Skip to content

පටුනට යන්න

52වෙනි පරිච්ඡේදය

කෑම ටිකකින් දහස් ගණනකට කන්න දෙයි

කෑම ටිකකින් දහස් ගණනකට කන්න දෙයි

මතෙව් 14:13-21 මාක් 6:30-44 ලූක් 9:10-17 යොහන් 6:1-13

  • යේසුස් පුරුෂයන් 5,000කට කන්න දෙයි

ගලීලය පුරා දේශනා කරපු නියෝජිතයන් 12දෙනා “තමන් කළ සියල්ල ගැනද තමන් ඉගැන්වූ සියල්ල ගැනද” යේසුස්ට කියනවා. ඒ අයට දැන් ලොකු වෙහෙසක් දැනෙනවා ඇති. මිනිසුන් හුඟදෙනෙක් ඇවිත් ඉන්න නිසා ඔවුන්ට සැනසිල්ලේ කෑම ටිකක්වත් කන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා යේසුස් මෙහෙම කියනවා. “එන්න, අපි පාළු තැනකට යමු. අපිට පුළුවන් ටිකකට විවේක ගන්න.”—මාක් 6:30, 31.

ඒ නිසා ඔවුන් ඔරුවකට නැඟලා බෙත්සයිදාව පහු කරගෙන යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තියෙන පාළු තැනකට යනවා. ඔවුන් පිටත් වෙන්න ඇත්තේ කපර්ණවුමට කිට්ටු තැනකින් වෙන්න ඇති. ඔවුන් යද්දී හුඟක් අය ඔවුන්ව දකිනවා. තවත් අයට ඒ ගැන දැනගන්න ලැබෙනවා. ඒ නිසා ඒ හැමෝම වෙරළ දිගේ දුවගෙන ගිහින් ඔවුන්ටත් කලින් එතැනට යනවා.

ඔරුවෙන් බැහැලා එද්දී එඬේරෙක් නැති බැටළුවන් වගේ ඉන්න සෙනඟව දකින යේසුස්ට ඒ අය ගැන දැනෙන්නේ ලොකු අනුකම්පාවක්. ඒ නිසා යේසුස් ඔවුන්ට දෙවිගේ රාජ්‍යය ගැන “බොහෝ දේ උගන්වන්න” පටන්ගන්නවා. (මාක් 6:34) අසනීපයෙන් ඉන්න අයවත් සුව කරනවා. (ලූක් 9:11) හවස් වෙද්දී ගෝලයන් යේසුස්ට මෙහෙම කියනවා. “දැන් හුඟක් පරක්කු වෙලා. මේ තැනත් හරිම පාළුයි. ඉතින් ගම්වලට ගොස් තමන්ට අවශ්‍ය කෑම මිල දී ගන්න කියා සමූහයන්ට කිව්වොත් හොඳයි.”—මතෙව් 14:15.

ඒත් යේසුස් කියන්නේ “ඔවුන් යන්න අවශ්‍ය නැහැ. ඔබ ඔවුන්ට කන්න යමක් දෙන්න” කියලයි. (මතෙව් 14:16) තමන් කරන්න යන දේ ගැන යේසුස් හොඳින්ම දැනගෙන හිටියත් ඔහු ෆිලිප්ව සෝදිසි කරමින් “මේ අයට කන්න දෙන්න අපි රොටි මිල දී ගන්නේ කොහෙන්ද” කියා අසනවා. මොකද ෆිලිප් තමයි බෙත්සයිදාවට කිට්ටුවෙන්ම ජීවත් වෙන්නේ. රොටි මිල දී ගත්තත් ඇවිත් ඉන්න හැමෝටම කන්න දෙන්න නම් පුළුවන් වෙන එකක් නැහැ. එතැන පුරුෂයන් විතරක් 5,000ක් ඉන්නවා. ස්ත්‍රීන්වත් දරුවන්වත් එකතු කළාම ඒ ගාණ දෙගුණයක් වෙයි. ෆිලිප් මෙහෙම කියන්නේ ඒ නිසයි. “අපි ඩිනාරි දෙසීයක් [සේවකයෙක්ට දවසේ වැටුප විදිහට ලැබුණේ ඩිනාරියක්] වියදම් කළත් යන්තමින් හෝ ඔවුන්ගේ කුස පුරවන්න තරම්වත් අවශ්‍ය රොටි ප්‍රමාණය අපට මිල දී ගන්න බැරි වෙයි.”—යොහන් 6:5-7.

අන්දෘ මෙහෙම කියනවා. “අපි ළඟ දැනට තිබෙන්නේ මේ කුඩා පිරිමි ළමයා ළඟ තිබෙන බාර්ලි රොටි පහයි කුඩා මසුන් දෙන්නයි විතරයි. නමුත් මෙච්චර සෙනඟකට මේ ටිකෙන් මොනවා කරන්නද?” (යොහන් 6:9) ඔහු එහෙම කියන්න ඇත්තේ එතැන ඉන්න හැමෝටම කන්න දෙන්න බැරි වෙයි කියලා අඟවන්න වෙන්න ඇති.

ක්‍රි.ව. 32 පාස්කු උත්සවය පවත්වන්න තව තියෙන්නේ ටික කාලයක් විතරයි. වසන්ත කාලය උදා වෙලා තියෙන නිසා තණකොළ සරුවට වැඩිලයි තියෙන්නේ. දැන් යේසුස් ගෝලයන්ට කියනවා හැමෝවම 100දෙනා බැගිනුත් 50දෙනා බැගිනුත් ඉන්දවන්න කියලා. ඔහු රොටි පහත් මාළු දෙන්නාවත් අතට අරන් දෙවියන්ට ස්තුති කරලා ඒවා කෑලිවලට කඩනවා. ඊටපස්සේ ඔහු ගෝලයන්ට කියනවා ඒවා හැමෝටම බෙදන්න කියලා. කිසිම කෙනෙක්ට කෑම මදි වෙන්නේ නැහැ.

යේසුස් දැන් ගෝලයන්ට මෙහෙම කියනවා. “කිසිම දෙයක් අපතේ යවන්න එපා. ඉතුරු වී ඇති කෑම එකතු කරන්න.” (යොහන් 6:12) අන්තිමේදී ගෝලයන් කූඩ 12ක් පිරෙන තරමටම කෑම එකතු කරගන්නවා.