා නම් බටහිරට වෙන්න කතෝලික හා රෙපරමාදු ධර්මය, නැඟෙනහිරට වෙන්න ඕතඩොක්ස්, ඉස්ලාම් හා යුදෙව් ධර්මයයි. නමුත් අද වන විට යුරෝපය ඇතුළු ලෝකයේ පුරාම විවිධ ආගම් බිහි වී තිබෙනවා. මෙම අලුත් ආගම් අතරින් සමහරක් එරටේම ජනයා විසින් හඳුන්වා දී ඇති අතර තවත් ඒවා සංක්‍රමණිකයන් සහ සරණාගතයන් විසින් හඳුන්වා දී ඇති ඒවායි.

ඒ අනුව අද වන විට ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය හා එක්සත් ජනපදය වැනි රටවල බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් භක්තිකයන් බොහෝදෙනෙක් වාසය කරනවා. ඒ වගේම ක්‍රිස්තියානීන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද ලොව පුරා රටවල් 239කට වැඩි ප්‍රමාණයක සිටින අතර ආගමික කටයුතුවල ඉතා කඩිසරව නියැලෙමින් සිටිනවා. මෙහි දක්වා ඇති රටවල් 14න් සෑම රටකම ඔවුන්ගේ ක්‍රියාශීලී සාමාජිකයන් 1,50,000කට වඩා වැඩි පිරිසක් සිටිනවා.—“ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝක ව්‍යාප්ත ආගමකි” කියන කොටුව බලන්න.

පාසැලක් තුළ විවිධ ආගම් අදහන දරුවන් සිටීම ගුරුවරයෙකුට යම් ආකාරයක අභියෝගයක් විය හැකියි. උදාහරණයකට විවිධ ආගමික උත්සව සම්බන්ධයෙන් යම් ප්‍රශ්න මතු විය හැකියි. ඉන් එකක් නම් ශිෂ්‍යයාගේ ආගම කුමක් වුණත් සෑම ආගමික උත්සවයක සිරිත් විරිත්වලට ඔහු සහභාගි විය යුතුද යන්නයි. එවැනි උත්සවවලට සහභාගි වීමේ කිසි වරදක් නැහැ කියා බහුතරයකට හැඟෙන්න පුළුවන්. කෙසේනමුත් ඊට වෙනස් ආකල්ප දරන සුළුතරයක් සිටින පවුල්වල අයගේ අදහස්වලටත් ගරු කිරීම සාධාරණ නොවේද? මෙහිදී සලකා බැලිය යුතු තවත් වැදගත් දෙයක් තිබෙනවා. සමහර රටවල නීතිය මගින් ආගමික කටයුතු රජයේ කටයුතුවලින් වෙන් කර තිබෙනවා. ඒ වගේම පාසැල් විෂය මාලාවට ආගම නමැති විෂය ඇතුළත් නොකළ යුතු බවත් නියෝග කර තිබෙනවා. ඒ අනුව එවැනි රටවල තිබෙන පාසැල්වල ආගමික උත්සව අනිවාර්යය කිරීම රටේ නීතියට පටහැනි නොවේද?

උපන් දිනය

ආගමකට එතරම් සම්බන්ධයක් නැතැයි කියා පෙනෙන්න තිබෙන උත්සවවලට පවා සාක්ෂිකරුවන් සහභාගි නොවන්නේ ඇයි කියා සමහර අයට ප්‍රශ්නයක් මතු විය හැකියි. බොහෝ පාසැල්වල පවත්වන උපන් දින උත්සව ඊට උදාහරණයක්. උපන් දින උත්සව පැවැත්වීමට අන් අයට තිබෙන අයිතියට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගරු කරනවා. ඒ වුණත් ඔවුන් එම උත්සව සමරන්නේ නැති බව ඔබ දැන සිටියත් ඊට හේතුව කුමක්ද කියා ඔබ නොදන්නවා විය හැකියි.

ප්‍රංශයේ ඉතා ප්‍රසිද්ධ විශ්වකෝෂයක, උපන් දින උත්සවය විස්තර කර තිබෙන්නේ වත්පිළිවෙතක් ලෙසයි. එය ලැයිස්තුගත කර තිබෙන්නේ “ආගමික නොවන පිළිවෙතක්” ලෙසයි. වරදක් නැහැ කියා සැලකෙන මෙම චාරිත්‍රය ඇත්තෙන්ම ආරම්භ වී තිබෙන්නේ සැබෑ දෙවිට නමස්කාර නොකළ ජනයාගෙනුයි.—එම විශ්වකෝෂය Le livre des religions.

“අතීතයේදී ඊජිප්තු, ග්‍රීක, රෝම හා පර්සියානු අධිරාජ්‍යයන් විසින් දෙවිවරුන්ගේ, රජවරුන්ගේ හා උසස් පුද්ගලයන්ගේ උපන් දින සමරනු ලැබුවා.” (The Encyclopedia Americana, 1991දී කළ සංස්කරණය) උපන් දිනය සිහි කිරීමට මූලිකවම හේතු වූ දේ ගැන රැල්ෆ් සහ ඇඩිලින් ලින්ටන් යන කර්තෘවරුන් මෙසේ වාර්තා කළා. “උපන් දිනය සිහි කරමින් ඊට ගරුබුහුමන් කිරීම ආරම්භ වුණේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය වන මෙසපොතේමියාවේ හා ඊජිප්තුවේ සිටි ජනයාගෙනුයි. ඔවුන් උපන් දිනය පිළිබඳව වාර්තාවක් තබාගත් ප්‍රධාන හේතුව වුණේ හඳහන් සකස් කරගැනීමේදී එය අත්‍යවශ්‍ය දෙයක් වූ නිසයි.” (The Lore of Birthdays) උපන් දිනය සිහි කිරීම සහ ජ්‍යෝතිඃ ශාස්ත්‍ර අතර කිට්ටු සම්බන්ධයක් තිබෙන බව ඉන් පැහැදිලියි. ඒ නිසා ජ්‍යෝතිඃ ශාස්ත්‍ර ගැන බයිබලයේ සඳහන් වී ඇති දේ සැලකිල්ලට ගෙන ඉන් වැළකී සිටින අය උපන් දිනය සිහි කිරීමෙන්ද වැළකී සිටිනවා.—යෙසායා 47:13.

තවත් ප්‍රසිද්ධ විශ්වකෝෂයක මෙවැනි දෙයක් සඳහන් වී තිබීම පුදුමයට හේතුවක් නොවෙයි. “යේසුස්ගේ මුල් අනුගාමිකයන් ඔහුගේ උපත සැමරුවේ නැහැ. ඊට හේතුව කෙනෙකුගේ උපත උත්සවාකාරයෙන් සැමරීම සැබෑ දෙවිට නමස්කාර නොකළ ජනයාගේ චාරිත්‍රයක් බව ඔවුන් සැලකූ නිසයි.”—The World Book Encyclopedia, 3වන වෙළුම, 416 පිටුව.

සාක්ෂිකරුවන් එකට කාලය ගත කිරීමෙන් සතුටක් ලබනවා

උපන් දින උත්සව නොපැවැත්වීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තීරණය කර තිබෙන්නේ එම හේතු සැලකිල්ලට ගෙනයි. ඔවුන් උපන් දින උත්සව නොපැවැත්වුවත් වසරේ විවිධ අවස්ථාවලදී තම මිතුරන්ට හා පවුලේ අයට තෑගි බෝග ලබා දෙමින් ඔවුන් සමඟ ප්‍රිය සාද පවත්වමින් විශාල සතුටක් ලබනවා. (ලූක් 15:22-25; ක්‍රියා 20:35) ඇත්තෙන්ම දරුවෙකුගේ උපත ඉතා ප්‍රීතිමත් මෙන්ම මවිතකර දෙයක්. තම දරුවා දිනෙන් දින ලොකු මහත් වෙනවා දකින විට එය ඕනෑම මවකට සහ පියෙකුට ගෙන දෙන්නේ විශාල සතුටක්.

නත්තල

ක්‍රිස්තියානි නොවන රටවල් ඇතුළු ලොව පුරා බොහෝ රටවල නත්තල සමරනවා. ක්‍රිස්තියානියයි කියාගන්නා වැඩිදෙනෙක් නත්තල සැමරුවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එසේ නොකරන බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වෙයි. ඔවුන් එය සමරන්නේ නැති හේතුව ඔබ දන්නවාද?

විශ්වකෝෂ බොහොමයක පැහැදිලිව සඳහන් වන ලෙස යේසුස්ගේ උපන් දිනය දෙසැම්බර් 25වෙනි දිනට යොදාගෙන ඇත්තේ මිනිසුන්ගේ හිතුමනාපයටයි. එම දිනය රෝමයේ සිටි සැබෑ දෙවිට නමස්කාර නොකළ ජනයාගේ විශේෂ උත්සව දිනයක්. විවිධ විශ්වකෝෂවල ඒ ගැන සඳහන් වන දේවල් සලකා බලමු.

“යේසුස් ක්‍රිස්තුස් උපන් දවස ගැන වාර්තා වී නැහැ. ශුභාරංචි පොත්වල [යේසුස්ගේ ජීවිත කතාව අඩංගු බයිබලයේ පොත්වල] එම දිනය හෝ මාසය දැක්වෙන්නේ නැහැ.”—New Catholic Encyclopedia, 3වන වෙළුම, 656වන පිටුව.

“නත්තලට සම්බන්ධ චාරිත්‍ර බොහොමයක් රැගෙන තිබෙන්නේ රෝමයේ පැවැත්වූ සැටර්නේලියා උත්සවයෙනුයි.”—Encyclopædia of Religion and Ethics

“දැනට යුරෝපයේ පවතින නත්තලට සම්බන්ධ චාරිත්‍ර බොහොමයක් යේසුස්ගේ මුල් අනුගාමිකයන් පැවැත්වූ ඒවා නොවෙයි. ඒවා පැමිණ තිබෙන්නේ රෝමයේ පැවැත්වූ සැටර්නේලියා උත්සවයෙනුයි. පසුව එම චාරිත්‍ර කතෝලික සභාවට ඇතුළත් කරගත්තා.”—Encyclopædia of Religion and Ethics (Edinburgh, 1910), ජේම්ස් හේස්ටිංස් විසින් කළ සංස්කරණය, 3වන වෙළුම, 608-9 පිටු.

‘හතරවන සියවසේ සිට, සියලුම පල්ලි විසින් දෙසැම්බර් 25වන දිනයේදී නත්තල් උත්සවය පවත්වා තිබෙනවා. ඒ කාලයේදී එම දිනය යොදාගත්තේ හිරුගේ උපත (ලතින් භාෂාවෙන් හඳුන්වන්නේ නටාලේ ලෙසයි) සැමරීම වෙනුවෙනුයි. ශීත කාලය අවසන් වී නැවත හිරු උදා වීම ඔවුන් සැලකුවේ සූර්යයාගේ උපත ලෙසයි. සූර්යයා නැවතත් උත්පත්තියක් ලබන බව ඔවුන් විශ්වාස කළා. ඔවුන් අතර ඉතා ප්‍රසිද්ධ එම උත්සවය රෝමයේ පල්ලිය විසින් පිළිගෙන ඊට අලුත් මුහුණුවරක් ලබා දුන්නා.’—Encyclopædia Universalis, 1968, (French) 19වන වෙළුම, 1375 පිටුව.

“නත්තල් උත්සවයට පදනම වූයේ සෝල් ඉන්වික්ටස් හෙවත් රෝමවරුන් නමස්කාර කළ හිරු දෙවියන්ගේ (මිත්‍රා) උපන් දිනයයි. ශීත ඍතුවේ පැවති අඳුරු කාලය අවසන් කරමින් නැවත හිරුගෙන් ලැබුණු ආලෝකයට, යේසුස්ගේ උපත සමඟින් මේ ලෝකයට ලැබුණු ආලෝකයට සමාන කළා. දෙසැම්බර් 25වන දිනය යේසුස්ගේ උපත ලෙස යොදාගත්තේ ඒ ආකාරයටයි.”—Brockhaus Enzyklopädie, (German) 20වන වෙළුම, 125 පිටුව.

නත්තලේ ආරම්භය ගැන දැනගත් පසු සමහර අය ක්‍රියා කර තිබෙන්නේ කෙසේද? ඒ ගැන තවත් එක් විශ්වකෝෂයක සඳහන් වන දෙය බලන්න. “ක්‍රිස්තියානි ධර්මයෙන් අනවශ්‍ය චාරිත්‍ර ඉවත් කළ යුතුයි කියා බයිබලයේ ඉගැන්වීම්වලට ඇලී සිටි රෙපරමාදු පිරිසක් පැවසූ අතර නත්තල සැබෑ දෙවිට නමස්කාර නොකළ ජනයාගේ උත්සවයක් යන පදනම මත 1644දී එය පාර්ලිමේන්තු පනතක් මගින් තහනම් කළා. ඒ වෙනුවට එම දිනයේදී නිරාහාරව සිටින්න කියා නියෝග කළා. දෙවන චාල්ස් විසින් නත්තල් උත්සවය නැවත ඇති කළත් ස්කොට්ලන්ත ජාතිකයන් එය පිළිගත්තේ නැහැ. ඔවුන් එම චාරිත්‍ර සැලකුවේ නුසුදුසු දෙයක් ලෙසයි.” (The Encyclopædia Britannica) යේසුස්ගේ මුල් අනුගාමිකයන් නත්තල නොපැවැත්වූවා හා සමානව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද නත්තල හා බැඳි චාරිත්‍රවලින් වැළකී සිටිනවා.

ඒ වුණත් තෑගිබෝග දීම, ආහාර වේලක් භුක්ති විඳීම සඳහා නෑහිතමිතුරන්ට ආරාධනා කිරීම වැනි දේවල නිරත වන්න කියා බයිබලයේ සියලුදෙනාටම උනන්දු කර තිබෙනවා. ඒ සඳහා විශේෂ දිනයක් අවශ්‍ය නැහැ. බයිබලයේ දෙමාපියන්වද දිරිගන්වා තිබෙන්නේ සෑමවිටම ත්‍යාගශීලීව කටයුතු කිරීමට ඔවුන්ගේ දරුවන්ව පුහුණු කරන්න කියායි. (මතෙව් 6:2, 3) ඉවසීමෙන් හා ගෞරවාන්විතව කටයුතු කිරීමට සාක්ෂිකරුවන්ගේ දරුවන්ට පුහුණු කරන අතර නත්තල සැමරීමට අන් අයට තිබෙන අයිතියට ගරු කිරීමටත් ඔවුන්ට උගන්වා තිබෙනවා. අනික් අතට එම උත්සවය නොපැවැත්වීමට තමන් ගෙන ඇති තීරණයට අන් අය ගරු කරන විට ඔවුන් එය ඉතා අගය කරනවා.

වෙනත් උත්සව

බ්‍රසීලයේ ජුනි, ප්‍රංශයේ එපිෆානි, ජර්මනියේ කානිවල්, ජපානයේ සෙට්සුබන් හා එක්සත් ජනපදයේ හැලොවීන් වැනි පාසැල් සමයේදී පැවැත්වෙන ආගමික හෝ යම් ආකාරයකින් ආගමකට සම්බන්ධ උත්සවවලට ඔවුන් හවුල් වන්නේ නැහැ. මේවා හෝ මෙහි සඳහන් කර නැති වෙනත් ඕනෑම උත්සවයක් සම්බන්ධයෙන් ඔබට ඇති ප්‍රශ්නවලට පිළිතුරු දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර සිටින දෙමාපියන් හා ඔවුන්ගේ දරුවන් සතුටින් සිටිනවා.