Skip to content

පටුනට යන්න

මාර්ගය, සත්‍යය සහ ජීවනය

මාර්ගය, සත්‍යය සහ ජීවනය

අපි හැමෝම කැමතියි ශුභාරංචි දැනගන්න. ඔබටත් ඔබ ආදරේ කරන අයටත් සතුටු වෙන්න පුළුවන් ශුභාරංචියක් දැනගන්න ඔබ කැමතිද?

මුළු විශ්වයේම නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියවුණු බයිබලයේ තමයි ඒ ගැන සඳහන් වෙන්නේ. මේ ප්‍රකාශනයෙන් අපි මූලිකවම බලන්නේ බයිබලයේ පොත් හතරක සඳහන් වෙලා තියෙන ශුභාරංචියක් ගැනයි. ඒ පොත් ලියපු මතෙව්, මාක්, ලූක් සහ යොහන් කියන අයගේ නම්වලින්ම තමයි ඒ පොත් හඳුන්වන්නේ.

හුඟක් අය ඒ පොත් හඳුන්වන්නේ සුවිශේෂ පොත් නැත්නම් ශුභාරංචි පොත් හැටියට. ඒ පොත්වල තමයි යේසුස් ගැන ශුභාරංචිය සඳහන් වෙන්නේ. ඔව්, දෙවියන් මිනිසුන්ට ගැලවීම ලබා දෙන්නේ යේසුස් මාර්ගයෙන් කියලත් දේවරාජ්‍යයේ රජු හැටියට යේසුස් තමන් ගැන විශ්වාසය තියන හැමෝටම සදහටම ආශීර්වාද කරනවා කියලත් ඒ පොත්වල සඳහන් වෙනවා.—මාක් 10:17, 30; 13:13.

සුවිශේෂ පොත් හතරක් තියෙන්නේ ඇයි?

යේසුස් ගැන පොත් හතරක්ම ලියන්න දෙවියන් මඟ පෙන්නුවේ ඇයි කියලා ඔබත් හිතනවා ඇති.

යේසුස් ගැන පොත් හතරකම ලියවිලා තියෙන එක අපිට හුඟක් ප්‍රයෝජනවත්. මේ ගැන හිතන්න. ඒ පොත් හතර ලියපු අයගෙන් එක් කෙනෙක් බදු එකතු කරපු කෙනෙක්. තව කෙනෙක් වෛද්‍යවරයෙක්. තව කෙනෙක් යේසුස්ව කිට්ටුවෙන් ආශ්‍රය කරපු ධීවරයෙක්. අනිත් කෙනා ඒ තුන්දෙනාටම වඩා වයසින් අඩු කෙනෙක්. මේ හතරදෙනාම අවංකයි. ඔවුන් කාරණා දිහා බලපු විදිහ එකිනෙකට වෙනස්. ඒ නිසා ඔවුන් එකම සිද්ධිය විවිධ පැතිවලින් වාර්තා කරලා තියෙනවා. ඒ ගැන මනසේ තියාගෙන ඒ පොත් කියවද්දී උතුම් ගුරුවරයා වන යේසුස් කියපු, කරපු දේවල් වඩාත් හොඳින් තේරුම්ගන්න අපිට පුළුවන්.

බදු එකතු කරපු කෙනා තොරතුරු ලියලා තියෙන්නේ යුදෙව් පසුබිමක් තියෙන අයව මනසේ තියාගෙන. වෛද්‍යවරයා වැඩි අවධානයක් දීලා තියෙන්නේ අසනීප අයව සුව කරපු සිද්ධීන්වලට. ඒ නිසා ඔහු බදු එකතු කරපු කෙනා වාර්තා කරපු සමහර දේවල් වාර්තා කරලා නැහැ. සමහර තොරතුරු ඔහු වාර්තා කරලා තියෙන්නේ වෙනස් විදිහකට. යේසුස්ව කිට්ටුවෙන් ආශ්‍රය කරපු කෙනා වැඩි අවධානයක් දීලා තියෙන්නේ යේසුස්ගේ ගතිගුණ සහ හැඟීම්වලට. ඒ හතරදෙනා අතරේ හිටිය බාලයා තොරතුරු හරිම සරලව කෙටියෙන් වාර්තා කරලා තියෙනවා. කොහොමවුණත් ඒ වාර්තා හතරම නිවැරදියි. යේසුස් කරපු දේවල්, උගන්වපු දේවල් වගේම ඔහුගේ පෞද්ගලිකත්වය පැහැදිලිව අවබෝධ කරගන්න ඔවුන් වාර්තා කරලා තියෙන තොරතුරු මොන තරම් ප්‍රයෝජනවත්ද!

හුඟක් අය වැඩියෙන් කතා කරන්නේ ‘මතෙව්ගේ ශුභාරංචිය’ සහ ‘යොහන්ගේ ශුභාරංචිය’ ගැන. ඒක වැරදි නැහැ. මොකද ඒ පොත් දෙකෙත් “යේසුස් ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය” සඳහන් වෙනවා. (මාක් 1:1) හැබැයි ඒ පොත් දෙකේ විතරක් නෙවෙයි සුවිශේෂ පොත් හතරේම යේසුස් ගැන ශුභාරංචිය සඳහන් වෙනවා.

දෙවිගේ වචනය අධ්‍යයනය කරන හුඟක් අය සුවිශේෂ පොත් හතරේ තියෙන තොරතුරු සන්සන්දනය කරලා තියෙනවා. ඒකෙන් ඔවුන් තේරුම් අරන් තියෙනවා ඒ පොත්වල තියෙන තොරතුරු පරස්පර විරෝධී නැහැ කියලා. සිරියානු ලේඛකයෙක් වුණු ටේෂන් ඒ අතරින් කෙනෙක්. ක්‍රි.ව. 170දී විතර ඔහු තේරුම්ගත්තා සුවිශේෂ පොත් හතරේම තියෙන තොරතුරු නිවැරදියි සහ ඒවා ලියවිලා තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා. ඒ නිසා ඔහු ඒ පොත්වල තියෙන තොරතුරු පදනම් කරගෙන යේසුස්ගේ ජීවිතය සහ ඔහු කළ සේවය ගැන ලියවිල්ලක් සකස් කළා.—Diatessaron.

‘මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්’ කියන මේ පොතත් ඒ වගේ එකක්. හැබැයි මේ පොතේ තියෙන තොරතුරු වඩාත් නිවැරදියි, ඒ වගේම සම්පූර්ණයි. ඒකට හේතුව යේසුස් කියපු අනාවැකිවල සහ නිදර්ශනවල අර්ථය අපිට දැන් වඩාත් පැහැදිලිව අවබෝධ වෙලා තියෙන නිසයි. යේසුස් කියපු, කරපු දේවල් වගේම සිද්ධීන් වෙලා තියෙන අනුපිළිවෙළ ගැනත් වඩාත් නිවැරදිව තේරුම්ගන්න ඒ අවබෝධය උදව් වෙලා තියෙනවා. සුවිශේෂ පොත්වල සඳහන් සමහර තොරතුරු වඩාත් හොඳින් තේරුම්ගන්නත් ලේඛකයන් ඒ තොරතුරු ඒ විදිහට වාර්තා කරලා තියෙන්නේ ඇයි කියලා තේරුම්ගන්නත් පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙන සමහර දේවල් උදව් වෙලා තියෙනවා. යේසුස් ගැන සඳහන් හැම සිද්ධියක්ම හරියටම වුණේ මේ අනුපිළිවෙළටයි කියලා කියන්න කිසිම කෙනෙක්ට බැරි බව ඇත්ත. හැබැයි ‘මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්’ කියන මේ පොතේ තොරතුරු සඳහන් කරලා තියෙන්නේ සිද්ධීන් සිද්ධ වුණා කියලා හිතන්න පුළුවන් නිවැරදි අනුපිළිවෙළටයි.

මාර්ගය, සත්‍යය සහ ජීවනය

මේ පොත කියවද්දී ඔබටත් ඔබ ආදරය කරන අයටත් මේ පොතෙන් දෙන මූලිකම පණිවිඩය මනසේ තියාගන්න. ඒ පණිවිඩය යේසුස් ක්‍රිස්තුස් තම නියෝජිතයෙක් වුණු තෝමස්ට කියපු මේ වචනවල ඇතුළත් වෙනවා. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත් මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.”—යොහන් 14:6.

යේසුස් “මාර්ගය” හැටියට ක්‍රියා කරන විදිහ හොඳින් තේරුම්ගන්න මේ පොතේ තියෙන තොරතුරු ඔබට උදව් වෙයි. යාච්ඤාවෙන් යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න අපිට පුළුවන් වෙන්නේ ඔහු මාර්ගයෙන් විතරයි. ඒ විතරක් නෙවෙයි යේසුස් තමයි දෙවියන් එක්ක සමාදාන වෙන්නත් අපිට මාර්ගය පෙන්වලා තියෙන්නේ. (යොහන් 16:23; රෝම 5:8) දෙවිගේ අනුමැතිය ලබාගන්න අපිට පුළුවන් වෙන්නෙත් ඔහු මාර්ගයෙන් විතරයි.

යේසුස් තමයි “සත්‍යය.” ඔහු කතා කළෙත් ජීවත් වුණෙත් සත්‍යයට එකඟවයි. ගැලවුම්කරු ගැන දෙවියන් කියලා තිබුණු හැම අනාවැකියක්ම ඔහු මාර්ගයෙන් “එසේය” වෙලා තියෙනවා. (2 කොරින්ති 1:20; යොහන් 1:14) දෙවිගේ අරමුණ ඉටු වීම වෙනුවෙන් යේසුස් ඉටු කරන වැදගත් කාර්යය තේරුම්ගන්න ඒ අනාවැකි අපිට උදව් වෙනවා.—එළිදරව් 19:10.

“ජීවනය” වෙන්නෙත් යේසුස්. ඔහු තම පරිපූර්ණ ජීවිතය සහ රුධිරය කැමැත්තෙන්ම පූජා කරපු නිසා අපිට “සැබෑ ජීවිතය” ඒ කියන්නේ “සදාකාල ජීවනය” ලබා ගැනීමට මඟ විවර වුණා. (1 තිමෝති 6:12, 19; එෆීස 1:7; 1 යොහන් 1:7) ඔහු “ජීවනය” වෙන්නේ අපිට විතරක් නෙවෙයි. මොකද මිය ගිය මිලියන ගණනකට පාරාදීස පොළොවක සදහටම ජීවත් වෙන්න ඔහු මඟ විවර කරනවා.—යොහන් 5:28, 29.

අපි හැමෝම දෙවිගේ අරමුණ ඉටු වීම වෙනුවෙන් යේසුස් කරන්නේ මොනවාද කියලා තේරුම්ගන්න එකත් ඒක අගය කරන එකත් හුඟක් වටිනවා. “මාර්ගයත් සත්‍යයත් ජීවනයත්” යේසුස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න මේ පොත උදව් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.