Skip to content

පටුනට යන්න

46වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ වස්ත්‍රය අල්ලා සුව වෙයි

යේසුස්ගේ වස්ත්‍රය අල්ලා සුව වෙයි

මතෙව් 9:18-22 මාක් 5:21-34 ලූක් 8:40-48

  • යේසුස්ගේ වස්ත්‍රය ඇල්ලූ ස්ත්‍රියක් සුව වෙයි

යේසුස් දෙකපොලිසයෙන් පිටත් වෙලා ඇවිත් කියලා ගලීල මුහුදේ වයඹදිග වෙරළාසන්නයේ ඉන්න යුදෙව්වන්ට දැනගන්න ලැබෙනවා. පෙනෙන විදිහට යේසුස් කුණාටුව නිහඬ කරපු සිද්ධිය ගැන හුඟදෙනෙක්ට ආරංචි වෙලා. යේසුස් භූතයන් ආවේශ වුණු මිනිසුන්ව සුව කරපු එක ගැනත් සමහර අයට ආරංචි වෙලා ඇති. ඒ නිසා යේසුස්ව දැකගන්න “මහත් සමූහයක්” මුහුද ළඟට ඇවිත් ඉන්නවා. (මාක් 5:21) මේ සිද්ධිය වෙන්නේ කපර්ණවුමේ වෙන්න ඇති. යේසුස් වෙරළට එනවා දකිද්දී මේ සෙනඟට දැනෙන්නේ පුදුම සතුටක්.

සෙනඟ අතරේ ඉන්න යායිරස්ට යේසුස්ව මුණගැහෙන කල් ඉස්පාසුවක් නැහැ. ඔහු සිනගෝගයේ සේවය කරන නිලධාරියෙක්. මේ වෙද්දී ඔහුගේ දියණිය හොඳටම අසනීප වෙලයි ඉන්නේ. ඒ නිසා යේසුස්ගේ පාමුල වැටෙන ඔහු ඉතා බැගෑපත්ව නැවත නැවතත් යේසුස්ට මෙහෙම කියනවා. “මගේ චූටි දුව දරුණු අසනීපයකින් පෙළෙනවා. අනේ ඔබට පුළුවන්ද ඇවිත් ඇය පිට ඔබේ අත තියන්න. එවිට ඇයට සුවය ලැබිලා ඇය ජීවත් වෙයි.” (මාක් 5:23) 12 හැවිරිදි තම එකම දියණියව සුව කරලා දෙන්න කියලා යායිරස් බැගෑපත්ව ඉල්ලද්දී යේසුස් මොනවා කරයිද?—ලූක් 8:42.

යේසුස් යායිරස්ගේ නිවසට යද්දී ලොකු සෙනඟක් ඔහුත් එක්ක ගමන් කරනවා. ඒ හැමෝම ලොකු උනන්දුවකින් බලන් ඉන්නේ යේසුස් ආයෙත් වතාවක් ආශ්චර්යයක් කරනවා දැකගන්න. කොහොමවුණත් සෙනඟ අතරේ ඉන්න එක ස්ත්‍රියක් මේ වෙලාවේ කල්පනා කරන්නේ ඇගේ අසනීපය සුව කරගන්න එක ගැනයි.

යුදෙව් ස්ත්‍රියක් වන ඇය අවුරුදු 12ක් පුරා ලේ ගැලීමක් නිසා පීඩා විඳිනවා. සුවයක් බලාපොරොත්තුවෙන් ඇය බොහෝ වෛද්‍යවරුන් ළඟට ගියත් පලක් වෙලා නැහැ. මේ වෙද්දී ඇය තමන් ළඟ තිබුණු හැම දෙයක්ම වියදම් කරලයි තියෙන්නේ. දැන් ඇගේ තත්වය ‘තවත් දරුණු අතට හැරිලා.’—මාක් 5:26.

අසනීප තත්වය නිසා ඇගේ ශරීර සෞඛ්‍යයත් හොඳටම දුර්වල වෙලා. ඒ විතරක් නෙවෙයි ඒ අසනීපය නිසා ඇය මොන තරම් අපහසුතාවක්, ලැජ්ජාවක් විඳිනවා ඇද්ද! සාමාන්‍යයෙන් ඒ වගේ අසනීපයක් ගැන කවුරුත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දීලා තිබුණු නීතියට අනුව දවස් ගණනාවක් පුරා ලේ ගැලීමක් සිදු වන ස්ත්‍රියක්ව සැලකුවේ අපවිත්‍ර කෙනෙක් විදිහට. ඒ විතරක් නෙවෙයි ඒ වගේ ස්ත්‍රියක්ව හරි ඇගේ ලේ තැවරුණු වස්ත්‍ර හරි ස්පර්ශ කරන කෙනෙක්ට නාගෙන සවස් වන තුරුම අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා ඉන්න සිද්ධ වුණා.—ලෙවී කතාව 15:25-27.

මේ ස්ත්‍රියට ‘යේසුස් ගැන ආරංචි වුණු’ නිසා තමයි ඇය යේසුස්ව හොයාගෙන ඇවිත් තියෙන්නේ. “ඔහුගේ වස්ත්‍රය ඇල්ලුවත් ඇති. ඒකෙන් මාව සුව වෙයි” කියා ඇය තමන්ටම කියාගන්නවා. අපවිත්‍ර තත්වයක ඉන්න ඇය දැන් කාගෙවත් අවධානයට ලක් නොවන විදිහට සෙනඟ මැදින් ගිහින් යේසුස්ගේ වස්ත්‍රයේ වාටිය අල්ලනවා. ඒ මොහොතේම ලේ ගලන එක නතර වෙලා “බරපතළ රෝගයෙන් තමන් සුව වූ බව” ඇයට දැනෙනවා.—මාක් 5:27-29.

“මාව ඇල්ලුවේ කවුද” කියලා යේසුස් ඒ මොහොතේ අහද්දී ඇයට කොහොම හැඟෙන්න ඇද්ද! යේසුස් අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන පේතෘස් මෙහෙම කියනවා. “ගුරුතුමනි, බලන්න කොයි තරම් සෙනඟක් ඔබ වටේ තෙරපි තෙරපී ඉන්නවාද කියා!” එහෙමනම් යේසුස් ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ ඇයි? ඒ ගැන යේසුස් මෙහෙම කියනවා. “කවුරු හරි කෙනෙක් මාව ඇල්ලුවා. මම එහෙම කියන්නේ මගේ ශක්තිය වැය වන බව මට දැනුණු නිසයි.”—ලූක් 8:45, 46.

යේසුස් ඒ ගැන ප්‍රශ්න කරද්දී සුවය ලැබුව ස්ත්‍රිය බයෙන් වෙවුලමින් යේසුස් ඉදිරියේ දණින් වැටෙනවා. කිසිම දෙයක් යේසුස්ගෙන් නොසඟවන ඇය තමන්ට තිබුණු අසනීපය ගැනත් සුවය ලැබුණු විදිහ ගැනත් හැමෝම ඉදිරියේ කියනවා. ඇයව සනසවමින් යේසුස් කියන්නේ මෙහෙමයි. “දුවේ, ඔබ සුව වුණේ ඔබ තුළ තිබෙන විශ්වාසය නිසයි. සමාදානයෙන් යන්න. ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.”—මාක් 5:34.

මේ පොළොවේ පාලනය භාර දෙන්න දෙවියන් තෝරාගෙන තියෙන්නේ මොන තරම් දයානුකම්පිත කෙනෙක්වද! ඔහු මිනිසුන් ගැන අවංකවම සැලකිලිමත්. ඒ විතරක් නෙවෙයි මිනිසුන්ට උදව් කරන්න ඔහුට බලයත් තියෙනවා.