Skip to content

පටුනට යන්න

41වෙනි පරිච්ඡේදය

ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?

ආශ්චර්යයන් කරන්නේ කාගේ බලයෙන්ද?

මතෙව් 12:22-32 මාක් 3:19-30 ලූක් 8:1-3

  • යේසුස්ගේ දෙවන සංචාරය ඇරඹෙයි

  • භූතයන්ව පලවාහැරිය යේසුස් සමාව නොලැබෙන වරදක් ගැන කියයි

යේසුස් සේවය පටන් අරන් දැන් අවුරුදු දෙකක්ම ගෙවිලා ඉවරයි. සීමොන්ගේ නිවසේදී සමාව දීම ගැන පාඩමක් උගන්වලා වැඩි කාලයක් යන්න කලින් යේසුස් දෙවෙනි වතාවටත් ගලීලයේ දේශනා සංචාරයක නියැලෙනවා. ඔහු යන්නේ තනිවම නෙවෙයි. ඔහුගේ නියෝජිතයන් 12දෙනාට අමතරව “භූතයන්ගෙන් නිදහස ලැබූ” සහ “අසනීපවලින් සුවය ලැබූ” ස්ත්‍රීනුත් ඔහුත් එක්ක ඉන්නවා. (ලූක් 8:2) මරියා මග්දලේනා, සුසෑනා සහ හෙරොද් අන්තිපස් රජ යටතේ සේවය කරපු නිලධාරියෙක්ගේ බිරිඳ වුණු යොවානා ඒ අතරින් කිහිපදෙනෙක්.

යේසුස් කරන දේවල් ගැන ඇති වෙලා තියෙන මතභේද එන්න එන්නම වැඩි වෙනවා. භූතයෙක් ආවේශ වුණු අන්ධ, ගොළු මිනිසෙකුව යේසුස් ළඟට අරන් ආවාම සිද්ධ වෙන දෙයින් ඒක පැහැදිලියි. යේසුස් ඔහුව සුව කළාම ඔහුට පෙනීමත් කතා කිරීමේ හැකියාවත් ලැබෙනවා. ඒ ගැන පුදුම වෙන මිනිසුන් “දාවිත්ගේ පුත්‍රයා මොහු වෙන්න බැරිද” කියා කතා වෙනවා.—මතෙව් 12:23.

යේසුස් නතර වෙලා ඉන්න නිවසට මොන තරම් සෙනඟක් රැස් වෙලාද කියනවා නම් ඔහුටත් ඔහුගේ ගෝලයන්ටත් කෑම කන්නවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. යේසුස් “දාවිත්ගේ පුත්‍රයා” කියලා පිළිගන්නේ නැති පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන අයත් ඒ අතරේ ඉන්නවා. හැබැයි යෙරුසලමේ ඉඳන් ඔවුන් ඇවිත් ඉන්නේ යේසුස්ගෙන් ඉගෙනගන්නවත් ඔහුට සහාය වෙන්නවත් නෙවෙයි. ඔවුන් කියන්නේ යේසුස්ට “භූතයන්ගේ පාලකයා” වන “බෙල්සෙබුබ් ආවේශ වෙලා” කියලයි. (මාක් 3:22) ඒ දේවල් ආරංචි වුණාම යේසුස්ගේ නෑදෑයන් ඔහුව එක්කන් යන්න එනවා.

යේසුස්, දෙවිගේ පුතා කියලා ඔහුගේ සහෝදරයනුත් තවම විශ්වාස කරන්නේ නැහැ. (යොහන් 7:5) නාසරෙත්වල එකට හැදී වැඩුණු කාලයේදී යේසුස් නිසා ජනයා අතරේ කැලඹීමක් ඇති වෙනවා ඒ අය දැකලා තිබුණේ නැහැ. ඒත් දැන් එහෙම වෙද්දී ඔවුන් පවසන්නේ යේසුස්ගේ “සිහිවිකල්” වෙලා කියලයි.—මාක් 3:21.

කොහොමවුණත් යේසුස් භූතයෙක් ආවේශ වුණු කෙනෙකුව හැමෝම ඉදිරියේ සුව කරපු නිසා ඒක පිළි නොගෙන ඉන්න කාටවත් බැහැ. ඒ නිසා තමයි නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරු යේසුස් ගැන මෙහෙම කියන්නේ. “මේ මිනිසා භූතයන් දුරු කරන්නේ භූතයන්ගේ පාලකයා වන බෙල්සෙබුබ්ගේ උපකාරයෙනුයි. ඒ හැර වෙන විදිහකින් නම් ඔහුට මේවා කරන්න බැහැ.”—මතෙව් 12:24.

ඒ අයගේ හිත්වල තියෙන දේ තේරුම්ගන්නා යේසුස් මෙහෙම කියනවා. “යම් රාජ්‍යයක භේද ඇත්නම් ඒ රාජ්‍යය නැති වී යයි. යම් නුවරක් හෝ ගෙයක් ඇතුළත සිටින අය අතරම භේද ඇත්නම් ඒ නුවර හෝ ගෙය වැඩි කල් පවතින්නේ නැහැ. ඒ ආකාරයෙන්ම සාතන්ව දුරු කිරීමට සාතන්ම ක්‍රියා කරනවා නම් ඔහු භේද ඇති කරන්නේ තමන්ටම විරුද්ධවයි. එසේනම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කොහොමද?”—මතෙව් 12:25, 26.

මොන තරම් කදිම තර්කයක්ද! සමහර යුදෙව්වනුත් භූතයන්ව දුරු කරනවා කියලා පරිසිවරු දන්නවා. (ක්‍රියා 19:13) ඒ නිසයි යේසුස් මෙහෙම අහන්නේ. “මා භූතයන් දුරු කරන්නේ බෙල්සෙබුබ්ගේ උපකාරයෙන් නම් ඔබේ අනුගාමිකයන් භූතයන්ව දුරු කරන්නේ කාගේ උපකාර ඇතුවද?” යේසුස්ට විරුද්ධව පරිසිවරු නඟපු චෝදනාව ඇත්තක් නම් ඒක ඔවුන්ටත් අදාළයි කියලා ඒකෙන් පැහැදිලි වෙනවා. යේසුස් දැන් කියන්නේ මෙහෙමයි. “මා භූතයන්ව දුරු කරන්නේ දෙවිගේ බලයෙන් නම් දෙවිගේ රාජ්‍යයෙන් ඔබට උදා කර දෙන ප්‍රස්තාව දැන් ඔබ අහිමි කරගෙන තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 12:27, 28.

තමන් භූතයන්ව දුරු කරන්නේ සාතන්ට වඩා වැඩි බලයක් තමන්ට තියෙන නිසයි කියලා පැහැදිලි කරන්න යේසුස් මෙහෙම කියනවා. “සොරුන් ශක්තිමත් මිනිසෙකුගේ නිවසට කඩා වදිනවා කියා සිතන්න. ඔහුගේ බඩු බාහිරාදිය ගැනීමට නම් ඔවුන් මුලින්ම ඔහුව බැඳ දැමීමට අවශ්‍යයි. සොරුන් ඔහුගේ නිවසෙහි තිබෙන දේවල් කොල්ල කන්නේ ඔහුව බැඳ තැබුවායින් පසුවයි. කෙනෙක් මට පක්ෂව නොසිටියොත් ඔහු මට විරුද්ධව ක්‍රියා කරයි. කෙනෙක් මා සමඟ එක්ව මිනිසුන්ව රැස් කරන්නේ නැත්නම් ඔහු කරන්නේ මගෙන් මිනිසුන්ව ඈත් කිරීමයි.” (මතෙව් 12:29, 30) යේසුස්ට සතුරුකම් පාන නීතිය පිටපත් කරන්නන් සහ පරිසිවරුන් ඇත්තෙන්ම සාතන්ගේ නියෝජිතයන් කියලා හොඳින්ම පැහැදිලියි. ඔවුන් උත්සාහ කරන්නේ යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව ක්‍රියා කරන දෙවිගේ පුත්‍රයාගෙන් මිනිසුන්ව ඈත් කරන්නයි.

යේසුස් දැන් ඔවුන්ට මෙහෙම කියනවා. “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ මිනිසුන් මොන පාපයක් කළත් මොන තරම් අපහාසාත්මක දේවල් පැවසුවත් ඔවුන්ට ඒවා සඳහා සමාව ලබාගත හැකි බවයි. නමුත් කෙනෙක් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක එයට විරුද්ධව අපහාස කළොත් ඔහුගේ ඒ වරදට කොහොමටවත් සමාවක් නැහැ. ඔහුගේ ඒ පාපයට කිසි දිනක සමාවක් නොලැබෙයි.” (මාක් 3:28, 29) දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයෙන් කරන දේවල් සාතන්ගේ බලයෙන් කරනවා කියා පවසන අයට ඒක කොයි තරම් ප්‍රබල අනතුරු ඇඟවීමක්ද!