Skip to content

පටුනට යන්න

43වෙනි පරිච්ඡේදය

දෙවිගේ රාජ්‍යය ගැන උපමා

දෙවිගේ රාජ්‍යය ගැන උපමා

මතෙව් 13:1-53 මාක් 4:1-34 ලූක් 8:4-18

  • යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන උපමා කියයි

යේසුස් පරිසිවරුන්ට තදින් කතා කරන්න ඇත්තේ කපර්ණවුමේ ඉඳන් වෙන්න ඇති. ඒ දවසේදීම ඔහු ගලීල මුහුද පැත්තට යනවා. එතැන තිබුණු ඔරුවකට නැඟලා වෙරළෙන් ටිකක් ඈතට යන ඔහු මිනිසුන්ට ස්වර්ග රාජ්‍යය ගැන උගන්වන්න පටන්ගන්නවා. ඔහු මිනිසුන්ට උගන්වන්නේ උපමා යොදාගෙනයි. ඒ උපමාවල සඳහන් වෙන්නේ මිනිසුන්ට හොඳින්ම හුරු පුරුදු දේවල් නිසා දෙවිගේ රාජ්‍යයට සම්බන්ධ විවිධ කාරණා ගැන ඔහු උගන්වන දේවල් හරිම ලේසියෙන් තේරුම්ගන්න පුළුවන් වෙනවා.

ඔහු මුලින්ම කතා කරන්නේ කෙතක බීජ වපුරන්න යන කෙනෙක් ගැන. ඔහු යන අතරතුරේදී සමහර බීජ මඟ දිගේ වැටුණා. කුරුල්ලන් ඇවිත් ඒවා කාලා දැම්මා. තවත් බීජ ගැඹුරු නැති පස් තට්ටුවක් තියෙන ගල් බිම් මත වැටුණා. ඒවා ඉක්මනින් වැඩුණත් ඒවායේ මුල් ගැඹුරට ගියේ නැති නිසාත් අව් රශ්මිය නිසාත් ඒවා මැලවී ගියා. තවත් බීජ කටු අතරේ වැටුණා. ඒවා පැළ වේගෙන එද්දී කටු ගස්වලට ඒවා යට වුණා. හැබැයි සරු පසේ වැටුණු බීජ නම් සරුවට වැඩුණා. “එකකින් සිය ගුණයක්ද එකකින් හැට ගුණයක්ද තවත් එකකින් තිස් ගුණයක්ද” බැගින් ඒවා පල දැරුවා.—මතෙව් 13:8.

යේසුස් දැන් තවත් උපමාවක් කියමින් මිනිසෙක් බීජ වැපුරුවාට පස්සේ වෙන දේට දෙවිගේ රාජ්‍යය සමාන කරනවා. ඒ මිනිසා බීජ වපුරලා හැම දවසකම සාමාන්‍ය විදිහට රාත්‍රියේ නිදාගෙන උදෑසනින් අවදි වෙනවා. ඒ අතර කාලයේදී බීජ පැළ වෙලා උසට වැඩෙනවා. “නමුත් එය සිදු වුණේ කොහොමද කියා ඔහු දන්නේ නැහැ.” (මාක් 4:27) ක්‍රමානුකූලව ඒ පැළ වැඩිලා කරල් හටගද්දී අස්වැන්න නෙළාගන්න ඔහුට පුළුවන් වෙනවා.

කෙතක බීජ වපුරන එක ගැන යේසුස් තවත් උපමාවක් කියනවා. මිනිසෙක් කෙතක තිරිඟු වපුරනවා. ඒත් “මිනිසුන් නිදා සිටියදී” ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරලා යනවා. ඒ නිසා කිරිඳි උගුලා දාන්නද කියලා සේවකයන් ඇවිත් අහද්දී ඔහු කියන්නේ මෙහෙමයි. “එසේ කරන්න එපා. මන්ද එසේ කළොත් කිරිඳි උදුරද්දී ඒ සමඟම තිරිඟු පැළත් ඉදිරෙන්න පුළුවන්. කපන කාලය වන තුරුම දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න. එවිට කපන කාලයේදී මුලින්ම කිරිඳි උදුරා මිටි බැඳ ඒවා පුලුස්සා දැමිය හැකියි. ඉන්පසුව තිරිඟු මගේ ගබඩාවේ රැස් කරන්න කියා අස්වැන්න නෙළන අයට කියන්න මට පුළුවන්.”—මතෙව් 13:24-30.

යේසුස්ට සවන් දෙන හැමෝම වගේ ගොවිතැන් කටයුතු ගැන හොඳින්ම දන්නවා. ඔහු දැන් මිනිසුන් හොඳින් දන්න තවත් දෙයක් ගැන කියනවා. ඒ අනිත් හැම බීජයකටම වඩා කුඩා අබ ඇටයක් ගැනයි. ඒ අබ ඇටය වර්ධනය වුණාම ඒක විශාල ගහක් වෙනවා කියලා ඔහු කියනවා. කුරුල්ලන් ඇවිත් ඒකේ අතුවල ලැගුම් ගන්නවා. ඔහු පවසන්නේ “ස්වර්ග රාජ්‍යය අබ ඇටයකට සමානයි” කියලයි. (මතෙව් 13:31) යේසුස් මේ අවස්ථාවේදී උගන්වන්නේ උද්භිද විද්‍යාව ගැන පාඩමක් නම් නෙවෙයි. ඒ වෙනුවට හරිම පුංචි දෙයක් විශාල විදිහට වර්ධනය වෙනවා කියන කාරණය ගැනයි ඔහු උගන්වන්නේ.

දැන් යේසුස් හැමෝටම හුරු පුරුදු ක්‍රියාවලියක් ගැන සඳහන් කරමින් මෙහෙම කියනවා. “ස්ත්‍රියක් පිටි ඒකක තුනක් ගෙන එයට මුහුන් මිශ්‍ර කළා කියා සිතන්න. මිශ්‍ර කළ එම මුහුන් නිසා වැඩි වේලාවක් යන්න කලින් ඒ මුළු පිටි පිඩම පිපෙයි. ස්වර්ග රාජ්‍යයත් එම මුහුන්වලට සමානයි.” (මතෙව් 13:33) පිටිවලට මුහුන් මිශ්‍ර කළාට පස්සේ ඒවා දැකගන්න ලැබෙන්නේ නැති වුණත් ඒකෙන් මුළු පිටි පිඩම පිපෙනවා. ඔව්, මුහුන් නිසා පිටි පිඩ වර්ධනය වෙනවා විතරක් නෙවෙයි පිටි පිඩේ යම් වෙනසකුත් වෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන විදිහ පේන්නේ නැහැ.

සෙනඟ පිටත් වුණාට පස්සේ යේසුස් තමන් නතර වෙලා ඉන්න නිවසට යනවා. ඒත් ඔහු කියපු උපමාවල තේරුම දැනගන්න තියෙන ආසාව නිසා වැඩි වෙලාවක් යන්න කලින් ගෝලයන් ඔහු ඉන්න තැනට එනවා.

යේසුස් කියපු උපමාවල ප්‍රයෝජන

යේසුස් මීට කලිනුත් උපමා පාවිච්චි කරලා උගන්වලා තිබුණා. ඒත් මේ අවස්ථාවේ තමයි ඔහු වැඩිම උපමා ප්‍රමාණයක් පාවිච්චි කරලා උගන්වන්නේ. ගෝලයන් දැන් ඔහුගෙන් අහන්නේ “ඔබ උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරන්නේ ඇයි” කියලයි.—මතෙව් 13:10.

යේසුස් උපමා පාවිච්චි කරපු එක හේතුවක් මතෙව් සඳහන් කරලා තියෙන මේ දෙයින් තේරුම්ගන්න පුළුවන්. “ඔහු උපමාවක් භාවිත නොකර ඔවුන්ට කතා කළේ නැත. ඔහු එසේ කළේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියන ලද, ‘මම උපමා මගින් ඔබට කතා කරන්නෙමි. බොහෝ කලකට පෙර සිට සඟවා තිබුණු දේවල් මම ප්‍රකාශ කරන්නෙමි’ යන අනාවැකිය ඉටු වීම සඳහායි.”—මතෙව් 13:34, 35; ගීතාවලිය 78:2.

යේසුස් උපමා පාවිච්චි කරන්න තවත් හේතුවක් තිබුණා. ඒ තමයි උපමාවලින් මිනිසුන්ට උගන්වද්දී ඔවුන්ගේ ආකල්ප පැහැදිලිව හඳුනාගන්න ඔහුට පුළුවන් වුණු එක. හුඟක් අයට ඕන කරලා තිබුණේ යේසුස් කියන කතන්දරවලට සවන් දෙන්න සහ ඔහු කරන බලවත් ක්‍රියාවන් දැක බලා ගන්නයි. ඔහුව ස්වාමීන් විදිහට පිළි අරන් ඔහුගේ අනුගාමිකයන් වෙන්න ඒ අයට උවමනාවක් නැහැ. (ලූක් 6:46, 47) යේසුස් උගන්වන දේවල් ගැන හොඳින් කල්පනා කරලා බලලා ජීවිත වෙනස් කරගන්නවත් ආකල්ප වෙනස් කරගන්නවත් ඒ අය පොඩ්ඩක්වත් උත්සාහ කරන්නේ නැහැ.

උපමා පාවිච්චි කරන්නේ ඇයි කියලා ගෝලයන් අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් යේසුස් කියන්නේ මෙහෙමයි. “මා කරමින් සිටින දේවල් දෙස ඔවුන් බලා සිටියත් මා පවසන දේවල් ඔවුන් අසා සිටියත් ඔවුන්ට ඒවායෙහි නියම අර්ථය වැටහෙන්නේ නැහැ. මා උපමා යොදාගනිමින් ඔවුන්ට කතා කරන්නේ ඒ නිසයි. යෙසායාගේ මේ අනාවැකිය ඉටු වන්නේ ඔවුන් සම්බන්ධයෙනුයි. එය නම්, මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ.”—මතෙව් 13:13-15; යෙසායා 6:9, 10.

හැබැයි යේසුස්ට ඇහුම්කන් දීපු සමහර අය ඊට වඩා වෙනස්. ඒ අයට යේසුස් කියන්නේ මෙහෙමයි. “ඔබේ ඇස්වලට පෙනෙන නිසාත් ඔබේ කන්වලට ඇසෙන නිසාත් ඒ ගැන සතුටු වන්න ඔබට පුළුවන්. මන්ද ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, බොහෝ අනාගතවක්තෘවරුන්ද ධර්මිෂ්ඨයන්ද ඔබට පෙනෙන දේ දකින්නත් ඔබට ඇසෙන දේ අසන්නත් මහත් ආශාවකින් සිටි බවයි. නමුත් ඒවා අසන්නවත් දකින්නවත් ඔවුන්ට හැකි වුණේ නැහැ.”—මතෙව් 13:16, 17.

නියෝජිතයන් 12දෙනා සහ යේසුස්ට විශ්වාසවන්තව ඉන්න ගෝලයන් ඔහු උගන්වන දේවල් කැමැත්තෙන්ම පිළිගන්නවා. “ස්වර්ග රාජ්‍යයේ පරිශුද්ධ රහස් තේරුම්ගැනීමේ හැකියාව ඔබට දී තිබෙනවා. නමුත් ඔවුන්ට දී නැහැ” කියා යේසුස් පවසන්නේ ඒ නිසයි. (මතෙව් 13:11) යේසුස් උගන්වපු දේවල අර්ථය තේරුම්ගන්න ඒ අය අවංකවම උනන්දු වෙන නිසා වපුරන්නාගේ උපමාවේ අර්ථය යේසුස් ඔවුන්ට පහදලා දෙනවා.

“බීජය කියන්නේ දෙවිගේ පණිවිඩයට.” (ලූක් 8:11) පස කියන්නේ හදවතට. යේසුස් කියපු උපමාවේ අර්ථය තේරුම්ගන්න නම් මුලින්ම ඒ දේ අවබෝධ කරගන්න ඕනේ.

මඟ දිගේ වැටුණු බීජවලට සිද්ධ වෙන දෙයින් විස්තර කරන්නේ “පණිවිඩයට සවන් දුන්නත් එය විශ්වාස නොකර ගැලවීම නොලබන අයට සිදු වන දෙයයි. ඔවුන්ට ඒ දේ සිදු වන්නේ යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් ඒ පණිවිඩය පැහැරගෙන යන නිසයි” කියලා යේසුස් පැහැදිලි කරනවා. (ලූක් 8:12) ගල් තලාව මත වැටුණු බීජවලට සිදු වන දෙයින් විස්තර කරන්නේ පණිවිඩය අහලා ප්‍රීතියෙන් පිළිගත්තත් පණිවිඩය හිත්වල මුල් ඇද පිහිටා නැති අය ගැනයි. “හිංසා හෝ පීඩා හෝ පැමිණි විට” ඔවුන් වැටී යනවා. ඔව්, “ප්‍රශ්න ගැටලුවලට” මුහුණ දෙන්න සිද්ධ වෙද්දී ඒ කියන්නේ සමහරවිට පවුලේ අයගෙන් නැත්නම් වෙනත් අයගෙන් පීඩා එද්දී ඒ අය වැටිලා යනවා.—මතෙව් 13:21; ලූක් 8:13.

කටු ගස් අතරේ වැටුණු බීජවලින් අදහස් කරන්නේ පණිවිඩය ඇහුවත් “මේ සමාජයේ තිබෙන දේවල් ගැන අනවශ්‍ය ලෙස කරදර වන නිසාත් ධනය පසුපස ගොස් එයින් මුළා වන නිසාත්” යටපත් වෙන අයවයි කියලා යේසුස් පැහැදිලි කරනවා. (මතෙව් 13:22) ඔව්, පණිවිඩය ඔවුන්ගේ හිතට ගියත් ඒක යටපත් වෙන නිසා පල දරන්නේ නැති තත්වයට පත් වෙනවා.

සරු පසේ වැටුණු බීජවලින් අදහස් කරන්නේ පණිවිඩය අහලා ඒකේ නියම අර්ථය වටහාගන්නා අයව. ඒ අය තමයි ‘පල දරන්නේ.’ හැබැයි මහලු වයස, අසනීප වගේ විවිධ හේතු නිසා ඒ හැමෝටම එක හා සමානව පල දරන්න බැහැ. ඒ නිසා තමයි සමහර අය 100 ගුණයකුත් තවත් අය 60 ගුණයකුත් තවත් අය 30 ගුණයකුත් පල දරන්නේ. දෙවිට සේවය කිරීමෙන් ආශීර්වාද ලබන්න පුළුවන් වෙන්නේ “අවංක මෙන්ම යහපත් සිතකින් පණිවිඩය අසා, එය සිතෙහි තබාගෙන විඳදරාගනිමින් පල දරන අයට” විතරයි.—ලූක් 8:15.

යේසුස් උගන්වපු දේවල අර්ථය දැනගන්න ලැබුණු එක ගැන ගෝලයන් කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! ඔවුන්ට දැන් යේසුස් කියපු උපමා ගැන හොඳ අවබෝධයක් තියෙනවා. සත්‍ය පණිවිඩය අනිත් අයට කියන්නේ ඔවුන් නිසා, තමන් කියපු උපමාවල අර්ථය ඔවුන් තේරුම්ගන්නවා දකින්නයි යේසුස්ටත් උවමනා වුණේ. ඒ නිසා තමයි යේසුස් මෙහෙම කියන්නේ. “කෙනෙක් පහනක් රැගෙන එන්නේ එය බඳුනකින් වසා තබන්න හෝ ඇඳක් යට තබන්නද? ඔහු එය රැගෙන එන්නේ පහන් රුකක් මත තැබීමට නොවෙයිද?” යේසුස් මේ උපදෙසත් ඔවුන්ට දෙනවා. “මා පවසන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.”—මාක් 4:21-23.

තවත් තොරතුරු ගැන දැනගන්න ලැබෙයි

වපුරන්නාගේ උපමාවේ අර්ථය ගැන දැනගත්තාට පස්සේ තවත් දේවල් ගැන ඉගෙනගන්න ගෝලයන් ආසාවෙන් ඉන්නවා. ඒ නිසා “කෙතේ පැළ වූ කිරිඳි ගැන උපමාව අපට පැහැදිලි කර දෙන්න” කියා ඔවුන් යේසුස්ට පවසනවා.—මතෙව් 13:36.

යේසුස් ඔරුවේ ඉඳන් උගන්වපු දේවල් අහගෙන හිටිය මිනිසුන්ට වඩා ගෝලයන් කොයි තරම් වෙනස්ද! ඒ මිනිසුන් තමන්ට අහන්න ලැබුණු දෙයින් විතරක් සෑහීමට පත් වුණා. උපමාවල අර්ථය ගැන දැනගන්න ඒ අයට කිසිම ආසාවක් තිබුණේ නැහැ. ඒ මිනිසුන් සහ තවත් තොරතුරු ගැන දැනගන්න ආසාවෙන් ඉන්න ගෝලයන් අතරේ තියෙන වෙනස යේසුස්ට හොඳින්ම පැහැදිලියි. ඒ නිසයි යේසුස් තමන්ගේ ගෝලයන්ට මෙහෙම කියන්නේ.

“ඔබ දැන් සවන් දෙන දේවල් හොඳින් සිතට ගන්න. ඔබ අනුන් සමඟ කටයුතු කරන ආකාරය අනුවයි ඔවුන් ඔබ සමඟත් කටයුතු කරන්නේ. ඔබ කරන දේට වඩා වැඩියෙන් ඔවුන්ගෙන් ඔබට ලැබෙයි.” (මාක් 4:24) ගෝලයන් යේසුස් උගන්වන දේවල් හොඳින් සිතට ගන්න ලොකු උත්සාහයක් දරනවා. ඔවුන් ඒ විදිහට කටයුතු කරන නිසා යේසුස් ඔවුන්ට තවත් වැඩියෙන් දේවල් උගන්වන්න පටන්ගන්නවා. කිරිඳි සහ තිරිඟු ගැන ගෝලයන් අහපු ප්‍රශ්නයට පිළිතුර යේසුස් දැන් පැහැදිලි කරන්නේ මෙහෙමයි.

“හොඳ බීජ වපුරන තැනැත්තා නම් මනුෂ්‍ය පුත්‍රයායි. කෙත කියන්නේ ලෝකයටයි. හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝයි. කිරිඳි නම් දුෂ්ටයාගේ පුත්‍රයෝයි. ඒවා වැපුරූ සතුරා නම් යක්ෂයායි. කපන කාලයෙන් අදහස් වන්නේ පවතින මේ සමාජයේ අවසාන කාලයයි. අස්වැන්න කපන අය නම් දේවදූතයෝයි.”—මතෙව් 13:37-39.

උපමාවේ සඳහන් හැම අංගයකින්ම අදහස් වෙන දේ ගැන කිව්වාට පස්සේ අන්තිමට වෙන දේ යේසුස් පැහැදිලි කරනවා. පවතින සමාජයේ අවසාන කාලයේදී අස්වැන්න කපන දේවදූතයන් “රාජ්‍යයේ පුත්‍රයන්ගෙන්” කිරිඳි විදිහට හඳුන්වලා තියෙන තමන් ක්‍රිස්තියානීන්යැයි කියාගන්නා අයව වෙන් කරනවා. “ධර්මිෂ්ඨයන්ව” රැස් කරනු ලබන අතර අවසානයේදී ඔවුන් “තම පියාණන්ගේ රාජ්‍යයෙහි” සූර්යයා මෙන් දීප්තියෙන් බැබළෙනවා. “දුෂ්ටයාගේ පුත්‍රයන්” ගැන කියන්න පුළුවන් මොනවාද? අත් වෙන විනාශය නිසා “හැඬීමටත් දත්මිටි කෑමටත්” ඔවුන්ට සිදු වෙනවා.—මතෙව් 13:41-43.

යේසුස් දැන් ගෝලයන්ට තවත් උපමා තුනක් කියනවා. මුලින්ම ඔහු කියන්නේ මෙහෙමයි. “ස්වර්ග රාජ්‍යය තණබිමක සඟවා තිබෙන වස්තුවකට සමානයි. එක්තරා මිනිසෙකුට එය සම්බ වූ විට ඔහු එය එතැනම සඟවා තැබුවා. ඔහුට ඇති වූ ප්‍රීතිය කොතරම්ද කියනවා නම් ඔහු ගොස් තමා සතු සියල්ල විකුණා ඒ තණබිම මිල දී ගත්තා.”—මතෙව් 13:44.

ඊළඟට යේසුස් මෙහෙම කියනවා. “ස්වර්ග රාජ්‍යය අගනා මුතු සොයා ගිය සංචාරක වෙළෙන්දෙකුටත් සමානයි. ඉතා වටිනා එක් මුතු ඇටයක් ඔහුට සම්බ වූ විට ඔහු වහාම ගොස් තමා සතු සෑම දෙයක්ම විකුණා එය මිල දී ගත්තා.”—මතෙව් 13:45, 46.

ඒ උපමා දෙකෙන්ම යේසුස් පැහැදිලි කරන්නේ වටිනා දෙයක් ලබාගන්න ඕනෙම දෙයක් කැමැත්තෙන්ම කැප කරන එක ගැනයි. ඉතා වටිනා එක් මුතු ඇටයක් හම්බ වුණාම ඒ වෙළෙන්දා “තමා සතු සෑම දෙයක්ම විකුණා” ඒක ලබාගත්තා. ඒ වගේම තණබිමක සඟවා තිබුණු වස්තුවක් හම්බ වුණු මිනිසා “තමා සතු සියල්ල විකුණා” ඒ තණබිම මිල දී ගත්තා. ඒ උපමා දෙකේම වටිනා දෙයක් ගැනත් ඒකේ වටිනාකම තේරුම් අරන් වෙහෙසක් දරලා ඒක ලබාගන්න එක ගැනත් සඳහන් වෙනවා. දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න පුද්ගලයෙක් කරන කැප කිරීම්වලට ඒ දේ සමාන කරන්න පුළුවන්. (මතෙව් 5:3) මේ උපමාවලට සවන් දෙන සමහර අය දැනටමත් ඒ හා සමාන වෙහෙසක් දරලා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගෙන යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් වෙලා තියෙනවා.—මතෙව් 4:19, 20; 19:27.

තුන්වෙනි උපමාව ගැන සඳහන් කරන යේසුස් ස්වර්ග රාජ්‍යය හැම වර්ගයකම මසුන් අහු කරගන්න දැලකට සමාන කරනවා. (මතෙව් 13:47) දැලට අහු වුණු හොඳ මසුන්ව භාජනවලට එකතු කළත් නුසුදුසු මසුන්ව අහකට විසි කරනවා. මේ සමාජයේ අවසානයේදීත් ඒ හා සමාන දෙයක් සිද්ධ වෙනවා කියලා යේසුස් පැහැදිලි කරනවා. ඔව්, එදාට දේවදූතයන් ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කරනවා.

“මම ඔබව මසුන් අල්ලන්නන් වෙනුවට මිනිසුන් අල්ලන්නන් කරන්නම්” කියලා යේසුස් මුල් ගෝලයන්ට කිව්වා. (මාක් 1:17) ඒ වෙද්දීත් ඔහු ඒ කාර්යය පටන් අරගෙනයි තිබුණේ. ඒත් මාළු දැල ගැන කියපු උපමාව ඉටු වෙන්නේ “මේ ලෝක සමාජයේ අවසානයේදී” කියලා යේසුස් පැහැදිලි කරනවා. (මතෙව් 13:49) ඒ නිසා ඉදිරියේදී තවත් වැදගත් සිද්ධීන් ඉටු වෙන්න තියෙනවා කියලා ඔහුගේ නියෝජිතයන් සහ අනිත් ගෝලයන් තේරුම්ගන්නවා.

ඔරුවක ඉඳන් යේසුස් උගන්වපු දේවල් ගැන තවත් දැනගන්න උනන්දු වුණු ගෝලයන්ට හුඟක් දේවල් ගැන දැනගන්න ලැබුණා. ඔව්, යේසුස් “තම ගෝලයන්ට පෞද්ගලිකව ඒ සියල්ල” පහදා දුන්නා. (මාක් 4:34) ඇත්තෙන්ම යේසුස් “තම වස්තුව රැස් කර ඇති ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන ගෙහිමියෙකුට සමානයි.” (මතෙව් 13:52) යේසුස් උපමා පාවිච්චි කළේ ඔහුගේ දැනුම ප්‍රදර්ශනය කරන්න නම් නෙවෙයි. ඔහු උපමා පාවිච්චි කළේ මිල කරන්න බැරි වටිනා වස්තුවක් හා සමාන සත්‍යයන් ගැන ගෝලයන්ට පහදා දෙන්න. යේසුස් තරම් දක්ෂ විදිහට ‘ප්‍රසිද්ධියේ අන් අයට උගන්වපු’ තවත් කෙනෙක් නැහැ.