Skip to content

පටුනට යන්න

64වෙනි පරිච්ඡේදය

සමාව දීම කොයි තරම් වැදගත්ද?

සමාව දීම කොයි තරම් වැදගත්ද?

මතෙව් 18:21-35

  • සමාව දෙන්න ඕනෙ හත් වතාවක්ද කියා අසයි

  • සමාව නොදුන් දාසයෙක් ගැන නිදර්ශනයක් කියයි

සහෝදරයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම ඒක ඒ කෙනාත් එක්ක විසඳගන්න ඕන විදිහ ගැන යේසුස් පැහැදිලි කළාට පස්සේ පේතෘස්ට තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. වරදක් කරන කෙනෙක්ට කී සැරයක් සමාව දෙන්න ඕනෙද කියලා දැනගන්න ඔහුට ඕන වෙනවා.

ඒ නිසා තමයි ඔහු යේසුස්ගෙන් මෙහෙම අහන්නේ. “ස්වාමීනි, මට විරුද්ධව පව් කරන මගේ සහෝදරයාට මා කොපමණ වතාවක් සමාව දිය යුතුද? හත් වරක් දක්වා සමාව දුන්නොත් සෑහෙයිද?” සමහර ආගමික නායකයන් නම් උගන්වන්නේ වරදක් කරන කෙනෙක්ට තුන්පාරක් සමාව දුන්නොත් ඇති කියලයි. ඒ නිසා “හත් වරක්” සමාව දෙන එක හරිම කාරුණික දෙයක් කියලා පේතෘස් හිතන්න ඇති.—මතෙව් 18:21.

කෙනෙක් කරන වැරදි ගාණ මතක තියාගන්න කියලා යේසුස් කවදාවත් ඉගැන්නුවේ නැහැ. ඒ නිසා ඔහු පේතෘස්ව නිවැරදි කරමින් කියන්නේ “හත් වරක් දක්වා නොව හැත්තෑහත් වරක් දක්වා සමාව දෙන්න” කියලයි. (මතෙව් 18:22) ඒකෙන් අදහස් වෙන්නේ සමාව දෙන එකට සීමාවක් නැහැ කියන එකයි. එහෙමනම් පේතෘස්ට සිද්ධ වෙනවා එයාගේ සහෝදරයාට සීමාවක් නැතුව සමාව දෙන්න.

හැම කෙනෙක්ම එකිනෙකාට සමාව දෙන්න කොයි තරම් බැඳිලා ඉන්නවාද කියලා තේරුම් කරන්න යේසුස් දැන් නිදර්ශනයක් කියනවා. ඒ නිදර්ශනයෙන් කියවෙන්නේ කරුණාවන්ත රජෙක්ව ආදර්ශයට ගත්තේ නැති දාසයෙක් ගැන. දවසක් රජ තම දාසයන් තමන්ට කොයි තරම් මුදලක් ණය වෙලා තියෙනවාද කියලා ගණන් බලන්න පටන්ගන්නවා. තලෙන්ත 10,000ක් [ඩිනාරි 6,00,00,000ක්] ණය වෙලා ඉන්න දාසයෙක්ව රජ තමන් වෙතට කැඳවනවා. කවදාවත් ඒ ණය මුදල ගෙවලා ඉවර කරන්න නම් ඒ දාසයාට පුළුවන් වෙන එකක් නැහැ. ඒ නිසා රජ ඔහුට කියනවා ඔහුවත්, බිරිඳවත්, දරුවන්වත් විකුණලා හරි ණය මුදල ගෙවන්න කියලා. ඒ වෙලාවේ ඔහු වැඳ වැටිලා “අනේ, මට තව කල් දෙන්න. මම ඔබට ඒ සියල්ල ගෙවන්නම්” කියලා හරිම අසරණ විදිහට කියනවා.—මතෙව් 18:26.

රජ ඔහුට අනුකම්පා කරලා ඒ ණය අහෝසි කරනවා. හැබැයි දයාව ලැබුව ඒ දාසයා කටයුතු කරන්නේ ඊට වඩා වෙනස් විදිහට. ඔහු තමන්ට ඩිනාරි 100ක් ණය වෙලා ඉන්න ඔහුගේ දාසයෙක්ව හොයාගෙන ගිහින් ඔහුගේ බෙල්ල මිරිකලා “මගේ ණය ගෙවන්න” කියලා කියනවා. “අනේ, මට තව කල් දෙන්න. ඒ ණය මම ඔබට ගෙවන්නම්” කියා ඒ දාසයා බැගෑපත්ව ඉල්ලුවත් ඔහු කිසි අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. (මතෙව් 18:28, 29) ඔහු රජට ණය වෙලා තිබුණු මුදලත් එක්ක බලද්දී ඒ දාසයා ඔහුට ණය වෙලා තියෙන්නේ හරිම පොඩි මුදලක් විතරයි. ඒත් ඒ මුදල ගෙවන කල් ඔහු ඒ දාසයාව හිරේ දානවා.

ඒ ගැන අනිත් දාසයන් රජට දැනුම් දුන්නාම රජට කේන්ති යනවා. ඔහුව කැඳවන රජ කියන්නේ මෙහෙමයි. “ඔබ ඉතා දුෂ්ට දාසයෙක්! ඔබ මාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටි විට මම ඔබේ මුළු ණයම අහෝසි කර දැමුවා. මා ඔබට අනුකම්පා කළා වගේම ඔබත් ඒ දාසයාට අනුකම්පා කරන්න තිබුණා නේද?” අන්තිමේදී සම්පූර්ණ ණය මුදල ගෙවන කල් රජ ඒ දාසයාව හිරගෙදර භාරකරුවන්ට භාර දෙනවා. යේසුස් දැන් කියන්නේ “ඔබ එකිනෙකාත් තම තමාගේ සහෝදරයාට ඔබේ මුළු හදවතින්ම සමාව නොදුන්නොත් ස්වර්ගයේ සිටින මගේ පියාණන්ද ඔබට එසේම කරයි” කියලයි.—මතෙව් 18:32-35.

කොයි තරම් වටිනා පාඩමක්ද! අපේ පව් හරියට ගෙවලා ඉවර කරන්න බැරි ණයක් වගෙයි. ඒත් දෙවියන් ඒවාට සමාව දීලා තියෙනවා. අපි දෙවිට විරුද්ධව කරලා තියෙන වැරදි ගැන හිතද්දී අපේ සහෝදරයන් අතින් අපිට වෙන වැරදි ඒ තරම් ලොකු දේවල් නෙවෙයි. ඇත්තටම යෙහෝවා දෙවියන් සමාව දෙන එකේ සීමාවක් නැහැ. එහෙමනම් අපේ සහෝදරයන් අපිට වරදක් කළොත් අපිත් ඔවුන්ට සමාව දෙන්න ඕනෙ නේද? යේසුස් කන්ද උඩ දේශනයේ කියපු විදිහට “අපට වැරදි කළ අයට අප සමාව” දුන්නොත් විතරයි දෙවියන් අපේ වැරදිවලට සමාව දෙන්නේ.—මතෙව් 6:12.