Skip to content

පටුනට යන්න

56වෙනි පරිච්ඡේදය

මිනිසෙක් දූෂ්‍ය වෙන්නේ කොහොමද?

මිනිසෙක් දූෂ්‍ය වෙන්නේ කොහොමද?

මතෙව් 15:1-20 මාක් 7:1-23 යොහන් 7:1

  • යේසුස් මිනිස් සම්ප්‍රදායන් වැරදියි කියලා හෙළි කරයි

ක්‍රි.ව. 32 පාස්කු උත්සවය සමරන්න තව තියෙන්නේ දවස් කිහිපයක් විතරයි. තවමත් ගලීලයේ ඉන්න යේසුස් මිනිසුන්ට උගන්වනවා. යේසුස් දැන් පිටත් වෙන්නේ දෙවිගේ නීතියේ සඳහන් වෙන විදිහට යෙරුසලමට ගිහින් පාස්කුව සමරන්න. හැබැයි යුදෙව්වන් ඔහුව මරන්න හොයන නිසා ඔහු මේ ගමන යන්නේ කල්පනාවෙන්. (යොහන් 7:1) පාස්කුව සැමරුවාට පස්සේ යේසුස් ආයෙත් ගලීලයට එනවා.

පරිසිවරුන් සහ නීතිය පිටපත් කරන අය යේසුස්ව හොයාගෙන එද්දී පෙනෙන විදිහට ඔහු ඉන්නේ කපර්ණවුමේ. යෙරුසලමේ ඉඳන් ඔවුන් යේසුස්ව හොයාගෙන ඇවිත් තියෙන්නේ ඇයි? ඔවුන් උත්සාහ කරන්නේ කොහොමහරි යේසුස්ගේ වරදක් අල්ලාගන්න. ඒ නිසා ඔවුන් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “ඔබේ ගෝලයන් පුරාණයේ සිටි මිනිසුන් ඇති කළ සම්ප්‍රදායන් කඩ කරන්නේ ඇයි? උදාහරණයක් වශයෙන්, කෑම කන්න කලින් ඔවුන් අත් සෝදාගන්නේ නැහැ.” (මතෙව් 15:2) කෙනෙක් කෑම කන්න කලින් ‘අත් වැලමිට දක්වා සෝදන්න’ කියලා දෙවියන් දීපු නීතියේ සඳහන් වෙන්නේ නැහැ. (මාක් 7:3) ඒත් පරිසිවරුන් කියන්නේ එහෙම කරන්නේ නැති එක බරපතළ වරදක් කියලයි.

ඔවුන් අහපු ප්‍රශ්නයට කෙළින්ම උත්තර දෙනවා වෙනුවට යේසුස් මෙහෙම කියනවා. “එසේනම් ඔබත් ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ ආඥා කඩ කරන්නේ ඇයි? උදාහරණයක් වශයෙන්, ‘ඔබේ පියාටද මවටද ගෞරව කරන්න’ කියාත් ‘පියාට හෝ මවට හෝ නින්දා කරන්නා මරණයට සුදුසුයි’ කියාත් දෙවි පවසා තිබෙනවා. නමුත්, ‘යමෙක් තම පියාට හෝ මවට, “ඔබේ ප්‍රයෝජනය සඳහා මා ඔබට දෙන්න සිටි දේවල් දෙවිට කැප කළා” කියා පැවසුවොත්, තම පියාට හෝ මවට සලකන්න ඔහුට අවශ්‍ය නැහැ’ කියා ඔබ කියනවා. මෙසේ ඔබ, ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබෙනවා.”—මතෙව් 15:3-6; නික්මයාම 20:12; 21:17.

කෙනෙක් මුදල් හරි දේපළ හරි වෙන ඕනෙම දෙයක් හරි “කොර්බාන්” කළොත් ඒ කියන්නේ දෙවිට කැප කළොත් ඒක දේවමාලිගාවට අයිති දෙයක් නිසා වෙන කිසිම දේකට ඒක පාවිච්චි කරන්න බැහැ කියලා පරිසිවරු කිව්වා. ඒත් කෙනෙක් කැමති නම්, තමන් දෙවිට කැප කරපු දේ මිය යන කල් ප්‍රයෝජනයට ගන්න ඔහුට හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙද්දීත් කෙනෙක් තමන් සතු දේවල් දෙවිට කැප කරපු එක නිදහසට කරුණක් කරගෙන මහලු දෙමාපියන්ට සලකන්න බැහැ කියනවා නම් ඒක සුදුසු නැහැ.—මාක් 7:11.

දෙවිගේ නීතිය නොතකමින් ක්‍රියා කරන ඔවුන්ට යේසුස් දැන් මෙහෙම කියනවා. “ඔබ, ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබෙනවා. කුහකයෙනි, යෙසායා කී මේ අනාවැකිය ඔබට හොඳින් ගැළපෙයි. ‘මේ ජනයා තම තොල්වලින් මට ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා වෙතින් බොහෝ ඈත්ව තිබේ. ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥා පමණයි.’” යේසුස් ඒ විදිහට ඔවුන්ගේ වැරදි හෙළි කළාම පරිසිවරුන් සම්පූර්ණයෙන්ම නිහඬ වෙනවා. දැන් සෙනඟව තමන් වෙතට කැඳවන යේසුස් මෙහෙම කියනවා. “සවන් දී මෙහි සැබෑ අර්ථය වටහාගන්න. මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටට ඇතුල් වන දෙයින් නොවෙයි. ඔහු දූෂ්‍ය වන්නේ ඔහුගේ කටින් පිට වෙන දෙයින්.”—මතෙව් 15:6-11; යෙසායා 29:13.

යේසුස් දැන් සෙනඟගෙන් වෙන් වෙලා නිවසකට යනවා. ඊටපස්සේ ගෝලයන් ඔහුගෙන් අහනවා “ඔබ කී දේ අසා මේ පරිසිවරුන් කෝප වූ බව ඔබ දන්නවාද” කියලා. එතකොට යේසුස් මෙහෙම පිළිතුරු දෙනවා. “ස්වර්ගයේ සිටින මගේ පියාණන් පැළ නොකළ සෑම පැළයක්ම උදුරා දමනු ලබයි. ඔවුන් ඔහේ සිටියාවේ. ඔවුන් අන්ධ මඟ පෙන්වන්නෝ වගෙයි. අන්ධ මිනිසෙක් තවත් අන්ධ මිනිසෙකුට මඟ පෙන්නුවොත් ඒ දෙදෙනාම වළක වැටෙයි.”—මතෙව් 15:12-14.

කොහොමවුණත් මිනිසෙක් දූෂ්‍ය වෙන විදිහ ගැන යේසුස් කලින් කියපු දේ පේතෘස්ටවත් අනිත් ගෝලයන්ටවත් තේරිලා නැහැ. ඒ නිසා ඒ ගැන පැහැදිලි කරලා දෙන්න කියලා පේතෘස් යේසුස්ගෙන් ඉල්ලනවා. පේතෘස් එහෙම අහපු එක ගැන පුදුම වෙන යේසුස් දැන් මෙහෙම කියනවා. “කටින් ඇතුල් වන සෑම දෙයක්ම බඩට ගිය පසු වැසිකිළියේදී එය බැහැර වන බව ඔබ දන්නේ නැද්ද? නමුත් කෙනෙකුගේ කටින් පිට වන දේ නික්මෙන්නේ ඔහුගේ සිතිනුයි. මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඒ දේවල්වලිනුයි. උදාහරණයක් වශයෙන් දුෂ්ට අදහස්, මිනී මැරීම, අනාචාරය, වේශ්‍යාකම, සොරකම, බොරු සාක්ෂි කීම සහ අපහාස කිරීම වැනි දේවල් ඇරඹෙන්නේ සිතිනුයි. මිනිසෙකු දූෂ්‍ය වන්නේ ඒ දේවල්වලිනුයි. නමුත් අත් නොසෝදා කෑවාට මිනිසෙකු දූෂ්‍ය වන්නේ නැහැ.”—මතෙව් 15:17-20.

යේසුස් කියපු ඒ දෙයින් සනීපාරක්ෂාව ගැන ඔහු සැලකිලිමත් නැහැ කියලවත් කෑමට කලින් අත් සෝදන එක වැරදියි කියලවත් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ආගමික නායකයන් මිනිස් සම්ප්‍රදායන් නිසා දෙවිගේ නීති කඩ කරන එක කුහකකමක් කියලයි ඔහු කියන්නේ. ඇත්තෙන්ම කෙනෙක් දූෂ්‍ය වෙන්නේ ඒ කෙනාගේ සිතේ ඇති වෙන නරක සිතුවිලිවලිනුයි.