Skip to content

පටුනට යන්න

130වෙනි පරිච්ඡේදය

යේසුස්ව මරා දමන්න ගෙන යයි

යේසුස්ව මරා දමන්න ගෙන යයි

මතෙව් 27:31, 32 මාක් 15:20, 21 ලූක් 23:24-31 යොහන් 19:6-17

  • පිලාත් යේසුස්ව නිදහස් කරන්න උත්සාහ කරයි

  • මරණ දඬුවම ලැබූ යේසුස්ව ගෙන යයි

දරුණු විදිහට වධ දීලා සමච්චලයට ලක් කරපු යේසුස්ව නිදහස් කරන්න පිලාත් වෑයම් කළත් නායක පූජකයන්ගේ සහ මිනිසුන්ගේ හිත් පොඩ්ඩක්වත් උණු වෙන්නේ නැහැ. ඔවුන් දිගටම කෑගසන්නේ “ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න! ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න” කියලයි. ඒත් පිලාත් මෙහෙම කියනවා. “මට නම් ඔහුගේ කිසි වරදක් පෙනෙන්නේ නැහැ. ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න ඔබට අවශ්‍ය නම් ඔබම ඔහුව ගෙන ගොස් ඒ දේ කරන්න.”—යොහන් 19:6.

ආණ්ඩුවට විරුද්ධව කැරලිගහනවා කියන චෝදනාව මත යේසුස්ව මරන්න යුදෙව්වන් උත්සාහ කළත් පිලාත් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මන්ත්‍රණ සභාවේදී යේසුස්ට විරුද්ධව නඟපු චෝදනාව ගැන දැන් ඔවුන් පිලාත්ට මෙහෙම කියනවා. “තමා දෙවිගේ පුත්‍රයා කියා ඔහු පවසා තිබෙනවා. අපේ නීතියට අනුව එය මරණ දණ්ඩනය ලැබිය යුතු වරදක්.” (යොහන් 19:7) දැන් තමයි පිලාත් මුල්ම වතාවට ඒ ගැන දැනගන්නේ.

ආපහු මාලිගාවට යන පිලාත් කල්පනා කරන්නේ වධ හිංසා මැද සන්සුන්ව හිටිය යේසුස්ව නිදහස් කරන්න පුළුවන් විදිහක් ගැනයි. යේසුස් ගැන තමන්ගේ බිරිඳ දැකපු හීනයත් ඔහු දන්නවා. (මතෙව් 27:19) යේසුස් තමන්වම “දෙවිගේ පුත්‍රයා” විදිහට හැඳින්නුවා කියලා යුදෙව්වන් කරන චෝදනාව ගැන පිලාත්ට කොහොම හැඟෙනවා ඇද්ද? යේසුස් ගලීලයේ කෙනෙක් කියලා ඔහු දන්නවා. (ලූක් 23:5-7) ඒත් ඔහු යේසුස්ගෙන් අහනවා “ඔබ ආවේ කොහෙන්ද” කියලා. (යොහන් 19:9) යේසුස්, දෙවි කෙනෙක්ද කියලත් පොළොවට එන්න කලින් ඔහු වෙන කොහේ හරි ජීවත් වුණාද කියලත් පිලාත් හිතනවා ඇද්ද?

තමන් රජෙක් කියලත් තමන්ගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ කියලත් යේසුස් පිලාත්ට කියලා තිබුණා. ඒ නිසා ඔහු දැන් කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒක තමන්ට කරන අගෞරවයක් කියලා හිතන පිලාත් කේන්තියෙන් මෙහෙම අහනවා. “ඔබ මට කිසිවක් කියන්නේ නැද්ද? ඔබව නිදහස් කර හරින්නත් ඔබව කණුවක ඇණ ගසා මරා දමන්නත් මට බලය තිබෙන බව ඔබ දන්නේ නැද්ද?”—යොහන් 19:10.

යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “ඔබට ඉහළින් ඒ සඳහා අවසර ලබා දී තිබුණේ නැත්නම් මට විරුද්ධව කිසිම පියවරක් ගන්න ඔබට බලයක් නැහැ. නමුත් ඔබට මාව භාර දුන් මිනිසාගේ පාපය ඊටත් වඩා බරපතළයි.” (යොහන් 19:11) යේසුස් ඒ දේ කියන්න ඇත්තේ නිශ්චිත පුද්ගලයෙක්ව මනසේ තියාගෙන නෙවෙයි. කායෆස් සහ ඔහුට සහාය දීපු අය වගේම යූදස් ඉස්කාරියොත් පිලාත්ට වඩා බරපතළ වරදක් කරලා තියෙනවා කියලයි ඔහු අදහස් කළේ.

යේසුස් හැසිරෙන විදිහ සහ කතා කරන විදිහ නිසාත් ඔහු දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා පිලාත්ට ලොකු බයක් දැනෙන නිසාත් පිලාත් ආපහු ඔහුව නිදහස් කරන්න මඟක් හොයනවා. හැබැයි යුදෙව්වන් කියන මේ දේ ගැනත් ඔහුට බයක් දැනෙනවා. “ඔබ මේ මිනිසාව නිදහස් කර හැරියොත් ඔබ සීසර්ගේ මිත්‍රයෙක් වන්නේ නැහැ. රජෙක් හැටියට පත් වෙන්න උත්සාහ කරන ඕනෑම කෙනෙක් වැඩ කරන්නේ සීසර්ට විරුද්ධවයි.”—යොහන් 19:12.

ආපහු යේසුස්ව පිටතට ගෙනෙන පිලාත් විනිශ්චයාසනයේ ඉඳගෙන “බලන්න, ඔබේ රජ” කියලා සෙනඟට කියනවා. ඒත් සෙනඟ කෑගහන්නේ “ඔහුව මරා දමන්න! මරා දමන්න! ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න” කියලයි. “මම ඔබේ රජුව කණුවක ඇණ ගසා මරා දමනවාට ඔබ කැමතිද” කියලා පිලාත් ඔවුන්ගෙන් අහනවා. සෑහෙන කාලයක් තිස්සේ යුදෙව්වන් රෝම පාලකයන්ගෙන් පීඩා විඳිමින් හිටියත් නායක පූජකයන් කියන්නේ “අපට සීසර් හැර වෙන කිසි රජෙක් නැහැ” කියලයි.—යොහන් 19:14, 15.

යේසුස්ව මරන්න කියලා යුදෙව්වන් දිගටම ඉල්ලන නිසා බියගුලු පිලාත් අන්තිමේදී ඒකට එකඟ වෙනවා. ඒ නිසා හේවායන් යේසුස්ගේ තද රතු පාට සළුව ගලවලා ඔහුගේ පිට වස්ත්‍රය අන්දනවා. යේසුස්ව ගෙනියද්දී ඔහුගේ වධකණුව අරන් යන්න දෙන්නෙත් ඔහුටමයි.

මේ වෙද්දී නීසාන් 14වෙනි සිකුරාදා දවසේ උදේ වරුවත් ගෙවිලා ඉවරයි. බ්‍රහස්පතින්දා උදේ ඉඳන් යේසුස්ට ටිකකටවත් නිදාගන්න ලැබුණේ නැහැ. ඔහු දරුණු හිංසා පීඩාවලටත් මුහුණ දුන්නා. හොඳටම වෙහෙසිලා ඉන්න යේසුස්ට දැන් වධකණුව උස්සගෙන යන එක ලෙහෙසි නැහැ. ඒ නිසා හේවායන් පාරේ ගමන් කරමින් ඉන්න සීමොන්ට වධකණුව අරන් යන්න කියලා බල කරනවා. ඔහු අප්‍රිකාවේ සිරේනිය නම් නුවරේ උපන් කෙනෙක්. යේසුස් පසුපසින් ගමන් කරන හුඟක් අය ශෝකයෙන් පපුවට ගසාගනිමින් හඬා වැලපෙනවා.

යේසුස් හඬා වැලපෙන ස්ත්‍රීන්ට කියන්නේ මෙහෙමයි. “යෙරුසලමේ දූවරුනි, මා නිසා හඬන්න එපා. ඒ වෙනුවට ඔබටයි ඔබේ දරුවන්ටයි සිදු වෙන්න යන දේ ගැන හඬා වැලපෙන්න. මන්ද ඉදිරියේදී ඉතා අසීරු කාලයක් එයි. එදාට මිනිස්සු, ‘දරුවන් බිහි නොකළ, දරුවෙකුට කිරි නොදුන් වඳ ස්ත්‍රියට සතුටු විය හැකියි’ කියා පවසයි. ඒ කාලයේදී ඔවුහු කඳු ළඟට ගොස්, ‘අප පිට වැටෙන්න’ කියාත් හෙල්වලට, ‘අපව වසාගන්න’ කියාත් පවසයි. මන්ද ගස හොඳට වැඩී තිබෙන විට ඔවුන් මෙසේ හඬා වැලපෙනවා නම් එය වියළී යන විට ඔවුන් මොනව නොකරයිද?”—ලූක් 23:28-31.

යේසුස් කතා කළේ යුදෙව් ජාතිය ගැනයි. ඔව්, මැරිලා යන්න ඔන්න මෙන්න තියෙන ගහකට යේසුස් ඔවුන්ව සමාන කරනවා. යේසුස් ඔවුන් අතර ඉන්න නිසාත්, යුදෙව්වන් අතරින් සමහර අය ඔහු ගැන විශ්වාසය තියලා තියෙන නිසාත් තමයි තවමත් ඒ ගහේ පණ ටිකක් හරි තියෙන්නේ. ඒ අයත් නැති වුණාට පස්සේ ඉතුරු වෙන්නේ දෙවියන් එක්ක කිසිම සම්බන්ධයක් නැති සෙනඟක් විතරයි. ඔවුන් මැරුණු ගහකට සමානයි. ඉදිරියේදී යුදෙව්වන්ව විනාශ කරන්න දෙවියන් රෝම හමුදාවට ඉඩහැරියාම ඔවුන්ට මොන තරම් වැලපෙන්න වෙයිද!