Skip to content

පටුනට යන්න

මෙම සඟරාවේ අරමුණ

මෙම සඟරාවේ අරමුණ

ලන්දේසි ජාතික දාර්ශනිකයෙකු වූ ස්පිනෝසා මෙසේ පැවසුවා. “මා වෑයම් කළේ මනුෂ්‍යයන්ගේ ක්‍රියාවන් දෙස බලා ඒවාට සිනාසීමට, ඒවා ගැන කඳුළු සැලීමට හෝ ඒවාට වෛර කිරීමට නොව ඒවා වටහාගැනීමටයි.” ගුරුවරයෙකු හැටියට ඔබත් ඔබේ භාරයේ සිටින සියලුම ශිෂ්‍යයන්ගේ අදහස්, ආකල්ප හා ආගමික විශ්වාසයන් වටහාගැනීමේ අභියෝගයට මුහුණ දී සිටිනවා ඇති. සමහර ශිෂ්‍යයන් යම් යම් චාරිත්‍ර වාරිත්‍රවලට හවුල් නොවන බවක් ඔබ දැක ඇති. එහෙත් ඔවුන් ඒ ආකාරයට කටයුතු කරන්නේ ඔවුන් ඉගෙනගෙන ඇති ප්‍රතිපත්තිවලට එකඟව නම් ඒවා ඔබගේ අවධානයට යොමු වීම යෝග්‍යයි. මෙම සඟරාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය මගින් සකස් කර තිබෙන්නේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ව වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔබට උපකාර කිරීම සඳහායි.

වෙනත් කෙනෙකුගේ ආගමික විශ්වාසයන් ගැන අවබෝධයක් ලබාගන්නවා කියන්නේ ඒවා පිළිගැනීම හෝ ඒවා අනුගමනය කරනවා කියන එක නොවෙයි. ඒවා ගැන අන් අයව දැනුවත් කිරීම ආගමකට හරවාගැනීමක්ද නොවෙයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ආගමික විශ්වාසයන් අනුගමනය කරන්න කියා ඔබට හෝ සෙසු ශිෂ්‍යයන්ට පැවසීම මෙම සඟරාවේ අරමුණ නොවෙයි. ඒ වෙනුවට අප බලාපොරොත්තු වන්නේ සාක්ෂිකරුවන්ගේ දරුවන්ව තේරුම්ගැනීමට උපකාර කිරීම හා ඔවුන්ට උගන්වා තිබෙන ප්‍රතිපත්ති හා විශ්වාසයන් ගැන ඔබව දැනුවත් කිරීමයි. එවිට ඔවුන් සමඟ කටයුතු කිරීම ඔබට වඩාත් පහසු වෙයි. නමුත් සමහර අවස්ථාවලදී ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ට උගන්වා තිබෙන දේවලට පටහැනි දේවල් ඔවුන් කරනවා ඔබ දකියි. ඊට හේතුව ඔවුන් වර්ධනය වෙනවාත් සමඟ තනිවම තීරණ ගැනීමට ඉගෙනගැනීමයි.

අන් දෙමාපියන් මෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේද ආශාව වන්නේ තම දරුවන් පාසැල් අධ්‍යාපනයෙන් උපරිම පල නෙළාගැනීමයි. ඒ නිසා ගුරුවරුන් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ඔවුන් දරුවන්ට උගන්වනවා. ගුරුවරුන්ද ඔවුන්ව අවබෝධ කරගෙන ඔවුන්ගේ විශ්වාසයන්ට ගරු කරන විට ඔවුන් හා ඔවුන්ගේ දෙමාපියන් එය බොහෝ සේ අගය කරනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ලොව පුරා බොහෝදෙනෙක් දන්නවා වුණත් ඔවුන් ගැන වරදවා තේරුම්ගන්නා අවස්ථාද තිබෙනවා. ඒ නිසා ඔබ භාරයේ සිටින සාක්ෂිකරුවන්ගේ දරුවන්ව හොඳින් තේරුම්ගන්න මේ සඟරාව ඔබට උපකාරවත් වෙයි. විශේෂයෙන්ම යම් අවස්ථාවලදී ඔවුන් අනික් ශිෂ්‍යයන්ට වඩා වෙනස් ආකාරයකට කටයුතු කරන්නේ ඇයි යන හේතුව ඔබ තේරුම්ගනීවී යන්න අපගේ බලාපොරොත්තුවයි.